Thursday, January 17, 2013

| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |


අහසෙ සුදු පාට කෑල්ලක්වත් නෑ. ඔක්කොම හොරු අරගෙන ගිහින්. පළාතම අඳුරු වෙලා. කතා දෙකක් නෑ. කාලගුනේට කිව්වත් නොකිව්වත් මං දන්නවා. නාගසලං වෙන්න ඩෝප් එක දාන පියතිස්ස ඉස්කෝලෙ මහත්තය වගේම තව ඇබිත්තකින් කුණු වෙන්න වහිනව කියලා.

“රමී..”

“ම්..”


“මොනවද අනේ අහස දිහා බලාගෙන ඔය තරම් කල්පනා කරන්නෙ..?”

කල්පනා කරන්නෙ නම් උඹට කිසිම සංවේදීතාවයක් නැති එක බං කියල කියන්නත් හදල මං නිකං හිටියා. මොකටද නිකං හිත ඇතුළෙ තියෙන ඒවා එළියට දාලා මං වනගත වෙන්නෙ.. නැත්තං ඉතිං මේචචර ආකාසෙ අඳුරු වෙලා තියෙද්දි පිස්සු කතන්දර කියාවියා. බලන් ගියහම කෙල්ලො කියන්නෙ නම් මහා පරාල ඇණ අප්පා.

“ඇයි මට කල්පනා කරන්න බැරිද..?”

“නෑ අයියෝ... ඔයා කල්පනා කරන දේ මටත් කියන්න..”

“ඇයි..?”

“ආදරේ කරද්දි හැමදේම බෙදාගන්න ඕනි රමී..”

මොන කෙහෙල් ගෙඩියක්ද මේ..? එතකොට මට ටොයිලට් එකට යන්න උනොත් ඒකත් බෙදාගන්න ඕනෙද..? කෙල්ලොන්ට නම් පිස්සු තමයි හත්තිලව්වෙ.

“කියන්නකො රමී..”

“මොනවද..?”

“ඔයා මට කොයි තරම් ආදරෙයිද කියලා..”

පිස්සු සිමං ගමට ඇවිත් වගේ මේකිට වෙන කතා කරන්න දෙයක් නැද්ද අප්පා. ආදරේම උදේටයි, දවල්ටයි, රෑටයි කන්න දඟලන්නෙ.. අනික ඉතිං කොයි තරම් කතා කරත් ආදරේ ආදරේම තමයි.

“ඇත්තටම නදිනි... ඔයාට වෙන දෙයක් නැද්ද කතා කරන්න..?”

“ඇ.. ඇයි රමී..?”

“ඇයි අහන්නෙ.. හම්බවෙන හැම වෙලාවෙම ඔයා අහන්නෙ කොයි තරම් ආදරේද..? ඒ ආදරේ කිලෝ මීටර් කීයක් විතර දිගද..? කිලෝ ග්‍රෑම් කීයක් විතර බරද..? රටේ නැති ප්‍රශ්න.. මට නම් එ..පා වෙනව..”

කියවගෙන ගිහිල්ල මම කතාව නතර කළා. මෙන්න ඒ පාර නදිනි හුම් සද්දයක්වත් නෑ.. හැරිල බලද්දි තමයි මං දැක්කෙ මේන් බොලේ මේකිගෙ ඇස් වල හොටු.. නෑ.. නෑ.. වැරදුණා.. ඇස්වක කබ.. නෑ.. නෑ.. ඒත් වැරදුනා.. ඇස්වල කඳුලු.

“ඔ.. ඔයා හැමදාම මගේ හිත රිද්දනව රමී..! එයාට පව් සිද්ධ වෙනව..”

“ඒකටනේ දෙයියනේ අපි පන්සල් යන්නෙ..”

“මොනවද රමී ඔයා මේ කියවන්නෙ..?”

“කියවන්නෙද..? නිදහසේ හිතේ නිස්කලංකයෙන් ඉන්න තැනකට ආවම කච කචේ නැතිව ඉන්න නදිනි. ඔයා ගෙදරදිත් මෙහෙමද..?”

“ඔයා හොඳම නෑ රමී.. මං දන්නව..”

“මොනවද ඔයා දන්නෙ..?”

“ඔයාට දැන් මාව එපාවෙලා.. ඒකනේ නිතරම හින්ට් ගහ ගහ මාව රිද්දන්නෙ..”

“පිස්සු නැතිව ඉන්න නදිනි..”

“පිස්සු නෙමෙයි.. ඔයාට වෙන කවුරු හරි ඇති.. ඒකයි මට මේ විදියට රිද්දන්නෙ..”

“ම.. මං ඔයාට රිද්දනවා..?”

“ඔ.. ඔව්.. රිද්දනව විතරක් නෙමෙයි.. මාව නොමරා මරනවා.. ඇත්ත කියන්න රමී.. මට ඇත්ත කියන්න..”

“මොකක්ද ඇත්ත..?”

“ඔයාට තව ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නව නේද..?”

“මට..?”

“නැත්තං මටයෑ.. ඒකනේ ඔහොම මට වෙනස්කම් කරන්නෙ..”

ඔය බලපල්ලකො ඉතිං.. මේකි උදේ පාන්දරම ඇඳේ විට්ටම පැත්තෙන් බැහැලද කොහෙද.. අම්මපල්ලා.. මට නම් දැන් මේ හරුපෙ එපාවෙලා.

නදිනි තවත් මොනවදෝ කියන්න කට උල් කරද්දි තමයි මගේ මොබයිල් එක රින්ග් වෙන්න ග්තතෙ. මං ෂේප් එකේ රබර් ඇහැ දාලා ස්ක්‍රීන් එක දිහා බැලුවා. සත පහකට ගණන් ගන්නෑ වගේ. හත්තිලව්වෙ... නම්බර් එක රිස්මියාගෙ.. මේකිත් මේ වෙලාවෙම කතා කරපු එකනේ වැඩේ කියන්නෙ.

“රමී..”

“ඇයි..?”

“ඔය ෆෝන් එක රින්ග් වෙනව නේද..?”

“ඉතිං..?”

“අරගෙන බලන්නකො.. හදිස්සියක්ද දන්නෑ..”

“කාටද..?”

“කතා කරන කෙනාට..”

මේකි හීනෙන් කියවනවද මන්ද.. මොන අවමගුලක්ද මේ..

“ඒක ඔහේ වැදිච්ච දෙන්.. අපි අපේ කතාව කරගමු.. අපි මොනවටද ඒ ගැන කලබල වෙන්නෙ..”

මං චැප්ටර් එක ක්ලෝස් කරා. එහෙම නැතුව බෑ අප්පා.. වැඩේ පටන් ගත්තු තැනම අල වෙනව.

“ඔයාට බැරි නම් දෙන්න.. මං ආන්සර් කරන්නම්..”

“ඒ මොකටද..?”

“ඔය කෝල් එක ෂුවර් එකටම කෙල්ලෙක්ගෙන්.. ඒකනේ ඔයා මං ඉස්සරහ ආන්සර් කරන්නැත්තෙ.. අ.. අනේ ඇයි රමී.. ඔයා මට මෙහෙම රිද්දන්නෙ.. මං ඔයාට කොයි තරම් ආදරෙයිද..?”

“නදිනි.. පිස්සු නටන්නෙපා.. මිනිස්සුත් බලනව..”

“බලපු දෙන්.. මං ඇහැරුනහම ඔයාට තව ගර්ල්ස්ල කී දෙනෙක් ඉන්නවද.. ඉහ්.. ඉහ්.. ඔයා මං කියන කිසිම දෙයක් අහන්නෑ.. ඉහ්..”

මේක යකෝ කොඩිවිනයක් උනානේ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. ඕන පොළොස් ඇමුලක් වළඳනව මිසක.. තවත් බලන් හිටියොත් මහ කෙලියම වෙනව.

“නදිනි.. ඔයාට පිස්සු හැදීගෙන එනවද..? මොනවද මේ කියවන්නෙ..?”

“කවුද ඔය කෝල් කරන්නෙ..?”

“අපේ ගෙදර පොල් කඩන මනුස්සයා..”

“ඒ මනුස්සයා ඇයි ඔයාට කතා කරන්නෙ..?”

“ඒක දැනගන්න මට දිවියක්ඥානෙ තියෙනවද.. බලමුකො..”

මං ෆෝන් එක කණට තියල තදකර ග්තතා. සද්දෙ පිටට යන්නැති වෙන්න.. එහා පැත්තෙන් වතුර ගලනව වගේ ළයාන්විතව ගලාගෙන ආවෙ රස්මියාගේ රොමෑන්ටික් කටහඬ.. ඒ ලතාවට නම් ඇඟ දනවා.. මස් කකියනවා.. ඒත් රමියා දැන් මේ කතා කරන්නෙ පොල් කඩන මනුස්සයා එක්කනේ.. මාත් පොල් ගහක් වගේ උසට විහිදෙන කටහඬක් සුසර කර ගත්තා.

“හෙලෝ..”

“ර.. රමිත.. මං රස්මියා..”

“ආ.. ඔව්.. මොකක්ද ප්‍රශ්නෙ..?”

“අ.. අනේ රමිත.. ඇයි ඔයා සැරෙන් කතා කරන්නෙ..?”

“මො.. මොන..වා.. පොල් කුරුමිණියො කාලද..?”

“රමිත..”

“මං කිව්වනේ.. මං කිව්වනේ.. ඔය කුරුමිණියන්ගෙන් බේරගන්න කියලා.. කියන දේ අහන්නැතුව මට නම් දැන් ඕවා කියන්න එපා..”

මං ටිකක් බර කරල කතා කරා. එහෙම නැතුව බෑ. වැඩේ අලම වෙනව. මේ වෙනකොට මං ඉන්තේරුවෙන්ම දන්නවා රිස්මියාගෙ හඳක් වගේ සුදු මූණෙ තියෙන කළු ඉංගිරියො දෙන්නා කඳුළු වලින් පිරිල ගිහිල්ලා කියලා.

“ආ..නේ.. රමිත.. ඔයා මොනවද මේ කියවන්නෙ..?”

“ඔය පොල් කුරුමිණියො ඉන්නව නේද..? ඕකා ඒකපාර්ශ්වික මයිටාවෙක්. ක්ෂුද්‍ර ජීවීන් නසන බැක්ටීරියාවක්. මහා කැත මිනිහෙක්. අම්මපා.... ඕකට කන්න වෙන ගහක් තිබ්බෙම නැද්ද..? පොල් ගහම කන්න ආවෙ..?”

“අ.. අනේ රමී.. කවුද කුරුමිණියා..?”

“දැන් කරන්න දෙයක් නෑ.. කුරුමිණියා උඹ.. හිතේ අමාරුව වැඩි නම් කුරුමිණියො ටික කාපන්..  තේරුණාද..?”

“රමිත.. ඔ.. ඔයා මට උඹ කිව්වා.. තව කාපං කිව්වා.. කුරුමිණියා කිව්වා.. අනේ රමිත ඔයාට මොනවද වෙලා තියෙන්නෙ..?”

“ආයෙ කතා කරන්නෙපා.. මං බිසී.. පොල් ටික කඩල මඩුවට දාපං.. මෝඩයා..”

මං තදය වගේ කෝල් එක කට් කරල දැම්මා. තව දුරටත් මේ ත්‍රාසජනක පෙම් ජවනිකාව කරගෙන ගියොත් මට තැනකට එන්න බැරිවෙනවා. කෝකටත් කියල මං මල පැනල අර්ශස් තද වෙච්ච එකෙක්ගෙ මූඩ් එකක් මවාගෙන නදිනි දිහාට හැරුණා.

“ඈ.. ඇයි රමී..?”

මගේ අත් දෙකම අල්ලගෙන නදිනි ඇහුවා. එයාගෙ කළු ඉංගිරියො දෙන්නා මං ඕන ඔට්ටුවක් අල්ලනව තව ඩිංගකින් බිමට වැටෙනව.. ඒ තරම් ලොකු වෙලා.

“කියන්න රමී.. ප්‍රශ්නයක්ද..?”

ඒ පාර මගේ දුකත් අරගෙන නදිනි වැළපෙන්න හදනවා. බලන් ගියාම කෙල්ලො හැම එකාම එක වගේ අප්පා. මළ ගේ වගේ තමයි. එපා වෙනවා. මෙයිට වඩා වෙනස් වොයිස් එකක් මේ ලෝක ධාතුවෙ නැද්ද දෙයියනේ.

“මුකුත් නෑ.. අපි යමු..”

“අ.. අනේ රමී.. අපි ඇවිල්ල වැඩි වෙලාවක් නෑනෙ..”

ඕන අල ගෙඩියක් උනාවෙ.. උමට ඕන නම් ඉඳපං.. මං යනව කියල හිතාගෙන නැගිටින කොට තමයි ෆෝන් එක ආයෙත් රින්ග් වෙන්න ගත්තෙ. ෂිහ්.. මේක ඕෆ් කරල දාන්න බැරි උනානෙ. ආයෙත් රිස්මියාද මන්දා.. එහෙම නම් වහක්ම තමයි. ආයෙ ඒකෙ ප්‍රතිසංස්කරණය කළ යුතු කිසිවක් නෑ. නදිනි තොල් දෙකත් උල් කරගෙන සදාකාලික ඔරොප්පුවකින් මගේ දිහා බලන් ඉද්දි මං ආයෙත් ස්ක්‍රීන් එකට එබුණා.

හත්තිල්ව්වේ... මේ අපේ කැලෑ පාලුවනේ.. කැලෑ පාලුවා කියල කිව්වෙ ඉසුරුට. ඌ කෙරුවෙ කොට බිස්නස්.. හොරෙන් කප්පනවා.. හිටු කියල පටවනවා.. පහුවෙනිදට දාහෙ කොළ ගනිනවා. සිම්පල් කේස් ඇන්ඩ් සිම්පල් මෙතඩ්. අහුවුණ දාට සිම්පල් ජේල්.

“රමිතයා..”

“ඔව්..”

“උඹ කොහෙද ඉන්නෙ..?”

“ඇයි..?”

“ඔතන මොකෙක් හරි ගෑණියෙක් ඉන්නවද..?”

“ඔව්..”

“ගැලවෙන්න පුළුවන්ද..?”

“පුලුවන්.. ඇයි..?”

“ප්‍රශ්නයක් රමියා..”

“මං එන්න ඕනද..?”

“නෑ.. උඹ ඉන්න තැන කියපං.. මං එන්නං..”

ඉසුරුවාගේ වැඩ එහෙමයි. ඉතා ක්ෂණිකයි. ප්‍රතිචාර ඉතා ඉහළයි. දෙයක් වෙනකන් කාටවත් හිතාගන්න බෑ. ඒත් මේ රමියට නම් හිතාගන්න පුලුවන් මොකද රමියත් ඒ බෝට්ටුවෙ හන්ද.

“කවුද රමී කතා කලේ..?”

“ආ.. අපේ වද පුංචි අම්මගෙ පුතා..”

“ක..වුරු..?”

“වද පුංචි අම්මගෙ පුතා..”

“මොනවද රමී.. ඔයා කියන්නෙ..? වඳ අයට කොහෙද ළමයි..?”

“ඕකනේ නදිනි ඔයත් එක්ක කරන්න බැරි.. ඩිංගක් ඔය හිතන ක්‍රමය වෙනස් කරන්නෝන..”

“ඇයි..?”

“හැයි තමයි.. ඔයා හිතන්නෙම මහා වල් විදියට. මං මේ ළමයි හම්බවෙන කතාවක් කිව්වද..? මමත් නිකරුනේ නරක් වෙනව.. මං කිව්වෙ වදකාර පුංචි අම්මෙක් ගැනනේ..”

අග්ගලා ගිලල හිරවෙච්ච පුරෝහිත වගේ කටත් හදාගෙන නදිනි ඇඹරුණා. පව් අප්පා.. හිතේ අමාරුව පෙට්ටියෙන් එකයි. ඔය අතරෙ තමයි ඉසුරුගෙ කාර් එක ආවෙ. නදිනි මගේ දිහා බැලුවෙ ජාති ජාතිත් පතාගෙන ආපු වෛරක්කාරයෙක් දිහා බලනව වගේ.

“ම.. මං ඔයාට කියල තියෙනව රමී..”

“මොනවද..?”

“ඔය කැලෑ පාලුව ආශ්‍රය කරන්නෙපා කියල..”

“මොකක්..?”

මට නප්පියටයි ඊට ටිකක් වැඩි නප්පි බාගෙකටයි තද උනා. ඇයි යකෝ මගේ යාලුවෙක් ආශ්‍රය කරන්න මේකිගෙ බුලත් අතක් ගන්න ඕනෙද..? ආදරේ කියන්නෙ මේකද අප්පා.. මීට වැඩිය හොඳයි මැරිච්ච පෙරේතයෙක් ආස්සරේ කරන එක.

“හ්.. හ්ග්.. ම.. මං කියන කිසිම දෙයක් ඔයා අහන්නෙ නෑ.. ඔ.. ඔයා හරියට වෙනස් වෙලා රමී..”

“ඔන්න ඉතිං.. ඔන්න ඉතිං.. හොට්ට බේරෙන්න ගත්තා.. ඔයා ඔය කියන විදියට මට යාලුවො වර්ගීකරණය කරන්න බෑ නදිනි. මං ආශ්‍රය කරන්නෙ මට ඕන අය..”

“එ.. එහෙනම් ඉතිං.?”

“ඔ.. ඔව්.. එහෙනම් ඉතිං මොකක්ද..?”

“ඔයාට මාව හරි, අර කැලෑ පාලුව හරි දෙකෙන් එකක් තෝරගන්න වෙයි..”

පිස්සු හැදෙනව, මල පරවෙනව මෙන්න බලාපියව් ගෑනු ළමයිගෙ සිරියාව. අනේ අනිච්චේ ඔහොම කතා කියල මේ රමියව මට්ටු කරන්න හිතනව නම් ඒක ජාතියෙ අවාසනාව. ඇත්තටම වෙන මෙතඩ් එකක් මේකි ළඟ ඇත්තෙම නැද්ද අප්පා. තියෙන්නෙම යල් පැන ගියපු කෘෂි කාර්මික උපකරණනේ. හරියට දුක හිතෙනව අප්පා.

“නදිනි මේ..? මං කැමති නෑ ඔයා මගේ ජීවිතේට වැව් බන්ට් එකක් වෙනවට. ආදරේ කරනව නම් මට ඒ දේ නිදහසේ කරන්න ඕන. එහෙම නැතුව ඔයා මවන යකඩ කූඩුව ඇතුළට වෙලා ආතල් එකක් ගන්න තරමෙ මට පිස්සුවක් නෑ..”

“දෙ.. දෙයියනේ.. මං එහෙම කතාවක් කිව්වද..? ඔයාට ඔය කියන නිදහස දුන්නොත් ඔයා කොහේ ගිහින් නතර වෙයිද..? රමී..! ඔයා දකින දකින හැම කෙල්ලෙක් එක්කම යයි.. මට වෙන්නෙ සංසාරෙ පුරාවට හූල්ල හූල්ල ඉන්න..”

මෙන්න මේවට තමයි කියන්නෙ ආලෙ බැන්ද මාගෙ රමිය වන් කියලා. මෙච්චර අනේක විධ සංසාර ජාතියෙ කෙල්ලො ඉන්න රටේ මූණෙ ලස්සනට විතරක් කෙල්ලෙක් එක්ක යාලුවෙන හැම කෙල්ලටම මේවා ඉතිහාසගත පාඩම්. එව්වා මෙව්වා බැලුවහම රිස්මියා මුස්ලිම් උනත් ලක්ෂෙකින් හොඳයිනේ.. ඒකි චාම් සහ නිස්කලංකයිනේ.

“ඔයා හූල්ලන්න බැරි නම් අපුල්ලන්න.. මං යනව..”

නදිනි තවත් මොනවදෝ කියන්න කට ඇරියත් මම ඊට කලින් ගිහින් ඉසුරුවගෙ කාර් එකට නැග්ගා.

“මොකෝ සීදේවි කියන්නෙ..?”

“සීදේවි නෙමේ බං මූදේවි.. යන හැම ගමනක්ම උමත් එක්කම යන්න කියල එක පොරයයි..”

“ඇත්තට..?”

“ඇත්තට පැත්තට දාලා අවුල කියපං..”

“මාර ප්‍රශ්නෙ රමියා..”

“ඇයි..?”

“උඹට මේව කියලත් බෑ නොකියත් බෑ..”

“ඉසුරු... උඹ දන්නවනේ.. මට ඩිංග ඇත්තං නට් ලූස් කියල.. තෙපර බාන්නෙ නැතුව කියන මගුලක් කියපං බං.. උඹ දැක්කනේ මං අරකිවත් හලල ආවෙ..”

“අපේ එකී අර එෆෙයාර් එක ආයෙත් පටන්ගෙන..”

“උඹලගෙ නංගි..?”

“ඔව් රමියා.. මං හිතුවෙ නංගි ඒක නවත්තල දාලා කියල.. ඒත් ඒකි ලව් එක කන්ටිනියු කරනව..”

“මරන්න එපෑය බං.. කෝ දැන් කුඩ්ඩා..?”

“මං මේ ඌව අල්ලගන්නයි ආවෙ..”

ඉසුරුගෙ නංගි ඉමාෂි යාලුවෙලා හිටියෙ රංගන කියලා දුප්පත් කොල්ලෙක් එක්ක. දුප්පත්කම ආදරේට ප්‍රශ්නයක් උනත් අපි ඒක ගණන් ග්තතෙ ණෑ. ඒත් රංගන කුඩු ගහනව කියලා ආරංචි උනාම අපි ඒ ආදරේට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා. ඒ ගේම් එක සම්පූර්ණයෙන්ම ලීඩ් කරේ මම.

ඩ්‍රග්ස් ගන්නෙක නවත්තනවද..? එහෙමත් නැත්තං ආදරේ නවත්තනවද කියල මං රංගනගෙන් ඇහුවෙ, උගේ කමීසෙ කොලර් එකෙන් අදින ගමන්. ඌ ගත් කටටම කිව්වෙ ආදරේ නවත්තනව කියලා. ඉමාෂි මහවැලි ගංගාවටත් වැඩිය කඳුළු ගංගාවක් හලලා හිත හදාගත්තා. ඔන්න දැන් ආයෙ ඒ මහවැලි ගංගාව පිබිදිලා කියලද ඉසුරුව මේ මට කියන්නෙ..?

“උඹ හොඳට බැලුවද..?”

“මොනවද රමී..?”

“උඹලගෙ නංගි..”

“ඔව්..”

“වාඩිවෙලා ඉන්නෙ මොලේ උඩද කියල..?”

ඉසුරුවගෙ මූණ මැදට පුංචි හිනාවක් ආවා. බුම්මට්ටා වගේ ඉන්නැතුව ඔහොම හරි හිනාවෙන එක ලොකු දෙයක්.

“මෙතනින් වමට දාලා යමුකො.. මං අද ඕකිව අතටම අල්ලගන්නම්..”

තනියම කියවන ගමන්, වම් පැත්තෙ තිබ්බ නිවාඩු නිකේතන පාරට ඉසුරු කාර් එක හැරෙව්වා. හුටා... ඒ කියන්නෙ රංගනයා ඉසුරුගෙ නංගිව මේකටත් අරන් ඇවිල්ලද..?

“ඉමාෂියි කුඩ්ඩයි මෙතන ඇති කියලද උඹ හිතන්නෙ..?”

ඉසුරුගෙ මූණ මැදට ආවෙ අමුම අමු දුෂ්ඨ පෙනුමක්. මේකා මේ පෙනුමෙන් ගියොත් නම් අරුන් දෙන්නම යටියන්තොට බලා ස්වර්ගස්ත කරයි වගේ. එතකොට මේ රමියට වෙන්නෙ සහාය දීපු වරදට මහා උලුගෙදර බත් දන්කුඩ කන්න.

“ඔව්.. යමං..”

සිල්වර් පාට ඇක්සියෝ කාර් එක නිවාඩු නිකේතනයෙ ආරුක්කුව යටට දාන ගමන් ඉසුරු ඩ්‍රයිවින් සීට් එක පැත්තෙන් බැස්සා. ඌ බහින්න කලින් මං උපනන්ද උන්නැහේ ගාවට කිට්ටු කරා. උපනන්ද තමයි ගෑනු ළමයි පිරිමි ළමයි ලෝකෙට හොරෙන් ආදරේ කරන්න එන මේ ටජ්මහල් ප්‍රසාදෙ ප්‍රතාපවත් කළමනාකරු.

“රමිත මල්ලි..”

මෑන් මාව දන්නවා. මටත් වැඩිය ඉසුරුවාව දන්නවා. දැන් දැනගෙන වැඩිවෙලා දන්න දේ එළියට දාගන්න බැරිවෙනව.

“රංගන ආවද..?”

මං ෂේප් එකේ ඇහුව. උපනන්දකාරයගෙ මූනෙන් පෙන්නුම් කරන අංග ලක්ෂණ අනුව නම් රංගනයා මෙතන ඉන්නවා. රංගනයා ඉන්නව කියන්නෙ කෙල්ලත් ඉන්නව කියනෙක. වැඩේ අල කරග්නනැතුව ගොඩ දාගත්තෙ නැත්නම් ඉමාෂිගෙයි රංගනගෙයි පාංශුකූලෙ තමයි මට දෙන්න වෙන්නෙ.

“බැ..ල්..ලි.. මං අද උඹව මරනව..”

ඉසුරු කවුන්ටරේ ළඟට ආවෙ සද්ද පූජාව දාගෙන. උපනන්දකාරයගෙ මූණ මැද මල්වඩම් දෙක තුනක්ම පාවුණා.

“ඉසුරු.. කෑනොගහ ඉඳපං.. මං මේක බලන්නම්..”

“නෑ රමියා.. මේක මගේ වැඩක්.. උඹ පැත්තකට වෙයං..”

“පැත්තකට වෙන්න නම් උඹ මොන බම්බුවකටද මාව ඇදගෙන ආවෙ..?”

“මං කියන දේ අහපං රමියා..”

“අහන්න දෙයක් නෑ.. පිස්සා වගේ කෑනොගහ ඉඳපං.. උඹට ඕන මේ කතන්දරේ මුලු හත්කෝරලේටම ප්‍රචාරය කරන්නද..? පෝස්ටර් එකක්වත් නොගහ..”

“ම.. මගේ හිතේ අමාරුව උඹට තේරෙන්නෑ..”

“බම්බුව..! තත්පරේකට හරි මනුස්සයෙක් වගේ ඉඳපං.. මොනව උනත් ඉමාෂි උඹගෙ නංගි..  මතක තියාගනිං.. ඒකි මගෙත් නංගි වගෙයි. උඹට ඕන විදියට නටන්න දෙන්නෑ වගේම මං ඒකිටත් නටන්න දෙන්නෑ..”

දත්මිටි කන ගමන් ඉසුරුවා පැත්තකට උනා. උගේ අතට මේ වෙලාවෙ රංගනව අහුවුණා නම් මූ ඇට විතරක් තියෙන සුප් එකක් හදනව හොදි නැතුව.

“උපනන්ද අයියා.. රංගන කොහෙද ඉන්නෙ..? මොකක්ද කාමරේ..?”

ආයෙත් ඉසුරු මැද්දට පැන්නා. මූට නම් හොඳින් කියල හරියන්නෙම නෑ වගේ. ඒත් මං මුකුත් කියන්න කලින් උපනන්ද අයියා ඉස්සර වුණා.

“ඇ.. ඇයි මල්ලි.. මොකක්ද ප්‍රශ්නෙ..”

“ප්‍රශ්නෙ.. උඹ ඒක මගෙන්ද අහන්නෙ.. ඌ කාත්තෙක්කද ආවෙ..?”

“කෙ.. කෙල්ලෙක් එක්ක..”

“මට කාමරේ අංකෙ කියපං.. මං ඌව පණ පිටින්ම හම ගහනවා..”

ඉසුරු ඉස්සරහට පනිද්දිම මං ඌව පැත්තකට කරා. කේන්තිය උතුරල ගියපු ඉසුරුගෙ මූණ මැදට ආවෙ ලොකු පුදුමයක්.

“ඉසුරු.. මං මේක ඉවරයක් කරන්නම්.. නංගි උඹේ විත්තිය ඇත්ත.. කලින් කතන්දරේට බැස්ස විදියට මං මේක හැන්ඩ්ල් කරන්නං.. උඹ වැඩිය උඩ පැනලා මෙතන කුණු ගඳ ගස්සන්නෙ නැතුව ඉඳපං.. අනික උඹ හොඳට මතක තියාගනිං.. මේවා හතර දිග් බාගෙම ආරංචි උනහම ඉමාෂිට පාරෙවත් බැහැල යන්න බැරිවෙයි..”

“ම.. මං.. ඒ.. ඒකිව මරනව..

“එහෙනං මරපං..”

මං ඉසුරුගෙ අත් දෙක අතෑරල දැම්මා. මොන බම්බුවක්ද..? මෙච්චර ධාර්මිකව ධර්මෙන් බෙදනකොටත් මූ දේවදත්ත වෙන්න යනවනේ.. ටිකකින් උගේ ඇස්වල තිබ්බ රස්නෙ නැතිවුණා.

“උ.. උඹට තේරෙන්නෑ රමී..”

“ඔව්.. මට තේරෙන්නැ.. උම හිතුවද ඉවක් බවක් නැතුව ගස් කොළන් කපනව වගේ මිනිස්සුත් මරන්න පුළුවන් කියල..?”

එතනින් එහාට ඉසුරු කතා කරේ නෑ. මෙච්චර වෙලා ගල්වෙලා වගේ බලන් ඉඳපු උපනන්ද එක්ක මං රංගන හිටපු කාමරේ ළඟට ආවා. ඉමාෂි හිටියොත් නම් සොරිම තමා. මං ඇහැක් වහලා උපනන්දට කිව්වා හෙමීට දොරට තට්ටු කරපන් කියලා.

“කවුද..?”

කාමරේ ඇතුළෙන් ඇහුණෙ රංගනගෙ සදාචාරාත්මක කටහඬ.

“මං උපනන්ද..”

ඉසුරු හිටියෙ මටත් පිටිපස්සට වෙන්න වගේ. ඌවත් කවර් කරගෙන මං හිටියෙ. ටිකකින් කාමරේ දොර ඇරුණා. ලාවට ඇරුණ දොර අයිනෙන් හොර පූසෙක් වගේ රංගන එබුණා. මූණ ඉස්සරහම හිටපු මාවයි ඉසුරුවයි දැක්ක ගමන් උගේ ඇස් දෙක කුරුම්බැට්ටි සයිස් එකට ලොකු වුණා.

“ඉ.. ඉසුරු අයියා..?”

ඌ ඒක කිව්ව නෙමෙයි කියවුණා. රංගනයට මේ වෙනකොට හීන් දාඩියයි, මහා දාඩියයි දෙකම දාලා. ඌ හැදුවෙ දොර දඩ බඩ ගාලා වහන්න. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා. හරියට නිකං විදුලි ස්ත්‍රික්කෙ වගේ. වැරදුනා.. විදුලි කෝචිචය වගේ. ඉසුරුවාට එන්න බැරිවෙන්න රංගනවත් තල්ලු කරගෙන කාමරේට පැනලා මං දොර වහගත්තා.

මගේ ඇස් කාමරේ පුරාම දිව්වෙ ඉමාෂිව දකින්න. ඒත් ඇඳ උඩට වෙලා හද්ද බයේ ගැහෙන රූපෙ දැක්කම මං ගල් ගැහුණා. මේ හත්තිලව්වෙ වෙනිං කෙල්ලෙක්නෙ. වැඩිය ඕන නම් අවුරුදු දාහතක් ඇති. ඒ අතරෙ එළියෙ ඉන්න ඉසුරුවා මෙලෝ සිහියක් නැතුව දොරට තඩිබාන්න ගත්තා.

“අ.. අනේ රමිත අයියා.. කාටවත් කියන්නෙපා..”

“කියන්නෙපා.. උඹ මහ කැලෑ සතෙක්නෙ යකෝ.. එෆෙයාර් එක නැවතුණ හන්ද අර කෙල්ල අරහෙ නොකා නොබී අඩනවා. තෝ මෙහේ වෙන කේලලො එක්ක කාමර ගානෙ රිංගනව.. ෂිහ්.. උඹ නම් පිරිමි ආත්මයක් වෙන්න බෑ..”

“රමිත අයියා..”

“කට වහගනිං නරියා..! මං උම ගැන හිතුවෙ මොන කරුමෙකට හරි ඩ්‍රග්ස් ගන්න පුරුදු උනත් උඹේ හිතවත් හොඳ ඇති කියග.. උඹේ බොක්කවත් හොඳ ඇති කියලා.. උඹේ ආදරේවත් අවංක ඇති කියලා.. බැලුවහම උඹ මහ කැත සතෙක් රංගන..”

තව ඩිංගක් ගියොත් ඉසුරු දොර කඩනවා. ඒක හන්දම මං දොර ඇරියා. ලේ කෝප වෙච්ච දේවදත්ත වගේ කාමරේට ආපු ඉසුරුත් අර කෙල්ල දැක්කහම අවුල් වුණා. ඌ බලනව ඇති මේ හරුපෙ මොකක්ද කියල..

“මො.. මොකක්ද රමියා මෙතන වෙන්නෙ..?”

“උඹට කලබල වෙන්නැතුව ඉන්න කියලා මං කිව්වෙ ඒකයි.. මූ වෙන කෙල්ලෙක් ගෙනල්ලා..”

මං හිතුවෙ ඒක අහපුවම ඉසුරු තවත් කුලප්පු වෙයි කියල.. ඒත් හිතුවෙ නැති විදියට ඉසුරු මගේ අතින් අල්ල ගත්තා.

“අ.. අපි.. යමු රමී..”

“යමු කියන්නෙ..?”

“තවත් මෙතන ඉඳල වැඩක් නෑ.. මොන දේ උනත් මට මගේ නංගි ගැන දුකයි රමියා.. හ්ම්.. අපි යමං..”

තවත් පාරක් රංගනයයි අර කෙල්ලයි දිහා බලල මං ඉසුරු එක්ක කාමරෙන් එළියට ආවා. ඒ එක්කම රංගනයා කලබලයෙන් දොර වහගන්න සද්දෙ මට ඇහුණා. නිවාඩු නිකේතනයෙන් මහ පාරට එනකල්ම ඉසුරු වචනයක් කතා කලේ නෑ. ඌ හිටියෙ බර කල්පනාවක.

“රමියා..”

“ම්..”

“උඹව කොතනින්ද දාන්න ඕනෙ.. ගෙදර ගාවින්ද..? නැත්නම් ආයෙම අරකි හම්බවෙන්න යනවද..?”

“අරකි කිව්වෙ..?”

“නදිනිද කවුද..?”

“ඒකිගෙ හුළඟක්වත් දැන් නැතුව ඇති. මාව ගෙදර ළඟින් බස්සපං.. ඒක නෙමේ.. මොකෝ උඹ අවුල් වෙලා..?”

“නෑ බං.. මං ඉස්සෙල්ලත් කිව්ව වගේ නංගි ගැන මට දුකයි බං..”

“දුක් වෙන්න දෙයක් නෑ බං.. රංගනයා කිසි කැතක් නැතුව හැව ඇරලනේ..”

“ඒ උනාට නංගිගෙ හිතේ තාම තියෙනව රමී..”

“ඒක අපි ඉමාෂිට තෝරල දෙමු.. දෙන්නගෙ ආදරේ නවත්තන්න කියලා වෝනින් එක දීලා තාම සති දෙකක්වත් ගියේ නෑ.. මූ කෙල්ලො අරගෙන රූම් ගානෙ රිංගනවා.. මාර ආදරේ මචං..”

“තෑන්ක්ස් රමියා..”

කතාව අස්සෙ ඉසුරු මට ස්තුතියක් දුන්නා..

“මොකටද..?”

“මාත් එක්ක ආවට..”

“තෑන්ක්ස් කරන්නෙ පිට එවුන්ටනේ බං.. මං පිට එකෙක්ද..?”

“නෑ.. එහෙම හිතන්නවත් එපා.. උඹ වගේ ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න මට බෑ.. තව ඩිංගෙන් මං රංගනයව මරනවා.. ඒ තරම් කේන්තියක් මගේ හිතේ තිබ්බෙ.. මං හිතුවෙම නංගි එතන ඇති කියලා.. උඹ නොහිටිය නම් මං දෙක තුනක් ඇනල තමයි රංගනගෙන් තොරණෙ විස්තරේ අහන්නෙ..”

ඒක නම් ඇත්ත තමයි කියල ගේ ගාවින් බහිද්දි මට හිතුණා. තව කොට බිස්නස් එකක් රෑට තියෙනව කියල ඉසුරු පිඹගෙන ගියා.

“යසයි ගෙදර එන වෙලාව..”

ගෙට ගොඩවෙන්න හම්බ උනේ නෑ. යසලාලක තිස්ස දොරටුපාලයා වගේ අයියා ඇඟටම කඩන් පැන්නා. මූටත් ඕන්නැති ඉඳි ඇටයක් නෑ. ඕන එකටයි එපා එකටයි හැම එකටම හොම්බ දානවා. මගේ දැනුමේ හැටියට නම් මූ තමයි මට ඉන්න එකම ජන්මාන්තර වෛරක්කාරයා.. මගේ පරම හතුරා.. ඔලුව මැදට ගල් පෙරළන දේවදත්තයා.

“ඇයි..?”

“හැයි අහන්නෙ..? හතර අතේ රස්තියාදු ගහනවා.. අපිටවත් පාරෙ බැහල යන්න බෑ.. කසියා ගහන ඈයොය්, කැලෑ පාලුවොයි, ගෑනු පෙරේතයොයි ඉන්න හැම වහුකුනෙක්ම ආශ්‍රය කරනවා..”

“ඒ ඔක්කොම හරි..”

“ඈ.. හරි..”

“ඔව්.. හැබැයි හැම තැනම කේලම් කියල කොටවන කොන්දක් නැති පිම්පියො ඇරෙන්න..”

“මොකක්..?”

මගේ වචන ටික ආයෙ දෙකක් නෑ මිනිහගෙ හදවත පුරෝලා වැදුණා. උපරිමයි.. පෙට්ටියෙන් එකයි..

“ත.. තමුසෙ කියන්නෙ මං කේලමෙක් කියලද..?”

“නෑ..”

“එහෙනම්..?”

“ගෙවල් ගානෙ ඕප දූප හොයන නාකි මල හෝන්තුවක් කියල..”

“තමුසෙට මං........”

අයියකාරයා අත උරුක් කරගෙන මං දිහාට පැන්නා. මූණ ලේ පාට වෙලා තියෙන හැටියෙන් කියතැහැකි ඌට උපරිමේටම මල පැනල කියලා. අනේ අප්පේ මට මොකෝ මළ විතරක් නෙමේ, තවත් මොකක් හරි පැනල ඕකට අර්සස් අමාරුව හැදෙන්න ඕන. උදේට ටොයිලට් යන්න බැරිවෙන්න.

“ඇයි ගහන්නද අත ඉස්සුවෙ..?”

“ඔව්.. බෑ කියලද හිතුවෙ..?”

“බෑ තමයි.. පුළුවන් නම් ගහනව බලන්න..”

අත නෙමේ කකුල උස්සගෙන ආවත් අයියා කාරයට මට ගහන්න බෑ කියල මං දැනන් හිටියා. සදාකාලික සහෝදර ප්‍රේමය හින්ද කියලද උඹල හිතුවෙ..? පිස්සුද..? ඌ මට නහුතෙටම බයයි. ආයෙ දෙකක් නෑ.. ඌ හොඳටම දන්නවා මට අතක් ඉස්සුවොත් අම්මගෙන් බීපු කිරි කටින් එන්න වදිනව කියලා.

“ම.. මං තමුසෙට ගහන්නෑ..”

“ඇ.. ඇයි..?”

“බාලවයස්කාරයන්ට ගහන සිරිතක් මගේ ළඟ නෑ..”

“ආ.. ඒකත් එහෙමද..?”

“එහෙම තමයි.. හැබැයි හොඳට මතක තියාගන්නවා.. තමුසෙ මට මේ රිද්දන ඒවට මං තමුසෙට කවදාවත් නම් සමාවක් දෙන්නෑ..”

“ආ.. මං තමුසෙට රිද්දුවද..? අහන්නත් ආසයි..”

“ඔ.. ඔව්.. ඔව්.. ඔව් මිනිහො.. තමුසෙ මට හැමදාම රිද්දනවා.. මං මේවගේ පලිය තමුසෙගෙන් ගත්තෙ නැත්තම් මං සමීර නෙමෙයි..”

“හොඳයි හොඳයි.. සීත සමීරයක් වෙලා හරි.. තමුසෙ මගෙන් පළිය අරගෙන සැනසෙනවකො.. තමුසෙට බොහොම ඉක්මනට නිවන් යන්න පුළුවන් වෙයි..”

“මට කලින් මං තමුසෙව නිවන් යවනවා..”

“ඔව්.. ඉතිං තමුසෙ දේවදත්තනේ..”

ආයෙ දෙකක් නෑ.. මගේ වචන අයියා කාරයගෙ පපුව බරු ගහගෙන යනව ඇති.. උගේ මූණ මහා පරිමාණ කේන්තියකින් විරූප වෙලා තියෙන හැටි බලන්නත් ආසයි.. මුගේ ශරීර වර්ණය මට වැඩිය කළු පාට වෙලා ඇත්තෙ හිතේ තියෙන කුණු හොන්ඩරේ හින්ද වෙන්න ඇති. නැත්තම් හත් දෙයියනේ එක මව්කුසින් ආව නම් මං වගේම කිරිසුදු පාටට ඌත් ඉන්න එපෑය.

“හා.. මං.. මං දේවදත්තයා..? එ.. එතකොට තමුසෙ මොකාද..?”

අනේ කුණු සංසාරේ.. මූට කේන්තිය වැඩිකමට බහ තෝරන එකෙක්ගෙ කල දසාව ලබලා.

“ආ.. මම ද..?”

“ඔව්.. තමුසෙ කවුද..?”

“මං ඉතිං මේ ජාතියෙ පිනට පහල වෙච්චි පිච්ච මලෙන් ඉපදුන සපුමල් කුමාරයා..”

“එ.. එහෙමද.. ම.. මං බලාගන්නම්කො..”

මං හිතන්නෙ මං කියපු එක ඌට තේරුණේ නෑ.. බිං ඌරා වගේ හා හූ ගාගෙන පැත්තකට ගියේ ඒකයි.

ඔන්න ඔහොමයි අප්පා මට ඉන්න සහෝදරයගෙ සහෝදර ප්‍රේමයෙ තරම. ඌ ඉන්නෙම මගෙත්තෙක්ක හරහට. ඌට මාව පේන්න බෑ. මට නම් ඌව කොහෙත්ම පේන්න බෑ.


No comments:

Post a Comment