Friday, November 9, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |



සඳුදා සෙම්බිලි එකේදි ප්‍රින්සිපල් සර් අපූරු කතාවක් කරා. සුපුරුදු පරිදි හැමදාම කියන දේවල් ටික කියල ඉවර කරල තමයි පිනා සර් ඒ ඉතිහාස කතාව කිව්වෙ. ඒ වෙනකොට හිටගෙන ඉඳලත් මට ඇතිවෙලා තිබුණෙ.

“මේ ළමයින්ට මං දැන් කියන්න යන දේ, සිකුරාදා ස්ටාෆ් මීට්න් එකේදි සමස්ථ ගුරු මණ්ඩලයම දැනුවත් වුණ දෙයක්. ඇත්තටම මේ කියන කාර්යය මහා පිනක් විදියටයි මම දකින්නෙ. ඔය දරුවො හැමෝම හැමදාම දකිනවා ඇති.. අපේ ඉස්කෝලෙ කාල පරිච්ඡේද වෙන් කරන්න බෙල් එක ගහන හීන් බංඩව. මෙච්චර කාලෙකට කවුරුවත් කිසිම කෙනෙක්ව ඒ හීන් බංඩා ඉන්නෙ කොහෙද, ඒ මනුස්සයා කාගෙ කවුද, ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතලා තිබුණෙ නෑ. මට කියන්න ලැජ්ජයි.. මාත් අවුරුදු ගාණක් මේ ඉස්කෝලෙ විදුහල්පති දූරය දැරුවා. අඩු ගාණෙ මටවත් හිතුණෙ නෑ.. ඒත් දැන් මට කියන්න සතුටුයි.. මේ ඉස්කෝලෙ එකම එක ශිෂ්‍යයෙක්ට ඒ හීන්බංඩා ගැන ඔය කිව්ව දේවල් හිතිලා තිබුණා.”


බොහොම වැදගත් විදියට සාවධානව කරගෙන ගියපු කතාව ප්‍රින්සිපල් සර් තත්පරේකට දෙකකට නතර කරලා තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ගුරු මංඩලයයි, ළමයිනුයි දිහා බැලුවා. ඒ අතරෙ යාංතමට යාංතමට කසු කුසු ඇහෙන්න ගත්තා ළමයි අතරෙ. ඇයි ඉතිං හැමෝම හිතනව ඇතිනේ කාටද මේ මනුස්ස කරුණාව පහල උනේ කියලා. ඔය අතරෙ මට ඉස්සරහ පේළියෙ හිටපු බලයයි, ඊට එහා පේලියෙ හිටපු ඇම්ඩයි හැරි හැරි බලද්දි මං අහක බලාගත්තා. තව ටිකකින් ළමයි ඔක්කොම මේ පැත්ත බලයි. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.

“අපි කවුරුවත් විහිලුවට වත් නොහිතපු හීන් බංඩා ගැන ඒ ශිෂ්‍යයා හුඟක් දේ හිතලා තිබුණා. මට වැඩියක්ම සතුටු ඒකයි. මොකද කෙනෙක් එගැන දේවල් හිතලා, දුක්වෙලා, පැත්තකට වෙලා ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒත් මේ අපේ ශිෂ්‍යයා.. අපේ මේ වීරයා.. එයාගෙ ඒ පපුවට දැනිච්ච දේ දැන් ක්‍රියාවට නංවමින් පවතිනවා.. ඒකයි මං කලින් කිව්වෙ මට වැඩියක්ම සතුටු හිතෙන්නෙ මේ දේ හින්දයි කියලා. හීන් බංඩා උන්නැහේට තව වැඩි කාලයක් මේ බෙල් රස්සාව කරන්න බෑ කියලා අපි හැමෝම දන්නවා.. එයා අවුරුදු හැත්තෑවකට ආසන්න වෙච්චි මනුස්සයෙක්. ඒකයි මං කලින් කිව්වෙ මේක උදාතර කටයුත්තක් කියලා. අපි හැමෝටම හිතෙන්න තිබ්බ දෙයක් තනි හිතකට මේ දහස් ගාණක් අපි අතරෙ, ඒ තනි හිත ගැන අපි ආඩම්බර වෙන්නෝන..”

පිස්සු නැත්නම් මඤ්ඤොක්කා කොල මක්කටෙයි ඇහුවලු. පිනා සර් ඕල් රවුන්ඩර් කෙනෙක් වෙලා හතර වටේටම නෙලනවා. දැන් නම් මටත් ටිකක් දාඩිය දාගෙන එනව වගේ. ඇම්ඩා නම් බලන් ඉන්නෙ, චාන්ස් එක්ක ආපු ගමන්ම හුරේ පාරක් දාන්න කියනෙක උගේ හතර පැත්තට කර කැවෙන ඇස් දෙක දැකපු ඕනම එකෙකුට කියතෑකි. එතන ඉඳලා ප්‍රින්සිපල් සර්ගෙ කතාවට පාදක වුණේ අපි කරන්න යන මියුසිකල් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඒකට අවශ්‍ය උදව් අනිවාර්යෙන්ම දෙන්න ඕන කියන දේ පිනා සර් අවධාරණය කරා. අන්තිමට තමයි පිනා සර් වැදගත්ම කොටසට ආවෙ.

“දැන් ඔන්න මම හැමදේම මගේ දුවා දරුවොන්ට විස්තර කරල ඉවරයි.. මේක අපි හැමෝගෙන්ම වෙන්න ඕන යුතුකමක් කියලා හිතන්න.. කෙනෙක් අපි ගාවින් ගියාට පස්සෙ, කෙනෙක් මැරුණට පස්සෙ උදව් උපකාර කරල, අගය කරල වැඩක් නෑ. ඒ පුද්ගලයා අපි ළඟ ඉන්දෙද්දි, ජීවත් වෙලා ඉන්දෙද්දි තමයි ඒ දේ කරන්න ඕන.. ඉතින් දැන් හැමෝම බලනව ඇති මං මේ කරපු කතාවට වස්තු බීජය සපයපු ශිෂ්‍යයා කවුද කියල දැනගන්න.. තමන්ගෙ නොවන කෙනෙක් වෙනුවෙන් පපුව උණුවෙච්ච නිරහංකාර හදවත හිමි කවුද කියලා දැනගන්න.. ඒ තමයි...”

ප්‍රින්සිපල් සර් කුතුහලය අවුස්සන්න වගේ තත්පර දෙක තුනකට කතාව නතර කලා. ඒ තත්පර දෙක ඇම්ඩට මදැයි.. ඌ වක්කඩේ ඇරියා..

“ඒ තමයි අපේ බෙකම්... කමෝන් බෙකම්.. කමෝන්..”

එසෙම්බ්ලි එකට හිටපු  හැමෝම නිශ්ශබ්ද වෙලා තියෙද්දි ඇම්ඩගෙ කටහඬ ලව්ඩ්ස්පීකර් සද්දයක් වගේ දෝර ගලාගෙන ගියා. මං හිතන්නෙ මේ සෙන්ට්‍රල් එකේ පළවෙනි වතාවට වෙන්නැති එසෙම්බ්ලි එකකදි ශිෂ්‍යයෙක් ඔය ඇම්ඩා කරා වගේ වැඩක් කරේ.. ටිකකින් මුළු ඉස්කෝලෙම අය මං වෙනුවෙන් අත්පුඩි ගහන්න ගත්තා. ඒක ඇත්තටම පුදුමාකාර තරම් ආස්වාදයක් ගෙනත් දීපු අවස්තාවක්. මගේ හිතේ තිබ්බ නිහතමානීකම පුපුරල ගිහින්, නිකං අමුතු ගැම්මක් ආව කිව්වොත් ඒක වැරදි නෑ.

“ඔව්.. ඔව්.. මං කියන්නත් කලින් අපේ ශිෂ්‍යයෙක්ගෙ කටින් ඒ නම පිටවුණා. අපේ ඉස්කෝලෙ ජනප්‍රියතම ශිෂ්‍යයා වුණ නවෝද් රත්නායක තමයි මේ හැමදේටම මුල් උන කෙනා.. අපේ පාසලට පාපන්දු ක්‍රීඩාවෙන් ඉතා උසස් මට්ටමේ ජයග්‍රහණ ලබා දීමට මුල්වෙනව වගේම මේ වගේ දේවල් වලිනුත් ඔහු මේ පාසලට ණය ගැති නොවන දරුවෙක් කියලා පෙන්වනවා..”

ප්‍රින්සිපල් සර්රුත් කතා කරන්න ගියාම ආයෙ ඉතිං පැතුමට මයික්‍රෆෝන් එක අහුවුනා වගේ තමයි. වෙන කාටවත් දීමක් නම් නෑ. කොහොම හරි එසෙම්බ්ලි එක ඉවර වෙනකොට දෙවැනි පීරියඩ් එකෙනුත් බාගයක් විතර ගෙවිලා.. පන්තියට ආපු ගමන්ම නිරෝමි මං ළඟට ආවා. ඒ ඇස් තෙත් වෙලා වගේ තියෙන හැටි මං දැක්කා.

“න.. නවෝද්..”

“ඇයි නිරෝමි..?”

“ඔ.. ඔයා හරිම හොඳයි නවෝද්.. ඔයා හරිම හොඳයි.. ඔයාට තියෙන්නෙ පුදුම තරම් ලස්සන හදවතක්..”

“බලාගෙන බෙකම්.. හා.. හා.. බලාගෙනයි.. දෙතොලේ කටු ඇනෙයි.. සිප ගන්නේ ඔය මල් බලාගෙන හොදේ..”

කොහෙද ඉතිං දෙයක් කතා කරන්නෙ.. මොකක්දෝ සිංදුවක් කියාගෙන පැතුම් අපේ ළඟට ආවා.

“ඔයා හරි නරකයි පැතුම්..”

“හා..! මං නරකයි.. බෙකම් හොඳයි.. මේ නිරෝමි.. ඔයා මගේ පිත්තාශය කෑවා කියල හිතාගන්න හොදේ.. ඇයි යකෝ.. මේ ඉස්කෝලෙ ඉන්න කෙල්ලො ඔක්කොම බෙකම්ටද..? ඔන්න අහගන්න නිරෝමි.. මං මේ වෙච්චි හිතේ අමාරුවට, ඇල්බට් අයින්ස්ටයින් වගේ තියරි එකක් හදනවා.. දැනගනිල්ලා..”

“මං යනව නවෝද්.. පැතුම්ට පිස්සු තදවෙලා..”

“ඔව් නිරෝමි.. ඔව්.. මට පිස්සු.. උමට කියන්නෙ බෙකම් මේ අවස්ථාවේ මට ගීයක් සිහිපත් වෙනවා.. මා එය ගායනා කරන්නද..? උඹ කැමතිද..?”

කැමතියි කියන්නැතුව වෙන මොනවා කියන්නද අප්පා.. මේකා ඉතිං අපි අකමැති උනත් සිංදු කියන එකානේ..

“කැමතියි..”

“හොඳා.. හොඳා.. එහෙනම් මා ප්‍රිය සොඳුර නිරෝමි ඔබ වෙනුවෙන් වැලපෙන මගේ හදවතේ රාවය අසන්න..”

මං කලිනුත් කිව්වෙ.. පැතුමට මයික්‍රෆෝනය අහුවුනා වගේ කියලා ප්‍රස්ථා පිරුලක්.. ඒක ඉතිං බොරු නෙමෙයිනේ..

“පැතුමා තව ටිකකින් චේතනා මිස් එනවා.. ඒක හින්දා කරන නව නිංගිරාවක් කරපං.. අපිට බලන් ඉන්න බෑ..”

අන්තිම පේලියෙ හිටපු කල්හාරයා කෑගැහුවා.. පැතුමා එකපාරටම ගුරු මේසය ළඟින් ගිහින්, මයික් එක වගේ අත ගුලි කරගෙන සිංදුව පටන්ගත්තා.

“මගේ.. සිත තව රිදවලා.. යන්නෙ කිම ඔබ සැඟවිලා..
විඩාබරයි දැන්.. ඔබේ සෙනේ.. ඈත්ව යන්නට අවසරයි..
නිරෝමී.. නිරෝමී.. නිරෝමී..”

කොල්ලො ඩෙක්ස්වලට තාලෙට ගහද්දි, ලා හොටු කොල්ලාස් ගෘප් එකේ පැතුමා සජීවීව ගායනා කරා. ඇත්තමයි අපරාදෙ කියන්න බෑ.. ඌ ලස්සනටම කිව්වා. මං හිතුවෙ මේකා ජෝක් එකට මොනවා හරි ඇදල අරී කියලා.. බැලුවහම මූ සීරියස්ම ගේමට බැස්සනේ.. කොහොම හරි අන්තිමට උනේ, නිරෝමි ඩෙස්ක් එකේ මූණ ඔබා ගත්තෙකයි. ඒ එක්කම තමයි චේතනා මිස් කලබලෙන් වගේ පන්තියට ආවෙ. සමහර විට, එසෙම්බ්ලි එක හන්ද පීරියඩ් එකෙන් බාගයක් විතර කට් වුණ නිසා වෙන්නැති.

“අපි අන්තිමට කොහෙන්ද නැවැත්තුවෙ..?”

ඉස්සරහම පේළියෙ හිටපු නෙලුනිගෙන් ඇප්ලයිඩ් පොත අරගන්න ගමන් චේතනා මිස් ඇහුවා.

“බෙකම්..?”

මාධව මගේ පැත්තට ළංවුණා. ඇයි කියල අහන්න වගේ මං ඌ දිහාට හැරුණා.

“කවද හරි බඳිනව නම් ටීචර් කෙනෙක්ව බැඳපං..”

“ඒ මොකෝ බං..?”

“නෑ ඉතිං.. කොයි වෙලාවෙත් එයාලා අන්තිමට කොතනින්ද නැවැත්තුවෙ කියල අහල එතනින්නෙ පටන්ගන්නෙ..”

මුගේ කට කොටියම කන්න ඕනි. ඌ කිව්වෙ තනිකරම කුණුහරුපයක්නේ.. කොහොම හරි නවත්තපු තැන ඉඳලා පටන් අරගෙන ඕන්නම් චේතනා මිස් විනාඩි විස්සක් පන්තිය කරන්න ඇති. පීරියඩ් එක ඉවර වෙන්නත් ඒ තරම් වෙලාවක් තිබුණෙ නෑ. හැමෝම හිටියෙ චේතනා මිස් බ්ලැක්බෝඩ් එකේ හදන ඇප්ලයිඩ් ගානක් දිහා බලාගෙන. බ්ලැක් බෝඩ් එකේ ලිය ලිය හිටපු මිස් එක පාරටම පන්තිය දිහාට හැරුණා. ඊට පස්සෙ මිස්ගෙ ඇස් පන්තියෙ කොල්ලො කෙල්ලො වටේ රවුමක් ගියා. ගිිහ්න ඒ ඇස් නතර උනේ පැතුම් ළඟ. හත්වලාමයි.. මේකා හිටු කියලා මොනවදෝ ලියනව නේද..?

“ඕකා ස්ත්‍රී පජනක පද්ධතිය අඳිනවද කොහෙද..?”

මගේ ළඟ ඉඳපු මාධව කෙඳිරුවා. මිස්ගෙ ඇස් දෙකයි, මුළු පන්තියෙම කෙල්ලො කොල්ලන්ගෙ ඇසුයි උගේ දිහාට යොමුවෙලා කියලා පැතුම් තාම දන්නෑ. අනේ කුණු සංසාරෙ ඌ දිව විකාගෙන ගජරාමෙට ලියනවා.. එහෙමත් නැත්නම් අඳිනවා..

“පැතුම්...”

චේතනා මිස්ගෙ කටහඩ සංගීතයක් වගේ කණ ළඟින්ම ඇහුණත්, පැතුමත් ඌට නෙමෙයි වගේ කොලේ ලියාගෙන යනවා. මේකා කවදාවත් නැතුව ලව් ලෙටර් එකක්වත් ලියනවද මංදා. මූට ඇති කෙල්ලෙකුත් නෑ.. හිතෙයි ඇඟෙයි තියෙන ලව් මාන්මට ඕවා ලියලා නෝන්ඩි උනොත් විනයා ගාව තමයි..

“ඕකගෙ කකුල පාගපිය..”

මං මාධවයට කිව්වා. කියපු ගමන් මාධවයා අමාරුවෙන් කකුල දික් කරල වැඩේ කරත්, පැතුමා ඌ දිහා හොඳට බලලා රවලා ආයෙත් දිව හපාගෙන ලියන්න ගත්තා. පේන විදියට නම් මූ අද හොඳ එකෙන්ම කනවා.

“පැතුම්.. ඔයා මොනවද කරන්නෙ ආ.. මං කතා කරනෙක ඔයාට ඇහෙනවද..?”

චේතනා මිස්ගෙ කටහඩේ සද්දෙට පැතුම් ගැස්සුණා. ඌ ලිය ලියාද, ඇඳ ඇඳද හිටපු කොලේ අතට ගුලි කරගත්තා.

“කෝ දෙනව බලන්න ඔය අතේ තියෙන කොලේ..”

චේතනා මිස් විදිල්ල වගේ පැතුමා ළඟට ආවා. චේතනා මිස් මොන දේට සමාව දුන්නත් පාඩම කරන අතරෙ අහන් හිටියෙ නැත්නම් කිසිම සමාවක් නෑ කියනෙක අපි හැමෝම දැනන් හිටියා. අනික පන්තිය භාර ගුරුතුමිය වශයෙන් එයාට අපේ හැම අලකොළ මැල්ලුමක් ගැනමත් අවබෝධයක් තිබුණා.

“අනේ මිස් ඒක නම් ගන්නෙපා..”

පැතුමා නිකං නෝන්ඩි තාලෙට වගේ කතා කරන්න ගත්තා. හරියට චේතනා මිස්ව බයිට් කරන්න වගේ.

“පැතුම්.. මං විනය සර්ට එන්න කියන්නද..? නැත්නම් ඔය අතේ තියෙන කොලේ දෙනවද..?”

දැන් පන්තියෙ හැම කොල්ලා කෙල්ලම මේ සිද්ධ වෙන්න යන විසානෙ දිහා කැත නැතුව බලන් ඉන්නවා.

“අනේ මිස්..”

“අනේ මිස් නෙමේ.. දෙනවා මෙහාට..”

චේතනා මිස් පැතුමගෙ අතේ කොලේ උදුරගෙන කියවන්න ගත්තා. නිකං උඩින් පල්ලෙන් කියවගෙන ගියපු මිස්ගෙ මූනට හිනාවක් ආවෙ කවුරුත් බලාපොරොත්තු නොවුණ විදියට.

“මං මේක පංතියටම ඇහෙන්න කියවනවා.. ආ.. පැතුම් හිතුවෙ මේක බුද්ධාගම පාඩම කියලද..?”

මොකක්ද බං ඒ අසමජ්ජාති කතාව.. මං මගෙන්ම අහගත්තා. මාධවත් මගේ මූණ දිහා බලලා මිස් දිහා බැලුවා. උසස් පෙළට කොයින්ද බුද්ධාගම.. මිස්ටත් අවුල් වෙලාද මංදා.. ටිකකින් මිස් පැතුමගෙ රචනාව කියවන්න ගත්තා. ඇත්තටම ඒ රචනාවට හිනා නොවුණ එකෙක් පන්තියෙ නොහිටියත් පැතුමා ලියලා තිබ්බෙ සීයට පන්සීයක් ඇත්ත..

“මගේ පංච සත්‍යය”

චේතනා මිස් පටන් ගත්තා. එහෙනම් මිස් බුද්ධාගම ගැන මතක් කරේ ඔය පංච සත්‍යය කියන වචන දෙක දැකල වෙන්නැති.

“මේකෙ පැතුම් කරුණු පහක් දක්වලා තියෙනවා.
අංක එක : අපි කැමති කෙල්ලන් අපට කැමති නැත.
අංක දෙක : අපට කැමති කෙල්ලන්ට අපි කැමති නැත.
අංක තුන : ඇතැම් කෙල්ලන් අප කැමති කාලයෙදී අපට කැමති නොවී අකමැති කාලයෙදී අපට කැමති වෙතී.
අංක හතර : කවදාවත් සිතක් පහල නොවේ යැයි සිතූ කෙල්ලන් ගැන පසු කාලයෙදී සිතක් පහළ වීම.
අංක පහ : මේක තමයි අවාසනාවන්තම කරුණ. කෙල්ලද කැමතිය, අපද කැමතිය, එහෙත් වෙනත් සාධක නිසා එකතු විය නොහැකිය. උදා, කෙල්ලට කොල්ලෙකු සිටීම..”

පිස්සු නැත්නම් හොඳයි.. බලන් ගියාම පැතුමට විතරක් නෙමෙයි අපේ චේතනා මිස්ටත් පි්සසු.. ඇයි දෙයි හාමුදුරුවනේ සමස්ථ විලිලැජ්ජා බය හිතෙන එකෙක් මේ වගේ තැනක ඕව කියවයිද..? හනේ මංදා.. ඒත් මං එහෙම හිතුවට පස්සෙ තමයි හොඳ වැඩේ උනේ.

“පැතුම්.. දැන් ඔයා මේ පංච සත්‍යයත් අරගෙන පන්තියෙන් එළියට වෙලා ඉන්න පීරියඩ් එක ඉවරවෙනකන්.. මගේ පීරියඩ් එක ඇතුලෙදි වෙන වෙන දේවල් කරනවට මං ඩිංගක්වත් කැමති නෑ.. ඒක තේරුම් ගන්න..”

ඕක තමයි කියන්නෙ ඔලුව අතගාලා ටොකු අනිනවා කියලා. පැතුමා මූණත් හතරැස් කරගෙන පුටුවෙන් නැගිට්ටා. මේකව නම් ඇත්තටම එලියට දාලා වැඩක් නෑ. ගියත් බී එකේ බලය එක්ක කතාවක් දාගනියි..  බී පන්තියටත් වැඩක් නෑ.. ඒත් හිතපු විදියට පැතුමට පන්තියෙන් එළියට යන්න බැරිවුණා.. මොකක්දෝ බාධකයක් පාටයි.

“හල්ලෝ.. හීන් බංඩා අංකල්.. ඔයා මොකද මෙහේ..?”

මං ඩිංගක් විතර එක්සයිට් වුණා.. ඒ දැල්ලා අංකල් පන්තිය ගාවට ආව කිව්වහම.. ඇයිද දන්නෑ මේ මනුස්සයා ආවෙ.. චේතනා මිස් පන්තියෙ ඉන්නව කියල, වගේ වගක් නැතුව පැතුමා හෙණට කතාව.

“ඇයි හීන් බන්ඩා අංකල් ඔයා අර බෙල් තඩියට තඩි බෑවෙ නැත්තෙ.. ඔයාට වෙලාව වැරදිලාද..? මං මේ පන්තියෙන් එළියට යන්නෙ බෙල් තඩිය ගහන්න.. අපේ චේතනා මිස් කියනවා.. වෙලාව වැඩියෙන් ගිහිල්ලා කියලා..”

මේකගෙ කට නම් කෑවත් මදි කියල අපේ මිස්ට හිතෙන්නැති.. පැතුමට හොඳ හැටි රවන ගමන් මිස්, හීං බංඩා අංකල් දිහා බැලුවා.

“හීන් බංඩා මොකද මේ වෙලාවෙ..?”

“ම.. ම.. මං මිස්.. නවෝද් පුතාව හම්බවෙන්න ආවෙ..”

“නවෝද්..?”

“ඔව් මිස්.. මංවත් දැනන් හිටියෙ නෑ මං වෙනුවෙන් මේ තරම් ලොකු දෙයක් කරන්න හදනව කියලා.. අනේ මට ඩිංගකට හම්බවෙන්න දෙන්න මිස්..”

“කිසි ප්‍රශ්නයක් නෑ.. හීන් බංඩා අංකල් අපේ බෙකම් ගාවින් වාඩිවෙලා ප්‍රශ්නෙ විසඳගන්න..”

“පැතුම්.. ඔයාට මෙතන කතාවක් නෑ.. යනවා පන්තියෙන් එළියට මගේ කාලෙ කන්නැතුව.. හ්ම් නවෝද්.. ඔයා ඩිංගක් එලියට ඇවිල්ලා මේ හීන් බංඩා මොකද කියන්නෙ බලන්න..”

කියන පරක්කුවටම මං පන්තියෙන් එළියට ආවා. මාව දැකපු ගමන් දැල්ලා අංකල් මගේ අත් දෙකෙන් අල්ලගත්තා. ඒ වියපත් ඇස් වලට කඳුලු ගංගාවක්ම ඇවිල්ලා.

“ඇ.. ඇයි අංකල් මේ..?”

“තිස් තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා මහං අහලා තියෙනවා පුතා.. ඒත් මං දැකල තිබ්බෙ නෑ.. ඒ නොදැකපු දෙවියන්ගෙන් කෙනෙක් තමයි ඔයා.. ඔ.. ඔයාට හුඟක් පින් නවෝද් පුතා.. හුඟක් පින්.. මං වෙන්වෙන් මේ වගේ දෙයක් කිසිම කෙනෙක් කරන්න හදල නෑ.. මට වාවන්නෙම නැත්තෙ ඒකයි.. හ්ග්.. හ්ග්..”

දැල්ලා අංකල්ගෙ ඇස්වලින් කඳුලු බිංදු පේලි දෙක්ක එක සීරුවට ගලාගෙන ගියා. මට ඩිංගක් එහායින් ඉඳපු පැතුම් වගේම පන්තිය ඇතුළෙ හිටපු චේතනා මිසුත් ගල්වෙලා වගේ බලන් ඉන්න හැටි මං දැක්කා.

“මේක ඒ තරම් දෙයක් නෙමෙයි අංකල්.. ඔයා යන්න.. මං පස්සෙ ඔයාව හම්බවෙන්න එන්නම්..”

“ම.. මට මේ කරන දේට පුතාට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා.. ඔය රත්තරං හදවතේ තෙතමනේ හැමදාටම, ඔහොම්මම තියාගන්න.. පු.. පුතාට කවදාවත් වරදින්නෑ.. හැමදාම හරියනවා.. හැමදාම හරියනවා..”

මුළු පංතියම බලන් ඉද්දි දැල්ලා අංකල් මට අත් දෙකම එකතු කරලා වැන්දා.. මං ඒක නවත්තන්න හැදුවත් දැල්ලා අංකල් මාව මගෑරලා පඩිපෙල පැත්තට ඉක්මනට ගියා.. හිතට ආපු අවුලක් වගේ හැඟීම හින්දම මං එහෙම්මම හිටගෙන හිටියා.

“නවෝද්.. මං ඔයාව එළියට දාලා නෑ..”

චේතනා මිස් හයියෙන් කියද්දි පන්තියෙ එවුන් ටික ඩෙස්ක් වලට හෙමීට තට්ටු කරන ගමන් හීනියට සූ සද්දයක් දැම්මා. පැතුමා මට මහපටඟිල්ල උරුක් කරලා ෆිට් තමයි කියද්දිම චේතනා මිස්ගෙ පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුණා. මිස්ට නිකං සවුත්තුවට වගේ හිනාවෙන ගමන්ප ැතුමත් මං එක්ක පන්තිය ඇතුළට ආවා.


“නවෝද්.. ඇයි මාව හම්බෙන්න ඕන කිව්වෙ..?”

ටක්ෂොප්  එකේ දැල් අස්සෙල් එල්ලිලා පොඩි පන්තිවල ළමයි එක එක ජාතියෙ දේවල් ඉල්ලනවා. බිත්තර පාන් එකක්, වඩේ දෙකක්, ප්ලේන්ටි පහක්, බනිස් එකක්, පළතුරු බීම එකක්, ලැවරියා එකක්.. ඔය වගේ අනේක දේවල්.. අන්න ඒ සමස්ත දේවල් අතරින් තමයි මට දිල්රංගිගෙ කටහඬ ඇහුණෙ. හැරල බලද්දි එයත් එක්ක ඉන්න ඉමාන්වත් දැක්කා.

“ටිකක් බරපතල කතාවක් තියෙනව දිල්..”

වඩේ කෑල්ලක් දිල්රංගිටයි, ඉමාන්ටයි දික් කරන ගමන් මං කිව්වා. ප්ලේන්ටි දෙකක් ගේන්න ටකේ ඇතුළට ගිය පැතුමා තාම නෑ.. මගේ කතාවෙන් කෙල්ලගෙ ඇස් දෙක ලොකු උනා. මොනව උනත් මේ කෙල්ල මූණෙන් පෙන්නන එක්ස්ප්‍රෙෂන් නම් මාරයි අප්පා.

මේ විදියෙ මූණකට නම් ඕන කොල්ලෙක් කැමතියි කියන එකට ඕන කැටයක් ඔට්ටු අල්ලන්න මට පුළුවන්.

“නවෝද් ඔයා මාව බය කරනවා..”

“ඉමාන්.. උඹ දිල්රංගිට කිව්වෙ නැද්ද අපේ වැඩේ ගැන..?”

“මෙයා මුකුත් කිව්වෙ නෑ නවෝද්.. ඔයාගෙ පණිවිඩේකට කියල මාවත් ඇඳගෙන ටක්ෂොප් එකට ආවා මිසක.. මොකක්ද නවෝද්..?”

මං එතන ඉඳලා බොහොම ඉක්මනට දැහැමෙන් සෙමෙන් දිල්රංගිට අපේ වැඩේ ගැන පැහැදිලි කරා. කෙල්ලගෙ ඇස් දෙක සංතෝසෙන් දිස්නෙ ගහන හැටි මං දැක්කා.

“අනේ හරිම ෂෝක් නවෝද්.. හරිම ෂෝක්.. ප්‍රින්සිපල් සර් මේ ගැන නේද එසෙම්බ්ලි එකේදි කිව්වෙ..?”

“ඔව් දිල්.. හැබැයි අවුලකට තියෙන්නෙ කාලය මදිකම විතරයි.. ඉමාන්ගෙ සිංදු කීපයකට හරියන්න නැටුම් කීපයක් සෙට්ල් කරගත්ත නම් වැඩේ ගොඩ.. මොකද කියන්නෙ දිල්..?”

“ඔයාගෙ දේකට කිව්වත් නැතත් මං එනව නවෝද්.. මේක ඉතිං කොහොමත් සත්ගුණවත් ක්‍රියාවක් කියලා ප්‍රින්සිපල් සර්ම කිව්වනේ.. ඔයා බයවෙන්නෙපා.. මමයි, ඉමානුයි කතා කරගෙන වැඩේ ලස්සනට කරන්නම්..”

“තෑන්ක්ස් දිල්.. ඔයාගෙ වචන ටික මට ලොකු හයියක්..”

“හපොයි බෙකම්.. ඉන්දරේට මේ තේ දෙක දාන්න වරුවක් ගියා.. හා.. බෝනික්කියෙ කොහොමද..? අපේ බෙකම් ඔයාට වඩේ කැව්වද..?”

සුපුරුදු විදියට අපේ කතාව මැද්දට පැතුමා පැන්නා. ටක් එකේ ඉන්දරේගෙන් අරගෙන ආපු ප්ලේන්ටි දෙකෙන් එකක් දිල්රංගිට දික් කරලා අනිත් එක ඉමාන්ට දික් කරා.

“ඕක ඔයයි ඉමානුයි බොන්න.. මායි නවෝදුයි මේක බොන්නම්..”

දිල්රංගිගෙ කතාවෙන් පැතුමා විතරක් නෙමෙයි මාවත් හොල්මන් වෙලා ගියා.. ඉමාන්ට නම් ලාවට හිනාවක් ගියා.

“ආ...”

දිල්රංගි උණු උණු තේ එකෙන් ඩිංගක් තොල ගාලා මට දුන්නා. පැතුම් නක්කලේට වගේ කට කොනින් හිනාවෙද්දි මං තේ එක බොන්න ගත්තෙ දිල්රංගි දිහා බලන ගමන්.

“මෙන්න පැතුම්..”

ඉමානුත් තේ එකෙන් බාගයක් විතර බීලා පැතුම්ට දික් කරා. පැතුමා පටාස් ගාලා අහක බලාගත්තා.

“උඹේ කුණු කෙල තැවරුණ තේ ඉලව්ව බොන්න මට පිස්සු නෑ සරිගමයා.. ඔන්න දිල්රංගිවත් දුන්නා නම් සලකල බලන්න තිබුණා..”

“ඔයාට දෙන්න මට පිස්සු නෑ පැතුම්..”

“ඔව් ඉතිං.. ඔයා දෙන්නෙ බෙකම්ටනේ.. නේද බෝනික්කියෙ..”

කතාව වෙනමම පැත්තකට ඇදිල යනව වගේ කියලා මට තේරෙද්දි ඉන්ටවල් එක ඉවර වෙන බෙල් එක ගැහුවා.

“මං යනව නවෝද්.. ගුණසිංහ සර් එක්ක මං මේ ගැන ටිකක් කතා කරන්නම්.. යමු ඉමාන්..”

හිස් කෝප්ප දෙක පැතුමා අතේ ඉතිරි වෙද්දි දිල්රංගියි, ඉමානුයි යන්න ගියා.

“උමට කියන්න බෙකම්.. අම්මපා.. මං බුරිය විකාගෙන මැරෙනවා.. බලපං.. ආදරේ කරන හැම එකාටම හම්බවෙන්නෙ බූට් එකක්.. ඒත් මට හම්බවුණේ ඉන්දරේගෙ හද්ද පරණ පීරිසි කෝප්ප දෙකක්.. දිල්රංගිට වටින්නෑ මට මෙහෙම කරන්න.. ෂෙහ්.. අම්මපා.. මගේ පංච සත්‍යය වගේ මං කාන්තාවො ගැන ප්‍රමේයයක් හදනවා.. ඔන්න බලපංකො බොරුද කියලා..”

පැතුමට හිස් කෝප්ප දෙකත් අරගෙන ටක් එක ඇතුළට යන්න දීලා මං ඒ ලෙවල් ක්ලාස් පැත්තට ආවා.

තට්ටු දෙකේ බ්ල්ඩින් එකේ උඩ ක්ලාස් ටික වෙන්වුණේ මේ අගෝස්තු උසස් පෙළ ලියන දහතුන වසරෙ අයට.. දෙවනි තට්ටුවෙ කොට තාප්පෙට හේත්තු වෙලා චතුරංගයයි, උගේ අපත ගැන්සියයි මං දිහා හොඳට බලන් ඉන්නවා මං දැක්කා. එදා පරණ පාරෙදි බීච් එක ගාවදි ගුටි ඇන ගත්තට පස්සෙ මං චතුරංගයව ඔය දැක්කමයි.. අඩුගානෙ මිනිහා බාස්කට් බෝල් කෝට් එක ඇතුලෙ ප්‍රැක්ටිස් කරනව වත් මං දැක්කෙ නෑ.

අඩුගානෙ මුං සූ සද්දයක්වත් නොදා මං දිහා බලන් ඉන්න ඉඳිල්ල මට දිරෙව්වෙ නෑ.. උං ටික වෙනමම කතන්දරේකට ලෑස්තිවෙන හැඩයි. කමක් නෑ.. අපි බලමුකෝ උං කෙක්කෙන් ආවොත් කෙක්කෙන්.. කොක්කෙන් ආවොත් කොක්කෙන්..


එදා ග්‍රවුන්ඩ් එකේ සිද්ධියෙන් පස්සෙ මං සමින්දිව දැක්කෙම නෑ. අඩු ගානෙ තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකේදි ඉන්කිව මීට් වෙන්න බැලුවත් ඒකත් හරිගියේ නෑ. මොකද කියනව නම් ඉන්කි, ෆිසික්ස් ක්ලාස් ආවෙ නෑ. ඉතිං කොහොමද මං සමින්දි ගැන විස්තරයක් දැනගන්නෙ. ඔය අතරෙ දවස් එක සීරුවට ගලාගෙන යද්දි, අපේ ප්‍රසංගයෙ වැඩ කටයුතුත් අවසාන වෙලා තිබුණ. ඉස්කෝලෙ පොඩි පන්තිවල ළමයි ටිකට් බර ගාණක් විකුණල සල්ලි විනය සර්ට බාරදීලා තිබුණා. ඕල්ඩ් බොයිස් ඇෂෝසියේෂන් එකෙනුත් පට්ට සප් එකක් දුන්නෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම. ඒක අපේ හිත් වලට ගෙනාවෙ මාරම ගතියක්. කොයි තරම් පොඩියට පටන් ගත්තු වැඩක්ද මේ මෙගා සයිස් වෙන්න යන්නෙ.

“අඩෝ බෙකම්..”

ගේට් එකට ටිකක් එහායින් ඉඳපු ඇම්ඩා මට අත වනලම කතා කරා. ගේට් එකයි මහ පාරයි අතරෙ පිරිල හිටපු කොල්ලො කෙල්ලො පීරගෙන මං ළඟට ඇම්ඩා ආවා.

“ටිකට් පොත් කතන්දරේ ඉවරද..?”

“නෑ නාලක.. තවත් ටිකක් තියෙනවා.. දෙන්න එකෙක් නෑ..”

“දෙන්න එවුන් නම් ඕන තරම් ඉන්නවා.. ගෙදර ගිහින් තුනට විතර අපේ ගෙවල් පැත්තෙ වරෙන්..”

ඇම්ඩා ඒ පාර මොන නාටකේ නටන්නද යන්නෙ..? ම නම් මූව තඹ සතේකට විශ්වාස නෑ..

“කවුද බං දෙන්න ඉන්නෙ.. දෙන්න ඕන හැම එකාටම විකුණපිය කියලා දුන්නා.. ආයෙ දෙනව නම් දෙන්න තියෙන්නෙ දීපු එවුන්ටම තමා..”

“උඹ හවසට වරෙන්කො..”

තවත් වචනයක්වත් කියන්නැතුව ඇම්ඩා ගියා. ඌට පිස්සුද කොහෙද..? ටවුමෙයි, දන්න කියන හැම තැනටමයි ටිකට් පොත් විකුණන්න කියලා තියෙන්නෙ.. තවත් කාට දෙන්නද අප්පා.. කොහොම උනත් හවසට ඇම්ඩා හම්බවෙන්න මං හිතාගත්තා.

“ඔයයි දිල්රංගියි දැන් හොඳටම යාලුයි නේද..?”

කහ ඉර පනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මගේ ළඟට ආපු නිරෝමි කිව්වා. එයා ළගින්ම පස්සෙන් ආවෙ නෙලුනි. මේ කෙල්ලටත් ඇත්තටම ඇම්ඩට වගේම පිස්සුද කොහෙද.. ඉස්කෝලෙ අර තරම් ළඟන් එක පන්තියක ඉද්දි නොකියන දේවල් දැන් මේ දෙනෝදාහක් දෙනා කලබල වෙලා බඩගින්දරේ දුවන වෙලාවෙ කියවනවා.. කාට කියන්නද සන්දුක්කාරේ.

“මායි දිල්රංගියි..?”

“ඔව්.. ඔයයි එයයි තමා.. බලාගෙන ආ..?”

“ඇයි..?”

“එයා ටිකක් එක විදියයි නේ.. ඔයාගෙ ඇඟේ එල්ලෙයි නවෝද්..”

“පිස්සු කියවන්නැතුව ඉන්න නිරෝමි..”

“ඔව්.. මට දැන් පිස්සු..”

“මොනවද නිරෝමි.. ඔයා මේ කියවන්නෙ..?”

දැන් නෙලුනිත් අපේ කතාවෙ කොටස්කාරියක් වෙන තරමටම ලංවෙලා.. එයාටත් මේ හැමදේම ඇහෙනවා.

“මගේ ළඟින්ම තියෙන දේ රටේ ඉන්න හැම කෙල්ලටම අත පත ගාන්න දීලා බලාගෙන ඉන්නයි මට වෙලා තියෙන්නෙ.. මේක මහ පුදුම ලෝකයක්..”

“නිරෝමි.. තේරෙන දෙයක් තේරෙන බාසාවකින් කියන්න.. මට පරක්කු වෙනවා..”

“ඔයාට මං දැන් කතා කරන එකත් වදයක්ද..?”

වදයක් නෙමේ හත්තිලව්වෙ.. මහා මල ඇනයක් කියලා කියන්න කටට ආවත් මං සද්දෙ වහ ගත්තා.

“ආ.. නවෝද්.. කියන්න.. ඔයාට මාව වදයක්ද.?”

බැගෑපත් විදියට මං දිහා බලන ගමන් නිරෝමි ඇහුවා. ඒත් මං බැලුවෙ නෙලුනි දිහා. ඒකි සං සං ගාලා අහක බලා ගත්තෙ මාව ජීවිතේටවත් දැකපු නැති විදියට.

“පිස්සු කියවන්නෙපා නිරෝමි.. මේ බඩගින්දර එකසිය හයයි දශම පහට නැගල තියෙන වෙලාව.. ඔයා හොඳටම දන්නවනේ හීන් බංඩා අංකල්ගෙ කතන්දරේ අත ළඟටම ඇවිල්ලා කියලා.. ඉතිං මාව දන්න කියන හැමෝම මට උදව් කරනවා.. මේක සාර්ථක කරගන්න.. දිල්රංගිත් මේකෙ ලොකු රෝල් එකක් කරනවා.. ඉමාන් වගේම.. ඒ දෙන්නා තමයි මේකෙ වැදගත්ම චරිත දෙක.. ඉතිං මට එයාලත් එක්ක නිතරම ගණුදෙනු කරන්න වෙනවා.. ඒක තේරුම් ගන්න..”

“ඒ උනාට ඔයයි දිල්රංගියි එකට එකතුවෙලා කතාබහ කරනකොට මට මහා මොකක්දෝ වෙනවා..”

යකෝ මේ දොළහ සී එකේ පන්ති නායිකාව නේද..? මේ කෙල්ලට මොන ඔඩ්ඩි මස්සිනා වැහීගෙන එනවද අප්පා.. තවදුරටත් කතාව ඇදගෙන ගියොත් ආරණිය කෙම්ට සදා සොත්ති භවන්තුතේ තමයි.

“මං යනව නිරෝමි.. මට බඩගිනියි..”

මේ පට්ට බඩගින්දරේ ඉඳගෙන විරහ ගීත අහන්න පුළුවන්ද හත්තිලව්වෙ.. මේකිට මේක තේරෙන්නැද්ද මංදා..

“දිල්රංගි එක්ක කතා කරාට, ආස්සරේ කරාට කමක් නෑ නවෝද්.. හැබැයි එයත් එක්ක යාලුවෙන්න නම් එපා..”

“මොකක්..?”

“වෙන ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. හැබැයි දිල්රංගි එක්ක එපා..”

“ඔයාගෙ වයර් ෂෝට් එකක් නිරෝමි.. අදම ගිහිල්ලා ඒක චෙක් කරගන්න.. මං යනවා..”

කහ ඉර උඩ අඩමානෙට ඉඳගෙන තවත් කලර්ස් දාන්න ගියොත් මට මෙතනම ත්‍රීවිල් බාප්පොච්චෙක් ගෙන් මරු වැළඳ ගන්න වෙනවා.. නිරෝමිට ඕන බම්බුවක් ගහගන්න කියලා මං ගෙදර එන්න ආවා.


සුපුරුදු විදියටම උඩින් පල්ලෙන් කෑම එකට වග කියලා මං ගෙදරින් පැනගත්තා. උඩින් පල්ලෙන් වග කිව්වා කියලා කිව්වට, අන්තිමට ඉතුරු අනේ පිඟාන විතරයි.. ඇයි හත්වලාමෙ ඒකෙ තිබ්බ ඔක්කොම මගේ බඩ ඇතුළෙනේ.

“බෙකම්..”

ඇම්ඩලගෙ ගෙවල් වලට යන පාරට හරවන්න උනේ නෑ. මෙන්න තවත් කොල්ලො දෙන්නෙක් එක්ක ඇම්ඩා මගේ ඉස්සරහින් මතුවුණා. හිපියො වගේ ආතක් පාතක් නැතුවම කොන්ඩ වවාගෙන, මාල, මුදු, බ්‍රේස්ලට්, වළලු වගේ රටේ නැති ඒවා පොරවගෙන හිටපු කොල්ලො දෙන්නා මගේ ජීවිතේටවත් දැකපු එවුන් නම් නෙමෙයි. ඇම්ඩට මොකක්ද මේ වගේ නසරානි සංස්කෘතියක එවුන් එකක් තියෙන ගණුදෙනුව.

“එහෙනම් උඹලා ගාණට වැඩේ දීපල්ලා.. මං පස්සෙ එන්නම්..”

ඇම්ඩා කොල්ලො දෙන්නට කියනවත්තෙක්කම උං පටාස් ගාලා මාරුවෙලා ගියා.

“කවුද බං ඒ මරුමුස් ඈයො දෙන්නා..?”

බයිසිකලෙන් බැහැලා, ඇම්ඩත් එක්ක උංගෙ ගෙවල් පාරෙ ටිකක් දුර ඇවිදන් එද්දි මං ඇහුවා.  උගේ මූණට පුංචි හිනාවක් ආවා.

“උඹ හිතන්නෙ කවුරු කියලද..?”

“මංදා බං.. කාට හරි ගේමක්වත් දුන්නද..?”

ගාණට වැඩේ දීපල්ලා කියන වචන ටික මට ඇහිච්ච හින්දා මං ඇහුවා.. ඇම්ඩගෙ හිනාව තව ඩිංගක් වැඩි වුණා.

“නෑ බං.. ඔය අපේ ස්ටේජ් එක අලංකාර කිරීම සඳහා ඉන්න සපෝටර්ස්ලා.. ෂෝ එක වෙලාවෙදිම බලපංකො.. ආයෙ ඉතිං ලොවෙත් නෑ..”

“උඹ හුඟක් දේ ගැන හිතනවා ඇම්ඩා..”

“එහෙම තමයි බෙකම්.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් මගේ ළඟ නෑ..”

ඇම්ඩගෙ ඒ වචන ටිකේ තිබ්බ ශක්තියට, මගේ ඇඟේ හැම ලේ නහරයක්ම හිරි වැටිල ගියා.. ඇත්තටම ඉතිං ඇම්ඩා වගේ යාලුවෙක් ළඟින් ඉන්නකොට මොන තරම් ශක්තියක් හිතට දැනෙනවද..?

“හ්ම්.. ඔතනින් ඇතුළට යමු..”

ඇම්ඩලගෙ ගෙදරට තව දුර යන්න තියෙද්දි ඌ මගේ අතින් ඇද්දා.

“මේ කොහෙද බං..?”

ඇම්ඩයි මායි නතර වෙලා හිටියෙ, සාගරයක් වගේ ලොකු තට්ටු දෙකේ ගෙයක් ගාව. ඒක ඇතුළට යන්න තියා ගේ දැක්කහමත් නිකං කිචි කිචි වගේ.

“ආ.. ඇම්ඩා අපි මේ කොහෙද යන්නෙ..?”

කතාවක් බහක් නැතුව ගේට්ටුවෙ යකඩ කොක්ක පන්නන ඇම්ඩගෙන් මං ඇහුවා. මේකා මුංගෙ ගෙදර යකඩ කොක්ක පන්නනව වගේනේ මෙතන රඟන්නෙ.

“දිවිය ලෝකෙට බෙකම්.. දිවිය ලෝකෙට..”

ඒක නම් ඉතිං ඇම්ඩා කියන්න ඕන නෑ.. ගේ දැක්කම නිකම්ම එහෙම හිතෙනවා.

“ඇම්ඩා බලාගෙන..! පත දඩෝරියෙක්ගෙ බිරුම් සද්දයක් එනවා..”

මං මඟ නතර උනා. මොකද කියනවනම් දඩෝරියන්ට කියල හපාගන්න මං කැමති නෑ. වැරදිලාවත් හපල තිබුණොත් බුරිය වටේටයි, පස්ස පැත්තටයි, ඉන්ජෙක්ෂන් කීයක් විතර වදියිද දන්නෑනෙ..

“මං ඌ තමයි මරන්න ගියේ..”

“මොකක්..?”

මට නම් දැන් ඇම්ඩා කියන කතන්දර අංඩර දෙමළ ගාණයි.

“ඔව් ඔය බලු තඩියව මට පේන්න බෑ.. ඌ මගේ දෑහට නොපෙනී ඉන්න එකමයි කාරිය..”

මොන නොපෙනී ඉන්නවද..? මහා පත සයිස් දඩෝරියෙක්ගෙ බිරුම් සද්දෙ කණ ගාවින්ම ඇහෙනවා. සද්දෙ හැටියට නම් ඌ අපිටත් වැඩිය උස මහත බලු තඩියෙක් වෙන්න ඕන.

“ඇම්ඩා..! මෙහේ කවුද ඉන්නෙ..?”

“ඉන්න එවුන් ගැන මං කියන්නම්.. ඊට කලින් ඔය බොන්සායි ගස් පේලිය අයිනෙන් බලපං..”

කියන පරක්කුවට මාත් එබිල බැලුවා. මගේ සන්තෝ.. ගෙදරක කාමරයක සයිස් එකට හදල තිබ්බ කූඩුවක හිටියෙ හයේ හතරෙ සයිස් කලු බල්ලෙක්.. දැක්කහම ඇඟ හිරිවැටෙනවා.

“ඇම්ඩා මේ..? උගේ එක කටකට අපි දෙන්නම මදි.. පිස්සු නටන්නැතුව යමං.. නිකං හරි කූඩුව ඇරගෙන ආවොත් සොරිම තමයි..”

“උඹට කියන්න බෙකම්.. මං ඔය රෝවර් තඩියා තමයි මරන්න ගියේ..”

කට කොනට ලාවට හිනාවක් ගන්න ගමන් ඇම්ඩා කිව්වා. රෝවර් කියපු ගමන්, මගේ ඔලුවට පටාස් ගාලා ආවෙ දවස් ගානකට කලින් ඇම්ඩයි, ඉන්කියි අතර උන කතාව. රෝවර් උඩු බරන තාලෙට ළඟදිම අවමගුලක් ෂුවර් කියල ඇම්ඩා කටේ තෝලේ නොගෑවී කීව්වෙ.. ඒ අවස්ථාවයි, මේ අවස්ථාවයි එකට සම්බන්ධ වුණාම හැටේ වේගෙන් මට උත්තරේ හම්බවුණා. ඒ මේ අපි ඇවිල්ල ඉන්නෙ කොහෙටද කියනෙක.

“ඇම්ඩා.. මේ ඉන්කිලගෙ ගෙදරද..?”

එහෙම කියලා මට කට ගන්න හම්බවුනේ නෑ.. ඉන්කිගෙ කටහඬ උඩ තට්ටුවෙ බැල්කනි එකෙන් ඇහුණා.

“දෙයියනේ.. නවෝද්..”

සතුටයි.. පුදුමයයි දෙකම පිරුණු කටහඬින් මහා සද්දෙට කෑගහන ගමන් ඉන්කි බැල්කනි එකෙන් අයින් වුණා. එයා ගේ ඇතුළෙන් එළියට එන්නයි හදන්නෙ.. මං ඇම්ඩා දිහා බැලුවම ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති තොත්ත බබෙක් වගේ මං දිහා බලන් හිටියා. ඇත්තටම ඉතිං මේකව මැරුවත් මදිනේ මේ ලෝකෙ දෙයක් කියන්නැතුව මාව ඉන්කි ළඟටම එක්කං ආපු එකනේ වැඩේ කියන්නෙ.

“අ..නේ නවෝද්.. හරිම පුදුමයි.. හරිම පුදුමයි.. ඔයා අපේ ගෙදර..”

ඉස්සර මහ විසාල දොරෙන් එළියට දුවන් ඇවිල්ලා ඉන්කි මගේ අතේ එල්ලුනා. යකෝ.. මේ කෙල්ලගෙ අම්මල තාත්තල නැද්ද අප්පා.

“ඔව් ඉන්කි.. මං ඇම්ඩත් එක්ක ආවෙ.. මෙතෙනක්ට එනකන් මං දන්නෑ මේක ඔයාලගෙ ගෙදර කියල..”

“අනේ ඇත්තද නාලක.. ඔයා නවෝද්ට මුකුත් නොකියද එක්කන් ආවෙ..?”

මගේ අතේ එල්ලිලා ඉන්න ගමන් ඉන්කි හුරතල් වෙනවා.. කවදාවත් නැති විදියට කැටයමුත් ගොඩයි.. කෙල්ලගෙ හිතේ මොනව තියෙනවද මංදා.. මේ විදියට හැසිරෙන්නෙ..  අත ඉන්කිගෙන් ගලවගන්න මට හිතුණත් ඉන්කිගෙ හිත රිදෙයි කියල මං ඒ දේ කෙරුවෙ නෑ.

“ඔව්.. බෙකම්ට නම් මුකුත් කිව්වෙ නෑ.. හැබැයි ඉන්කි අර ඔයාගෙ රෝවර් තඩියට නම් මං වැඩක් දෙනවා.. ඌට කියන්නකො ඩිංගක් හෙමීට බුරන්න කියල..”

“ඔයාම කියන්නකො නාලක.. ඉන්න මං ඌව කූඩුවෙන් එළියට දාන්න..”

විහිලුවටද ඇත්තටමද මංදා ඉන්කි එහෙම කියද්දි මගේ ඇගේ මයිල්, ඉස්මයිල් උනා. ඇම්ඩගෙ මූණත් කරත්තෙට අහුවෙච්චි රෙඩ් බුල් කෑන් එකක් වගේ උනා.

“ඉන්කි මේ.. ඔයාට ඕන අපේ හත් දවසෙ දානෙත් මෙතනම දෙන්නද..? ආ.. මායි බෙකමුයි ආවෙත් වැදගත් වැඩකට.. ඒක ගැනවත් අහන්නෙ නැතුව මේ තරම් පත ගෙයක මිදුලෙ අපිව තියාගෙන විලි ලැජ්ජාවක් නැතුව දඩෝරියෙක් ලිහන්න හදනවා.. අම්මප කැතයි හොදේ ඕවා නම්..”

ඇම්ඩා නිල බලලා ගහපු හින්ට් එකට ඉන්කිගෙ මූනට ලැජ්ජාවක් වගේ හැඟීමක් ආවා. ඒක හින්දා කෙල්ල මගේ අතින් ඇඳගෙන ගේ ඇතුළටම ගියා. ඇම්ඩත් වටපිට බල බලා මායි ඉන්කියි පස්සෙන් ආවෙ, රෝවර් දඩෝරියා කොයි මුල්ලකින් හරි මතුවෙයිද කියලා දන්නෑ වගේ.

“ඔයාලා ෂෝක් දවසෙ ආවෙ නවෝද්..”

සාලෙ මායි, ඇම්ඩයි වාඩි උනාට පස්සෙ ඉන්කි කිව්වා.

“ඇයි ඉන්කි..?”

“අද ගෙදර කවුරුවත්ම නෑ..”

“බෙකම්.. ගෙදර කවුරුවත්ම නැත්නම්, අපි ආපු වැඩේට බහිමු.. මොකෝ කියන්නෙ..?”

“මොන වැඩේද නවෝද්..?”

“මං දන්නෙත් නෑ.. ඇම්ඩා තමයි මාවත් ඇදගෙන ආවෙ..”

“ඇත්තටම කතන්දරේ මේකයි ඉන්කි.. මං බෙකම්වත් ඇදගෙන මෙහේ ආවෙ, ඔයා බෙකම්ට හුඟක් හිතවත් කියල මං දන්න හින්දා.. බෙකම් සාමාන්‍යයෙන් ආවට ගියාට කොහේවත් යන කොල්ලෙක් නෙමෙයි.. ඒත් මං අඬගැහුව ගමන් ආවා. ඒ මං විශ්වාස හින්දා..”

ඇම්ඩා ඒපාර මොනවද මේ කියවන්නෙ.. මට හිතාගන්න බැරිවුණා, කොයි තරම් අපත වැඩ කරත් මේකා සීරියස් වෙන්න ගත්තම, පට්ට සීරියස් වෙනවනේ..

“සමහර විට ඔයා දන්නවත් ඇති, නොදන්නවත් ඇති.. අපේ බෙකම් පොඩි වැඩක් පටන්ගත්තා.. දැල්ලාස් හෝප් කියලා..”

එතන ඉඳලා මං හීනෙකින්වත් හිතපු නැති විදියට ඇම්ඩා ඉන්කිට දැල්ලාස් හෝප් එක මුල ඉඳල අඟටම විස්තර කරා. ඒක ඇත්තටම සර්ව සම්පූර්ණ විස්තරයක්. ඌ කියවන් ගිය විදියට මං ඒක ඇතුලෙ කෙනෙක් උනත්, මටත් ආස හිතුණා.

“ඔයාලට මොනවද නාලක මගෙන් කෙරන්න ඕන..? නවෝද් වෙනුවෙන් මට හුඟාක් දේ කරන්න පුළුවන්..”

ඉන්කි මගේ දිහා බලාගෙන කිව්වා. ඇත්තමයි කෙල්ලෙ ඒක නම් ටිකක් බරපතල කතාවක්. මගේ හිතත් නිකං මොනවදෝ වෙලා ගියා..

“බෙකම්..! ඔය ටිකට් පොත් ටික ඉන්කිට දෙන්න..”

ඔන්න දැන් තමයි මට වැඩේ නිට්ටාවටම තේරුණේ.. ඇත්තටම ඉතිං.. බාලිකාවෙ බොහොම ලේසියෙන් මේ ටිකට් පොත් ටික විකුණලා දාන්න පුළුවන්.. ඒකට හොඳම කෙනත් ඉන්කිම තමයි.. එයා බොහොම ලේසියෙන් මේ වැඩේ කරයි.. මට ඇම්ඩා ගැන යාලුකමට වඩා මාර භක්තිමත් හැඟීමක් ආවා.. ඌ කොයි තරම් මේ වැඩේ ගැන හිතනවද..? මොන තරම් කැපවෙනවද..?

“සිම්පල් කේස් එකක්නේ නවෝද්.. මීට වඩා බර වැඩක් බාරගන්න ඔය ප්‍රොජෙක්ට් එකේ මට නැද්ද..?”

ඉන්කි හිනාවෙවී අහද්දි මටත් හිනාවක් ආවා. ඒ කියන්නෙ වැඩේ එකෙන්ම හරි කියනෙකනේ..

“අපෝ නෑ.. ඔය ටික කරා නම් ඉහටත් උඩින්..”

ඇම්ඩත් අපේ හිනාවට එකතුවෙන ගමන් කිව්වා.

“නවෝද්..”

ටිකට් පොත් ටිකත් ඉන්කිට බාර දීලා, දැන් ඉතින් මෙතනින් මාරුවෙනු කියල හිත කියද්දිම ඉන්කි මට කතා කරා. හැම සැහැල්ලුකමක්ම පැත්තකට දාලා ඒ මූණෙ තිබ්බෙ ටිකක් සීරියස් ගතියක්. මොකක්ද ඒ පාර වෙන්න යන්නෙ..

“ඔයා වැඩිය කතා නොකරන්නෙ මගෙත්තෙක්ක තරහ වෙලාද.. ආ.. මං මොනව හරි වැරදි දෙයක් කිව්වද..?”

“කතා කරන්න ඔයාව හම්බවුණේ නෑනෙ.. අඩුම ගානෙ තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකටවත් ඔයා ආවෙ නෑනෙ.. හ්ම්..”

“සමින්දි අක්කි මේ පාර එක්සෑම් කරනවනේ.. ඉතිං එයා ළඟ නැති ටියුට්ස් ටික හොයන්න මහන්සි වෙන්න උනා.. ආ..පෝ කියල වැඩක් නෑ නවෝද්.. ඔලුවත්තෙක්ක රිදෙනවා.. එක එක බාහිර වැඩ හින්දා සමින්දි අක්කිට මිස්වෙච්ච නෝට්ස් ගොඩක් තියෙනවා..”

“යසයි ඒවා ආපහු එක්කහු කරන වෙලාව..”

මට ඉබේටම කියවුණා. ඇත්තනේ බං.. එග්සෑම් එක කට ළඟටම ආවහමද නෝට්ස් හොයන්න ගන්නෙ.. පිස්සුද ආ.. මං හිතුවෙ අපිටයි වැඩියෙන්ම පිස්සු තියෙන්නෙ කියලා.. බලපුවහම අපිටත් වැඩිය පිස්සො මේ ලෝකෙ ඉන්නවනේ..

“පව් නවෝද්.. ඔයා දන්නෙ නැතුවට එයාට කොයි තරම් වැඩ තියෙනවද..? ඉස්කෝලෙ උනත් හුඟාක් දේ තියෙන්නෙ එයාගෙ කර උඩනේ.. එග්සෑම් එකත් අත ළඟ තියාගෙන එයා මේ මහන්සි වෙන්නෙ අපේ ඉස්කෝලෙ වෙනුවෙන්නේ.. එයාට ඕන නම් පුළුවන් හැමදේම අතෑරල දාලා එයාගෙ එක්සෑම් එක විතරක් ලස්සනට කරන්න.. ඒත් එයා ඒ වගේ ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි..”

“ආත්මාර්ථකාමීකම පැත්තක තියන්නකො. ඔය පණ යනකල් වැඩ තියාගෙනද එහෙනම් එයා ඔය පිට්ටනි වටේ දුව්නන ආවෙ.. තියෙන මහන්තත්වකමනේ..”

“නෑ.. නවෝද්.. කාත්තෙක්ක හරි චැලේජ්න් එකක් කරා නම්, මොන වැඩේ තිබ්බත් එයා කර අරින්නෑ.. ඒ ගතිය එයා ගාව හැමදාම තිබ්බා..”

“එහෙනම් එයා හැමදාම පරදින්නැති..”

“නෑ.. එයා ඔයාට විතරයි සෙකන්ඩ් උනේ..”

ඉන්කිගෙ ඒ කතාව නම් මගේ හිතට මාරම ගතියක් ගෙනාවා. බාලිකාවෙ ෆේමස්ම කැරැක්ටර් එක මට දෙවනි උනා කියලා ඉන්කි පිලිගන්නෙක මට මහා ලොකු දෙයක් උනා.

“බෙකම්.. එහෙනම් අපි යමුද..?”

අපේ කතාවට නැවතීමේ තිත තියන්න වගේ නාලක මැද්දට පැන්නා.. මූට හිටපු ගමන් ආපු හදිස්සියෙ හැටි බලපල්ලකො..

“පොඩ්ඩක් ඉඳපං.. මට ඉන්කිගෙන් අහන්න තව දෙයක් තියෙනවා..”

ඇම්ඩගෙ කතාව එකතැන නතර වෙද්දි මං ආයෙත් ඉන්කි දිහාට හැරුණා. එයාගෙ හිතේ මේ වෙලාවෙ තියෙනව ඇත්තෙ, අපිට බොන්න මුකුත් අරන් එන එක ගැන වෙන්නැති.

“මොකක්ද නවෝද්..?”

“ඔයා ඇයි ඉන්කි ඔය තරම් සමින්දිට කඩේ යන්නෙ..?”

“ම.. මං..”

ඉන්කිගෙ මූණ අමනාපයෙන් ඇදවෙද්දි ඇම්ඩගෙ මූණට නම් සවුත්තු හිනාවක් ආවා.

“ඔව් ඔයා තමයි..! සමින්දි ඔයාගෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්නැති.. ඒත් බලන්න එයා කොයි තරම් කැතද කියලා.. ෂිහ්..”

“කැත..?”

“ඔව්.. ඔයාට මතකද එයා ග්‍රවුන්ඩ් එකේදි මට කතා කරපු විදිය.. එයා මෙලෝ මැනර්ස් එක්ක දන්න ගෑනු ළමයෙක් නෙමෙයි.. චැලේජ්න් එක බාරගත්තෙ එයා.. මුලින්ම ඒකට මුල් උනෙත් එයා.. ඒත් පස්සෙ, මට කඩන් පැන්න හැටි ඔයාට මතක නැද්ද..? හරියට හැමදේම මම කරා කියල..”

“ඔව්.. ඔව්.. බෙකම්.. උඹ හරි.. එයා උඹට කැත සතා කියලා කිව්වා..”

පොතේ ගුරා වගේ පැත්තක ඉඳලා, ඇම්ඩා මට මතක් කරා. ඔය තියෙන්නෙ.. දැන් දෙන්නම්කො රම්පෙට පොරි හැලෙන්න..

“ඔයාම කියන්න ඉන්කි.. මං කැත සතෙක්ද කියලා.. ආ.. ඔයාම කියන්න..”

“න්..නෑ නවෝද්.. එහෙම නෑ.. ඔයා.. ඔයා කොයි තරම් හොඳ කෙනෙක්ද..? ඔයා මේ කරන දැල්ලාස් හෝප් කියන එකෙන්ම ඔයාගෙ හිත ගැන මට තේරුම් ගන්න පුලුවන්.. ඔයා ගැන දන්නැති කෙනෙකුට උනත්, ඔයාගෙ වටිනාකම මේකෙන්ම තේරෙනවා..”

“ඉන්කි හදන්නෙ අපේ බෙකම්ව මුරුංගා අත්තෙ තියන්නද..?”

“නවෝද් මුරුංගා අත්තෙ තියලා මට ලැබෙන දෙයක් නෑ නාලක.. මං නවෝද්ට එදා ඉඳලම කැමතියි..”

“ඉතිං ඔය මුරුංගා අතු හොයන්නෙ නවෝද්ගෙ කැමැත්ත ගන්නනේ..”

“අපෝ ඒකට මුරුංගා අතු ඕන්නෑ.. මං දන්නව නවෝද් මට කැමතියි කියලා.. නේද නවෝද්..?”

ඔලුව පැත්තකට ඇල කරන සුපුරුදු ඉරියව්වට ඇවිත් ඉන්කි මගේ මූණට එබුණා. ඒ හැඩකාර මූණෙ තිබ්බෙ මං දකින්න ආසම කරන පුංචි හිනාවක්. ඉන්කි ඔහොම හිනාවෙලා ඉන්නකොට හරිම හැඩයි කියලා කියන්න හිතුණත් මගේ ළඟම ඉන්න ඇම්ඩා ගැන මතක්වෙලා මං ඒ අදහස හිතින් අයින් කරගත්තා.

“ඉන්කි මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නෑ..”

“මං සමින්දි අක්කට කඩේ යන්නෙ ඇයි කියලද..?”

“ඔව්..”

“ඒ.. මං එයාට හුඟක් කැමති හින්දා..”

ඉන්කි ඒක කියපු තාලෙට මට පුදුමත් හිතුණා. එයා සමින්දිට කැමතියි කියනෙක නම් මගේ හිත ඒ තරම් හොඳින් පිළිගත්තෙ නෑ.

“එයා මහ සවුත්තු කෙනෙක්නෙ ඉන්කි.. ඔයා එයාගෙ මොනවට කැමති වුණාද කියලා මට නම් හිතාගන්නවත් බෑ.. මහම මහ ඇට්ටර කෙල්ලෙක්නේ.. මං නම් හිතන්නෑ කවදාවත් එයා යාලුවෙන කොල්ලට නිදහසක් නම් හම්බවෙයි කියලා.. ඇත්තමයි.. පුළුවන් තරම් දස වඳ දෙයි..”

“ඔයාට වැරදිලා නවෝද්.. සමින්දි අක්කා ඒ වගේ කෙනෙක් නෙමෙයි.. එයා, ඔයා වගේ හරිම හොඳ කෙනෙක්..”

“ඔයා නම් එයාටම කඩේ යන්න ඉපදිච්ච කෙනෙක්ද කොහෙද.. අපි යමු නාලක..”

මං ඉස්සර වුණා. මගේ ළඟම ඉන්කි, සමින්දිගෙ පැත්තට කතා කරපු එක මට දිරෙව්වෙ නෑ.. අනික කොයි වෙලාවකදි වත් ඉන්කි, සමින්දිට දොස් කියනව මට ඇහිලත් නෑ.

“අනේ නවෝද්.. ඔයාලා මුකුත් බොන්නැද්ද..?”

“ඕන්නෑ ඉන්කි.. ඔයා අපේ වැඩේ බාරගත්තනේ.. ඒ හොඳටම ඇති.. අපි යනවා..”

“ඔයා තරහින්ද යන්නෙ නවෝද්..?”

ගෙට එනකොට අතින් ඇදගෙන ආව වගේම යන්න ලෑස්ති වෙනකොටත් ඉන්කි මගේ අතින් අල්ලගත්තා. හිතේ සතුටක් නැති වුණත් මං ඉන්කි දිහා බලද්දි, ඒ මූණෙ ලියැවිලා තිබුණෙ අනේ නවෝද් යන්නෙපා කියන වචන තුන. මොන දේ උනත්, කොහොම උණත්, කොතනදි උනත්, සමින්දි ගැන වචනයක් හරි කතා වෙන්නැතුව, ඉන්කිගෙයි මගෙයි කතාව ගලන් යන්නෑ කියලා මං තේරුම් අරගෙන හිටියෙ.. දැන් උනත් එහෙමනේ..

“තවත් වැඩ ටිකක් තියෙනව ඉන්කි.. ඒව ඉවරයක් කරගන්නෝන.. ඒකයි යන්නෙ..”

“මට කියන්න බැරි වැඩක්ද නවෝද්..?”

“නෑ.. අපි කට්ටිය හිතන් ඉන්නෙ හීන්බංඩා අංකල්ගෙ ගෙදර යන්න.. අපේ ප්‍රසංගයට කලින්..”

“අනේ.. මාත් එන්නද නවෝද් ඔයාලාත් එක්ක යන්න..”

ඉන්කි ඇහුවෙ මගෙන් උනත්, අපේ සෙට් එකේ අනුමැතියක් නැතුව මට ඒකට උත්තරයක් දෙන්න හිතුන්නෑ.. ඒකයි මං ඇම්ඩා දිහා බැලුවෙ.. කාලෙකින් දැක්කෙ නැති ලොකු හිනාවක් ඇම්ඩගෙ මූණෙ මැද්දෙ තිබුණා. ඒ කියන්නෙ ඉන්කි අපිත් එක්ක එනවට ඇම්ඩා කැමතියි කියනෙකද..?

තුන්වෙනි පාරටත් අපි යනවා කියලා ඇම්ඩයි මමයි සෝෆා එකෙන් නැගිට්ටා.. ඒ එක්කම තමයි, ඇම්ඩයි මමයි හීනෙකින්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුණේ.

“මොනවත් බොන්නැතුවද යන්න හදන්නෙ.. ආ..?”

ඒ කටහඬ ආවෙ කොහෙන්ද කියල මට හිතාගන්න බැරිවුණා. දෙයියනේ.. සමින්දි අක්කා.. එයා බීම ට්‍රොලි එකක් තල්ලු කරගෙන අපි දිහාට එනවා.. එතකොට එච්චර වෙලා සමින්දි අක්කා ඉඳලා තියෙන්නෙ ඉන්කිලාගෙ ගෙදරද..? එතකොට මං කියපු හැම ලට්ට පට්ටෙම සමින්දි අක්කා අහගෙන ඉන්න ඇත්තෙ.. ඇතත්ටම මට දැනුණෙ මං හිටපු තැන පොළව ගිලා බැස්සා වගේ.. මොන අවනඩුවක්ද දෙයියනේ මේ වුණේ.

“නවෝද්.. එන්න..”

ආකාසෙන් මේ දැන් පතබරියන් උනු වැහි බිංදුවක් වගේ හිනාවෙන ගමන් සමින්දි අක්කා මට කතා කරා. ඇම්ඩා උනත් හිටියෙ අවුල්වෙලා කියල මට තේරුණා. අපි දන්නෙ නැතුවම මෙතන සිද්ධවෙලාතියෙන කොමඩි ස්ටාර් එක මොකක්ද කියලා මං හිතාගත්තා.

“නවෝද් එන්නකො..”

බීම ට්‍රොලියට හේත්තුවෙලා සමින්දි අක්කා මං දිහා බලන් ඉද්දි ඉන්කි මට කතා කරා. සමින්දි ඇඳලා හිටියෙ නිල්පාට ටී ෂර්ට් එකකුයි, සුදු පාට ඩෙනිම් ස්කර්ට් එකකුයි.. එයා ඒ වගේ ඇඳලා ඉන්නවා මං කවදාවත් දැකලා තිබුනෙ නෑ.. අමුතුම සිරියාවක් තමයි ඇත්තම කියනව නම් සමින්දි අක්කා ගාව තිබුණෙ. ඒ අතින් එයා ඉන්කිව පරාද කරලා තිබුණා.

“මට බෑ.. මං යනවා..”

හිතට එකපාරටම ආපු මොකක්දෝ ශක්තියකින් මං කිව්වා. ඉන්කි වගේම සමින්දිත් මං දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ. ඇම්ඩා නම් හිටියෙ මට ඕන මගුලක් කරගනිං කියල වගේ.

“ඔ.. ඔයාට මොනවද වෙලා තියෙන්නෙ නවෝද්..? අනේ මං මේවට මුකුත් දාලා නෑ..”

“ඔයා මේවට වහ දාලා දුන්නත් මං බොනවා ඉන්කි.. ඒත් මේ වගේ සවුත්තු වැඩ කරන්නෙපා..”

“සවුත්තු වැඩ..?”

“ඔව්.. එයා ගේ ඇතුළෙ තියාගෙන ඔයා අපිත්තෙක්ක කතා කර කර හිටියෙ.. ඒක සවුත්තු වැඩක් නෙමෙයිද..?”

“ඔයා කියන දේ මට තේරෙන්නෑ නවෝද්.. සමින්දි අක්කා මෙහේ හිටපු එක, එහෙම ඉද්දි මං ඔයාලා එක්ක කතා කරපු එක සවුත්තු වැඩක් වෙන්නෙ කොහොමද..?”

මෙන්න මේවට තමයි කියන්නෙ පිස්සු නැත්නම් සෝක් කියලා.. වෙන්නෙ කොහොමද කියලා අහනවට වැඩිය උනේ කොහොමද කියලා ඇහුවා නම් නරකද..?

“මෙයා ගේ ඇතුළෙ ඉන්නව කියලා, ඔයාට කියන්න තිබුණනේ.. නැද්ද ඇම්ඩා..?”

මං කතන්දරේට ඇම්ඩත් සම්බන්ධ කරගත්තා. ඌ නම් නිකං පිලුණු වෙච්ච බත් කාපු පූසා වගේ බලන් හිටියා.. ඒත් ඌ ටිකකින් කට ඇරියා.

“එහෙමනන් ඉතිං අපි මේ ගෙට අඩියක්වත් තියන්නෑ.. නැද්ද බෙකම්..”

“ඔයාලා දෙන්නා මොනව කියනවද කියලා මට තේරෙන්නෑ.. මගේ ඔලුවත්තෙක්ක අවුල්වෙලා.. අනේ.. නවෝද් මේ කියවන එක නතර කරන්නකො..”

ඉන්කි අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා.. ඔන්න එතකොට තමයි මෙච්චර වෙලා නිශ්ශබ්ද මිලියම්ගෙ වයිෆ් චරිතෙ රඟපාපු සමින්දි අක්කා කතාවට එන්ටර් වුණේ.

“ඔයාලට ප්‍රශ්නයක් වුණේ මං මේ ගේ ඇතුළෙ හිටපු එකයි, මං ඔයාලගෙ කතාව අහගෙන හිටපු නිසයිනේ නේද..?”

තාලෙට ඇදල පැදල සමින්දි අක්ක මගෙන් ඇහුව. මං මෙයාට කියපු ඒවට මෙහෙම සතුටින් සාමදානයෙන් ඉන්නෙ කොහොමද අප්පා.. සමින්දි අක්කට අද මල පැන්නෙ නැති එකට මට ආවෙ මාරම කුතුහලයක්..

“මං හුඟක් වෙලාවට ඉන්නෙ මෙහෙ තමයි..”

ඇයි වෙනද ඉන්න දිහාට ගංවතුරද කියල ඇහෙන්න ඔන්න මෙන්න තියෙද්දි මං කට තද කරගත්තා.

“ඉන්කි මට කඩේ නොයා කාට කාඩේ යන්නද නවෝද්.. ඉන්කි කියන්නෙ මගේ නංගි..”

“මොකක්..?”

“පිස්සු හැදෙනවා..”

තව පොඩ්ඩෙන් මටයි, ඇම්ඩටයි කලන්තෙ හැදෙන්නෙ එකපාර.. ඇයි හත්වලාමෙ ඒ වගේ මැක්සා කතාවක්නේ මේක.. කීයටවත් වෙන්න පුළුවන්ද අප්පා.. ඉන්කියි, සමින්දි අක්කයි නංගියිලු..

“ඔයා හිතන්නෙ.. ඔයාගෙ ටොම් පච වලට අපි අහුවෙයි කියලද සමින්දි..? ආ..! අපිට අන්දවන්නැතුව ඔයාගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න..”

මං ටිකක් සැරට කතාකරා.. නැතුව බෑ අප්පා.. සමින්දි අක්කා වගේ අයට කටින්ම ගහලා දිනන්නෝන.. නැත්නම් බලන් හිටියොත් හෙම ඇපත් නෑ..

“සමින්දි අක්කගෙ කතාව හරි නවෝද්.. අපේ අම්මගෙ අක්කගෙ දුව තමයි සමින්දි කියන්නෙ.. දැන් ඔයාට තේරුණාද..? ඉතිං එයයි මමයි අක්කයි නංගියිනේ..”

ඒ පාර කතන්දරේට පැන්නෙ ඉන්කි.. කෙල්ල බලන්නැති මේ විදියට ගියොත් නම් කීයටවත් වැඩේ ගොඩදාගන්න බෑ කියලා.. ඇයි ඉතිං.. ඇම්ඩයි, මායි සමින්දියි තකට තකනේ.. බලන් ඉන්නෙ කොයි වෙලාවටද පැටලෙන්නෙ කියලනේ..

“තේරුණාද අහනවා.. හරියට පොල්ලකින් ගැහුව වගේ.. කලින් කියන්න එපාද හත්තිලව්වෙ, ඔය මල ඉලව් නෑකමක් ගැන..”

ඇම්ඩා කුටු කුටු ගගා කියවන ගමන් බීම වීදුරුවක් අතට ගත්තා. මේ තරමටම සබ්බ සකලෙ බිමටම ඇනිල තියෙද්දිත් මූ යස අපූරුවට බීම බොන හැටි.

“ඉන්කි.. ඔයා නවෝද්ට දෙන්න.. මං දුන්නොත් බොන එකක් නෑනෙ.. ඔයා දුන්නොත් වහ උනත් බොනව කිව්වනේ..”

“ආ නවෝද්..”

බීම කතන්දරේටම සෑහෙන්න වෙලා ගියපු හින්දා මං බීම එක අතට ගත්තා. ඇම්ඩා නම් දෙවනි වීදුරුවටත් වග කියන්න ගත්තා.. ඌ මං හිතන්නෙ සහරා හරි වෙන මොනවම හරි කාන්තාරෙක අතරමං වෙලා වගේ. ඒ තරම් සා පිපාසයෙන් ඉන්නෙ.

“එහෙනම් අපි යනවා..”

තවත් දුරට එතන රැදෙන්න බෑ කියලා මට තේරුණා. ඒකයි මං ඇම්ඩවත් ඇඳගෙන එළියට බැස්සෙ. ඌ ඒ වෙනකොට බීම වීදුරු තුනකටම වග කියලා තිබුණා. ඉන්කියි සමින්දියි බලාගෙනම ඉඳ්දි මායි ඇම්ඩයි එළියට බැස්සා. සමින්දිගෙ මූණෙ තිබ්බෙ සවුත්තු හිනාවක්ද මංදා.. වැඩේ කියන්නෙ, මාත් පිස්සු හුටං වගේ ඉන්කිත් එක්ක සමින්දිට බැනපු එකනේ.. කෙල්ල ඒ හැමදේම යස අගේට අහගෙන ඉන්නැති.. හැබැයි ඉතිං තියෙන එකම පුරස්නෙ තමයි කෙල්ල අද පත්තු වුණේ නැත්තෙ ඇයි කියනෙක.

“අතක් පයක් නොකැඩි ඔයින් ගියා මැදැයි..”

“ඇත්තටම ඇම්ඩා උඹට ඩිංගක්වත් නෝට් උනේ නැද්ද සමින්දි, ඉන්කිලහ ඇවිත් ඉන්නවා කියලා..! බලපං දැන අඳුනගෙන මෙච්චර කාලයක් ගිහිල්ලත්, අපිට උං දෙන්නගෙ නෑදෑකම තේරුම් ගන්න බැරි උනානේ.”

“මොන නෝට්විල්ලක්ද බෙකම්.. මට හතර විලි ලැජ්ජාවයි.. මේ වෙච්ච වැඩේට නම්..! උඹ අර රට වටේම ඒවා කියනකොට සමින්දි කාමරේ ඇතුළෙ ඉඳගෙන පුපුර පුපුර අහගෙන ඉන්නැති..”

“ඒත් ඇම්ඩා.. සමින්දි අක්කා මට කිසිම කලර්ස් එකක් දැම්මෙ නෑනේ.. සමහර විට එදා ග්‍රවුන්ඩ් එකේ සිද්ධියෙන් පස්සෙ කෙල්ලගෙ අලි උණ බැස්සද දන්නෑ..”

“පිස්සුද බෙකම්.. කෙල්ලො ගැන ඔය තරම් අඩු තක්සේරුවට හිතන්නෙපා.. අපි නොහිතන වෙලාවක උං අපිට වැටෙන්නම දෙයි..”

“මං හිතන්නෑ ඇම්ඩා.. බලපං සමින්දි අක්කා අද හොඳට කතා කරානේ.. උඹ ඔය කියනව වගේ අවුලක් මං ඒකිගෙ ගාව දැක්කෙ නෑ..”

ඇම්ඩා මොනවා කිව්වත් සමින්දිගෙ පැහැදිලි වෙනසක් මං දැක්කා. ඒ වෙනස ආරම්භ වුණේ එදා අර ග්‍රවුන්ඩ් එකේ බිමට පතබරියං වුණ වෙලාවෙ කියලා මට ෂුවර්.. ඇම්ඩට කොහෙද ඕවා තේරෙන්නෙ.

“කෙල්ලො ගැන උඹට වඩා හුඟක් දේ මං දන්නවා බෙකම්.. උංව වැඩිය තේරුම් ගන්න යන්නැතුව පාඩුවෙ ඉඳපං.. ඒක තමයි හොඳම දේ.. එහෙම නැතිවුණොත් වේනනෙ අපේ මොලේ කොලොප්පං කරලා උං ආතල් එකක් ගන්න එකයි..”

“උඹ ඔය මොනව කිව්වත් මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි බං..”

“එහෙනම්..?”

“ඉන්කි මොකද සමින්දි ගැන අපිට කිව්වෙ නැත්තෙ කියනෙක..”

“කිව්වෙ නැත්තෙ කියන්නෙ.?”

“උං දෙන්නා අක්කයි නංගියි කියනෙක..”

“බොහොම සරල ප්‍රශ්නයක් බෙකම්.. සමින්දි කියන්න ඇති අපිට ඒ විත්තිය අඟවන්න එපා කියලා.. ඒත් උං දෙන්නගෙ තිබ්බ ළඟ සම්බන්ධතාවෙ ගැන අපේ මොලේ හරියට වැඩ කරා නම් මීට කලින් හොයාගන්න තිබ්බා..”

ඇම්ඩා කිව්ව කතාවෙ ලොකු ඇත්තක් තිබුණා. ඒත් සමින්දි අක්කා ගැන වෙනද වගේ මගේ හිතට එන කහටත් වගේ හැඟීම අද නම් ඇවිල්ලා තිබුණෙ නෑ.. ඒකට ලොකු හේතුවක් උනේ සමින්දි අක්කා මට මූණ දීපු හැටි. එයා මාව කරකවලම අතෑරල දාලා තිබුණා.


No comments:

Post a Comment