Monday, November 5, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |


ගෙදර ඇවිත් මට ඒ හැටි සනීපයක්, සැපක් ගන්න වෙලාවක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකද කියනව නම් තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක දෙකහමාරට කියලා මගේ ඔලුව උඩම තිබ්බ හන්දා. ඇඟට වගේම හිතටත් මහන්සි හින්දා අද නොගිහින් ඉන්න තිබුණ නම් හොඳයි. ඒත් අද ටියුට් වගයක් කරනවා කියලා, ගිය සතියෙ ස්ටේජ් එක උඩදිම තලපතා බෙරිහන් දුන්නනේ, හක්කෙ පුරස්චාර්වක දතුත් පේනකන්.

බෙකම්.. කොහොමද එක්සිබිෂන් එක..?


තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක ඉස්සරහදිම බලයව මට හම්බවුණා. මූළු අද දවසටම මං දැක්කෙ නෑ. මේකා ස්කූල් කට් කරා වත්ද..?

අවුලක් නෑ.. හොඳට තිබ්බා.. මොකද උඹ පේන්න හිටියෙ නැත්තෙ.?

මායි මාධවයි රීගල් එකේ දාලා තිබ්බ ඉංග්ලිෂ් ෆිල්ම් එක බලන්න ගියා..

මොනවා.. මාධවයා..? ඌ ෆිල්ම් බලන එකෙක් නෙමෙයිනේ බං..

ඒ උනාට මාත් එක්ක ගියා.. ෂිහ්..

ඇයි චමිල්..?

අයියෝ සල්ලි..

ඇයි ෆිල්ම් එක හොඳ නැද්ද..?

ලොකු පත අකුරෙන් ඇඩෝස් ඔන්ලි කියලා ගහලා තිබුණට මෙලෝ සංසාරයක් නෑ බෙකම්.. දුකේ බෑ.. හරියට වාර්ථාමය එකක් වගේ..

ඒවා එහෙම තමයි බං.. ලොකුවට ඇඩෝස් ඔන්ලි කියලා ගහල තිබුණට, ඔය පුංචි පුංචි සීන් එකක් දෙකක් විතරයි තියෙන්නෙ.. කොල්ලො ඉතිං නමට රැවටිලා යනවා..

මාත් දන්න එකා වගේ කිව්වා. හරියට නිකං සතියට දවස් දෙකක් නොවරදවාම රීගල් එකේ බුදියන එකෙක් වගේ.

පිස්සුද බෙකම්..! උඹට කියන්න මට ලැජ්ජ නෑ.. හදවත වැළපෙනවා බං.. මේකෙ කිස් කරන එකක්වත් නෑ හත්තිලව්වෙ.. ඒ උනාට හෝල් එකේ කට කපල සෙනඟ.. මටයි, මාධවයටයි නේද.. මලේ මල.. ඒත් ඉතිං ස්කූල් යුනිෆෝම් පිටින් ගියපු කරුමෙට ඉවසන් හිටියා..

ස්කූල් යුනිෆෝම් එකෙන් උඹලව ඇතුළට ගත්තද..? ටිකට් කඩන එකා මහ බාල්දියනේ බං..

ඒකනේ බෙකම් අපිටත් පුදුමෙ.. ඌ වචනයක්වත් කිව්වෙ නැතුව අපි ඇතුළට ගත්තනේ.. සමහර විට මේකෙ මෙලෝ මලදානයක් නැති හින්දා කුපාඩිකමට ගත්තා වෙන්න ඇති..

ආ.. චමිල් රීගල් එකේ ෆිල්ම් එක බැලුවද..? මාර ෆිල්ම් එක නේද..? උඹලා මාර ආතල් එකක් ගන්න ඇතිනේ..

එකපාරටම අපේ පිටිපස්සෙන් ඇහුණෙ ඇම්ඩගෙ කටහඬ උගේ මූණෙ පුරවලා තිබුණෙ අති සුන්දර කුණු හිනාවක්.. පේන විදියට නම් පේ අශ්පයා තවත් මරාලයක් පෙරලල වගේ.

මොකක්ද උඹ මගෙන් ඇහුවෙ..?

බලයා, ඇම්ඩා දිහාට හැරුණා. මටත් ඇම්ඩගෙ වචන පාවිච්චි උණු පිළිවෙල ඇල්ලුවෙ නෑ.. ඌ ඉංශ්‍රීසි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න ගියා වත්ද..?

බෙකම්.. උඹට මතකද, අපි ස්කූල් කට් කරල ඔය රීගල් එකේ ඇඩෝස් එකක් බලන්න ගිහින් වෙච්ච දේ..?

මං ඔලුව වැනුවා.. මොකෝ මට අමතක.. ඒක විලිලැජ්ජාවෙ සංතෝසෙබැරි දවසක්නේ. කොටින්ම ෆිල්ම් එක බලන්න ගියේ මායි, පැතුමුයි, ඇම්ඩයි, කල්හාරයයි. ඒත් අපේ වයස අඩුයි කියලා, කවුන්ටරේ හිටපු ටිකට් දෙන මනුස්සයා මෙලෝ විදියකට අපිට ඇතුළට යන්න දුන්නෙ නෑනෙ.. ඇම්ඩයි, පැතුමයි, අඬලා වැළපිලා අපිව ඇතුළට ගනිං යකෝ කියලා නොවඳිනා වැඳුම් වැන්දත් හෝල් එකේ අංකල් අපිව දැක්කෙ ජාතික අපරාධකාරයො ගානට.

හහ්.. හහ්.. මටත් ඔය වයසෙ ළමයි ඉන්නවා. මං කීයටවත් ඔය ළමයින්ට ටිකට් දෙන්නෑ.. තමුන්ලා තව වැඩිය කතාවට ආවොත් හෙම මං සෙන්ට්‍රල් එකේ ප්‍රින්සිපල් මහත්තයට කෝල් කරනවා.. හහ්.. තාම රිවිඩ්ඩෙන් එළියට පැනලා නෑ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න.. හ්ම්.. යනවා යන්න මෙතනින්..

මිනිස්සු ඉස්සරහම අංකල් අපිට කෑගැහුවා. ඒකයි මං කලින් කිව්වෙ විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ කියලා.

හොඳයි අංකල් අපි බලාගන්නම්..

ඇම්ඩා ටිකට් කඩන මනුස්සයා ළඟටම ගිහින් තර්ජනේ කරා.

බලාගන්න.. හ හ්.. මොනවා බලන්නද..? ඇට්ටර කොල්ලා.. තමුසෙට පුතා හරියට වලක් හෑරෙන්න චූ කරන්නවත් පුළුවන්ද..? ආ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න..

අංකල් කියන ඒවට, පොළව දෙබෑ කරගෙන ආදිකල්පික යුගයකට යන්න හිතෙනවා අප්පා.. මොන නව නිංගිරාවක්ද මේ..? ෆිල්ම් එක බලන්න ආපු වැඩිහිටියො අපි දිහා බැලුවෙ සත්තු ගාණට දාලා. මං ඇම්ඩව අමාරුවෙන් ඇදගෙන එළියට ආවා. අංකල් තවත් මොනවදෝ කිය කිය අපිට බනිනවා ඒ වෙනකොටත් ඇහුණා.

මතක තියාගනිං බෙකම්.. මං පොල් පැළයක් හිටවන්න තරමෙ වලක් හෑරෙන්න චූ කරලා ඌට පෙන්නනවා.. ඌ දන්නෑ මේ ඇම්ඩා කියන්නෙ කවුද කියලා.. මං මෙහේ ගිනි තිබ්බොත් උගේ පස්ස පැත්තෙන් දුම් පිටවෙයි.. හහ්..

ඒ කතන්දරේ එතනින් ඉවරයි කියලා මං හිතාගෙන හිටියෙ. ඒත් ඇම්ඩා කියාගෙන යන මේ විස්තර පත්‍රිකාවට අනුව, ඒක එතනින් මතු සම්බන්ධයි කියලා තමයි, හිතන්න වෙන්නෙ.. අන්න ඒ මතු සම්බන්ධ වුනු තැන තමයි මේ කතාව දැන් ගලාගෙන යන්නෙ.

ඉස්කෝලෙ තාප්පෙට අමාරුවෙන් බඩගාලා, අතපය ලාවට ගානට හූරගෙන, ජංගල් කෝස් දෙක තුනක්ම කරලා, ෆිල්ම් හෝල් එකට නිරුපද්‍රිතව ආවහම, මේ බලු අංකල් තඩියා අපිට දීපු පරිප්පුවට, පරිප්පුවක් හෙම දීගන්න බැරි උනා නම් මං බුරිය විකාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..

හරි.. හරි.. නාලකයා.. කයිය නවත්තලා උඹ දීපු පරිප්පුව ගැන කියපං.. උඹ මොකක්ද ඒ නාකි මැංටලේට කලේ..?

විශේෂ දෙයක් නෑ චමිල්.. උඹ අද දැක්කද ෆිල්ම් එක බලන්න ආපු ඈයො අංකල් කාරයට ගහන්න හදපු හැටි.. කොහොමද කොල්ලො ඌට වදාපු අම්මයි, ජාතක කරපු තාත්තයි මතක් කර කර බැනපු හැටි.. මාර ගති නේද බං..

ඒ.. ඒ.. නාකල.. උඹ කොහොමද ඕවා දන්නෙ..? උඹ හිටියෙ බෙකම් එක්ක බාලිකාවෙනේ.. ආ..?

මටත් ඇම්ඩගෙන් අහන්න තිබ්බෙ ඒ ප්‍රශ්නෙමයි. මේකට එකපාර තැන් දෙකක පෙනී සිටීමේ බලයක් තියෙනවද මංදා.

මට ආරංචි උනා බං..! මට ආරංචි උනා..!! මගේ වැඩවල ප්‍රතිඵල මට ආරංචි උනා..

උඹේ වැඩවල..?

ඔව් බෙකම්.. ඔය රීගල් එකේ පෙන්නුවෙ ඇඩෝස් ඔන්ලි එකක් නෙමෙයි..

මොකක්..?

මටයි බලයටයි දෙන්නගෙන්ම එක පාර ඒ වචනෙ පිට උනා.

ඔව්.. ඒකෙ ඇති වැඩිහිටියන්ට පමණයි එකක් නෑ.. ඒක කලාත්මක ජපන් ෆිල්ම් එකක්. මගේ ඥාන ශක්තියෙන් මං ඒක ඇඩල්ට් කරා..

ඈ.. ඇම්ඩො.. ඒ කොහොමද බං..?

අද උදේ පාන්දර, ෆිල්ම් හෝල් එකේ නේම් බෝඩ් එකේ මං ඉන්දියන් තීන්ත වලින් ලිව්වා, ෆිල්ම් එකට යටින් ස්ට්‍රික්ලි ෆෝ ඇඩෝස් කියලා.. හහ්.. හහ්.. හා.. කෝමද බලයා සැප..

බලන් ගියාම ඇම්ඩා කියන්නෙ රාජකීය භාණ්ඩයක්ම තමයි. වැඩිහිට දර්ශන නැති ෆිල්ම් එකක, වැඩිහිටි දර්ශන බලන්න ආපු හුදී ජනතාවගේ කෝපය සම්පූර්ණයෙන්ම දෙගොඩ තලා යන්න ඇත්තෙ, කවුන්ටරේ හිටපු අංකල් කාරයගෙන්.

යකෝ.. උඹ කරොත් කරන්නෙ, ඔය වගේ අලුගුත්තේරු වැඩක්මනේ.. බලපං.. මායි, මාධවයිත් සල්ලි දීලා නිකං චාටර් ෆිල්ම් එකක් බලලා ආවා.. ෂික් විතරක්..

බලයා ඒ පාර උපරිමයෙන් පසුතැවිලි වෙන්න ගත්තා. ඇම්ඩගෙ මූණ පුරාම අර රාජකීය කුණු හිනාව උතුරලා ගිහින් තිබුණා. ඇත්තටම මූ තමයි දවසකටවත් මිනිහා. ඌට අවුලක් කරපු එකෙකුට ඇම්ඩා කවදාවත් සතුටින් සාමදානයෙන් ඉන්න දෙන්නෑ. සාමදානයේ සතපවනවා විතරයි.

හ..හප්පේ.. අන්න තලපතා එනවා.. යමල්ලා..

ඈත ඉඳලම මහ පොලොවට රිදෙන්න වගේ බරට බරේ අඩි තිය තියා එන තලපතාව දැකපු පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක් කෑගැහුවා. උං කොහොමටත් තලපතාට පරාණ බයයි. තලපතා ළඟ ඉන්නකොට උං අඩුම ගානෙ හුස්මවත් ගන්නෑ.

ඒයි.. දුෂ්මන්තයා.. මාව සළකුණු කරපං..

ඇම්ඩා උගේ ෆිසික්ස් කාඩ් එක, කාඩ් මාක් කරන දුෂ්මන්ත ළඟට විසි කරා.

ඔයා හරිම නරකයි අනී.. වැදගත් විදියට කතා කරන්න දන්නෙ නැති නරකම නරක ළමයෙක්..

දුෂ්මන්තට උරුම ගෑනු කටහඬින් ඌ කියද්දි, මං පංතියට ඇතුල් උනා. මූ නම් ගිය ආත්මෙ ගෑනු පරාන තුන හතරක්වත් වෙලා ඉන්න ඇති. මේ ආත්මෙත් වැරදිලාද කොහෙද තමයි දුෂ්මන්තයට පිරිමි රූපයක් ලැබිලා තියෙන්නෙ.

දුෂ්මන්තයා.. උට අර ජපන් නින්ජල ගහපු හැටි මතකනේ.. සද්ද වහලා මගේ කාඩ් එක දීපං.. නැත්නම් ඒ ජවනිකාවම නැවත මෙතන රඟ දැක්වෙයි.. තේරුණාද..?

ඇම්ඩා, ඒ පාර දුෂ්මන්තයට තර්ජනය කරනවා. ඔය හැලපයට තර්ජනය කරලා වැඩක් නෑ. ඕකා දෙක තුන කරලා තලපතාගෙ කනේ තියනවා. එතකොට ඉතිං අපිටයි සැබෑම තර්ජනේ එන්නෙ. මායි, ඇම්ඩයි, පැතුමයි පන්තියෙ මැද හරියෙ බංකුවක වාඩි උනා. ඒ පැය දෙකහමාරක අධිවේගී ත්‍රාස ජනක භෞතික විද්‍යා මෙහෙයුමකට සම්බන්ධ වෙන්න.

ඔව්.. ළමයි.. අපි ගිය සුමානෙ කොතනින්ද නැවැත්තුවෙ..? අන්න ඒ නවත්තපු තැන ඉඳලා අපිට ගමන ආරම්භ කරන්න පුළුවන්.. හා.. හා.. ඔය අන්තිම හරියෙ ළමයි තාම ඇතුළට ආවෙ නැද්ද..? ආ.. තමුසෙල මහ ගඩ්ඩො ජාතියක් අයිසෙ.. කෝ.. ඉක්මන් කරනවලා.. ඉක්මන් කරනවලා..

තලපතාගෙ පරිසරේ දෙදරණ ලාමක කටහඬට බයවෙච්චි පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක්, වැඩි කලබලේට බංකුව කොනකින් වාඩිවෙන්න ගිහිල්ලා, බංකුව එහෙම් පිටින්ම උඩ ගියා. කොල්ලා පෙරේතයා පොලේ ගැහුවා වගේ පන්තිය මැද ඇඳන් වැටුණා. ඒ වගේ දේකට හිනාවීම අමනකමක් උනත් කොල්ලො කෙල්ලොන්ට හිනාව නවත්තගන්න සෑහෙන වෙලාවක් ගියා.

ටිකකින් පන්තිය හොඳටෝම නිශ්ශබ්ද උනා. ඇල්පෙනෙත්තක් බිමට වැටුණත් ඒකත් ඇහෙන තරම්. තලපතා බර බරස් ගගා එහෙටයි මෙහෙටයි ඇවිදින සද්දෙ විතරයි ඇහුණෙ. දෙපැත්තෙ ඉඳපු ඇම්ඩගෙයි, බලයගෙයි මෙලෝ සද්දයක් නැති හින්දා මං උන් දෙන්නා දිහා බැලුවා. හත්වලාමෙ මෙන්න උං දෙන්නා වාඩිවෙලාම ගජරාමෙට බුදි. මං ඇම්ඩටයි, බලයටයි ඇඟලි වලින් ඇන්නා.

ඒයි නැගිටපං.. තලපතා එනවා..

මේ සංසිද්ධිය, ඉගෙන ගන්නා ඕනෑම අවස්ථාවකට පොදුයි කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. දිරවන්නෙ නැති විෂයක් උගන්නනකොට කොහොමත් නිදිමත ගලාගෙන එන්නෙ මළ ගිය ප්‍රාණකාරයෙක් ළඟට එනවා වගේ.

මං දන්නවා..! මං දන්නවා..! මං අත්දැකීමෙන්ම දන්නවා..!!! මේ වෙනකොට මේ පන්තියෙ තුන්කාලක්ම බුදි කියලා. ඒත් මං මේ කතා කරන්නෙ ඇහැ ඇරිලා ඉන්න ගඩ්ඩොන්ට.. අන්න ඒ ඇහැ ඇරිලා ඉන්න ඈයො ටික නැගිටිනවා බලන්න..

පන්තියෙ මැද හරියට ආපු තලපතා කිව්වා. මොකක්ද බං ඒ වඳුරු කුණුහරුප කතාව.. හරි නම් නැගිටින්න ඕන නිදාගෙන ඉන්න ඈයොනේ. කොහොම උනත් තලපතාගෙ කතාවට මුළු පංතියම ප්‍රතික්‍රියා දැක්වුවෙ මාර උවමනාවකින්. මේනන යකෝ මුලු පන්තියෙම කොල්ලො කේලලො එක සැරේට නැගිටලා බලන් ගියහම නිදාගත්තු එකෙක්වත් නෑ. තලපතාගෙ මූණ බලන් ඉද්දිම ඇඹුල් උනා. හරියට ඒකා ගැටනාරං කාලා වගේ.

හා.. හා.. හා.. වාඩිවෙනවලා.. වාඩිවෙනවලා.. මොකක්ද අයිසෙ මේ විහිලුව..? පුංචි ළමයි වගේ.. නැගිටින්න කිව්වහම ඔහොමත් නැගිටිනවද..? ෂහ්.. තමුසෙලා නම් පුදුම ගඩ්ඩො ජාතියක්..

කොල්ලො කෙල්ලො එක එකාගෙ මූණු බල බලා ආයෙත් වාඩිවුණා. බලන් ගියාම අප්පා, තලපතාටද පිස්සු, එහෙමත් නැත්නම් අපිටද පිස්සු..?

හහ්.. දැන් බලනවා.. තමුසෙලා හොඳටම බුදි.. අයිසේ.. මේ ලෝකෙ කොයි තරම් වේගවත්ද.. කොයි තරම් කාර්යක්ෂමද.. කියලා තමුසෙල දන්නවද..? තමුසෙලට වැටහීමක් තියෙනවද..? ආ..! නෑ.. නෑ.. ජීවිතේට නෑ.. මට හරිම කණගාටුයි.. තමුසෙල වගේ ගඩ්ඩොන්ට මගේ ආත්මය හා බැඳිච්ච මේ භෞතික විද්‍යා මූලධර්ම කියාදෙන්න සිද්ධ වේචච එක ගැන..

මේකා හරියට කතා කරන්නෙ අපිට පිනට උගන්වනවා වගේනේ බං.. පුදුම හොරනෑවක්නේ පිඹින්නෙ..

කෑනොගහ ඉඳපං.. ඔ.. ඔන්න ආයෙත් තලපතා එනවා..

ඇම්ඩා කුණු කුණු ගාපු එකටද, නැත්නම් හිතේ ඉවටද මංදා.. තලපතා අපේ පේලියෙ ළඟට ආවා. මේ මනුස්සයගෙ හයේ හතරෙ දාර සයිස් ඇඟපත දැක්කම මුත්‍රා බරත් හැදෙනවා අප්පා.

මතක තියාගන්නවා.. උගන්නන වෙලාවට බුදිය ගන්නෙ ගඩ්ඩො.. තේරුණාද..? මනුස්සයෙක් උනහම දැනගන්න ඒන ක්‍රියාශීලී වෙන්න.. තමුසෙලා නොදන්නා දෙයක් මං කියන්නම්.. දන්නවද..? සෑම තත්පර තුනකට වරක් චීන රටේ කාන්තාවක් දරුවෙක් බිහි කරනවා කියලා.. බලනවා මේ ලෝකෙ කොයි තරම් ක්‍රියාශීලීද කියලා.. හ්ම්.. තමුසෙලා මෙතන බුදි..

තලපතා හෙණ ආඩම්බරයෙන් ඒ ටික කිව්වෙ, හරියට ඔය කලින් කිව්ව වඩේ මිනිහා කරා වගේ. කොහොම උනත් තලපතාගෙ කතාව අහපු බලයගෙ ඇස් ගෙඩි දෙක උඩ ගියා. උගේ තොල් හෙලවෙන්න ගත්තා. මං දැන් නිට්ටාවටම දන්නවා මූට මොනවම හරි කියවෙන්නයි යන්නෙ කියලා. අනේ දෙයියනේ හොඳ දෙයක් උනොත් හොඳයි.

ක.. කවුද අප්පා.. ඒ ගෑනි..?

මුළු පංතියම නිශ්ශබ්ද වෙලා තිබ්බ වෙලාවෙ, බලයගෙ කටහඬ ටිකක් සැරට ඇහුණා. මුළු පංතියම බක බක ගගා හිනාවෙද්දි මං බැලුවෙ තලපතා දිහා. මිනිහා මෙතන ඩෙගා නටයිද බලන්න. ඒත් තලපතාගෙ මූණෙ තිබ්බෙ මිත්‍රශීලී පෙනුමක්.

හා.. හා.. හා.. ඒ වැදගත් ප්‍රශ්නෙ අහපු ගඩ්ඩා තමුසෙ නේද..?

තලපතා චමිල් දිහාට ඇඟිල්ල දික් කරා.. අපේ එකා බිම බලා ගත්තා.

ආ මනුස්සයො.. දැනගන්නවා.. මම කිව්වෙ චීනෙ ඉන්න එක ගෑනියෙකුට ළමයි හම්බවෙන කතාවක් නෙමෙයි.. ඒ රටේ ඉ්නන හැම කාන්තාවක්ම ගැන සලකලා.. තේරුණාද..?

මිනිහා අපෙන් තේරුණාද අහන්නෙ.. මිනිහනේ වචන පටලවලා කතා කරල තියෙන්නෙ..

බෙකම්..

මොකද නාලක..?

තලපතා කිව්ව විදියට මාත් බය උනා බං..

ඇයි..?

ඒ චීන ගෑනිට වෙනම අවයවයක් හයි කරන්න වෙනවා ළමයි වඳන්න.. නැත්නම් ඔය එකෙක් කීයක් ජාති කියලා කරන්නද..?

කඩාගෙන බිඳගෙන ආපු හිනාව නවත්තගන්න බැරිව මං ඩෙස්ක් එකේ මූණ ඔබාගත්තා. ඇම්ඩත් ඉඳල ඉඳලා කියන්නෙ මසුරං කියුම් තමා.

එතන ඉඳලා තලපතා නොහොත් ප්‍රනාන්දු සර් අපේ පංතිය මිනිහගෙ ග්‍රහණයට ගත්තා. අපි හැමෝම පට්ට නිදිමතේ හොරාට ඈනුම් ඇර ඇර තලපතාගෙ සාපේක්ෂ චලිතය දිහා බලන් හිටියා.

බෙකම්.. නැගපං..

පන්තිය ඉවරවෙලා, චමිල් මගේ මවුන්ටන් බයිසිකලේ අරගෙන ආවා. හරස් පොල්ල උඩ මං වාඩිවුණ ගමන්ම චමිල් බයිසිකලේ පඳින්න ගත්තා.

ඇම්ඩා ස්ටෑන්ඩ් එක පැත්තෙන් ගියාද..?

ඔව්.. ඌ කිව්වෙ, ඌට චීන කාන්තාවක් බලන්න ඕන කියලා..

මෙන්න බෙකම් මේකි..

මායි, චමිලුයි බයිසිකලේ පැදන් ආපු පාර අයිනට වෙලා අපි දිහා බලන් හිටියෙ ඉන්කි.. චමිල් කකුල් බ්‍රේක් පාවිච්චි කරලා බයිසිකලේ ස්ලෝ කර ගත්තා.

ඉන්කි.. ක්ලාස් ආවෙ නැද්ද..? මං දැක්කෙ නෑ..

ආවා.. මං ඉස්සරහම හිටියෙ..

මෙච්චර ඉක්මනට මෙතෙන්ට ආවෙ කොහොමද..?

ඇයි බං.. මෙයා හන්ඩ්‍රඩ් ටූ හන්ඩ්‍රඩ් කරන කෙනානේ.. අපි එනකොට දෙපාරක්වත් ඇවිල්ලා ඉඳියි..

චමිල්ගෙ කතාවට ඉන්කිට පුංචි හිනාවක් ගියා. ඒත් එයාගෙ මූණෙ මොකක්දෝ අවනඩුවක් තියෙන පාටයි. මං හරස් පොල්ලෙන් බැස්සා.

ඉන්කි.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?

එහෙම මුකුත් නෑ නවෝද්..

නැත්තෙ නෑ ඉන්කි.. මට බොරු කරන්න ඔයාට බෑ.. ඔයාගෙ මූණෙ හැමදේම ලියවිලා තියෙනවා.. කියන්න.. සමින්දි අක්කා මොනව හරි ඔයාට කිව්වද..?

ඉන්කි එක පාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. එයාගෙ මූණෙ තිබ්බෙ හරිම හුරුබුහුටි ගතියක්. මේ විදියට ඉන්නකොට කෙල්ල මාර ගති.

සමින්දි අක්කා මට බැන්නා නවෝද්..

බැන්නා.. ඇයි ඒ..? අපි ස්ලයිඩ් ටිකත් හොයලා දුන්නනේ..

ඒකට නෙමෙයි..

එහෙනම්..?

මෙ.. මෙ.. මේ..

කවදාවත් නැති විදියට ඉන්කි ඇඹරෙන්න ගත්තා. අනේ පුංචි කෙල්ලෙ.. ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ.

ඇයි ඉන්කි..?

මට.. මට..

ඔව්..

ඔයත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නවත්තන්නලු..

මොකක්..? එයාට කෙහෙන් ආපු හයියක්ද එහෙම කියන්න..?

මංදා නවෝද්.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. දැන් මට කොලේජ් එන්නත් එපාවෙලා..

ඔයා මොනවද ඉන්කි මේ කියවන්නෙ..?

සමින්දි අක්කා හිතන්නෙ මං ඔයාලත් එක්ක එකතුවෙලා හැමදේම කලා කියලා..

ඔයා අපිත්තෙක්ක මොකුත් කරේ නෑනෙ..

ඒක තමයි.. ඔයාලා ගියාටප ස්සෙ එයා මට හොඳටම බැන්නා.. අපේ ඉස්කෝලෙ ගැනවත් හිතන්නැතුව, එයාව පැරැද්දුවා කියලා..

ඉතිං ඉන්කි.. එයානේ බෙට් දාගෙන ආවෙ.. මොකද අපි දාන්න ගියාද..? මාර පිස්සු කතානේ මේවා.. බලපංකො චමිල්..

ඕවා ගණන් ගන්නෙපා බෙකම්.. සමින්දිගෙ ඔළුවට කොහේදි හරි හොඳ පාරවල් දෙක තුනක් වැදිලා තියෙනවා.. ඒකයි ඔහොම මඤ්ඤං කතා කියන්නෙ.. ඕවා අතෑරලා දාන්න ඉන්කි.. පොමනේරියන් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෑ..

ඔව් ඉන්කි.. අපි බලමුකො ඉස්සරහට මොකද වේනනෙ කියලා.. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙ උදව්වට, ඔයාගෙ හයියට ඕන වෙලාවක අපි ඉන්නවා..

මගේ කතාවට ඉන්කිගෙ ඇස් දිලිසුණා. මං නිකං ඕන නැති කතාවක් කිව්වද මංදා.. ඒත් ඉතිං මං, අපි කියලා බහු වචනෙන්නෙ කිව්වෙ..

සමින්දි අක්කා කිව්වට, මං ඔයත්තෙක්ක කතා නොකර ඉන්නෙ කොහොමද නවෝද්..?

ඇස් දෙක කෙලින්ම මගේ මූණෙ රන්දගෙන ඉන්කි අහපු ප්‍රශ්නෙට දෙන්න තරම් හොද උත්තරයක් මගේ ළඟ තිබ්බෙ නෑ.. ඒත් බලයා පැනලා උත්තරේ දුන්නා.

ඔයාලා දෙන්නා හොරෙන් කතා කරන්න බබා.. මාර සේනාව වගේ මායි ඇම්ඩයි ගාඩ් එකට ඉන්නවනේ..

එතන ඉඳලා ඩිංගක්වෙලා යනකල් පුංචි නිහැඬියාවක් ගෙවිලා ගියා. ඉන්කිට අද ගෙදර යන්නත් ඕන නෑ වගේ.

ඔයාට ඔයිට වැඩිය ස්වාධීන වෙන්න බැරිද..?

ඒ කිව්වෙ..?

ඔයා සමින්දි මත යැපෙනව වැඩියි ඉන්කි.. ඔයාට තනියෙන් නැගිටින්න පුළුවන් කියලා ඔයාට පෙන්නන්න බැරිද..? එතකොට සමින්දිට තව රිදෙයි..

මට සමින්දි අක්කට රිද්දන්න ඕන්නෑ නවෝද්.. මට ඕන එයා මං ගැන තියෙන වැරදි වැටහීම අයින් කරගන්න..

ඇයි ඒ..?

මං ඒ වැරදි වැටහීමට බයයි නවෝද්..

එහෙනම් එයාගෙ කැමැත්තට, ඔයා මගෙත්තෙක්ක කතා නොකර ඉන්න.. ඉවරනේ.. අපි යමු චමිල්..

අ.. අනේ නවෝද්..

ඉන්කි මගේ අතේ එල්ලුණා. ඒ ඇඟිලිවල තිබ්බෙ පුදුම උණුසුමක්.. මේ කෙල්ල ඉන්නෙ ගිනි ගොඩක් උඩද මංදා.

ඔයා කැමති දෙයක් කරන්න ඉන්කි.. ඔයාට බල කරන්න මට බෑ.. අනික සමහර විට අපේ මේ ෆ්‍රෙන්ඩ්සිප් එක හන්දා.. ඔයාට බාලිකාවෙ හෙඩ් ප්‍රිපෙක්ට් බැජ් එක නැතිවෙයිද කියලත් කියන්න බෑ.. මං හිතන්නෙ සමින්දිගෙන් පස්සෙ ඔයා තමයි ඒ දේට හොඳම කෙනා..

ඔ.. ඔයා මාව බය කරනව නවෝද්..

සමහර විට සමින්දි ඔයාව රෙකමන්ඩ් කරන එකක් නැතිවෙයි.. එහෙම උනොත් ඔයාට හුඟාක් දුක හිතෙයි ඉන්කි..

කෙල්ලගෙ මූණ මහා කල්පනාවකින් බර උනා. ඒත් ඒ ඇස් තිබ්බෙ තාමත් මගේ මූණෙ.

ඔයා හුඟක් දුර හිතනවා නවෝද්.. ම්.. මං ඔයාට දෙයක් කියන්න කරනවද..?

මං බලයා දිහා බැලුවා. ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති එකෙක් වගේ රේල් පාර පැත්ත බලන් ඉන්නවා.

මොකක්ද ඉන්කි..?

ඔයාටයි සමින්දි අක්කටයි රණ්ඩු නොවී ඉන්න බැරිද..?

මේන් බලපල්ලකො ඉන්කිත් අහන කතන්දර.. හරියට මේ වලිය මං පටන් ගත්තා වගේනේ.

අපි රණ්ඩු වෙන්නෑ.. අපි දාන්නෙ බෙට්නේ..

ඒක තමයි නවෝද් මං කියන්නෙ.. ඔයාලා දාපු බෙට් එක බරපතල වැඩියි.. අනික සමින්දි අක්කට සනීපත් නෑ මේ දවස්වල.. ඔය ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් තියා විස්සක් දුවනකොට අක්කිට අමාරු වෙයි..

ඔයා දැන් කියන්නෙ මට මොනවා කරන්න කියලද..?

ඔයා සමින්දි අක්කිත් එක්ක යාලුවෙන්න..

යාලුවෙන්න..?

මං එහෙම අහද්දි ඉන්කිගෙ මූණට ආවෙ, ඕනම කොල්ලෙක් ආස කරන දඟකාර හිනාවක්. බලයගෙ මූණටත් නොම්මර එකේ පැණි හිනාවක් ආවා.

ඔව්.. එතකොට මටත් ඔයත්තෙක්ක ෆ්‍රෙන්ඩ් ෂිප් එක දිගටම කරගෙන යතෑකි.. කරදරයක් නැතුවම.. ඔයා හොඳ දරුවනේ නවෝද්.. සෙනසුරාදා බෙට් එක කැන්සල් කරලා දාන්න.. හොදේ.. ඒකෙන් ඔයාට ලකුණු හුඟාක් වැටෙයි..

මට සමින්දිගෙන් ලකුණු ඕන්නෑ ඉන්කි.. මට සමින්දිව මඩවන්නත් ඕන නෑ.. හැබැයි ඉතිං එයා ඉල්ලලා දාගත්තු බෙට් එක මට කැන්සල් කරන්න විදියක් නෑ.. එයාම ඇවිල්ලා පරාජය පිළි අරගෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එහෙකට ආවොත් සලකල බලන්න පුලුවන්.. එහෙම නැතුව නම් බෑ..

මං අවසාන උත්තරේ දුන්නා. සමහර විට සමින්දිම ඉන්කිව එව්වද දන්නෑ. මං මොනවද කියන්නෙ බලන්න. මොකද කියනව නම් සමින්දි කොහොමටත් දන්නවා.. සෙනසුරාදා කන්න වෙන පරිප්පුවෙ මැක්සා ගතිය. ඒක නිකං දිය රහට තියෙන පරිප්පු හොද්දක් නෙමෙයි කියන්න මාත් දැනගෙන හිටියා.. ඒකයි ඉන්කි කොහොම කිව්වත්, මං බෙට් එක කැන්සල් නොකරෙ..


උඹට කියන්න කල්හාරයා.. මට මේ කතාව කියන්න හිත්දෙන්නෑ.. ඇඬෙනවා.. පපුව සෝකෙන් පවන් සලනවා..

සුපුරුදු විදියටම පැතුම් උගේ වක්කඩේ දිග ඇරගෙන තිබුණා. මං පොත් ටික ඩෙස්ක් එක උඩින් තියලා පැතුම්ට ළංවුණා. මාධවයත් මට ඩිංගක් එහායින් පැතුම්ගෙ කතාව හොඳ උවමනාවකින් අහන් ඉන්නවා මං දැක්කා.

මේ අමන දොළහ සී පන්තියෙ ඉන්න එක කෙල්ලෙක්වත් මට කැමති නෑ බං..

කැමති වෙන්න උඹ පොරක්ද බං.. ඔන්න අපේ බෙකම් වගේ නම්.. කෙල්ලො පැනලා එන්නෙ..

කල්හාරයා.. උඹට උඹෙ ආච්චිගෙ සොහොන්කොත ළඟින්ම බුදියගන්න ඕනද..? අඩෝ.. මං මේ හිත් වේදනාවෙන් ඉන්නෙ.. තෝ එනවද ඒ වේදනාව මත්තෙ ඉටිපන්දම් පත්තු කරන්න.. ඊයෙ බාලිකාවට ගිහින් කෙල්ලොන්ගෙ සුදු මූණු ටික දැක්කහම මගේ හදවත වේදනාවෙන් කෑගහන්න ගත්තා..

ඇයි පැතුමා ඒ.. හදවතට මුත්‍රා බරක් හැදිලද..?

මාධවයා.. උඹ ඔය අහන අමන ප්‍රශ්න වලට උඹගෙ කටේ දත් සැට් එකම පණුවො කන්නෝන..

ඊයෙ එක්සිබිෂන් එක බලලා ගියාට පස්සෙ පැතුමට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.. බලමුකො අහන් ඉඳලා.. නැත්නම් මූ මේ තරම් විස්සෝපයෙන් කියවන්නෑ..

බෙකම්.. උඹ දන්නවද බෙකම්.. මං ඊයෙ මගේ ආදරේ හොයාගෙන ගියා..

පරණවිතාන මහත්තයත් එක්කද..?

පරණවිතාන කෙනෙක් මොකටද බං මෙතෙන්ට.. උඹත් මුංටම හරියනවනේ බං..

ඇයි පැතුමා.. පුරා විද්‍යා කොමසාරිස් එයානේ..

බෙකම්.. උඹට කිව්වයි කියලා හිතාගනිං..

හරි.. හරි.. උඹේ අවාසනාවන්ත කතාව කියපං.. අපිට තව වැඩ තියෙනවා..

උඹලා මට බාධා කරන්නෙපා.. මට කතා කරන්න දීපියව්.. මං ගියා මගේ නෑනා පොඩ්ඩ බලන්න..

අතරින් පතර බාධා කරන්න එපා කියන සංඥාව මං හැමෝටම දුන්නා. තොල් දෙක මැදට දබරැඟල්ල තියලා ඒක කරද්දිම නෙලුනියි, නිරෝමියි පන්තියට ආවා. සිරියාවට හිනාවේගෙන මේ ළමයි බුරුමයට එන ලස්සන.

හුඟ දවසකින් දැක්කෙ නැති නිසා මං බල කරවල දෙසිය පනහකුයි, ලෙලි ගහපු ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකකුයි, ඊයෙ පාන්දර දාපු මාලු පාන් ගෙඩියකුයි අරන් ගියා කෙල්ල ළඟට..

ඇයි බං ඕවා අරං ගියේ..?

කතා කරන්න එපා කියල තියෙද්දිත් මාධව මැද්දට පැන්නා.

ඒකිත් එක්ක කතා කර කර ඉන්න ගමන් මට කාලා දාන්න පුළුවන්නේ.. හයියෝ.. උඹලට කියන්න.. මං ගෙදර ළඟට ගියා.. මෙන්න හත්තිලව්වෙ.. හායි ගාලා දොර ඇරලා දාලා.. මෙලෝ සතෙක් සිව්පාවෙක් පේන්න නෑ.. ඒත් මට ගේ ඇතුලෙන් කසු කුසුවක් ඇහෙනවා.. ඒකෙන් එක කටහඬක් මං අඳුනගත්තා.. ඒ මගේ කෙල්ල පැටියා.. ඒකි කාත් එක්කදෝ පෙම්බස් දොඩනවා මචංලා.. මගේ පපුව පැලෙන්න එනවා.. ඒකි කියන ඒවට මට බයි පාස් එකක් කරන්න වෙයි කියලා මට හිතුණා.. හයියෝ..

මොනවද පැතුමා ඒකි කිව්වෙ..?

මං ඔයාට කියලා තියෙනවා ඔහොම ඉඹින්නෙපා කියලා.. ඔය.. ඔය.. අනේ හපන්නෙපා.. අනේ පැටියො.. ඔය කෙලත් ගෑවා.. බුදු සන්තෝ..

මට ඔය ටික ඇහෙනකොට ඉවසන් ඉන්න බැරිවුණා.

උඹ පැනපු ගමන් උං දෙන්නව සවර්ගස්ත කරා..?

නෑ බෙකම්.. මං ඉවසුවා.. ඒ ඉවසපු ඉවසිල්ලට මගේ උණ්ඩුක පුච්චෙ හිරවුණා.. ඌ මගේ කෙල්ලට හොඳටම අතරව කරනවා ඇති.. හයියෝ.. මගේ බලාපොරොත්තු.. පන්සලේ බෝ මලුව වගේ මං ඒකි ගැන හිතුවෙ.. ඒකි දර කොටේ නම් පොරවක් වෙන්නයි මං පැතුවේ.. ඒකි පොල් බෑය වෙද්දි මං හරිස්චන්ද්‍ර හිරමනේ උනා. අම්මපා.. මේ දුකට මගේ යටිබඩ කොරවෙනවා.. හයියෝ..

පැතුමා.. අනව්‍යශ තැන් කපලා දාලා කතාව කියපන්.. තව ටිකකින් ඉස්කෝලෙ පටන්ගන්නවා..

ජනිතයා.. උඹ කටවහගනිං.. මං දොර දෙකේ වයිකින් බස්සෙක වගේ ඒකිට ආදරේ කරේ.. උඹලම හිතපල්ලා මට මේ වේදනාව උහුලන්න පුළුවන්ද කියලා.. මිනිස්සු දොරවල් දෙකෙන්ම ඇතුල්වෙද්දි මං දත් මිටි කාගෙන ඉවසුවා..

කතාව කියපං..

මං තවත් කසු කුසුව එන කාමරේට ළංවුනා. මට ඇහෙනවා.. හයියෝ... ඔයා ඔය ආයෙත් මගේ මූණ ඉම්බා.. අනේ හපන්නෙපා.. ඉම්බට කමක් නෑ.. කෙල ගාන්න නම් එපා මගේ පැටියො.. ඔය.. ඔය.. මට රිදෙනවා.. අයියෝ.. හයියෝ.. මගේ හදවත දැන් බොයිල් කරපු වාහනේ වගේ.. තවත් ඉවසන්න බෑ.. ළඟම තිබිච්ච කොස්ස ගත්තා අතට.. මං පැන්නා කෙල්ල ඉඳපු කාමරේට.. ආයෙ දෙකක් නෑ.. මරාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..

පැතුමා නන්ස්ටොප් කියවගෙන යනවා.. මුගේ කටට මේවා කොහෙන් එනවද මංදා.. ගුණසිංහ සර් ගාවට නාට්ටි කරන්න මේකවනේ යවන්න ඕන.

මෙන්න මං ආවා යකෝව්... මං උඹල දෙන්නවම ඝාතනය කරනවා.. අඩෝව්...

කාමරේට පැන්න පැතුමා, ඒ ටික කියලා නිශ්ශබ්ද උනා. කතන්දරේ සිද්ධ වුනේ එහෙමයි. අපිත් කටවල් ඇරන් බලන් හිටියෙ එතනින් එහාට උදේ මොකක්ද කියලා දැනගන්න.. ඇයි ඉතිං මේක ඇඟ කිලිපොලා යන උණුසුම් කතන්දරයක්නේ.. තමන්ගෙ කෙල්ල වෙන අලගොඩුවෙක් එක්ක කාමරේ ඇතුළෙ ඉඳල අතටම අහුවුණහම වෙන මොන කතාද අප්පා.

ඊට පස්සෙ මොකද වුණේ පැතුම්.. ඔයයි ඒ දෙන්නයි රංඩු උනාද..?

නෙලුනි, පැතුම් ඉස්සරහට ඇවිල්ලා ඇහුවා. පැතුම් බොහොම සෝක මූඩ් එකකින් නෙලුනි දිහා බැලුවා.

මොන රංඩුද කෙල්ලෙ.. මගේ කෙල්ල ගාව හිටියෙ ඒකිගෙ පොමනේරියන් වහතු බලු තඩියා.. ඌත් එක්කනේ, ඒකි මේ පෙම් වදන් දෙසා බාලා තියෙන්නෙ.. මට වෙච්චි නෝන්ඩිය කිලෝ මීටර් ගානක් දිගයි.. මහ මුහුදෙ තියෙන ලුණුවල සාන්ද්‍රනයටත් වැඩිය වැඩියි.. හයියෝ.. සල්ලි..

බලන් ගියහම පැතුමටත් වෙන්නෙ අමර කතන්දරම තමා. එතන ඉඳලා ටිකක් වෙලා යනකන්, ඊයෙ බාලිකාවෙ තිබ්බ ප්‍රදර්ශනය ගැන පන්තියෙ කෙල්ලො කොල්ලො කතා කරන්න ගත්තා. පන්තියෙ හැමෝටම ප්‍රශ්නයක් උනේ, මායි පැතුමයි එක්සිබිෂන් එකට ආවද නැද්ද කියනෙක. ඒත් කල්හාරය අපිව දැක්කා කිව්වහම ඒ ප්‍රශ්නෙත් නිරාකරණය උනා.

නවෝද්..

ඇයි නිරෝමි..?

ඔයා අර ගර්ල්ව ඊයෙ හම්බවෙන්න ඇතිනේ..

මොන ගර්ල්ද..?

කොන්වන්ට් එකේ..

නිරෝමිටත් පිස්සුද මංදා.. මොන ඉලව්වක්ද මේ කියන්නෙ..?

කොන්වන්ට් එකේ කවුද නිරෝමි..?

අර කලු ඇත්ලටික් කරන ගර්ල්..

නිරෝමිගෙ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි.. මේ කෙල්ලට මොනව වෙලාද මංදා.

ඉතිං..?

ඔයාට එයාව ඊයෙ හම්බ උනාද..?

ඔව්.. එයාව විතරක් නෙමෙයි.. කොන්වන්ට් එකේ ගොඩක් ගර්ල්ස්ලවත් හම්බවුණා..

එහෙනම් අර ආඩම්බරකාරිවත් හම්බවෙන්නැති..

කවුද..?

සමින්දි..

ඔව්.. එයානේ එක්සිබිෂන් එක හැන්ඩ්ල් කරේ..

ඔයා ඒ ගොල්ලන්ට කැමති, එයාලා ෆේමස් අය හින්දද..?

ඔයාට පිස්සුද නිරෝමි.. ඔයා මොනවද මේ කියවන්නෙ..?

උදේ පාන්දරම මට ඩිංගක් මළ පැන්නා. මොන අවනඩුවක්ද බං මේ..? මගේ කතාවෙන් පස්සෙ නිරෝමි ගොලු වුණා වගේ. ඒ අතරෙ ආයෙමත් පැතුම්ගෙ කටහඬ ඇහුණා.

බෙකම්.. උඹ ඔතන මොකක්ද කරන්නෙ ආ.. අම්මපා උඹ නම් හදන්න පුළුවන් එකෙක් නෙමෙයි.. ඊයෙ අර ස්ත්‍රී ලලනාවො අස්සෙ රිංගලත්, තාම ආසාව ගියේ නැද්ද හත්තිලව්වෙ.. ආ.. උඹලට කියන්න.. පුදුම තරම් ලස්සන කෙල්ලොනේ බං කොන්වන්ට් එකේ ඉන්නෙ.. උඹල දන්නව අපේ බෙකම් තෝරගත්තෙ කවුද කියලා..?

පැතුම්ගෙ කතාවට පංතියෙ කෙල්ලො කොල්ලො හැමෝගෙම අවධානෙ ඌ දිහාට යොමුවුණා. මූ මාව නැති කරන්නයි හදන්නෙ.

පැතුමා.. කට වහගනිං..

බෙකම්.. මට තර්ජනය කරන්නෙපා.. මට මේක ප්‍රකාශ කරන්න දීපං.. උඹලා දන්නවා.. මගේ පෙකණිවැල කැපුවෙ, මිස් වර්ල්ඩ් බිකිනි එක්සිබිෂන් එකකදි කියලා..

උඹේ පෙකණි වැල කුණු උනාවේ.. අපිට කියපං.. අපේ බෙකම්ගෙ චොයිස් එක මොකක්ද කියලා..

අඩෝ මාධවයා.. මං උඹව නිර්වස්ත්‍ර කරලා බොර තෙල් වලකට තල්ලු කරනවා දැනගනිං.. මගේ පෙකණි වැල කුණු උනාම මං කොහොමද යකෝ මුත්‍රා කරන්නෙ..?

පැතුම් අහපු ප්‍රශ්නෙට අපි හැමෝටම බකස් ගාලා හිනාගියා.. ඇත්තමයි මේකා නැති දවසට මේ පංතිය පාලු සොහොනක් වගේ වෙයි.

කියන්නකො පැතුම්.. අපේ බෙකම්ගෙ හිත ගත්තු නාරිලතාව කවුද කියලා..

ඒ පාර නෙලුනි, පැතුම්ට තව ළංවුණා.. පැතුමට ළංවෙනවා කියන්නෙ ඉත්තෑවෙක් බදාගත්තා වගේ තමයි.. වේදනාවෙ කෙලවරක් නෑ.

බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්නේ..

කටේ තොලේ නොගෑවී කියන ගමන් පැතුම් මට ඇහැක් වැහුවා. කෙල්ලොන්ගෙ මූණු හතරැස් වෙලා ගියා. ඇයි ඉතිං උං හිතන් ඉන්න ඇත්තෙ, බෙකම්ගෙ පෙම්වතිය ගැන අහන්නනේ..

එතනින් එහාට අපිට කයිය ගහන්න හම්බවුණේ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක දැල්ලා අංකල් පටෝං ගාලා ගහනවා අපිට ඇහුනා. මුලින්ම තිබ්බෙ හේමන්ත සර්ගෙ කෙමිස්ට්‍රි පීරියඩ් දෙක. ඒක නිකං හෙණ සාන්ත දාන්තව ගෙවිල යන කාල පරාසයක්. තාරකා විද්‍යා සංගමය භාරව හිටියෙ හේමන්ත සර් හන්ද අපේ පන්තියෙ බහුතරයකගෙ උපන්දා ඉඳලා පැටිකිරිය සර් ගාව තිබුණා. කාබනික් ඉන්ඕගනික් අතරෙ කාලය ගෙවිලා යද්දි මට පැතුමයි, කල්හාරයයි කුටු කුටු ගානවා ඇහෙනවා. ඒ වෙනකොට හේමන්ත සර් රසායනික සූත්‍ර හෙණ ගොඩක් බ්ලැක් බෝඩ් එකේ ලිය ලිය හිටියෙ. පන්තියෙම අවධානෙ යොමු වෙලා තිබ්බෙ ඒ දිහාට. ඒත් මුං දෙන්නගෙ අවධානෙ උං දෙන්නට විතරයි.

ඒයි කල්හාරයා.. උඹ දන්නවද ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ කවුද කියලා..?

මොකෝ බං මං නොදන්නෙ.. මං හින්දි පිචැර් බලනවනේ..

මොකක්ද වහුකුණෝ ඒ අපත කතාව.. මේකට හින්දි පිචැර් සම්බන්ධ වෙන්නෙ කොහොමද..?

ඇයි බං ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ අභිෂේක් බච්චන්නෙ..

පිස්සුද හරකො.. ඌ හොයාගත්තෙ ලෝකෙ වටේ ගියපු එකෙක්නේ..

ඉතිං ඒකමනේ මං කිව්වෙ..

මහ හයියෙන් හිනාවක් යන්න ආවත් මං තොල් විකාගත්තා. අභිෂේක් බච්චනුයි, අයිශ්චර්යායි මේවා දන්නවා නම් ඉන්දියාවෙ ඉඳලා තකහනියක් එනවා මුං දෙන්නව කෝටු මස් කරන්න.

හා.. හොඳා.. කියහං බලන්න.. සුවස් ඇල කැපුවෙ කවුද කියලා..

පැතුමා ආයෙත් පටන් ගත්තා. මුං මේක දැනුම මිනුම තරඟයක් කරගෙන වගේ.. හේමන්ත සර්ගෙන් තාම අවුලක් නෑ.. බෙන්සින් වල මොකක්දෝ තේරෙන්නෙ නැති රසායනික අටමගලයක් හැඩකර කර බෝඩ් එකේ අඳිනවා.

සු..වස්.. ඇල නේද..? මං දන්නෑ පැතුමා..

ඕකවත් දන්නැද්ද බෝදිලිමො.. සූවස් ඇල කැපුවෙ අපේ තාත්තා..

අම්මපා..

ඒ පාර කල්හාර කල්පනා කරන්න ගත්තා. දෙයිහාමුදුරුවන්ට කියන්න මුං විභාගෙටවත් මෙහෙම කල්පනා කරන්නෙ නැතුව ඇති.

හොඳයි පැතුමා.. උඹ එහෙනම් කියහං බලන්න මළ මුහුද මැරුවෙ කවුද කියලා..?

පිපිරෙන්න ආපු හිනාව මං ආයෙත් නවත්ත ගත්තෙ උහුලන්න බැරි ට්‍රයි එකක් දීලා.

මළ මුහුද නේද..? අනේ මම නම් නෙමෙයි..

උඹ නම් කොහොමටත් වෙන්න බෑ.. ඒක මැරුවෙ අපේ තාත්තා..

ඒ පාර නම් මට හිචිස් ගාලා හිනාවක් පැන්නා. පන්තියම හැරිලා අපේ පේලිය දිහා බලද්දි, හේමන්ත සර්, පැතුම්ට කතා කරා. එහෙනම් සර්ට වැඩේ නෝන්ඩි වෙලා වගේ.

පැතුම්..

ඔව් සර්.. බෙන්සීන් වල රසායනික සූත්‍රය නේද..?

මූ තමයි දවසකටත් මිනිහා.. වෙන එකෙක් නම් ගල් වෙලා තොල කට වෙව්ලනවා.. මූ හිටියටත් වැඩිය හොඳට ෆිට් එකේ ඉන්නවා.

බෙන්සීන්වල කෙහෙල්මලක් නෙමෙයි මිනිහො..

සර්.. මගේ නම පැතුම්..

පන්තියම ලාවට හිකි හිකි ගාද්දි හේමන්ත සර්ට මල පැන්නා. දැන් ඉතිං පැතුමට කන්න වෙන්නෙ බොක්සින් න්‍යෂ්ටියකින් තමා.

පැතුම්.. කවුරුවත් ආසාවෙන් අහන් ඉන්නෙ නැති වෙලාවටත් කතා කරන එකාට මොකාද කියන්නෙ..?

ගුරුතුමා කියලා සර්..

ඒ පාර නම් පන්තියෙ හැමෝම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. සර්ටත් ලාවට හිනාවක් ආවත්, සර් එක පෙන්නුවෙ නෑ. පෙන්නුව නම් ෂුවර් එකට පැතුමා කරෙත් නගිනවා. සර් බොරු කේන්තියක් මවාගත්තා.

යනවා යන්න පංතියෙන් එළියට.. මගේ යකා අවුස්සන්නෙ නැතුව..

උදේ පාන්දරම පැතුමව පන්තියෙන් එළියට දාපු හේමන්ත සර් ආයෙත් පාඩම කරන්න ගත්තා. එක දවසක් බලයා දොළහ බී එකෙන් එළියට දාපු වෙලාවෙ, ඇවිත් අපේ පන්තියෙ වාඩිවුණා වගේ මූත් ගිහින් බී එකේ වාඩිවෙයිද දන්නෑ.

පළවෙනි පීරියඩ් එක ඉවර වෙලා දෙවනි පීරියඩ් එකේ මැද හරිය විතර යද්දි කොරිඩෝවෙන් හෙණ කසු කුසුවක් ඇහෙන්න ගත්තා. කොරිඩෝව කියලා කිව්වෙ, අපේ දොලහ වසර් ඒ, බී, සී පන්ති තුනම සම්බන්ධ කරලා තිබ්බ බිම් තීරුව. ටිකකින් කසු කුසුව නැවතිලා හිනා සද්දත් ඇහෙන්න ගත්තා. සද්ද බද්ද ටිකෙන් ටික වැඩිවෙද්දි, පන්තියෙ වැඩට ඒක බාධාවක් වෙද්දි හේමන්ත සර් පන්තියො දොරකඩින් කොරිඩෝවට එබුනා.

තුන්දෙනාම එනවා මෙහාට..

හේමන්ත සර් කියපු කතාවට, මට ටිකක් අප්සට් වගේ.. ඇයි අප්පා පැතුමා විතරනේ එළියට දැම්මෙ.. දැන් කොහොමද තුන්දෙනෙක් වුණේ..? ටිකකින් අපේ පන්තිය ඉස්සරහට ආපු තුන්දෙනා දැකලා, පන්තියම හොල්මන් උනා. පැතුමයි, ඇම්ඩයි, බලයයි.. අප්පොච්චියේ.. මුං තුන්දෙනාවම එකම දවසෙ පන්ති වලින් එළියට දාලනේ.. සර්ලටත් මිස්ලටත් පිස්සුද මංදා.. හැබැයි මුං තුන්දෙනාගෙම පැටිකිරිය අයන්නෙ ඉඳලම හේමන්ත සර් දන්නවා.. ඇයි ඉතිං මුං තුන්දෙනත් අපි වගේම තාරකා විද්‍යා සංගමයෙ උද්යෝගිමත් සාමාජිකයොනේ.

තමුසෙලා පන්තියෙ තියාගන්නවට වැඩිය අමාරුයි එළියට දාලා තියාගන්නෙක.. මං දැන් තුන්දෙනාවම විනය සර් ගාවට යවනවා.. ඒ ගමන්ම ප්‍රින්සිපල් සර්ටත් කතා කරනවා.. එතකොට මේ බේරුමක් කරගතෑකි..

සර් හදන්නෙ අපිට තරු, මන්දාකිනි පෙන්නන්නද..?

කට කැඩිච්චකමට ඇම්ඩා අහද්දි පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුනා. හේමන්ත සර් මුකුත් දන්නෑ වගේ පන්තියට ඇවිත් එයාගෙ පොත් ටික අරගෙන පන්තියෙන් පිටවුණා. පැතුමා කිසිම හිරිකිතයක් නැතුව ඇවිත් පන්තියෙන් වාඩිවෙද්දි ඇම්ඩයි, බලයයි පිළිවෙලින් උංගෙ පන්තිවලට ගියා.

පන්තියට ඇවිල්ලත් පැතුම්ගෙ කටට නිවනක් නෑ.. ඒ අපේ පන්තියෙ ඈයො උගෙන් අහන හරස් ප්‍රශ්න හින්දා.

ඔයා හින්දා අපිට ඉගෙනගන්නත් නෑ අනේ..

නදිනි පන්තියෙ ඉස්සරහ ඉඳන් කියද්දි කොල්ලො ටික සූ සද්දෙ දාන්න ගත්තා. පැතුමට ඉතිං ඊට එහා දෙයක් නෑ. ඌ කොලර් එකත් අප් කරගත්තා.

හැබෑට පැතුමා, උඹලා තුන්දෙනා හිරි ඔතප් බිඳගත්තු ගෑනු දරුවො වගේ කොරිඩෝ එකට වෙලා මද සිනා පෑවෙ ඇයි..?

මාධවයා.. උඹ මට අමන කතා කියලා තුන්වෙනි සිල් පදේ කඩාගන්නෙපා.. උඹ මට කියලා අතවර කරගෙන ලොකු ළමයෙක් වෙන්නයි ඔය හදන්නෙ..

හහ්.. හහ්.. හා.. ඒකට මං බය නෑ..

ඇයි.. උඹට දැනටම අතවරයක් වෙලාද..?

නෑ පැතුමා..

එහෙනම්..?

උඹේ පුරුෂ ලිංග පද්ධතියම නෑනෙ..

මො.. මොකක්ද යකෝ.. ඒ අසමජ්ජාති කතාව..?

පන්තියෙ කෙල්ලොත් ඉස්සරහ මාධව කියපු කතාවෙන් පැතුමගෙ සියලු කලර්ස් හේදිලා ගියා. ඌ වටපිට බැලුවෙ හැංගෙන්න මීගුලක් හරි තියෙනවද කියලා හොයන්න වගේ. කෙල්ලො ටිකත් හිකි හිකි ගගා හිනාවෙනවා.

නෑ.. නෑ.. උඹ ඔය තරම් අවුල්වෙන්න ඕන නෑ.. උඹට මතක නැද්ද උඹේ ඔය මහා ලොකු පද්ධතිය තනිරූල් කොලේක ඇඳලා, සේනාරන්ත මිස්ගෙ සාරිපොටේ එල්ලුවෙ.. අපි දහය වසරෙදි විතර..

මාධවයා මතක් කරහමයි අපිටත් ඒ ඇඟ කිලිපොලා යන ආටක නනාටකේ මතක් වුනේ. ඇත්තමයි ඒකන ම් මතක්වෙන මතක්වෙන පාරට හිනා යනවා. දහයෙදි විධයාවට අපේ පංතියට අලුතින් ආව සේනාරන්ත මිස්. එච්චරම අවුලක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි උගන්වන්න ගියාම මෙලෝ සිහියක් පතක් නැතුව උගන්නනවා. පංතියෙ එවුන්ට තේරෙනවද නැද්ද ආයෙ මොකවත් නෑ. කොහොමින් කොහොම හරි මාසයක් විතර යද්දි අපේ එවුන්ට සේනාරත්න මිස් වාතයක් වෙලයි හිටියෙ. ඒ වෙනකොටත් අපි ඉතාම ආසාවෙන් ඉඳපු පාඩම තමයි මිස් පටන් අරගෙන හිටියෙ. පැතුමයි, මමයි, හය වසරෙදි ඉඳන් බලන් හිටියෙ කොයි වෙලාවෙද දහය වසරට එන්නෙ කියලා මේ ආතල් පාඩම ඉගෙන ගන්න. සර්ලා මිස්ලා මේක අපිට කොහොම උගන්වයිද කියලා බලන්නත් අපි දතකට මැදගෙන හිටියා. පාඩම තමයි මිනිසාගේ ප්‍රජනන පද්ධතිය. දැන් නම් ඒක ඇහෙනකොටත් හිනායනවා. ඇයි අප්පේ ඒකට කොල්ලො නම් විතරක් නම් කීයක් දාලා තියෙනවද.. ප්‍රජනන පද්ධතිය ඕවා දන්නවා නම් වහ ඩිංගක් කාලා ෆැන්ටා එකක් බොනවා.. මොනවා උනත් කොල්ලන්ගෙ අපබ්‍රංස ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් සේනාරත්න මිස් පාඩම නිරුපද්‍රිතව කරගෙන ගියා. සමහර වෙලාවට මිස්ට දාඩියත් දාලා. ඇයි ඉතිං පැතුමා අහන්නෙ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් අහන හරස් පුරස්නනේ. දවසක් සේනාරත්න මිස් පාඩම කරන් යද්දි පැතුම් විද්‍යා පොතේ අන්තිම පිටුවට පිටු දහයකට විතර මෙහායින් මොකක්දෝ අඳන්න ගත්තා. පිටු දහයකට මෙහායින් අඳින්න ගත්තෙ, ඉතුරු අග පිටු නමේම ඌ සිංදු කෑලියි, රටේ නැති කතන්දරයි ලියලා.

බෙකම් මේන්..

ඇඳලා ඉවරවො ඌ මට රූපෙ පෙන්නුවා.. අමාරුවෙන් හරි ඌ ඇඳලා තිබ්බෙ පුරුෂ ලිංග පද්ධතිය.

ඕක මොකටද බං..?

බලපංකො කරන වැඩේ..

පැතුමා කොහොම හරි ඒ වෙනකොට කෙල්ලෙක්ගෙන් ආය කට්ටක් ඉල්ලගෙනත් තිබුණා. කතා කරගෙන තිබ්බ විදියට මාධවයා මිස්ගෙන් ප්‍රශ්නයක් අහද්දි, මිස් ඌයි, පැතුමයි ළඟට ආවා. ප්‍රශ්නෙට උත්තරේ සේනාරත්න මිස් කියලා දෙද්දි පැතුමා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා මිස්ගෙ සාරිපොටේ ඌ ඇඳපු සමස්ත ලංකා චිත්‍ර ප්‍රදර්ශනෙන් පළවෙනි තැන ග්තතු තනිරූල් කොලේ ආට් එක එල්ලුවා. දැන් ටීචර් එකත් එල්ලගෙන එහාට යනවා. මෙහාට යනවා. මුලින් හෙමින් හෙමින් හිනාවචේචි පංතියෙ කොල්ලො කෙල්ලො ටික බක බක ගාලා හිනාවෙන්න ගත්තා අන්තිමට.

මොකද ඔය ළමයි හිනාවෙන්නෙ..?

එහෙම ඇහුවත් කවුරුවත් කියන්නෙ නෑ. සේනාරත්න මිස්ට දැන් මාර අප්සට්. නිකං ඇඬෙන්නත් වගේ. බැරිම තැන මිස් පන්තියෙන් එළියට ගියා. පීරියඩ් එක ඉවරවෙන්නත් කලින් එතන ඉඳලා වෙච්චි දේවල් අපිට ටිකක් පහුවෙලා තමයි ආරංචි උනේ. පංතියෙන් එළියට ගියත් දකින දකින ළමයා හිනාවෙනවලු සේනාරත්න මිස්ට. දැන් මේක ඉවසගන්න බැරිව, ස්ටාෆ් රූම් එකට ගිහින් වෙන මිස් කෙනෙක්ව හම්බවුනාලු.

බලන්නකො අනේ.. මේ ළමයින්ට අද මොනවා වෙලාද මංදා.. මාව දකින දකින ළමයා මට හිනාවෙනවනේ.. ඇත්තමයි මට පිස්සු වගේ..

දැන් මේ කතන්දරේ අහපු මිසුත් නැගිටලා, සේනාරත්න මිස් වටේ කරකැවිලා අතින් කට වහගෙන හිනාවෙනවලු.

මේ බලන්න ඔයාගෙ සාරිය එල්ලලා තියෙන එක.. ළමයි හිනානොවී කොහොම ඉන්නද..?

හප්පට සිරි.. කාලා වරෙන්කො.. සේනාරත්න මිස්ට මේ ආට්වර්ක් එක දැක්කා විතරයි නප්පියයි, තව නප්පි බාගෙකුයි එහාට යන්න තද උනා. මොන තරම් ලැජ්ජාවක්ද..? මොන තරම් නව නිංගිරාවක්ද..? සේනාරත්න මිස් කෙරුවෙ, සාරි පොටේ, පැතුමගෙ ආට් එක තියාගෙනම ප්‍රින්සිපල් සර් ළඟට ගියපු එක.

බලන්න සර්.. මේ ඉස්කෝලෙ ළමයින්ගෙ වැඩ.. දන්නෙ නැතුව මං ඉස්කෝලෙ හැම තැනම ඇවිද්දා..

සේනාරත්න මිස් පිනා සර්ට කියන්නෙ තරහ උතුරන ගමන්ලු. පිනා සර් තත්පර තුන හතරක් ඉඳලා, පැතුමගෙ ආට් එක ගලවලා අතට ගත්තලු. ඒක දැකපු ගමන් පිනා සර්ට අපූරු හිනාවක් ආවලු.

සේනාරත්න මිස්.. මේක කොච්චර වෙලා එල්ලන් හිටියද..?

පිනා සර් ප්‍රශ්නෙ අහපුවාම, සේනාරත්න මිස්ට මාර සැටිස්ලු.. ඇයි ඉතිං මේක එල්ලපු එකාට පන්ති තහනමක් කියලනේ මිස් හිතල තියෙන්නෙ. වැඩේ එකෙන්ම ගොඩ.

ම්.. මං හිතන්නෙ පැය භාගයක් විතර..

අනේ සේනාරත්න මිස්.. ඔයා ඔය ඕක පැය භාගයක් එල්ලගෙන ඉඳලා.. අපි අපේ මුළු ජීවිත කාලෙම ඕක එල්ලගෙන ඉන්නෙ..

පිනා සර්ගෙ කතාවට සේනාරත්න මිස්ට ඇඩ්‍රස් නැති උනාලු. කොල්ලො අතින් දාලද, හදලද මංදා කතාව නම් එහෙම තමයි.. අපි නම් කතාවට තාමත් හිනාවෙනවා.

හා.. හා.. මට තාම මතකයි.. මට මතකයි..
දම් පාට මල්.. මට තාම මතකයි.. හ්ම්.. ම්.. ම්..

පැතුම් ඒපාර උගේ සුපුරුදු බෙලෙක් කට හඬට පණ පෙව්වා. ඌට කතන්දරේ අමතක වෙන්න විදියක් නෑනෙ.. ඌනේ ඒ මහා ජාතක කතා වස්තුවෙ නිර්මාතෘවරයා.

උඹට මතක් උනාට කමක් නෑ.. උඹල කොරිඩෝ එකේදි හිනාවුනේ ඇයි..?

ආ.. ඒ ඇම්ඩගෙ කතාවකට..

මොකක්ද අනේ ඒ කතාව..?

මෙච්චර වො මුල්ලක් අල්ලගෙන හිටපු නිරෝමි ඉස්සරහට ආවා. බලන් ගියහම නිරෝමිත් පැතුම්ගෙ කතාවලට ඉන්ටෙරස්ට් වගේ.

ඇම්ඩා කියනවා.. කොල්ලෙක් ඉන්නවලු.. ඌ ඉස්කෝලෙ යන්නම බෑ කියලා එක ලතෝනියයිලු..

ඇයි පැතුමා ඌ ලතෝනි ගහන්නෙ..?

අවුරුදු ගාණක් එකම ඉස්කෝලෙ ඉඳලා එපාවෙලාලු.. ඌ උගේ අම්මත්තෙක්ක කියලා ඉකි ගඟහා බං අඬලා තියෙන්නෙ..

මොකක්..?

ඔව්බං.. ඉස්කෝලෙ කොල්ලො බනිනවලු, හින්ට් ගහනවලු.. කොලොප්පන් කරනවලු.. වැඩිය ඕන්නෑ කල්හාරයා..! ටීචර්ස්ලා හිටන් මේ කොල්ලව ගණන් ගන්නෑලු..

වැඩේ හරි පව් නේද පැතුමා.. කවුද බං ඔය අවාසනාවන්ත කොල්ලා..?

ආ.. පැතුමා ඔය වහුකුණා අපේ මැත්ස් ක්ලාස් වල එකෙක්ද..? නැත්නම් දහය වසරෙ එකෙක්ද..?

ෂුවර් එකටම දෙපාරක් ෆේල් වේචචි එකෙක් වෙන්නැති.. පව් බං.. කවුද ඔය හිඟන්නා..?

කවුරුත් නෙමෙයි බං අපේ ප්‍රින්සිපල්..

පැතුම්ගෙ කතාවට හිනාවෙන්න ඕනෙද අඬන්න ඕනෙද කියලා මට හිතාගන්න බැරිවුණා. බලන් ගියහම මූත් එකයි ඇම්ඩත් එකයි. දෙන්නම තකට තක. පන්තියෙ කොල්ලො කෙල්ලො ටික පැතුමව වට කරගෙන හිනාවෙනවා. ඒත් ඒ හිනාවට වැඩි ආයුෂ තිබ්බෙ නෑ. ශුද්ධ ගණිතය උගන්වන සුජාතා මිස් පන්තියට ආවා. එතැන ඉඳලා දිගින් ඳිගටම ඇදිලා ගියේ පොතේ පතේ වැඩ තමයි.

බෙකම්..

ඉන්ටවල් එකේ බෙල් එක වැදුනා විතරයි මං පන්තියෙන් එළියට පැන්නා. මගේ පිටිපස්සෙන්ම මාධවයි, පැතුමුයිත් පැන ගත්තා.

ඇයි..?

ටක් එකටද දුවන්නෙ..? උඹ උදේට කාලා ආවෙ නැද්ද..?

අද ටක් එක පැත්තෙ යන්න වෙලාවක් නෑ.. මේ වෙන ගමනක්..

මාධවයි, පැතුමයි මූණින් මූණ බලාගෙන ඉන්දෙද්දි මං කොමර්ස් ක්ලාස් පැත්තට දුවගෙන ආවා. මට ඕන උනේ ඉන්ටවල් එකේදි ඉමාන් අන්තරස්දාන වෙන්න කලින් අල්ල ගන්න. ඉමාන්ගෙ පැටිකිරිය මං මීට කලිනුත් කියල තියෙනවනේ. ඌ තමයි අපේ මුළු ඉස්කෝලෙටම ඉන්න අති දක්ෂ ගායකයා වගේම වාදකයා කියලා. ගුණසිංහ සර්ගෙ හැම නාට්ටියකම සංගීත අධ්‍යක්ෂණයයි, ගායනයයි, උගේ. ඉස්කෝලෙ මොකක් හරි පොඩි උත්සවයක් තිබ්බා නම් බොක්ස් ගිටාර් එක අරගෙන සිංදුවක් කිව්වෙ ඉමාන් තමයි. දොළහ එෆ් පන්තියෙ දොරකඩින් මං එබෙනකොටම මගේ මූණටම හම්බවුණේ දිල්රංගි. එදා නාට්ටියෙන් පස්සෙ මං ඒකිව ඔය දැක්කමද කොහෙද..

නවෝද්ට පාර වැරදිලද..?

ඇයි දිල්..?

මේ කොමර්ස් ක්ලාස් එක පැත්තෙ ඇවිත් තියෙන්නෙ..

ඔලුව පැත්තකට ලතාවකට ඇල කරගෙන දිල්රංගි මගේ මූණ මැදටම එබුණා. ඒකිගෙ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ. මගේ පපුවත් එක්ක මොකක්දෝ වුණා.

මං ආවෙ ඉමාන්ව බලන්න..

නැතුව ඉතිං අපිව බලන්න එන එකක්යෑ..

ඔයාව බලන්න ඇවිත් මට දහතුන වසරෙ එවුන් එක්ක මරාගන්න බෑනෙ දිල්..

මගේ කතාවෙන් දිල්රංගිගෙ මූණ වෙනස් වුණා. ඒ කලුපාට ලොකු ඇහි පිහාටු කීප සැරයක්ම ළඟ ළඟ වේගෙන් සැලෙන්න ගත්තා.

ඒ කතාව මොකක්ද නවෝද්..?

කෙල්ල මට තවත් ළං වුණා. නියම ගැහැනු කමක හැඟීම් ඒ ළංවීමෙ තිබුණා. මට එකපාරටම මතක් වුනේ ඉන්කිව. ඒකිගෙත් රිවයින්ඩ් වැඩ නෑනෙ. එක්කො ප්ලේ, එහෙමත් නැත්නම් පාස්ට් ෆෝවර්ඩ් තමයි.

ඔයා හොඳ ගෑණු ළමයෙක් දිල්.. ඒත් මට චතුරංගයා දිරවන්නෑ.. ඒකයි කතන්දරේ..

බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් වෙච්චි, චතුරංගගෙ නම මතක් කරා විතරයි කෙල්ල ගැස්සුනා.

චතුරංග අයියගෙයි, මගෙයි මොකක්ද නවෝද්.. ඔයා හිතන විදියෙ දෙයක් නෑ..

මං ඕවා දන්නෑ දිල්.. මාත් දන්නෙ ඉස්කෝලෙ ළමයි කතාවෙන දේවල් තමයි..

එතකොට ඔයා මගෙත් එක්ක කතා නොකර ඉන්නෙ චතුරංග අයියා හින්දද..?

ඔව්.. හැබැයි ඒ මෑන්ට ඇති බයකට නම් නෙමෙයි.. ප්‍රශ්න දාගන්න බැරි හින්දා.. අනික මට මිනිහගෙ සමහර වැඩ දිරවන්නෙ නැති හින්දා..

නවෝද්..

ම්..

මට කියන්න පුළුවන්ද ඒ සමහර වැඩ මොනවද කියලා..

ජාති ජාතිත් පතාගෙන ආපු තරහකාරයෙක් උනත් බෙකම් කවදාවත් පිරිමි පාර්ශවයක් පාවා දෙන්නෑ.. දිල්රංගි මොන තරම් හැඟීම්බර උනත් තත්වෙ ඒකයි.

මං හිතන විදියෙ දෙයක් ඔයාලා අතරෙ නැත්නම්, චතුරංග ගැන හොයන්න ඔයාට උවමනාවක් නෑනෙ දිල්.. මොනව උනත් මං ඔයාට කැමතියි.. ඒක නවත්තන්න චතුරංගට බෑ.. කෝ අපේ සංගීත මාස්ටර් පන්තියෙ නැද්ද..?

නෑ නවෝද්.. ඉමාන් අද උදේ ඉඳලම නෑ.. ආ.. අර බලන්නකො..

මගේ උරහිස උඩින් දිල්රංගිගෙ ඇස් දෙක පඩි පෙළ අවසාන වෙලා කොරිඩෝව පටන් ගන්න තැනට යොමුවුණා. මං හිටපුතැනම ඉඳලා හැරිලා බැලුවා. ගිනි විජ්ජුම්බර දෙකයි. කොරිඩෝව පටන්ගන්න තැන හිටියෙ පැතුමයි, මාධවයයි, ඇම්ඩයි, බී එකේ බලයයි. දැන් ඉතිං මුං අහන දේවල් වලට කොහෙන් උත්තර දෙන්නද මංදා.

බෙකම්.. මාලුපාන් කෑල්ලක්වත් නොකා පණ දාගෙන දුවගෙන ආවෙ, මේ කිරි හට්ටිය දකින්නද..? ආ..?

ඕං අද තමයි අපේ බෙකම්ගෙ ආදරේ අතටම අහුවුණේ.. බලහල්කො ඉතිං.. මෙච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් මේකා මේ ලෝක සංසාරයක් අපිට කිව්වෙ නැති හැටි..

ඕක තමයි පැතුමා.. එකට කෑවත් උණ්ඩුක පුච්චෙ වෙනස් කියන්නෙ..

මේ පිස්සු කියවන්නෙ නැතුව හිටපියව්.. මං ආවෙ ඉමාන්ව බලන්න..

තවත් බලන් හිටියොත් මුං ටික මාව බයිට් එකට විතරක් නෙමෙයි ඩයට් එකටත් ගන්නවා.. ඒක හින්දා ඉක්මන් වෙන තරමට කෝකටත් ගුණදායකයි.

ඉමාන් කොහෙද මෙහේ.. ඌ අන්න සංගීත සර්ගෙ කාමරේ.. ආ බෝනික්කියෙ..?

කතාවෙ මුල් ටික මට කියලා බලයා දිලරංගි දිහාට හැරුණා.

එදා නාට්ටියෙදි සුද්දගෙන් බේරගත්තු එකට දැන් හෙලවිරුවගෙන් බේරෙන්න බැරිවෙලාද..?

නාට්ටියෙ කතන්දරේ මතක් කරද්දි දිල්රංගිටත් ලස්සන හිනාවක් ගියා. බලයා ඒ හිනාව දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.

හෙලවිරුවගෙන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ඕගොල්ලගෙන් නම් බේරුමක් නෑ වගේ..

දිල්රංගිගෙ කතාවට කවුරුවත් මෙලෝ දෙයක් කිව්වෙ නෑ.. අපි හැමෝම ආපහු එන්න හැරිල තියෙද්දි බලයා ආපහු දිල්රංගි දිහාට හැරුණා.

අපෙන් බේරුමක් තියෙනවා දිල්.. ඒත් අර බාස්කට් බෝල් කාරයගෙන් බේරිලා ඉන්න.. මොකද බෙකම් වගේම අපිත් ඔයාට කැමතියි.. තේරුණාද..?

කතා කරන්න බැරිව වගේ දිල්රංගි බලාගෙන ඉද්දි අපි කට්ටිය පඩිපෙළ බැහැලා බාස්කට් බෝල් කෝට් එක දිහාට ආවා. එතන ඉඳලා නිකමට වගේ තට්ටු දෙකේ හෝල් එකේ උඩ තට්ටුව දිහා බලද්දි, දිල්රංගි කොට තාප්පෙට හේත්තු වෙලා අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා.

උඹ මොකටද ඉමාන්ව හෙව්වෙ..?

පොඩි වැඩකට..

මොකක්ද වැඩේ..?

පොතක් අරන් වරෙන් ලියලා දෙන්න..

මං මාධවගෙ මූණටම කිව්වා. උගේ මූණ බලන් ඉද්දිම අවුල් වෙලා ගියා. ඒ එක්කම තමයි පැතුමා කට ඇරියෙ.

අඩෝ බෙකම්.. පපුව හෑරෙන කතා කියන්නෙපා ඩෝ.. දැන් ඉන්ටෝල් එකත් ඉවරවෙන්න ළඟටයි.. උඹ දන්නවද බඩේ පනුවො දස අතේ බල්ටි ගහනවා.. උං ස්විමින් කරද්දි තමයි අපි උඹව සොයා ආවෙ.. අම්මපා.. නිරෝමිගෙලන්ච් බොක්ස් එකේ ජෑම් ගාලා පාන් තිබුණා. නෙලුනිගෙ එකේ ඇන්කර් බටර් ගාපු පාන් තිබුණා. ඒ ඔක්කොම මගෑරලා උඹ සොයා ආවෙ.. දැනගනිං.. මංක වදාවත් පාන් පෙත්තක, එක පැත්තක ජෑම් ගාලා, අනෙක් පැත්තෙ ඇන්කර් බටර් ගාලා කාලා නෑ.. උඹ ඒකත් නැතිකරා.. මං යනවා බං..

තත්පරේට දෙකට ඒ ටික කියපු පැතුම් බාස්කට් බෝල් කෝට් එකෙන් පන්තිය දිහාට හැරුණා. මං ඌ පස්සෙ යන්න ගියත් ඇම්ඩා මගේ අතින් අල්ල ගත්තා.

ප්‍රශ්නයක්ද බෙකම්..?

පැතුමා යනවා..

ඌ ගියාවෙ.. මං අහපු දේට උත්තර දීපන්කො..

නෑ නාලක.. මගේ හිතේ ලොකු වැඩක් තියෙනවා.. ඒකටයි ඉමාන්ව හම්බවෙන්න ගියේ..

අපි ගාව ගන්න බැරි දෙයක්ද..?

ඇයි නාලක උඹ එහෙම අහන්නෙ..? උඹල නැතුව මං මොනව කරන්නද..? උඹලගෙ සහයෝගය මට මේ වැඩේට ඕනෙමයි.. උඹලා වගේ හිත හොඳ යාලුවො ටිකක් නැතුව මං හුස්ම ගන්නෙවත් කොහොමද..?

ආයෙ ටක් එකට යන්න ඕන නෑ.. උඹේ වචන ටික ඇති බඩ පිරෙන්න.. අපෙන් කෙරෙන්න ඒන මොනවද කියහං.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් අපි ළඟ නෑ..

ඔව් බෙකම්.. තව අවුරුද්දකින් මේ හැමදේම දාලා විසිරිලා යන්න අපිට සිද්ධ වෙනවා.. මුළු ජීවිත කාලයටම මතක් කර කර සන්තෝස වෙන්න හරි අඬන්න හරි ඉතුරු වෙන්නෙ මේ ඉස්කෝලෙ කාලෙ ලස්සන මතක කන්දරාව විතරයි..

මාධව ඉඳලා ඉඳලා කිව්වෙ ටිකක් හැඟීම්බර කතාවක්.. ඒක පපුවෙ මොකක්දෝ නොදන්නා ඉසව්වක් ආමන්ත්‍රණය කරා කියලා මට තේරුණා. ඒක හරියට කියාගන්න බැරි දුකක හෙවනැල්ලක් වගේ.

අපි ඈත්වෙන එක්ක නෑ බං.. අපිට එහෙම වෙන්නෑ..

බලයා ඒ ටික කියද්දි ඇම්ඩා මං දිහා බලන් හිටියෙ ඌ කියපු දේවල් වලට මොනවා හරි කියයි කියලා වගේ. ඒ එක්කම තමයි ඉන්ටවල් එක ඉවරවෙන බෙල් එක වැදුනෙ.

නාලක.. අද හවස මම ප්‍රැක්ටිස්.. හෙට කලුතර එක්ක මැච් එකනේ.. උඹ කොල්ලො ටිකත් එක්ක ග්‍රවුන්ඩ් එකට වරෙන්.. මං එතකොට කතන්දරේ කියන්නම්..

එතකොට ඉමාන්..?

ඌ අනිවා ඉන්න ඕන..

ඉන්ටවල් එකෙන් පස්සෙ මං කෙලින්ම ගියේ සෝමතිලක සර් හම්බවෙන්න.. උදේ ඉස්කෝලෙ පටන් ගන්නකොටම සර් මට පණිවිඩයක් එවලා තිබුණා ඉන්ටවල් එකෙන් පස්සෙ හම්බවෙන්න කියලා..

නවෝද්.. හවස ෆුල් ප්‍රැක්ටිස් කියලා ටීම් එකේ හැමෝටම පණිවිඩේ යැව්වද..?

මාව දැකපු ගමන් සර්ට මතක් වුණේ ප්‍රැක්ටිස්. ඒත් ටිකක් වෙලා යනකල් සෝමතිලක සර් කතා කලේ නෑ.

හැමෝටම යැව්වා සර්..

නවෝද්..

සෝමතිලක සර්, වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ ළඟට ආවා. ඇවිත් ස්පෝර්ට් රූම් එකෙන් එළියට එන ගමන් මාව නතර කරගත්තා.

මැචස් තුන හතරකට කලින් ගහපු, රාහුලෙත් එක්ක මැච් එකේ සිද්ධිය ගැන නවෝද් මොකද හිතන්නෙ..?

ඔය කියන්නෙ රාහුලෙත් එක්ක මැච් එකේදි පෙත්තාවඩු මගේ ඈන්කල් එකට ගහපු එක ගැනනේ.

ඒක එතනින් ඉවරනේ සර්..

නෑ නවෝද්.. ඒක එතනින් ඉවර නෑ..

ඇයි සර්..?

අපි ඒකට පෙත්තාවඩුට දඬුවම් කරානේ.. ඒකට මූලිකවම මැදිහත් උනේ මායි, විනය සර්රුයි.. නමුත් පෙත්තාවඩුගෙ තාත්තා කියන්නෙ, ඒක ක්‍රීඩා කිරීමේදී වෙච්ච අත්වැරදීමක්. තමන්ගෙ දරුවගෙන් පළිගන්න මේ දේ සිද්ධ කරා කියලා.

මොන අත්වැරදීමක්ද සර්.. පෙත්තාවඩු හිතලමයි මට ගැහුවෙ.. ඒක එදා මැච් එක බලපු හැමෝම දන්නවනේ..

ඒක තමයි දරුවො.. කොහොම උනත් ඔයා ටිකක් පරිස්සම් වෙන්න.. ඔයාගෙ ජනප්‍රියකටම, ඔයාගෙ දක්ෂතාවයට අකමැති අයට ඔයාව හිසරදයක් වෙලා තියෙනවා කියලා නම් පේනවා..

සෝමතිලක සර් ඒ ටික නම් කිව්වෙ සැහැල්ලුවට නෙමෙයි. මගේ හිතටත් අමුත්තක් දැනෙන්න ගත්තා.

දැන් අපි මොකද කරන්නෙ සර්..?

කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ඔය කරගෙන ආවා වගේ දිගටම ප්‍රැක්ටිස් කරලා මැචස් ගහන්න..

මැචස් ගහන්න කියල කියපු කතාවෙ, අර කලින් දැනුණ අමුත්ත දෙගුණ වෙලා මට දැනුණා.

කිසි ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට.. මට පේන විදියට නම් සර්ට මොකක් හරි ප්‍රශ්නයක් නේද..?

මං අහපු දෙයින් සෝමතිලක සර් එක පාරටම මං දිහා බැලුවා. සර්ට සමහර විට හිතාගන්න බැරිව ඇති මං කොහොමද ඒක අනුමාන කලේ කියලා.

එහෙම මුකුත් නෑ නවෝද්..

නැත්තෙ නෑ සර්.. මට ආපු ප්‍රශ්න මං සර් එක්ක බෙදා ගන්නෙකේ.. සර්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඇයි මට නොකියන්නෙ..? පුංචිම පුංචි දෙයක් හරි මට කරන්න පුළුවන්කම ඇතිනේ.. මායි මගේ කොල්ලො ටිකයි ඉන්නවනේ සර්..

මටයි, විනය සර්ටයි අමාත්‍යංශයෙන් එන්න කියලා ලියුමක් එවලා.. මං හිතනවා ඒක මේ පෙත්තාවඩුගෙ කතන්දරේට සම්බන්ධයි කියලා..

ලියුමක් එවලා..?

ඔව් නවෝද්.. මං හිතන විදියට විනය පරීක්ෂණයකට තමයි..

ඒ මොකටද සර්..?

කවුරු  හරි පෙත්සම් වගයක් යවලා පුතා.. ඒත් මායි ජයසූරිය සර්රුයි ඕව ගණන් ගන්නෑ.. ඔය විනය පරීක්ෂණ වලට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ.. ඕවා තියන තරමට අපි කැමතියි..

මං හින්දා සර්ටත් ප්‍රශ්න..

නෑ පුතා.. ඔයාගෙ තැනට වෙන ළමයෙක් දැම්මා උනත්, පෙත්තාවඩුට චාන්ස් එක දෙනකන් එයාලා, ක්‍රීඩාව නතර කරන්නෑ.. ඔයාට පෙන්නන්න තියෙන එකම දේ අපි කරපු තේරීම ඉතා නිවැරදියි කියන එක.. ඒ වගේ හයිකාරයොත් එක්ක හැප්පෙන්න තියෙන හොඳම විදිය ඒකයි.. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ විතරයි.. තේරුණාද..?

මං ඔලුව වැනුවා.. සෝමතිලක සර් ගැන මගේ හිතට ආවෙ මහා විශාල භක්තියක්.. මේ වගේ උත්තමයො තමයි ගුරු දෙවිවරු කියන්නෙ..

නවෝද් මැච් එකෙන් පස්සෙ සෙනසුරාදට ප්‍රැක්ටිස් දාගන්න බලන්න..

සෝමතිලක සර් වෙනමම කතාවකට එන්ටර් උනහම මගේ ඔලුව අවුල් උනා. සෙනසුරාදා ප්‍රැක්ටිස් කරලා කොහොමද හත්තිලව්වෙ.. එදාටනේ සමින්දි අක්කා ගම හරහා තරඟෙ දුවන්නෙ..

සර් සෙනසුරාදා ක්ලාස්.. අපි ඉරිදා දාගමු..

මං එහෙම කියද්දි සෝමතිලක සර් පුංචි හිනාවක් දාලා ගියා. මං මොකක් හරි මගෝඩි වැඩක් කරන්න සෙනසුරාදට දාගෙන ඇති කියලා සර්ට තේරුණා.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..


No comments:

Post a Comment