Thursday, November 15, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


ඉරිදා උදෑසන මා නැගිට බලද්දී අක්කා කාමරයේ නොවූවාය. ඇඳෙන් බසින්නට යද්දී මගේ කහ දුඹුරු මිශ්‍ර සල්වාර් ඇඳුම පිළිවෙලට මැද ඇඳේ කොණක දමා තිබෙනු දැක මා පුදුම විය. මා අඳින්නේ කුමක්දැයි අක්කා මගෙන් ඇසුවේ නැත. නමුදු ඊයේ නින්දට යන විට මා සිතින් තෝරා ගත් ඇඳුමම ඇය මැද දමා තිබෙන අපූරුව..

“ඔයා නැගිට්ටද සුදූ.... පරක්කු වෙයි කියලා මං ඔයාට ඇඳුමක් මැදලා තිබ්බා.. මේක හොඳයිද..?


මා සිත විනිවිද දුටුවා සේ ඇයද එම ඇඳුමම තෝරා ඇති කල ඊට හොඳක් පමණක් කීම නොසෑහේ. ඉතිං මා සිනාසුනා පමණි.

“මේක එපා නං වෙන එකක් තෝරලා දෙන්න.. මං මැඳලා දෙන්නං..

මගෙන් පිළිතුරක් නොවූ කල ඈ නැවත කීවාය.

“මං තෝරපු එක අල්මාරියෙ නෑ..

එය නොවැටහුණ අක්කා පුදුම වී බැලුවාය.

“එහෙනං..

“ඒක දැන් තියෙන්නෙ ඇඳ උඩ..

අක්කා සතුටු සිතින් බලා හිදිද්දී මා තුවාය රැගෙන පඩිපෙල බැස්සාය. කුස්සිය දෙසින් මිහිරි සුවඳක් වහනය වන්නට විය.

“සුදු බේබි එන්න කැවුමක් කන්න..

ගුණවතී නැන්දා රන්වන් පැහැයට බැඳ තිබූ කවුම් වට්ටිය මදෙසට පෑවාය.

“දැන්ම කෑවට කමක් නැද්ද..?

“මොකෝ නරක..? මේක දානයක් යැ. සුදු බේබි හිතේ හැටියට කන්න.. ඕං කිරිබතුත් තියෙනව..

මම තුවාය කරේ දමා කැවුමක් ගෙන එහි හැඩ බැලුවෙමි. ගුණවතී නැන්දා එහි කොණ්ඩය අපූරුවට වඩවා තිබුනාය.

“මොකෝ පුතේ කැවුමේ ලස්සන බලනවද..? විගහට කාලා ලෑස්ති වෙන්න..

ජාතික ඇඳුමින් සැරසී ගත් අප්පච්චී මහිස අතගා ආදරයෙන් කීය.

“මං ඇඟ සෝදලා ඇවිත් කන්නං..

කවුම නැවත වට්ටියට දමා මම නාන කාමරයට රිංගා ගතිමි.

උදෑසනම රේණු අක්කාත් සමඟ පැමිණ කැවිලි පෙවිලි සූදානම් කිරීමට ඈ උදව් දුන්නාය.

“නැන්දට මං ඔසරිය අඳින්න උදව් කරන්නං..

අම්මා ළඟට ගිය ඈ අසද්දී අම්මගේ මුවගට සිනා නැගිනි.

“හැමදාම අඳින ඕකෙ මොන විශේෂයක්ද දරුවො.. පුළුවන්නං සුදූට අදින්න උදව් කරන්න..

මා තුවාය ගත දවටා කිරිබත් කද්දී අම්මා රේණු අක්කාට මා බර කළාය.

“සුදූට නං අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ නැන්දෙ. මේකි මොකක් ඇන්ඳත් ලස්සනයි..

අක්කා සමග කාමරයට යන අතරේ ඈ මගේ තුවායෙන් ඇද කීවාය. එය ගිලිහී වැටෙන්නට යද්දී මසිතට තරහ නැගුණි.

කහ පැහැ සල්වාරියෙන් සැරසුණු මා හැඩකාර කොණ්ඩය සැකසීමට රේණු අක්කා ඉදිරිපත් විය. ඈ මගේ කැරලි කොණ්ඩය අඩක් පමණ අල්ලා ලස්සන කොණ්ඩ කටුවක්ද ගසා මදක් පසු පසට ගොස් බැලුවාය.

“මට නං ඉරිසියාවෙ බෑ බං.. බලපංකො මේකිගෙ හැඩ..

මම ඇවට දිව ඇද කර කාමරයෙන් පිට විමි. අප්පච්චී ඔරලෝසුව දෙස බලමින් දොර ළඟට වී උන්නේය.

“හාමිනේ.. කැවිලි පෙවිලි ටික ලෑස්ති නං පිටත් වෙමු. මල්ලිලා හන්දියට ඇවිල්ලත් ඇති..

අප්පච්චී ඒ මතක් කලේ පොඩි මාමලාය. ඔවුන් අපත් සමඟ යාමට වෑන් රියකින් මගට එන බව කීය. අක්කටත් රේණු අක්කටත් සමු දී අපි ගුණවතී නැන්දා සමග වෑන් රියට නැගුණෙමු.

“පුතාලා දෙන්නා පරිස්සමින් ඉන්න.. මං වත්තෙ සිරිදාසලටත් කිව්වා මේ පැත්ත බලන්න කියලා..

ජනේලයෙන් හිස දැමූ අප්පච්චී අක්කලා දෙස බලා කීවේය. අක්කා ඇස් පුංචි කර අමුතුම හැඟීමකින් මදෙස බලා උන්නාය. මම ඈට අත වනා සමු දුනිමි.

අප පොඩි මාමලා සමඟ සාගර අයියලාගේ නිවසට යද්දී ඔවුන් අප එන පෙරමග බලා උන්හ. නමුත් මා සෙවූ ඇස් ඒ අතර නොවූ වග දැක සිතට සියුම් දුකක් දැනෙන්නට විය. ආදරණියව අප පිළිගත් සාගර අයියගෙ අම්මා මා කර වට අත යවා තුරුළු කරගත්තාය.

“ඇස්වහක් කටවහක් නෑ නංගියෙ හරිම සිරියාවයි...

ඈ මහිස අත ගා එය කීවේ අපේ අම්මාටය. මම නිහඬවම ඈ පසුපස ඇදුනෙමි. රේණු අක්කා කී දේපල කතාව සිහි වී මම නිකමට ඒ නිවස සිසාරා නෙත් යවද්දී සිතට සැනසීමක් දැනුණි. අපේ නිවස තරම්ම ලොකු නැතුවාට එය මනරම් බිම් කඩක පිහිටි සොඳුරු නිවසකි.

සාලයේ අසුන්ගත් සැනින් කිසිවෙකු මගේ උරයේ රැදුණු ෂෝල් එකෙන් ඇද්දේය. පසුපස හැරී බලද්දී මා ළඟ සිනා සිසී උන්නේ සාගර අයියාය.

“මං නං හිතුවා එන එකක් නෑ කියලා.. එදා ඉතිං ගණං ඉස්සුවනේ..

“දැන් ඉතිං ආවනේ..

මම අසන්නට වූයේ එය නොවේ. සඳුන්..... මසිත ඔහුව සොයමින් උන්නේය.

“අක්කා ගෙදර තනියමද නංගි..?

සාගර අයියා නැවත ඇසුවේය. ඔහු කවදා හෝ අක්කාට හොඳ සැමියෙකු වනු ඇතැයි මට සිතුණි. මේ සොයා බැලීම හැමදාම ඇත්නම් මගේ අක්කා වාසනාවන්ත නොවන්නේද..? මගේ මුවගට හසරැල්ලක් නැගුණි.

“දෙයක් අහපුවම උත්තර නොදී තනියම හිනාවෙනව...

ඔහු එවර අමනාපයෙන් කීවේය.

“අක්කා රේණු අක්කත් එක්ක ඉන්නවා..

“මේ දෝණි කවුද පුතේ..?

ප්‍රතාපවත් පෙනුමැති වයස්ගත පුද්ගලයෙකු සාගර අයියාගෙන් ඇසුවේ මා ගැනය.

“මේ ඉන්නෙ සීයෙ මගේ නෑනා..

“හොඳා.. හොඳා.. නෑනලා මස්සිනාලා උනාම සමගියෙන් ඉන්නෝනෙ..

ඔහු කරුණාබර සිනාවක් පා මදෙසට එද්දී මම නැගිට ඔහුට වැන්දෙමි. සාගර අයියා ඇස් අමුතු කර බලා උන්නේය.

“මගේ දෝණිට රත්නත්තරේ සරණයි..

ඒ අවංක ආශිර්වාදය මගේ හිත පතුලේ තැන්පත් විය. දෙපිරිසේම නෑදෑයන් තැන් තැන් වල කතා බහේ නිරතව උන්හ. මෙතරම් පිරිසක් අතරේ වුව සිතට දැනුනේ මහා තනිකමකි. පිරිස මඟ හැරී මා මිදුලේ මල් වගාව අතරේ ඇවිද ගියෙමි. සොඳුරුව වවා තිබූ ඒ මල් පැල හොඳින් සාත්තු කර ක්‍රමාණුකූලව නඩත්තු කර තිබිණි.

මහා හඬින් රේස් කර පැමිණි ට්‍රේල් බයිසිකලයක් මිදුලේ නතර විය. මා එදෙස හරීවත් නොබැලිමි. නමුත් මහා හුරු පුරුදු ආත්මීය සුවඳක් මා සිතට දැනුණේය.

“ඇයි බබා මේ තනියම..?

මා සිතිවිලි දැහැන බිඳී ගියේය. මම වහා ඇස් එසවිමි. සඳුන්.... ඔහු සුපුරුදු අහිංසක බැල්මෙන් මදෙස බලා උන්නාය. මමද විනාඩි ගණනක් ඒ දෑසේ සිරවී ගතිමි.

“මං හිතුවා ඔයා ගෙදර නවතී කියලා.. සාගර ඔයා ආවා කිවලා කිව්ව නිසා මේ දුවගෙන ආවෙ..

මගේ ඇස් වලටම එබී ඔහු කීවේය. ඒ සංවේදී බව ඒ හැඟීම්බර බව මසිතට දරාගත නොහැකි තරම් විය.

“උඹ ඉගිලිලද යකෝ ආවෙ..? යකෝ මං කෝල් කරලා පැය කාලක් ගියේ නෑනෙ..

සාගර අයියා අප උන් ඉසව්වට ආවේ එසේ කියාගෙනමය. සඳුන් අත වූ හෙල්මටය රැගෙන ගොස් බයිසිකලයේ රැඳවූයේය.

“දැං මොකක්ද මේ තදියමේ දුවන් එන්න තරම් උඹට තිබුණු හදිස්සිය..

ඔහු එය ඇසුවේ සඳුන්ගෙන් වුවද ඒ ඇස් නතර වී තිබුණේ මා මුහුණ මත්තේය. මම එදෙස නොබලා සරුවට වැඩී තිබුණු රෝස මලත් අතපත ගෑවෙමි.

“සුදු දුවේ එන්න තේ එකක් බීලා යන්න..

මා ඒ අපහසුතාවයෙන් මුදවා ගත්තේ සාගර අයියාගේ අම්මාය. ඉතින් මම වහා ඈ දෙසට දිව ගියෙමි.

“ආ.. මේ චූටි පුතත් ඇවිත් ඉන්නෙ.. මං දැක්කෙ නෑනෙ..

සඳුන්ව දුටු ඈ කීවාය. ඔහු සිනා සී සාගර අයියා සමඟ අප පසුපස ඇඳුණි.

කැවිලි පෙවිලි පෙරටු කරගත් සංග්‍රහය අතර තුර දෙපිරස ඉතා විනෝදයෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. අම්මාත් අප්පච්චීත් ඉසා සැනසිලි සහගත හැඟීමෙන් පසුවනවා දුටු මසිත පිරී ගියේය.

දිවා ආහාරය ජයටම සූදානම් කර තිබිණි. නමුත් අක්කා නිවසේ දමා ආ බැවින් මෙය තනිව රස විඳීමට හිත හදාගත නොහැකි විය.

“අම්මා.. මං ගෙදර ගිහින් කන්නම්..

අම්මා ළඟට ළං වී.. මා ඇගේ කණට කෙඳිරුවෙමිත. ඈ තිගැස්සුණු නෙතින් මදෙස බැලුවාය.

“අක්කට නැතුව අපි විතරක් කන එක හරිද අම්මා..?

“අක්කා රේණුත් එක්ක කයි පුතේ.. ඔයා කන්න..

“ඒත් අම්මා....

“මොනවද නංගියෙ කෙල්ල කුටු කුටු ගාන්නෙ..?

සාගර අයියාගේ මව සුනීතා ආන්ටී අම්මාගෙන් ඇසුවාය.

“මෙයාට අක්කා නැතුව කන්න බෑලු..

“පුදුම දරුවෙක්නෙ.... පුතේ ඔයා දැන් කන්න.. අක්කට වෙනම කෑම එකක් අපි අයින් කලා.. ගෙදර ගිහින් ඒක අක්කට දෙන්න..

ඔවුන්ගේ පෙරැත්තය මත මම කටක් දෙකක් ගිල දමා පසෙකට විමි. කොහේදෝ සිට පැමිණි සඳුන් වටලප්පන් තසිමක් මා අත තැබීය. ඔහුගේ අතින් මුලින්ම මට දුන්නේ මා කවදත් කෑමට ප්‍රිය කල දෙයක් වීම පුදුම සහගතය. මා එය කන තෙක් ඔහු මා අබියස හිඳ බලා උන්නේය.

“ඇයි හැමදාම කහ පාටම අඳින්නෙ..? මම දැක්ක දවස් තුනේම ඔයා හිටියෙ කහපාට ඇඳගෙනනෙ..

ඔහු එය එතරම් තදින් සිහි තබාගෙන උන්නාද..? මම පුදුම විමි.

“මම සාගර එක්ක ඔයාලගෙ ගෙදර ඇවිත් ගියාට කමක් නැද්ද..?

ඔහු නැවත ඇසුවේය. මා මුහුණේ සිහින් හසරැල්ලක් ඇදී මැකී ගියේය. ඉදින් මගේ පිළිතුර ඔහු අනුමාන කරන්නට ඇත. එසේ නොවුනත් ඒ නෙතු අභියස දොඩන්නට මට වදන් අමතකව තිබිණි.

“මං මේ තරං හදිස්සියෙ දුවගෙන ආවෙ ඔයාව බලන්න නංගි. වචනයක් හරි කතා කරන්නකො..

ඒ ඉල්ලීම මහා දුක්බර එකකි. ඒ හඬට මසිත දැවී ගියේය.

“අයියා ගෙදර එන්න... අපි කතා කරමු..

එය මා සිතා මතා කියූවක් නොවේ.. නමුත් එවදන් පිටවිය. අප්පච්චිගේ පුංචි දෝණිගේ මුවින් පිටවූ වදන් බරපතල වැඩිදැයි නොදනිමි. සඳුන් මහත් දයාබර ඇසකින් මදෙස බලා උන්නේය.

මංගල්ලය පිළිබඳ බොහෝ කරුනු කාරණා තින්දු කරගෙන අපි සාගර අයියලාගේ නිවසින් පිටවීමු. මසිත කැළඹූ ඒ සොඳුරු යෞවනයාට මම සිනහවකින් සමු දුනිමි.

“දැනුයි මගේ හිතට සැනසීමක් දැනුණෙ.

වෑන් රිය පාරට දැමූ සැනින් අම්මගේ සිතේ වූ සැහැල්ලුව පිට විය. ඔවුන් නිවසට එන මග දිගටම ඒ පිළිබඳ කතා කරමින් ආවද මම වීදුරුවකට බර දී අහස් කුසට නෙත් යොමා උන්නෙමි.

අප සාගර අයියලාගේ නිවසට ගොස් ආ දා පටන් පවුල් දෙකේම ඥාතී පිරිස මංගල්ලෙට ලහි ලහියේ සූදානම් වන්නට විය. සාගර අයියා වුවද නිතර පැමිණ අක්කා සමඟ කතාබහ කරන්නට පෙළඹුනේය. වෙනදා මා තුරුල් කරගෙන කාලය ගෙවා දැමූ ඈ සාගර අයියාට ළංවීම සිතට දරා ගැනීමට නොහැකි තරම්ය. මා සිතින් තනි වී උන්නද ඈ කිසිදා මට වෙනස්කමක් කෙරුවා නොවේ. එසේ වුවද හිස රහසේ හඬා වැළපුණ තරම ඈ නොදනී.

එක් දිනක් සවස අප්පච්චීට දුරකථන ඇමතුමක් දුන් සාගර අයියා අප කැටුව පන්සල් යාමට අප්පච්චීගෙන් අවසර පැතුවේය. අම්මා සමඟද සාකච්ඡා කළ ඔහු ඊට අවසර දෙද්දී අක්කගේ මුවේ මන්දස්මිතියක් ඇඳුනි.

“ලොකු පුතේ.. ඒ ළමයා තව පැයකින් විතර ඒවි.. මල් එහෙම කඩාගෙන නංගි එක්ක ලෑස්ති වෙන්න..

එසේ කී අප්පච්චී අක්කාට ලංව තව තව මොනවදෝ කීවේය. නමුත් ඈතට වී උන් මට කිසිවක් පැහැදිලිව ඇසුනේ නැත.

අක්කා අප දෙදෙනාටම සුදු ඇඳුම් මදිද්දී මම වේවැල් වට්ටිය රැගෙන වත්ත පහළට ගියෙමි.

“අප්පේ සුදු බේබිව දැක්ක කල්.. මේ කොහෙද මල් වට්ටියක් අරගෙන දුවන්නෙ..?

වත්තේ වැඩ කරමින් උන් මැදිවියේ කාන්තාවන්ගෙන් අයෙක් මා දැක ඇසුවාය.

“අරලිය මල් ටිකක් කඩාගන්න යනව නැන්දෙ..

ඈ හා සුහදව සිනාසුන මා එතනින් පහළට යද්දීම ඈ නැවත කතා කලාය.

“බේබිලා පන්සල් යන්නෙයි..?

“ඔව්..

“බේබි වට්ටිය දීලා යන්න.. අපි කඩලා ගෙනත් දෙන්නං..

කවදත් අප පවුලට ලැදි කරුණාබර ඔවුන් එම රාජකාරිය භාරගෙන මා නිදහස් කලහ. ඉතින් වට්ටිය ඔවුනට භාර දී හිස් අතින්ම මම නිවසට දුව ගියෙමි.

“කෝ පුතේ මල්..?

ගෙට ගොඩ වද්දීම මදෙස හොඳින් බැලූ අම්මා විමසුවාය.

“සුමනා නැන්දා මල් කඩන් එන්නං කියලා මට යන්න කිව්වා..

“අනේ හරිම හොඳ මිනිස්සු.. කවදාවත් දෙයක් කියනකල් ඉන්නෙ නෑ.. හොයලා බලලා කරනවා මිසක..

අක්කා සමඟ දොළ පාරට ගිය මා සැන්දෑව නොතකා දිය නෑවෙමි. පසුව සුදු පැහැති ඇඳුමින් සැරසෙද්දී මට සඳුන් කියූවක් සිහිවුණි. හැමදාම ඇයි කහ පාට අඳින්නෙ..? යනුවෙන් එදා සාගර අයියලගේ නිවසේදී පවසන තෙක් ඔහු මා දැක තිබුණේ එකම පැහැ ඇඳුමෙනි. ඉතින් අද ඔහු දුටුවෝතින් කුමක් කියයිද..?

මා රැගෙන ගිය වට්ටියට කහ අරලිය මල්ද තවත් බෑගයක සුදු මල්ද පුරවා මේසය මත තබා තිබුණි. ඒ දැක වත්තේ සිටින අහිංසක මිනිසුන් ගැන මසිතට අනුකම්පාවක් දැනෙන්නට විය. තෙල්, හඳුන්කූරු, පහන්තිර ආදිය දැමූ බෑගයක් ද ඒ අසලින්ම තැබූ මම සාගර අයියා එනතෙක් ආලින්දයේ වූ වේවැල් පුටුවේ ඉඳගතිමි. නමුත් ගුරු පාර දිගේ සිනා සිසි එමින් උන්නේ සාඟර අයියා නොව රේණු අක්කාය.

“මං ඒත් බැලුව කවුද මේ හිම කුමරි කියල..

ඈ නිවසට ගොඩවූයේ එසේ කියමින්ය.

“රේණුත් වෙලාවටම එනව නේද..?

නිවස තුළ සිටි අක්කා ඇගේ කටහඬ ඇසී තරමක් උස් හඬින් අසද්දී රේණු අක්කා මා ළඟින්  හිඳගත්තාය.

“මොකක්ද සුදූ වෙලාවටම එන කතාව..? ඔයාලා මළ ගෙදරකවත් යන්නද..?

මගේ සුදු ඇඳුම දෙස ඕනෑකමින් බලා අසද්දී මට සිනහ නැගුණි.

“සාගර අයිය එනවලු අපි දෙන්නව පන්සල් එක්ක යන්න..

“සාගර අයිය විතරද..?

“දන්නෑ.....

අක්කා පැමිණ රේනු අක්කා ළඟින්ම හිඳගත්තාය.

“රේණුත් එනවද අපිත්තෙක්ක පන්සල් යන්න..?

“කවුද.. සාගර අයිය විතරද එන්නෙ..?

ඈ ඔය ඇසුවේ මට දැනගැනීමට ඕනෑ කර තිබූ කාරණයයි..

“නෑ.. සඳුන් මල්ලිත් එයි..

“අපෝ එහෙනං බෑ.. එතකොට සමබරතාවය බිඳෙනවා.. දැන් ගණ පූරණය හරිනේ..

“මොනව කියනවද මංදා..

“කම්මැලිකමට මොනව හරි කියන්න තමයි බං ආවෙ.. ඒත් දැන් බෑනෙ.. මම ගිහින් වෙන දවසක එන්නං..

අප සිනහා ගන්වා ඈ යන්න ගියාය.

සාගර අයියා හා සඳුන් පැමිණියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය. සුදු පැහැ ටී ෂර්ට් එකක් ඇඳ උන් සඳුන් වාහනයෙන් නොබැස සුළු වේලාවක් මදෙස බලා උන්නේය. මම බිම බලා ගතිමි.

“එන්න ගෙට..

මා නිහඬ උන් තැන අක්කා ඔවුනට ආරාධනා කළාය.

“ගිහින් එන ගමන් එන්නං.. දැන් ඔයාලා ලෑස්තිනං යමු..

අක්කා මල් බෑගය අතට ගනිද්දී මම කහ අරලිය මල් වට්ටිය පමණක් දෝතට ගෙන මිදුලට බැසිමි. අම්මාත් අප්පච්චීත් අප දෙස පහන් හැඟුමින් බලා හිඳිද්දී සාගර අයියා වෑන් රිය හරවා ගත්තේය.

“අක්කා ඉස්සරහින් නගින්න..

සඳුන් ඉදිරිපස අසුන අක්කාට පෑවේය. නමුත් ඈ එයට නැගුනේ නැත.

“මමයි නංගියි පිටිපස්සෙන් නගින්නං..

ඈ මදෙස බලා අහිංසකව පැවසුවාය.

“නගින්න අමා.. පරක්කු වෙනවා..

සාගර අයියා ඉදිරිපස දොර විවෘත කර දී අක්කාට කියද්දී මම නිහඬවම පසුපසට නැගුණෙමි. සඳුන්ද මගේ එහා පසින් ඉඳ ගනිද්දී අක්කා සුසුමක් හෙලා ඉදිරිපස අසුනට ගොඩ විය.

“අද සුදු ඇඳලා කහ මල් වට්ටියක් අරගෙන නේද..?

ගුරු පාර දිගේ වාහනය ඇදී යද්දී මදෙසට බර වූ සඳුන් කීවේය. මම ඒ මුහුණ දෙස ඇස් කොණකින් බැලිමි.

“ඇයි මේ හවස් වෙලා නෑවෙ..?

සැමදා මෙන් ඔහු අභියස මා ගොළු වී උන්නෙමි. සියුම් විලවුන් සුවඳක් මා සිත වටා සරසන්නට විය. අක්කාත් සාගර අයියාත් කතාවට වැටී උන්හ. ඉතින් මා දෑස් දල්වා ඒ තරු නෙත් දෙස හොඳින් බැලුවෙමි.

“අපි කතා නොකර ඉමු..
සිනා නොවී ඉමු
ටික දවසක්...
අපි දෑසින් දෑසට
ළංව බලන් ඉමු
එක මොහොතක්....
කල්පයක් සේ දැනේවී..//

මගේ දෑස් දෙසම බලාගෙන ඔහු ඒ පදවැල සොඳුරුව ගායනා කළේය. මම දැහැනකට සම වැදී මෙන් සිතුවිලි අතර තනිවී උනිමි.

“සඳුන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන් නේද සාගර..?

අක්කා පසුපස හැරී පවසද්දී මා තිගැස්සී ගියේය. වරදක් කර හසු වූ කලක මෙන් නොසන්සුන් සිතිවිලි සමුදායක් සිත වසා පැතිරෙද්දී මම ඒ දෑසින් මිදුනෙමි.

“මිනිහා ඔහොම හිටියට ගොඩක් වැඩ වලට දක්ෂයි..

ඒ මොනවාදැයි කියා ඔහු කීවේවත් අප ඇසුවේවත් නැත. කන්දෙ පන්සලට වාහනය දමනතුරුම මා ඒ ගී වැල් සිතින් ප්‍රතිරාවය කළෙමි.

සාමාන්‍ය සතියේ දිනක සවස් වරුව වූ නිසාදෝ පන්සලේ සෙනඟ උන්නේ අතලොස්සකි. අප සෙරෙප්පු වෑන්රිය තුළම තබා ඉන් බැස ගතිමු. සාගර අයියා අක්කගේ අතගෙන අපට ඉස්සර විය. මම සඳුන් හා සමාන්තරව අඩි තබා ඒ පසුපස ඇදුනෙමි.

“එකම මගක පියවර මැන යන්නයි..
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි..

ඔහු නැවතත් මා සවන් අද්දර ගීයක් මුමුණන්නට ගත්තේය. මම තරවටු බැල්මෙන් ඔහු දෙස බැලිමි. ඒ ගී හඬ වහා නතර විය.

“ඇයි..?

“ඇයි කියල අහන්නෙ.. පන්සලේ ඉඳගෙන සිංදු කියනවද..?

“සොරි..

එවදන් පිටවූයේ මහා දුකකිනි. ඒ ඇසී දුක් ගත්තේ මගේ හදවතය. අප නිහඬවම මල් පූජා කර මන්දනාමාන කළ අතර සඳුන් මදෙස නිකමටවත් බැලුවා නොවේ. මම තෙල් පහන් තිර රැගෙන පහන් වැට අද්දරට ගියෙමි. අක්කා සාගර අයියා සමග බෝ සමිඳු අබියස වැලි මළුවේ ඉඳගත්තාය. පහන් දල්වද්දී ඇසුනු දිගු සුසුම් හඬකට මා දැහැන බිඳී ගියේය. නෙත් හරවා බලද්දී සඳුන් මා ළඟ හිඳ පහන් වැට දෙස බලා සිටියේය. ඒ අහිංසක මූණේ අඬක් පහන් ආලෝකයට කහ පැහැ ගැන්වී තිබිණි.

අක්කා හා සාගර අයියා පෙනෙන මානයේ වුවද ඔවුන් උන්නේ වෙනම කතාබහකය. ඉතින් පහන් දල්වා අවසානයේ මා කන්දේ බෑවුම පෙදෙසට මුහුණ ලා ගල් තලාවේ ඉඳගතිමි. සඳුන්ද කතා බහකින් තොරවම පැමිණ මා ළඟ ඉඳගත්තේය.

“හැමදාම ඔහොම ගොලුවෙලා වගේ ඉන්නෙ ඇයි නංගි..? ඔයාගෙ කටහඬ අහන්න ආසයි.. මොනා හරි කියන්නකො..

ඔහු මා අභියස ආයාචනා කරද්දී මම ඒ මූණට එබී බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරය මිස අන් කිසිවක් නොවේ.

“ඔයා දන්නවද සුදූ.. මං පුංචි කාලෙ ඉඳලා හොයපු රූපයක් තිබුණා. මට හීනෙනුත් පෙනුන ලස්සන ඇස් දෙකක් තිබුණා.. ඒ ඇස් කවදා හරි මට මුණ ගැහුණෙ නැත්නම් මං ආදරේ කරන්නෑ කියලා හිතාගෙන හිටියෙ..

ඈත කඳු යායට නෙත් යොමා සඳුන් පවසද්දී මා මහත් ඕන කමින් ඊට සවන් දුනෙමි.

“අවුරුදු විසි දෙකක් වෙනකල්ම ඒ හුරතල් ඇස් දෙක මට මුණගැහුණෙම නෑ නංගි.. ඔයා කිව්වට පිළිගන්න එකක් නෑ, මං කොල්ලෙක් වුණත් කෙල්ලො ආදරේ ඉල්ලගෙන මගේ පස්සෙන් එනවා..

ඔහු එසේ කීවාට එය පිළිගත නොහැකි කරුණක් නොවේ.  කෙල්ලෙක් පතන සියළු ගුණාංගයන් කඩවසම් රුවක් හා සොඳුරු ඇස් දෙකක් ඔහු සතුව ඇත්තේය. ඉතිං ඔහුගේ ආදරය පැතීමේ අරුමයක් නැත.

“ඔයා අහගෙනද ඉන්නෙ..?

“ඔව් අයියා කියන්න..

“ඉතිං මං හොයපු ඒ රූපෙ, ඒ ලස්සන ඇස් මට හම්බ උනා. මාව පිස්සු වට්ටපු ලස්සන කහ කිරිල්ලියක් ළඟ ඒ හැමදේම තිබුණා..

කුමක්දෝ හේතුවක් නිසා ඇති වූ බියකින් මා වෙව්ලා ගියේය. දෙනෙත කඳුළින් වැසී යද්දී ඈත කඳු යාය මම දෑසින් අල්වා ගතිමි. සඳුන් ඉඳ උන් තැනින් ඉස්සී මදෙසට තවත් ළං විය. අවට අඩ අඳුර, සොඳුරු වටපිටාව, පන්සල් බිමේ පහන් සුවඳ මා වෙනස්ම ලෝකයක් කරා කැන්දා යමින් තිබිණි. සඳුන් මා මුහුණට නැඹුරු විය.

“ඒ කෙනා කවුද කියල කියන්නම ඕනෙද නංගි..? ඔයාට දැනෙන්නෙ නැද්ද..?

ඈත ලෝකයකින් ආ හඬක් ලෙස ඔහු කී දෑ සවනට පතිත විය. ඇස් පියල්ලේ වැටෙන්නට බලා උන් කඳුළු කැට දෙක කම්මුල් තෙමාගෙන ගලා යද්දී මම ඒ ඇස් දෙක දෙස බැලුවෙමි.

“අඬන්න එපා සුදු නංගි.. ඔයා අඬවලා මාව අඬවන්න එපා..

අඬවන්න එපා කීවද, ඒ දෑසේ දැනටම කඳුළුය. එදෙස බැලිය නොහැකිව මා දණහිස් මත මුහුණ ඔබා ගතිමි. සඳුන් ඉතා මෘදු ලෙස මා හිස පිරිමැදීය. බෝ මළුවේ උන් අක්කලා අප දෙස බලා සිටිතැයි යන හැඟීම මා සිත නොසන්සුන් කළේය. නමුත් ඒ ආදරණීය පහසින් මිදීමේ ලෝභකමින් මා නොසෙල්වී උනිමි.

“මගේ හිත ඔයාට පුදුම තරම් ආදරේ කරනව නංගි.. මටවත් හිතාගන්න බැරි තරම්.. වෙලාවකට මට පිස්සු වගේ..

ඔහුගේ පපුතුරේ හිස හොවා ඉකිබිඳ හැඬීමට මට ඇවැසි විය. නමුත් මා දරා උනිමි. මා සිතේ ආදරය දෝර ගලා යද්දී එය පවසා ගත නොහැකිව අසරණ උනෙමි.

“ඉතිං මට ආදරෙයි කියල කියන්නෙ නැද්ද රත්තරං..?

මම තවමත් හිස පහත් කරගත් ගමන්ය. හිස ඔසවා බැලුවේ නම් ඔහු මසිතේ ඇති ආදරය දෙනෙතින් විනිවිද දකිනු ඇත.

“ඔලුව උස්සලා මං දිහා එක පාරක් බලන්න නංගි... ප්ලීස්......

ඉතිං මා කීකරු වූයෙමි.

“ඔය ඇස්වල තියෙන්නෙ ආදරය කියලා මං දන්නවා බබා.. ඒත් මං ඒක ඔයාගෙ කටින්ම අහන්න ආසයි..

එතරම් හපන්කමක් කිරීමට තරම් මගේ පුංචි සිත එඩිතර වූයේ නැත. ආදරය නිසා සිත අවසඟව යද්දී මා සඳුන්ගේ අත තදට අල්වා ගතිමි.

“අපි දැන් යමුද..?

අප ළඟට පැමිණ සාගර අයියා විමසද්දී තිගැස්සුණු මා සඳුන්ගේ අත මුදා හැරියෙමි. අක්කා මදක් ඈත සිට තෙත් වූ දෙනෙතින් අප දෙස බලා උන්නේය. මා මෙන්ම ඈද හඬා ඇති සෙයකි. සිතේ වූ නුහුරු හැඟුම හා ලැජ්ජාව නිසා අක්කා දෙස කෙලින් බැලීමට මට නොහැකි විය. සාගර අයියාද සියල්ල වටහාගෙන වෙනසක් නොපනේවා උන්නේය.

ඉතිං සුදු ඇඳුමින් සැරසී දිය නා සැදැහැ සිතින් පන්සල් පැමිණි මා ඉන් පිටවෙද්දී සඳුන්ගේ පෙම්වතිය වී ඒ අතැගිලි අතර වෙලී උන්නෙමි. ඒ විසල් උරහිසේ හිස හොවාගෙන නිවසට වන තෙක් පැමිණි මම වෑන් රිය වත්තේ නතර කළ සැනින් දොර හැර ඉන් බැස ගතිමි. අම්මා, අප්පච්චී අප එන පෙරමග බලා උන්හ. ඒ කිසිවෙක් දෙස කෙලින් නොබැලූ මා දිවගොස් නරත වූයේ කාමරයේ ඇඳ මතය.

පහළ මාලයේ ඔවුන් කතා කරන හඬද වෑන් රිය පිටව යන හඬද ඇසී ටික වේලාවකින් අක්කා කාමරයට ඇතුල් විය. මම කොට්ටයේ මුහුණ සඟවා ගතිමි. මා ළඟින් ඉඳගත් ඈ මා හිස සෙමින් පිරිමැද්දාය. සිතේ සිරවී තිබූ හැඟුමන් සියල්ල ඉකිබිඳුමක්ව පිටවෙද්දී මම අක්කාට තුරුලු වූයෙමි.

“අඬන්න එපා නංගි.. සඳුන් නරක ළමයෙක් නෙමෙයි..

මම පුදුම වූ නෙතින් ඈ දෙස බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරණිය මඳහසකි.


5 comments:

  1. harima lassana kathawak. Digatama daanna api balan innawa. :)

    ReplyDelete
  2. Lassana kathawak... Ithuru tikath dannakooo ikmanata..

    ReplyDelete
  3. Ai Dananjaya thama katha we ithuru tika damme naththe?????????'

    ReplyDelete
  4. @Kumari, Chatura Dananjaya, Pavani, hiru
    මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි.. ඒකයි ටිකක් පරක්කු වුණේ කතාව දාන්න.. තව කොටස් කිහිපයයි තියෙන්නෙ.. ඒ ටිකත් ඉක්මනින් දාන්නම්..

    ReplyDelete