Wednesday, December 5, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |



පාසලෙන් සමුගෙන මාස කිහිපයක් ගතවෙද්දි සඳුන්ගේ ආදරයට නතුව මා සැහැල්ලුවෙන් කල් ගෙව්වෙමි. විභාග ප්‍රතිඵල නිකුත් වූ බවට ආරංචියක් ලැබුනේ ඒ අතරේය.

“නංගි ඔයාගෙ විභාග අංකෙ දීලා ඉන්ටර්නෙට් එකෙන් ප්‍රතිඵල බලමු..”

ප්‍රවෘත්ති ඇසූ සැනින් මටත් වඩා ඉක්මන් වූයේ අක්කාය. නමුත් මා සන්සුන්ව පාසල් ඇඳුමින් සැරසුණෙමි.


“මං ඉස්කෝලෙ ගිහින් බලන්නම්..”

“මාත් එන්නං.. යමු..”

ඈ දඩිබිඩියේ හැඳ පැළඳ ගත්තාය. අම්මාටත් අප්පච්චීටත් දණ ගසා වැඳ මම අක්කා සමඟ මිදුලට බැස්සෙමි.

“ඔයා හොඳටම පාස් වෙලා කියල මම දන්නව සුදූ.. ඒත් ප්‍රතිඵල බලනකන් මට ඉවසුමක් නෑ..”

මග දිගට කීප වතාවක්ම අක්කා එවදන් පැවසුවාය. මම කිසිත් නොකියා බාලිකාවේ විසල් පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූයෙමි. මා මිතුරියන් වූ නයෝමි, ගිම්හානි හා චතුරිකා පැමිණ මා වටකර ග්තතාය.

“අපේ සුභපැතුම් තරූ.. අන්න ප්‍රින්සිපල් මැඩම් උඹට එන්න කිව්වා..”

ඔවුන් සුභ පැතුවාට මා තවම ප්‍රතිඵල දැන උන්නේ නැත.

“මං පාස් වෙලාද චතූ..?”

චතුරිකාගේ දෑතින් අල්ලා මා අසද්දී ඔවුන් පුදුම වී මදෙස බැලීය.

“පාස් වෙලාද..? ඇයි උඹ තාම රිසාල්ට් එක දන්නැද්ද..?”

“නෑ..”

“එහෙනං අපි කියන එක හරි නෑනෙ.. උඹම ගිහින් බලපං.. අන්න නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනව..”

මම ඔවුන් අතෑර එදෙසට පියමන් කළෙමි. ප්‍රතිඵල බැලීමට පැමිණි බාලිකාවියන් බොහෝමයක් අතරින් මම විභාග අංකය සොයා ගතිමි. මධ්‍යම පළාතේ ප්‍රථමයා ලෙසත් ලංකාවෙන්ම පස්වෙනියා ලෙසත් මා උසස් පෙළ විභාගය සමත්ව ඇත. දෑසට කඳුළු නැගෙද්දී මම අක්කා ළඟට දිව ගියෙමි. ඒ වන විටත් මිතුරියන්ගෙන් මාගේ ප්‍රතිඵලය දැන උන් ඈ මා වැළඳ ගත්තාය. පාසල් මිතුරියන් බොහෝමයක් මා වටකර සුභ පැතුවාය.

“ගිහින් මැඩම්ව හම්බවෙලා වරෙන් තරූ.. පස්සෙ කතාකරන්න බැරියෑ..”

ඔවුන් මා පිරිසෙන් මුදවා කාර්යාලයට යැව්වාය. මා දුටු විදුහල්පතිතුමිය සිනා පිරි මුහුණින් නැගී සිටිද්දී මම ඇයට දණ බිම ගසා වැන්දෙමි.

“බුදු සරණයි පුතේ.. නැගිටින්න.. ඔයා අපේ ඉස්කෝලෙ විතරක් නෙමෙයි, මුළු පළාතටම ආඩම්බරයක්..”

ඈ මගේ අත මුදා නොහැරම පැවසුවාය. සිතේ සතුට වැඩිකමටම කතා කිරීමට වදන් මුවග නැගුණේ නැත.

“ඉගෙනීමයි, ගුණයහපත්කමයි, ලස්සනයි එක් කෙනෙකුට පිහිටන්නෙ ඉතාම කළාතුරකින්.. ඒ අතින් ඔයා වාසනාවන්තයි..”

කාර්‍යාලයේ දොර අසල උන් අක්කාවද ඇය ඇතුළට කැඳෙව්වාය. මීට වසර හයකට පෙර මේ විදුහල්පතිනිය යටතේම පාසලෙන් සමුගත් අක්කාද විදුහල්පතිතුමියට වැඳ පසෙකට විය.

“ඔන්න නංගියා මුළු පළාතෙම වාර්ථාවක් තියල.. පේරාදෙණිය කැම්පස් එකටම බය නැතුව යන්න පුළුවන්..”

මටත් වඩා සතුටින් එය අසා සිටි අක්කා මගේ අත තදින් මිරිකා ගත්තාය. මට වැඩිපුරම අවශ්‍යව තිබුණේ එතනින් මිදී නිවසට දුව ගොස් අම්මාටත්, අප්පච්චීටත් මේ ආරංචිය ලබා දීමටය. මෙය අසා සඳුන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද..? විදුහල්පතිතුමියගෙන් සමුගෙන පිටතට පැමිණි සැනින් මා අක්කාගේ අතින් ඇදගෙන පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණියෙමි. අක්කා වහා අත දමා ත්‍රීවිලයක් නතර කර ගත්තාය. අතරමගදී බැසගත් ඇය නැවත ත්‍රීවිලයට ගොඩවූයේ විශාල චොක්ලට් එකක් හා බිස්කට් පැකට් කීපයක් රැගෙනය.

අප දෙදෙනා නිවසට යද්දී අම්මාත්, අප්පච්චීත් මිදුලේ බලා උන්හ. මම දෑසට නැගුණු කඳුළු තදකරගෙන ඔවුනට වැඳ වැටෙද්දී අක්කා මුදල් ගෙවා ත්‍රීවිලය පිට කර හැරියාය.

“කොහොමද පුතේ ප්‍රතිඵල..? මගේ පුතා පාස් නේද..?”

මා තුරුළට ගත් අප්පච්චී ආදරයෙන් අසද්දී මම ඔව් කියා හිස සැලුවෙමි.

“නිකම්ම පාස් නෙමෙයි අප්පච්චී.. සුදූට ඒ හතරක්.. මධ්‍යම පළාතෙන්ම පළවෙනියා.. මුළු ලංකාවෙන්ම අපේ සුදූ පස්වෙනියා..”

කිසිදා කිසිම ප්‍රශ්නයක් කරදරයක් හමුවේ කඳුළක් හෝ නොසලන අප්පච්චීගේ දෙනෙතින් කඳුළු වැල් වැටෙද්දී හඬමින් පැමිණි අම්මාද අනෙක් පසින් මා තුරුළු කර ගත්තාය.

ඉතින් එදින සන්ධ්‍යාවේ අප නිවසේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කල අප්පච්චී වත්තේ වැඩකරන සියළු දෙනාටම ඒ සඳහා ආරාධනා කළේය. සඳුන්, සාගර අයියා හා රේණු අක්කාද අනාරාධිතවම ඊට සහභාගී වූයේ මට සුභපැතීමට පැමිණ සිටි නිසාවෙනි. සඳුන් හා සාගර අයියා අප තිදෙනා මිදුලේ පුටු තබා සතුටු සාමිචියේ යෙදී සිටියෙමු. ඒ සියළු දෙනාම ඊර්ෂ්‍යාවෙන් තොරව අවංකවම මා පිළිබඳව සතුටු වූ වග මම දනිමි. මා සඳුන් සමග සම්බන්ධ වීම ගැන රේණු අක්කා අපේ අක්කා තරමටම සතුටු විය.

“සුදූ.. මෙහෙම කේක් කෑල්ලක් දීලා ෂේප් වෙන්න බෑ.. අපිට හොඳ පාටියක් ඕන..”

රේණු අක්කා හැමෝගෙම මුහුණු බලා සිය ඉල්ලීම ප්‍රකාශයට පත්කලාය.

“ඒක හරි වැඩක්නෙ.. මම මෙච්චර අමාරුවෙන් පාඩම් කරල පාස් උනාට ඔයාලා එපැයි මට පාටියක් දෙන්න..”

“ඔන්න නංගි උමට හොඳම තෑග්ග දීල තියෙන්නෙ මං.. මගෙන් වෙන මුකුත් ඉල්ලන්නෙපා..”

සාගර අයියා පවසද්දී අක්කා පුදුම වූ මුහුණින් කතාව මැදට පැන්නාය.

“ඔයා මොකක්ද අපේ සුදූට දීපු ඔය තරම් වටින තෑග්ග..?”

“ඇයි මං සුදූට මනාලයෙක් ගෙදරටම ගෙනත් දුන්නෙ.. ඒ මදිද..?”

සඳුන් සිනාසුන දෙනෙතින් මදෙස බැලුවේය. එදා මෙන් අදත් මා ඒ සිනාව දෙස වශීකෘතව බලා උනිමි.

මගේ ප්‍රතිඵල අගය කිරීම සඳහා පාසලෙන් විශේෂ උත්සවයක් සූදානම් කර මට පණිවුඩයක් එවා තිබිණි. නැවත වරක් පාසල් මිතුරියන් මුණ ගැසෙන සතුටට මම ඉතා කැමැත්තෙන් ඊට සූදානම් වුණෙමි. මා සමඟ පැමිණිමට බලෙන්ම සූදානම් වූ අක්කාවත් නිවසේ දමා මා තනියම පැමිණියේ ආදරණිය විදුහල් බිමේ හෝරා කිහිපයක් නිදහසේ ගත කිරීමට අවැසි වූ හන්දාමය.

කැරලි ගැසුණු කෙටි කොණ්ඩ කරල් දෙක පද්දමින් පාසල් බෑගයක් කරලාගෙන ගුරු පාර දිගේ දිව ගිය මා මහ පාරට ගොඩවෙද්දී උස් ට්‍රේල් බයිසිකලය මත හිඳ සඳුන් මග බලා උන්නේය. අවේලාවේ මුණ ගැසුණු පුදුමයත් සතුටත් මිශ්‍ර වූ හැඟුමින් මා කැළඹී ගියේය. මම උන් තැනම නතරව බලා හිඳිද්දී සඳුන් බයිසිකලයෙන් බැස ආවේය.

“මොකද මේ හොල්මනක් දැකල වගේ බයවෙලා..?”

“ඔයා කවුරු එනකල්ද මෙතන ඉන්නෙ..?”

මම ඒ මුහුණට එබී ඇසුවෙමි. ඔහු සොඳුරු සිනාවක් පා මා අත අල්ලා ගත්තාය.

“වෙන කවුරු එනකල්ද ඉතිං.. මගේ කහ කිරිල්ලි එනකං මිසක්..”

“මම දැන් මෙතනට එනව කියල අයියා කොහොමද දන්නෙ..?”

පාසලෙන් එන්න කී වග ඔහුට මා නොකියා උන් නිසා මේ පැමිණිම සැබෑවටම පුදුමයකි.

“ඔයා ඉතිං මට මුකුත් කියන්නෑනෙ.. මට අමා අක්කා කෝල් කරල කිව්ව ඔයා තනියම ඉස්කෝලෙ යන්න හදනව, ගිහින් ඇරලවන්න කියල.. ඒකයි මං ආවෙ..”

මගේ ආදරණිය අක්කා පිළිබඳව අළුත්ම ලෙංගතුකමක් සිතේ කොණක ඉපදෙද්දී සඳුන් ට්‍රේල් බයිසිකලය පණ ගන්වා මා ළඟට රැගෙන ආවේය.

“ආ.. මේ හෙල්මට් එක දාගන්න.. මං ඉස්කෝලෙ ළඟින් බස්සන්නං..”

කළු පැහැ හෙල්මට් එක අතට දී ඔහු කීවද කිසිදා කොල්ලෙක් සමග මෙසේ ගමන් කර නොමැති මා සිත ඊට එඩිතර වූයේ නැත. අනික මේ යන්නේ බාලිකාවටය. ඉතිං ඔහු සමග ගොස් එතනින් බසින්නට තරම් මට දිරියක් නොවුණි.

“ඇයි මං එක්ක යන්න බයද..? ඔයාගෙ තාත්තා තරමටම මාව විශ්වාස කරන්න නංගි.. මගෙන් කවදාවත් ඔයාට වැරැද්දක් වෙන්නැ..”

එසේ කී ඔහුම හෙල්මටය මට පැළඳුවේය. මම නිහඬවම බයිසිකලයේ අසුන්ගෙන බෑගය තුරුල් කරගතිමි.

“ඕක අල්ලගෙන හරියන්නෑ ළමයො.. වැටෙන්නෙ නැතුව යන්න ඕනෙනං මාව අල්ලගන්න..”

ඔහු සිනාසී කියද්දී බයිසිකල් ගමනට ආධුනිකයෙක් වූ මා ඒ උරහිස තද කොට අල්වා ගිතිමි. බාලිකාවේ පිවිසුම් දොරට මදක් ඔබ්බෙන් බයිසිකලයෙන් බැස ගත් මා සඳුන්ට යන්න කීවෙමි.

“කමක් නෑ.. මං ඔයා එනකල් මෙතන ඉන්නං..”

“අනේ අයියා.. මං පරක්කු වෙයි.. වෙලාවක් කියන්න බෑ.. ඒ නිසා ඔයා යන්න.. ප්ලීස්.....”

“හරි.. හරි.. ඔයා ඇතුළට ගියාම මං යන්නං..”

සඳුන්ගෙන් මට ලැබුණු ආදරය වෙලාවකට දරා ගැනීමට අසීරු තරම් විය. ඔහු ඒ තරමටම මට ආදරය කළේය. මා පිළිබඳ සොයා බැලුවේය. ගේට්ටුව ළඟටම ගොස් ආපසු හැරී බලද්දීත් සඳුන් හිස ඇලකර ගෙන ඇස පිය නොහෙලා බලා උන්නේය.

“පුහ්...... පිස්සු හැදෙනව තරූ.. කවුද බං ඒ ෆිල්ම් ස්ටාර්..?”

මගේ අතක වෙළුනු නයෝමි දෑස් නටවා ඇසුවේ සඳුන් ගැනය.

“මොන..?”

“ඇයි බං.. දැන් උඹට දඬු මොණර යන්තරෙන් ගෙනත් ඇරලුවෙ.. අන්න ඌ..”

ඈ එය ඇසූ තාලයට මට සිනා නැගුණි. ඉස්සර දවස් වලද පිරිමි පුළුටත් නෝ නොවූ බාලිකාවට පැමිණෙන ලියුම් කාරයා දෙසද ඕනෑකමින් බැලීමට කෙල්ලන් පුරුදුව සිටියහ. තවම ඒ පුරුදු මැකී නැතුවා සේය.

“ඒ සඳුන් අයියා..”

මම වැඩි ගණන් නොගෙන ඕනවට එපාවට කීවෙමි.

“ම්...... සඳුන් සුවඳක් නම් ආවා තමයි..”

ඈ මගේ අතේ එල්ලී කියවමින් ක්‍රීඩා පිටිය දෙසට ගියාය. පාසල වටේම සරසමින් ජාතික කොඩිය හා පාසල් කොඩිය සූදානම් කර විශාල උත්සවයකට ඔවුන් සැරසී උන්හ. සැමදා ප්‍රධාන රැස්වීම පවත්වන කොන්ක්‍රීට් වේදිකාවේ පිටුපස දැවැන්ත බැනරයක මගේ ඡායාරූපයක් සමග විභාග ප්‍රතිඵල සඳහන් කර විද්‍යාලීය සුභපැතුම් පිරිනමා තිබිනි. සිතට දැනුණු සතුට මෙතෙකයි කිව නොහැක.

“කොහෙන්ද නයෝමි අර ෆොටෝ එක..?”

“ගිය පාර ඇනුවල් ට්‍රිප් එකේදි ගත්තු ෆොටෝ එකක් අමාරා මිස් ගාව තිබිලා.. ඒක තමා ඔය..”

“මම දන්නෙත් නෑ...”

“ඇයි උඹ මේන් ගේට් එක ළඟ දාලා තිබුණ බැනර් එක දැක්කෙ නැද්ද..?”

“එතනත් තිබුණද..? මං දැක්කෙ නෑ..”

“ඔව් ඉතිං.. දැහැනකට සම වැදිල වගේනෙ ආවෙ.. මෙලෝ සිහියක් තිබුණයැ..”

අපේ කතාවට බාධා කරමින් ප්‍රාථමිකයේ පුංචි නංගිලා පිරිසක් පැමිණ මා වටකර ගත්හ. එදා ගුරුවරුන් මග හැර වේලාසන ගෙදර දුව ගිය බැවින් අද මට සියළුම ගුරුවරුන් සමඟ කතාබහ කරන්නට සිදුවිය. ප්‍රධාන රැස්වීම මා අරමුනු කරගෙනම සූදානම් කළ එකක් බව පැවසූ විදුහල්පතිතුමිය ඉතා වටිනා සමරු තිළිණයක් හා මුදල් සහිත ලියුම් කවරයක් මා අත තැබීය. වේදිකාවට පැමිණි ශීෂ්‍ය නායිකාවන් බාලිකාවේ සිසුවියන් ස්ව කැමැත්තෙන් ඉඳිරිපත් වී බලබා දුන් බව පවසමින් තෑගි බෝග රාශියක් තිළිණ කළාය. මගේ පන්තියේ උන් යෙහෙළියන්ද මල් පොකුරු හා පොත් පත් ආදිය දී මට සුභ පැතූහ.

අවසානයේ අනෙක් සිසුවියන්ට ස්තුති කිරීමට මා ඔවුන් දිරිමත් කිරීමට වචන ස්වල්පයක් කතා කරන්නට සිදුවිය.

කැපවීමෙන් පාඩම් කළා මිස පළාතේ පළවෙනියා වීමටවත් විදුහලෙන් මෙතරම් අගය කිරීමක් ලැබීමටවත් මට අවැසි වූයේ නැත. නමුත් කුමක්දෝ පෙර පිනකට ඒ සියල්ල නිතරඟයෙන්ම මා කරා පැමිණියේය.

පැය දෙක තුනක අවෑමෙන් තෑගි බෝග කර පින්නාගත් යෙහෙලියන් පෙරටු කොට ගෙන පාසල් බිමෙන් එළියට අඩිය තබද්දී සඳුන් මා බැස්සූ තැනම බයිසිකලය මත හිඳ අප එන මඟ බලා උන්නේය. ඔහුව හඳුනාගත් නයෝමිගේ මුවින් විසිල් හඩක් පිටවිය.

“අන්න උඹේ සඳුන් එතනම මුල් ඇඳලද කොහෙද එතනම පැලවෙලා.. ගිහින් බලපං..”

මල් පොකුරු කිහිපයක් දෝතට තුරුලු කරගෙන මම ඔහු උන් ඉසව්වට ගියෙමි. ඒ නෙතු මත වූයේ මහා ආඩම්බරකාර අමුතු පෙනුමකි.

“අයිය ගිහින් දැන්ද ආවෙ..?”

“මම ගියේ නෑ බබා.. මේ තරම් වටින වස්තුවක් දාලා යන්න පුළුවන්ද..?”

“ඇයි එහෙම කියන්නෙ..?”

“අර බැනර් එක දැක්කම දාලා යන්න බය හිතුනා..”

පාසල් ගේට්ටුවට ඔබ්බෙන් වූ මගේ රුව සහිත බැනරය හිසින් පෙන්වා ඔහු කීවේය.

“ඔයාට ගමකට තෑගි හම්බවෙලානේ.. මගේ දුප්පත් බයිසිකලේට නං ඕවට ඉඩ මදි.. මං ලොරියක් හයර් කරන්නද..?”

ඔහු දඟකාර විලාසයෙන් කියද්දී මිතුරියන් පිරිස අප ළඟට පැමිණ බලා උන්හ.

“ඔයා යාලුවො ටික එක්ක ත්‍රී විල් එකක යන්න නංගි.. මං බයික් එකේ පිටිපස්සෙන් එන්නං..”

“නෑ තරූ උඹ අයියත් එක්ක බයිසිකලේ පලයං.. අපි මේ ටික දාගෙන ත්‍රීවිල් එකේ එන්නං..”

අවසානයේ ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ මතයයි. ඉගෙනීම අවසන් කරන තෙක් පෙම්වතියක් නොවෙමියි මිතුරියන්ට සපථ කර උන් මා විභාගය අවසන්ව ප්‍රතිඵල එන විටම සඳුන්ගේ පෙම්වතිය වී ඔවුන් අභියසට පැමිණ උනිමි. ඒත් කිසිවෙකු ඒ  පිළිබඳව විශේෂයෙන් ඇසුවේවත් මා සඳුන් ගැන ඔවුනට කීවේවත් නැත.

මිතුරියන් පිරිස මගදී බැසගත් පසු මම තනිවම ත්‍රීවිලයට නැග නිවසට ගියෙමි. අම්මාත් අක්කාත් පැමිණ තෑගි බෝග පිටතට ගැනීමට මට උදව් විය. ඒ අතරතුර මා වරින් වර ගුරු පාර දෙස බැලුවේ සඳුන් නිවසට පැමිණේවිදැයි දැන ගැනීමටය.

“අද සුදූගෙ නැන්දම්මල ඇවිත් ගියා..”

අම්මා එහා මෙහා වෙන තෙක් බලා සිටි අක්කා මගේ කණට කර කීවේය. තෑගි බෝග කෙරෙහි වූ උනන්දුව හීන වී ඒ ආරංචිය සවිස්තරව දැන ගැනීමේ ආශාවකින් මසිත නොසන්සුන් විය.

තෑගි බෝග, මල් පොකුරු, ලියුම් කවර, සියල්ල මේසය මත තිබියදී මම පඩිපෙළ නැගීමට හැරුනි.

“පුතේ ඔයාට මහන්සි නැත්තං ඩිංගකට එන්නකො..”

අප්පච්චීගේ දයාබර හඬට මාගේ දෙපා නතර විය. මම හෙමින් සීරුවේ ගොස් ඔහු ළඟ වූ පුංචි පුටුවේ ඇන්ද අල්ලා ගතිමි.

“මගේ පුතාට ඉස්කෝලෙන් ගොඩක් තෑගි හම්බවෙලා නේද..? ඉතිං පුතාට මගෙන් මොනවද ඕනි..?”

ඇඟට ලේ පොදක් උනා ආවේ දැන්ය. මා සිතා උන්නේ අප්පච්චී සඳුන් ගැන අසන්නට යනවා කියාය. ඉතින් පාසලේ වූ සිදුවීම් සියල්ල මම ඔහුට නොවලහා කීවෙමි. එසේ වුවද මා පාසලට ගියේ සඳුන් සමඟ බව නොකියන්නට මම ප්‍රවේශම් විය. නමුත් ඒ බව දැන උන් අක්කා හොර බැල්මක් හෙලා මදෙස බැලීය.

“පුතා දන්නවද අද උදේ සාගර පුතාගෙ නැන්දයි, මාමයි මෙහෙ ආවා.. අර සඳුන් ළමයගෙ දෙමාපියො..”

වටෙන් ගොඩෙන් පැමිණි අප්පච්චී කතා කළ යුතු නියම මාතෘකාවට පිවිසියේ දැන්ය. මම අසරණ විලාසයෙන් අම්මාත් අක්කාත් දෙස බැලිමි.

“ආපු කාරණේ සමහර විට මගේ පුතා දන්නවත් ඇති. ඒ උදවිය පුතාට යෝජනාවක් ගෙනාවා. සඳුන් පුතා ගැන..”

සඳුන් උදෑසන මා හමුවුවද නිකමටවත් ඒ පිළිබඳව පැවසුවේ නැත. මසිතට සියුම් අමනාපයක් නැගුණි.

“සුදූ ඒ යෝජනාවට කැමතිද..?”

අම්මා මගේ අතකිනුත් අල්ලා අසද්දී පිළිතුරු දිව අග තබාගෙන මම ලත වුනෙමි. අක්කාට මංගල යෝජනාව ගෙනාවේද මෙම වසරේමය. ඉතිං ඇයට වඩා වසර හයකින් බාල මමද සඳුන්ට කැමති බව හා දැනටමත් ඔහුට ආදරේ කරන බව කෙසේ නම් කියන්නද..?

“අම්මල මොනවද ඉතිං කිව්වෙ..?”

මම අදහස් ප්‍රකාශ කිරීම මගහැර කිසිත් නොදන්නා විලසින් ඇසුවෙමි.

“අපි කවදාවත් පුතාලට සම්බන්ධකම් පවත්වන්න එපා කියලවත් අපි කියන දේට කැමති වෙන්න කියලවත් නෑනෙ.. ඉතිං අපි කිව්වා ළමයි දෙන්නට දෙන්නා කැමති නං අපේ අකමැත්තක් නෑ කියල..”

“ඒ දරුව කොහොමටත් හරි තැන්පත් පාටයි හාමිනේ.. දැක්ක දවසෙම මගේ හිතට ඇල්ලුවා..”

අප්පච්චීගේ ගැඹුරු හඬ මා සිත අප්‍රමාණ සතුටක් එක් කලේය. දුටුව පළමු දිනම ඔහු ඒ නිල් නුවන් යුග තුල මාව සිරකර තබා ගත් අයුරු මටද අමතක නැත.

“පුතා කැමතිනං ටික කාලයක් ආශ්‍රය කරල බලන්න.. ඔයාට අක්ක වගේ ඉක්මනට බඳින්න ඕනෙ නෑනෙ.. තාම දහ නවයයිනෙ..”

අතීතයේ උන් දඟකාර තරුෂි මා ගත තුළ සිටි නැවත පණ ලබා ඇති සෙයක් දැනුණි. කෑ ගසා නටන්නට, ගේ වටා රවුමක් දුවන්නට ඇති වූ ආශාව මා මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. මගේ දෙනෙතේ නලියන සතුටු සේයාව දැක අක්කා මටත් වඩා සතුටට පත්ව උන්නාය.

පළාතේ පළමුවෙනියා වීම දෙවෙනි තැනට වැටී රටක් රාජ්‍යයක් ලැබුණා වැනි සතුටකින් මම උද්දාමයට පත් වූයෙමි. වෙන යුවතියන්ට මුහුණ පෑමට සිදුවන බාහිර කරදර දෙමව්පිය අකමැතිකම් කිසිවක්ම නොමැතිව ජීවිතය දෙපා මුලටම පැමිණ තිබිණි.

ඉතින් සවස් වරුවේ මා කවදාවත් නැතුව තනිවම රේණු අක්කලගේ නිවස දෙසට පිය මැන්නෙමි. මා සඳුන්ට ළංකරවීමට වඩාත් උත්සහ කලේ ඇයයි. සියළු කටයුතු සාර්ථක වූ කල ඇයට දැනුම් දීම යුතුකමක් වශයෙන් මම සැලකුවෙමි.

“සුදූ අහල තියෙනවද ජීවිතේ ගළන ගඟක් වගේ කියනව.. කරදර බාධක හැමදේම පහුකරන් ගලාගෙන යද්දිලු ගඟ තවත් සුන්දර වෙන්නෙ.. ඒත් මට හිතෙන්නෙ සුදූගෙ ජීවිතේ නිශ්චල විලක් වගේ කියල. සුදූ උපන් දා ඉඳලා අප්පච්චී දියුණු උනාලු.. ඔයාට හොඳට ඉගෙනීම පිහිටල තියෙනවා.. ලස්සන රූපයක් උරුම වෙලා තියෙනව.. කිසිම වදයක් නැතුව ලස්සන කොල්ලෙක් දෙයියො ගෙදරටම ගෙනත් දීලා තියෙනව..”

“ඉතිං රේණු අක්කා කියන්නෙ මගේ ජීවිතේට කරදර නැති නිසා ඒක සුන්දර නෑ කියලද..?”

“නෑ සුදූ.. ඒකයි මං කිව්වෙ ඔයාගෙ ජීවිතේ විලක් වගේ කියල.. ගල්පර ගිරි දුර්ග පහු කරන් නොගියට විලක් කොයිතරම් සුන්දරද..? කොච්චර ලස්සන මල් පිපෙනවද..? ඒ අතින් ඔයා හරිම වාසනාවන්තියක්..”

“අනේ අපේ සුදු මැණිකෙලට හීනෙකින්වත් දුකක් කරදරයක් වෙන්න නරකයි..”

නිවස තුළ හිඳ අපේ කතාවට කන් දුන් රේණු අක්කාගේ අම්මා එළියට ආවේ එසේ කියාගෙනමය..

“සුදු මැණිකෙලට තියන වාසනාව අපේ එවුන්ට නෑ.. බලන්නකො.. අවුරුදු විසිහයක් වෙලා තාම ගෙදරට නාකි වෙනව..”

“ඉතිං නැන්දෙ මේ අක්කත් අපේ අක්කගෙ වයසෙමනේ..”

“ඒ මංගල්ලෙ දැන් තීන්දු වෙලා අහවරයිනේ දරුවො.. කෝ මෙයා කිසි දේකට කැමති වෙන්නෑනෙ..”

අම්මා සමග තනිව වසන රේණු අක්කාට ආර්ථික අගහිඟකම් බොහෝ ඇති බව මමද දනිමි. නමුත් ඒ කිසිවක් මහා බරක් ලෙස නොතකා ඈ සැහැල්ලුවෙන් දිවි ගෙවයි. බොහෝ වේලාවක් ඔවුන් සමඟ කතාබහ කොට මා නිවසට පැමිණියේ සැදෑ අඳුරත් රැගෙනමය.


No comments:

Post a Comment