Monday, November 5, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |


කොහොමින් කොහොම හරි අපි බාලිකාවට එනකොට පැය තුනක් විතර පරක්කු වෙලා. අපේ ඉස්කෝලෙන් අපිද කොහෙද අන්තිමට ඇවිත් තියෙන්නෙ. අලි පත සයිස් තාප්පෙට පිටින් පේන තට්ටු පිට තට්ටු ගහල තියෙන ගොඩනැගිලියි, ඈතින් ඈතට කූඹි වගේ පේන ගෑණු ළමයින්ව එළියෙන් දැක්කට, මං ජීවිතේට බාලිකාව ඇතුළට නම් ගිහින් නෑ. අර අලිපත යකඩ ගේට්ටුව අයිනෙ තිබ්බ පුංචි යකඩ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ අපි දැක්කෙ, හරිම සිරියාවන්ත දර්ශනයක්. දැකපු දැකපු හැමදේකම තිබ්බෙ පුදුම පිළිවෙලක්.

මාරයි බෙකම්.. මගේ ඇඟ කිලිපොලා යනවා... මේ තරම් ගෑණු ළමයි කන්දරාවක්.. හයියෝ.. කාව තෝරගන්නද මංදා.. මගේ පපුව වාවන්නෑ..


පැතුම්.. උඹට එකක් කියන්නම්.. කට පරිස්සම් කරගෙන ඉඳපං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි..  තේරුණාද.. මොනව හරි අලකලංචියක් වුණොත් සායම යන්නෙ උඹගෙ නෙමෙයි අපේ ඉස්කෝලෙ..

පිස්සුද බෙකම්.. කොටන කුකුළට කොයි කොටුවත් එකයි..  මේ වගේ සිරා චිකන් ෆාම් එකකට ඇවිල්ලා උඹ කියන්නෙ මට සන්සුන් වෙන්නද..?

ඒ පාර ඇම්ඩත්, පැතුම්ට එක්කහු වුණා. මුං දෙන්නා ද්විපාර්ශවික සම්බන්ධතාවයකට ආව කියන්නෙ එතන අනිවා මලගෙදරක්.

නාලක.. මොන ජල්තර් වැඩේ එළියෙ කරත් මෙතන නම් කරන්නෙපා.. කරුණාකරලා කාඩ් එක ආරක්ෂා කරගනිං.. තව ඩිංග වෙලාවයි ඇත්තෙ.. එක්සිබිෂන් එක බැලුවද අපි ගියා..

මං බලන් ඉන්දෙද්දිම, ඇම්ඩගෙ මූණට ඌ උපත්තියෙන්ම අරගෙන ආපු කුණු හිනාව ආවා. මූත් එක්ක එකට ජීවත් වෙනවා කියන්නෙ ලාවා ගලන ගිනිකන්දක් උඩ ඉන්නව වගේ තමයි. සියලු සකල විධ අනතුරුම බලාපොරොත්තුවෙන් තමයි ඉන්න වෙන්නෙ.

ඔ.. ඔයාලා සෙන්ට්‍රල් එකේ නේද..?

ගේට්ටුවෙන් ඇතුල්වෙලා ඩිංග දුරයි යන්න හම්බ උනේ.. ජූනියර් ප්‍රිෆෙක්ට් බැජ් ගහගත්තු ගෑනු ළමයි පස්දෙනෙක් අපි ළඟට ආවා. අපරාධෙ කියන්න බෑ සිරියාව නම් ඉස්තරම්. බුරුමෙ නම් කොහොමද දන්නෑ.

ඔව්.. අපේ ආවේ..?

එක්සිබිෂන් එක බලන්නනේ..

පැතුම් කට අරින්න හැදුවා විතරයි අර ජූනියර් ප්‍රිෙෆක්ට් ගර්ල් කෙනෙක් සට සට ගාලා කතා කරා. මං දැන් හූනා කිව්ව වගේ කියන්නම්, පැතුම් ලව්ඩ්ස්පීකරේ අරිනවා කියලා.

නෑ..

එහෙනම්..?

ඔයාලව බලන්න..

කටේ තොලේ නොගෑවී පැතුම් කිව්වා. අර ළමයින්ට ටිකක් ලැජ්ජා හිතුණා වගේ. ඒත් එයාලගෙන් කෙනෙක් කතා කරා.

බැලුවට කමක් නෑ.. මිස්ලට අහු නොවෙන්න. හැබැයි එක්සිබිෂන් එක නම් තියෙන්නෙ අර ඩී හෝල් එකේ.. අපි හිතනවා ඔයාලට ඒකෙන් දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා..

මොකක්ද බෙකම් මුං සම්බා හාල් වගයක් ගන්න පුළුවන් කියන්නෙ.. අපිට බයියන් කවන්නද හදන්නෙ..?

ඇම්ඩා මගේ කණට කරල අහපු එකෙන්, තව පොඩ්ඩෙන් මගේ හිනාව එළියට පනිනවා. කෑ නොගහා හිටපං කියල කියන්න මං උගේ කකුල පෑගුවා.

අපි යමු..

කෙල්ලො පස්දෙනා අපි ගාවින් ඈත් වෙද්දි අපි තුන්දෙනා ඩී හෝල් එක පැත්තට ආවා.

බෙකම්..?

ම්..

උඹේ පරම සැතිරිය නෑනෙ බං.. පේන්නවත්..? මල්වර වෙලාවත්ද දන්නෑ..

මොකක්..?

ඔව්.. ජම්බු ගහෙන් වැටිලද දන්නෑ බං..

කවුරු ගැනද ඇම්ඩා උඹ ඔය කියන්නෙ..?

වෙන කවුරුත් නෙමේ සමින්දි අක්කා ගැන යකෝ..

උඹ හිතන්නෙ සමින්දි අක්කා තාම ජම්බු ගහෙන් වැටිලා නෑ කියලද..? ඇයි යකෝ.. ඒකිගෙ රූප සොබාව දිහා බලපංකො.. තිසර ලැම.. යෝධ පුළුලුකුල.. මනමත් කරන සිනහව.. ඉඹින්නට හිතෙන නොයිදුල් රතදර..

ඒ පාර පැතුම්ට සාහිත්‍ය බඩයන්න පටන්ගත්තා.. මොනව උනත් ඌ කියපු හැමදේම හරි.. එක බිංදුවක අඩුපාඩුවක්වත් නෑ. ඒත් සමින්දි අක්කගෙ රාජ ඌෂ්නෙනේ දිරවගන්න අමාරු. මහා අලි පඩත්තල ගෑනු ළමයෙක්නෙ. ඇම්ඩටයි, පැතුමටයි සමින්දි අක්කව දැන් මතක් උනාට මට එයාව මතක් වුනේ අපේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් පිට වෙනකොටමයි. ඒත් මං, සෙන්ට්‍රල් එකේ ඉන්න ලොකුම අපතයො දෙන්නට කිව්වෙ වෙනින්ම කතන්දරයක්.

උඹල හිතුවෙ, මං මෙතෙන්ට ආවෙ, ඒකි ජම්බු ගහෙන් වැටිල ද කියලා බලන්නද..? ඒකි ජම්බු ගහෙන් නමෛයි පොල් ගහකින් වැටුණත් මට කමක් නෑ..

හරි.. හරි.. බෙකම්.. සමාව භාජනේක දාපං.. අපි උඹ ගැන හිතල එහෙම කිව්වෙ නෑ.. කොහොම හරි තව රුපියල් දෙදාහක් විතර ඒකිගෙන් කඩා ගත්තොත් කොහොමද..? ඒකි සල්ලි වලට ඩිංගක්වත් ලොස් නෑනෙ බං..

ඇම්ඩා ඒපාර අමුතුම කතාවක් කිව්වා. මූ හැබැයි කිසිම දෙයක් නිකං කියන්නෑ.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා..

නාලක මේක සෙන්ට්‍රල් එක නෙමෙයි..

ඇම්ඩට, අපේ ඉස්කෝලෙ, යූ.සී ග්‍රවුන්ඩ් එක, මහපාර විතරක් නෙමේ බාලිකාවෙත් ඕනම තැනක් ඔට්ටුයි කියන්න මං දැනන් හිටියා. ඒකයි මට එහෙම කියවුනේ.

හැබෑටම බෙකම්, අපිට ඒකිව හම්බ උනේම නෑ නේද එදා බෙට් එක පැරදුනාට පස්සෙ..

චයිනීස් ෆුඩ් සෙන්ටර් එකේ ආහාර වේලෙන් පස්සෙ සති දෙක තුනක් විතර ඇඳිලා ගියා තමයි. ඒත් සමින්දි අක්කවත්, ඉන්කිවත් මං ඇහැටවත් දැක්කෙ නෑ. මගේ හිතේ මැවිල තිබ්බෙ එයා එදා ඇඳගෙන ආපු කලු පාට ලොකු ඩොට් තියෙන ගවුමත් එක්ක එයා හිටපු අපූරුව විතරයි.

පැරදිච්ච දුක උහුලගන්න බැරිව ඒකි ඉස්පිරිතාලෙකවත්ද දන්නෑ.. ළඟ තියෙන රුපියල් දාහට දෙදාහට කෙල උනහම කෙල්ලො එහෙම මැන්ටලි වැටෙනවා..

ඇම්ඩා කියන්නෙම අප්සට් කතා. මං මුකුත් නොකියම ඩී හෝල් එකට ඇතුල් වුණා. තැනින් තැන ළමයි පිරිලා හිටියත්, බාලිකාවෙ තාරකා විද්‍යා සංගමයෙ තරු පිරි අහස් වියනට අපේ ඇස් කෙලින්ම ඇදිලා ගියා. රෑ අහසෙ ග්‍රහලෝක උල්කාපාත, තරු, වල්ගා තරු, ඇස්ට්‍රොයිඩ ආදී නානාප්‍රකාර දේවල් අපි ඉස්සරහ සජීවීව වගේ දර්ශනේ වුණා.

මැක්සා බෙකම්.. මෙච්චර හරියක් මේ කෙල්ලො ටික කොහොම කරලද අප්පෙ..

ග්‍රහලෝකයක් වගේ අපූරුවට හදල තිබ්බ තරු පිරි අහස් වියන දැකල පැතුමගෙන් කාලෙකට පස්සෙ අව්‍යාජ වචන ටිකක් පිට උනා. මං වටපිට බැලුවෙ නිකමට හරි දන්න අඳුනන මනුස්සයෙක් ඉන්නවද බලන්න. ඒත් විහිලුවටවත් දැකල පුරුදු එකෙක් හිටියෙ නෑ. අඩුගානෙ ඉන්කිට මැසේජ් එකක්වත් තියල ආව නම් මෙහෙම පෝලිම් ගානෙ බඩගාන්න වෙන්නෑනෙ.

නිරෝමිල, නෙහාරලවත් පේන්න නෑනෙ බං..

නිරෝමිල නෙමෙයි පැතුම්.. කෝ මෙතන හිටපු ඇම්ඩා..?

ඒ වෙනකොට වෙන ඉස්කෝලවල කොල්ලො කෙල්ලොන්ගෙන් තරු පිරි අහස් වියන පිරිලා තිබුණා. ඒ අතරෙ අපි තුන්දෙනා එක පේලියට එකා පිටිපස්සෙ එකා ඉන්න විදියටයි හිටියෙ. කොටින්ම ඇම්ඩා හිටියෙ පැතුමට පිටිප්සසෙ. මං ඉස්සරහම.

මෙතන හිටියනේ බෙකම්.. අම්මප... මේ දැන් හිටියා.. මේකා කොහෙද හත්වලාමෙ ගියේ..?

පැතුමා.. වටපිට බලපං.. ඕකගෙ නමට වැඩිය ඉස්තරම් වැඩ ඕකා කරන්නෙ.. මොන අවමගුලක් කරයිද දන්නෑ.. ඇත්තමයි මූත්තෙක්ක ගමන් බිමන් එනවට අපිට තලන්න ඕන..

ඒ වෙනකොට සුදු පාට ලොකු ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ටරයක් ගහලා ස්ලයිඩ්ස් වලින්, බාලිකාවෙ කෙල්ලො තුන්දෙනෙක් හෙන එක්ස්ප්ලේන් එකක් අපට ඉස්සරහ ඉන්න ගැත්තන්ට කරනවා. ඒ එක්කමයි මං දැක්කෙ, ඩී හෝල් එක කෙලවරේ ඉඳන් හැමදේ දිහාම ඕනකමින් බලන් ඉන්න සමින්දි අක්කව. මෙච්චර වෙලා මං එයාව දැක්කෙ නැති එකනේ වැඩේ.

බෙකම්..

ම්..?

අපේ ෆ්‍රයිඩ් රයිස් එක ඉන්නවා..

එහෙනම් පැතුමගෙ බයිනොකියුලර් ඇස් දෙකත් අක්කව දැකලා.

ඉතිං..?

අ.. අන්න.. අන්න එයා අපිව දැක්කා..

කෑ නොඟහ හිටපං මෙතන කච කචේ නැතුව..

එයා අපිව පේළියෙ ඉස්සරහටම ගනියි නේද බෙකම්..?

මගෙන් කණ පලාගන්නැතුව ඉඳපං.. එයාට ඒ වගේ අමාරුවක් නෑ..

හේනම්..? ඇයි එයා වියදම් කරලා අපිට කෑම අරන් දුන්නෙ..?

අම්මපා..... මූත් එක්ක කතා කරනවට වැඩිය හොදයි තරු පිරි අහස් වියන යට මං බිහිරි උනා නම්. මොන තරම් අමන වදකාරයෙක්ද මේ..? දාඩිය පොල්ලත් ඕසෙට දාගෙන එද්දි, තවත් විනාඩි විස්සක් විතර යද්දි, පෝලිම දිගේම මායි පැතුමයි ප්‍රොජෙක්ටරේ ළඟට ගියා. ස්ලයිඩ්ස් වලින් සෙනසුරුගෙ වළලු ටිකයි, සෙනසුරාවයි යස අපූරුවට ස්ක්‍රීන් එකේ වෛවර්ණව වැටිලා තිබුණා. ඒ මල්ටි කලර් රූප අතිරන් මම බැලුවෙ සමින්දි අක්කා දිහා. මහා ආඩම්බරකමකින් මූණ පුරවගෙන එයා සැරින් සැරේට අපි දිහා බලනව මං දැක්කා. ඒත් ඒ සුදු මූණෙ එක හිනා බිංදුවක්වත් නෑ. මොනව උනත් හිතේ කේන්තිය නම් මැස්කා විදියටම ඇති. ඇයි දෙයියනේ දෙපාරකට පන්දාහක්ම ඉවරනේ.

බලහංකො බෙකම්.. තරහකාරයා වගේ ඉන්න හැටි..

ඒකි අපිත්තෙක්ක කොහොමත් ඔරොප්පුනේ පැතුමා..

හරියට නිකං බාලිකාව ඒකිගෙ  වගේනේ..

ඔව්නේ බං.. හෙඩ් ප්‍රිෆෙක්ට් ඒකිනේ..

මොන වහුකුණා ඒකිට ඔය තානාන්තරේ දුන්නද මංදා.. මට නම් හිතෙන්නෙ බෙකම්..

ඔව්..

ඕකිව සිලෙක්ට් කරපු ඈයොත් වාඩිවෙන්නෙ, මොලේ බිමට වඳින්න..

මට බකස් ගාලා හිනාවක් ගියා. ළඟ හිටපු එවුනුත් එකපාරටම මං දිහා බලද්දි, සමින්දි අක්කා මූනත් නරක් කරගෙන මං දිහා බැලුවා. ඇයි යකෝ අපිට හිනාවෙන්නවත් බැරිද..? අපි හිටපු තැනින් එහාට තිබ්බෙ, තනිකරම ප්‍රස්ථාර ලෝකයක්. මට ඒක බලන්න හිතුනෙ නෑ. මං පෝළිමෙන් එළියට පැන්නා. ්එ පනිද්දි මගේ ඔලුවෙ තිබ්බෙ එක ප්‍රශ්නයයි. ඒ තමයි, මගේ ගණනුන් පෙන්නල සමින්දිත් එක්ක කතා නොකරම මෙතනින් යනවද, නැත්නම් එයා ළඟට ගිහින් මනුස්සකමට කතා කරනවද කියලා.

බෙකම්..

මොකද බං.. මල වදේ..

අර ආඩම්බරකාරිව ඉඹපංකො.. මේ හුදී ජනතාවට පේන්න..

මොකක්..?

ඔව්.. එතකොටවත් සමින්දි අක්කගෙ ඔය නළලෙ තියෙන එක බිමට වැටෙයි..

නළලෙ තියෙන එක මොකක්ද කියලා මං දැනන් හිටියෙ නෑ.. ඒක පට්ට කුණු හරුපයක්නේ..

ප්‍රොජෙක්ටරේ ගාවින් කෙලින්ම පාර හදලා තිබ්බෙ පිටවීමේ දොරටුවට. තවත් ටිකක් එතන ඉන්න ඕන නම් දකුණු පැත්තට හැරිලා අර චාට් තිබ්බ දිහාට යන්න තිබ්බා. පිටවීමේ දොරටුවට ඩිංගක් කිට්ටුවට සමින්දි අක්කා එන හැටි මං දැක්කා. එයා සමහර විට හිතුවද දන්නෑ මගේ ආඩම්බරකමට මාත් කතා නොකරම යයි කියලා.

ප්‍රදර්ශනේ බලන්නද ආවෙ..?

උඩ ඉඳන් පල්ලෙහාට මාව හොඳට නිරීක්ශණය කරන ගමන් සමින්දි අක්කා මගෙන් ඇහුවා. ඒකත් මහාම මහ ආඩම්බරකමකින්. අනේ ඇත්තටම මේ දාන බොරු ගණන් වලට නම්, අර පැතුමා කිව්ව වගේ වැඩක් කරලයි පස්ස බලන්න ඕන.

නෑ.. මේ සීදේවි ගෑණු ළමයි ටික බලලා යන්න..

සමින්දි අක්කගෙ මූණෙන් ඇස් අහකට ගන්නැතුව මං කිව්වා. එයාගෙ ඇස් දෙක ඩිංගක් පුංචි වුණා.

ඒක මං දන්නවා.. සෙන්ට්‍රල් එකේ අයට තියෙන්නෙ ඒ පිස්සුව කියලා..

කෙල්ල මාව එකෙන්ම කපලා දැම්මා කියලා එයා හිතන්න ඇති. ඒත් ඔයාට වැරදිලා සමින්දි අක්කෙ. මේ බෙකම්, එහෙම ලේසියෙන් එකෙන්ම යන කොල්ලෙක් නෙමෙයි.

පිස්සුව..?

ඔව්.. ගෑණු ළමයින්ව දකින්න..

කටත් අමුතු විදියකට පැත්තකට ඇද කරන ගමන් සමින්දි අක්කා ලතාවකට කිව්වා. මම හිතන්නෙ කට ඇතුළෙ බබල්ගම් එකක්වත් තියෙන්න ඇති. අපේ බලයා හිටියා නම් කියයි, අනේ මට ඒ කට ඇතුළෙ තියෙන බබල්ගම් එක වෙන්න තිබුණා නම් කියලා. ඔව් ඉතිං.. කොයි තරම් සීදේවි උනත් ඊට පස්සෙ බැරියෑ ඒ හක්කෙන් මේ හක්කට.. ආයෙත් අර හක්කට.. ආයෙත් ඉස්සරහ කෘන්තකයා ගාවට, ඊගාවට රදනකයා ගාවට, පස්සෙ චඤාර්වක ගාවට ඇවිත් රහක් තිබ්බොත් පුරශ්චාර්වක ළඟටත් ගිහින් අන්තිමට, රතු පාට තොල්පෙති උඩින් බැලුමක් වගේ පිම්බිලා ඩෝං ගාලා විනාස වෙන්න.. හනේ මට නම් ඕන්නෑ..

ඔය කිව්ව කතාවෙ, ඔයා දන්නැති දෙයක් තියෙනවා..

මොකක්ද..?

ඇතුළෙ, කොල්ලො කෙල්ලොන්ගෙ සද්ද බද්ද ඩිංගක් විතර වැඩි වගේ හින්දද කොහෙද සමින්දි අක්කා මං ඉස්සරහට නැඹුරු උනා. දිග කොණ්ඩ කරලක් එයාගෙ පපුව ඉස්සරහට වැටුණත් එයා වම් අතින් ඒක ආයෙත් පිට පැත්තට දාගත්තා.

සෙන්ට්‍රල් එකේ අපි නම් හැමදාම උදේට හිස්බඩම වගේ ලස්සන ගෑනු ළමයි ඕන තරම් දකිනවා.. ඒකට ආයෙ මෙහේ එන්න ඕන නෑ..

එහෙනම් මේ ඇවිල්ල ඉන්නෙ..?

සෙන්ට්‍රල් එකේ ගෑණු ළමයි කොහොමත් ලස්සනයිනේ.. සුන්දරයිනේ.. පිවිතුරුයිනේ.. ඒත් ඉතිං මේ බාලිකාවෙ ගෑණු ළමයින්ගෙ අලි උනනේ.. අන්න ඒ අලි උණට සම්බන්ධ වෛරසේ මොකක්ද කියල බලන්නයි අපි ආවෙ..

සමින්දි අක්කගෙ මූණ ඇඳවෙලා, මැලවිලා ගියා. එයා එයාගෙ දබරැගිල්ලෙනුයි, මහපටගිල්ලෙනුයි හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එක තද කරලා පිරිමදින්න ගත්තා. ඊට පස්සෙ ඒ බැජ් එක මට පේන්නද කොහෙද ටිකක් ඉස්සරහට කරා.

අ.. අපේ ළමයින්ට අලි උනක් නෑ..

හැමෝටම නෑ.. කීප දෙනෙකුට විතරයි.. හැබැයි ඉතිං හෙඩ් ප්‍රිෆෙක්ට් නෝනා, අපි හිස්බඩට අනන්තවත් ගෑණු ළමයි දැක්කට, ඔයාලගෙ හිස් බඩට උදේ පාන්දරම දකින්න එකම එක කොලු පරාණයක්වත් නෑනෙ.. මාර දුකයි අප්පා.. විහිලුවටවත් නෑනෙ නේද..?

සමින්දිට එහෙම කියන ගමන් මං පැතුමා දිහා බැලුවා. ඌට වැඩේ නැගලම යනවා. කොටින්ම ඌ හෙණ ෆන් එකක් ගන්නවා. මේ අප්‍රසන්න කතන්දරේ අහගෙන ඉඳලා.

මො.. මොකක්ද ඔයා කිව්වෙ..? ඔ.. ඔයා දැ.. දැනගන්න මං.. මං ඔයාට කරන වැඩේ..? මොකක්ද ඔ.. ඔයාගෙ නම කිව්වෙ..?

හප්පට සිරි.. කෝමද පුතේ ඒ කතන්දරේ..? කෙල්ලට මගේ නමත් අමතක වෙලා.. හනේ.. හනේ.. මේ කුණු සංසාරේ මොලේ විකාර උනහම සිද්ධවෙන දේවල් වල හැටි.. පව් අප්පා.

මගේ නම ඔයාට මතක නැද්ද..?

න්.. නෑහ්.. මතක තියාගන්න ඔයාගෙ නම නමක්යෑ..

ඔයා දෙපාරක්ම බෙට් කරලා පරාද උනාට පස්සෙ මං හිතන්නෙ ඔයාට නම අමතක වෙන්නැති. ඒක හින්ද මං ඔයාට චුට්ටක් මතක් කරන්නම්.. විලි ලැජ්ජාවක් නැතුවම ඔයා අපිට රුපියල් පන්දාහක්ම උනේ.. ඈ.. මතක නැද්ද..? අර රුපියල් පන්දාහකම ඔයා අපිට කන්න අරන් දුන්නෙ..? මං හිතුවා ඒ නන්නත්තාර වීමෙන් පස්සෙවත් මොලේ අංශු මාත්‍රයක් හරි තියෙන කෙල්ලෙක් නම් මගේ නම හදවතේම ලියාගෙන, අඩුගානෙ මං ඉන්න පැත්තකට හැරිලවත් නිදාගන්නෙකක් නෑ කියලා..

සමින්දි යටි තොල හපාගත්තා. කෙල්ලට කේන්ති ගියාද කේන්ති ආවද කියලා මට හිතාගන්න බැරිවුණා. හැබැයි පුතෝ, එයා හිටපු ඒ ඉරියව්ව නම් මාර ගති හොදේ.. හිරේ යන්න හරි ඉඹින්න හිතෙනවා. මොනව නැතත් තමන්ගෙ පරම හතුරගෙ උනත් ලස්සන පීචස් එකක් අගය නොකර ඉන්න තරම් බෙකම් කුහක නෑ..

හ... හදවතේ ලියාගන්න..?

ඔව්.. එතකොට අමතක වෙනව අඩුයිනේ.. ඔය වගේ නිතරම නම අහන්න වෙන්නෑ..

ඔ.. ඔයා හිතන්නෙ.. ඔයා දිනුවා කියලද..?

නැත්නම්.. ඔයාට හිතෙන්නෙ කෝමද..? මං පරාද උනා වගේද..?

ඔව්.. ඒ පන්දාහට දාදාහක දේවල් ගෙවන්න වෙයි ඔයාට.. බලමුකො තව ඉස්සරහට..

ඉස්කෝලෙන් අවුට් උනාමද..?

ඉස්කෝලෙන් අවුට් වෙනකොට මං එළියට යන්නෙ දිනපු කෙනෙක් විදියට මිසක පරාද වුණ කෙනෙක් විදියට නෙමෙයි.. තේරුණාද..?

අනේ දෙයියනේ... මට නම් තේරුණේ නෑ.. හැබැයි ඉතින් ඔය කටින් බයිලා ගහලා මාව බය කරන්නැතුව ටිකක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරොත් හොඳයි.. ඒත් ඉතිං වැඩක් වෙන්නෑ.. ඒක තියෙන්නෙ වෙන කොහේවත්නේ..

කොහෙද..?

සමින්දි මට තවත් ළංවුණා. එයා ළඟින් ආපු මොක්කදෝ එයාටම ආවේනික වෙච්ච සුවඳක් මගේ හිත පුරාම පැතිරිලා ගියා. තාරුණ්‍යයේ උතුරන හැඟීම් වලින් සිත හිනාවෙද්දි මං කිව්වෙ අමුතුම කතාවක්.

ඔයා වාඩිවෙන්නෙ ඒක උඩනේ..

ම.. මං.. මං.. ඔයා..ට...?

සමින්දි අත ගුලි කරගත්තා. ඒ තත්පරයෙන්ම මං පැතුමවත් ඇදගෙන එළියට පැන්නා. මං එතනම නතර උනත් පැතුමා පණ කඩාගෙන එනවුන්ස් රූම් එක පැත්තට දුවන්න ගත්තා. හොඳට හිටපු පැතුමට මොකක්ද හත්තිලව්වෙ වුණේ..? මං ආයෙත් පිටවීමේ දොරටුව දිහා බැලුවෙ සමින්දි අක්කා ඒවිද කියලා බලන්න. ඒත් එයාගෙ හුළඟක්වත් නෑ. මං කියපු දේවල් ටික නම් දිරවගන්න කෙල්ලට සෑහෙන වෙලාවක් යයි.

එනවුන්ස් රූම් එක පැත්තට දුවපු පැතුමා විනාඩි පහකින් විතර ආයෙත් මගේ දිහාට පණ කඩඩාගෙන දුවගෙන ආවා. මූට මොකක්ද හප්පේ, මේ විනාඩියට හැදිච්ච මූලග්ගාය.

කොහෙද බං ගාල කඩාගත්තු වස්සා වගේ දිව්වෙ..? මතක තියාගනිං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි කියලා..

මං ඒක දන්නවා බෙකම්.. මං ගියා ඇම්ඩගෙ අතුරුදන්වීම වාර්ථා කරන්න..

කොහෙටද..?

කාර්යාලයට..

උඹට පිස්සුද පැතුමා..

බලහංකො බෙකම්.. තව ඩිංගකින් මධුර මනෝහර හඬකින් ඇම්ඩාව අමතන හැටි..

පැතුමට එහෙම කියලා කට ගන්න හම්බවුණේ නෑ.. අපි එළියට ආපු ඩී හෝල් එකේ හයි කරලා තිබ්බ නෝමල් ලව්ඩ්ස්පීකරෙන්, බුරු බුරු ෂ්.. ෂ්.. කියලා සද්දයක් ආවා.. හරියට නිකං කාටහරි බඩ බුරුල් උනා වගේ.

උඹ කිව්වෙ ඒ සද්දෙද පැතුමා..

මං නෝන්ඩියට වගේ ඇහුවම, පැතුමා බිම බලාගත්තා. ඒ එක්කම වගේ කොහෙදෝ ඉඳලා අපේ ඇම්ඩා ළඟට ආවා.

හල්ලෝ බෙකම්.. මේ සුන්දර යුවතියන් අතරට උඹලත් ආවද..?

උගේ මූණෙ හිනාව පුරවල එකයි. පේන විදියට නම් මේකා පැණි ගංගාවක්ම හලලා වගෙයි. ඇම්ඩට බනින්න බං කට හැදුවා විතරයි ලව්ඩ්ස්පීකරේ ඇහෙන නෑහෙන ගානට කතා කරන්න ගත්තා.

සවන් දෙන්න.. සවන් දෙන්න.. මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි නාලක විජෝකෝන් ශිෂ්‍යයා පැමිණෙන තුරු ඔහුගේ මිතුරන් කාර්යාලය අසල රැඳී සිටියි.  කරුනාකර නාලක විජේකෝන් කාර්යාලයට වාර්ථා කරන්න..

තොරණ් බලන්න ගිහින්, එකට ආපු ඈයො නැති වුණාම ගහන සෝක ගීතෙ වගේ එකක් ගානට පත්තු වෙලා ගියා. පැතුමත් ඉඳලා ඉඳලා මිණි මරණ වැඩනේ කරන්නෙ.

කවුද යකෝ ඒ අලුගුත්තේරු වැඩේ කෙරුවෙ..?

ඇම්ඩා ඇහුවෙ දත්මිටි කන ගමන්. ඌට ලතාවකට මළ පැනලා කියලා මට තේරුණා.

මොකා කෙරුවත් උඹට තියෙන ආදරේටනේ බං එනවුන්ස් කරේ..

බෙකම්.. පිස්සු කියවන්නෙපා.. මට පාරෙ බැහැලා යන්න බැරිවෙන වැඩක් මේක. පැතුමා.. මං උඹව මරණවා.. තෝව මං උල්කාපාතයක් කරනවා..

අපි හතර දිග් බාගෙම උඹව හොයල බැරිම තැනනේ බාලිකාවෙ පොලෝසියට කිව්වෙ..

පැතුමා.. උඹ මගෙන් මරුම් කන්නෙපා.. උඹ ඇයි මාව හොයන්නෙ.. ආ.. මේ අති සුන්දර ලලනාවන් අස්සෙ උඹ කියන්නෙ මටත් උඹ වගේ පෝලිම් ගැහිලා ඉන්න කියලද..? නෑ පැතුමා.. මං ඒ ජාතියෙ කෙනෙක් නෙමේ.. මං උඹට වඩා විශිෂ්ඨයි.. උඹ අන්න ඒ ධර්මතාවය තේරුම් ගනිං..

ඇම්ඩා.. මට උඹව තේරුම් ගන්න පුළුවන්.. ඒත් ඔය ධර්මතාවෙ තේරුම් ගන්න බෑ.. නමුත් උඹ, උඹේ සුපුරුදු යටි කූට්ටු වැඩ කරගෙනම ජීවත්වෙනව නම් හොදා.. මේ අනක් ගුණක් නැති, හිතක් පපුවක් නැති ලලනාවො පස්සෙ නොයා..

ඒපාර කතාව වෙනමම සබ්ජෙක්ට් එකකට ඇදිලා යනවා. දැන් අර එනවුන්ස් පාර මුන් දෙන්නට මතක නෑ.

ඇයි..?

හැයි අහන්නෙ..? උඹ යටිකූට්ටු වැඩ ගැන දන්නව උනාට, මේ යුවතියො ගැන මොනවද දන්නෙ..? උඹ ඒ පැත්තෙන් මේ සබ්ජෙක්ට් එකට ආගන්තුකයි.. කොටින්ම මේ විෂය ධාරාවෙ උම ආධුනිකයෙක්..

නිකං පලයං පැතුමා යන්න.. හරි.. උම ඔය පරීක්ෂණ කරලා, නිදිමරාගෙන, වේදනා විඳගෙන මේ ලලනාවො ගැන මොනවද හොයාගත්තෙ..?

ඇම්ඩා යස ප්‍රශ්නයක් ඇහුවා. අනේ ඇත්තට රටේ ලෝකෙ මේ තරම් ප්‍රශ්න තියෙද්දි මුන් දෙන්නා වද වෙන ප්‍රශ්නෙක හැටි. මං ආයෙත් ඩී හෝල් එක දිහා බැලුවෙ සමින්දි අක්කා දැන් එළියට එයි, දැන් එළියට එයි කියලා. ඒත් එයාගෙ කෑල්ලක්වත් ආවෙ නෑ.

උඹ දැනගනිං ඇම්ඩා.. මං උමට හින්දා මේ කියන්නෙ.. වෙන එකෙකුට නම් විහිලුවටවත් කියන්නෑ.. හොඳට කන්දෙක දිග ඇරලා අහගනිං.. හරිය.. ගෑනු ළමයි එහෙමත් නැත්නම් මේ බාලිකාවෙ අති සුන්දර ලලනාවන්ගෙ ආදරෙත් හරියට චයිනීස් ෆෝන් එකක් වගේ..

මොකක්..?

පැතුමා කිව්වොත් කියන්නෙ ඔය වගේ හතර බීරි කතා තමයි. කෙල්ලෙක්ගෙ ආදරේ කොහොමද හත්වලාමෙ චයිනීස් ෆෝන් එකක් වගේ වෙන්නෙ..?

ඔව් ඇම්ඩා.. උඹ මා දිහා පුදුමයෙන් බලන්නෙපා.. කිව්වෙ සැටිපිකේට් ඇත්ත කතාවක්. ටිකක් හිතල බලපං.. චයිනීස් ෆෝන් වලට මෙලෝ වොරන්ටියක් නෑ.. කිසිදු ගැරන්ටියක් නෑ.. කිසිම කල්පැවැත්මක් නෑ.. ඒ මදිවට.. ඒ මදිවට..?

පැතුම හරිම ආදරෙන්, බොහෝම සරලව ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. හැබැයි ඉතිං ඒකෙ ඇති වැරැද්දක් නෑ වගේම මාර ක්‍රියේටිව්.

ඔව්.. ඒ මදිවට..?

ඔය හැමදේම මදිවට ඒවා ඩුවෙල් සිම්..

පැතුමා හක හක ගාලා හිනාවෙද්දි මං අහක බලාගත්තා. තවත් මෙතන හිටියොත් මූ මොනව කියයිද දන්නෑ.. සමින්දි අක්කත් එන පාටක් නැති හන්ද මං ආපහු එන්න කකුල ඉස්සුවා. තවත් මොකට එයාගෙ ආඩම්බර බලන්න මෙතනඉන්නවද..? මොකෝ අපි එයාගෙ අත පල්ලෙන් වැටිල නෑනෙ. අනික තමන්ගෙ තැනකට ආවහම දන්න අඳුනන මනුස්සයෙකුට ඔහොමද අප්පා සලකන්නෙ..?

විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..

හිටපු ගමන් ඇම්ඩා අමුතු කතාවක් කිව්වා. ඌ කියපු වචනවල තේරුම හිතනකොට තමයි ඌ එහෙම කිව්වෙ ඇයිද කියලා මට තේරුණේ. මුළු මූණ පුරාම හග්ගල ගාඩ්න් එක පුරවගෙන අපි ළඟට ආවෙ ඉන්කි.

කෙල්ලට අපිව දැකලා නත්තල් වගේ බෙකම්..

හා..නේ.. නවෝද්.. ඔයා දැන්ද ආවෙ..?

යකෝ.. මේකිගෙ ඇස් පොට්ට වෙලාද ගස් ගල් වගේ ඉන්න අපිව පේන්නැත්තෙ..

පැතුමා යාන්තමට මුමුණද්දි මං ඉන්කි දිහා බැලුවා.

දැන් ටිකක් වෙලා ඉන්කි.. ඉතිං.. ඉතිං..

ඉතිං කියන්නෙ.. ඔයා තමයි නවෝද් කියන්න ඕන.. මං ඒත් බැලුවා, ඔයාලගෙ ඉස්කෝලෙ ගෑණු ළමයි, පිරිමි ළමයි ගොඩේ ඔයා නැත්තෙ මොකද කියලා.. ඇත්තටම මං බයවුණා ඔයා එන්නැතිවෙයි කියලත්..

ඔයා බය කරන්න නම් ඔඩ්ඩි මස්සිනාවත් එක්කං එන්න වෙයි..

ඇම්ඩා හෙණ සවුත්තු කතාවක් කිව්වා.

මොකක්ද කිව්වෙ..?

නාලක කියන ඒවා ඔයා ගණන් ගන්නෙපා ඉන්කි.. මූ නැතිවෙලා ඉඳලා, ඔයාලගෙ එනවුන්ස් රූම් එකෙන් එනවුන්ස් කරලා මූව හෙව්වා.. ඒ හිතේ අමාරුව ඔය තියෙන්නෙ..

මං කතන්දරේ ෂේප් කරා.. නැත්තං මේ තත්පරෙත් මුං දෙන්නා වලියක් දාගන්නවා.

අපේ නවෝද් ආවෙ නැති උනාම ඇයි පැටියො ඔයා බයවෙන්නෙ..?

ඔන්න ඒ පාර අනිත් හැලගෙම්බා බක බක ගාන්න ගත්තා. අනේ අම්මපා මුංගෙ කටවල් නම්... මොන නැකතකින් කටේ රං කිරි කට ගෑවද මංදා. කොහොම උනත් පැතුමගෙ කතාවට නම් ඉන්කිට පුංචි හිනාවක් ගියා. සමින්දි අක්කා ආඩම්බරේට නළලෙ තියාගනෙ හිනා වෙන හිනාවිල්ලයි, මේ අව්‍යාජ හිනාවෙයි මාර වෙනසක් තියෙනවා. මේක පපුව ඇතුලෙන්ම එන මල් මල් හිනාවක්නේ. නෙලපු ගමන් හිත හොඳ එකෙකුට මල් බොකේ එකක් විදියට දෙතෑකි.. ඒ තරම් ගති.

අර පැටියො කෑල්ලට නම් මං ඒ තරම් ආස නෑ.. මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දේනනෙත් නෑ.. ආ.. නවෝද්.. ඔයා එක්සිබිෂන් එක බලලා ඉවරද..?

ඉන්කි සම්පූර්ණයෙන්ම මං දිහාවට හැරුණා.

හනේ මංදා.. අර ඩී හෝල් එකට ඇතුල්වෙලා පැය ගාණක් තැපලතැපල පෝලිමේ වරුවක් විතර ඉඳලා තැම්බි තැම්බි ඒකෙ තියෙන ඒවා නම් බැලුවා.. මට නම් එපා උනා..

මං ඇත්තම කිව්වා. ඉන්කිගෙ මූණ බලන් ඉඳිද්දිම වෙනස් උනා. මගේ කතාව එයාට අදහගන්න බැරිවුණා වගේ.

ස්.. ස්.. හූ.. දෙයියනේ.. ඇ.. ඇයි නවෝද් ඔයා පෝලිමේ හිටියෙ.. අනේ.. එතන සමින්දි අක්කා හිටියනේ.. එයා ඔයාව දැ.. දැක්කෙ නැද්ද..? එයා ඔයාව ඉස්සරහට ගත්තෙ නැද්ද..?

මාව ඉස්සරහට ගන්න..? පුළුවන් කමක් තිබුණ නම් එයා මගේ ඉස්සරහින් තවත් සීයක් දෙසීයක් දානවා..

අ.. අනේ සොරි නවෝද්..

කමක් නෑ ඉන්කි.. ඒක් ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි..

ඒ.. ඒ.. උනාට මගේ හිතට හරිම නෑ.. ඔ.. ඔයා පව් නවෝද්.. ඔයා අපිට කොයි තරම් උදව් කලාද..?

උදව්..?

ඔව්.. අපේ බෑග්ස් හොයල දීලා.. අඩුගානෙ සමින්දි අක්කට ඒකවත් මතක තියාගන්න තිබුනා..

ඔන්න එතකොට තමයි මට මතක් උනේ, ඒ මහා බෑග් නිදාන කතාවේ දෙවෙනි කොටස ඉන්කි දන්නෑ කියලා. අර මගේ ගෝල්ඩන් බූට්ස් දෙක වෙනුවෙන් පට්ට බෙට් එකක් දාලා සමින්දි ආයෙත් මැක්සා විදියට නෝන්ඩි උන එක. ඒත් මං ඒක ඉන්කිට කියන්න ගියේ නෑ. ප්‍රධාන හතුරා උනත් ඔය තරමට නෝන්ඩි කරන්න පුළුවන්ද අප්පා.

චුට්ටක් එන්නකො නවෝද්..?

කතාව යද්දිම ඉන්කි මට කතා කරා. මං පැතුමයි, ඇම්ඩයි දිහා බැලුවා.

ඔ.. ඔයාලා දෙන්නත් එන්න..

ඒපාර ඉන්කි උන් දෙන්නටත් කතා කරා. ලොවෙත් නෑ.. කෙල්ල අපිටත් උදව් කරන්නද හදන්නෙ.

බෙකම්..?

ඇයි පැතුමා..?

මේ අත තියලා බලපං.. මගේ බට්ටා ගැහෙනවා බං.. මේකි අපිට මොනවා කරන්නද යන්නෙ..?

බයවෙන්නෙපා.. වැඩිම උනොත් ඒකි උඹේ පතිවෘර්තාව කාලා කිරි පැකට් එකක් බොයි.. එච්චරයි..

ඇම්ඩා තවත් අලුගුත්තේරු කතාවක් කිව්වා. මොනව වුනත් තවත් දුරට බාලිකාව ඇතුළට යන එක ගැන නම් මගේ හිතේ ෆිට් එකක් තිබුණෙ නෑ. ඒ මදිවට බලන බලන හැම පැත්තෙම හිටපු අනේක විධ ගෑණු ළමයි අපි දිහා බලන් හිටියෙ, සත්තු වත්තෙ කූඩුවක දාලා ඉන්න ඉතියෝපියානු චම්පන්සියො තුන්දෙනෙක් දිහා බලලා සංතෝස වෙන විදියට. ඒ මදිවට අතරින් පතර ලාවට හීනියට එහෙන් මෙහෙන් සූ සද්දත් ගලාගෙන ආවා.

එන්න නවෝද්..

ඉන්කි නතර වුණේ ටික්ක ලොකු කාමරයක් ළඟ. ඒක දැක්ක ගමන්ම, ඒකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා මට තේරුණා. විශේෂ ආරාධිතයන්ට බාලිකාවෙන් දෙන සංග්‍රහය කෙරෙන්නෙ මෙතන කියලා, මං දැනගත්තෙ හමාගෙන ආපු බිස්කට් සුවඳන්. කමක් නෑ... රහුමානියා එකෙන් තෝසෙ ගිල්ලට ඒවා දැන් වාශ්ප වෙලා ඉවරයි. අර හෝල් එකේ කොයි තරම් වෙලා හිටිගෙන හිටියද..?

ඉන්කි.. ඇයි මේ..?

මං නිකං බබා වගේ ඇහුවා.. නැත්නම් චරිතෙට හොඳ නෑනෙ.

ඔයාලට මහන්සිත් ඇත්නේ. අපි මොනව හරි බොමු.. අනික ඉතිං සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම ක්‍රීඩකයා අපේ බාලිකාවට ආවහම සලකන්නත් එපෑය.

හිනාවෙවී කියන ගමන්, ඉන්කි කාමරේ ඇතුළට යද්දි අපිත් ඒ පිටිපස්සෙන්ම ගියා. කාමරේ ඇතුලෙ හිටියෙ ටීචර්ස්ලම හත් අටදෙනෙක් විතරයි. එයාලා කන්න වගේ අපි දිහා බලද්දි, ඉන්කි බොහොම ගරු සරු ඇතුව මාව අඳුන්වලා දෙන හැටි මං දැක්කා. ඊට පස්සෙ තමයි ඒ මූණු වලට හිනාවක් ආවෙ. බලන් ගියාම ඉන්කිට ඉස්කෝලෙ ඇතුළෙ මාර ප්ලේස් එකක් තියෙනවනේ.

මොනව උනත් ඉන්කි, රත්තරං කෙල්ල බෙකම්.. ඒකිට විතරයි අපේ සුදහ ගින්දරේ තේරුණේ..

බිස්කට් වලින් කට පුරවගෙන පැතුමා කියවනවා.

හා.. හා.. මගේ උක්කු අම්මා.. තෝ හෙමීට කාපිය.. බිස්කට් කුඩු උන්ඩුක පුච්චෙට ගියොත් මහ ඉස්පිරිතාලෙට තමා ගෙනියන්න වෙන්නෙ.

ඇම්ඩගෙ කටෙත් මාරි බිස්කට් පුරවලා එකයි. ඇපල් කෑලි හීනියට ලියලා මලවලා දාලා තිබ්බ බීම වීදුරුවක් මං අතට ගත්තා.

නවෝද්... බිස්කට් කන්නැද්ද..?

මටත් එක්ක මුං දෙන්නා කනවා..
ඉන්කිගෙ හිනාව එක පාරටම වැඩි උනත්, ඒක බලන් ඉඳිද්දිම අඩුවෙලා ගියා. මං හිතුවෙ ටීචර්ස්ලා ඉන්න හන්දා කියලා. ඒත් එයාලා හිටියෙ අපිට සෑහෙන තරම් එහායින්. ඒත් ඉන්කි සයිලන්ස් වෙන්න, හේතුව මං දැක්කෙ, තත්පර ගානක් ගියාට පස්සෙ. අපි කාමරේට ඇතුල් උන දොර හරස් කරගෙන හිටියෙ සමින්දි අක්කා.

ඉන්කි..?

සමින්දි අක්කෙ..?

ඔයා මොනවද මෙතන කරන්නෙ..?

ඒ වචන ටික නම් කණට ගැහුවා වගේ තමයි. අපි හැමෝගෙම හිත් සවුත්තු වුනා. බලන් ගියාම සමින්දි අක්කා කියන්නෙ තනිකරම දුෂ්ඨ රෝල් එකක්නේ.

ම.. මං නවෝද්ලට පුංචි සංග්‍රහයක් කරා..

සංග්‍රහ තමයි.. දන්නවද වෙලා තියෙන වැඩේ..?

ඉන්කි ගැස්සිලා ගියා කියලා මං දැක්කා. පව් අප්පා.. මං හින්දා කෙල්ලත් අලි පරිප්පුවක් වගේ කන්නෙ.

මො.. මොකක්ද සමින්දි අක්කෙ..?

මොකක්ද තමයි.. අන්න අර ප්‍රොජෙක්ටරේට දාන ස්ලයිඩ්ස් වගයක් නෑල්ලු..

නෑල්ලු..?

ඔව්.. අ.. අර ළමයින්ට පෙන්වන්න දෙයක් නැතුව ඉන්නෙ.. මොනව පෙන්නන්නද මංදා.. මං මේ පිස්සු හැදිලා ඉන්නවා.. ඔයා මෙහේ සංග්‍රහ..

ඒ වෙනකොට රූම් එකේ හිටපු ටීචර්ස්ලා කීප දෙනෙක් සංග්‍රහ භුක්ති විඳලා එළියට ගිහින් තිබුණා. ඒක හන්දම, තවත් කට වහන් ඉඳලා, ඉන්කිව සවුත්තු කරන්න මං සමින්දි අක්කට ඉඩ දුන්නෑ.

මේ..?

හිටපු තැනින් නැගිටල, බීම වීදුරුව මේසෙ උඩින් තියලා මං කෙලින්ම සමින්දි අක්කා ළඟට ගියා. ඉන්කිගෙ මූණ බයෙන් මහත්වෙද්දි, සමින්දිගෙ මූණට ආවෙ මහා සවුත්තු හිනාවක්.

ඇයි..?

මෙතන අපි කන බොන එක, ඔයාට ප්‍රශ්නයක් වගේ.. එහෙම ප්‍රශ්නයක් නම්, මෙලෝ මානුෂික ගුණාංගයක් නැති ඔයා වගේ කෙනෙකුට මේ බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කම දීපු කෙනාගෙ ඔලුව හොඳ නෑ..

අර සවුත්තු හිනාව, හිමින් සීරුවෙ නැතිවෙලා යද්දි, සමින්දි අක්කා එයාගෙ රතු තොල්පෙති දෙක එකට තද කරගත්තා. ඒ ඉරියව්වෙත් අමුතුම ගතියක් නැතුවම නෙමෙයි. ඒත් ඉතිං, මේ බෙකම්, ඔය වගේ කැටයම් අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. එහෙව් එකේ, මේ හැමදේම නළලෙ තියාගෙන ඉන්න බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්, කජ්ජක්ද කොලුවො කියලා හිතෙනවා.

දැන් මගේ හෙඩ් ප්‍රිෆෙක්ට් කමෙයි, මෙතනයි අතරෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද..? මට ඔයාට කියන්න තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි එකට පටලව ගන්න එපා කියලා..

මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාවෙ තේරුම.. මං ඇම්ඩා දිහා බැලුවා.. ඌ පැතුමා දිහා බැලුවා.. පැතුමා මං දිහා බැලුවා.. කිව්වත් නොකිව්වත් මං දන්නවා දැන් ඊගාවට වෙන වැඩේ. මුං දෙන්නා ෆයර් උනොත්, ෆයර් බ්‍රිගේඩ් එකක් ගෙනැල්ලවත් බේරන්න බෑ. ඒක හින්ද මං උන් දෙන්නටම කඩින් කඩේ ඇහැක් ගැහුවා. බෙකම් ඒකච්ඡන්දයෙන් පත්වෙලා ඉන්දෙද්දි උංට තියෙන්නෙ බලන් ඉන්නනේ.

මං පටලවාගත්තු දෙයක් නෑ. ඔයයි මෙතෙන්ට ප්‍රයිවට් ඒවා ඇදල ගත්තෙ. ඔට්ටු දෙක්ක ඇපත් නැතුව පරාද වුණා කියලා, දකින දකින තැන මට කපන්න එන්නෙපා. ඒක සදාචාරෙට අගුණයි. තේරුණාද..? මේක ඔයාගෙ බාලිකාව වෙන්න පුළුවන්. ඒත් මේ බෙකම්ට ඕන පිච් එකක් ඔට්ටුයි. මොකද ඕන වැල්ලක මගේ බඹරෙ කැරකෙනවා.

සමින්දිගෙ මූණ බලන් ඉද්දිම තද රතු පාටට හැරුණා. කරන්න දෙයක් නෑ.. ඔයා තමයි සත්තලං දුවේ ඇදගෙන නෑවෙ. මේ යස අපූරුවට හිටපු කොලු ගැටයගෙ කට අවුස්සලා සමින්දි අක්කා ආයෙත් කට අරින්න හදද්දි මං අත උස්සලා එයාව නැවැත්තුවා.

ඉන්න.. මං තාම කියල ඉවර නෑ.. ඔයා අහපු දෙවැනි ප්‍රශ්නෙට උත්තරෙයි මං ඔය දුන්නෙ.. පළවෙනි එක තමයි, තමන් හෙඩ් ප්‍රිෆෙක්ට් නම් ප්‍රශ්නයක් ආවහම, ගාල කඩාගත්තු වැස්සි වගේ උඩ පැන පැන තප්පුලන්න හොඳ නෑ. ළඟ ඉන්න එවුන්ට ඉරිසියාවෙ පැලීගෙන අනින්න කරන්න යන්න හොඳ නෑ.. වෙලා තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා ඇරෙන්න.. ඔයා මෙතන ලෝකෙ පෙරලන්න උඩ පැන්නට ස්ලයිඩ් ටික හම්බවෙන්නෑ..

ආයෙ දෙකක් නෑ සමින්දි අක්කට හතරගාතෙ දාලා බිම ඇදගෙන වැටෙන්න ඒ වචන ටික හොදටම ඇති. ඒත් කෙල්ලගෙ තියෙන ආත්ම අභිමානයට මගේ ප්‍රහාරය අමාරුවෙන් ඉවසගෙන හිටියා.

අ.. අනේ නවෝද්.. ප්ලීස්.. ප්ලීස්.. ඔය කතාව නවත්තන්න.. මං හින්දා ඔයාලට පුංචි හරි හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න.. සමින්දි අක්කෙ.. ඔයත් මං ගැන වැරදියට හිතන්නෙපා.. නවෝද් අපිට හුඟක් උදව් කරා.. අපේ නැතිවෙච්ච බෑග්ස් හොයලා දීලා.. අපි ඒක අමතක කරන්න නරකයි..

හරි.. හරි.. ඒ කතා මෙතෙන්ට ඕන්නෑ.. ඔයා චුට්ටක් එළියට එන්න, ඔය පිරිමි ළමයින්ගෙන් ඈත්වෙලා.. අපි දැන් මේකට මොකද කරන්නෙ.. බලන්නකො ස්ලයිඩ්ස් වලට වෙච්ච දෙයක් නෑනෙ..

සමින්දි අක්කයි, ඉන්කියි එළියට ගියා. ඒ තත්පරයෙම ඇම්ඩා කට ඇරියා.

මැක්සා..! බෙකම්..!! මැක්සා..!!! ඕකිට ඔහොමම තමයි කරන්න ඕන.. දැක්කනේ, මූණ කට සීදේවි උනාට ඇඟ පුරාම මොලේ තියෙන හැටි. අපි කාපු මේ හිඟන බිස්කට් කෑල්ලටත් ඕකි කුල කිව්වා. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. උඹ ගේමෙන් අයින් වෙයන් බෙකම්.. මේ සංසාරෙ පුරාවටම මං ඕකිට අංචිය අදිනවා..

ඇම්ඩා කිව්වොත් කිව්වා තමයි.. උගේ පදාසයක් ගියත් වැඩේ ඉවරයක් කරලයි ඌ පස්ස බලන්නෙ.. ඇම්ඩා මේක ගෑනු ඉස්කෝලයක් කියලා බලන එකක් නෑ.. සමින්දිව කකුල් දෙකෙන් උස්සගෙන එලියට යයි.. ඊට පස්සෙනේ පෙරහැර තියෙන්නෙ..


බෙකම්.. ඇයි බං ඒකිට උඹව වහ කඳුරු වගේ වෙලා තියෙන්නෙ..? වෙන කෙල්ලෙක් නම් මෙලහකට උඹට පණත් දීලනේ..

ඕකවත් තේරෙන්නෙ නැද්ද මැටි පූසො.. අපි ඒකිගෙ පන්දාහකට විදපු එකේ, ඒකිට බෙකම් විතරක් නෙමේ උඹවයි මාවයිත් පේන්න බැරුව ඇති..

අර ස්ලයිඩ් වගයක්ද මොනවද නැති එකෙන් ඉන්කිට අවුලක් වෙයිද බං.. අරකි කඩන් පැන්නෙ ඉන්කි එතන බාරව හිටිය වගේනේ..

පැතුමට ප්‍රශ්න කෝටියයි.. ඒත් ඇම්ඩගෙ මූණෙ, කාලෙකින් ඇඳුණෙ නැති ගති හිනාවක් මතුවුණා.

ඉන්කිට අවුලක් වෙන්නෑ බෙකම්..

ඒ කිව්වෙ..?

ස්ලයිඩ් ටික මගේ සාක්කුවෙ..

මොකක්..?

මායි, පැතුමයි දෙන්නම ගල් ගැහුණා. හපොයි දෙයියනේ මේ වහුකුනා කරොත් කරන්නෙම ඔය වගේ නසරානි වැඩක්මනේ.. දැන් මේක කොතනින් කොහේට ගිහින් මොනවා වෙලා ඉවර වෙයිද මංදා.. හැබැයි ඉතිං තවත් පැත්තකින් බැලුවොත් ඇම්ඩා කරලා තියෙන්නෙ මාර ගති වැඩක්. කොටින්ම ඌ දිලා තියෙන්නෙ අන්තර් ජාතික තත්වයේ ගේමක්. මොනවා උනත් මායි පැතුමයි කට අරින්න කලින් ඉන්කි අපි ළඟට ආවා. එයාගෙ පිටිපස්සෙන් සමින්දිත් ආවා. මේ වෙලාවෙ නම් සමින්දිගෙ මූණෙ ඩිංගක් මනුස්ස පාටක් තිබුණා. කලින් තිබ්බට වඩා සාමකාමියි.

ප්‍රශ්නයක්ද ඉන්කි..?

අනේ ඔව් නවෝද්.. හරි වැඩේනේ වෙලා තියෙන්නෙ.. අපේ ස්ලයිඩ් වගයක් නැතිවෙලා.. දැන් බලන්න එන ළමයින්ට පෙන්වන්න දෙයක් එතන නෑ..

ඉන්කිගෙ ඇස් වලට කඳුළු පිරීගෙන ආවා. පව් දෙයියනේ.. කොහේවත් තියෙන පව් සේරම කෙල්ලගෙ පිටිනුයි යන්න හදන්නෙ. දැන් කොහොමද අප්පා මේක ශේප් කරන්නෙ.. මට නම් තේරෙන්නෑ..

ඉන්කි..

ඇ.. ඇයි සමින්දි අක්කෙ..?

වෙලා තියෙන ප්‍රශ්නෙ මෙයාලට කිය කියා ඉඳලා හරියනවද ළමයො.. ආ..! නැතිවෙච්ච ඒවා හොයන්න මෙයාලා පොලීසියෙන්ද..? නිකං බොරුවට කාලෙ නාස්ති කරන්නැතුව මේක පෙන්නන්න ක්‍රමයක් හොයන්න.. නැත්නම් අන්තිමට මටයි ප්‍රශ්නෙ එන්නෙ..

මොකක්ද යකෝ ඒ නොසංඩාල කතාව.. කටත් ඇද කර කර කියපු ඒ අවමංගල කතාවට මට ඌරු ජුවල් නැග්ගා. මේකිගෙ හිත ගලක්ද මංදා.. මේ තරම් නොහොඹිනා විදියට අපිට කතා කරන්නෙ.

නැතිවෙච්ච ඒවා නම් හොයන්න පුළුවන් වෙයිද දන්නෑ.. හැබැයි ඉතිං, ඉන්කි අපේ බොක්කෙ ෆිට් එක හින්දා, අපට උදව්වක් නොකර ඉන්න බැරිකමකුත් නෑ..

කේන්තියත් එක්කම මං සට සට ගාලා කියවන් ගිය වචන වලට සමින්දි අක්කගෙ මූණ රතු වුණා. හොඳ වැඩේ අලි පඩත්තලකමට, අලි වංශෙන් ඉන්නවට.

ඔයාලට මොනවද අනේ කරන්න පුළුවන්.. එන්න ඉන්කි.. අපි ප්‍රින්සිපල් මෑම් හම්බවෙලා මේක ඩිස්කස් කරමු.. එයා අපිට මොනවහරි සොලියුෂන් එකක් දෙයි..

සමින්දි අක්කා කලබලයෙන් වගේ ඉන්කිගෙ අතින් ඇද්දා. අම්මපා මේකිට හෙඩ් ප්‍රිෆෙක්ට් කම නෙමෙයි, අපේ ඉස්කෝලෙ දැල්ලගෙ ජොබ් එකවත් හරියන්නෑ.. මූණ කට කොයි තරම් සීදේවි විදියට මවල තිබ්බත් ඒවටත් එක්ක හරියන්න, දෙයියො මේකිට මොලේ දීලා තියෙන්නෙ හුඟක් අඩුවෙන්.

ඉ..න්..කි..

අපි ගාවින් ඈත්වෙලා යන ඉන්කිට මං කතා කරත් මගේ ඉස්සරහට ආවෙ සමින්දි අක්කා.

ඇ..යි..?

මං ඔයාට නෙමෙයි කතා කෙරුවෙ.. ඉන්කිට..

ඒකත් එහෙමද..? ඔයා එහෙනම් කියන්න යන්නෙ... ඉන්කි.. මං මේක හොයල දෙන්න බලන්නම් කියලද..?

නෑ..

එහෙනම්..?

ස්ලයිඩ් ටික හොයල දෙනව කියන්න.. ඉන්කි මට විනාඩි දහයක් දෙන්න.. ඔයාට වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙන විදියට මං මොනා හරි කරන්නම්..

මගේ ජව සම්පන්න කතාවෙන් සමින්දි අක්කා ටිකක් විතර අවුල් වුණා. ඔහොම යංකො.. තාම මේ කතන්දරේ පටන්ගත්තා විතරනේ..

ඉන්කි..! මේ විහිලු කතා ඔයා අහන්නෙපා.. මෙයාගෙ ඔලුව නරක් වෙලාද කොහෙද..? මෙයා කොහොමද මොනව හරි කරන්නෙ..? මොකෝ මෙයාගෙ මූණ පෙන්නන්නද ස්ලයිඩ් ටික නැතිකොට.. මට නම් හිතේනනෙ අපේ ස්ලයිඩ් ටික කවුරු හරි අරන් යන්නැති..

මගේ මූණ පෙන්නුවොත් මේ මුලු බාලිකාවම තරු පිරි අහස් වියන යටට එයි. හැබැයි ඉතින් ස්ලයිඩ් ටික කවුරු හරි අරන්ග ිහින් තිබ්බත්, ඔයාට වැඩේ කරගෙන යන්න ඕන නම් මං ඔයාට හෙල්ප් කරනවා ඉන්කි. මට මේ ඔයාගෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ගෙ බයිලා වැඩක් නෑ.. මෙයා නිකං කච පච ගානවා විතරයි. කරන වැඩකුත් නෑ. ඔයා මොකද කියන්නෙ ඉන්කි..?

මං සමින්දි අක්කව බින්දුවටම දාලා කතා කරා. මේ වගේ ජොහොර කතාවලට තව ඉවසගෙන ඉන්න බෑනෙ අප්පා. දෙන එක දෙන්න ඕන දොඹෙන්.. හැඳි ගෑවිලාම යන්න. ඒත් ඉන්කිට කතා කරන්න නොදී සමින්දි අක්කා ආයෙත් මැදට පැන්නා.

ඔයාට කරන්න පුළුවන් දෙයක් ඕන ඔයා කියන්න..

මට පුළුවන් හින්දයි මං කිව්වෙ..

බැරි වුනොත්..?

සමින්දි අක්කගෙ ඇස් දෙකේ තිබ්බෙ නලියන දඟකාරකමක්.

මේ බෙකම්ට බැරි දෙයක් නෑ..

මොනවද බෙට් කරන්නෙ..?

තොල් පෙති දෙක එකට, හීනියට තද කරන් සමින්දි අක්කා මගේ මූණට එබුණා. මේකි නම් ගිය ආත්මෙ බෙටින් සෙන්ටර් එකක පත්තරයක් වෙලා හරි ඉඳලා තියෙනවා. ඇයි යකෝ හැම බඩකඩිත්තුවටම බෙට් කරන්නනේ යන්නෙ. හැබැයි ඉතිං තොරණෙ ගහපු ජාතක කතා වස්තුව නිට්ටාවටම දන්නෙ මං හින්ද, මගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලයි තිබුණෙ. ඔහොම ඉස්සරහට යමුකො සත්තලං..

ඕන දෙයක්..

සවුත්තුවට වගේ සමින්දි අක්කා වටපිට බලද්දි, ඇම්ඩා මට ඇහැක් වහලා මහපටැගිල්ල උරුක් කලා. ඔන්න ඒ අතරෙ තමයි ඉන්කිගෙ කටට පණ ආවෙ.

බෙට් ඕන නෑ නවෝද්.. ඔයාට පුළුවන් නම් මේක කරන්න.. මට කරන උදව්වක් හැටියට..

නෑ.. නෑ.. ඉන්කි.. ඔයා පනින්නෙ නැතුව ඉන්න ඩිංගක්.. මෙයා මේ කියන තරම් වැඩකාරයෙක්ද කියලා අපි බලමුකො..

බලන්න දෙයක් නෑ.. බෙකම් කියන්නනෙ ඔන් ද ස්පොට් ගේම් ගහන එකෙක්.. හරි.. මොකක්ද බෙට් එක..

බෙට් එක ඉතිං ඔයාම දැම්මොත් හොඳයි.. මොකද පරදින්නෙ ඔයානේ.. ඒක හින්ද ටිකක් ලේසි එකක් දාගන්න..

මට නම් මේකිගෙ කට කතෑකි..මං මේ තරම් මැක්සා විදියට කතා කරද්දිත් මේකි අලියා වෙන්න එනවනේ.

හරි.. බෙට් එකෙන් පැරදෙන කෙනා සෙනසුරාදට යූ.සී ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවන්න ඕන.. හැබැයි පටන්ගන්නෙ හරියටම දවල් දොළහට..

සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා. කෙල්ල හිතන් ඉන්න ඇත්තෙ තවත් ප්‍රයිඩ් රයිස් දන්සැලක් කියලා වෙන්නැති නේ.?

රවුම් සීයක්..?

ඔව්.. ඇයි බය උනාද..? නිකං අප්සට් අප්සට් වගේ නම් වැඩේ අතෑරලා දාමු..

න්.. නෑ.. ඇයි මං බයවෙන්නෙ..? බෙට් එක ස්තිරයි..

සමින්දිගෙ කටින් ඒ ප්‍රියමනාප, අර්ථවත් වචන ටික පිට උනා විතරයි ඇම්ඩයි, පැතුමයි පහට පහක් දානවා මං දැක්කා. කොහොමටත් මේ තත්පරයෙ ඉඳලා අපි ඔක්කොම ගොඩනේ.

ඉන්කි ඔතනම ඉන්න.. අපි විනාඩි දහයෙන් එනවා..

ඉන්කිගෙ මූණ සුදු සිනාවකින් පිරෙද්දි සමින්දි අක්කා මූණ අමුතු කරගත්තා.. ඒ අතරෙ අපි තුන්දෙනා හනි හනිකට මහ පාරට ආවා.

බෙකම්.. එකෙන්ම වැඩේ ගොඩ ගියා නේද..?

ආයෙ අහලා.. ගේම නම් ගේම නාලක.. උමත් වෙලාව කලාව බලලා සොරි ගේමක්ම තමයි දෙන්නෙ.. නියමයි මචං..

හෙ.. හේ..! උඹ ඔහොම මගේ දෙයක් අගේ කරනකොට මට දැනෙන ප්‍රීතිය වාවගන්න බෑ බං.. අම්මප බෙකම් මට හිතෙනවා, බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්වත් උස්සන්න..

ඇම්ඩා ඒ පාර අමුතුම කතාවක් කිව්වා.

වැඩක් නෑ බං.. ඒ ලලනාව උස්සන්න නම් අපි තුන්දෙනාමවත් යන්න වෙනවා.. මතක තියාගනිං.. නාකලයා උඹ ඒ මස් පරුවතේට යටවෙලා මැරෙයි.. තේරුණාද..?

පැතුමා.. උඹ මගෙන් නොහොඹිනා වචන අහගන්නෙපා.. දැන් අපි මේකට මොකද කරන්නෙ කියපං..

ඇයි නාලක..?

මේ ගත්තු ස්ලයිඩ් ටික උං අඳුනගනීවිනේ බෙකම්.. උං මේවා ලක්ෂ වාරයක්වත් දැකලා, අල්ලලා ඇතිනේ.. සමින්දිට උනත් ගානට මීටර් වෙයි..

ඕන මීටරයක් වෙද්දාවෙ.. අපිට මොකෝ බං.. හේනම් ඒකි අපේ බෙකම්ගෙ ෂුස් දෙක ඉස්සුවෙ උඹ බලන් ඉන්දෙද්දිම.. ඒවා ප්‍රිෆෙක්ටලට හොඳ වැඩද..?

හරි.. හරි.. ඔය ආගිය කතා අතෑරපල්ලා.. උම මේවා ගන්නවා කවුරුවත් දැක්කද නාලක..?

නෑ බෙකම්.. කිසි කලෙක නෑ.. උඹට කියන්න, මට හොරකම්කිරීම පිළිබඳ පස්චාත් උපාධියක් තියෙනවා. මං ඒ ගැන අවුරුදු ගාණක් අධ්‍යනය කරල තියෙනවා.. තේරුණාද..?

මොනව උනත් උඹ දීපු ගේම් වලින් මේක තමා කොලිටිම එක නාලක..

තැන්ක් යූ බෙකම්..! මේ ආපු සංසාර ගමනෙදි ආදරණිය බාලිකාව මතක් වෙන්න, මේක උස්සන් ආවට, කවුද හිතුවෙ අර සුර දූතිකාවට තවත් පාරක් නෝන්ඩියක් දෙන්න පුළුවන් වෙයි කියලා..

ඒ ගැන හිතෙනකොටත් මාර සනීපයක් දැනෙනවා බෙකම්.. මේ බාලිකාවෙ ප්‍රියමනාප සුදු හාමිනේ පණ කඩාගෙන ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවනකොට කොහොමද ආතල් එක.. හහ්.. හහ්.. හා..

පැතුම් හක හක ගාලා හිනාවෙද්දි, මං දාපු බෙට් එක සැර වැඩියි වත්ද කියලා මට හිතුණා. රවුම් සීයක්, සමින්දි අක්කා වගේ සුකොමළ ගෑනු පරානෙකට මැච් වේවිද මංදා.. කමක් නෑ.. එයාමනේ ඇදගෙන නිවි සැනසිල්ලෙ ඔඩොක්කුවට දාගත්තෙ.. මාව එකෙන්ම සවුත්තු කරන්න හිතාගෙන. කමක් නෑ.. කමක් නෑ.. ඔය ඇඟ පුරාම තියෙන අලි උණ බහින්නත් එක්ක ඔන්න ඔහේ දුවපුවාවේ.. කමක් නෑ..

මෙන්න බෙකම් ස්ලයිඩ් ටික..

ඇම්ඩා, සුදු කලිසම් සාක්කුවෙන් ස්ලයිඩ් කෑලි තිහක් විතර ඇදලා අරන් මට දුන්නා. මේකා මේවා කොහොම තියන් හිටියද මංදා. අපේ සාක්කු වගේ දෙගුණයක්වත් දිගට මූ සාක්කුව මහන් ඉන්නවා ඇති. වැඩේ කියන්නෙ ඇම්ඩා මට දීපු ස්ලයිඩ් වල, දැක හදුනා ගැනීමට කිසිම සලකුණක් නෑ.. ඒක නම් ඉතිං දෙයියො දුන්නා වගේ දෙයක්.

එහෙනම් සුභ මොහොතින් බාලිකාවෙ ආඩම්බරකාරිට මේ ටික ගිහින් දෙමු.. හනේ දෙයියනේ.. එතකොට ඒකිගෙ ඇස් ගෙඩි දෙක දොට්ට පනින හැටි බලන්න, මට පුදුම ආසාවක් තියෙන්නෙ..

ඔව්.. ඔව්.. අපි තව පරක්කු වුනොත්, කල් ඉකුත් උනා කියලා ඒකි බෙට් එක කැන්සල් කරාවි. එතකොට අපිට මේ ගතිය ගන්න බැරිවෙනවා. අපි යමු කොල්ලනේ.. ඒ උක්කු අම්මගෙ සිරියාවන්ත මූණූ පොඩිත්ත බලන්න..

පැතුමගෙයි ඇම්ඩගෙයි කතාවලින් මගේ හිතටත් ඇවිත් තිබුණෙ මාරම ගතියක්. පිට පිට තුන් වතාවක්ම බාලිකාවෙ ආඩම්බරකාරිව පරද්දලා හැට්‍රික් එකක් දානවා කියන්නෙ එසේ මෙසේ කතන්දරයක් නෙමෙයිනේ.

කෝ බං.. මේකි පැනලවත් ගියාද..?

ඉන්කියි, සමින්දියි පේන්න හිටියෙ නැති හන්ද පැතුමට එකපාරටම කියවුනා. මායි, ඇම්ඩයි කෙලින්ම කඩාගෙන විදගෙන ගියේ ඩී හෝල් එකට. මේ ඉන්නෙ ජෝඩුවම.. ඉන්කි නම් හිටියෙ මූණ හොඳටම සවුත්තු කරගෙන. සමින්දි හෙන පුස් පාට් එකක් මූණ මැදට අරන් වැඩර් වගේ හිටියා. පේන විදියට නම් නැතිවීමේ සම්පූර්ණ වැරැද්දම ඉන්කි පිටින් ගිහිල්ලා වගේ.

ගියපු පයින්ම ආවෙ.. මොකෝ... හොයාගන්න බෑ නේද..? බෙට් එක නිකං බරපතල වැඩියි වැඩියි වගේ කියල හිතුණද..? ආ..

එහෙමයි කියලා කියන්න වගේ මං ඔලුව වැනුවා.

ගියපු පයින් එන්නැතුව අල්ලපු ගෙදර එකාගෙ පයින් එන්නද බෙකම්.. මේකි මොනවද මේ කියන්නෙ..?

පැතුම් හීන් සමැරේ කුටු කුටු ගාද්දි මං උගේ කකුල හයියෙන්ප ෑගුවා. මගේ මූණෙ තියෙන දුක්මුසු පෙනුම දැකලා සමින්දි අක්කා තවත් ෆෝන් උනා වගේ. මේ දුක්බරකම මං හදාගත්තෙ දැන් තත්පර දෙක තුනකට කලින්. මේ දුක්බරකමට, බලන් ඉන්න එවුන්ට හිටගෙන ඇඬෙනවා කියලා මං දන්නවා. සමින්දි උනත් එකෙන්ම අහු උනානේ. ස්ලයිඩ් නැති හන්දා ප්‍රොජෙක්ටරේ පෙන්නන තැන, කතන්දරේ විස්තර කරන බාලිකාවෙ කෙල්ල අලි පත අමාරුවක වැටිලා කියලා මට තේරුණා. ඇයි ඉතිං වීර කතාවෙ කාන්තාව වගේ මුලින් මුලින් කියන් ආපු දේවල් එතනින් එහාට පෙන්නන්න විදියක් නැති හන්ද.

ඔන්න ඕක තමයි කියන්නෙ, හැමදේම වීරයා වගේ බදාගත්තට, කරන්න බැරි දේවලුත් තියෙනව කියලා ඉන්කි. මං ඔයාට කිව්වනේ, මෙයාලගෙ මේ කතාව හැටියට වැඩ නම් නෑ කියලා.. මහ ලොකුවට කියන්නෙ නම් සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම පුද්ගලයලු.. ඒ උනාට අපිට බලන්න පුළුවන් සැටඩේ ග්‍රවුන්ඩ් එක වටේ හති කූඩයක් හල හල දුවන හැටි..

හනෙ අම්මේ....!! මේකිට නම් කටක් නෙමේ තියෙන්නෙ.. මොකා සුබ නැකතින් රන්කිරි කට ගෑවද මංදා.. සොරොව්ව ඇරියහම වර වර ගගා වතුර ගලන් එන වයිදියට දෙවනි නෑ, මේ කට නම්. කමක් නෑ..! මගේ උක්කු අම්මා. ඔයා නියම සැපක් මේ බෙට් එකෙන් ගනියි.

ඊට වැඩිය නරකද බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් රවුම් දහයක් පහළොවක් දුවද්දි තලපතා වගේ කලන්තෙ දාලා පතබරියන් උනොත්..? නියමයි.. ආ..?

මං සමින්දිට ළංවෙලා ඇහුවා. ඒ මූණෙ පිරිල තිබුණෙ අහංකාරකම, අහංකාර හිනාවක්, මේ තරම් සිරියාවන්ත රූපයක්, ජාතක කරපු, හදා වඩාපු අම්මයි තාත්තයි දීලා තියෙද්දි ඇයි සත්තලනේ මේ නව නිංගිරා විදියට හැසිරෙන්නෙ.

කලන්තෙ දාලා වැටෙන්නෙ මං දිව්වොත්නේ..

ඔයාට දුවන්න වෙනවා..

ඇයි මං දුවන්නෙ..?

මෙන්න මේ ටික හින්දා..

ඇම්ඩගෙ අතෙයි, මගේ සාක්කු දෙකෙයි තිබ්බ ස්ලයිඩ් ටික අරන්, මං සමින්දි අක්කගෙ අත් දෙක උඩ තිබ්බා. මෙච්චර වෙලා තිබ්බ මොණර ආඩම්බරේ, හුළං ගියපු ලොකු බැලුන් එකක් වගේ ඇදවෙලා යද්දි සමින්දි අක්කා උඩ බිම බැලුවා. මෙලෝ සිහි කල්පනාවක් නැතුව වගේ එයා මං දිහා පුදුම වෙලා බලන් ඉද්දි නම් මට ආවෙ මාරම ගතියක්. කෝ.. සත්තලනේ මෙච්චර  වෙලා ඔයාගාව තිබ්බ කැටයම් ටික, ඒවට මොකද උනේ..?

මේ.. මේවා කොහෙද තිබ්බෙ..?

පව් අප්පා.. කෙල්ලට කතා කරගන්නත්බෑ.. ඇඬෙන සයිස්.. මං තවත් මොනව හරි කිව්වොත් කෙල්ල දුවනවා..

තිබ්බෙ කොහෙද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ.. සෙනසුරාදා දවල් දොළහට ඔයා යූ.සී ග්‍රවුන්ඩ් එකට එන එක..

සමින්දිගෙ මූණ බලන ඉඳිද්දිම සුදුමැලි උනා. අර කලියෙන් තිබ්බ අලි උන පැත්ත පලාතක නෑ. හොඳ වැඩේ උඹට නම්.. මගේ හිත කිව්වා.

මොනවම හරි කරදරයක් වුණ වෙලාවක දෙවියො එව්වා වගේ ඔයා මගේ ඉස්සරහට ඇවිත් උදව් කරනවා.. අනේ හුඟක් තෑන්ක්ස් නවෝද්.. ඔයාට හුඟක් පින්..

ඉන්කිගෙන් පිටවුණ වචන ටික නම් ආවෙ හදවත පතුලින්මයි කියලා මට තේරුණා. බොක්ක දාලා පිච්චිලා යන්න ඔහොම සංවේදීව කතා කරනකොට ළඟ තියෙන ඒවත් ගලවල දෙන්න හිතෙනව කෙල්ලෙ.. මොනව උනත් තාමත් කතා කරගන්න බැරිව, වෙච්ච සංසිද්ධිය උහුලගන්න බැරිව සමින්දි අක්කා අනාථ වෙලා ඉද්දි අපි තුන්දෙනා බාලිකාවෙන් එළියට බැස්සෙ වීරයො වගේ.

නාලකයො උඹ තමයි දවසකටවත් මිනිහා..

බාලිකාවෙ ගේට් එක ඉස්සරහදිම, අපි තුන්දෙනා පහේ තුනක් අල්ලට අල්ල ටච් කරලා දාගන්න ගමන් මං කිව්වා. ඒ ගමන්ම ඇම්ඩගෙ පිට මැද්දට මගේ වම් අතින් හෙමිට ගහලා මං මගේ සංතෝසෙතව තවත් පිට කරගත්තා. ඇයි හත්තිලව්වෙ.... දවස් හතක් මගුලක් කන විදියෙ සංසිද්ධියක්නේ මේ උනේ..

හැබැයි බෙකම්.. මෙලහකට අපි රෙකෝඩ් එකක් තියලා ඇති මයෙ හිතේ..

ඒ මොකක්ද පැතුමා..

බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ව තුන් පාරක්ම නන්ස්ටොප් පැරැද්දෙව්වා කියලා.. උමට කියන්න ඇම්ඩා මට මැවිලා පේනවා ඒකි පට්ට දවාලෙ දාඩිය පොල්ල තුන් මුනින් දාගෙන ග්‍රවුන්ඩ් එක වටේ දුවන හැටි.. ඒකිගෙ ඇදුම් දාඩියට ඇඟටම ඇලිලා විනිවිද පේනකොට හූ කියන්න බලන් ඉන්න අපිට දැනෙන සනීපෙ කොහොමද බං.. මට ඒ සුමුදු ශරීරය දිගේ ගලන දාඩිය බිංදුවක් වෙලා ජීවත් වෙන්න තියෙනවා නම්..? ඇත්තටම ඇම්ඩා.. මට අද ඉඳලා හරියකට නින්ද යන්නෙත් නෑ ඕං..

පැතුම්.. වනචර කතා නොකිය ඔය ටකේ වහගනිං බං.. අපිට ඒකිගෙ ශරීර අවයව බලන්න ඕනකමක් නෑ.. අපි දැම්මෙ බෙට් එකක් මිසක ඒකිගෙ දාඩිය බිංදුවක් වෙන්න නෙමෙයි තේරුණාද..?

මං මැද්දට පැන්නා. නැත්නම් තව ඩිංගක් වෙලා යනකොට පැතුමා, සමින්දි අක්කව, කටින්ම නිර්වස්ත්‍ර කරයි.

ඔන්න.. ඔන්න ඉතිං..! මොනාද බෙකම්.. මං උඹට කේන්ති ගන්න තරමෙ දෙයක් කිව්වෙ නෑනෙ.. මං ඒකිගෙ සුරූපී නාරි දේහෙ වර්ණනා කරා විතරනේ.. ඇත්තටම බෙකම්.. උඹ දැක්කෙ නැද්ද ඒකගෙ ඇඟේ තිබ්බ බටර් පාට..?

ඒකි රෝස පාට උනාට, බටර් පාට උනාට වැඩක් නෑ පැතුමා..

ඇයි ඇම්ඩා.. උඹ ඒ වගේ අමන කතාවක් කිව්වෙ..?

ඒකි කොයි තරම් ලස්සන උනත්, අපේ බෙකම් කැමති ඉන්කිගෙ කලු පාට ඇඟටලුනේ..

ඉඳල ඉඳල ඇම්ඩත් කිව්වෙ මාරම කතාවක් තමා..

ඈ.. හත්තිලව්වෙ..

සියලු කතා නැවතිලා, පැතුමගෙ කට ඇරුණා.

ඇම්ඩෝ.. අර ඉන්නෙ අපේ මහේලයා නේද..?

උඹට ඌව විතරද පේන්නෙ..? අර ඊටත් ඩිංගක් එහායින් ඉන්න නෙහාරව පේන්නැද්ද..?

මුලින් මුලින් මාත් දැක්කෙ මහේල විතරයි. ඇම්ඩා කිව්වට පස්සෙ තමයි මං නෙහාරව දැක්කෙ.

මුං දෙන්නා මොකද බං මෙතන කරන්නෙ..?

රේල්වේ ස්ටේෂන් එකේ වම් පැත්තට යන ගමන්, මහේල නෙහාරට අත වනනවා අපි දැක්කා. වටපිට බලන ගමන්, හොර පූස් තඩියෙක් වගේ නෙහාරත් ෆ්ලැට්ෆෝම් එකෙයි ගබඩා සංකීරණයයි යාවෙන්න හදපු ගුවන් පාලමට නගින්න ගත්තා.

මොකක්ද බෙකම්.. මේ ඇවටියෙල් එක.. ඔය කෙල්ල ටවුමෙ වල් උගුඩ්ඩෙක් එකක් යාළුයි නේද..?

ඇම්ඩා කෙලින්ම මගෙන් ඇහුවා. බලන්ග ියාම මහේලටයි, නෙහාරටයි මොලේ කියලා අංශු මාත්‍රයක්වත් නෑ. නැත්නම් ඉතිං මේ වගේ නස්පැත්තිදායක රෙද්දවල් කරාවියෑ.. ඉස්කෝලෙ මොකෙක් හරි දැක්කා නම් ලෙඩේ හොඳටම හොඳයි.

කෙල්ලොන්ගෙ හැටිනේ බං.. උං වෙලාවකට මහා අමනයි.. අද එක කොල්ලෙක්.. හෙට එක කොල්ලෙක්..

ඒ උනාට බෙකම්.. උම අහල තියෙනවද.. මගේ පිය පාර්ශවයෙන් දිගින් දිගටම පැවත එන සිරා උපහැරණයක්..?

පැතුමා ඒපාර සිංහල නවගුණ වැල ගනින්නයි යන්නෙ.. මුගේ අඳෝනාව අහන්නත් ඕන.. අරහෙ මහේලයා නටන්න හදන නාඩගම දිහාට ඇහැක් දාන්නත් ඕන.

හා.. කියහංකො බලන්න.. උඹලගෙ තාත්තගෙ ඔය මහ ලොකු එක මොකක්ද කියලා බලන්න..

ඇම්ඩා.. එහෙනම් අහගනිං.. අස්තීර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථීර ප්‍රේමයක් ඇතිකළ හැකි නම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය... තේරුණාද..?

තේරුනාදත් අහනවා. දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ. ඒත් පැතුමගෙ උපහැරනෙ ගැන වැඩිය කතා කරන්න අපිට හම්බවුනේ නෑ. ගුවන් පාලම උඩ මොනවම හරි අවුල් සහගත දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට තේරුණා.

බෙකම්..

මොකෝ නාලක..?

වරෙන්.. මහේලයා නාගන්නයි යන්නෙ..

හැමෝටම කලින් ඇම්ඩා ඉස්සර වුණා. මං ඌ පස්සෙන් දුවන ගමන් හැරිලා බැලුවෙ පැතුම් කොහෙද කියලා බලන්න.. ඒ වෙනකොටත් පැතුම් ගුවන් පාලමේ අනිත් පැත්තට දුවනවා මං දැක්කා. ඒකත් හොඳයි. දැන් දෙපැත්තම කවර් වෙලානේ.

පඩිපේළි ටික නැගගෙන නැගගෙන ගිහිල්ලා පාළම උඩින් අපි මතුවෙනකොටත් නාට්ටිය පටන් අරන් තිබුණා. ටවුමෙ බජාර් එකේ එපාම කරපු කොල්ලො තුන්දෙනෙක් ඒ වෙනකොටත් මහේලයව වට කරගෙන. නෙහාරා මෙලෝ හාවක් හූවක් නැතුව ගල් ගැහිලා බලන් ඉන්නවා. ඒ තත්පරෙම තමයි මහේල අපිව දැක්කෙ. උගේ මූණට සංතෝසෙ වෙනුවට ආවෙ, නන්නත්තාර වෙච්චි ගතියක්. ඒ අතරෙ අර කොල්ලො තුන්දෙනා ඉවක් බවක් නැතුව මහේලට නෙලන්න ගත්තා. හප්පේ... බලන් ගියාම මුං මාර ස්පීඩ්නේ.

ඒ... ඒයි.. ඕක නවත්තපියව්..

මටත් කලින් කෑගහගෙන ඇම්ඩා උං ඉස්සරහට දිව්වා. ඒ වෙනකොට පැතුමත් පාලම එහා පැත්තෙන් මතුවෙලා අපි ඉස්සරහට දුවගෙන ඇවිත්. ඇම්ඩගෙ තර්ජනේ සත පහකටවත් ගණන් ගන්නැතුව එකෙක් අපි බලන් ඉන්දෙද්දිම මහේලට බඩට පයින්ග ැහුවා. ඒක නම් හොඳි ඕන්නෑ.. පාරෙ සැර කමට බුහුග් ගෑවුනේ මහේලට නෙමෙයි අහක හිටපු නෙහාරට. ඒ එක්කම තව එකෙක් පැනල මහේලට අත පුරවලා කම්මුල් පාරක් ගැහුවා. හප්පොචියේ ඒ පාර නම් සැප නැවක් මැවිලා ඇති.

ආයෙ එකෙක් හරි අතක් ඉස්සුවොත් තොපි තුන්දෙනාම උස්සලා මේකෙන් පහ්ලෙහාට දානවා.. දැනගනියව්.. මේකා අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්..

මහේලට බෙහෙත් දිදී හිටපු කොල්ලෙක්ව අල්ලලා පැත්තකට තල්ලු කරල දාන ගමන් ඇම්ඩා කිව්වා. කරන්න දේකුත් නෑ.. මේ වගේ වෙලාවක ශේප් න්‍යායෙන් කටයුතු කරන්න බෑ. වලියෙන්ම තමයි.

අපිත් සෙන්ට්‍රල් එකේ තමයි ඩෝ..

සෙන්ට්‍රල් එකේ..?

ඔව්.. උඹලට කලින් සෙන්ට්‍රල් එකේ බිම පාගපු කොල්ලො අපි. ඒක හන්ද මේක අපිට බේරගන්න දීලා උඹලා බලයව්..

කලුම කලු පාට එකෙක් පුරස්ශාර්වක දතුත් පේන්න ගිරිය යටින් කෑගැහුවා. ඌ නම් අපේ ඉස්කෝලෙට කොහෙන් ආවද මංදා.. දැක්කමත් බය හිතෙනවා.

එහෙම යන්න බෑනෙ මචං.. අපි එක ඉස්කෝලෙ නම් මෙහෙම ගුටි අනගන්නෙක සදාචාරයට විරෝධියිනේ.. සාමදානෙන් එපැයි වැඩේ කරන්න.. ම්.. එහෙනම් අපිටත් කියනවද ප්‍රශ්නෙ මොකක්ද කියලා..

අපිට ඕන්නැති සාමදානයක් නෑ ඩෝ.. මේන් මුගේ මළදානෙ හින්ද තමයි මේ සේරම.. මේ ඉන්න සෙප්පඩ විජ්ජාකාරි තමයි අපේ කොල්ලෙක්ගෙ අවුරුදු තුනක ලව් එක.. පටන් ගත්තෙ මේකි නමේ පන්තියෙ ඉන්නකොට.. දැන් මේ හැලපයා දුෂ්ඨයෙක් වෙලා මේ පෙම් කතන්දරේ මැද්දට පැනලා ඒකිව දාගෙන.. එතකොට යකෝ කොරන්න තියෙන්නෙ, ගාත්‍රා දිගේ මූත්‍රා ගලනකල් මූට නෙලන්නනේ.. නැද්ද..?

මහේල ඔය කරගෙන තියෙන්නෙ මෙලෝ විලිලැජ්ජාවක් නැතුව මහ කෙලියම. මේකා ඉතිං ාගත්තොත් දාගන්නෙ ගන්දස්කාර කතන්දරම තමයි. නෙහාරා, අමල් එක්ක තියෙන පලහිලව්ව එහෙම නැත්නම් මල ඉලව්ව ඒකිටම බේරගන්න ඇරලා මේකා පැත්තකට වෙලා හිටිය නම් ඉවරනේ. කොහෙද ඉතිං මූ ගියානේ ඒකගෙ ගවුමෙ තියෙන තුත්තිරි ගලවන්න.

මහේල.. මොකක්ද බං මේ කතාව..?  නෙහාරා.. මොනවද මෙයාලා මේ කියන්නෙ..?

එ.. එයාලා වරද්දගෙන බෙකම්.. එයාලා වරද්දගෙන.. අපි අතරෙ එයාලා හිතන විදියෙ දෙයක් නෑ..

එහෙම නැත්නම් කොහොම දෙයක්ද යකෝ තියෙන්නෙ..? බලපං.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. අර ෆ්ලැට්ෆෝම් එක දිහා බලපං.. තුන් කාලක්ම ඉන්න කොල්ලො කෙල්ලො අපේ ඉස්කෝලෙ යන එවුන්.. ඩිංගක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරපං හරකො..

මං මහේලට කඩාගෙන පැන්නා. උගේ මූණ රොටිය වගේ වෙලා. තාමත් උගේ එක අතක් බඩේ. වැදිච්ච වැදිල්ලට හුස්ම ගන්නත් අමාරු ඇති. මං නොදන්නවයෑ බඩ කොරවෙන්න වැදුනාම තියෙන ආතල් එක. ෆුට්බෝල් ගහද්දි උනත් කී පාරක් මටම වැදිලා තියෙනවද..? ටිකකින් මං අර කොල්ලො තුන්දෙනා දිහා බැලුවා. උන් ආයෙමත් මහේලට නෙලන්නයි යන්නෙ.. බලන් ඉඳල බෑ.

අයියා.. ඔයාලා මාව දන්නවත් ඇති.. නැතුවත් ඇති.. ඒත් සෙන්ට්‍රල් එකේ කොල්ලෙක් විදියට මං ඔයාලට කියන්නෙ.. මේ කතන්දරේ අතෑරලා දාන්න කියලා.. කෙල්ලෙක් හින්දා කොල්ලො අපි මරාගන්නෙ ඇයි..?

මගේ කතාවෙන් අපි ඉස්සරහ හිටපු කලු කුම්බිලියගෙ මූණ වෙනස් වුණා. උගේ ඩයල් එක නම් හීනෙකින්වත් පතන්න හොඳ නැති අසමජ්ජාති ඇවටියෙල් එකක්. මේකා මටත් එක්ක නෙලයිද මංදා. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමය මතක්වෙන්න.

උඹ ගැන අපි දන්නවා මල්ලි.. උඹ බෙකම්නේ.. අපේ ඉස්කෝලෙ නම්බුව තියන්නෙ උඹ වගේ පට්ට සිරා එවුන් තමයි.. අපි උඹ ගැන ආඩම්බර වෙනවා.. ඒත්.. ඒත් බලපං.. මල්ලි.. මේ උඹලගෙ යාලුවෙක් වෙච්ච එකා කරන නොසංඩාල වැඩේ.. අපි කෝමද මූට අතක් පයක් උස්සන්නැතුව ඉ්නනෙ.. ඩිංගක් මුගේ මූන බහං.. නෙලන්නමනේ හිතෙන්නෙ..

කලු එකා ආයෙත් අත ගුලි කරගත්තා. ඌ කියන එක සීයට පන්සීයක් ඇත්ත.. මහේලයගෙ තියේනනෙ ගුටි කන මූණක්ම තමා. මටත් ඌට දෙකක් අනින්න හිතෙනවා.

මහේලයා.. මේ අයියට කතා කරන්න දීපං.. උඹ මේ බෙකම්ගෙ යාලුවෙක් නම්, අනුන්ගෙ ප්‍රේම කතා උඹට වැඩක් නෑ කියලා..

ඒත් මහේලයා බිම බලන් හිටියා මිසක ඔලුවවත් ඉස්සුවෙ නෑ.. කොහොම හරි මායි ඇම්ඩයි පැතුමයි දන්න සුද්ද සිංහල, සංස්කෘත, පාලි, අංඩර දෙමළ ඔය ඔක්කොම කියවලා අර මරුමුස්ල තුන්දෙනාව යාන්තම් ෂේප් කරගත්තා. උං කිය කියාම ගියේ ආයෙ නෙහාරයි මහේලයි එක තැන ඉන්නවා, කතා කරනවා දැක්කොත් මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්නම නෙලනවා කියලා.

හ්ම්.. දැන් ඉතිං කියපල්ලා තොරෙණෙ විස්තරේ..

අලුගෝසුවො තුන්දෙනා පේන්නැතිවෙලා යනකන් ඉඳලා මං කට ඇරියා. ඇම්ඩා තරහටද කොහෙද අහක බලා ගත්තා. පැතුමා නම් බලන් හිටියෙ නෙහාරගෙ මූණ දිහා. හරියට නිකං මේ දැන් පිඟානට බෙදාගෙන හැඳි ගෑරුප්පු වලින් කන්න වගේ.

කතා කරපං මහේල.. උඹල හදන්නෙ මුළු දවසෙම අපිව මෙතන තියන්නද ආ..?

මහේලයි, නෙහාරයි දෙන්නම කතා නොකරපු හන්දා මගේ යකා ඇවිස්සුණා. ඇයි යකෝ.. මුං මේ හැසිරෙන විදියට මුංව කොටියම කරන්න එපෑය.. මුංට එක වචනයක්වත් කතා කරන්න බැරි මුංගෙ යටිබඩ බල්ලො කාලද..?

අ.. අනේ නවෝද්.. මහේලට බනින්නෙපා.. එයා.. එයා වැරදි නෑ.. මමයි එයාට එන්න කිව්වෙ..

මහේල කතා නොකරන හන්ද, නෙහාරා මගේ ළඟට ආවා. ඒ බෝල ඇස්වල කඳුලු උතුරල ගිහිල්ලා.. ඔව් ඉතිං.. කෙල්ලො හැමදේටම කොරන්න දන්නෙ ඔච්චර තමයි.. ඒක තමයි උංගෙ තියෙන එකම ගැලවීමේ මාර්ගය.

හරි කවුද, වැරදි කවුද කියනෙක මෙතෙන්ට අදාල නෑ නෙහාරා.. ඒත් මං ඔයාට එක දෙයක් කියන්නම්.. ඔයාගෙ ලව් එෆෙයාර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔයා අමල් එක්ක කතා කරලා විසඳගන්න.. එහෙම නැතුව ඔයාට වැටෙන හැම බාල්දියටම මහේලව ඇදලා අරන් ඌව අමාරුවෙ දාන්නෙපා..

ආයෙ මොනවටද..? මං අතගාන්න ගියේ නෑ.. එකෙන්ම කතන්දරේ ගොඩට ඇදලා දැම්මා.. නැතුව මේ වගේ ප්‍රාග් අයිතිහාසික යුගයේ ගැටලු විසඳන්න බෑ.. මේවා ගෝත්‍රික ප්‍රශ්නනේ.

ම.. මං.. හ්ග්.. හ්ග්.. මහේලව අමාරුවෙ දැම්මෙ නෑ.. ඉහිහ්.. හ්ග්.. අ.. අමල්ට මං කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. එයා මාව ගණන් ගන්නෙ නෑ.. මගේ ප්‍රශ්නෙකදි එයා හැරිලවත් බලන්නෙ නෑ.. අමල්ට ඕන මගේ ඇඟ විතරයි.. න්හ් ඉහිග්.. ඉ.. ඉතිං මං මගේ ප්‍රශ්නයක් පන්තියෙ යාලුවෙක් වෙච්චි මහේලත් එක්ක කතා කරන එක වැරදිද නවෝද්.. මට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නෙ මහේල විතරයි.

හප්පට සිරි.. බලපල්ලකො.. මේ සීගිරි අප්සරාවිගෙ කතා විලාසයේ තියෙන සිරියාව.. මහේලත් එක්ක කතා කරනෙක වැරදිද කියලා, මේකි මගෙන්නෙ අහන්නෙ.. ඔය වගේ වෙලාවල් වලට තමයි මේකිගෙ කට කන්න හිතෙන්නෙ..

මහේල විතරයි කියන්නෙ.. ඔයාට අපේ ඉස්කෝලෙ එක ගෑනු යාළුවෙක්වත් නැද්ද..? ආ..! නිකං බයිල ගහන්නෙපා නෙහාරා..

මගේ කතාවට කේල්ලගෙ මූණ කළු වුනා. කරන්න දෙයක් නෑ නෙහාරා.. ඔයා තමයි මේ හැන්දෙන් බෙදාගත්තෙ.

ඔයා දන්නවද දන්නෑ නෙහාරා.. මේ ලෝකෙ ලෙඩ වර්ග තුනක් තියෙනවා.. එකක් අපිට හැදෙන ලෙඩ.. අනික අපිට වැටෙන ලෙඩ.. අන්තිම එක තමයි අපි දාගන්න ලෙඩ.. ඔයාලා දෙන්නා ඉන්නෙ ඔය කොයි ලෙඩේ ළඟද කියලා හිතාගන්න අමාරු නෑනේ.. හැබැයි..

කතාව නවත්තල මං මහේල දිහා බැලුවා. ඌ කෙලින්ම හිටියෙ මගේ දිහා බලන්.

හැබැයි.. ඔයා දන්න දවසෙ ඉඳලමමංතරේ වගේ කියෙව්වෙ මට අමල් ඕනා.. මට අමල් ඕනා කියලා.. එයා නැති උනොත් මං මැරෙයි කියලා.. දැන් බලපුවහම ඔයා කියන්නෙ අහස පොළව උහුලන්නැති අමුතුම කතන්දරයක්.. හනේ මංදා.. මට නම් ඕවා තේරෙන්නෑ.. ඔයාලගෙ හිතේ තියෙන දේ නෙමෙයි ඔයාලා එළියට දාන්නෙ.. අපි යමු බං..

ඇත්තටම එතනින් එහාට මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ.. මහේලයි, නෙහාරයි ගල් පිලිම දෙකක් වගේ හිටගෙන ඉන්දෙද්දි, අපි තුන්දෙනා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.

උඹගෙ කතාව නම් මැක්සා බෙකම්.. පේන විදියට නම් මහේලයා ටිංකිරි බාල්දියකටම ඔලුව අල්ලලා වගෙයි..

අනිවා මචං.. එකෙ දෙකක් නෑ.. ඕකා අදට අපි හින්දා බේරුණා.. ඒත් වෙනින් දවසක මේකෙ පොළියත් එක්ක මහේලයා කයි..

බලපංකො බෙකම්.. ඌ අපි එක්ක වචනයක්වත් කතා කලේ නෑනෙ..

ඔය මල ඉලව්ව ඇරෙන්න උඹලට වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ආ..?

මට තද උනා කියලා ඇම්ඩට තේරුණා.. ඇත්තනේ අප්පා.. අපි නිකං බලෙන් දෙන්න ගියා වගේනේ එතනට.

ඒනම් හවස තලපතාගෙ ක්ලාස් එකේදි සෙට් වෙමු..

පැතුමයි, ඇම්ඩයි ඈත්වෙලා යද්දි, මං මගේ අති උත්තම මවුන්ටන් බයිසිකලේ ගන්න ඉස්කෝලෙ පැත්තට ආවා. ඒ වෙලාවෙ කාපට් පාර පුරාම තිබ්බෙ මහම මහ පාලු ගතියක්. මගේ හිත පුරාම අහම්බයකින් වගේ ඒ පාලු ගතිය ඇදිල ගියා. සමහර විට ඒ හැඟීම මගේ හිතට ආවෙ, මෙච්චර වෙලා මගේ ළඟන් ඉඳපු ඇම්ඩයි, පැතුමයි මං ගාවින් ගියපු හින්ද වෙන්නැති.

දැවැන්ත තාප්පෙන් කොටුවෙලා තිබ්බ ඉස්කෝලෙ ගොඩනැගිලි එකින් එක ඇස් මානෙට අහුවෙද්දි, මගේ හිත තවත් නොදන්නා දුක්බර හැඟීමකින් පිරිලා ගියා. අවුරුදු දොලහක් දහ තුනක් හැමදාම දැකපු මේ අජීවී වස්තූන් ගැන මට දැනුණෙ ඇත්තටම සංකාවක්. තව බොහොම ඩිංග කාලෙකින් මේ හැමදේම දාලා ඉස්කෝලෙන් එළියට, ඒ කියන්නෙ මහා දුෂ්ඨ නපුරු සමාජෙකට මට බහින්න වෙනවා. මේ වගේ ආදරණිය තැනක් ජීවිතයෙ කවදාවත් ආයෙ ලැබෙන එක්ක නෑ කියලා මට හිතුණා. ඇත්තටම ඉතිං අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙන හුඟක් දේවල් අපිටදාලා යන්න බැරි දේවල්. ඒ හැමදේටම ඉස්සරහින් මේ ආදරණිය සෙන්ට්‍රල් එක මගේ ජීවිතේ පළවෙනි තැන අරගෙන තිබුණා. අවුරුදු දහ අටක් වෙන මේ ජීවිතේ කොයි තරම් නම් දේවල් මේ ආදරණිය රජ මාළිගාව ඇතුළෙ සිද්ධ වෙලා තියෙනවද..? මේ අජීවී වස්තූන් පවා මට දැනුණෙ, මගේම ජීවිතයෙ කොටසක් විදියටයි.

බෙකම් පුතා.. මොකද මේ අවේලාවෙ..?

බයිසිකලේ ගන්න ගියපු මට මූණටම හම්බවුනේ දැල්ලා අංකල්. හැමදාම ඉස්කෝලෙ පටන්ගන්න, පීරියඩ් වෙන් කරන්න, ඉන්ටෙවල් දෙන්න, ඉස්කෝලෙ අරින්න.. යකඩ කෑල්ලකින් තවත් යකඩෙකට පත බාන දැල්ලා අංකල් දිහා මං හොඳ ඕනෑකමින් බැලුවා. කොන්ඩෙ ඉඳිලා, සුදු රැවුල් කොට මූන පුරාම වැවිලා, ඇට පෑදුනු වැහැරුන මූණෙ පිරිලා තිබ්බෙ ප්‍රීතිමත් ගතියක්. ඇත්තටම අවුරුදු කීයක් නම් දැල්ලා අංකල් මේ බෙල් එක මේ විදියට සද්ද කරන්න ඇත්ද.?

බයිසිකලේ ගන්න ආවා අංකල්.. ඒක නෙමෙයි.. මට අංකල්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා..

මං දැල්ලා අංකල් ගාවටම ඇවිත් නතර උනා. හුඟාක් කොල්ලො, දැල්ලා අංකල් ළඟට ඇවිත්, කන ගාවට කරලා මහා හයියෙන් දැල්ලෝ කියලා දුවද්දි, දැල්ලා අංකල්ගෙන් හීන් සීරුවෙ පිටවෙන්නෙ අමු සිංහල පාලි සංස්කෘත වචන.. ඒත් මේ බෙකම් ඒ වගේ කසිකබල් වැඩ කරන්නෑ කියලා මිනිහා හොඳටම දැනන් හිටියා.

මොකක්ද බෙකම් පුතා..?

අවුරදු කීයක් මේ රස්සාව කරනවද..?

හුඟ කාලයක් හිතේ හිරවෙලා තිබ්බ ප්‍රශ්නයක් මං ඇහුවා. මොකද මං ප්‍රයිමරියෙ ඉන්නකොටත් දැල්ලා අංකල් මේ යකඩෙට පත බාන හැටි දැකලා තිබුණ හිංදා.

හුඟ කාලයක් පුතා.. හුඟ කාලයක්.. ඇත්තටම මට මතක නෑ.. සමහර විට අවුරදු තිහක්.. තිස් පහක් වෙන්න පුළුවන්.. ඒත්.. ඒත්.. තව ටික කාලෙකින් මේ හැමදේම දාලා මං යනවා පුතා..

ඒ.. ඒ කිව්වෙ අංකල්..?

ම.. මට දැන් හුඟක් වයසයි බෙකම් පුතා.. ඔව්.. හුඟක් වයසයි.. මට හරියට දුර පේන්නෙත් නෑ.. කොටින්ම දැන් මම ලෙඩෙක්.. ඒත් මේ ගොඩනැගිලි.. මේ ළමයි.. මට.. මට.. දාලා යන්න මහා ලෝබයි.. මගේ පපුවෙන් කෑල්ලක් ගැලවෙන්න වගේ.. එහෙම හිතනකොටත්.. එක වසරට අම්මල තාත්තලා අතේ එල්ලිලා ඇවිල්ලා.. පුතාගෙ වයසෙදි මේ ඉස්කෝලෙන් අයින් වෙලා යනළමයි කී දෙනෙක් නම් මගේ මේ දුප්පත් ඇස් දෙකට මං දැකලා තියෙනවද..? හ්ග්.. හ්ග්.. ඒත් මං මේ ඉස්කෝලෙ දාලා යන්නෙ.. මගේ බැරිකම හින්දා.. මං වයස හින්දා.. තව ටික කාලයක් යනකොට අර යකඩෙවත් මට උස්සගන්න බැරිවෙයි.. හ්ග්..

දැල්ලා අංකල්ගෙ වියපත් ඇස් වලට කඳුළු ඇවිල්ලා තිබුණා. ඒ කඳුළු වලට සමාන්තරව, ඒ හැඟීමම මගේ පපුවටත් දැනිලා තිබ්බ හින්දා මගේ ඇස්වලටත් කඳුලු ඉනුවා. ඒ කඳුලුවල කිසිම වෙනසක් තිබ්බෙ නෑ.. ඒවා එකම ජාතියෙ, එකම කුලයෙ, එකම ආගමේ කඳුළු.

ම.. මං අවුරදු ගාණක් මෙතන හිටියත්.. මං අන්න අර ගේට්ටුවෙන් එලියට ගියාම, හැමෝටම මාව අමතක වෙලා යයි.. හ්ග්.. හ්ග්.. මේ දිව්‍ය ලෝකෙ ඇතුළෙ, මං දැකපු, මං විඳපු දේවල් හැමදාටම ලස්සන මතකයක් විදියට මගේ පපුවෙ උඩින්ම තියෙයි.. මේකෙන් එළියට ගියාම මගේ ජීවිතේ මහා පාලු කාන්තාරයක් වෙයි...

දැල්ලා අංකල් කියපු දේවල් මගේ ලේ නහර වලට පවා මිශ්‍ර වෙලා ගිහින් පපුව ඇතුළටම රිංගුවා.. මේ විදියට දැනෙන, මේ විදියට වැළපෙන, මේ විදියට ගැයෙන, මේ පාලු කාන්සිය මේ ආදරණිය බිම්කඩින් ඈත්වෙලා ගියහම, කොයි තරමක් නම් හිතට වද දිදී දැනේවිද කියලා හිතෙනකොට මාව වෙව්ලලා ගියා.

ඒත්.. ඒත්.. මට සතුටක් කියලා පුංචි දෙයක් හරි මේ මොහොතෙ ඉඳන් මට තියෙනවා.. මෙච්චර කාලෙකට.. මෙච්චර කාලෙකට, මං ගැන ඔහොම හරි ඇහුවෙ ඔයා විතරයි බෙකම් පුතා.. මේ දහස් ගාණක් අය අතරෙ.. මං අවලංගු කඩදාසියක්.. මං.. මං හැමදාම අර යකඩ කෑලි වලට පත බාන දැල්ලා..! මේ අහිංසක ලස්සන ළමයින්ට.. මං අවලස්සන මෝඩ දැල්ලා..!! කමක් නෑ බෙකම් පුතා.. ඔයාට හරි මාව ලස්සනට පෙනුණනේ.. ඔයාට හුඟක් පිං.. ඔයාට හුඟක් පිං..

අත් දෙකෙක්ම ඇස්වල කඳුළු පිහිද පිහිද දැල්ලා අංකල් ලයිබ්රිය පැත්තට ගියා. මගේප පුවට දැනුනෙ මහා වේදනාවක්. මේ වගේ වේදනාත්මක සංවේදී හැඟීමක්, මගේ මතකයේ ඇති කාලෙක මට දැනිල තිබුණෙ නෑ.. පුංචි වචන කීපයක් එළියට දාලා, ඒ වචන ඩිංගෙන් මනුස්ස ආත්මයක සම්පූර්ණ කතාවම නිර්ව්‍යාජව එළියට ඇදිල ආපු හැටි මට පුදුම හිතුණා. දැල්ලා අංකල් වෙනුවෙන් මොනවම හරි කරන්න ඕනෙයි කියලා මං හිතාගත්තා. ඒත් එක්කම මං, මං ගැනම ආඩම්බර උනේ දැල්ලා අංකල්ගෙන් ඒ වගේ පුංචි දෙයක් හරි අහන්න තරම් සංවේදී හිතක් මට හිමිවෙලා තිබුණ හන්දා.


No comments:

Post a Comment