Thursday, November 8, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |


වෙනදා වෙලාවටම උදේ ඇහැරුණත්, හිසේ කැක්කුම යාන්තමට ඇවිල්ල තිබුණා. කිරි එක බීපු ගමන් මං හිස් බඩට කියලා පෙනඩෝල් දෙකකුත් ඇදලා ඇරියා. ඇයි ඉතිං අද සමින්දි අක්කා දුවන හන්ද, අපිටත් පට්ට අව්වෙ පරිප්පු කරන්න වෙනවනේ. කෙල්ල හති දම දමා දුවනකොට කොහොම ගතියක් ඒවිද අප්පා.

සුදු පුතා......


ටිකක් දවල් වෙද්දි මට අම්මගෙ කටහඬ මිදුල පැත්තෙන් ඇහුණා. මිදුලෙ මල්පැල අස්සෙ එහෙන් මෙහෙන් පැලවෙලා ආතල් පිට ඉන්න වල්පැල ටිකට ගේම දෙන්න මගේ සහයෝගය බලාපොරොත්තු වෙනවද මංදා.. මං කොහොමටත් ස්වභාව සෞන්දර්යය විනාස වෙනවට කැමති නෑ. කොටින්ම මං පරිසරේට හානි කරන්නෙම නෑ. ඔන්න ඔය වාක්‍ය දෙක තමයි මං ඉස්සරහට දාන්නෙ. වල් පැල නෙලීමට ආරාධනා ලබනකොටම. බැහැයි ඉතිං ඕකෙ යටි අර්ථය තමයි ඔය වැඩේට මං කම්මැලියි කියනෙක.

සුදු පුතා....

ඇයි.. අම්මා..?

කොහෙද දරුවා ඔයා ඉන්නෙ.. මං කීපාරක් නම් කතා කරාද..? මෙන්න නාලක පුතාලා ඇවිත්..

මං උඩ ගිහින් බිම වැටුණා. ඇම්ඩා මොකද යකෝ මේ උදේ පාන්දර.. අනික අම්මා කිව්වෙ නාලක පුතාලා කියලා.. ඒ කියන්නෙ නාලකලා දෙන්නෙක් ඇවිල්ලද..? ඒ එක්කම තමයි මගේ කාමරේ කර්ට්න් එක පැත්තකට විසි වෙලා ගිහින් බඩගෝස්තරවාදී හමුදාව වගේ කාමරේට සම්ප්‍රාප්ත වුණේ. එතන වැඩිය කවුරුවත් හිටියෙ නෑ.. හැබැයි ඉන්න ඕන හැම එකාම හිටියා. ඉස්සෙල්ලාම මං ළඟට ආවෙ බලයා.. ඊගාවට ඇම්ඩයි, මාධවයි. අන්තිමට ඇවිත් දොර ගාවම නතර වුණේ පැතුම්.

ගුඩ් මෝනිං බෙකම්..

දොර ගාව ඉඳන්ම පැතුම් කියද්දි අනිත් ඈයො හිනා වෙන්න ගත්තා. ඒ කියන්නෙ ඊයෙ ගුඩ් නයිට් සිද්ධිය මූ ඒ ඩිංගට කියලා.

මොකක්ද යකෝ, අර ඊයෙ රෑ නටපු සිංදුව..? රෑට ෆෝන් බිල අඩුයි කියලා මූ මට නිදාගන්න දුන්නෑ නාලක.. මූළු මට ඊයෙ හම්බවුණා නම් උඹලෑ ආච්චිගෙ සොහොන් කොත ගාවින්ම මං මූව සතපවනවා..

පැතුමා පෙන්නලා මං කියද්දි බලයා මගේ ඇඳේ මැද්දෙන් වාඩිවුණා.

ඕකා ඊයෙ රෑ අපිටත් කලා කරලා හෙණ වදයක් දුන්නා බෙකම්. හැබැයි පැතුමා.. උඹ නයාට ගහලා හැපින්න එක්ක සෙට් වුණා කියලා හිතාගනිං.. අපිට නින්දක් නැති කරාට.. උඹට සැනසීමෙන් ඉන්න දෙන්නෑ.. මතක තියාගනිං..

බෙකම් ගනිං කෝල් එකක්... එකසිය දහනමේට කතා කරලා මූව වැලිගම්පිටි යවන්න..

මාධවයා... ඕන මගුලක් කරහං.. ෆෝන් එක අල්ලන්නෙපා..

ඇයි..? ඇයි..? ඇල්ලුවම කරන්ට් වදිනවද..?

ඇයි කියලද ඇහුවෙ..? දැනගනිං.. ගිය මාසෙ ටැලිෆෝන් බිල පන්දාහත් පැනලා..

ආ.. ඒ මේ වටේම ගෙවල්වලත් එක්කනේ..

ගෙවල්..? ආව නම් කඩේ වහල ඉඳපිය.. මගේ ලේ කුපිත කරන්නැතුව.. වෙන කොහේවත් නෙමෙයි යකෝ.. අපේ ගෙදර.. අපේ ගෙදර..

ඔය තරම් සැර පරුෂ විදියට කතාකරන්නෙපා බෙකම්.. මුත්‍රාෂයට හොඳ නෑ.. උඹලගෙ බිල වැඩිවුණේ කොහොමද බං..?

වැඩි උනේ..? උඹලට මතක නැද්ද ගිය මාසෙ එක දිගට මෙතන ඉඳන් රටේ ඉන්න හැම හාල් කෑල්ලටයි, ලස්සනයි කියලා හිතුණ ටීචර්ස්ලටයි, නම්බර් ඉල්ලගත්තු කෙල්ලන්ටයි.. කතා කරලා බිල නැගලා.. ඔන්න අම්මා කිව්වා... උඹලගෙන් රුපියල් එකදාස් පන්සීය ගානෙ අරගෙන බිල ගෙවල දාන්න කියලා..

හ.. හපොයි.. එද්දාස් ප.. පන්සීයක්.. බෙ.. බෙකම්.. මට පපුවෙ අමාරුව වගේ.. මට.. මට වතුර ඩිංගක් දීපංකො..

වතුර..? උඹට වතුර නෙමෙයි දෙන්න ඕන.. ආන්න මේසෙ උඩ ඇති බීපං..

ඔ.. ඕක්.. ඕක්..

ඈ පැතුමා.. මොකෝ ඔය වමනෙ දාන්න යන්නෙ හත්දෙයියනේ.. උඹට එහෙනම් දරු පැටියෙක්ගෙ මූණ බලන්නත් වාසනාව හම්බ උනා.. මං කිව්වා.. උඹට ඔය ටික හූන කියන්න වගේ.. ගිය මාසෙ අමාවක දවසෙ, උඹ බෙකම් ළඟ නිදාගත්තනේ.. අඩෝ බන්ඩි ගෙඩියවත් ලොකු වෙලා නෑනෙ..

බලයත් කියවන්න ගියාම මාරයි. උගේ කතන්දරේට පැතුමට උණ ගැනුණා. පරණ තරහකාරයෙක් දිහා බලනව වගේ ඌ මගේ දිහා බැලුවෙ. බලයා හිනවෙනවා.

කටවහගනිං... ආ බං බෙකම්.. උඹ මොනවද බං ඒ වතුර වීදුරුවට දැම්මෙ..? තනිකර කුණු කරෝල පල් වෙලා වගේනේ..

ආ.. උඹ ඕක ගණන් ගන්නෙපා පැතුමා.. මං ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් මේස් දෙක ගලවල විසි කරද්දි ඒ දෙකම වැටුණෙ ඔය වතුර වීදුරුවට.. මං අද උදේ තමයි මේස් දෙක අයින් කරේ..

ඉක්.. ඕක්.. ඈක්..

එහෙම එකක් සිද්ධ වෙලා නොතිබුණත්, මගේ කතාවට පැතුමට ඇත්තටම වමනෙ යන්න ආවා.

එතන ඉඳල රටේ නැති වල්පල් තවත් දොඩවල, උදේටත් කාලා බීලා අපි කට්ටියම ග්‍රවුන්ඩ් එකට ආවා.

කෝමද බෙකම් රස්නෙ.. ඉරට හැතැම්මයි වගේ..

අර සුදු බඩ්ඩ කොහොම දුවයිද බං..?

ඒකි ඒකිගෙ කකුල් දෙකෙන් දුවයි බලයා.. උඹ උඹේ පාඩුවෙ වැඩක් පලක් කරගෙන හිටපං..

බෙකම්.. උඹ මොකද කියන්නෙ..? මට නම් හිතෙන්නෙම ඕකි රවුම් සීය දුවයි කියලා..

සෙනසුරාදා උනත්, ග්‍රවුන්ඩ් එකේ ඒ තරම් කට්ටිය හිටියෙ නෑ.. ඒක අපේ බෙට් එකට ලොකු පහසුවක් උනා කියලයි මට හිතුණෙ. අඩු ගානෙ සද්ද දාලා හූවක් හරි දෙතෑකි.

මම නම් කියන්නෙ ඕකි එන්නෑ.. ඇම්ඩා උඹ මොකද කියන්නෙ..?

නිකං ඉඳපං පැතුමා.. ඕකි සුපිරි වාහනයක්.. පට්ට ඇන්ජිම... බොඩි කන්ඩිෂින් සීයට දෙසීයයි.. බ්‍රෑන්ඩ් නිව්.. විහිලුවටවත් තාම එකෙක්වත් පැදල නෑ.. ඒක හින්දම ඕකි එනවා..

සමින්දිව වාහනේකට සමාන කරලා ඇම්ඩා කියපු කතාව නම් මරු.. ඌ කිව්වෙත් බොරුවක් නෙමෙයි අප්පා.. සමින්දි කියල කියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් එකක්ම තමයි.. ඒක තාම එකෙක්ටවත් පැදල නෑ කියලා, උගේ එක්ස්පීරියන්ස් එක්ක කියද්දි මගේ හිතටත් මොනවදෝ වෙලා ගියා.

බෙකම්..

ම්..?

මං කියන්නද වැඩක්.. උඹ ඕකිත් එක්ක යාලුවෙයන්..

යාලුවෙලා..?

ඕකිට පට්ට බූට් එකක් තියපං.. ඔය ගණන් ඔක්කොම බහින්න..

උඹ දන්නවනේ මාධව.. මං ගාව ඔය ජරා වැඩ නෑ කියලා..

උඹ ළඟ නැති වුණාට ඒකි ගාව තියෙනවනේ.. ඒකිත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අපිටත් ඒකි වගේ වෙන්න වෙනවා.. මොකෝ ඇම්ඩා කියන්නෙ..?

උඹේ බෙලෙක්කෙ වහගනිං.. සමින්දි එනවා..

දොළහට දහයක් වගේ වෙද්දි, ග්‍රවුන්ඩ් එකේ යකඩ වැට පහු කරලා, සිමෙන්ති වලින් ග්‍රවුන්ඩ් එක වටේටම රවුමට හදල තිබ්බ පඩිපෙල දිගේ බැහැගෙන එන සමින්දිව ඉස්සෙල්ලම දැක්කෙ ඇම්ඩා.

යකෝ ඉන්කිත් එනව නේද..? අර තව කෙල්ලො දෙන්නෙකුත් එන්නෙ..

සමින්දියි, ඉන්කියි ඇරුණහම එයාලත් එක්ක එන අනිත් කෙල්ලො දෙන්නත් මං අඳුන ගත්තා, ඒ රාහුලෙත් එක්ක මැච් එක තිබ්බ දවසෙ සමින්දිත් එක්ක එකතු වෙලා මගේ බූට්ස් දෙක ඉස්සුවෙ උං දෙන්නා තමයි.. හරියට වැඩක්වත් කරගන්න බැරි ඒ මල හොන්තු දෙක මොකට එක්කං ආවද මංදා.

හුරේ.. ඔබතුමියගේ පැමිණිම ගැන මගේ බලවත් ප්‍රීතිය..

සමින්දි අක්කා ළඟට ආවා විතරයි, දකුණු අත පපුව මැදින් තියාගෙන වම් අත ඉස්සරහට දාලා චමිල් බාගෙට නැමුනා. සමින්දිගෙ මූණට ආවෙ නම් ඒ තරම් හොඳ පෙනුමක් නෙමෙයි. යකෝ... බෙට් එක කසේ වෙතත් කෙල්ල මගෙත් එක්ක ඇරගන්නයි ඇවිත් තියෙන්නෙ. පැත්තකින් හිටපු ඉන්කි නම් හිතේ කැතක් කුණක් නැතුව මගෙත් එක්ක හිනාවෙද්දි මං එයත්තෙක්ක කට පුරාම හිනාවුණා. ඒක දැකලා සමින්දි, ඉන්කිට රවද්දි තමයි ඉන්කිගෙ හිනාව මැලවිලා ගියේ.

ඔයාලගෙ ප්‍රීතිය බොහොම ඉක්මනට නැතිවෙයි..

ගහෙන් ගෙඩි එන්න වගේ දඩබඩ ගාලා සමින්දි කිව්වා. හැබැයි ගහේ ගෙඩි හැදෙන වේගෙ වගේ අනන්ත වේගෙකින් ඒ වචන ටික එළියට ආවා කිව්ව නම් තමයි හරි.

ඒ මොකද කියලා, අපිව දැනුවත් කිරීමට තරම් ඔබතුමිය කාරුණික වෙයි කියලා අපි හිතනවා..

ඒපාර ඇම්ඩත්, චමිල්ට එක්කහු උනා.

කාරුණික.. හහ්.. දැනගන්නවා.. මං මේ රවුම් සීය දුවනවා.. එතකොට මට හිනාවෙන්න බලන් ඉන්න මේ නැහැදිච්ච ආඩම්බරකාරයට, හිනාවෙන්න බැරි වෙනවා.. දැන් තේරුණාද..?

සට සට ගාලා සමින්දිගෙන් වචන එළියට පැන්නා. මොන අවමගුලක්ද හත්වලාමෙ මේ..? කොහේ තියෙන තරහක්ද මෙයා මගෙන් පිරිමහන්න හදන්නෙ.. කොල්ලො ගාවින් අඩියක් ඉස්සරහට තියලා මං සමින්දි ළඟට ආවා. එයත් මූණ හතරැස් කරගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියෙ, මට මොනවද කරන්න ඕනෑ කියලා හිතාගන්න බැරිව වගේ.

නැහැදිච්ච ආඩම්බරකාරයා කිව්වෙ මටද..?

ඔව්.. ඔයාට තමයි..

මොකක්ද මගේ නැහැදිච්චකම..?

නැහැදිච්චකම..? ඉස්කෝලෙ තිබ්බ ස්ලයිඩ් ටික හොරෙන් පන්නල, ඊට පස්සෙ ඒ ටික අතේ තියාගෙන ආවා මගෙත්තෙක්ක ඔට්ටු අල්ලන්න.. ඒවා නැහැදිච්ච වැඩ නෙමේද..? මහා ලොකු ජනප්‍රිය තරුව.. හුහ්.. සෙන්ට්‍රල් එකේ ඔයිට වැඩිය ජනප්‍රිය තරු නැද්ද මංදා.. ළමයින්ටත් පිස්සුනේ..

සමින්දිගෙ කතාවට ප්‍රති උත්තර දෙන්න ඇම්ඩයි, පැතුමයි එක පාරටම කටවල් අරින්න හැදුවත් මං උං දෙන්නව නැවැත්තුවා. ඇටෑක් එක ඇවිල්ල තියෙන්නෙ බෙකම්ට.. බෙකම් කියන්නෙ ලේසියෙන් පස්සට යන කොල්ලෙක් නෙමෙයි.. සමින්දි තාම බෙකම්ගෙ වැඩ දැකල නෑ.

නැහැදිච්චකමට අයිතිවෙන්න ඕන ඔය කියපු ටික නම් මට ප්‍රශ්නයක් නෑ..

මං කාගෙවත් වගේ වගක් නැතුව කියල දැම්මා. සමින්දිගෙ ඇස් උඩ ගියා. එයාට කොහොමත් මං ඔය කියන හරුප තේරෙන්නෙ නෑ. එයා බබානේ.

ඇයි..? ඇයි ඔයාට ප්‍රශ්නයක් නැත්තෙ..?

ඔයත් නැහැදිච්ච කෙනෙක් නිසා..

මං..? මං කොහොමද නැහැදිච්ච කෙනෙක් වෙන්නෙ..? ඒක ටිකක් ඕනවට වැඩි කතාවක්..

ඇයි මතක නැද්ද..? මේ ග්‍රවුන්ඩ් එකේදි මට මැච් එකක් තියෙද්දි, ඒක ගැනවත් හිතන්නෙ නැතුව මගේ බූට්ස් දෙක හොරකම් කරල, ඒක හොයල දෙන්නම් කියලා ඔට්ටු ඇල්ලුවෙ..? ආ.. මං එදා මැච් එක ප්ලේ කරේ වෙන බූට්ස් දෙකක් දාගෙන.. මගේ බූට් දෙක තිබ්බ නම් එදා රාහුලේ ටීම් එක ඔය තරම් වැඩර්ල වෙන්නෙත් නෑ. එතකොට ඒවා මොන වැඩද ආ..? නැහැදිච්ච වැඩ නෙමේ නම්.. ඒවා බලු වැඩ.. එහෙමනේ..?

මං සමින්දි එහාට ඇගිල්ල දික් කරල කෑගැහුවා. එයා පුදුම වෙලා වගේ බලන් ඉන්දෙද්දි තමයි ඉන්කි මං ඉස්සරහට ආවෙ. ඉන්කි හිටියෙ හොඳටම අවුල් වෙලා.

අ.. අනේ නවෝද්.. මෙතන රණ්ඩු වෙන්නෙපා.. මිනිස්සු පිරුණොත් අපි කාටත් හරි නෑනෙ..

ඒක ඔයාගෙ මහ ලොකු හෙඩ් ප්‍රිෆෙක්ට කියන්න.. මහා ලොකුවට ඉන්න සබ්බ සකලෙම දන්නව වගේ.. ඒ උනාට පුළුවන් ඇටිකෙහෙල් ගෙඩියක් නෑ..

මො.. මොනවද ඔ.. ඔයා කිව්වෙ..?

සමින්දිට හොඳටම කේන්ති ගිහින් තිබ්බෙ.. එයා මං දිහාට අතක් උරුක් කරගෙන.

අත ඉස්සුවෙ ගහන්නද..?

මං සවුත්තුවට වගේ ඇහුවා. ඇම්ඩයි, පැතුමයි එහෙන් මෙහෙන් සමින්දිට නෝන්ඩි කතා කියනවා මට ඇහුණා.

ඔව්.. ඇයි බැරිද..?

පුළුවන්ද කියා බලන්න ගහල බලමුකො..

ආ.. ගැහුවොත් වදින්නෙ නැද්ද..?

සමින්දිගෙ මූණ සම්පූර්ණයෙන්ම රතු වෙලා තිබුණා. ඒ හිතේ කේන්තියටද, නැත්නම් දවල් දොළහට තියෙන අව්වෙ රස්නෙටද කියලා මට හිතාගන්න බැරිවුණා. කොහොම උනත් මට මොකෝ.. මගේ අතින් පයින් යන්නෑනේ.

වදින එකක් නෑ..

ඇයි..?

ඊට කලින් මගෙන් ලෝන්ග් කික් එකක් වදිනවා ඔයාට මේ ගෝල් පෝස්ට් එකේ ඉඳලා, එහා ගෝල් පෝස්ට් එක ගාවට උඩින් වැටෙන්න.. ඒ වැටෙනකොට පස්ස බිම ඇනුනහම ඔයාගෙ මොලේ පෑදෙයි.. මොකද ඔයාගෙ මොලේ තියෙන්නෙ එතනනේ..

ම.. මං.. මං..

කියාගෙන සමින්දි අත ගුලි කරන් මගේ මූණට පාරක් ගැහුවා. මේ බෙකම් බලන් හිටියා කියලද උඹලා හිතන්නෙ..? ලොවෙත් නෑ යකෝව්.. මං ඒ සියුමැලි අත, මගේ දකුනු අතින් තද කරලා අල්ලගෙන අනිත් පැත්තට ඇඹරුවා..

අ.. අතාරින්න.. අතාරින්න මගේ අත..

මං මේක අල්ලගත්තෙ සඳහටම නෙමෙයි.. ඒත් එහෙම සඳහටම අල්ලගන්න ඕන අතුත් තියෙනවා.. හැබැයි ඔයා වගේ ජරා කෙල්ලෙක්ගෙ නෙමෙයි..

ම.. මට රිදෙනවා.. ඌයි..

අත තවත් ටිකක් පස්සට අඹරද්දි, සමින්දි වේදනාවෙන් කෑගැහුවා.. ඉන්කියි, බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි ගල්වෙලා බලන් හිටියෙ, මගේ කොල්ලො හතරදෙනා නම් සුපිරි ගතියක් ගන්නවා කියලා මට හිතුණා මගේ ක්‍රියා කලාපය හන්දා.

මීට පස්සෙවත් අත පය උස්සන්න කලින් හිතනවා කාත්තෙක්කද හැප්පෙන්නෙ කියලා.. මොකද මම බාලිකාවෙ නෙමෙයි.. වැඩිය දැගලුවොත් අත් දෙක කඩනවා බොංචි කඩනව වගේ..

ම.. මට රිදෙනවා.. මාව අතාරිනවා.. නැහැදිච්ච එකා.. අයියෝ...

මං සමින්දිගෙ අත තවත් ටිකක් අඹරලා, එයාගෙ පිටට අත තියලා ඉන්කි දිහාට තල්ලු කරලා දැම්මා. ඒ තල්ලු කිරීමට මූලික හේතුව උනේ, නැහැදිච්ච එකා කියලා මට කියපු වචන දෙක. මගේ තල්ලුවෙන් විසි වෙලා ආපු සමින්දිව, ඉන්කි බොහොම අමාරුවෙන් අල්ල ගත්තා. ඒ අල්ල ගත්තු ඉන්කිව පැත්තකට තල්ලු කරල දාලා, සමින්දි මං ඉස්සරහට ආයෙත් ආවා. ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් ඉපදිච්ච කේන්තිය, මහවැලි ගංගාව වගේ දෝරෙ ගලනවා මං දැක්කා. මේකිට දැන් මාව දුන්නොත් අමුවෙන් හරි කනවා. ඒකෙ දෙකක් නෑ.

මං.. මං.. ඔයාට කරන වැඩේ බලාගන්නවකො..

මං මොනව කරාටද..?

මොනව කරාටද..? ඇයි මගේ ඇඟට අත තිබ්බට.. මං යනවා පොලීසි..

අපොයි.. එකට දෙපාරක් යනවා.. මට මොකෝ.. අනික දන්න කියන මනුස්සයෙක් ඔය ඇඟට අත තියන්නෑ මං අත තිබ්බට.. ඕකත් ෆිගර් එකක්ද හලෝ.. ආ.. ඔයා හිතන් ඉන්නෙ ඔයා ලස්සනයි කියලද..? ඒවා බාලිකාවට.. තේරුණාද..?

මං සමින්දිව කපලම දැම්මා.. ආයෙ කොන්තරාත් ක්‍රමේට පස්සට කෑල්ලක් තියාගත්තෙ නෑ. සමින්දිගෙ මූණ රතු පාටින් දම් පාටට හැරුණා. මං අඹරපු අත, අනිත් අතින් අත ගගා, එයා ගිනි පිටවෙන ඇස්වලින් මං දිහා බලන් හිටියා. ඔහොම යං බෙකම්.. ඔහොම යං.. ඒත් තවත් දුරට මට ඕන හැටියට සමින්දිට කියවන්න හම්බවුණේ නෑ. සුපුරුදු විදියටම ඇම්ඩට බලන් ඉඳලා ඇතිවෙලාද කොහෙද මැද්දට පැන්නා.

මේ.. ඔය නෝනා මහත්තයා අද ආවෙ දුවන්නද..? නැත්නම් අපේ බෙකම් එක්ක රණ්ඩු වෙන්නද..? කරුණාකරලා තමන් දාපු බෙට් එක පරාද වුණා නම්, ඒ ගිවිස ගත්තු දේවල් ඒ විදියටම කරනවා.. නැත්නම් බලන් ඉන්න අපිටයි ලැජ්ජා..

ඒකනේ ඇම්ඩා.. බෙකමුයි, අපියි ආවෙ මෙයා පණ කඩාගෙන දුවනවා බලන්න මිසක් රණ්ඩුවෙන්න නෙමෙයිනේ.. අනික ඔය කියවන කතන්දර ගැන හිතන්න තිබ්බෙ, බෙට් එක දාන්න කලින්නේ.. අනේ මංදා මෙයාට කවුරු මේ හෙඩ් ප්‍රිෆෙක්ට් කම දුන්නද කියලා.. යසට ඇති ඉස්කෝලෙ නම්..

ඇම්ඩට එහා යන උත්තරයක් මාධව දෙද්දි, සමින්දි අක්කා යටිතොල විකාගන්නවා මං දැක්කා. පොතේ හැටියට නම්, මෙතන එල්ලෙන්න වැලක් තිබුණා නම් කෙල්ල එල්ලෙනවා.. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ..

ඉන්කි..?

ඇයි.. ඇයි සමින්දි අක්කෙ..?

ඔ.. ඔයා මගේ රවුම් ගාණ ගණන් කරන්න.. හහ්.. මං.. මං ක්‍රියාවෙන්ම පෙන්නන්නම්.. මගේ ප්‍රිෆෙක්ට්කමට මං සුදුසුයි කියලා.. හ්ම්..

තවත් දුරට අපිත්තෙක්ක ඇවිලෙන එක තරම් ගොන්කමක් තවත් නෑ කියලා සමින්දිට තේරෙන්න ඇති. ඒකයි කෙල්ල සියලු දෝෂ නිවාරණයි වගේ, ධාවන පතයට බැස්සෙ.

බෙකම්.. මෙන්න මෙයා දුවන්නයි හදන්නෙ..?

හයියෝ.. දෙයියනේ.. බාලිකාවෙ අති උත්තම ප්‍රිෆෙක්ට් නෝනද මේ දුවන්න සැරසෙන්නෙ.. හහ්.. හහ්.. හා..

ඕන ඔට්ටුවක් බෙකම්.. මුන්දෑ රවුම් විස්සක් දුවන්නෑ.. හයියෝ... සල්ලි..

සියලු නින්දා අපහාස, ගැරහිලි, නෝන්ඩි, කෝචොක් ඔය සැමදේම අතරින් සමින්දි අක්කා ඉවෙන්ට් එක පටන් ගත්තා. කොල්ලො ටික තාලෙට ක්ලැප් කරද්දි, ඉන්කියි බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි, කරන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරිව ගල්වෙලා හිටියා.

කමෝන්.. මගේ උක්කු අම්මා.. ඔයා සීදේවි.. ඔය චූටි රෝස පතුල් රිදෙයි.. මගේ හදවත ඌයියා වෙයි.. අයියෝ..

තව ඩිංගයි.. තව ඩිංගයි.. ඔහොම දුවමු.. ඔහොම දුවමු..

රවුමක් දුවලා අපිව පහුකරගෙන යන සමින්දිට ඇම්ඩයි, බලයයි නානාප්‍රකාර දේවල් කියනවා.. මූණ හොඳටම සවුත්තු කරගෙන, යටිතොල් විකාගෙන සමින්දි දුවන්නෙ, මාව මරන තරමෙ කේන්තියකින් කියලා මට තේරුණා. ඒත් ඉතිං හත්තිලව්වෙ මේක බලෙන් ඇදගෙන දාගත්තෙ එයානේ..

බෙකම්..

පිට්ටනිය වටේ රවුම් පහක් විතර සමින්දි දුවද්දි, පැතුම්ගෙ කටහඬ මට ඇහුණා.

මේ ඌට නිදහසේ සමින්දිගෙ රංගනේ බලන්න දීපං..

මාධවයා.. උඹ මට නිතරම බාධා කරලා මගෙන් මැරුම් කන්නෙපා.. ඇයි යකෝ.. බෙකම් උඹේ වස්තුවක්ද..?

නෑ.. මගේ නම් නෙමෙයි.. ආන් අර දුවන බඩ්ඩගෙ..

මාධව.. ඕන්නැති කතා නොකිය හිටපං.. ඕක ඇහුණොත් ඇති... සමින්දිට මාව බයිට් එකට ගන්න.. ආ පැතුම්.. උඹ මොකක්ද කියන්න ආවෙ..?

තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා බෙකම්.. කොහෙද මේ පාංකිරිත්තා මැද්දට පැන්නනේ..

හරි.. හරි.. කියන්න ආපු දේ කියපං වද කාරයා..

උඹට කියන්න බෙකම්.. උඹ සමින්දිගෙ අත අල්ලලා ඇඹරුවනේ..

ඉතිං..?

ඒකි කිව්වනේ පොලීසියට කියනව කියලා..

ඉතිං..?

ඒ කතාව ඇහුණම මට මතක් වුණේ අපේ මාමට වෙච්චි දේ..

පැතුමා උගුර පාදගත්තා.. එතකොටම තමයි සමින්දි අක්කා දහ වෙනි රවුම, උට්ඨාන විර්යයෙන් පහු කරගෙන දිව්වෙ. පව් කියලත්  හිතෙනවා අප්පා.. ඒත් ඉතිං ඉල්ලගෙන කන ඒවට අපි කියල මොනව කරන්නද හාන්දුරුවනේ..

උඹලගෙ මාමා කිව්වෙ..?

ඒ පාර මෙලෝ සිහියක් පතක් නැතුව සමින්දි අක්කා දුවන දිහා බලන් ඉඳපු බලයා කතාවට එක්කහු උනා.

මාමා..? අපේ ඈතින් අයියා වෙන කෙනෙක්ගෙ.. බාප්පා බැඳපු පුංචි අම්මගෙ නංගිගෙ යාලුවෙක්ගෙ, ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා.. ඒ ලොකු තාත්තගෙ කසාඳ නොබැඳපු දුවගෙ යාලු කොල්ලගෙ අම්මගෙ මල්ලි තමා ඒ මාමා.. හරිය.. දැන් උඹට තේරුණාද බලයා..

ඒ නෑදෑකම අහල මගේ ඔලුව මඤ්ඤං උනා. මුගේ කටට මේ වචන කොහෙන් එනවද මංදා.. බලයට නම් මාමව නෙමේ නැන්දවත් එපා වෙන්න ඇති ඒ කතාවෙන්.

හරි.. හරි.. ඒ උඹලගෙ මාමා.. ඉතිං ඒ වහුකුනාට මොකද උනේ..?

උඹට කියන්න බලයා.. ඌ උසාවියෙන් දඬයක් කෑවනේ..

ඇයි මෝටර් සයිකලේ සයිකල් ඉන්ෂුවර්න්ස් නැතුව ගිහිල්ලද..?

හෙල්මට් එක අතේ දාන් ගිහිල්ලද..?

සුදු ඉර කපලද..?

පිස්සුද බාං..... ඌ මේ ගෑණියෙක්ව ඉඹලා..

පැතුමගෙ කතාව නැගලා යනවා.. අරහෙ සමින්දි අක්කා පණ කඩාගෙන දුවනවා.. මං පැතුමගෙ පැත්තට කණ දික් කරා.

මොකක්..?

ඔව් ඇම්ඩා..! රුපියල් දාහකුත් දඩ ගහලා..

ගෑනියෙක් ඉම්ඹට දඩේ දාහද පැතුමා..

නඩුකාරයා හරියටම දාහක් ගහලද දඩේ..?

මුලින් දාහයි..

පැතුමගෙ කතාව අංඩර දෙමළයක් උනේ, මුලින් දාහයි කියපු තැන ඉඳලා.

මුලින් දාහයි කිව්වෙ..?

නෑ බං.. නඩුකාරයා ඒ ගෑනිව දැක්කට පස්සෙ තවත් දාහක් දඩ ගහලා මාමා බීලා හිටියා කියලා..

කොල්ලො ටික ඒ පාර නම් සට සට ගාලා හිනාවෙන්න ගත්තා. මුගේ කතාවෙ අවසාන වචන ටික අනුව නම්, ඒ ගෑනි හිතාගන්න බැරි තරම් අවලස්සන කෙනෙක් වෙන්න ඕන. මොනව උනත් කෙනෙක්ගෙ උපන් කැතට හිතාවෙන එක කැත වැඩක්. ඒක හින්ද මං ඈත දුවන් එන සමින්දි අක්කා දිහා බැලුවා.

බෙකම්.. මේකි දුවන විදියට රවුම් දෙසීයක් විතර දුවයි වගේ.. තාම කිසි මහන්සියක් නෑනෙ..

ඒකනේ ඇම්ඩා.. අපේ බෙකම් මෙහෙම හිනාවෙන්න බලන් හිටියට මේ බඩ්ඩ සීයම දුවයිද දන්නෑ..

කොල්ලො මට මොනව කිව්වත් සමින්දි තව වැඩි දුරක් දුවන්නෑ කියලා මට තේරුණා. දැනටමත් සමින්දිගෙ මූන අවුල්වෙලා එයා අමාරුවෙන් තමයි ගේම ඇදගෙන යන්නෙ.. කෙල්ල මොන නස්පැත්තියක් කරගනියිද මංදා.

කමෝන් මගේ උක්කු අම්මා.. තව ඩිංගායි..

පැතුමා තව ඩිංගායි කියලා කෑගැහුවට, සමින්දි තාමත් දුවල තිබ්බෙ රවුම් පහළොවක් විතර.. වෙලාවත් එකට කිට්ටුවෙලා.. ඉර හරියටම අපේ උඩින්ම පායලා.. හෙන සැපක් දෙන්නෙ.. ඇස් දෙකත් එක්ක නිලංකාර වෙනවා.

ඔ.. ඔයා.. කට පරිස්සම් කරගන්නවා..

දුවන ගමන් පැතුමා ඉස්සරහට ඇවිත් තර්ජනය කරපු සමින්දි ආයෙම දුවන්න ගත්තා. පැතුමා හිනාවෙනවා.. ඌ ඕවා හීනෙන් ගියපු වාතයක් තරම්වත් ගණන් ගන්නෑ.

පස්ස ඉරාගෙන දිව්වා උනත් මේකිගෙ උද්දච්චකම තාම අඩුවෙලා නෑ.. බලපංකො තියෙන කැටයම් ටික..

ඔන්න ඊළඟ රවුමෙදි..

සමින්දි අක්කා දහ අටවෙනි රවුම අවසාන කරද්දි අපේ එවුන් කට ළඟට අත් දෙක අරන් කැත හූවක් දුන්නා ග්‍රවුන්ඩ් එක දෙදරලා යන්න. දැන් සමින්දිගෙ ඇස් වලින් ගිනි පිටවෙනවා.

හූ.. හූ.. හිච්චි නෝනා.. ඔයා බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ද..? හනේ.. දුකේ බෑ..

අර බලපං.. අර බලපං.. පස්ස පැත්තට පෙට්‍රෝල් ගහපු බල්ලා වගේ ගෑනි කඩාගෙන එන සිරියාව.. දුවන එකත් නවත්තයිද මංදා..

ඇම්ඩා කියන එකත් හැබෑව.. අහසට විද්ද ඇපලෝ දහතුන රොකට්ටුව වගේ සමින්දි වේගෙන් ඇවිත් මං ඉස්සරහ නැවතුණා. එයාගෙ මුලු ඇඟම දාඩියෙන් නෑවිලා ගිහින්. දුකේ බෑ.. කෙල්ල දිහා බැලුවමත් හිනා යනවා. පංඩිතකමයි, උද්දච්චකමයි හින්දනේ මේ හැම අවමගුලක්ම.. අපිට උනත් මෙහෙම කට්ට අව්වෙ පිට්ටනියෙ චාටර් වෙන්න වුණේ සමින්දි හින්දනේ..

ත... තමුසෙ..

සමින්දි මට දබරැගිල්ල උරුක් කරලා, මහා සද්දෙට කෑගැහුවා.. කෙල්ලට නහුතෙටම නැගලා වගේ.. අනේ ඉතිං මං මක්කයි කොරන්නෙ..?

ඇයි..?

තමුසෙ මහ කැත මිනිහෙක්.. දැනගන්නවා.. මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..

සට සට ගාලා මහා සද්දෙට කියවගෙන යන ගමන් සමින්දි හති ඇරියා.. කෙල්ල රෙස්ට් එකක්ද මේ ගන්නෙ..?

මොකක්ද මං කරපු කැත වැඩේ..?

ඇයි මං දුවනකොට හූ කියන්නෙ..? මොකද කෙල්ලෙක්ගෙ දැකලා නැති මොනාහරි මගේ පේනවද..? ආ.. ලැජ්ජ නැති සතා..

ආන්න.. ආන්න.. ඒ වචන ටිකට නම් බෙකම්ට තද වෙනවා.. ලේඩීස් ෆස්ට් කියල කිව්ව එකාගෙ හතර හන්දි ගලවල, හංදියෙ ලණුවලින් එල්ලන්න හිතෙන්නෙ මේ වගේ වෙලාවල් වලට තමා. ඇයි යකෝ මොන තරම් අමන කතාවක්ද මේ සුහද හින්දරේ ඉන්න වෙලාවෙ මේකි කිව්වෙ.. ඉඳපංකො දෙන්න සරුවාංගෙටම උණ ගැනෙන්න.

මේ.. තමුසෙ  දැන් මෙතන නතර උනේ හති අරින්නද..? තවත් නෝන්ඩි නොවී බෙට් එක බාර ගත්තා නම් දුවනවා ඕයි.. තමුසෙට මෙතන කරන්න ඇති කෙං ගෙඩියක් නෑ.. ලැජ්ජ නැති එකී..

මො.. මොනවද තමුසෙ කිව්වෙ..?

කිව්වෙද..? කෙල්ලෙක්ගෙ දැකලා නැති දේවල් මගේ ජීවිතේ නෑ.. ඒක දැනගන්නවා.. අනික තමුසෙගෙ දකින්න තරම් මොනවද ඕයි තියෙන්නෙ.. තමුසෙට වැඩිය හොඳ ලස්සන ෆිගර් තියෙන කෙල්ලො ඕන තරම් මං දැකලා තියෙනවා.. හැබැයි ඒ ඇඟේ එක නූල් පොටක්වත් නැතුව.. තේරුණාද..? දැන් ඉතින් කයිය නවත්තලා ආයෙම දුවනවා..

අංග සම්පූර්ණ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පරිපූර්ණ වෙච්චි සොඳුරු රුවැත්තියක් දිහා බලාගෙන මං එහෙම කිව්වා. කොටින්ම කෙල්ලට මගේ අමු හිංගල කතාව දිරවගන්න බැරි උනා කියලා මට තේරුණා. ඉන්කි උනත් වෙනද වගේ මගෙයි, සමින්දිගෙයි රංඩු බේරන්න මැද්දට පැන්නෙ නෑ. සමහර වෙලාවට සමින්දි මගදිම එන්න ඇති ඉන්කිට කට පියන් ඉන්න කියලා.

කැ..ත සතා.. මං තමුසෙව මර..න..වා..

යාංතමට තොල් මතුරල ඒ ටික කියලා, ආයෙ දුවන්න ගත්තත් මට හොඳටම ඒ කියපු වචන ටික ඇහුණා.

බෙකම්.. ඇහුණද පඩත්තරී කියපු කතාව..

ඇම්ඩා මගේ ඉස්සරහට ආවා. උගේ මූණ හොඳ නෑ.. ඇස් දෙකත් ගිණියම් වෙලා වගෙයි.. මේකා ආවේස වුණොත් මෙතන මිනී පෙට්ටි දෙක තුනක්ම උස්සන්න වෙනවා.

මට ඇහුණා ඇම්ඩා.. මේ කතන්දර එකෙන්ම ඉවර වෙන්නෑනේ.. අපි බලමුකො..

තවත් මොනවා බලන්නද බං.. බලපු දේවල් හොඳටම ඇති.. ඕකිට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන.. උන්දෑ දන්නෑ මේ ඇම්ඩගෙ හැටි..

ඇම්ඩා..! ඒකි මේ කන පරිප්පුව හොඳටම ඇති..

ඒක ඉතිං ඉල්ලං කාපු එකක්නේ.. ඕකි මේ දාන කැටයම්වලට වැලිගම්පිටිම යවන්නෝන..

අතෑරලා දාපං..

අතාරින්න.. හහ්.. ඒකි උඹව මරණවා කිව්වා.. උඹට කැත සතා කිව්වා.. මං ඊට කලින් ඒකිට ෂොට් එක දෙනවා..

ඇම්ඩා.. මෙතන යන්නෙ මැච් එකක්.. දැන් ගේම් එක ඔන් වෙලයි තියෙන්නෙ. උඹ දෙයියනේ කියලා පැත්තකට වෙලා හිටපං.. මොකද උඹ කරන දේවල්වල වාසියක් නැත්නම් සමින්දි ගනියි.. දැන් ටිකකට කලින් උනත් දැක්කනේ.. හූ කිව්වට කෙලින්ම අල්ල ගත්තෙ මාවනේ..

මං කිව්ව දේට ඇම්ඩා මෙලෝ දෙයක් කිව්වෙ නෑ. දෙකයි පනහෙ සවුත්තු හිනාවකුත් මූණ මැදට අරන් ඌ ඈතින් දුවන සමින්දි දිහා බැලුවා.

නවෝද්..

ඒපාර ඉන්කි මට අඬගහනවා.. මං කෙලින්ම එයා ළඟට ගියා. කෙල්ලගෙ මූණෙ කැටයම් ගොඩයි. මගෙත්තෙක්ක හිනාවෙන්නද, නැත්නම් අඩන්නද කියලා හිතාගන්න බැරිවයි කෙල්ල ඉන්නෙ.

ඇයි..?

මං ටිකක් රස්නෙට ඇහුවා. කෙල්ලට ඒක පටස් ගාලා තේරුණා.

අනේ ඇයි නවෝද්.. මගෙත් එක්කත් තරහින් වගේ..

ඔයාට දැන්නෙ මගෙත්තෙක්ක කතා කරන්න මතක් උනේ.. ඇත්තටම ඔයා සමින්දිට ඔය තරම් බය මොකද..?

එහෙම එකක් නෑ නවෝද්.. මං ඔයාට කතා කරේ පුංචි බඩ්ඩක් ගෙන්නගන්න..

බඩ්ඩක්..?

ඔව්.. ග්ලූකෝස් පැකට් එකක්..

ඇයි අර කැත විදියට කතා කරන නෝන හාමිටද..?

අනේ එයත්තෙක්ක රංඩු වෙන්නෙපා නවෝද්..

මමද ඉන්කි එයත්තෙක්ක රණ්ඩු වුණේ..? එයානේ පිස්සු හැදිච්ච එකෙක් වගේ මාවම හපන්න පැන්නෙ..

ඒ උනාට ඔයාලා එයාට හූ කිව්වනේ..

ඔය අම්මන්ඩිට හූ කියන්නැතුව නළවන්නද ඔයා කියන්නෙ..?

මං අහපු ප්‍රශ්නෙන්, මෙච්චර වෙලා අඳුරු පාට වෙලා තිබ්බ ඉන්කිගෙ මූණ වතුසුදු මලක් වගේ ලස්සනට පිපුණා. ඒක නම් ඇත්තටම අව්‍යාජ හිනාවක්. නෙලාගෙන ගිහින් හැමදාම උදේට දකින්න කාමරේ ඇඳ ළඟින් තියාගන්න තරම් වටිනවා.

නවෝද්..

ම්..?

ඔයා නළවනවා නම් සමින්දි අක්කට හරි ආස හිතෙයි..

ඉන්කි ඇදල පැදල ඒක කිව්ව තාලෙට මටත් හිනාවක් ආවා.

බෙකම්.. ඔතන මොනවද කරන්නෙ..? මෙහෙ වරෙන්.. ඔය ඉන්නෙ ප්‍රතිවිරුද්ධ පිලේ තරඟකාරයො..

නලවන කතාවට තවත් හොද කතාවක් මගේ කටින් පිටවෙන්න හදද්දි මාධවගෙ කටහඬ මට ඇහුණා.

ඇහුනද ඉන්කි.. මාධව කියන දේ..?

ඒ උනාට ඔයයි මමයි යාලුයිනෙ නේද..?

ඔලුව ඇල කරල ඉන්කි බොහොම අපූරු ඉරියව්වකට ඇවිත් මගෙන් ඇහුවා. වෙලාවකට ඉන්කිත් මාර කැටයම් තමයි දාන්නෙ. හැබැයි ඒ හැම කැටයමම දාන්නෙ බර ගානක් සෙනග ඉන්නකොට තමයි. කෙල්ලට බයයිද දන්නෑ.. මගෙත් එකක් තනියෙම ඉන්න වෙලාවට වැඩි කැටයම් දාලා බෙකම්ගෙන් ඉල්ලං කන්න.

පොහ්.. පොහ්.. අනේ සුජු ජුවේ.. බොලා හයියෙන් දුවපියෝ.. උඹ බාලිකාවෙ හෙඩා නේද..?

ආයෙත් පැතුම්ගෙ වාචාල කටහඬ ටික්ක සද්දෙට ඇහුණා. ඔහොම ගියොත් සමින්දි ආපහු නතර වෙලා මට කෑගහන්න පුළුවන්. හැබැයි ගිය පාර වගේ නම් මේ පාර ඉවසන්නෙ නෑ පුතෝ.. සුදු කකුල් දෙකට අලි බඳික කඹයක් දාලා එල්ලනවා බාලිකාවෙ ගේට්ටුවෙම.. මට හයිරන් පාට් දාන්න ආවොත් හෙම.

චමිල්.. දැන් කීවෙනි රවුමද..?

තාම විසි හතර බෙකම්.. මං ඕන ඔට්ටුවක් අල්ලනවා.. ඕකි රවුම් තිහක් දුවන්නෑ.. පේන් නැද්ද, බෝල් ජොයින්ට් ගියපු ලොරිය වගේ ඒ පැත්තටයි මේ පැත්තටයි කූරියා ගගහා එන හැටි..

ඒ විත්තය නම් මාත් හොඳටම දැක්කා. මුලින් තිබ්බ ජවය, උද්දච්චකම දැන් නම් සමින්දිගෙ මූණෙ බිංදුවක්වත් නෑ.. හතර පස් දෙනෙක්ගෙන් ගුටි කාපු මනුස්සයෙක් දුවන දිවිල්ලයි දැන් එයා දුවන්නෙ.

අනේ අම්මපා.. තියෙන කොස් ඇටයක් බැඳන් කාලා බාලිකාවට වෙලා පාඩුවෙ ඉන්නැතුව, ආවා මෙතන අපිට කලර්ස් දාන්න.. හු.. හූ.... මොකෝ දුවේ ගමන ස්ලෝ වුණේ..

සමින්දි අපි ගාවින් දුවන හැම වාරයකදිම මොකක් හරි අව කැපෙන කතාවක් අපේ එකෙක්ගෙන් පිටවුණා. කලින් කලින් අපිව පහු කරද්දි සමින්දි මගේ දිහා බලන් දිව්වෙ මරාගෙන කන්න උනත් පුළුවන් ගාණට. ඒක් පස්සෙ පස්සෙ එයා දිව්වෙ බිම බලාගෙන.

මාධව.. උඹ ගිහින් ග්ලූකෝස් එකකුයි, ලීටරේ වතුර බෝතලේකුයි අරන් වරෙන්..

මං මාධවට සල්ලි දික් කරා. කොල්ලො හැම එකාම මූණින් මූණ බලාගත්තත් මේ ලෝකෙ දෙයක් කිව්වෙ නෑ. ඇත්තම කතාව නම් එතන කියන්න තරම් දෙයක් තිබුණෙ නෑ.

බෙකම්.. තාම කිසි ගතියක් නෑ බං.. මේ පට්ට අව්වෙ අපි කබ්බො වගේ පිච්චෙනවා.. තාම ඒකි අවුලක් නැතුව දුවනවා..

ඒකනේ බෙකම්.. ඇම්ඩගෙ කතාව සක්සුදක් සේ පැහැදිලියි.. අනේ.. මේ ලෝ පාලනය කරන දෙවියොවත් අපි දිහා බලලා, ගතියක් ගන්න වැඩක් සෙට් කරන්නෙ නැත්තෙ ඇයි අප්පා.. හයියෝ සල්ලි..

පැතුමට කතාව හරියකට ඉවර කරන්න බැරිවුණා. ඉන්කි කෑගහන සද්දෙ ඊගාවට අපිට ඇහුණා.

න..වෝ..ද්..!! සමින්දි අක්කා වැටුණා..

මං සමින්දි අක්කා දිහා බලද්දි ඉන්කියි, අර අනිත් කෙල්ලො දෙන්නයි පණ කඩාගෙන සමින්දි ළඟට දුවන හැටි මං දැක්කා. හත්තිලව්වේ.. මොන අවමගුලක්ද ඒ සිද්ධ වුණේ..?

හුටා බෙකම්.. ඒකි බිමට පත බරියං වුණා නේද..?

වැටිච්ච පාර හැටියට නම් සොරිම තමා.. ආයෙ දෙපයින් නැගිටිනවා බොරු..

හොඳම වැඩේ ඔය අලුගුත්තේරු වාහෙට..

ආවා මෙතන අපි ඉස්සරහ පොරවල් වෙන්න..

ඒකෙත් හැටි බලපං මාධවයා.. මං දෙයියන්ට කිව්වා විතරයි.. පෙරේතයා පොළොවෙ ගැහුව වගේ ඔය යස අගේට වල කජ්ජ ගැහුවෙ..

කොල්ලො විවිධ අර්ථ කතන දෙද්දි, මාධවගෙන් වතුර බෝතලේ උදුරගෙන මං සමින්දි ළඟට දුවගෙන ගියා. ඒ වෙනකොටත් ඉන්කි එතෙන්ට ගිහින් හිටියා.

අ.. අනේ නවෝද්..! සමින්දි කතා කරන්නෙ නෑනෙ..

ඉන්කිගෙ මූණ බයෙන් සුදුමැලි වෙලා. මං සමින්දි ළඟට පහත් වුණා. ඇත්තටම කෙල්ලගෙ කිසිම හැල හොල්මනක් නෑ. මුළු ඇඟ පුරාම වතුර ගලල වගේ දාඩිය ගලන්නෙ. මටත් නිකං බයක් වගේ හැඟීමක් කොහෙන්දෝ ඉඳලා ගලාගෙන ආවා.

ස.. සමින්දි අක්කෙ.. සමින්දි අක්කෙ..

ජීවිතයේ ඉස් ඉස්සෙල්ලම වතාවට, මං සමින්දිගෙ සුදු මූණ ස්පර්ෂ කරා. හතර අතින්ම දාඩිය දාලා තිබ්බා උනත්, පුදුම සනීපදායක බවක් එයාගෙ කම්මුල්වල තිබ්බෙ.

සමින්දි.. සමින්දි.. ඔයාට මොකද උනේ..?

මං ආයෙත් සමින්දි අක්කව උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා. ඒත් එයාගෙන් තාම නෝ ආන්සර්.. අඩුගාන හුස්ම ගන්න පාටක්වත් පේන්න නෑ.

බෙකම්.. ඕකි මැරිලද..?

ඒ කට කැඩිච්ච කතාව ඇහුවෙ නම් පැතුම්.. මං ඌ දිහාට රවල බලලා ආයෙත් සමින්දි දිහා බැලුවා. මං මෙතෙන්ට එනකොට අරන් දුවන් ආපු වතුර බෝතලේ මට මතක් උනේ එතකොට. ඒ තත්පරයෙම ඉන්කිටත් ඒක මතක් වෙලා තිබුණා. අපි දෙන්නගෙම අත් වතර බෝතලේට ගියත් මං ඉස්සර වුණා. පැකින් කරල තිබ්බ සීල් එක කටින් කඩල, මූඩිය ඇරල මං සමින්දිගෙ මූණට වතුර ඉස්සා. අල්ල වකුටු කරල, වතුර අල්ලට අරගෙන මං සමින්දිගෙ මුළු මූණෙම ගෑවා. ඔන්න එතකොට තමයි කෙල්ල යාංතම් කෙඳිරි ගාන්න ගත්තෙ.

බෙකම්.. අපි මෙයාව පැවිලියන් එකට අරන් යමු.. මෙතන මෙයා හොඳට කරවෙනවා..

චමිල්ගෙ කතාව හරියටම හරි කියලා අපි හැමෝටම තේරුනා. ඒක හන්දම ටිකකින් සමින්දිවත් උස්සගෙන අපි පැවිලියන් එකට  ඇවිත් ඒකෙ සිමෙන්ති පොළොවෙ වාඩිවුණා. පිට්ටනියෙ ඉඳලා සමින්දිව උස්සන් එද්දි, මං අල්ලගෙන ආවෙ සමින්දිගෙ ඔලුව පැත්තෙන්. කිහිලි දෙක යටින් අත් දෙක දාලා එයාව උස්සන් එද්දි මට දැනුණෙ පුදුමාකාර හැඟීමක්. මට එයාව තුරුළු කරගන්න හිතුණා.

ඒකි ෆේන්ට් වෙලා බං..

අම්මපා..?

ඇයි උඹ හිතුවෙ මොනව වෙලා කියලද..?

උඹට කියන්න මාධවයා.. මේක වෙන කාටවත් හෙම කියනවා නෙමෙයි ඔන්න..

හරි.. හරි.. කියහංකො බලන්න..

මං හිතුවෙ ඒකිට දරු සම්පත්තියක් ලැබෙන්න යනව කියලා..

තොට පිස්සුද පැතුමා.. ඒකි තාම ඉස්කෝලෙ යන, අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්..

ඒකි ඉස්කෝලෙ ගියාට.. ඒකි අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල් උනාට.. ඒකිගෙ අවයව පී.එච්.ඩී එකක් කරලා.. තේරුණාද..?

ඇත්තටම පැතුමටයි, මාධවයටයි නම් සහලෝලම පිස්සු තමා. වැඩක් තියෙන දෙයක්ද අප්පා මුං මේ කතා කරන්නෙ..?

ස.. සමිනදි.. ඔයාට කොහොමද දැන්..?

මගේ උකුල උඩ ඔලුව තියාගෙන හිටපු සමින්දිගෙන් මං පහත්වෙලා ඇහුවා. එහෙම පහත්වෙනකොට මගේ මූණයි එයාගෙ මූණයි අතරෙ පරතරේ අඟල් භාගයක් විතර ඇති. ඇම්ඩයි, බලයයි, මායි සමින්දියි ඇස්වලින් පෙන්නලා ඉගි කරගන්නවා මං දැක්කා.

ආ.. මං මේ කොහෙද ඉන්නෙ..?

රෝස පාට තොල් පෙති දෙක දිවෙන් තෙත් කරන ගමන් සමින්දි ඇස් ඇරියා. ඒ සුදු මූණ දැන් පරවුණ මලක් ගානයි. මං තවත් වතුර බිංදු කීපයක් එයාගෙ තොල් පෙති උඩට වැක්කෙරුවා. සමින්දි පුදුමාකාර ආශාවකින් ඒ වතුර බිංදු කීපය කට ඇතුළට ගත්තා.

මං.. මේ.. කොහෙද.. ආ..හ්..ම්..ම්..

ඔයා ඉන්නෙ මෝචරියෙ ජුවේ..

දැනට ලංකාවෙ තියෙන ජනප්‍රියතම, විශ්වාසවන්තම, සුරක්ෂිතම ප්‍රයිවට් හොස්පිට්ල් එකක තමයි ඔයා ඉන්නෙ..

ඇම්ඩගෙ කට කැඩිච්ච කතාවට හිනායන්න ආවත් මං යටි තොල හපාගත්තා.

මෙ.. මේ.. මොකද මේ.. මාව උකුලෙන් නිදි කරවගෙන.. ආ.. හ්හ්..  දෙයියනේ මට මොනවද ඔයාලා කරේ.. හයියෝ..

පිස්සුද හැටිද මංදා.. සමින්දිගෙ කතාවට මාත් හොල්මං උනා.. ඇයි යකඩො.. අපි බලෙන් තියාගත්තා වගේනේ මේ කතාව.

කරේ..? අපිට නම් මුකුත් කරන්න බැරි උනා.. ඒ අපි අසමජ්ජාති වැඩ කරන්නෙ නැති හින්දා..

ඔව් බෙකම්.. බලපං.. මෙයාගෙ අමනුස්ස කතාවෙ හැටි.. දෙන්න හිතෙනවා හොම්බට හැටක් විතර..

ඒ වෙනකොට ඉන්කියි, අනිත් කෙල්ලො දෙන්නයි යථා තත්වෙට ඇවිල්ලා තිබුණෙ. සමින්දි විතරයි අවුල් වෙලා හිටියෙ.

ස.. සමින්දි අක්කෙ..

අනේ ඉන්කි.. මෙයාලා මට මොනවද කරේ..?

මගේ උකුල උඩින් ඔලුව ඈත් කරගන්න ගමන් සමින්දි, ඉන්කිගෙ අතේ එල්ලුණා. මං ඒ අතරෙ දනිපනි ගාලා නැගිට ගත්තා.

නවෝද්ලා ඔයාට මුකුත් කරේ නෑ අක්කි.. ඔයා දුවනකොට ෆේන්ට් උනා.. නවෝද් තමයි ඔයාව පිට්ටෙනියෙ ඉඳලා මෙතෙන්ට උස්සගෙන ආවෙත්..

ආ.. ඇත්තද..? ඒත් මෙයා මාව උස්සන් එනකං ඔයාලා බලන් හිටියද ඉන්කි..? හසිද්දියෙ ප්‍රින්සිපල් මැඩම්වත් දැක්ක නම්.. මං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි..

සමින්දි මගේ මූණ දිහා හොඳට බලන ගමන් කිව්වා. ඔන්න බලපංකො ඉතිං.. මේවට තමයි කියන්නෙ අපි අපිටම ගහගන්න ඕන කියලා.. මොන තරම් අසමජ්ජාති කතාවක්ද අප්පා.

බෙකම්.. මොනවද බං මෙයා මේ කියවන්නෙ..? බලපං.. පෙරේතයා පොලේ ගැහුව වගේ වැටිච්ච හින්දා ඔලුව කොහේ හරි හයියෙන් වැදිලද කියලා..

චමිල් අපි ළඟට ඇවිල්ලා කිව්වත්, ඒකට ඌන පූරනේ දුන්නෙ නාලක.

ඔලුව නෙමේ බං පස්ස පැත්ත. එතනින්නෙ මෙයා තීරණ ගන්නෙ..

මේ වගේ එව්වොන්ට නම් පාරෙ මැරිලා හිටියත් මෝචරියටවත් ගිහින් දාන්න හොඳ නෑ.. කෙලෙහි ගුණයක් දන්නැති එවුන්..

අපි යමු බෙකම්.. මේ වගේ ගඳයො ඉන්න තැන්වල හිටියහම අපි නිකම්ම ගඳයො වෙනවා..

වැඩේ කියන්නෙකොල්ලො සෙට් එක මේ තරම් දේවල් කියද්දිත් සමින්දි වචනයක්වත් කතා නොකරපු එක. එයාගෙ ඇස් මාරුවෙන් මාරුවට අපි අතරෙ පාවෙලා ගියා. ඒත් ඒ වෙලාවෙ නම් ඒ මූණෙ තරහක් නෑ කියලා මට හිතුණා.

එහෙනම් අපි යනවා.. ඔයාගෙ බෙට් එකෙන් ඔයා හොඳටම පරාදයි.. තේරුණාද..? අඩුගානෙ ඔයාට රවුම් විස්සක්වත් දුවගන්න බැරි උනා, රවුම් සීය කෙසේ වෙතත්.. අනික ඔයා මතක තියාගන්න.. පිට්ටෙනියෙ ඔයා වැටිලා ඉද්දි පැවිලියන් එකට උස්සගෙන ආවෙ මනුස්සකමට මිසක් ආතල් එකක් ගන්න නෙමේ කියලා.

ඔ.. ඔයාලා මට බැන්නනේ.. හූ කිව්වනේ.. මං ඔයාලත් එක්ක තරහෙන් හිටියෙ.. දැ.. දැන් උනත් මං හිතුවෙ මං දුවනකොට ඔයාලා මට මොනව හරි කරන්න ඇති කියල.. මොකද මං ජීවිතේට ෆේන්ට් වෙලා නෑ.. මීටත් වැඩිය අව්ව සැර වෙලාවල් වල මං ග්‍රවුන්ඩ් එකේ ඉඳලා තියෙනවා..

කොල්ලො ටික ඒ වෙනකොටත් පැවිලියන් එකෙන් එළියට ගිහිල්ලා තිබුණා. ඇම්ඩයි, පැතුමයි නම් සිරාවටම සමින්දි එක්ක මල පැනලා හිටියෙ. උං මට එන්න එන්න කියලා අතින් කතා කරද්දිත් මොන හේතුවකටද මංදා සමින්දිත් එක්ක තවත් ටිකක් කතා කරන්න මට හිතුණා.

අව්ව සැර වොලාවල් වල ඉන්න ඇති.. ඒත් ඒ වගේ වෙලාවල් වල මේ වගේ දුවලා තිබුණෙ නෑනෙ.. තේරුම් ගන්න.. තමන්ට පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනව කියලා.. තමන්ගෙ උද්දච්චකමට ඒ වගේ බැරි දේවල් පුළුවන් කියලා කරන්න ගියාම ජීවිතේ උනත් නාස්ති වෙලා යන්න පුළුවන්.. ඒක මෙතෙන්ට විතරක් නෙමෙයි.. ඔයාගෙ ඉදිරි ජීවිතේට ඒ දේ වැදගත් වෙයි.. තමන්ට බැරි නම් බෑ කියලා පැත්තකට වෙන එක ඔහොම පිට්ටෙනි ගානෙ වැටෙනවට වැඩිය නම්බුකාරයි..

සමින්දි අක්කා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව මං දිහා බලන් හිටියා. ඒ ඇස්වල තියේනනෙ මිත්‍රශීලී හැඟීමක්ද එහෙමත් නැත්නම් හිස් බවක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඉන්කියි අර අනිත් කෙල්ලො දෙන්නයි ඒ වෙනකොටත් පැවිලියන් එකේ බිම වාඩිවෙලා හිටියෙ. හිටගෙන හිටියෙ මායි සමින්දියි විතරයි.

එ.. එතකොට ඔයා කියන්නෙ ජීවිතේට එන චැලේන්ජ් බාරගන්න එපා කියලද..?

බාරගන්න..! හැබැයි ඒ එන දේවල් අතරෙ අපිට කරන්න පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනවා. අපි ඔලුව පාවිච්චි කරල බැරි දේවල් වලින් අයින් වෙන්නෝන.. නැත්නම් අපි විනාස වෙලා යනවා..

මහා දාර්ශනික, උගත් පඬිවරයෙක් වගේ මං කියවන් ගියා. සමින්දි වගේම ඉන්කිත් කට ඇරගෙන අහගෙන ඉන්න හැටි මං දැක්කා. ඔය තියෙන්නෙ කෑවයි.

කොහොම උනත් ඔයාගෙ උත්සාහයට මං ගරු කරනවා. හැබැයි ඉතිං මං ඔයාව උස්සගෙන ආපු එක ඔයාගෙ ප්‍රින්සිපල් මැඩම් දැක්කා නම් කියලා ඔයා බයවෙලා කෑගැහුවට, අර මං කලින් කිව්ව වගේ ඩිංගක් හරි හිතල තිබ්බා නම් එහෙම බයවෙන්න ඕන නෑ තේරුණාද..?

ගල් පිළිමෙ සහ හිටි පිළිමෙ වගේ සමින්දි අක්කා මං දිහා බලන් හිටියා මිසක වචනයක්වත් කිව්වෙ නෑ.

එහෙනම් ඉතිං අපේ සියලු ගණුදෙනු අවසානයි. මම යන්නයි හදන්නෙ. ඔයාට ගෙදර යන්න පුළුවන්ද..? මං ත්‍රීවිල් එකකට එන්න කියන්නද..?

ඒත් තාමත් සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. එයා වශි වෙලා වගේ ආතක්  පාතක් නැතුව බලන් හිටියෙ.

මේ හලෝ.. මොකද වෙලා තියෙන්නෙ..?

මැද ඇඟිල්ලයි, මාපටඟිල්ලයි එකට වද්දලා එයාගෙ මූණ ඉස්සරහින් අසුරු ගහන ගමන් මං ඇහුවා. මෙච්චර වෙලා හිටපු නින්දකින් ඇහැරුනා වගේ පුදුමයට පත්වෙච්චි ගතියක් ඒ මූණෙ තිබ්බෙ. ඒ කියන්නෙ මං තලපතා වගේ දීපු ධර්ම දේශනාව මෙයාගෙ උගුරෙන් පහලටවත් ගියේ නැද්ද අප්පා. අර පැතුමා නිතරම කියනව වගේ, මටත් කියන්න වෙන්නෙ අයියෝ සල්ලි කියල තමා.

මේ.. මං ත්‍රීවිල් එකකට එන්න කියන්නද..?

මං ආයෙත් පාරක් සමින්දිගෙන් ඇහුවා. ඒත් එයා වචනයක්වත් කතා කරේ නෑ.  මං ඊගාවට බැලුවෙ ඉන්කි දිහා.

ඉන්කි..! මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මගේ කතාව දිරවගන්න බැරි වෙලාද ආ..?

දන්නෑ නවෝද්.. ඔයාලා යන්න.. අපි සමින්දි අක්කි එක්ක එන්නම්..

තවත් පාරක් සමින්දි දිහා බලලා මං පැවිලියන් එකෙන් එළියට ආවා. ඒ එන ගමනුත් මං හැරිලා බලද්දි සමින්දි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා.

මොන අල ගෙඩියක් කරාද බං මෙච්චර වෙලා..?

මං දැක්කා විතරයි බලයා කඩාගෙන පැන්නා.

මං අරකිට හොඳට කියලා දීලා ආවෙ..

කියලා දීලා..? අනේ නිකං ඉඳපං බෙකම්..

ඇයි ඇම්ඩා..?

ඕවා මහ වාත වැඩ.. කොයි වෙලාවකවත් කෙල්ලොන්ව දැනුවත් කරන්න යන්නෙපා.. ඒක හිතට වගේම ඇඟටත් ගුණයි. උංට දේවල් කියල දීලා, උංව හරි මගට අරගෙන, උං ඒ විදියට හැඩ ගැහෙනකොට අපිට එල්ලෙන්න වැලක්වත් නැති වෙනවා..

බලන් ගියාම ඇම්ඩගෙ කතාවෙ ඇති වැරැද්දකුත් නෑ.. මං කට වහගත්තෙ ඒකයි.. ඒ එක්කම තමයි පැතුම් කට ඇරියෙ..

එහෙනම්.. මහා සරඹ සංදර්ශනය අවසානයි. මෙතනින් එහාට ජීවිතේ කොයිබටද හිතවත් මිත්‍ර බලයා...

ස්තුතියි මගේ සහයක පැතුමා.. අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගොස් හැරී බැලූ කල, අපිට සිහියට නැගෙන්නේ මොනවද..? අපේ ගතට දැනෙන්නේ මොනවද..?

මොන මල හත්තිලව්වක්වත් නෙමේ බලයා.. බඩගින්න.. සුදහ ගින්නදර.. මා හිත මිතුරනි.. දැන් අපි රහුමානියා හෝටලයට නොයා, මෙතන සිට කුමන අල ගෙඩියක් කරන්නේද..?

ඇත්තටම මුංට පිස්සු.. ඒත් බලයයි, පැතුමයි කතාවෙච්ච විදියෙ බඩගින්නක් නම් මටත් තිබුණා.

එහෙනම් ඉතිං යමල්ලා.. හැබැයි තොපිට ඔන්න මං මුලින්ම කිව්වා.. මගේ අතේ නම් තඹ දොයිතුවක්වත් නෑ.. සල්ලි ඉල්ලලා මගේ ඊරිමාංසෙ කන්නෙපා..

පැතුමා කලිසන් සාක්කු දෙක එළියටම ඇද්දා.. තඹ දොයිතුවක්  තියා, මොන මල ඉලව්වක්වත් ඒකෙ තියෙන්න විදියක් නෑ.. ඇයි කිව්වොත් සාක්කු දෙකේම මහා පත හිල් දෙකක්. අපි පස්දෙනා පරණපාර දිගේ හෙමි හෙමීට ඇවිදගෙන ආවා. ඇත්තටම මේ ගෙවන ජීවිතේ අපට ගත කරන්න වෙන්නෙ තව කොයි තරම් ඩිංග කාලයක්ද..? අපි සමාජයට ගියහම අපිට වගකීම් වැඩිවෙනකොට, සල්ලි පස්සෙ අපි වෙලාවක් කලාවක් නැතුව දුවනකොට, මේ ගෙවිල යන ආදරණිය ජීවිතේ, මේ පරණ පන සේ ඉන්න ආදරණිය යාළුවා.. කොයි තරම් ඈතකට විසිවෙලා යයිද.. මට හිතාගන්න බැරිවුණා.

බෙකම්.. මොකෝ කල්පනාව..

කල්පනා කරන්න දේවල්ද මාධවයා ඌට නැත්තෙ.. බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියෙ උගේ කකුලෙ.. අනේ ඔන්න උඹල මගෙන් කැත ප්‍රශ්න අහන්නෙපා.. ඒකි කකුලෙ ඉඳගෙන බෙකම්ට මොන සුර සැපක් දුන්නද කියල.. අම්මප.. මට හරියට ලැජ්ජ හිතෙනවා.. මේ බලාපියව්.. මගේ මයිල් කෙලින් වෙලා..

පැතුමා.. උඹේ මයිල් කෙලින් උනේ... අර ඉන්කිත් එක්ක ආපු වහතු කෑලි දෙක දැකලනේ.. අපිට නිකං මොත්තෙ දාන්නෙපා හරිය..

අඩෝ ඇම්ඩා.. උඹ මාව ස්ත්‍රී දූෂකයෙක් කරන්නෙපා හරිය.. මං උඹව දූෂණය කරලා වැලිකඩ යනවා.. තේරුණානේ.. ඒක හන්දා කට වහගෙන සිද්ධවෙන දේවල් දිහා ඇහැ කන පියාගෙන හිටපිය.. නිකං පව් පුරෝගන්නැතුව..

හැබෑට බෙකම්.. ඒකි උඹේ කකුල් දෙක උඩ ඉන්නකොට උඹට මොකද හිතුණෙ..?

මොනවද බලයා.. පට්ට සැප තමා.. නැද්ද බෙකම්..?

කතා කරන්න ඕන දේවලුයි, නැති දේවලුයි හැමදේම කියවලා අන්තිමට මගෙන් වඳුරු කුණුහරුප අහනවා.. මං අහක බලාගත්තා..

කොහොම උනත් දාඩිය ගලලා තියෙද්දි ඒකිගෙ ඇඟ මාර ගති නේද බෙකම්..? ඉස්ම යන්න ආදරේ හිතෙනවා.. මට සහලෝලා උණ ගන්න වගේනේ බං..

පැතුමා.. ආයෙ උඹ සමින්දි අක්කා ගැන එක වචනයක් කතා කරොත් මං උඹගෙ කලිසම ඔලුවෙන් ගලෝනවා.. තේරුණානේ..?

හොඳටම තේරුණා බෙකම්..

පරම හතුරක්කාරයා වුණත් මිත්‍ර සමාගම ඇතුළෙ සමින්දිව තව තවත් සවුත්තු කරන්න ඕන නෑ කියලා මට හිතුණා.

අ..ඩෝ..ව්..

පරණ පාරෙ ඉඳලා බීච් එකට යන අතුරු පාරක කොනකින් ආපු ඒ ආතල් වචනෙත් එක්කම අපි පස් දෙනා නතර වුණා. ඒ සුහද ආමන්ත්‍රණේ කාගෙද අප්පා.

චතුරංගයා නේද..?

හ්ම්.. මූ කණ පැලෙන්න බීලා වගෙයි..

යකෝ.. මේ පට්ට දවාලෙ බොන්නෙ, මුගේ අන්ඩ කොෂෙ මොකක් හරි අවුලක්ද..?

අතුරු පාරෙ හිටියෙ චතුරංගයයි, උගේ බාස්කට් බෝල් ටීම් එකේ කොල්ලො හතර දෙනෙකුයි.. චතුරංගයා වගේම උනුත් සලුවෙලා කියලා මට තේරුණා.

ඌ ගේම ඉල්ලන්න වගේ බෙකම්.. මොකෝ කියන්නෙ..? ඕන නම් කට්ටියටම කැඩුම් බිඳුම් වෙද මහත්තයා ගාවට යන්න දෙමු..

ඕන්නෑ නාලක.. අපි යමු.. ඌ අපිට නම් කියල කතා කරේ නෑ..

කොහොමටත් චතුරංග එක්ක පටලැවෙන්න මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ.. අපි පස්දෙනාම ආයෙත් පරණ පාර දිගේ ඉස්සරහට ආවා.  ඒ චතුරංගයව සත පහකටවත් ගණන් ගන්නැතුව.. ඒත් අපි හිතුවෙ නැති විදියට චතුරංග, වෙනින් අතුරු පාරකින් ඇවිල්ලා අපේ ගමන හරස් කරා.

බෙකම්.. බලුවැඩ කරන්නෙපා ඩෝ..

ඇස් ගෙඩි දෙක ගොරකා මද දෙකක් වගේ තද රතුපාට කරගෙන වචනත් එහෙට මෙහෙට පටලවගෙන චතුරංග මගේ මූණට එබුණා. ඒ එක්කම තමයි කොල්ලො ටික චතුරංගයව වට කරේ.. ලොවෙත් නෑ.. අද මූට කන්න වෙනවා..

මොකක්ද මං උඹට කරපු බලු වැඩේ..? අද දහයෙ පංතියෙ නිලංකාව සෙට් කරගන්න නොදීපු එකද..?

ඔව්.. ඔව්.. ඒක තමයි.. උඹ හින්ද තමයි ඒකි මට අකමැති.. අඩෝ බෙකම්.. මට බාල්දි දාන්න එපා යකෝ.. මාත් කොල්ලෙක්.. උඹ වගේම මාත් ආසයි කෙල්ලෙක් එක්ක ඩිංගක් විනෝද වෙන්න..

තුන් හතර පාරක් කාර කාර බිමට කෙල ගහන ගමන් චතුරංග කියනවා.. මූට නම් ඇත්තටම පිස්සු.. ඇම්ඩා නම් බලන් හිටියෙ ඌට එක වචනයක් වරදිනකං..

නිලංකා උඹට අකැමැති මං හින්දා නෙමෙයි.. ඒකිගෙ කොල්ලා මිලාන් හින්දා.. තේරුණාද..? නිකං ඇදගෙන නාන්නෙපා ඩෝ.. කෑවා බීවා නම් ගෙදර පල.. අපිට පව් දෙන්නැතුව..

මොනවද ඩෝ උඹ කිව්වෙ..?

චතුරංග ඉස්සරහට ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලන්න හැදුවා. ඒත් ඊට කලින් ඇම්ඩයි, පැතුමයි ඉස්සර උනා. වැඩිම උනොත් විනාඩියක් දෙකක් යන්නැති.. බාස්කට් බෝල් ටීම් එකේ පස්දෙනාගෙන් චතුරංගත් එක්ක තව දෙන්නෙක් බිම. අනිත් එව්වො දෙන්නා පැනලා දිව්වා. අඩුගානෙ කටක් ඇරලා ගහන්නෙපා කියල කියන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑ.

අපි ඉන්නකන් බෙකම්ගෙ ඇඟට මැස්සෙක්වත් වහන්න දෙන්නෑ ඩෝ.. ඒක දැනගනිං..

බිම වැටිලා හිටපු චතුරංගගෙ කට වැහෙන විදියට මූන මැද්දෙන්ම අල්ලලා ඇම්ඩා කෑගැහුවා.

උඹ දැන් දවස් ගාණක්ම ඔය ටික කරගන්න හැදලුවා.. හොඳට දැනගනිං.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් එක්ක ඇරගන්න එන්නෙ නපුංසකයො කියලා.. යකෝ මුස්පේන්තුවා.. උඹට අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් ෂිප් එක දුන්නෙ කවුද.. උඹව ගේම ගඳයෙක් වෙන්නැති..

ඒ පාර පැතුම් සොරොව්ව ඇරියා. චතුරංග මොනවදෝ කියන්න කට අරිද්දිම ඇම්ඩා පහත්වෙලා චතුරංගව කෙලින් කරලා ගත්තා.

තෝව අතාරින්නෙ, බෙහෙතකට හරි අපේ ඉස්කෝලෙ කොල්ලෙක් වුණ හින්දා..මොනවද යකෝ.. දැන් ලංකාවෙ එක කොල්ලෙකුට කෙල්ලො දහයක් විතර ඉන්නවා.. ඔය දහය වසරෙ බටු ඇට බහින්නැතුව හොඳ දාර එකකට බැහැපිය.. කාලකන්නියා..

ඇම්ඩයි, පැතුමයි කොයි තරම් බැන්නත්, චතුරංගගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. ඌ මොනවදෝ කියන්න හදනවා.

බෙකම්..

ඇයි..?

උඹ හේනම් කෙල්ලෙක් හන්ද, කොල්ලො දාලා මට ගැස්සෙව්වෙ.. ආ..?

චතුරංග.. උඹ ඉල්ලං කෑවා මිසක මම උඹට ගැස්සුවෙ නෑ.. හැබැයි එකක් මතක තියාගනිං.. ඉස්කෝල වැදගත් ක්‍රීඩාවක ඉහල තනතුරක් දරන උඹ වගේ එකෙක් අපේ විනය සර්ට හරි පිනා සර්ට හරි මේ විදියට ඉන්නවා අහුවුනොත් උඹේ ක්‍රීඩාවට සොරි ඩොට් කොම් කියලා..

බාගෙට ගුටි කාලා මල පෙරේතය වගේ හිටියත්, මගේ කතාවෙන් චතුරංගයගෙ ඇස් ඇරුණා.

ඒ කියන්නෙ උඹ මේක විනයටයි, පිනාටයි කියනව.. ඈ.. උංට කියල උඹ මට කොරයි..

චතුරංග මේ.. උඹ හිතුවද මාත් උඹ වගේ නපුංසකයෙක් කියලා.. ආ.. මට කාටවත් කියලා උඹට කොරන්න ඕන නෑ.. දැනගනිං.. මට යස අගේට පුළුවන් උඹට හතර ගාතෙ දාලා බිමට ඇඳන් වැටෙන්න දෙන්න..

මගේ සැරත් එක්කම චතුරංග සද්දෙ වහගත්තා.. උගේ කට කොනකින් ලේ බිංදු දෙක තුනක් එළියට ඇවිල්ලා තිබුණා. සමහර විට කට ඇතුළ පුපුරල ඇති.

හොඳයි මං පස්සෙ බලාගන්නම්කො..

මොනවද ඩෝ පස්සෙ බලන්නෙ.. බලාගන්න දෙයක් දැන්ම බලපිය..

ආයිත් ඇම්ඩා මැද්දට පැන්නා. මං බොහොම අමාරුවෙන් ඌව ෂේප් කර ගනිද්දි චතුරංග ඇවිත් කොල්ලො දෙන්නෙක් එක්ක ආයතේ බීච් එක පැත්තට ගියා.

ෂිහ්.. ඌට තව දෙකක් ඇනගන්න බැරි උනානේ.. කොහෙද.. මේ බෙකම් පනිනවනේ අතේ පයේ හිරි ඇරගන්න හදනකොටම..

පැතුම්, තාමත් විස්සෝප වෙනවා.. චතුරංගයා ගියේ හිතේ කේන්තියෙන් කියල දැනුනත්, අපි කවුරුවත් ඒක ගණන් ගත්තෙ නෑ. ඌට පුලුවන් දෙයක් ඌ කරපුවාවෙ.. ආයෙ ශිල්ප දක්වන්න ආවොත් දෙන එක දෙනවා, මාසයක් කැඬුම් බිඳුම් වෙද මහත්තයෙක් ගාවඉ න්න.

බෙකම්..

රහුමානියා හෝටලේදි තෝසෙ දෙකකට එක පාර වග කියන ගමන් ඇම්ඩා තවත් කට ඇරියා. කටේ කෑම පුරවගෙන ඉන්න හන්ද කියන මගුලක් තේරෙන්නෑ.. අනික මට පරාණ බයයි මූට තෝසෙ කෑල්ලක් හිරවෙලා වැලිගම්පිටි යන්න වෙයි කියලා.

කරුණාකරලා කතා කරපං..

දැන් ඩිංගකට කලින් චතුරංගයට නැවකට නෙළල මූ සාන්ත දාන්තව ඉන්න අපූරුව.

බෙකම්.. ටිකට් පොත් ටික හෙට හම්බවෙයි..

කටේ කෑම තියාගෙන උනත් ඇම්ඩා කිව්වෙ හද පිනා යන කතාවක්. මං කීයටවත් හිතුවෙ නෑ මේකා මේ තරමට ක්‍රියාශීලී වෙලා ඇති කියල.

නියමයි නාලකයා.. අපි ඊට පස්සෙ ඕවා ක්ෂණිකව අලෙවි කරන්නෝන..

එතැන ඉඳලා අපි අතරෙ කතාවක් ගියේ දැල්ලා අංකල් වෙනුවෙන් එකතු කරන සල්ලි වලින් අපි කරන දේවල් ගැන. එක එකා විවිධ දේ කියද්දි මාධව තමයි වැදගත්ම කාරණාව කිව්වෙ. ඒක නම් නැගලම ගියා.

දැල්ලගෙ අතට කීයක් හරි දෙමු.. ඒත් ඊට කලින් අපි දැල්ලගෙ ගෙවල් පැත්තෙ ගියොත් නරකද..?

ගෙවල් පැත්තෙ යන්නෙ දැල්ලගෙ ගේවත් හදල දෙන්නද..?

ඔව් චමිල්.. එහෙම අදහසකුත් තියෙනවා.. අපි ඔලුවෙ කොනකින් තියාගමුකො..

හෝල් එක බුක් කරන එක මං බලාගන්නම්..

බලාගන්නම් නෙමෙයි ඒක අදම කරපං පැතුමා.. නැත්තං ඉතිං ෂෝ එක පෙන්නන්න වෙන්නෙ මහ පාරෙ..

ඇම්ඩා උඹ ටිකට් පොත් අරන් ටවුමෙ කඩවල් වලට ගියොත් මොකද..? අපිට මේ ඉස්කෝලෙ ඇතුළෙ විතරක් විකුණන එක වාතයක්නේ..

උඹල බයවෙන්නෙපා.. පොත ගහන ප්‍රේස් එකේ නලීන් අයියට මං පොත් පහක්ම දෙන්නයි සෙට් කරලා තියෙන්නෙ.. තව අපේ පැත්තෙ ගමේ එව්වොන්ටත් මං දෙනවා.. උං ආවත් එකයි, නාවත් එකයි..

ඇම්ඩගෙ කතාවෙන් කොල්ලො ටිකට මාර ගතියක් ආවා.

ඉමාන්ගෙ වැඩේ මොකද බෙකම්..?

උගේ අවුලක් නෑ.. ඌ ගානට වැඩේ දීගෙන යනවා..

ඌ වැඩේ කරයි.. මං ඇහුවෙ උගේ සංදර්ශනේ අතර මැද්දෙ තියෙන අයිටම් ගැන.. ඒවා ගැනත්වද වෙන්න ඕනනේ..

උඹ දිල්රංගි එක්ක අපේ කතන්දරේ කතා කළා නේද බෙකම්..?

තාම නෑ පැතුමා.. ගෙට ගුණසිංහ සර්රුයි, දිල්රංගිවයි හම්බවෙනවා..

ඕනෙ නම් දිල්රංගිගෙ ගෙදර යතෑකි..

හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් මාධව කිව්වා. ඒ කිව්ව කතාවෙත් මාර ගතියක් තිබ්බා.

ඇයි දිල්රංගිලගෙ ගෙදර යන්නෙ..?

ඒකිව බලන්නනේ..

මාධවයා මේ.. උඹ හදන්නෙ බෙකම්ට ගෑනු එපා කරන්නද..? ආ.. ඌ හෙට උදේට දිල්රංගිව හොඳට බලාගනිං.. ඒ ගැන උඹ වදවෙන්න ඕන නෑ.. තේරුණාද..?

එහෙනම් මචංලා.. තව හරියටම සති තුනකින් දැල්ලාද් හොප් ක්‍රියාත්මකයි..

චමිල් කතන්දරේට නමකුත් දාලා.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ..

මට උඹලට දෙයක් කියන්න තියෙනවා..

එකා තෝසෙ හතර හතර විතර කාලා රහුමානියා එකෙන් එළියට බැස්සා විතරයි, ඇම්ඩා කතාව පටන් ගත්තා. විහිලුවක් කරන්න වගේ පැතුම් කට හැදුවත් ඇම්ඩගෙ මූණෙ තිබ්බ සීරියස් ගතිය දැකලා ඌ ඒ අදහස උපන්ගෙයිම ලොප් කර ගත්තා.

මේ වැඩේ කරනකොට එහෙන් මෙහෙන් ලෙඩ වැටෙන්න පුළුවන්. සමහර විට චතුරංගයල, පෙත්තාවඩුල ගේමට එන්නත් පුළුවන්. අපි හැමෝම එකා වගේ ඒ හැමදේටම මූණ දෙමු. හොඳට හිතා ගනිල්ලා.. මේක කරලම තමයි පස්ස බලන්නෙ.. මොන කරදරේ ආවත් අපි කට්ටිය එකට ඉඳිමු.. දාපල්ල පහට පහක්..

අපි හැමෝම ආයෙත් පාරක් ගිවිස ගත්තා.. ඇම්ඩගෙ කතාව අපි හිත්වලට ලොකු ශක්තියක් උනා.

තව දෙයක්..

අපි හැමෝම එක එකා වෙන්වෙලා යන්න තිබ්බෙ බොහොම පුංචි වෙලාවයි.. ඇම්ඩගෙ මූණ කලින් තිබ්බ සීරියස් ගතිය මැදින් මං මෙච්චර කාලෙකට දැකල නැති, පරාජිත කමක් ඇවිල්ලා තියෙනව මං දැක්කා.

බෙකම්..! උඹ තමයි අපේ ෆිට් එක.. උඹ කොයි තරම් හොඳ එකෙක්ද කියලා අපි හැමෝම දන්නවා.. මේ වැඩේ උනත් මුලින්ම පත්තු වුණේ උඹේ ලස්සන හිතේනේ.. උඹේ හීනෙ අපි හැබෑ කරනවා.. හුඟක් වෙලාවට.. හුඟක් වෙලාවට තව අවුරුදු ගාණකින් අපි හැමෝම ඈත් වුණාම අපි හැමෝම එකතුවෙලා කරපු වැඩ අතරෙ, මෙන්න මේ දැල්ලාස් හෝප් එක මහා ලොකු තැනක් ගනියි.. අපිට ඒ ගැන හිතලා හුඟක් සන්තෝස වෙන්න පුළුවන් වෙයි.. ඇත්තටම මේක ලස්සනම ලස්සන මතකයක් වෙයි..

ඇම්ඩගෙ කටහඬ, ජනාකීර්ණ නගරෙ මැද්දෙ ගලාගෙන යද්දි, අපි හැමෝම ගල් ගැහල බලාගෙන හිටියා. ඒ කියපු හැම වචනයක්ම, හැම අකුරක්ම අපේ පපුව ඇතුලෙ යකඩ කිලෝ දාහක විතර බරක් තියපු හින්ද, ඇම්ඩා වගේ දඟම දඟ දඩබ්බරයෙක්ගෙන් මේ වගේ වචන ටිකක් ගලාගෙන ආපු එකම, කොල්ලො ටිකට මාර විදියට වැඳුණා. ඉස්කෝලෙන් අයින්වෙලා අවුරුදු විස්සක්, තිහක් ගියත්, ඒ ලස්සන මතකය සිහිපත් කරද්දි හදවත තාමත් නොඉඳුල් විදියට උණුසුම් වෙනවා කියලා හුඟ දෙනෙක් කියන කතාව, මට ඉස්කෝලෙ කාලෙදිම දැනිලා තිබුණා. ඒක හරියට කියනවා නම්, ඒ දැනීම මහා වේදනාත්මක මිහිරි මතකයක් කියලා තමයි කියන්න වෙන්නෙ.


No comments:

Post a Comment