Thursday, November 15, 2012

| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |


දහනව වසරක සුන්දර පාසල් සමය නිමා කළ මා නිදහස් සිතිවිලි කන්දරාවක් සිත දරා නිවසට ආවේ පියඹා යන සැහැල්ලුවකිනි. වෙනදා මෙන් අක්කාගේ ආදරණිය දෑස මා එන මගට යොමුව තිබෙනු දැක මා සිතේ ඈ ගැන ඉමහත් ආදරයක් ඇති විය. කර දමා තිබූ බෑගය ගලවා ඈ අතට විසි කල මා ඇගේ කම්මුලක් සිපගතිමි.

“මොකද අද මෙච්චර විසේ..?”

“ඔන්න සුදු අක්කි අද ඉඳලා ඔයාගෙ මුර වැඩේ ඉවරයි..”


ඈ දෙනෙත් විසල් කර මා දෙස බැලුවාය.

“මොන මුර වැඩේද..?”

“ඇයි හැමදාම මං එනකල් පාර බලන් මුර කරන එක. ඒක අදින් ඉවරයි. හෙට ඉදලා මං හැමදාම ගෙදර..”

සුන්දරව වැඩුනු තේ වගාව අතරින් නිවසට ඇදෙන අතරේ මම පැවසූවෙමි. අක්කා මදෙස බලා මාදුවට සිනාසුනාය. ඇගේ එම අහිංසක හිනාව අද්දර මට මුලු ලෝකයම අමතක කර දැමිමේ හැකියාව තිබිනි. ඒ මා අම්මාටත් අප්පච්චීටත් වඩා ඈට පෙම් කල නිසාවෙනි.

“සුදූ... විභාගෙ ලේසිද පුතේ..?”

මා නිවසට ගොඩවීමෙන් ප්‍රථම අප්පච්චී සුපුරුදු පරිදි මා අකමැතිම ප්‍රශ්නය විමසුවේය. කවදත් මා සිතැඟි තේරුම් ගැනීමට සමත් අක්කා ඔය වග මගෙන් නොවිමසන බව මට විශ්වාසය.

“අපේ සුදූට කවදද අප්පච්චී විභාගයක් අමාරු උනේ. එයා හොඳට ලියන්න ඇති.”

මා වෙනුවෙන් පිළිතුරු දුන්නේ අක්කාය. නිවසේ සිට අම්මාත් අපේ හඬ ඇසී සාලයට ආවේ සිනහව මුව රඳවාගෙනය. මගේ හිස අතගෑ ඕ අමුතුම ඉරියව්වකින් මදෙස බලා උන්නාය.

“යන්න පුතේ.. ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න. ඔයාට මහන්සිත් ඇතිනේ..”

ඈ එසේ පැවසූවද මට කිසිදු මහන්සියක් නොදැනුණි. උසස් පෙළ අවසාන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ පසු දැණුන නිදහස මෙතෙකැයි කිව නොහැක. ඉතිං ඒ නිදහස ගතට දැනුන විඩාවට යටපත් කරගෙන නැගී ගියේය.

“අක්කී දොළට යං. මට නාන්න ඕනෙ..”

“අනේ පුතේ මේ අව්වෙ ආපු ගමන් නාන්න එපා. ඇඟ හොදගෙන කාලා ඉන්න..”

“අනේ අම්මෙ.. අද විතරනේ..”

මාගේ මුරණ්ඩු ගති දන්නා නිසාවෙන් ඈ කිසිවක් දෙඩුවේ නැත. එයට මට අනුමැතිය ලැබුණා හා සමානය. ඔවුන් තිදෙනාම සාලයේ බලා ඉද්දී මා ඉහළ මාලයට දිව විත් කොට කලිසමකින් හා ස්කිනියකින් සැරසුනෙමි. ඉන් පසු ඉහළට පැමිණියාටත් වඩා වේගයෙන් පඩි පෙල බැස ආවෙමි.

“අක්කි මං හරි.. යං.........”

ඉතිං ඕ සිනාසුනා මිස මට කිසිවක් නොකීවාය. මගේ තුවාය රැගෙන එන විට මා උන්නේ මිදුල පිටුපස වූ ඔන්චිල්ලාව මතය.

“සුදූ අද නං ඇත්තටම ඔයාගෙ දාංගලේ වැඩියි. ඇයි අන්තිම දවසෙ කොල්ලෙක්ට කැමැත්තවත් දුන්නද..?”

“මං... මේ.. මං... කොල්ලෙක්ට කැමති වෙන්න.. ඔයාට පිස්සුද අක්කි.. මට ඔයා ඉන්දැද්දි මොකටද කොල්ලො..”

හයියෙන් සිනාසුන මා ඔන්චිල්ලාව වේගයෙන් ඉහලට ගතිමි. අක්කා තරවටුවක ස්වරූපයෙන් මදෙස බැලුවාය. එදවස අප පුංචි සන්දියේ ලණුව අත හැරී ගිය අයුරු අද මෙන් මතකය. ඉහළින් විසි වී ගිය මා වැටුණේ ගල් වැටි දෙකකටත් එහායිනි. ඇස් නිලංකාර වී ගිය ඒ මොහොතේ මට මතක තිබූ එකම දෙය අක්කාගේ මර ලතෝනිය පමණි. පැය ගණනාවකට පසු සිහිය එන විටදීත් මා ඉහ අද්දර උන් අක්කා හැඬූ කඳුළින් මදෙස බලා උන්නාය. අප්පච්චී එදිනම ඔන්චිල්ලාව කපා දමා තිබිණි. නමුත් කාලයකට පසු මගේ බලවත් ඉල්ලීම මත එය බඳිනු ලැබූවේ දහසක් නීති සමගිනි.

“මොකද ඒ පාර කල්පනාව..? නාන්න යන්නෙ නැද්ද..?”

ඔන්චිල්ලාවෙන් බැස ගත් මා ඈ සමඟ දොල පාරට පැමිණියෙමි. අපේ තේ වත්ත වැදින් ගලා ගිය එම දොල පාර තුරු වදුලක් අද්දරදී වඩාත් පුළුල්ව විලක් මෙන් සෑදී ඇත. නිවසේ නාන කාමර ඇතත් අප වඩාත් කැමති වූයේ මේ සීතල වතුර නෑමටය.

“ඔයා නාන්නෙ නෑ..?”

“මං උදේ නෑවා සුදූ.. ඔයා නාන්න. මං මෙතන ඉන්නම්..”

ඈ කවදත් දොලෙන් නෑවේ දිය රෙද්දක් හැඳගෙනය. නමුත් මා කිසි දවසක එය ප්‍රිය කලේ නැත. කෙතරම් තදට ඇන්දත් වතුරට බැසීමටත් ප්‍රථම එය ලිහී යයි. සුදූට ඕක හරියන්නෑ. ඔයා පුරුදු ඇඳුම ඇඳගෙන නාන්න. ඉතිං අම්මා කියයි. මා කොට කලිසම හා සැහැල්ලු ස්කිනිය හැඳ නෑමට පුරුදු වූයේ එසේය.

“සුදූ ඔයාට කියන්න දෙයක් තියෙනවා.”

ඒ දෑස අද අමුතුය. එහි ගැබ්ව ඇත්තේ සතුටද දුකද යන්න වටහා ගත නොහැකිව මා බලා උන්නෙමි.

“මමත් මේක දන්නෙ ඊයෙ. වත්තෙ ගුණවතී නැන්දා මට යෝජනාවක් ගෙනල්ලා සුදූ.”

නෑම නවතා මා ක්ෂණිකව නැගී සිටියෙමි. ඈ මෙතෙක් කිසිඳු පෙම් සබඳතාවයක බැඳුනේ නැත. අප්පච්චී ඔය වග ගුණවතී නැන්දාට කියන්නට ඇත්තේ ඒ නිසාවෙනි. වත්තේ වැඩට පැමිණියද මගුල් කපුකම අමතර රැකියාවක් ලෙස කල ගුණවතී නැන්දා අපේ පවුලට ලැදිය.

“ඉතිං කවුද..? කොහෙද..?”

මගේ වචන පිට වූයේ මා සිතුවාට වඩා තරමක් වේගයෙනි. එබැවින් අක්කාගේ බැල්ම වෙනස් විය.

“ඔයාට දුකයි කියලා මං දන්නවා පැටියො. ඔයාව දාලා යන්න මමත් කැමති නෑ. ඒත් අපි හැමදාම අප්පච්චිට බරක් වෙන්නෙ කොහොමද..?”

ඈ ජීවිතය දෙස බැලුවේ මා මෙන් සරලව නොව ගැඹුරෙනි.

මෙතෙක් සිත රැඳි සැහැල්ලුව හිරු දුටු පිණි බිඳක් මෙන් අතුරුදන් විය. මා ජීවිතයේ වූ එකම සහෝදරිය, හොඳම යෙහෙළිය වූ ඈ නව කැදැල්ලකට පියමං කරන කාලය එළඹ ඇත.

අප්පච්චීට අයත් අක්කර ගණනාවක් වූ තේ වතු පුරා මා මෙතෙක් කලක් සෙල්ලම් කලේ ඈ  සමගය. පාසල් ගියේ ඈ අතේ එල්ලීගෙනය. නිදා ගත්තේ ඈ තුරුලේය. කොටින්ම මා ජීවිතයේ හුස්ම පොද වූයේ ඇයයි. ඉතිං ඈ නැති හෙටක් යනු හිස්තැනක් පමණි. මා දෙනෙතින් කඳුළු කඩා හැලුණේ අක්කාගේ දෑස් තව තවත් අසරණ කරවමිනි.

“අනේ සුදූ.. අඬන්න එපා..”

දිය බිඳු බේරෙන මා මුහුණ මතින් ගලා හැලෙන කඳුළු වැල් ඈ වෙන් කොට හඳුනා ගත්තාය. ඈ දෙස තවත් බලා ඉන්නට බැරි තැන මම නැවතත් වතුරේ ගිලුනෙමි.

තම එකම සොයුරියගේ විවාහය ගැහැණු ළමයෙකුට සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානය. නමුත් එලෙස සිත සනසා ගත නොහැකි වූයේ ඇය මට සොයුරියක් නොව මවක් වූ නිසාය. හිසේ මහා බර ගතියක් සමඟ මම නැගී සිටියෙමි.

“මට නෑවා ඇති. අපි ගෙදර යං..”

“ඔයා අසනීප වෙයි නංගි.. තව ටිකක් නාන්න.”

මුරණ්ඩු සිත පෙරටු කරගෙන මා දියෙන් ගොඩට ආවේ අක්කා සිටි නැතම බලා ඉද්දීය. පියවර කිහිපයක් ඉදිරියට ගියද අක්කා තවමත් නැ. ඈ දමා යා නොහැකි නිසා මා හැරී බැලුවෙමි. ඈ දෙනෙත් රතු කරගෙන ඉතා දයාබර ඇසකින් මදෙස බලා උන්නාය. තදකරගත් ඉකි බිඳුම පිටාර ගලා යද්දී මා දිව ගොස් ඇය වැළඳ ගතිමි.

නිවසට පැමිණ අක්කාගේ පෙරැත්තය මත බත් කටක් දෙකක් ගිල දමා ඇඳට වැටුණ මා වෙත නින්ද ළඟා වූයේ මටත් නොදැනීමය. නින්දෙන් අවදි වෙද්දී හිසේ වූ බර ගතිය දෙගුණ තෙගුණ වී දැනුනි. ඇඳේ පසෙකින් වූ අක්කාගේ කොට්ටය ළඟට ගෙන මා එය තුරුල් කර ගතිමි. ඈ ළඟින් නිතර එන මෘදු සුවඳ එහි මනාවට තැවරී ඇත. ඒ වන්දනීය සොයුරු පෙම තුළ ගිලී යාමේ නොනිත් ආශාව නිසා මා නැවත දෙනෙත් පියා ගතිමි. සුළු වේලාවක් කිසිවෙක් මා හිස පිරිමදිනු දැනී මම දෙනෙත් හැර බැලුවෙමි.

“ඔයා ගොඩක් වෙලා නිදාගත්තා.. දැන් නැගිටින්න සුදූ.. හවස් වෙලා..”

“ම්හ්.. මගේ ඔළුව රිදෙනවා..”

“ඔයාට උණුවෙන් තේ එකක් ගේන්නං..”

“එපා..”

ඇගේ ඉණ වටා දෙඅත් යවා ඒ ඔඩොක්කුවේ හිස හොවා ගතිමි. එකවරම මගේ කම්මුල් වලට සීතල දිය පොදක් පතිත වද්දී මා ඇගේ මුහුණ බැලුවෙමි. අනේ ඈ දෙනෙතේ කඳුළුය. ඇය සතුටින් තැබිය යුතු වෙලාවක මා ඇය හඬවනවා නොවේද..? ඉතිං සිත තද කර ගත යුතුය. දෙනෙතට වැට කඩොලු බැඳිය යුතුය. කවදත් සුපුරුදු සැහැල්ලු පෙනුම ආරූඩ කරගෙන මා නැගී උන්නෙමි.

“යං.. අපි ටී.වී බලමු..”

අප පහල මාලයට යන විට අම්මාත් අප්පච්චීත් උන්නේ සාලයේ කතා කරමිනි.

“ආ.. ඔය එන්නෙ..”

“සුදූ කවදාවත් නැතුව හවස නිදාගෙන නේද..?”

අම්මා මා ඈ ළඟින් හිදුවාගෙන ඇසුවාය. මම අම්මාගේ උරහිසේ හිස හොවා ගතිමි.

“අනේ දරුවො ඔයාගෙ ඔළුව හොඳටම රස්නෙයි.. ඇයි මේ..?”

“ඔළුව ටිකක් රිදෙනවා අම්මා.. ඒකයි..”

“එපා කියද්දි නෑවනේ ඉතිං..”

මම අක්කාගේ මුහුණ බැලුවෙමි. ඈ නෙතු රැඳී තිබුණේ මා මුහුණ අද්දරය. මගේ හිසේ අමාරුවට හේතුව දන්නා ඈ අසරණව බලා උන්නා පමණි.

“සුදූට කියන්න සතුටුදායක ආරංචියක් තියෙනවා. ඔයාගෙ අක්කා මනාලියක් වෙනවට ඔයා කැමතියි නේද..?”

අප්පච්චීගේ සතුටුදායක පුවත මට කිසිදු අනතුරක් නොවන බව ඔහු නොදනී. ඉතින් ඔහු උන්නේ සැහැල්ලුවෙනි. අප්පච්චීගේ දයාබර සිත රිදවනු නොහැකි නිසාවෙන් මා ගොළුවත රැකිමි.

“මේ ඉරිදා අක්කා බලන්න කට්ටියක් එනවා. හොඳ වැදගත් පවුලක්ලු..”

“අක්කා බැඳලා ගියාම සුදූට තමා ඉතිං පාලු..”

අම්මා සිත හැඳින්නාය. මේ ඔස්සේ කතා කිරීමෙන් මා නෙතු කොයි මොහොතක හෝ හඩා වැටීමට පුළුවන. මා හැඬුවා කියා අක්කා සැමදා නිවසේ රදවාගත නොහැක. නැගණියක් වශයෙන් මා කළ යුත්තේ ඇයට ආශිර්වාද කිරීම පමණි.


2 comments:

  1. aluth ekak dala adenawane.mama me nikamata me paththe awe.

    ReplyDelete
  2. Dawas ganak balan idala aluth kathandara nathi thana kathandara potha amathaka karala damma. Math me nikamata awe. Eka athakin kathandara wala කතෘලා Ehema nathnam නිරමාතෘලා welawakata gahanu lamai wage hari chapalai ane.

    ReplyDelete