Friday, January 18, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


පහුවෙනිද උදේ මං ඇහැරෙන කොට ගෙදර මෙලෝ සද්දයක් බද්දයක් නෑ. ගෙදර මිනිස්සු හැමෝම ලෙඩ වෙලාද..? එහෙමත් නැත්නම් කොහේ හරි ගිහින්ද..?

මගේ හිතට එබුණු ප්‍රශ්න පත්තරේ ඒක තමයි.

“රමී..”


ඇඳෙන් බැහල පට්ට නිදිමතේ සාලෙ පැත්තට එද්දි අම්මගෙ කටහඬ ඇහුණා. නිදිමත ඇස් පිහාටු උස්සල බලද්දි තමයි මං දැක්කෙ තාත්තයි අම්මයි දෙන්නම සාලෙ වාඩිවෙලා ඉන්න හැටි. හත්තිලව්වේ මේ රමියට හතළිස් ඇඳිරියද මංදා.. මේ ඉටි රූප දෙක නොපෙනී ගියේ.

“ඩිංගක් මෙතනින් වාඩිවෙන්න..”

තාත්තගේ කටහඬේ අවුන්සයක් විතර බර ගතියක් තිබුණා. මොකක් හරි අවනඩුවක්ම තමා. මගෙ හිත හෙමින් සීරුවෙ කුණු කුණු ගෑවා. හැබැයි ඉතිං අයියකාරයත් මෙතන නෑ. ඒකගෙ මෙලෝ හැල හොල්මනක් ඇත්තෙත් නෑ. අවනඩුවක් නම් ඒකෙ කුමන හෝ හාල් කෑල්ලකට හරි සමීරයා කැත නැතුව ගෑවිලා තියෙන්න ඕන. ඒකයි සාමාන්‍ය තියරි එක.

“ඇයි තාත්තා..?”

“රමී.. අපිට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න ඕන..”

“හරි.. අපි කතාකරමු..”

“රමී.. ඔයා ඔය රෑ පානෙ යන ගමන් බිමන් හැම එකක්ම නවත්තන්න ඕන.. ඕව කොහෙන් ගිහින් මොන පැත්තෙන් කෙලවර වේවිද කියල කවුද දන්නෙ..?”

“මොන රෑටද තාත්තා..?”

“ඒක මගෙන් අහන්නෙපා රමී.. මං කියන දේ විතරක් හිතන්න.. මටයි අම්මටයි ඉන්නෙ ඔයයි අයියයි විතරයි.. ඒ අතරින් ඔයාව විනාස වෙනව දකින්න අපිට බෑ.. බලන්න අයියා.. කොයිතරම් හොඳද.. ඔෆිස් ගිහිල්ල ඇවිල්ලා කාමරේ ඇතුළට යනවා.. නිකමටවත් කාමරෙන් එළියට එන්නෑ.. කිසිම රස්තියාදුවක් ගහන්නෙ නෑ.. ඒකටත් එක්ක ඔයා..”

හප්පේ.. ඔන්න බලපල්ලකො.. රමියට ඇදිල තියෙන සූරන ලොතරැයියෙ තරම. සමීරයා කොයි තරම් හොඳද කියල තාත්තා මගෙන් අහනවා. දෙයි හාමුදුරුවනේ ඒ වගේ ආතල් ප්‍රශ්නයක් ජීවිතේටම මං ඔය ඇහුවමයි.

“මං මොකක්ද කරේ තාත්තා..?”

“ඔයා මොනව කරනවද කියල අම්මයි මායි දන්නෙ නෑ.. ඒව දන්නෙ ඔයා.. පුංචි කාලෙ වගේ ඔයාගෙ පස්සෙන් හැමදේටම දුවගෙන එන්න අපිට දැන් බෑ.. ඔයා, ඔයා ගැන හිතනව වගේම අපි ගැනත් හිතල ඔය රෑ ගමන් බිමන් නතර කරල දාන්න. ඒක අපි කාටත් හොඳයි.”

“අනේ ඔව් රමී..! අයිය වගේ ගේ ඇතුළට වෙලා ඉන්නකො.. එතකොට අපිටත් හිතේ සැනසිල්ලයි..”

මේවට මොනවද බං මං කියන්නෙ.. අයිය වගේ ගෙදරට වෙලා ඉන්නලු. බලන් ගියාම ගෙදර නැත්තෙම ඌනෙ.. ඌ ගෙනියන මේ මහා කූට වැඩ පිළීවෙල කොයි තරම් අනගි භවනීයද..? කොයි තරම් අර්ථවත්ද..? රමී සිරා බුවෙක් උනත් අම්මටයි තාත්තටයි පේන්නෙම රමීගෙ අඩුවක් තමයි. මොන දෙයියන්ටද හත්තිලව්වෙ මේව කියන්නෙ.

“හොඳයි අම්මා.. ඔයාලා කියන විදියට මං ඉන්නම්.. ඔයාලගෙ හිත රිඳුනා නම් සමාවෙන්න..”

අම්මගෙයි තාත්තගෙයි මූණවල් දෙක මං හිතුව වගේම එළිය වුණා. මං මොකටද මේ අහිංසක හිත් තලල පොඩි  කරල දාන්නෙ.. පුලුවන් තරම් එයාලට සැනසීමක් දැනෙන්න වැඩ කරනව මිසක. කල්පනාවෙන් කල්පනාවෙන් ටිකක් දුර ගියාම මට තේරුනේ මේ කතන්දරේ කොයි තුන් මුල්ලට හරි අයියකාරයා ගෑවිලා ඉන්න ඕනෙ කියල. අනිවාර්යෙන්ම අම්මයි, තාත්තයි ඔය කරපු කතාබහේ නිර්මාතෘවරයා, අධ්‍යක්ෂකවරයා, නළුවා අයියකාරයම තමා. මෑන්ට ඕන මධ්‍යම රාත්‍රියෙන් මෙහා මාව ගෙදර නවත්තන්න. එතකොට මිනිහගෙ රෑට යන හැම ගමනක් බිමනක්ම ඉතා ආරක්ෂා සහිතයිනෙ. කමක් නෑ. සීත සමීරයො.. ඔහොම යං.. උඹ හිතන් ඉන්නෙ පෙරහැර ගිහිල්ල අලි බෙටිත් වේලිලා කියලනේ.. උඹට හොඳටම වැරදිලා. තාම මල් බයිසිකල් කාරයොත් ආවෙ නෑ බං.. ගේම තාම එතනමයි..


ළමා නිවාසෙ ගේට්ටුවට මෙහායින් බයිසිකලේ නවත්තල මං වත්තට ඇතුල් වුණා. අඩි තුන හතරක්වත් මට තියන්න හම්බ උනේ නෑ. දිමුතු ඉස්සරහට දුවගෙන ආවා.

“රමිත අයියා....”

අහිංසක මුව පැටියෙක් වගේ තෙත් වෙච්ච ඇස් දෙකක් තිබ්බ දිමුතුගෙ මූණෙ තිබ්බෙ බයවුණු ගතියක්.

“ඇ.. ඇයි දිමුතු..?”

“ඔ.. ඔයා ආපු එක හොඳයි..”

“මං එනවට ඔයා කොහොමත් කැමතියිනේ.. ඇයි කියන්න මේ බයවෙලා වගේ..”

“අ..නේ.. රමිත අයියා..”

“ඇ.. ඇයි ඔයාට ආයෙමත් අමාරු උනාද..?”

මගේ හිතට ලොකු බයක් දැනුණා. ඒත් මං එහෙම ඇහුවට දිමුතුගෙ මූණෙ අසනීපෙක ලකුණු මං දැක්කෙ නෑ.

“නෑ..”

“එහෙනම්..?”

“කවුරුහරි කෙනෙක් මාව හොයනවා..”

“මොකක්..?”

“ඔව්.. පහුගිය දවස්වල මේක ඇතුළෙ ඉන්න ළමයින්ගෙනුයි වැඩ කරන ඇන්ටිලාගෙනුයි මගේ විස්තර අහල තියෙනවා..”

“කවුද අහල තියෙන්නෙ..?”

“ටිකක් වයසක කෙනෙක්ලු..”

“ෆාදර් හිටියෙ නැද්ද..?”

“ඒක නම් දන්නෙ නෑ.. අනේ මට ලොකු බයක් දැනෙනවා රමිත අයියෙ..”

පුංචි කෙල්ල මගේ අතේ එල්ලුණා. ජීවිතයෙ හිමි වෙන්න ඕන හුඟක් දේවල් අහිමි වෙලා ගියපු මේ අසරණි ගැන මගේ හිතේ තිබ්බ දුකට තවත් මහා විසාල දුකක් එකතු උනා.

“ඔයා බයවෙන්න එපා දිමුතු.. මේ රමිත අයියා ඉන්නකල් ඔයා කාටවත්ම බය වෙන්න ඕන නෑ..”

“ඉතිං මං ගැන අහල තියෙන්නෙ කවුද දන්නෑනෙ..”

“ඒක අපි හෙමීට හොයාගමු.. ඔයා කලබල නොවී ඉන්නකො.. වෙනදට වැඩිය ටිකක් අවධානෙන් ඉන්න කියල ඇතුළෙ අයට කියන්න. ඔයාගෙ විස්තර අහන කෙනාගෙ ෆොටෝ එකක්  ගන්න කියල හෑන්ඩ් ෆෝන් තියෙන කෙනෙකුට කියන්න..”

“අපිට හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කියල ඔයා දන්නවනේ රමිත අයියෙ..”

“එහෙනම් වැඩ කරන කෙනෙකුට ගන්න කියමු.. කෝ දැන් ෆාදර්..”

“උත්සවේකට ගියා..”

“උත්සවේකට..?”

“ඔව් රමිත අයියා.. අර ලංකාවෙ ෆාදර් කෙනෙකුට මොකක්දෝ ලොකු තනතුරක් පිටරටකදි හම්බ වුණේ..? අන්න ඒකෙ උත්සවේට සහභාගි වෙන්න.. එනකොට හවස් වෙයි..”

තව ටිකක් වෙලා ඉඳලා දිමුතුගෙ හිතත් සන්සුන් කරල මං පාරට ආවා. ඒත් මගේ හිත ටිකක් කැලඹිලයි තිබුණෙ. දිමුතුගෙ විස්තර හොයන්න උත්සහ කරපු පුද්ගලය කවුද..? මගේ හිතේ උඩින්ම තිබ්බ ප්‍රශ්නෙ ඒකයි. වැඩේ කියන්නෙ ෆාදරුත් මේ වෙලාවෙ නැති වෙච්ච එකනේ.

හතර අතටම කල්පනා කර කර යද්දි තමයි මගේ මොබයිල් එක රින්ග් උනේ.

“රමියා..”

“කියපං.. මං අහන් ඉන්නෙ..”

කෝල් එක අරන් තිබුණෙ ඉසුරු.. ඌ ඉන්න පැත්තෙන් හෙණ බර සාර සද්ද වගයක් ඇහෙනවා. හුඟක් වෙලාවට චේන් ෂෝ එකකින් ගස් කපනව වෙන්න ඇති.

“උඹ කොහෙද ඉන්නෙ..?”

“අනාථ නිවාසෙ ළඟ..”

“කවුරු හරි කෙල්ලෙක් උඹ ළඟ නෑනෙ..?”

මේකට නම් ඉව තියෙනවද මංදා.. දැන් ඩිංගකට කලින් දිමුතු හිටියනේ..

“පිස්සු කියන්නෙපා බං.. මොකක්ද කෙරෙන්න ඕන..?”

“තරහ නැතුව ගිහින් නංගිව ගනිං.. එයාට අද ක්ලාස්.. මං එනකන් බලන් ඇති..”

මං මෙලෝ සිහියක් නැතුවම කෝල් එක කට් කලා. මේවට තමයි කියන්නෙ. මග  හිටියොත් තෝ නසි.. ගෙදර ගියොත් ඒත් තෝම නසී කියලා.. මේක නම් කොහොමටවත් හරියන කතන්දරයක් නෙමෙයි. කලින් දවසෙ මතකනේ නදිනි ඇවිල්ල වෙච්ච ගන්දස්කාර සිද්ධිය.

මේක තවත් ඒ වගේ එක්ක නෙමෙයි කියල කාටද උපකල්පනය කරන්න පුළුවන්. අනික ඉමාෂිගෙ ඇස් දෙකේ තියේනනෙ අමුතුම කතාවක්. ඕකෙන් මේකෙන් මගෙයි ඉසුරුගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එකට බබා හම්බ වෙයිද දන්නෑ.

වෙළඳ මධ්‍යස්ථානෙ ගොඩනැගිලි දෙකට මැද්දෙන් තිබ්බ පටුපාරෙ ටිකක් දුර ගියාම ඉමාෂි යන ගෘප් ක්ලාස් එක තිබ්බෙ. බයික් එක වෙළඳ මධ්‍යස්ථානෙ ළඟ පාක් එකේ දාලා මං පයින්ම ඉස්සරහට ආවා. මගේ ඔලුවෙ තිබ්බෙ ඉමාෂිව ත්‍රීවිල් එකක නග්ගල ගෙදර යවන එකයි. හැබැයි ක්ලාස් එක ඉවර වෙලා ටික්ක වෙලා කියල මට තේරුනේ ළමයි කවුරුවත්ම ක්ලාස් එකේ බිල්ඩින් එක ගාව හිටපු නැති හන්ද. ඒ වගේම කිසිම ළමයෙක් මට ඉස්සරහට හම්බ වුණෙත් නැති හන්ද. බලන් ඉඳල ඉඳලා ඉමාෂි ත්‍රීවිල් එකක් අරගෙන ගෙදර ගියාවත්ද කියල මට හිතුණා.

ඉසුරුට කෝල් කරල මේ ගැන කියන්න හදනකොටම තමයි බිල්ඩින් එකට ටිකක් එහායින් තිබ්බ වැලි පාර දිහාවෙන් ටිකක් ලොකු කසු කුසුවක් ඇහුණෙ. මගේ අවධානෙ මුලුමනින්ම ඒ කටහඬ අර ගත්තා.

“ඇයි මට මෙහෙම කරන්නෙ.. මං ඔයාට වැරැද්දක් කරල නෑ..”

කසුකුසුවක් උනත් ඒ ඇහිච්ච කටහඬ රංගනයගෙ කියල මං අඳුනගත්තා. මගේ හිතට එක පාරටම ගලාගෙන ආවෙ මහ විසාල කේන්තියක්. මේ හාල්පාරුව මොන ඉඳි ඇටයක් කරනවද මේ හරියෙ ඉඳලා.

“ඇ.. ඇයි.. ඇයි දෙයියනේ ඔයා මගෙත්තෙක්ක කතා කරන්නැත්තෙ.. මං ඔයාට මොනාද කෙරුවෙ.. මං ගැන ඔය කියන කතා හැම එකක්ම බොරු.. මම ඒක ඔප්පු කරල පෙන්නන්නම්..”

මට ඒ වෙනකොටත් ඇහුණෙ රංගනගෙ කටහඬ විතරයි. ඒත් මිනිහ කතා කරන්නෙ ඉමාෂි එක්ක කියල මට සීයට දෙසීයක්ම විශ්වාසෙ තිබ්බා. නැතුව ඒකා ගහකට ගලකට කතා කරනව වෙන්න බෑනෙ. මං මගේ කන් දෙක තව ඩිංගක් ඒ පැත්තට සුසර කලා.

“මං හුඟක් ඉවසුවා ඉමාෂි. ඔව්.. හුඟක් ඉවසුවා.. කවදාවත් කිසිම කොල්ලෙක් ඉවසන් නැති ඉවසිල්ලක් මං ඉවසුවා.. ඒකනේ.. ඔයයි.. ඔයාගෙ අයියයි හිතුවෙ මට කිසිම පිරිමිකමක් නෑ කියලා.. එහෙමනේ..”

“රංගන.. මට ඔයත්තෙක්ක කිසිම කතාවක් නෑ.. මට කරදර කරන්නැතුව මෙතනින් යන්න..”

ඔන්න දැන් තමයි ඉමාෂිගෙ කටහඬ ඇහුණෙ. මං තවත් ටිකක් එයාට ළංවුණා. පටුපාර මැද හරියෙ ඉමාෂියි, රංගනයි දෙපැත්තට වෙලා ඉන්නවා, හරියටම මං දැක්කෙ එතකොට. ප්ලෙයාඩ් විදියට මහපු කලුයි සුදුයි මික්ස් වෙච්ච ගවුමක් ඇඳල හිටපු ඉමාෂිකෙ කවදාවත් නොදැකපු තරමෙ ලස්සනක් මං දැක්කා. ඉමාෂිගෙ ලස්සන ගැන මට මෙච්චර කාලෙකට හිතුනෙ නැත්තෙ ඉසුරු හන්ද.. ඒ වගේම එයා රංගනත් එක්ක යාලුවෙලා හිටපු හන්දා..

“ඔයා මටද යන්න කියන්නෙ..”

“ඔව්.. ඔයාට තමයි.. අපි අතරෙ දැන් කිසිම සම්බන්ධයක් නෑ.. ඔයා කවුද කියන්න මං දන්නවා.. ඔයා මොන වගේ කෙනෙක්ද කියලත් මං දන්නවා.. මේ පහුවෙච්ච කාලෙ මං ඒ හැමදෙයක්ම තේරුම් ගත්තා. තවත් මගේ පස්සෙන් ඇවිත් වැඩක් නෑ රංගන..”

“ඔයා මොනවද මේ කියන්නෙ..?”

“ආත්ම ගාණක් ගියත් මිනිහෙක්ව හරියකට තේරුම් ගන්න බෑ කියල මිනිස්සු කියනව මට ඇහිල තියෙනවා.. ඒත් මං මේ පුංචි කාලෙද ඔයා කවුද කියන්න තේරුම් ගත්තා..”

එතැන ඉඳලා විනාඩි දෙක තුනක් යනකන් අවුල් සහගත විනාඩි ගාණක් ගෙවල ගියා. රංගනවත් ඉමාෂිවත් වචනයක්වත් කතා කෙරුවෙ නෑ. නැති ආදරයක් හින්ද මරාගන්න යන ජෝඩුවක් දිහා මෙහෙම පැත්තකට වෙලා බලන් ඉන්නෙකත් මහා වාතයක්. එයාලා දෙන්න ගාවට යනවද නැත්නම් තව ටිකක් වෙලා බලන් ඉන්නවද කියල මට හිතාගන්න බැරි වුණා.

“ඔයා ඔය හැමදේම තේරුම් ගත්තෙ මිනිස්සු කියන බොරු කතා අහලනේ..”

හනේද කියන්නෙ. ඒ පාර රංගනයා හෙන බෝධිසත්ව පාට් එකක් ඇක්ට් කරන්න ගත්තා. උගේ මධුර මනෝහර වාග් විලාසයට මගේ ඇඟත් කිලිපොලා ගියා. යකෝ මේකා උපන්ගෙයි නළුවෙක්නේ.

“බොරු කතා..?”

“ඔව් ඉමාෂි.. මං ගැන ඔයාට ආපු ආරංචි ඔක්කොම බොරු.. ඒ හැම දෙයින්ම සිද්ධ වුණේ අපි දෙන්නගෙ ආදරේ විනාස වෙච්ච එක. අපි මේ හැමදේම අමතක කරල මුල ඉඳන්ම ජීවිතේ පටන්ගමු..”

ඉමාෂි සම්පූර්ණයෙන්ම සයිලන්ස් වුණා.. ඒ කියන්නෙ කෙල්ල ඇම ගිල්ල කියන එකද..?

“ජීවිතේ පටන් ගන්න..?”

“ඔව්.. ඉමාෂි.. අර කොහෙද යන රමිතය නේද ඔයාගෙ ඔලුව කෑවෙ.. ඌට නම් මොකද.. යන යන හැම තැනම ගෑණුනේ.. ඌ හැදුවෙ ඔයාව මගෙන් උදුරගන්න.. මොකද ඔයා ළඟට විතරයි ඌට ළංවෙන්න බැරි උනේ.. ඒක මං හොඳට දන්නවා..”

කතන්දරේ ගලාගෙන ගිහිල්ල මාරම තැනකට ඇවිල්ල නතර උනා. තමන් කරන දේ ගැන වගේම තමන් කියන දේවල් ගැනත් අධිතක්සේරුවට ආවහම ඕනම මනුස්සයෙක් ඇන ගන්නවා. ඒක කොතෙන්ටත් පොදුයි. සමහර විට රමිත කියන නම මෙතෙන්ට ගාව ගත්තෙ නැත්න්ම රංගන ටිකක් අමාරුවෙන් හරි ගොඩ යන්න තිබුණා. ඒත් උගේ උපන්ගෙයි කරුමෙට මාව ගාව ගත්තා. මගේ නම කියවුණා විතරයි ඉමාෂි ගැස්සිලා ගියා. එයා වටපිට බැලුවෙ බයවෙලා වගේ.

“මොකක්ද රංගන ඔයා කිව්වෙ.. රමිත අයියා ගැන..?”

“මං කිව්වෙ සම්පූර්ණ ඇත්ත ස්ටෝරිය බබා.. ඒකා හැදුවෙ අපේ ආදරේ විනාස කරන්න..”

“ජරා කතා කියන්නෙපා මිනිහො.. රමිත අයිය ඒ වගේ කෙනෙක් නෙමෙයි.. කොටින්ම තමුසෙ වගේ බල්ලෙක් නෙමෙයි..”

“මො.. මොකක්..?”

“ඇයි තමුසෙට ඇහුනෙ නැද්ද..? තව.. තව එක වචනයක් හරි රමිත අයියට කැත විදියට කිව්වොත් මං තමුසෙගෙ කම්මුල පලනවා..”

හපේ අප්පෙ.. වැඩේ ඒ පාර නැගලම යනව.. මං හිතුව වගේම කෙල්ල එකසිය ගානට ඔරොප්පු වුණා. රංගනයා ෂවර් එකෙනුයි පල්ලෙහා ළිඳේ බාල්දියෙනුයි දෙකෙන්ම කැත නැතුව නාගනියි වගේ.

“මොකක්ද උඹ කිව්වෙ..? උඹට ඌව ඒ තරම් ලොකුද.. දැනගනිං.. මං ඌව මරනවා..”

“රමිත අයිය ළඟට කිට්ටු වෙන්නවත් බැරුව තමුසෙ කොහොමද එයාව මරන්නෙ..? අනික තමුසෙ රමිත අයියට පරාන බයයිනේ..”

“උඹගෙ කට හොඳටම වැඩියි ඉමාෂි.. මං උඹත් මරලයි ඌව මරන්නෙ.. එතකොට තොපි දෙන්නටම නින්ද යයි..”

රංගන ඉමාෂි ඉස්සරහට පැන්නෙ එයාගෙ වම් අතින් අල්ලගන්න.. ඒත් ඉමෂි පස්සට පැන්නා. රංගනගෙ අතට අහුවෙන්න ඇත්තෙ අධික ආර්ද්‍රතාවයෙන් යුක්ත වාතය ඩිංගක් විතරයි. මිනිහා ඒකෙන් මද කිපුනා. අන්න ඒ තත්පරේදියි මං සාලිය අසෝකමාලා කපල් එක ළඟට ගියේ. මාව දැක්ක විතරයි දෙන්නගෙම මූණු හුනු කොට්ට වගේ සුදුමැලි වුණා. රංගන වටපිට බැලුවෙ ඌට හැංගෙන්න කූඹි ගුලක්වත් තියෙනවද බලන්න.

“රංගන..”

“ර.. රමිත අයියා..”

“උඹට මාව මරන්න ඕනෙ නම්.. මෙන්න මං උඹේ ඉස්සරහට ඇවිත් ඉන්නවා.. හැබැයි ඒ සාධාරණ හේතුවක් හින්ද නම් විතරයි.. එහෙමනැතුව බල් බල්ලෙක් වගේ බුරන්න ආවොත් චේන් ෂෝ එකක් ගෙනල්ල මං උඹව දෙකට ඉරනවා..”

“ම.. මං මුකුත් කිව්වෙ නෑ රමිත අයියා.. මං ඔයාට විරුද්ධව කිසිම දෙයක් කිව්වෙ නෑ..”

රංගන ඉන්නෙ හිටගෙන බඩ යන සයිස් එකෙන් කියල මං තේරුම් ගත්තා. තවත් ටිකක් ප්‍රෙස් කරා නම් උගේ සිහිය විකල් වෙන්නත් ඉඩ තිබ්බා. ඒ කොහොම උනත් රංගනගෙ චැප්ටර් එක ක්ලෝස් කරල දාන්න මං හිතාගත්තා. මේකා උඩරට, පහතරට, සබරගමු හැම නැටුමක්ම නටනවනේ..

“රංගන..”

“රමිත අයියා..”

“උඹ ඉමාෂිට දාපු කලර්ස් ටික මං හොඳට බලාගෙනයි හිටියෙ. උඹ කියවපු කතන්දරත් මං අහගෙනයි හිටියෙ.. මං වැඩිය මුකුත් කියන්නෑ.. මං හැමදේම ඉමාෂිට කිව්ව කියලනේ උඹ හිතන් ඉන්නෙ.. මං ඉමාෂිට කිසිම දෙයක් කියල නෑ.. ඒත් අද උඹේ පට්ටන්දරේ මට දිග අරින්න වෙනවා..”

“එ.. එපා රමිත අයියා..”

“මේ පහුවෙච්ච මාසෙ උඹ පුංචි කෙල්ලෙක් එක්ක හොලිඩේ රිසෝට් එකක ඉඳලා මගෙයි ඉසුරුගෙයි අතටම අහුවෙච්ච එක ගැන උඹට මුකුත් කියන්න තියෙනවද..?”

රංගනගෙ මූණට, පට්ට ඇඹුල් කර්තකොලොම්බන් අඹ ගෙඩියක් කාපු එකෙක්ගෙ රෝග ලක්ෂණ පහල වුණා. ඌ ඉමාෂි දිහා බැලුවෙ කර කියා ගන්න දෙයක් නැතුව. කරන්න දෙයක් නෑ පුතේ.. උඹයි මේක ඉල්ලන් කෑවෙ..

“පරණ කතා මෙතනට ඕන නෑ රමිත අයියා..”

“රංගන.. මං  මේ අන්තිම හොඳින් කියන්නෙ.. උඹ තවත් ඉමාෂි පස්සෙන් ආවොත් මං උඹව කුඩු කරල කොරියාවෙ කුණු කාණුවට අතාරිනවා.. පරිස්සම් වෙයං..”

ඉමාෂිගෙ ඇස්වලට කඳුළු උනාගෙන එන හැටි මං දැක්කා. හැමදේම සෙට්ල් කරන්න හදද්දි එයා අඬන්නෙ ඇයි.

“ඉ.. ඉමාෂි.. මට කැමතියි.. එ.. එයා මට හුඟක් ආදරෙයි..”

ලැජ්ජාවක් කියල නාමයක් නැති එකෙක් වගේ රංගන බොරු වීරකමක් මවා ගත්තා. ඒත් ඒ දේට මං හීනෙකින්වත් හිතපු නැති විදියෙ උත්තරයක් ඉමාෂිගෙන් මිනිහට හම්බවුණා. ඒ උණු උණුවෙම ලැබුණු හයේ හතරෙ අලි පත කම්මුල් පාරක්.

“මං.. මං තමුසෙට ආදරෙයි කියලද කිව්වෙ.. මං තමුසෙට බිංදුවක්වත් ආදරේ නෑ.. තමුසෙ මහ කැත සතෙක් මිනිහො..”

කම්මුල් පාර මදිවට ඉමාෂිගෙන් පිටවෙච්ච වචන ටිකත් රංගනට උහුලගන්න බැරි වුණා. මිනිහා ඉමාෂි දිහා බැලුවෙ සංසාරගත වෛරක්කාරයෙක් දිහා බලන ගානට.

“ඒ කියන්නෙ.. ඒ කියන්නෙ.. උඹ මාව කැපුවා.. එහෙමද ඉමාෂි..”

“මං තමුසෙව කපල හුඟක් කල්.. ඒ ටික තමුසෙගෙ ඔය ගොන් මොලේට නොතේරුනේ නැතුවට මට කරන්න දෙයක් නෑ.. තමුසෙ දැන් යන අතක යනවා.. තවත් මගේ පස්සෙන් ඇවිල්ල වැඩක් නෑ.. අපි යමු රමී අයියෙ..”

ඊගාවට ඉමාෂිගෙන් පිට උනේ කම්මුල් පාරවල් සීයකටත් වඩා දරුණු වචන ටිකක්. කරකියා ගන්න දෙයක් නැතුව රංගන අන්ත අසරණ වෙලා ඉද්දි මම ඉමාෂිත් එක්ක බයික් එක ළඟට ආවා. කෙල්ලව බයික් එකේ අරන් ගියොත් ලෙඩ කෝටියයි.. අඳුනන ත්‍රීවිල් එකකවත් දාලා යවන්න ඕනෙ.

“අපේ අයිය ආවෙ නැද්ද රමී අයියෙ..?”

“අයියා..? අයිය ආවනම් මෙතන යස නාඩගමක් වෙයි.. හොඳ වෙලාවට මං ආවෙ..”

මගේ කට හඬේ තිබ්බ තද ගතියටද කොහෙද ඉමාෂි පුදුම වෙලා මං බැලුවා.

“ඇයි රමී අයියෙ.. ඔයා තරහින් වගේ..”

“තරහ නෙමෙයි.. හොඳවයින් දෙකක් දෙන්නයි ඕන.. කන පුපුරන්න.. එක එක හාල් පාරුවොත් එක්ක පංති ඉවරවෙලා ජෝඩු දානවට..”

ඉමාෂිගෙ මූණ බලන් ඉද්දිම සුදුමැලි වෙලා ගියා. දවස් ගානක් ලස්සනට පිපිලා පරවෙලා ගියපු කැලෑ මලක අසරණකම ඒ පුංචි ඇස් දෙකේ ලියවිලා තිබුණා.

“ඇ.. ඇයි රමී අයියෙ.. ඔයා ඔහොම කතා කරන්නෙ..”

ඉසුරුගෙ රවුම් මූණෙ කපාපු පලුවක් වගේ වෙච්චි ඉමාෂිගෙ හැඬුම්බර කටහඬ මට ඇහුණා.

“එහෙනම් කොහොමද කතා කරන්න ඕන.. හරහට වඩාගෙන සූප්පුවක් කටේ ඔබලද..?”

ඉමාෂිගෙ ඇස් දෙක ලොකු උනා. එයා එක දිගට ඇහිපිල්ලම් ගහන්න පටන් ගත්තා. ඉසුරුත් එහෙමමයි.. හිත ඩිංගක් හරි කලබල උන ගමන් ඌත් ඇස් ගහනව වගේ ඇහිපිල්ලන් ගහනවා. බලන් ගියාම ඒකෙ ඇති වැරැද්දක් නෑ. මෙයා උගේ වන් ඇන්ඩ් ඔන්ලි නංගි බබානේ.

“මට ඔහොම කතා කරන්නෙපා..”

ඉමාෂි මගේ අතින් අල්ල ගත්තා. මං එක සැරේටම ඒ හැඩකාර මූණ දිහා බැලුවා. කඳුළු බිංදු පේලියක් නිදහසේ කම්මුල් දිගේ ගලාගෙන යද්දි, ඒ ලස්සන ඇස් මට කිව්වෙ මෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් මට කිව්වෙ නැති සොඳුරු කතාවක්. ඒත් ඒ සොඳුරු කතාව මැද්දෙන් මහා මාර්ග බාධකයක් වගේ ඉසුරු කියන මගේ ප්‍රාණ සම මිත්‍රයා හරස් වෙලා හිටියා. මොන දේ වෙලා හරි මේ ඉන්නෙ ඉසුරුගෙ නංගි නෙමෙයි නම් මෙලහකටත් මං මේ කෙල්ලව තුරුලු කරගෙන. මේ රෝසපාට තොල් පෙති උඩින් මගේ තොල් පෙති තියලත් ඉවරයි.

“ම්.. මං වැරැද්දක් කෙරුවෙ නෑ රමී අයියෙ.. මට මෙහෙම රිද්දන්නෙපා දෙයියනේ.....”

ඉමාෂි මගේ ඉස්සරහ බැගෑපත් වුණා. ඒ අඬන ඇස් දෙක මට කිව්වෙ ජීවිතේ හැම කුණු කන්දක්ම පැත්තකින් තියල ජීවිතයෙ වසන්ත කාලය මෙතනින් පටන් ගන්න කියලා. ඒත් මගේ හොඳම යාලුවගෙ නංගි ගැන මං මොනවද මේ හින්නෙ කියල හිතෙනකොට මාව වෙව්ලලා ගියා. වේගයෙන් ඇහිපිල්ලම් ගගහ ඉසුරු අනාථ වෙලා වගේ මං දිහා බලන් ඉන්න හැටි මට මැවිලා පෙනුණා.

“මං ඔයාව රිද්දුවෙ නෑ ඉමාෂි.. ඔයාගෙ අයියා ඔයා ගැන හිතනව වගේ තමයි මං ඔයා ගැන හිතන්නෙත්.. ඔයා හොඳින් ඉඳල ඔයාගෙ ජීවිතේ ලස්සන කරගනියි කියල අපි හිතුවෙ.. එතනින් එහාට කිසිම දෙයක් නෑ..”

මං කිව්ව දේට ඉමාෂි කිසිම දෙයක් කිව්වෙ නෑ.. එයාගෙ ඇස්වලින් හෝ ගාලා කඳුළු ගලාගෙන ගියා. මං මෙච්චර කාලයක් ආශ්‍රය කරපු කෙල්ලො අතරින් ඉමාෂිගෙ මං දැක්කෙ වෙනස්ම ලස්සනක්.

“ආ.. මේ වීල් එකට නගින්න..”

ඒ වෙලාවෙ අපි ඉස්සරහට ආපු රතුපාට වීල් එකට මං අත දික් කරා. ඒකෙ හිටියෙ මාව දන්න කියන මල්ලි කෙනෙක්. ඒත් ඉමාෂි මං දිහා බැලුවෙ ලෝකෙ තියෙන පුදුම හතම එයා ඉස්සරහට පාත් උනා වගේ.

“ඔ.. ඔයා මාව බයික් එකේ නෙමේද එක්ක යන්නෙ..?”

ඉමාෂි කිව්වා නෙමෙයි.. එයාට එහෙම කියවුණා.. සමහර විට ඒ විදියට කියන්න එයාගෙ තුන් හිතකවත් තියෙන්න නැතුව ඇති.. ඒත් ඒ දේ එහෙම්ම උනා.

“ඔයත්තෙක්ක කතා කරකර ඉඳලා නදිනි මට අලි පත බූට් එකක් තිබ්බා. රිස්මියාත් දැන හෝ නොදැන යන්න ගියා.. එහෙම් එකේ ඔයාව බයික් එකේ දාගෙන ගිහින් ඔය එහෙන් මෙහෙන් මං ගාව එල්ලිලා ඉන්න අනිත් කෙල්ලො ටිකටත් බබා හම්බවෙයි.. තේරුණාද..?”

මං දබර ඇඟිල්ල දික් කරලම කිව්වා. කඳුළු අතරින්ම ඉමාෂිට හිනා ගියා. වතුර බිංදු බිංදු වගේ කඳුළු පිරිල තියෙද්දි කෙල්ල හිනාවෙද්දි මාර ගති.

“එහෙම වෙනව නම් කොයි තරම් හොඳද.. මං හින්ද වටේ ඉන්න හැම කෙල්ලම ඈත් වෙනව නම්..”

“ඇයි ඒ..?”

“එතකොට මගේ හිතට කරදරයක් නෑ..”

ඉමාෂි කිව්ව ඒ අපබ්‍රංස කතාව මට තේරුන්නෑ.. තේරුම් ගන්න උත්සාහ ගනිද්දි මගේ හිතට දැනුනෙ නුවරඑළියෙ සීතල.. ඒ කියන්නෙ.. ඒ කියන්නෙ ඉමාෂි මං ගැන හිතනව කියන එකද..?


බයික් එක මහා ඉස්පිරිතාලෙ ගාව දාලා මං වටපිට බැලුවා. මොනදේ උනත් මේ රමීගෙ ටයිම් එක වරදින්න විදියක් නෑ.. තාලෙට අඩි තිය තියා පැද්දි පැද්දි එන අනූෂිව මගේ ඇස් දැක්කා.

“රමිත..”

මාව දැක්කා විතරයි ඒ මූණට අපූරු හිනාවක් ගලාගෙන ආවා. කෙල්ලො මේ තරම් ලස්සනට හිනාවෙන්නෙ කොහොමද මංදා.. මං හිතන්නෙ උං කොහෙන් හරි ඒ ගැන පී.එච්.ඩී උපාධියක් කරනව ඇති. ආයෙ දෙකක් නෑ.

“මගේ වැඩේ හරිද..?”

“මොන වැඩේද..?”

ඔය බලපංකො ඉතිං.. ඔන්න ඕවට නම් රමියට ලෙලියන්න තද වෙනවා. බොහොම ඉක්මනට අතීතය අමතක වෙන එවුන්ට නම් රමී කැමතිම නෑ.

“මොන වැඩේද අහන්නෙ.. ඇයි කලින් දවසෙ රෑ ඔයාට බාරදුන්නු කොන්තරාත්තුව..”

අනූෂිගෙ මූණට ආවෙ ඒ තරම් හොඳ පෙනුමක් නෙමෙයි. ඒ ඇයි මංදා.. එයා සමහර විට හිතුවද දන්නෑ මං මෙතෙන්ට වෙලා කට්ට කෑවෙ එයා පිළිබඳ ප්‍රේමණීය සිතිවිලි පහළ වෙලා කියලා.

“ආ.. ඒකද.. මං හිතුවෙ මේ..”

අනූෂිගෙ මූණට  ඔන්න යන්තම් හිනා පොදක් ආවා..

“මොකක්ද ඔයා හිතුවෙ..?”

“නෑ.. රමිත.. ඒක ඕන නෑ.. ඔයා ඔය කියපු යාලුව ගැන මං විස්තර දන්නවා.. එයා මැරි කරපු කෙනෙක්..”

“මොකක්..?”

තුන් හතර පාරක් හොඳට හොලවල පොළේ ගැහුව වගේ මාව හොල්මං වෙලා ගියා. මොන කතාවක්ද මේ.

“ඔව්.. අපේ වත්තෙ අක්ක කෙනෙක් තමයි එයා මැරි කලේ.. හැබැයි ඒ අක්කා නම් මං හුඟ දවසකින් දැක්කෙ නෑ.. මං හිතන්නෙ එයා කොහේ හරි ගිහිං..”

“ඔයා කියන ඔය දේවල් ඔයාට හොඳටම ෂුවර්ද..?”

මං එක පාරටම ඇහුවම අනූෂිගෙ මූණ නරක් වුණා. එයා හිතුවද දන්නෑ මං එයාව සැක කරා කියලා.

“ඇයි රමිත ඔයා ඔහොම අහන්නෙ.. මේ සමීර කියන ඔයාගෙ යාලුවයි දිලිනි අක්කයි පදිංචි වෙලා හිටියෙත් කොරියාවෙමයි.. පහුගිය දවස්වල නම් එයාලට හුඟක් කරදර තිබ්බා කියල ආරංචියි.. එයාලගෙ බබා හුඟක් අසනීප වුණා..”

කකුල් දෙක ඉස්සරහ මහ පත හෙනයක් වැදුන වගේ මාව ගැස්සිලා වෙව්ලලා ගියා.. එයාලගෙ බබා..! එයාලගෙ බබා..!! අනූෂි එහෙම තමයි කිව්වෙ.. මං මේ මොනවද අහන්නෙ..? ඒ කියන්නෙ රමියා ද්නනෙම නැතුව බාප්පා කෙනෙක් වෙලාද.. හත්තිලව්වේ......

තත්පර ගාණක් යනකන් මං මේ ඉන්නෙ කොහෙද කියලවත් මට හිතාගන්න බැරිවුණා. මොන අපබ්‍රංස කතාවක්ද මේ..? සමීරයා කවදද බැන්දෙ..? ඌට කොහෙන්ද හත්තිලව්වෙ බබාලා.. හරි.. ඕව පැත්තකින් තියමු.. දිලිනි කොහෙන් පාත්වෙච්ච ග්‍රහ වස්තුවක්ද..?

“ඇ.. ඇයි රමිත.. ඔ.. ඔයා පුදුම වෙලා වගේ..”

පුදුම නොවී තීයේයෑ.. දෙයි හාමුදුරුවනේ.. මේවා ලෝකෙ පුදුම ගනයට වැටෙන දේවල්නෙ.. රමියගෙ හිත ෆිට් හින්ද හොඳයි.. නැත්තං මේ අහගත්ත ඒවට කට කපල සිහිය නැතුවම වැටෙනවා. ඒක මහ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයෙක්ටවත් වලක්වන්න බෑ.

“සමීර මැරි කරල තියෙන්න විදියක් නෑ අනූෂී..”

“ඔයා මට පෙන්නපු ෆොටෝ එකේ හිටපු කෙනාගෙ විස්තර තමයි ඔය.. මං අතින් දාලා කිව්වෙ නෑ..”

මං අනූෂිගෙ මූණ දිහා බැලුවා. එයා හිටියෙ ඒ තරම් හොඳ මූඩ් එකක නෙමෙයි. සමහර විට එයා හිතනවද දන්නෑ මං එයා කියපුවා අවිශ්වාස කරා කියලා.

“ඔයා කියපු දේවල් මං අවිශ්වාස කරා නෙමෙයි. ඒත් මේ වෙලා තියෙන දේවල් මට අදහන්නත් බෑ.. හැබැයි මේ මනුස්සයගෙ ලොකු වෙනස්කමක් මං පහුගිය කාලෙ දැක්කා.. ඒකයි මං මිනිහ ගැන හෙව්වෙ..”

“ඒ කියන්නෙ ඔය සමීර කියන ඔයාගෙ යාලුවා මැරි කරල කියල එයාගෙ ගෙදර අය දන්නැද්ද..?”

නෑ කියල කියන්න මං ඔළුව වැනුවා. අනූෂිගෙ ඇස් මහ පුදුමෙකින් ලොකු උනා.

“එතකොට ඒ පුංචි බබා ගැනවත් ගෙදර අය දන්නැද්ද රමිත..”

ඉඳල ඉඳල අනූෂිත් අහන්නෙ පිටසක්වල ජීවීන් අහන ජාතියෙ ප්‍රශ්න තමා. කසාඳ බැඳල කියල දන්නැති එකේ බබාලා ඉන්නව කියල කොහොම දැනගන්නද අප්පා.

“ඔයාට පරක්කු වෙනවත් ඇති අනූෂි..”

“ඔව් රමිත.. ඩිංගක් හරි පරක්කු උනොත් අර ඔයාගෙ යාලු සිස්ටර් කෑගහනවා.. මං යනවා.. තව විස්තර හොයාගත්තොත් පස්සෙ කියන්නං..”

“තෑන්ක්ස් අනූෂී..”

මගේ තැන්ක් යූ එකත් කරේ තියාගෙන අනූෂි හොස්පිට්ල් එකේ ගේට් එකෙන් ඇතුල් වුණා. මිනිස්සු සීයක් දෙසීයක් එහෙමත් නැත්නම් තුන්සීයක් විතර මං ගාවින් එහෙට මෙහෙට ගියත් මට දැනුනෙ මහා තනිකමක්. ඒ වගේම මුස්පේන්තු හැඟීමක්. මං මගේ මුළු ජීවිත කාලය පුරාම විඳල තිබ්බෙ නෑ. ඒත් සමීර නොහොත් මගේ වන් ඇන්ඩ් ඔන්ලි අයියකාරයා හින්ද මං ඒකත් දෝත බදලම තුරුළු කරගත්තා.


වෙනදට ලෝකෙ පුරා තියන ඕනම කුණු ගොඩක් කකුල් දෙක මුලටම කඩන් වැටුණත් සත පහකට ගණන් ගන්නැතුව ඉඳපු මං මේ අහපු දෙයින් හතර ගාතෙම දාලා බිමට ඇදන් වැටිලා තිබුණා. අයියකාරයා මොන තරම් ගදයෙක් උනත් මිනිහගෙන් මොන තරම් මල අඩයක් තිබුණත්, දැහැට පේන්න බැරි සතෙක් සීපාවෙක් උනත් මිනිහා මේ කරගෙන තියෙන නස්පැත්තිය ගැන මගේ හිතේ පදාසයක්ම හෙලවෙන්න පටන් අරන් තිබුණා. මූට මොලේ කියල එක බිම් අඟලක්වත් නැද්ද හත්තිලව්වෙ.. කොරියාවෙ කේලලෙක් බැඳලා ඒ මඳිවට පුංචි එකෙකුත් හදාගෙන දැන් කොහොමද අප්පා පාරෙ බැහැල යන්නෙ.. අම්මගෙයි තාත්තගෙයි මූණ බලන්නෙ.. එයාල කැත කුනු අතේ පයේ ගාගෙන මේ බක පංඩිත පොලොස් කොට්ටෝරුවා හැදුවෙ මේ වගේ යල් පැන ගියපු පුරා වස්තුවක් අහන්නද..?

“ර..මී..”

ගෙදර ඉස්සරහ පැත්තෙන් ඇතුල් වෙලා මං කාමරේට යන්නයි හැදුවෙ. හිතේ තියෙන නස්පැත්තිය හේදීලා යන්නත් එක්ක ලොකු පහේ වොෂ් එක් දාගන්න මං හිතාගත්තා. ඒත් මෙන්න අම්මා මගේ ඉස්සරහම. සිරියාව හෝ ගාලා උතුරන ඒ සොඳුරු රූපකාය දිහා බං ඩිංගක් වෙලා බලං හිටියා.

“ඇයි අම්මා..?”

“ඔයාට වෙඩින් ඉන්වයිට් එකක්..”

අම්ම අතේ වෙඩින් කාඩ් එකක් තිබුණා. රත්තරං පාටයි.. ඇලුමිනියම් පාටයි.. එකට මික්ස් පෘට් වෙච්ච ලස්සන වෙඩින් කාඩ් එකක්. ඉතිං මික්ස් පෘට් නෙමෙයි සැලඩ් උණත් කමක් නෑ.. කවුද බොලේ රමියට මගුලකට ආරාධනා කරපු පිංවන්තයා.

“ඔය කොණ්ඩෙ ටිකක් අඩු කරගත්තොත් හොඳයි රමී.. දිග වැඩි වගේ නේද..”

වෙඩින් කාඩ් එක දිග ඇරල බලද්දි අම්මා කියනව ඇහුණා. කොණ්ඩෙ නම් ටිකක් දිග වැඩී තමයි. බෙල්ලෙනුත් පහලට වැවිලනේ තියෙන්නෙ.. කොණ්ඩෙ පැත්තකින් තියල හිම කැට වගේ පිරිසිදු සුදු පාට වෙඩින් කාඩ් එකේ මැද පේලිය මං කියවන් ගියා.. හ්ම්.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..

“ඇයි මූණ වෙනස් වුණේ..?”

අම්මගෙ ඇස් තාමත් මගේ මූණෙ කියල මං දැක්කෙ එතකොට. වන්ඩේ මැච් එකක දාපු මුල්ම බෝල තුනට හයේ පාරවල් තුනක් වැදුනහම බෝලර්ගෙ මූණට හිනාවක් එන්නෑනෙ. මේකත් ඒ වගේම තමා.

“මුකුත් නෑ අම්මා..”

“නැත්තෙ නෑ.. ඔයා ඩිංගක් අප්සට් ගියා.. කවුද කාඩ් එක එවල තියෙන්නෙ..?”

“මගේ යාලුවෙක්..”

“යාලුවෙක් විත්තිය මං දන්නවා.. නැත්නම් තරහකාරයො එවන්නෑනෙ.. කවුද රමී.. මේක එවපු ගෑණු ළමයා..”

මොනව උනත් අම්මට නම් සිරාම ඉවක් තිබුණා. ඒක පී.එච්.ඩී උපාධියක් කරලවත් කරගන්න බැරි දෙයක්.

“නදිනි කියල යාලුවෙක්..”

එහෙම කියාගෙන මං කාමරේ පැත්තට ආවා. නදිනි කසාඳ බඳිනව කියල මට විශේෂ දුකක් ඇති වුණේ නෑ. මං ඒකිව බඳින්නෙ නැතිනම් ඒකි වෙන මොකෙක් හරි බඳින්න එපැයි හත්තිලව්වෙ.. ඒත් මගේ හිතට මොකක්දෝ අඩුවක් වගේ හැඟීමක් දැනුණෙ නෑ කීවොත් ඒක බොරුවක්.

ආදරයක් සම්පූර්ණයෙන්ම මැරෙන්නෙ නැතුව තියෙද්දි අපි පණ පිටින් ජීවත් වේදදි මේ වගේ වෙඩින් කාඩ් හැරෙන තැපෑලෙන් එවන්න තරමෙ හයියක් නදිනිට ආවෙ කොහෙන්ද කියල මං කල්පනා කරා. කමක් නෑ.. මේව මං වපුරපු දේවල් නෙමෙයි.. නදිනි වපුරපු දේවලුත් නෙමෙයි.. ඒක දෛවය විසින් හිතාමතාම කරපු දෙයක්.

“මේ ඕයි..”

නිස්කලංකයෙ ඉන්නව කියල ඇඳේ පතබෑවෙච්ච මං උඩ ගිහින් බිම වැටුණා. ඇස් දෙක අමාරුවෙන් ඇරල මං වටපිට බැලුවෙ, ඕයි බෝයි ගාලා කෑ ගහපු අපතයට දෙකක් අනින්න.

“ත.. තමුසෙ නිදිද..?”

මූණත් අමුතු කරන්.. ඇස් ගෙඩි දෙකත් දොඹ සයිස් කරගෙන අයියකාරයා මගේ දිහා බලන් හිටියෙ දෙකට තුනට ගනින් බැරිව වගේ.

“මගේ නින්දෙන් තමුසෙට වැඩක් නෑ.. තමුසෙ මොකද මගේ කාමරේට ආවෙ..”

මං පැහැදිලි සැකේකින් ඇහුවා. අයියා උනත් මේකා තඹ සතේකට සුවර් නැති එකෙක්.. ගෙදර හැමෝටම හොරෙක් කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්න මැක්සා පොරක්නේ.

“මං තමුසෙත් එක්ක ටිකක් කතා කරන්නයි ආවෙ..”

හප්පට සිරි.. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.. මෙන්න මූට මාත් එක්ක සාම සාකච්ඡාවක් පවත්වන්න ඕන වෙලා.. සමහර විට මේකා කසාඳ බැඳපු එක ගැන කතා කරන්නද දන්නෑ.. මගේ හිතට ආවෙ අමුතුම ගතියක්.. මං ඇඳේ හරිබරි ගැහුණා.

“මොනවද තමුසෙට මගෙත් එක්ක කතා කරන්න තියෙන්නෙ..?”

මට ටිකක් ලොකු කතාවක් දුන්නා.. නැතුව බෑ අප්පා.. සාමෙට කතා කරන්න ගියොත් මේකා අලි පඩත්තලයා වෙනවා.

“දිමුතු ගැන..”

මං උඩ ගිහින් බිම වැටුණා. මේකා කොහොමද හත්තිලව්වෙ දිමුතු ගැන දන්නෙ.. මූ කොහොමද එයා ගැන හොයා ගත්තෙ. කවුද ඒ සිද්ධියෙ මේ ඇඹටිල්ලගෙ කණට සම්ප්‍රාප්ත කරේ. ෂහ්.. ෂහ්.. කතාවෙ පළමු පියවරෙන්ම රමියට සෙම හිරවුණා වගේනෙ.. දැන් ඉතිං වැල්මෙලික්ස් බෝතලයක් බීලයි කතා කරන්න වෙන්නෙ.

“දිමුතු ගැන මොනවද..?”

ආයෙ හැංගි හොරා ඕන නෑනෙ.. මං කෙලින්ම ඇහුවා. සමීරයා කියන්නෙ සාමාන්‍යයෙන් කළුවරේ අතපත ගාන එකෙක් උනත් මේ පාර නම් නිච්චියටම කියන්න පුළුවන් CFL බල්බ් දාලයි අත ගාල තියෙන්නෙ කියල.

“ඒ ළමය ගැන ඔයිට වඩා හොයනවා..”

“දිමුතු ගැන මං බලාගන්නම්.. තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා..”

“මේ.. මං තමුසෙට හොඳක් කරන්නයි ආවෙ..”

අයියකාරයගෙ ඇස් දෙකේ තිබ්බෙ අධිෂ්ඨානශීලී ගතියක්. ඒත් මට මේකා බිංදුවක් ෂුවර් නෑ.

“අනේ නිකං ඉන්නවා.. පටි රෝල් කරගන්න හදන්නැතුව.. අනික මීට කලින් තමුසෙ මට උදව් කරාද..? පෙරලපු තරමක් කුණු බාල්දිනේ මගේ ඔලුවට පෙරලුවෙ. මගේ වැරදි කිය කියා අම්මටයි තාත්තටයි මාව එපා කරන්න හැදුවෙ අල්ලපු ගෙදර කරුණාසේනයද..? නෑ.. සමීර.. ඒ හැම දෙයක්ම කරෙ තමුසෙ.. දැන් එනව මෙතන හොඳ කරන්න.”

“මං ඔයාට වැරැද්දක් කරේ නෑ මනුස්සයො..”

අයියකාරයගෙ කට හඬේ මට අමුතු අවුලක් දැනුනා. වෙනද මේ යකා දුම්මල වරම ගත්ත වගේ.. හැට හුටාමාරක් කියවනවා. ඔය මං ප්‍රකාශ කරපු ටික වෙනදට නම් මිනිහට මගෙන් තුන් හතර පාරක්ම ගේම ඉල්ලන්න හොඳටම ඇති. ඒත් අද මොකද මේකා පාංශුකූලෙ දීලා ආපු එකා වගේ ඉන්නෙ. මට තිබ්බ ඉහළම ගැටළුව ඒකයි.

“වැරැද්දක්..? හ්ම්.. තමුසෙගෙ යස කතාව.. තමුසෙ මට වැරදිම නේන්නම් කරේ.. තමුසෙ මහා නරකාදි සත්වයෙක් ඕයි.. කොටින්ම මට තමුසෙව පේන්න බෑ.. අන්න ඒක මතක තියාගන්නවා.. ජීවිතේටම..”

මං සං සං ගාලා කියල දැම්මා.. ආයෙ පෘෆ් බලන්නෙ මොකටද..? සීත සමිරයා බලන් ඉද්දිම ගල් ගැහුණා.

“තමුසෙ මොකද මනුස්සයො මට ඔහොම කතා කරන්නෙ..?”

කවදාවත් වෙන්න බැරි විදියෙ සංවේදීයක් මං ඒ වෙලාවෙ දැක්කා. මිනිහ කියපු දේට තවත් කියන්න ජාති ජාතිත් ‍දේවල් බඩවැල් කඩාගෙන එද්දි මං ගොලු උනා. අයියකාරයගෙ ඇස්වල කඳුළු. මට අදහගන්න බැරි උන එකම දේ ඒකයි. යකෝ කළු ගල්වලින් කොහොමද වතුර උනන්නෙ. මේකත් ඒ වගේනෙ.

“තමුසෙ කවද හරි මං ගැන තේරුම් ගනියි...”

මිනිහා ඒ ටික විතරයි කිව්වෙ. කඳුළු පිරුණු ඇස් දෙකත් එක්ක, ආව වගේම හිතට හෙන වදයක් දීලා මගේ කාමරෙන් ගියා. මොකක්ද බං.. ඒකා අන්තිමට ඒ කියපු හරුපෙ.. මං මගෙන්ම අහගත්තා.. මං හිතුවෙ මිනිහා ගාල කඩාගත්තු වස්ස වගේ ආවෙ නූතන කසාද චර්යාව වාර්තා කරන්න කියලා. මදැයි මට නොසෑහෙන්න වැරදිලා. හැබැයි ඉතිං මිනිහ මොනව කියන්න හිතන් ආවද, මිනිහා කිව්වෙ මොනවද කියල දන්නෙ මිනිහම විතරයි. අයිය කාමරෙන් ගියා විතරයි ගෙදර ඉස්සරහින් ඉසුරුගෙ කාර් එකේ හෝන් එක ඇහුනා. අයියගෙ කෝප් කමිටු වාර්ථාව හිතේ මුල්ලකට දාලා මං ගෙයින් එළියට බැස්සා.

“තැන්ක් යූ රමී..”

ඉසුරු මගේ අතකින් අල්ලගත්තා. උගේ ඇස් නැටවෙනව වගේ. ඒ කියන්නෙ අලුත් නිව්ස් එකක්ද..?

“ඇයි..”

“නංගිව ගෙදරට ගෙනල්ල දැම්මට..”

“ආ.. ඒකද..?”

ඉසුරුගෙ ඇහිපිය වේගෙන් ගැහෙද්දි මගේ හිත උඩටම ආවෙ ඉමාෂි. එයාගෙත් මේ පුරුද්ද එහෙම්මයි. ඒ ගැහෙන ඇහිපිය එක්ක ඉමාෂි මගේ දිහා බලන් ඉන්නව වගේ මට දැනුණා.

“රමී..”

“ම්..”

“මං ආවෙ උඹට දෙයක් කියන්න..”

ජීවිතේ කවදාවත් නැති තරමට මං ගැස්සුනා. ඒ මං ඉසුරු ඉස්සරහම ඉමාෂි ගැන හිත හිතා හිටපු හින්දා. ඉසුරු කියන්න හදන්නෙ ඉමාෂි ගැන වත්දෝ කියගත් මට සැක හිතුණා. ඒත් උගෙ මූණෙ තියෙන අවමගුල් සහගත පෙනුම දැක්කම මං ඒ අදහස වෙනස් කරගත්තා.

“ඉතිං කියපං.. මං අහගෙන ඉන්නෙ..”

“අර තම්බි කෙල්ල..”

“මොන..?”

“උඹේ මුස්ලිම් ආදරේ.. රිස්මියා..”

“ඉතිං..?”

“ඒකි කසාඳ බැඳලා..”

ඒ ආරංචිය අහල අඬන්න ඕනද හිනාවෙන්න ඕනද කියල මට හිතාගන්න බැරි වුණා. එහෙනම් නදිනි වගේම රිස්මියාත් මට ගුඩ්බායි කිව්වා. මෙච්චර සිංහල කෙල්ලො ලක්ෂ ගානක් ඉන්න රටේ උඹ වගේ මුස්ලිම් කෙල්ලෙක් ළං කරගෙන ආදරේ කරාට. උඹේ වෙඩින් එක දවසෙදිවත් උඹට මාව මතක් වුණේ නෑ රිස්මියා. බොහොම ලස්සනයි.. බොහොම ලස්සනයි.. උඹ වගේම, උඹේ ගතිගුණ වගේම, උඹේ ආදරෙත් බොහොම ලස්සනයි රිස්මියා..

“රමී..”

“ම්..”

“උඹට අප්සට් නේද..?”

“මං අප්සට් වෙන්නෑ අද දවසෙ ඔය මැසේජ් එක විතරක් ආව නම්..”

“ඒ.. ඒ කියන්නෙ..?”

“නදිනිත් මට වෙඩින් ඉන්විටේෂන් එකක් එවලා..”

“න්..නෑ.. යකෝ මුං කොටියම කන්නෙපැයි..”

නදිනි මං ගාවින් ගියේ ඉමාෂිටයි මටයි චෝදනා කරල කියල ඉසුරුට කියන්න මට හිතුනෙ නෑ. අනවශ්‍ය දේවල් තවත් ඉස්සරහට මොකටද..?

“නදිනියි රිස්මියයි දෙන්නම මට ගුඩ් බායි කියල ඈත් වෙලා ගියත් මේ රමී බිමට කඩන් වැටෙන්නෑ.. ඒත් රමී කියන්නෙත් මනුස්ස පරානයක් බං.. දකින දකින කෙල්ලට ආස කරාට මේ හදවතේ බඩ තියෙන්නෙ එක කෙල්ලෙකුට විතරයි.. අන්න ඒ කේල හම්බ වුණ දාකට මගේ හදවතේ පූජාසනයක් ගොඩ නැගිල තියෙයි, ඒ කෙල්ල වෙනුවෙන්.. උඹට තෙරුණාද ඉසුරු..?”

“උඹ හරි උනත් වැරදි උනත් මං ඉන්නෙ උඹගෙ පැත්තෙ රමී.. මං මොනවද කරන්න ඕන..?”

“මුකුත් නෑ ඉසුරු..! නදිනියි රිස්මියයි මාව හලන්න කලින් තමයි මං උංව හැලුවෙ.. මට දැනට තියෙන එකම සංතෝසෙ එච්චරයි..”

මං කිව්ව දේට ඉසුරුට පුංචි හිනාවක් ගියා.

“ඒක හරි.. උං බැන්ද නෙමේ ලිහාගත්ත උනත් අපි ගණන් ගන්න හොඳ නෑ.”

ගනන් ගන්න හොඳ නැත්තෙ මොකද..? ඒවට නිවාඩු පාඩුවෙ පට්ට රිටර්න් එකක් දෙනව මිසක. මේ රමීට රිද්දල කවුරුවත් පාඩුවෙ ඉඳල නෑ.. උංටත් සංසාරෙ පුරාවට රිදෙන එක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

“රමී.. රෑට මොකද කරන්නෙ..?”

“ඇයි..”

“බුලතගෙ පොඩි වැඩක් තියෙනවා..”

“බුලතගෙ..?”

අයි.පී බුලතයා මීට කලින් දාපු කලර්ස් පාර ඉසුරුට ඔය ඩිංගට අමතක වුණාද..? තව නූලෙන් එදා අර ලී ලෝඩ් එකම ලොරියත් එක්ක උසාවියෙනෙ.. ආයෙ ඇප නෑ.. ඉසුරුටත් පිස්සුද මංදා..

“ඔව් බුලතගෙ තමා..”

“උගේ මොකක්ද..?”

“උගේ නම් නෙමේ.. උගේ නංගිගෙ..”

ඉසුරුගෙ කතාවෙන් මගේ හිතට පුංචි සැකයක් ආවා. අනික මූ තටම තටම ඒක කිව්ව තාලෙත් මට ඇල්ලුවෙ නෑ.

“ඌට නංගි කෙනෙක් ඉන්නව කියල මං දැනන් හිටියෙ නෑනෙ ඉසුරු.. මට ඇත්ත කියපං.. උඹ බුලතගෙ නංගිත් එක්ක සෙට් ද..?”

මගේ විචිකිච්චාව මං කෙලින්ම එළියට දැම්මා.. නැතුව බෑනෙ බං.. මේකා හැසිරෙන තාලෙ අන්තිම අවිනිශ්චිතයි.

“පිස්සුද බං.. මං උගේ නංගිව දැකලවත් නෑ..”

“ඒකත් එහෙමද..? එතකොට මේ කතන්දරේට උඹ ගෑවෙන්නෙ කොහොමද..? උගේ නංගිව දන්නෙත් නැත්තං..”

“බුලතගෙ නංගි බඳිනවා.. ඌ මට කෝල් කරල කිව්වා.. රෑට ඩිංගක් හොටෙල් එක පැත්තෙ ගිහින් අඩුපාඩු බලල එන්න කියලා..”

“ඇයි ඌට හන්දිපත් රුදාවද..?”

“ඌට ස්පැෂල් ඩියුටි එකක් වැටිල රමී.. උඹ මොකද කියන්නෙ..? එනවද..?”

“එනවද කියල අහන්නෙපා.. වරෙන් කියල කියපං.. හැබැයි ඔය බුලතව නම් මට බිංදුවක්වත් ෂුවර් නෑ.. ලෝක අංඩපාලු පිංගුත්තරයෙක්.. ඌ බලන්නෙ උගේ වාසිය විතරයි..”

“මං ඒක දන්නව රමී.. මාත් පරිස්සමින් තමා වැඩ කරන්නෙ.. හැබැයි ඌ උඹට හරි.. මට හරි අංචියක් ඇඳලා තිබ්බොත් චේන් ෂෝ එක ගෙනල්ල මං ඕකව පිටපලු ලෑලි වලට ඉරනවා..”

ඉසුරු ඒ ටික කිව්වෙ බොක්කෙන්ම කියල මට තේරුණා. කොහොමටත් ඉතිං ඉසුරු කියල කියන්නෙ ගිණිපුක් කාරයනේ. වැඩේ තියෙන්නෙ ඉමාෂිටත් ඔය ගිණිපුක් ලෙඩේ තියෙනවද දන්නෑ.. මට පුංචි හිනාවක් ආවා. ඒත් ඒ වෙනකොට ඉසුරු මං ගාවින් ගිහින් තිබුණා.


No comments:

Post a Comment