Thursday, December 27, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


කාලය ගෙවී ගියා නොව ඉගිලුනා සේය. අක්කාගේ මංගල්ලය අත ළඟටම පැමිණ තිබිණි. එහි වැඩ කටයුතු කතා බහ කිරීමට යැයි පවසමින් සාගර අයියා හා සඳුන් වැඩි වශයෙන් කාලය ගත කලේ අප නිවසේය. නමුදු අපට සිදු කිරීමට තරම් ඒ හැටි රාජකාරියක් තිබුණේ නැත. වත්තේ මිනිසුන් එක්ව වටපිටාව කළ එළි කිරීම නිවසේ තීන්ත ගෑම වැනි ප්‍රධාන වැඩ කටයුතු වියදමකින් තොරවම කර දුන්නේය.


අක්කාට වැඩි වශයෙන් කිරීමට සිදු වූයේ ඇගේ ඇඳුම් පැළඳුම් බඩු බාහිරාදිය අස්පස් කිරීමයි. ඊට අමතරව අපගේ කැමැත්ත නොමැතිව වුවද රූපලාවන්‍යය සත්කාරයක් සඳහා යොමු වීමටද අක්කාටත් මටත් සිදුවිය. මේ සියල්ල දෙස බලමින් රේණු අක්කා විහිළු තහළු කර අපව හිනැස්සුවාය.

“මේ අමා.. උඹ යන දීපංකරේක පලයං.. ඒත් මේ කෙල්ලව ගෙනියන්නෙපා..”

“ඇයි ඒ..?”

“ඇයි බං උමත් ගියාම මට කතා කරන්නවත් එකෙක් මේ පළාතෙ ඉන්නෙපැයි..”

“තව මාසෙකින් විතර මං සුදූව එහෙට ගන්නවා..”

“එතකොට අම්මල මෙහේ තනියමනේ..”

“ඉතිං අපිත් යන්නෙ රත්තොටට, මාතලේ ඉඳලා ඒ හැටි දුරක් යෑ..”

“හරි හරි.. උම කට වහගෙන හිටපං.. සුදූ ඔයා කැමතිද නංගි එහේ නතර වෙන්න යන්න..?”

අවසානයේ බැරිම තැන රේණු අක්කා ප්‍රශ්නය මා කරා එව්වාය. අක්කාට කොතරම් ආදරේ වුවත් උපන් දා සිට හැදුණු වැඩුණු නිවසෙන් පිටත ගත කිරීම මා සිතේ එතරම් කැමැත්තක් නොවිනි. අනික අක්කාටත් සාගර අයියාටත් ලැබිය යුතු නිදහස වුවද එමගින් අවහිර වේ. අම්මාත් අප්පච්චීත් දමා ගොස් රත්තොට නතර ව්නනට මසිතේ උනන්දුවක් නොවූ තරම්ය. ඒත් අක්කා මා ළඟට ගන්නට තනන්නේ මා ගැන ඇති ආදරය නිසාය. එයට පිටුපෑ නොහැකිව මම දෙලොවක් අතර තනි වී උන්නෙමි.

“මං මේක විහිළුවකටවත් තරහකටවත් කියන දෙයක් නෙමෙයි අමා.. උඹට ටිකක් හිතල බලපං ගෙදර හිටපු ළමයි දෙන්නම එක සැරේ පිටවෙලා ගියාම උඹලගෙ අම්මගෙ අප්පච්චිගෙ මානසික තත්වෙ මොකක් වෙයිද කියලා.. අනික මං හිතන්නෑ මාමට සුදූ නැතුව ඉන්න පුළුවන් වෙයි කියල..”

දෙදෙනාගේ කටවල් දෙස බලා ඉන්නවා හැරෙන්නට යමක් කීමට තරම් ධෛර්‍යයක් මවෙත නොවීය. නමුත් රේනු අක්කාගේ පැහැදිලි කිරීම හමුවේ අක්කා තැතිගත් ඇසකින් මදෙස බැලීය.

“තරහ ගන්න එපා බං.. පුංචි කාලෙ ඉඳලා උඹලා එක්කම හිටපු නිසා මට මේ පවුල ගැන තේරෙනවා. ඉතිං මං කිව්වෙ මගේ හිතට ආපු දේ..”

“නෑ රේණු ඔයා කියපු හැමදේම ඇත්ත.. මං හිතුවෙ එක පැත්තක් ගැන විතරයි. සුදූව මං ළඟ තියාගන්න ඕන උනාට එයා නැතුව මේ ගේ කොයි තරම් පාලු වෙයිද කියලා මං හිතුවෙ නෑ..”

අක්කාගේ රතු වූ ඇස් කෙවෙනි අගිස්සෙන් හීන් කඳුළක් ගිලිහී වැටුණි. වරදක් කළ අයෙකු වාගේ රේණු අක්කා පසුබා උන්නාය.

“අපිට එක දෙයක් ලැබෙන්නෙ තව දෙයක් අහිමි වෙලා අමා. උම මේ ගෙදරින් ගියා උනාට මෙහේනිතර යන්න එන්න බැරි කමක් නෑනෙ..”

ඒ කතාවට සවන් දෙමින් අක්කා අල්මාරියේ වූ ඇඳුම් පිළිවෙලකට නවා විශාල ගමන් බෑග් වල තැන්පත් කළාය. මෙතෙක් කල් අප දෙදෙනාගේම ඇඳුම් තබා තිබූ විශාල තේක්ක අල්මාරියේ හිස් වූ තට්ටු දෙස බලද්දී තද කරගෙන උන් පපුව පිච්චී යනවා වැනි හැඟීමක් දැනෙන්නට විය. එපමණක් නොව ඇය නොමැතිව ඇඳේ පැත්තක්ම හිස්ව යනවා නොවේද..? අක්කා ඉදිරියේ කඳුළු සැලීම අඬන්න ඉන්නා මිනිසෙකුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැන්නක් නිසා මම හෙමීට එතනින් ඉවත් විමි.

කවදත් මගේ දුක ඇසූ මගේ තනියට උන් විසල් අහස් කුස වුවත් වැස්සකට අර අදිමින් උන්නේය. ඒ කඳුලු අහසට වුව බර වැඩි වන්නට ඇත. සිහින් ඇරඹි පොද වැස්ස බොරළු කැට තරමට ලොකු වෙද්දී මහිතට දුක නොහිතුනා නොවේ. නමුත් මා ඒ නිල් වැස්ස දෙස ආසාවෙන් බලා උනිමි.

“සුදූ සඳුන් මල්ලිට කොහොමද..?”

මගේ ළඟම ඇවිත් උන්නේ රේණු අක්කාය.

“එයා හොඳින් ඉන්නව අක්කා.. ඊයෙත් ඇවිත් ගියා..”

“මාමලගේ අකමැත්තක් නෑනෙ ඔයාලට..”

“නෑ.. අප්පච්චිලා කැමතියි.. සඳුන් අයියගෙ අම්මලත් අප්පච්චිලා එක්ක කතා කරලනේ..”

“හැබැයි ඔන්න කැම්පස් ගිහින් ඒ අහිංසකයට බූට් එක තියන්න එපා. ඌ මැරෙයි..”

“එයා නැතිවුණොත් මාවත් මැරෙයි..”

එවදන් ඇසි රේණු අක්කා තිගැස්සුනාය. මා මුවින් එතරම් බරපතල කතාවක් ඕ බලාපොරොත්තු නොවන්නට ඇත.

“ඔව් නංගි.. ආදරේ කියන්නෙ මතුපිටින් පේනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්..”

බොහෝ කල් වේලා ගෙන ඈ කියූ එම කතාවේ සැඟවුණු අරුතක් ඇතැයි මට මොහොතකට සිතුණි.

“රේණු අක්ක කවදාවත් ආදරේ කරල නැද්ද..?”

ඊට පිළිතුරු ලැබුණේ දුක්බර සිනාවකින් පමණි. ඒ අඬන්නට බැරි කමට සිනාසුනා වැන්නකි. ඉතිං මා වටහා ගතිමි.

“ඒ ආදරේට මොකද වුණේ..?”

“ආදරේ කියන්නෙ අයිතිකරගැනීමම නෙමෙයි සුදූ.. ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්. මගේ ආදරේ මං දන් දුන්නා..”

“අක්ක මට කිසි දෙයක් කියල නෑ..”

“මං දවසක කියන්නං.. හැමදේම..”

ලෝකය අභිමුව සිනාසෙන පුද්ගලයින්ගේ හදවත් වලට එබී බැලිය හැකි නම් ඒවායේ කොතරම් දුකක් තැවරී ඇත්දැයි වටහා ගත හැකි වනු ඇත. රේණු අක්කාත් එවැනි චරිතයක් නොවේද..?


පෙර දවසකදී මෙන්ම නිවස නෑදෑයන්ගෙන් පිරී ඉතිරී යද්දී මෙතෙක් කලක් තදකරගෙන උන් දුක වේදනාව වාන් දමන්නට බලා උන්නේය. මේ දින කිහිපයක අක්කා ළඟින් නොසෙල්වෙමියි අදිටන් කරගෙන සිටියද ඒ නෙතු දෙස කෙලින් බලන්නට හෝ හැකියාවක් මසිතේ නොවීය. ඉතිං මා ඈ මඟහැරිමි.

කිසිදා සවසක තනිවම දොලට නොයන මා සැමගේ දෑස් අතරින් රිංගා කහ පැහැ ගත් තුවායද රැගෙන දොල පාර වෙත පිය මැන්නෙමි. වතුරේ ගිලී නෑමට පටන් ගත්තද සුළු මොහොතකදී නෑම මටම එපා විය. බාගෙට නා ගත් මම හිස තෙත බරිතව තිබියදීම තුවාය ඇඟලා ගෙන ගල් පරයකට බර දී හිඳ ගතිමි. මේ මුරණ්ඩුකම් නුසුදුසු බව සිත නොදන්නවා නොවේ. නුමුදු දුක දියකර හැරිය යුතු අයුරු මා දැන සිටියේ නැත. හිතේ බර අඩු කර ගන්නට, අවැසි ලෙස හිත පාරවා ගන්නට මෙය කදිම තෝතැන්නකි.

“සුදු නංගී..”

මා ඉඳිරියේ දුක් ගත් ඇසකින් බලා උන්නේ සඳුන්ය. මලානික සිතට ජීව වායුව ලබා දෙන ඒ නෙතු යුගල අතර මම අතරමං වූයෙමි.

“දැන් වෙලාව කීයද බබා.. ඇයි මෙහෙම මුරණ්ඩුකම් කරන්නෙ..? ඔයා මේ කාගෙන්ද පළිගන්න හදන්නෙ..?”

ඒ හඬ හැඬුම්බර වී තිබිණි. අහේතුක කඳුලු වැල් දෙකම්මුල් පුරා ඇඳී යද්දී මා ඒ විසල් පපුතුරේ හිස හොවා ගත්තෙමි. ඒ ආත්මීය පහස මගේ ඇට මිදුළු තුළට පවා දැනෙන්නට විය.

“පිහදාලවත් නෑ.. ගැහෙනව ඔයාව..”

මගේ හිස් මුදුන සිප ගත් සඳුන් තව තවත් තදින් මා සිය සිරුරට ළං කරගත්තේය. මුළු විශ්වයම මට මොහොතකට අමතකව ගියා සේ දැනුණි.

“බලන්න.. ඔයා තාම තුවාය පිටින්.. මෙතනට වෙන කවුරුහරි ආවනං එහෙම මොකද වෙන්නෙ..?”

ඔහු එය අසද්දී මට ඇඳ උන් කහ පැහැ දිගු තුවාය දෙස බැලුනි. මසිතට අපහසුතාවයක් දැනුණද සඳුන් වෙනසක් පෙන්වූයේ නැත.

“ඔයාලගෙ ගෙදර කට්ටිය වැඩියි බබා.. ඕක ඇඳගෙන යන එක හරි නෑනෙ.. ඇඳුම් මාරු කරගන්න..”

“ඇඳුම් ගෙනාවෙ නෑ..”

ඔහුට දිගු සුසුමක් හෙලුනි. ඔහුගේ කීකරු නෙත් මා දෙස නරක බැල්මක් හෝ හෙළුවේ නැත. ඉතිං මා ඒ දෑතේ වෙලුනෙමි.

“ගෙදරට ගිහින් ඔයාට ඇඳුමක් ගේනන්න මට පුළුවන්.. ඒත් මේ වෙලාවෙ හැටියට මට ඔයාව තනියෙම දාලා යන්න බෑ..”

මගේ අත අල්ලා දොල පාරෙන් මෙගොඩ වෙන අතර තුර ඔහු කීවේය.

“අමා අක්කා ගෙදරින් යන එක ඔයාගෙ හිතට දුකක් කියලා මං දන්නවා. ඒත ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ ඒ තරං හොඳ විදියකට නෙමෙයි සුදූ..”

මා සිත ස්පර්ශ කල ඔහුගේ අනුමානය ඉතාම නිවැරදි විය. මේ මුරණ්ඩු ගති කුමක් අරඹයා වූවක් දැයි ඔහු දනී. කුඩා අවිපාර මැද්දෙන් නිවසේ පසුපස බිම් කොටසට පය තබද්දීම දර පලමින් උන් ගුණවතී නැන්දා අප දුටුවාය.

“සීවරං දෙයියනේ.. මේ ගොම්මනේ තනි පංගලමෙ ගිහින් නෑවද..? සුදු බේබි ලෙඩ වෙයි..”

මා ළඟ උන් සඳුන් දෙස හොඳින් බැලුවද ඒ පිළිබඳව වදනක් හෝ නොදොඩා ඉන්නට ඈ ප්‍රවේශම් වූවාය. ඇයට යමක් කීමට පමා නොවුන මා සඳුන් සමගම නිවසට ගොඩ වුනෙමි.

“හැමෝම හොයනව රත්තරනෙ.. කොහෙද ගිහින් හිටියෙ..?”

අප දුටු විගස අම්මා ඉදිරියට දිව ආවාය. සඳුන් මෙතෙක් අල්ලා උන් මගේ අත අම්මාට බාර කර සාලය දෙසට ගියේය.

“දාහකිං හොයාගන්න බැරි දරුවෙක්..”

සිහින් හඬින් අම්මා මිමිණුවේ සඳුන් ගිය මගට නෙත් යොමාගෙනය. මගේ හිස හොඳින් පිස දැමූ අම්මා රෝස පැහැ දිගු කලිසමක් හා ටී ෂර්ට් එකක් අන්දවා උණු තේ කෝප්පයක්ද සාදා දුන්නාය. නමුත් ඈ මට වදනකින් හෝ බැණ වැදුනේ නැත.

“සුදූ මට බඩු වගයක් ගන්න තියෙනවා.. අපිත් එක්ක හන්දියට යන්න එනවද..?”

මා ළඟට පැමිණි අක්කා මගේ තෙත කොණ්ඩය යාන්තමට අතගා බලා ඇසුවාය.

“කවුද අපි කිව්වෙ..?”

“සාගරයි සඳුන් මල්ලියි එක්ක වෑන් එකේ ගිහින් එමු..”

මට ඉබේටම ඇඳ උන් කලිසම දෙස බැලුණි. ඒ බැල්මේ අරුත අක්කා තේරුම් ගත්තාය.

“ඕක හොඳයි සුදූ.. වාහනේ ගිහින් එන එකනේ..”

“යමු යමු නංගි.. ගෙදර හිටියොත් ඔයාලව වැඩ වලට අහුවෙනවනේ.. ගිහින් පොඩි රවුමක් දාලා එමු..”

මගේ පිටට තට්ටුවක් දැමූ සාගර අයියා එය පැවසුවේ තරමක් කටහඬ බාල කරගෙනය. මේ ගමනට සඳුන්ද එක් වෙනවා නම් මට හිත හදාගෙන නිවසේ සිටිය නොහැකි වන ඇත. ඉතින් මමද ඔවුන්ට එක්විමි.

කොණ්ඩය හෝ නොපීරා ඇඳ උන් ඇඳුම පිටින්ම මම වෑන් රියේ පසු පසම අසුනට බර වුණෙමි. මගේ ඇගේ තදට ස්පර්ශ වන ලෙස ඉඳගත් සඳුන්ද නොදොඩා මදෙස බලා සිටියේය.

“මේ මේ ඕවා ඔට්ටු නෑ.. උඹල දෙන්නා අද මොකද මේ පිටිපස්සට රිංගගෙන..?”

රියදුරු අසුනට ගොඩ වූ සාගර අයියා මැද කණ්නාඩියෙන් අප දෙස බලා කෑ ගැසුවේය.

“නෑ ඉතිං.. ඉස්සරහ සීට් එකේ යන ෂෝ එක දැකල පොඩි ළමයි නරත් වුණොත්..”

මගේ අතැඟලි තදට අල්වා ගත් සඳුන් කියද්දී අක්කාද නෝක්කාඩු බැල්මෙන් ඔහු දෙස බැලීය.

“මේ යකඩ ගොඩ එළවන ගමන් මොන ෂෝ ද බං..? නේද අමා..?”

ප්‍රේමාන්විත බැල්මක් හෙලා සාගර අයියා කියද්දී මම නෙත් පියන් තද කර සඳුන්ගේ පපුවටබර වුණෙමි. ඔහු මා උරහිස වටා දෑත් යවා සිය සිරුරට ළං කර ගත්තේය. දිය නෑමෙන් තෙත බරිතව උන් මගේ ගතට සිතට ඒ උණුසුම සනීපයක්ව දැනුණි.

“මචං.. අමාට ඇඳුම් වගයක් ගන්න තියෙනවා.. මේකට යමු..”

මාතලේ නගර මධ්‍යයේ වූ විශාල රෙදි පිළි සාප්පුවක් අභියස වෑන් රිය නතර කළ සාගර අයියා කිව්වේය. නමුත් ඔහුගේ තුරුළෙන් මිදී යාමේ නොහැකියාවෙන් මා නොසෙල්වී උන්නෙමි.

“අපි ආවොත් ඩිස්ටර්බ්නෙ.. මමයි තරුයි වෑන් එකේ ඉන්නම්.. ඔයාලා ගිහින් එන්න..”

සඳුන් එසේ කියද්දී අක්කා පුදුම වී මදෙස බලා සිටියේය. වෙනදා ඈ ඇඳුම් ගැනීමට යන්නේ මා සමඟය. ඇය යමක් මිලදී ගනු ලබන්නේ එයට මගේ කැමැත්ත ලැබුණොතින් පමණි. නමුත් සැමදා ඒ හුරුපුරුදුකම් පවත්වාගෙන යා නොහැකි නිසා මම කරබා උන්නෙමි.

“සුදූ ඔයාලත් යං.. ටිකක් වෙලා යයි..”

“කමක් නෑ.. අක්කලා ගිහින් එන්න..”

මේ පෙරදා උන් ඇගේ සුදු නංගීමදැයි ඇය සිතන්නට ඇත. ඒ දුක්ගත් මුහුණ දෙස නොබැලූ මා සඳුන්ට වාරු උනෙමි. ඉතින් ඈ යන්න ගියාය.

“ඔයාට සීතලයි නේද..? මං බැහැලා මොනා හරි බොන්න ගේන්නද..?”

“එපා අයියෙ.. මං ළඟින් ඉන්න..”

මගේ හඩ කෙඳිරිල්ලක් වන්නට ඇත. සඳුන් මා මුහුණ දෝතට ගෙන මගේ ඇස් වලට කිමිදී බැලුවේය. විශ්වාස කරන්න.. එදා මෙන් අදටත් ඒ නිල් ඇස් දෙක සෘජුව බලා හිදීමට අසීරු ගතියක් මට දැනුණි. ඒ සිත වශීකෘතව යන නිසාය.

“මොනවද හිතනව ඔයා..”

මගේ දෑසට එබී සිත අතපත ගෑ ඔහු මොහොතක් බලා හිඳ කීවේය.

“අක්ක බැන්ඳම මට එහේ යන්න කතා කරනව අයියෙ..”

“ඉතිං ඔයා යන්න කැමතිද..?”

මම හිස දෙපසට වැනුවෙමි. මා මුහුණ අතහැරි සඳුන් වීදුරුවෙන් එපිට බලා සිටියේය.

“ඔයා අමා අක්කට පණ වගේ කියල මං දන්නව නංගි.. ඒත් ඔයා එහේ නවතින්න යන්නෙපා..”

“මගෙත් කැමැත්තක් නෑ අයියා.. ඒත් අක්කා බල කරනවනේ..”

“මේ බලන්න මං දිහා.. ආදරෙයි නේද මට..?”

දරාගන්නට බැරි තරම් සංවේදී හඬකින් ඔහු අසද්දී මගේ දෑස් තෙත්ව ගියේය.

“ඔයා මට ඇත්තටම ආදරෙයි නම් එහේ නතර වේනන එපා. මං කියන්නෙ හේතු ඇතිව..”

“මොනවද හේතු..?”

“ඒවා ඔයාට කියන්න බෑ සුදූ.. ප්ලීස් මාව තේරුම් ගන්න..”

නමුදු මට ඔහුව තේරුණේ නැත. ඔහු තරහ ගනිතැයි බියෙන් මම කිසිත් නොවිමසා උන්නෙමි.

“ඔයා අම්මල ළඟ ඉන්න.. මම එහෙ එන්නම් ඔයා බලලා යන්න..”

ඒ දෑස් මුණ ගැසේනම් සියලු දුක් විඳ දරාගෙන සිටීමට අවැසි ශක්තිය ලැබෙනු ඇත. ඒ තරු නෙත් යුගලට මං කෙතරම් බැඳී ඇත්දැයි සිතා ගත නොහැකිව මම වික්ෂිප්ත විමි.

“ඔයාට වෙඩින් එකට මොකුත් ගන්න ඕනෙ නැද්ද..?”

“අක්කයි රේණු අක්කයි සේරම ගෙනැල්ල..”

“ඒ අක්කත් ඔයාලගෙ අක්කගෙ වයසෙමද..?”

“ඔව්, හැබැයි කටකාරයි..”

“දන්නවද බබා.. කටකාර අය විවෘතයිලු.. නිහඬ අය ගුප්තයිලු..”

එදවස මාත් ඉතා කටකාර දඟකාර චරිතයකි. නමුත් සඳුන් මුණ ගැසුනු දා සිට මා අමුතුම නිහඬ පුද්ගලයෙකු බවට පත් විය. ඉතින් සඳුන් මා විවෘත පුද්ගලයෙක් ලෙස දකින්නේද ගුප්ත චරිතයක් ලෙස දකින්නේද..?

“මොනවද හිතන්නෙ ආ..?”

මගේ නිකටෙන් අල්ලා ඔහු දෙසට හරවන ගමන් සඳුන් ඇසීය.

“ඔයා නිහඬයිද..? කටකාරයිද..?”

ඇසිය යුතු ප්‍රශ්නය අනෙක් පස හරවා මම විමසිමි. ඔහුගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳී මැකී ගියේය.

“ඒක තේරුම් ගන්න ඕනෙ ඔයාමනේ.. මං හිතන විදියට නං මම නිහඬයි.. ඔව් සුදූ.. පොඩි කාලෙ ඉඳලම මං කතා බහ කරනව අඩුයි..”

“ඒ කියන්නෙ අයියා ගුප්තයි..”

ඔහු ඊට හයියෙන් සිනාසුනේය. ඒ ලස්සන සිනහව දෙස මම දැස් දල්වා බලා උන්නෙමි.

“කෙල්ල මගේ වචන මටම රිටන් කරනව නේද..?”

මගේ සීතල කම්මුලක් ලාවට පිරිමදිමින් ඔහු අසද්දී මම ඔහුට තවත් තුරුලු වී ගතිමි.

“ඔයා ළඟ පුංචි බබෙක්ගෙ සුවඳයි..”

සඳුන් මුමුණද්දී අප උන් වෑන් රියේ දොර ඇරුණි. මම වහා පසෙකට වී එදෙස බලද්දී සාගර අයියා සිනා සිසී බලා උන්නේය.

“ඉන්නව නේද..? මං හිතුවා බඩල පැනල ගිහින් කියලා..”

ඇඳුම් මළු කිහිපයක්ම අසුනට දැමූ ඔහු රියදුරු අසුනට ගොඩ විය. ඔහු පසුපසින් පැමිණි අක්කා තරමක් විශාල බෑගයක් මදෙසට දික් කළාය.

“මොනවද අක්කෙ..?”

“ඔයාට..?”

“එතකොට කෝ මට..?”

සඳුන් අක්කාගෙන් ඇසීය. අක්කා ඔහුගේ මුහුණ දෙස හොඳ හැටි බලා උන්නාය.

“මගේ ජීවිතේ වටිනාම වස්තුව ඔයාට දීලා තියෙනවා.. ඒ මදිද මල්ලි..?”

එවදන් අසා සඳුන් තිගැස්සී ගිය බව සහතිකය. අපේ සොදුරු දමේ ශක්තිය ඔහු තවම වටහා නොගන්නට ඇත.

“මට ජීවත් වෙන්න ඒ හොඳටම ඇති අක්කෙ..”

ඔහු අක්කා දෙස බලා පවසද්දී ඒ දිගැටි සුදු ඇඟිලි මා අත තදට ග්‍රහණය කර ගත්තේය. අක්කා සුසුමක් හෙලා රියට ගොඩ විය. ඉතින් එදින රාත්‍රියේ නිවසට එනතුරු මා සඳුන්ගේ තුරුළට වී සැනසුමක් සැහැල්ලුවක් අත් වින්දෙමි.

අප නිවසට ඇරලවා අප්පච්චීට භාර කල සාගර අයියා සඳුන් සමග යන්න ගියේය. නමුත් තවමත් මගේ හිතින් බැහැරව නොගිය සඳුන්ගේ තුරුළට වී මම නිදන්නට වූයෙමි.

“මට මේ වගේ සුදූ ළඟ නිදාගන්න තව පුළුවන් තව දවස් දෙක තුනයි...”

මා ළඟින්ම ඇඳේ දිගා වූ අක්කා මදෙසට හැරී කීවාය. මම ඈ කර වට දෑත යැවිමි. මගේ හිසකේ අතර මෘදු අතැගිලි පහසක් දැනෙන්නට විය.

“ඊට පස්සෙ අක්ක ළඟ සාගර අයියා ඉන්නවා.. ඒත්..... මට තමා කවුරුවත් නැත්තෙ..”

“අනේ පැටියො.... ඔයා තනියම නිදියන්න එපා.. අම්මා ළඟට යන්න..”

අඩ අදුරේ මා මුවට නැගුණු සිනාව ඈ නොදකින්නට ඇත. ඇය තවමත් මගේ හිස් මුදුන පිරිමදී.

“අක්කලා බැඳලා කොහෙද යන්නෙ..?”

“රත්තොට ගෙදරට..”

“නෑ මං ඇහුවෙ එහේ යන්න කලිං..”

මගේ පැනය වටහා ගත් සැනින් හිසකේ අතර ගමන් කළ ඇඟේ ඇඟිලි තුඩු වහා නතර විය. නැවත වරක් මට සිනහා ආවේය.

“නුවර එළියෙ..”

ඇගෙන් පිළිතුර ලැබුණේ ඇසූ ප්‍රශ්නයද අමතකව යන තරම් කාල වේලාවක් ගත වූ පසුවය.

“එහෙ ගියාම අක්කට මාව අමතක වෙයි..”

එය එසේ නොවන වග දැන දැනම මම පැවසූවෙමි. ඊට පිළිතුරක් නොලැබුණේ ඒ සිත රිදුණු නිසා වන්නට ඇත. ඉතින් මාද නිහඩව දෑස් පියා ගතිමි.


No comments:

Post a Comment