Tuesday, January 22, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


හවස් වෙනකම්ම ඉසුරුගෙන් පුංචි මැසේජ් එකක්වත් ආවෙ නෑ. උගේ ෆෝන් එකට ගන්න බැලුවත් ඒ කෙහෙල්මල ඕෆ් කරල දාලා. ඒ පාර මූට මොකද හත්තිලව්වෙ උනේ. වෙනදට කෝල් බෝල් තැන්නම් ගේ ඉස්සරහින් හෝන් එ හරි සද්දෙට ගහගෙන යන එකානේ.

ඉසුරු ෆෝන් එක ඕෆ් කරලා කියන්නෙ අවුලක්ම තමයි. මිනිහා සාමාන්‍යයෙන් ෆෝන් එක ඕෆ් කරන් ඉන්න තාලෙ ඇවටියෙල් භාන්ඩයක් නෙමෙයි. තවත් දෙකට දෙවාරෙ හිත හිත ඉන්නැතුව මං කෙලින්ම ගියා ඉසුරුලගෙ ගෙදරට.


රමී අයියා..

මාව දැක්ක ගමන් ඉමාෂිගෙ ඇස් දෙක ලොකු වුණා. එයා මෙන්න මේ වගේ පුදුම වෙලා බලන් ඉන්නකොටත් තියෙන්නෙ පුදුම සිරියාවන්ත කමක්නෙ.

ඇයි මේ පුදුම වෙලා වගේ..?

පුදුම වෙන්නෙ නැද්ද දෙයියනේ.. වෙනද පාර ළඟට විතරක් එන කෙනා අද ගේ ඇතුළටම ආවහම..

හ්.. එහෙනම් මං පාරට යන්නම්..

යන්න දෙනවා.. ම..ම..

ඉමාෂිට ඒක කියවුණා. අපි දෙන්නගෙ ඇස් හතර ගැලවෙන්න බැරිවෙන්න පැටලිලයි තිබුණෙ. ඉමාෂිගෙ මුලු මූණම ලොකු ජවයකින් පෙඟිල තිබුණා.

ඇයි එහෙම කියන්නෙ..?

මෙච්චර මගේ ළඟට ආවට පස්සෙ මං ඔයාට යන්න දෙයි කියලද කියන්නෙ..? ආ.. රමී අයියෙ.. ඔයා දන්නවද මං ඔයාව දකින්න කොයි තරම් ආසද කියලා..?

පුංචි කෙල්ල එන්න හදන ට්‍රැක් එක රමීට තේරුණා. ඒත් මේ මං ඉස්සරහ ඉන්නෙ ඉසුරුගෙ නංගි. ඒක මගේ හිතට තේරුම් කරල දුන්නා.

කෝ ඉසුරු..

ඉමාෂි ආපු ට්‍රැක් එකට හාත්පසින්ම වෙනස් ට්‍රැක් එකකට මං පැන්නා.

දන්නෑ..

ඔය ඇත්තමද කියන්නෙ..?

ඔව්..

ඉමාෂිගෙ කටහඩට ඒ පාර දඟකාරකමකුත් එකතු වෙලා.. සීනි බොලෙ වගේ ඉඳගෙන කෙල්ල හදන්නෙ මාව බයිට් එකට ගන්නද..?

ඇත්ත කියන්න ඉමාෂි.. ඉසුරුගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ..

ඇත්ත කිව්වොත්.. මට මොනවද දෙන්නෙ රමී අයියෙ..?

ඉමාෂි කිසිම අවුලක් නැතුව එයා කලින් ආපු ට්‍රැක් එකටම පැන ගත්තා. එතකොට මමද හිරවෙලා තියෙන්නෙ..?

දෙනව හොඳ ගුටියක්.. පිස්සු නැතුව කියන්නකො.. කෝ ඉසුරු..?

දැන් පැය ගාණක් වෙලේ ඉඳන් නිදි..

ෆෝන් එකත් ඕෆ් කරගෙන..?

බැටරි බැහැලා ඇති රමී අයියෙ.. පැය විසිහතරෙම ඒක ඔන් එකේනෙ..

මං ගේ ඇතුළට ඇවිත් ඉසුරුගෙ කාමරේට එබුණා. අත් දෙකයි කකුල් දෙකයි හතර අතේ විහිදගෙන ඉසුරු අංග සම්පූර්ණ නින්දක යෙදිලා හිටියෙ.. ඒ හිටපු විදියට මට ඌව නැගිට්ටවන්න හිතුනෙ නෑ.

නැගිට්ටම කියන්න මං ඇවිත් ගියා කියලා..

කාමරෙන් එළියට ඇවිල්ලා මං ඉමාෂිට කිව්වා. එයාගෙ දිග ඇස් වලටයි රවුම් මූණටයි ආවෙ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි.

ඔයා ඔය යන්නද හදන්නෙ..?

සාලෙ බිත්තියට අත්දෙක තියලා පිටිපස්ස පැත්ත ඒ අත් දෙකට හේත්තු කරලා ඉමාෂි මගේ මූණට එබුණා.

ඔව්.. තව වැඩ වගයක් තියෙනවා..

තව ඩිංගක් ඉඳලා යන්න රමී අයියෙ..

බෑ.. ඉමාෂි.. මේ හදිසි වැඩවගයක්..

ඔව් ඉතිං.. රටේ ලෝකෙ කොහේ හරි ඉන්න ගෑණියෙක් කිව්වොත් නම් වැඩිපුරත් ඉඳියි.. මං කිව්වොත් තමයි සත පහකටවත් ගණන් ගන්නැත්තෙ..

චටපට ගාලා රතිඤ්ඤා පුපුරනව වගේ ඉමාෂිගෙන් පිටවුණා. යන්න කියල එළියට තිබ්බ කකුල මං ආයෙමත් ගේ ඇතුළට ගත්තා.

ඔයා මොනවද මේ කියවන්නෙ..?

ඇයි මං කියන ඒවා බොරුද රමී අයියෙ..?

මං මොනාද ඔයාට කෙරුවෙ..?

ඔයා කෙරුවෙද..? රෑ එලිවෙනකන් එක එක ගෑනුන්ට තනි රකින්න යනකොට මගේ පපුව පැලෙන්න එනවා.. ඒකයි..

ඉමාෂි ඒ අන්තිම හරිය කිව්වෙ නෑහෙන ගානට.. එයාගෙ කටහඬ හොඳටම බරවෙලා තිබුණා. මේ සිද්ධ වේගෙන යන දේවල් වල හැටියට, කේලල ඉඳල තියෙන්නෙ කොයි වෙලාවෙ හරි මං ඉස්සරහ පත්තු වෙන්න.

කවුද ඔයාට ඔය පට්ට බොරු කිව්වෙ..?

බොරුවක් නෙමේ රමී අයියා.. ඔයා ඩිංගක් මෙතනින් වාඩි වෙන්න.. මට ඔයත්තෙක්ක කතාවක් තියෙනවා..

කතා කිව්වට කමක් නෑ.. ඔයා කියන දේවල් අහල ගම් හතටත් ඇහෙනවා..

අම්මලා.. පරණ ගෙදර අයියෙ..

ඉසුරුලාට ගෙවල් දෙකක් තිබුණා. දැන් මේ ඉමාෂියි, මායි, ඉසුරුයි ඉන්නෙ අලුත් ගෙදර. උයන පිහන ඒවා වැඩි පුරම සිද්ධ වුණේ මේ ගෙදරට ඩිංගක් පිටි පස්සෙන් තිබ්බ පරණ මහ ගෙදර. ඉසුරුලාගෙ අම්මලා වැඩිපුරම හිටියෙත් එහේ.

හරි.. දැන් මොකක්ද කතාව..?

මං වේවැල් පුටුවෙ හරි බරි ගැහුණා. ඒක මාර සනීප පුටුවක්.. ඕනනම් වාඩිවෙලා නිදා ගතහැකි.

කතාව නේද..?

දැන් කෙල්ලගෙ මූණෙ කැටයම් ගොඩයි. ප්‍රශ්න පත්තරයයි. හැබැයි ඉතිං බහුවරණ එකක් උනොත් හොඳයි. හතරෙන් එකකට කනා පාරක් හරි ගහතෑකිනේ.

ඔ.. ඔයා රෑ තිස්සෙ යන ගමන නවත්තන්න අයියෙ..

බැගෑපත් විදියට ඉමාෂිගෙ කටහඬ කැඩි කැඩී ආවා. බලන් ගියහම බහුවරණ ප්‍රශ්න පත්තරයෙ පළවෙනි එකම අති සංවේදි එකක් උනා. රමී කියල කියන්නෙ පට්ට ගේම් ගහන ඉන්ටර්නැෂනල් පොරක් වුණත් ඒකට උත්තරේ හොයන්න අමාරු උනා.

ඔ.. ඔයාට මං කියන දේ ඇහෙනවද අයියෙ..?

හ්ම්..

මං අහන දේට උත්තරයක් දෙන්න දෙයියනේ..

මොකක්ද..?

ඔයා ඔය තරම් ගෑණු ළමයින්ව ආස්සරේ කරන්නෙ ඇයි..? ආ.. ඔයාට ඇයි බැරි එක පුංචි කෙල්ලෙක් ළඟට වෙලා ඉන්න..? ඇයි ඔයා ජරා ගෑනු ළඟට යන්නෙ..? ඔයාට මොනවද ඕන රමී අයියෙ..?

රජා ගෑණු..! අන්න ඒ වචන දෙක ඉස්සරහ මං ගල් ගැහුණා. දෙයියනේ.. ඉමෂි ඇතුළුව මේ කුදු මහත් ලෝකයම මාව මනින්නෙ ඒ මිම්මෙන්ද..? හැඟීම් දැනීම් කොයි තරම් ප්‍රබල උනත් මගේ ආශාවන් ඉෂ්ට කරගන්නෙ ඒ වගේ තැන් වලට ගිහිල්ල කියලද මේ අමන ලෝකවාසී ජනතාව හිතන්නෙ.. මට දැනුණෙ මං පොළව පලාගෙන ආවීචි මහා නරකාදියට ඇදගෙන යනව කියලා. බලන් ගියාම මේ අහන දේවල් වලට වඩා ඒක සැපයි.

ඉමාෂි.. දැක් කවුද මං ආස්සරේ කරන ගෑණු ළමයි..? කොහෙ ඉන්න ජරා ගෑණීයෙක් ළඟටද මං ගියේ..? ඔයා මේ නිකං පටලවගෙන..

මං පැටලිලා ඉන්නෙ.. අයියෙ.. ඒක මං දන්නවා.. මං අහපු දේට උත්තර දෙන්නැතුව ඔයා මගෙන් ප්‍රශ්න අහන්නෙ ඇයි..?

ළඟට වෙලා ඉන්නවත් මට ගෑණු ළමයෙක්වත් ඔයා කියන විදියෙ ජරා ගෑනු කෙනෙක්වත් නෑ නංගි..

මං ඇත්ත කිව්වා. ඇත්ත නේන්නම් යකෝ.. මේ කුනු සංසාරෙ මේ වෙනකොට එකඳු බලු බල්ලේවත් මගේ ළඟ නෑනෙ. මං කොහොමද මෙයාට ඒක පැහැදිලි කරන්නෙ..? මේ ලෝක තලයේ අහපු ලොකුම, පට්ටම පට්ට බොරුව ඇහුනා වගේ සවුත්තු හිනාවක් ඉමාෂිගෙ මූණ මැදට ආවා.

ඔයා කාවද අයියෙ රවට්ටන්න හදන්නෙ..? එතකොට රිස්මියා කියන්නෙ..? නදිනි කියන්නෙ..? දිමුතු කියන්නෙ කවුද..? ඒ නම් වලින් හැඳින්වෙන්නෙ මේ ලෝකෙ ජීවත් වෙන ගෑනු නෙමේද.. එතකොට ඒ ගොල්ලො කවුරුවත් ඔයාගෙ ලෝකෙ නැද්ද ආ..? එතකොට ඔයා හැමෝටම මහා ලොකු බොරුවක්ද කරල තියෙන්නෙ..? එයාලගෙ බලාපොරොත්තු වලට ඔයා නැවතීමේ තිතක්ද තියල තියෙන්නෙ..?

ඉමාෂිගෙ ප්‍රශ්න පත්තරේ දෙන උත්තරේ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ජීවිතේ පළමු වතාවට මං නිවැරදිකාරයෙක් වෙලත් වැරදි කාරයෙක්ගෙ තත්වෙට ඇද වැටිලා තිබුණා.

ඇයි ඔයා කතා නොකරන්නෙ..? ආ.. කවුද අනූෂි කියන්නෙ..? කවුද දිලිනි කියන්නෙ..?

ඉමාෂි කතාවෙන් ට්‍රැක් දෙක තුනක් ඉස්සරහට පැන්නා. වැඩේ කියන්නෙ මේ කෙල්ල මේවා කොහෙන් කොහොම දැනගත්තද කියන එකයි. හැබැයි ඉතිං මේ කොහේවත් තියෙන සල්ලිත් මගේ එකවුන්ට් එකට බැර වෙන එකයි උහුලන්න බැරි. කොටින්ම ඔය අන්තිමට කියපු නම් දෙකම මේ රමියගෙ හෘදය වස්තුවට ආගන්තුකයි.

ඇයි රමී අයියෙ ඔයා කතා කරන්නෙ නැත්තෙ..?

මොනව කතා කරන්නද ඉමාෂි.. ඇත්තම කියනව නම් කතා කරන්නම දෙයක් නෑ.. හරි කමක් නෑ.. ඔය හැමදේම ඇත්ත කියමුකො.. දැන් කියන්න බලන්න ඔයාට ඕවයින් තියෙන අවුල මොකක්ද කියා..

මං වෙනම පැත්තකින් කතාව මැද්දට පැන්නා. ඒව තමයි මෙහෙම අවස්ථාව ගොඩ ඒමේ කලාව. හුඟක් කෙල්ලො ඕව දන්නෑ. ඕවා රමියා පලපුරුද්දෙන්ම ලබාගත්තු දේවල්.

මට දුකයි රමී අයියෙ.. මට දුකයි..

ඔයාවත් ඒ ගොඩට දාන්නැති හන්දද..?

ඉමාෂිගෙ ඇස් දෙක ලොකු උනා. ආයෙ දෙකක් නෑ ඉතිං මං ඇහුවෙ ඇඟ කිලිපොලා යන ප්‍රශ්නයක්නේ.

නෑ අයියෙ.. එහෙම දෙයක් නෙමෙයි.. මං එච්චර වාසනාවන්ත නෑ.. ම්.. අපි මේ කතාව නවත්තමු.. මං වැරදි කතාවක් පටන් ගත්තෙ..

වාසනාවන්ත නෑ කිව්වෙ..?

ඒ කතාව වැඩක් නෑ අයියෙ.. මට නිකම්ම ඒ කියවුණා. මං දුකයි කියල කිව්වෙ කොන්වන්ට් එකේ ළමයි ටවුමෙ ගෑනු ළමයි ඔයා ගැන කතාවෙන දේවල් හරි නෑ. ඔයා ගැන හොඳ අදහසක් එයාලගෙ හිත්වල නෑ. ඔයාගෙන් ගෑණු ළමයින්ට බේරීමක් නෑ කියලයි එයාල අතරෙ කතාව තියෙන්නෙ..

නොහිතපු පැත්තකට කතාව ඇදිලා එද්දි දෙකක් නෑ ඒ කතාව මගේ පපුව මැදටම වැදුනා. ෂිහ්.. මේ ටවුමෙ මං මේ තරම් ජරා ජීර්ණ තත්වෙකද ඉන්නෙ..? ඒත් ඒක පිළිගන්න මගේ හිත කැමති වුණේ නෑ. මොකද ඒක එහෙම නෙමෙයි කියල ඔය කියන හැමෝටම වැඩිය මගේ හිත දන්න හින්දයි.

එහෙනම් ඔයා කොහොමද මගෙන් බේරිලා ඉන්නෙ..? ඔයා ඇයි ඔය කතන්දර කියන එවුන්ගෙන් ඒක අහන්නෙ නැත්තෙ..?

ඇහුවට වැඩක් නෑ..

ඇයි..?

මං බේරිලා ඉන්නෙ අපේ අයිය හින්දලු..

හිතට පුංචි කේන්තියක් එබුණත්, ඒ කතාවෙ ඇත්තක් තියෙන්නත් ඇති කියල මට හිතුණා. නැත්නම් ඉතිං ඉමාෂි වගේ හිතයි, ඇඟයි දෙකම හිරිවට්ටන ගෑනු ළමයෙක් දිහා ආදරණිය හැඟීමකින් බලන්න බැරි නම්, ඒ හාදයා දෙකටම නැති එකෙක් වෙන්න ඕන.

මට නම් දැන් ඔයාලා දෙන්නා බිංදුවක්වත් ෂුවර් නෑ..

ඉමාෂි ආයෙමත් වෙනම තැනකින් කතාව පටන් ගත්තා. මේ කෙල්ල නම් කතාවල ට්‍රැක් පනින්න දෙයියෙක්.

ඇයි..?

බලන්න මහ රෑ කීයවෙනකල් ඔයයි අයියයි පාරෙ ඉන්නවද කියලා.. අයියට කතා කරහම කියනවා ඉන්නෙ ඔයත්තෙක්ක කියලා..

ඉතිං.. ඒක ඇත්තනේ..

නෑ.. අයියදන්නවා මං ඔයාට මොකුත් කියන්නෑ කියලා.. එයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.. ඔයා උනත් කොහේ හරි යනවද මොනව කරනවද කියලා මං දන්නෑ.. ඔයා උනත්, අයියා උනත් කවද හරි දවසක ගෑනු ළමයෙක් කසාඳ බැඳලා ජීවිතේට මූණ දෙන්න ඕනනේ.. ඔයාලා ඔය හැසිරෙනව වගේ සෙල්ලක්කාර විදියට හැසිරිලා අන්තිමට ඔයාලට ලැබෙන දේකුත් නැතිවෙයි..

ඉමාෂි ඒ අන්තිමට කියපු දේ නම් සීයට පන්සීයක් ඇත්ත කියල මට හිතුණා. මං හිතුවට වැඩිය කෙල්ල හුඟක් දුරට හිතනවනේ.

අනික ඉතිං ඔය තරම් ගෑණු ළමයි ගොඩකට ආදරේ කරලා ඔයා ලබන දේ මොකක්ද අයියෙ..?

කෙල්ලො කියල කියන්නෙත් අම්මප වෙලාවකට මෙලෝ වගතුවක් නැති එවුන් නම් නෙමෙයි. කලින් අර වගේ සිරා විදියට හිතල, ධමනියක් නැති එකෙක් වගේ අහපු පුරස්නෙ උජාරුව බලපල්ලකො.

හැබැයි ඉතිං මට එක දෙයක් නම් හොඳටම තේරුණා. ඒ තමයි කෙල්ල ඉන්නෙ සහමුලින්ම පටලවගෙන කියලා. අඩුම ගානෙ මං යාලු වෙලා හිටියෙ රිස්මියායි නදිනියි එක්ක විතරයි කියලවත් ඉමාෂි තියා මේ සකල සිරිලංකාවෙ මෙලෝ මනුස්සයෙක් පිලිගන්නෙකක් නෑ. අනිත්තෙක මේ වෙනකොට නදිනියි, රිස්මියයි දෙන්නම මට නැතිවෙලා ඉවරයි කියල ඉමාෂි දන්නෙත් නෑ. ඉසුරු උනත් මං ගැන ඉමාෂිත් එක්ක කතා කරයි කියලා හිතන්න කරුණු තිබ්බෙත් නෑ. අනික ඉසුරු කවදාවත් මං කරන කියන දේක දිග පළල පනින්න ආපු යාළුවෙකුත් නෙමෙයි. කොන්දේසි විරහිතව මට උදව් කරනව මිසක.

ම.. මං අයියට කතා කරන්නද..?

ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනකල් ඉඳලා බැරිම තැනද කොහෙද ඉමාෂි මගෙන් ඇහුවා.

එපා ඉමාෂි.. මං ආව කියල විතරක් කියන්න.. ඒ ඇති..

ඉමාෂි මගේ දිහාම බලාගෙන ඉද්දි මං ගෙදරින් එළියට බැස්සා.


දැන්නම් එන්න එන්නම ජීවිතේ බර වැඩි වෙනව කියලා මට තේරුණා. ජීවිතේ මොකක් හරි දැවැන්ත රියැලිටි වෙනසක් වෙයි කියලත් මට නිකමට හිතුණා. මේ දක්වා මගේ ඔලුවෙ තිබ්බෙ මගේ ප්‍රශ්න නෙමෙයි. අනිත් අයගෙ ප්‍රශ්න. එහෙම කියල ඒවා බිමින් තියන්න පුළුවන් ඒවත් නෙමෙයි.

අම්මා..? අද මොකද කලින්ම..?

ගෙට ගොඩ වෙනකොටම සාලෙට වෙලා ඉන්න අම්මව මං දැක්කා. ඒකයි මං එහෙම ඇහුවෙ. ඒත් ඒ එකක්ම මං දැක්කා අම්මට ඩිංගක් එහයින් ඉන්න තාත්තව. මේ මොකද අප්පෙ මේ.

රමී..

මං කතා කෙරුවෙ අම්මට උනත් මගේ කටහඬට වැඩිය සද්දෙට තාත්තගෙ කටහඬ ඇහුණා. ඒ වොයිස් එකේ හැටියට නම් මොකක් හරි අවුලක් වගේ. වැඩේ කියන්නෙ රමීට ඕවා හරියට තේරෙනවා.

ආ.. තාත්තත් අද කලින්ම ඇවිල්ලනේ..

අමුත්තක් කියල තේරුණත් මං එහෙම අහද්දි ඒ වියපත් මූණු දෙකේම තිබ්බෙ කලකිරීමක්ද දුකක්ද එහෙමත් නැත්තං කේන්තියක්ද කියල මට හිතාගන්න බැරි වුණා.

කලින්ම එන්න වුණා..

අවුල ටිකක් විතර දරුනු එකක් කියල මගේ මීටරේට වැටුණෙ ඒ වචන ටිකත් එක්ක. හැබැයි ඉතිං ටිකක් විතර කියල මං අනුමාන කරාට, වෙලාත ිබ්බ හානිය නම් උපරිමයි. හරියට පෘථීවිය උඩට බ්‍රහස්පතී පතබරියන් උනා වගේ තමා.

රමී....

උගුරෙ රැල් බුරුල් කරගගෙන කටහඩ යස අපූරුවට සුසර කරගෙන තාත්තා මගේ මූණ මැදට එබුණා. දෙන සපෝට් එකක් බොක්කෙන්ම දෙන්න ඕන කියල වගේ අම්මා තවත් ටිකක් තාත්තට ලංවුණා.

රමී.. ඔයා අපිට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න දෙන්නෙ නැද්ද..? ඔයා හිතන්නෙ මායි අම්මයි ඔයාට ගහන්නෙ බනින්නෙ නැතුව ඉන්නෙ ඔයාට බයේ කියලද..? ආ.. ඔයා කරන හැම කුපාඩි වැඩක්ම අනුමත කරනව කියලද..?

මැක්සා විදියටම තාත්තා කතන්දරේට බැස්සා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද, සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද කියල නොදන්න කමටම මං උඩ බිම බැලුවා. තාත්තා උනත් මගේ මූණටම කිව්වෙ මොන තරම් කඩප්පුලි කතාවක්ද..?

ඔයා ගැන අපි අහස උෂට දේවල් හිතාගෙන හිටියට ඔයා අපේ හැම බලාපොරොත්තුවක්ම බිඳල දාලා ඉවරයි රමී.. ඇයි.. ඇයි.. ඔයා අපිට මෙහෙම කරේ..? ඇයි අපිව මේ වගේ රැවැට්ටුවෙ.. අ.. අපි.. ඔ.. ඔයාට ආදරේ කරා මදිද.. රමී..! ඇත්තමයි මායි තාත්තයි ඔලුව හැරුනු අතක යනවා.. මිනිස්සුන්ගෙන් තවත් මේ වගේ නව නිංගිරා විඳින්න අපිට බෑ..

ඒ පාර අම්මත් දුම්මල වරම අතට ගත්තා. අලි මදිවට කොටි කියල කියන්නෙ මෙන්නමේවට වෙන්න ඇති. දැන් ඉතිං ගටක් කියල හිතට ෆිට් එකක් අරන් කොහොම කතා කරන්නද..? මොන අවනඩුවක්ද මේ.

දරුවො හිරකාරයො වගේ හදන්නෙ නැතුව නිදහස දීලා හදල, දරුවන්ගෙ සංතෝසෙ ගැන හිතල වැඩ කරල ඔයාට පුංචි දුකක්වත් දුන්නෙන නැතුවටද ඔයා මේ වගේ පපුව පැලෙන දෙයක් කරේ..?

ඔයා හිතන්නෙ ඔයා මහ රෑ ගෙදරින් යනව කියල මේ වටපිටාවෙ මිනිස්සු දන්නෑ කියලද..? මායි තාත්තයි නිදා ග්තහම අපිට හොරෙන් ඔයා ගෙදරින් එළියට බැහැලා යනව කියල මිනිස්සු කියනකොටයි අපිත් දන්නෙ.. ඔයා අපිට මෙතන ජීවත් වෙන එකත් නැති කරා රමී..

දෙන්නා දෙමහල්ලො යුද්ධ කාලෙදි මෝටාර් ගහනව වගේ හතර අනිත්ම ෂෙල් වෙඩි එවද්දි කැලෑ වැදිච්ච හෝ හපුටෙක් වගේ මං ඔහේ අහන් හිටියා. මොකෝ වැරදියි කියල කියන්නද.. මෙලෝ අගක් මුලක් නොදැන.. අනික ඉතිං අම්මයි තාත්තයි ලේසියෙන් පොට වරද්දගන්නෙ නෑ කියලා මං දැනන් හිටියා. එහෙම එකේ ත්‍රෙඩ් පැනල ලූස් කනෙක්ෂන් වුණේ සර්ව බලධාරී කියල හිතාගෙන හිටපු රමියටමද..? මොනව වුනත් මේ කියන සකල විධ ප්‍රවෘත්ති ටික නම් බැර වෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට තමා. ඒත් මේ හැමදේම අම්මගෙයි තාත්තගෙයි කනේ තියපු පොළොස් කොට්ටෝරුවා මොකාද.? අනේ.. මෙන්න මේ වගේ සොඳුරු අවස්ථාවක ඌ අහුවුණා නම්..? එහෙම හිතනකොටම මගේ ඔලුව උඩටම ආවෙ අයියකාරයගෙ පැහැපත් සිත්ගන්නා සුලු රූපෙ. මේ විදියට ගන්දස්කාර වැඩක් කරන්න පුළුවන් මිනිහට විතරයි. මීට කලිනුත් මෑන් මේ වගේ ඇඟ කිළිපොලා යන නසරානි වැඩ කරලා තිබුණා. සමහර විට මේකා දිමුතු ගැන මොනව හරි අවමංගල කතන්දර ටිකක් අම්මගෙයි තාත්තගෙයි ඔලුවලට දාලා බ්‍රේන් වොෂ් එකක් දුන්නද දන්නෙත් නෑනෙ. මොනව උනත් වෙනදට ෆෝම් කරනවට වඩා වැඩිප ප්‍රමාණයක් සමීරයා මේ දෙන්නව ෆෝම් කරල තියෙනවා. බඩ සුද්ධ වුණත් ඇත්ත කතාව ඒකයි.

අම්මයි තාත්තයි මොනව කියනවද කියල මට නම් තේරෙන්නෑ.. කියන දෙයක් කෙලින්ම කියන්න.. ඔයාලට ලැජ්ජ වෙන නින්දා වෙන කිසිම දෙයක් මං කරල නෑ..

ඒකද ඔයා ළමයෙකුත් ඉන්න ගෑනියෙක් ගාවට රෑට රෑට හොරෙන් රිංගන්නෙ.. ආ..?

ඒ ෂෙල් වෙඩිල්ල නම්, ඇඟපුරාම හිටු කියලා වැදුනා. ආයෙ වෙන එකෙකුට වැදුන නම් හෙම ඇපත් නෑ. ඒත් රමියා මැක්සා බුලට් එකක් හින්දා වැඩේ යාංතන් ගොඩදාගත්තා. ඒත් හත්තිලව්වෙ.. මේ විලිලැජ්ජා නැති අලුගුත්තේරු කතාව මොකක්ද අප්පා.

මොකක්..?

මොකක් කියල ඔයා අපෙන්ද අහන්නෙ..? මේ කතාවල තේරුම මොකක්ද රමී.. ඇ.. ඇයි ඔයා මටයි තාත්තටයි මේවගේ නින්දාවක් කරේ.. හග්..

අම්මා හූල්ල හූල්ල අඩන්න ගත්තා. ඒ දිහා බලන් ඉන්න බැරි කමට මං බිම බලාගත්තා.

ඔ.. ඔයාට.. ඔයාට.. අපිට කියන්න තිබුණා.. ඔයාට කසාඳ බඳින්න ඕන නම්, ඔයාකැමති ගෑණු ළමයෙක් ඉන්නව නම්, අපිට කියන්න තිබුණා. එහෙනම් අපි ඒ දේ යස අපූරුවට කරලා දෙනවා.. ඒත්.. ඒත්.. ඔයා පුංචි දරුවෙකුත් ඉන්න ගෑනියෙක් කසාඳ බැඳලා කියල දැන ගත්තහම අපි කොහොමද රටේ ලෝකෙ මිනිස්සුන්ට මූණ දෙන්නෙ..? රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්නෙ..? මිනිස්සු අහන ඒවට අපි මොනවද කියන්නෙ..?

ඔයිට වැඩිය හොඳයි ඔයා අපි දෙන්නව අර පල්ලෙහා ලිඳ ඇතුළට තල්ලු කරල දැම්මා නම්..

වතුර ගලනව වගේ අම්මගෙ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. තාත්තා පහත් වෙලා බ්රූස් ගාලා නහය ඇදලා දැම්මා.

රටේ ලෝකෙ ගෑනු නැතුවටද මනුස්සයො බැඳපු ගෑනියෙක් අල්ල ගත්තෙ.. ඇයි මේ වගේ නොසන්ඩාල වැඩ කරන්නෙ..?

කතා කරනව රමී.. කතා කරනවා.. මොකක්ද මේ කතාවෙ තේරුම.. අපිට මේ තරම් දස වද දෙන්නෙ ඇයි..? මිනිස්සු මත්තෙ අපිට මේ තරම් නින්දා දෙන විදියට හැසිරෙන්නෙ ඇයි..?

යාලුවෙක් වගේ ඔයත්තෙක්ක හිටපුමටද මෙහෙම කරේ මිනිහො..?

තාත්තා ඇවිත් මගේ උරහිස් දෙකෙන් අල්ලල හයියෙන් හෙලෙව්වා. ඒ හෙලවීමට මගේ ආත්මෙත් එක්කම හෙල්ලිලා ගියා. අන්න එතකොට තමයි, මේ විකාශණය වෙන ඇල්ජසීරා ප්‍රවෘත්ති විකාශනයෙ සැබෑ අරුත මගේ මොලේ අලුපාට සයිල වලින් අඳුනගත්තෙ. මේක.. මේක.. තනිකරම අල්කඩියා ත්‍රස්තවාදී ගේමක්. මොකද කියනව නම්, අයියකාරයගෙ සබ්බ සකල හුනු කිල්ලෝටයම මගේ බුලත් කොලේ උඩටයි වැටිල තියෙන්නෙ.

මේක වැරදි කතාවක් තාත්තා..

ආපිටට තාත්තගෙ අත් දෙකෙන් අල්ල ගන්න ගමන් මං කිව්වා. ඒත් තාත්තා ආපිටට අත් දෙක ගසලා දැම්මා. ඒ මූණ කේන්තියෙන් රතු පාට වෙලා.

බොරු කතාවක්..? මං ඔයාගෙ කම්මුල රත් වෙන්න දෙකක් දෙනවා. ආයෙ ඕක කිව්වොත්. ඔයා කාවද ඔය රවට්ටන්න හදන්නෙ. මේ කතා බොරු නෙමෙයි.. ඇත්තම ඇත්ත කතාවක්.. ඒක මට සීයට දාහකට වැඩිය විශ්වාසයි..

සීයට දාහක් වෙන්න පුළුවන්.. ඒත් තාත්තට මං කියන දේ විශ්වාස නැද්ද..? මේ කියන දේට මගේ අංශු මාත්‍රයක වත් සම්බන්ධයක් නෑ..

තාත්තගෙ ඇස් ටිකක් වෙලා මගේ මූණෙ රැඳිලා තිබුණා. අම්මා හූල්ලන එක ඒ වෙනකොටත් නතර වෙලා තිබුණෙ නෑ. මගේ හිතට ආවෙ කියාගන්න බැරි තරමෙ දුකක්. අම්මයි, තාත්තයි මට කොයි තරම් ආදරේද..? මාව මේ තත්වෙට ගේන්න එයාල කොයි තරම් කැපවෙන්න ඇත්ද..? මං ලස්සනට ජීවිතේ අරගෙන යනවා දකින්න එයාලා කොයි  තරම් ආසාවකින් ඉන්න ඇත්ද..? ඒත් මේ වගේ අමන ආරංචියකින් එයාලා මොන තරම් කඩා වැටෙනවද..?

ඒත් ඒ හැමදේටම උඩින් තවත් දෙයක් මතක් වෙලා මාව වෙව්ලලා ගියා. ඒ තමයි මේ චෝදනාවට මං නිදහස් වුණොත් මගේ සහෝදරයා වැරදිකාරයා වෙනව කියනෙක. අම්මයි තාත්තයි මං ගැන හිතනව වගේම අයිය ගැනත් හිතනව කියලා මං දැනන් හිටියා. සමහර විට ඊටත් වඩා වැඩියෙන්, එතකොට ඒ කටුක ඇත්ත ඉස්සරහ එයාලා දෙන්නට මොනවයින් මොනව වේවිද..?

අ.. අපිව රවට්ටන්න එපා.. රමී.. හග්.. හග්.. තාත්තයි මායි ඔක්කොම දන්නවා.. හග්... ඔයා අපිට හොරෙන් රෑ ගෙදරින් පැනලා ගිහින් පාන්දර ආයෙ එනවා.. ඒ ළමයත් එක්ක ජීවත් වෙනවා.. මේ නරක සවුත්තු වැඩවල තේරුම මොකක්ද දෙයියනේ.. ඔයාට කොයි තරම් ලස්සන ගෑණු ළමයෙක් හොයාගන්න පුළුවන්ද..? ඔයා අපේ හැම  බලාපොරොත්තුවකටම පයින්ග ැහුවා..

බලාපොරොත්තු වලට විතරක් නෙමේ.. ඔයා අපේ ජීවිත වලටත් පයින් ගැහුව රමී.. මේ වගේ ලොකු ඇත්තක් අම්මටයි මටයි දරාගන්න බෑ.. පුංචි දේකටත් ඔයාට අඩුපාඩුවක් නොකරපු අපි වගේ අම්මෙකුයි තාත්තෙකුගෙයි හිත රිද්දුවෙ ඇයි..? අපි හැමදේම කෙරුවෙ ඔයයි අයියයි වෙනුවෙන්.. ඔයාම හිතන්න.. අයියා මේවා දැනගත්තොත් මොනව හිතාවිද.. මිනිහා මෙතන එක යුද්ධයක් අල්ලයි..

ඒ ගැන ඉතිං කතා කරල වැඩක් නෑ. ඌ කරපු කුනුහරුප වැඩ වලට ඌ ආයෙ මොනවට සටන්ව දිනවද..? ඌ සටන සහමුලින්ම පාව දීලනේ.

මං මේ ඇත්තමයි කියන්නෙ.. ඔය කියන කිසිම දේකට මගේ මෙලෝ සම්බන්ධයක් නෑ.. මං වැරදිකාරයෙක් නෙමෙයි.. අනික ඔයව ගේ දෙයක්, මගේ දෙයක් මං කවදාවත් හැංගි හැංගි කරන්නෑ.. කවුරුවත් ඉස්සරහ අසරණ කරන්නෑ.. මං ඒ දේ මගේ ළඟින් තියාගන්නවා මිසක..

තවත් බලන් ඉඳල වැඩක් නෑ.. මං මම වෙනුවෙන් පෙනී හිටින්න ගත්තා.. අම්මගෙයි තාත්තගෙයි මූණු වෙනස් වෙනවා මං දැක්කා.

ඒත් ඒ වෙනස් වෙලා තිබ්බෙ හොඳ පැත්තට නම් නෙමේ.

ඔයා අපේ මූණු දිහා බලාගෙනම කිසිම හිරිකිතක් නැතුව බොරු කියනව රමී.. අපිට ඔයත්තෙක්ක කතාවක් නෑ..

මං කියන දේ අහන්න තාත්තා.. මං වැරැද්දක් කරල තියෙනවන ම් ඒකෙ කිසිම ඇදක් කුදක් නැතුව මං පිළිගන්නවා.. එහෙමනැතුව මගෑරලා යන්නෑ.. අඩුගානෙ ඔයාට මං එහෙමයි කියලවත් විශ්වාස නැද්ද..?

විශ්වාස කරන්න තිබුණා.. මේ දේ මේ තරම් බරපතල නැත්තං.. මේ හැමදේම විහිලුවක් කියලා..

ඒක ඇත්ත තාත්තා.. ඒ හැමදේම විහිලුවක්..

විහිලුවක්..? මාවයි අම්මවයි මෝඩයො කරන්න හදන්නෙපා.. එතකොට ඔයයි ඒ ගෑනු මනුස්සයයි කොරියාව පැත්තෙ ලෑලි ගහපු කාමරේක හිටියෙ නැද්ද..? දැන් මෙන්න මේ සුමංගල පාර පැත්තෙ බාගෙට හදාපු ගේක නැවතිලා නැද්ද..? ආ.. රමී.. මොනවද මේ විලිලැජ්ජ නැති වැඩ.. අපි කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ..?

මං වෙනුවෙන් පෙනී හිටින්න මං තීරණය කරාට ඒ හැමදේම තාත්තගෙ කතාවෙන් වාෂ්ප වෙලා ගියා. මොන හෙන ගෙඩියක්ද මේ පාත් වෙලා තියෙන්නෙ කියල ඔලුව මැදටම වැටහෙද්දි තමයි හැමදේම බරපතලකම තේරුණේ.

මෙන්න මේ වෙලාවෙ අයියා හිටියා නම් මං ඒකව සරමක් අන්දලා කකුල් දෙකෙක් එල්ලනවා. අම්මපා මූ ගෙරිමස් කාල තියෙන්නෙ බෙල්ලෙම එල්ලගෙනනේ. පොතක් බලන්න ඕන උනහම මූ පුස්තකාලයක්ම බද්දට අරගෙනනේ.

තවත් දෙයක් මතක තියාගන්න රමී.. ඔයා දැන් මොනව කිව්වත් මොනව කෙරුවත් අම්මගෙයි මගෙයි පුපුරල ගියපු හිත් ආයෙ හදන්න බෑ.. ඔයා ගැන දැන් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ.. ඔයා මායි අම්මවයි විනාශ කරල දාලා ඉවරයි රමී..

තාත්තා කියගෙන ගිය දේවල් තවත් අහන් ඉන්න බැරිකමට මං ආපහු හැරුණා. තාත්තගෙයි අම්මගෙයි හිත් පිපුරුවා වගේ මේ රමීගෙ හිතත් පුපුරන්නෙ නෑ කියලද හැමෝම හිතන්නෙ.. සමීරයව පාව දීලා මේ මර උගුලෙන් සදාකාලයටම මං නිදහස් උනත් සමීරයා මේකට ජාති ජාතිත් පටලැවිල තියෙන හන්ද අම්මගෙයි තාත්තගෙයි වේදනාවෙ අඩුවක් නම් වේනනෑ. මං වැරදිකාරයා වෙලා හරි හැමෝගෙම හිත් තිබ්බ වගේම ලස්සනට තියෙනව නම්.. හැබැයි ඕවා මේවා මොනව උනත් මට අන්තිමට හිතිල තිබ්බෙ මේ කුණුහරුප වැඩෙට සමීරයට මතක හිටින්න පාඩමක් උගන්නන්න ඕන කියලා.


මේ තරම් දේවල් අහල පෙරේතය වගේ නවනිංගිරා විඳලා තවදුරටත් ගේ ඇතුළට වෙලා බිංකුන්ඩෙක් වගේ ඉන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම මං එළියට බැස්සා.

අම්මයි තාත්තයි කියපු දේවල් අනුව, අයිය උනත් මේ ප්‍රශ්නෙදි හිරවෙලා කියල මට තේරුණා. මේ මල ඉලව්වට මේ ලෝකෙ සම්බන්ධයක් නැතුව ඉද්දිත් රමීට මේ කතන්දරෙන් ගොඩ ඒමක් නැත්තං සීත සමීරයට කොහොමත් ගොඩ ඒකම් නෑ.

ගේට්ටුව ළඟට ඇවිල්ලා මං කෙරුවෙ ඉසුරුට කෝල් එකක් දීපු එක. තවත් බලන් ඉඳල බෑ. මොනව හරි කරන්න වෙනවා. මොනව හරි කියල කිව්වට හරි දෙයක් විතරයි. නැත්නම් කොහොල්ලෑ ඇලිච්ච නරියට වෙච්ච දේ තමයි මටත් වෙන්නෙ.

රමී..

මගේ මූණ දැකපු ගමන් ඉසුරු අවුල් උනා කියලා මට තේරුණා.

සීරියස් කේස් එකක් බං..

කාර් එකට නගින ගමන් මං කිව්වා. ටිකක් දුර කතා බහක් නැතුව ඩ්‍රයිව් කරපු ඉසුරු පාර අයිනට වෙන්න කාර් එක නතර කලා.

උඹ අවුල් වෙලා ඉන්න විදියට මට බයත් හිතෙනවා රමී.. මට කියපං.. මොනවම හරි කරල ගොඩ දාගන්න පුළුවන් එකක් නේද..?

තව දුරටත් ඉසුරුට නන්නත්තාර වෙන්න නොදී මං හැමදේම දැහැමින් සෙමින් ඉසුරුට කිව්වා.

හ්ම්.. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..

ඉසුරු චටාස් ගාලා නළලට අතින් ගහගත්තා.

උඹට කියන්න ඉසුරු මට සමීරයා එක්ක එන්නෙ මහා අමනුස්ස කේන්තියක් බං.. මේ වෙලාවෙ මට ඌව සහෝදරයෙක් කියලවත් පේන්නෑ.. හොඳට දෙක තුනක් ඇනල නගර සභාවෙ ඩ්‍රැනේජ් වලවල් අරින බැරල් එකක දාතෑකි..

කලබල නොවී ඉම්මු රමී..

ඔන්න ඕවට තමා කියන්නෙ පිස්සු පයිත්තියන් කියලා.. වෙනද මං ඉසුරුට කියන ඒවා මූ අද මට කියනවා..

කලබල නොවී ඉන්න..? උඹ දන්නවද මේ අද උදේ මෙච්චර අවමගුලක් වෙද්දි අයියකාරයා කවුදෝ මංදා සුදු කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් ඉන්නව මං දැක්කා.

මොකක්..? මොන කුණුහරුපයක්ද බං ඌ කරන්නෙ..?

ඒක තමා බං මටත් හිතාගන්න බැරි.. මුගේ අවලම් ගමන කොහෙන් නවතීවිද මංදා..

අපි දැන් මොකද කරන්නෙ..?

කරන්න හුඟක් දේවල් නෑ.. එක දෙයයි තියෙන්නෙ..

ඒ මොකක්ද..?;

කෙලින්ම සමීරයගෙන් මේ ගැන අහන එක..

ඌ ඇත්ත කියාවිද..?

ඌට ඇත්ත කියන්න වෙනව..

ඌ කිව්වෙ නැත්තං..

මං දිලිනිවයි පුංචි එකාවයි අපේ ගෙදර එක්කං එනවා..

ඉසුරුගෙ ඇස් දෙක උඩ ගියා. ඔව්.. තව තවත් මේ රැවුල අතපත ගගා ඉඳලා වැඩක් නෑ.. එක්කො ෆුල් ෂේව් කරල දානවා.. නැත්තං ඩිල්ෂාන්ගෙ කට් එකවත් ගහනවා.

අම්මලා හොල්මං වෙයි රමී..

මේ හොල්මන් වෙලා ඉන්නවට වැඩිය හොල්මං වෙන එකක් නෑ.. කොහොමටත් සමීරයා ඩෙඟා නැටුවා දැන් හොඳටෝම ඇති.. දැන් කතන්දරේ ක්ලෝස් කරන්නයි තියෙන්නෙ..

කතන්දරේ ක්ලෝස් කරනවා කිව්වට මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා පටලැවිල තියෙන්නෙ මොන තරම් ලොකු මකුළු දැළකද කියලා මට තේරිලයි තිබුණෙ. මකුළු දැක කඩල වැඩක් නෑ.. මකුළුවාටයි බේත් දෙන්න ඕන..

මොනව හරි බොමුද රමී..?

බියර් එකක්..?

මං එහෙම අහනකොටත් ඉසුරු කාර් එක සුබාෂි ගෙස්ට් එක ඇතුළට දාලා ඉවරයි.

ඉතිං..?

බියර් හතරක් ඕඩර් කරල ඉසුරු ලී පුටුවට හේත්තු වුණා. අපි හිටපු ශාලාව අයිනෙන්ම තිබ්බෙ රූම්ස් වලට යන්න තියෙන කොරිඩෝ එක. ඒ වෙනකොටත් කොරිඩෝ එකෙන් එහා පැත්තෙ ලවර්ස්ලා කියල හඳුන්වන්න පුළුවන් කපල් දෙක තුනක්ම හිටියා.

රමියා..?

කොහෙදෝ ඈත අන්තෙක අතරමං වෙලා තිබ්බ මගේ ඇස් දෙක ඉසුරු උගේ දිහාට හරවගත්තා.

උඹ මෙහෙම අවුල් වෙලා ඉන්නව දකිනකොට මාත් වැටෙනව බං..

ඒකෙ ආයෙ හෝඳන්න දෙයක් නෑ.. ඉසුරු දැනටමත් වැටිලා කියල මට තේරුණා..

රමී..?

ඇ.. ඇයි..?

මෙච්චර වෙලා ළඟම එකෙක් මැරල වගේ ලෝ ස්කේල් එකෙන් කතා කරපු ඉසුරුගෙ කටහඬේ යම්කිසි ගතියක් තිබුණා.

බලපං අර කෙල්ලගෙ ස්කර්ට් එකේ කොට..

මූටත් ඉඳලා හිටලා හරි අර කාටද වගේ කෙල්ලන්ගෙ අවයව පිළිබඳ හැඟීමක් එනවා. ඒකත් හොඳයි අප්පා. නැත්තං ඉතිං මුගේ ලෝකෙ තියෙන බුරුත, නැදුන්, තේක්ක, මිල්ල, ගම්මාලු, සීරිය මාරනේ.

මොනව උනත් ඉසුරුගෙ කතාවට අපි ගාවින් කලබලයෙන් වගේ ඈත් වෙලා යන කෙල්ල දිහා මං බැලුවා. පැත්තට දැක්කා උනත් මගේ මොලේ අලුපාට සෛල එකින් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැකල පුරුදු මූණක්.. ඒත් ඒ කොහෙදිද කවදද මං ඒ මූණ දැක්කෙ. සෑහෙන තරමක් නිරාවරණය වෙලා තිබ්බ කකුල් දෙක දිගේ, ආයෙත් වතාවක් පල්ලෙහා ඉඳන් ඉහළට මගේ ඇස් දිව්වත් මතකයේ අත ළඟම වගේ තියෙන ඒ මූණ මට මතක් කරගන්න බැරිවුණා.

රමී..

ම්..

කෙල්ලගෙ පස්ස දිහාම බලන් ඉන්නෙ මොකෝ.. ආස හිතුණද..?

පිස්සු කෙලින්නෙපා බං.. මට ඒකිව කොහෙද හරි දැකල පුරුදුයි.. මං ඒකයි කල්පනා කලේ..

උඹට නෝට් නොවිච්ච කෙල්ලෙක් මේ තුන් සිංහලේම නෑ.. හම්.. වරෙන්.. චියර්ස් කරමු..

ඉසුරු බියර් එක මග් එක උඩට උස්සද්දි මගේ මතක පරිපතයෙ මෙච්චර වෙලා අවුල් වෙවී තිබ්බ ඡායාරූපෙ ටිකෙන් ටික එළියට ආවා. මුලින්ම පට්ටකලු, ඊගාවට කලු සහ සුදු අන්තිමට වෛවරණ.

මොන චියර්ස්ද..? මෙන්න මෙහෙ වර..

ඇයි රමියා..?

ඒකිව කවුද කියලා මට මතක් වුනා.. වරෙන්..

ඉසුරු පුටුවෙන් නැගිට්ටෙ ඒ තරම් ඕන කමකින් නෙමෙයි. ඌට බම්බු ගහන්න කියලා මං කොරිඩෝ එක දිගේ දුවගෙවන ආවා. මේකි මිස් උනොත් ජීවිතේම මිස් උනා වගේ තමා.

තත්පර ගානකදි කෙල්ල හිටියෙ මට අඩි තුන හතරක් ඉස්සරහින්. බැරි මරගාතෙ නැගිට්ටත් ඉසුරු මගේ පිටිපස්සෙන් දුවන් එන සද්දෙ මට ඇහුණා.

හෙලෝ බේබි..

මං කෙල්ලට හොඳටම ළංවුණා. මගේ වචන දෙකට කෙල්ල හිටපු තැනම ගල් ගැහිලා මං දිහාට හැරුණා. ඒ මූණම තමයි.. ආයෙ හෝඳන්න දෙයක් නෑ.

මාව අඳුනනවද..?

පොලීසියෙන් හරස් ප්‍රශ්න අහන්න පටන් ගත්තෙ කොහොමද, මං වැඩේ පටන් ගත්තෙ ඒ න්‍යායෙන්. අඳුනනවද කියල ඇහුවට කෙල්ලගෙ උත්තරේ හැරෙන තැපෑලෙන්ම නෑ කියන එක කියල මං දැනගෙන හිටියා.

කෝ අර වහුකුණා..?

ම්.. මො.. මොන..?

සමීර..

කෙල්ලගෙ ඇස් දෙක බලන් ඉද්දිම උඩ ගියා. අද උදේ සමීරත් එක්ක ෆිල්ම් හෝල් එක ළඟ හිටපු කෙල්ලව මේ තරම් ළඟට අදුනගන්න බැරි වෙන්න තරම් රමී කියන්නෙ බාල බොළඳ හෝ හපුටෙක් වෙන්න ඕන.

සමීර..?

ඔව්.. මිනිහා ඔයාට කියල නැද්ද මං ගැන..?

න්..නෑ..

සමීරගෙ නමේ අග අකුරු දෙක කියන්නෙ මගේ නම.. දැන්වත් අඳුනගන්න පුළුවන්ද..?

කතන්දරේට බහින්න කලින් මං චූටි මාකටිං පාරක් දැම්මා. ඔය වගේ ලොකු කතා ඕනම තැනකට මාර ගැම්මක් ගේනවා.  කෙල්ල මාව අඳුනගත්තත් එකයි නැතත් එකයි. අනික සමීරයට එහෙමටම පිස්සුවක් නැතිව ඇති උගේ කෙල්ලට මගේ චරිත සහතිකේ ගැන කියන්න.

ර..මී..

අන්න හරි.. ඔයබ බාට තේරුණා ගානට.. මං රමී තමයි..

ඊගාවට මං හිතුවෙ කවුද රමී කියන්නෙ කියල කෙල්ල මගෙන් අහයි කියලා.

සමීරගෙ එකම මල්ලි..

මං හිතුවෙත් නැති විදියට කෙල්ල මාව රූපයෙන් කෙසේ වෙතත් නමෙන් දැනගෙන හිටියා. ඒ කියන්නෙ අයියකාරයා මාව කැත නැතුව අඳුන්වල දීලා තිබ්බා. ජීවිතයේ පළමු වතාවට මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදයා මට ගෞරවයක් දීලා තිබුණා.

අන්න හරි.. අන්න හරි.. ඔයා හරි ට්‍රැක් එකට දැන් ආවා. මං සමීරගෙ මල්ලි තමා.. හැබැයි සමීරට වැඩිය විසයි.. ගඳයි.. සැරයි.. ගෑවුනොත් පලු දානවා..

ඒක නම් මං දන්නවා..

කෙල්ල කිව්වෙ හුරතල් තාලෙට උනත් ඒ හුරතලේ යටින් ලොකු කතාවක් තිබ්බා.

කෝ සමීර..?

මට ඕන උනේ මකුළුවා මිසක් මකුළු දැල නෙමෙයි. ඒ වෙනකොටත් ඉසුරු මගේ ළඟට ඇවිත් තිබ්බා.

කලබල වෙන්න දෙයක් නෑ.. මං මෙතන ඉන්නව රමී..

අපි තුන්දෙනාම, පැත්තකින් තිබ්බ ඕපන් වැරැන්ඩා එක පැත්තට හැරුණා. එතන ඉඳන් ඔලොක්කුවට වගේ අපි දිහා බලන් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි අයියා.. එහෙනම් උඹට මේ වගේ අවස්ථාවකවත් මගේ ඉස්සරහට එන්න ලොකු ගටක් තිබුණා. ඉඳපංකො අඳ උඹේ කලිසම ඔලුවෙන් ගලවන්න.

මේකද තමුසෙගෙ අලුත් සෙල්ලම..?

හර්කියුලිස් යෝධයා වගේ මහා වීරකමකින් අයියා මං ඉස්සරහට එද්දි මං මිනිහගෙ කොලර් එකෙන් අල්ලල මගේ ළඟට ඇදලා ගත්තා. උඹ පුතේ එක වචනයක් හරි හරහට කතා කෙරුවොත් මං නෙළනවා චාර්වක, පුරස්චාර්වක වෙන්න.

ර..මී..

අයියගෙ ඇස් දෙක උඩ ගියා. මිනිහා වීරයා වගේ මං ඉස්සරහට එන්න ඇත්තෙ මං කිසි දෙයක් දන්නෑ කියල වෙන්න ඇත්නේ.

ඔව්.. රමී තමා.. ඇයි තමුසෙට මාව වෙන කවුරුහරි වගේ පේනවද..?

මගේ කොලර් එක අතාරිනවා..

අතාරින්න..? අතාරින්න නෙමෙයි කණ රත් වෙන්න දෙන්න ඕන තමුසෙ කරන බලු වැඩ වලට..

මං අයියව තල්ලු කරල දැම්මා. නොහිතපු විදියට කරපු තල්ලු කිරීමෙන් මිනිහා පැද්දිලා වගේ ගිහිල්ල එතන ඉස්සරහම වගේ තිබ්බ බිත්තියෙ හැප්පිලා නතර වුණා.

බලු වැඩ..?

මිනිහගෙ මූණ දැන් මලගේ වගේ. ඔව් ඉතිං මං මේ හදන්නෙ පාංශුකූලෙ එකක්ම මතක බන කියන්නනේ. මං සුදු කෙල්ල දිහා බැලුවා. ඒකිගෙ මූණත් අවුල් වෙලා. මට දැන් ඕන ඔට්ටුවක් අල්ලතැහැකි. මුන් දෙන්නගෙ මේ බඩකඩිත්තු ප්‍රේම කතාව අදින් මරු දකිනව කියලා. මං ලයිව් ෂෝ එක පටන් ගත්තා.

ඔව්.. අරහෙ ගෑනියෙකුයි ළමයෙකුයි නන්නත්තාරෙ දාලා තමුසෙ මෙහේ පෙම් කෙලින එක..? ඒ අසරණයො දෙන්නා කාත් කවුරුවත් නැති හිඟන්නො දෙන්නෙක් වගේ තට්ට තනියම දාලා තමුසෙ සැප ගන්නෙක.. ඒව බලුවැඩ නෙමේද..? ආ..

හිතේ කේන්තියයි, බඩේ කේන්තියයි, අම්මගෙනුයි තාත්තගෙනුයි අහපු උහුලන්න බැරි කතන්දරයි ඔක්කොම එකට පත්තුවෙලා එළියට ආවා. නැතුව බෑනෙ අප්පා නටන නෙයියාඩම් වල මොනවම හරි අවසානයක් ඕන.. නැතුව මේක විකාශන අයිතිය ගන්න බෑ. කියවල ඉවර වෙලා හොඳ හුස්මක් එළියට පා කරන ගමන් මං වටපිට බැලුවා. ආයෙ හෝඳන්න දෙයක් නෑ සුපිරිම මල ගෙදරක්. කෙල්ල ඇස් දෙක උලුප්පගෙන සමීරයා දිහා බලන් ඉන්නවා. සමීර අත් දෙකෙන්ම නළල දෙපැත්ත තද කරගෙන මිරික ගන්නවා.

මො.. මොකක්ද සමීර මේ කතාවල තේරුම..? ඔයා ගැන මෙයා මොනවද මේ කියන්නෙ..? කවුද මේ ගෑනියි ළමයයි..?

ඔන්න පළවෙනි මිසයිල ප්‍රහාරය එල්ල වුණා. මේ රමී බලාපොරොත්තුවෙන් හිටියෙ ඔය ඇටෑක් එක තමයි. ඉසුරුගෙ මූණ මැදටත් මහා පජාත හිනාවක් ආවා. හරියට සත පහක්වත් නොදී සූරිය මාර ගස් දෙකක්ම බිමට කෙලියා වගේ.

කියන්නෙද.. මේක අහගන්නවා බෝනික්කියෙ.. ඔයා අල්ලගෙන ඉන්නෙ ළමයෙකුයි ගෑනියෙකුයි ඉන්න මිනිහෙක්ව.. ඔයා හින්දා ඒ අසරණයො දෙන්නා වලපල්ලට ගෙනියන්නයි හදන්නෙ..

ඒ ටික නම් මං කිව්වෙ හදවතින්මයි. අන්ත අසරණ හිඟන්නෙක් වගේ සීතලේ වෙව්ල වෙව්ල කැහැ කැහැ ඉන්න අර අහිංසක ලෙඩ දරුවා මට මැවිලා පෙනුණා. කිසිම හව්හරණක් නැතුව තට්ට තනියම ඉන්න දිලිනිව මගේ ඔලුව උඩටම ආවා.

රමී.. මාව විනාස කරන්නෙපා.. ඔය කතාව නවත්තන්න..

මූණ සුදුමැලි වෙලා කෙළ හිඳිල කතා කරගන්න බැරිව වගේ හිටපු සමීරගෙ කට අරුණා. මං දීපු දිගු දුර මෙහෙයුමට මං හිතුවෙ මූට ඇඩ්‍රස් නැති වුණා කියලා.

ඇයි.. ඇයි මං නවත්තන්නෙ..?

ඔ.. ඔය කතාවෙ කිසිම ඇත්තක් නෑ..

අනේ අම්මප.. ඇස් පනාපිට දෙනෝදාහක් ඉදිරියේ මේ තරම් දේවල් සිද්ධ වෙලා තියෙද්දිත් මූ තාමත් දේවාලෙ ගිලපු යකා වගේ මුසාබස් දොඩනවා.

මොකක්..? කිසිම ඇත්තක් නෑ.. තමුසෙ ඔය කටින්ද එහෙමත් නැත්නම් වෙන තැනකින්ද කතා කරන්නෙ.. දැනගන්නවා.. බලු වැඩ කරන මිනිස්සුත් ඉන්නවා.. ඒත් තමුසෙ වගේ බලු වැඩ කරන එකෙක් මං ජීවිතේටවත් දැකල නෑ.. ෂ්හ්.. තමුසෙ මගේ සහෝදරයෙක් කියල කියන්නත් මට ලැජ්ජයි.. තමුසෙ දන්නවද.. තමුසෙ දන්නවද.. අර අහිංසක අම්මයි තාත්තයි දෙන්න හිතන් ඉන්නෙ තමුසෙගෙ ගෑනියි ළමයයි මගේ කියලා.. කවුද මී හරකෙක් මගේ නම ගෙදරට දීලා තියෙන්නෙ..

මොකක්..?

ඇයි තමුසෙට පුදුමද..? හැමදේම ගානට තිතට නූළට හොරෙන් කරාට මේ වගේ පට්ට චාටර් වෙයි කියල හිතුවෙ නෑ නේද..? හෙන ගහනකොට පැනි වරකෙත් පැණි ගතිය නැති වෙනව මිනිහො..

කවදාවත් නැති විදියට මං කියවගෙන ගියා. මට කොහෙන් මේ ආවේගය ආවද මංදා.. අයියගෙ ඇස් දෙක උඩ ගිහිල්ලා නළලෙ පැති හතරක් පහක්ම වැටිලා මූණ සුදුමැලි වෙලා තිබුණා. පේන විදියට නම් මිනිහට වාවගන්න බැරිවුණා. ගහෙන් ගෙඩි එන්න වගේ සිද්ධ වෙච්ච මේ සිද්ධිය. ඒ එක්කම තමයි මං දැක්කෙ අයියගෙ ළඟම ඉඳපු සුදු කෙල්ලගෙ මූනෙ තිබ්බ කිලෝ මීටර් ගානක දිග මහා දැවැන්ත කේන්ති රාජයා.. හපේ අප්පේ.. පළවෙනි කොටුවෙ ඉඳලා දොළොස්වෙනි කොටුව දක්වාම කේන්තිය විතරයි.. කොටින්ම සුදු කෙල්ල හිටියෙ කොයි වෙලාවෙද අයියකාරයගෙ කන් අඩිය පලන්නෙ කියල වගේ. ඒ තරම් බරපතල පෙනුමක් ඒ මූණෙ තිබ්බෙ.

තමුසෙ මගේ සහෝදරය තමා.. ඒත් මේ දේවල් නොකියබෑ.. කොටින්ම.. ඕන බලු වැඩක් තමුසෙ කරනවා.. මට ප්‍රශ්නයක් නෑ.. ඒත් කොහේවත් ඉන්න අයට ඒ බර කරගහන්න තියන්නෙපා.. තේරුණාද.. මාව තමුසෙට දිරවන්නෙ නැතිවෙන්න පුලුවන්.. ඒත් මාව මේ වගේ පජාත විදියට බිලි දෙන්නෙපා.. තේරුණාද..?

මං කාවවත් බිල්ලට දීලා නෑ රමී..

නෑ..? ආයෙ කියනව බලන්න.. ආයෙ කියනව බලන්න.. එතකොට අම්මයි තාත්තයි බෙල්ලෙන්ම අල්ල ගත්තෙ තමුසෙගෙද..? නෑ.. නෑ.. මිනිහො.. තනිකරම මගේ.. මේ කොහෙවත් ඉඳපු අහිංසක මගේ..

කතාව දැන් ඇති කියල කියන්න වගේ ඉසුරු මට ඇහැක් ගැහුවා. ඒත් ඒ තනි ඇහැට නවත්තන්න පුළුවන් තරමෙ දෙයක් තිබ්බෙ නෑ. මං තවත් කියවන්න ට ඇරියත් අයියා කතාව පටන් ගත්තා.

ඔ.. ඔයා පටලවගෙන රමී.. ඒ මදිවට අම්මයි තාත්තයිත් පටලවගෙන.. මං.. මං ඒක එයාලට තේරුම් කරල දෙන්නං..

මේකා සුදු කෙල්ල ඉස්සරහ තනිකම සුදු චරිතයක් ඇක්ට් කරන්නයි යන්නෙ.. ඕවට තමා ඉතිං ඇඟේ මාලු, මාලු ලෑල්ල උඩ නටනව කියන්නෙ..

තේරුම් කරන්න..? මොනව තේරුම් කරන්නද මිනිහො.. මේ කතාව බොරුව කියල කියන්නද හදන්නෙ.. එතකොට අර සුමංගල පාරෙ ඉන්න ගෑනියි ළමයයි මගේද..? ඒ අසරණයො දෙන්න ගැන තමුසෙ මොකුත් දන්නැද්ද..?

ඔය කියන අයත් එකක් මගේ කිසිම සම්බන්ධයක් නෑ රමී.. ඔයා හැමදේම පටලවගෙන..

ඒ පාර නම් මට මලේ මල.. ඉසුරුටත් නහුතෙටම යකා නැග්ගා කියලා මට තේරුණා. ඒ නැගිල්ල හන්ද ඉසුරු හැමදේම තත්පරේට දෙකට කාබාසිනියා කරල දැම්මා.

අපි පටලවගත්තු රෙද්දක් නෑ සමීර අයියෙ.. උඹ තමයි හැම ලබ්බම පටලවගත්තෙ.. උඹට මතක නැත්තම් මං මතක් කරල දෙන්නං..පෙරේදා රෑ දහයෙ ඉඳලා එළිවෙනකම් උඹ ඒ ගෙදර ඇතුළෙ මොකද කරේ.. පොල් ගෑවද..? ආ.. මට කියපං..

ඉසුරුගෙ කතාවට සමීර ගල් ගැහුනා කියලා මට තේරුණා.. ඇටෑක් එකක් ආවත් මේ වගේ මිහිතලය හෙල්ලෙන ඇටෑක් එකක් එයි කියි කියලා මිනිහා කීයටවත් හිතන්නෙ නැතුව ඇති.

උඹට බැරි නම් කමක් නෑ සමීර අයියෙ.. ඒත් උඹ කරන අනේක කුපාඩි වැඩ වලට අපේ එකාව මාට්ටු කරන්නෙපා.. රමී අහිංසකයි.. උඹ දන්නවද..? උඹ දන්නවද..? මායි රමියයි නැත්තං උඹේ පුංචි එකා මැරෙනවා කියලා.. උඹ ගෑනි ඒ පට්ට රෑ මොනතරම් තනිවෙලාද හිටියෙ.. අපිනේ මනුස්සයො ඒ පුංචි එකාට බේත් ටික පවා අරන් දුන්නෙ.. සෙම හිරවෙලා පුංචි එකා මැරෙන්න හදනකොට උඹ විශ්වාස කරපං.. මේ රමී තමයි පහත් වෙලා නහයට කට තියලා සෙම ඇදලා සෙම කැටිය එළියට ගත්තෙ..

කියන්න ඕන නැති කතාවකුත් ඉසුරු කියල ඉවරවෙනකොට උගේ කටේ කෙලත් හිඳිලා තිබුනා. මෙතනින් එහාට මෑන් වචනයක් කතා කරන්නෙ නෑ කියලා මං නිට්ටාවටම දැනන් හිටියා.

මගේ අයියා හින්දා තමුසෙව මෙහෙම අතාරින්නෙ.. නැත්නම් දෙයියන්පල්ලා මෙතනම භූමදාන කරලයි පස්ස බලන්නෙ.. මේ කරපු පරට්ට තිරිසන් වැඩේට.. හ්ම්.. දැන්වත් ඉතිං මනුස්සයෙක් වගේ ගිහින් අර අහිංසකයො දෙන්න ගෙදර එක්කං එනවා.. තමුසෙට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ..

ඒගොල්ලො ගෙදර එක්කං ආවම මට මොකද වෙන්නෙ..?

පැත්තකට වෙලා ඉඳපු සුදු කෙල්ල මැද්දට පැන්නා.

ඔන්න ඕකනේ හත්තිලව්වෙ කරන්න බැරි.. මේ තරම් යස අගේට අතක් පයක් නොකැඩි ප්‍රශ්නෙ බේරල තියෙද්දි මේ නෑම්බි එනවා මල පුප්පන්න.

ඔයාට නම් සුදූ.. පාඩුවෙ පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ආතල් එකේ ඉන්නයි තියෙන්නෙ. බැරිම නම් මංගල කිංකිණි එකට ඇඩ් එකක්වත් දාන්න..! එනව මෙතන නහය උඩින් වතුර ගිහිල්ල තියෙද්දි ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින්න..

ඒ පාර පැත්තකම ඉඳපු ඉසුරුත් කතාවට පැන්නා. හැබැයි ඌ කියපු මුල් ටික මට තේරුනත් අන්තිම ටික නම් මට තේරුනේම නෑ. ඌ උඵමාව පටලවගෙනද කොහෙද කිව්වෙ.

ඇඩ් දාන්න..? දෙන්නම් මං හොඳ ඇඩ් එකක්..

තත්පරයක් ගියේ නෑ.. කෙල්ල විදුලියක් වගේ අයිය ඉස්සරහට ආවා. ඒ ආපු ගමන්ම අත දිගෑරලා හොඳ සනීපෙට අපේ එකාගෙ වම් කම්මුලට පත බාල ඇරියා. මටයි ඉසුරුටයි ඇහුනෙ චටාස් කියන සද්දෙ විතරයි.

තමුසෙගෙයි මගෙයි හැම දෙයක්ම.. ඔව්.. හැම දෙයක්ම ඉවරයි.. තමුසෙ මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.. තමුසෙ මහ කැත සතෙක්..

කෙල්ල ඒ ටික විතරයි කිව්වෙ. හැරෙන පයින් පිඹ පිඹ අපි ගාවින් දුවගෙන ගියා. කතාව කිව්වෙ සමීරට උනත් ඒක මටයි ඉසුරුටයි දෙන්නටම වැදුනා. මං හෙමින් සීරුවෙ අයියා දිහා බැලුවෙ ඒකයි. මුළු මූණම කේන්තියෙන් පුරවගෙන, මාව මරන්න ඕන කොහොමද කියල හිත හිත ඉන්න සහෝදරයෙක්ව දකින්න මට ඕන උනත් ඒ මූණ මැද තිබ්බෙ අහිංසක අන්ත අසරණ පෙනුමක්.. කියාගන්න බැරි මහා දරුණු පරාජයක්.

ඔ.. ඔයා මේ මොකක්ද කරේ රමී..? ඔයා මොනවද කෙරුවෙ.. ඔයා මගෙ හැමදේම විනාස කරා.. ම.. මං කොහොමද ආයෙ ඔලුව උස්සන්නෙ..?

මැරෙන්න පණ අදින මිනිහෙක්ගෙ කටින් වචන කැඩි කැඩි ගලනව වගේ අයියගෙ කටින් වචන බොහොම අමාරුවෙන් එළියට ආවා. ඒත් මට මිනිහා ගැන පුංචි දුකක්වත් ආවෙ නෑ. මගේ හිතේ තිබ්බෙම අර සුමංගල පාරෙ ඉන්න පුංචි එකාගෙ අන්ත අසරණ මූණ. ඒ පුංචි එකාට අද ඉඳන්වත් රැකවරණයක්, සදා කාලික ආදරය දෙන්න ඕන වෙලයි මට තිබුණෙ.

විනාස උනාට කමක් නෑ.. ඔලුව උස්සන්න බැරි උනත් කමක් නෑ.. අර පුංචි එකාවයි, තමුසෙගෙ ගෑනිවයි ගෙදර එක්කන් එනවා.. තමුසෙට ප්‍රශ්නයක් නොවෙන්න මං ගෙදර පරිසරේ හදල දෙන්නං..

ඒක.. ඒක කවදාවත් වෙන්නෑ රමී..

ඇයි..?

මට එයාලව එක්කං එන්න බෑ.. මං ඒක කොහොමටවත් කරන්නෑ..

මගේ යකා ඒ පාර නම් නප්පියටම නැග්ගා. මොන කුණුහරුපයක්ද මේ කැලෑ සතා මේ දොඩවන්නෙ. මේ හාල්පාරුවට මේ තරම් කියලත් උගේ ආදරේ ඇස් ඉස්සරහම දෙකට තුනට කඩලම දාලත්, දෙනෝ දාහක් ඉස්සරහ කණ පැලෙන්න කම්මුල් පාරක් කාලත් මුගේ උපන් අමනකම ගිහින් නෑනෙ.. තවත් නම් ඉතිං මූට ධර්මෙන් කතා කරල හරියන්නෑ..

එහෙමද..? ඒක කවදාවත් වෙන්නෑ කියලා තමුසෙ කිව්වට ඒක අදම වෙනව තේරුණාද..? තමුසෙට එතකොට උණ ගැනෙයි.. දැන්මම පැනඩෝල් බොනවා..

ඔ.. ඔයා මොනවද කරන්නෙ රමී..

මං පුංචි එකාවයි තමුසෙගෙ ගෑනිවයි ගෙදර එක්කං එනවා.. එතකොට මේ ලෙඩේ නිට්ටාවටම සුව වෙයි..

එපා රමී.. එපා.. මං ඒ දේට කැමති නෑ.. ඔයා ඔය කරන්න යන්නෙ ලොකු වැරැද්දක්.. මං කියන දේ ඩිංගක් අහන්න..

අනේ තමුසෙගෙ බණ.. අපි යමං ඉසුරු..

මං ඔයාට හැමදේම කියන්නම් රමී.. ඔය වැඩේ කරන්නෙපා..

හැමදේම කියල කිව්වට සමීරයට තව මොනවද අප්පා කියන්න තියෙන්නෙ.. මමයි ඉසුරුයි දෙන්නම හැමදේම දන්නවනේ.. මේකා අර මෙගා නාට්‍යවල වගේ ගියපු ඒවමද කොහෙද ආයෙත් ටෙලි කාස්ට් කරන්න හදන්නෙ. මං ඉසුරුත් ඇදගෙන කාර් එකට ආවා. ඌ පටස් ගාලා කාර් එක ස්ටාර්ට් කරගත්තා. ඒ එක්කමයි ඉසුරු මං දිහා බැලුවෙ.

මොකෝ බං..?

බියර් බෝතල් ටික..

ඒවා තිබුණාවෙ.. අපි මේ කතන්දරේ ඉවර කරලම ඇවිත් පාටියක් දාමු.. ටිකක් සැර ඒවත් එක්කම.. නැත්තං ඔන්න ඔහේ අල්ලලා දාමු.. හ්ම්.. දැන් ඉතිං ලෑල්ලට පාගහං.. මට ඩිංගක්වත් පරක්කු වෙන්න බෑ..

සුමංගල පාරටද..?

ඔව්.. දරුවයි කෙල්ලයි ගෙදර ගේන්න ඕන..

ගෙදර අවුලක් වෙන එකක් නැද්ද රමී..?

අවුලක් ආවත් කරන්න දෙයක් නෑ..

කාර් එක එක තැන රේස් කරල ඉස්සරහට අරගෙන ඉසුරු නයිට් රයිඩර් පාට් එකක් ඇට් කරන්න ගත්තා.

එහෙනම් සමීරගෙ ආදරණිය ආදරේ අපි දෙන්නා එක්කහු වෙලා අභාවප්‍රාප්ත කරල දැම්මා.. හහ්.. හහ්.. හා..

ගියපු ස්පීඩ් එකෙන්ම කිසිම අවුලක් නැතුව අංශක හැත්තෑපහක විතර කෝනෙකින් ඉසුරු කාර් එක සුමංගල පාරට දැම්මා. කාර් එක ටිකක් විතර පැද්දිලා ඇලවෙලා ගියත් ඉසුරු භාන්ඩෙ කොන්ට්‍රෝල් කර ගත්තා.

දැන් එතකොට අපි මේ යන්නෙ..?

ඔව්.. අපි දැන් යන්නෙ..

ඒ අභාවප්‍රාප්ත උන උගෙ ආදරේ අවසාන කටයුතු ටික සිද්ධ කරන්න..

ඉසුරු උස්සපු අතට පහක් දාන ගමන් මං කිව්වා. සමීරයා මේ වෙලාවෙ පිස්සු හැදිච්ච අබරන් සීයා වගේ මුල්ලක් අල්ලගෙන වැලපෙනවා ඇති. ඇයි අප්පා.. මොනව කරලවත් ඌට වැඩේ ගොඩදාගන්න බැරි උනානෙ.


No comments:

Post a Comment