Tuesday, January 22, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


පහුවෙනිදා උදේ හය වෙද්දි මං නැගිට්ටා. නැගිටලා බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන එනකොට මෙන්න අයියා මගේ මූණ ඉස්සරහ.

තව පාරක් නැත්ක් යූ..

අර මොකටද..?


දැන් මට මුගේ තැන්ක් යූ වැඩිවෙලා තියාගන්න තැනක් නැතිවෙනවා.

ඊයෙ රෑ මාව පාවලා නොදුන්නට..

මුගෙ කට කන්න එපෑය මේ කතාවට.. අර තරම් දහ පදුරා විදියට අම්මගෙනුයි, තාත්තගෙනුයි බැනුම් අහලා ඉවසන් හිටියට මූ මට ගහන හින්ට් එකක්නෙ මේක. අනේ ඇතත්ට මූ වගේ නොසංඩාල සහෝදරයෙක්. මං මේකා ගැන ලෙන්ගතු හිතක් ඇතිකර ගන්න හදනවා. මූ එනවා මට අහෝ දෙව්දත් නොදුටි මොක්පුර පෙන්නන්න.

රමී..

ඇඳුමක් දාගෙන බයික් එක උඩට නගිනකන් බලන් ඉඳල වගේ අයියා ආයෙත් මගේ ළඟට ආවා. ඒ පාර මොකක්ද මූ කියන්න හදන්නෙ.

යන ගමන සුභවේවා! මොකද ඉතිං මං වෙනුවෙන් යන ගමනක් නේ..  හැබැයි රමී..! සයුරි වැඩිය සුප්පාට් දාගෙන ආවොත් ඔයා කැත නැතුව බැනලා එන්න.. මං ලබන ආත්මෙ හරි එයත් එක්ක ගණුදෙනු බේරගන්නම්..

හරි.. හරි.. එච්චරද කියන්න තියෙන්නෙ..?

නෑ.. තව දෙයක් තියෙනවා.. මං ඊයෙ රෑ කිව්වා වගේ මගේ කැමැත්ත ගැන.. මං කැමතියි රමී, ඔයා ඉමාෂිව බඳිනවා නම්..

ඉමාෂිව..?

ඔව්.. ඔයාලා දෙන්නා නියමෙට මැච් වෙනවා.. මමත් ඒකි මගේ නෑනා වෙනවට කැමතියි..

කටත් අමුතු විදියට ඇද කරගෙන, සවුත්තු  හිනාවකුත් දාගෙන අයියා කිව්වා. එහෙනම් මේ ටික කියන්නයි ඊයෙ රෑ අර තරම් තැටමුවෙ.. කොහොම උනත් මගේ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා.. අයියගෙ කතාවෙන්, හරියට නිකං හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ.

ඉසුරුලගෙ ගෙදරට මං යනකොට ගේ ඇතුළෙ මෙලෝ හැල හොල්මනක් නෑ.. ඉසුරුවගෙ කාර් එකත් එළියෙ පේන්න නෑ.. මං ගේ ඇතුළට එබුණා.

ඉ..සු..රූ..

කීප සැරයක්ම නම කියල කතා කලත් කිසිම වගතුවක් උනේ නෑ. මේ මිනිස්සුන්ට මොනා වෙලාද අප්පා.

ඉ..සු..රූ..

තවත් පාරක් හයියෙන් කතා කරද්දි, පිටිප්සසෙ කාමරේ ඉඳලා ඉමාෂි දුවගෙන ආවා. කෙල්ලගෙ කොන්ඩෙන් වතුර ගලනවා.. උදේම නාලා වගේ කියල මට හිතුනා.

රමී අයියෙ.. අපේ අයියා කොට වගයක් බලන්න ගියා..

හුටා.. එතකොට අපි සයුරි හම්බවෙන්න යන්නෙ කොහොමද..?

ඇයි ඔයා බයික් එකේ නෙමේද ආවෙ..?

බයික් එකේ තමා..

එහෙනම් ඒකෙ යමු..

ඉමාෂිගෙ මූණෙ හිනාව කට කපලා එකයි. කෙල්ල එහෙනම් ආසාවෙන් ඉඳලා තියෙන්නෙ මගෙත්එක්ක බයික් එකේ යන්න. එයාගෙ අංග ලක්ෂණ අනුව මං තේරුම් ගත්තු එකම දේ එච්චරයි. හැබැයි ඉතිං.. හැබැයි ඉතිං.. ඉමාෂි වගේ කෙල්ලෙක් හා කිව්වහම රමීත් බෑ කියයිද..?

ඔයා නෑවද..?

හ්ම්.. ම්... කොහොමද දැනගත්තෙ..?

සුවඳ දැනුණා..

ඉඹින්නෙත් නැතුවම..?

ඔලුවත් ලතාවකට පැත්තකට ඇල කරන ගමන් ඉමාෂි ඇහුවා. මගේ හිත හිරි වැටිලා ගියා. එතන තිබ්බෙ යාංතමට අඳුරට බරවෙච්ච පරිසරයක්. ඕනෙ නම් ඉමාෂිගෙ උරහිස් දෙකෙන් හයියෙන් අල්ලගෙන, මගේ පපුවට තද කරගෙන එයාව ඇති වෙනකල් ඉඹින්න පරිසරේ එතන හැදිලා තිබුණා. ඒත් මං මගේ හිත පාලනය කරගත්තා. ඉමාෂි කියන්නෙ, මගේ කෙල්ල නෙමෙයි.. මේ ඉන්නෙ ඉසුරුගෙ නංගි.. ඒ කියන්නෙ මගෙත් නංගි.. මං මටම කියාගත්තා.

ගුටියක් ඕන වෙලාද..? ආ..

මං ටිකක් සැරෙන් ඉමාෂිගෙන් ඇහුවා. කෙල්ලගෙ මූණෙ හිනාව තව ඩිංගක් වැඩි උනා.

ම්.. සැර කරල නම් මාව බය කරන්න බෑ තේරුණාද..?

එහෙනම් කොහොමද ඔයා බයවෙන්නෙ..?

ආදරෙන් කිව්වම..

කෙල්ල දිගින් දිගටම එන්නෙ රමීගෙ හිත ඇතුළට කියනෙක, ආයෙ හිතන්න දෙයක් තිබුණෙ නෑ. මගේ හිතටත් ඉමාෂි ගැන එක එක දේවල් හිතෙන්න අරන් තිබුණා. චිකේ.. තොපේ වල් හිත්.. යකුනෙ එක එක දේවල් කිව්වෙ, ආදරේ, ලෝබකම, අයිතිකර ගැනීම ඔය වගේ දේවල්..

අපි යමුද ඉමාෂි..?

මිදුලට ඇවිත් මං බයික් එක ස්ටාර්ට් කරගත්තා. හෙල්මට් එකත් දාගෙන කෙල්ල මං හිතුවටත් වැඩිය ඉක්මනට බයික් එකට නැග්ගා. තව ඩිංගෙන් බයික් එකත් පෙරලෙනවා.

තියෙන හදිස්සිය..

එහෙම තමයි.. ඔයා ළඟින් මෙහෙම යන්න හම්බවෙන්නෙ බොහොම ඩිංග කාලයයිනේ.. ඉතිං එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන..!

මේක නම් කටක් නෙමෙයි.. අල්ලනවා මං දැන් කනෙන්..

හෙල්මට් දාලා තියෙද්දි කනෙන් අල්ලන්නෙ කොහොමද රමී අයියෙ..?

මගේ ඇඟට තවත් හිරවෙන ගමන් ඉමාෂි ඇහුවා. හිර උනා නම් මැදැයි. මගේ බඩ මැද්දෙත් අත දාලා එය ාමාව තවත් එයාගෙ ඇඟට තද කරගත්තා. මොන තරම් නෙයියාඩගම් නැටුවා කියලා මට කයි කතන්දර හදලා තිබ්බත්, කෙල්ලෙක් එක්ක මේ වගේ බදාගෙන හොඳටම ළගින් ප්‍රසිද්ධියෙ ගියපු පළවෙනි වතාව මේක.

රමී අයියෙ..

මගේ උරහිසට උඩින් නිකට හරිය තියලා තද කරන ගමන් ඉමාෂි කොඳුරනවා.

ම්..

ඊයෙ රෑ, සයුරි මට කතා කරා..

සයුරි කතා කරා..?

බයික් එක එහෙම්ම පාර අයිනට වෙන්න මං නතර කරා.

ඔව් අයියෙ.. එයා ෆෝන් එක රෑ ඔන් කරහම, මං ගත්තු කෝල්ස්, මිස් කෝල්ස් එලර්ට් විදියට එයාගෙ ෆෝන් එකට ගිහින් තිබිලා.

ඉතිං..?

මං කිව්වා වැදගත්ම කාරණයක් ගැන කතා කරන්න හෙට උදේ එයාලහ එනවා කියලා.. එයා ඉන්නෙ කොහෙද කියලත් ඇහුවා..

ඔව්.. එහෙම අහපු එක හොඳයි.. අර නාකි පරාණෙ අපිට කිව්වෙ එයා නුවර ගියා කියලනේ..

එ එයා බොරුවට කියල තියෙන්නෙ.. සයුරි ගෙදර තමා ඉඳලා තියෙන්නෙ.. කොහොම හරි මට බේරිල්ලක් නෑ.. වැදගත් කාරණේ මොකක්ද කියන්නය කියලා..

ඉතිං..?

මං කිව්වා.. සයුරි.. හෙට දවස ගැන බලාපොරොත්තු තියන් ඉන්න.. මං හරියටම හතාමාරට ඔයාලගෙ ගෙදර එනවා කියලා.. කතාව එච්චරයි රමී අයියෙ..

එහෙනම් මේකයි සෙල්ලම ඈ.. මං හිතුවා.. මං හිතුවා.. හයියෝ..

එකපාරටම මායි ඉමාෂියි ඉස්සරහට ආපු කෙට්ටු කොල්ලෙක් කෑගහන්න ගත්තා. දෙයියනේ මේ රංගන නේද..? මුගේ ඇඟට මොනව වෙලාද මේ.. පපුවයි, පිටයි දෙකම එකක් වගේ, මූණ ඇස් හැම දෙයක්ම විනාස වෙලා ගිහිල්ලා.. කුඩු, මූට කරල තියෙන විනාසයක්..

රංගන.. තමුසෙට මොනවද මේ වෙලා තියෙන්නෙ..?

මොනව වෙන්නද රමී අයියා.. ඔයා මගේ වස්තුව උදුර ගත්තා..

මොන වස්තුවද..?

ඇයි හත්වලාමෙ ඔය පිටිපස්සෙ ඔයාට තුරුළු වෙලා ඉන්නෙ.. ඒක මට හිමිවෙන්න තිබ්බ වස්තුව.. ඇයි කෙල්ලෙ ඔයා මට මෙහෙම කරේ.. හ..යි..යෝ..

රංගනට හරියට කතා කරගන්නත් බෑ.. කුඩු විසින් මේ කාලකන්නියාව මුළුමනින්ම විනාස කරල දාලා. කලින් මේකා හිටපු විදියයි දැන් මේකා ඉන්න විදියයි දැක්කම නම් මේ ලෝකෙ සංසාර පුතෙක් කුඩු ගහන්නෑ.

රංගන මේ..? අපිට පව් නොදී මෙතනින් යනවා.. තමුසෙත් එක්ක මගේ ගණුදෙනුවක් නෑ කියල දන්නවනේ.. මට කරදර කරන්නෙපා..

ඇයි සුදූ.. ඔයා ඔහොම කතා කරන්නෙ..?

සුදූ..? තමුසෙට කොහෙන්ද මිනිහො මට එහෙම කතා කරන්න හයියක්..?

ඇයි සුදූ.. ඔයා මගේ කෙල්ලනේ..

කෙල්ල.. හීනෙන් වෙන්නැති.. මතක තියාගන්නවා මං තමුසෙගෙ කෙල්ල නෙමෙයි..

ඉමාෂිත් කතා කරන්න ගියහම කෝපි කඩේ ඩ්‍රාමා එකේ දයාවතීට දෙවනි නෑ.. කුඩ්ඩට ඕන මගුලක් කියවගන්න දීලා අපි මාරු උනා නම් ඉවරයි.

ඔයා මගේ නෙමෙයි නම් වෙන කාගෙද..?

හොඳට මතක තියාගන්නවා.. ආයෙ මං කවදාවත්, තමුසෙට මතක් කරල දෙන්නෙ නෑ.. මං, රමී අයියගෙ කෙල්ල.. තමුසෙ දැන ගන්නවා.. මං මගේ මුළු ජීවිතේටත් වැඩිය රමී අයියට ආදරේ කියලා.. අපි ළඟදිම බඳිනවා.. තමුසෙ කුඩු ගහලා ගහලා මැරිලා හිටියෙ හෙම නැත්නම් වෙඩින් එකට එනවා.. අවසාන වතායට මගේ අහිමිවීම බලාගන්න.. අපි යමු රමී අයියෙ..

මො.. මොනවද ඉමාෂි ඔයා මේ කියවන්නෙ..?

මං කිව්වෙ ඇත්ත අයියෙ.. මං කිව්වෙ ඇත්ත.. මගේ හිතේ තියෙන දේ.. අපි යමු..

රංගන නොහොත් කුඩ්ඩා නන්නාත්තාර වෙලා කට බලිය කරන් බලන් ඉද්දි මායි ඉමාෂියි එන්න ආවා. ඒ එන අතරෙ මගේ ඔලුව තිබුණෙ ඉමාෂි සට සට ගාලා කියවන් ගියපු ටික. අනික එයා කිව්වත්නෙ ඒ එයාගෙ හිතේ තිබ්බ දේවල් කියලා. ඒ කියන්නෙ මෙච්චර කාලයක් හිත ඇතුළෙ හංගාගෙන හිටපු දේවල් දැන් එළිපිටම කියන්න තරමෙ ඉමාෂි ධෛර්යයමත් වෙලා.. ඕවා මේවා ගැන හිත හිතා, සයුරිලාගෙ ගෙදර ළගට එනකොට හරියටම වෙලාව හතහමාර පහුවෙලා විනාඩි දහයකුත් ගිහිල්ලා. ඊයෙ ගේට් එක මුර කරන්න වගේ හිටපු නාකි මනුස්සයා අද පැත්ත පළාතක නෑ. ඒක ඉතිං මගෙයි ඉසුරුගෙයි වෙලාව තමයි. නැත්තං ඊයෙමනේ මේ ගේම් එක ඉවර කරල දාන්නෙ. මං බයික් එක කෙලින්ම වත්ත ඇතුළට දැම්මා. ඒ දානවත්තෙක්කම ගාඩ්න් එකේ හයි කරලා තිබ්බ සිමෙන්ති බංකුවක වාඩිවෙලා ඉඳපු සයුරු අපේ ඉස්සරහට ඇවිඳගෙන ආවා. හෙල්මට් එක හින්ද කෙල්ල මාව අඳුනගනීද දන්නෑ.

ඉමාෂි.. ඔයා අයියත් එක්කරගෙන ආවාද..?

සයුරි මාව පෙන්නලා ඉමාෂිගෙන් ඇහුවා. අඩේ අප්පා.. කෙල්ල ඉතන් ඉන්නෙ මං ඉසුරුවා කියලා..

නෑ.. මේ ඉන්නෙ රමී අයියා..

සයුරිගෙ ඇස් දෙක බලන් ඉද්දිම පත සයිස් උනා. මොන වින්නැහියක් කරන්න මං ආවද කියලා කෙල්ලට හිතෙන්න ඇති. ඊයෙ මහා පරිමානම වින්නැහිය මං කරානේ.

සමීරගෙ මල්ලි..?

හ්ම්.. හ්ම්.. මායි ඉමාෂියි ආවෙ ඔයාට වැදගත් දෙයක් කියන්න..

අර ඊයෙ කිව්ව වගේ දෙයක්ද..?

සයුරි එක පාරටම ඇහුවෙ, මූණ තවත් හතරැස් කරගෙන. වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෑ කියලා මට එකෙන්ම තේරුණා. ඒකයි මං ඉමාෂිගෙ මූණ දිහා බැලුවෙ.

සයුරි.. මායි, රමී අයියයි ආවෙ ඔයාට ලොකු කතාවක් කියන්න. මේ කියන්න යන කතාවෙ මුල, මැද, අග හැම තැනම පටලැවිලයි තියෙන්නෙ..

මේ ගැන ඊයෙම කියන්න මමයි, ඉමාෂිගෙ අයියයි ආවත් ඔයා නුවර ගිහින් කියලා අර ගේට්ටුව ගාව හිටපු වයසක මනුස්සයා කිව්වා..

ඉමාෂි ඔයා මගේ හොඳම යාලුවෙක්.. ඒත් මං මේ අයියව දැක්කෙත් ඊයෙයි. ඔයාලා මොනව කියන්න හදනවද කියලා මං දන්නෙ නෑ.. හැබැයි ඔයාලා කියන්න ආවෙ සමීර ගැන නම්.. මං එයා ගැන කතා කරන්න බිංදුවක්වත් කැමති නෑ.. මං එයාව මගේ ලෝකෙන් අයින් කරල දාලයි තියෙන්නෙ..

පුදනකොටම කාපි යකා වගේ ඔය කෙලවිලා තියෙන්නෙ තාප්පෙටම.. සයුරිගෙ කතාවෙන්, මං කියන්න හිතපු දේවලුත් වාෂ්ප වෙලා ගියා.

සයුරි.. රමී අයියට ඩිංගක් කතා කරන්න දෙන්නකො..

ඕන තරම් කතා කරන්න.. හැබැයි සමීර ගැන වචනයක් කියන්නෙ නැතුව..

හිතේ තිබ්බ දේවල් වාශ්ප වෙලා ගියාට මගේ හිතට කොහෙන්දෝ ඉඳලා මංදා අස්වභාවික කේන්තියක් එකපාරට ගලාගෙන ආවා.

මං දැන් මෙතෙන්ට ආවෙ සමීර ගැන කතා කරන්න.. ඔයා කියනවා එයා ගැන කතා නොකර වෙන දෙයක් ගැන කතා කරන්නලු.. සමීර ඇරුනහම ඔයාටයි මටයි කතා කරන්න තියෙන පොදු දෙයක් තියෙනවද ආ..?

මං කෙලින්ම ගේමට බැස්සා.. නැතුව බෑ.. කෙල්ලො ඉස්සරහ කූල් වෙන්න ගියොත් උං අපේ ඔලුත් කාලා, බඩමාලුත් කනවා..

පොදු දේවල්..?

ඔව්.. පොදු දේවල් තමා..

තියෙනවා..

මොනවද..?

ඇයි ඉමාෂියි ඔයයි ගැන..

මගේ යෝකර් පන්දුවට කෙල්ල ඇස් පියාගනෙම දාර සයිස් හයේ පාරක් ගැහුවා කියලා මට තේරුණා. මේකි නම් අපේ අයියටම හරියන ජාතියෙ ගුරුකාස් කෙල්ලෙක් තමා.

මායි ඉමාෂියි ගැන තාම කියන්න තරම් දෙයක් නෑ.. එහෙම දෙයක් අපු දවසට අපි කියන්නම්..

මගේ කතාවත් එක්කම ඉමාෂිගෙ ඇස් සංතෝසෙන් දිලිසෙන හැටි මං දැක්කා. ඔය තරම් පුංචි වචන ටිකකට කෙල්ලෙක් මේ තරම් සතුටු වෙන්නෙ කොහොමද බං..?

එහෙනම් එහෙම දෙයක් ආපු දවසට කියන්න.. ඒත් සමීර ගැන නම් වචනයක්වත් කියන්නෙපා..

ඔයත්තෙක්ක සමීර ගැන කතා නොකර මං කාත් එක්කද සමීර ගැන කතා කරන්නෙ..?

ඇයි ඉමාෂිත් එක්ක පුළුවන්නෙ..

අම්මපා.. මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි රමීගෙ ඉවසීමෙ සීමා පනින්නෙ.. සමීරගෙ කෙල්ල හන්දම ඉවසනව මිසක නැත්නම් මං දනී කරන දේ.. කකුල් කෙටි දෙකෙන් අල්ලලා හචෝස් පචෝස් කියල දෙකට දෙවාරෙ පොළවෙ ගහනවා.

ඉමාසිත් එක්ක කතා කරන්න ඉමාෂි සමීරගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේනේ.. මං ආවෙ ඔයත්තෙක්ක සමීර ගැන කතා කරන්න..

මට ඔයා කියන දේවල් විශ්වාස නෑ.. ඒක හින්දා සමීර ගැන කතාවක් මෙතෙන්ට ඕන නෑ..

සයුරි ඩිංගක් කූල් වෙන්න.. රමී අයිය කියන්න හදන්නෙ මොනවද කියලා ඩිංගක් අහන්නකො.. අපි මෙහෙම කෑගහනකොට ගෙදර අයත් බලයි මේ මොකද රණ්ඩු වෙන්නෙ කියලා..

ගෙදර කවුරුවත් නෑ ඉමාෂි.. මං විතරයි.. ඒක හින්දා යටි ගිරියෙන් කෑගැහුවත් ප්‍රශ්නයක් නෑ..

දැන් නම් තත්වෙ සාමකාමීව විසඳන්න බැරි හැඩයි කියලා මට තේරුනා. සයුරි කොයි තරම් අමාරුකාරියක්ද කියලා කියනව නම් මට තාම, අවශ්‍ය මාතෘකාවෙ එක පටන්ගැන්මක්වත් කරන්න බැරිවුණා. ඒක හින්දම එයාගෙන් මිස් වෙච්ච තැනකින් කතන්දරේ පටන් ගන්නව කියල මං හිතාගත්තා.

ඔයාට මං කියන දේවල් විශ්වාස නැද්ද..?

නෑ.. බිංදුවක්වත් නෑ..

සයුරි කැත නැතුවම ආයෙත් කිව්වා. හිතේ කොනකින් පටන් ගත්තු කේන්තියෙ ගිනි දැල්ල පත්තු වෙවී උඩට ආවත් මේ වෙලාවෙ කේන්ති අරගෙන මුකුත් කරන්න බෑ කියලා මං තේරුම් ගත්තා.

එහෙම බිංදුවක්වත් විශ්වාස නැත්තං ඇයි මං ඊයෙ කියපුවා විශ්වාස කරේ..?

කෙල්ලට කට උත්තර නැතිවුනා. හයෙ පාරක් කියලා හිතාගෙන බැට් එක වනල තිබ්බට බවුන්ඩ්රි ලයින් එකෙන් මෙහාදිම ඒක කැච් එකක් වෙලා තිබුණා. දැන් ඉතිං මොන හයේ ඒවද..? සයුරිට යන්න තියෙන්නෙ පැවිලියන් එකට විතරයි.

ඊයෙ විශ්වාස කරාට අද මං විශ්වාස කරන්නෑ..

මොකක්..?

ඔව්.. ඊයෙ ඔයා කිව්වෙ අලි බොරුවක්නේ..

සයුරිගෙ කතාවට මට උන් හිටි තැන් අමතක වුණා. ඉමාෂිත් හොඳටම පුදුම උනා කියලා මං දැක්කා. මේ කෙල්ල මොන අංඩර දෙමලයක් ද මේ කියන්නෙ..

බොරුවක්..?

ඔව්.. ඊයෙ ඔයා කිව්වෙ, සමීර ගැන ලොකු බොරුවක්නේ.. දැන් මේ අද කියන්න ආවෙත් සමීර ගැන තවත් බොරු ගොඩක්නේ..

ඔයා හිත්නනෙ අද මං ආවෙ සමීරට විරුද්ධව කතා කරන්න කියලද..?

එහෙනම්..?

ඊයෙ මං කියපුවා සම්පූර්ණයෙන්ම වැරදියි.. සමීර නිර්දෝෂියි කියලා කියන්න..

මගේ කතාවට සයුරිගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳිලා ගියා. අපේ එකා අහුවෙන්න ඇත්තෙ මේ හිනාවට තමයි. ඒත් යසුරි ඒ හිනාවුණ හිනාවිල්ල මට දිරෙව්වෙ නෑ.. කෙල්ල කොලේ හංගගෙන සෙල්ලම් කරනවත්දෝ කියල මට නිකං ඉවෙන් වගේ හැරුණා. ඒ කියන්නෙ මට කලින් ඉමාෂි, සමීර වැරදි  නෑ කියලා ෆෝන් එකෙන්වත් කියලද..? මං ඉමාෂි දිහා බැලුවා. එයත් හිටියෙ මං දිහා බලාගෙන. එයා එහෙම දෙයක් කියපු බවක් ඒ මූණෙන නම් පේන්න තිබ්බෙ නෑ.. එතකොට මොකක්ද බං.. මේ සයුරි ක්‍රීඩා කරන අපි නොදන්නා ඉසව්ව..?

ඔයා කියන්නෙ සමීර නිර්දෝෂියි කියලද..?

ඔව්.. එයා නිර්දෝෂියි.. ඒත් ඔයාට එයා වැරදියි කියලා ඊයෙ කියන්න තර්ම හේතුත් මට තිබ්බා. නමුත් ඔයාට ් හැම දෙයක්ම කියල පැය බාගෙකින් විතර ඒ හේතුවල වලංගුභාවය නැතිවෙලා ගියා. සට සට ගාලා මේ හැම දෙයක්ම ඔයාට කියපු එක වැරදියි තමයි. ඒත් මං එහෙම කෙරුවෙ තවත් අසරණ ජීවිත දෙකක් වෙනුවෙන් මිසක මගේ ලාබ ප්‍රයෝජනයක් තකා නෙමෙයි.. මං ඔය කතන්දරේ ඔයාට කිව්වයි කියලා මට ලැබෙන හොඳක් නෑ.. මේ දැන් සිද්ධ වෙලා තියෙනව වගේ නරක නාමයක් තමයි මට හම්බවෙන්නෙ..

මං කියාගෙන කියාගෙන ගියා. මේ කතන්දරේ ගොඩ දැමිල්ල කෙසේ වෙතත් සයුරිව ආන්බාන් කරනෙකත් ටිකක් අමාරු වැඩක් කියලා මට තේරුනා. සීත සමීරයා මේකිත් එක්ක කොහොම පවුල් කෑවද මංදා.

ඔයාට ලැබෙන හොඳක් නෑ කිව්වට ඔයාට ලොකු හොඳක් වුණා..

ඒ මොකක්ද..?

මං හිතුවෙ සයුරි ආයෙමත් මායි ඉමාෂියි පටවලගෙන මොකාක් හරි කියයි කියලා.. ඒත්  එයා කිව්වෙ මං හීනෙකින්වත් හිතපු නැති දෙයක්.

ඇයි මං වගේ නෑනා කෙනෙකුගෙ හොද හිත ඔයාට හම්බවෙච්ච එක..

හොඳ හිත..?

ඔව්.. ඔයා කොයි තරම් හොඳ කෙනෙක්ද, කොයි තරම් අවංක කෙනෙක්ද කියලා ඔයා මට ඔප්පු කරලම පෙන්නලා දුන්නනේ.. ඉතිං මං මගේ මස්සිනා ගැන ආඩම්බර වෙනවා.. ඊයෙ, අද විතරක් නෙමෙයි හැමදාටම..

සයුරිගෙ කතාවට මං ඉන්නෙ කොතනද කියලා මට අමතක උනා. මේ කෙල්ල මේවා ඇත්තට කියනවද, එහෙමත් නැත්තං බොරුවට කියනවද කියලා මට හිතාගනන් බැරිවුණා. ඒත් එයාගෙ මූණෙන් නම් එයා මේ කතා කරපු දේවල් ටික, ඇත්තටම කිව්වයි කියන දේ මගේ ඔලුවට ආවා.

අයියත් එක්ක තරහ වෙලා.. මං කොහොමද ඔයාගෙ මස්සිනා වෙන්නෙ සයුරි..?

කවුද අයියත් එක්ක තරහ වුණේ..?

ඔයා අපේ ඔලුවත්තෙක්ක අවුල් කරනවා.. දැන් මෙච්චර වෙලා අපි කතා කෙරුවෙ මොනව ගැනද..? ඔයා කතා කරේ අයියත් එක්ක තරහින් වගේනෙ..

නෑ මස්සිනා.. මං එයත්තෙක්ක තරහ නෑ..

ඒ.. ඒ.. කියන්නෙ..?

සමීර ඊයෙ රෑ මෙහේ ආවා..

මොකක්..?

මට තවත් පුදුම වෙන්න දෙයක් තිබුණෙ නෑ.. සයුරිගෙ හිනාවෙ කලින් තිබ්බ අමුත්ත මොකක්ද කියලා මට තේරුණා. එහෙනම් අපේ එකා හැරෙන තැපෑලෙන් ක්‍රියාත්මක වෙලා.

ඔව්.. ගෙදර හැමෝටම හොරෙන් එයා මගේ කාමරේට ආවා. ඒ ඇවිල්ලා වෙලා තියෙන හැමදේම මගෙත් එක්ක කිව්වා. ඔයා හෙට උදේ මෙහෙ එයි කියලත් කිව්වා..

යකෝ මූ අයියා උනත් කොටියම කන්න එපෑය.. මේ වගේ අලුගුත්තේරු වැඩ කරනවට..

ඉතිං මට නොකිව්වෙ..?

සමීර කිව්වා.. රමීව සර්ප්‍රයිස් කරන එකලු එයාගෙ ලොකුම විනෝදාංශය.. ඉතිං අපි රමීව සර්ප්‍රයිස් කරමු කිව්වා..

ඇත්තට ඉතිං මේක නම් පට්ට සර්ප්‍රයිස් එකක් තමා. රමීට ඇඩ්‍රසුත් නෑ.. බලන් ගියාම සීත සමීරයා මාර ටැලන්ටඩ් පොරක්නේ.. සුපුරුදු විදියට පට්ට රෑ ගෙදරින් පැනලා තමන්ගෙ කෙල්ලගෙ ගෙදරටත් හොරෙන් ගිහින් කෙල්ලගෙ කාමරේටත් ඇතුල්වෙලා තමන් ගැන තිබ්බ අවිශ්වාස කතන්දර සියල්ල කන පිට හරවලා උදේ වේදදි ගෙදරත් ඇවිත් හිටපු ලස්සන.. ඇත්තමයි.... සමීර තමුසෙ නම් අදහන්න වටිනවා.. මෙච්චර කාලයක් මම තමයි පොර කියලා හිතන් හිටපු රමියගෙ අභිමානෙ අවුලක් නැතුවම දෙවනි පාරටත් අයියකාරයා කඩලා සුනු විසුනු කරල දැම්මා. මට කරන්න කිසිම වැඩක්  තිබුණෙ නෑ.

එහෙනම් ඉතිං අපිට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑනෙ රමී අයියෙ.. නේද..?

ඉමාෂි සියලු චිත්ත පීඩා පැත්තකින් තියලා මගේ මූණට එබුණා. ඒත් එයා කියපු දේට උත්තර හම්බවුණේ සයුරිගෙන්.

ඔයාලා දෙන්නට කියන්න දෙයක් තියෙනවා..

ඒ මොකක්ද..?

ඔයාලා දෙන්නා යාලුයි කියලා අපි හැමෝටම කියන එක..

සයුරි අර කලින් හිනාවම මූණ මැදට අරගෙන කියද්දි මටත් හිනාවක් ආවා. ඒක නම් ඉතිං කොයි වෙලේ කියන්න බැරියෑ අපි දෙන්නා දැනටමත් යාලුනේ කියලා කියන්න වගේ ඉමමාෂි මගේ අතින් අල්ල ගත්තා. ඒ අතරෙ සයුරි කීප සැරයක්ම ගේට්ටුව දිහා බලනවා මං දැක්කා.

ඇති යාන්තං.. මං බලන් හිටියෙ.. ඇයි තවම පරක්කු කියලා..

තවත් පාරක් ගේට්ටුව දිහා බලලා සයුරි කිව්වා. එතකොට තමයි මං දැක්කෙ බයික් එකක් ඇවිත් ගේට් එක ගාව නවත්තල තියෙනවා. ඒක පැදන් ආපු කෙනා ෆුල් ෆේස් හෙල්මට් එකක් දාලා හිටපු හින්ද මට අඳුනගන්න බැරිවුණා. ඒ එක්කම තමයි මගේ මොබයිල් එක රින්ග් උනේ. ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම්බර් එක පල්ලියෙ ෆාදර්ගෙ.

රමිත මහත්තයා..

ඔව්..

හදිසි වැඩක් නැත්තං පිළිසරණෙට ඇවිත් යන්න පුළුවන්ද..?

ඇයි ෆාදර් හදිස්සියක්ද..?

මට රමිත මහත්තය එක්ක ටිකක් කතා කරන්නෝන..

හරි ෆාදර්.. මං දැන් එන්නං..

ඇමතුම විසන්ධි කරල බලද්දි තමයි මං දැක්කෙ බයික්කාරයා හෙමීට අපි දිහාට ඇවිදගෙන එන හැටි. ෆුල්ෆේස් හෙල්මට් එක දාලා හිටියත් මට මගේ සහෝදරයව අඳුනගන්න අමාරු උනෙ නෑ. ඒ ඇවිදන් ආපු ගමනෙ තිබ්බෙ හරි උජාරු ගතියක්. මගේ ළඟටම ඇවිත් අයියා හෙල්මට් එක ගලවලා මගේ දිහාට දකුණු අත දික් කළා.

ඔන්න මං ඔයාට කිසි දෙයක් ඉතුරු කළේ නෑ රමී..

මං පිළිගන්නවා ඔයා වැඩකාරයෙක් කියලා..

මං වැඩකාරයෙක් විත්තිය මං දන්නවා.. ඒත් ඊට වඩා ඔයා රියල් බුලට් එකක්. මොකද මං කරපු ඒවා අල්ලගෙන ඒ පස්සෙ පන්නන එක වැඩක් කරනවට වැඩිය අමාරුනේ.. ඔයා ඒ දේවල් ඉස්තරම් විදියට කරානේ..

මොනව කරත් මං හින්දා තව ඩිංගෙන් ඔයාට ඔයාගෙ ආදරෙත් නැතිවෙනවා..

එහෙම වෙන්නෑ රමී.. එහෙම වෙන්නෑ.. මං එහෙම වෙන්න ඉඩ දුන්නත්, ඔයා එහෙම වෙන්න ඉඩ දෙන්නෑ.. ඒක මං හොඳටම දන්නවා.. එහෙනම් මායි සයුරියි පොඩි ගමනක් යනවා.. අපි හවසට හම්බවෙමු..

මගේ අත අතෑරලා සයුරිගෙ අත අල්ලගන්න ගමන් අයියා කිව්වා. එයාලා දෙන්නගෙම මූණුවල විසාල සතුටක් පිරිලා තිබ්බා. ඒ සතුටම මගෙයි, ඉමාෂිගෙයි මූණු වල පිරිලා තියෙන්නැති. ඒ හැමදේම මේ තරම් හොඳ විදියට සිද්ධ වුණාට.

දෙන්නටම සුභ ගමන්..

මායි ඉමාෂියි එකටමයි ඒ වචන ටික කිව්වෙ.

අපි කොහෙද යන්නෙ කියල රමී ඇහුවෙ නෑනෙ..

යන්න ගිහිල්ලත් ආපහු හැරුණ අයියා මගෙන් ඇහුවා.

අහන්න කලින් හරි නම් කියන්න ඕන.. ඒකයි හරි ක්‍රමේ..

අපි යනව රවීන්ලගෙ ගෙදර..

රවීන්ලගෙ ගෙදර..?

ඔව්.. රවීන් ඊයෙ රෑ ලංකාවට ඇවිත්.. වෙලා තියෙන හැම සිද්ධියක්ම තාත්තයි අම්මයි එක්ක එළි වෙනකල්ම කියවලා.. කොහොම හරි මිනිහා වැඩේ ගොඩ දාගෙන.. අද උදේම දිලිනිවයි, දරුවවයි ගෙදර එක්කං ගියා.. මාත් මේ එහේ ඉඳල එන ගමන්..

පිස්සු හැදෙනවා.. මොනව නැතත් ඒ කතන්දරේ ගොඩ ගියා නම්.. අපෙත් හිතට සනීපයි.. කොයි තරම් කට්ටක්ද දිලිනියි දරුවයි කෑවෙ..

දැන් නම් ඒ දුක්ක දෝමනස්සයන් සියල්ල ඉවරයි රමී.. දැන් තියෙන්නෙ සතුටු වෙන්න ඕන කාලෙ.. ඒ වගේම හැම දෙයක්ම අංග සම්පූර්ණව, සර්ව සම්පූර්ණව හම්බවෙන වසන්ත කාලෙ.. ම්.. ඔය හැමදේම මැද්දෙන් මට තවත් දෙයක් කියන්න තියෙනවා ඔයාට..

මෙච්චර හැට හුටාමාරක් දේවල් කියල ඉවරවෙලා තවත් කියන්න තරම් දෙයක් මේ යකාට තියෙනවද අප්පා.. දැන්නම් මගේ හිතට සැකයකුත් එනවා.. අයියකාරයා රහස් ඔත්තු කාරයකේද කියලත්.. ඇයි ඉතිං මේකා හොයන්නෙ, කරන්නෙ ඒ වගේ ඇග කිලිපොලා යන වැඩනේ.

කියන්න..

දවල් දොළහට විතර ඔයයි ඉමාෂියි එන්න ඕන සුභාෂි ගෙස්ට් එකට..

සුභාෂි ගෙස්ට් එකට..? ඇයි ඒ..?

ඔයාව තවත් සර්ප්‍රයිස් එකකින් නාවන්න.. එහෙනම් ඉමාෂි නංගි.. අපේ මලයත් ඇදගෙන එන්න.. රමී මස්සිනා වෙනවට සයුරි හුඟක් කැමතියි වගේම, ඔයා නෑනා වෙනව නම් මං හුඟාක් කැමතියි.. එහෙනම් අපි ගියා..

අපිට තවත් වචනයක්වත් කියන්න නොදී ඒ ටික කියපු සමීර සයුරි කපල් එක අතුත් වනාගෙන ගේට්ටුවෙන් එළියට ගියා. කාත් කවුරුවත් නැති ධවල මන්දිරයක අති විශාල ගෙවත්තෙ මාත් ඉමාෂිත් තනිවෙලා හිටියා. මෙතනින් එහා ජීවිතේ කොයිබටද කියල අහන්න වගේ මං එයා දිහාට අත දික් කලා. මං ඒ දේ කරන කල් බලන් හිටිය වගේ ඉමාෂි පැනලා ඇවිත් මගෙ අතේ එල්ලුණා.


පිළිසරණ අනාථ නිවාසෙ ඉස්සරහින් බයික් එක දාලා මායි ඉමාෂියි ඒක ඇතුළට ගියා. ජීවිතේටවත් මෙහෙම තැනකට ආවෙ නැති හින්දද මංදා එයා හිටියෙ අතරමං වෙලා වගේ.

ඇයි අපි මෙහෙම තැනකට ආවෙ රමී අයියෙ..?

ඔයාට මතකද එක දවසක් ඔයා මට ගෑණු ළමයින්ගෙ නම් වගයක් කියාගෙන ගියා.. මට ලොකු ඇඩ්වයිස් පාරකුත් දීලා කතන්දර ගොඩක් කියාගෙන ගියේ..

ඔව්.. මට මතකයි.. ඉතිං ඒ ගෑණු ළමයිනුයි, මේ අනාථ නිවාසෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද..?

ඒක තව ටිකකින් ඔයාට තේරෙයි.. ඔයාට මතකද මං යාලුයි කියලා ඔයා කියපු ගෑණු ළමයින්ගෙ නම් ටික..

හ්ම්.. මට මතකයි.. ඇයි රමී අයියා ඕවා දැන් මෙතෙන්ට..?

හේතුවක් තියෙනවා.. ඔයා මට ගෑණු ළමයින්ගෙ නම් පහක් කිව්වා. ඒ නම් පහෙන් තුනක් දැන් හැලිලා ඉවරයි..

හැළිලා ඉවරයි කිව්වෙ..?

ඔයා කියපු පළවෙනි නම් දෙක රිස්මියායි, නදිනියි නේ.. ඒ දෙන්නම මේ වෙනකොට මැරි කරලා ඉවරයි.. ඊගාවට කියපු නම දිලිනි.. එයත් කවුද කියන්න ඔයා දන්නවනේ..

හ්ම්.. ඔ.. ඔව් රමී අයියෙ.. මට තේරෙනවා.. එදා එහෙම මං කියවන් ගියේ මගේ හිතේ වේගෙට මිසක් ඔයාව රිද්දන්න නෙමෙයි..

ඒ වුණාට මේවා පහදලා දෙන එක මගේ යුතුකමනේ.. එන්න.. අපිට අද ඔයා කිව්ව නම් වලින් හතර වෙනි එක දැකගන්න පුළුවන්..

මං ඉමාෂිගෙ අතින් අල්ලගෙන පිළිසරණ ළමා නිවාසෙ පඩිපේලි දිගේ නැග්ගා. ්එ කිට නැගලා ඉවර වෙනකොටම අපි ඉස්සරහට දුවගෙන ආවෙ දිමුතු.

රමිත අයියෙ.. ඔ.. ඔයා හුඟ දවසකින් ආවෙ.. ඇයි අයියෙ මාව අමතක කරල හිටියෙ..

නෑ දිමුතු.. ඔයාව අමතක වුණා නෙමෙයි.. මට හුඟක් වැඩ තිබුණා.. ඒකයි මං ආවෙ නැත්තෙ.. ඒත් ඔයාගෙ වියදමටයි, පන්ති ගාස්තුයි මං ෆාදර්ට දීලා ඇත්තෙ..

ඒ මොනවත් වැඩක් නෑ අයියෙ.. ඔයාව දකින්න නැත්නම්..

එහෙම කියද්දි පුංචි කෙල්ලගෙ ඇස් වලට කඳුළු ආවා. මං ඉමාෂි දිහා බැලුවෙ එයා මොන වගේ ප්‍රතිචාරයක් පෙන්නයිද කියලා.. මං හිතපු නැති විදියට ඉමාෂිගෙ ඇස්වලටත් කඳුළු උනලා තිබුණා.

දෙ.. දෙවියනේ.. මෙයාද දිමුතු කියන්නෙ..?

ඉමාෂිට මේ කිසිම දෙයක් විශ්වාස කරන්නත් බෑ වගේ.. එයා මේ වගේ දෙයක් හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්නැතුව ඇති කියල මට හිතුණා.

මේ අක්කා කවුද රමී අයියෙ..?

ඔන්න දැන් තමා දිමුතුගෙ අවධානය, ඉමාෂි දිහාට යොමු උනේ. ඉමාෂි කවදු කියලා අඳුන්වල දෙන්නෙ මොන නමකින්ද කියලා හිතෙද්දි තමයි ආයෙමත් දිමුතුම කතාව ඇදගෙන යන්න ගියේ.

හා.. හා.. මං දන්නවා.. මං දන්නවා.. ඔයා තමයි අපේ රමී අයියගෙ හිත ගත්තු වාසනාවන්ත අක්කි.. මගේ සුභපැතුම් අක්කියො..

දිමුතුයි, ඉමාෂියි වැළඳ ගනිද්දි, පිළිසරණෙ ඉස්සරහ දොරින් ෆාදර් එනවා මං දැක්කා. ඉමාෂිටයි, දිමුතුටයි එහෙම්ම කතා බහ කරන්න දීලා මං ෆාදර් ඉස්සරහට ගියා.

රමිත මහත්තයා..

ෆාදර් මට හදිස්සියෙම එන්න කිව්වෙ..?

කාරණා කිහිපයක් නිසා.. කොටින්ම මේ ලමයි බාරව ඉන්න හැමෝම ගෙන්නල කතා කලා නම් හොඳයි.. ඒත් වයසින් අඩුම, මෙතෙන්ට ඉහළම සැලකිල්ලක් දක්වන රමිත මහත්තයත් එක්ක කතාබහ කරල අනිත් අය ගෙන්වන්න මං තීරණේ කලා. මොකද රමිත මහත්තයගෙ තියෙන හොද ගතිගුණ දැකල කිසිම ෆාදර් කෙනෙක් නොකරන දෙයක් මං කෙරුවෙ.. ඒ රමිත මහත්තය වගේ තරුණයෙකුට දිමුතුගෙ භාරකාරීත්වය පවරපු එක.

මං හිතන්නෑ ඒකෙන් ප්‍රශ්නයක් ඇති උනයි කියලා..

අපොයි නෑ.. මං හිතුවටත් වැඩිය හොඳට රමිත මහත්තයා වැඩ කටයුතු ටික කරා.. ඒත් වැඩේ කියන්නෙ.. මටවතිකානු රාජ්‍යයට යන්න වෙලා තියෙනවා..

මේ හදිස්සියෙ..?

ඔව්.. තව මාස දෙකකින් විතර.. පහුගිය ටිකේ රමිත මහත්තයා උනත් මගෙත්තෙක්ක අමනාපයෙන් ඉන්න ඇති, මෙතන වැඩ කටයුතු කිසිම පිළීවෙලක් නෑ කියලා.. නමුත් මගේ ඉඳරි අනාගතය තකා, මම ඒ වතිකානු රාජ්‍යයට යන ගමනට අවශ්‍ය දේ සූදානම් කරා..

එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.. දැන් වැඩේ මුල ඉඳලම පටන්ගන්න වෙනවා..

එතකොට පිළිසරණෙට මොකද වෙන්නෙ ෆාදර්..?

ඒක තමා මට තියෙන ලොකුම ගැටලුව..

මෙහාට කවුරු හරි ගෙන්න ගන්න පුළුවන් වෙයිද..?

පුළුවන්.. වත්තල ඉන්න ඇන්තෝනි ෆාදර්ව මම මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්.. ඒත් ඔයාලා කැමති නම් විතරයි..

ඒ කියපු දේ මගේ ඔලුවෙ තුන් හතර පාරක්ම එහෙට මෙහෙට දිව්වා. අලුතින් එන මනුස්සයා මෙහාන වගේ කෙනෙක්ද කවුද දන්නෙ..? මේ හැම දෙයක්ම විනාස කරල බිමට සමතලා කරල දැම්මොත් කාට කියන්නද..? එහෙම හිතුණට මං කිව්වෙ වෙනින් දෙයක්. මොකද ෆාදර් ගියහම අපි කැමති උනත් නැතත් කවුරු හරි මෙතන භාරකාරීත්වය ගන්න ඕනනේ.

කැමැත්ත පැත්තක තියල මෙතෙන්ට කවුරු හරි හොඳ කෙනෙක්ව ගේන්න ෆාදර්.. මොකද මෙතන ඉන්න ළමයි හුඟාක් අසරණ අය කියලා අපි දන්නවනේ..

එතකොට රමිත මහත්තය මොකද කරන්නෙ..?

මොකද කරන්නෙ කියන්නෙ..?

දිමුතු සම්බන්ධයෙන්..?

ෆාදර්ගෙ කතාව මට හරියට තේරුනේ නෑ..

ඒ කිව්වෙ..?

රමිත මහත්තයා දිමුතුගෙ භාරකරු හින්දා දිමුතු ගැන ඕන තීරණයක් ගන්න පුළුවන්..

ඔන්න දැන් තමයි මට හරියටම මීටර් උනේ ෆාදර් කියන්නෙ මොකක්ද කියලා.

ඒ කියන්නෙ මට ඕන නම් දිමුතුව ගෙදර අරන් යන්න පුළුවන් කියලද..?

ඇත්ත වශයෙන්ම ඔව්..

එහෙනම් කතන්දරේ එහෙමයි ඉවර වෙන්නෙ.. ෆදාර්ට යන්නම් කියලා මං ආයෙත් ඉමාෂියි දිමුතුයි ගාවට ආවා. දෙන්නා ඒ වෙනකොට බරටම බරේ කඩයක් දාගනෙයි හිටියෙ..

එහෙනම් අපි යමුද ඉමාෂි..?

අනේ රමී අයියෙ.. ඇයි මේ ආපු ගමන්ම යන්නෙ.. මං ඉමාෂි අක්කිත් එක්ක හරියට කතා කරේවත් නෑනෙ..

තව ටික දවසකින් ඔයාට ඉමාෂි අක්කිවත් එක්ක ඕනෙ තරම් කතා කරන්න පුළුවන්..

ඒ කොහොමද රමී අයියෙ..?

මං ඔයාව අපේ ගෙදර එක්කං යන හින්දා..

මගේ ඒ කතාවෙන් දිමුතුටයි, ඉමාෂිටයි පුදුමාකාර සතුටක් ලැබුණා කියල මට තේරුණා. දිමුතුට දැනෙන්න ඇත්තෙ මේ හිර ගෙදරක් වගේ තැනින් නිදහස් වෙලා මං ළඟට ආවම හිතට එන සතුට වෙන්නැති.. ඒ වගේම ඉමාෂිට දැනෙන්න ඇත්තෙ දිමුතුට ඉමාෂිත් එක්ක ඕන තරම් කතා කරන්න නම් අනිවාර්යෙන්ම ඉමාෂි අපේ ගෙදර නවතිනවා කියන සතුට වෙන්නැති. මගේ හිතට සතුටක් දැනුණෙ මගේ ඒ වචන ටිකෙන් දෙආකාරයක සතුටවල් ඉමාෂිටයි, දිමුතුටයි වෙන වෙනම දැනුණ හින්දා.

ඔයාට හුඟක් පිං රමී අයියෙ.. ඔයාට හුඟක් පිං..

දිමුතු මාවයි, ඉමාෂි අක්කවයි එකපාර බදාගත්තා.. මේ අහිංසක කෙල්ලගෙ සතුට වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් තව හුඟාක් දේවල් කරන්න මං හිතාගත්තා.


අයියා කියපු විදියට දවල් දොළහ වෙද්දි සුභාෂි ගෙස්ට් එක ළඟට මායි ඉමාෂියි ආවා. වටපිට බැලුවත් අයියව අපි දැක්කෙ නෑ. සමහර විට මිනිහා තාම එන්නෙ නැතුව ඇති. සයුරිත් දාගෙනනෙ ගියේ.. ගියපු තැන පැළවෙලා ඇති.

අපි මෙතනින් වාඩිවෙලා ඉමු ඉමාෂි..

සුභාෂි ගෙස්ට් එකේ ගාඩ්න් එකේ හයි කරලා තිබ්බ අම්බ්‍රෙල්ලා ටේබල් එකක් ළඟට මායි ඉමාෂියි ගියා.

සමීර අයියා තාම නෑනෙ රමී අයියෙ..?

ඒක තමා මාත් බැලුවෙ.. සාමාන්‍යයෙන් මිනිහා වෙලාවට කලාවට වැඩ කරන හාදයෙක්..

ඔයාව සර්ප්‍රයිස් කරන්නනෙ එන්න කියලා කිව්වෙ..

හ්ම්.. ම්.. ඒත් මං හිතන්නෑ මාව තවත් දුරට සර්ප්‍රයිස් කරන්න පුලුවන් තරම් දෙයක් මිනිහ ළඟ ඉතුරු වෙලා තියෙනව කියලා..

අපි බලමුකො රමී අයියෙ.. තව ටිකකින් එයාගෙ සර්ප්‍රයිස් එක අපිට බලාගන්න පුළුවන්නෙ..

ඉමාෂි..

ටේබල් එක ගාව තිබ්බ පුටු දෙකක මායි ඉමාෂියි වාඩි උනා. ඒ වාඩි වුණාට පස්සෙ මං එයාගෙ වම් අතින් අල්ල ගත්තා. ඒකෙ මැදගිල්ලෙ එයා අමුතු හැඩේකට ගලක් අල්ලපු මුද්දක් දාලා තිබුණා.

ඇයි රමී අයියෙ..?

ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද..?

හා.. ඕන දෙයක් අහන්න..?

ඔයා රංගනත් එක්ක යාලු උනේ ඇයි..?

මං හිතුවෙ මගේ ප්‍රහ්නෙන් ඉමාෂි අවුල්වේවි කියලා. ඒත් ඒ දේ එහෙම උනේ නෑ. එයා ඇස් ලොකු කරලා මං දිහා බැලුවා.

මං ඇත්තම කිව්වොත් ඔයා මගෙත් එක්ක තරහ වෙනවද..?

නෑ.. ඔයා ඕන දෙයක් කියන්න..

දැන් නම් කීයටවත් ඉමාෂිත් එක්ක තරහ වෙන්න බෑ කියලා මට හිතුණා. මේ ගෙවිල ගියපු දවස් දෙක තුනට අවුරුදු දෙක තුනක් ළඟින් හිටිය වගේ මායි ඉමාෂියි හදවත් වලින් බැඳිලයි හිටියෙ. ඒක අපි දෙන්නම, අපි දෙන්නට පෙන්නුවෙ නෑ. ඒත අයියා කියපු දේවල් වලින්, සයුරි කියපු දේවල් වලින්, දිමුතු අහපු දේවල් වලින් අපේ බැඳීම අපිට නොදැනිම ශක්තිමත් එකක් බවට පත්වෙලා තිබුණා.

ඔයාට රිද්දන්න..

මට රිද්දන්න..?

ඉමාෂිගෙ කතාවෙන් මගේ ඔලුවත්තෙක්ක අවුල් උනා. මට රිද්දන්න ඇයි ඉමාෂි කුඩ්ඩත් එක්ක යාලු උනේ..

ඔව් රමී අයියෙ.. මං මේ කියන දේවල් වලට මට සමාවෙන්න.. මං ඔයාව දැකපු මුල්ම දවසෙ ඉඳලා මං ඔයාට ආදරේ කලා. ඔයාගෙ කතාව, ගමන බිමන, හිනාවෙන හැටි, කෑගහන හැටි, ඔය හැමදේම ඔයාට හොරෙන් මං හුඟාක් දවස් බලන් ඉදල තියෙනවා. ඔයා අයියව හම්බවෙන්න ආපු හැමදාකම මං ඔයාට හොරෙන් කී දවසක් නම් ඔයා දිහා බලන් ඉඳලා ඇත්ද..? ඒත් ඔයා මාව තඹ සතේකට ගණන් ගත්තෙ නෑ.. අඩුගානෙ ඕනකමකින් මං දිහා බැලුවෙවත් නෑ.. වෙලාවකට මට හිතුණා මං ඔයාට ලස්සන මදිදත් කියලා..

නෑ ඉමාෂි.. ඒ ගැන ඔයා වදවෙන්න එපා.. ඔයා හුඟක් ලස්සනයි..

තැන්ක් යූ රමී අයියෙ.. ඒ වචන ටිකත් ඇති.. ඉතිං මං ඔයාට පෙන්නන්නයි, ඔයාට රිද්දන්නයි තමයි රංගන එක්ක යාලු උනේ.. ඒත් ඒකෙන් මං වැටුණෙ කබලෙන් ලිපට.. රංගන කියන්නෙ කොහොමටවත් හොඳ කෙනෙක් නෙමෙයි.. මං ඒ සම්බන්ධෙ නවත්තන්නෙ කොහොමද කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නකොට තමයි අපේ අයියා,  මායි රංගනයි ගැන හොයන්න ඔයාට බාර දුන්නෙ.. එදා ඔයා ඇවිත් මං ඉස්සරහදිම රංගනට ගහද්දි මට රංගන ගැන කිසිම දුක්ක දැනුන් නෑ.. මට ඒ සිද්ධිය ලොකු ආශිර්වාදයක් උනා එෆෙයාර් එක නවත්තන්න..

බලන් ගියාම හීනෙකින්වත් හිතපු නැති දේවල්නෙ අප්පා සිද්ධ වෙලා තියෙන්නෙ. මෙහෙම දෙයක් ගැන මං ඇබිත්තක්වත් හිතල තිබ්බෙ නෑනෙ.

එතකොට ඔයා ඒ දවස්වල ඇඬුවෙ..?

මං මට කරගත්තු හානියට.. මගේ නමට වෙච්ච කැළලට.. කොයි තරම් මෝඩ විදියටද මං හැසිරිලා තියෙන්නෙ කියලා මේ වැඩෙන් ඔයාව මට තවත් දුරස් වෙනවා කියලා දැනෙද්දි තමයි මට වැඩිපුරම ඇඬුනෙ..

එතකොට දැන්..?

ඉමාෂිගෙ මූණ මගේ දිහාට තවත් ටිකක් ලංවුණා.

ඒ ප්‍රශ්නෙ අහන්න ඕන මමයි රමී අයියා..

මොකක්ද..?

මේ හැමදේම කිව්වට පස්සෙ ඔයාගෙ තීරණේ මොකක්ද කියලා..?

මගේ තීරණේ මටත් වැඩිය හොඳට මේ වටේ ඉන්නඅය දන්නවා ඉමාෂි..

ඒ.. ඒ කියන්නෙ..?

මට ඔයාව ඕනෙ කෙල්ලෙ.. මට ඔයාව ඕනෙ.. මගේ ජීවතේ හැමදාටම ළඟින් තියාගන්න..

දෙ.. දෙයියනේ.. ඔයා ඔ.. ඔය ඇත්තමද කියන්නෙ රමී අයියෙ.. මට නම් විශ්වාස කරන්නත් බෑ.. අනේ.. හ්.. ඔය වචන ටික අහන්න මං කොයි තරම් කාලයක් හූල්ල හූල්ල බලන් හිටියද..?

ඉමාෂි පුටුවෙන් නැගිටලා ඇවිත් එකපාරටම මාව බදා ගත්තා. කෙල්ලට මං කියපුවා බර වැඩි උනා කියලා මට තේරුණා. මේ වගේ දෙයක් ඉමාෂි වගේ සංවේදී හිතක් තියෙන කෙල්ලෙකුට උහුලන්න බෑ කියනෙක මට කලිනුයි හිතනන් තිබ්බෙ.. ඒත් රමී කියන්නෙ කිසිම දෙයක් පස්සට දාන කෙල්ලෙක් නෙමෙයි.. රමීගෙ ආදරේ උනත් එහෙම තමයි.. අවශ්‍ය වෙලාවෙදි ටුවෙන්ටි ෆෝ අවර්ස් නන්ස් ටොප් වැඩ.

අ.. අනේ.. රමී.. අයියෙ.. හ්ග්.. හ්ග්..

ඉමාෂි තාමත් අඬනවා.. එයාටම එයාව පාලනය කර ගන්න දීලා මං එයාගෙ ඔලුව හෙමීට අත ගාන්න ගත්තා. මේ වෙලාවෙ තවත් මොනව හරි කියන්න ගියොත් ඉමාෂි තවත් අඩන්න ගන්නවා.

ඉමාෂි.. අඬන්නෙපා බබා.. දැන් ඔක්කොම හරිනේ..

හ්ග්.. හ්ග්.. මං ආයෙ අඬන්නෑ අයියෙ.. මට සතුටු වැඩියි.. ඔයාව මගේ හිතේ කොච්චර තදින් බැඳිලා ජීවත්වෙලාද කියල මට තේරෙන්නෙ ඔයා ඔය වචන ටික කිව්වට පස්සෙ තමයි.. අනේ ඔයාට හුඟක් පිං අයියෙ.. ඔයාට හුඟක් පිං.. ඔයාට ආදරෙයි කියලා ඉස්සර වෙලා කියන්න මට බය හිතුණා.. ඔයා මාව කොහොම මනියිද දන්නෙ නෑනෙ..

කෙල්ලගෙ හිතේ තෙරපිලා තියෙන හැඟීම් ඔක්කොම ටික උතුරලා ගියා නම් හොඳයි.. එතකොට ඉමාෂි සංසුන් වෙයි කියලා මට හිතුණා.

මං ඔයාව කොහොමවත් මනින්නෑ ඉමාෂි.. මං ඔයාට හැමදාමත් ආදරෙයි..

ඒ ආදරේ මං හැමදාම රකිනවා රමී අයියෙ.. රංගන එක්ක යාලු උනා කියලා මං මගේ පිරිසිදුකම එක බිංදුවක්වත් අඩුකර ගත්තෙ නෑ.. අපි බඳින දවසට මං මගේ පිරිසිදුකම ඔයාට පෙන්නනවා.. ඒක ස්ථිරයි..

ඉමාෂි කියපු දෙයින් මගේ හිතත් මොකක්දෝ වෙලා ගියා.. එයා මාව කොහොම මනිනවද දන්නෑ.. හරියට මං ඒකම බලන් හිටියා කියලා.. ඒක හන්දම මං කතාව මාරු කලා.

ඔය ඔක්කොම කතා දැන් පැත්තකින් දාලා අපි හිනාවෙලා ඉමු.. කෝ මේ සමීරයා තාමත් නෑනෙ.. මිනිහා අපිව ඇන්ඳුවවත්ද..?

අපි තව ටිකක් බලමු රමී අයියෙ..

ආ.. ඔයාට තව දෙයක් කියන්න තියෙනවා.. තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා..

ඒ මොකක්ද..?

ඔයා අර මට කියපු ලේඩීස් ලිස්ට් එකේ තව එක නමක් ඉතරු වෙලා තියෙනවා..

ඔව්.. මට මතකයි.. ඒ තමයි අනූෂි..

ඔයා දන්නවද අනූෂි කියන්නෙ කවුද කියලා.. මං එයාව අඳුනන්නෙ කොහොමද කියලා..

ම්හු.. නෑ අයියෙ..

අනූෂි කියන්නෙ..?

මට එතනින් එහාට දෙයක් කියන්න බැරි වුණේ අපේ ටේබල් එක දිහාට දුවගෙන ආපු අයියයි, සයුරියි හින්දා.. ඒ මූණු දෙකේම අලි පත හිනාවල් වලින් වැහිලා.. මායි ඉමාෂියි වාඩිවෙලා ඉඳපු ටේබල් එකට අත තියන් ඒ දෙන්නා මහා සද්දෙට හිනාවෙනවා.. උපන්තේකට මං මේ දැක්කමයි සමීරයා ඔය තරම් සද්දෙට හිනාවෙනවා.. ඌටම හපන් සයුරිත්.. මුං දෙන්නා ජාත්‍යයන්තර මෝදක තෛලය වත් ඇඟ පතේ උලාගෙන ආවද මංදා.

ඔයාලා බක බක ගගා හිනාවෙනවා.. මායි ඉමාෂියි ඇවිල්ලා දැන් විනාඩි විස්සකටත් වැඩියි..

හහ්.. ඔයාලට කලින් අපි ආවෙ..

හිනාව බාගෙට නවත්ත ගන්න ගමන් අයියා කිව්වා. ටොම් පචයක් උනත් මේකා කියපු ලස්සන..

බොරු කියන්නෙපා.. සමීර අයියෙ.. අපි එනකොට ඔයාලා කවුරුවත් නෑ.. එහෙනම් ඉතිං පේන්නවත් ඉන්න එපෑය..

එහෙම පේන්න හිටියා නම් ඔයාලගෙ ආදරෙ දෙබස් අපි හැමෝම අහගෙන ඉන්නෙ කොහොමද.. හහ්.. හහ්.. හා... නැද්ද සයුරි..?

මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාව.. මගේ හිතට ආවෙ නුහුගුණයක් වගේ ගතියක්.. මේකාමගෙයි ඉමාෂිගෙයි කතාවවත් අහන් හිටියද..? ඒත් ඒ කොහොමද..? මේකා මේ පැත්ත පළාතකවත්  හිටියෙ නෑනෙ.

රවීන්.. වරෙල්ලා..

ආයෙත් එක පාරටම පිටිපස්ස පැත්තට හැරුණු අයියා කෑගැහුවා. කරගෙන ගියපු කතාව මග ලොප් කරා මේකා රවීන්ට අමතපු එක නම් මට දිරෙව්වෙ නෑ.. මොකද කියනව නම් මේකා ලෝක අංකූරා.. කොළඹ වරායෙ බොක්කෙන් බැහැලා ත්‍රිකුනාමලයෙ බොක්කෙන් මතුවෙන ජාතියෙ ඇවටියෙල් බඩුවක්.. ළඟින් ගියොත් ඇස් දෙකයි, කටයි, මුලු මූණත් තහඩුවයි, අතකුයි පයකුයි නෑ..

අයියගෙ කටහඬත්තෙක්කම රවීනුයි, දිලිනියි, පුංචි එකයි හෙමින් සීරුවෙ අඩි තිය තියා අපේ දිහාට ආවා. ඒ හැම මුහුණකම ලොකු හිනාවක් මතුවෙලා තිබ්බා. මුං ඔක්කොම මේ හිනාවෙන්නෙ ඉමාෂිටයි මටයිද..?

රමී..

මගේ අවධානෙ පිට පැනල කියල තේරුණ හන්දද කොහෙද අයිය මගේ මූණටම එබුණා. ආයෙ දෙකක් නෑ.. ඒ ඇස් මට කිව්වෙ මේකගෙ හිතේ ලොකු රහසක් තියෙනව කියලා..

අද හරිම සතුටු දවසක්.. මෙතන ඉන්න අපි හැමෝම සතුටින් ඉන්නෙ.. එහෙම නේද..? මං හැමෝටම සුභාෂි එකෙන් ලන්ච් එක රෙඩි කරලයි තියෙන්නෙ.. ඒකට හේතු ගොඩක් තියෙනවා.. මං සාමාන්‍යයෙන් කාටවත් ලන්ච් එකක් දෙන එකෙක් නම් නෙමෙයි.. මං තනියම ලන්ච් ගන්න එකෙක්..

ඒක නම් සහතික ඇත්ත.. මූ කවදද අපිට ලන්ච් එකක් තිබා බබල්ගම් එකක්වත් ගෙනල්ලා දුන්නෙ.

ඉතිං එහෙම එකා මේ ලන්ච් එකත් දෙන්නෙ පට්ට සංතෝසෙට.. ඒ කියන්නෙ අද දවසෙදි එකතු වෙච්ච ජෝඩු බර ගානක් ඉන්නවා.. අන්න ඒ ජෝඩුවල එකතු වීම සමරන්නයි මේ හදන්නෙ.. හරිද රමී..

කියන්න.. මං අහගෙන ඉන්නෙ..

කාට හරි අමතක වීමක් තියෙනව නම් ඒ ජෝඩු කවද කියල මං දැන් මතක් කරන්නම්..

එහෙම කියද්දි අයියගෙ කට කොනට උගේ අර උප්පත්තියෙ ඉඳලා ආපු කුණු හිනාව ඇවිල්ලා තිබුණා.

පළවෙනි ජෝඩුව තමයි මේ ගස් ගල් වගේ ඉන්න මමයි සයුරියි.. රයිට්.. එතකොට දෙවනි ජෝඩුවතමයි අද දින මීට මුළු මොහොතකට පෙර ආදරය ප්‍රකාශ කරගත් රමී සහ ඉමාෂි යුවල.. දැට්ස් රයිට්..

අයියගෙ කතාවෙන් අන්තිම හරියෙ කියවුණ දේ මගේ ඔලුවට තත්පරේට දෙකට වැටුණා. ඒ ගැන අහන්න කට අරින්න හදද්දි අයියා අත උස්සලා එයා කතා කරන බව පේනනුවා.

ඔයාලා අද ආදරේ කරන්න ගත්තා කියලා අපි හැමෝම දැනගත්තා රමී.. ඒ මේ ඔයාලගෙ මේසෙ යට හයි කරලා තිබ්බ මෙන්න මේ ගැජට් එකෙන්..

සමීර, මං හිටපු මේසෙ යටට අත දාලා පුංචි මයික් එකක් වගේ කෑල්ලක් ගලවල ගත්තා.. ඉමාෂි අත් දෙකෙන්ම මූණ වහගත්තත්, මං සමීරට බනින්න කට හැදුවෙත් ඒ තත්පරේදිමයි.

හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා රමී.. කලබල වෙන්න එපා.. අපේ ආදර කතා ඉතිං පරණ ස්ටෝරිනේ.. අපටත් ඉතිං හිතුණා අලුත් ආදර කතාවක නව වෙනසක් හෙම තියෙනවද කියලා බලන්න.. ඔය වැඩේ කනාවට තමයි ජජ් කරලා ඔය මේසෙ ගැහුවෙ.. හැබැයි ඒක යස අගේට පත්තු උනා..

ෂෙහ්.. ඇත්තට.. මේ අංගුත්තරයා කරපු වැඩක තරම.. අපි කතා කරපුවා ඔක්කොම මුං අහන් ඉන්න ඇති.. හතර වලි ලැජ්ජාවෙ පණ යනවා.

ඉමාෂි නංගි.. ඔලුව උස්සන්න.. ඕවා ගණන් ගන්න එපා.. ඔයා කොහොමත් මගේ නෑනනේ.. එහෙනම් අපේ උණුසුම් සුභපැතුම්..

අයියා ඉස්සරහට ඇවිත් මාව බදාගත්තා.. අපේ කතාව අහගෙන හිටියා කියල දැනුණහම මගේ හිතට දැනුණ ආවේගය ඒ මොහොතෙම කොහෙදෝ වාශ්ප වෙලා ගියා.

එතකොට මේකද ඔයාගෙ සර්ප්‍රයිස් එක..?

අයියා මාව අතෑරලා ඉමාෂිව වැළඳ ගනිද්දි මං ඇහුවා. මිනිහගෙ මූණට ඒ පාර නම් සිරාවටම මනමාල හිනාවක් ආවා.

නෑ.. මේක අහම්බෙන් හම්බවුණ පොට්ට චාන්ස් එකක්..

ඒ කියන්නෙ අපේ ආදරේ හැමෝටම ඇහෙන්න මයික් එක දාගෙන නටපු නාඩගම සර්ප්‍රයිස් එකක් නෙමෙයිලු.. එතකොට මොකක්ද හත්වලාමෙ ඊටත් එහා ගියපු මුගේ සර්ප්‍රයිස් එක..?

එතකොට..?

මෙන්න මේක තමා සර්ප්‍රයිස් එක.. මෙයාලත් අපිත් එක්ක ඉඳන් ඔයාලගෙ ආදර කතාව අහගෙන හිටියා.. මෙයාලා දෙන්නත් ආදරේ කරන්න ගත්තෙ, සම්බන්ධෙට මුල පිරුවෙ අද.. මේ තමයි අද ලන්ච් එකට සහභාගී වන හතරවෙනි සහ අවසාන ජෝඩුව.. ඉසුරු සහ අනූෂි..

මං වගේම ඉමාෂිත් වෙව්ලලා ගියා කියලා මට තේරුනා. දෙයියනේ ඉසුරු.. මට හිතාගන්නවත් බැරි වුණා.. සමහර දවස්වල මටත් හොරෙන් මේකා කොරියාවෙයි, ඉස්පිරිතාලෙ පැත්තෙයි කැරකුණේ මේකට තමයි එහෙනම්.. අනූෂිගෙ තත්තා වුණ අමරදාසට කන්ට්‍රැක්ට් බාර දෙන්න මේකා තකහනියක්ම කොරියාවට බඩ ගෑවෙ ඒකටයි එහෙනම්.

උඹ මට නිකමටවත් කිව්වෙ නෑ ඉසුරු..

ආඩපාලියට වගේ කියාගෙන මං ඉසුරුව බදාගත්තා.. මගේ ඇස් මග ඇරපු නයිටින්ගේල් කෙල්ල බිම බලාගෙන හිටියා. සමහර විට එයාට ලැජ්ජා හිතෙන්න ඇති මගේ මූණ දිහා බලන්න.

මං විතරක් නෙමේ.. උඹයි නංගියිත් දෙන්නම මට කිව්වෙ නෑනෙ..

ඉසුරුත් ආඩපාලියක් වගේ හිනාවෙවී කියද්දි, ඉමාෂි ඇවිත් අපි දෙන්නවම බදාගත්තා.

එහෙනම්.. බදා ගැනිලි, සිප ගැනිලි ඉවරවෙලා ලන්ච් එක ගන්න මේ පැත්තට වරෙල්ලා.. එහෙනම්.. ගුඩ් බායි රමී...

අයියගෙ කටහඬ ටිකක් ඈතින් ඇහෙද්දි මං ඉසුරුවයි මහේෂිවයි තව තවත් තුරුලු කරගත්තා.


5 comments:

  1. Saho me site 1 ela kiri patta.digatama katha danna.mama oyata wish karanawa.Good Luck!

    ReplyDelete
  2. ane ayye ikmanata thawa kathawak dannakoooo.......me kathawath lassanama lassanai.....

    ReplyDelete
  3. ai ban dan katha danne naththe

    ReplyDelete