Thursday, December 27, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


ඉතින් රෝහලෙ ඇඳක් මත මම යළි ජීවිතය ලද්දෙමි. මරණය ප්‍රාර්ථනා කර දෙනෙත් වසාගත්තද මාරයාවත් මා බාරගෙන නොමැති සෙයකි. නාස් පුඩු වසා පැතිර ගත් බෙහෙත් ඟද ඉවසිය නොහැකි තරම්ය. මම ලාවට දෙනෙත් හැර බැලුවෙමි. මා වටා කිහිපදෙනෙකු වට වී උන්නද ඒ කිසිවෙකු පැහැදිලිව හදුනා ගන්නට තරම් නිරවුල් මනසක් මට වූයේ නැත. කිසිවෙක් මහිස අතගානවාද තවකෙක් මා අත අල්වා ගන්නවාද මට දැනුණි.


පේෂන්ට්ට රෙස්ට් එක අවශ්‍යයයි.. ඔයාලා කරුණාකරලා අයිනට වෙන්න..

අනේ එක සැරයක් ඇස් ඇරලා බලන්න මගෙ  නංගි පැටියො..

ඒ නම් අක්කා වගෙ දෙනෙත් නොහැරම මා හැදින්නෙමි. නමුදු ඇසිපිය ඇරිය නොහැකි තරමට රිදුම් දුන්නේය.

කියන දේ අහලා අයින් වෙන්න.. මෙයාට තාම සිහිය ආව විතරනේ..

අපහැදිලි හඬවල් රැසක් අතර තුර මට නැවතත් නින්ද ගොස් තිබිණි. මා ආපසු දෑස් හැරී සිටියේ ඊට දිනක් හෝ දෙකක් පසු වන්නටය.

ස.. සඳුන් අයියා....

මට මතක තිබූ එකම නම මා කෙඳිරුවෙමි.

සුදු නංගි, මං ඔයා ළඟ ඉන්නව බබා..

ඒ ආත්මීය හඬ සවනත පතිත වූයේ ඈත ලෝකයකින් වන්නට ඇත.  පුළුන් රොදක පාවෙනවා වැනි සැනසුමක් සිතට දැනුණේය. නමුදු කතා බහ කිරීමට තරම් සුවයක් මා ලද්දේ තවත් දින කිහිපයක් ඉක්ම ගිය පසුය.

අනතුරට ලක් වීමට පෙර සිදු වූ සිදුවීම් එකිනෙක මසිතේ පෙළගැසෙන්නට විය. තව තවත් කල්පනා කර බැලීමේදී මා විනාහ වූ කෙල්ලෙකු බවද ඊට වගකිව යුත්තේ සාගර අයියා බවද සිහි නැගුණි. ඉතින් සඳුන් මා ඇඳ අද්දර නිරන්තර බලා උන්නද මට තව දුරටත් ඔහුගේ පිවිතුරු පෙම්වතිය විය නොහැක්කේය. මා ඔහුගෙන් දුරස් වීමට කිසිවෙකු සමග කතා නොකිරීමට උපරිම උත්සහ කරමින් උන්නෙමි.

මා බැලීමට පැමිණි රේණු අක්කා මගෙන් වචනයක් ගැනීමට බොහෝ වීරිය ගත්තාය. ජීවිතය ගැන දැනුණ හිස් බව මා මුවට වචන ගෙන ආවේ නැ..

කවදා වෙනකල් ඔහොම කතා නොකර ඉන්නද නංගි..? ඇයි ඔයාට අපිව වදයක්ද..?

මට වදයක් වූයේ ඔවුන් කිසිවෙකු නොවේ. වදයක් වූවේ මේ නිස්සාර ජීවිතයයි. නමුත් සිදු වූ කිසිවක් දන්නා හඳුනන අයෙකුට කිව නොහැක. එවිට අක්කා ලෝකය හමුවේ මුහුණ දෙන්නේ කෙසේද..? මේ වන විට ඇති හොඳම විසඳුම නිහඩ බව පමනි.

සති ගාණක් උදේ හවා ඉස්පිරිතාලෙ ආව ගියේ ඔයාගෙ වචනයක් අහන්න ආසාවෙන් නංගි.. ඇයි මේ කතා නොකරන්නෙ..?

සඳුන් විමසද්දී ඒ දෙනෙත් දෙස නොබලන්නට මා ප්‍රවේශම් විමි. ඒ ආදරණිය සංවේදී තරු නෙත් තද කරගෙන උන් මසිත හඬවන වග විශ්වාසය.

ඩොක්ටර් සුදූට කතා කරන්න බැරි දෙයක් වෙලා නෑ නේද..?

දහවලයේ මා පරික්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරයාගෙන් අක්කා විමසුවාය.

නෑ.. එහෙම දෙයක් වෙලා නෑ.. එයා කතා නොකරනව ඇත්තෙ ෂොක් එකට.. තව ටික දවසකින් ඕක හරියයි..

ඔහු කියද්දී අක්කා සැනසුම් සුසුම් හෙළනවා මට ඇසුණි. සම්පූර්ණයෙන් වෙලා තිබූ මගේ පාදය හා හිස වෛද්‍යවරයා පරික්ෂා කර බැලුවේය. නමුත් සිතේ වූ තුවාලය වඩා දරුනු නිසා ගතේ වූ තුවාල එතරම් රිදුම් දුන්නේ නැත. හඬා වැළපුනු අම්මා හමුවේවත් දයාබර අප්පච්චී හමුවේවත් සිතට සහනයක් නොදැනුණි. මා රෝහල් ගත කර උන් කාලය කොතරම් දැයි මා දැන උන්නේ නැත. නමුදු මා සිහි ලද පසුව එක දවසක හෝ සාගර අයියා මාව බැලීමට නාවේය. කිසිවෙකු ඔහු ගැන කතා කරනවාද මට නෑසුණි.

තවත් දින කිහිපයක් රෝහලේ නතරව උන් පසු මට නිවසට යාමට වෛද්‍යවරයා අවසර දුන්නේය. අම්මලා මගේ බෙහෙත්, බෑග් ආදිය සූදානම් කරද්දී මා අඳ ගොළු බීරි පුද්ගලයෙකු සේ බලා උන්නෙමි.

නිහඬව ඉන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි තරුෂි.. බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න බලන්න..

අවසාන වරටත් වෛද්‍යවරයා මට උපදෙස් දුනි. බෙහෙත් බීවද තුවාල වී ලේ ගලන මගේ ආත්මය සුවපත් නොවන වග කෙසේ නම් පහදන්නද..?

ඉතින් අම්මාටත් අප්පච්චීටත් වාරු වී මම යළි නිවසට පය තැබුවෙමි. නමුදු ඒ මේ නිවසින් පිටවූ නොඉඳුල් මල් කැකුළ ලෙස නොව තැලී පොඩිවී ගිය අවාසනාවන්ත ගැහැණියක ලෙසය.

නිවසේ කඩුල්ල ළඟ සුදු කොඩියක් අලස ලෙස වැනෙමින් මහා ගුප්ත වූ කතාවක් කියා පෑවේය. නිවසට පය තැබූ සැනින් කබිනෙට්ටුව මත තිබූ සාගර අයියාගේ රාමු කල රුවට සුදු මල් මාලයක් දමා තිබෙනවා මම දුටිමි. එසේ නම් ඔහු ජීවිතෙන් සමුගෙන.. නොවේ ජීවිතෙන් සැනසුම ලබා ඇත.. ඉතිරි වී ඇත්තේ පව්කාර මා පමණි. මෙතරම් ව්‍යසනයක් සිදුව තිබුණද නිවසේ වටපිටාව ඉතා සාමකාමී විය. කිසිවෙක් සාගර අයියා මළ බව මේ වනතුරු නොකියා සිටියේ මා දුක් ගනු ඇතැයි සිතූ නිසා වන්නට ඇත. නමුත් මගේ ජීවිතය විනාශ කල ඔහුගේ මරණය මා ඇසට එකඳු කඳුලක් හෝ ගෙනාවේ නැත.

ඔව් සුදූ.. සාගර අයියා අපි හැමෝවම දාලා යන්න ගියා..

මගේ දෙනෙත් යොමුව තිබූ මානයට ඇස් යොමු කල අක්කා කීවාය. මම එදවස සිහියට නගා ගත්තෙමි.

අධික වේගයෙන් ගිය වෑන් රිය ඉදිරියෙන් ආ ලොරි රථය සමඟ ගැටෙනවා මට යන්තමට මතකය. රියදුරු අසුනේ වූ සාගර අයියාට ජීවිතය ගලවා ගැනීමට ඉඩක් නොවන්නට ඇත. නමුත් පසු පස අසුනට බර වූ මගේ ජීවිතය බේරී තිබිණි. එම අනතුර සිදුවූයේ අධික වේගය නිසාම නොව සාගර අයියා සිතා මතා එය ලොරියේ ගැටීම නිසා යැයි මගේ යට සිත කීවේය.

මගේ ජීවිතයට කල හානිය ගැන ඔහු ඒ මොහොතේ උන්නේ පසුතැවීමෙනි. අවසන් මොහොතේත් ඔහු මා ඉදිරිපිට දණ ගැසූ අයුරු දැනුදු මතකයට නැගේ. ඉතින් ඒ පසුතැවීම අක්කාට මුහුණ දීමට වූ අපහසුව වැනි කරුනු නිසා ඔහු මෙවැන්නකට පෙළඹුනා වන්නට බැරි නැත.

දුක තමයි සුදූ.. ඒත් මගේ නංගිගෙ ජීවිතේ හරි බේරුණානේ කියලා මං හිත හදාගත්තා..

හරි හැටි බිම තැබීමටවත් නොහැකි ලෙස වෙළුම් පටි වලින් වෙලා තිබූ පය බිම අද්දවමින් ගොස් ඒ මල් මාලය රූපය මම අතට ගත්තෙමි. ඔහුගේ මුහුණේ වූ සොඳරු බව ඒ සිතේ කෙනකවත් නොවූ වග මා වටහා ගතිමි. මා ගැනම හටගත් ආත්මානුකම්පාවක් නිසා දෙනෙතට කඳුලු පුරා එද්දී වෙව්ලන අතැඟිලි වලින් එය පොළවේ ගැසීමට ඉහළට ඔසවද්දී අක්කා බියගත් ඇසින් එය බලා උන්නාය. ඉතින් ඈ රිදවිය නොහැක. මම නැවත ඡායාරූපය තිබූ තැනින්ම තැන්පත් කලෙමි. මට වූ ව්‍යසනයන් කිසිවක් මොවුන් නොදන්නවා විය හැක. කිසිවෙකුටත් පැවසිය නොහැකි ඒ අවාසනාවන්ත සිදුවීම තනිව සිහිපත් කර විඳවීමට තරම් මා පව්කාරියක වී තිබිණි.

මළ මිනීයක් සේ ඉතිරිව තිබූ මගේ අපවිත්‍ර සිරුර වත්තම් කරගත් අප්පච්චී හා සඳුන් ඉතා ප්‍රවේශමට උඩු මහළට රැගෙන ගියහ. අපේ ඒ ආදරණිය බිත්ති හතරට ඇතුලු වූ සැනින් මට හැඬුම් ආවේය. මේ කාමරය තුළ වී මා කෙතරම් සතුටින් උන්නාද.. නැවත කිසිදා ළඟා කරගත නොහැකි තරමට සතුට මගෙන් ඈතට පලා ගොස් තිබිණි.

මාව කාමරයේ තනි කර දමා අප්පච්චීලා පිටව ගිය පසු උණු වතුර බේසමක් හා පුංචි තුවායක් රැගත් රේණු අක්කා කාමරයට ඇතුල් විය. දොර අඩවල් කර ඈ මා ළඟින් ඉඳ ගනිද්දී සිත අසාමාන්‍ය ලෙස තිගැස්සී ගියේය. මගේ ජීවිතය විනාශ වී ගියේ මෙසේ දොර බාගෙට වැසූ අවසණි.

මළ මිනීයක් සේ ඉතිරිව තිබූ මගේ අපවිත්‍ර සිරුර වත්තම් කරගත් අප්පච්චී හා සඳුන් ඉතා ප්‍රවේශමට උඩු මහළට රැගෙන ගියහ. අපේ ඒ ආදරණිය බිත්ති හතරට ඇතුලු වූ සැනින් මට හැඬුම් ආවේය. මේ කාමරය තුළ වී මා කෙතරම් සතුටින් උන්නාද.. නැවත කිසිදා ළඟා කරගත නොහැකි තරමට සතුට මගෙන් ඈතට පලා ගොස් තිබිණි.

මාව කාමරයේ තනි කර දමා අප්පච්චීලා පිටව ගිය පසු උණු වතුර බේසමක් හා පුංචි තුවායක් රැගත් රේණු අක්කා කාමරයට ඇතුල් විය. දොර අඩවල් කර ඈ මා ළඟින් ඉඳ ගනිද්දී සිත අසාමාන්‍ය ලෙස තිගැස්සී ගියේය. මගේ ජීවිතය විනාශ වී ගියේ මෙසේ දොර බාගෙට වැසූ අවස්ථාවක නොවේද..? එදින මා දොරගුළු දමා ඇඳුම් මාරු කලේ නම් මා තවමත් පිවිතුරුය. එසේනම් සාගර අයියාත් ජීවතුන් අතරය. නමුත් ජීවිතයේ සිදු වූ පුංචි අතපසු වීමක් නිසා ජීවිත තුන හතරක්ම යලී පිලිසකර කළ නොහැකි තරම්ම ව්‍යසනයන්ට ලක්ව තිබිණි.

ඉන් මා අනාථ විය. සාගර අයියාගේ ජීවිතය අහිමි විය. අක්කා කණවැන්දුම් විය. සඳුන් හුදෙකලා විය. පපුව රිදුම් දෙද්දී ඇසෙන් ටක් ගා ලොකු කඳුළු කැට දෙකක් කඩා වැටුණි.

ඔහොම හූල්ල හූල්ල අඬන්න එපා සුදූ.. ඔයා ඉන්න විදිය ගැන නැන්දලා ඉන්නෙ හරි දුකෙන්..

මගේ ඇසට එබී ගත් රේණු අක්කා කීවාය. ඈ මගේ ඇඳුම් එකිනෙක ගලවා දමා මගේ නිරුවත් සිරුර උණුසුම් රෙදි කඩකින් තෙත මාත්තු කළාය. මම ඈට ඉඩදී නිහඬව බලා උන්නෙමි.

අමාගෙ ඉවසීම ගැන මට හරිම පුදුමයි නංගි. සාගර අයියා ඇක්සිඩන්ට් එකෙන් එතනම මැරුණා කිව්වම අපි හිතුවෙ අමාට ඒක දරාගන්න බැරි වේවි කියලා. ඒත් එයා වැඩිපුර හිතුවෙ ඔයා ගැන. අර ලොකු බඩකුත් උස්සගෙන එයා දවස ගානෙ ඉස්පිරිතාලෙ බඩගෑවෙ ඔයාට තියෙන ආදරේට..

කතා නොකලද මම එයට සවන් දී උන් නිසා රේණු අක්කා දිගටම කීවාය.

ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙනවා කියලා වෙද හාමුදුරුවො ඔයාගෙ හඳහන බලපු වෙලාවෙ කියලා තිබුණා. ඔයාට නොකිව්වට අපි හැමෝම ඒ ගැන හිටියෙ ලොකු බයකින්. එදා හූණා අඬද්දී නැන්දා ඔයාට නතර වෙන්න කියලා තිබුණෙත ්මේ ගෙවෙන්නෙ ඔයාගෙ අපල කාලෙ අන්තිම දවස් ටික නිසා. ඔයා ඔහොම බේරුණා ඇති සුදූ..

පිසදා අවසානයේ සැහැල්ලු ඇඳුමක් ඇන්දවූ ඈ මා මුහුණ හොඳින් බැලුවාය. ජීවිතයෙන් පළා යාමට අවැසි වුවත් මොවුන්ගේ මේ ලෙන්ගතුකම් මා ජීවිතය ඇඳ බැඳ තබා ඇති සෙයකි.

නැන්දට නීතිය පැත්තෙන්වත් සහනයක් නැතුව ගියා සුදූ. ඇක්සිඩන්ට් එක දැක්ක හැමෝම සාක්කි දීලා තිබුණෙ මේක උනේ සාගර අයියගෙ වරදින් කියලා.. ඒත් එයා ඔය තරම් හයියෙන් ආවෙ ඇයි කියලා අපිට තාම හිතාගන්න බෑ..

ඒ ඇයි කියල ඔයාවත් දන්නවද නංගි..?

බොහෝ කල් වේලා ගෙන ඈ ඇසූවට මම මහා හඬින් ඉකි බිඳ හැඬුවෙමි. මගේ හැඬුම් හඬ කොතරම් වීද යත් පහළ මාලයේ වූ අම්මා පවා කාමරයට දිව ආවාය.

ඇයි රේණු පුතේ මේ..? ඇයි සුදූ අඬන්නෙ..?

කඳුළු පිරි දෙනෙතින් බලා උන් අම්මා රේණු අක්කාගෙන් ඇසුවාය.

මං එයාව හේදුවනේ.. තුවාල රිදිලා වෙන්න ඇති..

අනේ දරුවො සුදූගෙ බෙහෙත් ටික හරියට බලලා දෙන්න.. අරහෙන් ලොකූ.. මෙහෙන් මෙයා.. මගේ පපුව පත්තු වෙන ගින්දර මම විතරයි දන්නෙ..

මට අම්මා ගැන දුකක් සිතුණි. ඇගේ වියපත් සිතට මේ කම්පනය දරා ගැනීමට අසීරු වන්නට ඇත.

ඉතින් සාගර අයියාගේ ඥාතීන් මෙන්ම සඳුන්ද නිතර මා බැලීමට පැමිණියහ. රේණු අක්කා දිනපතා උදේ හවා පැමිණ අපට උදව් දුන්නාය. මා ඒ කිසිවෙකු සමග හෝ නොදොඩා ඔහේ බලා උනිමි. මගේ මේ වෙනස්වීම් හමුවේ වඩාත් දුක් ගත්තේ සඳුන්ය. යළි ඔහුට ළංවිය නොහැකි නිසා මම ඔහුව ප්‍රතික්ෂේප කෙරුවෙමි. මගේ වෙනස්කම් මධ්‍යයේ වුවද ඔහුගේ ආදරය වෙනස් වූයේ නැත.

හාමිනේ.. අද දරුවව ඩොක්ටර් ලඟට ගෙනියන්න ඕන නේද..?

කාමරයේ දොර ළඟ නැවතුන අප්පච්චී අම්මාට එය මතක් කර දුන්නේය. අප්පච්චී පෙනෙන්නට ඇත්දැයි මම හිස ඔසවා බැලුවෙමි. නොවේ.. ඔහු උන්නේ දොරෙන් එපිටය. මා අප්පච්චීව මග හැරියා සේම තුවාල වී අතපය වෙලා උන් මාවද අප්පච්චී මග හැරියේය. ඒ මදෙස බැලීමට නොහැකි තරම් එසිතේ වූ ආදරය නිසා වග මම දනිමි.

සඳුන්ද පැමිණි පසු අප වෑන් රියෙන්ම රෝහලට ගියෙමු. අම්මා අක්කා සමග නිවසේ නතර වූ නිසා රේණු අක්කා ගමනට සහභාගී විය.

මට තරුෂි එක්ක තනියම ටිකක් කතා කරන්න පුළුවන්ද..?

තුවාල වලට බෙහෙත් දමා අවසානයේ වෛද්‍යවරයා අප්පච්චීලා දෙස බලා කීවේය. එයට ඉඩ දී ඔවුන් නිහඬව කාමරයෙන් පිටවිය.

තරුෂි තව කී දවසක් ඔය විදියට කාත් එක්කවත් කතා නොකර ඉන්න හිතන් ඉන්නවද..?

මම දෑස් ඔසවා ඔහු දෙස බැලුවෙමි. ඒ තරුණ වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ ක්ෂණික පෙනුමකි.

දරුවො ප්‍රශ්න කියන දේවල් එන්නෙ මිනිස්සුන්ට තමයි. එහෙමයි කියලා හැමෝගෙන්ම පළි ගන්න එක හැරිද..?

ඔහු කතා කරන්නේ යමක් දැනගෙනද කියා මට සැක සිතුණි.

ඔයා ඇක්සිඩන්ට් වෙන්න කලින් ඔයාට කරදරයක් වුණා නේද..?

ඇසෙන් ගලා ගිය කඳුළු වැල් නාස් පුඩු අගින් පහළට වැටෙද්දීම මම බිම බලාගත් වනම උන්නෙමි.

ඔයා පිළිනොගත්තට ඒක වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. මේකට වගකියන්න ඕන ඔයාගෙ මස්සිනා වෙන්න ඇති කියලා මම සැක කරනවා.. මං හරි නේද තරුෂි..?

අසරණව බලා උන්නා හැරෙන්නට කීමට යමක් මුවගට ගලා නාවේය.

ඒත් අපි ඒ දේ ගැන ඔයාලගෙ ගෙදර අයට කිව්වෙ නෑ. එකක්, දරාගන්න තරම් මානසික ශක්තියක් නෑ. දෙවනි එක තමයි එයා දැන් ජීවතුන් අතර නෑ.. ඒත් දරුවො..

ඒ හඬ තරමක් අවවාදාත්මක වූ නිසා මා තිගැස්සී ගියේය.

ඔයා තව දුරටත් මෙහෙම කතා නොකර මුරණ්ඩුකම් කරනවනං මට මේ දේවල් ඔයාගෙ අම්මලට කියන්න වෙනව..

අනේ එපා ඩොක්ටර්..

අපහැදිලි හඬින් මා මුවින් එය පිට විය. මේ මා අනතුරෙන් ප සු කතා කළ පළමු වචන පේළියයි. වෛද්‍යවරයාගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් ඇඳී ගියේය.

මට සතුටුයි තරුෂි.. මොන තරම් ප්‍රශ්න ආවත් ඒවා දරාගන්න පුළුවන් නම් ජීවිතේ සාර්ථකයි.. ඔයාට උන ඔය කරදරේ ගැන කවුරුවත් දන්නෙ නෑනෙ.. ඒත් ඔයාගෙ නිහඬ බව මිනිස්සුන්ට ඒක කියල දෙනවා..

ඒ නිසා ඔයිට වඩා බුද්ධිමත් වෙන්න බලන්න.. ඔයා කොයි තරම් දක්ෂ ළමයෙක්ද..? කොයි තරම් ලස්සන ළමයෙක්ද..? ඒක හින්දා හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න. ඔය නැති උනේ ජීවිතේම නෙමෙයි.. ජීවිතෙන් එක දෙයක් විතරයි.. තේරුණා නේද..?

ඔව් ඩොක්ටර්..

ඉතින් ඔහු ගැන මා අප්පච්චීලාට බාර කලේය. මුළුමනින්ම නොවුනත් යම් තරමකට පිළිසකර කරගත් සිතින් මම නිවසට පා තැබුවෙමි.

වෛද්‍යවරයා කී වදන් සිහි ගන්වා මා නිවසේ අය සමඟ තරමක් කතා බහ කිරීමට ද පෙළඹුනි. ඔවුන් ඉන් අසාමාන්‍ය සතුටක් අත් විඳි බව නොදැනුණා නොවේ. නමුත් මා සඳුන්ගෙන් ඈත් වීමට ගත් තීරණය වෙනසක් කෙරුවේ නැත. දිනපතා නිහඬව මා දෙස බලා උන් සඳුන් සිත රිදවා යන්න ගියේය. දිනක් බොහෝ ආවේගශීලීව ඔහු මගේ කාමරයට කඩා වැදුණි. ඉතින් මා පුදුම වී බලා උනිමි.

සුදු නංගි.. මං ආවෙ ඔයාට කරදර කරන්න නෙමෙයි.. ඔයාට මාව එපා නං මං සඳහටම යන්න යනවා කියන්න..

එය කියද්දී ඒ නිල් ඇස් රතු වී තිබිණි. මම අමාරුවෙන් නැගිට ඇඳ විට්ටමට හේත්තු වී ගතිමි.

අන්තිම පාරට අහන්නෙ. මට ආදරේද නැද්ද කියන්න..?

ඔහු දෑසට එබෙද්දී මා ඒ දෑස මග හැරියෙමි.

මං ආදරේ නෑ.. අයියා යන්න..

එවදන් පිට වූයේ පෙර දින ඔහුට තුරුළුව උන් තරුෂිගෙන්මදැයි ඔහුට විශ්වාස නොවන්නට ඇත.

ආපහු සැරයක් කියන්න බබා..

ආදරේ නෑ මං......

එවරනම් මට හැඬුණි. සඳුන් විරූපී වී ගිය මුහුණින් මදෙස බලා උන්නේය.

හරි... මං ආපහු එන්නෑ කවදාවත්ම.. මං යනවා සුදු නංගි.. අමතක කරන්නෙපා මම ඔයාට ගොඩක් ආදරේ කලා කියලා..

මට ළංවී තුවාල වූ නළල් තලයට හාදුවක් සටහන් කල ඔහු යන්න හැරුණි. නාසය විනිවිද යන තරම් සැර දුගන්ධයක් මට මොහොතකට දැනෙන්නට විය. තුවාලය අමතක කළ මා ඇදෙන් බිමට පැන ඔහුගේ සාක්කුවට අත යැවිමි. මගේ අනුමානය නිවැරදිය. එහි වූයේ කෘමිනාශක කුප්පියකි. එය අතට ගත් මම සැදැල්ලෙන් එළියට විසි කිරීමට උත්සාහ කරද්දී සඳුන් එය උදුරා ගත්තේය.

ඔයා මට ආදරේ නැත්තං ඇයි මං ගැන වද වෙන්නෙ..? මේක තමයි දැන් මට තියෙන එකම විසඳුම...

මාන නොතැකූ ඔහු කෘමි නාශක බෝතලය අතේ ගුලි කර කාමරයෙන් පිට වීමට සැරසුනෙමි.

යන්න එපා සඳුන් අයියා..

ලාවට පිටවූ එවදන් කණ වැකුණු සැනින් සඳුන් යළි හැරුණේය. මම ඇඳෙන් ඉඳගතිමි. ඔහු කෘමිනාශක බෝතලය සාක්කුවේ දමාගෙන මා ළඟින්ම හිදගතිමි.

ඔහුගේ ජීවිතය විනාශ වීමෙන් මට කිසිදා සැනසුමක් අත් විඳිය නොහැකිය. ඉතින් මම ඈත් වූ හේතුව ඔහුට සවිස්තරව කීවෙමි. එය වෙනකෙකුගේ කණ වැකෙනවාට බිය වූ සඳුන් කාමරයේ දොර අඟුළු දමා පැමිණියේය. කතාවේ අසා සිටීමට අසීරු හරිය පවසද්දී ඒ දෑත් මිට මෙලවෙනවා මම දුටිමි.

ඕක මං අනුමාන කලා සුදූ.. ඔයාට වෙනස් වෙන්න වෙන හේතුවක් නෑ කියලා දැනං හිටපු නිසා මට ඔහොම දෙයක් හිතුනා..

ඔහුගේ සොහොයුරා එවැන්නක් කරන්නට ඇතැයි ඔහු අනුමාන කලා යැයි කීම පුදුම සහගතය.

ඔයා නොදන්නව උනාට මං සාගර ගැන හොඳට දන්නවා. මිනිහා අතින් අනාථ වෙච්ච පළවෙනි කෙල්ල ඔයා නෙමෙයි..

දෙවියනි මේ ඔහු දොඩවන්නේ හොඳ සිහියකින්ද..? නමුත් ඒ දෑසේ බොරුවක සේයාවක්වත් නොවුණි.

මිනිහා කලින් කම්පැණියෙන් අස් උනෙත් රේප් කේස් එකක් නිසා.. ඒත් අපේ නැන්දලා මේ කිසි දෙයක් දැනන් හිටියෙ නෑ..

ඔයාගෙ අක්කගෙ හඳහන දීපු වෙලාවෙ මූ ඒකට මැච් වෙන්න බොරු හඳහනක් හදලා. ඔයාලගෙ අම්මලට දීලා තියෙන්නෙ ඒක. හැබැයි මං ඒ ගැන දැනගත්තෙ වෙඩින් එකෙන් පස්සෙ..

වැදගත් යැයි සිතා උන් මේ මිනිසා අප පවුලට කර ඇත්තේ කොතරම් මුලාවක්ද..? කොතරම් වංචාවක්ද..? ඔය වග දැනගතහොත් අප්පච්චී කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි මට සිතා ගැනීමටවත් නොහැකි විය.

ඒ දේවල් ඔයාට කටක් ඇරලා කියන්න බැරි කමට තමයි මං ඔයාට එහේ නවතින්න එපා කියල කිව්වෙ.. එදා උනත් ඔය ගිය ගමන ගැන මං දැනං හිටියා නං ඔයාට කීයටවත් යන්න දෙන්නෑ සුදු නංගි..

සඳුන්ගේ වදනක් වදනක් පාසා මම ඉකි බිඳ හැඬුවෙමි. ඔහු මා සිය සිරුරට ළං කරගත්තේය.

ඇයි මට එහෙම දෙයක් උනා කියලා අයියා සැක කළේ..?

හේතු කිහිපයක් නිසා සුදූ.. කාටවත්ම නොකිව්වට මං ඒ ගැන සෑහෙන්න කල්පනාක ලා..

මොනවද ඒ..?

එකක් තමයි ඔයා වාහනේ පිටිපස්සෙ නැගල තිබුණ එක.. අමා අක්කා කිව්වා ඔයා යද්දි ගියේ ඉස්සරහ සීට් එකේ කියල.. මොන දේ උනත් පිටිපස්සට නැග්ග නිසා ඔයාගෙ ජීවිතේ බේරුණා. ඒ ගැන මං සතුටු වෙනවා..

අනිත් එක තමයි සාගර වෑන් එක හයි ස්පීඩ් අරන් ගියපු එක.. එහෙම යන්න තරම් මිනිහට හේතුවක් තිබුණෙ නෑනෙ..

ඔහු පවසද්දී එය සිදු වූයේ ඇයිදැයි මම ඔහුට පහදා දුන්නෙමි.

අනිත් ප්‍රධානම දේ තමයි මිනිහගෙ බොඩි එකේ සෑහෙන්න නියපොතු පාරවල් තිබුණා. මං මෝචරියට ගිහින් බොඩි එක බලද්දී උගේ අතේ කවුහරි හපපු පාරකුත් තිබුණා..

ඔහුගෙන් මිදීමට මා කොතෙක් නම් උත්සාහ කෙරුවද නමුත් ඵලක් වූයේ නැත.

ඒත් මට බය හිතුනා ඔයා මිනහව හූරලා හපලා බේරිලා දිව්වාවත්ද කියලා.. ඒ වෙලාවෙ ඌ ඔයාව ඇදලා වාහනේට දාගෙන ආවද කියලත් මට සැකයක් තිබුණා..

මේ දේවල් කාටවත් කියන්න එපා අයියා.. මං වඳින්නං.. අපේ අක්කටනං කිසි දෙයක් දැනගන්න තියන්නෙපා.. එයාගෙ පපුව පැලෙයි..

පිස්සුද බබා..? අපේ වනචරයගෙ බොරු වලට අහු උනාට අමා අක්කා කියන්නෙ රත්තරං ගෑණියෙක්.. අපේ නැන්දලා අදටත් එයාට පණ ඇරලා..

දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් සඳුන් මගෙන් ඉවත්ව අපේ සදැල්ලට පා එසවිය. මම අපහසුවෙන් ඔහු පසුපස ගියෙමි.

මගේ දිහා එක පාරක් බලන්න නංගි..

මගේ උරහිස් තදට අල්වා ගත් සඳුන් මගේ දෑසට එබී බැලුවේය. සියලු කරදර මොහොතකට අමතක කළ මා ඒ නෙතු දැහැනට සම වැදුනෙමි.

මං තව පාරක් හන්නං නංගි.. ඇත්තටම ඔයා මට ආදරෙයිද..?

නෙතු දැහැන කඳුලු පටලයකින් වැසී බොඳව යද්දී මම ඒ පපුතුරේ හිස හොවා ගතිමි.

කියන්නකො සුදූ... ආදරේද මට..?

ආදරෙයි අයියා.. ගොඩක් ආදරෙයි..

මා නළල සිපගත් ඔහු සාක්කුවට අත යවා එහි වූ බෝතලය සැඳැල්ලෙන් එපිට ඈත අවකාශයට විසි කර දැම්මේය. මම කඳුළු අතරින් සිනාසී එදෙස බලා උන්නෙමි. ඉතින් මේ උදා වූයේ ජීවිතය විඳිය යුතු කාලයයි.


7 comments:

  1. goda kaalekata passe awe. aluthen daapu episods okkoma kiyewwa. hitha gannath amaru paththakata ne da kathawa adila giye? eth hama deyakma hodatama labena amaatai, tharushitai mokak hari loku napurak wei kiyala nikan hithuna ;)
    ithuru tikath danna. gud luck (Y)

    ReplyDelete
  2. attatama lassana katawak, tawa akak ekmanata dannaa

    ReplyDelete
  3. තැන්කු මල්ලියෝ මේකත් ඉක්මනට දැම්මට, තව එකක් ඉක්මනට ලියන්න

    ReplyDelete
  4. තැන්කු මල්ලියෝ මේකත් ඉක්මනට දැම්මට, තව එකක් ඉක්මනට ලියන්න

    ReplyDelete
  5. අදමයි ආවේ.මට මගේ වෙහෙස නිවා ගන්න පුළුවන් බ්ලොග් එකක්.සුභ පතමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  6. අදමයි ආවේ.මට මගේ වෙහෙස නිවා ගන්න පුළුවන් බ්ලොග් එකක්.සුභ පතමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete