Friday, January 18, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


අටට විතර ගෙදරින් පිටවෙද්දි මං අයියගෙ කාමරේ දිහා හොඳට බැලුවා. ඇතුළෙ සද්ද බද්ද කීපයක් ඇහුණත් මිනිහා කාමරේ ඇති කියලා මට විශ්වාසයක් තිබුණෙ නෑ. සද්ද බද්ද කරන්න පූසෙක් හරි ගෙනැල්ල තියල මේකා සද්ද නැතුවම මාරු වෙලාද කවුද දන්නෙ. කෝකත් කියල මං දොරට තට්ටු කළා. මේකා ඉන්නවද නැද්ද කියල බලල එළියට මාරුවෙන එක ඇඟට වගේම හිතටත් ගුණයි.

“ක.. කවුද..?”


කාමරේ ඇතුළෙන් ඇහුණෙ මිනිහගෙ කටහඬ. මං පටාස් ගාලා ගෙයින් එළියට පැන්නා. මිනිහා දැන් දොර ඇරලා බලල ආයෙත් දොර වහගනියි. මිනිහගෙ රාත්‍රී වීදි සංචාරයට තව වෙලා තියෙනවනේ. අදත් පුතෝ මං උඹේ පස්සෙන්ම තමයි. ගේට් එක ළඟට එන්න හම්බ වුණේ නෑ. ඉසුරු ඇවිත් කාර් එක නැවැත්තුවා.

“යං..”

කාර් එකට නැගලා මං ඉසුරු දිහා බැලුවා. උගේ මූණ හොඳටම සවුත්තු වෙලා. මේකා සාමාන්‍යයෙන් අවුල් කරගෙන පවුල් කන්න ලෑස්ති වෙන මිනිහෙක් නෙමෙයි කියන්න මං අත්දැකීමෙන් දන්නවා. ඒ වෙලාවෙම දෙක තුනක් ඇනලා විනාස කරල දානවා මිසක. ඒ තමයි උගේ උපන් ගතිගුණ.

“එපා වෙනව බං..”

පාලු පාරෙ ටවුම පැත්තට අසූවට විතර පාගන ගමන් ඉසුරු කිව්වා. මං හිතන්නෙ ඌට ඒක කියවුණා.

“කොට බිස්නස් එකද..?”

“නෑ රමියා.. අපේ නංගිත් එක්ක කතා කරල බේරෙන්න බෑ.. රෑට ගෙදරින් එළියට බහිනකොට හැමදාම මාර කචල්.. මගේ මාලු කන්නමයි හදන්නෙ..”

“ඉතිං උඹේ බිස්නස් ඔක්කොම තියෙන්නෙ රෑට කියල ඉමාෂි දන්නවනේ.. මොකද ඕවා දවල්ට කරන්න පුළුවන් ඒවා නෙමේනෙ..”

“ඒක තමා රමී.. එයා කියනව මේ කරන වැඩ නවත්තන්නලු.. ඕවා කරල හරියන්නෙ නෑලු..”

“මේ කරන වැඩ නවත්තලා කන්න බොන්න දෙන්නෙ පොලීසියෙන්ද කියලා උඹ ඇහුවෙ නැද්ද..?”

“ඇහුවා.. එතකොට නංගි අඬන්න ගන්නව රමී..”

ඔන්න ඕකනේ කෙල්ලො එක්ක කරන්න බැරි. ඕන කෙහෙල් ගෙඩියකට මුලින්ම කරන්නෙ හොට්ට බේරන එක. ඉතිං පටන් ගත්තු තැනම වැඩේ ලොප්.

“ඉසුරු..”

මේ කෙරීගෙන යන කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න මට ඕන වුණා. මෙහෙම ගියොත් ඉමාෂි වගේම මාත් හොට්ට බේරන්න ගනියි.

“ඉසුරු.. මං වැඩිවෙලා මෙතන ඉන්නෙ නෑ..”

“ඇයි රමී..”

ඒ වෙනකොට බුලතගෙ නංගිගෙ වෙඩින් එක තියෙන හොටෙල් එක ළඟට අපි ඇවිත් තිබුණා. ඉසුරු කාර් එක තාප්පෙ අයිනෙන්ම පාක් කරද්දි මං උගේ මූණට එබුණා.

“අදත් සමීරයා පස්සෙ යන්න ඕන..”

“ඒකෙ අවුලක් නෑ.. ඉස්සෙල්ලා හොටෙල් එකට යමං..”

මං ඉසුරු එක්ක හොටෙල් එකේ ලොබි එකට ආවා. මංගල උත්සවයක කළ එලි එහෙන් මෙහෙන් පේන්න තිබුණත් මං වටපිට බැලුවෙ දන්න කියන එකෙක් හරි ඉන්නවද බලන්න. ඒ බලද්දි තමයි මට අදහගන්න බැරි දෙයක් ඇස් ඉස්සරහ තිබ්බෙ. ලොබියෙ කෙලවරේම මහත ගෑනු කෙනෙක් එක්ක කතා කර කර හිටපු කෙනා දැක්කම මගේ හිතට ආපු එකම දේ තමයි මෙයා මොකද මෙතන කරන්නෙ කියලා.

“රමී..”

පිටිපස්සෙන්ම ඇහුනෙ ඉසුරුගෙ කටහඬ. ඇස් දෙක ඩිංගක්වත් එහා මෙහා නොකර මං එතනම නතර වුණා.

“මේකි මොනවද මෙතන කරන්නෙ..? අනික මේ පට්ට රෑ වෙලා තියෙද්දි..”

මගේ හිතේ තිබ්බ ප්‍රහ්නෙම ප්‍රශ්න දෙකක් විදියට ඉසුරු මගෙන් ඇහුවා. ඒ එක්කම තමයි ලොබියෙ කෙළවරේම හිටපු නදිනිගෙ ඇස් දෙකයි, මගේ ඇස් දෙකයි එකට පටලැවුණෙ. කාලයක් මං ආස කරපු ඒ ඇස් දෙක මහා පුදුමයකින් ලොකු වෙනව මං දැක්කා. ඒත් හිතේ, විහිලුවට හරි ඉපදිච්ච ආදරයක් මැරිල යන්නත් කලින් පොළවට පස් කරපු නදිනි වගේ කෙල්ලෙක්ගෙ මූණෙ කෝමල රේඛා ගැන මං තඹ සතේකටක ගණන් ගත්තෙ නෑ.

“මං ගිහින් ඒකි එක්ක කතා කරන්නද..?”

“මොකටද..?”

මං ඉසුරුට කඩන් පැන්නා. මූ මොකටද ඒකිගෙ සීනි කිරන්න ඒකි ළඟට යන්නෙ.. ආදරේ අංශු මාත්‍රයක් හරි හිතේ කොනක තිබ්බ නම් නදිනිනේ මං ගාවට එන්න ඕන. ඒත් නදිනි කියන්නෙ මං හිතන් හිටපු ආලෙ අහිංසක කෙල්ලෙක් නෙමෙයි. කලින් මගෙත් එක්ක ඉන්නකොට ඒකි අඬල වැලපිල හොටු හූරල තියෙන්නෙ කලාත්මක ගේමක් අදින්න.

“උඹ වැඩේ කරපං.. මං එළියෙ ඉන්නං..”

ඉසුරුට හොටෙල් එක ඇතුළට යන්න දීලා මං ලොබි එකෙන් එළියට ආවා. ඇත්තම කියන්න මං එක පාරක්වත් පිටිපස්ස හැරිල බැලුවෙ නෑ. ඒ බලපු නැති එකේ ප්‍රතිඵල තත්පර ගානකදි මගේ පිටිපස්සෙන් ඇහුණා.

“රමී..”

නදිනිගෙ කටහඬේ අමුතු උත්තේජනයක් තිබුණා. එයා හිටියෙ මුලු ලෝකයම එයාගෙ අත් දෙක උඩට හම්බවෙලා වගේ. ඒත් මං ඒකට හේතු හොයන්න ගියේ නෑ. මොකද මේ වෙනකොට නදිනි මට කාලා විසි කරපු බබල්ගම් එකක තත්වෙට ඇවිත් තිබ්බ හින්දා. තව කටේ තියන් හිටිය නම් වෙන්නෙ හක්ක රිදෙන එක විතරයි.

“මං දන්නව ඔයා ආවෙ ඇයි කියලා..”

හැම දෙයක්ම උඩු හුළඟටත් උඩින් තිබ්බ හුළඟකට ගහන් ගිහිල්ලා තියෙද්දි එයාට ඒක හරි කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.

“ඔ.. ඔයා ආවෙ මං බ්‍රයිඩ් කෙනෙක් වෙන්න කලින් අන්තිම පාරට බලල යන්නනෙ..”

“මොකක්..?”

තව පොඩ්ඩෙන් මට ඉක්කාවකුත් හැදෙනවා.. මේ වගේ අංගවිකල කතාවක් රමියා  ඔය ඇහුවමයි.

“ඇයි.. රමිත.. ඒක එහෙම නෙමෙයිද..?”

“ඔයාගෙ නම් ලූස් එක තාම ඇරිල නෑ වගේ.. මං ආවෙ බුලතගෙ වැඩකට..”

“බුලතගෙ..”

“ඔව්.. අයි.පී බුලත්සිංහලගෙ..”

“ඔයා දන්නවද රමිත අයි.පී බුලත්සිංහ කියන්නෙ කවුද කියලා..?”

කෙල්ලොත් ප්‍රශ්න අහන්න ගත්තහම මාරයි අප්පා. උං හිත්නනෙ ඇන්ටාක්ටිකාවෙනුත් එහාට දේවල් උං දන්නව කියලා.

“නෑ..”

“එයා මගේ ලොකු අම්මගෙ පුතා..”

ඒකත් එහෙමද..? එහනෙම් රමියයි ඉසුරුයි පස්ස පැත්තට පැට්‍රෝල් ගහපු බලුකුක්කො වගේ පණ කඩන් ආවෙ නදිනිගෙ වෙඩින් එකට උදව් කරන්නද..? ෂෙහ් මීට වඩා හොඳ නැද්ද බුලත අත දීගෑරලා මගේ කම්මුලට කෙලියා නම්.

“ඔයාල බුලත් අයියගෙ යාලුවොද..?”

ටිකක් හිතට අරන් වගේ නදිනි ඇහුවා. ඒ ඇහිල්ලෙ තිබ්බෙ අමුතු අහංකාර ගතියක්. එතකොට තමයි රමියගෙ සුපුරුදු පුරුෂාධිපත්‍යයයි සැබෑ ගටයි එලියට ආවෙ.

“යාළුවො කියල නම් කියන්න බෑ.. මොකද යාළුවො, යාළුවන්ට පගාව දෙන්නෑනෙ..”

“පගාව..?”

“ඔව්.. හොරෙන් කැලෑ කපනවට පගාව..”

නදිනිගෙ මූණ ලුනු දෙහි අච්චාරු කාපු පොඩි එකෙක්ගෙ වගේ හැඩ උනා. මගේ හිතට මාරම ගතියක් ආවා ඒක දැකලා. ආවා මෙතන බුලතගෙ වරුණෙ කියන්න.

“මොනව උනත් ඔයාගෙ අලුත් ජීවිතේට මං සුභපතනවා. මට වැඩිය හොඳ කෙනෙක්වනේ ඔයා බඳිනව ඇත්තෙ.. තීරණයක් ගන්න බැරිව එහාට මෙහාට වැනෙන්නැති රියල් බුලට් එකක් වෙන්න ඇති නේද..? කොහොමද.. මෑන් හැන්ඩියද..?”

බුලතගෙ ට්‍රැක් එකෙන් මං කෙලින්ම වෙඩින් ට්‍රැක් එකට පැන්නා. මෙච්චර වෙලා නදිනිගෙ මූණෙ තිබ්බ අලි ඒජන්තකම කොහෙදෝ ඈතකට පාවෙලා ගිහින් තිබුණා.

“ඔයා.. මාව නොමරා මරනවා රමී..”

“හා..! හා..!! මං ඔයාව නොමරා මරන හින්ද තමයි මං කසාඳ බඳින්න බෑ කිව්ව ගමන් සතියක් දෙකක් යන්න කලින් වෙන එකෙක්ව බඳින්න යන්නෙ.. අනේ හලෝ.. තමුසෙලා වගේ ගෑනු, පඳුරකට පයින් ගැහුවත් තුන් හතර දෙනෙක් හොයා ගතෑකි..”

“ම.. මට ඔහොම කතා කරන්නෙපා රමී..”

“මං කතා නොකර ඉන්නෙක ඔයාට මාර සනීපයි කියල මට තේරෙනවා.. ඒත් මං අයින් වුණ ගමන්ම සෙට් කරගන්න, තවත් කොල්ලෙක්ව ඔයාගෙ ඔය පරම පවිත්‍ර වෙච්ච හදවත ඇතුළෙ ඉඳල තියෙනව කියල දැනෙනකොට මටත් මාර සනීපයක් දැනෙනවා.. තමුසෙල වගේ දෙකයි පනහෙ කෙල්ලොන්ටනේ හලෝ මාත් මැරීගෙන පෙම් කරේ..”

“අනේ රමී.. කෑගහන්නෙපා..... අම්මත් ඉන්නවා..”

“මේක කෑගැහිල්ලක් කියල හිතනව නම් රමීගෙ අවසාන කෑගැහිල්ලත් මේක තමයි.. ඔයා සමහර විට බලන් ඉඳියි.. ඒත් මං වෙඩින් එකට එන්නෑ.. ඒකයි මං හම්බ වුනු වෙලාවෙම විෂ් කෙරුවෙ.. පටන් ගන්න යන ජීවිතේ හොඳට අරගෙන යන්න.. ගුඩ් බායි නදිනි..”

ඇස් දෙකේ කඳුළු බිංදු දෙකක් තියාගෙන නදිනි බලාගෙන ඉන්දෙද්දි මං ලොබි එකෙන් විතරක් නෙමෙයි හොටෙල් එකෙනුත් එලියට බැස්සා. ඒ එක්කම තමයි ඉසුරු මගේ ළඟට ආවෙ.

“මොකද කෙල්ල කියන්නෙ..? බැන්දට පස්සෙ වෙනද වගේම ළඟින් ආශ්‍රය කරමු කියනවද..?”

“පිස්සු නැතුව ඉඳපං.. ඒකිට ඒ තරම් අමාරුවක් නෑ.. හිතේ අමාරුවට කසාඳ බඳිනව මිසක..”

“ඒකි මොනවද බං මේ රෑ ජාමෙ මෙතන කරන්නෙ..?”

“ඒකිගෙ මගුලට තමයි බං උඹයි මායි සප් එක දෙන්න ඇවිත් තියෙන්නෙ..”

“මොකක්..?”

“ඔව්.. බං.. බුලතා කියන්නෙ ඒකිගෙ ලොකු අම්මගෙ පුතාලු..”

“න්.. නෑහ්..?”

“නැත්තෙ නෑ බං.. ඔව්..”

“එහෙනම් මොන කෙහෙල් ගෙඩියකටද බං අපි මෙතන ඉන්නෙ.. යමං යන්න..”

“එතකොට බුලතා..”

“ඌට බම්බු ගහගන්න කියමු.. උඹව එපා කියල, එක හිතින් වෙන එකෙක්ව කසාඳ බඳින මේ වගේ මඟුලක හුළඟක්වත් ගෑවෙන්න හොඳ නෑ.. මුංගෙ සප් එක මුංම බලා ගනියි.. නැගපංකො කාර් එකට..”

මං ඉසුරුගෙ කැමතිම ගතිගුණේ ඕකතමයි.. ඕන ලොක්කෙකුගෙ ඕනම ඕඩරේකට, මං හින්ද පයින් ගහන්න ඉසුරු ලෑස්තියි.

“දැන් කොහෙද යන්නෙ..?”

“ඇයි උඹ කිව්වෙ සමීරයා පස්සෙ යන්න ඕන කියලා..?”

“ඒක නම් එහෙම තමයි.. ඒත් ඌ ඉන්නෙ කොහෙද කියල ඌම තමා දන්නෙ..”

ඒ වෙනකොට කාර් එක හෙමින් සීරුවෙ උසාවිය හංදියට ඇවිල්ලා තිබුණා. එතන ඉඳලා මීටර් පනහක් විතර පාර දිගේ මැද්දෙන් තනි සුදු ඉර ඇඳලයි තිබුණෙ. ඒ කියන්නෙ මොන හදිස්සිය තිබුණත් ඒ ඉර කපලා වාහනේ අරන් යන්න බෑ. හෙමීට තවත් වාහනයක් පස්සෙ ගාටන එක තමයි සිහි බුද්ධියෙන් කරන්න ඕන. ඒකට එක හේතුවක් තිබුණා. ඒ තමයි නගර සංචාරක ට්‍රැෆික් පොලීසිය දවසෙ පැය විසි හතරම ඔතන තැපගෙන ඉන්න එක. ටවුම ගැන නොදන්නා එකෙක් හරි තදියම් කාරයෙක් හරි අනිවා උසාවි දාන්න කියාපු තැනක් තමයි ඔය උසාවි හන්දිය. මේ රමියා නම් අනිවා ඔය හැම බඩකඩිත්තුවක්ම දැනගෙන හිටියා.

“රමී..”

“ම්..”

“කේස් එකක් වගේ..”

ඉසුරු දැක්ක දේම ඒ වෙලාවෙ මාත් දැක්කා. උසාවිය හංදියට ඩිංගක් එහායින් සිටි ට්‍රැෆි් එකේ තදයෙක් මිනිහෙක්ගෙ කොලර් එකෙන් අල්ලගෙන. ඒ මනුස්සයට ඩිංගක් මෙහායින් තරුණ ගෑණු ළමයෙකුයි පුංචි ළමයෙකුයි.

“අයින් කරල නවත්තපං ඉසුරු..”

මොකටද ඒ කියල අහන්න වගේ මගේ මූණ දිහා බැලුවත් ඉසුරු වාහනේ අයින් කරල නැවැත්තුවා.

“රමි.. මොකද කරන්නෙ..? ඔතන ඉන්න ට්‍රෆික් සාජන් මහ එපා කරපු එකෙක්..”

ඒ වෙනකොටත් මං එතෙන්ට ගිහිල්ලා ඉවරයි.. වෙන වෙලාවක නම් මං මේ වගේ තැනක දැන හැඳුනුම්කම් පෙන්නන්න යන්නෙ නෑ. ඒත් අර තරුණ ගෑනු කෙනා අතේ පිටපු පුංචි දරුවගෙ අසරණ මූණ මට එතන දාලා යන්න හිත දුන්නෑ.

“මොකද මහත්තයො මෙතන වෙන්නෙ..?”

වම් අතින් ත්‍රීවිලර් එක එළවගෙන ආපු මනුස්සයගෙ කොලර් එකෙන් අල්ලන් ඉන්න ගමන්, දකුණු අත ඒ මනුස්සයගෙ කම්මුල හරහා යවන්න ඔන්න මෙන්න තියල හිටපු ටැෆික් සාජන් මැද්දට මං පැන්නා. සමහර විට මේක ඉල්ලගෙන කෑමක් හරි රාජකාරියට බාධා කිරීමක් හරි වෙයි. ඒත් කරන්න දෙයක් නෑ.

“තමුන් කවුද..?”

කොලර් එකෙන් අල්ලන් ඉන්නග මන්ම ට්‍රැෆික් සාජන් මගෙන් ඇහුවා. මිනිහට උත්තරයක් දෙන්නක ලින් මං අර තරුණ ගෑනු කෙනා දිහා බැලුවා. එයාගෙ අතේ හිටපු පුංචි දරුවා බොල් සද්දෙට කහින්න ගත්තා. පේන විදියට නම් පුංචි එකාට අමාරු පපාටයි.. මේ ත්‍රීවිල් එකට නැගල තියේනනෙ බෙහෙත් ගන්න කියල රමීගෙ ඔලුවට පටස් ගාලා මීටර් උනා.

“මගේ රාජකාරිය ගැන ප්‍රශ්න කරන්න තමුන් කවුද..?”

ඒ වෙනකොට අනිත් ට්‍රැෆික් හාදයොයි ඉසුරුයි මගේ ළඟට ඇවිල්ලා තිබුණා. මේ වෙලාවෙ බලෙන් වලියට පටලැවිලා ඉල්ලගෙන කන්න උවමනාවක් මට තිබ්බෙ නෑ.. ඒ හින්දම ශාන්ත දාන්ත ස්වරයෙන් මං කටහඬ අවදි කරා.

“මමද..? මම මහ ජනතාව..! ඉතිං මහ ජනතාවට අයිතියක් තියෙනව තොරතුරු දැනගන්න.. නිකම්ම මනුස්සයෙක්ගෙ කොලර් එකෙන් අල්ලලා නැව් ගුටි දෙන්න ඔබතුමාට පුලුවන් කමක් නෑ. මෙයා වැරැද්දක් කරල නම් ඒකට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ග ඇතිනේ..”

“උඹ කවුද මිනිහො මට නීතී උගන්නන්න..?”

ට්‍රැෆික් සාජන් මහත්තයා දේවදත්ත පාට් එකෙන් මට කඩාගෙන පැන්නා. ඉවසීමේ බැමි එකින් එක බිඳෙන්න යද්දි මං තොල හපාගත්තා.

“මං ඉස්සෙල්ලත් කිව්වෙ.. මං මහ ජනතාව කියලා.. ටිකක් මොලේ ඇතුව වැඩ කරපං මහත්තයො.. කවුරු හරි මේක වීඩියෝ කරලා, ලයිව් ඇට් එයිට් එකට යැව්වොත් ඔය නාකි කිට් එක මෙතනම ගලවලයි ගෙදර යන්න වෙන්නෙ.. තේරුණාද..?”

මගේ කතාවෙන් පොලීසියෙ මහත්තයගෙ ඔද තෙද බල එහෙමත් නැත්නම් රැස්පොට් එක බිංදුවටම බැස්සා. මිනිහා වටපිට බැලුවෙ ඒ වෙනකොටත් මිනිහව වීඩියෝගත වෙලාද බලන්න.. කොහොම හරි ඒ තත්පරයෙ ඒ මිනිහගෙ අතින් අර ත්‍රීවිලර් එක එළවගෙන ආපු මනුස්සයගෙ කොලර් එක අතෑරිල තිබුණා. අන්න ඒ වෙලාවෙ තමයි මං දැක්කෙ ත්‍රීවිල් එක එලවගෙන ආපු මනුස්සයා කණ පැලෙන්න බීලා කියනෙක. දැන් ඉතිං කරන්න දේකුත් නෑ. බැලුවහම ට්‍රැෆික්  සාජන්ගෙ ඇති වරදකුත් නෑ. කෙලින් හිටගන්න බැරුව බීලා පොඩි එකෙකුයි ගෑනියෙකුයි වීල් එකේ දාගෙන බර වාහනේකට අඩයක් තියන්න ගියාට මුගේ අල්ලන්න ඕන කොලර් එකෙන් නෙමෙයි.. බෙල්ලෙන්..

“හරි ලොක්කා.. ඔයා ඔයාගෙ ඩියුටිය කරන්න.. අපෙන් බාධාවක් නෑ.. සියලු දේ කිව්වෙ සමාජයෙ යහපත උදෙසා.. හරිනේ.. එහෙනම් අපි ගියා..”

මාව කාර් එක දිහාට තල්ලු කරන ගමන් ඉසුරු කිව්වා. ඒ අතරෙ ට්‍රැෆික් සාජන් අර මනුස්සයව පොලිස් ජීප් එකට දාගන්නවා මං දැක්කා. ඌට අද හොඳි නැතුව පාන් හම්බ වෙයි. අවුරුදු උත්සවේදි වගේ බැලුම් පුම්බන්නත් වෙයි.

“උඹත් අහක යන රෙද්දවල්නේ දාගන්නෙ රමී.. මේ වැඩකට නැති දේවල්.. ආ.. මොනවද උඹ කල්පනා කරන්නෙ..?”

“අර වීල් එක ගාව හිටපු පුංචි ළමයා සනීප නැතුව නේද හිටියෙ.. බෙහෙත් ටිකක් ගන්න වත් ඒ ගෑණු මනුස්සයා මේ මහ රෑ යන්නෙ කොහොමද.. අර යකාව ෂුවර් එකටම රිමාන්ඩ් කරයි..”

“ඒකත් ඇත්ත රමී.. මොකද කරන්නෙ..?”

ඉසුරු මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ කට ළඟටම ඇවිල්ලා තිබුණා.. ඒ අපේ කාර් එක ළඟට ඇවිල්ලා හිටපු කෙනාව දැක්කම..

“අ.. අනේ මල්ලි.. මාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න පුලුවන්ද..?”

ත්‍රීවිල් එකේ ආපු ගෑනු මනුස්සයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන අපි ඉස්සරහ බැගෑපත් වුණා. කරේ ගහගෙන හිටපු පුංචි එකා මයින හමක් අඳිනව වගේ අමාරුවෙන් හුස්ම අල්ලනවා. මං හිතන්නෙ සෙම වැඩිවෙලා හතිය උපරිමයට ඇවිල්ල වගේ.

මං තත්පරයක්වත් ප්‍රමාධ වුණේ නෑ. කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා අම්මවයි දරුවවයි කාර් එක ඇතුළට දාගත්තා.

“යමු ඉසුරු.. මේ වෙලාවෙ සුගත් ඩොක්ටර්ට කතා කරල බලමු..”

මෙච්චර රෑ වෙලා ඩොක්ටර් කෙනෙක් හොයන එකත් ප්‍රශ්නයක් තමයි.. ඒත් සුගත් ඩොක්ටර්ගෙ අලුත් ගේ හදන්න ලී ගිහින් දීලම එයත් එක්ක මහා පරිමාන ෆිට් එකක් ඉසුරුටයි මටයි දෙන්නටම තිබුණා.

“මහත්තයට ඇප තියන්න වෙයි නේද..?”

පුංචි එකා අමාරුවෙන් හුස්ම අල්ලලා අඬද්දි ඒ ගෑනු මනුස්සයා හොඳටම බයවෙලයි හිටියෙ.. මගේ ප්‍රශ්නෙත් එක්කම එයා ඔලුව උස්සලා මං දිහා බැලුවා.

“ඒ මනුස්සයත් එක්ක මං හයර් එකක් ආවෙ.. බබාට හුඟක් අසනීප උන හන්ද පාරෙ ආපු ත්‍රීවිල් එකට මං අත දැම්මා.. මං දැනන් හිටියෙ නෑ ඒ මනුස්සයා බීලා කියල..”

එතන ඉඳලා ඉතුරු වැඩ ටික වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඩිංගක් වෙලා තට්ටු කරල උත්තරයක් නැති තැන මොබයිල් එට කෝල් එකක් අරන් අපි ඩොක්ටර් සුගත්ව ඇහැරව ගත්තා. පුංචි එකාගෙ නහයටයි කටටයි ආවරණයක් දාලා නිබියුලයිස් කරල, බෙහෙත් වගයක් දීලා වැඩේ ඉවර වෙනකොට රෑ එකොළහයි. සුගත් ඩොක්ටර් කිව්වෙ තවත් පරක්කු වෙලා ගෙනාව නම් දරුවගෙ ජීවිතේ අනතුරේ කියලා. ඩොක්ටර්ගෙ කතාව ඇහුණා විතරයි අර ගෑනු මනුස්සයගෙ ඇඬිල්ල වැඩි උනා. ඔන්න ඕකනේ අප්පා මේ ගෑනු සංහතියත් එක්ක වැඩ කරන්න බැරි. මෙච්චර ලස්සනට වැඩේ ගොඩදාලා පොඩි එකාටත් බෙහෙත් අරන් දීලා ඉවර උනාට පස්සෙ කිසිඳු හිරිකිතයකින් තොරව හොට්ට බේරන්න ගන්නවා.

“අක්කා කොහෙද ඉන්නෙ..?”

දවසේ වැදගත්ම ප්‍රශ්නෙ ඉසුරු අන්තිමට ඇහුවා. ඒත් ඒකට හම්බ වෙච්ච උත්තරේ මට හරියටම ඇහුණෙ නෑ.

“නගින්න.. අපි එතනට ගිහින් දාන්නම්..”

ඉසුරු ඒ පාර සම්පූර්ණයෙන්ම ධාර්මික වෙලා. මට කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ. තරුණ ගෑණු මනුස්සයයි පුංචි එකාවයි දාගෙන ඉසුරු ඊගාවට හැටට හැටේ පෑගුවා. ඒත් එතකොටත් උසාවිය ගාව සිටි ට්‍රැෆික් සෙට් එක හිටියත් එයාලා අපිව නැවැත්තුවෙ නෑ.

“ඔතනින් වමට දාන්න මල්ලි..”

උසාවිය හංදියෙ ඉඳලා කිලෝ මීටර් තුනක් විතර එද්දි ගෑනු මනුස්සයා කිව්වා. ප්‍රධාන පාරෙන් අතුරු පාරට වැටිලා ඒ තරම් දුරක් යන්න හම්බ වුණේ නෑ. ඒ ගෑනු මනුස්සයගෙ ගේ ළඟට ඇපි ඇවිත් තිබුණා.

“කරපු උදව්වට ජාති ජාතිත් පින් සිද්ධ වෙනව ඔයාලට..”

දරුව වඩාගෙන ඉද්දිම එයා අත් දෙක එකතු කරල අපිට වැන්දා. සෑහෙන තරමෙ කටුක ජීවිතයක් ගත කරපු විත්තිය පෙනුන ඒ තරුණ මූණ දිගේ කඳුළු බිංදු දෙකක් නිදහසේ ගලන් ගියා.

“ඒක ඒ තරම් හිතට ගන්නෙපා අක්කෙ.. ඔයා නෙමෙයි වෙන වුරු හරි එතන හිටියත් අපි ඒ දේ කරනවා..”

“ඔයාලට එහෙම හිතෙනව ඇති.. ඒත් මායි මගේ පුංචි එකයි කොයි තරම් අසරණ වෙලා හිටියද කියලා මං විතරයි දන්නෙ.. මං මේ දේට ඔයාලට කොහොම හරි කෙළෙහි ගුණ සලකණවා..”

මට එක පාරටම ඉසුරු දිහා බැලුණා. උගේ මූණට පුංචි හිනාවක් ඇවිල්ලා තිබුණා. අල්ල ගන්න තුත්තිරි ගහක්වත් නැති මේ මනුස්සයා අපිට කොහොමද සලකන්නෙ.

“අක්කා තනියමද ඉන්නෙ..?”

ටිකක් වෙලා ගිහිල්ලා ඉසුරු අහපු ප්‍රශ්නෙ මට නම් දිරෙව්වෙ නෑ. ගෑනු කෙනත් බයවෙලා වගේ අපේ එකා දිහා බැලුවෙ.

“වරදවා තේරුම් ගන්නෙපා.. මෙච්චර රෑ වෙලා තනියම පාරට බැහැපු හින්දයි ඇහුවෙ..”

“මට  තනියක් නෑ මල්ලි..”

“එතකොට මහත්තයා..”

තරුණ ගෑනු මනුස්සයගෙ කඳුළු ආයෙත් අලුත් වුණා. ඉසුරු ගැන මගේ හිතට ආවෙ පුංචි තරහක්. වැඩේ කරල ඉවරවෙලා යන්නෙ නැතුව මේකා මෙතන ඔබද පොර.. මමද බොර.. ප්‍රෝගෑම් එක ටෙලිකාස්ට් කරනවනේ.

“එ.. එයා ලංකාවෙ නෑ.. හ්ග්..”

ඒ වචන ටිකේ මහ ලොකු කතාවක් තිබුණත් යමු කියල මං ඉසුරුට තට්ටුවක් දැම්මා. අපි කරන්න ඕන දේ උපරිමයෙන් කරානෙ. තවත් මෙතන ප්ලග් වෙවී ඉන්නෙක තේරුමක් නෑ.

“ජීවිතේ ගැන හිතෙනකොට හරි පුදුමයි නේද රමී..”

කාර් එකට නැගලා ස්ටර්ට් කරල ඉසුරු මගේ පැත්තට හැරුණා.

“ඇයි..?”

“බලපං ඉතිං.. උඹයි මායි නැත්නම් අර පොඩි එකාගෙ පණත් යන්න තිබුණා. ඒ ගෑනු මනුස්සයගෙ ජීවිතේ කොයි තරම් අනාරක්ෂිතද..? රෑකට ඔය ගෙදරට කසියා ටේ ගාගත්තු එකෙක් පැන්නොත් හෙම මොනවයින් මොනව වෙයිද..?”

“මං දන්නෑ බං.. හැබැයි මට මල පනින එක දෙයක් තියෙනවා..”

“ඒ මොකක්ද..?”

“ඔය ගෑනු මනුස්සයගෙ මිනිහා ගැන.. මේ නෑගිව මේ වගේ තත්වයකට දාලා ඌ රට ගිහින් ඉන්නෙ.. සල්ලි කෝටියක් හම්බ වුණත් වැඩක් තියෙනවද බං දැන් දැනුනා වගේ ප්‍රෙෂර් එකක් ඒ ගෑනිට දැනෙද්දි..?”

තවත් ඒ ගැන කතා කරන්න දෙයක් මටයි ඉසුරුටයි ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඒක හින්ද අපි දෙන්නා වෙන වෙනම කල්පනා ලෝකවල තනි වුණා. හැබැයි ඒ තත්පර දහයක් හරි විස්සක් හරි වෙන්න ඇති. වසරේ ජනප්‍රියතම රහස් පරීක්ෂක කතාව ඒ මොහොතෙදි විකාශය වුණා.

පටු පාරෙ ඉඳලා තාර පාරට කාර් එක අරගෙන ඉසුරු පාර අයිනට කරලා කාර් එක නතර කරා. සමහර විට ඌට පම්ප් ටයිට් එකක් වෙන්න ඇති. ඒත් ඒ වෙලාවෙම ප්‍රධාන පාර දිගේ සෑහෙන තරම් ස්පීඩ් එකකින් ආපු බයික් කාරයකේ සුපර් ක්‍රෝස් තරග වලදි බයික් එකක් නමනව වගේ හුරු පුරුදු කමකින් එක පාරටම අතුරු පාරට දැම්මා. ඒ දැමිල්ල මගේ හිතට රතු එළියක් දුන්නා.

“ඊයෙ රෑ යන්න හිටපු ගමනක් වගේ ඌ අද රෑ යන්නෙ..”

කටත් ඇද කරල ඉසුරු කියද්දි මං පටාස් ගාලා කාර් එකේ දොර ඇරලා එළියට පැන්නා.

“ඇයි රමී..”

“ඉක්මනට වරෙන්.. ඒ ගියේ සමීරයා..”

ඉසුරුගෙ මූණෙ මතුවෙච්ච වෙනස්කම් බලන්නෙ නැතුව මං අතුරු පාර දිගේ ඉස්සරහට දුවගෙන ආවා. කාර් එක හරවගෙන එන්න ගියොත් සමීරයා අදත් මිසින් තමයි. ඒත් අතුරු පාර දිගේ ඉස්සරහට ආපු මං ගල් ගැහිලා නතර උනා.

“හප්පට සිරි.. උඹට ෂුවර්ද මේකෙ ආවෙ උඹගෙ අයිය කියලා..”

මං වගේම ඉසුරුත් ගල් ගැහිලා නතර උනා කියල මට තේරුණා. අපි දෙන්නා ඉස්සරහ පේන්න තිබ්බෙ මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා ආපු බයික් එක. මේ වගේ අපත රැයක සමීරයගෙ බයික් එක දකින්න ලැබීමට ඒ තරම් අනපේක්ෂිත දර්ශනයක් නෙමෙයි. ඌ කොහොමටත් නිශාචර නොහොත් රැයේ සැරිසරන සත්වයෙක්නෙ. ඒත් මායි ඉසුරුයි ගල් ගැහුනෙ වෙන හේතුවට. ඒ තමයි මගේ සහෝදරයගෙ බයික් එක නවත්තල තිබුණෙ අපි බෙහෙත් අරන් දීල ආපු පුංචි එකයි තරුණ ගෑණු මනුස්සයයි ඉන්න ගේ ඉස්සරහ.

“බයික් එකේ ආවෙ සමීර කියලා මට ඉර හඳටත් වැඩිය විශ්වාසයි බං.. ඒත් මේ දකින දේ මට අදහගන්නත් බෑ..”

“ඉසුරු.. උඹයි මායි හිතුවෙ වත් නැති විදියට උදව් කරල තියෙන්නෙ මගේ නෑනටයි දරුවටයි.. එහෙමනේ..”

“උ.. උඹ කියන්නෙ..”

“ඔව් ඉසුරු.. තවත් හෝදන්න දෙයක් නෑ.. මේ ගෙදර ඉන්නෙ සමීරයා බැන්ඳයි කියපු දිලිනියි.. ඒ දෙන්නගෙ ළමයයි.. මේකා මේ මඟ මරුව වගේ කඩාගෙන ආවෙ පුංචි එකා අසනීප හින්ද වෙන්න ඇති..”

හිතේ තිබ්බ ප්‍රශ්න හැටහුටාමාරකටම ඒ වෙලාවෙ උත්තර හම්බ උනා. ඇස්පනා පිටම පේන්න තිබ්බ කටුක ඇත්ත ජීවිතේ ගැන හුඟක් දේවල් මට කියල දුන්නා. කුතුහලය දනවන දේ හිතින් ඈත්වෙලා ගියත් අනුකම්පාවක් වගේ මොකක්දෝ නොතේරෙන හැඟීමක් සුදු මීදුමක් වගේ මගේ හිත සම්පූර්ණයෙන්ම වෙලා ගත්තා.

“දැන් ඔක්කොම පැහැදිලියිනේ රමී.. අපි යමු.. ආයෙ මේකගෙ ප්සසෙන් පන්නන්න දේකුත් නෑනෙ.. අපි දන්නවනේ මේකා තලපතා වගේ මෙතන ඇන්කර් එක ගහල කියලා..”

“ඒක නම් එහෙම තමයි ඉසුරු.. ඒත් ඇයි අයියකාරයා මේ දෙන්නව අපේ ගෙදර එක්කන් එන්නෙ නැත්තෙ.. තමන්ගෙ දෙයක් මෙහෙම අත පල්ලෙන් වැටි වගේ තියන්න දෙන්නෙ ඇයි.. අම්මයි තාත්තයි ඕන නම් මූට නැතිවෙන්න බනියි.. ඒත් ටික දවසයිනේ.. පස්සෙ සේරම හරියයි.. අනික තව කී දවසක් මේකා මේ රඟපෑම කරගෙන යන්නද..?”

“මටත් ඒක නම් හිතෙනව රමී.. මූට වැඩි දවසක් මේක අල්ලන් ඉන්න බෑ.. කොහෙන් හරි වැඩේ ගැස්සෙනවා..”

සමීරයගෙ බයික් එකයි, අඳුර ඩිංගෙන් ඩිංග ගිලගත්තු ඒ පුංචි ගෙදර දිහායි බලන් ඉඳල තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒතයි ඉසුරුත් අඬගහගෙන මං කාර් එකට ආවෙ.

“උඹට දැන්ම යන්න ඕනෙද..?”

මං ඉසුරුගෙන් ඇහුවෙ තවත් ඩිංග වෙලාවක් හරි මෙතන ඉඳපං කියල මගේ හිත කියපු නිසා. ඒත් ඉසුරු උත්තරයක් දෙන්න කලින් උගේ ෆෝන් එක කෑගහන්න ගත්තා. ස්ක්‍රීන් එක දිහා බලල ඌ මගේ මූන දිහා බැලුවා. ඒ මූනෙ තිබ්බෙ අවිනිශ්චිත ගතියක්.

“නංගි කතා කරන්නෙ..”

ඉසුරු ෆෝන් එක හෑන්ඩ් ෆ්‍රී දැම්මා. දැන් ඉමාෂිගෙ කට හඬ මටත් ඇහෙන්නයි ය්නනෙ.. මං සීට් එකේ හරි බරි ගැහුනා. මූත් කරන්නෙ මාර වැඩ තමයි.

“අයියා.. ඔයා කොහෙද..?”

ඉමාෂිගෙ සියුමැලි කටහඬ කාර් එක පුරාම විහිඳිලා යද්දි මායි ඉසුරුයි මූණෙන් මූණ බලා ගත්තා.

“ඇයි පැංචි..”

ඉසුරු ඉමාෂිට ආදරේට කියන්නෙ පැංචි කියල මං දැනගෙන හිටියා. මං හිටපු හින්දද මන්දා ඉසුරුගෙ කටින් ඒ ආදරණිය වචනෙ හුඟක් දයාබර විදියට පිටවුණා. මට දැනුනෙ පුංචි පහේ අමුත්තක් නම් නෙමේ.

“ඇයි පැංචි තමයි.. ඔයා ගෙදර එන්නැද්ද අයියා.. මං කීයෙ ඉඳන්ද බලන් ඉන්නෙ..?”

“සොරි පැංචි.. මං තව ටිකක් පරක්කු වෙයි.. ඔයා දොයි ගන්න..”

“ඔයා කොහෙද ඉන්නෙ අයියා..”

“මං හදිසි වැඩක ඉන්නෙ.. ඉක්මනින් එන්නං..”

“බෑ.. බෑ.. බෑ.. ඔයා ඉන්නෙ කොහෙද කියල කියන්න..”

“මං කලිනුත් කිව්වෙ..”

“ඔයා බොරු කියන්නෙ අයියා..”

“බොරු නෙමේ පැංචි.. මං ළඟ රමීත් ඉන්නවා..”

“ර.. රමී අයියා..”

එක පාරටම ඉමාෂිගෙ කටහඬ ගොලු වුණා. ඒ පාර කෙල්ලට මොකද හප්පෙ උනේ.. මෙච්චර වෙලා යස අගේට කතා කර කරනේ හිටියෙ.

“ඉමාෂි..”

“රමී අයියා..? ඔයාලා මොකද කරන්නෙ.. මෙච්චර රෑ වෙනකන් පාරවල් ගානෙ රස්තියාදු වෙන්නෙ ඇයි..?”

ඔය ඇදුනෙ හූරන ලොතරැයිය යසටම.. ඉසුරුවට මේක බේරගන්න දීලා මං සද්ද වහල හිටිය නම් ඉවරයි.. දැන් මටත් ටොෆිය හම්බ වෙනවා.

“යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් ඉමාෂි..”

“ගෑණු යාලුවෙක්ද..?”

ඉසරු ඉස්සරහම ඉමාෂි මගෙන් ඇහුවා. ඉසුරු මගේ මූණ දිහා බැලුවෙත් මං ඉසුරු දිහා බැලුවෙත් එක පාරටම වගේ.

“පිස්සු කියවන්නෙපා පැංචි.. මෙච්චර රෑ වෙලා අපි ආස්සරේ කරන ගෑනු යාලුවො නෑ.. ඔයා දොරවල් හොඳට වහගෙන නිදා ගන්න.. මං ඉක්මනට එන්නම්..”

ඉසුරු කෝල් එක කට් කලා.. ඒ තත්පරයෙම තමයි මගේ මොබයිල් එක ගෑ ගහන්න ගත්තෙ.. ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබ්බෙ පිළිසරණ ලමා නිවාසෙ නම්බර් එක.. මං පටාස් ගාලා කෝල් එක ගත්තා.

“රමිත මහත්තයා.. මේ වෙලාවෙ කරදර කරනවට සමාවෙන්න ඕන..”

“කමක් නෑ ෆාදර්.. කියන්න..”

“දිමුතු ගැන ප්‍රශ්නයක්..”

“ඒ කිව්වෙ..?”

“දිමුතුට අද පිරිමි ළමයෙක් කරදර කරන්න හදලා..”

“මොකක්..?”

“ඔව් රමිත මහත්තයා.. පිළිසරණෙට පල්ලෙහා තියෙන ආශ්‍රමයට දිමුතු වයලීන් ගහන්න යනවනේ.. ඒ යනකොට දැකපු කොල්ලෙක් වෙන්න ඕන.. දිමුතු බයවෙච්ච පාර මුකුත් කියන්නෑ.. රමිත මහත්තයා දිමුතුට කතා කෙරුවොත් හොඳයි..”

මගේ හිතට එක පාරම කඩාගෙන ආවෙ උහුලගන්න බැරි තරමෙ කේන්තියක්.. ඒ එක්කම මට මතක් උනේ අයියා මට කියපු අනතුරු ඇඟවීම දිමුතු ගැන. තව දිමුතු ගැන පහුගිය දවස්වල කවුදෝ විමසිල්ලෙන් හිටිය කියල ෆදාරුයි දිමුතුයි කියපු කතා.

“මොකද රමී..”

“එකෙකුට නෙලන්න තියෙනවා.. හතර හන්දි කැඩෙන්න..”

“දැන්ම නෙලන්න ඕනිද..?”

ඉසුරු අහපු ප්‍රශ්නෙත් එක්ක මගේ කේන්තිය ඩිංගක් අඩු වුණා. මූත් ඉඳල හිටල හරි හිනා යන ඒවා අහනවනේ..

“දැන් නෙමේ හෙට.. අපි දැන් යමු..”

තවත් දුරට මෙතන තැපගෙන ඉඳල වැඩක් නෑ කියල මට තේරුණා. සමීරයා කොහොමත් ගෑනිවයි ළමයයි නළවල එනකොට පාන්දර වෙයි.


උදේ ඇහැරෙද්දි මගේ හිතේ ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් දිමුතු ගැන, අනිත් එක සමීරයගෙ ක්‍රියා කලාපය ගැන.  ඒකට මං කරන්න ඕන මොනවද කියලා මට හිතාගන්න බැරිවයි හිටියෙ. මොන දේ උනත් සමීරයා ඉන්නෙ නොසෑහෙන පඹ ගාලක පටලැවිලා කියන්න නම් මං හොඳටම තේරුම් අරගෙනයි හිටියෙ. මේ මනුස්සයට දැහැමින් සෙමින් උදව් කරනවද නැත්තං මුකුත්ම දන්නෑ වගේ පාඩුවෙ ඉන්නවද කියල මං ඩිංගක් වෙලා කල්පනා කරා. ඒත් හරි හමන් උත්තරයක් මගේ හිතට ආවෙ නෑ.

ටිකක් දවල් වෙද්දි මං පිළිසරණ පැත්තට ආවෙ දිමුතුත් එක්ක ටිකක් කතා කරනව කියල හිතාගෙන. දිමුතුගෙ පස්සෙන් ඇවිත් එයාට කරදර කරන එකාට නෙළමුද කියල ඉසුරු ඊයෙ රෑ ඇහුවත් මේ වෙනකල්ම මිනිහගෙ ආරංචියක්වත් නෑ. සමහර විට ඉසුරු පස්ස උඩදාගෙන හොඳට නිදි ඇති. එහෙමත් නැත්තං ඉමාෂිගෙන් බර බරයක් වැටෙන්න ඇති.

දැනුම් දීමක් කරන්නෙම නැතුව මං පිළිසරණ ඇතුළට ආවා. ළමයි පාඩම් කරන දිග ශාලාවට මෙහා පැත්තෙ පුංචි කාමරේක ඉඳල දිමුතු දුවගෙන ආවා. දවස් ගානකින් මාව දැකපු සංතෝසෙ ඒ සොඳුරු මූණෙ පිරිලා ඉතිරිලා තිබුණා.

“රමිත අයියෙ.. ඔයා ආපු එක කොයි තරම් දෙයක්ද..?”

“ඇයි දිමුතු..?”

“මේ දවස් ටිකේ හරියට ප්‍රශ්න අයියා.. ෆදාර්ගෙ මූනත් හරි නෑ.. මගේ පස්සෙන් පිරිමි අය එනවට මං මොකද කරන්නෙ රමිත අයියා..”

“කතන්දරේ මං ටිකක් දන්නව දිමුතු.. ඔයා හොඳ දරුව වගේ ඩිංගක් කලබල නැතුව ඉන්නකො.. අපි බලමුකො මේ ඔයාගෙ පස්සෙ එන කරදරකාරයො කවුද කියලා..”

“රමිත අයියා ඉන්නව නම් මට බයක් නෑ..”

“ඔයාගෙ අසනීපෙ කොහොමද දිමුතු..”

මෙච්චර වෙලා හුරතල් විදියට කතා කර කර හිටපු පුංචි කෙල්ලගෙ මූණ අඳුරු වෙලා ගියා. මං ඇහුවෙ වැරදි ප්‍රශ්නයක් මංදා.

“ඒකෙන් මට ගොඩ ඒමක් නෑ අයියා.. මට බය ඔයාටවත් කියන්න වෙලාවක් තියේවිද දන්නෑ කියලා.. කාගෙන් ඈත් උනත් මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ..”

කතාව අතරමග නතර වෙද්දි දිමුතුගෙ ඇස් ලොකු වුණා. එයාගෙ ඇස් තිබුණෙ පිළිසරණ තාප්පෙත් එළියෙ පාර දිහාට යොමුවෙලා.

“ඇයි දිමුතු..?”

“ම.. මගේ පස්සෙන් එන කරදරකාරයෙක් තමයි අර ගේට්ටුවට එහා ඉන්නෙ.. එයා කීප දවසක්ම මගෙත් එක්ක කතා කරන්න ට්‍රයි කලා..”

දිමුතු ඇඟිල්ල දික් කරපු දිහා බලන් ඉඳපු මට හීන් දාඩියයි මහා දාඩියයි දෙකම දැම්මා. උඹද පුතෝ එහෙනම් මේ කරදරකාර භූමිකාවෙ ප්‍රධාන නළුවා.

තවත් බලන් ඉඳලා තේරුමක් නෑ.. මං තත්පරේට දෙකට පාරට පැන්නා. පිළිසරණ ළමා නිවාසෙ මිදුලෙ ඉඳලා සුටුස් ගාලා කුඩ්ඩා ගාවට ආවෙ කොහොමද කියලා මට මතක නෑ. මට මතක දිමුතු ඌව පෙන්නපු එක විතරයි.

“රංගන..?”

මං කුඩ්ඩගෙ අතින් තද කරල අල්ලගත්තෙ ඌට දුවන්න බැරි වෙන්න. මූට හැමදාම නටන්න දෙන්න බෑ..

“ර.. රමිත අයියා.. ඇ.. ඇයි මේ..?”

මාව දැක්ක ගමන් උගේ ඇස් ජිල්බෝල සයිස් උනා. කොටින්ම ඌට අදහගන්නත් බැරි උනා.

“උඹ මොකද මෙතන කරන්නෙ..?”

“ඒ කතාවෙ තේරුම මොකක්ද රමිත අයියා..?”

“තේරුම උඹට වැඩක් නෑ.. උඹ ඇයි මේ පිළිසරණෙට හොම්බ දාන්නෙ..?”

“හොම්බ දාන්නෙද..?”

“ඔව්..”

“අපිත් කියල ඉතිං වැඩක් පලක් කරගන්න එපැයි..”

“මොකක්..?”

“රමිත අයියලට වගේ අපේ ඇස් ඉස්සරහට සැප පාත් වෙන්නෑනෙ.. හතර වටේම ඉන්න ලස්සන කෙල්ලො රමිත අයියා ළඟට ඇවිත්, මගේ පතිවෘත්තාව මේන්.. අනේ ගන්නකෝ කියල කියනව වගේ මට හම්බවෙන්නෙ නෑනෙ.. අපි ඉතා අමාරුවෙන් දුක් මහන්සියෙන් ඒ දේ කරගන්න ඕනෙ..”

රංගනගෙ කතාවට මට මහ කේන්තියයි, හීන් කේන්තියයි දෙකම ආවා. මූ මේ ටික මගේ මූන ඉස්සරහ කිව්වෙ, හරියට කන පුරෝල ඇතුල් පාරක් දුන්න වගේ.

“මොකක්ද උඹ කිව්වෙ..?”

“ඇයි දැන් රමිත අයියගෙ කන ඇහෙනවත් අඩුද..? මං කිව්වෙ සර්ව සම්පූර්ණ කෙල්ලො උන්ගෙ පතිවෘර්තතාව අපිට දෝත බදල දෙන්නෙ නෑනෙ.. ඉතිං අඩු ආදායම් ලාබී පැත්තකින්වත් කේලලෙක් හොයාගන්න ඕනි..”

“ඒකද උඹ පිළිසරණෙට හොම්බ දැම්මෙ..?”

“ඇත්ත වශයෙන්ම ඔව්..”

“ඒක ඇත්ත නම්, මෙන්න මේ ටික හොඳට මතක තියාගනිං රංගන.. උඹ ආයෙ පිළිසරණෙටව්ත අර වයලීන් එක අරන් ක්ලාස් යන දරුවගෙ පස්සෙන්වත් ගිහින් තිබුණොත් මං උඹේ හතර හන්දි කඩලා පොලීසියට ගෙනල්ලා දානවා..”

“මොනවා..?”

රංගනගෙ ඇස් දෙක ඒ පාර මැලේසියන් රඹුටන් ගෙඩි දෙකක් තරම් ලොකු උනා.

“ඔව්.. ආයෙ ඒකෙ කිසිම ඇදක් කුදක් නෑ.. මං කිව්වොත් කිව්වා.. ආයෙ උඹ මට අහුවුනොත් මං උඹේ ඇස් ගෙඩි දෙක උගුල්ලනවා..”

රංගනගෙ මූණෙ මතුවෙන දැවැන්ත කේන්තිය මං හොඳින්ම දැක්කා. ඒත් ඌට කරන්න පුළුවන් ඇටි කෙහෙල් ගෙඩියක් නෑ කියන්න මං හොඳටම දැනගෙන හිටියා.

“එ.. එච්චරද රමිත අයියා..?”

ඒ වචන ටික රංගන ඇහුවෙ එක විදියකට.

“ඇයි..?”

“ඇයි කියන්නෙ..? මං ඉමාෂිත් එක්ක යාළුවෙලා ඉන්නකොට ඒක මැදට පැනලා ඒ ආදරේ විනාස කරල දැම්මා. ඊගාවට කාමරේකට වෙලා අර පුංචි කෙල්ලත් එක්ක ආතල් එකේ ඉන්නකොට අර කැලෑ පාලුවත් එක්ක ඇවිත් එතන යකා නැටුවා.. මං ඒ හැමදේම ඉවසන් හිටියා.. දැන් දෙයියනේ කියලා දැහැමින් සෙමින් වැඩක් කරනකොට ඒකටත් හොම්බ දානවා.. මේක හරියට පතාගෙන ආපු වෛරයක් වගේනේ..”

“උඹ අල්ලන්න යන හැම අත්තම වැරදි අත්තක් රංගන.. ඒකයි මේ අවුල..”

“හොඳයි.. මං බලාගන්නම්කො.. ඔයා හැමදාමත් දිනන්නෙ නෑනෙ.. මේ කුඩ්ඩටත්, ඔයාලා මට එහෙමනේ කියන්නෙ, වෙලාවක් එයි.. අන්න එදාට ඔයාට මගෙන් නෝ චාන්ස්..”

රංගන ආපහු ටවුන් එක පැත්තට ගියා. ඒත් ඌ කියපු දේවල් වල ඇතුළෙ මට හිතන්න හුඟක් දේවල් තිබුණා.


කුඩ්ඩා ගියාට පස්සෙ මං දිමුතුගෙ හිතේ බය අඩුවෙන්න හුඟක් දේවල් කියලයි පිළිසරණෙන් එළියට ආවෙ. ඒ වෙනකොටත් ෆාදර් පේන්න හිටියෙ නෑ. එයා මෙතන වැඩේ හරියට කරන්නෑ වගේ ගතියක් මට දැනුණා. මොකද කියනව නම් මෙතන ළමයි ටික අනාරක්ෂිතයි කියලා පළවෙනි පාරට මට හිතුණා. පිළිසරණෙ ඉඳලා කිලෝමීටර් එකහමාරක් විතර ටවුන් එක පැත්තට එද්දි තමයි ෆිල්ම් හෝල් එක හම්බ වෙන්නෙ. ටික් දිග පෝලිමක් තිබ්බ හින්ද මං හෝල් එක දිහා බැලුවා. මොකක්ද ෆිල්ම් එක කියලා. ෂුවර් එකටම ජාතක කතාවක් හරි රජකාලෙ කතන්දරයක් හරි වෙන්න ඇති. දැන් ඕවනේ නැගල යන්නෙ.

ඒත් හෝල් එකෙ අයිනෙම තිබ්බ පෝලිම මැද හරියෙ හිටපු එකාව දැක්කම මාව කරකවල අතෑරිය වගේ උනා. මගේ වන් ඇන්ඩ් ඔන්ලි අපත සහෝදරයා කැත නැතුව ෆිල්ම් එක බලන්න ඇවිත් තිබුනා. හැබැයි කාන්සියෙ පාලුවෙ තනියම හෙමෙ නෙමෙයි. ලංසි පාට තියෙන ලස්සන කෙලි පැංචියක් එක්ක. එතකොට අර ලෙඩ ගානෙ ඉන්න පුංචි එකයි දිලිනියි දහදුක් විඳිද්දි මේකා මොන ආත්මයක් ප්‍රාර්ථනා කරගෙනද මේ වගේ ආතල් එකක් ගන්නෙ. පැනපු ගමන් කන් අඩි දෙක රත් වෙන්න පාරවල් දෙකක් දෙන්න හිතුනත් මං අදහස වෙනස් කරගත්තා. උඹේ කිරි ටොපි උඹම කාල උඹම ලෙඩ වෙයන්කො.. මං දැන් දන්නවනේ උඹේ අති උත්තම වනචරකමේ මහත.

මේකා එතකොට කිසිම විලිසංගයක් නැතුව කිසිම බයක් සැකක් නැතුව කසාඳ බැඳපු ගෑනිය දරුවයි ඉද්දි ගමක ගතියක් ගන්නවා. බලන් ගියහම මූනේ යකෝ දවසකටවත් මිනිහා. රමිත මොනවද කරල තියෙන්නෙ, සමීරයා එක්ක බලනකොට. හැබැයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමා මේකා රෑට නිදාගන්නෙ නැතුව දවල්ට නිදාගන්නෙ නැතුව ඔලුව උස්සගෙන කෙලින් ඉන්නෙ කොහොමද කියනෙක.


No comments:

Post a Comment