Thursday, December 27, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


දරුවා ලැබීමට මාස කිහිපයක් තිබියදී අක්කා සාගර අයියා සමග අප නිවසේ නතරව හිඳීමට පැමිණියාය. මම ඉන් මහත් සැනසුමක් අත් වින්ඳෙමි. සැබැවින්ම පසුගිය කාල පරාසයේ නිතර නිතර උදේ හවා අක්කා බැලීමට යාම නිසා මා උන්නේ විඩාපත්වය. කොහොමටත් මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණු බවට ලිපිය ලැබී තිබූ නිසා එහි යාමටද සූදානම් විය යුතුව තිබිණි. ඉතින් අක්කා නැවත ගෙදර පැමිණ හිඳිම මසිතට ශක්තියකි.


වත්තේ ගැහැණු උදවිය නිරන්තරයෙන් විශේෂිත ආහාර පාන සාදා අක්කාට ගෙනවිත් දුන් නිසා අම්මාට ඒ වෙනුවෙන් වැඩිපුර වෙහෙසවීමට සිදු වූයේ නැත. එහෙත් ඈ නිරතුරු අක්කා ගැන විමසිල්ලෙන් පසුවිය. අක්කාට ඉහළ මාලයට නැගීමට ඇති අපහසුව නිසාම අප්පච්චී පහළ තිබූ විශාල කාමරය ඔවුන් දෙපලට ලබා දුනි. එබැවින් මා නැවතත් අපේ සුදුරුදු කාමරයේ ඒ මනරම් සැදැල්ලේ තනි උනිමි.

දැන් කවඳ ඉඳලද සුදු පුතාට විශ්ව විද්‍යාලෙ යන්න තියෙන්නෙ..?

දිනක් සවස් වරුවේ සියළු දෙනාම උන් අවස්ථාවක අප්පච්චී විමසුවේය.  ඒ අවස්ථාවේ සඳුන්ද සිටියේ අප නිවසේමය.

තව සතියකින් අප්පච්චී..

අපේ දරුවා විශ්ව විද්‍යාලෙ යන එක ගැන සඳුන් පුතාගෙ අකමැත්තක් නෑනෙ..

ඒ පැනය හමුවේ වික්ෂිප්ත වූයේ සඳුන් නොව මාය. කැම්පස් යන එකට කැමතිදැයි මා කිසි දිනෙක සඳුන්ගෙන් විමසුවේ නෑ නොවේද..? සඳුන් වුවද ගොළු වත රැක්කා මිස ඊට පිළිතුරු බැන්දේ නැත.

සුදූ තව ඉගෙනගන්නව නං මමත් කැමතියි.. ඒත් ඒ ගැන ඔයාලා හිතලා තීරණයක් ගන්න.. මං බල කරන්නෑ..

නමුත් මහවැලි ගං ඉවුරේ තිබූ ඒ සොඳුරු සරසවියේ ඇවිද යන්න කාලය ගත කරන්නට සිත බලා උන්නා වැනිය.

සුදූ ඉගෙන ගන්නවට මගේ අකමැත්තක් නෑ.. ඒත් ඉගෙන ගත්තට ජොබ් එකක් කරන්න ඕන නෑ.. මට පුලුවන් සුදු නංගිව බලාගන්න..

අම්මා සඳුන් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ දෑස් වල පිරී තිබූ දයාබර බව මා හැඳින්නෙමි. අක්කාත් සාගර අයියාත් කලේ අපේ කතාවට මැදිහත් නොවී බලා හිඳිම පමණි.

අයියා අකමැතිනං මං යන්නැතුව ඉන්නං..

මං අකමැති නෑ නංගි.. ඔයා යන්න..

සඳුන්ගේ ආදරණිය හඬ මසිතට ගෙන ආවේ සහනයකි. සැහැල්ලුව සිත්හි දරාගෙන මා ඔවුන්ගෙන් මිදී මිදුලට බැස්සෙමි. ඔන්චිල්ලාව පාලු වී ගොස් ඇති අයුරු දකිද්දී පෙර වූ සැහැල්ලුව තුරන් වී සිතට බරක් ඇති වූවා වැනි හැඟීම් දැනුණි. මා බොහෝ කාලයක් ඔන්චිලි පැද්දේ නෑ නොවේද..? ඉතින් මා සෙමින් අඩි තබා ගොස් එහි ඉඳ ගතිමි. ගුණවතී නැන්දා වත්ත පහළින් මතු වූයේ ඒ වෙලාවේය.

සුදු බේබිව දැක්කෙ සෑහෙන කලෙකින්...

පහුගිය ටිකේ වැඩිය හිටියෙ නෑ නැන්දෙ.. අක්කව බලන්න ගියානේ හැමදාම වගේ..

ඒක නේන්නං.. ලොකු බේබි ආවා කියලා දැනගෙන තමයි මාත් මේ ආවෙ..

ඈ පැමිණ තිබුණේ හිස් අතින් නොවේ. ඒ සුරතේ වෙරළු බෑගයක් හා තවත් යමක් විය.

බේබිටත් දෙන්නං වෙරළු ඩිංගක්..? අගේට පැහිලා.. මං මේ ලොකු බේබිට ගෙනාවෙ..

මගේ දෑස් යොමුව තිබුණේ වෙරළු බෑගය දෙසට බව වටහා ගත් ඈ කීවාය.

මට එපා නැන්දෙ අක්කට දෙන්න..

සුදු බේබි පුංචි සන්ධියෙ ඉඳලා ඇඹුල් කෑම වලට කැමතිනේ.. මේකෙන් ටිකක් ගන්න.. මේ දවස් වල වෙරළු තියෙනව ඕසෙට..

ඇගේ සිත රිඳවිය නොහැකි නිසා මා වෙරළු අහුරක් ගත්තෙමි.

කොහොමෙයි සුදු බේබි සඳුන් මහත්තය ඒම..?

ඔය ඉන්නෙ ගෙයි.. කොහොමද කියලා ගුණවතී නැන්දම ගිහින් බලන්නකො..

මං නිකමටයෑ ලොකු නෝනට මුලින්ම කිව්වෙ එක ගෙදරින් මගුල් දෙකක් කෙරුනට කාරි නෑ කියලා..

ඇගේ එවදන් මට යළිත් සිහියට නැගුනි. නමුත් එදින එය ඇසී අම්මා කෝප වූ අයුරු මට මතකය.

මගේ හිතේ කවදත් අහිතක් තිබුනෙ නෑ බේබි. බේබිලගෙ පවුලට හොඳක් වෙනව දකින්න මං කවදත් කැමතියි..

ඈ විශේෂයෙන් නොකීවද එය සත්‍යයක් බව මම දැන උන්නෙමි.

ඒකෙන් කාරි නෑ. මං ලොකු බේබිව බලලා එන්නම්කො.. සුදු බේබි ඕක පරිස්සමට පඳින්න..

එදවස මා වැටී තුවාල වූ අයුරු ඇයටද තවම මතක ඇතුවා සේය. මට ඈ ගැන දුක සිතුනි.

කරුවල වැටී එන යාමයේ අපෙන් සමුගත් සඳුන් උස් ට්‍රේල් බයිසිකලයේ නැගී යන්නට ගියේය. ඔහුගේ ඡායාව තේ වැටි අතරින් නොපෙනී යනතුරු මා එදෙස බලා උන්නෙමි. ඔහු නිවසට එද්දී සිත සතුටින් පිරී යනවා සේම ඔහු පිටත්ව යන විට අහේතුකව සිත රිදුම් දේ. නෙතු අඟට කඳුලු පුරා එද්දී මං සුපුරුදු බැල්කනියේ කණ්ඩියට බර දී අහස් කුස දෙස බලා සිත සැනසීමට වෙර දැරිමි.


සති අන්තයේ දිනයක් වූ එදින මා පඩිපෙළ බැස එන විට සාලයේ වූ දිගු සැටියේ වාඩි වී උන් අක්කා ඉතා අපහසුවෙන් පසුවනවා දුටිමි. ඇයට දරුවා ලැබීමට තව දෙමසක් පමණ ඉතිරිව තිබුණද මසිතට බිය දැනුණි.

ඇයි අක්කා..? ඔයාට අමාරුද..?

මා ඒ සුරතේ වෙළි ඇසුවෙමි.

නෑ සුදූ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..

මම ඇගේ දෙපා දෙස බැලුවෙමි. සිත බය ගන්වන තරම් ඒවා ඉඳිමී රෝස පැහැ වී තිබිණි.

ඉදිමිලානේ අක්කෙ හුඟක්..

තව ටිකකින් හරියයි සුදූ.. ඔයා කරන්න ගිය වැඩේ කරන්නකො..

නෑ නෑ.. ඉන්න.. මං අම්මට කියන්නං..

ඇය බිමට බරකර තිබූ දෙපා ඔසවා පුංචි ස්ටූලය මත තැබූ මා අම්මා සොයා ගියෙමි. නමුත් මා තරම්ම ඈ බිය ගත්තේ නැත. අම්මා කීවේ එය සාමාන්‍ය දෙයක් නිසා කලබල නොවිය යුතු බවය.

අද පාත්ති වලට පෝර දාන්න ඕනෙ අමා.. මං ගෙදර ගිහින් එන්න හැදුවෙ..

තේ එක රැගෙන අක්කා ළඟට එන ගමන් සගර අයියා පැවසුවාය.

ඒක තනියම කරන්න අමාරුයිනේ.. තව ටිකකින් යමු.. මමත් එන්නං..

ඔයාට පිස්සුද දරුවො.. මේ අමාරු තියාගෙන වැඩ කරන්න හදන්නෙ..?

අම්මාගේ සිතට තරහා දැනෙන්නට ඇත. නමුත් මේ වන විට සාර්ථකව කරමින් උන් ඒ මල් වගාව නඩත්තු නොකර සිටීමද පාපයකි.

මම ගිහින් අයියා එක්ක වැඩ කරල එන්නං.. අක්කා ගෙදර ඉන්න..

අක්කා වෙනුවට මම ඉදිරිපත් වූයෙමි. නමුත් අක්කා ඊට කැමති වූයේ නැත.

ඒක අමාරු වැඩක් සුදූ.. පැය ගාණක් ගිණි අව්වෙ ඉඳගෙන පෝර දාන්න ඔයාට බෑ..

කමක් නෑ.. සාගර අයියා ඉන්නවනේ.. මම ගිහින් එන්නං.. අක්කා රෙස්ට් කරන්න..

ඇගේ නලල් තලය සිපගත් මා උඩු මහළට ගොස් ත්‍රී ක්වාටර් කලිසමකින් හා සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී ආවෙමි.

මගේ පුතාට ඔය වැඩ හුරු නෑ නේද..?

අප්පච්චී මදෙස බලා විමසද්දී මම ඔහුගේ දෙපා වැඳ උළුවස්සකට බර දුනි. කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳි සාගර අයියා වෑන් රිය පණ ගන්වා ගත්තේය. ඊට ගොඩ වන්නට යැයි සිතා මා මිදුලට බසිද්දීම හූණෙක් චූක් චූක් ගෑවේය. පසුපස සිටි අම්මා මගේ අත තදට අල්වා ගත්තාය.

සුදූ.. ඔයා යන්නෙපා පුතේ.. නවතින්න..

ඒ බැල්මේ වූයේ මහා තිගැස්මකි.

මං ඉක්මනට එනව අම්මෙ.. අනික සාගර අයිය එක්කනේ යන්නෙ..

ඇගේ හඬ හැඬුම්බර වී තිබුණායැයි මට හැඟුණි.

දරුවා යන්න හදපු ගමන යන්න දෙන්න හාමිනේ.. බාධා කරන්නෙපා..

එසේ කී අප්පච්චී වෑන් රියට එබී සාගර අයියාව අමතනු මා අසාගෙනය.

පුතේ පරිස්සමින් වාහනේ අරන් එන්න.. නංගිවත් හොඳට බලාගන්න.. උදව්වට ගියාට මොකෝ මෙයාට ඔය අව්වෙ වැඩ කරන්න බෑ..

ඔවුන් බලා හිදියදී මම ඉදිරිපස අසුනට බර විමි. මදෙස මොහොතක් බලා උන් සාගර අයියා වෑන් රිය හෙමීට ඉදිරියට ගත්තේය.

සුදූට ගෙදර අය හරි ආදරෙයි නේද..?

මම සිනාසුණා පමනි. ඔහු නැවතත් මදෙස බලා කතා කළාය.

අද නං යන්තං වහින පාටක් තියෙනව.. වැස්සොත් හොඳයි.. සේරම පැළ වේලිලා..

වැස්සොත් පෝර දාන්න බැරිවෙයිනෙ අයියෙ..

හට් යට තියෙන ටිකටවත් දා ගත්තොත් ඇති..

ඔහු කීවා සේම අහස තිබුණේ වැහි වළාකුළු වලින් බර වීගෙනය. ඒ කළු වළා රොදවල් වැටෙන්නට බලා උන්නා වැනිය.

සුදූ ඔයා කාල නෙමෙයි නේද ආවෙ..?

පාර අයිනේ රිය නතර කල ඔහු බනිස් ගෙඩි කිහිපයක් හා මයිලෝ පැකට් දෙකක් මිලට ගත්තේය.

මොකටද අයියා බීම ගත්තෙ..? අපි ගෙදරනේ යන්නෙ.. මොනව හරි හදාගන්න තිබුණා..

ඔව් හැබැයි.. අක්කට වගේ නංගිටත් රසට උයන්න පුළුවන් ඇති..

අපෝ.. මම උයන්න නං දන්නෑ..

ඔහු මහ හඬින් සිනාසුනේය. එතරම් සිනහ ගන්නට තරම් දෙයක් මා කිව්වා නොවේ. ඉතිං මා පුදුම වී ඒ මුහුණ දෙස බාල උනිමි.

අප නිවසට ළඟා වෙද්දී වැහි වළාකුලු මුළු අහසම ආක්‍රමණය කර තිබුණා මම දුටිමි. මේ ගමන ඵලක් නොවන්නක් බව මට මොහොතකට සිතුණි.

මොකෝ උඩ බලාගෙන කල්පනා කරන්නෙ..?

ඉක්මනට වහී වගේ අයියා.. අපරාදෙ ආපු වැඩේ කරගන්න බැරි වෙයිද මන්ද..?

ඉක්මනට කරමු සුදූ.. මුලින්ම හට් ඇතුළෙ තියෙන පැළ වලට පෝර දාමු.. එතකොට වැස්සත් හේදෙන්නෙ නැහැනේ..

වෑන් රිය ගරාජයට දැමූ ඔහු මා සමග වත්තේ පිටුපස කොටසට පැමිණියේය. එහි බොහෝ පැළ මලින් බරව තිබිණි.

එදවස අපගේ මහන්සිය මල් ඵල ගැන්වී තිබෙනු දුටු විට සිතට දැනුනේ අනුපමේය සතුටකි.

මුලින්ම මේ මල් එන පැළ වලට මේ පෝර එක දාන්න ඕනෙ සුදූ.. ඉන්න මං ඔයාට මේක වතුර දාලා දිය කරල දෙන්නං..

මේක කොහොමද දාන්න ඕන..?

ඒක තියෙන්නෙ ස්ප්‍රේ කරන්න.. ගහේ කොල හොඳට තෙමෙන විදියට මේකෙන් දාන්න..

ඔහු එයාෆ්‍රෙෂ්නර් බෝතලය වැනි වූ රවුම් බණ්ඩි බෝතලයක් පෙන්වා කීවේය. සුදු පැහැ කුඩක් වැනි එයින් යෝගට් හැඳි කිහිපයක් දමා වතුර සමඟ මිශ්‍ර කල සාගර අයියා එය යෙදිය යුතු ආකාරයද පෙන්වා දුනි.

එතකල් මං අර පැත්තෙ පාත්ති ටිකට කොම්පෝස්ට් ටික දාන්නං..

අයියා කොහොමද මේ තරම් හොඳට ගස් ගැන පෝර ගැන දන්නෙ..?

ඇයි ළමයො මං කලේ ඇග්රිකල්චර්නෙ..

ඔහු එය කීවේ මගේ නාසයද ලාවට මිරිකමිනි. මම වහා පස්සට පැන්නෙමි. ඔහු සිනාසී යන්නට ගියේය.

ඉතින් විනාඩි හතලිහක් පමණ කාලයක් අපි එක දිගටම වැඩෙහි නිරත වූයෙමු. කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පොල් ගෙඩි වැනි වැහි බින්දු එකවර කඩා හැලෙන්නට විය. හාත්පස අඳුරු කර ගස් වැල් අඹරා දමා අහස අනෝරාවකට සැරසී උන්නේය. පොහොර ගෝනිය පසෙක දැමූ සාගර අයියා මා උන් හට් එක යටට තෙමීගෙන දිව ආවාය.

මං කිව්වනේ අයියා වහී කියලා..

මගේ හඬට ඔහු අමුතු බැල්මකින් මදෙස බැලුවේය. වෙනදා නුපුරුදු ඒ බැල්ම හමුවේ මා සිත සැලී ගියේය.

වැස්ස වැඩි කරනව නංගි.. මෙතන හිටියොත් නාන්න වෙයි.. යමු ගෙදර..

එසේ කියූ ඔහු කිසිවක් හිතන්නට හෝ ඉඩ නොතබා මාව ඇදගෙන හට් එකෙන් එළියට ආවේය. ගත රිදෙන තරම් සැරට වැහි බිඳු කඩා හැලෙද්දී අප දෙදෙනා හැල්මේ නිවස දෙසට දුවගෙන ආවෙමු. වැස්සෙන් බේරීමට සිතා ආවද නිවසේ මිදුලට එනන විටත් අප උන්නේ හොඳටම තෙත බරියම් වීගෙනය. හිසේ සිට පාදාංතය තෙක් වතුර ගලා යද්දී මම වැරැන්ඩාවේ වූ විසල් කුළුණකට බර විමි.

ඔයව වෙව්ලනව නංගි.. ගිහින් පිහදඟන්න..

මෙලෙස වතුර බේරි බේරී නිවස තුළට යා නොහැක.

ගේ තෙමෙයි අයියා.. ඔයා ගිහින් ගේන්නකො..

අපි දෙන්නගෙන් කවුරු ගියත් තෙමෙනවනේ.. කාමරේ දොරේ තුවායක් ඇති.. ගිහින් පිහදාගෙන අක්කගෙ ඇඳුමක් මාරු කරගන්න..

පා පිස්නාවේ දෙපා තදට පිස දමා මා ඇඟිලි තුඩු වලින් නිවසට ඇතුල් විනි. අක්කාගේත් සාගර අයියාගේත් කාමරයට ඇතුල් වී මම ගෙදර දොර උඩ තිබූ තුවාය අතට ගෙන දොර අඩවල් කර දැම්මෙමි.

කණ්නාඩි මේසය ඉදිරිපසට වී කොණ්ඩය තදට පිස දමා අවසානයේ තුවාය හැඳගත් මා තෙත ඇඳම් මුදා හැරියෙමි. පසුව මම අක්කාගේ ඇඳම් තිබූ අල්මාරි පළුව විවර කළේ මට ගැලපෙන ඇඳුමක් වී දැයි සොයා බැලීමටය. වැහි බීරිම නිසා මා කාමරයේ විදුලි පහන දල්වා තැබුවද එය ක්ෂණිකව නිවී කාමරය අඳුරු විය. තැති ගත් මා අල්මාරිය ළඟින් නැගිට ගනිද්දී සාගර අයියා මගේ නිරුවත් උරහිස ග්‍රහණය කර ගත්තේය.

සරමකින් පමණක් සැරසී උන් ඔහුගේ දෙනෙත් තුළ වූයේ මා කිසිදා දැක නොතිබූ රාගාධික බැල්මකි. අම්මාගේ, අප්පච්චීගේ, අක්කාගේ පමණක් නොව සඳුන්ගේ රුවද මසිතේ ක්ෂණිකව ඇඳී මැකී ගියේය. මා ඉදිරිපිට මේ හිඳින්නේ මගේ අක්කාගේ සැමියා හෝ මා මෙතෙක් දුටු විශ්වාසනීය මස්සිනා නොවේ. ඔහු තනිකරම සලෙළු මිනිසෙකි.

ඔයාට සීතලයි නේද සුදු නංගි..?

දෙවියනි ඒ කටහඬ වුවද මා සමග වත්තේ සිට දුව ආ සාගර අයියාගේ නොවන්නේය. ඔහු මා තුරුළට ගනිද්දී හැඳ උන් තුවාය දෑතින්ම උණ්ඩි කර මම විලාප දී හැඬුවෙමි. නමුත් මේ දෙපත් කපා ඇද හැළෙන අනෝරා වැස්සේ මගේ හඬ කිසිවෙකුට ඇසුණා විය නොහැක. මගේ හඬ නොතැකූ ඔහු මගේ මුහුණ ගෙල පිස්සුවෙන් මෙන් සිප ගත්තේය.

අනේ සාගර අයියෙ.. ඇයි මේ..?

මගේ හැඬුම්බර හඩ නොඇසුණා සේ ඔහු මා ඇඳ උන් තුවායට අත තැබීය. වෙන්න යන්නේ කුමක්දැයි ඉමෙන් මෙන් දැනුන මා ඔහුගෙන් මීදීමට හැකි වෙර යොදා දැගලුවෙමි. නමුත් ඵලක් වුයේ නැත. මා කුලප්පු වූ හස්ති රාජයෙක් ඉදිරිපිට දඟලන හා පැටවෙක් වැනි විය. බැරිම තැන මම දෑත් එකතු කොට ඔහුට වැඳ වැටුණෙමි.

අනේ එපා අයියෙ.. එපා..

ඒ අවසරයෙන් මා බිම පෙරලා ගත් ඔහු මගේ ගත වසා තිබූ තුවාය මුදා හැරියේය. ඔහුගේ අතපය විකා නියපොතු වලින් සූරා පලක් නොවූ කල ඔහුට ඉඩ දී මා නිසොල්මන් වූයෙමි. ඉතින් අක්කාත් සමග මාස ගණනාවක් නිදා ගත් ඇඳ පාමුලම ඔහු මාවද විනාශ කර දැම්මේය. දෑස් පුපුරා කඳුළු කැට ගලා හැලෙද්දී මගෙන් මිදී ගත් ඒ නොහික්මුණු මිනිසා කාමරයෙන් පිට විය. නමුත් නැගිට ගැනීමට හෝ පණක් නැති මා ගතේ ඉතිරිව තිබුණේ නැත.

අනේ මේ ගමන නොගොස් නතර වෙන්න යැයි අම්මා කීවා නොවේද..? නමුත් අක්කාට උදව්වක් වශයෙන් පැමිණි මා ජීවිතය විනාශ කර ගත්තේය. මෙය කටක් ඇර කාට හෝ කියන්නේ කෙලෙසද..? අක්කා හැපී මියෙනු ඇත. මෙවන් අවස්ථාවක කිසිදු කම්පනයක් දරා ගැනීමට ශක්තියක් ඇයට නොවන්නේය.

සිත වඩාත්ම දුක් ගත්තේ සඳුන්ගේ දයාබර නෙත් යුග සිහි වීමෙනි. ඔහුට පිදීමට බලා උන් මගේ ජීවිතය ඔහුගේම ඇවැස්ස සොයුරා උදුරාගත් වග කෙසේනම් කියන්නද..?

අක්කා මා කෙතරම් පරිස්සම් කළද ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් මා රැක බලා ගැනීමට ඈට නොහැකි විණි. ඉතින් පොළොවේ හැපී හැපී මා බොහෝ වේලාවක් හඬැ වැටුණෙමි.

අප්පච්චී මලක් මෙන් රැකි ඔහුගේ පුංචි දියණිය අපවිත්‍ර ගැහැණියක ලෙස යළි ඒ සෙවනට යන්නේ කෙසේද..? සිතිවිලි වියරු වැටෙද්දී අමාරුවෙන් නැගිට ගත් මා පෙර ඇඳ උන් තෙත ඇඳමම යලි ඇඟලා ගත්තෙමි. කාමරයේන එළියට පැමිණ සාලය හරහා වේගයෙන් එළියට එද්දී සාගර අයියා දොර ළඟ වුවේය. ඔහුද මා මෙන්ම තෙත ඇඳුමට නැවත මාරු වී තිබිණි.

ඔහුව නොදුටුවා සේ පැමිණි මා දෙනෙත් පිසදා ගනිමින් මිදුලට බැස්සෙමි. තවමත් වැසි වැටේ. ඒ වැස්ස නොතකා වෑන් රියද පසු කළ මා වේගයෙන් පාරට දිව යද්දී සාගර අයියා නංගී යැයිප වසමින් මා පසුපස දිව ආවේය. මම ඉක්මන් අඩි තබා වේගයෙන් දිව්වද ඔහු මා නවතා ගත්තේය. සිතේ වූ ආවේගයට මම හැකි රෙ යොදා අත දිග හැර ඔහුගේ කම්මුලට පාරක් ගැසුවෙමි. නමුතු ඔහු වචනයක් හෝ කීවා නොවේ.

මට සමාවෙන්න රත්තරං නංගි..

දෑත් එකතු කොට ඔහු පැවසුවද මසිතේ කිසිඳු අනුකම්පාවක් හට ගත්තේ නැත. මා මෙතරම් හඬා වැටෙද්දී  වැඳ වැටෙද්දී එය නොතැකූ ඔහු දැන් මගෙන් සමාව අයැදී.

සහෝදරයෙක් කියල හිතුවට තමුසෙ මහ බල්ලෙක් ඕයි.. තමුසෙ බල්ලෙක්..

අප උන්නේ පාරේ බව ඒ වෙද්දී මට අමතකව තිබිණි. නමුත් මේ වැස්සේ පාරේ සෙනඟ නෙවූ තරම්ය.

බනින්න බබා.. ඇති තරම් බනින්න.. මං තරහ නෑ..

තරහ නෑ යන වචනය ඇසී දෙකන් රත් වී ගිනි පිටවිය.

තරහ නෑ කියන්නෙ හරියට මං තමුසෙත් එක්ක යාලුවෙලා හිටිය වගේනෙ.. මගේ දෑහට නොපෙනි මෙතනින් යනවා යන්න..

ඔහුව තල්ලු කල මා ඉදිරියට ගියෙමි. එවරනම් ඔහු මාව නවතාලූයේ නැත. අතේ සතයකත් හෝ නොමැතිව තෙත ඇඳුම් පිටින් මහ වැස්සේ හඬමින් ගිය මා පිසිසියක යැයි ඇතමෙකුට සිතෙන්නට ඇත. නමුත් මා පිස්සියක නොවේ. ජීවිතයම අහිමි වූ මහා පව්කාරියකි.

මා මඟ හරස් කරමින් නතර වූ වෑන් රිය සාගර අයියාගේ වඟ මා හැදින්නෙමි. ඔහු වාහනයෙන් බැස ගත් ඉදිරිපසට පැමිණ සිට ගත්තේය.

නංගි වාහනේට නගින්න.. ප්ලීස්..

මං තමුසෙගෙ නංගි උනේ කොහොමද..? අයියලා නංගිලට කවදාවත් මෙහෙම දෙයක් කරන්නෑ.. මට යන්න දීලා තමුසෙ ඕන තැනක යනවා..

ඔහු නැවත වරක් මගේ අත තදට අල්වා ගත්තේය. නමුත් දැන්නම් ඒ මුහුණේ දිස්වූයේ පසුතැවීමක සලකුණු පමණි.

ඔයා ගෙදර එනකල් අමා බලාගෙන ඇති නංගි.. ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද..? අනේ ඒ ගැන හිතලවත් වෑන් එකට නගින්න..

දෙවෙනතින් හෝ ගා කඳුළු කඩා හැලුනද ශෝකය යටපත් කරගෙන කෝපය නැගී සිටියේය. මගේ දුර්වලම ඉලක්කය අක්කා වග දැන උන් ඔහු එය තුරුම්පුවක් කර මා නතු කරගැනීමට උත්සාහයක යෙදුනි.

සැබැවින්ම මා ගෙදර නොගියොත් මට කරදරයක් වූ වග දැන ගතහොත් ඒ සිතට කිසිදා සැනසීමක් නොවනු ඇත. සාගර අයියා කෙරෙහි වූ පිළිකුලට වඩා ප්‍රබලව අක්කා කෙරහි වූ ආදරය නැගී ආවේය.

මං මේ කරපු වැරැද්දට මට කවදාවත් සමාවක් නැති වෙයි නංගි.

ඔහු මා ඉදිරිපිට දණ බිම ගසා ඉඳගත්තේ අත් දෙකම එකට ගුලි කරගෙනය. පාර් ගිය ඇතැම් වාහනයක් වේගය බාල කර අප දෙස විමසිල්ලෙන් බලනවා මම දුටිමි. මෙය විගඩමහක් යැයි ඔවුන්ට දැණුනේ නම් එය පුදුමයක් නොවේ.

හරි ඔයා එන්නෙ නැත්තං මමත් අදර ගෙදර යන්නෙ නෑ..

ඔහු නැගිට්ටේ එසේ කියාගෙනය. අක්කාගේ දුක් ගත් මුහුණ යළි යළි සිහියට නැගෙද්දී මා පරාජිත ස්වරූපයෙන් රියට ගො වූයෙමි. නමුත් ඒ ඉදිරිපස අඅසුනට නොව පසුපස අසුනටය.

පිස්සෙකු සේ රිය පැදවූ සාගර අයියා වචනයක් හෝ දෙඩුවේ නැත. මම නම් දෑස් ඉදිමෙන තුරු හඬා වැටුණෙමි. ඔහු රථය රැගෙන ගිය වේගය කොතෙක්ද යත් මා අසුන පුරා එහා මෙහා විසිවිය. හෙමින් යමු කියා රැක ගැන්මට තරම් ජීවිතයක් මට තවත් ඉතිරිව නැත. ඉදින් මම මුනිවත රැකිමි.

අදික වේගයෙන් වංගුවක් නැගීමේදී ඉදිරියෙන් පැමිණ ලොරි රථයක් දෙනෙතට හසු විය. මම වහා ඇසි පියා ගතිමි. දඩාස් ගා විශාල හඬක් සවනත වැකෙනවා මට යාන්තමට මතක තිබිණි.


No comments:

Post a Comment