Thursday, January 17, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


පහුවෙනිදා උදේ හතයි කාල වදිද්දි මං හිටියෙ පිළිසරණ අනාත නිවාසෙ ඉස්සරහ. ගේට්ටුව එළියෙන් ඇරගෙන ඇතුළට යනකොටත් ළමා නිවාසෙ ළමයි වටපිටාව පිරිසිදු කරන්න පටන් අරන් තිබුණා. ඒත් ඒ ළමයි අතරෙ මං දිමුතුව දැක්කෙ නෑ.

“රමිත මහත්තයා...”

මාව දැක්ක ගමන් ෆාදර් මගේ ළඟට ආවා.


“ෆාදර්.. ඇයි දිමුතු පේන්න නැත්තෙ..?”

“දිමුතුට ආයෙත් අසනීප උනා..”

“අසනීප උනා..? ඇයි මට නොකිව්වෙ..?”

මට ආවෙ ෆාදර් එක්ක ලොකු තරහක්. මොනව හරි හදිස්සියක් උන ගමන් කතා කරන්න කියල තියෙද්දි මොකක්ද මේ කරල තියෙන හාල්පාරු වැඩේ. මං ෆාදර් දිහා බලද්දි එයා බිම බලාගත්තා.

“කියන්න ෆාදර්.. මොකක්ද ප්‍රශ්නෙ.. ඇයි දිමුතු අසනීප උනා කියල මට නොකිව්වෙ..?”

“දිමුතු කිව්වා.. මහත්තයට කියන්න එපා කියල..”

“මොකක්..?”

“ඔව් රමිත මහත්තයා.. දිමුතු කිව්වා.. මහත්තයට කරදර කරන්නෙපා.. දෙයියො බුදුන් වගේ මේ කරන කැපවීම, බලා ගැනිල්ල හොඳටෝම ඇති කියලා..”

“ඒ පැහිච්ච ආච්චි කිව්වට ෆාදරුත් මට කතා කලේ නෑ..”

“මගෙත් එක්ක නොරොක් වෙන්නෙපා රමිත මහත්තයා.. ඒ දරුවගෙ අහිංසක කැමැත්තටයි මං ඉඩ දුන්නෙ.. මං කොහොමද ඒ අසරණ හිත රිද්දන්නෙ..? රමිත මහත්තය ඔය මොනව කියල කෑගැහුවත් මං දන්නවා මහත්තයා උනත් දිමුතු කියන දේට පිටින් යන්නෑ කියලා..”

ෆාදර්ගෙ කතාව සීයට සීයක්ම ඇත්ත හන්ද මං ඒ ගැන කතා කරනෙක නවත්තල දැම්මා.. තවත් ඒ ගැන කතා කරල වැඩක් නෑ. දැන් වැඩේ සිද්ධ වෙලා ඉවරයි. නිකරුනේ පොරොන්දම් බලල වැඩක් නෑ.

“ෆාදර්..?”

“ඇයි රමිත මහත්තයා..?”

“මෙන්න මෙතන, රුපියල් හතලිස් දාහක් ඇති.. මේක දිමුතුගෙ දේවල් වලට වියදම් කරන්න..”

ඊයෙ රෑ කොට බිස්නස් එකෙන් ඉසුරු මට දීපු මගේ පංගුව එහෙම පිටින්ම මං ෆාදර්ගෙ අත්දෙක උඩින් තිබ්බා. ෆාදර් මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.

“මෙච්චර..?”

“ඔව් ෆාදර්.. සමහර විට මං දිමුතු ළඟ නැති වෙලාවකට එයාට සල්ලි ඕන වෙන්න පුළුවන්. මං තවත් ටිකක් ගෙනැල්ල දෙන්නම්.. හදිස්සියකදි එහෙට මෙහෙට විසි කරන්න.. මගෙන් අහන්න බලන් ඉන්නෙපා..”

මට ඒ ටික කියල කටගන්න හම්බ වුණේ නෑ. මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නව වගේ මට දැනුන හන්ද මං හැරුණා.

“ර..මි..ත.. අ..යි..යා.. හ්.. හග්..”

දිමුතුගෙ ඇස් දෙකේම කඳුළු පිරිලා තිබුණා. ඒ අන්ත අසරණ මූණු පොඩිත්ත මගේ හිතට ගෙනාවෙ මහා දුකක්. ඇයි දෙයියනේ ඔයා ඔය තරම් අසරණ විදියට බලාගෙන ඉන්නෙ. ඔයාව සංතෝසෙන් තියන්න මං කොයිතරම් මහන්සි වෙනවද..?

“දිමුතු..?”

“ම.. මං වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නෙපා මගෙ අයියෙ.. මේ දේවල් වලින් පුංචි ප්‍රයෝජනයක්වත් නැති වෙයි..”

“ඇයි..?”

“මං මේ ලෝකෙ ඉන්නෙ තව ඩිංග කාලයයිනේ..”

“දිමුතු.. ආයෙත් ඔය කතාව කිව්වොත් මං කට කඩනවා.. ඔයාට කලින් මං ගියොත් මිසක් ඔයා යන්නෙ නෑ.. ඒක හොඳට මතක තියාගන්න.. අනික මේ රමිත ඉන්නකල් ඔයාට පුංචි කරදරයක්වත් දෙන්නෑ..”

“ඔ.. ඔයාට කියන දේ තේරෙන්නෑ මගෙ අයියෙ.. මට ඔයාව දාලා යන්න වෙනවා.. ඒක මගේ හිත කියනවා.. ඒත් මට බැරිම දේත් ඒකයි.. ඒ දේ මං කලිනුත් ඔයාට කියල තියෙනවා රමී අයියෙ..”

“දිමුතු.. ඇයි ඔයා මගේ හිත රිද්දන්නෙ..? මොනවද ඔයා මේ කියන්නෙ..?”

“මං වෙනුවෙන්.. මේ කරන කියන දේවල් වලට කලගුණ මං ලබන ආත්මෙ හරි ගෙවනව මගේ අයියෙ.. මනුස්ස ආත්මයක් ලබන්න බැරි උනොත් මං සතෙක් වෙලා හරි මේ ණය ගෙවනවා.. ඔව් අයියෙ.. මේ ලෝකෙ අංශු මාත්‍රයක් හරි කරුණාවක් නැතුව ඉපදිච්ච මං, ඉපදිච්ච ගමන්ම මාව අතෑරල දාලා ගියපු ඒ ආදරණිය අම්මට උනත් වෛර කරන්නැති මං, මට මේ තරම් ජීවිතේ කියල දෙන ඔය රත්තං හිතට කොයි තරම් ආදරේ කරනවද කියල කියන්න මට වචන නෑ..”

දිමුතු ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව හො ගාලා කියවගෙන යනවා. ඇත්තටම මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. මගෙයි දිමුතුගෙයි කතාව දුක්බර පැත්තකට ඇදිල යන හන්දම ෆාදරුත් අපි ගාවින් හෙමින් සැරේ පැත්තකට ගිහින් තිබුණා.

“ඔයාව අපේ ගෙදර එක්කගෙන යන්න පුළුවන්කමක් තිබුණ නම් මෙලහකටත් මං ඔයාව එක්කගෙන ගිහින් දිමුතු..”

“මං ඒක දන්නව රමිත අයියෙ.. ඔයාගෙ වයසෙ කිසිම පිරිමි ළමයෙක් නොකරන දෙයක් ඔයා මේ කරන්නෙ.. ඒක අදහන්න වටිනවා කියල මං නිතරම කියන්නෙ ඒකයි.. මුලු ලෝකෙම මට නැති වෙලා තිබුණත් ඔය රත්තරං හිතේ පුංචි ඉඩක් හරි මට හිමි වෙච්ච එක ගැන මං පුදුම තරම් සංතෝසෙන් ඉන්නෙ..”

“පුංචි ඉඩක් නෙමේ දිමුතු.. මේ මුලු හිතේම ඉඩ ඔයා අරන් ඉවරයි.. ඔයා හීනෙකින්වත් මේ රමිත අයියා දාලා යන්න හිතන්නෙපා.. ජීවිතේට ශක්තිය අරගෙන ශක්තිමත් වෙලා ඉන්න.. ඔයාට කිසිම නපුරක් වෙන්නෑ දිමුතු.. ඔයා මගේ ආයුෂත් අරගෙන මටත් වැඩිය කල් ජීවත් වෙන්න ඕන.. දැන් ඉතිං හොඳ ළමය වගේ ඇතුළට යන්න.. ඔයාට බුදුසරණයි!!..”

බෝල ඇස් දෙක හෙමින් සීරුවෙ උස්සලා දිමුතු මගේ දිහා බැලුවා. තමන්ට හිමිවෙලා තිබ්බ වටිනාම වස්තුවක් නැතිවෙලා ගියපු කෙනෙක්ගෙ මූණෙ තියෙන පසුතැවීඹ ඒ පුංචි මූණෙ හරි අපූරුවට සිත්තම් වෙලා තිබුනා. ඒත් ඒ පසුතැවීම මැද්දෙන් මගේ ජීවිතේ අමතක කරන්න බැරි තරම් සුදු සිනාවක් හැංගිලා තිබුණා.


හැන්දෑව තඹ පාටට හැරිල තියෙද්දි ඇයිද කියල මං හොයන්න ගියේ නෑ. මොන අල ගෙඩියකට ඕව හොයනවද..? හැන්දෑව සුවදේ විඳ ගන්නව මිසක. අනිත්තෙක ඉතිං සුවසේ විඳගන්න දේකුත් මං ළඟ තඹ පාට හැන්දෑවෙ තිබුණා. ඒ සජීවී වස්තුව තමයි ඉමාෂි.

“රමී අයියා මට කියන්නෙ මොනා කරන්න කියලද..?”

මෙච්චර වෙලා කිසිම කතා බහක් නැතුව ඉඳපු ඉමාෂි මගේ පැත්තට හැරුණා. ඉසුරුගෙ මූනට ඉඟක් සමානකම් තිබ්බ ඒ සොඳුරු කාන්තා රූපෙ ඇඳිලා තිබ්බෙ හිත හිරි වට්ටන කෝමල රේඛා කිහිපයක්. ඒත් මං හිතට අවවාද කරගත්තා.. මේ ඉන්නෙ ඉසුරුගෙ නංගි කියලා.. නැත්තං ඉමාෂිගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් රංගන කියපු දේවල් සෑහෙන දුරට ඇත්ත වෙනවා.

“මං ඔයාට මොනවත් කියන්න හැදුවෙ නෑ ඉමාෂි..”

“මාව අතරමං කරන්නෙපා රමී අයියෙ.. ආහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො.. අපේ අයියගෙ මූනත් මේ දවස්වල හොඳම නෑ.. හරියට මං වැරැද්දක් කරල වගේ.. හරහටමයි කතාව..”

මේං බලපල්ලා ගෑණු ළමයි.. මේවට තමයි කියන්නෙ කලුවර, බුරුත, තේක්ක ගස් කොච්චර තිබ්බත් මිනී පෙට්ටිය හදන්න ගන්නෙ කොලොන් ගස් හරි පුළුන් ගස් හරි කියලා.

“ඔයා වැරැද්දක් කෙරුවෙ නැද්ද..?”

“රංගනට ආදරේ කරපු එකද..?”

“ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි ඉමාෂි.. ඒත් රංගන වගේ කොල්ලෙකුට ආදරේ කරන එක වැරැද්දක්.. ඒක ඔයාගෙ මුලු ජීවිතේටම සිද්ධවෙන, මකල දාන්න බැරි කැළලක්..”

“ඇයි රමී අයියෙ.. ඔයත් අපේ අයිය වගේ කතා කරන්නෙ..? මං රංගන එක්ක සම්බන්ධෙ නවත්තලනේ තියෙන්නෙ..”

“ඒ වුණාට ඔයාගෙ හිතේ ඒකා ඉන්නවනේ..”

“ආදරයක් ලේසියෙන් මරල දාන්න බෑ.. ඒක මුලු ජීවිතේ පුරාවටම වද දෙනවා..”

“ආදරේ කරපු එකා කැත සතෙක් කියල දැන ගත්තහමත් ඒ ආදරේ ජීවිතේ පුරාම වද දෙනවද..?”

බිමට බරවෙලා තිබ්බ ඉමාෂිගෙ ඇස් දෙක එක පාරටම උඩට ඉස්සුනා. ලාවට වගේ කඳුලු බිංදු දෙකක් මතුවෙලා තිබ්බ ඒ ඇස් රතු පාටට හැරිල තිබ්බා.

“ඔයාලට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක් තියෙනව රමී අයියෙ..”

“ඒ මොකක්ද..?”

“කෙල්ලෙකුට ආදරේ කරනෙක පිරිමි කෙනෙකුට එක මොහොතක් වෙන්න පුළුවන්.. ඒත් ගෑණු අපිට ඒ දේ මුලු ජීවිතේටම අමතක කරන්න බෑ.. අපි ඒ දේ බදාගන්නෙ මුලු ආත්මයෙන්ම.. ඔයාල වගේ ඒ මොහොතෙ සංතෝසෙ ගැන හිතල නෙමෙයි.. අපි වලක වැටුණොත් අපිට ගොඩ එන්න අමාරුත් ඒකයි..”

“ඔලුව තියෙනව නම් ගොඩ එන්න පුළුවන් ඉමාෂි..”

“මං හිතන්නෑ රමී අයියෙ..”

“හිතන්න බැරි වෙන්නෑ ඉමාෂි.. අනවශ්‍ය දේවල් හිතෙන් අයින් කරල දාන්න ඕනෙ.. එතකොටයි ඉස්සරහ ජීවිතේ ලස්සන වෙන්නෙ..”

“ඉස්සරහ ජීවිතේ ලස්සන කරගන්න කියලා මං පිරිමි කී දෙනෙක් ටෙස්ට් කරල බලන්නද අයියෙ.. ඔයා වගේ ගෑණු ළමයි හතරක් පහක් එක්ක එකපාර යාලුවෙලා කෙනෙක්ව තෝරගන්න පුළුවන්කමක් මට නෑනෙ.. මං පුංචි ගෑණු ළමයෙක්නෙ..”

බරපතල විදියට ඇදිල ගියපු කතාබහ ඉමාෂි කියපු ඒ දෙයින් පස්සෙ නිකම්ම සැහැල්ලු උනා. ඒකත් හොඳයි.. මේ වගේ කතාබහක් සීරියස් කරනවට වැඩිය නෝමල් කරන එක ප්‍රයෝජන සහිතයි.

“ඉමාෂි..”

“ම්..”

“දැන් කවුද කිව්වෙ.. මං ගෑනු ළමයි හතරක් පහක් එක්ක යාලුවෙලා ඉන්නව කියලා..?”

“කවුරු කිව්වත් කමක් නෑනෙ වැඩේ ඇත්ත නං..”

“ඒක බොරු කතාවක් ඉමාෂි..”

“බොරුද ඇත්තද කියල මං දන්නෑ රමී අයියෙ.. ඒත් හුඟක් ගර්ල්ස්ලා හිතන්නෙ ඔයා දකින දකින ගෑනු ළමයා එක්ක යාලුවෙන කෙනෙක් කියලා.. ඔයාගෙන් බේරෙන්න පුලුවන් ගෑණු ළමයෙක් නෑ කියලයි හැමෝම කියන්නෙ..”

ඉමාෂිගෙ කතාවට මට ලොකු හිනාවක් ආවා. මේවට තමයි කියන්නෙ පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා කියලා.. ඉමාෂිට ඇඩ්වයිස් දෙන්නයි මම ආවෙ.. දැන් ඒකෙ අනිත් පැත්තයි මේ සිද්ධ වෙන්නෙ. ඒකත් මරු තමා. ඔහොම යං.. ඔහොම යං..

“ඇයි ඔයා හිනාවෙන්නෙ..?”

“මගෙන් බේරෙන්න පුළුවන් ගෑණු ළමයෙක් නෑ කිව්වනේ..?”

“ඉතිං ඒක ඇත්තනේ..”

“එතකොට..?”

“ඔව්..?”

“ඔයා කොහොමද මගෙන් බේරිලා ඉන්නෙ..?”

කෙල්ලට කට උත්තර නැති වුණා. මේ රමියත් ඉඳල ඉඳල දෙන්නෙ අන්තර් ජාතික කතන්දර තමයි. ආයෙ උත්තර බැඳීමක් ගැන නම් හිතන්නවත් බෑ.

“රමී අයියෙ..”

ඩිංගක් වෙලා කා නැතුව ඉඳපු ඉමාෂි මගේ අතින් අල්ල ගත්තා. ඒ වෙනකොට කලින් කතාවෙ චැප්ටර් එක ක්ලොස් වෙලා කියලා මං තේරුම් ගත්තා. මේ නම් පටන් ගන්නෙ අලුත්ම තැනකින්. ඒ කියන්නෙ අලුත්ම ඇරඹුමක්.

“ඔයාට තියෙන්නෙ කොයි තරම් ලස්සන හිතක්ද..? ඒ ලස්සන හිතින් එක හිතකට සදාකාලයටම ආදරේ කරන්න බැරි ඇයි අයියෙ..?”

“මට එහෙම පුරුදු නෑ ඉමාෂි..”

“මාලුන්ට පීනන්න උගන්නන්න ඕන්නෑ අයියෙ.. ඔයාගෙ ජීවිතේ ඔයට වැඩිය හුඟාක් ලස්සන වෙයි එහෙම උනොත්.. කියන්න.. මං කිව්ව දේ ගැන ඔයා හිතල බලනව නේද..?”

ඉමාෂි එයාගෙ අනිත් අතත් මගේ අත උඩින් තිබ්බා. ඒ අත් දෙකේ තිබ්බ සීතල මගේ හිත ඇතුළටත් දැනෙද්දි මං ඉමාෂිගෙ ඇස් දෙකට එබුනා. ඒ ලා දුඹුරු පාට ඇස් දෙක මට කිව්වෙ මෙච්චර කාලෙකට මං අහල තිබ්බෙ නැති කතාවක්. ඒත් ඒ තත්පර ගානකට විතරයි. ඊළඟ තත්පරය උදාවෙද්දි හැමදේම විනාස වෙලා ගියා. උනේ මොකක්ද කියල හිතාගන්නත් මට විනාඩි ගාණක් ගියා.

“රමිත...”

කන ගාවින්ම ගිරිය යටින් කෑ ගහපු සද්දයක් හින්ද මං උඩ ගිහින් ආයෙමත් මහ පොළවට ඇඳන් වැටුණා මගේ උනා.

“එ.. එහෙනම් මේකයි සෙල්ලම ඈ.. මාව ඩිංගෙන් ඩිංග අමතක කරල දැම්මෙ මොකද කියලා මට දැනුයි තේරුණේ..”

මායි ඉමාෂියි ළඟින්ම හිටගෙන හිටියෙ වෙනින් කවුරුවත් නෙමෙයි, මගේ අතිජාත පෙම්වතිය නදිනි. බස බස ග ාලා ගෑනි කියවගෙන යද්දිත් ඉමාෂිගෙ අත් දෙක තිබ්බෙ මගේ අත්දෙක උඩ. අඩු ගානෙ ඒක අයින් කරගන්නවත් වෙලාවක් කලාවක් තිබ්බෙ නෑ. මොනව කරන්නද අප්පෙ.. මේ කුණු සංසාරෙ සිද්ධ වෙන පූරුවෙ අකුසල කර්ම කියල හිතාගෙන ගේමට බහිනවා මිසක. ඔයාල දන්නවනේ ඉතිං පට්ට වැරැද්දක් කරල උනත් මේ රමියගෙ ෂේප් වීමක් නම් නෑ කියලා.

“නදිනි මේ..? මෙතන කච පච ගාන්නෙපා.. කතා කරන්න ඕන්නම් වැදගත් විදියට වාඩිවෙලා කතා කරන්න.. නැත්නම් අපිට වද නොදී මෙතනින් චුත වෙලා යන්න..”

නදිනි බර පැන දාන්න කලින් මං වැඩේට බැස්සා. ගෑනිගෙ මූණ කරත්ත රෝදෙට අහුවෙච්ච ටින් බෙලෙක්කෙ වගේ උනා. කරන්න දෙයක් නෑ බබා.. ඔයයි ඇදගෙන නාන්න මෙතෙන්ට ආවෙ.

“මෙච්චර කාලයක් ඔයා ළඟ හිටියට මට හම්බෙන තෑග්ග මේකද රමිත.. කවුද මේ කෙල්ල.. අර කැලෑ පාලුවගෙ නංගි නේද..?”

ඉමාෂිගෙ අත විදුලි සැර වැදුනා වගේ මගේ අතින් ගැලවෙද්දි මං වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා. මගේ මූඩ් එක ඒ තරම් හොඳ නෑ කියල නදිනිට තේරුනා වගේ. ඒත් එතකොට ගෑනි වචන පිටකරල ඉවරයි. ආයෙ ඒව ඇදල ගන්න බෑ.

“මොකක්ද නදිනි තමුසෙ කිව්වෙ..? කවුද කැලෑ පාලුවා..? ආ.. කියනව බලන්න..”

වට පිටේ මිනිස්සු මැජ්ක් බලනව වගේ එහෙන් මෙහෙන් බලද්දි මං ෆෝම් උනා. මේ වගේ අමන කතා ඇහෙද්දි මල පනින්නැති එවුන්ටත් මල පනිනවනේ.

“ම.. මට කියන්න දෙයක් නෑ රමිත.. මේ වැඩවල තේරුම මොකක්ද කියන්න.. ඔයා මටත් ආදරේ කරන ගමන් මේ තවත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් ඉන්නෙ කොහොමද..?”

මං ෆෝම් වෙලා ආපු හැටි ඒ තරම් හොඳ තත්වෙක නෑ කියනෙක තේරුන හන්ද නදිනි මායම් හැට හතරෙන් එක්ක දාලා කතාවෙ ට්‍රැක් එක මාරු කළා. ඒත් ඒ මාරු කරල තිබ්බෙත් වැරදි ට්‍රැක් එකක. ඕක තමයි කියන්නෙ කලබලේට ඩබල් බනිසුත් මාලු පාන් වගේ පේනව කියල.

“මට ඕන හන්ද මං අල්ලන් හිටියෙ.. ඔයා මට මොනා කරන්නද..?”

“එතකොට ඔයා මට කෙරුවෙ බොරු ආදරයක්ද රමිත..?”

“බොරුද ඇත්තද කියල මං දන්නෑ.. ඒත් ඔයා වගේ කෙල්ලෙක් එක්ක එකට ගමනක් යන්න බෑ කියල මං තේරුම් ගත්තා. මහා මල වදයක්..”

“මං මල වදයක් හින්දද ඔයා මේ කෙල්ලව තෝරගත්තෙ..?”

“ඔයාමනේ මට කිව්වෙ.. එයාව තෝරගන්න කියල..”

“මොකක්.. මම කවදද එහෙම කතාවක් කිව්වෙ..?”

“ඇයි අර අන්තිමට හම්බ වෙච්ච දවසෙ කිව්වෙ මාව හරි කැලෑ පාලුවව හරි තෝරගන්න කියලා.. මං ඉතිං කැලෑ පාලුවගෙ නංගිව තෝරගත්තා..”

නදිනිගෙ වචන වලින්ම මං එයාට දමල ගැහුවා. මං කියපුවා ගෑනිට උහුලන්න බැරි උනා කියල මට තේරුනා. ගෑනිට විතරක් නෙමේ ඉහාෂිටත් උහුලගන්න බැරි වෙලා වගේ.

“ඔ.. ඔයා මොනවද රමී අයියෙ මේ කියන්නෙ..? මේ අක්කා අපි ගැන වැරදියට හිතයි..”

“අලුතෙන් හිතන්න දෙයක් නෑ ඉමාෂි.. එයා හිතල ඉවරයි..”

ඉමාෂිත් කතන්දරේට සහභාගි වේනන හැදුවත් මං එතෙන්ට පුල්ස්ටොප් එකක් තිබ්බා. කෙල්ලොන්ට වැඩිය කතා කරන්න දෙන්න හොඳ නෑ. එහෙම උනොත් උං අපේ ඔලු කනවා. ඕක රමීගෙ අදහසක් නෙමෙයි.. ඇල්බට් අයින්ස්ටයින් කියලතිබ්බ එකක්. ඔය මනුස්සයගෙ E=mc² සමීකරණෙ m කියන තැනට දාලා තිබ්බෙ ගෑනියෙක්ලු. ඒකනේ ඒ සමීකරණෙත් දැන් වෙනස් වෙලා තියෙන්නෙ. ඉතිං රමී එහෙම හිතන එකේ ඇති වැරැද්දක් නෑනෙ.

“ඔයා මට මේ දුන්නු දුක වගේ ලක්ෂ ගානක දුකක් ඔයාටත් හම්බ වෙයි රමිත.. අන්න ඒක මතක තියාගන්න..”

“හරි.. මං මතක තියාගන්නම්..”

“ඔයා වගේ සවුත්තු මිනිහෙක්ගෙන් ඈත්වෙන්න හම්බ වෙච්ච එක මගේ වාසනාවක්.. ඔයාට කවදාවත් හොඳක් වෙන්නෑ.. මං උපදින හැමදාකම ඔයාට සාප කරනවා.. ඒකත් මතක තියාගන්න..”

“නදිනි මේ.. මගේ යකා අවුස්සන්නැතුව මෙතනින් යනවද..? මගෙන් කන පලා ගන්නැතුව..”

“දෙයියනේ... මැරීගෙන ආදරේ කරපු මට ඔයා කතා කරන විදියද මේ..? හග් හග්.. ඔයාට නම් සහගහනව රමිත.. සහගහනවා.. ඔයාට කවදාවත් හොඳක් වෙන්නෑ.. කවදාවත් නෑ.. හග්.. හග්..”

නපුරු මංතරකාරි සාපකරල ලස්සන කුමාරයා ගලක් කරල ගියා වගේ නදිනි දන්න හැමවචනෙකින්ම මට සාප කරල දුවල යන්න ගියා. ඒ දුවගෙන යන දිහා බලන් ඉඳපු මගේ හිතේ කිසිම පසුතැවිල්ලක් තිබුණෙ නෑ. කලින් තිබ්බට වැඩිය ලොකු නිදහසක් මට දැනුණා.

“ඔයා කරේ ලොකු වැරැද්දක් රමී අයියෙ..”

ඉමාෂිගෙ කටහඬ ඇහුණහම තමයි මට මතක් වුනේ එයත් තාම මෙතන කියලා.

“කිසිම වැරැද්දක් නෑ ඉමාෂි.. එයත් මට ගුඩ් බායි කියල ගියා.. එච්චරයි.. එන්න මං ඔයාව ත්‍රීවිලර් එකකට දාන්න..”

මගෙත් එක්ක තව දුරටත් කතා කරන්න ඉමාෂිට ඕනකම තිබ්බ්ත ඒකට මගේ හිතේ ඉඩක් තිබ්බෙ නෑ. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕන නෑ කියල මගේ හිත කිව්වා.

ඉමාෂිව අතෑරල ආපටි ගෙදර ආවහම මගේ හිතට දැනුණෙ පුදුමාකාර නිදහසක්. කොහොමත් මං නිදහස්ව නිවහල්ව ඉන්න කැමති එකානේ. අනිත්තෙක ඉතිං හුඟාක් බැඳීම් ඇති කරගන්නෙක හිතට අන්තිමේදී එක්කහු කරන්නෙ දරා ගන්න බැරි තරමෙ බරක් කියන්න මං අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. කොටින්ම, අවස්ථාවක් ආවොතින් ඒ අත්දැකීම් ඉස්සරහට ගන්න මං ඩිංගක්වත් පරක්කු උනේ නෑ. ඒකයි කොයි වෙලාවෙත් මේ රමියා.. අනිත් කොල්ලොන්ට වැඩිය හුඟක් ඉස්සරහින් හිටියෙ. ඒත් ඉතිං නදිනියි, රිස්මියයි මගේ ජීවිතෙන් ඈත් උනහම මේ රමියට දුකක් දැනුණෙ නෑ කිව්වොත් ඒක ටොම් පචයක් වෙනවා. හැබැයි ඒ දුක හන්ද ජීවිතේ විනාශ කරගන්න තරමෙ රමියා දෙකේ පන්තියෙ හොටු කොල්ලෙක් නම් නෙමේ.

රටේම ඉන්න විවිධාකාර කෙල්ලොන්ගෙ මූණු එහාට මෙහාට පැද්දි පැද්දි ගිහින් මගේ මූණ ඉස්සරහට ආවෙ දිමුතුගෙ මලක් වගේ අහිංසක මූණ. හිතේ තිබ්බ හැම කහටක්ම දියවෙලා ගිහින් මොකක්දෝ නොදන්නා පිවිතුරු හැඟීමක් හිතට ගලද්දි තමයි, එලියෙන් අමුතු සද්දයක් මට ඇහු‍ණෙ.

මෙච්චර වෙලා දාලා තිබ්බ ටේබල් ලෑම්ප් එක ඕෆ් කරල හුඟක් ඕනෑ කමින් මං ඇහුම්කන් දීගෙන හිටියා. ඒත් විනාඩි ගානක් යනකල් මට කිසිම සද්දයක් ආවෙ නෑ. තවත් ටිකක් වෙලා යද්දි හිතේ සැකේටද මංදා මොකක්දෝ අමුතු සද්දයක් ආයෙත් ඇහුණා. කෝකටත් කියල මං හෙමින් සීරුවෙ කාමරේ දොර ඇරල බලද්දි, අඳුරු ඡායාවක් වගේ දෙයක් ගේට්ටුව පැත්තට පාවෙනව මං දැක්කා.

“මොකද බං මේ..?”

මං මගෙන්ම අහගත්තා. රමියගෙ ගෙදර වත්ත ඇතුළට දැනුම් දීමකින් තොරව ඇවිල්ලා ආපහු යන්න තරමෙ ෆිට් එකක් තිබ්බ හාල් කෑල්ල කවුද අප්පේ.. පැනපු ගමන් සලාං බලාං ගාලා දෙක තුනක් ඇනල දාලා පස්සෙ තොරතුරු විමසන්න තරමේ ගතියක් හිතට ආවත්, තව ඩිංගක් ඉවසා වදාරන්න මං තීරනේ කළා.

මෙච්චර වෙලා කළුවරට හැංගිලා තිබ්බ හැමදේම හඳ එළිය හෙමින් ගලද්දි මහ දවාලෙ පේන දෙයක් වගේ මගේ ඇස් ඉස්සරහ සියල්ල දර්ශනය උනා. ගේට්ටුවට ඩිංගක් එහායින් අවතාරයක් වගේ හිටගෙන හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි මේ රමීගෙ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා.. සමීර.. මිනිහට ඩිංගක් එහායින් ත්‍රීවිල් එකක් නවත්තලා තිබුණා.

එහෙනම් සංසාරේ භවේ දුකා කියල සමීරයා අදත් කොටුවක් පනින්නයි යන්නෙ. හුඟක් වෙලාවට මෑන් යන්නෙ කොරියාව පැත්තට ලෑන්ඩ් කරන්න වෙන්න ඕන. සමීරයෝ... අද උඹට රතු ජම්බුයි, පිණි ජම්බුයි දෙකම මං දෙන්නම්.. ඔහොම යංකො.. ටිකකින් වීල් එකට නැගල අයියා ටවුම පැත්තට ගියා. මං තත්පරේට දෙකට කාමරේට පැනලා මොබයිල් එක අතට අරන් ඉසුරුගෙ නම්බරේ එබුවා.

“රමී.. මොකක් හරි අවුලක්ද..?”

“ඔව්..”

“ගෑණියෙක්ද..? කෙල්ලෙක්ද..?”

ඉසුරු හිතල තියෙන්නෙ මේක ගෑනියෙක්ගෙ අවුලක් කියල. ඒත් මේ රමී සංසාරෙ ඉවරවෙන කල්ම ගෑනියෙක් හින්ද අවුල් වෙන්නෑ. ඒක නිව්ටන්ගෙ දෙවනි නියමෙත් කියල තියෙනවා.

“මේ රමියා ගෑනියෙක් හින්ද අවුල් වුනේ කවදද බං..? පුලුවන් තරම් ඉක්මනට කොරියාවට වරෙන්.. මං එතන ඉන්නවා..”

ඇඳගෙන හිටපු ෂෝට උඩින්ම ඩෙනිම් ට්‍රවුසර් එක දාගන්න ගමන් මං කිව්වා. බයික් එකතල්ලු කරගෙන ගේට්ටුව ළඟට එන්න මට විනාඩි දෙකක්වත් ගියේ නෑ. ඒත් ඒ වෙනකොට අයියගෙ හෙවනැල්ලවත් මේ අහලක තිබ්බෙ නෑ.

අයියකාරයා මේ වගේ මිස් උනා කියන්නෙ, මිසින්මතමයි. ඒක මං නිට්ටාවටම දැනගෙන හිටියා. දන්න කියන හැම කොටා රෝඩ් එකක්ම භාවිතා කරල විනාඩි දහයක් වගේ වෙල්ලි ලේක් විව් රෝඩ් එකට දාලා මං මේන් රෝඩ් එකට එද්දි තමයි ඉුරු පිඹගෙන ආවෙ. අනං මනං ඕන නෑ.. ඉසුරුවා කියන්නෙ මටම හරියන එළ භාණ්ඩයක් කියලා මං කලිනුත් හුදී ජනතාවගේ පහන් සංවේගය උදෙසා කියල ඇති. මතක නැත්තං කරන්න දෙයක් නෑ.

“කෝ සමීරයා..?”

එන්න කිව්වෙ මොකටද කියල නොකිව්වට ඉසුරුට කතා දෙයකක් නෑ.. හොඳට ඉව තියෙනවා. ඒකනේ ඒකා ආපුග මන්ම අයිය ගැන ඇහුවෙ.

“මාත් ආව විතරයි ඉසුරු.. මිනිහා සමහර විට කොරියාවට බහින්න ඇති.. නැත්නම් තාම මඟ ඇති..”

“අපි එහෙනම් හෙමින් සැරේ කොරියාවට බහිමු.. උඹ ඔය කියපු දෙකින් කෝක උනත් මිනිහා එනකොට අපිට මාට්ටුයිනේ..”

ඉසුරුට එහෙම කියල කටගන්න හම්බ උනේ නෑ මේන් රෝඩ් එකේ ඉඳල පණ එපා කියල පිඹගෙන ආපු ත්‍රීවිල් එකක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොරියාවට දැම්මා.

“ඊයෙ යන්න හිටපු ගමනක්ද කොහෙද..?”

“කාර් එක ස්ටාර්ට් කරගනිං..”

“ඇයි..?”

“ඔය වීල් එකේ තමා සමීරයා ආවෙ.. මට මුලින්ම ගානක් නැති වුණා ඉසුරු..”

තවත් බල බලා ඉන්න වෙලාවක් නැති හන්දා තවත් තත්පර දහයක් යද්දි මායි ඉසුරුයි කිරුලු නොපලන් සිංහ රාජධානිය දිහාට කාර් එක හරවගත්තා.

“වීල් එකට වැඩිය කිට්ටු කරන්නෙපා.. ඕකට අර මොකාටද වගේ පිටිපස්සටත් පේනවා..”

“මේකෙ හිටියෙ නැත්තං..”

“ඒක වෙන්න බෑ ඉසුරු.. මිනිහ ඕකෙ ඉන්නවා.. මට වීල් එකේ නොම්මරේ මතකයි..”

“මට පේන විදියට සමීරයා ආයෙත් අපිව ඇන්ඳුවා වගේ..”

“ඇයි..?”

“වීල් එක කොරියාවෙ මුල්ලටත් ඇවිත් ඒත් නවත්තන පාටක් නම් පේන්නෑ..”

ඉසුරු කියන දේ පොල්ලකින් ගැහුව වගේ මට තේරුණා. ඒ කියන්නෙ වැරදිලාවත් සමීරයා මේකෙ හිටියෙ නැත්තං මෙලහකට උගේ වැඩෙත් කරගෙන යස අපූරුවට ගෙදර ගිහින් ඉඳියි. මට වේනනෙ මිනිහගෙ සවුත්තු හිනාව මැද්දෙන් බර අඩි තියල කාමරේට පැනගන්න.

“තව ටිකක් බලමු..”

“වැඩක් නෑ රමී.. අපි කාර් එක හරවගෙන ලේක් වීව් රෝඩ් එක ළඟට යමු.. ඌ අපිව ඉස්සරම් විදියට බරණැස් කසී සලු වලින් ඇන්ඳුවා.. අපිත් ගානට මිම්මට කියල හිතාගෙන සැපට ඇඳගත්තා..”

“ඒකට කමක් නෑ..”

“ඇයි..?”

“වීල් එක නැවැත්තුවා..”

කොරියාවේ අදික ජනසන්නිපාතයක් වාසය කෙරුවා උනත්, මේ වෙලාවෙ පාරෙ ඇඳිලා හිටියෙ පදමට කසියා ඇඟට දාගත්තු කීප දෙනෙක් විතරයි. නවත්තපු වීල් එකෙන් එළියට බහින්නෙ කවුද කියල මාය ඉසුරුයි බලන් හිටියෙ තරඟෙට වගේ.

“සමීරයා නෙමෙයි..”

“හ්ම්..”

ඉසුරුගෙ වගේම මගේ හිතටත් මහා මොකක්දෝ වුණා. ඒ කියන්නෙ අපි කොයිතරම් ගුරුකාස් පොරවල් උනත්, සමීරයා අපේ කනෙන් රිංගුවා කියනෙකනේ. ඒත් හිතට ආපු ඒ සිතුවිල්ල පිලිගන්න මං ලෑස්ති උනේ නෑ. සමීරයා කවදාවත් අංක එක වෙලා ඉඳල නෑනෙ. විහිලුවටවත් වෙන්නෙත් නෑනෙ. සදාකාලයටම අංක එක මේ රමියා තමයි.

“රමී..”

“ම්..”

“මොකද කරන්නෙ..?”

“උඹට යන්න හදිස්සිද..?”

“නෑ..”

“එහෙනම් එළිවෙනකල් හරි මෙතන ඉමු.. කොයි වෙලාවක හරි සමීරයා එළියට එන්න ඕනනේ..”

“අවුලක් නෑ ඉම්මු..”

ඉසුරුගෙ තියෙන මං කැමතිම ගතිගුණේ තමයි ඕක.  අනං මනනුත් නෑ, වැඩි ප්‍රශ්නත් නෑ.. බොක්කෙන්ම ළඟින් ඉඳගෙන සප් එක දෙනවා.

“රමී.. අපි පොඩ්ඩක් එළියට බැහැල ඉම්මු.. නැත්තං මේක එවුන් සැක කරයි..”

“උඹ බැහැපං ඉසුරු.. මං ඇතුළට වෙලා ඉන්නං.. මං බහිනෙක වාතයි..”

කොරියාවෙ එවුන්ගෙ සැකේට භාජනේ උනොත් හම්බ වෙන්නෙ හොදි නැතුව රෝස් පාන් කියල මං දැනගෙන හිටියා. ඒත් මොන පාන් ගෙඩිය හම්බ උනත් සමීරයගෙ මේ හඩු ගමන ගැන දැනගන්න මට ලොකු උණක් තිබ්බා. ඒක මේ අති උත්තම සහෝදර ප්‍රේමය හින්ද ඇතිවෙච්ච එකක් නෙමෙයි.. නිකං.. නිකං.. ඇඟේ අමාරුවට කියල අපි හිතමුකෝ..

අනික මේ යක්කු බත්කන වෙලාවට සමීරයා ලෑන්ඩ් කරන්නෙ කොහාටද කියල දැන ගන්න එකත් ඇඟට මාර ත්‍රිල් එකක් ගේන දෙයක්නේ. ඒ වගේම සමීරයගෙ කුණු කට සදාකාලයටම වහන්නත් පුලුවන් වේවිනේ. මේ රමියට විරුද්ධව මිනිහා ආයෙ හීනෙන්වත් වචනයක් එළියට දාන එකක් නෑ.

“හ..ල්..ලෝ.. ඉෂ්..ෂුරු.. මහත්තයා..”

ඇවිදින බාර් එකක් ඇවිත් කාර් එක ළඟ නතර උනා. මිනිහා කොයි තරමෙ බීලද කියනව නම් කාර් එකත් බදාගෙනයි නොවැටි බේරුණේ.

“ආ.. අමරදාස.. මේ කොහෙ යන ගමන්ද..?”

“හා.. මං ගෙදර යන ගමන්..”

අමරදාස නොහොත් දැන් අපි ළඟ ඉන්න බෙබා අර කාගීල්ස් ඇඩ් එකේ වගේ ලතාවට කිව්වා. හිනාවෙන්න මට තත්පර කාලයි ගියේ. ඒකා ඒ තරම් ගතියට ඒක කිව්වා.

“ඉතිං.. මේ කරටි කැඩෙන්න ගහලා..”

“කරටිය කැඩිල හුඟක් කල් ඉෂ්ෂුරු මහත්තයා.. දැන් තියෙන්නෙ කුණු වෙච්චි මුලක් විතරයි..”

“ඇයි..?”

“හැයි ආන්නෙ.. ඉෂ්ෂුරු මහත්තයා.. ගස් කොලන් එක්ක හැප්පෙනවා.. මට්ට.. මට්ට හැප්පෙන්න වෙලා තියෙන්නෙ මිනිෂ්ෂු එක්ක..”

කන පැලෙන්න බීල උනත් අමරදාසගෙ වචන භාවිතයෙ හෙණ ගතියක් තිබ්බා. ඒක ඔය විරෝපට්ටං ගහගෙන බුකවාගෙන කතා කරන්නැතුව ඉන්න මිනිස්සුන්ට වැඩිය සීයට පන්සීයක් හොඳයි.

“හරි.. හරි.. ඔක්කොම හරි.. අමරදාස දැන් යන්න..”

“ඉෂ්ෂුරු.. මාත්තියට උදව්වක් කාරිය..”

“මට උදව් කරන්න අමරදාසට බෑ..”

“හැයි..”

“අමරදාසට කෙලින් ඉන්නවත් බෑනෙ..”

“මට්ට.. කෙලින් ඉන්න බැරි උනාට උදව්ව කෙලින් නම්, ඒ ඇතිනේ ඉෂ්ෂුරු මහත්තයා..”

ඉසුරුට අමරදාසගෙන් ගැලවෙන්න අමාරුයි කියල මට තේරුණා. ඒක හන්ද මං කාර් එකෙන් බැස්සා. බාගෙට වැහිල තිබ්බ ඇස් දෙක තවත් හීන් කරල අමරදාස මං දිහා බැලුවා. පොරට දිවිය ලෝකෙට යන්න තව බොහොම ඩිංගයි කටට වත්කර ගන්න තිබ්බෙ.

“මේ.. මාත්තයා කවුද.. මීට කලින් ෆේස් ටු ෆෝස් ඇවිල්ල නෑ.. නිකං ටීවී පෙට්ටියෙ දැකල වගේ පුරුදුයි..”

මධ්‍යසාර ගන්දස්කාරය දෙගොඩතලා යද්දි මං අනිත් පැත්ත බලා ගත්තා. පිටට දැනෙන ගඳ මෙහෙම නම් පපුව ඇතුළෙ තත්වෙ කොහොම ඇතිද..? වටිනා කියන අවයව ඔක්කොම සෙන්ටිග්‍රේඩ් සීයට වගේ තැම්බිලා ඇති.

“මගේ යාළුවෙක්..”

කතාව දැන් ඇති කියල කියන්න වගේ ඉසුරු කිව්වා. ඒත් අමරදාසට ඒක ගාණක් උනේ නෑ.

“ඉෂ්ෂුරු මාත්තියා.. මං මේ ඔයාටයි කියන්නෙ..”

“ඔව්.. මොකක්ද..?”

“ඔයා මේ යාලු මාත්තියත් එක්ක අපේ ගෙදර දැන් එන්නෝන..”

“මොකක්..?”

“ඔව්.. අපි තුන්දෙනා සෙට් වෙලා හීනියට අඩියක් ගහමු.. අපි මේ ප්‍රීතිය සමරමු..”

“පිස්සු නැතුව ඉන්නවා අමරදාස.. ඔය බීල තියෙන ඒවා මදිවට තවත් බොන්න ගියොත් තමුසෙව ඉස්පිරිතාලෙ ගෙනියන්නත් වෙයි..”

“ඒකට මං ආශයි ඉෂ්ෂුරු මාත්තයා.. එතකොට ලෂ්ෂන මිෂී කෙනෙක් ඇවිත් මගේ පිටිපස්සට ලොකු ඉන්ජෙක්ෂන් එකකින් ඇදල අරීවිනේ.. හග්.. හ්.. හා.. මාර ආතල්.. මාර ආතල්..”

අමරදාසගෙ නොහොබිනා කතා වස්තුව තව දුරටත් අහගෙන හිටියොත් අයියකාරයා සදහටම මිසින් තමයි කියල මට තේරුණා. ඒක හන්දම මං ඉසුරුට මේ බෙබේව යවපං කියල ඇහෙන් කිව්වා.

“අපි එහෙනම් යනව අමරදාස..”

“ඒ කියන්නෙ ඉෂ්ෂුරු මාත්තයා මාව දාලා යනවද..?”

“ඔව්..”

“එතකොට මගේ ගෑණිව බලන්න මාත්තයා එන්නැද්ද..?”

“තමුසෙට පිස්සුද අමරදාස..?”

“හේනම්.. මගේ සීදේවි කෙලි පැටික්කිව..?”

“කුණුහරුප කතා කරන්නෙපා ඕයි.. තමුසෙ බිව්වා කියලා ගෙදර ගෑනියි ළමයගෙයි පටි රෝල් කරන්න හදන්නෙ.. ලැජ්ජ නැද්ද.. මං යනවා..”

“එතකොට අපේ ගෙදරට මාව ලෑන්ඩ් කරන්නෙ කවුද..?”

“වෙනද ලෑන්ඩ් කරගන්නව වගේම ලෑන්ඩ් කරගන්නවා..”

“අරි.. අරී... මේ සමාජෙ හරිම කුහකයි.. අරිම අෂාධාරණයි.. ඔය්යා.. සමාජෙත් එක්ක තරහට ගෂ් කපනවා.. මට්ට කපන්න තියෙන්නෙ මොනවද..? මාව මේ තත්වෙට දාපු එවුන්ගෙ බෙල්ලද..?”

එකකට එකක් ගැලපෙන්නැති කතන්දර ගොඩක් අමරදාසගෙන් පිටවෙද්දි මායි ඉසුරුයි කාර් එකට පැනගත්තා. ඒත් අමරදාස කාර් එකේ බොනට් එක ගාවින් හෙල්ලුනේ නෑ.

“පොඩ්ඩක් බැහැපං ඉසුරු..”

“ඇයි..?”

“අපි අමරදාසට කන්ට්‍රැක්ට් එකක් බාර දෙමු..”

“සමීරයා ගැනද..?”

“ඔව්.. ඇයි හොද නැද්ද..?”

“වැඩේ හොඳයි.. ඒත් මේකා බීලා නිසා වැඩේ අල කරයිද දන්නෑ..”

“එහෙම උනොත් කරන්න දෙයක් නෑ බං.. නැත්නම් මෙහෙම තනිපංගලමෙ කොරියාවෙ කැරකෙන්න ගියොත් අපිට අවුලක් වැටෙයි..”

“අවුලක් කිව්වෙ..?”

“කොරියාවෙ එවුන් හිතයි උඹයි මායි ගෑනියෙක් පස්සෙ මේක ඇතුළට රිංගුවා කියලා..”

“ඉතිං ඇත්තනේ රමියා..”

“මොකක්..?”

“සමීරයා කොහොමත් ගෑණියෙක් වගේනේ.. ඌ ගෑණුන්ටත් වඩා අන්ත වැඩනේ කරන්නෙ..”

ඉසුරුගෙ කතාවට මට බකස් ගාලා හිනාවක් ගියා. ඌත් ඉඳල ඉඳල මාර කතා තමයි කියන්නෙ.

“කෝ.. රමී.. මේ යකා..”

ඉසුරුගෙ මූණෙ තිබ්බෙ කලබල ගතියක්. මෙච්චර වෙලා බොනට් එක අල්ලගෙන වැටෙන්නැතුව හිටපු අමරදාස පේන්න හිටියෙ නෑ. මෑන් බිමට පත බෑවිල වත්ද..? මායි ඉසුරුයි කාර් එකෙන් බැහල වටපිට බැලුවත් අමරදාස පේන්න හිටියෙ නෑ. මේ යකාට මොකද හත්තලිව්වෙ උනේ.

“හප්පට සිරි.. අ.. අර වැනි වැනී යන්නෙ..”

කොරියාවෙ ගෙවල් අතරින් තිබ්බ අඩිපාරකට ඉසුරු අත දික්කරා. පැද්දි පැද්දි අමරදාස යන තාලෙට කොයි වෙලාවක හරි පොළවට පාත් කරයි වගේ.

“මෑන් ගියපුවාවෙ.. අපි සමීරයව හොයාගම්මු..”

“දැන්නම් උගේ මයිලක්වත් අල්ලගන්න හම්බවෙන්නෑ.. ෂෙහ්.. මේ යකා කරුමෙ වගේ කඩන් පාත් උනානේ..”

“කරන්න දෙයක් නෑ.. අපි යමු... තවත් මෙතන ඉඳල වැඩක් නෑ..”

“හ්ම්.. යමු.. හුට්ටා.. රමී.. අර බලපං..”

ඉසුරු ආයෙත් අමරදාස ගිය පැත්තට ඇඟිල්ල දික් කරා.. මං කිසිම දෙයක් දැක්කෙ නෑ..

“ඇයි..?”

“අර කාලකණ්නියා බිමට පතබෑවිලා වගේ නේද.. වරෙන් යන්න..”

මායි ඉසුරුයි අඩි පාර දිගේ එක පිම්මට අමරදාස ළඟට දුවගෙන ගියා. මිනිහා ගෙදර ඇඳේ නිදාගෙන ඉන්නව වගේ ගතියට පහපොළවෙ හාන්සි වෙලා ඉන්නවා.

“ඒයි.. අමරදාස නැගිටිනවා..”

ඉසුරු අමරදාසව එහෙට මෙහෙට පෙරලුවත් මෑන් කෙඳිරි ගගා හිටියා මිසක ඇස් ඇරියෙවත් නෑ.. මේක නම් ලොකු පරිප්පුවක් වෙන්න එන්නෙ කියල මට ඉවෙන් වගේ තේරුණා.

“රමී.. මොකද කරන්නෙ..?”

අමරදාස කෙලින් කරන්න නොසෑහෙන්න ට්‍රයි එකක් දීලා බැරිමතැන ඉසුරු මගේ මූණ දිහා බැලුවා. වැඩේ කියන්නෙ මේකව මෙතන දාලා යන්න පුළුවන්. ඒත් ඒක මනුස්සකමට ගැළපෙන්නෙ නෑ. එළිවෙනකොට මේ බේබද්දා මෙතන පණ ගිහින් හිටියොත් ඒ පවත් කරගහන්න වෙන්නෙ අපිට.

“උඹ මේ බූරු තඩියගෙ ගෙවල් දන්නවද..?”

“ඔව්..”

“මේ ළඟද..?”

“ඔව්..”

“එහෙනම් ඔය පැත්තෙන් අල්ලපං.. මං මෙහෙන් අල්ලගන්නම්.. මූව ගෙදරට ගිහින් දාලා එමු..”

කියනප රක්කුවට ඉසුරු අමරදාසව උස්සද්දි මාත් අනිත් පැත්තෙන් ඉස්සුවා. එතන ඉඳලා අමරදාසගෙ ගෙදරට ඒ තරම් දුරක් තිබ්බෙ නෑ. මේකා හාන්සි පයිස් ගහල තිබ්බෙ ගෙදරට අතේ දුරින්.

මං අමරදාසව හේත්තුක රගෙන ෆුල් ඩම් එක දාලා අල්ලගෙන ඉද්දි ඉසුරු අමරදාසගෙ ගෙදර දොරට තට්ටු කළා. ටිකක් වෙලා යනකන් කිසිම සද්දයක් ආවෙ නෑ. ඒත් ටිකකින් ඒ පුංචි ගෙදර දොර ඇරුනා. ඒත් ඒ ඇරිච්ච දොරෙන් එළියට ආව ගෑනු රූපෙ දැකලා මං ගල් ගැහුනා. දෙයියනේ ඔයා කොහොමද මෙහේ ඉන්නෙ.. ඒත් එයාගෙ ඇස් තිබ්බෙ මට හේත්තු වෙලා හිටපු අමරදාස දිහාට.

රමී කියන්නෙ ලේසියෙන් ගැස්සෙන පැද්දෙන කොල්ලෙක් නෙමෙයි.. ඒත් මේ වෙලාවෙ ඒක එහෙම උනා.

“තා..ත්..තේ..”

කෙලින් හිටගෙන ඉන්න බැරිව, බාගෙට පණ ගිහිල්ල වගේ ඉඳපු කොරියාවෙ නොම්මර එකේ බෙබෙකුට තාත්තකුගෙ වටිනාකම දීලා කතා කරපු කෙල්ලගෙ බූමිකාව මං හරියටම දැනගත්තෙ ඒ වෙලාවෙ. ඉස්පිරිතාලෙදි අහම්බෙන් වගේ හම්බ වෙච්ච කටකාර නයිටිංගේල් කෙල්ල ඉන්නෙ මොන වගේ ආර්ථික තත්වයක් උඩද කියන්න රමී පටස් ගාලා තේරුම් ගත්තා.

ඔයක වුරුවත් දන්නෙ නැතුවට මිනිස්සු තේරුම් ගැනීම පිළිබඳව මේ රමීට පශ්චාත් උපාධියක් හිටන් තියෙනවා.

“මේ.. මේ.. මහත්තුරුන්ට බොන්න මු.. මුකුත් හදල දෙන්න දුවේ..”

ඒ පාර බැරි මරගාතෙම අමරදාසට අපිවත් මතක් වෙලා. මං පටස් ගාලා පාර පැත්තට හැරුණා. මාව අඳුනගත්තොත් එහෙම, අනූෂි හොඳටම අවුල් වෙනව කියලා මං දැනන් හිටියා. මෙතන වෙලා තියෙන හරි වෙන්න තියෙන හරි කොලොප්පම ගැන දන්නෙ නැති ඉසුරු, අනූෂි දිහා බලන් හිටියෙ ජීවිතේටම කෙල්ලෙක් දැකල නැති ගානට.

“අපි ගෙට යමු තාත්තෙ..”

යෙව තරුණ කෙල්ලෙකුට හෙම මේ වගේ අවස්ථාවකට මූණ දෙන්න උනා නම් එක්කො ලැජ්ජාව හින්දම පණ යනවා. නැත්නම් මෙලහකට මළ පැනලා. අඩි හප්පලා අපි ඉස්සරහ හෙනට කලර්ස් දාලා. වැඩ ගොඩයි. ඒත් මෙතන ඒ කිසිම දෙයක් උනේ නෑ. කොරියාවෙ ලොකුම බෙබේ උනත්, අනූෂි තාත්තා ගැන හුඟක් සංවේදී උනා. ලේසියෙන් සැලෙන්නෙ නැති රමියි, ඉසුරුයි උනත් අන් බැලන්ස් උනේ ඒකයි.

“රමී..”

“ම්..”

“මාර ලස්සන කෙල්ල නේද..?”

“හ්ම්..”

අනූෂි තාත්තවත් වත්තම් කරගෙන ගේ ඇතුළට ගියා විතරයි ඉසුරු මට ළංවෙලා කිව්වා. එහෙනම් මෙච්චර කාලයක් වනේ වන සතුරෙක් වෙලා ඉඳපු මේකගෙ උන්ඩුක පුච්චෙටත් කෙල්ල ගැන සන්නිවේදනය වෙලා. කමක් නෑ.. ඔහොම යං.. ඔහොම යං..

“මේ වගේ පැත්තක හිතාගන්නවත් බෑ රමියා.. මාර අහිංසකකමක් තියෙන්නෙ.. නැද්ද..”

ඉසුරු හිටු කියල කියෝනවා.. අනුෂි කොයි තරම් අහිංසකද කියල ඔය ඔක්කොටම වැඩිය රමී දන්නවා.  ඒක කවුරුවත් කියල දෙන්න ඕන නෑ.

“තාත්තව එක්කරන් ආවට පින්සිද්ධ වෙනවා..”

එක පාරටම ගේ ඇතුළෙ ඉඳලා එළියට ආපු අනූසි කිව්වා. ඒ වෙනකොටත් මං හිටියෙ පාර පැත්තට හැරිලා. තවත් මග ඇරල වැඩක් නෑ.. මං අනූෂි දිහාට හැරුණා.

“පින් බලාගෙන නෙමෙයි අපි මේක කරේ..”

“දෙ.. දෙයියනේ.. ඔ..යි..යා..”

මාව දැක්කහම පුංචි කෙල්ල සහමුලින්ම අවුල් උනා. අත්දෙකම කණ ළඟට ගියා. කෙල්ලට හිතාගන්නවත් බැරි වෙන්න ඇති මං කොහොමද මෙතන ඉන්නෙ කියලා.

“ඔව්.. මං තමයි.. එදා හොස්පිට්ල් එකේදි මට දීපු හෙල්ප් එකට නොදැනුවත් කමින් හරි හෙල්ප් එකක් දෙන්න ලැබුණට මගේ හිතට සතුටුයි. ඔයා දිමුතුට හුඟක් හොඳට සලකලා තිබුණා.. හරි නම් මට නෙමෙයි ඔයාටයි පින් ලැබෙන්න ඕන..”

මගෙයි අනුෂිගෙයි කතාව දිහා ඉසුරු ගල්වෙලා වගේ බලන් ඉන්න හැටි මං දැක්කෙ පස්සෙ. හරියට ඇස් ඉස්සරහ මහ මුහුද ගොඩ ගලනව වගේ.

“එ.. එන්න ගේ ඇතුළට..”

“ඕන නෑ අනූෂි.. අපි වෙන වෙලාවක එන්නම්..”

“මං දුප්පත් තමයි.. ඔයා හුඟක් වෙලාවට මේ වත්තට අඩියක් තියන්න ඇත්තෙ අද වේනන ඇති.. ඒත් මං ජීවත් වෙන්නෙ මෙතන.. මං හුඟක් කැමැත්තෙනුයි ඔයාට ඇතුළට එන්න කිව්වෙ..”

“නෑ අනූෂි.. ඔයා මීටත් වැඩිය අවුල් තැනක හිටියත් මං එනවා.. ඒකට තැන අවුලක් නෙමෙයි.. ඒත් දැන් වෙලාව එච්චර හරි නෑ.. හුඟාක් රෑ වෙලා.. අපි ඇතුළට එන එක ඔයාට හොඳ නෑ..”

අනුෂි මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ. එයාට සමහර විට හිතෙන්නැති මං කොයි තරම් දුර හිතනවද කියලා. මේ රමී එහෙම තමයි. හිතන්න ගියහම ඇට්ටි හැලෙන්න හිතනවා.

“ඔයා මේ පැත්තට ආවෙ..?”

යන්නම් කියල කියන්න ඔන්න මෙන්න තියෙද්දි දවසේ වැදගත්ම ප්‍රශ්නය අනූෂී ඇහුවා.

“පුංචි තොරතුරක් හොයාගෙන..”

“මේ රෑ..?”

“ඔව්.. ඒක හොයන්න පුළුවන් රෑ විතරයි..”

“මට බැරිද ඔයාට උදව් කරන්න..”

දවසේ වැදගත්ම ප්‍රශ්නෙ වගේම, වැදගත්ම කතාව අනූෂී මගෙන් ඇහුවා. ඒකත් අවුලක් නෑ තමයි. මේ පැත්ත ගැන මේ පැත්තෙ ඉන්න අනූෂිට වඩා අපිද දන්නෙ. අනික අමරදාස බෙබේට මේ කොන්තරාත්තුව බාර දෙනවට වැඩිය මේ නයිටින්ගේල් කෙල්ලට බාර දෙන එක ඇඟට වගේම හිතටත් ගුණදායකයි.

“රමියා අපි මෙයාට කියමු.. ලේසියෙන්ම උත්තරේ හොයා ගන්න පුළුවන්..”

මෙච්චර වෙලා සද්ද වහල ඉඳපු ඉසුරු කට ඇරියා. අනූෂි එකපාරටම ඉසුරු දිහා බැලුවෙ මෙච්චර වෙලා ඌ එතන හිටිය දැක්කෙ නෑ වගේ. හුඟක් වෙලාවට කෙල්ලගෙ සම්පූර්ණ අවධානෙ, මං දිහාට යොමුවෙලා තිබ්බ හන්ද අනිත් දේවල් කෙල්ලට මඟ ඇරෙන්න ඇති.

“මට කරන්න පුළුවන් දෙයක් නම් මං අනිවාර්යෙන්මකරන්නම්.. මොකක්ද ගෑණු ළමයෙක් සම්බන්ධ දෙයක්ද..?”

ඔක්කොමත් හරි.. කෙල්ල අන්තිමට අහපු වචන ටික තමයි කැත.. රමියගෙ ලෑන්ඩ් මාක් එක කෙල්ලෙක්වත් වෙලාද..?

“ගෑණු ළමයෙක් සම්බන්ධයි කියල කියන්න විදියක් තාම නෑ. ඒත් සමහර විට එහෙමත් වෙන්න පුළුවන්. ඒත් අපි ආවෙ අපේ යාලුවෙක් පස්සෙ..”

“යාලුවෙක්..?”

“ඔව්.. හුඟක් වෙලාවට මිනිහා රෑ වෙලා මේ කොරියාව පැත්තට එනවා.. ඒත් ඒ ඇයි ද කියල අපි දන්නෑ..”

“ඔයාට ඕන ඒ යාලුවා එන්නෙ ඇයිද කියල හොයාගන්නද..?”

“ඔව්..”

“ඒකෙන් ඔයාට ප්‍රයෝජනයක් තියෙනවද..?”

“සෑහෙන්න..”

“එහෙනම් මං හොයන්නම්.. ඒත් මං කොහොමද යාළුවව අඳුන ගන්නෙ..?”

ඒකත් අලි ප්‍රශ්නයක් තමා.. අනූෂි කොහොමද සමීරයව අඳුනගන්නෙ.. කාටවත් කියන්න පුළුවන් මට්ටමේ හැඩ වැඩ චරිත ලක්ෂණයක් ඌ ළඟ නෑ. උගේ හැමදේම සාමාන්‍යයි. මොන අවයවයක්වත් මෙලෝ විශේෂත්වයක් නෑ. උගේ විස්තරය කි්වවොත්, ඒවත් එක්ක සසැඳෙන ලක්ෂ ගානක් මේ සිරිලංකාවෙ ඉන්නවා. මං ටිකක් වෙලා කල්පනා කරා. ඔන්න එතකොට තමයි මගේ ඔලුවට ආවෙ සමීරයව පෙන්නන්නෙ කොහොමද කියලා. ඒකත් ඉතිං වෙලාව තමයි. මගේ කියලද ඇහුවෙ.. පිස්සුද..? සමීරයගෙ..

“යාලුවගෙ ෆොටෝ කිහිපයක් මගේ මොබයිල් එකේ තියෙනවා.. මං ඒවා ඔයාගෙ ෆෝන් එකට එවන්නං..”

“ඉන්න මං ෆෝන් එක අරං එනකන්..”

අයියව කුලප්පු කරන්න කියල හිතාගෙන ගත්තු මිනිහගෙ විවිධ ඉරියව් තියෙන අප්සට් ෆොටෝ වගේම, වැදගත් ඉරියව් තියෙන ෆොටෝසුත් මගේ මොබයිල් එකේ තිබුණා. මේවා හැම එකක්ම ගත්තෙ සමීරට හොරෙන්. ඒත් ගත්තු වෙලාවෙ මට හිතුනෙ නෑ මේවා මේ තරම් වැදගත් වේවි කියලා.

“ඉසුරු.. ඕකෙ බ්ලූටූත් ඕපන් කරපං..”

අනූෂි ෆෝන් එක ගෙනත් දුන්නට පස්සෙ මං තෝරගත්තු ෆොටෝස් තුන හතරක් එයාගෙ ෆෝන් එකට යැව්වා. ඊට පස්සෙ එයින් එකක් සූම් කරලා මං අනූෂිට පෙන්නුවා..

“මට මෙයාව දැකල පුරුදුයි..”

ගත් කටටම අනූෂී කිව්වා. ඔටය තියෙන්නෙ.. අපේ වල්  හිකනලා පටි හතම රෝල් කරගෙන..

“පුළුවන් නම් විස්තර එකතු කරන්න.. මං තව දවස් දෙකකින් ඔයාට කතා කරන්නම්..”

“ඔයා ඔය යන්නද හදන්නෙ..?”

“ඔව්.. ෂේප් එකේ ගෙදරට පැනගන්න ඕන.. නැත්නම් කොයි වෙලාවෙ හරි ගෙදරින් මගේ වීසා කැන්සල් වෙනවා.. අපි යනවා.. ඔයා දොරවල් වහගෙන නිදාගන්න..”

නයිටිංගෙල් කෙල්ල බලන් ඉද්දි මායි ඉසුරුයි කාර් එක ළඟටම ඇවිදගෙන ආවා.

“ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..”

කාර් එක ස්ටාර්ට් කරගන්න ගමන් ඉසුරු කිව්වා.

“ඇයි..?”

“උඹෙන් බේරෙන්න බෑ කිසිම කෙල්ලෙකුට..”

“පිස්සු කියවන්නැතුව ඉඳපං..”

“රමියා.. මං මුලින්ම පුදුම උනා ඒකි උඹව දැකල හොල්මන් උනහම. ඒත් දිමුතුගෙ අසනීපෙයි අනූෂි නර්ස් කෙනෙක් කියල ගලපගත්තහම මං හුඟක් දේවල් තේරුම් ගත්තා. උඹ එදා මාවත් ඇඳගෙන තකහනියක් හොස්පිට්ල් ගියේ මේකිව බලන්න නේද..?”

“පිස්සුද බං..මං ගියේ දිමුතුව බලන්න..”

එතනින් එහාට දිමුතු වැඩිය කතා කරේ නෑ. නයිටිංගේල් කෙල්ල ගැන කතාවට පුල්ස්ටොප් එක තියල වෙන කතාවක් පටන් ගන්න මගේ හිතේ ඉඩක් තිබ්බා. ඉසුරුගෙ නංගි වෙච්ච ඉමාෂි ගැන, ඉසුරුව දැනුවත් කරල තියනෙක කොහොමත් හොඳයි කියලා මට හිතුණා.

“මොකද රමී.. උඹ අමුතු විදියට මං දිහා බැලුවෙ..?”

කොරියාවෙ ඉඳලා ප්‍රධාන පාරට දාන ගමන් ඉසුරු ඇහුවා. ඌ එහෙනම් ඩ්‍රයිව් කරාට එක ඇහැක් මේ පැත්තෙන් තියන් ඉඳල තියෙනවා.

“මට ඉමාෂිව හම්බ වුණා..”

“ඔව්..”

“කියන්න තියෙන දේවල් ඔක්කොම මං ඒකිට කිව්වා. ඒවා හිතට ගන්න නොගන්න එක එකිගෙ වැඩක්..”

“ලොකු දෙයක් රමී.. නංගි මං කියනවට වැඩිය උඹ කියන දේවල් අහනවා.. ඒකි උඹට මහ හුඟක් කැමතියි..”

මං ඉසුරුගෙ මූණට එබුණෙ ඒ මූණෙ ලියවෙලා තියෙන හැඟීම් කන්දරාව කියවග න්න. ඒත් කලින් වගේ පාරෙ ලයිට් කණුවල තියෙන ලයිට්වල එළිය වාහනේ ඇතුලට වැටුණෙ නෑ. ඒක හන්ද ඒ මූණෙ එක හැඟීමක්වත් තෝරගන්න මට බැරි වුණා. සමහර විට මට අමුතු විදියට තේරුණාට කැමතියි කියන වචනෙ ඉසුරු නිකං කටට ආවට කියන්න ඇති.


මං ගෙදර එද්දිත් අයියකාරයා ගෙදරට ඇවිල්ල හිටියෙ නෑ. ඒ කියන්නෙ මෑන්ස් අද ගියේ කොරියාවට නෙමෙයි කියනෙකද..? හැබැයි ඉතිං කොරියාවට ගියා නම් මං එහේ හිටපු කාල සීමාවත් එක්ක මිනිහා මට කරටිය මුලින්ම අහුවෙන්න ඕන.

ඔය හැමදේම අතරෙ මට තවත් ප්‍රශ්න තිබ්බා. ඒ තමයි මේ මනුස්සයා මුළු රෑම නිදි මරල දවල් දවසෙ ඇස් දෙක ඇරගෙන ඉන්නෙ කොහොමද කියනෙක. සමහර වෙලාවට මිනිහා දවල් දවසටත් මේ වැඩේම ක්‍රියාත්මක කරනව ඇති කියලත් හිතන්න පුළුවන්නෙ. කොහොම උනත් ඔෆිස් යන දවස්වලට මිනිහට මේ වැඩේ සෑහෙන්න ලේසි ඇති. නිවාඩු දාලා ෆුල් ටයිම් මේ කරන වැඩේම මාර ගති විදියට කරනව ඇති. හැබැයි අයියකාරයගෙ මේ බකමූණු චරිතෙට වැඩිදුර දුවන්න ඉඩ තියන්නෑ කියලා මං එක හිතින්ම හිතාගත්තා.


No comments:

Post a Comment