Thursday, December 27, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


අක්කා නිවසෙන් නික්මී ගොස් සතියක් ඉක්ම ගියද සිතේ වූ සාංකාව තුරන් නොවීය. මා දුකින් වග දන්නා සඳුන් නිතර ඇවිත් මගේ දුක සැප බැලීමටද දුරකථනයෙන් මා ඇමතීමටද අමතක කලේ නැත. ඒ සෙනෙහසේ යෝධ සෙවනැල්ල තුළට වී මම හිත හදා ගැනීමට උත්සාහ කරමින් සිටියෙමි.


වෙනදාට වඩා ආදරයෙන් අම්මා මා ගැන සොයා බැලීමට උත්සුක විය. ඒ සියළු රැකවරණයන් මැද්දේ දිනකට වතාවක් දෙකක් හෝ අක්කා මට කතා කිරීමට පුරුදුවය සිටියාය. ඇතැම් විටක ඒ ලෙන්ගතුකම් සිතට වදයක් ලෙස දැනුණ අවස්ථාද නැතුවා නොවේ. බොහෝ වේලාවක් කාමරයේ සදැල්ලට වී ගත කළ මා අධික පිපාසයක් දැනී කුස්සිය දෙසට පා එසවිමි. අතරමැද වූ කෑම කාමරයේ මේසය මත තිබූ නවකතා පොත් කිහිපයක් මා දුටුවේ ඒ මොහොතේය. කුස්සිය දෙසින් ඇසුණු රේණු අක්කාගේ කටහඬ නිසා පොත් ගෙනාවේ ඈ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.

“කෝ නැන්දෙ දැන්..?”

මට ඇගේ හඬ ඇසුණි. ඔය විමසන්නේ මා ගැන වන්නට ඇත.

“ඔය හිටියෙ කාමරේ.. මේ ටිකේම හරි හැටි කෑමක්වත් නෑ.. කාමරේට වෙලා තනියම හූල්ලනවා..”

“සහෝදරියො ඕන තරම් දැකල තිබුණත් මේ තරම් ආදරේ කරන දෙන්නෙක් දැක්කමයි..”

“අනේ මන්ද දරුවො.. මං මේ හිටියට තාම සිහියෙ තියෙන්නෙ අර වෙද හාමුදුරුවන්ගෙ කතාව..”

“මටත් අමා ඔය කතාව කිව්වා. අපිත් ළඟපාත ඉන්නවනේ නැන්දෙ.. අපේ සුදූව පරිස්සමින් බලාගමු..”

“ලොක්කි ඉද්දි නං බයවෙන්න දෙයක් තිබුණෙ නෑ.. කොයි වෙලාවෙත් සුදූගෙ පස්සෙන්මනේ..”

“සඳුන් මල්ලිත් ඉන්නවනේ දැන්.. එයා සුදූට පුදුම ආදරෙයි..”

“අනේ ඒකනං ඇත්ත, දාහකින් හොයාගන්න බැරි ළමයෙක්..”

අම්මා සඳුන් ගැන කතා කරන හැම විටකදීම කියන්නේ ඔය කතාවමය. රේණු අක්කාත් එයට පොහොර දමමින් ඔහු ගැන වර්ණනා කරන්නට විය. මෙතෙක් කතා කළ කිසිවක් නෑසුන ලෙස නවකතා පොතක්ද අතින් ගෙන මම කුස්සියට ඇතුළු විමි.

“මේ ඇවිත් ඉන්නෙ.. ආ.... ඔය පොත් ටික දැක්කද සුදූ.. ඔයාට පාළු නිසා කියවන්න ගෙනාවෙ..”

මගේ අතේ වූ පොත දෙස බලා ඈ කීවාය. මම සිනාසී ඈ අසල තිබූ බංකුවට බර වුණෙමි.

“සුදූ අපි හෙට අනිද්දා දිහාට රත්තොට ගිහින් අක්කව බලලා එමු..”

ඒ යෝජනාව ඇසී මා නැඟිට ගත්තේ ඉඳ උන් බංකුවත් පසුපසට තල්ලු කරගෙනමය.

“අම්මේ.. කෙල්ලට පුදුම ජොලියක්නෙ ගියේ..”

“අනිද්දා නෙමෙයි අක්කෙ, අපි හෙට උදේම යමු..”

අම්මා සිනාව තද කරගෙන බලා උනි.

“අම්මේ අපි හෙට උදේ ගිහින් එන්නම්.. ඔයා අප්පච්චීටත් කියන්න..”

රේණු අක්කාගේ කොණ්ඩ කරල ගසා දැමූ මම පිටුපස දොරෙන් එළියට දුවවිත් නතර වූයේ ඔන්චිල්ලාව මතය. ඉතින් මා වේගයෙන් එය පැදිමි.

“වැටෙයි සුදූ පරිස්සමින්..” වෙනදාට අක්කා එසේ කියන හඬ දැනුදු ඇසෙන්නාක් මෙනි. එහෙත් ඈ ළඟ නොවූවාය. මම තවත් වේගයෙන් ඔන්චිල්ලාව උඩට ගත්තෙමි.


පසුදා උදෑසන සිටම සූදානම් වූ මා රේණු අක්කා සමඟ ගමන පිටත් වූයේ උදෑසන අටයි තිහට පමණය. අක්කා පුදුම කිරීම සඳහා පෙර දැනුම් දීමකින් තොරවම අපි එහි ළඟා විමු. අප යන විට අක්කා උන්නේ මල් පැල වගයක් සිටුවමිනි.

“ආ.... නෝනා වැඩ වගේ..”

රේණු අක්කාගේ හඬට තිගැස්සුනු අක්කා පුදුම වී බැලුවාය. අප දුුට සැනින් ඇගේ නෙත් සතුටින් දිලිසිණි.

“සුදූ... ඔයා ආවද පැටියො..?”

සිටුවමින් උන් පැලය බිම විසිකර ඈ මදෙසට දිව ආවාය. මම දෑත් විදහා ඇයට තුරුල් විමි.

“මේකි මේ අක්කා නෑ කියල කන්නෙ බොන්නෙත් නැතුව ගෙදර උපවාස කරනවා.. බැරිම තැන තමයි මං අද ඇදගෙන ආවෙ..”

මගේ පස්සට පහරක් ගැසූ රේණු අක්කා අප සමගම විත් දිගු ආලින්දයේ ඉඳ ගත්තාය.

“මෙහෙ මාර ලස්සනයි නේද අමා.. හරි ලස්සන මල් ජාති තියෙනව..”

“මේ වත්තට වැඩිපුරම ආස කලේ මං නෙමෙයි.. අපේ සුදූ..”

“එහෙනං මේ ඉඩම සුදූට දෙන්න තිබුණෙ..”

“අපේ අම්මලට සුදූව ගෙදර තියාගන්න ඕනෙ කිව්වනේ.. ඒ නිසා අප්පච්චි මාව මෙහෙ එව්වා..”

“කෝ අක්කෙ සාගර අයියා..?”

“එයා ෂොප් එකට ගිහින් එන්න ගියා.. තව ටිකකින් එයි..”

“කෝ බං.. යාලුවෙක් ගෙදරට ආවම බොන්න මොනා හරි දෙන්න කියන්න ඕනද..?”

ඒ කතාවට අක්කා සිනාසී කුස්සිය දෙසට ගියාය. අප රැගෙන ආ කේක් එකද කුස්සියට ගෙන ගිය රේණු අක්කා එය අක්කාගේ අතට දුන්නාය.

“මේකත් කපා ගනිං.. ගෙනාවට මොකෝ උඹල දෙන්නට මේක වැඩියිනෙ..”

ඈ සිටින විට කාලය ගෙවී යන්නේ සැහැල්ලුවෙනි. කේක් කපා තේ පිළියෙල කර ගත් අපි මිදුලේ පුටු තුනකින් ඉඳ ගතිමු.

“උඹලා සතුටින් ඉන්නව නේද අමා..?”

මෙතෙක් වූ සැහැ්ලලු පෙනුම හැර දමා බැරෑරුම් ස්වරූපයෙන් රේණු අක්කා අසද්දී මටත් ඉබේටම එදෙස බැලුණි. අක්කාගේ මුහුණේ දුකක සේයාවක් හෝ මා දුටුවේ නැත. ඉතිං ඈ ඇත්තේ සැහැල්ලුවෙනි.

“සාගර අයියා හොඳයි රේණු. මට ගොඩක් ආදරෙයි.. අම්මලයි සුදුයි ළඟ නැති අඩුව තමයි තියෙන්නෙ..”

“ඕක ටික දවසක් යද්දි හරියයි.. උඹලා දෙන්නා සතුටින් ඉන්නවනං එච්චරයි..”

බොහෝ වේලාවක් කතා කරද්දී අක්කා සඳුන් ගැන විමසීමටද අමතක කළේ නැත. ඔහු නිතර මා දැකීමට එන වග මම ඇයට කීවෙමි.

“සඳුන්ගේ ආදරේ ගැන වෙලාවකට මට පුදුමයි සුදූ..”

ඈත උස් ගසක ඉහත්තාවේ නෙතු රඳවා ඇය කියද්දී මගේ සිතට කුහුලක් දැනුණි.

“ඇයි අක්කා..? සඳුන් මොනව හරි කිව්වද..?”

“සඳුන් මල්ලී දවස් දෙක තුනක්ම ඇවිත් ගියා. මිනිහා වචන දහයක් කතා කළත් අටක් විතරම සුදූ ගැන..”

“මමත් ඕක හිතුව අමා.. සුදූ හරි වාසනාවන්තයි.. නැන්දලා උනත් කොල්ලට පණ ඇරලා..”

අපේ අම්මලා නිතරම වාගේ රේණු අක්කා සමඟද සඳුන් ගැන කතා කරනු මට ඇසී තිබේ. ඉතිං සතුටු වන්නට හේතු කාරණා ළඟ පාතම තබාගෙන සිත දුක සොයා ඈත සැරිසරන්නේ ඇයි දැයි මටම වටහුණේ නැත.

“සුදූට වෙඩින් එක ගන්න වෙන්නෙ කැම්පස් අවුට් වුණාමයි.. එතකල් ඉන්න පුළුවන්ද..?”

රේණු අක්කා සරඳමට අසද්දී මට දිනක් සඳුන් කී කතාව සිහිපත් විය. ඔහු කීවේ මා ඔහු ළඟට ගන්නට තව වැඩි කාලයක් බලා ඉන්නට බැරි බවය.

“කැම්පස් ගියා කියල බඳින්න තහනමක් නෑනෙ.. සුදූ කැමති නං අප්පච්චිලා කරල දෙයි..”

මා සිත හැඳිනූ අක්කා කීවාය. මම විසල් වූ දෙනෙතින් ඈ දෙස බැලුවෙමි.

“ඉඳලා දවල්ට කාලම යන්න ඕනෙ හරිද..?”

මගේ දෑස මඟ හැරි අක්කා රේණු අක්කාට කියද්දී මට අම්මා දුන් බෑගය සිහිපත් විය.

“මෙන්න අම්මා පොලොස් ඇඹුලකුයි, අච්චාරුවකුයි හදලා දුන්නා..”

අක්කා ඉතා සතුටින් එය දෝතට ගත්තාය. කුඩා කල පටන් පෙළොස් කෑමට අප දෙදෙනාම දැක්වූයේ දැඩි කැමැත්තකි. අම්මා මෙය පිළියෙල කලේ ඒ නිසාමය.

“වැඩි දෙයක් එපා අමා.. හාල් ටිකක් ලිපේ තිබ්බම ඇති.. අපි අපිනේ බං..”

“එහෙම කියල බෑ.. ඔයාලා මෙහෙ ආපු පළවෙනි දවසනේ..”

“ඉඳා...... මේ බලපංකො.. අපි මීට කලින් මෙහෙ ඇවිත් නැතුවයෑ..”

“එතකොට ආවෙ වත්තෙයි ගේයි බලලා යන්න විතරනේ.. ඒත් දැන් වෙනස්නේ..”

එසේ කියූ අක්කා අප එපා කියද්දීම වෑංජන දෙකක්ද පිළියෙල කළාය. කලකට පසු මා ඇගේ අතින් ඇනූ බත් කටවල් කිහිපයක් රස වින්දෙමි.

“පරක්කු වෙන්න කලින් යන්න ඕනෙ අමා.. මේ කෙල්ලව පරිස්සමින් අරගෙන ගිහින් නැන්දට බාර දෙන්නත් එපැයි..”

“අම්මේ ඔව්, මොනව නැතත් මගේ නංගියව හොඳට බලා ගන්න රේණු..”

අක්කා ගැන අනුපමේය සෙනෙහසක් සිතට දැනුණද මම එය නොපෙන්වා වෙනතක් බලා උනිමි.

“සාගර අයියා දැන්ම එන පාටක් නෑ නේද බං..?”

“සමහර විට ටිකක් විතර පරක්කු වෙයි. මේ දවස් වල එයා ෆ්ලවර් නර්සරි එක්ක කරන්න ලෑස්ති වෙනවනේ..”

එය මටද අලුත් ප්‍රවෘත්තියකි. මේ වනතරු මා ඒ බවක් දැන උන්නේ නැත.

“කොහෙද කරන්නෙ..?”

“මේ වත්ත පිටිපස්සෙ..”

අක්කර එක හමාරක් වූ මේ බිම්කඩ ඉතා සාරවත්ය. එබැවින් සාගර අයියා ගෙන ඇත්තේ සාර්ථක තීරණයක් යැයි මට සිතුණි.

මා රේණු අක්කා සමඟ පිටත් වද්දී අක්කා සුපුරුදු යෝජනාව නැවතත් ගෙනාවේය.

“සුදූ පුළුවන්නම් දවසක් දෙකක්වත් නවතින්න බලං එන්නකො.. මම අප්පච්චීගෙනුත් අහන්නං..”

ඊට සිනාවකින් පමණක් පිලිතුරු දුන් මා රේණු අක්කාගේ සුරතේ වෙලී ඇගෙන් සමුගතිමි. අපි දෙදෙන ගුරු පාරේ නොපෙනී යනතුරු ඈ දෑස් දල්වා බලා උන්නාය.

“පව් සුදූ අමාට තනියම ඉන්න පාළු ඇති...”

“ඔව් අක්කා.. මටත් දුක තමයි.. ඒත්.....”

රත්තොට නිවසේ නතර නොවන ලෙස සඳුන් කල ඉල්ලීම මට ක්ෂණිකව සිහියට නැගුනි. ඉතිං ඔහුගේ සිත රිදවා අක්කාගේ තනියට එහි නතර වන්නේ කෙසේද..?

“ඇයි ඒත් කිව්වෙ..?”

“උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ තමයි..”

එය හිතා මතා කිව්වා නොව ඉබේම කියවුණි. රේණු අක්කා පුදුම වී බැලුවාය.

“සඳුන් අයියා කැමති නෑ මං මෙහේ දිගටම නතර වෙනවට..”

“සඳුන් කියන කතාව ඇත්තනේ නංගි.. ඔයා එහේ නතර වෙනවට මම උනත් කැමති නෑ..”

“ඔයාලා කාටවත් මාව තේරෙන්නෑ.. ඒ මගේ අක්කනේ..”

“නොතේරෙනව නෙමෙයි සුදූ.. මං කියන්නෙ ඔයාගෙයි අක්කගෙයි දෙන්නගෙම හොඳට..”

ඉන් එහා ඈ කිසිවක් කීවේ නැත. මමද නිහඬවම ඈ පසුපස ගියෙමි.


No comments:

Post a Comment