Thursday, January 17, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


පහුවෙනිදා උදේ මං ඇහැරුණේ ලොකු හිසේ කැක්කුමක් එක්ක.. ඊයෙ හවස්වරුව පුරාම වෙච්චි දේවල් එකින් එක මගේ හිතේ මැවෙන්න පටන් ගත්තා. කරන්න ඕන කියල විශේෂ වැඩක් තිබුණෙ නැති උනත් උදේම දිමුතුගෙ තත්වෙ හොයල බලන්න මම හිතාගත්තා.

ආ..! ජාතියක් ජන්මයක් නැති කොල්ලොත් එක්ක පෑහිලා.. අපිටත් පාරෙ බැහැල යන්න බැරි කරන්නද හදන්නෙ..?


කාමරේ දොර ගාවින් සට සට ගාලා ඇහිච්ච වචන වලින් මගේ හිසේ කැක්කුම එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. අයියකාරයා උදේ පාන්දරම නැට්ට පාගගෙන වගේ. ගස් ගොනා වගේ කාට හරි බකට් එකක් අදින්නමයි හදන්නෙ. නැත්නම් දවස ආරම්භ කරන්න මූට ක්‍රමයක් නෑ.

තමුසෙ මොනවද කියවන්නෙ..?;

ඇයි මං දෙමළද කිව්වෙ..?

දෙමළ නම් තව කමක් නෑ.. මට මගේ පාඩුවෙ ඉන්න දීලා තමුසෙ යන අතක යනවද..?

ඔව්.. එහෙම යනව නම් හරි කැමති ඇති.. එතකොට අර මෝඩ දෙමව්පියො දෙන්නගෙ ඇස් හතරම වහල ඕන කුණු හරුප වැඩක් කරන්න පුළුවන්නෙ..

මේ ගස් ගොනා කියන ඒවට කේන්ති යන්නැති අයටත් කේන්ති යනවා. ඇත්තටම මට ඇඳෙන් පැන්න ගමන් මූට දෙක තුනක් ඇනගෙන ඇනගෙන යතෑකි. කලින් දවසක මූ ඔහොම කියවගෙන ඇවිත් මං මූට දුන්නෙ නැව් ගුටි. අයියා උනාට මූ කෑ ගගහ ඇඬුවෙ හතර පංතියෙ පොඩි එකෙක් වගේ. එදා නම් මම මාර ආතල් එකක් ගත්තා. අදත් ඒ පොඩි ආතල් එක ළඟටම ඇවිත් වගේ.

දැන් මොකක්ද මං කරපු කුණුහරුප වැඩේ..?

කතාව ඉක්මනට ඉවර කරල දාන්න හිතාගෙන මං ඇහුවා. ගඳයෙක් එක්ක මොන ප්‍රේම කතාද අප්පා. අපිත් ගඳ ගහනව මිසක. මේ ලෝක යහපතක් නෑනෙ.

කවුද රිස්මියා කියන්නෙ..?

හැලි වඳුරෙක් නියවනව වගේ මූණත් මුඩු කරගෙන අයියා මගේ මූණට එබුණා. ඈ.. මූ කොහොමද රිස්මියා ගැන දන්නෙ..? එතන නම් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් බොන්න ඕන වෙයි වගේ.

කවුරු..?

ඒකත් මගෙන්ද අහන්නෙ..? මං අහන්නෙ රිස්මියා කියන්නෙ මොකීද කියලා.. මෙච්චර සිංහල කෙල්ලො කෙල කෝටියක් ඉන්න රටේ මුලු ඇඟම වහගත්තු එකීලත් එක්ක තමුසෙට තියෙන ගනුදෙනුව මොකක්ද..? ඇත්තමයි මං අම්මයි තාත්තයි දෙන්නම එක්ක කියනව තමුසෙගෙ මේ කැත කල්කිරියාව ගැන..

මේ තමුසෙගෙ ඔය අඳෝනාව නවත්තගන්නවා.. මොන මගුලක් ගැනද ඕයි ඔය තමුසෙ කියවන්නෙ..? අනික කියන මගුලක් තේරෙන්න සිංහලෙන් කියනවා.. හැබැයි උඹ අයියා උනාට කමක් නෑ සමීරයා.. උඹට මාසයක් ඉස්පිරිතාලෙ ලගින්න මං වැඩේ කරනවා.. අත පය උඩ එල්ලගෙන ඉන්න.. තේරුණාද..?

මං කෙලින්ම තර්ජනය කරා.. මේ වගේ වෙලාවට බය උනොත් විනාසයි. මූ මගේ ඔලුවම කනවා. මගේ කතාවට අයියකාරයා ටිකක් විතර පස්සට ගියා. උගේ අර මුලින් තිබ්බ ගැම්ම නැතිවුණා. හරිනේ දෙයියනේ.. මොකාද නැව් ගානට ගුටි කන්න කැමති. අනික කලින් කාපු ඒවයේ රස අමතක වෙලත් නැතිකොට.

තමුසෙට රිස්මියා කියල කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා..

ඉතිං..?

එතනින් එහාට කතාවඉවරයි කියන්න මං දැනගෙන හිටියා. මේකා ගිරිය පුප්පගෙන ජාතිවාදී ප්‍රශ්න ඇතිකරගෙන ආවට වැඩි දුරක් යන්න බෑ කියල, කතන්දරේ මුලදිම මං දැනගෙන හිටියා.  ඒකයි මං ඌටම වැඩේ අනාගන්න ඉඩ දුන්නෙ. නැත්නම් මං ඩිංගක් හරි කලබල වුණා නම් ඕකා මුදුනා වෙලා මෙතන මළගේ කරනවා.

ඉ.. ඉතිං.. එච්චරයි..

තමුසෙ උඩදාගෙන ආවෙ ඕක කියන්නද මිනිහො.. තමුසෙ හරියට කඩන් පාත් උනේ මං කෙල්ලෙක් එක්ක බුදියගෙන ඉඳලා අහුවුණා වගේනේ.. කලවැද්දා..

මොකා..?

තමුසෙට කියන්න වෙන වචනයක් මගේ හිතට එන්නෑ.. හලෝ මේ මං අන්තිම පාරටත් තමුසෙට එක අවවාදයක් දෙන්නම්.. මීට පස්සෙ මගේ කතන්දර වට තමුසෙ අත දාන්න එපා.. මේ අවසාන රතු නිවේදනය... තේරුණාද...? මං තමුසෙටත් ඉන්න දෙන්නෑ.. හොඳට මතක තියාගන්නවා.. තමුසෙ මගේ පස්සෙන් පන්නනව වගේ නෙමෙයි මං තමුසෙගෙ පස්සෙන් පැන්නුවොත්.. පලාතක්ම නැති කරලයි මං පස්ස බලන්නෙ.. තේරුණාද..?

මොනව නැතත් ඒ මං අන්තිමට කියපු දේවල් නම් අයියට පොල්ලකින් ගැහුව වගේ තේරුණා. මූන හොඳටම නරක් කරගෙන මිනිහ කාමරෙන් ගියාට පස්සෙ මං කල්පනා කරේ රිස්මියා ඇයි ගෙදරට කතා කරේ කියලා. එයාට තිබ්බනේ මගේ මොබයිල් එකට කතා කරන්න.

ඒ එක්කමයි මට මතක් උනේ ඊයෙ හවස මං හොස්පිට්ල් යද්දි ෆෝන් එක අරන් ගියේ නෑ කියනෙක. කලබලේට ඒක කාමරේ දාලයි ගියේ. ආපහු එනකොට ෆාදර්ට කෝල් එකක් දෙන්න කොමියුනිකේෂන් ගානෙ රිංගන්න උනෙත් ඒකනේ.

මොකද පොඩි පුතා.. උදේම කෑගහන්නෙ..?

උදේ කිරි එකත් අරගෙන අම්මා කාමරේට ආවා. මං තත්පරේට දෙකට මූණ මැදට හිනාවක් ගත්තා. අයියකාරයට පෙන්නපු මුඩු මූණ අම්මට පෙන්නන්න බෑනෙ.

දන්නැද්ද අම්මා.. අර මනුස්සයගෙ වැඩේ මගේ ලේ කෝප කරන්න හදන එකනේ.. මං මිනිහට වෙලාවක දෙන එක දෙනවා ඔයාගෙන් බීපු කිරි කටින් එන්න..

ඔයාලා දේනනා ඇයි පොඩි පුතේ බල්ලො බලල්ලු වගේ මේ පොරකා ගන්නෙ.. ඔයාලා දෙන්නා එකතු වෙලා හිනාවෙලා ඉන්න දවසක් දකින්න මගේ ජීවිතේට දවසක් උදාවෙන්නෙ නැද්ද..?

අම්මගෙ ඇස් දෙකට කඳුළු උනාගෙන ආවා. මගේ  හිතටත් මහ මොකක්දෝ දැනුණා.

මං දන්නෑ අම්මෙ.! අයියත් එක්ක ජීවත් වෙන එක හරිම අමාරුයි.. එයා පුදුම තරම් ආත්මාර්ථකාමියි.. ඒ වගේම කිසිම තෙතමනයක් පපුවෙ තියෙන කෙනෙකුත් නෙමෙයි.. ගේ ඇතුළට වෙලා ඉඳගෙන ඔහේ කුණුවෙවී ඉන්නයි මිනිහා කැමති..

ඒ වුනාට පොඩි පුතේ.. අපිට ඉන්නෙ ඔයාලා දෙන්නා විතරයි.. ස්තතු දෙන්නෙක් වගේ ඔයාලා කා කොටා ගන්නකොට මිනිස්සු උනත් හිනාවෙයි.. හග්.. ඩිංකක් එයත් එක්කත් හොඳින් ඉන්න බලන්න.. එයාට යාලුවෙක් කියලවත් කෙනෙක් නෑනෙ.. ජීවිතේම තනියම අරගෙන යන්න හදන කෙනෙක්..

මට නම් අම්මා.. මිනිහව දකිනකොටත් කේන්තියි.. බලන්න ඉතිං.. ඕන වෙලාවක එන්නෙ රංඩුවටමනේ.. කවදාවත් හොඳින් කතා කරන සිරිතක් මිනිහගෙ නෑනෙ අම්මා..

මට තේරෙනවා.. ඔයා ඔය ඉන්නව වගේ සතුටෙන් සැහැල්ලුවෙන් එයත් ඉන්නව නම් තාත්තටයි මටයි මොන තරම් සතුටුයිද..? ඇත්තටම අයියා ඉන්නෙ කටුව ඇතුළට රිංග ගත්තු ගොලුබෙල්ලෙක් වගේනේ.. කා එක්කවත් කිසිම ආශ්‍රයක් නෑ..

ඒක නම් ඇත්ත තමයි.. අයියකාරයට යාලුවෙක් කියල කෙස් ගහක තරම් එකෙක්වත් නෑ.. ඌ තනියම ජීවත් වෙන්න ඉපදිච්ච එකෙක්.. අර ඌටම කියල ගහපු සිංදුවකුත් තියෙන්නෙ.. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කියලා.. මං හිතන්නෙ ඒක තමා උගේ තේමා ගීතය..

දැන් බලන්න අම්මා.. ඔය උදේ පාන්දරම මගෙත් එක්ක සද්දෙ දාගෙන ආවෙ මට රිස්මියා කියල කෙල්ලෙක් කතා කරාලු.. ඒකට මේ මනුස්සයා ජාතිවාදී කතා කිය කිය මාව අවුස්සනවා.. හරිනම් කියන්න තිබ්බෙ කෝල් එකක් ආව අහවලාගෙන්.. එච්චරයි.. එහෙමත් නැත්නම් නොකියම හිටිය නම් ඒත් ඉවරයි..

ම.. මට තේරෙන්නෑ.. ම්.. ඒක නෙමෙයි.. කවුද ඔය රිස්මියා..

අම්මගෙ මිලි මීටර් පද්ධතියටත් අහු නොවෙන අලවංගුවක් නෑ.. රිස්මියා කතා කරපු එක අයියකාරයා අලක රන්න කලින් මං ගෝවා පාත්තියක් දාන්න හැදුවෙ. ඒත් වැඩේ අලම උනා.

මගේ යාලුවෙක් අම්මා..

විශේෂ කෙනෙක්ද පොඩි පුතා..?

අම්මගෙ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි. මට බොරුවක් කියන්න හිතුණෙ නෑ. ඒත් රිස්මියා මට විශේෂයිද කියල, මං මගේ හිතෙන්ම අහල බැලුවා. ඒත් ඒකට හිත සැනසෙන උත්තරයක් හිත ඇතුළෙන් ආවෙ නෑ. එතකොට නදිනි... අනේ මංදා.. හැබැයි නදිනිට වැඩිය නම් රිස්මියා සිය වාරයක් හොඳයි.. නදිනිගෙ කොයි වෙලාවෙත් චුරු චුරුවනේ.. අඳෝ වැඩියාවෙන් නොම්මර එකයි.

ම්හු.. එහෙමත් නෑ අම්මා..

එහෙනම්..?

අපි ළඟන් ආශ්‍රය කරනවා.. එච්චරයි..

කවුරු ආස්සරේ කරත් තමන්ගෙ ආත්මගරුත්වෙ තියාගෙන, ඒ ගෑණු ළමයගෙත් ආත්ම ගරුත්වෙ රැකෙන විදියට වැඩ කරානම් හොඳයි පොඩි පුතා..

මං වැරැද්දක් කරේ නෑ අම්මා..

මං ඔයාට වැරැද්දක් කිව්වා නෙමේ... මට ඔයාව විශ්වාසයි.. පිරිමි ළමයි උනාම ගෑණු ළමයි වගේ ගෙවල් ඇතුළට වෙලා හිරවෙන්න ඕන නෑ.. ඔයාට අපි දීල තියෙන නිදහස හොඳ පැත්තට යොදාගන්න.. ඒ ගමන්ම අයියා ගැනත් ටිකක් හොයල බලන්න..

අනේ ඔය ගස්ගොනා ගැන මොනව බලන්නද..? ඌව උදේට දැක්කත් ඇති දවස් දෙකක් මුස්පේන්තු වෙනව.. ඒත් මං අම්මට කිව්වෙ වෙනින්ම කතාවක්. මූ ගැන හිතට එන අලුගුත්තේරු සිතිවිලි වලින් අම්මගෙ හිත රිද්දන්න බෑනෙ.

ඇයි අම්මා එහෙම කිව්වෙ..?

එයා ටිකක් අමුතුයිනෙ පොඩි පුතා.. දැන් මේ ළඟකදි ඉඳල කේන්තිත් යනව වැඩියි.. ඒකයි..

පිස්සුද අම්මා.. ඔය මනුස්සයා උපදිනකොටම කේන්තිය පිටින්මලු ඉපදුනේ.. ඔය යකාගෙ බුරිය හරියට මැහුවෙ නෑ කියල..

මගේ කතාවට අම්මට පුංචි හිනාවක් ගියා. ඒ හිනාව පිටින්මයි අම්මා කාමරෙන් යන්න හැදුවෙ.

ගේට් එක ගාව කවුද හෝන් එක ගහනවා..

ජනේලෙන් පාර දිහා බලපු අම්මා කිව්වා. හෝන් සද්දයක් නම් මටත් ඇහුණා තමයි. ඒත් මේ රමිතයා ඕනම දෙයක් ඕනවට වැඩිය ගණන් ගන්නෑ.

අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්..

කාමරේ දොරකඩ ගාවින් අයියගෙ මූණ එබුණා. මූ ඉතිං අන්තර් ජාතික රොයිටර් පුවත්පත් සේවයනෙ. මට කාමරේ ඉඳගෙනම ආවෙ කවුද කියල වැඩි මහන්සියක් නැතුවම බලාගතෑකි.

කවුරු..?

අර උද්දච්ච මිනිහා.. තමුසෙ වගේම ගිනිපුක් කාරයා.. මට පේන්න බැරි එකා..

යසයි.. බලපංකො මුගේ තොරණෙ විස්තරේ. මං මෙච්චර කල් හිතන් හිටියෙ මේ ලෝකෙ හැමෝටම මූව පේන්න බෑ කියලා.

නම කියනව හලෝ.. ඌට නමක් නැද්ද..?

තියෙනව.. කැලෑ පාලුවා කිව්වහම ඕන එකෙක් දන්නවා.. තව ඕනෙද ඌ ගැන විස්තර..?

ආ.. මේ අපේ ඉසුරු ගැනනේ මූ දොඬවන්නෙ..

අපෝ එපා.. ඔය ගඳගහන කටින් කිසිම දෙයක් කියන්නෙපා..

අයියා කාමරෙන් එළියට ඔලුව ගත්තා. මං කිව්ව දේ හිත පුරාම වදින්න ඇති. ආයෙ ඒක බලන්න දෙයක් නෑ. විනාඩි දහයක් විතර යද්දි වොෂ් එකකුයි ඇඳුමකුයි දෙකම දාගෙන මං පාරට ආවා.

මොනව කරාද බං මෙච්චර වෙලා..?

ඉසුරුවට මොකක් හරි හදිස්සියක් පාටයි. නැත්නම් මූ මෙහෙම උදේ පාන්දර කඩා වදින්නෙ නෑ.

ඊයෙ දවසම බිසී බං.. නිදාගන්නකොටත් රෑ වෙලා..

හරි.. හරි.. පස්සෙ සමරිය සාකච්ඡා කරමු.. වරෙන් පොඩි ගමනක් යන්න..

කොහේද..? පරක්කු වෙනවද..? තාම කාලත් නෑ.. කාලම යමුද..? ඔය වගේ මොන්ටිසෝරි ප්‍රශ්න මේ රමියට විහිලුවටවත් එන්නෑ. ඉසුරු මට හුඟක් කැමති ඒක හන්දයි කියලත් මං දැනගෙන හිටියා. අපායට යමුද කියල ඇහුවත් මේ රමියා එවරෙඩි. ප්‍රශ්න ඇහිල්ලක් නෑ. මං කාර් එකට නැග්ගා.

උඹ මොකක් හරි අප්සට් එකකද ඉන්නෙ..?

ටිකක් දුර එද්දි මං ඉසුරුගෙන් ඇහුවා. උගේ මූණ ඒ තරම් හරි නෑ.

ඔව් රමියා.. මං උඹව හොයාගෙන ආවෙත් ඒකයි.. කෙල්ල කිසිම දෙයක් කන්නෙ බොන්නෙ නෑ.. මොනව කරන්නද කියල මට හිතාගන්නවත් බෑ බං.. ගහල බැනල මේ ප්‍රශ්නෙ විසඳගන්න බෑ කියලත් මට තේරෙනවා..

කෙල්ල කියල කිව්වෙ ඉසුරුගෙ වන්ඩ් ඇන්ඩ් ඔන්ලි නංගි බබා.

දැන් උඹ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද..?

උඹට පුලුවන්ද නංගි එක්ක ටිකක් කතා කරන්න..? සමහර විට උඹ කිව්වොත් දෙයක් අහයි..

උඹ කියනව නම් මං කතා කරන්නම්.. ඒත් වැඩි බලාපොරොත්තු තියාගන්නෙපා..

ඇ.. ඇයි රමියා..

ඒකිගෙ එෆෙයාර් එක කඩල දාන්න මමනේ බං උඹට උදව් කරේ.. මතකද ඒකි ඉස්සරහම මං රංගනයගෙ කණටත් ගැහුවා. ඉතිං උඹ හිතනවද ඉමාෂි මගෙත් එක්ක හොඳ සහෝදර ප්‍රේමයකින් ඇති කියලා. ඒකි මගෙත් එක්ක හොඳටම තරහ ඇති ඉසුරු.. මාව පේන්න බැරිව ඇති..

අපි නංගිට හොඳක්නේ බං කරේ..

හොඳ කතාව ඉසුරු කියද්දි මට මතක් වුණේ ඊයෙ රෑ රංගන මට කියපු කතාව. ඌ කිව්වෙ මං ඉමාෂිව යාලු කරගත්ත කියලනේ. ඌ කවදාවත් උගේ වැරැද්දක් පිළිගන්න එකෙක් නෙමෙයිනෙ.

ආදරේ කරන එවුන් කවදාවත් අවවාද අනුශාසනා පිළිගන්නෙ නෑ බං.. උං හිතන්නෙ අපි කියන හැමදේම උං එක්ක තරහටයි කියන්නෙ කියලා. මොන දස මහ දෝසෙ විඳල හරි උංට හොඳක් කරන්න හැදුවත් උංට ඒක දිරවන්නෑ..

එහෙනම් අපි මොකද කරන්නෙ රමියා.. නංගි මේ විදියට දහ දුක් විඳිද්දි මට බලන් ඉන්න කියලද උඹ කියන්නෙ..?

මම එහෙම කියන්නෑ ඉසුරු.. ඒත් මං ඩිංගක් ඉමාෂිත් එක්ක කතා කරන්නම්.. එයා මංග ැන මොනව හිතන් හිටියත් මටකමක් නෑ.. උඹ දන්නවනේ.. උඹ වෙනුවෙන් මං මකර කටට උනත් අත දානව කියල..

ඉසුරුගෙ මූණ ලොකු හිනාවකින් පිරිල ගියා.

ලොකු දෙයක් රමියා.. උඹ කතා කරොත් මොනව හරි වෙයි.. නංගි කොයි තරම් උඹත්තෙක්ක තරහ උනත් උඹට කැමතියි කියන්න මං දන්නවා..

ඉසුරු කිව්වෙ අමුතුම කතාවක්. ඒත් ඒ කතාව වැඩිදුර ගෙනියන්න මං උත්සාහ කරේ නෑ. බොහොම ඉක්මනට මං කතාවෙ ට්‍රැක් එක මාරු කරා.

ඉස්පිරිතාලෙ පැත්තට හරවපං..

ඇ.. ඇයි රමියා..

මගේ ලෙඩෙක් ඉන්නවා.. බලන්න ඕනි..

උඹේ ලෙඩෙක්..?

ඉසුරගෙ මූණෙ තිබ්බෙ ලොකු කුතුහලයක්.

ප්‍රශ්න අහන්නැතුව හරවපං..

මගේ මූණෙ තද ගතිය ඉසුරු දකින්න ඇති. ඒ වගේම දෙයක් කියද්දි, හරස් ප්‍රශ්න පත්තර ඉස්සරහට දානවට ඌ වගේම මාත් අකමැති විත්තියත් ඌට මතක් වෙන්නැති.

උඹ ඒ පාර ලේඩි ඩොක්ටර් කෙනෙක්වත් අල්ලගත්තද..?
කාර් එක හරවද්දි ඉසුරු මගේ මූණට එබුණා. මට පුංචි හිනාවක් ගියා. මං ගැන හොඳටම දන්න, මූත් මං ගැන මෙහෙම හිතනව නම්, මම වටේ ඉන්න ඔලුව කරුවල් වෙච්ච ජනතාව මොනව නොහිත ඉඳීවිද අප්පා. ඊයෙ වගේම අදත් අවුලක් නැතුවම ලෙඩ්ඩුබ ලන වෙලාව ඉවර වෙලාතිබුණා. ඉසුරු කාර් එකෙන් බැහැලා මගේ මූණ දිහා උඩ ඉඳලා පල්ලෙහාට බැලුවෙ මෙතනින් එහාට මොකද කරන්නෙ කියල අහන්න වගේ.

රමියා..

ම්..?

ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි..

ප්‍රශ්නයක් නෑ..

මං එහෙමකිව්වත් එතන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අනුෂී ඕෆ් වෙලා ගෙදර ගිහින් තිබුණ එක. මං කෙලින්ම ගිහින් සිස්ටර්ව හම්බවුනා. මාව දැක්ක විතරයි ඒ මස් පර්වතයෙ සුදු හිනාවක් පිපුණා. හරියට නිකං බුල්සයි කරපු බිත්තරේක මැද්දෙ තියෙන කහ මදේ වගේ.

ගුඩ් මෝනිං පුතා.. ඊයෙ වැඩ ටික කරගත්තනේ..?

ඔව්.. සිස්ටර්ට පින් සිද්ධ වෙන්න.. ඒ හැමදේම හරි.. මං මේ තෑන්ක්ස් කරල යන්න ආවෙ..

අයියෝ.. ඕක මොකක්ද පුතා.. අපි අපිමනේ.. ඔයා ඕන වෙලාවක එන්න.. මං ඕන උදව්වක් කරන්නං..

පිස්සුද හැටිද මංදා.. ඕන වෙලාවක ඉස්පිරිතාලෙ එන්නලු.. ඇයි බං.. දිනපතාම මේවයෙ බඩගාන්න රමියගෙ මොලේ වයර් මාරුවෙලා නෑනෙ.

එහෙනම් සිස්ටර්.. මං ඉක්නමනට වෝඩ් එකට ගිහින් දුවව බලලා එන්නං..

ඔව් පුතා.. දැන් ටයිම් එක ඉවරයිනේ.. ඉක්මන් කරල යන්න..

මං ඉසුරුත් ඇදගෙන වෝඩ් එක දිහාට ආවා. උගේ මූණෙ කුතුහලේ උපරිම මට්ටමට නැගල තිබුණා. කමක් නෑ තව ටිකකින් ඌ තොරණෙ විස්තරේ දැනගන්නවනේ.. පළවෙනි කොටුවෙන් කියවෙන්නෙ මේක.. දෙවනි කොටුවෙන් කියවෙන්නෙ මේක කියලා.. අනිත්තෙක තමයි ලෙඩ්ඩු බලන්නැති වෙලාවක, ලෙඩෙක් බලන්න ගෑණු වාට්ටුවකට ගියහමතියෙන කැටයම් ගොඩ දර්ශන දාන්නැති අයත් ඒ වෙලාවට නිකම්ම දර්ශනේ දානවා. ඔයාලා ඒ තත්වෙ, එහෙමත් නැත්තං ඒ ආතල් එක විඳල නැද්ද..? ඇස් පනහක් විතර හා හෝවක් නැතුව තමන් දිහාට එල්ලවෙලා තියෙද්දි කොහොමද දැනෙන සනීපෙ..?

ර..මි..ත.. අ..යි..යා..

මාව දැකපු ගමන් දිමුතු ඇඳෙන් බැහැල මගේ ළඟට දුවගෙන ආවා. ඒ මූණෙ තිබුණෙ උපරිම සිරියාවන්තකමකට පිරිච්ච හිනාවක්. මං දිමුතුට හුඟාක්ම ළංකලේ මෙන්න මේ වගේ සොඳුරු විදියට හිනාවෙන්න පුළුවන් හන්දා. ඒ හිනාවත්තෙක්කම දිමුතුව සදාකාලයටම සහෝදරියක් වගේ ළඟින් තියාගන්න පුලුවන්කමක් තිබ්බ නම් මේ රමියා නොකර ඉන්නෙ නෑ.

ඔයාට දැන් කොහොමද දිමුතු..?

දැන් නම් හොඳයි.. ඩොක්ටර් කිව්වා කිසිම දේකට බයවෙන්න එපා කියලා..

මගේ පපුවට අලුතෙන් හුස්මක් වැටුණා. දෙයියනේ මලක් වගේ ඉන්න මේ අහිංසකීට මොනම කරදරයක්වත් වෙන්නෙපා. ඒ කරදර මේ ගහක් ගලක් වගේ ඉන්න රමියගෙ පපුව උඩන් තියන්න. මං දෙයියන්ගෙන් ඉල්ලුවෙ එච්චරයි.

එහෙනම් හුඟක් වෙලාවට අද දවල්ට හරි හෙට හරි ඩිස්චාජ් කරයි.. ඔයාට කරදරයක් නෑ නේද..?

මෙච්චර වෙලා හිනාවෙන් පිරිල තිබ්බ සුදු මූණ ලොකු කාන්සියකින් බරවුණා. හිතුවෙවත් නැති තරම් ඉක්මනට ඒ පුංචි ඇස් දෙකට කඳුලු උනාගෙන ආවා.

අම්මෙකුටත්, තාත්තෙකුටත් වැඩිය හොඳින් ඔයා මාව බලාගන්නකොට මට ප්‍රශ්න මුකුත් නෑ අයියා. ඔයා හොයල දීපු ඇන්ටිත් හරිම හොඳයි.. අර මනුෂි අක්කත් හරිම හොඳයි.. එයා ඊයෙ රෑ හුඟක් වෙලා යනකල් මගෙත්තෙක්ක කතා කරකර හිටියා.. මට පුංචි පාලුවක්වත් දැනුණෙ නෑ..

මං ඉන්නකන් ඔයාට පුංචි පාලුවක්වත් දැනෙන්න ඉඩ තියන්නෑ දිමුතු.. ඔයාට උදේ කෑම කොහොමද..?

ඒ ඔක්කොම හරි රමිත අයියා.. ඔයා ළඟ ඉන්නකොට ඒ හැමදේම මට ලැබෙනවා..

පුංචි උනාට කෙල්ල කිව්වෙ දිරව ගන්න අමාරු කතාවක්. මං ඉසුරු දිහා බැලුවා. ඌ හිටියෙ වෝඩ් එකෙන් එලියෙ.

ඔයා එහෙම විශ්වාස කරන එකට මං කැමතියි.. ඹට පස්සෙ මොනව හරි හදිස්සියක් උනොත් ඔයා මගේ මොබයිල් එකට කතා කරන්න.. මං කොහේ හිටියත් කඩාගෙන එනවා.. ඔයා කිසිම දේකට බයවෙන්න එපා..

රමිත අයියා..

ඇයි දිමුතු..?

මේ පාර වගේ මට සිහිය නැතිවෙලා තිබ්බොත් මං කොහොමද කතා කරන්නෙ..?

හොඳට හිතල මතල දිමුතු මගෙන් ඇහුවෙ මට උත්තර දීගන්න අමාරු ප්‍රශ්නයක්. ඒකෙන් මං සම්පූර්ණ අවුල් වුණා.

ඔයාට ආයෙ එහෙම වෙන්නෑ දිමුතු.. ඔයාට කිසිම කරදරයක් වෙන්නෑ..

එහෙම උනත් කමක් නෑ රමිත අයියෙ.. ඔයා හින්ද මං හුඟාක් සංතෝසෙන් ඉන්නෙ.. මේ ජීවිතේ මට ලැබිච්ච ඉහළම වස්තුව ඔයා තමයි.. මොනව හරි වෙලා ඔයාව දාල යන්න උනොත් මට ඒක ලබන ආත්මෙවත් දරාගන්න බැරිවෙයි..

මොනවද මේ දිමුතු කියවන්නෙ.. ඔය වගේ දේවල් කියවන්න ඔයා තාම පුංචි වැඩියි..

මං කියන්නෙ, කියන්න ඕන ඒවා රමිත අයියමෛ් ලෝකෙ කිසි හව්හරණක් නැති කෙල්ලෙකුට, ඔයා දාලා යන්න වෙද්දි සිහිය නැති වෙලාම තිබුණොත් ඒකත් හිතට සැනසීමක් නැත්නම් මට හිත හදාගන්න බැරිවෙයි..

එතනින් එහාට දිමුතු තවත් මොනව හරි කියන්න මගේ හිත හයිය කරගන්න බැරි වුණා. තව් මං කතා කරන්න ගියොත් දිමුතු තවත් කියවන්න ගනියි. ඒක හන්දම දිමුතුගෙ පුංචි අත්දෙක අල්ලල තදකරල මිරිකල මං ආපහු එන්න ගත්තා.

ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා රමිත අයියෙ..

ඉසුරු ළඟට ඇවිදගෙන එද්දි දිමුතුගෙ කටහඬ හීනියට මට ඇහුණා. මේ ලෝකෙන්ම මං ගැන ඔහොම හිතන එක එක්කෙනාත් ඔයා විතරයි දිමුතු කියල කියන්න මගේ දිව මුලටම ආවත් මං හිත තද කරගත්තා.

ර..මි..යා..

ම්..

කවදාවත් නැති විදියට උඹ අවුල් වෙලා වගේ.. ඇයි මේ..?

මුකුත් නෑ ඉසුරු..

මේ ලෝකෙ අන්තිපැත්ත ගැහුවත් උඹ කෙලින් ඉන්න මිනිහා.. මට කියන්න බැරි දෙයක්ද රමියා..

උඹට කියන්න බැරි දේවල් මං ළඟ නෑ ඉසුරු..

දිමුතුගෙ කතන්දරේ සෑහෙන පරිච්ඡේද ගානක් ඉසුරු දන්නවා. මං දිමුතු වෙනුවෙන් බැහැල වැඩ කරනව කියලත් ඌ දන්නවා. අවුරුදු තිහක් වෙන මේ ජීවිතේ වැදගැම්මකට ඇති දෙයක් කරා නම් ඒ තමයි දිමුතු වෙනුවෙන් මං කරපු කියපු දේ. එහෙම නැත්නම් අපි හැමෝගෙම වගේ මේ රමියගෙත් ජීවිතේ නිදහසේ පාවෙලා ගියපු සරුංගලයක් වගේ වෙන්න තිබ්බා. ඕනෑම දඩබ්බර ක්‍රියාවක අන්තිමේදි මාව සන්සුන් වෙන්න එකම හේතුව තමයි දිමුතුගෙ අහිංසක මූණ මතක් වෙන එක. මට මොනවහරි හානියක් උනොත් දිමුතුට කාත් කවුරුවත් නෑ කියල මංදැනන් හිටියා.

දිමුතුගෙ පපුවෙ හෝල් එකක්..

මොකක්..?

ඉසුරුගෙ ඇස් දෙක පොල් සයිට් එකට ලොකු උනා. මං කියපු දේ ඌට අදහගන්න බැරිවුණා කියලා මට තේරුණා.

ඔ.. ඔව්.. දිමුතුගෙ ජීවිතේ අදද හෙටද කියල කියන්න කාටවත් බෑ බං.. එයා ජීවත් වෙන්නෙ ජීවිතයයි මරණයයි අතරෙ එහාට මෙහාට වෙවී..

ඔ.. ඔය ඇත්තමද රමියා..

උඹට ඇයි මං බොරුවක් කියන්නෙ..?

විශ්වාස කරන්නත් බෑනෙ බං.. මේ.. මේ.. රෝස මලක් වගේ ලස්සනට ඉන්න කෙල්ල..

ඔව් ඉසුරු.. එයාව පුලුවන් තරම් සංතෝසෙන් තියන්න මං ට්‍රයි කරන්නෙ ඒකයි.. ඇත්තට මූණ දෙන එක කොයි තරම් අමාරු උනත් මෙච්චර කාලෙකට මං එහෙම කරල තිබ්බත්, දිමුතුගෙ දේ නම් මට දරාගන්න බැරිවෙයි..

මට නම් තේරෙන්නෑ රමියා.. ජීවිතේ මේ තරම් කාලකන්නි දේවල් අහන්න ලැබෙන්නෙ ඇයි කියලා.. මොනව උනත්, ඒවා කොහොම උනත් උඹ නම් ග්‍රේට් පොරක්.. උඹ වගේ එකෙක් මගේ ළඟම යාලුවා වෙච්ච එක ගැන නම් මට සිරාවටම ආඩම්බරයි..

ඉසුරු ඒ ටික කිව්වෙ සිරාවටම කියල මං දැනගෙන හිටියා. ඒත් දිමුතුගෙ ඇත්ත තත්වෙ දැනගත්තට පස්සෙ ඩිංගක් කතා කර කර තිබ්බ උගේ කතාව එහෙම්ම නතර උනා. හොස්පිට්ල් එකේ ඉඳලා ලේක්විව් රෝඩ් එක දිහාට කාර් එක දාලා ඉසුරු මගේ දිහා බැලුවා. මෙන්න මේ තත්පරේට උගේ මූණෙ ප්‍රශ්න පත්තරයක්ම පිරිලා.

රමියා..

ඇයි..?

ඇස් ඉස්සරහ පේන්න තියෙන දේවල් එක්ක කියන්න හිතන් ආපු දේවත් කියන්න බෑ බං..

ඒක අවුලක් නෑ.. උඹට ඕන දේ කියපං.. දිමුතුගෙ කතන්දරේට මං එතන ඉන්න ඕන නෑ..

අද රෑට උඹෙන් සප් එකක් ඕන වෙනව..

ඉසුරුගෙ කටහඬ ටිකක් බර උනා. බර කරල කිව්ව වගේම ඒක බරපතල කතන්දරයක්. මොකද ඒ සප් එක ටිකක් අවුල් සහගත එකක් කියල කියන්න මං දැනගෙන හිටියා. හොරෙන් කපපු කොට ලෝඩ් එකක් හරි, කපල හොරෙන් ඉරපු ලී ලෝඩ් එකක් හරි, අවශ්‍ය තැනට දාගන්නකන් ඉසුරුට කාගෙ හරි දැවැන්ත සහයෝගයක් ඕන වෙන විත්තිය මං දැනගෙන හිටියා.

උඹ.. බුලත්සිංහලයට කිව්වද..?

නෑ..

ඇයි ඒ..?

හෙට කේස් එක බුලතට කියල බෑ..

බුලතා නොහොත් බුලත්සිංහල කියල අපි කතා කරේ පොලීසියෙ අයි.පී.ට, මිනිහා ඔය වගේ අන්ඩර් වර්ල්ඩ් වැඩ වලට පැනල සපෝර්ට් කරන්නෙ. ආදරේටද කියල ද ඇහුවෙ.. නෑ.. මිනිහගෙ මාස දෙකක පඩි නඩි එකපාරටම අතට හම්බවෙනවනේ.. ඒකයි.

උඹ බුලතට කිව්වෙ නැති එක හොඳයි.. මට ඌව ෂුවර් නෑ.. කොහොමටත් මම ගෑවෙන දේකදි ඌව අයින් කරන එක හොඳයි.. මතකනේ ගියපාර වෙච්ච දේ..

හ්ම්..

ඉසුරු හූම් ගෑව විතරයි.. කලින් පාර ආයුර්වේද වැඩ කරන කෙනෙක්ගෙ වහලට ගෙනාපු ලී ලෝඩ් එකක් අනූනමයෙන් බේරුනේ මේ රමිතයගෙ ටැලන්ට්ස් හින්දා. නැත්නම් ඉසුරුගෙ දිග එල්ෆ් ලොරියයි, ලී ලෝඩ් එකයි හිටපු මිනිස්සු දෙන්නයි කැත නැතුව උසාවිය ඇතුළෙ. කොයි තරම් සීක්‍රට් විදියට සිංදුව කිව්වත් කොහෙන් හරි වැඩේ ලීක් වෙලා තිබුණා.

රමියා.. මේ ගමන්ම අපේ ගෙදර යමුද..?

ඇයි..?

මං උඹට කලින් කිව්වෙ..?

මොකක්ද..?

නංගිගෙ කතන්දරේ..

ඔන්න එතකොට තමයි මට ඉමාෂිව මතක් උනේ. ඉසුරු උදේ පාන්දරම මගෙන් ඉල්ලපු දේ, වැඩි වැඩ කරන්න ගිහින් මේ කිරි පැණි වගේ තියෙන යාලුකමත් නැතිවේවිද මන්ද.

උඹ කියනව නම් මම එන්නං.. හැබැයි එතනින් එහාට වෙන අතුරු ප්‍රතිඵල වලට මං වග නෑ..

ඒ.. ඒ.. කිව්වෙ..?

හොඳ හිතින් කරන වැඩ වලින් අන්තිමට වෙන්නෙ කරකක්මනේ බං..

මෙතන එහෙම වෙන්නෑ බං.. මේ මගේ නංගි..

එහෙම නම් යමං..

මං කියල කට ගන්නවත් එක්කම ඉසුරු කාර් එක හැරෙව්වා. ඒ හරවනකොට වම් පැත්තෙ ග්ලාස් එකෙන් දැකපු දෙයින් අපේ ගමන මඟ නතර වුණා. මං දැකපු දේ ඉසුරුත් දැකල තිබුණා.

අයිය නේද..?

ඉසුරු මගෙන් ඇහුවා. අයිය නේන්නම්.. මගේ නේත්තරා දෙකට පේන්න බැරි හෝහපුටුවා. අපි ඉස්සරහින්ම ලැසි ගමනින් පාවෙන්න ගත්තා.

ඔව්.. ඌ තමයි.. ඒත් මේකා මොකද ලේක් වීව් එකේ කරන්නෙ.. මං එද්දි මූ හිටියෙ ගෙදර.. උඹත් දැක්කනේ..

සමීර උඹගෙ සහෝ උනාට මට උගේ ඩයල් එක දිරවන්නෑ රමියා.. අපි යමුද..?

ඩිංගක් හිටපං.. මූ නිකං ආවා වෙන්න භෑ.. අනික මූට මේ පැත්තෙ කිසිම වැදගත් වැඩක් තියෙන්න බෑ.. මොකක් හරි කුණු ගොඩක්..

මං කාර් එකෙන් බැස්සා. අයියකාරයා මෙලෝ සිහියක් පතක් නැතුව වගේ ලේක් විව් එක ගාවින් පල්ලෙහා පාරට පැන්නා. මේකා මේ කොහෙද යන්නෙ.. මේ පාර කෙලින්ම වැටෙන්නෙ කොරියාවට..

රමියා.. ඌ කොරියාවට යන්නෙ..

කාර් එකෙන් බැහැල ඉසුරුත් මගේ ළඟට ආවා.

ඔව්.. අපි පස්සෙන් පන්නමු.. මූට කිසිම හේතුවක් නෑ කොරියාවට බහින්න.. ෂුවර් එකටම ගඳ ගහන වැඩක් තමා.

කොරියාව කියල කිව්වෙ, ඒක ළඟ තියෙන එක පේලියට එක ගොඩේ හදාගෙන තිබ්බ පැල්පත් තිහ හතලිහක ජීවත් වේචච මිනිස්සු ඉඳපු ගමකට. කොළඹ තියෙන මුඩුක්කු වලට වැඩිය ඩිංගක් හොඳ මට්ටමකට තිබ්බත් ඒකෙ කෙරුණ දේවල් වලට නම් සදාචාරයක් සෞභාග්‍යක් තිබ්බෙ නෑ. කොටින්ම ටවුන් එකේ මොකක් හරි අපත වැඩක් සිද්ධ වුනොත් ඒකෙ වගකීම තනිකරම පොලීසියපැටෙව්වෙ කොරියාවට. ඉතිං එහෙව් පැත්තක මේ සීත සමීරයා පස් පාගනව කියන්නෙ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්.

රමියා.. උඹ ඉඳපං.. මං ගිහින් බලන්නම්..

ඇයි..?

උඹේ ඩයල් එක උංට පෙන්නන්න ඕන නෑ.. මං කොහොමටත් උංව දන්නවනේ.. උඹ කාර් එකට වෙලා ඉඳපං.. මං ෂේප් එකේ සමීර පස්සෙ එලවන්නම්..

ඉසුරු කිව්ව දේ කොහොමටත් හොඳයි කියල මට තේරුණා. සමීරයා මිස් වෙන්න කලින් ඉසුරු කොරියාව පැත්තට දුවල යද්දි මං කාර් එක ළඟට ආවා. ඒ එද්දිත් මගේ ඔලුව පුරවල තිබ්බෙ අයියකාරයගෙ කොරියා ආගමනය ගැන. මෙතන මොකක් හරි අවනඩුවක් තියෙනව කියල මගේ මොළේට විතරක් නෙමෙයි උන්ඩුක පුච්චෙටත් තේරෙනවා.

රමිත..

ඉසුරු ගිහිල්ලා විනාඩි තුන හතරයි ගියේ.. හොඳටම හුරු පුරුදු කටහඬක් ඇහුණා.

රිස්මියා..?

ඔයා මොකද රමිත මෙතන කරන්නෙ..?

මෙතන කිව්වෙ..?

කොරියාව ඉස්සරහ..

පොල් කුරුමිණියන්ගෙ ටෙලිෆෝන් කතාවෙනුයි මගේ හීන රාජයාගේ තොරනේ විස්තරෙනුයි පස්සෙ ඔන්න අද තමයි හා හාපුරා කියල මට රිස්මියා හම්බ වුණේ. ඒත් ඉතිං ඒ හම්බ වෙච්ච වෙලාවත් බලපල්ලකො.. මහා අලුගුත්තේරු එපාකරපු අවස්ථාවක්නෙ.

කාර් එකේ ට්‍රබල් එකක් රිස්මියා..

හොඳට හිතල මතල මං උත්තරේ දුන්නා. නැත්නම් රිස්මියා මෙතන කොරනෙල් විභාගෙයි ශිෂ්‍යත්වෙයි දෙකම තියෙනවා.. ඉතිං රමියා දීපංකො උත්තර..

ගරාජ් එකක් බැලුවෙ නැද්ද..?

ඉසුරු ගියා බාසෙක් එක්කං එන්න..

මෙතනම කැඩුණ එකනේ වැඩේ කියන්නෙ..

ඒකනේ.. වෙලාව තමයි..

ඒ.. ඒ.. කිව්වෙ..?

අඩුගානෙ ඔයාගෙ ගේ ඉස්සරහවත් කැඩුනා නම්..

මං කිව්වෙ රිස්මියගෙ මූණට හිනාවක් ගේන්න. ඒ සුදු මූණ ආපු වෙලාවෙ ඉඳල මැලවෙලයි තිබුණෙ. ඒත් මොන හිනාවක්ද අප්පා.. රාමසාන් සඳ තවත් මැලවුණා.

රමිත.. මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්නෝන..

හැමදේම පැත්තකින් තියල වගේ කෙල්ල එක පාරටම කිව්වා ඒ පාර රිස්මියා මොකාටද මේ එන්න හදන්නෙ..? ඔන්න කලින්ම කිව්වා.. සීරියස්කතාවකට නම් ඔන්න පුතේ රමියා කලින්ම කැපෙනවා.. කසාඳ බැඳිලි හනිමූන් වගේ ඒවා නම්, මතක් කරන්නවත් එපා.. හැරමිටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ.. හැබැයි කසාඳ බඳින්නෙ නැතුව.. ඕකයි රමියගෙ වර්තමානෙ සාරාංශය.

ඉතිං කියන්න..

මං රිස්මියාගෙ අතින් අල්ල ගත්තා. කෙල්ල එහෙට මෙහෙට ඇඹරෙද්දි මං ඒ රෝසප ාට අත දිහා බැලුවා. රටාවකට අතේ ගාගෙන ඉඳපු මෙහෙන්දි වල ලා තැඹිලි පාට මගේ ඇස් නිලංකාර කෙරුවා.

රමිත..

ම්..

කොරියාව ඉස්සරහ රිස්මියත් එක්ක මීට වැඩිය කලර්ස් දාන්න තිබ්බා වෙන වෙලාවක නම්.. ඒත් ඉතිං අග්නිදිග ආසියාතික රටාවල මහා කේලමා වන සමීරයා මේ ඉසව්වේම කරක් ගහන හන්දා මං කතාව හයිස්පීඩ් කරා. ඒ කියන්නෙ ම් සද්දෙ දාලා..

ඇ.. ඇයි රමිත.. ඔයා මට මෙහෙම වද දෙන්නෙ..?

වද දෙනවා..?

රිස්මියාගෙ කදු ඉංගිරියො දෙන්නා වහගෙන ලොකු කඳුලු පටලයක් ඇස් ඉස්සරහට ආවා. ඔක්කොම පැත්තකින් තියල කෙල්ල මෙතන ටැප් එක අරින්නද හදන්නෙ..

ඔව්.. රමිත ඔව්.. ඔයා මට වද දීලා.. නොමර මරනවා..

මොනවද රිස්මියා ඔයා මේ කියවන්නෙ.. මං කවදද ඔයාට වද දුන්නෙ..?

හැමදාම.. හැමදාම.. අපි හම්බවෙච්ච හැමදාම.. ඇත්තටම රමිත.. මට හරි තීරණයක් දෙන්න.. මට.. මට මේක තවත් දිගට ගෙනියන්න බෑ..

මොකක්ද රමියා.. මේකි කියපු ඒ අසමජ්ජාතී කතාව. මං මේචචර දවසක් හිතන් හිටියෙ සිංහල කෙල්ලොන්ට වැඩිය මුස්ලිම් කෙල්ලො ලක්ෂ වාරයක් හොඳයි කියල. දැන් බලපුවාම උනුත් ඒ අච්චුවෙම තමයි.. කිසිදු වෙනසක් නෑ..

තීරණයක් කියන්නෙ මොකක්ද රිස්මි..?

ඔයා මාව බඳිනවද නැද්ද කියල..

මෙච්චර වෙලා මං අල්ලගෙන ඉදපු රිස්මියාගේ අත මට ඉබේම අතෑරුණා. මොන කොඩිවිනයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නෙ. මං දෙයියො බුදුන් සිහිකර ගත්තා.

බඳිනවද නැද්ද කියලා..?

ඔව්..

ඒක කොහොමද මං කියන්නෙ..? අනික අපිට තව කොච්චර කල් තියෙද..?

කොච්චර කල් හිටියත් ඔයා මාව බඳිනව නම් බඳින්න වෙනවනේ.. එහෙම නැත්නම් නෑ.. අඩුගානෙ මට ඒ දේවත් කියන්න.. ඔයා ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉඳලා අන්තිමට මට මගේ කියල කිසිම කෙනෙක් නැතිවෙයි.. හග්.. හග්..

මං ඔයාගෙ ජීවිතේ නැති කරන්නෙ නෑ.. මං මිනිස්සුන්ට ජීවිතේ දෙනව මිසක.. ජීවිතේ අරගන්නෙ නෑ.. ඔයා ඒක හොඳටම දන්නවා..

ඒ වෙන අයට.. මට නෙමෙයි..තවත් මෙහෙම ගියොත් මට අපේ පැත්තෙ කවුරුවත්ම නැතිවෙයි..

රිස්මියා කොයි තරම් හොඳ වුණත් මනුස්සකමට පණ ඇරල හිටියත් එයාගෙ ඒකතාවට මට තද වුණා.

ඔයාට ගෙදර අය නැති වෙනව නම් ඒ අයට ඕන විදියට ඔයා ඉන්න.. මේක මගේ නිදහස් ජීවතේ.. මං මගේ රටාවකට ගමනක් යන මිනිහෙක්.. ඒත් මං තාම බඳිනව වගේ මහා පරිමාණ තීරණයක් ගන්න මට්ටමක නෑ.. ඒකට තව කල් තියෙනවා..

ආ.. ඇයි.. ඇයි.. රමිත ඔයා ඔය විදියට කතා කරන්නෙ..? මං කොයි තරම් කාලයක් ඔයා වෙන්වෙන් බලන් හිටියද..? ඇයි දැන් ඔයා මට මෙහෙම කතා කරන්නෙ..? ඔයා හදන්නෙ මගේ පපුව පලන්නද..? හග්.. හග්..

රිස්මියාගෙ ඇස් පුරවල කඳුළු මතුවුණා. තව ටිකකින් පීල්ලකින් වතුර වැක්කෙරනව වගේ හෝ ගාලා කම්මුල දිගේ ඕවා පල්ලෙහාට බහියි. බලන් ගියහම ගෑනු ආත්ම හැම එකක්ම එක වගේ තමයි. අපි තමයි පාට පාඩ කණ්නාඩි දාලා උං දිහා බලල සංසාරෙ පුරාවට ඇදගෙන නාන්නෙ.

මෙතන ටැප් එක අරින්න හදන්නෙපා රිස්මි.. ඔයා කොයි තරම් කාලයක් බලන් හිටියද කියන එකෙන් අදහස්කරන්නෙ වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන්න තිබ්බ චාන්ස් එක මිස් කරගත්තා කියනෙකද..?

සවුත්තු කතා කියන්නෙපා සමිත..

සවුත්තු නෑ.. මං කිව්වෙ ඇත්ත.. හැබැයි දැන් උනත් ඔයා ප්‍රමාද නෑ..

රිස්මියා කොඩිවිනයක් වෙන්න කලින් මෙතනින් ගැළවෙන්න මං හිතාගත්තා. අවුල් සහගත වෙන දේවල් පස්සෙ හෙමීට බැලන්ස් කරගන්න පුලුවන් වෙයි. නැත්නත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරපු ප්‍රහාරයට වැඩිය ප්‍රහාරයක් තමයි මට එල්ල වෙන්නෙ.

මගේ ප්‍රමාදෙ ගැන මට ප්‍රශ්නයක් නෑ රමිත.. අහම්බෙන් හරි ඔයාව හම්බවුණ මේ වෙලාවෙ මට හරි උත්තරයක් දෙන්න.. මං ඔයාගෙන් ඉල්ලන එකම දේ එච්චරයි..

මේක යකෝ අලි වනයක් උනානේ.. කොයි තරම් අසාධාරණ, අසමජ්ජාතී කතාද මෙව්වා.. කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි කොයි තරම් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්ද මේ බරපතල කතන්දර වලට යන්නැතුව. මේවා මේ හතර කේන්දරේ පාලු ඈයො කරන කතා බහ වගේනේ.

මට කියන්න දෙයක් නෑ රිස්මි..

මේ කෙල්ලො කියන ජාතිය නම්, ලෝකෙ තියෙන ලොකුම කලුගලේ ගහලවත් හදන්න පුලුවන් ජාතියක් නම් නෙමෙයි. කොයි වෙලාවෙත් හදන්නෙ, ආදරේ බිම දාගෙන වළඳන්නමයි.

එහෙම බෑ රමිත.. මට උත්තරයක් ඕන.. නැත්නම් මට හැමදාටම පසුතැවෙන්න වෙයි..

මට උත්තරයක් දෙන්න බෑ රිස්මි.. ඔයා කැමති තීරණයක් ගන්න..

ඔ.. ඔයාට මං මෙච්චර වෙලා කිව්වෙ නෑ.. මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනල්ලා.. අපේ රිලේෂන්ස්ල කට්ටියක්..

හොඳයි.. හොඳයි.. එහනෙම් ඒ තම්බපු බිත්තරෙත් එහෙමද..? බලන් ගියාම ඔයා මොන තරම් චපලද කෙල්ලෙ.. බඩේ බිජු තියාගෙනනෙ ඔයා මෙච්චර වෙලා ධර්ම දූත පාට් ඇට් කරල තියෙන්නෙ.. මේ රමියත් කරටිය මුලින් අහුවුනා. මං හිත තද කරගත්තා.

ඔයාට හොඳයි කියල හිතෙන දෙයක් ඔයා කරන්න රිස්මි.. මගේ තරහක් නෑ..

එ.. එතකොට දෙයියනේ.. අපේ ආදරේ..?

ඒක ඔය කොහේ හරි තියෙයි..

රිස්මියාගෙ දුඹුරු ඇස් වලට ආයෙත් කඳුළු පිරීගෙන ආවා. මේ කතාව තවදුරටත් විකාශනේ කරන්න මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ. කිසිම වෙළඳ දැන්වීමක් නැතුව මේක නිකම්ම ගලාගෙන යනකොට බලන එවුන් පවා කම්මුලේ අත තියා ගන්නවා. ඒක හින්දම ඉසුරු එන්න කලින් මේ කතාවෙ චැප්ටර් එක ක්ලෝස් කරන්න මං හිතාගත්තා. ඒත් මට කලින් රිස්මියා කතා කරා.

ම.. මට ඔයාව කවදාවත් අමතක කරන්න බෑ රමිත..

මටත් එහෙමමයි..

ඔයා ඔය බොරු කියන්නෙ.. ඔයා මාව ලේසියෙන්ම අමතක කරල දායි.. කමක් නෑ රමිත.. කමක් නෑ.. ඔයා වටේ ඉන්න අනිත් ගෑණු ළමයි එක්ක බලනකොට මගේ කිසිම වටිනාකමක් නැතුව ඇති.. මගේ කිසිම ලස්සනක් නැතුව ඇති..

ඔයා අද හුඟක් කතා කරනවා..

ඔව් රමිත.. ඔව්.. ඒ අද අන්තිම දවස හන්ද.. මං තීරණයක් ගන්නවා.. ඒක අපි දෙන්නටම හොඳ වෙයි.. මං හින්ද ඔයාගෙ නිදහස් ජීවිතේට බාධාවක් කරගන්න ඒන නෑනෙ..

ඔයා ගන්න ඕනම තීරණයකට මං සුභ පතනවා රිස්මි..

ඔයාට එච්චරද රමිත කියන්න තියෙන්නෙ..?

ඔව්..

එ.. එතකොට මං මෙච්චර දවසක් දුවල තියෙන්නෙ මිරිඟුවක් පස්සෙද දෙයියනේ.. හ්..ග්..ග්..

පීල්ලකින් වතුර වැක්කෙරෙනව වගේ රිස්මියාගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙද්දි මං බිම බලාගත්තා. ඇත්තටම මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මං කවදාවත් ඔයාව අමතක කරන්නෑ රත්තං.. මං ඔයාව බඳිනව කියලා බොරු පොරොන්දු රිස්මියාව සනසන්න මට හිතුණෙ නෑ. මගේ ජීවන සහකාරිය රිස්මියා නෙමෙයි කියල මගෙ හිත දැනන් හිටියා.

ඔයා මට මෙහෙම කරයි කියල මං කවදාවත් හිතුවෙ නෑ රමිත.. කමක් නෑ.. ඔයා මට පිටුපෑවට මට ඔයාව කවදාවත් අමතක වෙන්නෑ.. මං ඔයාව අමතක කරන්නෙත් නෑ.. හග්.. හග්.. හග්..

රිස්මියා වැලහින්නක් වගෙ අඬාගෙනම දුවගෙන ගියා. කෙල්ලොන්ට වගේ ලෝකෙමට පේන්න අපිටත් පැලෙන්න අඬන්න පුලුවන් නම් කොයි තරම් හොඳයිද..? ඒත් කොල්ලේක එළිපිට ඇඬුවොත් එතන පෞරෂය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න වෙනව. ඒක හින්ද හැමෝටම හොරෙන් තමයි අඩන්න වෙන්නෙ. මොනව උනත් තමන්ගෙ දුකකදි අඬපු නැති කොල්ලෙක් මේ ලෝකෙ ඉන්නව ඇති කියල මම නම් හිතන්නෑ.. වැරදිලාවත් එහෙම එකෙක් හරි හිටියොත් ඌට මොකක් හරි නුහුගුණයක් කියලයි මට නම් හිතෙන්නෙ. රිස්මියා ඈත්වෙද්දිම ඉසුරු කලබලයෙන් වගේ මගේ ළඟට දුවගෙන ආවා.

අර.. තම්බි කෙල්ල නේද ඇවිත් ගියේ..?

ඔව්..

මොකද ඒකි පස්ස පැත්තට පැට්‍රෝල් වක්කරපු බල්ල වගේ පණ එපා කියල දුවන්නෙ..?

ඉසුරුවාගෙත් තියෙන්නෙ මහා අමන උපහැරණ තමයි. මුස්ලිම් කුල කාන්තාවක් දුක වැඩිවෙලා ඔරේ රන් තියද්දි ඔයිට වැඩිය ලස්සන දෙයක් කියන්න තිබ්බෙම නැද්ද මංදා.

ආදරේ උහුලගන්න බැරිව..

ඒකත් එහෙමද..?

එහෙම තමයි.. කෝ සමීරයා..?

රිස්මියාගෙ විලාපය මෙතන දිග අරිනවට වැඩිය මට ඕන උනේ අර හෝ හපුටට මොකද උනේ කියල දැනගන්න.

හිතපු නැති දෙයක් උනෙ රමියා..

ඇයි..?

මට ඌව මිස් උනා..

මොකක්..? උම කියන්නෙ නම් කොහොමද..? කොරියාවෙ හැම වැලි ඇටයක්ම දන්නව කියලා.. ඒත් දැන් කියනව උඹේ ඇස් වහල ඌ මාරු උනාලු..

ඒක තමයි රමියා මේ කියන්න යන්නෙ.. මටත් මාර පුදුමයි වෙච්ච වැඩේට.. සමීර කොරියාවට බැස්ස විදියට නම් ඌ මටත් වැඩිය කොරියාවට එක්ස්පර්ට් කියල මට හිතුණා.

ඒක නම් කීයටවත් වෙන්න බෑ හත්තිලව්වෙ.. ගඩා ගෙඩි කාලා කැලේ හැදිච්ච, පාට දහ අටේ ඕස්ට්‍රේලියන් ගිරවා තමන්ය කියල හිතන් ඉන්න සමීරයට ඔය වගේ කලර්ස් පාරක් දාන්න තරමෙ ගටක් ආවෙ කොහෙන්ද කියල මට හිතාගන්න බැරි උනේ.

උඹව දැකල අයියකාරයා අර කොරියාව මැද්දෙන් පැනල බහින පත කුණු කානුවෙ බැස්සද දන්නෙත් නෑ..

පිස්සු කියවන්නැතුව ඉඳපං රමියා.. ඌ අපි හිතනවට වඩා ගුරුකාස් ගේමක් දෙනවා.. ඒක තමයි තිත්ත ඇත්ත..

ඉසුරු කිව්වත් නැතත් අයියකාරයා ඉබාගාතෙ වගේ කොරියාවට පා තියද්දි මටත් ඒක  හිතුණා. කමක් නෑ.. හැමදේම එක හීනෙන්ම එළි වෙන්නෑ කියනවනේ.. හීන දෙක තුනක් හරි නිදිමතේම බලලා අපි හරි උත්තරේ හොයාගමුකො.


ඉමාෂිව හම්බවෙලා කතා කරන්න ඕනකමක් තිබ්බත් මං ඉසුරුට කියල අපේ ගෙදර ළඟටම දාගත්තා. මට ඕන වුණේ අයියකාරයා බැහැප වල කොයිතරම් දිගද පළලද කියල දැනගන්න. අනික ඉසුරු ඉස්සරහදි ඉමාෂිත් එක්ක කතා කරන්න මගේ හිතේ ඒ තරම් කැමැත්තක් තිබ්බෙ නෑ. ඉසුරු ළඟදි ඉමාෂි කොහොමටත් විවෘත වෙන්නෙ නෑ කියල මං දැනගෙන හිටියා. ඒ නිසාම ඉමාෂිගෙ කතන්දරේ හිතේ කොනකට දාලා මං ගෙට එබුණා. අයියකාරයට තාමත් එන්න වෙලාව මදි කියන්න මං දැනගෙන හිටියා.

පොඩි පුතා.. උදේට කාලත් නෙමෙයි නේද ගියේ..? දැන් බලන්න වෙලාව කීයද කියලා..

අම්මගෙ ගෝරනාඩුව ඇහෙද්දි තමයි මට මතක් වුණේ හුටා මං තාම උදේට කෑවෙ නෑ නේද කියල.

වැඩ වගයකට හිර වුණා අම්මා..

වැඩ තමයි.. මං හොයාගන්නම්කො කොයි වෙලාවෙ හරි.. ඔය තරමට තියෙන වැඩ මොනවද කියල..

අම්ම කවදාවත් නැති විදියට මාත් එක්ක ඔරොප්පු වෙන්නද මංද හදන්නෙ.. ගෙට එබුණු වෙලාවෙ ඉඳල නුහුරටමයි කතාව. එහෙම බැලුවොත් ඉතිං මේ වෙලාවෙ සමීරයත් නෑනෙ.. හරි නම් මිනිහටත් බනින්න ඕනනෙ.

අම්මට ඉතිං මාව විශ්වාස නෑනෙ..

ඔය මිනිහ කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෙපා අම්මා.. ඕවා පට්ට බොරු..

මං උඩ ගිහින් බිම වැටුණා. මෙන්න යකෝ අයියකාරයා ගේ ඇතුළෙ.. මේකා කොහොමද මේ තරම් ඉක්මනට ආවෙ.. මට මුකුත්ම හිතාගන්න බැරිවුණා. ඇයි හත්තිලව්වෙ.. අර වෙලාවෙ මං දැක්කෙ මේකා කොරියාව පැත්තට යනව විතරනේ..

ලොකු පුතා ඔයා කටවහන්න..

ඇයි අම්මා මට කට වහන්න කියන්නෙ.. මේ මිනිහා හින්ද දවස අපි හැමෝම අමාරුවෙ වැටෙනව කියලා අම්මට ඩිංගක්වත් හිතෙන්නැද්ද..?

අයියකාරයා වීර මද්දුම බණ්ඩාරටත් වැඩිය වීරකමකින් කතා කරන්න පටන් ගත්තා. බලපල්ලකො බං මූ මුදුනා වෙච්ච හැටි.

සමීර මේ..? තමුසෙ ඔය මගෙන් නැව් ගානට කන්නයි හදන්නෙ.. මගේ අයිය වෙලා ඉපදුනා නම් ඩිංගක් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.. නැත්නම් අම්මගෙන් බීපු කිරි අවුරුදු තිහකට පස්සෙ මතක් වෙන්න අනිනව තේරුණාද..? නාහෙන් කටින් පැණි වගේ ගලන්න..

ඔලුව පුරාම එකක් කරකැවෙද්දි මං අයියකාරයගෙන් ගේම ඉල්ලුවා. මූ විකාරයෙන් වගේ අම්ම ඉස්සරහ තව මොනව කියයිද දන්නෑ.

ත.. ත.. තමුසෙ මගේ මල්ලි කියල කියන්නත් මට ලැජ්ජයි.. ෂ්හ්.. මොන කරුමෙකට මං තමුසෙල එක්ක එකට ජීවත් වෙන්න ඉපදුනාද මන්දා..

ලොකු පුතා.. ඔය කතාව නවත්තනවද නැද්ද..? ඔයා කියනව ඒවා හොඳටම වැඩියි..

අම්මා කණ පුරෝල කම්මුල් පාරක් දෙනව වගේ හෙණ සද්දෙට එහෙම කියල අපි ගාවින් යන්න ගියා. මං අයියකාරයා දිහා බැලුවා මිනිහගෙ මූන හොඳටම හතරැස් වෙලා. පව් අප්පා. මේ යකා නිතරම ඇදගෙන නාන්වා. ඒත් මට හිතාගන්න බැරි වුණ එකම දේ වුනේ අයියකාරයා කොහොමද මේ තරම් ඉක්මනට ගෙදර ආවෙ කියලා. මිනිහට ඒ වගේ සුපර් මෑන් කරන ජාතියෙ වැඩක් කරන්න නම් මැරිලා ඉපදෙන්න ඕන ආයෙමත්. ඒ ඉපදෙනකොට මිනිහගෙ මේ හැම බඩකඩිත්තුවටම හොම්බ දාන ගතිය නැතිවෙලා තියෙන්න ඕන.

තමුසෙ කරන වැඩ මං දන්නෑ කියල හිතුවද..?

අම්මා පේන්නැතිවෙලා යනකම් ඉඳලා මේකා ආයෙත් රණ්ඩුවටමයි කතාව. අනේ ඇත්තටම මූ වගේ කටු අනෝදා ගෙඩියක්. නිතරම බෙරි වෙන්නයි, ඇමිනෙන්නයි හදන්නෙ.

තමුසෙ දැනගත්තත් මං ඒක ප්‍රශ්නයක් කරගන්නෑ.. තමුසෙ වගේ දෙකේ පංතියෙ එකෙක්ගෙ දැනීම ගැන මං කණගාටු වෙනවා..

කොරියාව පැත්තෙ කරක් ගැහුවෙ උඹට මොන සුහද ගින්දර දැනලද කියල අහන්න මගේ කට උඩටම ආවත් මගේ කට හඬේ ආවේගය මමම පාලනය කරගත්තා. මුගෙයි කොරියාවයි අතරෙ තියෙන සහ සම්බන්ධය අතටම අල්ලගෙන තමයි මේ රමියා පස්ස බලන්නෙ. ඊට පස්සෙ බැරියෑ මූට බඩ යනකල් හතර වටේටම නෙලන්න.


හවස් වෙනකල්ම වගේ අයියකාරයා එළියට ආවෙ නෑ. ඒකත් හොඳයි. නැත්තං එහෙම දවසේ ඉතුරු ටිකත් මුස්පේන්තු වෙනව.

රමී.. මං උඹලගෙ ගෙදෙට්ට හැරෙන නැත පාර ළඟ ඉන්නෙ..

රෑ දහයාමාර විතර වගේ වෙද්දි මගේ මොබයිල් එකට ඉසුරුගෙන් කෝල් එකක් ආවා. ගෙදර කාටවත් නොදැනෙන්න මං ගෙදරිනුත් එලියට බැස්සා. මේවා කාවවත් දැනුවත් කරල යන්න පුළුවන් ගමන් නෙමෙයි. ලෝකෙටම හොරෙන් යනව මිසක.

කොහෙද බඩු ටික තියෙන්නෙ..?

ජර්කින් එකේ ෂිපර් එක බෙල්ල ගාවටම ඇදල ගන්න ගමන් මං ඉසුරු දිහා බැලුවා.

මේ ළඟ තියෙන්නෙ.. කපපු තැන ඉඳලා ගඟ දිගේ මෙතෙන්ට මිනිස්සු දම්මල අද්දවලයි තියෙන්නෙ. මෙතන ඉඳල ආයුර්වේද කාරයගෙ ගෙදර ළඟට යන එකයි අවුලකට තියෙන්නෙ..

රෑ එකොළහ වගේ වෙද්දි මං ඉසුරුගෙන් කාර් එක ඉල්ල ගත්තා. ඉසුරු ලී ලෝඩ් එක පටවපු ලොරියෙ නැග්ගා.

රමියා.. ලේක්විව් රෝඩ් එක මගෑරල යමු..

නෑ.. ලේක්විව් රෝඩ් එක ගාවින් කොරියාව පැත්තට හරවල එතනින් යන තැනකට දාගහමු..

මගේ කතාවට විරුද්ධ වෙලා ඉසුරු කීයටවත් කතා කරන්නෙ නෑ. ඌ මේ වෙලාවෙ ගමනාගමනය පිළිබඳ මහාචාර්ය පට්ටම තනිකරම මගේ කර උඩින් තියලයි තියෙන්නෙ.

ලී ලොරියයි මගෙයි අතරෙ පරතරය ටවුන් එක කිට්ටුවට එද්දි මං ටිකක් වැඩි කරගත්තා. වෙනදට නයිට් පෙට්‍රෝල් යන ට්‍රැෆික් සාජන්ල ටවුමෙ කරක් ගහනවද කියල බලාගන්නයි මට ඕනෑ වුණේ. ඒත් පේනතෙක් මානෙක අවුල් සහගත කිසිම දෙයක් මං දැක්කෙ නෑ. ඒක මගේ හිතට ගෙනාවෙ ලොකුම ප්‍රමාණයේ සැකයක්. පොලීසිය පාස් කරල හෙමින් සීරුවෙ ඉස්සරහට අද්දද්දි තමයි මං දැක්කෙ, නිවාඩු නිකේතන පාරට හැරෙන තැන ඉන්න ට්‍රැෆික් සාජන්ල හතර දෙනා. මං පටාස් ගාලා ඉසුරුට කෝල් එකක් ගත්තා.

ප්‍රශ්නයක්ද රමියා..

ඔව්.. මෙතන ඉස්සරහ හතර දෙනෙක් ඉන්නවා.. උඹ ඔය ඉන්න තැනම අයින් කරල නවත්තගෙන ලයිට් ඕෆ් කරගනිං.. මං කියනකන් එන්නෙපා..

අද නයිට් පෙට්‍රෝල් කවුරුවත් නෑ කියලනේ බුලතා කිව්වෙ..

උගේ ආච්චිගෙ රෙද්ද.. උඹ එනව කියල දැනගෙන ඌ ගානට ලෙඩේ අටවන්නයි සෙට් වෙලා තියෙන්නෙ..

ම.. මට ඌව මරතැහැකි රමියා..

ඔන්න ඉතිං.. උඹේ අර්ශස් අමාරුවට නම් බෙහෙත් නෑ.. ඩිංගක් ඉවසල හිටපං.. මං මොනා හරි කරන්නං..

මොන හොර පාර දිගේ හොරෙන් ආවත් ලී ලෝඩ් එකත් අරගෙන අනිවාර්යනේම මෙතනින් යන්න වෙනව කියනෙක ඉසුරුයි මමයි දෙන්නම දැනගෙන හිටියා. ඒක අපි වගේම නීතිය, සාමය සුරකින පොලීසියෙ බාප්පලත් දැනගෙන හිටියා. ඒකනේ මේ පට්ට රෑ මෙලෝ වැඩක් නැතුව වගේ මෙතෙන්ට වෙලා මදුරුවො තලන්නෙ. මං කාර් එක හෙමීට ඉස්සරහට ගත්තා. මට ඕන උනේ මෙතන රැකගෙන ඉන්න, පොලීසියෙ මහත්වරු කවුද කියල දැනගන්න. තවත් පරක්කු වුණොත් වැඩේ ගොඩදාගන්න බැරිවෙන තරමට අවුල් වෙනව කියල මං දැනගෙන හිටියා. ඉසුරු උනත් මේ වෙලාවෙ මොලේ කල්පනා කරල වැඩ කරන්නෑ. ඌ ඕන නම් ලී ලෝඩ් එක පොලීසිය ඉස්සරහින්ම නවත්තල බුලතට හොදවයින් කනේ පාරක්දෙයි, හිතේ කේන්තිය යන්න. ඒත් ඉතිං එතනින් ඊට පස්සෙ වෙන දේවල් ගැන කවුද වග කියන්නෙ.. ඉසුරුවගෙ කොට බිස්නස් එකට සම්පූර්ණයෙන්ම ෆ්ල්ස්ටොප් තමයි.

රමියා.. තවත් පරක්කු වෙන්න බෑ.. අපි දැන් බාගයක්ම ඇවිල්ලයි ඉන්නෙ..

වෙලාව හෝ ගාලා ගෙවිල යන හන්දද කොහෙද ඉසුරු ආයෙත් මට කතා කරා.

ඉතිං..?

පොලීසියෙ බාප්පල මේ පැත්තට ආවොත් අතේ මාට්ටු.. මොනා හරි කරපං..

මුං මෙතනින් යන පාටක් නෑ.. ඉසුරු.. තව ඩිංගක් ඉවසල බලපං.. මං උඹව කොහොම හරි මෙතනින් ගන්නවා..

ඔය යක්කු ඉද්දි ඔතනින් යන්න හදන්නෙ උඹේ ඔලුව නරක් වෙලාද රමියා..?

උඹ කට වහන් ඉදපංකො.. මට තව විනාඩි දහයක් දියන්..

ෆෝන් එක කට් කරල මං කාර් එක ඉස්සරහට ගත්තා. ට්‍රැෆික් බ්‍රාන්ච් එකේ හතර දෙනෙක් සෑහෙන්න ආතල් එකේ පාර අයිනෙ බයික් දෙකක් තියාගෙන වටපිට බල බල හිටියෙ වාහන චෙක් කරන්නවත් බීල යන එවුන් අල්ලන්නවත් නෙමෙයි කියන්න මට හොඳටම තේරුණා. මං මුලින් හිතුව වගේම මේ රැකගෙන ඉන්නෙ ඉසුරුගෙ ලී ලෝඩ් එකට වැඩේ දෙන්න. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් තිබුණෙ නෑ. හැබැයි පුතෝ මේක අහුවුණොත් නම් ඉසුරුට පට්ට පාඩුවක් තමයි වෙන්නෙ. ඒක දෙකක් නැතුව ලක්ෂ පහත් පන්නනවා.

පාර අයිනෙ රැකගෙන හිටපු ට්‍රැෆික් මහත්තරු පාස් කරන් යද්දි, කාර් එක දිහා සෑහෙන උවමනාවකින් එයාල බැලුවත් අතදාලා නැවැත්තුවෙ නම් නෑ. මේක ඉසුරුගෙ කාර් එක කියන්න මේ පලාතෙ පුංචි වැලි කැටයක් පවා දන්නවා. එහෙම එකේ පොලීසියෙ බාප්පලා නොදැන ඉන්න විදියක් නෑනෙ. අනික දැන් කට්ටියට බුදු ෆිට් ඇති. කාර් එක ගියා නම් පිටිපස්සෙ ලී ලොරිය මං ගච්චනවා ඇති කියලා. ඔහොම බලන් ඉඳපල්ලකො. උඹලට වෙන දේ උඩ ඉන්න දොයියොවත් දන්නෙ නෑ. මං දෙන්නම් උඹලට ආතල් ලී ලෝඩ් එකක්.

කාර් එක නිවාඩු නිකේතන පාරත් පහුකරගෙන ලේක් වීව් රෝඩ් එක පේන හරියට අරන් ඇවිත් මං නතර කරා. ඊටප ස්සෙ කාර් එකෙන් බැහැල ළඟම තිබ්බ කොයින්ස් බොක්ස් එක ළඟට ගියා. මං පහේ කාසි හතරක් දාලා ඩයල් කෙරුවෙ එස්.එස්.පී ගෙ මොබයිල් නම්බර් එකට. මගේ වමේග ඉසුරුගෙත් වෙලාව හොඳයි. එහා පැත්තෙන් ආන්සර් කෙරුවෙ එස්.එස්.පී..

හලෝ.. එස්.එස්.පී මංචනායක හියර්..

සර්.. මං මේ ටවුමෙන් කතා කරන්නෙ..

ඔව්.. මොකක්ද ප්‍රශ්නෙ..?

සර්.. ට‍්‍රැෆික් එකේ සාජන් මහත්තරු හතරදෙනෙක් පාරෙ වාහන චෙක් කරනවා..

ඔව්.. ඒක ඉතිං එයාලගෙ රාජකාරියනේ.. එහෙම නොකළොත්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ..

රාජකාරිය විත්තිය ඇත්ත සර්.. ඒත් එයාලා හොඳටම ඩ්‍රින්ක් එක දාලා ඉන්නෙ.. කෙලින් ඉන්නත් බෑ..

මොකක්..?

ඔව් සර්.. මිනිස්සුන්ටත් මල වදයක් වෙලා.. පොලීසියෙ නම තමයි මේකෙන් සවුත්තු වෙන්නෙ..

කවුද මේ කතා කරන්නෙ..?

මං කවුද කියනෙක මෙතෙන්ට අදාල වෙන්නෑ සර්.. මං දැකපු දේ කිව්වා.. කතාව එච්චරයි..

ඒකත් එහෙමද..? ම්.. කවුද එතන හිටපු මහත්වරු..?

එස්.එස්.පී ලොක්කා හදන්නෙ පොලීසියට කෝල් එකක් දීලා වැඩේ ඇත්තද කියල බලන්නයි. ඒක හන්ද මං අයි.පී. බුලත්සිංහලගෙයි ටවුමෙ හිටපු තව ට්‍රැෆික් සාජන් දෙන්නෙකුගෙයි නම් කිව්වා. දැන් කාලා වරෙන්කො.

සර් හොඳම වැඩේ තමයි.. ඒගොල්ලො බීලා ඉඳගෙන පාරෙ යන අයට බැලුම් පුම්බන්න දෙන්න හදනවා..

මං පුම්බන්නම්කො හොඳ බැලුමක්..

එස්.එස්.පී. ට යකා නැග්ගා කියල මට තේරුණා. ඔය තියෙන්නෙ. මේ රමියා වැඩක් කරොත් ඉතිං ආයෙ හෝදන්න දෙයක් නෑ. පෙට්ටියෙන් එකයි. දැන් බුලතට වෙන්නෙ පිටිපස්සට බුලත් කොළයක් තියාගන්න. කෝල් එකෙන් පස්සෙ කාර් එක හරවගෙන මං ආයෙත් ඉස්සරහට ගත්තා. ඔන් වෙච්ච හෙඩ් ලයිට් දෙක කෙලින්ම යොමුවෙලා තිබ්බෙ ලේක්විව් රෝඩ් එකෙන් පල්ලෙහා පාරෙ කොරියාව පැත්තට. කොරියාවෙ ඉඳලා අඳුරු රූපයක් එකපාරටම මේන් රෝඩ් එකට එනව මං අහම්බෙන් වගේ දැක්කා. ඒත් මං ඒක ඒ තරම් ගනන් ගත්තෙ නැත්තෙ පට්ට රෑවෙලා. අඩිය ගහල පොලීසියෙන් කම්මුල් පාරකුත් කාලා කොරියාවට ඇවිදගෙන යන මුස්පේන්තුවො කීප දෙනෙක්ම ටවුන් එකේ හිටපු හින්දා. ඒත් යූ ටර්න් එකට කාර් එක හරවද්දි හෙඩ් ලයිට් දෙක පැත්තෙන් පැත්තට පාර අයිනෙ දිගටම වදිද්දි දැක්ක දෙයින් මං ගල් ගැහුණා.

දෙයියනේ... මේ අයියකාරයා නේද..?

මගේ ඔලුවට ආවෙ මහා බරක්. අයියකාරයත් එක්ක මරාගත්තා උනාට මේ වගේ රෑක කට්ට තනියම මිනිහා කොරියාව පැත්තෙ ඉඳල එන එක ගැන මට ලොකු බයක් දැනුණා. ඒ කියන්නෙ මේකගෙ මොකක් හරි සම්බන්ධයක් අනිවා කොරියාව එක්ක තියෙනවමයි. ඒ ගැන ආයෙ තව බලන්න හිතන්න දෙයක් නෑ.. ඕන දෙයක් වෙන්න අයියකාරයා පිටිපස්සෙ පන්නනවා කියල හිතාගෙන මං කාර් එක නතර කරද්දි මගේ මොබයිල් එක රින්ග් උනා.

රමියා.. මොකුත් ප්‍රශ්නයක්ද..?

එහා පැත්තෙන් ඇහුණෙ ඉසුරුගෙ කටහඩ. දැන් ඉතිං දෙකෙන් එකක් තෝරගන්නවා.

මුකුත් නෑ.. ඔහොම ඉඳපං.. මං ඔතෙන්ට එනවා..

අයියකාරයට නටන්න තව චාන්ස් එකක් දෙනව කියලා හිතාගෙන මං ට්‍රැෆික් සාජන්ල හිටපු දිහාට කාර් එක අරන් ආවා. එක හීනෙන්ම එළිවෙන්නෙ නෑනෙ. ටයිම් එකක් තිබුණොත් උඹේ පස්සෙන් අද එළිවෙනකන් හරි මං පන්නන්නම්කො. අයි.පී බුලතයා හිටපු තැනට මං එනකොට එතන මැස්සෙක්වත් නෑ. ෂුවර් එකටම එස්.එස්.පී ලොක්කා මේ මහත්වරු හතර දෙනාටම පොලීසියට වාර්ථා කරන්න කියන්න ඇති. ඇයි ඉතිං මං දෙන එක දුන්නනේ ඉස්මුරුත්තා වෙන්නම. තව ටිකකින් මංචනායකකාරයා බුලතගෙ එහෙම කට ඉඹල බලයි. වැරදිලාවත් කරුමෙට හරි ඌලාවට හරි හීනි අඩියක් හෙම ගහල හිටියොත් සොරිම තමයි. කරන්න දෙයක් නෑ අප්පා. ඒවා අපේ වැරදි නෙමෙයි.

ඉසුරු වරෙන්.. අවුලක් නෑ..

උං ගියාද රමියා..

ගියේ නෑ.. මං උන්ව යැව්වා.. ඉක්මනට වරෙන්.. ලෝඩ් එක පටස් ගාලා බාන්නත් ඕන..

එතන ඉඳලා ඉතුරු ටික වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. තවත් පැයක් විතර යද්දි කරන්න තියෙන හැම සෙල්ලමක්ම දාලා ස්ලලිත් අරගෙන එල්ෆ් එකත් ආරක්ෂා සහිතව පිටත් කරල දාලා මායි ඉසුරුයි ආයෙත් ටවුන් එකට ආවා. ඒ එද්දි තමයි මං ඉසුරුට පොලීසියෙ බාප්පලට දීපු ගේම ගැන කිව්වෙ.

උඹ නම් අදහන්න වටිනව රමී.. අම්මපල්ල අවුරුදු ගානක්වත් හිතල හිතල හිතට එන්නැති මාස්ටර් ප්ලෑන් එකක් උඹ විනාඩියට දෙකට ගහල දැම්මා. කියල වැඩක් නෑ.. මේ උදව්ව කෝටියක් වටිනවා..

ඉසුරු උගේ සතුට බොක්කෙන්ම ප්‍රකාශ කලා. ඌ එහෙම තමයි, හිතේ එකයි, බඩේ එකයි තියාගෙන වැලපි වැලපී ඉන්නෙ නෑ.

ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ ඉසුරු.. උඹට කියන්න තවත් වැඩක් වුණා.

මේ වෙච්ච වැඩේටයි කරපු වැඩේටයි වැඩිය තවත් වැඩේ මොකක්ද කියල අහන්න වගේ ඉසුරු මගේ මූණටම එබුණා.

මං දැන් අයියකාරයා දැක්කා..

මොකක්..?

ඔව් බං.. මිනිහා කොරියාවෙ ඉඳල දුවගෙන වගේ ඇවිත් පටාස් ගාලා වාෂ්ප වුණා. උඹේ වැඩේ තිබ්බෙ නැත්නම් මං මිනිහගෙ පස්සෙන් පන්නනවා..

ෂිහ්.. මාර අපරාදයක් රමියා.. මේකව දවාලෙත් මිස් උනානේ.. දැන් මොකද කරන්නෙ..?

ඌ ගැන වහාම හොයල බලන්න වෙනවා ඉසුරු.. මේකා රෑ දනියෙල් දවල් මිගෙල් වගේ ගේමක් හැන්ඩ්ල් කරන්නෙ.. අම්මයි.. තාත්තයි හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ලොකු පුත්තරයා තමයි මේ සිරි ලංකාවෙ සීලාචාරකමට හැදිච්ච හොඳම කොලු ගැටයා කියලා.. උම වාහනේ  හරවපං කොරියාව පැත්තට.. ඩිංගක් මූ ගැන හොයන එක ඇඟට ගුණයි..

මට කියල ඉවර කරන්න හම්බ වුණේ නෑ. ලේක් විව් රෝඩ් එක පැත්තට ඉසුරු කාර් එක හැරෙව්වා.

උඹ ඔහොම ඉඳපං.. මං ගිහින් එන්නං..

කාර් එකේ දොර ඇරලා මං බහින්න හැදුවා. ඒත් ඉසුරු මගේ දකුණු අතින් අල්ලගත්තා.

එපා රමියා..

ඇයි..?

මේ වෙලාවෙ කොරියාවට බහින්න එපා.. වෙලාව හොඳ නෑ..

හොඳ උනත් නරක උනත් කරන්න දෙයක් නෑ බං.. මේක මිස් උනොත් මිසින්ම තමයි..

ඒක ඇත්ත.. ඒ උනාට, සමීරයා... කොරියාවෙන් ගොඩට ආවනේ.. ඌ දැන් ඔරේ රන් කරනව ඇත්තෙ ගෙදර පැත්ත බලාගෙන.. අපි කොරියාව අනිත්පැත්ත ගහල හෙව්වත් උගේ එක මයිලක් හම්බවෙන්නෑ..

ඉසුරුගෙ කතාවත් ඇත්ත කියල මට හිතුණා. ඒකෙන් කියවෙන්නෙ සමීරයගෙ වෙලාව තාමත් හොඳයි කියන එක. කමක් නෑ.. ඔහොම යංකො.. දවල්ට කෑව කියන්නෙ මුලු දවසම බඩ පිරෙන්න කෑව කියනෙක නෙමෙයිනෙ. තව රෑට එහෙමත් ගෙඩිය පිටින්ම ගිලින්න තියෙනවනේ.

ඉසුරු, කාර් එක හෙමින් සීරුවෙ ඉස්සරහට ගනිද්දි මං ගෙදරට ඩිංගක් මෙහායින් බැස්සා. අයියා තාමත් ගෙදරට ඇවිල්ලද නැද්ද කියන ප්‍රශ්නෙ, වැට උඩයි මං හිටන් හිටියෙ. ආයෙ මොන හිටගෙන ඉඳිල්ලක්ද..? කෙලින්ම උගේ කාමරේට හොම්බ දානවා මිසක්.

මගේ කාමරේට ගේ ඇතුළෙන් වගේම එළියෙනුත් යන්න පුළුවන් විදියට දොරවල් දෙකක් තිබුණා. ඒ හන්ද රෑ පානෙ ගමන් බිමන් පිළිබඳ මං මහාචාර්ය උපාධියක් පවා හිමි කරගෙනයි හිටියෙ. ඒක හන්දම ගෙදරට නෝන්ඩි නොවී, සැලකිය යුතු වැඩ කොටසක් මට කරගන්න පුළුවන් වෙලා තිබුනා.

ඒත් අයියා හිටියෙ ගෙදර ඇතුළෙ කාමරේක. මිනිහා කොහේ හරි පට්ට රෑක යනව නම්, අනිවා ඉස්සරහ දොරෙන් නැත්නම්, කුස්සියේ දොරෙන් යන්න වෙලා තිබුණා. කොටින්ම කියනව නම් ගෙදර කාටවත්ම වාතෙ නොවී මිනිහා කරලියට බහිනවා කියන්නෙ ගේමක්ම තමයි.

අයියකාරයා කාලයක්ම මගේ කාමරේට අයිතිවාසිකම් ඉල්ලල හෙන ගේමක් දිදී හිටියෙ. මගේ කටේ බලේටයි අත් දෙකේ බලේටයි මිනිහා සරෙන්ඩර් වෙලා හිටියෙ. ඒත් දැන් සෑහනෙ කාලයක ඉඳලා මිනිහට ගෙදරින් එළියට පැනගන්න හෙණ උවමනාවක් තිබිලා තියෙනවා. මං හින්දා ඒක සෑහෙන දුරට බ්‍රේක් වෙලත් තියෙනවා. ඒත් දැන් පේන්න තියෙන දත්ත, තොරතුරු හතර වරිගෙම විශ්ලේෂණය කරල බලපුවම අයියා වහලෙන් හරි පැනල ගිහින් තියෙනවා. ඒකයි තිත්ත ඇත්ත.

ගෙට ඇතුල් වෙච්ච ගමන්ම මං ගියේ අයියගෙ කාමරේ ළඟට. මං හිතුව වගේම කාමරේ ඇතුලු පැත්තෙන් අගුලු දාලා තිබ්බා. දැන් ඉතිං මිනිහා කාමරේ ඇතුළෙ ඉන්නවද නැද්ද කියල බලන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. මං ආපහු ගෙයින් එළියට ඇවිත් අයියගෙ කාමරෙන් එළියට තිබ්බ ජනේල තුන ගාවට ආවා. ඒකෙන් මැද්දෙ ජනේලෙට අත තියන්නත් කලින් ඒ ජනේලෙ ඇරුනා. මොකක්ද යකෝ ඒ වෙච්ච වැඩේ. මේකා ජනේලෙ වහල නෑ නේද..

කෝකටත් කියල මං ඉබේම ඇරුන ජනේලෙන් කාමරේ ඇතුලටම එබිලා බැලුවා. යාංතමට පැතිරිලා තිබ්බ හඳ එළියෙන් මං දැක්කෙ, කාමරේ ඇතුලෙ කිසිම ජීවී වස්තුවක් නෑ කියලා.

මේ යකා ගෙදර නෑනෙ බං..

මං මටම කියාගත්තා. ඒකෙන් මේකෙන් කියවෙන්නෙ කොරියාවේ ඉඳල තියෙන්නෙ අයියම තමයි කියනෙක. තවත් ඉතිං ඒකෙ හොඳන්න දෙයක් නෑ. ඒත් ඉතිං මට තිබ්බ එකම ප්‍රශ්නෙ ජනේල තුනටම යස අගේට ග්‍රිල් ගහල තියෙද්දි මේ හාතවාරිය පැලේ කොහොම කාමරෙන් පැනගත්තද කියලා. කෝකටත් කියලා මං වතුර ටැංකිය නග්ගල තිබ්බ කොන්ක්‍රීට් බීම් එකට කලුවරේම ළං වුනා. දැන් අයිය මගේ ඇඟ උඩින් ගියත්, මිනිහට මාව පේන්නෑ.

කන ගාවින් කූං කූං ගාලා මදුරු බාප්පලා තුන් හතර දෙනෙක් කරකැවෙද්දි මං උංව පරලෝසැපත් කරන්නයි හැදුවෙ. ඒ එක්කම තමයි යාංතමට වේලිච්ච කොලයක් දෙකක් පෑගෙන සද්දයක් මට ඇහුණෙ. මමත් මගේ ළඟ තිබ්බ කොන්ක්‍රීට් බීම් එක වගේම ගල් තත්වෙට පත්වුණා. උඹලට කියන්න, මේ වගේ අවදානම්කාරී අවස්ථාවක හරි නම් හුස්ම ගන්නවත් හොඳ නෑ.

මං හිතුව වගේම, ජනේලෙ ගාවට හොර පූසෙක් වගේ හෙමින් සීරුවෙ ආවෙ, මගේ එක කුස උපන් සහෝදර රත්නය. සමීර නොහොත් මගේ වචන වලින් කියනව නම් අයියකාරයා. මිනිහව දැක්කම මට පුදුමත් හිතුණා. මිනිහගෙ තිබ්බ අධික්‍රියාශීලී බව දැකලා. මේකා ගෙදර ඉන්නෙ නම් පාන්පිටි තොග ගානෙ ගිලපු පුස් ඌරා වගේ. දැන් බලපල්ලකො මුගේ තියෙන කලර්ස්. පොළවටවත් දැනෙන්නෙ නැති වෙන්නයි ඇවිදින්නෙ. වටපිට බල බල පට්ට හොර ගෙඩියෙක් වගේ ජනේලෙ ළඟටම ආපු අයියා හති ඇරියා. දැන් බලමුකො මේකා කොහොමද කාමරේ ඇතුළට රිංගන්නෙ කියලා. මොකෝ මූ ග්‍රීල් එක කඩාගෙන ඇතුළට යන්නද..? බලන් ඉන්නකොට මේකත් මරු අප්පා.. තමන්ගෙ ගෙදරට හොරෙක් වගේ බඩගාගෙන ඇවිත් වටපිට බල බල ගන්න ආතල් එක.

තත්පර ගාණක් නිවාඩු පාඩවෙ ගෙවිල යන්න දීලා අයියා එයාගෙ කලිසම් සාක්කුවෙන් එළියට ගත්තු දේ දැකල මගේ හුස්මත් එක්ක හිර උනා වගේ. ඒක ටිකක් දිග ඉස්කුරුප්පු නියනක්. මේකා ඒපාර මොකක්ද හත්තිලව්වෙ කරන්න හදන්නෙ. මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. ඉස්කුරුප්පු නියනක් මොකටද, මේ පිස්සට කාමරේ ඇතුළට යන්න. මං ඇරලා ඉවරවෙලා ආයෙත් වහල වගේ තිබ්බ ජනේලය අයියා හෙමින් සීරුවෙ ඇරලා ජනේලෙට අල්ලල තිබ්බ ග්‍රීල් එකට ඉස්කුරුප්පු නියන තියල තද කරා. ඔන්න එතකොට තමයි මට උපරිමේටම වැඩේ තේරුණේ. බලන් ගියාම මේ වගේ එකෙක් ලොවෙත් නෑ. ඇත්තටම මගේ හිතේ අයියා ගැන ඇඳලා තිබ්බ කුනු කන්දල් හෙණ තොගයක් දියවෙලා ගිහින් මාරම ගතියක් හිත උඩට ගලාගෙන ආවා. තමුන්නාන්සේ එහෙනම් මේ රමියගෙ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා කියලා කැත නැතුව ඔප්පු කරා. ඉස්කුරුප්පු නියනෙන් ජනේල ග්‍රීල් එකේ ඉස්කුරුප්පු ඇණ දෙක ගලවල ග්‍රිල් එකත් අතේ තියාගනෙම අයියා කාමරේ ඇතුළට පැන්නා.  පස්සෙ ග්‍රිල් එක ආයෙත් තිබ්බ වගේම එකට හේත්තු කරල ජනේලෙත් වහගත්තා. කොන්ක්‍රීට් බීම් එකට හේතත්තු වෙලා මං මේ අමරණිය දර්ශනේ බලන් හිටියෙ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. අඩේ එහෙනම් සමීරයා කියන්නෙ මං හිතුවට වැඩිය ස්පෙෂලිස්ට් පොරක්නේ.

දැන් ඉතිං මේ සමියට හොයාගන්න තියෙන්නෙ අයියා ඉහෙන් බහින රෝගයක් නැතුව ඇඳගෙන යන මේ ඉන්ටර්නැෂනල් ගේම් එක මොකක්ද කියල. මේ තරම් අමාරුවෙන්, මේ තරම් ෆයිට් එකක් දීලා මේ රෑ ජාමෙ කොරියාව පැත්තෙ බඩගාන්නෙ ඇයිද කියල හොයල බලන්නම වෙනවා.


No comments:

Post a Comment