Thursday, November 15, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


උදෑසන අවදිව කුස්සියට යන විට අක්කා ලූණු වට්ටිය ඔඩොක්කුව මත තබාගෙන ලූණු සුද්ධ කරමින් උන්නාය. මා ඒ මුහුණ දෙස නැවතිල්ලේ බැලුවෙමි.

“අක්කා.. ඇයි මේ ඇස්වල කඳුළු..?

“නෑ පැටියො.. ලූණු සැරට..


ඒ බෙරුවක් බව මා දනිමි. ලූණු සැර නොව කියා ගත නොහැකි කිසියම් වූ හේතුවක් නිසා ඈ උන්නේ දුකෙනි. නමුත් මේ උදෑසන හඬන්නට වූ කාරණය මට වටහාගත නොහැකි විය.

“ඇයි අක්කා... ඇයි මට බොරු කියන්නෙ..? මට තේරෙනවා.. ඔයා දුකින් නේද..?

ඇය සිනහවක් මුවට නගා ගැනීමට අසීරු උත්සාහයක යෙදුනි. ඒ දැක හැඬුම් ආවේ මටය. තවත් ඈට ළංව හිඳ ඇගේ උරහිසට වාරු වී ගතිමි.

“සාගර අයියා මොනව හරි කිව්වද අක්කෙ..?

“නෑ නංගි.. සාගර අයියා ගොඩක් හොඳයි.. එයා මට වගේම අපේ පවුලටත් ආදරෙයි..

“එහෙනං ඇයි මේ..?

“මං හිතුවටත් වඩා ඉක්මනට මට ඔයාලගෙන් ඈත්වෙන්න වෙයි..

ඇගේ කටහඬ හැඬුම්බර වී තිබිණි. මා නෙතට ඉනූ කඳුළ වැටෙන්නට ආසන්නව ඇස් ඉස්මත්තේ බලා උන්නේය. අක්කා ඈත්ව යන දිනය... එය දැන් මට පිළි ගත නොහැකි සත්‍යයක් බවට පත් වී හමාරය.

“සාගර අයියා නරක කෙනෙක් නෙමෙයිනෙ.. එයාලගෙ අම්මලත් හොඳයි.. ඉතිං සතුටු වෙන්න ඔයාට ඒ මදිද අක්කා..

ඈ නෙත් විසල් කර පුදුමයෙන් මදෙස බැලුවාය. ඇගේ විවාහ යෝජනාව ඇසූ දින හඬා වැලපුණ මා මේ කෙටි කාලය තුළ හිත හදා ගැනීම ඇයට අදහන්නට බැරිවන්නට ඇත. නමුත් මේ මා හිත හදාගත්තා නොවේ. උත්සාහ කළා පමණි.

“ඔයා සතුටින්ද මගෙ නංගියො..?

මා කොපුල්තල ලාවට පිරිමදිමින් ඇය ඇසූවට, නැතැයි කියා මම හිස දෙසපසට සැලීමි. එහි වූ වේගයට නෙතු පියල්ලේ උන් කඳුළ ගිලිහී වැටිණ.

“අපි බැන්ඳම ඔයා මං ළඟට එන්න..

මට ඇති ආදරය නිසා ඈ එසේ පැවසූවද, සාගර අයියා කැමති වේයැයි සිතිය නොහැක. අලුත විවාහ වූ දෙපලක් කැමති නිදහසේ තනිවම ඒ මිහිරියාව විඳ ගැනීමටය. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දීම නැගණියක වශයෙන් මගේ යුතුකමකි. ඉතින් ඇයට පිළිතුරු බැඳීම වෙනුවට මා නිහඬව ඒ උණුහුමේ මොහොතක් ගුලිවී උන්නෙමි.

“මොකද මේ උදේ පාන්දර නාකි හුරතලේ..?

කුස්සියට පැමිණි අම්මා අප දෙදෙනා දෙස ආදරයෙන් බලා විමසද්දී අක්කාත් මමත් කඳුලු අතරින් සිනාසුනෙමු.

“ඔයාල දෙන්නගෙ බැඳීම ගැන අම්මා කෙනෙක් විදියට මං ගොඩක් සතුටු වෙනව පුතේ.. අක්කලා බැඳලා ගියා උනත් ඔය බැඳීම නැති කරගන්න එපා..

“එහෙම වෙන්නෙ නෑ.. නේද අක්කා..?

මා ඇසූවට ඈ කලේ මගේ හිස සිප ගැනීමය. ඉතිං ඒ බැඳීම පිළිබඳ තවත් අර්ථකථන කුමටද..? අප දෙදෙනා වෙන් කල හැක්කේ මරණයට පමණි.

“පුතේ මං මේ කියන්න ආවෙ ලබන ඉරිදා අපි සාගර ළමයගෙ ගෙදර යන්න හිතා ඉන්නවා කියලා. චාරිත්‍රෙ හැටියට ලොකු පුතාව ගෙනියන්න බෑනෙ.. සුදූ යන්න ලෑස්ති වෙන්න..

අම්මා එය කියද්දී පෙරදා සාගර අයියා කල ඉල්ලීම මට සිහිපත් විය.

“ඉතිං අක්කා විතරක් ගෙදරනේ..

“අපි වරුවක් යද්දි එනවනේ.. ලොකු පුතාගෙ තනියට රේණු දුවට එන්න කියමු..

“අනේ මට බෑ අම්මා.. මං අක්කා එක්ක ඉන්නම්..

“එහෙම කියල බෑනෙ දරුවො.. ඔයා යන්නම ඕනෙ.. ඒ මිනිස්සු මොනවත් කියයි..

මාව කෙසේ හෝ රැගෙන යාමට අම්මා උත්සාහ කලද මට අවැසි වූයේ අක්කා ළඟට වී හිඳිමටය. ඇගේ මංගල්ලයට අවශ්‍ය කටයුතු පිළිබඳවද නිදහසේ කතා බහ කළ යුතුය. එයටද ඉතිරිව ඇත්තේ ඉතාම කෙටි කාලයකි.

“මං හින්දා නතර වෙන්න එපා සුදූ.. ඔයා එදාට අම්මලා එක්ක යන්න.. මං රේණුව කතා කරගන්නම්..

අක්කාට මා කරදරයක් දැයි සැකයෙන් මම කරබා උන්නෙමි.. ඈ මදෙස බලා අහිංසකව සිනාසුණාය.

“ඕක විගහට ලෑස්ති කරල ගන්න ලොකු පුතේ.. අප්පච්චිට බඩගිනිලු..

අම්මා නැගිට ගියප සු අක්කා මං ළඟ හිදුවාගෙන කිරිබතක් පිළියෙල කළාය. මා කවදත් කිරිබත් කෑමට රිසි වග ඇය දනීය.

“අක්කා.. ඔයා වෙඩින් එකට මොනවද අඳින්නෙ..?

“මට මොනවද සුදූ හොඳ..?

“ඔයාට කැන්ඩියන් ලස්සනයි අක්කා.. කොහොමත් අප්පච්චි ඔයාගෙ මගුල උඩරට විදියට ගනියි..

ඇගේ සිහින් ගත දිහා බලා මම අහිංසක මනාලියක් සිතින් මවා ගැනීමට උත්සාහ කළෙමි. එවිට සාගර අයියා නිළමේ ඇඳුමෙන් සැරසිය යුතුය. ඔහුව සිහියට නංවා ගැනීමේ වෑයම නිරර්ථක විය. මගේ සිහියට කොතෙකුත් නැගුනේ සඳුන්ගේ හැඟීම්බර මුහුණයි.


වත්ත පහළින් අහුලා ගත් වෙරළු ගෙඩි අහුරක් සාක්කුවේ දමාගත් මා එය සපමින් ඔන්චිල්ලා පැද්දෙමි. වත්තේ ඈත කෙළවරේ තේ දළු අතරින් මතු වූ ගුණවතී නැන්දා සිනා මුහුණින් මා උන් ඉසව්වට පැමිණියාය.

“සුදු බේබිගෙ හිනාව දැක්කත් සිරියාවයි..

ඔන්චිල්ලාව ළඟ නතර වූ ඈ ගේ දෙස විපරම් බැල්මක් හෙළිය.

“කාවද ගුණවතී නැන්දා හොයන්නෙ..? අම්මා ගෙයි ඇති..

“කාවත් නොවේ බේබි.. මං මේ කාරණාවක් කියන්න කියලා..

ඈ එය කීවේ රහසින් මෙනි.. මම ඔන්චිල්ලාවේ වේගය අඩු කර එදෙස බැලිමි.

“මං ඊයෙ හවස සාගර මහත්තයලගෙ ගෙදර ගියානෙ.. සාගර මහත්තයගෙ අම්මයි නැන්දයි පැය ගාණකට මට එන්න දුන්නෙ නෑ..

ඈ කියන්නට හදන කාරණාවක මට වැටහුනේ නැත. ඉතිං මා ප්‍රශ්නාර්ථය රැදි මුහුණින් නෙත් යොමා උන්නෙමි.

“සාගර මහත්තයගෙ නැන්දා.. අර අනික් පොඩි මහත්තයගෙ අම්මා, සුදු බේබිගෙ විස්තර හාර හාර ඇහුවනේ..

ඈ අනික් පොඩි මහත්තයා යැයි කීවේ සඳුන්වය.. සඳුන්ගේ මව මා ගැන ඇසුවේ ඇයිදැයි මා පුදුම විමි.

“ඒ මොකටද නැන්දෙ මං ගැන විස්තර ඇහුවෙ..?

අමුතුම සිනහවක් නැගූ ඈ ඊට පිළිතුරු නොදී ගේ දෙසට හැරුණාය. මම මහා ප්‍රශ්නයක පැටලී ගතිමි. ටික වේලාවක් කල්පනාබරව ඔන්චිල්ලාව මත උන් මගේ සිතුවිලි දැහැන බිඳ වැටුනේ අම්මාගේ හඬිණි.

“සුදූ... මෙහෙ එන්න පුතේ...

තවත් වෙරළු ගෙඩියක් කටේ දමාගත් මා කුස්සියේ දොරෙන් ඇතුල් වූයෙමි. ගුණවතී නැන්දා, අම්මා හා අක්කා සමග කතා බහේ නියැලී උන්නාය.

“අපි අනිද්දට සාගර අයියලගෙ ගෙදර යනව.. ඔයාව එක්ක එන්න කියල එහේ හැමෝම කිව්වලු..

මම අක්කා දෙස බැලුවෙමි. ඈ ගුණවතී නැන්දාට තේ සූදානම් කරමින් සිටියාය. හිස පමණක් සලා හා යැයි පවසා මම එතනින් සාලයට ඇඳුනෙමි.

“ළඟදි ඉඳලා සුදු බේබි ටිකක් වෙනස් වෙලා නේද හාමිනේ..? වැඩි කතාබහක් නෑ..

ගුණවතී නැන්දා කියූවිට අම්මා දෙන පිළිතුර අසා ගැනීමට මම සාලයේ මදක් නැවතුනෙමි.

“ලොකු දුවගෙ මංගල්ලෙ ගැන අහපු දවසෙ ඉඳලා කෙල්ල ඉන්නෙ දුකින්..

“ඔව් ඉතිං.. සුදු බේබි එදා ඉඳලම ලොකු බේබිගෙ තුරුලෙමනෙ..

එවදන් අසා අක්කාගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට ඇත. තවත් එතන නොරැඳුන මා සාලයේ සෙටියට බර විමි.

සැබවින්ම මා වෙනස් වීමට හේතු වූයේ අක්කාගේ මංගල්ලය පමණක්දැයි සිතා බැලුවෙමි.. නැත.... මා වෙනස් කෙරුවේ එය නොවේ. මේ සියළු විපර්යාස සිදු වූයේ ඒ නෙත් මුණ ගැසුණු දා පටන්ය. ඉතිං.. සඳුන්.. ඔබ හා ප්‍රාතිභාර්යක් සිදු කලා නොවේද..?

මා පියවි ලොවට කැන්දා එමින් දුරකථනය එක දිගට නාද වන්නට විය. අක්කා හෝ අම්මා නොපැමිණි නිසා මම ඊට පිළිතුරු දුනිමි.

“හෙලෝ..

“හෙලෝ.. මං සාගරගෙ අම්මා සුනීතා කතා කරන්නෙ.. කවුද මේ සුදු දුවද..?

“ඔව් ආන්ටි..

“ආ දුවේ... මං මේ ඔයාට කතා කරන්නමයි ගත්තෙ. ඔයා අපේ දිහා එන්න බෑ කියනවා කියලා අම්මා කිව්වා..

“මං එන්නම්..

“ඔව් දරුවො.. ඔයා එන්නම ඕනෙ.. ඔන්න වරද්දගන්න එපා එහෙනං..

ඈ කරුණාබර හඬින් කීවාය.

“අම්මා ගෙදර ඉන්නවනං ටිකකට කතා කරන්න දුවේ..

ඒ වන විටත් මදෙසට එමින් උන් අම්මාට මම රිසිවරය පෑවෙමි.

කාමරයට පැමිණ සැඳැල්ලෙන් එපිටට නෙත් යොමා මදක් උන් මගේ නෙත් නිදිමතින් බර විය. ඉතින් මා ගොස් ඇඳේ පෙරලී ගතිමි. සඳුන්ගේ සංවේගී නෙත් සිහිකර මම දෑස් පියා ගත්තද ඔහු මට නිදා ගැනීමට දුන්නේ නැත. පැය ගණනාවක් ඇඳේ එහා මෙහා පෙරළෙමින් අඩ නින්දේ උන් මා උස් සිනා හඬක් ඇසී නැගිට ගතිමි.

“මේ මොකෝ මහ දවාලෙ නිදි..?

පැමිණ උන්නේ රේණු අක්කාය.

“කම්මැලියි..

“පහුගිය ටිකේ නිදි මරාගෙන පාඩං කරපුවට ඇරියස් කවර් කරනව වගේ..

මා ළඟින් ඇදේ ඉඳගත් ඈ මට කොට්ටයකින් දමා ගැසුවාය. ඉන්පසු මහත් ඕනෑකමකින් මගේ මුහුණට එබුණි.

“අක්කා මට කිව්වා සුදූ.. අනිද්දට මං උදේම ඇවිත් අක්කගෙ තනියට ඉන්නම්.. ඔයා ගිහින් මස්සිනාගෙ දේපල බලන් එන්න..

“ඒවා අප්පච්චියි අම්මයි බලාගනියි..

“ඒවා නැතත් බලන්න වෙන දේවල් ඇතිනේ..

ඈ ඔය හදන්නේ මා කෝප ගන්වන්නය. කියූ දේ නොවැටහුනා මෙන් මම නිදිමතේ බලා උන්නෙමි.

“සුදූ.. මේක විහිළුවට ගන්නෙපා.. සඳුන්ව ඔයාට මාරෙට මැච් වෙනවා..

“එයාට කවුරුහරි ඇති රේණු අක්කා..

මහා දුකකින් පපුව රිඳුම් දෙද්දි මම පැවසුවෙමි. ඈ මගේ අතක් තදට අල්වා ගත්තාය.

“එහෙම නෑ නංගි.. අපි ඕනෙනං හොයල බලමු.. අමාට සාගර අයියව මැච් වෙනවට වඩා ඔයාට සඳුන්ව මැච් වෙනවා..

දිගු හුස්මක් පිට කල මා නැගිට සඳැල්ලේ දොරට බර දුනිමි. රේණු අක්කාද මට ළං විය.

“ඔයා තාම පුංචියි තමයි. ඒත් දෙවියො එයාව මවලා තියෙන්නෙ ඔයා වෙනුවෙන්මනං..

“අම්මට ඇහෙන්න ඕවා කියන්නෙපා අක්කා..

කුමක්දෝ නොතේරෙන බියක් සිත වසා පැතිර යද්දී මම ඇයට කීවෙමි.

“මං කාටවත් කියන්නෑ.. ඒත් ඔයා ඒ ගැන ටිකක් හිතලා බලන්න..

“මොනවද රේණු අපේ සුදූට හිතන්න කිව්වෙ..?

අක්කා ළඟටම පැමිණ ඇති බව දුටු විට මසිත තිගැස්සුණි. රේණු අක්කා ඒ බව දුටුවාය.

“මං මේ සුදූට කිව්වෙ අමා රිසල්ට් එනකල් ගෙදර ඉන්න එකේ මොනව හරි කෝස් එකක් කරන්න කියලා..

“එහෙනං කාටවත් කියන්නෑ කිව්වෙ..

රේණු අක්කා හොර බැල්මෙන් මදෙස බැලුවාය. මම අහක බලා ගතිමි.

“සුදූට ජොබ් එකක් කරන්න ආසලු.. ඒත් මං බැන්නා අමා.. මේ තරම් දේපල තියාගෙන මේ පොඩි කෙල්ල මොකට ජොබ් වලට යනවද..?

එවදන් විශ්වාස කල අක්කා නෙතු විසල් කර පුදුමයෙන් මදෙස බැලුවාය.

“සුදූ මටවත් කිව්වෙ නෑ..

ඒ හඬෙහි වූයේ මහා දුකකි. එය තේරුම් ගත් රේණු අක්කා කතාව වෙනස් කළාය.

“අමා වෙඩින් එකකට ලෑස්ති වෙන එක ලේසි නෑ.. තව මාස ගාණයිනෙ තියෙන්නෙ..

“ඔව් රේණු.. කොහෙන් පටන්ගත්තද කියල තේරෙන්නෙ නෑ..

“උඹ මනාලිට ඕන කරන දේවල් ගැන හිතපං.. ඉතුරුවා අම්මලා බලාගනී..

“අප්පච්චිනං කිව්වා වෙඩින් එක ගෙදරම ගන්නව කියලා..

අප්පච්චී එසේ කියූ වගක් අක්කා කියන තුරු මා දැන උන්නේ නැත. කොහොමටත් මේ ඉඩකඩ මේ විශාල නිවස මංගල්ලයකට පමණටත් වඩා සෑහේ.

“උයන පිහන දේවල් උනත් උඹලගෙ වත්තෙ වැඩ කරන ගෑණු කට්ටියම කරල දෙයි. ඒ මිනිස්සුන්ට රහට උයන්න පුළුවන්නෙ බං..

“අනේ මන්දා..

අක්කාගේ මුවින් එවදන් පිට වූයේ දිගු හුස්මක්ද සමඟිනි. ඈ උන්නේ නොසන්සුන්ව බව මා ඉන් වටහා ගතිමි.

“උඹ බයවෙන්නෙපා අමා.. ගමේ මිනිස්සු හැමෝම උඹලගෙ පවුලට ආදරෙයි.. ඒ වගේම ගරු කරනවා.. ඉතිං ඔය වැඩ ටික කරගන්න ඒ හැටි අමාරු වෙන්නෑ..

රේණු අක්කා ඈ සිත සනසද්දී මා එවදන් සියල්ල අසා නොදොඩා බලා උනිමි.


No comments:

Post a Comment