Tuesday, January 22, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


ඔය අතරෙ ඉමාෂි හතර පස් පාරක්ම කෝල් කරලා තාම පරක්කු මොකද, ඉන්නෙ කොහෙද, කාත් එක්කද ඉන්නෙ දැන්ම ගෙදර එන්නැද්ද කියලා අහල තිබුණා. ඉසුරුට නම් ඒකට මල පැනලයි තිබුණෙ. ඕනවට වැඩිය නංගිලව හුරතල් කරාම ඕක තමයි අවුල කියලා මං කිව්වම, අර මල මැද්දෙන්ම පුංචි හිනාවක් ඉසුරුගෙ මූණෙ මතුවුණා.

රමී හදන්නෙ කතන්දරේ අදම ඉවරයක් කරන්නද..?


උඹ දන්නවනේ ඉසුරු කරන්න තියෙන වැඩ පස්සට දැමිල්ලක් මගේ ළඟ නෑ කියලා..

ඒ වෙනකොට ඉසුරු කාර් එක කුමාරතුංග මාවතේ ටික්ක දුරට වෙනකල් අරන් ඇවිත් තිබුණා..

මේ තියෙන්නෙ භාන්ඩෙ..

තනිකර සුදු පාට ගාලා, ධවල මන්දියක් වගේ තිබ්බ ලොකු ගෙයක් ඉස්සරහ ඉසුරු කාර් එක නැවැත්තුවා.

කාව හම්බවෙන්නද..?

මායි ඉසුරුයි කාර් එකෙන් බැහැලා වත්ත ඇතුළට යනකොටම ගේට්ටුව අයිනෙ ඉඳපු වයසක මනුස්සයෙක් අපේ ඉස්සරහට ආවා. වෙන වෙලාවක නම් දෙක තුනක් ඇනලා මේකව පැත්තකින් තියලා කෙලින්ම ගේ ඇතුළට යන්න තිබුණා. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බෑ.

සයුරි ඉන්නවද..?

මං ටිකක් තදට ඇහුවා. වයසක උන්දා ඇස් ගෙඩි දෙක ලොකු කරන් අපි දෙන්නා දිහා බැලුවා.

බේබි නුවර ගියා..

මොකක්..?

මට ඉබේටම කියවුණා.. වැඩේ එහෙම් පිටින්ම අනාථ වෙන්නයි යන්නෙ.. ඉසුරු මගේ මූණ දිහා බැලුවා.

නුවර කොහෙද දන්නෑ නේද..? අපි මේ පුංචි පණිවුඩයක් දැනගන්නයි ආවෙ..

අනේ මන්ද මහත්තයො.. මේ වෙලාවෙ ගෙදර කවුරුවත්ම නෑ.. ඔක්කොම ගියානෙ..

ඒ ටික අපිට කිව්වා උනත්, වයසක උන්දෑ හිටියෙ සැකයෙන්. ඒක හින්දම මායි ඉසුරුයි ආපහු හැරුණා. වැරදිලාවත් මේකා පොලීසියකටවත් ෆෝන් කලොත්.. අඳුනන්නෙ නැති එවුන් දෙන්නෙක් ගේ වටේ කැරකෙනවා කියලා.

රමී.. දැන් මොකෝ කරන්නෙ..?

කෙල්ල අප්සට් එකටත් එක්ක යන්න ඇති.. වැඩේ කියන්නෙ අයියව අරගෙන මේ විදියට ගෙදර යන්නත් බෑ.. මූට හොඳටම වැඩියිනේ.. දැන් උඹට ගෙදර යන්න ඕනනේ.. අරහෙ ඉමාෂි බර බරේ දානවනේ..

ඒක නම් කමක් නෑ බං..

කමක් නැත්තෙ ඇයි ඉසුරු.. එයා අපි දෙන්නටම බැන බැන ඇති..

එහෙනම් මං කියන්නද.. අපි යමු අපේ ගෙදර..

ගිහින්..?

සමීරයගෙ වෙරි හිඳෙනකල් ඉඳිමු.. ඊට පස්සෙ අනිත් ඒවා ගැන බලමු..

ඉසුරුගෙ කතාවත්තෙක්ක මට හිතුනෙ කරන්න තියෙන හොඳම දේ ඒක කියලා. ඇත්තටම ඉතිං වෙන කරන්න දෙයක් නෑනෙ.. ඩෝප් හිදෙනකල් අයියව මහපාරෙ දාලා යන්නද..?

දැන් කොහෙන්ද රමී ඔය කෙල්ලව හොයාගන්නෙ..?

පිටිපස්සෙ සීට් එකට එබිලා යඅයියා දිහා බලලා ඉසුරු මගෙන් ඇහුවා. ඔව් ඉතිං.. ඒකෙත් හෙණ ප්‍රශ්නයක් තමා.

කොහෙන් හරි හොයා ගන්න වෙනවා.. ඉසුරු.. දැන් බලපං මෙතන සමීරයගෙ අවුල.. අරහෙ අම්මයි තාත්තයි මගෙත් එක්ක ඔරොප්පු වෙලා.. ළමා නිවාසෙ ෆාදර්ගෙ ප්‍රශ්න.. පිස්සු නොහැදි බේරුනොත් ඇති..

ඔය හැමදේටම අමතරව තවත් ප්‍රශ්නයක් තියෙනවා..

මොකක්ද..?

අපේ නංගි අහන ඒවට දෙන්න උත්තර තියෙනවද කියලා..

ඉසුරු කාර් එක හැරෙව්වා.. වැඩිය අඳුරක් තිබ්බෙ නැති වුණත් ඉසුරුලාගෙ ගෙදර ඉස්සරහ ලයිට් එක දාලා තිබුණා.

හො..ඳයි.. මහත්තුරු දෙන්නා ගෙදර එන වෙලාව..

කාර් එක නවත්තලා මටයි ඉසුරුටයි බහින්න වුනේ නෑ.. ඉමාෂි අපි ඉස්සරහට ආවා. මගේ මූණ දිහා බලලා ඉසුරු ගේ පැත්තට ගියත්, මං ඉමාෂි ළඟ නතර වුණා.

මොකද රමී අයියෙ.. අපේ අයියට අර ඩෝං ගිහින් තියෙන්නෙ..?

ඉක්මනට ඉක්මනට අඩි තිය තියා ගේ ඇතුළට යන ඉසුරුව පෙන්නලා ඉමාෂි ඇහුවා.

නංගිට වගේම අයියටත් කොහිල කටු දෙන්න වෙලා.. දෙන්නවමදාන්න ඕන කොහිල කොරටුවකට..

රමී අයියෙ.. ඔයා ඔය ගුටි කන්න හදන්නෙ..

ඉමාෂි අත උරුක් කරගෙන මට තවත් ලං වුණා. එයාව, එයාගෙ හැම ඉරියව්වකම තියෙන සුන්දරකම වෙන කවදාටවත් වැඩිය මට දැනෙන්න ගත්තා. මේ තරම් ලස්සන මලක් අත ළඟ තියාගෙනනෙ, මං රට පුරා කෙල්ලොන්ට පෙම් කෙලින්න ගියේ. ඒත් ඉතිං මේකෙ පැත්තකින් ඉසුරු ඉන්නවනේ කටු අත්තක් වගේ.

මං කැමතියි ඉමාෂි මට ගහනව නම්..

ගුටි ගහල ඔයාව හදන්න බෑනෙ අයියෙ.. ඔන්න එහෙම හදන්න පුළුවන් වයසක හිටියා නම් මං ඔයාව හදාගන්නවා..

දරු කමටද..?

මගේ කතාවට පුංචි හිනාවක් ගියා.

පුළුවන් නම් ඒකත් හොඳයි.. එතකොට මිනිස්සුන්ගෙන් කතා අහන්නැතුව මට ආරක්ෂා කරගන්න පුළුවන්..

ඇයි මාව ආරක්ෂා කරන්නෙ..?

ඔයාව හුඟක් වටින හින්දා..

හ්..යා..ක්.. ම්.. ඕක්..

ඉමාෂි තවත් මොනවදෝ කියන්න කට හැදුවත්, කාර් එකේ හිටපු අයියගෙ ස්දදෙ ඊට වඩා ඉස්සර උනා. මිනිහට වමනෙට එනවද කොහෙද. මං හෙමින් සීරුවෙ කාර් එක ළඟට ආවා. ලෝකෙ තියෙන පළවෙනි පුදුමෙ මේ දැන් ඇස් දෙකෙන් දැක්ක වගේ ඉමාෂි මට පිසිපස්සෙන් එබිලා බැලුවා.

කවුද රමී අයියෙ මේ කාර් එකේ ඉන්නෙ.. දෙ.. දෙයියනේ.. මොනව වෙලාද මේ..?

ඔලුවත් සීට් එකෙන් පල්ලෙහා අස්සට දාගෙන හතර ගාතෙ දාලා වැටිල හිටපු අයියව දැකලා ඉමාෂි ඇහුවා.

මුකුත් වෙලා නෑ බබා.. මෙයා ඩිංගක් බීලා.. ඒකයි..

ඉතිං මෙයාව කාර් එකේ දාගෙන ආවෙ.. මේ කවුද..?

ඔයා බැන බැන අපිට කෝල්ස් ගත්තට, අපි ගියේ මේ මනුස්සයව අරගෙන එන්න.. තව ඩිංගක් බිව්වා නම් මහ ඉස්පිරිතාලෙට තමා අරන් යන්න වෙන්නෙ..

මේ අපේ අයියගෙ යාලුවෙක්ද..?

මං කාර් එකේ සීට් එකෙන් පල්ලෙහාට වැටිලා තිබ්බ අයියගෙ ඔලුව වම් අතින් උස්සලා සීට් එක උඩින් අවුලක් නැතිවෙන්න තිබ්බා. හොඳ වෙලාවට මිනිහා තමා වමනෙ දාලා නෑ.. නැපෝලියන් හොබ්සන් බ්‍රැන්ඩි එකේ තියෙන ගතියත් ඕක තමයි. මවනෙ යන්න ඔන්න මෙන්න එනව වගේ දැනෙනවා.. ඒත් යන්නෑ.. සීට් එකේ උඩ තිබ්බ අයියගෙ කකුල් දෙක, ඇල කරලා මං සීට් එක පහලට දැම්මා.

දෙ.. දෙයියනේ..

අයියගෙ කකුල් දෙක පැත්තකට කරලා සීට් එකේ මැදට වෙන්න එයාව හෙමින් සීරුවෙ තල්ලු කරද්දි ඉමාෂිට කෑගැහුණා. එයා බයවෙලා වගේ කෑගැහුවෙ.

ඇ.. ඇයි ඉමාෂි..?

එයාගෙ මූණ වෙනස් උන තාලෙට එයා විතරක් නෙමෙයි මමත් බය උනා. හොඳට හිනාවෙවී හිටපු කෙල්ලට මේ මොකද යකෝ උනේ කියලා..

මෙ.. මේ සමීර අයියනේ..

ඉමාෂිගෙ කතාව ගොත ගැහුණා. මටත් ඒ කතාව අදහගන්න බෑ.. ඉමාෂි කොහොමද හත්තිලව්වෙ අපේ අයියව දන්නෙ..

ඔයා මෙයාව අඳුනනවද..?

ඔව් රමී අයියෙ.. ඔව්.. අපේ සයුරිත් එක්ක යාලුවෙලා ඉන්නෙ මේ අයියනේ.. අනේ මෙයා බොන්නෑ කියලනේ සයුරි හිතන් ඉන්නෙ.. හග්.. හග්..

ඔන්න දැන් තමා වැඩේ පත්තු උනේ.. එහෙනම් කතන්දරේ ඒකයි ඈ.. රමීගෙ ඔලුවට දැන් විවිධාකාර අදහස් එනවා. ඉමාෂි, සයුරිව අඳුනනව නම් වැඩේ එකෙන්ම ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. බලන් ගියාම සීත සමීරයා ටිකක් වාසනාවන්තයිනෙ.

සයුරි හිතන ඒවා පැත්තකින් තියන්නකො ඉමාෂි.. ඔයාට පොඩි වැඩක් කරන්න තියෙනවා..

ඒ මොකක්ද..?

කාර් එකේ දපලා ඉන්න සමීරයි, කාර් එකෙන් එළියෙ ඉන්න මාවයි දිහා සැරින් සැරේට බලන ගමන් ඉමාෂි ඇහුවා. කෙල්ලගෙ මුළු මූණම අලිපත ප්‍රශ්නාර්ථයකින් පිරිලා.

ඔයා දැන් සයුරිට කෝල් එකක් ගන්නෝන..

ඇයි අයියෙ ඒ..?

ප්‍රශ්න අහන්න බෑ.. මං කිව්ව දේ කරන්නකො..

අහම්බෙන් හම්බවෙච්ච මේ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නෝන.. ඒ වගේම මේ ගෙවිල යන අන්තිම තත්පරෙත් නොසෑහෙන්න වටිනවා.

අරගෙන ඉවරවෙලා..

පුළුවන් තරම් ඉක්මනට එයාව හම්බවෙන්න ඕන කියන්න.. මේක ලොකු හදිස්සියක් කියලා..

චුට්ටක් ඉන්නකො..

ඉමාෂි ගේ ඇතුළට ගියා. මොබයිල් එක ගේන්න වෙන්නැති. ඒ අතරෙ මං සමීරයා දිහා බැලුවා. ඇහිපිය ලාවට ගැහුණත්, තාමත් ඉන්නෙ අඩ සිහියෙන් කියලා මට තේරුණා. ඇයි හත්වලාමෙ, මනුස්සයෙක් බොන බීමක්ද මේ අමනුස්සයා වගේ බීලා තියෙන්නෙ. ඉසුරුගෙ කාර් එකේ තිබ්බ වතුර බෝතලයක මූඩිය ඇරලා අයියගෙ ඔලුව ටිකක් උස්සලා මං මිනිහට වතුර පොවන්න ගත්තා. දවස් ගානක් කාන්තාරෙක අතරමං වෙලා හිටපු මිනිහෙක් වතුර බොනව වගේ පෙරේතකමකින් අයියා වතුර බොන්න ගත්තා. ඩිංගෙන් ඩිංග හරි ඩෝප් බැස්සනම් හරි.. නැත්තං ගෙදර අරන් යන එක හෙණම වාතයක් වෙනවා.

හරි වැඩේ.. ෆෝන් එක ඕෆ් කරලනේ..

ටිකකින් මගේ ගාවට දුවගෙන ආපු ඉමාෂි කිව්වා. කෙල්ල එහෙනම් සියලු වස් දොස් නිවාරණය කරගන්නයි යන්නෙ.. ෆෝනුත් ඕෆ් කරලා, ගෙදරිනුත් ගිහිල්ලා.

සයුරිලාගෙ ගෙදර කවුරුහරි නුවර ඉන්නවද..?

මං දන්න තරමින් නෑ අයියෙ.. ඇයි..?

මගේ හිතට පළවෙනි පාරට ලොකු සැකයක් ආවා. සයුරිලාගෙ ගෙදරදි හම්බවෙච්ච වයසක අංකල් අපිට කොලේ වැහුවද කියලා. සමහර විට සයුරි ගෙදරම ඉන්න ඇති. ෂහ්.. මායි ඉසුරුයි මෝඩයො දෙන්න වගේ, හැරිල ආවනේ.. ඒ යකා කියපු දේ විශ්වාස කරගෙන.

රමී.. මේ මොකද දොරත් ඇරගෙන..

අපි දෙන්නගෙ කතාව මැද්දට ඉසුරු එකපාරටම ගාල කඩා ගත්තු වහු පැටිය වගේ දුවන් ආවා. මූට දෙයක් දැහැමින් සෙමින් අහන්න බැරි ඇයිද මංදා. ඉමාෂි විතරක් නෙමෙයි මාත් ගැස්සුණා.

මාර කතන්දරේනේ ඉසුරු..

ඇයි..?

ඉමාෂි කියන්නෙ සමීරයව දන්නව කියලා..

න්.. නෑහ්.. මරුනේ..

ඉසුරුවට කාලෙකින් යස අපූරු හිනාවක් ආවා. හැබැයි ඌ වෙන අයියල වගේ නංගිගෙන් ඇහුවෙ නෑ ඒ කෙහොමද කියලා. ඒක හින්දා ඒ ටිකත් කියන්න උනේ මට.

ඒ විතරක් නෙමෙයි.. සයුරිවත් දන්නවලු.. සයුරිගෙ ටෙලිෆෝන් නම්බරෙත් දන්නවලු..

ඉසුරුගෙ හිනාව තවත් ටිකක් පලල් වුණා. ඌට ඇත්තටම හෙණ ෆිට් එකක් ආවා කියල මට තේරුණා. ඉසුරුවට විතරක් නෙමේ.. මාත් හෙණ ෆිට් එහෙක හිටියෙ.. මොකද කියනව නම් වැඩේ කොහොම හරි ගොඩ දාගන්න පුළුවන් කියල මට තේරිලා තිබ්බෙ.

හප්පේ.. ඇති යාන්තං.. මං මේ දෙයියන්ට කිය කියා හිටියෙ.. අපි පුරවා ගත්තු මේ පව් කන්දරාව පුළුවන් ඉක්මනට හෝදලා දාන්න අවස්ථාවක් දෙන්න කියලා.. කරුමෙට හරි අරකි ග්‍රැමොක්සෝන් පාරක්වත් ඇදලා ඇරියොත් රමී.. අපි සා අනාථයිනෙ..

කියවන්න ගියාම ඉසුරුගෙ කටටත් බ්‍රේක් නෑනෙ. කියන්න ඕන ඒවයි එපා ඒවයි හැම මගුලම කියවනවා.. ඉසුරුකෙ කතාවත්තෙක්ක ඉමාෂිගෙ ඇස් ලොකු උනා. මූණ අමුතුම උනා.

මේ.. මේ.. ඔයාලා දෙන්න මට මේ කතාවෙ මුල ඩිංගක් කියලා ඉන්නවද..? මගෙන් උදව් ගන්න කලින්..

ඔයා දැනටමත් අපිට උදව් කරානේ කෝල් එකකට ට්‍රයි කරලා..

ඔයා නම් හරි නරකයි රමී අයියෙ.. ඔයාගෙ කතා වලට මං හැමදාම රැවටෙනවා.. ඒ කියපු දේවල් ගැන හිතන්න ගන්නවා.. බැලුවහම හැමදේම ඔයාට විහිලු..

මං ඔයාව රවට්ටල නෑ නංගි..

මේ.. නංගි.. රමියත් එක්ක තියෙන රංඩු ඔයාලා දෙන්න ප්සසෙ වෙලාවක තනියම බේරගන්න.. හැබැයි මං නැති තැනක.. මොකද මට කනක් ඇහිලා ඉන්නෝන..

ඔයා නිකං ඉන්න අයියෙ.. රමී අයියව අල්ලගන්නෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඔයා හිතන්නෙ මෙයත් එක්ක කතා කරන්න ලේසියි කියලද..? ඔයා දන්නෑ අයියෙ.. රමී අයියා මට හරි ගණන් උස්සනවා..

ඉමාෂි ඒක කියාපු තාලෙට ඉසුරුට පුංචි හිනාවකුත් ගියා. ඌ මගේ දිහා බලලා, ඇහැක් වහලා කාර් එකට එබුණා.

හරි.. ඔයාට දැන් මොනවද ඕන ඉමාෂි..?

ඔයාගෙන් ඕන දේවල් මං පස්සෙ ඉල්ලන්නං.. දැන් හොඳ රමී අයිය වගේ මට කියන්න මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.. සයුරිගෙයි සමීර අයියගෙයි තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා නම් මට තේරෙනවා.. ඒත් ඔයාලා දෙන්නා කොහොමද මේකට සම්බන්ධ උනේ..

අපිට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා..

ඒ ඇයි..?

සමීරගෙයි සයුරිගෙයි ආදරේ විනාශ කරල දැම්මෙ මං..

මොනවා.. ඔයා..?

ඔව් ඉමාෂි..

ඒ කියන්නෙ.. ඔයා සයුරිත් එක්කත් යාලු උනාද..? අනේ දෙයියනේ.. ඔයා හරිම නරකයි රමී අයියෙ..

කාර් එක ඇතුළට එබිල හිටපු ඉසුරු, මට සවුත්තු හිනාවක් දාන ගමන් ආයෙත් ගේ පැත්තට ගියා. ඒ හිනාවෙ තිබ්බෙ තව හොඳට ඇදගෙන නාපං කියල වගේ හැඟීමක්.

ඔයා මං ගැන එහෙමද හිතං ඉන්නෙ..?

ඉමාෂිගෙ මූන මැදට එබෙන ගමන් මං ඇහුවා. බයවෙච්ච මුවැත්තියක් වගේ එයා මං දිහා බලන් හිටියෙ. මට වශි වෙලා වගේ. මේ කෙල්ලගෙ හිතේ මං ගැන මොනව තියෙනවද කියලා නම් මට හිතාගන්න බෑ.. කොහොම උනත් කෙල්ල මට පලු පැලෙන්න කැමතීයි.. ඒත් කිට්ටු වෙන්න හොඳටම බයයි කියලා මට තේරුණා.

අ.. අනේ.. ඔහොම මං දිහා බලන්නෙපා රමී අයියෙ.. මට මොනවදෝ වෙනවා..

කෙඳිරිලි හඬින් ඉමාෂි කියද්දි මං මගේ ඇස් එයාගෙ මූණෙන් අහකට ගත්තා.

මං අහපු දේට උත්තරයක් ඕන..

ටිකක් සැර අඩු කරලා ඉමාෂි දිහා බලන ගමන්, ටිකාක් සැරට මං ඇහුවා. ඒකෙන් කෙල්ලගෙ මූණ අමුතු වෙලා ගියා.

ඔයා මට සැර දානවා අයියෙ.. අනේ මං ඔයා ගැන අහල තියෙන දේවල් එක්කනේ එහෙම ඇහුවෙ.. හරි.. හරි.. කමක් නෑ.. මං අහපු දේටයි, කියපු දේටයි මට සමාවෙන්න.. දැන් ඉතිං වෙලා තියෙන දේ මට කියන්න මගෙ හොද රමී අයිය වගේ..

අන්න එහෙම එනව නම් ඕන මගුලක් කියන්න බැරියෑ.. හැබැයි බබා.. මං ගැන ඔය අහල තියෙන දේවල් වල ඇත්ත නැත්ත කවද හරි එලියට එයි.. අන්න එදාට මේ රමී තරම් අවංක එකෙක් මේ හතර කෝරලේම නෑ කියලා ඔය කතන්දර කියන, කතන්දර හදන එවුන් තේරුම් ගනියි..

ආයතේ පාරක් සමාවෙන්න.. මං ආයෙ කවදාවත් එහෙම කියන්නෑ.. මට රමී අයියව විශ්වාසයි..

හැබැයි මට බයයි නේද..?

හ්ම්.. ඇත්ත.. මං ඔයාට හුඟක් බයයි.. ඒ ඇයි කියල මං ඔයාට පස්සෙ දවසක කියන්නං.. හ්ම්.. දැන් මට ඕන කතාව..

ඉස්සෙල්ලම කියන්න ඕන දෙයක් තියෙනවා.. කතාවට කලින් මේක නොකිව්වොත් කතාව කියාගෙන යද්දි ඔයා මගෙන් ප්‍රශ්න දාහක් අහයි..

මොකක්ද..?

ඔයා කලින් ඇහුවනේ සමීර කියන්නෙ අපේ යාලුවෙක්ද කියලා..

ඔව්.. මං එහෙම ඇහුවා.. දැන් පේන විදියට එයා ඔයාල දෙන්නගෙම හොඳ යාලුවෙක්.. ඒකනේ බීලා වැඩිවෙලා ද්දි කාර් එකේ දාගෙන ආවෙ..

නෑ.. එයා අපේ යාලුවෙක් නෙමෙයි..

එහෙනම්..?

සමීර කියන්නෙ මගෙ අයියා.. එක බඩවැල කඩන් ආපු සහෝදරයා..

දෙ..යි..යනේ..

මගේ වචන ටික ඉමාෂිට විශ්වාස කරන්නත් බෑ වගේ.. එයා මගේ දිහා බයවෙලා වගේ බලන් හිටියා.

ඔන්න ඔය සම්බන්ධතාවය කිව්වට පස්සෙ මට ඔයාට මේ කතාව කියන්න ලේසියි..

කාර් එක ළග ඉඳන්ම මං කතාව පටන් ගත්තා. ගේම් එක ඉස්සරහට ගෙනියන්න නම් ඉමාෂිත් මේ හැමදේම දැනගෙන ඉන්න ඕන කියලා මට හිතුණා.

සමීරයි, මායි අතරෙ තිබ්බ සම්බන්ධෙ කොයි වගේ එකක්ද කියන තැන ඉඳලා, මිනිහා රෑට ජනෙල් ග්‍රීල් ගලවලා ගෙයින් එළියට බැහැපු හැටි, අපි ඒ පිටිපස්සෙ මහ රෑ ජාමවල්වල පන්නපු හැටි, දිලිනිගෙ ළමයා ලෙඩවෙච්ච වෙලාවෙ අපි උදව් කරපු හැටි, පස්සෙ ගෙස්ට් එකේදි සයුරියි, සමීරයි ඉන්න තැනට ගිහින් අපි වීරයො වගේ කියවපු හැටි. ඊටත් පස්සෙ අපි දිලිනි ඉ්නන තැනට ගිහින් අපි හැම විස්තරයක්ම දැනගත්තු හැටිත් මං පිලිවෙළකට කියාගෙන ගියා.

එතකොට දිලිනි කියල කියන්නෙ රවීන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්..?

ඔව් ඉමාෂි.. ඔයා දිලිනිව මටත් ජෝඩු කරලා කලින් දවසක කතා කරානෙ.. මතකද..?

අ.. අනේ මට සමාවෙන්න රමී අයියෙ.. මට දැන් හැම දෙයක්ම පැහැදිලි උනා.. ඔයා ගැන මං ආයෙ වැරදියට හිතන්නෑ..

නංගිගෙයි උඹගෙයි කතාව තවම ඉවර නැද්ද..?

ගේ ඇතුළෙ ඉඳලා ආයෙමත් ඉසුරු අපේ ළඟට ආවා.

මේක මගෙයි ඉමාෂිගෙයි කතාවක් නෙමෙයි බං.. මේ සමීරගෙ කතාව.. මං ඒක සම්පූර්ණයෙන්ම ඉමාෂිට කිව්වා.. නැත්තං මේක ඇදගෙන යන්න බෑ..

ඇදගෙන ගියත් නැතත්, උඹ ඒක කිව්ව එක නම් හොඳයි.. නැත්තං උඹයි මායි රටේ ලෝකෙ ගෑනු පස්සෙ රෑ ජාමෙ යනව කියල මෙයා කියයි..

අයියා... මං දෙකක් ගහනවා ඔන්න.. මං එහෙම කතාවක් කිව්වද..?

එහෙම කතාවක් නොකිව්වට, ඒ ළඟින් යන කතා කීපයක් නම් කියල තියෙනව.. ඇත්තමයි රමී.. වෙලාවකට මෙයාගෙ චුරු චුරුව හරිම ඉසරදයක්..

ඉමාෂි, ඉසුරුට ගහන්න අත දික් කරත් ඉසුරු පැත්තකට පැන්නා. කොන්ට්‍රෝල් නැතුව ආපු ඒ පාර කෙලින්ම වැදුනෙ මගේ පපුවෙ.. ඒ පාරෙ තිබ්බ වේගෙටද කොහෙද ඉමාෂි ඇවිත් මටත් හේත්තු වුණා..

කොහොම හරි හිතලම මට පාරක් ගැහුව නේද..?

ඉමාෂිව හෙමින් සීරුවෙ පැත්තකට තල්ලු කරන ගමන් මං කිව්වා. ඉසුරුවත් මෙතන තියාගෙන වැඩි කැටයම් දාන්න බෑනෙ. තත්වෙ මොක උනත් ඉසුරු නම් මටයි, ඉමාෂිටයි මේ දක්වාම මුකුත් කියල නෑ. ඉමාෂිත් එක්ක කොල්ලෙක් කතා කරත් මල පනින ඉසුරු, නංගි මාත් එක්ක හුඟක් වෙලා ඇගෑලුම් පාන එක ගැන මැදහත් හිතින් ඉවසා හිටිය කියලයි මට නම් තේරුණේ.

රමී.. අපි දැන් මොකද කරන්නෙ..?

ඔක්කොටම කලින් අයියව ගෙදරට දාන්න ඕන.. නැත්තං අම්මලා කලබල වෙයි..

අම්මයි, තාත්තයි උඹත්තෙක්ක මල පැනලනේ ඇත්තෙ.. ගියපු ගමන් ටකේ හොල්ලන්න ගනියි..

බැනුම් ඇහුවත් කරන්න දෙයක් නෑ බං.. උඹ හොඳ එකා වගේ අයියයි, මාවයි ගේ ළඟින් දාපං.. රෑ වේගෙනත් එනවා.. අපිට දැනුනෙවත් නෑ..

දැනෙන්නෙ කොහොමද බං මේ වෙච්ච අවමගුල් වල හැටියට..

ඉමාෂි ඔයා අද රෑට සයුරිට ටිකක් ට්‍රයි කරල බලන්න.. බැරිම උනොත් අපි හෙට ගිහින් එයාව හම්බවෙමු..

හෙට..?

ඔව්.. ඇයි ඔයාට ප්‍රශ්නයක්ද..?

න්.. නෑහ්.. මං නිකං ඇහුවෙ..

එහෙනම් ඉසුරු අපි යමු..

මායි ඉසුරුයි ආයෙත් කාර් එකට නැග්ගෙ අයියකාරයව ගෙදර අරන් එන්න.. මං පිටිපස්ස සීට් එකට එබිලා බැලුවා. මිනිහා ගොරෝ ගොරෝ සනීපෙට නිදි. වැඩි වෙලාවක් ගියේ නෑ ඉසුරු පාගලම ආපු හින්දා අපි විනාඩි පහළොවකින් විතර අපේ ගෙදරට ලං වුණා.

ඩිංගක් ඉඳපං.. මං සර්ච් එකක් දාලා එනකං..

ඉසුරුයි අයියයි කාර් එක ඇතුළෙ ඉද්දිම මං එලියට බැහැලා ගේ දිහාට ආවා. මං ගෙදර යද්දි දොරවල් ජනෙල් ඔක්කොම වහල දාලා තිබුණා. හෑ.. එතකොට ගෙදර කවුරුවත්ම නැද්ද..? එතකොට අම්මටයි, තාත්තටයි මොක වුනේ.. දාහක් ප්‍රශ්න ඔලුව වටේ කැරකැවෙද්දි විනාඩියක් විතර මං ගේ දිහා බලන් හිටියා. සමහර විට මේ ළඟ පාතකට ගියාද..? එහෙමත් නැත්තං මගෙත් එක්ක මළ පැනපු පාර සීයලගෙ ගෙවල් පැත්තෙවත් ගියාද දන්නෑ..

මොකද රමී..?

ගෙදර කවුරුවත්ම නෑනෙ බං..

එහෙනම් වැඩේ ලේසියි.. මේක නම් දෙයියො දීපු චාන්ස් එකක්.. නැද්ද රමී..?

මටත් එහෙම හිතෙනවා.. පොඩ්ඩක් ඉඳපං මං දොර ඇරලා එනකං..

මල් පෝච්චියක් අස්සෙ තිබ්බ යතුර අරගෙන දොර ඇරලා මං ගේ ඇතුළත් ටිකක් බලලා තමයි සමීරවය ගෙට ගත්තෙ. සුපුරුදු විදියටම මගෙයි, ඉසුරුගෙයි කරවල් උඩින් ආපු මගේ සහෝදරයා, මිනිහගෙ ඇඳෙන් හාන්සි කරවල මායි ඉසුරුයි ආයෙත් එළියට ආවා.

යන්තං ඇති.. අතක් පයක් නොකැඩී ඔයින් ගියා මැදැයි.. ඉසුරු දැන් උඹ පලයං.. මං මෙතන ඉතුරු ටික හැන්ඩ්ල් කරන්නං..

මගෙත්තෙක්ක මේ රවුම් ගහන එකෙන් ඉසුරුවට උගේ බිස්නස් පාඩුයි කියලා මට තේරුණා. ඒකයි මං එහෙම කිව්වෙ.

එහෙනම් හෙට උදේම සෙට් වෙමු..

ඉසුරු ගියා. මං කෙලින්ම ආවෙ අයියගෙ කාමරේට. මෙන්න යකෝ මෙච්චර වෙලා ඇඳේ තලපතා වගේ පැලපදියම් වෙලා ඉඳපු අයියකාරයා ඇඳ විට්ටමට කොට්ටි තියල හේත්තුවෙලා මගේ දිහා බලන් ඉන්නවා. දැන් නම් මිනිහගෙ මූණෙ ඩෝප් ගතියක් නෑ වගේ.

කරපු හැමදේටම තෑන්ක්ස් රමී..

දිග කතාවකට මුල පුරන්න වගේ අයියා කිව්වා. ඒ උන්ත මං ෆිට් එකේ හිටියෙ අම්මටයි, තාත්තටයි නොපෙනෙන්න මේකව ගෙට ගන්න පුළුවන් උන හින්දා. නැත්නම් වැඩේ ගස්නෙ.

කරපු හැමදේටම කිව්වෙ..?

මං බීලා වැටිච්ච තැන ඉඳල මේ වෙනකං..

ඒ කියන්නෙ ඊට කලින් කරපු ඒවට තෑන්ක්ස් එකක් දෙන්න බෑ කියනෙකනේ..

මගේ ආදරේ බ්‍රේක් උන එකද ඔයා කියන්නෙ..?

ඔව්.. මං කියපුවයින් ඔයාගෙ කෙල්ල යාට නැති උනානේ..

ඒකට කමක් නෑ රමී..

මොකක්..?

මං උඩ ගිහින් බිම වැටුණා.. මේකා දැන් මෙහෙම කියෙව්වට කණ පැලෙන්න බීපු වෙලාවෙ කෑගැහුවෙ ආදරේ ඕන කියල වගේනේ. මූව විශ්වාස කරන්න ඕන, බීපු වෙලාවෙද නැත්නම් මේ වෙලාවෙද කියලා මට හිතාගන්න බැරි උනා.

ඔව් රමී.. සයුරිට ඔයා දෙයක් දැක්කා කියලා ඔහොම කිව්වා උනත්, එයා හරියකට මාව විශ්වාස කරන් හිටියා නම්, ඔයා කිව්ව දේ අහක දාන්න තිබුණා. මම නම් එහෙමයි.. ඒත් එයා කෙරුවෙ මගේ කම්මුලට ගහලා අපේ ආදරේ වනසපු එක..

නිවි සැනසිල්ලෙ දේවල් කියාගෙන යන අයියා දිහා මං බලන් හිටියෙ පිටසක්වල ඉඳන් ආපු ජීවියෙක් දිහා බලන් ඉන්න ගානට.. මේකා මේ මොනවද කියවන්නෙ.

සයුරිට අවිශ්වාස කරන්න හේතු තිබුණනේ.. ඔයා ගැන කියපු දේවල්..

මොනවද හේතු..?

ඒ දේවල් කිව්වෙ, ඔයාගෙ සහෝදරයා හින්දා..

සහෝදරයා නෙමේ රමී.. අම්මා තාත්තා කිව්වා උනත්, එයා මාව විශ්වාස කරන්නෝන.. ආදරේ කියන දේ රැඳෙන්නෙ විශ්වාසය මත.. ඒක නැත්නම් එතන ආදරයක් නෑ.. එතන තියෙන්නෙ සැකයක් විතරයි.. සැකයක් තියාගෙන කොහොම ආදරේ කරන්නද..?

මායි අයියයි මතක හිටින කාලෙකින් මේ තරම් දිගට කතා කරල නෑ. ටිකක් හරි දිගට කතා කරත් ඒ වලියටනේ.

එහෙනම් ඔයත් වැරදියිනේ..

ඇයි..?

ඔයාට තිබ්බනේ සයුරිට දිලිනි ගැන කියන්න..

ඔයා හිතනවද සයුරි වගේ කෙල්ලෙක් මට කවදාවත් ඒ දේ කරන්න ඉඩ දෙයි කියලා.. මතක තියාගන්න රමී.. කිසිම කෙල්ලෙක්, තමන්ගෙ කෙල්ලව හරි මිනිහව හරි තව කෙනෙක් එක්ක බෙදාගන්න කැමති නෑ.. හොඳයි මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නං.. ඔයාකෙ කෙල්ල කැමතිද ඔයා තවත් ගෑනියෙක්ගෙ තනි රකින්න මහ රෑ ජාමෙ යනවට.. එතන වැරැද්දක් සිද්ධ වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා.. කවුද ඉතිං දැන දැනම තමන්ගෙ එකාව එතෙන්ට තල්ලු කරන්නෙ..

බලන් ගියාම මේකට ඩෝප් කඳුළක් නෑ වගේ.  මේ යස අගේට ගිරව වගේ දොඩවන්නෙ.. හැබැයි ඉතිං මේ කියවන කියවිල්ලත් මාර ගතියක් රමීට දැනෙනවා. ඒ තමයි ප්‍රශ්නයක් දිහා සමීර බලන්නෙ වෙනස්ම වෙනස් විවෘත ඇහැකින් කියලා.

මට කෙල්ලෙක් නැති හින්දා ඔය ප්‍රශ්නෙට උත්තරේ මං දන්නෑ..

මං කිව්ව දේට අයියට පුංචි හිනාවක් ගියා. උගුර පාදල ඒ කෙල ගුලිය ගිලින ගමන් මිනිහ කතාව පටන්ගත්තා.

ඔයාට.. ඔයාට දැනට කෙල්ලෙක් නෑ කියලා මං දන්නවා.. ඔයා මං ගැන සම්පූර්ණ විස්තර දන්නව වගේම, මමත් ඔයා ගැන අයන්නෙ ඉඳලම දන්නවා.. මොකද මං මේ මොහොතෙ හිතන්නෙ ඔයා මගේ සමානයා කියලා.. ඔයාට මං පරදින්න පුළුවන්.. හැබැයි ඒ ඒ අවස්ථාවෙ අපි ක්‍රියාකාරී වෙන විදියට අනුවයි.. සමහර වෙලාවට වෙන වෙලාවක මං දිනයි..

අයියගෙ කතාව නිකං අභියෝගයක් වගේ මට දැනුණා. රමී කියලා කියන්නෙ ඕනම චැලේන්ජ් එකක් බාරගන්න එළකිරි කොල්ලෙක්. මේ කතාවට එහෙම නිකං ලාචුරුස් වෙලා යන්න දෙන්න බෑ.

මං ගැන ඔයා මොනවද දන්නෙ..?

දැනට කෙල්ලෙක් නෑ කියලා..

ඒක නම් ඉතිං ඕන මනුස්සයෙකුට කියතැහැකිනේ..

වෙන්න ඇති.. ඒත් අයි.පී බුලතගෙ නංගි නදිනි.. මරික්කාර් නානාගෙ දුව රිස්මියා ඔයා එක්ක යාලුවෙලා හිටිය කියලා මං දන්නවා.. ඒත් රිස්මියා වගේම නදිනිත් දැන් බැඳලා.. ඒ වගේම අනාථ නිවාසෙ අසරණ නංගි දිමුතු.. මං එයාවත් දන්නවා.. එයත් මාව අඳුනනවා ඇති.. ඒ වගේ ළමයෙක්ට කැපකරු මාපියෙක් වෙන එක ලොකු දෙයක් රමී.. ඒ අතින් ඔයා හරි ඉහළයි..

මං හරි ඉහළයි කියල කිව්වට මගෙ හිතට ආවෙ මට වැඩිය අයිය හරි ඉහළයි කියලා.. මොකද මේ හැමදේම අකුරක් නෑරම දැනගෙන හිටපු හන්දා.

ඒ වගේම ඔයයි ඉසුරුයි දන්නෙ නැතුව ඇති, ඉසුරුගෙ කොට ලෝඩ් දෙක තුනකම ඔත්තුව 119 වලට ගහලා තිබුණා කියලා.. ඒවා ඔක්කොම කරේ අර කුඩ්ඩා..

කුඩ්ඩා..?

ඔව්.. රංගන.. ඉසුරුගෙ නංගිගෙ පස්සෙන් අදටත් බඩගාන කියන අවජාතකයා..

අයියා මං ගැන කිව්ව වගේම, මාත් මේ තරම් ප්‍රබල සමානයෙකුට මේ තාක් මූණ දීලා තිබුණෙ නෑ. මේ තරම් විස්තර කන්දරාවක් මේ යකා දන්නෙ කොහොමද කියලා හිතලම මගේ ඔලුවත් රිදෙන්න ගත්තා.

ඔයාටයි ඉසුරුටයි ඇටෑක් කරන හන්දා මං මෙලහකටත් රංගනව ගේම් එකෙන් අයින් කරල දානවා. ඒත් රංගනගෙ අම්මා කුලී වැඩ කරල ජීවත්වෙන ගෑනු මනුස්සයෙක්. ඒ මනුස්සයගෙ එකම වස්තුව මේ කුඩ්ඩා තමයි.. ඒකයි ඌ මගෙන් බේරිලා ඉන්නෙ.. ඔයාට මතක ඇතිනේ රංගන දිමුතුටත් බැල්ම දැම්මා.. මං අර දවසක් ඔයාට අනතුරු ඇඟෙව්වෙ..

ඇත්තටම මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ.. මෙච්චර කාලයක් වීරයෙක් වගේ කෙලින් ඉඳපු මගේ අභිමානයට අයියගෙන් ලොකු පහරක් වැදිලා තිබුණා.

ඒ වගේම ඔයයි, ඉමාෂියි කාර් එක ළඟට වෙලා කතා කරපුව හැම දෙයක්ම මට ඇහුණා.. ඔව් හැම දෙයක්ම..

මො..නවා..!

ඔව් රමී.. ඔයාලා ඔය තරමින් මහන්සි වෙන එක නම් මං අගය කරනවා.. ඒත් ආයෙ සයුරිව ළඟට ගන්න මගේ අදහසක් නෑ..

පිස්සු නටන්නැතුව ඉන්නවා.. මෙතන වැරැද්ද මගේ.. මට ඒක හදාගන්න ඉඩ දෙනවා.. මං ආයෙ තිබ්බ විදියටම හැමදේම හදන්නං..

ඉමාසියි මායි කතා කරපුව ඔක්කොම අයිය අහන් හිටියා කියලා කියපුහම මගේ හිතට මහා මොකක්දෝ උනා. මොකද එතන මං දිග ඇරියෙ සෑහෙන අතීත මතක කන්දරාවක්නෙ.. දැන් ඉතිං ඒ හැමදේම මේ මනුස්සයා දන්නවා.. ඒ ගැන කතා කරලම වැඩක් නෑ.

ඒක ඔයාගෙ කැමැත්තක් රමී.. හැබැයි මගේ වෙනම කැමැත්තකුත් තියෙනවා.. ඒකත් මං ඔයාට කියන්නද..?

අයියා දැන් දැන් මට හුඟක් ලංවෙලා වගේ හිතට දැනුණා. අපි දෙන්නා අතරෙ මෙච්චර කාලයක් තිබ්බ එකාට එකෙක් පේන්න බැරි ගැටුම්කාරී බැම්ම මේ වෙනකොට හෙමින් සීරුවෙ බිඳලා යන්න අරන් තිබුණා.

ඔයාගෙ කැමැත්ත මගේ අකමැත්ත වෙයිද දන්නෑ.. මොකද මෙච්චර කාලෙකට උනේ ඒකනේ..

නෑ.. මීට පස්සෙ එහෙම වෙන්නෑ.. මේ වගේ සිදුවීමක් වෙලා හරි තව කල් නොයවා සමීර කියන්නෙ කවුද.. රමී කියන්නෙ කවුද කියලා අපි දෙන්නටම පැහැදිලි කරල දුන්න එක්තරා කඩඉමක්නේ මේක.. මෙහෙම නොවුණ නම් අදටත් මමයි ඔයයි මරාගන්නවනේ.. හැමදේම වේනනෙ හොඳටයි කියනව වගේම, මේකත් උන එක අපි දෙන්නටම හොඳක්..

මාත් ඒක පිළිගන්නවා.. මොකක්ද ඔයාගෙ කැමැත්ත..?

ම්.. කැමැත්ත තමයි.. ඉමාෂිව මේ ගෙදරට ගේන එක..?

මොකක්.. ඉමාෂිව..?

මං උඩ ගිහින් බිම වැටුණා. කන් දෙකත් අගුලුවැටුණා වගේ.. ඉමාෂිව මේ ගෙදරට ගේනවා කියන්නෙ මූට ඉමාෂිව බඳින්න ඕන කියනෙකද..? එතකොට සයුරිට මොකද වෙන්නෙ..? ඒ කියන්නෙ කවදාවත් නැති තරමට රමී ප්‍රමාදයිද..?

ඔව්.. ඉමාෂිව තමයි.. අපේ කැලෑ පාලුවගෙ නංගි.. මොකද කියන්නෙ..? මගේ කැමැත්ත හොඳයිද..? නැත්තං මේ ලෝක ගතියක් නැද්ද..?

කැමැත්ත නම් හොඳයි.. ඒත් ඉමාෂිව මේ ගෙදරට ගෙනල්ලා..?

ඉමාෂි මේ ගෙදර ගේනව කියන්නෙ, එයා මේ ගෙදර ලේලි වෙනවා කියනෙකනේ..

මං දැන් තවත් ටිකක් හොල්මං.. මේ මනුස්සයා මොනවද මේ කියවන්නෙ..?

ලේලි..?

ඔව්.. ඔයා කැමති නැද්ද ඉමාෂි මේ ගෙදර ලේලි වෙන එකට.. ඉමාෂි කියන්නෙ සීදේවි කෙල්ලෙක්නේ.. මම නම් එක පයින් කැමතියි.. ඔයා මොකද කියන්නෙ..? ඉසුරුවත් උඩින්ම කැමති වෙයි..

දැන් කවුද ඉමාෂිව  බඳින්නෙ..?

මං කෙලින්ම ඇහුවා.. මේකගෙ හිතේ මොන අල ගෙඩියක් තියෙනවද කියලා කවුද දන්නෙ..?

ඈ.. පුදුම ප්‍රශ්නයක්නෙ ඔයා ඇහුවෙ..

ඇයි..?

ඇයි කියල අහන්නෙ..? ඉමාෂි බඳින්නෙ.....

අයියට ඒක ඉතුරු ටික කියන්න උනේ නෑ.. ඉස්සරහ දොර මහා සද්දෙට ඇරෙනවා මට ඇහුණා.. අයියා ඇදෙන් නැගිටින්න හදද්දි මං සාලෙට ගිහිල්ලත් ඉවරයි.

ර..මී..

එක පාරටම මං ළඟට දුවගෙන ආපු අම්මා මාව බදාගත්තා. අම්මගෙ ඇස්වලින් කඳුළු හෝ ගාලා ගලන්න ගත්තෙ තත්පරේට දෙකට. තාත්තත් නළල රැළි කරගෙන, ඉස්සරහ දොරත් වහල දාලා අම්මයි මමයි ළඟට ආවා.

ඔ.. ඔයාට බැනපු ඒවට ඔයා, මායි තාත්තයි එක්ක තරහ නෑ නේද..? අනේ කියන්න රමී.. ඔයා අපිත්තෙක්ක තරහ නෑ නේද..? හග්..  හග්..

අම්මා තව තවත් අඬන්න ගත්තා.. ඒ එක්කම තමයි අයියා ඇවිල්ලා අපි ඉස්සරහ බිත්තියට හේත්තු උනේ.. ඒත් මට හිතාගන්න බැරිවුනේ, කලින් මට වැලේ වැල් නැති වෙන්න බැනලා දැන් මගෙන් තරහද කියලා අහන එකටයි. ඒක හරියට කණ පුරෝලා තද පාරක් දීලා, රිදුනද කියලා ඇහුව වගේනේ.

අම්මලා මොනව කෙරුවත් මං තරහ වෙන්නෑ..

මගේ කටින් එහෙම පිටවුනා විතරයි, අම්මා මාව තුරුලු කරගත්තා.  ඇත්තටම මං හිටියෙ ටිකක් අවුල් වෙලා.. දැන් ටිකකට කලින් සමීරයා කියපු අප්‍රබංස කතාව, දැන් මේ ඊට කලින් අද දවසෙ වෙච්ච සිද්ධි සෙට් එක, මේ හැමදේම තනි මිනිහෙක් දරා ගන්නෙ කොහොමද..? ඒත් රමීට ඒ ශක්තිය තිබුණා.. හැබැයි ඉතිං කලින් කිව්ව වගේ ටිකක් අවුල් වුණා.

එක එක මනුස්සාය කියන කේලම් අහනවට මේවා අපට හොඳ පාඩම්.. නේද සමීලරගෙ තාත්තෙ.. අපි හැමෝටම වැඩිය අපේ දරුවො විශ්වාස කරන්නෝන..

අඬ අඬාම අම්මා කියද්දි මං තාත්තා දිහා බැලුවා. මහපටැගිල්ලෙනුයි මැඳගිල්ලෙනුයි නළළ දෙපැත්ත මිරික ගන්න ගමන් තාත්තා දිග හාන්සි පුටුවෙ වාඩිවෙලා උගුර පෑදුවා.

ඔයා ගැන නරක ආරංචියක් ආපු ගමන්ම අපි කලබල උනා රමී.. අම්මයි මමයි ඔයා ගැන හුඟක් බලාපොරොත්තු තියන් හිටියෙ.. අපි අහපු දේ අපට දරාගන්න බැරි උනා.. ඒත් අම්මයි, මමයි අද කලා වගේ, දිලිනි දරුවව හම්බවෙලා මේක ඇත්ත නැත්ත දැනගෙනම ඔයාට කතා කර නම් කොයි තරම් හොඳද කියලා අපි දෙන්නටම හිතෙනවා.. අපි ඔයාගෙ හිත හොඳටම තැලුව රමී..

ඔයාලා දිලිනව හම්බවෙන්න ගියාද..?

ඔව් රමී.. මේ වෙලා තියෙන කිසිම දේකට ඔයා සම්බන්ධ නෑ කියලා ඒ ගෑණු ළමයා දිව්ර දිව්රා කිව්වා. ඒ ළමයා බැඳලා ඉන්න රවීන් කියලා ලමයෙක්ලු.. සමහර විට රවීන් කියන නමට, ඔයාගෙ නම පැටලෙන්න ඇති.. අපිට මේ දේවල් කිව්ව කෙනාට.. අපිට නම් ඇත්තටම මේවා හොඳ පාඩම් රමීලගෙ අම්මෙ.. මීට පස්සෙවත් දෙයක් ඇහුවම කලබල නැතුව විසඳගන්න බලමු..

හප්පේ.. ඇති යාන්තං.. ඔය ප්‍රශ්නෙ ගොඩ ගියා.. මං හිතුවෙ ඔය පරාල ඇනෙන් ගොඩ එනන් තව මාසයක් විතර යයි කියලා.. එහෙනම් ඉඳලා හිටලා රමී දිහාත් දෙයියො බැල්මට් එක දානවා.



No comments:

Post a Comment