Tuesday, January 22, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


සුමංගල පාර දිගේ ඇවිල්ලා අපිට හුරුපුරුදු ගේ ඉස්සරහ ඉසුරු කාර් එක නතර කලා. මං ඉස්සෙල්ලම බැහැල ගෙදර වහල තියෙන දොර ළඟට ගියා. ගේ ඇතුළෙ නම් මෙලෝ හැල හොල්මනක් නැති පාටයි. අඩුගානෙ පුංචි එකාගෙ සද්දයක්වත් නෑ. මං දොරට තට්ටු කරා.

“අම්මයි පුතයි කොහේ හරි ගිහින් වගේ රමී..”


මටත් ඒ කතාවම අඩුවක් නැතුව හිතට ආවත් මං තව පාරක් හයියෙන්ම දොරට තට්ටු කළා. තට්ටු කරන්නාට දොර ඇරේ කියල කතාවක් තිබ්බට දැන් අලුත්ම කතාව තමයි තට්ටු කරන්නාට තට්ටු වේ කියන එක.

“ක..වු..ද..?”

ගේ ඇතුළෙන් ඇහිච්ච කටහඬ දිලිනිගෙ කියලා මං අඳුන ගත්තා. ඉසුරු මං දිහා බලා මහපටැඟිල්ල උරුක් කලා.

“අපි..”

“අපි කියල කිව්වෙ..?”

දිලිනිගෙ කටහඬට පුංචි බයක් එක්කහු වෙලා කියල මට තේරුනා. මේ මනුස්සයා තට්ට තනියම දවල් දවසෙ උනත් මොන තරම් බයකින්ද ඉන්නව ඇත්තෙ. බලන් ගියාම අපේ එකා මොන තරම් සවුත්තු චරිතයක්ද අප්පා.

“කලින් දවසෙ බබාට බෙහෙත් අරන් දුන්නෙ..”

මං එහෙම කිව්වා උනත් ඉස්සරහ දොර ඇරුනෙ තවත් ටික වෙලාවක් ගිහිල්ලා.

“පරක්කු උනාට සමාවෙන්න මල්ලිලා.. ඔයාල ආවෙ..?”

දෙකක් නෑ.. දිලිනි කෙලින්ම ඇහුවා. අපෙන් උදව්වක් ගත්තා කියල මායි ඉසුරුයි ඉස්සරහ ඇඹරුනේ නෑ. මගේ හිතට වැදුනම ලක්ෂනේ ඒක තමා. කොහොමටත් අපේ එකාට වැඩිය කෙල්ල ඇඩ්වාන්ස්.

“කෝ බබා..?”

“බබා නිදි..”

“දැන් බබාට කොහොමද..?”

“මල්ලිලාට පින්සිද්ධ වෙන්න හුඟක් දුරට හොඳයි..”

“අපි ආවෙ පුංචි වැඩකට..”

තවත් අනං මනං කතා කරල වැඩක් නැත. අවශ්‍ය කතාවට පටාස් ගාලා බැහැගන්න ඕන. දිලිනි උනත් දුන්නෙ ෂෝට් ඇන්ඩ් ස්විට් උත්තර. මමයි ඉසුරුයි මෙතන වැඩිවෙලා රැඳෙන එකට එයාගෙ මෙලෝ සතුටක් නෑ කියල මට තේරුණා.

“වැඩක්..?”

“ඔව්.. ඔයා දන්නවද මං කවුද කියලා..?”

“නෑ..! එහෙනම් එදා බෙහෙත් අරන් දුන්නු දවසෙම මං කතා කරනවනේ..”

බලන් ගියාම ඒකත් ඇත්තනේ.. මටනේ වයර් මාරු වෙලා තියෙන්නෙ..

“මගේ නම රමී.. මාව දන්නෙ නැති උනත් මගේ නම හරි අහල ඇතිනේ..”

“ඒත් නෑ.. මං ඔහොම නමක් අහල තිබුණෙ නෑ..”

දිලිනි දෙන උත්තර වලට මාව ටිකක් විතර අවුල් උනා. සුරුත් අත් දෙකෙන්ම ඔලුව කහනවා මං දැක්කා. ඒ කියන්නෙ සමීරයා කසාඳ බැඳලා ඉන්න ගෑනිට මං ගැන කියල නෑ. ඒ උනාට උගේ ප්‍රේමවන්තියට මං ගැන කියල තියෙනව. ඒකනේ සුදු කෙල්ල මාව අඳුන ගත්තෙ.

“හරි.. එහෙනම් මෙහෙම දෙයක් අහන්නං.. ඔයා සමීර කියල කෙනෙක් දන්නවද..?”

කෙල්ල ගැස්සුනා කියල මං හොඳටම දැක්කා.

“සමීර..”

“ඔව්.. ඔයාගෙ හස්බන්ඩ්..”

කෙල්ලගෙ මූණ මල මිනීය වගේ සුදුමැලි උනා. කරන්න ඕන මොනවද, කියන්න ඕන මොනවද කියල හිතාගන්න බැරි වෙන්නැති.

“මං තමා සමීරගෙ මල්ලි..! ඔයා දන්නැති නම් හරි අයියා ඔයාට ඒක කියල නැත්නම් අදවත් දැනගන්න. මං ඉසුරුත් එක්ක ආවෙ, ඔයාවයි දරුවයි ගෙදර එක්කන් යන්න. ඔයාලට මෙහෙම ජීවත් වෙන්න දෙන්න බෑ.. තේරුණාද..? ඉක්මනට තීරණයක් ගන්න.. අම්මයි තාත්තයි ගැන මං බලාගන්නං.. හ්ම්.. ඉක්මනට ලෑස්ති වෙන්න..”

“ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ..?”

දිලිනි පස්සෙන් පස්සට ගිහින් ඉස්සර දොර උළුවස්සට හේත්තු උනා.

“ඇයි මං කිව්ව දේවල් වල මුකුත් වැරැද්දක් තියෙනවද..? ඔයයි අයියයි දෙන්න මොනවද මේ කරන මල විකාර..? රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන වැඩනේ මේවා.. ආ.. ඒක තේරෙන්නෙ නැද්ද..?”

මගේ කතාවෙන් කෙල්ල හොඳටම බයවුණා වගේ. ඔව් ඉතිං කෙල්ල උනත් හිතන්න නැතුව ඇතිනේ මං මෙහෙම කතාවක් කියයි කියලා.

“මේ පුංචි එකත් එක්ක තට්ට තනියම ඉන්න පුළුවන්ද..? එදා රෑ වගේ මොනා හරි හදිස්සියක් උනොත් මොකද කරන්නෙ.. කවුරු හරි පාහරයෙක් රෑ ජාමෙට ගෙට ආවොත් මොකද වෙන්නෙ..? ආ.. ඔයාලා ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ. අඩුගානෙ මේ පුංචි එකා හම්බ වෙන්න ඉන්නකොටවත් ගෙදර එන්න තිබුණනේ.. අපේ එකාගෙ ඉතිං ඇඟපත තිබුණට මොලේ උඩනේ මිනිහ වාඩිවෙලා ඉන්නෙ..”

“ස.. සමීරට බනින්නෙපා..”

“ඌට බනින්න නෙමෙයි.. දෙක තුනක් තලන්නයි ඕන.. හ්ම්.. දරුවවත් අරං ලෑස්ති වෙන්න.. අවුලක් ආවොත් මං බලාගන්නං..”

“මට යන්න බෑ..”

“මොකක් යන්න බෑ..? ඇයි ඒ..?”

“මං සමීරව කසාඳ බැඳල නෑ..”

මායි ඉසුරුයි මූණෙන් මූණ බලාගත්තා. එතකොට මේ තරම් වමගුලක් කරගෙන තියෙන්නෙ කසාඳ බඳින්නෙ නැතුවද..?

“කසාඳ බැඳල නෑ..? ඔයා මොනවද මේ කියන්නෙ.. දරුවෙකුත් හදාගෙන ඉවරවෙලා..”

“දරුවා සමීරගෙ නෙමෙයි මල්ලි.. සමීර මෙහේ ආවට එයාගෙයි මගෙයි සම්බන්ධයක් නෑ..”

ඇස් ඉස්සරහම හෙණයක් පුපුරල ගියා වගේ මාව ගල් උනා. දෙයි හාමුදුරුවනේ.. මේ මනුස්සයා මොනවද මේ කියන්නෙ..?

“සම්බන්ධයක් නෑ..”

ඒ ප්‍රශ්නෙ මගෙයුනි ඉසුරුගෙනුයි එකපාරටම පිටවුණේ..

“ඔයාලා හිතනවට වැඩිය ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.. ඒකයි මට එන්න බැරි.. සමීර ගැන ඔයා පුංචි අහිතක්වත් හිතන්නෙපා මල්ලි.. සමීර කියන්නෙ, මිනිස්සු අතරෙ ඉන්න බෝධි සත්වයෙක්.. මනුස්ස වෙසින් ඉන්න දෙවි කෙනෙක්..”

දිලිනි කියන ඒවට දෙන්න, ඕන තරම් උත්තර මගේ ළඟ තිබුණා. මෙයා මේ වල්ගෙ පාගගෙන. අපේ එකාගෙ තරම මං නොදන්නවයෑ. ඌ මෙයාව ගානට අන්දලා. සමීරයා කොහොමටත් මිම්මට නූලට අනිත් එවුන්ට අන්දන්න බෑ දක්ෂයා. මෙයා කොහෙන්ද ඒවා දන්නෙ. ඒත් කෙල්ල කියන් යන දේවල් වලින් නම් මේ කතාවෙ අපි නොදන්න මොනවම හරි ලොකු දෙයක් ඇති කියලා මට නිකමට හිතුනා. ඒකයි මං සද්ද වහගෙන දිලිනි දිහා බලන් හිටියෙ. පහුගිය කාලෙ පුරාම වින්ද දුක් කන්දරාව කොහෙද ඒ මූණෙ තිබ්බෙ කටුක පරාජිත ගතියක්. ඒත් ඒ හැමදේම මැදින් එයාගෙ ධෛර්යය කැපිලා පෙනුණා.

“එතකොට ඔයාලා කසාඳ බැඳලා නැත්තං.. දරුවා සමීරගෙත් නෙමේ නම්.. ඔයාලා දෙන්නා අතරෙ සම්බන්ධෙකුත් නැත්තං, සමීර මොකටද මෙහෙ එන්නෙ..? මිනිහට පාඩුවෙ වැඩක් පලක් කරගන්න තිබ්බනේ..”

“ඒක තමා මල්ලි මං ඉස්සෙල්ල කිව්වෙ.. සමීර කියන්නෙ මනුස්ස වෙසින් ඉන්න දෙවි කෙනෙක් කියලා.. මේ ලෝකෙ කිසිම කෙනෙක් කරන්නැති පරිත්‍යාගයක් එයා අපි වෙනුවෙන් කරේ.. ඔයාලා මොනව කිව්වත් සමීර ගැන මොනව හිතුවත් මං ආත්ම ගානක් එයා ගාව දාසියක් වෙලා හරි ඉපදිලා ඒ ණය ඩිංග ඩිංග හරි ගෙවනවා.. හග්..”

“ඔයා කියන දේ අපිට තේරෙන්නෑ..”

අපි හිතනවට වැඩිය වෙන මොකක්දෝ අමුතුම දෙයක් තියෙනවා කියලා මට යාන්තමට වගේ හිතිච්ච දේ එහෙනම් හරි.

“මං හැමදේම කියන්නං..”

එතන ඉඳලා දිලිනි කිව්ව කතාව මහා පුදුම එකක්. මේක විහ්වාස කරනවද නැද්ද කියලා මට හිතාගන්න බැරිවුණා. දෙයියනේ අපි මොන තරම් මැට්ටො විදියටද හැසිරිලා තියෙන්නෙ. අගය කරන්න ඕන ලස්සන දේවල් අත ළඟ තියාගෙන අපි ඒවට ගරහා ගරහානේ ඉඳල තියෙන්නෙ.

“මං හුඟක් දුප්පත් කෙල්ලෙක්.. මගේ තාත්තා රස්සාව විදිය කරේ වත්තක මුර කරපු එක. මගේ අම්මා අංශබාගෙ හැදිලා ඔත්පල වෙලා ඇඳටම වැටිලයි හිටියෙ. මට බාල නංගිල දෙන්නෙකුයි මල්ලියි හිටියා. ඉස්කෝලෙ යන ගමන්ම, එයාලව බලා කියාගන්නයි, ගෙදර තියෙන හැම වැඩක් පලක්ම කරන්නයි මට සිද්ධ වුණා. කොයි තරම් අමාරු උනත්, මං ඒ හැම දෙයක්ම කෙරුවෙ හුඟාක් ලොකු සංතෝසෙකින්. මොකද කියනව නමං අපේ දුප්පත් පවුලම මගෙන් කෙරෙන්න ඕන යුතුකම ඒකයි කියලා  මං හිතුවා. අනිත් දේ තමයි අපි හැමෝම කෑවෙ, බීවෙ, ඇන්දෙ කරේ ඔක්කොම තාත්තගෙ මුර රස්සාවෙන් හම්බවෙච්ච සොච්චම් පඩියෙන්.”

මහා දිග කතාවක ඇරඹුම දිලිනි පටන් ගත්තෙ එහෙමයි. එතකොට මේ කතන්දරේ කොයි කොනට මගේ සහෝදරයා පැටලිලා ඉන්නෙ කියලා මං හිතන්න ගත්තා. මිනිහා කොහොමද මේකට පැටලුණේ..? මිනිහට මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ.. නිකං අහක යන නයි පෙනවල් ටිකක්ද මේ මිනිහා තමන්ගෙ ඇඟට දාගෙන තියෙන්නෙ..? ටිකෙන් ටික හිතද්දි මගේ ඔලුවට ආවෙ ඒ වගේ ප්‍රශ්න තමයි.

“ඒත් මොන තරම් ප්‍රශ්න තිබුණත්, හිතාගන්න බැරි තරම් අගහිඟකම් තිබුණත්, ඒ හැමදේම මැද්දෙන් මගේ හිත ආදරේ හොයාගෙන ගියා. එතකොට මං හිටියෙත් කෙල්ලෙක්ගෙ අහිංසක සිතුම් පැතුම් වලින් ලස්සනට ලෝකය දකින්න පුළුවන් වයසක.. අපේ ගෙදර තිබ්බ පරිසරයයි, ජීවිතේ ගැටගහගන්න කරන්න වෙලා තිබ්බ යුද්ධෙයි හින්ද, මගේ හිතට ඩිංගක් හරි සැනසීම දැනුණෙ ආදරේ හින්දයි. ඒ ආදරේ මගේ ජීවිතේට මහා ලොකු ශක්තියක් වුණා.”

“කාටද ඔයා ආදරේ කලේ..?”

ඒ ප්‍රශ්නෙ ආවෙ ඉසුරුගෙන්. මිනිහත් මං වගේම ලොකු උවමනාවකින් කතාව අහගෙන ඉන්න හැටි මං දැක්කා.

“මගේ හිත ගියේ රවීන්ට.. ඒක මගේ පළවෙනි වගේම අන්තිම ආදරේ.. රවීනුත් මට පණ ඇරල ආදරේ කළා. එයා කොයියම්ම මොහොතකවත්, මට දුකක් කරදරයක් දැනෙන්න දුන්නෑ. මාව සංතෝසෙන් තියන්න රවීන් හුඟක් කරදර වුණා. ඒ ආදරේ බලසම්පන්නකම හින්දම, ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු මට දැනෙන්න ගත්තා. හැමදේම දිහා මං බැලුවෙ ලොකු සතුටකින්.”

“ඔය ඔක්කොම හරි කියමුකො.. සමීර කොහොමද මෙතෙන්ට ගෑවෙන්නෙ..”

තවත් කට පියාගෙන ඉඳලා වැඩක් නැති නිසා මං ඇහුවා. මොකද දිලිනි කියවන් යන මේ කතාවෙ විකාශන කාලය වැඩි වුණොත්, මං ප්‍රමාද වැඩි වේවි කියල වගේ අදහසක් මගේ හිතට ඇවිත් තිබුණා. ඒ එක්කම මහා මේරු පර්වතයක් වගේ බරට මගේ පපුව උඩට තවත් දෙයක් ඇවිත් තිබ්බා. ඒ තමයි මේ කිසිම දේකට සමීරගෙ සම්බන්දයක් නැත්තං මගේ සහෝදරයගෙ අහිංසක ආදරේ මුළුමනින්ම විනාස කරල දාපු පව මගේ ඇස් ඉස්සරහම පේන්න තිබ්බා.

“මං කියන්නම්.. මං කියන්නම්.. මගේ ආදරේ දිනාගත්තු රවීන්ගෙ හොඳම යාලුවා උනේ සමීර.. රවීන් එක්ක, මාව බලන්න එයත් නිතරම ආපු හින්දා.. රවීන්ට තරමට නොවුණත් මං එයාටත් ලංවුණා. ඒ හුඟාක් ලොකු සහෝඳර බැඳීමකින්..ඔයා මොනව කිව්වත්, මේ මොහොතෙත් හෙටටත් මං සමීරව දකින්නෙ බෝධි සත්වයෙක් විදියට.. මං එහෙම කියන්නෙ ඇයි කියලා තව ඩිංගකින් ඔයාලට තේරෙයි.. දන්න අඳුනන කෙනෙක්ගෙන් උනත් උදව්වක් ඉල්ලුවහම මිනිස්සු කර ඇරල යන්නෙ හිතක් පපුවක් නැති විදියට. අන්න ඒ වගේ වෙලාවක අහසින් පියාඹගෙන ආපු දේවදූතයෙක් වගේ සමීර මගේ ළඟින් හිටියා.. අඩුම ගානෙ රවීන්වත් මගේ ළඟ හිටපු නැති වෙලාවෙ, මට යෝධ ශක්තියක් උනේ ඔයාගෙම සහෝදරයා.. ඒක අදටත් එහෙමයි..”

“එතකොට කෝ දැන් රවීන්..”

මං අහපු ප්‍රශ්නෙට කෙල්ලගෙ ඇස් වලින් කඳුළු කඩන් වැටුණා. ඒ දේ දැකලා මට වගේම ඉසුරුටත් අප්සට් ගියා කියල මට තේරුණා.

“රවීන්..? රවීන් දැන් ලංකාවෙ නෑ..”

දිලිනි ලොකු හුස්මක් පපුව ඇතුළට අරන් මාවයි ඉසුරුවයි පාවෙලා යන තරමට හයියෙන් පිට කරල දැම්මා. මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. මං ඉසුරු දිහා බැලුවා. ඌ බලන් හිටියෙ දිලිනි දිහා.

“ලංකාවෙ නෑ..?”

“ඔව්.. ඒකට හේතු සෑහෙන්න තියෙනවා.. එයා ලංකාවෙ නැත්තෙ එයාගෙ වැරැද්දක් හින්ද නෙමෙයි..”

“එහෙනම්..?”

“මගෙයි රවීන්ගෙයි සම්බන්ධෙ දැනගත්තම රවීන්ගෙ තාත්තා, මේ ලෝකෙ තියෙන භයානකම දේ අත් වින්ද වගේ හැසිරෙන්න ගත්තා.. ඔයාලා අහල ඇතිනේ සමරසේකර මුදලාලි.. එයා තමා රවීන්ගෙ තාත්තා.”

පිස්සු නැත්තං හොඳයි.. සමරසේකර මුදලාලිත් මේකට පටලැවිලද..? සමහරසේකර මුදලාලි කියන්නෙ අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒත් රවීන් කියන්නෙ සමරසේකර මුදලාලිගෙ පුතා කියල මට මීටර් උනේ දිලිනි මේ කතන්දරේ කිව්වට පස්සෙ. කොහොම උනත්, මේ ආදරේ පල හිලව්ව මැච් වෙන එකක් නෙමෙයි කියලා බැලූ බැල්මට මට තෙරුණා. ආදරේට මිල මුදල් බාධාවක් වෙන්නෑ කියලා කවුරු කොහොම හිතුවත් ඒක බාධාවක් තමයි. අනික දිලිනිගෙයි, රවීන්ගෙයි අතරෙ තිබ්බ ඇති නැති පරතරය මහා විශාල එකක්. ඒ දේ අතර පියව්නන පුළුවන් තරමෙ දෙයක් එයාලට හොයාගන්න බැරිවෙන්න ඇති.

“මගෙයි, රවීන්ගෙයි සම්බන්ධෙ හින්ද වැඩියක්ම කරදර සිද්ධ වුණේ මගේ තාත්ත. සමරසේකර මුදලාලි අපේ දුප්පත් ගේ ඉස්සරහටම ඇවිත්, අපි ඕකොම පණ පිටින් වළලනවා කියලා තර්ජනේ කලා.. අපේ උදව්වට කුරා කූඹියෙක්වත් හිටියෙ නෑ. නෑදෑයො කියලා ජාතියක් හිටියත් ඒ හැමෝම මේ ප්‍රශ්නෙදි අහක බලාගත්තා. හුඟක් අය ඉරිසියාවෙ පිපිරුවා. මං රවීන් එක්ක යාලු උනාට. මං වගේ අන්ත අසරණ එකියක් ඒ වගේ රාජ කුමාරයෙකුට ලංවුණ එක අපේ පැත්තෙ හුඟ කෙනෙකුට ඔරොත්තු දුන්නෑ.. සමරසේකර මුදලාලි ඇවිත් තර්ජනේ කරනකොට උනත් කවුරුවත් අපිට උදව් කරන්න ආවෙ නැත්තෙ ඒකයි. අපිට කියලා කිසිම රැකවරණයක් තිබුණෙ නෑ. මේ හැමදේම එකින් එක ඔයාලට කියන්නෙ මං හිටපු තත්වෙ ඔයාලට තේරුම් ගන්වන්න. ඒ වගේම සමීර මොන තරම් උදව්වක්ද මට කරේ කියනෙක පහදලා දෙන්න..”

“තමන්ගෙ දරුවා, ඔයත්තෙක්ක පැටලුන එකට සමරසේකර මුදලාලිට කේන්ති යන එක අපිට තේරම් ගන්න පුළුවන්. ඒත් ඔයාලව පණ පිටින් වළලනවා කියලා කියන්න තරමෙ හයියක් මිනිහට ආවෙ කොහොමද..? ඔයාලා පොලීසියට කිව්වෙ නැද්ද..?”

මෙච්චර වෙලා මහෞෂධ පඬිතුමා වගේ ඉඳලා ඉවර වෙලා අන්තිමට හම්බ ගොබ් ප්‍රශ්නක් ඉසුරු ඇහුවා. දැන් කාලෙ මිනිහෙක් විහිලුවටවත් පොලීසියට යනවද..? ඔලුව තියෙන කිසි එකෙක් යන්නෑ.. ඇයි ඉතිං පැමිණිල්ල දාන්න යන එකානේ ඉස්සෙල්ලම ඇරෙස්ට් කරන්නෙ..

“පොලීසි ගිහින් මේ තියෙන ප්‍රශ්නෙ විසඳන්න බෑ කියාලා මං දැනන් හිටියා. ඒකෙන් වෙන අවනම්බුවත් එතෙන්නෙ මගේ ජීවිතේට.. මොනවා උනත් තමන්ගෙ එකම දරුවා මේ වගේ හිඟන පවුලකින් ගෑණු ගන්න ගියාම ඕනම දෙමව්පියෙක් තිරිසන්නු බවට පත්වෙනවා.. අපි උනත් ඒ තත්වෙට පත්වුණොත් අපේ දරුවා වෙනුවෙන් අපි ගන්නෙ ඒ තීරණේම තමා.. හැබැයි ඒ හැමදේටම වැඩිය තවත් දෙයක් තිබුණා.. සමරසේකර මුදලාලි කේන්ති ගස්සන්න..”

“ඒ මොකක්ද..?”

“මගේ තාත්තා මුර රස්සාව කරේ සමරසේකර මුදලාලිගෙ පොල් වත්තෙ..”

කාලා වරෙන්කො.. මේ පටලැවිල්ල නම් එසේ මෙසේ ගිහින් දිග ඇරෙන අවමගුලක් නම් නෙමෙයි වගේ. මං මුලින් මුලින් හිතාගෙන හිටියට වැඩිය මේ කතාවෙ අවසානය අපිව සම්පූර්ණයෙන්ම හිර කරලා දාලා තියය් වගේ. බලන් ගියාම මේක මහා විශාල මකුළු දැලක්නේ.

“අපේ ආදරේට, අපේ උදව්වට කුරා කූඹියෙක්වත් හිටියෙ නෑ කියලා මං ඔයාට කලින් කිව්වා.. ඒවට හේතුත් මං කිව්වා.. ඇත්තම කියනව නම් අපිට උදව් කරන්න කට්ටිය බයවුණා.. ඒත් ඒ හැමෝටම වැඩිය මහා ශක්තියකින් අපිට උදව් කරේ එකම එක්කෙනයි.. මුළු ලෝකෙම අපිට හතුරුවෙලා ඉද්දි, අපේ පැත්තට හිටියෙ ඔයාගෙ සහෝදරයා විතරයි.. මටයි, රවීන්ටයි ජීවිතේ එපා වෙලා තියෙද්දි, මේ ආදරේ හින්දම අපි දිවි හානි කරගන්න හිතද්දි, ජීවත් වෙන එකේ වටිනාකම ගැන කියල දීලා, අපිව ධෛර්යමත් කරල, අපේ ළඟින් හිටියෙ ඔයාගෙ අයියා විතරයි.. එයා සමරසේකර මුදලාලිට බිංදුවක්වත් බය උනේ නෑ.. අපිට තිබ්බ මහා විශාල හයිය ඔයාගෙ අයියා..”

දිලිනිගෙ කතාවත්තෙක්කම මොකක්දෝ ලොකු නොතේරෙන දුකකින් පපුව හූරනවා වගේ හැඟීමක් මට දැනුණා. මං ඉසුරු දිහා බැලුවෙ ඒකෙන් අත් මිදෙන්න වගේ. ඒත් ඉසුරුත් මූණ හතරැස් කරගෙන මේ හැමදේම සාවධානව අහන් ඉන්න හැටි මං දැක්කා.

“අපේ ආදරේට තිබ්බ ලොකුම බාධාව උනේ මගේ දුප්පත්කමයි. මගේ අහිංසක තාත්තාගේ මුර රස්සාවයි.. කෝටි ගානක දේපල මිල මුදල් තියෙන බලවත් කෙනෙක් තමන්ගෙ එකම පුතාට, තමන්ගෙ වත්තෙ මුර කාරයගෙ දුවව ලංවෙනකන් බලන් ඉන්නෙ නෑ කියලා අපි තේරුම් ගත්තෙ හුඟාක් පරක්කු වෙලා. අපි හිතුවෙ අපේ ආදරේ ශක්තියෙන් මේ මුළු ලෝකයම දිනන්න පුළුවන් වෙයි කියලා..”

දිලිණිගෙ මූණෙ තිබ්බෙ ලොකුම ලොකු විඩාබර බවක්. එයාගෙ බබාත් නින්දෙන් ඇහැරිලා අඬද්දි.. දරුවවත් නලවන ගමන් තමයි දිලිනි ආයෙත් කතාව කියන්න පටන් ගත්තෙ. ඒත් කතාවෙ හොදම හරිය තාම ඇවිල්ලවත් නෑ කියලා මේ කියපු ටික අහගෙන ඉඳපු මට තේරුණා.

“ඒත් ඒක එහෙම උනෙ නෑ.. අපේ ආදරේ කඩල බිඳල දාන්න පුළුවන් ත රම් උත්සාහ කරලා, අන්තිමේදි රවීන්ගෙ තාත්තා තේරුම් අරන් තිබුණා මුං දෙන්නව මේ ආත්මෙදි නම් වෙන් කරන්න බෑ කියලා.. ඒක හන්දම එයා අපි දෙන්නටම හොරෙන් මාස්ටර් ප්ලෑන් එකක් ගහලා තිබුණා.. අපි කවදාවත් ඒ වගේ පැත්තක් ගැන හිතුවෙ නෑ.. දවසක්... සමරසේකර මුදලාලි මාව හම්බවෙන්න ආවා. ඇවිත් හුඟාක් හොඳට මාත් එක්ක කතා කලා. අපේ ගෙදර ඉස්තෝප්පුවටම ඇවිත් තාත්තා එක්කත් තරහ නැතුව කතා කරා. ඒ වෙනකොට තාත්තා මුර රස්සාවෙනුත් දොට්ට දාලයි තිබුණෙ. මුදලාලි කිව්වා තාත්තට ආයෙ රස්සාවට එන්න කියලා.. ඊට පස්සෙ තමයි රවීන්ගෙ තාත්තා, අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක් කිව්වෙ..”

“ඒ මොකක්ද..?”

“හිතට හුඟක් අමාරු වුණත් රවීන්ට තියෙන ආදරේ හින්දම අපේ ආදරේට කැමැත්ත  දෙනවා කිව්වා.. ඒ දේ අහලා මටයි රවීන්ටයි දැනුණෙ පුදුමාකාර සතුටක්. අපේ ආදරේ මේ මුළු ලෝකෙම ජයගත්තා වගේ කියලා මට දැනුණා..”

දිලිනිටයි රවීන්ටයි එහෙම දැනුණට මේ රමීට නම් ඔය වගේ සිතුවිල්ලක් පැත්ත පළාතකටවත් ආවෙ නෑ.. ඇයි කියලද අහන්නෙ.. ඒ කියපු කතාවෙම මහා ගේම් එකක් තියෙනව කියලා ඕන කිරි සප්පයෙකුට තේරෙනවනේ බං.. ඇයි උඹටල තේරුනේ නැද්ද.. එහෙනම් කරන්න දෙයක් නෑ.. ඒත් ඒ වෙලාවෙ ආලෙන් අන්ධවෙලා හිටපු මේ කොල්ලටයි, කෙල්ලටයි ඒක තේරෙන්නෙ නැතුව ඇති.. ඇයි ඉතිං තමන්ගෙ පණ සරි ආදරේට සමරසේකර මුදලාලි කැමති උනා කිව්වම ඉතිං මහජන සම්පත පිට පිට දෙපාරක් ඇඳුනා වගේනේ.

“ඊට පස්සෙ..?”

“හැබැයි මුදලාලි අපිට කැමැත්ත දුන්නෙ එක පොරොන්දුවක් පිට..”

“පොරොන්දුවක්..?”

“ඔව්.. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියකට අවුරුදු දෙකකට රවීන්ව ඕස්ට්‍රේලියාවට යන්න වෙනවා කිව්වා. මුදලාලිට වෙන දරුවොත් නැති එකේ, මුදලාලිගෙ ව්‍යාපාර කටුයුතු බලා කියා ගන්න හිටියෙත් රවීන් විතරක් නිසා, අපිට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ.. මුදලාලි කියපු දේට කැමති වෙනවා ඇරෙන්න.. අනික කොයි පැත්තෙන් බැලුවත් ඒක සාධාරණ ඉල්ලීමක් කියලා අපිට හිතුණා.. මුදලාලි කියන විදියට දේවල් සිද්ධ වුනොත් රවීන් ඕස්ට්‍රේලියා ඉඳලා ආපු ගමන් අපේ මැරේජ් එක කරනවා කියලා සමරසේකර මුදලාලි පොරොන්දු උනා..”

මුදලාලි කබල නැතුව ලස්සනට ආකිටෙක්ච කෝස් එකක් කරලා වගේ ඇඳල තියෙන්නෙ මාස්ටර් ප්ලෑන් එකක් තමා. ඒක ආයෙ කවුරුවත් රමීට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ. රමී ඔය වගේ මාස්ටර් ප්ලෑන් නොගැහුවත්, ඕන තරම් ඔය වගේ දේවල් වල අත්දැකීම් ලබල තියෙනවා.

“ඔය හැමදේම හරි.. ඒත් ඔයාලා දෙන්නම ඔලුව පාවිච්චි කරලා නෑ.. මේ හැමදේටම මුල ඒකයි.. ඒත් මට දැනගන්න ඕන ඔය හැමදේම අතරෙ සමීර කොහොමද මේකට පටලැවුණෙ කියලා..”

මගේ ඔලුවෙ මෙච්චර වෙලා කරක් ගඟහා තිබ්බ ප්‍රශ්නෙ මං ඇහුවා.. මේ කතාවෙ එහෙන් මෙහෙන් කපලා කොටලා සංෂිප්ත කරලා ගත්තහම මට ඉතුරු වෙන එකම දේත් ඕකනේ.

“මං ඔයාලට කලිනුත් කිව්වනේ අපේ උදව්වට හිටියෙ සමීර විතරයි කියලා. ඒක හින්ද මේ සිද්ධ වෙලා තියෙන අලුත්ම තත්වෙ ගැන අපි දෙන්නම සමීරට කිව්වා. එයා කොහොමටත් අපි දෙන්නටම වැඩිය ඔලුව පාවිච්චි කරන කෙනෙක්.. එයා ගත් කටටම කිව්වා.. මේක උගුලක් රවීන් රට යවන්න එපා.. මේකට කැමති වෙන්න එපා කියලා.. ඒත් ඉතිං මේ දේට කැමති නොවී, අපිට වෙන කරන්න දේකුත් තිබ්බෙ නෑ.. ඒ ගැන පැහැදිලි වැටහීමකුත් අපිට තිබ්බෙ නෑ.. ඒක හින්ද අපේ ආදරේ ගැන තීරණයක් ගන්න වෙලාවෙදි පළවෙනි පාරට සමීර කියපු දේ අහකට දාලා, අමාරුවෙන් උනත් මේ වෙන්වීම දරාගන්න අපි දෙන්නා තීරණේ කලා. ඒත් සමීර නම් මේ තීරණේට බිංදුවක්වත් කැමති උනේ නෑ. එයා අපිට බැන්නත් එක්ක..”

මොනව උනත් මගේ සහෝදරයා මං වගේම මීටරේ කියලා මේ හැම කතාවකින්ම ඔප්පු වෙනවා. මගේ හිතට මේ හැමදේම අතරෙ ආපු ලොකුම දුක තමයි මේ හැමදේම තේරුම් ගන්න මං මේ තරම් පරක්කු උනේ ඇයිද කියනෙක..

“දැනට මාස දාසයකට කලින් රවීන් ඕස්ට්‍රේලියා ගියා.. එයා ළඟ ඉන්නකොට වගේ නෙමෙයි, එයා මගේ ළඟ නැති උනහම මට ඒක දරාගන්න බැරි උනා. මට දැනුණෙ පුදුමාකාර අසරණකමක්. ඒ අසරණකම අන්ත අසරණකමක් වුණේ, රවීන් ඕස්ට්‍රේලියා ගිහින් මාසෙකට විතර ප්සසෙ මගේ බඩේ දරුවෙක් ඉන්නවා කියල දැනගත්තම.. රවීන්ගෙයි, මගෙයි ආදරේ ප්‍රතිඵල මේ තරම් ඉක්මනට ඵල දරයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. මට දැනුණෙ මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණ වගේ. දැන් රවීනුත් මං ළඟ නෑ.. මං මොනවා කරන්නද..? මං දැන් කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ.. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එක්ක මං අන්ත අසරණ උනා..”

“ඔයා රවීන්ට කතා කරලා මේ ගැන කිව්වෙ නැද්ද..? රවීන්ව ගෙන්න ගන්න බැලුවෙ නැද්ද..?”

“මං ඉස්සෙල්ලම කලේ ඒක. ඒත් මගේ අවාසනාවට එයාට අවුරුදු දෙක ඉවරවෙනකල් ආපහු ලංකාවට එන්න වීසා ගන්න බෑ.. මං හිතන්නෙ මොන විදියකට හරි මුදලාලි ඒක කරලා තියෙනවා.. සමහර විට මුදලාලිට වෙන මොකක් හරි ප්ලෑන් එකක් තියෙන්න ඇති, රවීන්ව අවුරුදු දෙකකට ඕස්ට්‍රේලියාවල හිර කරලා.. ඒත් මේ අහම්බෙන් වෙච්ච දෙයින්, මුදලාලිට ලොකු වාසියක් ආව වගේම, මුදලාලි රවීන්ව හිර කරපු එකේ බරපතලකම මට දැනුණා..”

“මුදලාලි මේක දැනගත්තද..?”

“නෑ..”

“ඇයි ඔයා එයාට කිව්වෙ නැත්තෙ..?”

“මට මේ ගැන කතා කරන්න කාත් කවුරුත් හිටියෙ නෑ.. මට හිටියෙ අපේ ආදරේට මුල ඉඳන්ම උදව් කරපු සමීර විතරයි.. සමීර කිව්වා.. මුදලාලිට මේ ප්‍රශ්නෙ නොකියා හිටියොත් හොඳයි කියලා.. මොකද මං මේක මුදලාලිට කිව්වොත්, මේ ලැබෙන්න ඉන්න දරුවා අවජාතක දරුවෙක් කියලා මුළු ගමටම කෑගහලා කියයි.. මොකද රවීනුත් ළඟ පාතක නැතුව මේ වෙච්ච දේ ගැන ගමේ මිනිස්සු රටේ නැති කතා කියයි කියලා.. ඒක හන්ද මට තේරුණා සමීර කියන දේ හරියි කියලා.. ඒ නිසාම හැමදේම කරබාගෙන දරාගන්න මට පුළුවන් උනා..”

“රවීන්ව මොනවම හරි කරලා ලංකාවට ගෙන්නගන්න බැරි උනාද..?”

“රවීන් හුඟක් උත්සාහ ගත්තා.. ඒත් ඒ එකක්වත් රහි ගියේ නෑ.. පස්සෙ එයා ක්‍රිස්මස් දූපත් හරහා එන නැවක නැගලා එන්න ලෑස්ති වුණා හොරෙන්ම.. මම මේ පත්වෙලා ඉන්න තත්වෙ ගැන එයා සෑහෙන්න පසුතැවුණා.. මේ ගැටලුවට තියෙන එකම විසඳුම රවීන් ලංකාවට ඇවිත් මාව කසාඳ බඳිනෙක ඇරෙන්න වෙන එකම උත්තරයක්වත් පේනතෙක්මානෙක තිබ්බෙ නෑ..”

මිනිස්සුන්ට, අපි ද්නනෙ නැති, අපි හීනෙකින්වත් හිතන්නෙ නැති ප්‍රශ්න කොච්චර තියෙනවද කියලා දිලිනිගෙ කතාව අහන් ඉද්දි මට තේරුණා.

ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් තමන්ගෙ ජීවිතේට එබුණොත් ඕනම ගෑනියෙක්, පිරිමියෙක් සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා.. ඒකෙ ආයෙ අලුතින් කියන්න තරමෙ දෙයක් නෑ.. අපිට උනත් එච්චරයි.

“රවීන් එයා නැවතිලා හිටපු තැනින් මහ රෑ එළියට ඇවිල්ලා කොහොම හරි වරායට රිංගගෙන, හැංගිලා එන්නයි  හිතාගෙන හිටියෙ. ඇත්තටම වෙන විකල්පෙකුත් රවීන්ට තිබ්බෙ නෑ. ඒත් ඒ ගමන කොයිතරම් භයානකද කියලා හිතෙද්දි මාව වෙව්ලලා ගියා. ඒත් රවීන් එන එක වළක්වන්න ක්‍රමයක් මට තිබුණෙත් නෑ. අනිත් දේ තමයි මං නින්දාවට පත්වෙන එකෙයි, මගේ ගැලවීමෙයි හැමදේම තිබ්බෙ රවීන් ලංකාවට එන එක මත...”

කතාව කියාගෙන කියාගෙන යද්දි මුලින් තිබ්බ කලබල ගතිය දිලිනිගෙන් අපි දැක්කෙ නෑ.. අභාග්‍ය සම්පන්න දේවල් වලටම මූණදිලා එයා ඩිංගක් විතර ශක්තිමත් වෙලා කියල මටයි ඉසුරුටයි තේරුණා. අනික දිලිනි කතා කෙරුවෙ හුඟක් හෙමීට උනාට, එයා කියපු හැම වචනයක්ම අපිට පැහැදිලිව ඇහුණා. කොහොම උනත් මේ අභාග්‍ය සම්පන්න කතන්දරේට මගේ සහෝදරයා ගෑවිච්ච තැන, තව ඩිංගකින් මතුවේවි කියලා මට අහම්බෙන් වගේ හිතුණා. මොකද කියනව නම් මේ කතන්දරේ අමාරුව හරිය දැන් තමා පටන් ගන්න යන්නෙ.

“ඒත් සමීර ඒ හැමදේම වෙනස් කරා. රවීන් ආපහු එන එකේ භයානකකම මටයි, රවීන්ටයි පැහැදිලි කරලම කිව්වා. සමහර විට ජීවිතේ උනත් නැතිවෙන්න පුළුවන් කිව්වා. කස්ටම් එකට හරි පොලීසියට හරි අහුවුණොත් අවුරුදු ගානකට හිරේ යන්නවෙයි කිව්වා. එතකොට තියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙයි කිව්වා.. නීත්‍යානුකූල විදියට කොහොම හරි එන්න පුළුවන්ද කියල විතරක්, බලල ට්‍රයි කරමු කිව්වා..”

දැන් බලන් ගියාම අපේ එකා මේ ප්‍රශ්නෙ කරටම අරගෙන ගේමට බැහැලා වගේ.. බලමුකො තව ඉස්සරහට..

“ඉතිං..”

“සමීර කියපු විදියට නීත්‍යානුකූලව රවීන්ව අවුරුදු දෙක ඉවරවෙනකල් එන්න බෑ කියලා මාස දෙක තුනක් යද්දිම අපි තේරුම් ගත්තා. ඒකෙන් උනේ අපි දෙන්නා තවත් මානසිකව කඩාගෙන වැටුණ එක විතරයි.. මම නම් හිටියෙ පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ. හැමදේම ඔය විදියට සිද්ධවෙද්දි, දවසින් දවස මං නින්දාවට, හිනාවට ලක්වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඉටු දෙවියෙක් වගේ මගේ පිහිටට ආවෙ සමීර. එයා අපේ තාත්තටයි, අම්මටයි මේ හැමදේම වැඩිහිටියෙක් වගේ තේරුම් කරල දුන්නා. ඊට පස්සෙ එයා, කොරියාවෙන් කුලීයට ගෙයකුත් අරගෙන මාව එහේ නවත්තලා, මාව බලා ගත්තා. කොරියාවෙ හැමෝම හිතුවෙ මායි, සමීරයි අලුත බැඳපු ජෝඩුවක් කියලා. සමහර දේවල් මිනි්සසු එයාගෙන් අහද්දි එයා හිනාවෙලා ඒ හැමදේම දරාගත්තා..”

“එතකොට ඇයි මෙතෙන්ට ආවෙ..? මෙතෙන්ට වැඩිය කොරියාව ආරක්ෂා සහිතයිනේ.. අපි උනත් ඔයාලව හොයාගත්තෙ කොරියාවෙදි නෙමෙයි මෙහෙදිනේ..  මෙතන කිසිම ආරක්ෂාවක් නෑනෙ..”

“රවීන්ගෙ තාත්තට අපි ගැන ඉව වැටිලා තිබුණා.. මං ගැන හොයන්න මිනිස්සුත් දාලා තිබුණා.. ඒක හින්දම බබා හම්බවෙච්ච හැටියෙම මං මෙහේට ආවා. මේ දරුවා හම්බවෙන්න ඉස්පිරිතාලෙ ඉද්දි හැම දෙයක්ම හොයල බලල කරේ සමීර..”

එතනින් එහාට දිලිනි කතාව නොකිව්වත් වෙලා තියෙන දේ මං තේරුම් ගත්තා. එහෙනම් හැම දෙයක්ම සිද්ධවෙලා තියේනනෙ ඔය විදියට. මං ඉසුරු දිහා බැලුවා. ඌ හිටියෙ උතුර දකුණ මාරුවෙලා වගේ.

“එදා රෑ ඔයාලා දෙන්නා මට හුඟක් ලොකු උදව්වක් කරා.. ඒ මේ දරුවා හොඳටම අසනීප වෙලා ඉන්දෙද්දි.. සමීර වගේම ඔයාලත් හුඟක් හොඳ ගතිගුණ තියෙන දෙවීවරු වගේ අය.. ඔයාලගෙ ඒ හිත හොඳකමට පිං සිද්ධ වෙනවා.. ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ.. අපි වගේ අන්ත අසරණ කාලකණ්නියො මේ තත්වෙන් හරි පණ පිටින් ඉන්නෙ ඔයාල වගේ හිත උණුවෙන අය හින්දා.. මේ හැමදේකම පින්, ඔයාලට මේ ආත්මෙදිම හම්බවෙයි..”

හැමදේම අහන් හිටියට පස්සෙ මටයි ඉසුරුටයි එතන තවත් රැඳිලා ඉන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒක හින්දම මං පුටුවෙන් නැගිට්ටා.

“අපි එහෙනම් යන්නං.. ඔයා පරිස්සමට ඉන්න..”

ඉස්සරහට කරන්න තියෙන හුඟක් දේ ඇස් ඉස්සරහ වගේ හිතේ මැවෙද්දි, දිලිනිගෙ අන්ත අසරණ මූණ දිහා බලලා මායි ඉසුරුයි කාර් එක ළඟට ඇවිදගෙන ආවා.

“තව දෙයක් මට ඔයාලගෙන් අහන්න තියෙනවා..”

“ඒ මොකක්ද..?”

“සමීර කියන්නෙ බෝධිසත්වයෙක් කියලා මං කියපු එක වැරදි නෑ නේද..?”

ඒ ප්‍රශ්නෙ අහනකොට මෙච්චර වෙලා හිනාවක් තිබ්බෙ නැති දිලිනිගෙ මූණෙ පුංචි හිනාවක් ආවා.

“නෑ දිලිනි.. ඔයා එහෙම හිතපු එක සීයට පන්සීයක් හරි.. අපි තමයි වැරදි.. ජීවිතේ හුඟ දවසකට පස්සෙ.. හුඟ කාලෙකට පස්සෙ අපිට හොඳටම වැරදුණා.. ඩිංගක් නෙමෙයි.. නැති වෙන්නම වැරදුණා..”

එහෙම කියන ගමන් මං කාර් එකට නගිද්දිත් ඉසුරු කාර් එක ස්ටාර්ට් කරලා ඉවරයි.

“ඉසුරු..”

“ඇයි රමියා..”

“මේ වෙච්ච දේ මට දරාගන්න බෑ.. මේ තරම් ලොකු වැරදීමක් මගේ ජීවිතේ කවදාවත්ම වෙලා නෑ.. ෂ්හ්.. හරි අපරාධයක් උනේ.. මට හිතාගන්නත් බෑ ඉසුරු..”

මායි ඉසුරුයි දිලිනිව හම්බවෙන්න ආවෙ සමීරගෙ ආදරේ හත් දවසෙ දානෙ දෙන්න.. ඒත් මේ අන්තිමට වෙලා තියෙන්නෙ මොනවද..? හැමදේම මගේ ඇස් ඉස්සරහම මටම පඬිසන් දීලා තිබුණා.. රත්තරං වටිනා ආදරයක් විනාශ කරලා දාපු පවත් ඒ පිටටම ගොඩ ගැහිලා තිබුණා..

“මෙහෙම දෙයක් වෙලා ඇති කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නෑනෙ රමී..”

“ඒක තමයි මේ වෙච්ච දේ මටත් අදහගන්න බැරි.. හැබැයි ඉසුරු, මේකෙන් එක දෙයක් ඔප්පු උනා..”

“ඒ මොකක්ද..?”

“සමීර කියන්නෙ මගේ සහෝදරයා.. ඒත් හාල්පාරුවෙක්, අපතයෙක් කියලා මං පැත්තකට දාලා තිබුණා.. ඌ මහා අංඩපාලයෙක් කියලා මං ඌඨ දස වද දීපු අවස්ථා ඕන තරම් තිබුණා.. ඒත්.. ඒත්..”

කතා කරගෙන යද්දි මගේ කටහඬ බිඳිලා ගියා. ජීවිතේ ගෙවිලා ගියපු අවුරුදු ගණනාවකට පස්සෙ, මගේ ඇස්වලින් උණුම උණු කඳුළු කඩාගෙන වැටුණා.

“ර.. රමී.. දෙ.. දෙයියනේ.. ඇයි මචං මේ..?”

“නෑ ඉසුරු.. මට මාර දුකයි.. මං කවදාවත් පිළිගත්තෙ නෑ.. සමීර කියන්නෙ මගේ සහෝදරයා කියලා.. මගේ ජීවිතේ අන්තිම පහළ තැනකට එයාව දාලා, පාගලා, මිරිකලා විනාශ කරලා දාලයි මං තිබුණෙ.. ඒත්.. ඒත්..”

“අපි මොනා හරි කරමු රමී..”

“කරන්න ඕන.. ඉසුරු කරන්න ඕන.. උඹ දන්නවද මට වැඩිය සමීර උසස් කියලා මං දැන් පිළිගන්නවා.. එයා මට වැඩිය ටැලන්ටඩ් කියලා මං පිළිගන්නවා.. එයා අදහන්න වටිනවා කියලා මං දැන් පිළිගන්නවා.. මං කොයි තරම් පහත් මිනිහෙක්ද ඉසුරු.. හ්ග්.. මං කොයි තරම් සවුත්තු මිනිහෙක්ද..?”

“රමී..? මොනවද මේ කියවන්නෙ..? මොකද මේ වෙලා තියෙන්නෙ..? අපි කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ.. අපි මෙලෝ දෙයක් දන්නැතුවනේ හැමදේම කරේ.. කොටින්ම අපි බැලුවෙ සමීරට හොඳක් කරන්න මිසක නරකක් කරන්න නෙමේනේ..”

“නෑ ඉසුරු.. මං කවදාවත් සමීර කියන කිසිම දෙයක් අහලා නෑ.. ජීවිතේට මිනිහගෙ දේකට ඇහුම්කන් දීලා නෑ.. අඩුම ගානෙ අද ගෙස්ට් එකෙන් එළියට එද්දි හැමදේම කියන්නම් කියලත් අපි සමීරයව දාලා ආවා.. මං ඒ වෙලාවෙවත් ඩිංගක් නතර උනා නම්..”

“රමී.. උඹගෙ අතේ වැරැද්දක් නෑ.. උඹ ඇයි ඔය තරම් පසුතැවෙන්නෙ.. මං ඉස්සෙල්ලත් කිව්වනේ.. අපි කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ කියලා..”

“කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැත්තං අපිට පාඩුවෙ ඉන්න තිබුණා බං.. අපි කෙරුවෙ අහස පොළව උහුලන්නැති අපරාධයක්..”

“අපරාධයක්..?”

ඉසුරුගෙ ඇස් දෙක ලොකු වෙනවා මං දැක්කා. කාර් එකේ වේගෙත් ඩිංග ඩිංග අඩුවුණා.. මං කිව්ව දේ උගේ පපුව මැදටම වැඳුණා වගේ.

“ඔව්.. අපි සමීරගෙ ආදරේ විනාස කරා ඉසුරු.. මගේ සහෝදරයගෙ ආදරේ මං නැති කරා.. මිනිහගෙ ශක්තියට කියලා තියෙන්න ඇත්තෙ මේ ආදරේ විතරයි.. මිනිහා මොන තරම් අමාරුවකින්ද මේ බඩල් ගේම් එක අරගෙන යන්න ඇත්තෙ..? පොඩි කාලයක්ද ඉසුරු.. අවුරුද්දකට වැඩීනේ.. මිනිහා තමන්ගෙ උපරිම සීමාවට ලංවෙලා ඉන්න ඇත්තෙ.. මිනිහට කොයි තරම් ප්‍රෙෂර් එකක් තියෙන්න ඇත්ද..?”

මට දැනුනෙ, කාලෙකින් දැනිල නැති පුදුමාකාර පසුතැවීමක්. ගෙස්ට් එකේදි වීරයෙක් වගේ හැසිරුණාට මං මහා පුහු වීරයෙක් කියලා මටම තේරුණා. හැබෑ වීරයා, හැමදේම දරාගෙන, හැමදේම උහුලගෙන, තමන්ගෙ පණ වගේ ආදරේ බිමටම ඇදගෙන වැටෙද්දි ඔහේ බලාගෙන හිටියා. අඩුගානෙ මට විරුද්ධව එක වචනයක්වත් මගේ සහෝදරයගෙ කටින් පිටවුනේ නෑ කියලා මං මතක් කරගත්තා. වෙනදට පුංචි දේටත් මගෙත්තෙක්ක මරාගන්න එන මගේ සහෝදරයා තමන්ගෙ හැමදේම නැතිවෙලා යද්දි ඔහේ බලන් හිටියා කියනෙක නම් මට දරාගන්න බැරිවුණා.

“ටිකක් හිතපං ඉසුරු.. තමන් ආදරේ නොකරන, තමන්ගෙ නොවෙන ගෑනියෙකුයි, අත දරුවෙකුයි තමන්ගෙ වගේ බලා කියාගන්නෙක, බැඳපු නැති කොල්ලෙකුට කොයි තරම් අමාරු වැඩක් වෙන්න ඇත්ද කියලා.. මිනිස්සු මොනවා නොකියන්න ඇත්ද..? ෂහ්.. ෂහ්.. ෂා.. මේ හැමදේම දරාගනෙ අයියා ජීවත් උනානේ..”

මං අත් දෙකෙන්ම නලල මිරික ගත්තා.. මගේ ජීවිතේ මං කරපු ලොකුම විනාසෙ වගේම ලොකුම වැරැද්දත් මේක තමයි.. මං මගේ සහෝදරයව බිංදුවක්වත් තේරුම් අරන් හිටියෙ නෑ වගේම මං මගේ සහෝදරයව සම්පූර්ණයෙන්ම විනාස කරා.

“ඔය විදියට පසුතැවිලි වෙන්නෙපා රමී.. මටත් ජීවිතේ ගැන බය හිතෙනවා..”

“මං පසුතැවිලි වෙන්නෙ වැරැද්දක් කරපු හන්දා. මේ තරම් නිර්දෝෂී මනුස්සයෙකුට මං සතෙක් වගේ සලකපු හින්දා. හරි නම් මට කරන්න තිබුණෙ මේ හැමදේටම අයියට උදව් කරන්නනේ.. තමන්ගෙ යාලුවගෙ ආදරේට මේ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් රත්තරං හදවතක් අත ළඟ තියාගෙන මං පිස්සු බල්ලෙක් වගේ රට පුරාම මිනිස්සුන්ට උදව් කර කර දිව්වා. ඒත්.. මං ගාව හිටපු මගේ සහෝදරයට මං වතුර උගුරක්වත් දුන්නෙ නෑ.. මං දන්නෑ.. මං දන්නෑ.. මට මේ පාපෙන් කවදා ගැළවෙන්න ලැබෙයිද කියලා..”

“අපි මොනා හරි කරමු බං.. සැලෙන්න එපා..”

මගේ ඔලුවෙත් ඒ වෙනකොට ඇවිල්ල තිබ්බෙත් ඒකම තමා. පිස්සු විකාරෙන් වගේ හිතේ අමාරුව යන්න, මේ කියවන කියවිල්ලෙන්, මෙලෝ වැඩක් වෙන්නෑ කියලා මටම තේරිලා තිබුණා. දුකක්, පසුතැවීමක් සිද්ධ වුණා නම් ඒකෙන් මිදෙන මාර්ගය මං අදහන ආගමේ  තියෙනවනේ. දුකත් නම් දුක ඇතිවීමට හේතුව හොයාගන්න ඕනෙ.

“සුභාෂි එකට යමු..”

එකපාරටම මං කියපු දේට ඉසුරු ගැස්සිලා ගියා. ඌ මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.

“උඹ බොන්නද යන්නෙ..?”

දැන් මටයි පුදුම වෙලා වගේ ඉසුරු දිහා බලන්න තියෙන්නෙ.. මූත් වෙලාවකට කියවන්නෙ පිස්සු තමයි..

“පිස්සුද..? බීමේ උනක් දැනට මට නෑ.. ඒක මේ සියල්ල අවසාන කරලා බලමු.. අපි සමීරව දැකපු අවසාන අවස්ථාව සුභාෂි එකනේ. අපි එතනින්ම පටනගමු.. තව පරක්කු උනොත් හැමදාටම පරක්කු තමයි..”

ඉසුරු කාර් එක සුභාෂි ගෙස්ට් එකේ පාක් කරද්දිම මං බැහැ ගත්තා.  ඒ බහිනකොට තමයි මං දලුවත්ත දැක්කෙ.. දලුවත්ත කියලා කිව්වෙ, සුභාෂි එකේ මැනේජර්..

“මං ඒත් බැලුවා සර්ලා කොහෙද ගියේ කියලා.. මං ඩ්‍රින්ක් එක සේරම අයින් කරලා තිබ්බා.. සර් මං ආයෙත් ටේබල් එකක් ලෑස්ති කරන්නද..?”

“නෑ දලුවත්ත.. ඒක එහෙම්ම තිබුණාවෙ.. අපි ආවෙ වෙන වැඩකට..”

දලුවත්තගෙ ඇස් දෙක හීනි උනා.. මෑන් බලනව ඇති ඕඩර් කරපු ඩ්‍රින්ක් එකත් නොගෙන මේකා නටන්න හදන නාඩගම මොකක්ද කියලා.

“මොකක්ද සර්..?”

“දැන් පැය දෙකකට විතර කලින් මෙහේට කපල් එකක් ආවනේ.. මං හිතන්නෙ ආන්න අර රූම් එකේ වෙන්න ඇති හිටියෙ..”

මං කොරිඩෝව කොනට අත දික් කලා. දලුවත්තගෙ නළලෙ ඒ පාර රැලි තුන හතරක් විතර ඇඳිලා ගියා. කොහොමටත් මෙතෙන්ට කෙල්ලො අරගෙන දන්න කියන අය ඇරෙන්න වෙන කවුරුවත් එන්නෑ. මෙතන රූම්ස් උනත් දලුවත්ත දේනනෙ එන එකාගෙ පැටිකිරිය ටිකක් බලල තමයි. කොටින්ම දන්න අඳුනන එකෙක් ගෙන් ලාවට හරි ගැරන්ටියක් ඕනෙ.

“ඒක මාර අවුලක් සර්.. පිස්සු හැදෙනවා..”

“ඇයි දලුවත්ත..?”

ඒ වෙනකොට ඉසුරුත් අපි ළඟට අවිත් හිටියා. දලුවත්ත මටත් වැඩිය අඳුනන්නෙ ඉසුරුව. මගෙත් එක්ක කතා කරන ගමන් දලුවත්තගෙ කට හතර කොනටම පලල් උනා ඉසුරුව දැකලා.

“රූම් එක බුක් කරාට ඒ ජෝඩුව විනාඩි පහක්වත් හිටියෙ නෑ. මං හිතන්නෙ මොකක් හරි කේස් එකක්.. කෙල්ල ආවා වගේම සුටුස් ගාලා ගිහිල්ලා..”

ඔය ටික නම් මාත් දන්නවනේ උලමො.. දන්නැත්තෙ ඉතුරු ටිකනේ.. මේකා ඔය ඩිංග කියන්නද මේ තරම් තැටමුවේ.. වෙන වෙලාවක නම් දනී කරන වැඩේ.. දලුවත්තගෙ දල්ල කඩනවා ඌටත් නොදැනිම.

“කෙල්ල ගැන අවුලක් නෑ.. කෝ කොල්ලා..?”

ඒපාර ඉසුරු මැද්දට පැන්නා. දලුවත්තගෙ පලල් වෙච්ච කට හීනී උනා.

“ඉසුරු මහත්තයට කියන්න.. මාර සීන් එකනේ..  මිනිහා හොබ්සන් බ්‍රැන්ඩි එකක් කටේ තියාගෙන ගහගෙන ගහගෙන ගියානේ..”

“මොකක්..?”

මායි ඉසුරුයි ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් දැම්මට හීනෙකින්වත් හිතුවෙ නෑ, මගේ සහෝදරයා බොනව ඇති කියලා. අයියකාරයගෙ ඒ වගේ අංගම්පොර ලක්ෂණයක් මං දැක්කෙත් නෑ.. දලුවත්තගෙ කතාව නම් මගේ පපුවට සෑහෙන්න තරමෙ ප්‍රහාරයක් උනා. මොකක්ද දෙයියනේ මේ වෙන්න යන්නෙ..?

“ඔව්.. ආයෙ හෝදන්න දෙයක් නෑ.. මිනිහා ඔර්ජිනල් ඩෝපර් කෙනෙක්.. හැගුවා කියන්නෙ ලොවෙත් නෑ එහෙම ගැහිල්ලක්..”

“කෝ දැන් මිනිහා..?”

“කෝ අහන්නෙ..?”

“ඇයි මනුස්සයො.. දැන් තමුසෙ කිව්වෙ මිනිහා ගහන්න පටන් ගත්තා කියලා.. අපි අහන්නෙ මෑන් කොහෙද කියලා..?”

“මෑන් සං සං ගාලා ගියා..”

“මොකක්..?”

“ඔව්.. ඒක නම් ඉස්තරම් ගැහිල්ලක් ඉසුරු මහත්තයා.. වැඩිම උනොත් විනාඩි පහක් යන්නැති.. මෑන් බෝතලේටම වග කිව්වා.. ඒ පැත්ත බලන් ඉඳපු මටත් ඩෝප් උනා.. ඒ ගහපු ගැහිල්ලට..”

දලුවත්තගෙ කතාවට මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මා.

“මිනිහ කොහෙටද ගියේ..?”

“දන්නෑ.. කාටද කෝල් කරලා ත්‍රීවිල් එකක් ගෙන්න ගත්තා.. මගේ බිල ගෙව්වා.. සුටුස් ගාලා වාෂ්ප උනා.. මං හිතන්නෙ ලව් එක බ්‍රේක් ඩවුන් වෙලා වගෙයි.. ආ.. මහත්තයො.. ඔයාලගෙ යාලුවෙක්ද..?”

දලුවත්ත අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න තරමෙවත් වෙලාවක් අපි එතන හිටියෙ නෑ.. ඉසුරු කාර් එක කෙලින්ම රිවර්ස් කරලා පාරට ගත්තා.

“දැන් මොකද කරන්නෙ රමී..?”

“දැන් කොහොම හරි අයියව හොයාගන්න ඕන.. ඔක්කොමත් හරි මේ මනුස්සයා කණ පැලෙන්න බීලා ඉන්න එකනේ ඉවසන්න බැරි..”

“මෑන් නොබී හිටියා නම් තමයි පුදුමෙ.. සමහර විට දිලිනිව බලන්න ගියාද දන්නෙත් නෑ..”

“නෑ ඉසුරු.. ඔය විදියට බීලා කීයටවත් යන්නෑ.. මිනිහගෙ ස්ටේටස් වලට ඒක හොඳ නෑ.. මොනව නැති උනත් අයිය තමන්ගෙ තත්වෙ නැති කරගන්න කෙනෙක් නෙමෙයි.. මේ වෙච්ච දේවල් වලින් ඒක හොඳටම ඔප්පු වෙනවා..”

“අපි කොරියාව පැත්තට යමු රමී..”

“අදහස හොඳයි ඉසුරු.. ඒත් ඊට කලින් අපි ත්‍රීවිල් ස්ටෑන්ඩ් වලට ගිහිල්ලා ටිකක් හොයල බලමු..”

“ගුඩ් අයිඩියා..”

ටවුන් එකෙයි, ටවුමට මෙහායි ත්‍රීවිල් පාර්ක් කීපයක්ම තිබුනා. අපි මුලින්ම විපරම් කරල බැලුවෙ කොරියාවට කිට්ටු ත්‍රීවිල් පාක්වල වගේම සුභාෂි ගෙස්ට් හවුස් එක ළඟ තිබ්බ ත්‍රීවිල් පාක් හත අටෙයි. පැය භාගයක් විතර ගියාට පස්සෙ සමීරගෙ හැඩ රුවයි කණ පැලෙන්න බීල හිටපු එකයි කියලා, අපි දෙන්නා යාන්තන් මිනිහා ගියපු ත්‍රීවිල් එක හොයාගත්තා. මුදලි ඒ තරම් උවමනාවකින් වීල් එකේ මල්ලි අපිත්තෙක්ක කතා කරේ නෑ. මිනිහා නිකම් බය වෙලා වගේ හිටියෙ. සමහර විට මිනිහා බලන්න ඇති මේ මොන මරාලයක්ද කඩන්පාත් වෙන්න යන්නෙ කියලා.

“මොකක් හරි ප්‍රශ්නයක්ද සර්..?”

මං හිතපු දේ හරියි කියල තේරුනේ ත්‍රීවිල් මල්ලි අහපු ප්‍රශ්නෙන්.

“ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ බීපු මනුස්සයට.. ඒකනේ බීලා තියෙන්නෙ.. නෑ.. බෑ.. නොකිය මෑන් බැස්සුව තැනට අපිව ගිහින් දානවද..?”

ඉසුරු කාර් එකේ එද්දිම, මං ත්‍රීවිල් එකට නැග ගත්තා.. කරන්න දහසක් වැඩ තියෙනව උනත්, ඔක්කොටම කලින් අයියව හොයාගන්නෝන.. එහෙම නොවුණොත් හැමදෙයක්ම ඉවරයි..

“මෙන්න මෙතෙන්ට තමයි එක්කං ආවෙ.. හැබැයි ඉන්නවද දන්නෑ..”

අපි හිතුව වගේම වීල් එක ඇවිත් නතර වුණේ කොරියාවෙ අඳුරු කොටසක.. සමහර විට, මෙතන වෙන්න ඇති අයියා දිලිනිවයි, දරුවවයි නවත්තල හිටියෙ. ඒ එක්කම මගේ පිටිපස්සෙන් ඉසුරු කාර් එක නතර කරනවා මට ඇහුණා. බාගෙට ගරා වැටුණු අඳුරු පාට වෙච්ච පුංචි කාමර දෙකක් ඉස්සර මං නැවතිලා හිටියෙ.

“රමී.. මෙතෙන්ටද ඇවිත් තියෙන්නෙ..?”

කොරියාව ජනාකීර්ණ ප්‍රදේශයක් උනත් මේ වෙලාවෙ, නම් සැලකිය යුතු කිසිම කෙනෙක් පැත්ත පළාතක හිටියෙ නෑ. පොඩි ඈයො නම් හතර පස් දෙනෙක් ඉසුරුගෙ කාර් එක වටේ දුව දුවා හිටියා.

“යං..”

මායි ඉසුරුයි දෙන්නම කැඩිච්ච පඩිපෙළ උඩට අඩිය තිබ්බෙ එකටමයි. දොරට තට්ටු කරනවද නැද්ද කියලා හිතන්නත් ඕන උනේ නැත්තෙ, දොර බාගෙට අඩවල් කරල තිබ්බ නිසා. ඇතුළෙ මොන වගේ පෙරලියක් වෙලා තියෙනවද කියල හිතාගන්න බැරිව, පපුව දෙමෝලෙන් පිටි කොටද්දි අපි හෙට ඇතුල් උනා. ඒත් ගේ ඇතුලෙ කිසිම හාවක් හූවක් නෑ. ඒ ගෙට අයිති වෙලා තිබ්බ එකම එක කාමරේට මං ඊළඟ තත්පරේ එබිලා බැලුවා.

“ස..මී..ර..”

බාගෙට කොහු එළියට පැනල තිබ්බ අබලන් මෙට්ටෙක මගේ සහෝදරයා හතරගාතෙ දාලා නිදාගෙන ඉන්නවා. මගේ හිතට සැනසීමක් ආවෙ, මේ මනුස්සයාව මෙහෙම හරි හොයාගත්තු එකට.

“දලුවත්තයා කිව්ව වගේ කණ පැලෙන්නම ගහල නේද..?”

“හ්ම්.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. අපි ඩිංගක් කතා කරල බලමු..”

“ස..මී..ර.. සමීර..”

එක් කුසේ උපන්න සහෝදරයා උනාට මට කවදාවත් අයියේ කියල කතා කරල පුරුද්දක් තිබුණෙ නෑ. මේ හතර අතම අවුල්වෙලා තියෙද්දිත් මගේ දිවට ආවෙ අයියගෙ නමම තමයි.

“ම්..හ්..ක.. කවුද..?”

යාන්තමට ඇස් අරින්න හැදුවත්, අරක්කු මත ඒ හැමදේම පහු කරල ගිහින් තිබුණා.

“ම..  මම..?”

“මම කිව්වෙ කවුද යකෝ..?”

ඒ වගේ අමනුස්ස කටහඬක් මං අයියගෙන් ජීවිතේට අහල තිබුණෙ නෑ. මං වගේ ඉසුරුත් ගැස්සිලා යනවා මං දැක්කා. මේ මනුස්සයට මොනව වෙලාද අප්පා.

“මම රමී..”

මං ටිකක් සැරෙන් කිව්වා. මේ මනුස්සයගෙ ලෝකෙම කඩාගෙන වැටිලා තිබුණා උනත්, මට මෙතන බබා වෙන්න බෑ..

“ආ.. රවීන්..! රවීන්..! මගේ බොක්කෙ යාලුවා.. උ.. උම්බ ආවද මචෝ.. උඹ ලංකාවට ආවද..? උඹ දන්නවද.. උඹ දන්නවද.. මං උඹ හින්දා කොයි තරම් කට්ටක් කෑවද කියලා.. ආ..?”

මං ඉසුරුගෙ මූණ දිහා බැලුවා. මං රමී කියලා කිව්වත් අයියට ඇහුණෙ හරි අහගත්තෙ හරි රවීන් කියලා. ඒකයි ඔය විදියට කතා කරන්නෙ.

“මං රමී....”

“නික්කාං.. ඉඳපං.. උඹ ආපු වෙලාව බලපංකො.. මෙච්චර කල් මොන ඇටමඟුලක් කරාද යකෝ.. රටේ ලෝකෙ ඈයොන්ගෙන් මං නොහොඹිනා කතා දාස් ගානක් ඇහුවා.. දැන් මගෙ රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. මට තවත් මේ බර අදින්න බෑ රවීන්.. උඹෙයි මගෙයි යාලුකමට මං මගේ උපරිමේම කරා.. තවත් මොනවද උඹ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ.. මට හුඟක් මහන්සියි රවීන්..”

අයියා සිහිය විකල්වෙලා වගේ කියවගෙන කියවගෙන යන එක  නතර කරන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.. ඉසුරුත් ඔහේ බලාගෙන හිටියෙ, හිතේ තියෙන හැම දෙයක්ම කියන්න අයියට ඉඩ ඇරල වගේ.

“උ.. උඹ දන්නෑ.. උඹ දන්නෑ.. සයුරිට මේ කතන්දරේ හංගන්න මං වින්ද දුක.. මොන කෙල්ලද කැමති වෙන්නෙ, තමන්ගෙ කොල්ලා රෑ දවල් තිස්සෙ වෙනින් කෙල්ලෙක් ළඟ ඉන්නවට.. ආ.. උඹට තේරෙනවද..? උඹට තේරෙනවද..? ඒත් මං නොම්මර එකේ බඩල් ඇක්ටින් පාරක් දිදී හිටියා.. මගේ සයුරිට මං ද්‍රෝහි උනා කියලා මං හිතන්නෑ.. මේ වෙලාවෙ උඹ වෙනුවෙන් මං දෙයක් කරන්න ඕන රවීන්.. හ්..ග්..”

එහෙනම් අර ලංසි පාටට හිටපු සුදු කෙල්ල තමා සයුරි.. ඕන් බලපල්ලකො ඒකෙත් හැටි.. රමීට පහුගිය කාලෙ මොන තරම් දේවල් වැරදිලාද හත්තිලව්වෙ.

“ඒත් මං හිතුවෙවත් නැති විදියට මගේ සේරම ඉවර උනා බං.. මට මගේ සයුරි නැත්තටම නැති උනා.. හැබැයි උම දැනගනිං.. උඹ දැනගනිං.. ඒක මගේ වැරැද්දක් නෙමෙයි.. උඹ අහල ඇතිනේ තමන්ගෙ සමානයා තමන්ට මුණ ගැහිච්ච දවසකට කරලියේ සියලු රැඟුම් අවසානයි කියලා.. මටත් මගේ සමානයා මුණ ගැහුණා.. ඒ තමයි මගේ ආදරණිය සහෝදරයා.. රමී.. ඔව් රමී.. මාව විනාසම කරල දැම්මා.. රමී මාව විනාස කරා.. ඔව් රමී.. මට උඹත්තෙක්ක හැප්පෙන්න බෑ.. උඹ දිනුම්.. මගේ සහෝදරයා.. උඹ දිනුම්..”

ඇස්වල කඳුළු ආයෙමත් අලුත් වෙද්දි මං අත දෙක ගුලි කර ගත්තා. ෂිහ්.. මං මොන තරම් අසත්පුරුෂයෙක් විදියටද හැසිරිලා තියෙන්නෙ.. මගේ සහෝදරයා මං හින්ද මොන තරම් දුකක් විඳන්න ඇත්ද..?

“රවීන්.. උඹ මගේ මල්ලිට කියපං.. මං ඌට ගුඩ් බායි කිව්වා කියලා.. ඔව්.. ගුඩ් බායි රමී..! ගුඩ් බායි..!!”

ඩෝප් මරගාතෙ අයියා කියවන් ගියපු දේවල් වලින් ගුඩ් බායි රමී කියලා එයා මහා සද්දෙට කෑගහලා කියද්දි මාව වෙව්ලලා ගියා. ඒ වෙව්ලිල්ලත් එක්කම තමයි ඉසුරු මං දිහා බැලුවෙ.

“ගුඩ් බායි කියන්න තාම වෙලාව ඇවිත් නෑ රමී.. අපි දැන් ගේමට බහිමු..”

හැමදාම වගේ මගේ බොක්කෙ ෆිට් එක, ඉසුරු ගේමට බැස්සා. මේකා මොනවා කරන්න හදනවද මංදා.. බලමුකො පුංචි චාන්ස් එකක් දීලා.

“සමීර.. සමීර..”

“මො.. මොකද බං.. උම්බ මට නිදාගන්නවත් දෙන්නැද්ද..?”

“උඹ ඕන තරම් නිදාගනිං.. ඒත් සයුරි ගෙදර ගියාද දන්නෙ නෑනෙ බං..”

“ඒකි මාව එපා කියල ගියානේ.. කමක් නෑ..! රමියා මගේ ආදරේ විනාස කරා.. ඒකි මාව දාලා ගියා.. උං දෙන්නම එකයි.. උං දෙන්නම එකයි.. උං දෙන්නම මාව පෑගුවා.. මාව නැත්තටම නැති කලා.. රවීන් උඹට ඒවයින් වැඩක් නෑ.. උඹ පටාස් ගාලා දිලිනි ළඟට පලයං.. මං තව ඩිංගකින් එන්නං.. උඹට පේනවනේ.. මට ටිකක් වැඩියි.. වැඩේ කියන්නෙ උඹ අදම ආපු එකනේ..”

“ඒක හරි.. දිලිනිව බලන්න ඕන තමා.. ඒත් ඊට කලිං මට ඕන සයුරි ගෙදර ගියාද කියල බලන්න.. මොනව උනත් අපේ හොඳ යාලුවෙක්නෙ..”

“උම්බ මට කියන්නෙ මොනව කරන්න කියලද..?”

“සයුරිගෙ ගෙදර තියෙන තැන මං දන්නෑ.. දන්නව නම් මගට හරි ගිහින් බලන්න තිබ්බා..”

ඉසුරුවත් මාර භාන්ඩයක් තමයි.. කොයිතරම් ගුරු කාස්ට් බුවෙක් උනත් රමීට ඔය වගේ අඩියිඩා එකක් ආවෙ නැහැනේ.. වැඩේ කියන්නෙ ඉසුරුගෙ ප්‍රශ්නෙට අයියගෙන් ඒ වෙලාවෙම උත්තරේ හම්බ උනු එක.

“රවීන්.. උඹ දන්නැද්ද මගේ සයුරි ඉන්න තැන.. ආ.. උඹ කොහේ දැනගන්නද..? උඹ අදනේ රට ඉදන් ආවෙ.. ඔව්.. උම කියන එකත්  හරි තමා.. සයුරිව බලන්න එන්නෝන.. කුමාරතුංග මාවතේ අංක 51ට පලයං.. එතන මගේ අහිංසක කෙල්ලයි, හගේ නැතිවෙලා ගියපු ආදරෙයි ඇති..”

ඔය තියෙන්නෙ.. එතනින් එහාට අයියා කියෙව්වෙ නැති උනත් කමක් නෑ කියලා මට හිතුණා.

“ඉසුරු.. අයියව අල්ලපං..”

කියන පරක්කුවට ඉසුරු අයියගෙ කකුල් දෙකෙන් අල්ලල උස්සද්දි මං ඔලුවයි, පපුවයි හරියනේ උස්සගෙන කාර් එකේ පස්ස සීට් එකට දාගත්තා.. මුලදි ටිකක් විරුද්ධ වුණත්, මොනවදෝ කියව කියවා හිටිය මිසක අයියා අපිට කරදරයක් කරේ නෑ. ඩෝප් ගතිය අඩු වැඩි වෙවී සැරින් සැරේට අයියව ෆෝම් කරන ගතියක් තිබුණා. කොහොමටත් නැපෝලියන් හොබ්සන් කියන්නෙ තැපෑලෙන් ඇවිල්ලා ඩෝප් වෙන ඩ්‍රින්ක් එකක්නේ.


No comments:

Post a Comment