Wednesday, November 7, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |


හනේ.. හනේ.. බත් එකවත් කන්නැතුව නේද ඔය දුවන්නෙ..?

කටට දෙකට බත් පිඟාන ඇරල දාලා ගෙදරින් එළියට පනිද්දිම අම්මා කෑගහනවා ඇහුණා. ප්‍රෙට්‍රල් ගහන්නැති මගේ ට්‍රේල් බයිසිකලේ තල්ලු කරගෙන වගේ ඉස්සරහට ගිහින් මං ඒකේ සීට් එක උඩට පැන්නා. පෙට්‍රල් ගහන්නැත්තෙ මොකද කියලද අහුවෙ.. ඇයි හත්තිලව්වෙ පුට් සයිකල් වලට කවුද පෙට්‍රෝල් ගහන්නෙ..?


මං ග්‍රවුන්ඩ් එකට එනකොටත් කොල්ලො ප්‍රැක්ටිස් පටන් අරගෙන. වටපිට බැලුවත් ඇම්ඩල පේන්න හිටියෙ නෑ. සමහර විට උං හවස්වෙලා එයි. පැයක් එකහමාරක් විතර ඇඟට වගේම හිතටත් දැනෙන්න ප්‍රැක්ටිස් කරල මායි, චමිලුයි ග්‍රවුන්ඩ් එක කෙලවරේ කොට්ටම්බා ගහ යටට ආවා.

“පෙත්තාවඩු අදත් නෑ බෙකම්..”

චමිල්ගෙ කතාවට මුකුත් කියන්නෙ නැතුවම මං ඌ දිහා බැලුවා. ඒ තරම් හොඳ මූඩ් එකක් ඒ සියම් පොල් ගෙඩියක් වගේ වෙච්ච මූණෙ තිබ්බෙ නෑ.

“ඉතිං අපිට ප්‍රශ්නයක් නෑනෙ චමිල්..”

“නැත්තෙ මොකද බං.. දැන් දිගටම ප්‍රැක්ටිස් එන්නැතුව ඌ හෙට මැච් එකට ප්ලේස් එක ඉල්ලුවොත්..? එතකොට මෙච්චර දවසක් ප්‍රැක්ටිස් ආපු හොඳට ප්ලේ කරන කොල්ලෙක්ගෙ චාන්ස් එකනේ අපතෙ යන්නෙ..”

“අපි ඒවා ගැන හිතන්න ඕන නෑ මචං.. ඒවා සෝමතිලක සර් බලාගනියි..”

“හ්ම්.. බලාගනියි.. බලාගනියි..”

බලයා ඒක කියාපු තාලෙ මට ඇල්ලුවෙ නෑ..

“ඇයි උඹ එහෙම කිව්වෙ..?”

“ඔය මහ පෙත්තාවඩුවා පෙත්සන් ගහලලු.. සෝමතිලක සර්ව දුෂ්කර පළාතකට දාන්න කියලා.. සමස්ත ලංකා තරඟවලට යන්න තරම් සුදුසුකම් තියෙන ළමයින්ව කපලා සෙල්ලම් කරන්න බැරි ඈයො තේරුවා කියලලු චෝදනාව..”

“පට්ට බොරුවක්නේ චමිල්..”

“ඒක තමයි බං මාත් කියන්නෙ.. තවත් බලන් ඉඳලා බෑ.. පෙත්තාවඩුවට අල්ලගෙන නෙලමු මාසයක් විතර හදිසි අනතුරු වාට්ටුවෙ ඉන්න..”

බලයා උනත් නිකං කට වාචාලකමට කතා කරන එකෙක් නෙමෙයි. කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ. කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්නෙත් නෑ.

“අනතුරු වාට්ටුවෙ කෙසේ වෙතත් මොනවම හරි කරන්න වෙනවා චමිල්.. මහ පෙත්තාවඩුවා අපේ ඉස්කෝලෙට වඳ දෙනවා වැඩියි..”

“අපි ඇම්ඩගෙන් උපදේසයක් ගමු..”

කොල්ලො කට්ටියත් එක්ක පිට්ටනිය එහා කොනෙන් මතුවෙන නාලක පෙන්නලා චමිල් කිව්වා. එතන පැතුම්, එක්ක මාධවයි ඉමානුයි හිටියා.

“බෙකම්..”

ඇම්ඩලා හෙමීට ඇවිදින් එද්දි ඉමාන් හයියෙන් හයියෙන් ඇවිදගෙන මං ළඟට ආවා. උගේ මූණ ඒ තරම් හොඳ නෑ.

“බලපං මචං.. අද පොඩි එවුන්ගෙ ක්ලාස් එක. උංට සංගීත තරඟ සදුදා.. මේ ඇම්ඩා මාව බලෙන් ඇඳන් ආවනේ.. හේතුව ඇහුවට කිව්වෙ නෑ.. මට කට කපලා වැඩ බං..”

බස බස ගගා ඉමාන් කියවගෙන යනවා. එහෙන් මෙහෙන් මියුසික් පාරක් දුන්න නම් ඒ වචන ටිකෙනුත් සිංදුවක් කියතැහැකි. උගේ වොයිස් එක ඒ තරම් ගති. ඌ අර පොඩි එවුන්ගෙ ක්ලාසස් වගයක් ගැන කිව්වෙ, ඌ ඉස්කෝලෙ ඇරිලා කරන අමතර පන්ති ගැන. බලන් ගියාම ඌ ඉගෙන ගන්න ගමන් හම්බ කරන සිරා බුවෙක්.

“මං උඹව බලන්න ක්ලාස් එකටත් ගියා. උඹ හිටියෙ නෑ.. ඒ ගමන තමයි මං ඇම්ඩට පණිවිඩේ යැව්වෙ උඹව ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට වරෙන් කියලා..”

ඒ වෙනකොට ඇම්ඩයි, මාධළුයි අපි ළඟට ඇවිත් තිබුණා. ඇම්ඩගෙ මූණෙ තිබ්බෙ සවුත්තු හිනාවක්.

“ඔන්න බෙකම්.. සියල්ලෝම මෙතන ඉන්නවා.. කියන අටමගලයක් ඉක්මනට කියපං.. මේ ඉමානයට යන්න හදිස්සිය..”

ෆුට් බෝල් ටීම් එකේ කොල්ලො ටිකට ආයෙත් ප්‍රැක්ටිස් පටන්ගන්න සංඥාව දීලා, මං තණකොල බිස්සෙ වාඩිවුණා. මගේ ගාවින්ම මගේ සමීපතමයො කීප දෙනත් වාඩිවුණා.

“දැල්ලා අංකල් ගැන උඹලට මොකද හිතෙන්නෙ..?”

මොකාක් හරි වැදගත් දෙයක් මං කියන්න යන්නෙ කියලා කොල්ලො හැම එකාම දැනගෙන හිටියා. ඒත් මං දැල්ලා අංකල් ගැන කතා කරාම උංගෙ මූණු කුණුවෙලා ගියා.

“මොනවා කරන්නද..? ඌ කරන්නෙ ටකේ හොල්ලන එකනේ..”

“හිතන්න තරම් වටිනාකමක් තියෙන එකෙක්ද බං ඌ.. මෙලෝ පිරිසිදුකමක් නැති අපතයෙක්නේ..”

“ඌ ගැන හිතන එකත් ණයක් බං.. මෙලෝ වගතුවක් ඇති එකෙක් නම් නෙමෙයි..”

හැමෝම තමන්ගෙ සිතුවිලි ප්‍රමාණයට උත්තර දුන්නත් ඇම්ඩයි, ඉමානුයි කතා කරේ නෑ.

“උඹ මොකද හිතන්නෙ නාලක..?”

“මට අලුතින් හිතන්න දෙයක් නෑ බෙකම්.. ඒත් දැල්ලා ගැන උඹ අපෙන් අහන්නෙ, මොකක් හරි හේතුවක් හින්දා.. මං අලුතින් හිතන්න කැමති අන්න ඒ දේ ගැන..”

“ඉමාන්.. උඹ මොකද කියන්නෙ..?”

“මට ඒ මනුස්සයා ගැන කණගාටුයි..”

මගේ කතාවට හොඳම ප්‍රවේශය හම්බ වුණේ ඉමාන්ගෙන්. මං එතනින්ම පටන්ගත්තා.

“කණගාටුයි නෙමේ ඉමාන්.. දුකයි.. හරිම වචනෙ ඒක තමයි.. අපි හරි නම් ඒ මනුස්සයා ගැන දුක් වෙන්න ඕන.. උඹලට මතකයිනේ.. අපි හැමෝම එක වසරට මේ ඉස්කෝලෙට එද්දිත් ඔය අහිංසක මනුස්සයා ඔය යකඩ කෑලිවලට පතබෑවා.. කොයි තරම් කාලයක්ද..? මං හිතන්නෙ දැල්ලා අංකල් අවුරුදු තිස් පහක් විතර ඔය වැඩේ දිගටම කරනවා.. දැන් මිනිහට හැත්තෑ ගානක්, අර වයසක දිරච්ච අත්වලින් අර යකඩ කෑල්ල උස්සනකොට උඹලට දුකක් දැනුනෙ නැද්ද පැතුමා.. ආ..?”

මගේ ප්‍රශ්නෙට පැතුම් බිම බලාගත්තා. උගේ මූණෙ පිරිලා තිබ්බ කෙලිලොල් ගතිය මැකිලා ගිහින් හෙණ සීරියස් පාට් එකක් මූණ මැදට ආවා.

“අවුරදු දහයක්, දොළහක් හැමදාම අපි දැල්ලා අංකල් දැක්කා උනත්, අඩුම ගානෙ, මිනිහා ඉන්නෙ කොහෙද..? මිනිහා කාගෙ කවුද කියලවත් අපි දන්නෑ.. අඩුම ගානෙ මිනිහට වැටිලා ඉන්න ගෙයක් දොරක් තියෙනවද කියලවත් අපි දන්නෑ.. මේ තරම් උදේ හවා දකින මිනිහෙක් ගැන අපි මෙලෝ දෙයක් දන්නෑ කියනෙක මාර දුකක් නෙමෙයිද මාධව..?”

හැම එකාම මූණින් මූණ බලාගෙන කල්පනා කරන්න ගත්තා මිසක කවුරුවත් වචනයක් එළියට දැම්මෙ නෑ. හරියට ඒ එළියට දාන වචනෙ අල්ලගෙන මං පතුරු ගහයි කියලා වගේ.

“ඔය ඔක්කොම හරි බෙකම්.. උඹ ඔහොම කතා කරලා අපේ අසමජ්ජාතී හිත්වලට හැඟීම් උපරිමේටම දෙන එකට, මට මාර සතුටුයි.. ඔය ඔක්කොම හරි.. උම දැල්ලගෙ කතන්දරේ මෙතන ඇද්දෙ නිකං වෙන්න බෑනෙ.. ඒක හින්දා උඹේ හිතේ තියන ඒ කතාව අපිට කියපං..”

එතන ඉඳලා, කලින් දවසෙ දැල්ලා අංකල් එක්ක කරපු කතාබහ, මං කොල්ලො ඉස්සරහා දිගෑරියා. මෙතනින් ඉතිං මොනවම හරි අවකැපෙන වචනයක් කිව්වොත් කියන්නෙ පැතුමා විතරයි. ඒත් ඌ වචනයක් කිව්වෙ නෑ.

“මෙච්චර අවුරදු ගානකට, හැමදාම දකින මේ අහිංසක මනුස්සයා ගැන, මෙලෝ බලු බල්ලෙකුට නොහිතුන දෙයක් උඹ වගේ නියම ජෙනුඉන් පාට්ස් තියෙන කොල්ලෙකුට හිතන එකම තමා වැදගත්.. උඹම කියපං බෙකම්.. දැන් මොනවද වෙන්න ඕනා..”

“වෙන්න ඕනා කියන්නෙ ඇම්ඩා.. මේ මනුස්සයා වෙනුවෙන් අපි මොනවම හරි කරන්නෝන.. නිකං ලෙඩෙක් වගේ, කාත් කවුරුවත් නැති අසරණයෙක් වගේ අපේ ඉස්කෝලෙන් දැල්ලා අංකල්ට පිටවෙලා යන්න දෙන්න බෑ.. අඩුගානෙ අපි සල්ලි කීයක් හරිවත් එක්කහු කරලා දෙන්නෝන..”

“බෙකම්.. සොරි මචං.. මුලින් මට අර වගේ කාලකන්නි කතාවක් කියවුණ එකට.. උඹත් එක්ක ඕනම දේකට අපි ඉන්නවා..”

මෙච්චර වෙලා කට වහගෙන ඉඳපු පැතුමා කට ඇරියා. පුදුමයි ඌ නොසෑහෙන්න සංවේදී වෙලා. ඒකම මැදෑ පටන් ගැන්මෙම.

“ඕන තීරණයක් ගන්න. ඕන වැඩක් කරන්න පුළුවන් ස්ප්‍රිරිට් එක මෙතන ඉන්නවා. උඹ කියන ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. උඹ ඉමාන්ටත් එන්න කිව්වෙ මොකක් හරි අදහසක් ඔලුව උඩ තියාගෙන තියෙන හන්දනේ.. අපිට ඒක කියපං..”

“මෙහෙමයි මාධව.. මගේ ඔලුවට ආවෙ, ඉමාන් ලව්වා ඒක පුද්ගල සංගීතයක් දාන්න.. මොකද හිතන්නෙ..?”

ඉමාන්ගෙ මූණට බැරෑරුම් පෙනුමක් ආවත්, අනිත් කොල්ලො ටික හුරේ පාරක් දාලා වැඩේ ස්ථිර කරා.

“නියමයි බෙකම්.. නියමයි.. ඒක අපිට කරන්න පුළුවන් එකක්.. ඉමාන් මොකෝ කියන්නෙ..?”

“හොඳ වැඩකටනේ චමිල්.. ඒත් වැඩේ බරපතලයි.. අ යන්නෙ ඉඳලම සෙට්ල් වෙන්නෝන..”

“ඒක හරි.. ඒක  හරි.. නැත්නම් වැඩේ කොයි තරම් හොඳ අරමුණෙන් කරත්, සද්දෙ තරමට සංගීතෙ නැති වුනොත් ඉස්කෝලෙටත් හොඳ නෑ. අපිටත් හොඳ නෑ..”

“මුලින්ම අපි පබ්ලිසිටියක් දෙන්නෝන.. අද ඉමාන් උඹට සිංදු විස්සක් විතර සෙට් කරගන්න පුළුවන්ද..?”

“මේක අපි ලේසියට ගත්තට, ආයෙ ඉල ඇඳෙන වැඩක්..”

“සිංදු විස්සක් නම් මං එක දිගට කියලා නෑ චමිල්..”

හැම එකාම විවිධ කතන්දර කියනවා. ඒත් මං කතාව පටන් ගත්තහම හැමෝම නිෂ්ශබ්ද වුණා.

“මෙහෙමයි.. මේ වැඩේ අමාරුයි තමයි.. ඒක හන්දම තමයි මං උඹලගෙන් උපරිම සහයෝගය බලාපොරොත්තු වෙන්නෙ.. අනික මේක සම්පූර්ණ බර ඉමාන්ට දෙන්නෑ.. මූට ඒක බර වැඩියි.. ඉමාන්ට සපෝට් එකට කරන්න ඕන දේවල් මොනවද කියල මගේ ඔලුවට ආවෙ දිල්රංගි දැක්කම..”

“දිල්රංගි දැක්කම අපේ ඔලුවටත් එක එක ඒවා එනවා බෙකම්..”

“පැතුමා කටවහගනිං.. මේක සීරියස් කතාවක්..”

“ඇයි ඇම්ඩා උඹ එහෙම කියන්නෙ..? හොඳා උඹට දිල්රංගි දැක්කම මුකුත් හිතෙන්නැද්ද..? ආ.. උඹේ ඉටිපන්දම්ද තියෙන්නෙ..?”

“අඩෝ පැතුමා.. මං වැදගත් මහත්තයෙක් වගේ ඉන්න වෙලාවට ධාර්මිකව ඉන්න දීපං.. මට කියලා මෙතන තොගේ හිරි ඔතප් බිඳගන්නෙ නැතුව.. හරිද..? මං කියනවට මෙතන පැහිච්ච කතා කියන්නැතුව හිටපං.. උඹට මං හැමදාම කියනවා ලොකු මිනිස්සු කතා කරන තැන්වලට කට දාන්න එන්නෙපා කියලා..”

“කවුද ඇම්ඩා එතකොට ලොකු මිනිස්සු..?”

“ඇයි බොල මං..”

“මේ උඹලා දෙන්නගෙ අ‍ඳෝනාව නවත්තපියව්.. අපි මේ වැඳගත් සාකච්ඡාවක ඉන්නෙ.. උඹල කරන කියන දෙයක් අර පිට්ටනියෙ බවුන්ඩරියෙන් එහාට ගිහින් කරපියව්..”

ඒ පාර මුං මරාගන්න යනවා. ඇම්ඩට සද්ද වහගන්න කියලා මං ආයෙත් කටහඬ අවදි කරා.

“ඉමාන් සිංදු කියන අතරෙ, දිල්රංගිට පුළුවන් එයාගෙ ටැලන්ට්ස් වලින් පිරිච්ච ලස්සන නැටුම් ටිකක් දාන්න.. එතකොට වැඩේ කලර්ෆුල්..”

“දිල්රංගි කැමතිවෙයිද බෙකම්..?”

“මං කිව්වොත් බෑ කියනෙකක් නෑ.. වැරදිලාවත් කෙල්ල අකමැති වුණොත්, ඉමාන්ගෙ සිංදු අතරට ගුණසිංහ සර්ගෙ නාට්ටි කණ්ඩායම රිංගවමු.. වැඩේ එකෙන්ම ගොඩ..”

“මාරයි බෙකම්.. මාරයි.. මේ කතන්දරේ හිතනවටත් වැඩිය සාර්ථක වෙනව කියලා මට නම් පට්ට ෂුවර්.. අපි කොහොමද වැඩේට බහින්නෙ..? අපි කොතනින්ද පටන්ගන්නෙ..?”

“සංගීතෙ පැත්තෙන් කෙරෙන්න ඕන ටික අපි ඉමාන්ට බාර දෙමු.. අනිත් බරපතල වැඩ ටික අපි බෙදා ගනිමු..”

“බරපතල වැඩ කිව්වෙ බෙකම්..?”

“මේකනේ මාධව.. මේක සත්ගුණවත් ක්‍රියාවක් උනත්, අපි මේක කරන්නෙ මුදලට.. ඒ කිය්නනෙ අපේ ප්‍රසංගය පෙන්නන්නෙ සල්ලි වලට.. මුලින්ම අපිට මේ ගැන හැඳින්වීමක් දාපු, ටිකට් පොත් ගහන්න වෙනවා.. නගර සභා ශාලාව වෙන් කරගන්න වෙනවා.. පිනා සර්ව දැනුවත් කරන්න වෙනවා.. ඔය වගේ වැඩ කිඩ සම්බාරයක් තියෙනවා..”

මගේ ඒ කතාවෙ ඉඳලා කොල්ලො ටික ෆුල් සීරියස්ම කතන්දරේට බැස්සා.
“කිසි ගේමක් නෑ බෙකම්.. කරන්න ඕන ටික අපිට කියපං.. අපි ගේමට බහින්නම්..”

“ගේම කියන්නෙ චමිල්.. ඉතිං ටිකට් පොත් ටික විකුණ ගන්න එක තමා.. තව ඉමාන්ගෙ කටවුට් ගහපු බෝඩ් දහයක් විතර ග්‍රැෆික් පාරක් දාලා ඕන වෙනවා..”

“ම.. මගේ කටවුට්..!”

ඉමාන් පුදුම වෙලා වගේ මං දිහා බැලුවා.

“ඔව්.. ඕනෙ නම් අපි දිල්රංගිගෙත් දාමු.. දිල්රංගි සිතාරෙ අරන් ඉන්නවා.. උම සුපුරුදු බොක්ස් ගිටාර් එක අරන් ඉන්නවා.. මොකද කියන්නෙ..?”

“මට මොකක්ද වගේ බෙකම්..”

“අඩෝ.. සරිගමයා.. උමට මොකක්ද වගේ නම් කටවුට් එකට මං ඉන්නවා.. දිල්රංගිගෙයි, මගෙයි කටවුට් මේ ටවුමෙ හතර කොනේ වැදිලා තියෙනකොට කොහොමද ගතිය ආ.. කාටද ආඩම්බර..”

“බලයා උඹ කටවහගනිං.. බෙකම් ඉන්දෙද්දි අපි මොකටද යකෝ උඹේ කටවුට් අලවන්නෙ..? ඔය පිස්සු කියවිල්ල නවත්තලා.. මේ වැඩේ කෙරෙන විදියක් බලපං.. ආ.. ඉමාන්.. උම මොකද කියන්නෙ..? අපේ බෙකම්ගෙ වැඩේට උඹ ෆිට් නේද..? ෆිට් නැත්නම් කියපං.. අපි ස්කාගාර සංස්ථාවෙන් හරි එකෙක් ආනයනය කරනවා.. තේරුණාද..?”

ඇම්ඩා කතා කෙරුවෙ, ඉමාන්ට තර්ජනය කරනව වගේ. ඉමානුත් නිකං ගල්වෙලා වගේ හිටියෙ. ඇම්ඩා උණත් දෙයක් කියන්නෙ බඩ පපුව දාලා යන විදියටනේ. මොනවා උනත් අපි හැමෝම අන්තිමට බලන් හිටියෙ ඉමාන් දිහා. මං උනත් කතන්දරේ කියාගෙන කියාගෙන ගියා මිසක්, ඉමාන්ගෙන් වැඩේට කැමතිද නැද්ද කියල ඇහුවෙ නෑනෙ. අපි හැමෝගෙම මූණු දිහා ඒ කොනෙන් මේ කොනටයි, මේ කොනෙන් ඒ කොනටයි බලලා අන්තිමට ඉමාන් මං ඉන්න දිහාට හැරුණා.

“බෙකම්.. ඇම්ඩා ඔය මොනවා කියෙව්වත් ඌ මට කැමතියි.. තවත් මේ ගැන හිතන්න දෙයක් නෑ.. බෙකම්.. මං උඹේ වැඩේට කැමතියි.. අපි අහිංසක දැල්ලා අංකල් වෙනුවෙන්, අපේ ඉස්කෝලෙ ඉතිහාසයේ කවදාවත් වෙච්චි නැති ජෙනුඉන් ගේමක් දෙමු.. මං මගේ උපරිමය උඹට දෙනවා බෙකම්.. අපි අදම වැඩේට බහිමු..”

නිවි සැනසිල්ලෙ ඉමාන් කියාගෙන ගිහින් ඉවර උන ගමන්ම කොල්ලො ටික මහා සද්දෙට හුරේ පාරක් දැම්මා මුළු ග්‍රවුන්ඩ් එකම දෙදරන්න. ඊට ප්සසෙ අපි අත්වලින් පහේ ඒවා දාලා වැඩේ ස්ථීර වශයෙන්ම කරන්න ගිවිස ගත්තා.

“දැන් නම් ඉතිං ආයෙ ප්‍රැක්ටිස් කරන්න ටයිම් නෑ.. අපි මෙහෙම්ම යමුද බෙකම්..?”

“උඹට නම් යතෑකි චමිල්.. ඒත් බෙකම්ට නම් යන්න වෙන්නෑ..”

“ඒ ඇයි ඇම්ඩා..?”

“ඇ බලහං..”

ඇම්ඩා පෙන්නපු දිහාට අපි හැමෝම හැරුනෙ තරඟෙට වගේ. අපි කොල්ලො ටික දිහාවට ලතාවකට ඇවිදගෙන ආවෙ ඉන්කි. එයා අද ට්‍රැක් කිට් එකෙන් සම්පූර්ණයෙන්ම අයින්වෙලා. වෙස්ටර්න් ටයිප් ටීෂර්ට් එකකුයි ජින්ස් එකකුයි ඇඳගෙන, කෙල්ලගෙ පපුවයි උකුලයි අවුලක් නැතුවම කැපිලා පේනවා. ඉන්කි ඇවිදගෙන ආපු ඉරියව්වෙත් තිබ්බෙ අමුතුම ගතියක්. අපි හැමෝම ඇස් කටේ දාගෙන ගල්වෙලා බලන් හිටියෙ.

“මැක්සා බෙකම්.. බලහංකො උඹේ උක්කු අම්මා පාවෙන ලස්සන..”

“මේ හැඩකාරි කොහෙද හිටියෙ බං මෙච්චර කල්..?”

“ලොවෙත් නෑ.. ගස්සන ගැස්සිල්ලටයි.. පද්දන පැද්දිල්ලටයි.. මගේ මුලු සරුවාංගෙම කුපිත වෙනවා හත්තිලව්වෙ..”

කොල්ලො කියන ඒවට මං මුකුත් කිව්වෙ නැත්තෙ මේ අදහස් මගේ හිතටත් මේ වගේම දැනිලා තිබ්බ හින්දා. හුඟාක් වෙලාවට මං ඉන්කිව දැක්කෙ ස්කූල් යුනිෆෝම් එකෙන්. එහෙමත් නැත්නම් ට්‍රැක් කිට් එකෙන්. අද ඒ හැමදේටම වඩා වෙනස් දර්ශනයක් ඇස් ඉස්සරහ ජීවමාන වෙද්දි.. ඉන්කිගෙ මේ හැඩකාරකම මීට ඉස්සරින් මං දැක්කෙ නැත්තෙ ඇයි කියලා මට පුදුම හිතුණා.

“න..වෝ..ද්..”

අපි හැමෝම ඉන්කි දිහා බලන් ඉන්නවා වැඩියිද කියලා මට හිතුණෙ එයා පුදුම වෙලා වගේ අපි දිහා බලනකොට.. කොහෙද ඉතිං.. අපේ එවුන්ටත් කෙල්ලෙක් හැඩට ඇඳගෙන එනකොට මදන කුලප්පුවම හැදෙනවනේ.

“නවෝද්.. ඇයි ඔයාලා කතා නොකරන්නෙ..? මං ඔයාව දැකලයි ආවෙ.. අද ප්‍රැක්ටිස් කරන්නැද්ද..? කට්ටියත් එක්ක චැට් කර කර ඉන්නෙ..”

“ප්‍රැක්ටිස් කරලයි ආවෙ ඉන්කි.. අපි මේ පොඩි වැඩක් ගැන කතා කර කර හිටියෙ.. ඒක නෙමේ..”

මං එහෙම කියලා ඉන්කිට ටිකක් ළංවුණා. එයාගෙ මුළු අවධානයම යොමුවෙලා තිබ්බෙ මට. හැමදාම පුරුදු විදියට එයාගෙ දිලිසෙන ඇස් වලින් මගේ මුළු ශරීරයම පිරික්සන විදියටයි බලන් හිටියෙ. ඉන්කි මං දිහා බලන් ඉන්න විදියට කොල්ලො මොනව හිතනවද දන්නෑ.. එයා හැසිරෙන්නෙ මෙතන ඉ්නනෙ හරියට එයයි මමයි විතරයි වගේ.

“එහෙනම් කෝකද..?”

“අද මොකද මේ වෙනස් විදියකට..?”

“ඇයි නවෝද්.. මට මෙහෙම හොඳ නැද්ද..? ඔයා අකමැතියිද ආ..?”

ආදරේ කරන කොල්ලගෙන්, කෙල්ලෙක් අහන විදියට ඉන්කි එක පාරටම මගෙන් අහද්දි මං හීතල වෙලා ගියා. මේ කෙල්ලට තියේනනෙ පුදුම ආත්ම ශක්තියක්නේ. ඇයි අප්පා ඇම්ඩා, පැතුම්, බලයා වගේ අන්ත මරුමුස් බුවාලා ඉන්න තැනක ඔය වගේ දෙයක් මගෙන් අහන්නත්, කෙල්ලෙකුට මොන තරම් ෆිට් එකක් තියෙන්න ඕනද..? ඒත්, ඉන්කි මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ ඇම්ඩා.

“ඔයා අකමැතියිද කියලා ඇහුවෙ ඇඳුම ගැනද..? නැත්නම් බෙකම් ඔයාට අකමැතියි කියලද ඉන්කි.. ආ...?”

ඇම්ඩගෙ කතාවට ඉන්කිගෙ මූණ රතු වුණා. ඒ මූණ මැදට ආවෙ, මෙච්චර කාලෙකට මං ඉන්කිගෙ දැකලා නැති කෝමල රේකා තුන හතරක්. එයාගෙ ඇහි පිල්ලම් එක සීරුවට ඇරෙන්න, වැහෙන්න ගත්තා. ඒ ඇරෙන වැහෙන ඇස් අතරින් ඉන්කි මං දිහා බලන් හිටියෙ පුංචි ළමයෙක් වගේ.

“මේ.. මේ.. උඹල ගල් පිළිම වගේ හිටන් ඉන්නෙ.. අපි අද යන්නැද්ද..?”

මෙච්චර වෙලා සද්ද වහල ඉඳපු මාධව කඩේ ඇරියා. චමිල්ගෙ නම් ඇස් තිබ්බෙ ඉන්කි ළඟමයි. ඇම්ඩා ආයෙමත් මොනවදෝ කියන්න කට හදනවා මං දැක්කා.

“ඔයාලගෙ ගෙදර ඉන්න අර බලු තඩියා මොකාද ඉන්කි..?”

“ආ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ..?”

“ඒකා එළිවෙනකල්ම උඩු බරනවනේ.. කන් කරච්චලේ බෑ..”

ඉන්කිගෙ ගෙදර ඉන්න බල්ලා ගැන ඇම්ඩා දන්නෙ කොහොමද කියලා මං කල්පනා කරා. එතකොටයි මට මතක් උනේ, ඇම්ඩා ඉන්නෙත් ඉන්කිලගෙ ගෙවල් ළඟ කියලා. එක පාරක් අර තලපතාගෙ ක්ලාස් එකේ සිද්ධිය ඉන්කි, ඇම්ඩලාගෙ ගෙදරටත් කියලා තිබුණෙ.

“ඔව් නාලක.. මෙ ්දවස්වල එයාට මොකක් හරි ප්‍රශ්නයක්.. අපිවත් පේන්න බෑ..”

“ඔයාට කියන්න ඉන්කි.. ඔයාට ඇහුණද මංදා.. ඔයාලා ඉතිං දොර, ජනෙල් වහලනේ.. ඔය බලු තඩියා ඊයෙ රෑ එළිවෙනකල්ම උඩ බිරුවා.. ඔයා දන්නවද ඒක හරිම අසුභ ලකුණක්.. වැරදිලාවත් අදත් රෑ ඌ එළිවෙනකල් උඩු බිරුවොත් ආයෙ දෙකක් නෑ.. මරණයක්ම තමා..”

“හා..නේ.. කාගෙද දන්නෑ නේද මරණෙ..?”

“වෙන කාගෙවත් නෙමෙයි.. ඔයාගෙ බලු තඩියගෙ..”

ඇම්ඩා ඒක සාවධානව කියපු විදියට අපිට බකස් ගලා හිනා ගියා. ඉන්කිටත් ලොකු හිනාවක් ගියා.

“හනේ.. හනේ.. ඔයා හදන්නෙ අපේ රෝවර්ව මරන්නද..?”

“නෑ.. ඌව ලෑන්ඩ් රෝවර් එකක් කරන්න.. කරුණාකරලා අද ඌට ස්ලීපින් ටැබ්ලට් එකක් දෙන්න.. නැත්නම් ඉතිං ඔයාගෙ රෝවර් ලොවෙත් නෑ.. තේරුණාද..?”

“අ.. අනේ නවෝද්.. බලන්නකො.. මේ නාලක ඇත්තටමද කියන්නෙ මේ කතා..?”

“ඇම්ඩා.. නිකං ඉඳපං.. ඉන්කි බය නොකර.. උඹට ඔය ඉන්කිගෙ රෝවර් ගෙන් ප්‍රශ්නයක් නම් කිරල ඇබ දෙකක් කනේ ගහන් නිදාගනිං..”

ටිකකින් ඉන්කියි මායි එතන ඉද්දිම කොල්ලො ටික එහාට මෙහාට උනා. ඒක ඉබේම උදාන කොල්ලො ටික හිතලම මාරු උනාද කියලා දෙයියො තමයි දන්නෙ.

“ඉනික් හදිසියෙන්ම ආවෙ..?”

“ඇයි මං ආපු එක හොඳ නැද්ද..?”

“නෑ.. නෑ.. ආපු එක හුඟක් හොඳයි.. මං ඉස්සෙල්ලා ඔයාට කියන්න ගියේ, ඔය ඇඳුමට ඔයා හරි හැඩයි කියලා..”

“තෑන්ක්ස් නවෝද්..”

ඉන්කිගෙ මූණ ලොකු හිනාවකින් පිරුණා. ඒ හිනාවෙන්ම එයා මං දිහා බලලා, ඇස් දෙක තද කරලා පියාගෙන ආයෙත් ඇරියා. ඒක නම් ඇත්තටම හිත හිරිවට්ටන ඉඟියක්. කෙල්ල මොනව හිතාගෙන මේ වගේ සෙල්ලම් මං ඉස්සරහ දානවද මංදා.. මොනව උනත් ඉන්කි ඉස්සරහදි මට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිරෝමිල, සමින්දිල ළඟදි දැනෙන අපහසුව එක බිංදුවක්වත් මේ හුරුබුහුටි කෙල්ල ඉස්සරහ දැනෙන්නෙ නැති එකනේ වැඩේ කියන්නෙ.

“ඔයා දන්නවද මං ආවෙ ඇයිද කියන්න..?”

“ම්හු.. නිකන් නේ..”

“නෑ.. ඔයාට විෂ් කරලා යන්න..”

“ඔව්.. ඉතිං මෙන්න මගේ උණුසුම් සුභපැතුම්..”

ඉනිකි දකුණු අත මගේ දිහාට දික් කරා. මං දෙපාරක් හිතන්නෙ නැතුවම ඒ පුංචි අත අල්ලලා හෙමීට හෙලෙව්වා.

“ඇයි ඉන්කි මේ..?”

“හෙට කළුතරත් එක්ක මැච් එක නේද..? හොඳට ප්ලේ කරන්න නවෝද්..”

“ඔයා කොහොමද දන්නෙ..?”

“මං කොහොම හරි දන්නවනේ..”

හෙට මැච් එක කියලා කෙල්ල කොහොම දැනගත්තද මංදා.. හැබැයි හෙට මැච් එකට ඉන්කි විෂ් කරපු එක නම් මගේ හිතට සතුටක් ගෙනාවා.

“එහෙනම් මං යන්නද නවෝද්.. ඔයාලා තව පරක්කු වෙනවනේ..”

“හ්ම්.. පරිස්සමින් ඉන්කි..”

“ඔයත් පරිස්සමින්.. එහෙනම් ගයිස්.. මං යනවා..”

කොල්ලො හැමෝටම අතත් වනාගෙන ඉන්කි අපි ගාවින් ඈත්වුණා. ඔන්න ඊට පස්සෙ තමයි එක එකාගෙ චැටර් බොක්ස් ටික ඇරුණෙ.

“ඒකි දාපු කැටයම් ටික නම් මැක්සා.. ආ..”

“කොහොමද ඇම්ඩා අර අන්තිමට කියපු වාක්‍යය.. බායි ගා..යි..ස්.. මං.. යනවා..”

“ඒ වෙලාවෙ කොහොමද අපේ බෙකම්ගෙ මූණෙ තිබ්බ රොමෑන්ටික් ෆීලින්ග් එක.. ආ.. පේන විදියට නම් වැඩේ නැගලම යයි වගේ.. හා.. හා..”

“මේ.. පිස්සු කියවන්නැතුව ඉඳපල්ලා..”

“පිස්සු අපිටද බෙකම්.. උඹටද.. ආ.. උඹට කියන්න වෙසක්, පොසොන් කාල වලටවත් මං මේ තරම් දර්ශනීය තොරණයක් සහිත ස්ත්‍රී ශරීරයක් දැකල නෑ බං.. කෝමද පුළුලුකුල.. ලොවෙත් නෑ බං..”

“හැබෑට පැතුමා.. ගෑනුන්ගෙ ඇඟපත දැකලා අපේ ශරීරෙ මේ තරම් සලිත වෙන්නෙ ඇයි බං..?”

“මාධවයා.. මට මාව පාලනය කරන්න දීපං.. මං උඹට එදත් කිව්වා.. අදත් කියනවා.. හෙටත් කියනවා.. ඔය වගේ නුහුගුණාලංකාර ප්‍රශ්න අහල, මාව මිණිමරුවෙක් කරන්නෙපා.. ඕව්.. ඕ.. ඉයර්ස්.. ආයෙ කතා කරන්න බැරිවෙන්න මං උඹේ දිව කපනවා.. දිව කපලා ලුනු දානවා.. දැනගනිං.. උඹට ලුනු දාලා වෙඩි තියනවා..”

“හයියෝ පැතුමා.. මට ඔච්චර හරියක් කරන්නෙ ඇයි බං..?”

“කරන්නෙ..? උඹ හින්දා මට තුන්වෙනි සිල්පදේ කඩන්න වෙන හින්දා.. දැනගන්.. තොට වෙන්නෙ විසිරුණු මල්පෙති සිංදුව කිය කිය අඬන්න..”

“මේ උඹල දෙන්නගෙ අඳෝනාව නවත්තගන්නවද..? නැත්නම් අපි නවත්තන්නද..?”

මෙච්චර වෙලා සාන්ත දාන්තව හිටපු බලයා ඒපාර කරලියට ආවා. පෙනුමෙ හැටියට නම් ඌට මල පැනා වගෙයි. ඇත්ත තමයි.. කතාව පටන් ගත්තෙ කොහෙන්ද.. කතාව ඉවර උනේ කොහෙන්ද..?

“බෙකම්.. ඒකි මොකද කියන්නෙ..? අපි වගේ පෝරිසාදයො ඉන්න තැනට ඇයි ඒකි බය නැතුව ඇවිත් තියෙන්නෙ..?”

“මට විෂ් කරන්න නාලක.. හෙට මැච් එකනේ..”

“මොනව උනත් කෙල්ල උඹ ගැන මාර ඉන්ටරෙස්ට්.. හොඳට හිතල මතල තීරණයක් ගනිං..”

“මේකා කොහොම තීරණ ගන්නද..?”

“ඇයි..?”

“අඩෝ පැතුමා.. ඇයි හුයි ගාන්නෙපා.. බලපං අපේ ක්ලාස් එකේම කෙල්ලො කී දෙනෙක් බෙකම්ට ඇහැ දානවද..? අරහෙ කොමර්ස් ක්ලාස්වල රඟදෙන නිළිය දිල්රංගි.. බාලිකාවෙ නොදන්නා නම් සහිත රුවැති තරුණියො අපමණයි.. ඉතිං ඔය හැමදේම අතරින් හොඳට හිතල මතල, තමන්ට ගැළපෙන ඉටිකිරිස් නාරි ලතාවක් කිට්ටු කරගන්න ඕන..”

“මොකද බෙකම් උඹ කියන්නෙ..?”

“ඔය කියපු කෙල්ලොයි, නොකියපු කෙල්ලොයි හැමෝම හිටපුවාවෙ.. ඒවා වෙන වෙලාවක වෙයි බං.. අපි දැන් දැල්ලා අංකල්ගෙ කතන්දරේ ඉවර කරලා දාමු.. ම්..”

මගේ ජීවිතේට ළංවෙන කෙල්ල කවුද කියලා බලන්න හැමෝම පණ දාගෙන හිතද්දි, මං ඒ චැප්ටර් එක ක්ලෝස් කරල දැම්මා. එතන ඉඳල තවත් පැය බාගයක් විතර අපි කතා කරේ ප්‍රසංගය ගැන. ගන්න බෑන්ඩ් එක මොකක්ද තව අතිරේකව දාන අයිටම් මොනවද.. ඩාන්සින් ඉවෙන්ට් දෙක තුනක්වත් දානවද.. ඔය වගේ නානා ප්‍රකාර දේවල් අපි කතා කරා. කොහොම හරි හැමදේම කතා කරලා, තීරණ අරගෙන ඒවා කොල්ලො හැමෝම අතරෙ බෙඳලා, මං ගෙදර යනකොට රෑ හතටත් ළංවෙලා.

“යසයි ඉලන්දාරියා ගෙදර එන වෙලාව.. අපි මෙහේ ඇස් රිදෙනකල් බලන් ඉන්නෝන..”

අම්මා දොරකඬටම වෙලා බලන් ඉන්නවා.. තාත්තත් තාම ගෙදර ඇවිත් නෑ වගේ.

“ප්‍රැක්ටිස් ඉවරවෙලා අපි යාලුවො ටික පොඩි චැට් එකක් දැම්මා..”

“ඔය මොනව කරන්නත් විභාගෙ හරියට කරන්නෝන පුතා.. කොතනට ගියත් අධ්‍යාපන සුදුසුකම් බලනවා.. ක්‍රීඩාවත් වැඳගත් තමයි.. ඒ වගේම ඉගෙනීමත් වැඳගත්..”

“මට මහන්සියි අම්මා..”

“අනේ.. ඔයාට තිබහත් ඇති.. මං මේ ඔයාව මෙතන හිරකරන් ඔහේ කියවනවා.. අපි යමු ගෙට..”

අම්මා මගේ කරට අත දාගත්තා. ඒක නම් මාර ෆිට් වැඩක්. ආයෙ දෙකක් නෑ.. හිතට එන්නෙ අමුතුම ගතියක්.. කරට උඩින් අත දාගෙන අම්මගෙ ඇඟට තුරුළු වෙලා ඇවිදගෙන යද්දි, දැනෙන ආදරණිය හැඟීම ගැන ලියන්න වචන කෝටියකුත් මදි. වොස් එකක් දාගෙන, සුප් එකකුත් බීලා, ඒ ළඟටම ප්ලේන්ටියකුත් ගහලා මං ඇඳේ හාන්සි වුණා. පිට්ටනිය හතර කොනයි මැදයි දුවල දුවල සෙල්ලම් කරහම ආයෙ හොදි ඕන්නෑ. තෙහෙට්ටුවත් එක්ක එන්නෙම මාර නිදිමතක්. ඒක නවත්තන්න නම් සක්කරයටවත් බෑ. ඒත් අද ලාවට වගේ ඇස් පියවෙද්දි මගේ හිතට එක පාරටම ඉන්කි ආවෙ ඇයිද මංදා.. එයා මගෙත්තෙක්ක කතා කරත්, අද සමින්දි අක්කා ගැන වචනයක් කතා කරේ නෑ. ඉන්කි ඒ දේ කරේ හිතලමයි කියලා මට පුංචි සැකයකුත් ආවා. කොහොම උනත් බලමුකෝ.. එක හීනෙන්ම හැමදේම එළියට එන්නෙ නෑනෙ.


“නවෝද්..”

පහුවෙනිදා මැච් එක පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි සෝමතිලක සර් මගේ ළඟට ආවා. සර්ගෙ මූණෙ තිබ්බෙ ලොකු අධිෂ්ඨානශීලී ගතියක්.

“මේක කොහොම හරි ගොඩදාගන්න පුතා.. ඔයාට හුඟක් ලොකු වැඩ කොටසක් මේකෙ කරන්න වෙනවා..”

“අපි දිනනවා සර්..”

“අන්න හරි.. හොඳට මතක තියාගන්න අපිට තියෙන්නෙ ග්‍රවුන්ඩ් වාසියි, ග්‍රවුන්ඩ් සපෝර්ට් එකයි විතරයි. එන කිසිම චාන්ස් එකක් මිස් කරගන්නෙපා.. නිතරම පාසින් වලින්ම වැඩේ අරගෙන යන්න.. ගුඩ් ලක් පුතා..”

අවසාන උපදෙස් ටිකත් දීලා, සෝමතිලක සර් පැත්තකට උනා.. දැන් ඉතින් සෙන්ට්‍රල් එකේ, ආඩම්බරෙයි, නම්බුවයි ඔක්කොම තියෙන්නෙ මගේ අතේ කියලා මට හිතුණා.

“බලයා.. බෝලෙ හුරතල් කරන්නෙපා.. ළඟට ආවද අපේ එකෙක් ළඟට යන්න දීලා ඇදපං..”

චමිල්ට ඇහැක් වහන ගමන් මං කිව්වා. ග්‍රවුන්ඩ් එක වටේ උනත් ඒ තරම් සෙනගක් හිටියෙ නෑ.  හැමදාම ඉන්න කට්ටිය විතරයි.  ඒත් ඉතිං සෙනඟ ගැන හිතල වැඩක් නෑ. දැන් තියෙන්නෙ ගේමට බහින්න. පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට බෝල පාස් කර කර දුවලම පළවෙන් හාෆ් එක ඉවර වුණා. ඒකෙදි කලුතර ටීම් එකට චාන්සස් දෙකක් ආවත්, අපේ ගෝලි හිටපු කැලුම්ගෙ ටැලන්ට්ස් හින්දා අවසන් ගමන් යන්නැතුව ඒ ප්‍රහාර දෙකම ගොඩ දාගත්තා. එකක් ඌ අත් දෙකටම අල්ල ගත්තත්, අනික, අත් දෙක උස්සලා ගෝල් බාර් එකෙන් උඩට තල්ලු කරලා දැම්මා. ඒකෙන් පස්සෙ ආපු කෝනර් කික් එකට, මැක්සා විදියටම ගේමට බැස්සෙ මං.. කෝනර් කික් එක්ක විදියට අපේ ගෝල් පෝස්ට් එකට ආපු බෝලෙ හැන්ඩ්ල් කරගෙන කලුතර ටීම් එකේ කෑකීල දෙන්නා ගාවට වෙනකල්ම මං බෝල් එක අරන් ගියා. ඒත් අපේ ටීම් එකෙන් අවශ්‍ය සහයෝගය මට හම්බවුණේ නැති හින්ද, කලුතර ටීම් එක බොහොම ලේසියෙන් මගෙන් බෝල් එක උදුරගත්තා.

සෙකන්ඩ් හාෆ් එකේදි, මැච් එක ඉවරවෙන්න විනාඩි හයක් විතර වෙනකන්, තරඟය දෙපැත්තටම දෝලනය වෙවී තිබුණා. ඒත් අන්තිම විනාඩි කීපයෙදි චමිල්ගෙ අතපසු වීමකින්, කලුතර ටීම් එකේ, මැදපෙල ප්‍රහාරකයා, බලන්න ලස්සන පහරකින් ගෝල් එකක් අයිති තරගත්තා. ඒ ගෝල් එක ගහලා ඉවරවෙලා උංගෙ තිබ්බ කලර්ස් ටිකනේ බලන්න වටින්නෙ.. ඇදගෙන හිටපු නිල් පාට ටී ෂර්ට් එක ගලවලා, එක අතකින් කරකවන ගමන්, මෑන් පිට්ටනිය වටේ භාගයක් විතර දුවගෙන ගියා. ඒ ටීම් එකේ අනිත් එව්වොත් මෙලෝ සිහියක් පතක් නැතුව ඌ පස්සෙ දුවන්න ගත්තා. මුංගෙ මේ මල ඉලව් ගෝල සැමරීමෙන් අපිට තියෙන චාන්ස් එකයි නැතිවෙලා යන්නෙ.

කොහොම හරි එතන ඉඳලා මැච් එකේ සම්පූර්ණ වාසියම රැඳිලා තිබුණෙ කළුතර ටීම් එක දිහාට. මං කොයි තරම් උත්සහ ගත්තත්, සෙන්ටර් පොයින්ට් එකෙන් ටිකක් එහාටවත් බෝල් එක ගෙනියන්න අපිට බැරිවුණා. ඒකට තවත් හේතුවක් තිබුණා. ඒ තමයි, කළුතර ටීම් එකේ ප්ලේයර්ස්ලා ගහපු ගෝල් එකෙන් පස්සෙ, නිතරම එයාලා බැලුවෙ බෝල් එක අවුට් ගහන්න. ඒකෙන් කාලය කාලා දාන්න. අපි හැමෝගෙම හිත්වලට ඒ වෙලාවෙ වෙනකොට පරාජයේ සෙවනැලි හොඳටම දැනිලා තිබුණා. ඒත් එක්තරා අහඹු අවස්ථාවක්, හිතුවෙ නැති විදියට මගේ පැත්තට ඇඳිලා ආවා. ඒ වෙනකොට මැච් එක ඉවරවෙන්න තිබ්බෙ විනාඩියක් නැත්නම් දෙකක් විතර.

කලුතර ටීම් එකේ බැකී, ලයින් එකෙන් අවුට් යන්න කියල හිතල දීලා ඇදපු කික් එකක්, බූට් එකේ සයිඩ් එකේ වැදිලා ආපහු කැරකිලා උඩින්ම සෙන්ටර් පොයින්ට් එකයි, කලුතර ටීම් එකේ ගෝල් පොයින්ට් එකයි අතර දුරේ හරි මැදට වගේ වෙන්න වැටුණා. මං ඒ වෙනකොටත් හිටියෙ කලුතර ටීම් එකේ බැකීත් එක්ක ඇටෑක් වෙන ගමන්. අහම්බෙන් හම්බවෙච්ච චාන්ස් එක, ඇස් පනාපිටම පේන්න තිබ්බ හන්ද මං කෙරුවෙ, ඇඟේ තිබ්බ ශක්තිය සම්පූර්ණයෙන්ම කකුල් දෙකට දීපු එක. තත්පර ගානකින් මං හිටියෙ බෝලෙ ගාව. එතන ඉඳලා හැමදෙයක්ම සිද්ධ වුනේ ඇහැපිය ගහනවටත් වැඩිය වේගෙන්. බෝලෙ පාලනය සම්පූර්ණයෙන්ම මගේ කකුල් දෙක ගනිද්දි මං ආයෙත් මුලින් හිටපු තැනටම ඇවිල්ලා තිබුණා. හැබැයි කලින් පාර මං ගාවට නොතිබ්බ බෝල් එක මේ වෙලාවෙ මගේ ලඟ තිබ්බා.

තව වැඩිම උනොත් තත්පර විස්සක් හරි පහළොවක් හරි ඇති කියලා මගේ හිත කැගැහුවා. මේ වෙලාවෙ බෝල් එක පාස් කරලා සාමූහිකව ගේමක් දෙන්න බෑ කියලා මං තේරුම් ගත්තා. කරනදෙයක් මේ තත්පරයෙදිම කරන්නෝන. බූට්ස් ළඟ නැවතිලා තිබ්බ බෝල් එක, වම් කකුලෙන් ඉස්සරහින් හෙමීට උඩට ගන්න ගමන්, දකුණු කකුලෙ විළුඹ හරියෙන් මං බෝල් එක මගේ පපුව ප්‍රමාණෙට ගත්තා. මේ වෙලාවෙ කික් කලුතර ටීම් එකේ ප්ලේයර්ස්ලා හිතුවෙ මං බෝලෙ බිම තියෙද්දිම කික් කරාවි කියලා. ඒත් කකුල් දෙක දිගේ හිතාගන්නවත් බැරි විදියට මං බෝල් එක උඩට ගනිද්දි කලුතර ටීම් එක අන්දමන්ද වෙලා හිටියෙ. එතන ඉඳලා මට කරන්න ඒ තරම් දෙයක් තිබ්බෙ නෑ. පපුව හරියට උඩට ආපු බෝල් එකට මං යාන්තමට උඩ පැනලා වම් කකුලෙන් කලුතර ගෝල් පෝස්ට් එක එල්ල කරලා කික් එකක් දුන්නා.

“වෙල්ඩන් බෙකම්.. වෙල්ඩන්..”

“මැක්සා කියන්නෙ.. මැක්සගෙත් මැක්සා..”

මැච් එක බලපු අපේ ඉස්කෝලෙ කොල්ලොයි, ටීම් එකේ කොල්ලොයි මාව වට කරගෙන බදාගත්තා. කලුතර ටීම් එකේ කෝලිට හිතන්නවත් වෙලාවක් නොදී මගේ කික් එක ගෝල් පෝස්ට් එක ඇතුළට ගිහින් තිබුණා. මගේ හිතටත් දැනුණෙ එසේ මෙසේ සතුටක් නම් නෙමෙයි. අන්තිම තත්පරේදි අපේ සෙන්ට්‍රල් එක බේරගත්තු එක මට නම් හීනයක් වගේ වෙලා තිබුණා.

එතනින් පස්සෙ පෙනල්ටි වලින් තරඟයේ ජය පරාජය තීරණය කරන්න හැදුවත් හතර වටින්ම ගලාගෙන ආපු වැහි අඳුර ඒකට ඉඩක් දුන්නෙ නෑ. ඒක හන්ද කලුතර ටීම් එකත් එක්ක තරඟය ඉවර වුණේ ජය පරාජයෙන් තොරව.

“ඔයා හොඳට සෙල්ලම් කරා නවෝද්..”

යූ.සී ග්‍රවුන්ඩ් එකේ යකඩ වැටෙන් මෑත්වුනා විතරයි අඬ අඳුරේ රුවක් මගේ ඉස්සරහට ආවා. මට අදහගන්නත් බැරිවුණා.. මං දකින්නෙ හීනයක්ද කියලා තත්පරේට දෙකට මට හිතුණා.

“ප්‍රින්සිපල් සර්..”

මට එකපාරටම කියවුණා. මගෙත් එක්ක ඇවිදගෙන ආපු චමිලුත් ගල් ගැහුණා වගේ එතනම නතර වුණා.

“ඔයා අපේ සෙන්ට්‍රල් එකට ලොකු ආඩම්බරයක් පුතා.. මං මුල ඉඳන්ම මැච් එක බලාගෙනයි හිටියෙ. කලුතර ටීම් එක පැත්තෙ තිබ්බ වික්ටරි එක ඔයා අපේ පැත්තට ඇදලම දුන්නා. වෙල්ඩන් පුතා.. වෙල්ඩන්.. කීප් ඉට් අප්..”

පිනා සර්ගෙන් ඔය වගේ වචන ටිකක් අහන්න නම් ආත්ම ගාණක් පෙරුම් පුරන්න ඕන.. අනික ප්‍රින්සිපල් සර් සම්පූර්ණයෙන්ම මැච් එක බැලුවා කියන්නෙ වැඩක්ම තමයි.. ගෝල් එක ගහලා මගේ හිතේ තිබිච්ච ෆිට් එක දෙගුණ තෙගුණ උනා ඒ වෙලාවෙ.

“තැන්ක්යූ සර්.. මැච් එක බලන්න සර් ආපු එක හුඟක් වටිනවා..”

“ඒක මගෙන් කෙරෙන්න ඕන යුතුකමක්.. එහෙනම් මං යනවා නවෝද්..”

“සර්..”

“ඔව් නවෝද්..”

“සර්ට හදිසියක් නැත්නම් මට ඩිංගක් කතා කරන්න පුළුවන්ද..?”

“ඔව් පුළුවන්.. ඇයි පුතා.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

“මේක ප්‍රශ්නයක්මත් නෙමෙයි සර්..”

මං කියන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව බලයා ගල් ගැහිල තවමත් බලන් ඉන්න හැටි මං දැක්කා.

“එහෙනම්..?”

“අපේ ඉස්කෝලෙ බෙල් එක ගහන හීන් බංඩා අංකල් ගැන..”

මෙච්චර වෙලා පපුව ඇතුලෙ තද කරගෙන හිටපු ලොකු හුස්මක්, එක හුස්මට බලයා පිට කරනවා මට ඇහුණා. එතන ඉඳලා මං නිවි සැනසිල්ලෙ ප්‍රින්සිපල් සර්ට, දැල්ලා අංකල් එක්ක වෙච්ච කතාබහයි, අපි කරන්න හිතන් ඉන්න දේ ගැනයි පැහැදිලි කරා. මං කොහොමටත් ප්‍රින්සිපල් සර්ව හම්බවෙන්න යන්න හිටියෙ. ඉතිං මේ මට අහම්බෙන් හම්බවෙලා තියෙන්නෙ කණා චාන්ස් එකක්නේ.. ලා අඳුරෙ උන්නා උනත් ප්‍රින්සිපල් සර්ගෙ මූණෙ මතුවෙච්ච අපූරු හිනාව මං ඊගාවට දැක්කා.

“හොඳ වැඩක් නවෝද්.. ඉස්තරම් සිතුවිල්ලක්.. මෙච්චර කාලෙකට කවුරුවත් කරල නෑ.. මගෙන් අපේ ඉස්කෝලෙන් වෙන්න ඕන හැම උදව්වක්ම මං කරන්නම්.. ඕල්ඩ් බොයිස් ඇසෝෂියේෂන් එකටත් මං මේක දැනුම් දෙන්නම්..”

“තැන්ක් යූ සර්..”

“මැච් එකේදි ඔයා පෙන්නපු දක්ෂතාවලට වැඩිය මේ වැඩේදි මං ඔයා ගැන සතුටු වෙනවා. ඔයා අපේ සෙන්ට්‍රල් එකට ලොකු ආඩම්බරයක්.. මං මේ ගැන එසෙම්බිලි එකේදි ළමයි දැනුවත් කරන්නම්.. ඒ වගේම ගුරුවරුත්..”

වැඩේ නිකං ඉන්ටර්නැෂනල් විදියටම පත්තු වෙන්නයි යන්නෙ.. මේක මේ තරම් සිරා විධියට ඇදිල යනව කියලා කවුද අප්පෙ හිතුවෙ.

“බෙකම්.. උඹ දඹුලුත් ගිහින් දඹුල්ලෙ මැච් එකත් බලලා ආව එහෙනම්..”

බලයා කිව්වෙ, මේ දවස්වල කොල්ලො අතරෙ ෆේමස්ම කතාව. තලගොයි වෙනුවට ක්‍රිකට් මැච් එක්ක දාගෙන.

“වැඩේ නැගලා යනව චමිල්.. අපිට තියෙන්නෙ ඉස්සරහට, මොනවද කරන්න තියෙන්නෙ කියල බලන්න..”

දැල්ලා අංකල් ගැන හිතට ආපු සංවේදීකම, මේ විදියට දැවැන්ත ක්‍රියාවලියක ඇරඹුමක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. ඉස්කෝලෙ ළමයිනුයි, සර්ලයි, මිස්ලයි මේකට ගාව ගත්තා කියන්නෙ මේක සුපිරිම සුපිරි වැඩක් වෙනවා. ඒකෙ ආයෙ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ.


පහුවෙනිදා ඉස්කෝලෙ පැය ගාණක් තිබ්බ කතාව තමයි බෙකම් ගහපු ගෝල් එකේ විස්තරේ. අර කලින් පාරක රාහුලත් එක්ක තිබ්බ මැච් එකේදි ගහපු ගෝල් වලට දෙවනි නෑ මේකත්. හැමෝගෙම අවධානෙ මං දිහාට යොමුවෙලා තිබ්බා. ඒකත් බලන් ගියහම මාර ගතියක් දැනෙන දෙයක් තමා. හරි නම් ජනප්‍රියතම ක්‍රීඩාව වෙච්චි ක්‍රිකට් ප්ලේ කරන කොල්ලො ටිකනේ ඉස්කෝලෙ ෆේමස් වෙන්න ඕන. ඒත් ඒ හැමෝම අභිබවලා බෙකම් ඉස්සරහින්ම හිටියා. සර්ලා, මිස්ලා උනත් අඳුනන්නෙ නැති නංගිලා මල්ලිලා උනත්, මගෙත් එක්ක හිනාවෙලා මොනාම හරි දෙයක් කියල ගියා.

“මෙහෙම ගියොත් නම් අපේ පන්තියට බෙකම්ව නැති වෙනවා කෙල්ලනේ.. උඹලට හූල්ලන්න තමයි වෙන්නෙ.. අඩු ගානෙ මෙතන එකියෙක්වත් නැද්ද අපේ බෙකම්ගෙ හිත දිනාගන්න පුළුවන් කෙල්ලෙක්..”

පැතුම්ගෙ තැන කල්හාරයා අරන් තිබුණා. මං වටපිට බැලුවත් පැතුම් පේන්නවත් හිටියෙ නෑ. මේකා නැති උනහම පන්තියත් එක්කම පාලුයි අප්පා.

“ඈ.. මං අහපු දේට උත්තරයක් දෙන්න බැරිද යකුනේ.. උඹලට ඒකටවත් ගටක් නැද්ද..?”

කල්හාර ඒ පාර, කෙල්ලො දිහාට හැරිලා මහ හයියෙන් ඇහුවා. ඒත් කවුරුවත් ඌට උත්තර දෙන්න ආවෙ නෑ.. මේකා මේ ගිරිය පුප්පං කෑගැහුවට මං ගැන ඉන්ටෙරෙස්ට් තියෙන එක කෙල්ලෙක්වත් මේ පංතියෙ නැතුව ඇති.

“හරි.. හරි.. උඹලා නාකි ගෑනු වගේ.. ළඟ තියෙන මැණික දිහා බල බල ඉඳපල්ලා.. පිට ඉස්කෝල වල කොහොම වෙතත්, අර කොමර්ස් ක්ලාස්වල දිල්රංගිම අපේ එකාව දාගනියි..”

“කල්හාරයා.. කටවහං හිටපං.. මගේ චරිතෙ ඝාතනය නොකර..”

වැඩේ කියන්නෙ, මං කිව්ව විතරයි කල්කාරයා උගේ සිල්ලර බඩු කඩේ වහගත්තා. ඒ එක්කම තමයි පැතුමා කලබලෙන් වගේ පංතියට කඩාගෙන පාත් වුනේ.

“අඩෝ.. මාර සීන් එකක් බං.. මැක්සා කතන්දරයක්..”

“මොකක්ද පැතුමා.. හොඳ දෙයක් නම් විතරක් කියපං..”

“උඹලට කියන්න මචංලා.. කකුල් දෙකේ හරකෙක් ඉපදිලලු..”

“මොකක්..?”

“න්.. නෑහ්..”

“ආ..නේ.. හරි පව් නේද..?”

“කොහෙද බං ලංකාවෙද..?”

පැතුමගෙ කතාවට හැමෝටම පුදුමයි. හැම එකාටම ඒ කතාව නැගලා ගියා.

“ඔව් බං.. කකුල් දෙකේ හරකෙක්.. මිනිස්සු වැල නොකැඩි යනවලු ඌව බලන්න.. අපිත් යමුද බං..”

පැතුමගෙ කතාවට හැමෝම අනුකූලතාවය දැක්වූවත් කල්හාරයා කිව්වෙ අමුතුම කතාවක්.

“ඕකෙ මොනව බලන්නද බං.. අපේ අක්කව බඳින්න එන කොල්ලව මං හොඳට දැකල තියෙනවා..”

ඒ කතාවට මුළු පංතියම බක බක ගාලා හිනාවෙන්න ගත්තා. එතකොටමයි මිසිස් ඇක්චුවලි අපේ පන්තියට වේරම්භ වාතය හමාගෙන ආව වගේ, ගලාගෙන ආවෙ.

“ගුඩ් මෝර්නින් මයි ඩියර් චිල්රන්.. ඇක්චුවලි.. යූ ආ ඒල්වේස් ලාෆින්.. අයි ලයික්.. අයි ලයික්..”

කොල්ලො කෙල්ලො ටික දඩ බඩ ගගා තම තමන්ගෙ පුටු සොයා යන අතරෙ, ජයමාන්න මිස් කච කචේ පටන් ගත්තා. උදේ පාන්දරම මොන නරි නාටකයක්ද මේ වෙන්න යන්නෙ..

“බෙකම්.. මාව සලිත වෙනවා මචං.. දැන් තියෙන්නෙ කඩ්ඩ නෙමෙයිනේ..”

තියෙන්නෙ ඉංශ්‍රීසි නෙමෙයි කියනෙක මාධව විතරක් නෙමෙයි අපි හැමෝමත් දැනන් හිටියා.. යකෝ මේ මනුස්සයා කොඩිවිනේ වගේ වැරදිලාද අපේ පන්තියට ආවෙ.

“මිස්..”

එකපාරටම නිරෝමි නැගිටිනවා මං දැක්කා. මේ කෙල්ල මෙනාව කරන්නද යන්නෙ.. මද කිපිච්ච දළ ඇත්තු ඉස්සරහ.

“ඉයර්ස්.. සෝ හව්.. මයි ලිට්ල් ප්‍රින්සස්.. වට්ස් යුවර් ප්‍රොබ්ලම්..”

“පැතුමා.. මිසිස් ඇක්චුවලි අපේ නිරෝමිට කුණුහරුපෙන් බැන්නා නේද..? බලහං ගුරුවරයෙක් විදියට කරන කියන දේවල්ද මේවා..?”

“හෙහ්.. හෙහ්.. උඹට පිස්සුද කල්හාර.. මිසිස් ඇක්චුවලි ඔය ඇහුවෙ උදේට ලිට්ල් ලයන් කේක් කෑවද කියලා..”

“කෑවද කියලා ඇහුවෙ නෑනෙ බං..?”

“ඇහුවා බං ඇහුවා.. ඇයි උඹට ඇහුනෙ නැද්ද සෝ හව් කියලා අහනවා..”

“සෝ හව් කියන්නෙ කෑවා කියනෙකටද පැතුමා..?”

කල්හාරගෙයි, පැතුමගෙයි දෙබස් ටික අහල මට මැරෙන්න හිනා. මං දෙන්නා මොන ඉංශ්‍රීසිද අප්පා දන්නෙ. මොනව උනත් තව ටික දවසකින් මුං දෙන්නා මිසිස් ඇක්චුවලිටත් කඩ්ඩ උගන්නයි.

“මිස්.. මේ වෙලාවට තියෙන්නෙ කෙමිස්ට්‍රි.. අපිට හේමන්ත සර් එන්න ඉන්නෙ..”

අපි හැමෝගෙම හිත්වල තිබ්බ දෙයක් නිරෝමි අවුලක් නැතුව කියලා දැම්මා.

“අයි නෝ.. චයිල්ඩ්.. අයි නෝ.. ඇක්චුවලි.. ටුඩේ මිස්ට හේමන්ත ඉස් ලීව්.. හී වෙන්ට් ටූ.. කොලොම්බෝ..”

“හත්තිලව්වේ බං.. මෙයාට අද මුළුමනින්ම ඉංශ්‍රීසි බඩ යනවා.. මොකෝ බෙකම් කරන්නෙ..?”

“ටිකක් පාඩම කරගෙන යන්න දීපං.. ඊට පස්සෙ ඔය කුණු ප්‍රශ්නයක් අහපං..”

මං පැතුමට උපදෙස් දුන්නා. හේමන්ත සර්ගෙ පීරියඩ් එකයි, ඉංශ්‍රීසි පීරියඩ් එකයි දෙකම මෙයා අරගෙන අද දවසම වැලේ වැල් නැති කරන්නයි හදන්නෙ.. හනේ මන්දා.. හිටගෙන වගේම වාඩිවෙලත් නින්ද යනවා.

“මිස්..”

විනාඩි විස්සක් විතර අමාරුවෙන් ඇඳිලා ගියාට පස්සෙ එකපාරටම පුටුව බරාස් ගාලා පස්සට ඇදලා පැතුම් නැගිට්ටා. ජයමාන්න මිස් පැතුමා දිහා හොඳ ඕනෑකමින් බලන් හිටියා. මේකා එන්න හදන්නෙ මොකාටද කියලා දැනගන්න වගේ.

“ඉබ්බගෙයි, කැස්බැවගෙයි වෙනස මොකක්ද මිස්..?”

ජයමාන්න මිස්ගෙ ඇස් දෙක කණ්නාඩියටත් උඩින් උඩ ගියා. ඇත්තනේ හත්තිලව්වෙ.. මේකා සත්ව විද්‍යාව පාඩමේදි අහන්න ඒන ප්‍රශ්නයක්නේ දැන් ඇහුවෙ..

“වට් ඉබ්බා.. කැස්බෑවා..?”

“රායිට් මිස්.. ඉබ්බා, කැස්බෑවා..”

පන්තියෙ හැමෝම බලන් හිටියෙ හිනාවෙන්න. ඇයි ඉතිං දන්නවනේ පැතුමා අහන්නෙ, ඔබද ඔටුවා.. මමද ඔටුවා වගේ නොහොඹිනා ප්‍රශ්න කියලා.. කොහොම හරි ටිකක් කල්පනා කරලා ජයමාන්න මිස් උත්තරේ දුන්නා. ඒ තමයි ඉබ්බගෙ ඇඟ පුරාම ලොකු කට්ටක් තියෙනවය කැස්බෑවට එහෙම එකක් නෑ කියලා.

“වැරදියි මිස්..”

පැතුම් එක හෙලාම උත්තරේ ප්‍රතික්ෂේප කරා. මිස්ටත් පුදුමයි.

“වට්.. ඊස් මයි ආන්සර් රෝන්..”

“බෙකම් මෙයා මොනවද කියන්නෙ ඇක්සලයක් ගැන..?”

“ඇක්සලයක් නෙමෙයි.. එයාගෙ උත්තරේ වැරදි ඇයි කියලා අහනවා..”

“ඕ.. වැරදි තමයි.. මිස්.. වැරදි තමයි.. ඉබ්බගෙයි, කැස්බෑවගෙයි වෙනස තමයි ඉබ්බට යතුරක් තියෙනවා.. ඉබ්බ ඉන්නෙ කොන්ඩි පට්ටම් එකක.. ඉබ්බට පණ නෑ.. නමුත් කැස්බෑවා මුහුදෙ ඉන්නෙ.. ඌ බිත්තර දානවා.. නමුත්..”

“ඔව් නමුත්..?”

“ඉබ්බා දාන බිත්තරේකුත් නෑ.. ඌට ඕන යතුරක් විතරයි..”

පන්තියෙ ඇතුළෙන් ලාවට හිනා සද්ද බද්ද එහෙන් මෙහෙන් ඇහුනත් ජයමාන්න මිස් එවා ගණන් ගත්තෙ නෑ.. පුංචි පහේ හිනාවක් ඒ තාරුණ්‍යය ගෙවිල යමින් තිබ්බ මූණ මැදට ඇවිල්ලා තිබුණා.

“ඇක්චුවලි.. අයි කැන් ස්පීක් ඉන් සිංහල.. ඒක හින්ද මං සිංහලෙන් කතා කරන්නම්.. මොකද ඔයාලත් කැමති මං සිංහලෙන් කතා කරනවටනේ.. මේ පන්තියට හැමදාම ආවහම මං මොනවම හරි ඉගෙන ගන්නවා. ඒ ඔයාලගෙන්.. නමුත් මම එන්නෙ ඔයාලට උගන්නන්න.. ඒත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.. ඔය පැතුම් අහපු ප්‍රශ්නෙම මට දැන් වෙන කාගෙන් හරි අහලා එයා දෙන උත්තරේ අනුව හොඳට හිනාවෙන්න පුළුවන්.. මේ ටූවෙල් සී ක්ලාස් එකට මං කැමතියි.. ඒ වගේම ඔයාලටත්.. හැමදාම මොනවම හරි අලුත් දෙයක් සිද්ධ වෙනවනේ.. ඔයාලා හරිම ප්‍රියමනාප ළමයි.. නමුත්..”

නිවි සැනසිල්ලෙ කියාගෙන කියාගනෙ ගිහිල්ලා ජයමාන්න මිස් කතාව නැවැත්තුවා. මෙච්චර දුරකට කතාව අපිට පක්ෂපාතියි.. අහන් ඉන්න ආසයි.. ඒත් මිසිස් ඇක්චුවලිගෙ නමුත් එකෙන් පස්සෙ කොහොම වේවිද මංදා.. හැම එකාම කටවල් ඇරගෙන බලන් හිටියෙ ඒ ගැන අහන්න.

“නමුත් ඔයාලා ඉංශ්‍රීසිවලටත් අවධානෙ යොමු කරන්න. මගේ දැනුමින් අරගන්න තියෙන දෙයක් ඔයාලා අරගන්න.. ඉංශ්‍රීසි කියන දේ හරිම වැදගත්. ඒක අමාරු විෂයක් නෙමෙයි. ඔයාලගෙ ඉදිරි අනාගතේට, ඔයාලගෙ දියුණුවට ඒක හරියට බලපානවා.. ඒ වගේම වැදගත් වෙනවා..”

පීරියඩ් එක ඉවර වෙනකල්ම ජයමාන්න මිස්, ඉංශ්‍රීසි වල තියෙන වැදගත්කම, වටිනාකම අකුරින් අකුර කියල දුන්නා. පැතුමා උනත්, එතැනින් පස්සෙ එක අවුංසයක්වත් මිස්ට බාධා කරන්න ගියේ නෑ. කොහොම නමුත්, කෑගගහ දේවල් කේන්තියෙන් කියල දෙනවට වැඩිය පන්තියෙ හැමෝටම මිස්ගෙ කතාව බොක්කටම වැදිලා තිබුණා.

“මීට පස්සෙ බලපං බෙකම්.. මිස් දෙන ඩික්ටේෂන් ඉස්සෙල්ලම දෙන්නෙ මම.. ආයෙ දෙකක් නෑ.. කණ අතගාලා කණ රත්වෙන්න දුන්නා වගේ මිස්ගෙ කතාව මැක්සා මචං.. ලොවෙත් නෑ ඔහොම ගුරුවරු..”

පන්තියෙ හැමෝම පැතුමගෙ කතාව අනුමත කළා. ඔව්.. ඉතිං මෙතන ඉඳලා අපිට බලාගන්න බැරියෑ.. තරගෙට ඩික්ටේෂන් දෙන්න මේ පන්තියෙ බුවාලා බුවීලා ටික පොර කන හැටි.


සති අන්තෙ උදාවෙච්චි හින්දා, මට නින්ද ගියේ සෑහෙන තරමෙ ෆිට් එහෙකින්. හෙටයි අනිද්දයි ඉස්කෝලෙ නෑ. ඇයි සෙනසුරාදයි ඉරිදයිනේ.. ටික්ක දවල් වෙනකල් පැලෙනකන් නිදාගතහැකි. ඒත් පැලෙනකල් නිදාගැනිල්ල කෙසේ වෙතත් නින්ද යාගෙනම එද්දි වගේ ගෙදර ටෙලිෆෝන් එක වදිනවා මට ඇහුණා. මොකාද අප්පා මේ රෑ ජාමෙ දුරකථන ඇමතුම් දෙන ඔඩ්ඩි මස්සිනා. මං වෙලාව බැලුවා. දොළහට ළඟයි. මොකෙක් හරි නින්ද නොයෑමේ රෝගයකින් පෙළෙන අපතයෙක්. ඒකෙ ආයෙ සංස්කරණය කළ යුතු කිසිවක් නෑ. මං ඩිංගක් වෙලා අහන් හිටියා. අම්මා හරි තාත්තා හරි ඇවිත් කෝල් එක ගනීවි කියලා.. මොන.... එයාලට වගේ වගක් නෑ.. පලු පැලෙන්න බුදි. එක පාරක් රින්ගිස් ගිහිල්ලා ඉවර වුණා. මෙන්න යකෝ ආයෙත් මේ හොරණෑව වදින්න ගත්තා.

“හෙලෝ..”

නිදිමතේ මම රිසිවරේ කණට තද කරගත්තා.

“බෙකම් මං..”

එහා පැත්තෙ හිටියෙ පැතුම්.. දවස පුරා මගෙත්තෙක්ක ඉඳලත් මූට තවත් කතා කරන්න තරම් දේවල් ඉතුරු වෙලා තියෙනවද අප්පා.

“මොකද බං මේ රෑ ජාමේ.. මොකෝ උඹට නින්ද යන්නැද්ද..?”

“නින්ද නම් යනවා..”

“එහෙනම් කතා කරේ..?”

“මං මේ නිකං කතා කරේ..”

“නිකං..? උඹට පිස්සුද යකෝ..”

“තරහා ගන්නෙපා බෙකම්.. මහ රෑ කතා කරනකොට ටැලිෆෝන් ගාස්තු අඩුයිනේ..”

“අම්මපා පැතුමා.. උඹ මේ අතට අහුවෙන හරියක හිටියෙ නැත්තෙ උඹේ ජන්මාන්තර වාසනාවකට.. නැත්තං මං තෝව යටියන්තොට යවලයි පස්ස බලන්නෙ..”

“උඹට කේන්ති ගියාද බෙකම්..?”

“මගෙන් කුණුහබ්බ අහගන්නෙපා යකෝ.. මොන මල අඩේටද තෝ මේ මහ රෑ කතා කරේ..?”

“හපොයි.. දළ ඇතෙක් කණ ගාව ඉඳන් කුංච නාද කරා වගේ.. ඩිංගක් හෙමින් කතා කරපංකො.. මාත් මනුස්සයෙක්නේ..”

“යකෝ අමනුස්සයො.. මට දොයිමතයි.. මං මේක තියනවා.. තෝ ඕන කුදයක් ගහගනිං..”

“හා.. හා.. බෙකම් ඔය තරම් කෝප ගන්ටෙපා.. හෙට අපේ හමුවීමේ වෙලාව මට ඩිංගක් කියනවද..?”

“මොන හමුවීමද..?”

“ඇයි හත්වලාමේ හෙට අපි යූ.සී ග්‍රවුන්ඩ් යන්නැද්ද..? අර ස්වභාවික කුසලතා සපිරි හැඩකාර, දඟකාර, වදකාර ළලනාව දුවනවා බලන්න.. උඹ ඒ සත්තලං මොහොත මට නොපෙන්වා ඉන්නද හදන්නෙ..?”

“එකොළහට විතර වරෙන්.. වදකාරයා..”

මං රිසිවර් එක හයියෙන් තිබ්බා.. මොන අවමගුලක්ද.. කොහොම හරි එතන ඉඳලා පැයක්, දෙකක් විතර යනකල්මට නින්ද ගියේ නෑ.. සමින්දි අක්කගෙ ආඩම්බරකාර මූණ මට හැම පැත්තෙන්ම මැවිලා පෙනුණා. මොනව කරලවත් ඒ ආඩම්බරේ බස්සන්න බැරි හැටි. හැබැයි ඉතිං හෙට දවාලට නම් උන්දගෙ ආඩම්බරේ කකුල් දෙකටම බහිනවා කියනෙක මට බුදු ෂුවර්.. මොනව උනත් තවත් පැත්තකින් මගේ හිතට සැකයක් තිබුණා, ඒ තමයි කෙල්ල රවුම් සීය දුවයිද කියනෙක. එහෙම උනොත්, සමින්දි අවුල්වෙනවා දැකලා ලබා ගන්න මානසික සහනය බෙකම්ට නැතිවෙනවා.

හෙට සමින්දි කොහොම එයිද දන්නෑ. සමහර විට ට්‍රැක් කිට් එක ඇඳලා එයි. එයාගෙ තද නිල්පාට බොටම් එකයි, ඉස්කෝලෙ නම ගහපු සුදුයි, නිලුයි මික්ස් වෙච්ච ටී එකයි, සුපුරුදු විදියටම ඇස් දෙක ළඟන්ම බලා ගන්න පුළුවන් වෙයි. තව පැය කීයද..? මං ඇස් දෙක තද කරලා පියාගන්න උතාසහ කරා. ඒ එක්කම තමයි ආයෙත් ෆෝන් එක රින්ග් වෙනව ඇහුණෙ. ඒ පාර මොකෙක්ද හත්තිලව්වෙ..? දැන් ඩිංගකට කලින් එක වහුකුණෙක් මගේ නින්ද කඩල දාලා ගියා විතරයි. තාම නින්ද ආවෙ නෑ.. කොකටත් කියලා මං ෆෝන් එක ඉස්සුවා.

“බෙකම්..”

දෙයි හාමුදුරුවනේ.. ආයෙත් පැතුමා.. මූට මොන මළ යකෙක් වැහිලද අප්පා.. මට දැන් මූව මරතැහැකි.

“මොකෝ යකෝ..?”

“කේන්ති ගන්නෙපා බං.. අර්ශස් අමාරුව වැඩිවෙයි..”

“උඹට ඒ මගුලෙන් වැඩක් නෑ.. මොකද කතා කරේ..?”

“උඹට ගුඩ් නයිට් කියන්න..”

“මොකක්..?”

“කලින් ගුඩ් නයිට් කියන්න බැරි උනානේ.. ඒකයි ආයෙම ගත්තෙ..”

අනේ ඇත්තට... මට මූව මෙතනම යටියන්තොට යවතෑකි.. එනවා මේ පට්ට රෑ ගුඩ් නයිට් කියන්න..

“අනේ බෙකම් ගුඩ් නයිට් කියපං.. නැත්නම් මට ආයෙ ගන්න වෙයි  ගුඩ් මෝනිං කියන්න..”

ඒකත් ඇත්ත.. හෙට දවස උදාවෙන්නත් තව විනාඩි ගාණයි තියෙන්නෙ.. මූ ඊට පස්සෙ ගනියි ගුඩ් මෝනිං කියන්න.

“ගුඩ් නයිට්..”

“බෑ.. බෑ.. බෑ.. උඹ ඒක තරහෙන් කිව්වෙ.. මගේ හොඳ උක්කු අම්මනේ.. ලයාන්විතව කියපං..”

“පැතුමා.. මගේ යකා ඇවිස්සිලා ඉන්නෙ.. උඹට මං දෙන්නෙ ලය විරේකයක්.. තියපිය ෆෝන් එක..”

තවත් මුගෙත්තෙක්ක කතා කරොත්, මට කොහිල කොටුවක බහින්න වෙනවා. මං රිසිවරේ පැත්තකින් තියලා ඇඳට පැන ගත්තා. දැන් ඉතිං ගනියකො බලන්න.


No comments:

Post a Comment