Thursday, January 17, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


මේක ඉර නැති ඉරිදාවක්වත් සඳ නැති සඳුදාවක්වත් නෙවෙයි.. තනිකරම අඟහරුවාදා දවසක්.. කොටින්ම මහාම මහ කුණු දවසක්.. වැඩිය ඕන්නෑ.. මල මිනීයක්වත් වළලන්නෙ නෑ.. එච්චරටම සනීප දවසක්.. කොටින්ම මුලු ලෝකවාසී සියලු සත්වයෝ පවා නාන්නැති දවසක්. පිස්සුද මංදා.. මම නම් අඟහරුවාදට තමයි දවසට දෙපාරක්ම නාන්නෙ. කොටින්ම මං ඉඳලා ඉඳලා රිස්මියාව හම්බවෙන්නෙත් අඟහරුවාදා.

රමී..

ම්..


මේ බලන්නකො..

ඇයි..?

මගේ දිහා බලන්නකො..

රවුම් මේසෙ දෙපැත්තෙ මායි රස්මියයි වාඩිවෙලා හිටියෙ අතේ දුරින්. කූල් ඩ්‍රින්ක් එක දාලා තිබ්බ ස්ට්‍රෝ එකෙන් මං මේසෙ වැටිල තිබ්බ වතුර බිංදු එක්ක සෙල්ලම් කර කර හිටියෙ.

රමී..

ම්..

ඔයාට මාව ඇහෙනවද..?

අඬන්න වගේ මූණත් හදාගෙන පුංචි එකෙක් වගේ රිස්මියා අහද්දි මං ඔලුව ඉස්සුවා. ඇඳගෙන හිටපු සල්වාර් එකේ ෂෝල් එකෙන් දිග කොණ්ඩෙ වහගෙන හිටපු රිස්මියාගෙ ඇස් මගේ දිහාට හැරවිලා තිබුණෙ නිල් තරු කැට දෙකක් වගෙයි. ඒ ලස්සන සුදු මූණ එහෙම් පිටින්ම අඳුරු වෙලා ගිහින් තිබුණා.

ඇයි කෙල්ලෙ..?

මොකක්ද රමී.. මේකෙ තේරුම..?

මොකක්ද..?

අපි දෙන්නගෙ මේ සම්බන්ධෙ..

මම දන්නෑ..

ඔ.. ඔයාට මාව එපාවෙලාද රමී..?

නෑ..

එහෙනම්..

මුකුත් ප්‍රශ්නයක් නෑ කෙල්ලෙ.. ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ.. ඇයි මේ ආපු වෙලාවෙ ඉඳන් මූණ නරක් කරගෙන ඉන්නෙ..?

නරක් වෙන්නැද්ද රමී..! ඔයා.. දැන් හුඟක් වෙනස්..

ඒ ඔයාට පේන හැටි කෙල්ලෙ..

අද නම් කෙල්ල ඇවිල්ලා ඉන්නෙ මගෙන් මැරේජ් සර්ටිපිකේට් එකවත් අරගෙන යන්නද මංදා.. ඒ තරම් සීරියස්වනේ කතා කරන්නෙ.

ඔයා මොකක්ද රමී.. එදා අර කුරුමිණියෙක් ගැන කියලා මාව බය කරේ..? ආ.. කතා කෙරුවෙ මං කියලවත් ඔයා අඳුනගත්තෙ නැද්ද..? මට කොයි  තරම් දුක හිතුනද කියල ඔයා ඩිංගක්වත් හිතුවෙ නැද්ද..?

ඔන්න දැන් තමයි තුරුම්පු එළියට එන්නෙ. ඉතිං රමියට වැඩේ ගොඩ දාගන්නයි තියෙන්නෙ.

සොරි බබා.. එතන ලොකු මිස් අස්ඩස්ටෑන්ඩ් එකක් උනා..

මිස් අන්ඩස්ටෑන්ඩ් එකක්..?

ඔව්..

මොකක්ද..?

අපේ වත්තෙ පොල් කඩන මිනිහ ඉන්නවනේ..

කවුද..?

කිව්වට ඔයා දන්නෑ.. සමීර කියල කඩා ගෙඩි කකා හැදුනු කාලකණ්නියෙක්..

මං කියන්න ගියේ නෑ ඒ නමේ අයිතිකාරයා අයියා කියලා.

හා.. ඉතිං..?

පොල් කුරුමිණියො බෝ වෙලා කියල උගෙන් මාර කරදරේ.. කෝල්ස් දහයක් දොලහක්ම ආවා.. ඇත්තටම ඔය අන්තිමහ පාර මං නම්බර් එකවත් නොබලයි කතා කරේ..

අනේ.. ඒ උනාට මගේ කටහඬ අඳුනගන්න ඔයාට බැරිවෙන්න විදියක් නෑනෙ රමිත..

ඔයාට මං කියන දේ තේරෙන්නෑනෙ..

තේරෙන්නෙ නැත්තෙ නෑ.. ඔයා මට ලොකු බොරුවක් කරන්නෙ රමී.. අ.. අනේ.. ඉහ්.. ඉහ්.. ඇයි මට මෙහෙම කරන්නෙ.. මාව එපා නම් කෙලින්ම මට කියන්න.. මම ඔයාව බලන්න එන්නැතුව ඉන්නම්..

වැහි වලාකුලක් තිබිලා එක පාරටම ආකාසෙ කඩාගෙන වැටුණා වගේ මෙන්න රිස්මියා හෝ ගාලා අඬන්න පටන් ගත්තා. දැන් නම් මට මේ කෙල්ල ගැන පව් කියලත් හිතෙනවා.

අ.. අඩන්න එපා.. මිනිස්සුත් බලනවා..

ක.. කමක් නෑ.. ඕන කෙනෙක් බලපුවාවෙ.. ඔ.. ඔයාම හිතන්න රමී.. ගෙදරට බොරු කීයක් කියලද මං ඔයාව හම්බවෙන්න එන්නෙ.. මේ වගේ තැනක ඔයත්තෙක්ක ඉන්නව කියල ගෙදරට ආරංචි උනොත් මාව නොමරා මරයි.. ගෙදරට ආයෙ ගන්න එකකුත් නෑ.. මට ඔයාව නොදැක ඉන්නත් බෑ.. අනේ රමී.. මට මෙහෙම කරන්නෙපා..

නෑ.. කෙල්ලෙ නෑ.. ඔයා හිතන විදියෙ දෙයක් මෙතන නෑ.. මටත් ඔයාව නොදැක ඉන්න බැරි හන්දනෙ මෙහෙම එන්නෙ..

ඒ උනාට.. ඒ උනාට.. මට ඔයාගෙ ලොකු වෙනසක් තේරෙනව.. ඔයා මාව දාලා ගියොත් නම් රමී.. ඇත්තමයි මං මැරෙනවා..

ඔය බලන්න ඉතිං.. මැරෙන්න තරම් දෙයක් උනේ නෑනෙ කෙල්ලෙ.. මං මේ ඔයා ළඟ ඉන්නෙ..

ඉහ්.. ඉහ්.. ඕන්නෑ.. ඕන්නෑ.. ම.. මං යනව යන්න..

රිස්මියා රවුම් මේසෙත් පෙරලගෙන නැගිට්ටා.. වටේ හිටපු මිනිස්සු චීන සර්කස් බලනව වගේ බලද්දි මං රිස්මියාගෙ අතින් අල්ල ගත්තා.

යන්න එපා බබා.. මගේ ආදරේ ඔයාට ඩිංගක්වත් තේරෙන්නැද්ද..?

මට කියන්න හම්බවුණේ එච්චරයි.. මාව ගැස්සිලා ගියා වගේ ඇහැරුණා. ලාවට වගේ ඇස් පිහාටු දෙක ඉස්සෙද්දි තමයි වෙලා තියෙන දේ මට තේරුනේ.. මළ ගෙදර බූරු ගහල අහුවුණ එකාටත් වැඩිය අසමජ්ජාති වැඩක්නෙ මට වෙලා තියෙන්නෙ. මෙච්චර වෙලා වර්තමානයෙ කියල හිතාගෙන විකාශනේ අයිතිය මං දීලා තියේනනෙ මහා දැවැන්ත හීන රාජ්‍යයෙකුටනේ. මං තාමත් මේ ඉන්නෙ මගේ කාමරේ ඇඳ උඩ පතබරියන් වෙලානේ.

හැබැයි ඉතිං මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මෙ ලාවට ඇරිච්ච ඇස් පිහාටු යටින් දිලිසි දිලිසි ඉන්න රූපෙ දැක්කම. හීන රාජයා දකිද්දි මගෙන් කියවෙච්චි දෙබස් කාන්ඩවලටද කොහෙද ඉතා හොඳ ඕනෑකමකින් ඇහුම්කන් දෙන්න, කන අංශක තුන්සිය හැටක් විතර මේ පැත්තට හරවන් ඉන්න අයියකාරයව දකිද්දි ඇතිවෙලා තියෙන තත්වෙ බරපතලකම මට තේරුණා.

මේකා මගේ හීනෙ දෙබස් ටික එක්කහු කරලා දිනපතා උදේට උදේට කැලෑ පත්තරයක්වත් ගහන්න බැරි නෑ.. ඒ ජාතියෙ බඩ්ඩ.. මිනිහටත් ඕනෙ මගේ පොල් කෙන්දක්  හරි අල්ලගන්නනේ.. ඒත් මේ රමියා ඌට පස්සෙ ඉපදුනාට ඌට කලින් තමා තැනකට ආවෙ. මං එක සිතින් ආයෙත් ඇස් දෙක තද කරලම පියාගත්තා. ඒ මගේ හීනෙ තව දුරටත් ටෙලි කාස්ට් කරන්න. ඕවට තමා විද්වත්තු කියන්නෙ, ස්ථානෝචිත අහවල් එක කියල.

ෂහ්.. කෑවා.. කෑවා.. කට්.. කට්.. ඇයි අයිසෙ තේරෙන්නෙ නැද්ද ආදරේ කරනකොට ඒ සීන් එකේදි මූන ටිකක් පෙම් පාටට තියෙන්න ඕන කියලා.. අනික මං ඔච්චර වො කියපු දෙබස් ටිකවත් තමුසෙට බෑනෙ.. දැන් බලනවා.. මේක ආයෙත් අලුතින් ගන්න ඕන.. තමුසෙලත් එක්ක මේක කරන්න බෑ..

මං දෙබස් ටික වෙන එකෙක්ගෙ ඇගේ ගැහුවා. ලාවට වගේ ඇස් ඇරල බලද්දි මෙන්න අයියකාරයා ඉන්නවා ලාවලු කාපු රිලව වගේ.. ඌට අදහගන්නත් බෑ මේ වෙච්ච වැඩේ.

ෂිහ්.. මේ නාට්ටිය නම් මෙහෙම කරන්න බෑ.. නිදාගන්න ගියත් මේකෙ දෙබස් කියවෙනවා.. මල කරදරේ.. මේ ලෝකෙ නිදහසක් නෑනෙ..

කියාගෙන මං ඇඳෙන් බැස්සා. මූණෙ ලේ කඳුළක්වත් නැතිව අයියකාරයා ඇඳ ගාවම උඩ බිම බැලුවා.

ආ.. තමුසෙ මොකද මගේ කාමරේ..?

දෙකක් නෑ.. මං වලියටමයි ඇහුවෙ. මේකා ඕපදූප සංගමයක මහා භාන්ඩාගාරිකවත්ද මංදා.. අනුන්ගෙ ඇටිකෙහෙල් ගිලින එකමයි වැඩේ.

ඇයි මට මේකෙ ඉන්න බැරිද..?

බෑ..

ඇයි..?

තමුසෙට කියලා ලියාපදිංචි කාමරයක් මේ ගෙදර තියෙනවනේ..

එතකොට කවුද ඔය කෙල්ලෙක් එක්ක හීනෙන් කතා කෙරුවෙ..?

මං හිතුවා හරි.. මූ අහගෙන ඉඳලා.. ගස් ඌරා.. මූට නම් හිටෝල පස් ගැහුවත් මදි.

හීනෙන්..?

ඔව්.. හීනෙන් තමා..

තමුසෙට පිස්සුද.. එහෙමත් නැත්තං පිස්සෙක් එක්ක කතා කරන මට පිස්සුද..? ඇයි මනුස්සයො.. මං අපේ ඩ්‍රාමා එකේ රිහසල් තනියම කර කරනෙ හිටියෙ..

ඩ්‍රාමා එකේ..?

ඔව්.. ඇයි තමුසෙට නිකං කිචි කිචි වගේද..?

මට ඇති කිචියක් නෑ.. තමුසෙට කවුද හලෝ නාට්ටි දෙන්නෙ.. තමුසෙ රඟපාන්න දන්නවද..?

ඇයි.. අපි රඟපෑවොත් රැඟෙන්නෙ නැද්ද..? නිකං උදේ පාන්දරම මස්ත බාල්දු නොකර යනව හලෝ ආපු අතක් බලාගෙන.. මුස්පේන්තුවා..

මොකක්ද තමුසෙ කිව්වෙ..?

මුස්පේන්තුවා..

මුස්පේන්තුවා කියන්නෙ මොකාටද..?

මුස්පේන්තුවා කියන්නෙ ගුරුලේන්තුවගෙ අයියට.. ඕවා ඉස්කෝලෙ දෙකේ පන්තියෙදි උගන්වන්නෙ.. තමුසෙ ඉස්කෝලෙ නොගියට මට කරන්න දෙයක් නෑ..

මං අයියව කපල දැම්මා. උගේ මූණ කරත්ත රෝදෙට අහුවෙච්ච බෙලෙක්කෙ වගේ උනා. අනේ සංසාරේ.. ඌත් ඇදගෙන නාන්න මගේ ළඟටම එනවනේ..


බාගෙට නින්ද ගිහිල්ල වගේ හිටපු මං උඩ ගිහින් බිම වැටුණෙ මොබයිල් එකේ සද්දෙට. නිදිමතේම මං ෆෝන් එක අතට ගත්තා.

රමිත මහත්තයා..

එහා පැත්තෙන් ඇහුනෙ අනාථ නිසාවෙ බාරව ඉන්න පල්ලියෙ ෆාදර්ගෙ කටහඬ. මගේ නිදිමත කොහේ ගියාද දන්නෑ. හදිස්සියක් නෙමෙයි නම් ෆාදර් මට කරදර කරන්නෑ කියන්න අත්දැකීමෙන් මං දන්නවා.

ඇ.. ඇයි ෆාදර්..?

දිමුතු ආයෙත් අසනීප වුණා..

මගේ හිත හිරි වැටිල ගියා. දෙවියනේ.. මේ කැත දෛවයේ පහරදීම මේ අන්ත අසරණ හිඟන පැටවුන්ටම ඇයි සිද්ධ කරවන්නෙ..?

මං දැන්ම එනව ෆාදර්..

තවත් වචනයක්වත් ෆාදර්ට කියන්න නොදී මං මොබයිල් එක සාක්කුවට දාගත්තා. අනාථ ළමයි ඉන්න ගොඩනැගිල්ලට අපේ ගෙදර ඉඳන් ඒ තරම්ම දුරක් නැති උනත් මගේ කාමරේ ඉඳල අපේ ගෙදර ඉස්සරහ දොර ළඟට තියෙන දුරක් මහා ලොකු දුරක් හැටියටයි මට ඒ වෙලාවෙ පෙණුනෙ.

සාලෙට එනකොට අම්මයි තාත්තයි ලොකු කතාවක පටලැවිලා ඉන්න හැටි මං දැක්කා. මං ෂේප් එකේ ගමන බාල කරා.

පොඩි පුතා කොහේ හරි යන්නද..?

ඔව් තාත්තා.. මං ඩිංගක් මේ ළඟට ගිහින් එන්න කියල..

මොන ළඟටද තාත්තා.. ඔය මිනිහා ඔය යන්නෙ අර කැලෑ පාලුවව හම්බවෙන්න.. බලන්නකො දවසක අපි හැමෝටම යකඩ කූරු ගණන් කරන්න වෙන හැටි.. කොහොමටත් ඔය කැලෑ පාලුවන්ගෙන් මෙයාටත් සංතෝසම් හම්බවෙනව ඇති..

හප්පොච්චියේ මේ වහුකුණත් ගේ ඇතුළෙඳ..? බලන් ගියාම මුගේ කන් දෙක  තරම් අධිසංවේදී උපකරණයක් මේ තුන් ලෝකෙ කොහේවත් නැතුව ඇති.

ඒ සංතෝසම ගැන තමුසෙගෙ හිතට අමාරුද..?

අම්මයි තාත්තයි දෙන්නම ඉස්සරහ මං අයියකාරයගෙන් ගේම ඉල්ලුවා. මිනිහා මහා තුප්පහි හිනාවක් දාගෙන ආයෙමත් කාමරේට රිංගද්දි අම්මයි, තාත්තයි මූණින් මූණ බලාගත්තා.


හව්හරණක් නැති අනාථ ළමයින්ගෙ දුප්පත් ගොඩනැගිල්ල ළඟ ෆාදර් හිටගෙන හිටියෙ අන්ත අසරණ වෙලා. දැන් මෙතනින් එහාට මොනව කරන්නද කියල හිතාගන්න බැරිව වගේ.

ඇයි ෆාදර්..?

ඔයා ආපු එක නම් කොයි තරම් දෙයක්ද රමිත මහත්තයා.. මට මෙතන දාලා යන්න විදියක් නෑනෙ..

කෝ දැන් දිමුතු..?

හොස්පිට්ල් එක්කන් ගියා..

හුඟක් අමාරුද ෆාදර්..?

හ්ම්.. කලින් වතාවට වැඩිය බරපතලයි වගේ..

ෆාදර්ගෙ කතාවට මගේ පපුව දාලා ගියා. දිමුතු කියල කියන්නෙ රෝස මලක් වගේ ලස්සන පුංචි කෙල්ලෙක්. ඒකි හරිම අහිංසකයි. වයස ඕන්නම් වැඩිම උනොත් අවුරුදු 9ක් 10ක් විතර ඇති. දෙමව්පියො දාලා ගියපු පව්කාරකමත් එක්කම එයාට තවත් ලොකු අවාසනාවක් තිබුණා. ඒ තමයි එයාගෙ හදවතේ තිබුණ හෝල් එක. ජීවිතේ කොයි වෙලාවෙද කියල කියන්න බැරි තරමෙ අනතුරුදායක මට්ටමක එයා හිටියෙ.

මං හොස්පිට්ල් එකට ගිහින් බලන්නම් ෆාදර්.. සමහර විට තාම එයාට ඇඳක්වත් හම්බවෙලා නැතුව ඇති...

ඒක තමයි මටත් බය..

ෆාදර්.. ඔයා මේ ගැන අනාථ නිවාසෙ හෝල්ඩර්ස්ලට දැනුම් දෙන්න.. නැත්තං අන්තිමට ප්‍රශ්නයක් එන්න පුළුවන්.. දන්නවනේ ඉන්න කට්ටියගෙ හැටි..

ම.. මට ඔයා තරම් කාවවත් විශ්වාස නෑ රමිත මහත්තයා..

මේ වෙලාවෙ ඔය කතාව හරියන්නෑ ෆාදර්.. සමහර වෙලාවට දිමුතුට ඔපරේෂන් එකක් කරන්න උනොත්..?

ෆාදර්ගෙ මූණ සුදුමැලි වෙද්දි මං බයික් එකට නැග්ගා. එතන ඉඳලා හොස්පිට්ල් එකට එනකල්ම මගේ හිතේ තිබුණෙ දිමුතුගෙ අහිංසක මූණ විතරයි. ගේට් එකේ ඉඳපු සිකියුරිටි අඳුනන හන්දා හොස්පිට්ල් එකට ඇතුල් වුණත් දිමුතු දාා හිටපු වෝඩ් එකට යන්න මට බැරිවුණා. ඒ මගේ ඉස්සරහට ඇවිත් බර බරයක් දාපු නයිටින්ගේල් කෙනෙක් හින්දා.

කොහෙද මේ යන්නෙ..?

ඇස් දෙකෙන් මාව මට්ටු කරන්න වගේ නර්ස් නෝනා මගෙන් අහනවා. හැබැයි අපරාදෙ කියන්න බෑ සීදේවි මූණු පොඩ්ඩ. දැක්කත් හිතයි, බඩයි දෙකම පිරෙනවා. අනික යුනිෆෝම් එකට මාර අමුතු ලුක්ක එකක් එයාගෙ තිබුණෙ. වෙන මුකුත් ඕන්නෑ.. වඩාගෙන ඉඹින්න හිතෙනවා.

කොහේ යනව වගේද පේන්නෙ..?

මාත් තැනකට එන්න ඕනනේ.. ඒක හින්දා අතාරින්නෙ නැතුවම වැඩේ පටන් ගත්තා.

කොහේ යනවද කියල දන්නැති හින්ද තමයි ඇහුවෙ..

හප්පේ.. කට නම් කතුර වගේ.. ඕන පැත්තකට කැත නැතුව හරවනවා.

මං හිතුව දන්නව ඇති කියලා..

මිස්ටර් මේ.. මේක හොස්පිට්ල් එකක්..

ඇත්තද..? මං හිතුවෙ මැනිං මාර්කට් එකක් කියලා..

නයිට්ංගේල්ගෙ සුදු මූණ හතරැස් වුණා. කෙල්ල හැදුවෙ කටින් ගහල මාව බය කරන්න. හූ.. හූ.. අපි බයවෙයි ඕවට.

ඔයාට තේරෙන්නෙ නැද්ද..? මේ වෙලාවෙ ඇතුළට යන්න දෙන්න බෑ..

ඇයි..?

ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි..

ඒකත් එහෙමද..? ඒත් නයිටින්ගේල් කෙල්ලේ.. මේ රමියා ලේසියෙන් පස්ස පැත්ත බලා පහු බහින ජාතියෙ කොල්ලෙක් නෙමෙයි.. අඬු පඬු කැඩුණත් ඉදිරිපස බලාම තමයි.

ඔයාට මාව පේන්නෙ ලෙඩ්ඩු බලන්න ආපු කෙනෙක් විදියටද..?

නෑ..

එහෙනම්..

ලෙඩෙක් විදියට..

නයිටින්ගේල්ගෙ මූණෙන් අපූරු හිනාවක් එළියට පැන්නා. නෙලාගන්න ආස හිතෙන තරමෙ ඔය ලස්සන හිනාව කොහෙද අප්පච්චියේ මෙච්චර වෙලා හංගන් හිටියෙ. වැඩිය ඕන්නෑ.. කෙල්ල ඒක කියපු තාලෙට මටත් බකස්ගාලා හිනාවක් ගියා. ඔය තියෙන්නෙ රමියා. දැන් ඉතිං වැඩෙත් බාගයක්ම ගොඩනේ.

ඕව මේව මොන දේ කියල හරි මට ඕන වුණේ වෝඩ් එක ඇතුළට යන්න. ගිහින් අර අහිංසක කෙල්ලට මොකද උනේ කියල බලන්න. ඒත් ඉතිං, ඔක්කොටම කලින් මේක සීතල කරගන්න ඕනි.

ඔයාව දැක්කම නම් ඕන කෙනෙක් ලෙඩ වෙනව බබා..

මං ඒ අන්තිම ටික කිව්වෙ රහසින් වගේ. නයිටිංගේල් කේලලගෙ මූණ බලන් ඉද්දිම රෝස පාට වුණා. ඒ කියන්නෙ මේ චූඩා මාණික්‍යයට ලැජ්ජාවක් කියල දේකුත් තියෙනවනේ.

මීට කලින් නම් මාව දැකල කවුරුවත්ම ලෙඩ උනේ නෑ..

ඒක තමා මාත් කියන්නෙ.. ඔය සුදු මූණ බලලා ලෙඩ වෙන්න මාත් මෙතෙන්ටම ආවනේ.. නේද..?

ගෑණු ළමයින්ව මුරුංගා අතුවල තියන්න  දන්නෙම නෑ නේද..?

මුරුංගා අතුවල තියන්නෙ ඇයි බබා.. වඩාගන්න පුලුවන්කම තියෙද්දි..

කෙල්ලගෙ මූණ රෝස පාටින් රතු පාටට හැරුණා. ඒ ඇස් දෙකත් බලන් ඉද්දිම දිලිසෙන්න ගත්තා. ඔහොම යං රමී.. ඔහොම යං.. ව ටිකකින් උඹ වෝඩ් එක ඇතුළෙ.

මේක නම් කටක් නෙමෙයි.. දැක්කෙත් අදමයි..

මටත් කියන්න තියෙන්නෙ ඒ  ටිකම තමයි..

ඒ ටිකමයි කියන්නෙ මීට කලින් හොස්පිට්ල් එකට ආවද..?

ආවද කියල අහන්නෙ, ඔයා මීට කලින් මං එනකල් මඟ බලන් හිටියද..?

මේ නයිටිංගේල් කෙල්ලත් එක්ක නම්, කතා කරන්න කරන්න ආස හිතෙනවා. මටත් මොනව වෙලාද මංදා. ඉසුරුවා නම් නිතරම කියන්නෙ උඹට නම් රමී ලස්සන කෙල්ලෙක් පේන්න බෑ කියල. බලන් ගියාම ඒ කතාවෙ ඇති ව්‍යාකරණ දෝසෙකුත් නෑ. මොන හේතුවකටද මංදා ලස්සන කෙල්ලෙක් දැක්කහම මඒ කෙල්ල කාට අයිති වුණත් මට නිකං ඉන්න හිතෙන්නෑ. ඩිංගක් හරි ඔලුව දාන්න තමයි මගේ ඇඟපත කියන්නෙ.

ආ..පෝ.. බලන් ඉන්න වැඩේමයි.. මෙයාගෙ හැටියට නම් ගෑණු ළමයි එක්ක කතා කරල හොඳ පලපුරුද්දක් තියෙනව වගේ..

ඇයි මං විතරක්.. බලන් ගියාම ඔයත් එහෙමනේ.. මෙච්චර වෙලා මගෙත් එක්ක කතා කරේ මාව කලින් අඳුනගෙනද.. නෑනෙ..

කෙල්ලගෙ මූණ ඩිංගක් විතර අවුල් වුණා. ඒත් මේ මූණෙ සිරියාව නම් ඩිංගක් වත් අඩු වුණේ නෑ.

ඉතිං.. ඔයා මට කිව්වෙ නෑනෙ.. ඇයි මේ අවේලාවෙ ආවෙ කියලා..?

අන්න.. අන්න.. නයිටිංගේල් කෙල්ල ට්‍රැක් එකෙන් පැන්නා. මොනව උනත් ඒකත් හොඳයි. ඒ පැනපු ට්‍රැක් එකත් මට ඕනම කරන එකක්. මං එතෙන්ට එන්න කලින් කෙල්ලම එතනට ආපු එකනේ වැඩේ කියන්නෙ.

ඇත්තටම මං ආවෙ කෙනෙක්ව බලන්න. මොකද මං බලන්න ආපු කෙනාට මේ වෙලාවෙ මගේ උධව් හොඳටම ඕන කරනවා.

ඔයාව කොහොමද මං ඇතුළට දාන්නෙ..? මේ වෙලාවෙ ඩොක්ටර්ස්ල වෝඩ් රවුන්ඩ් යන වෙලාව..

කොහොම හරි දාන්න බබා..

දෙයියනේ.. ඔහොම කතා කරන්නෙපා.. කාට හරි ඇහුණොත් වැරදියට හිතයි..

කෙල්ලගෙ රතුපාට වෙච්ච මූණ මැදට අපූරු හිනාවක් ආවා. ඒක නම් මේ මේ.. නිකං හිනාවක් නම් නෙමෙයි.. පෙම් පාට, පැණි ගලන හිනාවක්.. ඔව්..  ඔව්.. ඒක නම් රමියට ඕන තැනක දිව්රල කියන්න පුළුවන්.

කවුරු හිතුවත් කමක් නෑ.. ඔයා එහෙම හිතන්නෙ නෑනෙ.. නේද..?

නයිටිංගේල් කේලල එකපාරටම මගේ දිහාට විදුලි කොටනව වගේ බැල්මක් හෙලුවා. මාව නිකං සීතල වෙලා යන්න. ඇත්තමයි මේ ඇස් දෙක නම් ගලවගෙන යන්න හිතයි. ප්ලෑෂර් දෙකක් වගේ ජීවිතේට උඩින් හයි කරල තියාගන්න, මේ සංසාර මගම එළි පෙහෙළි වෙන්න.

කෝ එන්න..

සුන්දරී ඒ පාර කෙලින්ම වැඩේට බැස්සා. ඔය තියෙන්නෙ කෑවයි.. ඔන්න ඔහොමනේ රත්තරනෙ ඉන්න ඕන.

ඔය අයින දිගේ ගියහම කොරිඩෝ එකක් හම්බ වෙයි. එතනින් වමට ටිකක් දුර ගිහින් ආයෙත් වමට හැරුනම දාහතයි දහ අටයි වෝඩ් දෙක හම්බවෙයි..

පිස්සු හැදෙනවා.. ගස්වැල් වේලෙනවා.. මල් පරවෙනවා.. මං අහල තියෙන විදියට නම් දාහත, දහඅට වෝඩ් දෙකම පිරිමි පේෂන්ට්ල ඉන්න වාට්ටු. කෙල්ල හිතන් ඉන්නෙ මං පිරිමි පක්ෂෙ මනුස්සයෙක් බලන්න ආව කියලා.

ඒවා පිරිමි වාට්ටු..

ඉතිං..?

මට ඕන ගෑණු වාට්ටුවකට යන්න..

දෙ..යි..ය..නේ..

නයිටින්ගේල් කෙල්ලගෙ අත් දෙකම කට ළඟට ගියා. ඒකත් ආදරේ හිතෙන ඉරියව්වක්ම තමයි. හිතල කරන්නැති හැමදේම සුන්දරයි කියල, කොහෙද කුඹුරක, වල් පැලවලට ගහන බෙහෙත් බෝඩ් අස්සෙ ලියල තිබුණා.

ඇයි මුකුත් අවුලක්ද..?

ඔයා ඔය විහිලු නෙමෙයි නේද කරන්නෙ..?

නෑ.. නෑ.. නෑ.. මේවා සිරාම සිරා සීරියස්..

කවුද වෝඩ් එකේ ඉන්නෙ..?

ඔන්න දැන් තමයි කෙල්ල වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ. මෙච්චර වෙලා ඔය ප්‍රශ්නෙ කොහෙද තිබ්බෙ කෙල්ලෙ.

මගේ දුව..

ඔ..යා..ගෙ.. දුව..?

කෙල්ලගෙ මූණෙ හිනාව ගව්ගානක් ඈතට පාවෙලා ගියා. ඇස් දෙකත් කුරුම්බැට්ටි සයිස් එකට ලොකු උනා. මොනව වුණත් මගේ කතාව කෙල්ලට දිරවගන්න ටිකක් අමාරු උනා කියල මට තේරුණා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. මං ආපු දේ මම කොහොම හරි කරන්න ඕන. ඒ වෙනකොට කොයි තරමක් අලාභ හානි වෙලාද කියල මං ගණන් බලන්නෙ නෑ. ඒක මේ රමියගෙ උප්පත්තියෙම ඉඳල ආපු චාරිත්‍ර වාරිත්‍රයක්නෙ.

ඔව්.. මගේ දුව තමයි.. ඇයි ප්‍රශ්නයක් මොකුත් තියෙනවද..?

න්..නෑ.. ප්‍රශ්න මුකුත් නෑ..  එ.. එයාට මොකද වෙලා තියෙන්නෙ..?

හිතට එබෙන ප්‍රශ්න පත්තරයක් එක්ක ලොකු සටනක් දෙන ගමන්, කෙල්ල සන්සුන් වෙන්න ලොකු උත්සාහයක් ගත්තා. මගේ දුව කියල කිව්වහම කෙල්ල සෑහෙන්න එක්සයිට් උනා කියල, පොට්ටයෙකුට ඇරෙන්න ඕන කෙනෙක්ට පේනවා.

දැනට පැය භාගෙකට විතර කලින් එයාව ගෙනාවෙ.. හුඟක් අමාරු වෙලා.. සමහර විට මේ වෙනකොට එයාව ඔපරේෂන් තියටර් එකටත් දාලා ඇති.. එහෙම දාලා නැත්නම් මට එයාව බලන්න ඕනෙ..

ඔපරේෂන් එකකට..?

ඔව්.. එයාගෙ හාට් එකේ හෝල් එකක් තියෙනවා..

දෙයියනේ.. ඔයා කලින් කියන්න එපෑය..

කියන්න.. ඔයා ඇහුවෙ නෑනෙ බබා..

කෙල්ලගෙ මූණෙ අදුරු දුක්බර හිනාවක් ඇඳුනා. හොඳටම හිනාවෙලා ඉන්නවට වැඩිය මෙන් මේ වගේ සාංකාවෙන් ඉන්න මූඩ් එක කෙල්ලෙක්ව අල්ලලා ඉඹින්න තියෙනව නම් මාර ගති. ඇඟට වගේම හිතටත් දැනෙන මේ දේවල්, ඇඟ ඇතුළෙම තියෙන එක වඩා හොඳයි. දිරවගන්න බැරිම උනොත් එළියට ඇදල දාන එක වෙනම වැඩක්.

මොකක්ද දුවගෙ නම..?

දිමුතු..

නයිටිංගේල් මගේ දිහා ආයෙත් ඇස් ලොකු කරල බලන ගමන් අඩියට දෙකට වෝඩ් එක දිහාට ගියා. මාත් එයා පස්සෙන්ම යද්දි කෙල්ල මගේ දිහාට හැරුණා. කෙල්ලට මාව දාලා යන්න හිතක් නෑ වගේ. මොනව කරන්නද අප්පා. මටත් එහෙමයි. අද නම් රමියගෙ හිත මේ වෝඩ් එකක් අස්සෙ තමයි තියල යන්න වෙන්නෙ.

සිස්ටර් කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි ඇහුවොත් ඔයා අනූෂිගෙ අයියා කියන්න..

කවුද අනුෂි..? මට එහෙම නංගි කෙනෙක් නෑනෙ..

අ..යි..යෝ.. මං කියන දේ කරන්න.. වැඩිය කතා කරන්න ගියොත් මාවත් ගෙදර යවයි..

ඒකත් හොඳයි.. එතකොට මට ඔයාව බලන්න ගෙදරටම එන්න පුලුවන්.. මෙහෙම හොස්පිට්ල් ගානෙ බඩගාන්නෙ නැතුව..

ආ.. එහෙමත් හිතේ තියෙනවද..?

නැතුව..? ඒක නෙමේ කවුද මේ අනූෂි..?

අනුෂි කියන්නෙ..!

කෙල්ලට එතනින් එහාට වචනයක්වත් කතා කරන්න හම්බ වුණේ නෑ. කොටින්ම හතේ පහේ සයිස් එකට කෙට්ටු වෙච්ච දාර සිස්ටර් කෙනෙක් අපි ළඟට ආවා. හම්මේ.... මූණ බැලුවත් ඇති.. ඇඟම කිලිපොලා යනවා.

අනූෂි..! මොකද මේ වෙලාවෙ..?

එහෙනම් අනූෂි කියල කියන්නෙ මේ නයිටිංගේල් කුමාරිහාමිට තමයි. කලින් කියන්න එපැයි බබා.. එහෙනම් වඩාගෙන ඉඹින්නෙ.

ම..ම.. මම..

සිස්ටර් මං දිහාත් ගජරාමෙට බලනවා. අනූෂිත් කතා කරගන්නත් බැරි තරමට බය වෙලාද කොහෙද. රමිතයෝ.. තවත් බලන් හිටියොත් වැඩේ අලම වෙනවා. දැන් තමයි ප්‍රවේසමෙන් බැට් කරන්න වෙන්නෙ. නැත්නම් නයිටින්ගේලුත් සුන්.. එයාගෙ පනත් සුන්.

සිස්ටර්.. අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි.. මං අනූෂිගෙ අයියා.. මට ලොකු කරදරයක් වෙලා.. සිස්ටර්ව හම්බ වෙච්ච එකත් ලොකුම දෙයක් මේ වෙලාවෙ..

මාව..?

ඔව්.. අනූෂි මට සිස්ටර් ගැන හුඟක් හොඳ කියල තියෙනවා. ප්‍රමාණයෙන් අපිට වැඩිය ටිකක් උස මහත උනත් ඇතුලෙ තියෙන හදවත ඊටත් වඩා කරුණාවන්තයි කියලා..

අර මුලින් පුස් පාට් එකට තිබ්බ සිස්ටර්ගෙ මූණ හිතාගන්නව්ත බැරි තරම් ඉක්මනට කලඑළිය උනා. අනූෂී කටත් අරන් මං දිහා බලන් ඉන්න තාලෙට මට හිනාත් යන්න ආවා.

මගෙන් මොනවද වෙන්න ඕන පුතා..?

දෙයියන්ට ඔප්පු වෙන්න. ඒ පාර මං පුතා උනා. තවත් ටිකක් එහාට ගියාම මුණුබුරා වෙයිද මන්දා.

අනේ සිස්ටර් මගේ දුවට දැන් ටිකකට කලින් අමාරු වෙලා මෙහෙට ගෙනාවා. එයාට ඇඳක් හම්බ වුණාද..? එහෙමත් නැත්නම් තාමත් ආපු විදියටම ඉන්නවද දන්නෑ.. ප්ලීස් සිස්ටර්.. මොනව හරි කරන්න බලන්න..

මයිගෝඩ්.. ඇයි අනූෂී ඔයා මෙච්චර වෙලා බලන් හිටියෙ..? ඒ දරුවට ඇඳක් නැත්නම් ඔයා ඒක සූදානම් කරන්න ඕනනේ.. ඔහොමද සහෝදරයන්ට සලකන්නෙ.. වෙරි සොරි පුතා..

අනූෂිට බනින්න එපා සිස්ටර්.. එයත් දැන් තමයි දන්නෙ..

හ්ම්.. කමක් නෑ..

එහෙනම් අනූෂි, අයියත් එක්ක ගිහින් ඒ වැඩකටයුතු ටික කරල දෙන්න.. මාත් මේ හදිසි වැඩකට යන ගමන්..! පුතා..?

ඇයි.. සිස්ටර්..?

වැඩිවෙලා ඉන්නෙ නැතුව ඉක්මනින් යන්න බලන්න.. රෑත් වෙන්න ආවනේ..

ෂුවර් සිස්ටර්.. මේ කරපු උදව්ව සෑහෙන්න වටිනවා..

කට පුරෝලා හිනාවෙන ගමන් සිස්ටර් අපි ගාවින් ඈත් වුණා.. හ්ම්.. ලොකු නයිටින්ගේල් ගියා. දැන් පුංචි නයිටින්ගේල් ආයෙත් ඉතිරි වුණා.

ඔයා නම් හරිම කෙනෙක් තමා..

ඇයි බබා..?

දෙයියනේ ඔහොම කතා කරන්නෙපා.. කවුරු හරි අහන් හිටියොත් මට මෙතන වැඩ කරන්න වෙන්නෙත් නෑ..

මං ඔයාගෙ එක කුස උපන් අයියනේ..

අයිය තමයි.. කොහෙන්ද අර බොරු ටික ඇද බෑවෙ..?

මොන බොරු ටිකද..?

මොන බොරු ටිකද අහන්නෙ..? ඔයා දන්නවද ඔය සිස්ටර් කවුද කියලා..?

නෑ..

එයා තමයි අපි හැමෝගෙම හෙඩ්.. පුදුම තරම් නපුරුයි.. කාටවත් එයාව පේන්න බෑ.. මාව හීතල වෙලා ගියා.. එයා අපේ ඉස්සරහට ආවම.. ඇත්තටම ඔයා එයාට වශියක් දුන්නද මන්දා.. මං ජීවිතේට ඇහුවමයි එයා කෙනෙකුට ඔය තරම් කරුණාවන්ත විදියට කතා කරනවා..

වශියක් ගැන කිව්වෙ..? මං ඔයාට දීපු වශියක් වගේද..?

වෝඩ් එක දිහාට යන ගමන් උනත්, අනූෂි එකපාරටම නැවතිලා හරි කෙලින්ම මගේ මූණට එබුණා.

මං ඔයාට වශී උනේ නෑ..

නැද්ද..? එහෙනම් ප්‍රශ්නයක් නෑ.. පස්සෙ වශී උනා කිව්වට මං ගනන් ගන්නෙත් නෑ..

මො.. මොකක්ද කිව්වෙ..?

මුකුත් නෑ බබා.. මට ඇඳක් හොයල ඕන කියලයි කිව්වෙ..

ඒ වෙනකොට අපි කාන්තා වාට්ටු තුන හතර ළඟට ඇවිත් තිබුණා. මං හිතුව වගේම කොට්ටෙකුයි රෙදි ටිකකුයි ගුලිකරගෙන දිමුතු කොරිඩෝ එකේ මුල්ලෙ ගුලි ගැහිලා හිටියා. ඒ හිටපු විදියෙ තිබ්බ අසරණකමට මගේ හිත කෑලි කෑලි වලට කැඩිල ගියා.

දිමුතු..

මගේ කටහඬට අහිංසක කෙල්ල හුඟක් කලබල උනා. කඳුලු බිංදු පේලි බර ගානක් දෝරෙ ගලන් ගියපු ඒ රවුම් මූණෙ පුංචි හිනා බිංදුවක් මතුවුනා. අතේ ගුලිකරන් හිටපු හැමදේම බිමට දාලා දිමුතු මං ළඟට දුවගෙන ආවෙ දේව දූතයෙක් දැක්ක වගේ.

රමිත අ..යි..යා..! හග්.. හග්.. අ..නේ.. ඔයා ආපු එක කොයි තරම් හොඳද..! මං.. මං හුඟාක් බයෙන් හිටියෙ..

බයවෙන්න එපා දරුවො.. මං දැන් ආවනේ.. ඔයාට කොහොමද දැන්.. ඔයාව කවුරුවත් බැලුවෙ නැද්ද..?

බැලුවා..

බැලුවා නම් ඇයි මෙතන ඉන්නෙ..? වෝඩ් එකට යන්නැතුව..

මට ඇඳක් නෑ රමිත අයියා.. එතන බිම නිදා ගන්න වෙන්නෙ.. මට බයයි..

මං ඉන්නකල් බයවෙන්න එපා.. ඔයාට ඇඳක් දැන් හම්බවෙනවා.. එහෙම නේද අනුෂි..

දිමුතුගෙ අසරණ කමින් හෙම්බත් වෙච්ච මූණ මග ඇරල මං අනුෂි දිහාට එබුණා. ඒ සුදු මූණෙ තිබ්බෙ ටිකක් විතර බැරෑරුම් පෙනුමක්. ප්‍රශ්නත් සෑහෙන ගණනක් ඒ මූණෙ ලියවිලා තිබ්බා.

ඔව්.. ඔයාට ඇඳක් හම්බවෙනවා.. ඉන්න මං ලෑස්ති කරල දෙන්නම්..

අනූෂි වෝඩ් එක ඇතුළට යද්දි මං දිමුතුගෙ අත් දෙකෙනේම අල්ල ගත්තා.

දිමුතු..?

ඇයි රමිත අයියා..?

ඩොක්ටර්ස්ල මොකද කිව්වෙ..?

ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ කිව්වා.. ඒ උනත්..

ඒ උනත් ඔයාගෙ පපුව රිදෙනව නේද..?

ඔව්.. සැරින් සැරේට රිදෙනවා..

අපි මේ පාර ටිකක් දිගට බෙහෙත් ඩෝස් එකක් ගමු.. එතකොට ඕක හරියයි.. ඔයා බය නැතුව ඉන්නෝන හොඳද..?

ඔයා හරිම හොඳයි රමිත අයියා.. ඔයා මගේ බාරකාරයා වෙච්ච එක ගැන මං හැමවෙලාවෙම දෙවියන්ට පින් දෙනවා.. දෙයියො මට කිසිම දෙයක් දුන්නෑ.. මං ආස කරන කිසිම දෙයක් දුන්නෑ.. හග්.. හග්.. ඒත් එයා මට ඔයාව දුන්නනේ.. හග්.. හග්..

අඬන්නෙපා දිමුතු.. ඔයා ඔය මාවත් අඬවන්නයි හඳන්නෙ..

ඔයා කවදාවත් අඬන්නෙ නෑ රමිත අයියා.. ඔයා කවදාවත් අඬන්නෙ නෑ.. මගේ ලෝකෙට ඉර ඔයා.. ඔයා හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්නෝන..

ඔයා හිනා උනොත් තමයි දිමුතු මටත් හිනා වෙන්න පුලුවන්.. ඒක හින්ද නිතරම හිනාවෙලා ඉන්න.. ඔයා ළඟ තනියට නවතින්න ගෑණු කෙනෙක්ව බලලා එවන්නම්.. මේ ළඟ ඒ වගේ අය ඕනෙ තරම් ඇති..

ඔයා දැන් ෆදාර්ව හම්බවෙන්න යනවද..? ගිහින් කියන්න මට අමාරුවක් නෑ කියලා.. නැත්නම් එයා බයවෙයි..

ඒ ඔක්කොම මම බලාගන්නම්.. ඔයා ඉක්මනට සනීප වෙන්නකො.. ඔයාට මතකයි නේද දැන් මගෙත් එක්ක ආව නර්ස් නෝනා..?

ඔව්..

එයා තමයි ඔයාගෙ නැන්දා.. මං තමයි ඔයාගෙ තාත්තා.. එහෙම තමයි කවුරු ඇහුවත් කියන්න ඕනෙ.. තේරුණාද..?

ඇයි රමිත අයියා.. ඇයි අපි බොරු කියන්නෙ..?

හොඳ දෙයක් කරන්න සමහර වෙලාවට බොරු කියන්නත් වෙනවා.. හුඟක් වෙලාවට කවුරුත් අහන එකක් නෑ.. ඒත් ඇහුවොත් ඔය විදයට උත්තර දෙන එක හොඳයි..

මං දිමුතු මගේ ළඟට තුරුළු කරගත්තා. එයා තව තවත් මට ළං වුණේ පුංචි හිතට රැකවරණය පිළිබඳ ලොකු හැඟීමක් දැනුණ නිසා වෙන්න ඇති.

දිමුතුට ඇඳකුත් හොයල දීල එයාව බලාගන්න ගෑණු කෙනෙකුත් අනූෂිගෙ උදව්වෙන් පංගාර්තු කරල තව කෑම බීම එහෙමත් හොඳ තත්වයෙන් ලැබෙන්න සලස්සලා වෝඩ් එකෙන් මං එළියට එනකොට හුඟක් රෑ වෙලා. මගෙත් එක්කම අනූෂිත් ටික්ක දුරට යනකන් ඇවිදන් ආවා.

රමිත..

මගේ නමත් දැනගත්තා නේද..?

හ්ම්.. අර දරුවා කියනව ඇහුනා..

ලොකු හුස්මක් පහළට ඇදල දාලා එයා සද්දෙට පිට කරල දැම්මා. එයාගෙ හිතේ ප්‍රශ්න පෙර ගැහිල තියෙන පාටයි.

ඇත්ත කියන්න රමිත.. එයා ඔයාගෙ කවුද..?

මගේ දුව..

විහිලු කරන්නෙපා.. එයා ඔයාට කතා කෙරුවෙ අයියා කියලා.. මට හොඳට ඇහුණා..

ඔයාට ඇත්ත දැනගන්න ඕනද..?

ඔව්..

ඇයි..?

මගේ හිතට හරියට වද දෙනව රමිත..

මොකක්ද..?

මේ අද දවසෙ සිද්ධ වෙච්ච දේවල්..

එයා මට අයියා කියල කතා කරපු එක හරි.. මං එයාගෙ බාරකාරයා..

ඒ කිව්වෙ..?

ඒක ටිකක් දිග කතාවක්..

මං කැමතියි ඒක දැනගන්න..

මේ ඒකට වෙලාව නෙමෙයි.. මං ඔයාට පස්සෙ කියන්නම්..

පස්සෙ කිව්වෙ..?

වෙන දවසක.. එතනක් මගේ කෙල්ලව හොඳට බලාගන්නව නේද..?

ඔව්.. මගේ දෙයක් විදියට මං බලාගන්නම්..

තෑන්ක්ස් අනුෂි..

එයාගෙ  ඇස්වල කියාගන්න බැරි මොකක්දෝ දෙයක් ලියවිලා තිබ්බත් මං ඒ ගැන ඒ තරම් දුරට හිතන්න ගියේ නෑ.. දැක්ක පලවෙනි දවසෙම කෙල්ලො ගැන මරියානා ආගාධෙ තරම්ම ගැඹුරට හිතන්න ඕන නෑ කියලා ඇල්බට් අයින්ස්ටයිනුත් කොහෙද පොතක කියල තිබ්බා. ඒ උපදේසෙ නම් මේ රමියා බොක්කෙන්ම අදහන මැනුවල් අදහසක්.


ගෙදර යන්න කලින් කෝකටත් කියල මං පල්ලියෙ ෆාදර්ට කෝල් එක්ක අරන් විස්තරේ කිව්වා. අනාථ නිවාසෙ ඉඳලා තවත් දෙතුන් දෙනෙක් හොස්පිට්ල් එකට එවල තිබුණත් ඒ කාටවත් හොස්පිට්ල් එක ඇතුළට යන්න දීලා තිබුණෙ නෑ. හැමෝම මූණයි ඔලුවයි දෙකම නරක් කරගෙන ආපහු යන්න ගිහින් තිබුණා. ඒත් ෆාදර් බය නැතුව ඉඳල තිබුණෙ මං හොස්පිට්ල් එකට ගියපු හින්දා.

රමිත මහත්තය ගිහපු හින්දයි මං හිතේ සැහැල්ලුවෙන් හිටියෙ.. දැන් කොහොමද මගේ අහිංසකීට..?

පේන විදියට නම් ඒ තරම් අමාරුවක් නෑ.. ඒත් ඇඟ ඇතුළෙ තියෙන දේවල් ගැන කියන්න නම් මට දැනුමක් නෑ ෆාදර්.. හැබැයි..

ඔව් රමිත මහත්තයා..

හැබැයි.. දිමුතුව බේරගන්න මං මගේ අන්තිම සතෙත් වියදම් කරනවා.. ඒක ෆාදර් දන්නවනේ..

ඔව්.. මං රමිත මහත්තයා ගැන දන්නෙ අද ඊයෙක ඉඳල නෙමෙයිනෙ.. මං මෙතෙන්ට එන කාටත් කියන්නෙ රමිත මහත්තයගෙ හදවත නියම රත්තරං කියලා.. චෙක් කරලා බැලුවොත් කැරටි විසිහතරම ඇති කියලා..

මට පුංචි හිනාවකුත් යන්න ආවා.. ෆාදරුත් කියන්නෙ මාර කතා තමයි.

එහෙනම් ෆාදර්.. මෙතන හැමදේම හරි.. තව මොනව හරි අවශ්‍යතාවක් උනොත් මට කතා කරන්න.. සල්ලි ඕන නම් ඒත් කියන්න..

මං ෆෝන් එක තිබ්බා. ඒ තියල ආපහු හැරෙද්දියි මං දැක්කෙ මූණ ඉස්සරහ හිටපු එකාව.. මූ මොකද මේ වෙලාවෙ.. අනික කණ පැලෙන්න බීලා..

ර.. රමිත අයියා...

වැනි වැනි ඇවිත් රංගන මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.. ෂිහ්.. නහය කිට්ටු කරන්න බැරි තරම් අප්පිරියා සහගත ගන්දස්කාරකමක් ඌ ළඟින් එන්නෙ.. මූ බීල තියෙන්නෙ අරක්කුද නැත්නම් ඩ්‍රැනේජ් වලක මොනා හරිද මන්දා.

මොකද යකෝ මේ..? ඩිංගක් පැත්තකට වෙයන්..

සො.. සොරි වෙන්නෝන.. සොරි වෙන්නෝන.. ඒ.. ඒත්.. මට.. මට.. වෙන කරන්න දෙයක් නෑ.. අක්මාව ගැලවෙනකම්ම.. මම බොනවා.. ඕ.. ඉයර්ස්.. මං.. මං බොනවා..

රංගන මේ.. බොන්න බැරිනම් උඹ නාපං.. මගේ වැඩ පාඩු කරන්නැතුව පැත්තකට වෙයන්..

ඒ.. ඒහෙම පැත්තකට යන්න බෑ.. රමිත අ.. අයියා.. උ.. උම්බ මගේ ආදරේ විනාස කෙරුවා.. මා.. මාව නැති කරා.. උඹට හොඳක් නම් වෙන්නෑ.. ක.. කවදාවත්..

මොකක්ද යකෝ කියන්නෙ..? මං කොහෙද උඹේ ආදරේ විනාශ කෙරුවෙ.. උඹඹනේ කුඩ්ඩෙක් වෙලා ආදරේ කුඩුකරගත්තෙ.. ඒ මදිවට අර පුංචි කෙල්ලෙක්ව උස්සගෙන ඇවිල්ලා කාමර ගානෙ රිංගුවෙ.. ඒවා ඔක්කොම මමද කරේ..? නිකං මගේ යකා අවුස්සන්නෙ නැතුව හිටපං..! කෝ.. පැත්තකට වෙයන්.. මගෙන් කනේ පාරක් කන්නැතුව..

ඒ.. ඒ.. හැමදේම කෙරුවෙ..? ඒ හැ.. හැමදේම කෙරුවෙ ආදරේ වැඩිකමට..

මරුනේ.. උඹේ කතාව නම් මසුරන් වටිනවා.. බලන් ගියහම උඹ මහා කාලකන්නියෙක්නෙ බං.. උඹ කුඩු ගැහුවෙ, ගෑනු අරගෙන කාමර ගානෙ ගියේ, ආදරේ වැඩිකමටද..? යකෝ ඔය වගේ අමන කතාවක් මම නම් ඇහුවමයි..

තවත් මූත්තෙක්ක කතා කර වැඩක් නෑ.. මං බයික් එක ස්ටාර්ට් කරගත්තා.

යන්නෙපා.. යන්නෙපා.. රමිත අයියා.. ම.. මගේ කතාව අ.. අහල පලයං.. ඕවා මොනව උනත් මගේ ආදරේ විනාස කරේ උඹයි..

කන පාත්වෙන්න බීලා මේකා විකාර කියවනවද මන්දා.. කොයි තරම් බිව්වා උනත් ඌ ඒ කියපු අන්තිම වචන ටිකේ අමුතුම ගතියක් තිබුනා. බයික් එකේ ප්‍රස්ට්ගියර් එකට දාලත් මං ඉද්ද ගැහුව වගේ නතර උනේ උගේ කතාව නිසයි.

මොකක්ද උඹ කිව්වෙ..?

බයික් එක උඩ ඉඳන්ම මං රංගනගෙ කමීස කොලර් එකෙන් ඇදල මගේ ළඟට ළං කරගත්තා. පුලුන් රොදක් පාවෙලා එනවටත් වැඩිය සැහැල්ලුවෙන් ඌ මගේ ළඟට ඇඳිලා ආවා.

ර.. රමිත අයියා.. උඹ.. උඹ මගේ කොලර් එකෙන් ඇල්ලුවෙ මට ගහන්නද..? ඔව් ගහපං.. ඕනෙ තරම් ගහපං.. ඊට පස්සෙ උඹට පුළුවන්නෙ ඉමාෂි ළඟට යන්න..

කුණු වෙන් බීල හිටියත් රංගනගෙ කටින් පිටවෙච්ච කැත වචන ටිකට උගේ කොලර් එක මගේ අතින් අතෑරුණා. මේකා මොන තරම් අමන කතාවක්ද ඒ කිව්වෙ.

කැත කතා කියන්නෙපා යකෝ.. ඉමාෂි කියන්නෙ මගේ නංගි වගේ.. උඹට ඒකි ළඟ ඉන්න පින නැතුවට මට කරන්න දෙයක් නෑ.. කාලකන්නියා.. ඉස්සරවෙලා මිනිහෙක් වගේ හැසිරෙන්න බලපං.. බීල කුනුවෙන්නෙ නැතුව..

ක.. කමක් නෑ.. මගේ බීමෙන් උඹට වැඩක් නෑ.. උම්බට වැඩක් නෑ.. මං වගේ නෙමෙයි.. උඹට ඕන කෙල්ලෙක් දැපනෙ වැටෙනවා.. මේ මුලු දිස්ත්‍රික්කෙම කෙල්ලොත් එක්ක උඹ යාලුයි.. ඔව්.. උඹ මගේ ඉමාෂිත් එක්කත් යාලුයි..

තවත් මෙතන ඉඳගෙන මේ වහුකුණා කියවන කයි කතන්දර අහන් ඉන්න මගේ හිතේ කැමැත්තක් තිබුණෙ නෑ.. හිතේ කේන්තිය පිටින්ම රංගනයව පැත්තකට තල්ලු කරල දාලා මං එන්න ආවෙ ඒකයි. ඒත් ඒකා අන්තිමට කියපු කාව මගේ හිතේ හතර පැත්තෙන්ම වද දෙන්න ගත්තා.


No comments:

Post a Comment