Saturday, November 10, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |


ඉරිදා හවස එකට විතර මං මගේ පුටාර් එකත් එක්ක පරණ කඩ වීදියට ආවා. පුටාර් එක කියන්නෙ මොකක් කියලද හිතුවෙ..? ජෙට්, රොකට් වගේ සම්බන්ධයකින් පැවත එන මගේ අහිංසක පුට් සයිකලේට තමයි පුටාර් එක කියන්නෙ.

බෙකම්..


කඩ වීදියෙ කොනකින් පැතුමයි, මාධවයි මතුවුණා. පැතුමා ඇවිත් තිබුණෙ හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකලයකින්. කවුරුවත් නෙමෙයි ඌ තමයි එහෙම කියන්නෙ. වී ගෝනියක් දෙකක් තියල බැඳගෙන යන්න පුළුවන් ලැගේජ් තඩියකින් සමන්විත හද්ද මලකඩ කාපු ලුමාලා බයිසිකල් තඩියට ඌ දාලා තිබ්බ ආස හිතෙන නම ඒක තමයි.

කෝ ඇම්ඩයි බලයයි..

උං දෙන්නට කිට්ටු වෙන ගමන් මං ඇහුවා. වෙනදට නම් මේ වගේ ගමනකදි ඉස්සෙල්ලම ඇවිත් ඉන්නෙ බලයා නැත්නම් ඇම්ඩා.

ඇම්ඩා කෙලින්ම දැල්ලගෙ ගෙදර ගාවට එන්නම් කිව්වා. බලයා නම් ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා.

ග්‍රවුන්ඩ් එක පැත්තට..?

චමිල් මොකටද ග්‍රවුන්ඩ් එක පැත්තට යන්නෙ..? මගේ හිතට ආපු පළවෙනි ප්‍රශ්නෙ ඒකයි.. අද ප්‍රැක්ටිසුත් මේ කතන්දරේ හින්දනේ නැවතුණේ.

ඔව්.. ඌ එන්නම් කිව්වා..! අපිට යන්න කිව්වා..!!

පැතුමා තාලෙට කියද්දි මෙතන මොකාක් හරි අවමගුලක් තියෙන විත්තිය මට තේරුණා. පරණ කඩ වීදියෙන් බීච් එක පැත්තට තිබ්බ අතුරු පාරවල් බර ගාණෙන් එකක අපි හෙමීට ඇවිදගෙන ආවා.

අපි දැන් දැල්ලගෙ ගෙදර ගිහින් මොනවද කරන්නෙ..?

කරන්නෙද..? අපි ගිහින් උගේ ගෙදර පදිංචි වෙනවා පැතුමා.. ගොන් ප්‍රශ්න අහන්නැතුව වැදගත් විදියට පේ වෙලා ඉඳපං.. තමන්ගෙ නොතේරුම්කම පෙන්නන්න යන්නෙපා..

බස බස ගාලා මාධව කියවගෙන යද්දි පැතුම්ගෙ ඇස් උඩ ඉන්දුනා.. ඌ බලන්න ඇති මේ මොන හෙණ ගෙඩියක්ද කියලා.

අඩෝ මාධවයා.. උඹ මගෙන් මැරුම් කන්නෙපා.. ඔහොම නොහොඹිනා දේවල් කියලා.. මං ප්‍රශ්නෙ ඇහුවෙ බෙකම්ගෙන්.. උඹෙන් නෙමෙයි..

අපි ඉස්සෙල්ලම දැල්ලගෙ ගෙදර තත්වෙ බලන්න ඕන.. ඊට පස්සෙ තමයි ඉතුරු වැඩ ටික ක්‍රියාත්මක කරන්නෙ..

මට තේරුන්නෑ බෙකම්..

තේරුන් නැත්නම් වැඩේ කෙරෙන හැටි බලන් ඉඳපිය..

එතනින් එහාට මුකුත් කියාගන්න බැරිව වගේ මාධවගෙ කට ඇරුණා. ඇත්තටම ඌ පුදුම වෙලා හිටියෙ.

බෙකම් අර බලපං..

වලාමයි.. මේ අපේ බලයා නේද..? ඉන්කි කෙල්ලත් එක්ක බර කඩයක් දාගෙන එන්නෙ..

මං හිතුවෙ පැතුම් බොරුවට එහෙම කියන්නැති කියලා.. ඒත් හැරිල බල්දදි ඇස් දැකපු දේ මට විශ්වාස කරන්න බැරිවුණා. අලුත බැඳපු ජෝඩුව වගේ හිනාවෙවී අපි දිහාට ආවෙ බලයයි, ඉන්කියි, ඉන්කිලාගෙ ගෙදර ගියපු වෙලේ එයා අපිත්තෙක්ක දැල්ලගෙ ගෙදර යන්න එන්නද කියල අහපු එක මට මතක් වුණා. කෙල්ල නම් වැඩේ ගැන හිතුව වගේම වැඩේට අතත් ගහල තිබුණා.

බෙකම්.. සමාවෙන්න ඕනි.. අවසරයක් නැතුව ඉන්කිව එක්කං ආවට.. ඉන්කිටත් අපිත්තෙක්ක යන්න ඕනෙලු..

පැතුමයි, මාධවයයි මූණින් මූණ බලාගනිද්දි, මං ඉන්කි දිහා බැලුවා. එයා අඩමානෙට හිටියෙ.. හිනාවෙන්න ඕනෙද නැද්ද කියලා හිතාගන්න බැරිව.. මං ඔය මුකුත්ම හිතන්නැතුව ඉන්කිත් එක්ක හිනා වුණේ එයා හිටපු අපහසු තත්වයෙන් මුදවාගන්න.

යන්න ඕනෙ නම් යමු ඉතිං.. අපි ඔයාව ඉතා සාදරයෙන් පිළිගන්නවා.. බෙකම්ගෙ යාලුවෙක් කියන්නෙ ඉතිං අපෙත් යාලුවෙක් තමා..

පැතුමා මොනවදෝ කියන්න කට අරිද්දිම මාධවයා බස බස ගාලා කියලා දැම්මා..

දැල්ලා අංකල්ගෙ ගෙදර තියෙන තැන ගැන මට විස්තරේ කිව්වෙ සෝමතිලක සර්.. ඒකහින්ද හැමෝටම ඉස්සරහින් වීරය වගේ යන්න වුණේ මට. පුටාර් එකත් තල්ලු කරගෙන දැල්ලගෙ ගෙදර ගාවට යද්දිම ගේ ළඟින්ම හිටියෙ ඉන්කි. ළඟින් ළඟින් අඩි තිය තියා ගියාට අපි දෙන්නා අතරෙ කතාවක් වුණේ නැති තරම්.. සැරින් සැරේට ඉන්කි මගේ මූණ දිහා බලලා යාන්තමට හිනාවෙද්දි, මං කෙරුවෙ පුංචි හිනාවක් මූණ උඩට ගන්න ගමන් කොල්ලො සෙට් එක දිහා බලපු එක. අර දඩාර් සයිස් මලකඩ කාපු බයිසිකලේ බලයා පදිනවා. හැබැයි තනියෙම නෙමෙයි. ලැගේජ් එක උඩ පැතුමා, ඇද පොල්ල උඩ පැතුමා තියාගෙන.

දැල්ලගෙ ගෙදර තිබ්බෙ මුහුද පැත්තට ගියපු පටු පාරක උනත්, වෙරල සීමාවෙන් ටිකක් ඈතට වෙන්න වගේ.

මේකා බකල් ගගහ හැමදාම මේ පාරෙ කොහොම යනව එනවද මංදා..

පැතුමගෙ බෙලෙක් කටහඬ පස්සෙන් ඇහෙද්දි මං හිටියෙ දැල්ලගෙ ගෙදර ඉස්සරහ.. සෝමතිලක සර් කියපු විස්තර වලට අනුව, ඒක හොයාගන්න ඒ තරම් අමාරුවක් වුණේ  නෑ.. ඇත්තටම ඒක ගෙයක් කියලා කිව්වට, ගෙයක්ම නෙමෙයි.. බාගෙට ගරා වැටිච්ච පැරණි නටඹුන් ගොඩක් වගෙයි මම නම් දැක්කෙ. මිනිස්සු ජීවත් වේනන කොයි තරම් දුක් විඳිනවද අප්පා.

හීන් බංඩා අංකල්.. හීන් බංඩා අංකල්..

කීප සැරයක්ම මහා සද්දෙට අපි කතා කෙරුවත් ගේ ඇතුළෙන් කවුරුවත්ම එළියට ආවෙ නෑ.

පිස්සු හැදෙනවා බෙකම්.. මේ මනුස්සයා මේකෙ තනියෙම කොහොම ජීවත් වෙනවද මංදා.. හොල්මං ඇති ඇටි හැලෙන්න..

එයාට නෑදෑයො කවුරුත් නැද්ද නවෝද්..?

වටපිටාවෙ තිබුණ මූසල කමට සසල වෙච්ච බවක් ඉන්කිගෙ මූණෙන් පෙනුණා.

මාත් හරියට දන්නෑ ඉන්කි.. අද තමයි දැනගන්න වෙන්නෙ..

මේ ගෙදර ජීවත්වෙනව කියනෙක, පොර ආයෙ යකෙකුටවත් බය නැතිව ඇති.. බලපං මාධව තියෙන මූසල පාට විතරක්..

බලයා ඒ දේ කියද්දි කලින්ම අපි හැමෝටම ඒ හැඟීම දැනිලයි තිබ්බෙ.. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ.. ටිකක් ඈතින් මුහුදෙ රළ බිඳෙන හඬයි, සර සර සද්දෙට අපිවත් තුරුලු කරන් ගියපු සුළඟකුයි විතරක් අපේ තනියට හිටියා.

හීන් බංඩා අංකල්...

අපි හැමෝම කතා කරල, වැඩේ අතෑරල වගේ ඇතුළට යන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ පිටිපස්සෙන් දැල්ලට කතා කරන කටහඬක් අපිට ඇහුණා. අපි හැමෝම ආපහු හැරුණෙ පුදුම වෙලා වගේ. මොකද ඒ කටහඬ අපි හැමෝම අඳුනගත්තු හින්දා.

ස... සමින්දි අ.. අක්කි..

මගේ ළඟ හිටපු ඉන්කි අඩියක් දෙකක් පස්සට උනා. හරියට මගේ අයිතිකාරයා මං ළඟට ආවා වගේ.

අ.. අක්කි.. ඔ.. ඔයා කොහෙද මෙහේ..

පුදුම වෙලා වගේ බලන් ඉඳපු අපි හැමෝගෙන්ම ආයෙත් කතා කරන්න පුළුවන් උනේ ඉන්කිට විතරයි.

මාත් ඔයාලත් එක්ක එක්කහු උනාට කමක් නැද්ද..?

අපි හතර පස් දෙනෙක් හිටියත් සමින්දි ඒ ප්‍රශ්නෙ කෙලින්ම ඇහුවෙ මගෙන්. මං මොනව කියන්නද හත්තිලව්වෙ.. හිතට පුංචි සතුටක් ආවත් මං ගල් වෙලයි හිටියෙ.. කවුද අප්පා මෙහෙම දෙයක් හිතුවෙ.. මේ කෙල්ල අපිත්තෙක්ක පට්ට තරහෙන්නෙ හිටියෙ.. එදා ග්‍රවුන්ඩ් එකේදි  හතර ගාතෙ දාලා ඇඳගෙන වැටුණට පස්සෙ තමයි, සමින්දි මේ හැම වෙනස්වීමක්ම පටන් ගත්තෙ.. වැටිච්ච පාරට ඔලුවවත් කොහේ හරි හයියෙන් වැඳුනද මංදා.. කැටයමකටම හේතුව..

ඇ.. ඇයි නවෝද් ඔයාලා පුදුම වෙලා වගේ..

සමින්දි අක්කා ආයෙත් මගෙන් අහද්දි, ඔන්න ඒකට නම් පැතුමගෙ කට ඇරුණා. ඒත් තාමත් මං වගේම මාධවයි බලයයි හොල්මං වෙලා හිටියෙ.

පුදුම නැද්ද අප්පා.. ඔයා වගේ ගරු ගාම්භීර චරිතයක් අපේ පස්සෙ ආව කිව්වම..

බොරු නොකියා ඉන්න..

බොරු..? ඇත්තටම කියන්න.. ඔයා ආවෙ අපිටයි බෙකම්ටයි බකට් එක අඳින්න නේද..?

නෑ.. මං මොකටද ඔයාලට බකට් අදින්නෙ..?

ඇයි අපි ඔයාගෙන් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කාලා තියෙනවා.. ඔයාව ග්‍රවුන්ඩ් එකේ රවුම් විසි අටක් දුවවලා තියෙනවා.. ඉතිං හත්තිලව්වෙ ඒ මැදෑ අපිව එල්ලන්න.. නැද්ද බෙකම්..

පැතුම්ගෙ කතා කෝච්චියට සමින්දිට පුංචි හිනාවක් ගියා. එයා ඒ හිනාවෙන්ම මං දිහා බලද්දි ඉන්කි බිම බලාගන්නවා මං දැක්කා. සමින්දි අක්කා මේ එන්න හදන්නෙ මොකාටද කියල මගෙත් වයර් මාරුවෙලයි තිබ්බෙ.

ඒ කිසිම දේකට නෙමෙයි.. මං ආවෙ තනිකරම සාමෙට.. ඔයාලත් එක්ක, ඉන්කි වගේම එක්කහු වෙන්න.. ඔයාලට ශක්තියක් වෙන්න.. ඔයාලා කැපවෙලා කරන මේ වැඩේට පුළු පුළුවන් හැටියට උදව්වක් කරන්න..

කොල්ලො ටික මූණින් මූණ බලා ගනිද්දි මං සමින්දි අක්කා දිහා බැලුවා. ඒ ඇස්වල අවිශ්වාස කරන්න පුළුවන් තරමෙ කිසිම දෙයක් මං දැක්කෙ නෑ.. මගේ හිතේ අර මුලින් තිබ්බ පුංචි සතුට තවත් ඩිංගක් වැඩිවුණේ මටත් හොරටම.. සමින්දිට කොයි තරම් බැන්නත්, එයාම අපේ ළඟට ඇවිත් මෙහෙම කතා කරන එක මගේ හිතට පුදුම ගැම්මක් ගෙනාවා.

උදව්වක් කරනව කියල නෝනා මහත්තයා අන්තිම තත්පරේ අපේ බෙකම්ගෙ බෙල්ල මිරික්නනෙ නෑනෙ..

මාධවගෙ කතාවෙන් සමින්දිගෙ මූණ වෙනස් වුණා.

ඇයි මං එයාට එහෙම කරන්නෙ..?

කරන්නෙද..? ඔයාගෙ ජීවිතේ පළවෙනි වතාවට පරාජය කියන දේ අත්වින්දෙ බෙකම්ගෙන් හින්දා.. එක පාරක් නෙමෙයි තුන් පාරක්ම..

මං ඒවා අමතක කරලයි ඉන්නෙ.. මං මේ ඔයාලට දික් කරන්නෙ ෆ්‍රෙන්ඩ් ෂිප් හෑන්ඩ් එකක්.. එහෙම නැතුව සවුත්තු අරමුණක් ඒකෙ නෑ..

බෙකම්.. මොකද මෙයා කියන ඒවට කියන්නෙ..?

බලයා කෙලින්ම මගෙන් ඇහුවා.. අපි මෙතෙන්ට ආවෙ වෙනම වැඩකට.. ඒත් දැන් වෙලා තියෙන්නෙ මිත්‍රත්ව සංසදවලට අත් උස්සන්න.

ආ.. බෙකම්.. අපි මෙයාවත් අපේ යුනිට් එකට ගන්නවද..?

පැතුමයි, මාධවයි උනත් බලන් හිටියෙ මගේ උත්තරය දිහා. සමින්දි මගේ ළඟටම ඇවිත් මෙහෙම කතා කරපු එක ගැන සතුටක් මගේ හිතේ තිබ්බත්, මගේ යටි හිත මොකක්දෝ අනතුරු ඇඟවීමක් කරා. ඒත් ඒ දේ මට හරියට ටච් උනේ නෑ.

ඔව්.. ඉන්කි වගේම අපි සමින්දිවත් අපේ යාලුවෙක් කරගමු..

සමින්දි දිහා බලාගෙනම මං කිව්වා.

ඔයාලා හැමෝටම හුඟක් තෑන්ක්ස් මාව මේ විදියට පිළිගත්තට.. ඔයා ග්‍රේට් බෝයි කෙනෙක්..

කටපුරාම හිනාවෙන ගමන් සමින්දි කියවගෙන ගියා. අපි හැමෝම දැල්ලගෙ කඩා වැටිච්ච ගේ ඉස්සරහදි සමින්දි අපේ යාලුවෙක් විදියට පිලිගත්තටප ස්සෙ තමයි චමිල් කතා කරන්න ගත්තෙ.

අපි ඔයාව යාලුවෙක් විදියට පිළිගත්තා තමයි. හැබැයි ඒකෙන් හැමදේම ගොඩ කියලා හිතන්නෙපා.. ඔයාට පුංචි ප්‍රොබේෂන් පීරියඩ් එකක් අපි දෙනවා.. මොකද අත් දෙක දික් කරන් ආවා කියලා එක පාරටම ඔයාගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල අපිට තේරුම් ගන්න බෑනෙ.. නැද්ද පැතුමා..

හරියට හරි බලයා.. හරියට හරි.. ඒ කිව්ව කතාවට නම් උඹේ කට කන්න ඕන.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. අපි තරහ වෙලා ඉද්දි අපිට ගහන්න සෑහෙන්න අමාරුයි.. ඒත් අපි යාලුවො වගේ ඉද්දි ඔයාට පුළුවන් අපිට ඕන දෙයක් කරන්න.. හැබැයි සමින්දි මෙහෙම යාලුවො වගේ ඉද්දි ඔයා පිටිපස්සෙන් ඉඳන් ජුදාස් කෙනෙක් වගේ පේ බෙකම්ට පිහියකින් ඇන්නොත් ඔයාට බෙකම්ට අනින්න වෙන්නෙ මෙතන ඉන්න අපි හැමෝටමත් ඇනලා ඉවර වෙලා තමයි.. මොකද අපි ඒ තරම්ව බෙකම්ව ගාඩ් කරන හින්දා.. ඔයා ඒකත් හොඳට මතක තියාගන්න..

හිතුවෙ නැති විදියට පැතුම්, ටික්ක බරපතල විදියෙ කතාවක් කරා.. සමින්දිගෙ මූණ ඩිංගක් විතර කලු වෙලා ගියත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ම.. මං ඔයාලගෙ විශ්වාසෙ කඩන්නෙ නෑ යාලුවනේ..

බිඳුනු හඬින් සමින්දි එහෙම කියද්දි මට පව් කියලත් හිතුණා. උද්දච්චකමට සෑහෙන තරම් දේවල් මීට කලින් එයා කියෙව්වට අපිත් එයාට සෑහෙන්න වද දීලා තියෙනවා.. ඒත් දැන් ඒ හැමදේකම අවසානයට ඇවිත් තියෙන හැටි මං දැක්කා. තවදුරටත් සමින්දිව අයින් කරලා තියන්න මට හිතුණෙ නෑ.. ඒත් සමින්දි අපිට ලංවෙන තරමට ඉන්කි අපෙන් ඈත්වෙයි කියලා මට බයක් දැනුණා.

කෝ බෙකම් මේ දැල්ලා..?

ගරා වැටිච්ච ගේ ඉස්සරහ දොරට දාලා ති්බබ ඉබ්බා හොලවන ගමන් පැතුමා ඇහුවා.

සමහර විට කොහේ හරි යන්නැති.. අද ඉරිදනේ..

අපි දැන් දැල්ලගෙ ගේ බලාගත්තු එකේ.. ඉස්සරහට කරන්න ඕනෙ මොනවද කියල තීරණයක් අරගෙන මෙතනින් යමු.. මට නම් අම්මපල්ලා මේ දැනෙන මුස්පේන්තු ගතිය දිරවන්නෙම නෑ..

කටත් හතර අතටම හරව හරව මාධව කියද්දි, ඒක නම් සහතික ඇත්ත කියලා මට හිතුණා.

හම්බවෙන සල්ලි වලින් ටිකක් දාලා ගේ පොඩ්ඩක් රෙපයාර් කරලා දෙමු.. ඊට කලින් මිනිස්සු දෙන්නෙක් දාලා මේ වටපිටාව සුද්ද කරල දාමු..

අම්මප පැතුමා.. මෙච්චර කල් ඔය මොළ දන්ඩ කොහෙද බං තිබුණෙ.. උඹ ඕක විහිලුවටවත් පාවිච්චි කරේ නෑනෙ..

බලයා.. මං උඹට හැමදාම කියනවා.. වැඩිහිටියො කතා කරන තැන්වල මැද්දට පනින්නෙපා කියලා.. ඒක හින්ද මාව දේවදත්තයෙක් කරන්නැතුව නිකං හිටපිය..

කොල්ලො ටික කතාවෙන දේවල් වලට සමින්දි හෙමින් සීරුවෙ හිනාවෙන හැටි අපි ආපහු එද්දි මං දැක්කා. ඉන්කිට නම් දැන් වැඩිය මුං කියන ඒවට හිනා යන්නෑ.. මොකද මුංගෙ අලුගුත්තේරු කතාවලට එයා දැන් පුරුදු වෙලා ඉවරයි.

නවෝද්..

කොල්ලො ටිකයි, ඉන්කියි ඉස්සර වෙලා යද්දි සමින්දි හෙමින් සීරුවෙ මගේ ළඟට ආවා. ඇයි කියල අහන්න වගේ ඒ සුදු මූණ දිහා බැලුවම තමයි මං දැක්කෙ එයා ඩිංගක් විතර අවුල් වෙලා ඉන්නබව.

ඔ.. ඔයා මගෙත්තෙක්ක තාම තරහින්ද ඉන්නෙ..?

නෑ..

එහෙනම් මං එක්ක කතා නොකරන්නෙ..?

එහෙම දෙයක් නෑ..

එහෙනම් මගේ නම කියල කතා නොකරන්නෙ ඇයි..?

බලන් ගියාම ඕනම ආඩම්බර කෙල්ලෙක් කතා කරන්න ගියහම මල ඇනයක් කියන්නෙ ඇත්ත තමයි.. ඇම්ඩා ඔය කතාව හැම තිස්සෙම කිව්වත් ඒකෙ හරි හමන් අර්ථය තේරුනේ අද තමයි..

නවෝද්..

පැතුම්ල ඉන්කිල අපි දෙන්නගෙන් තවත් ඈතට යද්දි සමින්දි අක්කා මාව නතර කරගත්තා. මේ කෙල්ල මොනවද මේ කරන්න හදන්නෙ.. සමින්දිගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල හිතාගන්න වගේ මං එයා දිහා බැලුවා. ඒ අංග සම්පූර්ණ ස්ත්‍රී රූපෙ සොඳුරු ලාලිත්‍ය මගේ හිතට හොඳටම කා වැදුනෙ ඒ වෙලාවෙ තමයි. මේ තියෙන සොඳුරු කමට ලංවෙන්න නම් ඉන්කිට තව විභාග තුන හතරක්වත් පාස් කරන්න වෙනවා.

නවෝද්..

මූණ දිහා බලන් හිටියත් මගෙන් වචනයක්වත් පිට නොවිච්ච හින්ද සමින්දි ආයෙත් කතාව පටන් ගත්තා.

ඔයාගෙන් මං දෙයක් අහන්නද..?

හා..

මොනව ඇහුවත් කමක් නෑ කියල හිතාගෙන මං කිව්වා.

එදා ග්‍රවුන්ඩ් එකේදි..

සමින්දිගෙ මුළු ඇස් දෙකම දැන් මගේ මූණෙ. ආයෙ ඉතිං බිංදුවක්වත් මට ගැලවීමක් නෑ.. බෙකම්.. නැගිටපං බෙකම්.. නැගිටපං.. මගේ හිත ඇතුළෙන් කෑගහන සද්දෙ මට ඇහුණා. ඒත් සමින්දිගෙ මායාකාර ඇස් මගේ ආත්මෙ හැම අස්සක් මුල්ලක් නෑරම පිරික්සන්න අරන් තිබුණා. එයා දැන් මට ලංවෙලා හොඳටම වැඩියි.

ඔව්.. එදා ග්‍රවුන්ඩ් එකේදී..

කෙල්ලෙක්ගෙ දැකපු නැති දේවල් ඔයාගෙ ජීවිතේ නෑ කියලා කිව්වා.. ඒක ඇත්තද නවෝද්..

මං උඩ ගිහින් බිම වැටුණා. එදා වීරය වගේ කටට ආපු පලියට ඔහොම දේවල් කියාගෙන කියාගෙන ගියා තමයි. ඒත් කවුද දෙයියනේ සමින්දි අක්කා ඕවා හිතේ තියන් ඉඳියි කියල හිතුවෙ.. ඇරත් ඒක මගෙන් කෙලින්ම අහපුහැටි බලපල්ලකො.. බෙකම් කියන්නෙ මේ ලෝක විදියකට ඇඹරෙන කොල්ලෙක් නම් නෙමෙයි.. ඒත් දැන් සමින්දි අක්කා ඉස්සරහ මට ඇඹරෙන්න වෙලා තියෙන්නෙ.

ආ.. මට කියන්න ඒක ඇත්තද..?

න්..නෑ.. මං ඒක කටට ආපු පලියට කිව්වෙ..

ඒක තමයි.. මං එහෙම හිතුවා..

සමින්දිගෙ මූණට අපූරු හිනාවක් ආවා. එයා ඒ විදියට හිනාවෙනවා මං දැකලම තිබ්බෙ නෑ.. හිතාගන්න බැරි තරම් නැවුම් ගතියක් ඒ හිනාවෙ තිබ්බා.

එතකොට..?

ඒ පාර තවත් මොනව හරි අහන්න යනව වගේ.. ඒකනේ ඔය කට එහෙට මෙහෙට ඇඹරෙන්නෙ.. ඒ රතු පාට තොල්පෙති අතරින් පිටවෙන්නෙ මොනවද කියලා අහගන්න කන් දෙක දිගෑර ගන්න ගමන් මං වටපිට බැලුවා. මුහුදෙ රළ බිඳෙන හඬත් එක්ක හොඳටම ගැලපුන පාලු වටපිටාවෙ ඒ වෙනකොට හිටියෙ මායි සමින්දියි විතරයි. පැතුම්ල, ඉන්කිල, මාධවල, බලයල ඒ වෙනකොට අපේ ඇස් මානෙන් හුඟාක් ඈතට ගිහින් තිබුණා. ඒත් ඒ ගැන වැඩිය හිතන්න අපි දෙන්නම ගියේ නෑ. මායි සමින්දියි දෙන්නම කල්පනා කෙරුවෙ මේ ඇතිවෙච්ච නිදහසත් එක්ක අපේ වචන හරඹෙ කොහොම කොයි විදියට ගලපන්නද කියලා.

තවත් දේවල් එදා ඔයා කිව්වා. ඔව්.. හුඟාක් දේවල්.. ඇත්තමයි නවෝද් මං හුඟාක් මානසිකව වැටුණා. මං.. මං ගැන හුඟාක් අධිතක්සේරුවක හිටපු ගෑනු ළමයෙක්.. ඔයා හැමදේම කිසිම බයක් නැතුව බිඳලා දැම්මා. ඔයා හිතල හරි නැතුව හරි ඒ කතා කරල තිබ්බෙ මගේ ආත්මෙට.. කිසිම පිරිමි ලමයෙක් සත පහකටවත් ගණන් ගන්නැතුව හිටපු මට ඔයා මහම මහා වදයක් දුන්නා එදා ඉඳලා..

වදයක්..?

හීනෙකින්වත් හිතපු නැති විදියට කතාව වෙනමම පැත්තකට ඇඳිලා ගියා. සමින්දි එයාගෙ ඇතුලාන්තය බොහෝම සැහැල්ලුවෙන් මං ඉස්සරහ දිහ අරින්න පටන් අරන් තිබුණා. ඒත් මට තිබ්බ එකම ප්‍රශ්නෙ එයා ඇයි මට මේවා කියන්නෙ කියනෙකයි. මේවයින් එයාට අවාසියක් මිස වාසියක් නම් වෙන්නෑ.. ඒක හුඟාක් වෙලාවට එයත් දැනගෙන ඉන්නැති.

ඔව්.. කිසිම වැඩක් පලක් කරගන්න බැරි තරමට මට ඔයාව මැවිලා පේන්න ගත්තා.. මං හුඟාක් බය වුණේ ඒලෙවල් එග්සෑමුත් අත ළඟටම ඇවිත් තිබ්බ හින්දා.. මේ අන්තිම මොහොතෙ ඔයා මගේ හිත තැලුවට පස්සෙ, අවුරුදු දහ තුනක් තිස්සෙ එක සීරුවට කරගෙන ආපු අධ්‍යාපනේට හානියක් වෙයි කියලා මට හිතුණා. ඔයත්තෙක්ක දිගින් දිගටම රන්ඩු වෙවී හිටියොත් මට මාවත් නැතිවෙන දවස වැඩි ඈතක නෑ කියලා මට හිතුණා. ඇත්තමයි නවෝද්.. ඒ දේට මං හුඟක් බයෙනුයි හිටියෙ..

දාඩිය බිංදු තුන හතරක් තොළ ළඟ රැඳිලා තිබ්බ සොඳුරු මූණෙ මං දැක්කෙ මහන්සි ගතියක්. සමින්දි ගැන හිතේ කහටක් තිබ්බා උනත් එයා වගේ හැම අතින්ම පරිපූර්ණ ගෑනු ළමයෙක් එක්ක මේ වගේ තනිවෙලා දොඩමලු වෙන්න ආසාවක් නෑ කියලා මං කිව්වොත් ඒක පට්ට පල් බොරුවක්..

ඔයාට කම්මැලිත් ඇති මං කියන දේවල් අහන් ඉඳලා..

නෑ.. ඔයා කියන් යන්න..

මං විතරද කියන්නෙ..? ඔයා මුකුත් කියන්නැද්ද..? ආ...

ම්.. මං කියන්නම්කො.. ඉස්සෙල්ලා ඔයා කියන්න..

තව ඔයා එදා කිව්වා.. මට වැඩියලස්සන ගෑණු ළමයින්ගෙ ෆිගර් ඕන තරම් දැකලා තියෙනවා කියලා.. ඒක නම් මං පිලිගන්නවා.. හැබැයි..

හැ..බැ..යි.. මොකක්ද..?

හැබැයි ඇඟේ එක නූල් පොටක්වත් නැතුව කියලා කිව්වා.. ඒක ගැන දැන් මොකද කියන්නෙ..?

ගිනි විජ්ජුම්බරයයි.. මෙයා ඔක්කොම ඒ වලිය අල්ල පනල්ලෙ රෙකෝඩ් කරගෙනද කොහෙද.. ඇයි හත්වලාමෙ.. මං කියපුව එක ඇලපිල්ලක්, පාපිල්ලක් අඩු නැතුව කියනවනේ.. දැන් ඉතින් මොනව කරන්නද අප්පා.

මොකද කියන්න කියන්නෙ..?

ඒ කිව්ව කතාව ඇත්තද කියලා..

ඒකත් බොරුවක්..

ම්.. හොඳ ළමයා.. එතකොට..

සමින්දි ආයෙක් කට හැදුවා.. එදා මං කියපු දේවල් අතරෙ තවත් අහන්න තරම් දේවල් තියෙනවද අප්පා..

අනික දකින්න තරම් දේවල් මගේ ඇඟේ තියෙනවද කියලත් ඔයා ඇහුවා.. ඒ ගැන මොකද කියන්නෙ නවෝද්..?

සමින්දි අක්කා මට තවත් ළංවුණා. ඒ ළංවීමේ ප්‍රතිඵලේ ඒ මොහොතේම මට දැනුණා. ඒතමයි සමින්දි මගේ අතින් අල්ල ගත්තු එක. මාත් වැඩිය මුකුත් හිතන්නෙ නැතුව ආපිටට ඒ අත අල්ල ගත්තා. ඇඟිලිකරුවලින් එකට බැඳිලා අපේ අත් හයි වෙද්දි, අපි දෙන්නම කරේ ඇඟිලි කරුවලින් තවත් තද කරගන්න එක.

මං ඔයාව කේන්ති ගස්සවන්නයි එහෙම කිව්වෙ.. මතකද ඊට පස්සෙ ඔයා මට කැත සතා කිව්වා.. මාව මරණවා කිව්වා..

මටත් දේවල් අමතක වෙලා නෑ කියල වගේ පේන්න මං එහෙම කිව්වා. ලස්සන දිග ඇස් දෙක ලොකු කරලා සමින්දි අක්කා මං දිහා බැලුවෙ, ඒ හැමදේටම සමාව ඉල්ලන්න වගේ.

ඔයා ඒක හිතට ගන්නෙපා නවෝද්.. කේන්ති වැඩිකමටයි මට එහෙම කියවුණේ.. ඔයා සමහර විට දන්නැතුව ඇති ඒ වචන ටිකට මං කොයිතරම් පසුතැවිලි උනාද කියලා.. ඇත්තමයි නවෝද්.. මං කිසිම කෙනෙකුට ඒ වගේ සවුත්තු විදියට කතා කරලා නෑ.. ඔයත් එහෙම වෙන්නැති.. ඒත් අපි දෙන්නගෙ වෙලාවට, අපි දෙන්නා අතින්ම එහෙම කියවුණා. කොහොම උනත් ඒ හැමදේටම මුල මමයි.. මං ඔයාගෙන් ඒ වචන වලට සමාව ඉල්ලනවා..

හිත ඇතුළෙ හිරවෙලා තිබ්බ කුණු කන්දල් ටික හෙමින් සැරේ එළියට ඇදෙද්දි මට දැනුණෙ පුදුමාකාර සනීපයක්.. සමින්දිටත් ඒක එහෙමමයි කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා.

මාත් ඉතිං ඔයාට වැරදි කරානේ..

කමක් නෑ.. අපි ඒ ඔක්කොම නරක දේවල් අමතක කරලා දාමු.. හොඳ දේවල් විතරක් හිතේ තියාගම්මු..

එහෙනම් ඒකත් හරි.. එතකොට මං ඉස්සෙල්ල අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් ඕන..

දකින්න තරම් දෙයක් ඔයාගෙ ඇඟේ තියෙනවද කියල අහපු එකද..?

ඔ..ව්..

ඔව් කියල ඉවරවෙලා, සමින්දි යටිතොල හපා ගත්තා... මගේ හිතේ ඇතුළෙ විදුලි එළි දෙක තුනක් සට සට ගාලා කොටල දැම්මා. ඒ එයා හිටපු ඉරියව්වටත් එක්ක.. මේ තරම් ළංවෙලා ඉඳලා ඔයා මට මොනවද කරන්න හදන්නෙ සමින්දි අක්කෙ..

එහෙනම් අහගන්නකො.. මං දැකපු ගෑනු ළමයින්ගෙන් ලස්සනම ෆිගර් එක තියෙන්නෙ ඔයාට..

මෙච්චර වෙලා මැලවිලා තිබ්බ සමින්දිගෙ මූණ මැදට ලස්සන සුදු හිනාවක් පායගෙන ආවා.

ඉස්සරහිනුත් ගාණට, පිටිපස්සෙනුත් ගාණට.. අඩුත් නෑ.. වැඩිත් නෑ..

නර..ක..යා..

නිදහස් වෙලා තිබ්බ අනිත් අතින් මට හෙමින් සීරුවෙ පාරක් ගහන ගමන් සමින්දි අක්කා ඒ අතින්ම අනිත් අතත් තද කරලා අල්ල ගත්තා. දැන් අපි දෙන්නා එක ළඟ නතරවෙලා මූණින් මූණ බලාගෙන හිරවෙලා හිටිය වගේ. අපි දෙන්නගෙන් කාටවත් මෙතනින් ගැලවිලා යන්න උවමනාවක් තිබ්බෙ නෑ වගේ. සමින්දිගෙයි, මගෙයි ඇස් එකට එක්කහු වෙලා විනාඩි ගානක් එක දිගට බැඳිලා තිබුණා. අපි දෙන්නගෙන් කවුරුවත් ඇස් අහකට ගත්තෙ නැත්තෙ ඉස්සෙලල්ම බිම බලාගත්තු කෙනා පරාදයි කියල හිතල වගේ.

නවෝද්..

ම්..

ඔයාටත් දේවල් කියන්න තියෙනවා කිව්වා නේද..?

රතු පාට තොල්පෙති එහෙට මෙහෙට පටලවන ගමන්, ඇස් දෙක බිංදුවක්වත් හරවන්නැතුව සමින්දි ඇහුවා. ඒත් මං කිසිම දෙයක් කියන්න කලින්, සපත්තු අඩිවලට වැලි පෑගෙන සර සර සද්දෙ, සමින්දිටයි, මටයි එක තත්පරේම ඇහුණා. අපි දෙන්නම වටපිට බැලුවෙ පැතුම්ලව, ඉන්කිලව දකින්න කියලා හිතාගෙන. ඒත් අපි ළඟම හිටියෙ අපේ හිත මිත්‍රයො නම් නෙමෙයි.. මට හැමදාමත් චැලේන්ජ් කරපු චතුරංගයයි උගේ අපත ගැන්සියයි.. ඊට අමතරව ෆුට් බෝල් ටීම් එකේ හතුරා වෙච්චි පෙත්තාවඩුත් පැත්තකින් හිටියා.

මේ.. මේ අය කවුද නවෝද්.. ඔ.. ඔයාගෙ යාලුවොද..?

චතුරංගල, පෙත්තාවඩුල හිටපු ඉරියව් මට කොහොමවත් දිරෙව්වෙ නෑ. උං ඇවිල්ලා ඉ්නනෙ නම් හොඳකට නෙමෙයි කියලා මට හිතුණා. උං කලින් දෙපාරක් තුන් පාරක් විතර කැත නැතුව අපෙන් ගුටි කාපු එකේ රිටර්න් එක දෙන්න ඇවිල්ල කියලයි මට හිතුණෙ. ඒත් මායි සමින්දියි මෙතන ඉන්නව කියා මුං කොහොම දැනගත්තද මංදා.

ඔ.. ඔව්.. අපි බෙකම්ගෙ යාලුවො.. ඒත් සීදේවි ඔයා අපිව අඳුනන්නෙ නැතුවට අපි නම් ඔයාව යස අගේට අඳුනනවා.. ඔයා බාලිකාවෙ සුපිරි කෑල්ලනේ.. මොකද කියන්නෙ.. අපිත් බෙකම් වගේම ෆිට් පොරවල් තමයි.. අපි එක්කත් ටිකක් එන්ජෝයි කරමු.. ඔයාට අපි කට්ටියම වැඩිවෙන එකක් නෑ.. හහ්.. හහ්.. හා..

හිතුවෙ නැති විදියට චතුරංග, සමින්දි ටාගට් කරල කියවන්න ගත්තා. ඒ මදිවට උං කට්ටියම අපි දෙන්නව වට කරා. එන පොට හොඳ නෑ වගේ කියලා මට තේරෙද්දි මං වටපිට බැලුවෙ පැතුම්ල ඉන්නවද බලන්න. ඒත් උං පේනතෙක් මානෙක නෑ. එහෙනම් මේ ගේම මටමයි තනියෙම අදින්න වෙන්නෙ. ඒත් සමින්දිව බේරගන්න මෙතන ඉන්න දහ දෙනාවත් බිම දාගන්න මට පුළුවන් වෙයිද කියලා විචිකිච්චාව මගේ හිත උඩින්ම තිබ්බා.

එන්න රත්තරං අපි ළඟට..

චතුරංග, සමින්දිට තව ඩිංගක් ලංවුණා.

චතුරංග.. උඹේ තියෙන ගනුදෙනුවක් මගෙත්තෙක්ක බේරගනිං.. පිරිමියෙක් වගෙ..

හිටපං.. උඹට මං කවුද කියලා පෙන්නන්න..! පෙත්තා.. උඹ මේකිව ඇඳලා ගනිං.. මං මූව ඉවරයක් කරන්නම්..

පෙත්තාවඩුට සමින්දිව අල්ලගන්න කියන ගමන් චතුරංග මං ඉස්සරහට පැන්නා. මෙච්චර වෙලා එකට බැඳිලා තිබ්බ අපේ අත් ගැලවිලා ගියේ ඒ මොහොතෙම වගේ.

සමින්දි බලාගෙන..

චතුරංගට පාරක් ගහන්න උත්සාහ කරන ගමන් මං කෑගැහුවා.. ඒ පෙත්තාවඩු සමින්දිට ළංවෙන හැටි දැක්කත් මට සමින්දි ළඟට යන්න විදියක් තිබ්බෙ නැති නිසා.

උඹ මට කරපු හැම නින්දාවකටම වාඩුව මං අද ගන්නවා.. බෙකම්.. උඹට අද කියලා දෙන්නම් මං කවුද කියලා..

චතුරංග කොහොමත් කයිවාරුකාරයා හින්දා මං ඌ කියවන දේවල් වලට වැඩිය අවධානයක් යොමු කරේ නෑ.. මං බැලුවෙ සමින්දි දිහා.. ඒ වෙනකොට එයා පෙත්තාවඩුට කොටුවෙලා තිබුණා. කරන දෙයක් දැන්මම කරේ නැත්නම් වැඩේ අමාරු වෙනවා කියලා මට තේරුණා. ඒත් ඒ තේරුම් ගැනීම එහෙම්මම තියේදදි චතුරංග මට මොනවදෝ කුඩු වගයකින් දමලා ගැහුවා.. ඇස් දෙකම පේන්නැති වෙලා යන දැවිල්ලක් මුළු මූණෙම පටන් ගනිද්දි.. සමින්දි දුව්නන කියලා මං මහා හයියෙන් කෑගැහුවා.. ඒ එක්කම හතර වටින්ම මට එරෙහිව ප්‍රහාරය දියත්වෙන්න ගත්තා.

ගහපිය ඕකට.. නැතිවෙන්නම ගහපිය.. ආ මෙන්න.. තවත් මිරිස් කුඩු තියෙනවා.. පෙත්තා.. ඒකව අල්ලගෙන මගේ ළඟට ගෙනෙන්..

ඇස් දෙකම පේන්නැතිවෙන්න, දැවිල්ල එන්න මට ගහල තියෙන්නෙ මිරිස් කුඩු කියලා මං දැනගත්තෙ ඒ වෙලාවෙ.. වටපිටාවෙ කිසිම දෙයක් පේන්නැතුව මං හිටියෙ අන්ත අසරණ වෙලා. ඒකෙ ආයෙ කියන්න දෙයක් නෑ. චතුරංගයලා මට ෆුට් බෝලෙකට ගහනව වගේ හතර පැත්තෙන්ම වට කරගෙන නෙලන්න ගත්තා. ඒ අතරින් පතර මට සමින්දිගෙ කෑගැහිල්ලයි, චතුරංගයි, පෙත්තයි මහා සද්දෙට හිනාවෙන හඬයි ඇහුණා. දෙයියනේ මුං කෙල්ලට කරදරයක් කරයිද..? එහෙම උනොත් නම් ඉඳල වැඩක් නෑ.. මෙච්චර දවසක් චතුරංගට දාපු කලර්සුත් වැඩක් නෑ.. ඒත් මොනව හිතුවත් ඇස් දෙක ඇර ගන්න බැරි තරම් දැවිල්ල එද්දි මට කරකියා ගන්න දෙයක් නැතිවුණා.

එ.. එයාට ගහන්නෙපා.. එයාට ගහන්නෙපා.. මට එයා ළඟට යන්න දෙන්න..

සමින්දිගෙ කටහඬ මං හිටපු තැනින් ටිකක් ඈත් වෙන්න වගේ ඇහුනා. මං ඒ කටහඬ ආපු පැත්තට ගුටි කකාම දුවන්න හැදුවත් පිටම දෙදරල යන්න වැදිච්ච පාරකින් මං බිමට ඇදන් වැටුණා.

තව ගහපන්.. ඕකව මරල දාපන්..

මං ඉස්සරහ හැමදාම බල්ලෙක් වගේ පාත්වෙලා ඉඳපු චතුරංග උගේ පලිගැනීම ඉස්තරම්ම විදියට කරලා තිබුණා. මං මටම සාප කරන්න ගත්තෙ ඌව මේ තරම් ලේසියට අරගෙන තිබුණු එකට.

ඉස්කෝලෙ හැම නම්බු නාමයක්ම ගියේ ඕකට.. මට කිසි දෙයක් නෑ.. මට කිසි දෙයක් නෑ.. දැනගනිං බෙකම්.. උඹ හින්දා මට නැතිවේචච දේවල් හුගක් වැඩියි.. ඒ හැමදේටම හරියන්න මං උඹේ ආදරේ මටම තියාගන්නවා.. මං මේකිව ගන්නවා.. මං මේකිව ගන්නවා..

වියරුවෙන් වගේ චතුරංගගෙ කටහඬ ගලාගෙන යද්දි මං අමාරුවෙන් ඔලුව උස්සන්න හැදුවා. ඒ එක්කම තමයි තවත් වැදිච්ච දැවැන්ත පාරකින් මට හැමදේම පේන්නැති වෙලා ගියේ. චතුරංගගෙ ගැන්සියෙ කොල්ලෙක් ගහපු ඒ පාරක් එක්කම මට කැගැහුනෙ සමින්දි කියලා විතරයවි.. ඊට පස්සෙ හැමදේම කළුවර වෙලා ගියා.


න..වෝ..ද්..

හීනෙකින් වගේ කාගෙදෝ කටහඬක් ඇහෙද්දි මං ඇස් දෙක අරින්න උත්සාහ කරා. ඒත් ඇස්වල දැවිල්ල තාමත් එහෙම්මමයි.. ඒ මොහොතමෙ තමයි ලොකු වතුර පාරක් මගේ මූණ හරහා ගියේ.. තවත් ටිකකින් ගෑනු අතකින් මගේ ඇස් හොඳ෯නවා මට දැනුණා.

අ.. අනේ නවෝද් කතා කරන්නකො..

ඔ.. ඔයාට අමාරුද නවෝද්.. අනේ ඇස් අරින්නකො..

මුලින් අඳුනගන්න බැරි උනත්, මං පස්සෙ ඒ කටහඬවල් දෙකම අඳුන ගත්තා.. සමින්දියි, ඉන්කියි.. ඔලුවෙ බර ගතියක් දැනුනත් මං හෙමින් සීරුවෙ ඇස් ඇරියා.

හප්පේ ඇති යාන්තං..

මගේ මූණ ඉස්සරහම හිටියෙ ඇම්ඩා.. උගේ ෂර්ට් එකේ පැත්තක්ම ඉරිල ගිහින්.. ඒකෙන්ම මං වෙලා තියෙන දේ හිතාගත්තා. ඇම්ඩයි, පැතුමලයි මොනව නැතත් වෙලාවට ඇවිල්ලා තියෙනවා..

ඔ.. ඔයාට කරදරයක් නෑ නේද..

බාගෙට නැගිටින ගමන් මං සමින්දිගෙන් ඇහුවා.. ඒ ලස්සන ඇස්වල කඳුළු පිරිලා උතුරල ගිහිල්ලා.. ඉන්කිගෙ ඇස්වලත් කඳුළු..

ම.. මට මුකුත් නෑ.. අ.. නේ නවෝද්.. ඔ.. ඔයාට අමාරුද..? අ.. අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..

ඕන්නෑ සමින්දි.. මං මීට වැඩිය පාරවල් කාලා තියෙනවා.. ෆුට්බෝල් ගහද්දි.. මේවා ඒ තරම් දේවල් නෙමෙයි.. මං බයවුණේ ඔයා ගැන..

එහෙම කියද්දි සමින්දිගෙ ඇස් දීප්තිමත් වෙල හැටි මං දැක්කා.

ඒ වුණාට ඔයාට සිහිය නැති වුණානේ..

අර මිරිස්කුඩු වැදිච්ච එකෙන් අවුල වුණේ.. ඇස් ඇර ගන්න බැරිව ඉන්දෙද්දි වැදුනු පාරෙන් තමා මං ෆේන්ට් වෙන්න ඇත්තෙ..

කෝ නැගිටපං..

සමින්දිව පැත්තකට කරන ගමන්, මං ළඟට ආපු පැතුමා මට අත දික් කරා.. මං ඒ අතේ එල්ලිලා නැගිට ගත්තා.

ඔයාට අමාරුවක් නෑ නේද නවෝද්..?

ආයෙත් මගේ ළඟට ඇවිත් සමින්දියි, ඉන්කියි දෙන්නම එක පාරම ඇහුවා.. පැත්තක හිටපු ඇම්ඩට ඒකට ලාවට හිනාවක් ගියා.

ඔයාලත් අහන්නෙ මාර දේවල්නේ අප්පා..

ඇයි පැතුම්..?

හැයි පැතුම් තමයි.. අලියට පෑගිලා මොනවද ගියේ කියල ඇහුව වගේ දෙයක්නේ ඔයාලා ඇහුවෙ..

බෙකම්.. අපි හදිස්සියාට ඩිංගක් පෙන්නමුද..?

හසිද්දියා කිව්වෙ අත ළඟට හිටපු රිටායර් වෙලා වගේ හිටපු ඩොකා.. මිනිහට අවුරුදු හැත්තෑවක් විතර ඇති.. ලෙඩෙකුට බෙහෙත් දෙන්න තියෙන පුදුමාකාර ඉක්මන හින්දා තමයි මිනිහට හදිස්සියා කියන නම වැටිලා තියෙන්නෙ.. තුවාලෙකට බෙහෙත් දාන එකත් දෙවනි නෑ.. එකෙන්ම ගොඩ.

ඕන්නෑ මාධව.. අමාරුවකට තියෙන්නෙ ඇස් දෙක ටිකක් දනවා.. එච්චරයි..

තවත් ටික වෙලාවක් යද්දි ඉන්කියි, සමින්දියි අපෙන් ඈත්වෙලා ගියේ අකමැත්තෙන් වගේ.. සමින්දි නම් තවත් ටිකක් ඉන්නයි බැලුවෙ.

උඹට කියන්න මාධවයා.. මට පේන විදියට අක්කයි නංගියි දෙන්නම අපේ බෙකම්ට කැමතියි වගේ..

පැතුමා..! නොදන්න ප්‍රකාශ නොකර වැදගත් විදියට උඹේ උණ්ඩුක පුච්චෙ වහගෙන ඉඳපං..

ඇයි..?

හැයි අහන්නෙ.. උං දෙන්නා කැමතියි නෙමෙයි..

හේනම්..?

උං දෙන්නා බෙකම්ට ලව්..

මාධවගෙ කතාවෙන් කොල්ලො හැමෝම නිශ්ශබ්ද වුණා.

මේ ඔය කතාව නවත්තලා මෙතන උනේ මොකක්ද කියලා කියපල්ලකො.. කෝ චතුරංගයි පෙත්තයි..?

උං දෙන්නා මෙලහකටත් ඉස්පිරිතාලෙ හරි මෝචරියෙ හරි ඇති.. ආයෙ දෙන එක දුන්නා ගිය ආත්මෙ එක්ක මතක් වෙන්න..

උනේ මොකක්ද කියපල්ලා.. උඹලා කොහොමද දන්නෙ චතුරංගයල මට නෙලනව කියලා..

අපිත් එකක් එකට ඇවිත් උඹයි සමින්දියි ඕනකමින්ම පහුවුණානේ.. උඹල පරක්කු හින්දා අපි ආයෙත් පස්සට ඇද්දා..

පැතුමා ඒත් කිව්වා, මුං දෙන්නා මනුස්සයො වගේ කතා කර කර ආවට කෙහෙවලු පටලවගෙනද දන්නෑ කියලා.. ඒ එනකොට තමයි දැක්කෙ, චතුරංගයල සමින්දිව කැලේට ඇදගෙන යන්න හදනවා.. උම කට කපලා බිම.. තවත් ඉතිං බලන්න කියන්න දෙයක් නෑනෙ.. අපි ගේමට එන්ටර් ද ඩ්‍රැගන් වුණා. කාලක් විතර වැඩේ යද්දි, දැල්ලගෙ ගෙවල් පැත්තෙ ඉඳලා ඇම්ඩත් පියාඹගෙන ආවා.. ඊට පස්සෙ ඉතිං වෙච්ච හරිය උඹට කියන්න ඕන නෑනෙ.. අපි හතර අතටම නෙලුවා.. චමිල් නම් පෙත්තාවඩුගෙ යටි බඩටමයි ගැහුවෙ.. ඌ නම් ආයෙ සතියකට මෙහා ඉස්කෝලෙ එන එකක් නෑ.. චතුරංගයත් සති දෙකකට එන එකක් නෑ.. උඹට කියන්න බෙකම්.. අපේ ඇම්ඩා උංට ගැහුවෙ ඩේට් දීලා.. උං දෙන්නගෙ බත් බැලයො ටික හිස් ලූ ලූ අත දිව්වා.. දුකේ බෑ..

ඌට කොහෙන්ද ඇම්ඩා ඔය වගේ ගටක් ආවෙ..? මට මිරිස් කුඩු ගහලා සමින්දිව කැලේට ඇදගෙන යන්න තරම්..?

මට හිතෙන විදියට ඌ ඩ්‍රග්ස් ගන්නවා.. ඒවයෙ බලපෑම තමා ඉතිං..

මං හූනා කිව්වා වගේ කියන්නම්.. තව ටික දවසකින් චතුරංගයට වෙන්නෙ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙ ඇතුලෙ බංකුවක ලගින්න..

කොහොම උනත් උඹල වෙලාවට ආවෙ.. නැත්නම් මටයි සමින්දිටයි මොනව වෙයිද දන්නෑ..

අපි ඉන්නකන් උඹට මුකුත් වෙන්නෑ බෙකම්.. මං අර සමින්දිට කිව්ව වගේ, උඹට මොනව හරි කරනවා නම් ඊට කලින් අපිට මොනවා හරි කරන්නෝන.. නැද්ද ඇම්ඩා..

මාධවගෙ කතාවට ඇම්ඩා ඔලුව වැනුවා.. උගේ ෂර්ට් එකේ බොත්තමුත් කැඩිලා.. කමක් නෑ.. චතුරංගයයි, පෙත්තයි දුවල තියෙන්නෙ ෂර්ටුත් නැතුවනේ.. එතන ඉඳලා කොල්ලො ටික ගෙවල් වලට ගියේ මාව අපේ ගෙදරටම ගෙනැල්ලා දාලා.


දවස් දෙකක් විතර ගෙරට වෙලා ඉඳලා මං ආයෙත් ඉස්කෝලෙ ගියේ බදාදා.. කැඩෙට් කෑම්ප් හින්දා මේ දවස්වල ඉස්කෝලෙ වැඩ වෙන්නෑ කියල මං අම්මටයි තාත්තටයි බොරුවකුත් නොවෙන ඇත්තකුත් කියලා තිබ්බා. කොහොමටත් අපි කට්ටියම ඉරිදා කතා වුනේ වෙච්ච කිසිම දෙයක් කාටවත්ම නොකියා ඉන්න.. ඒ වගේම චතුරංගයට අමතක වෙන්නැති පාඩමකුත් උගන්නන්න.. ඒත් ඒ පාඩම ඩිංගක් විතර කල් දැම්මෙ, දැල්ලාස් හෝප් ප්‍රසංගය අත ළඟටම ඇවිල්ල තිබ්බ හින්දා.

කමෝන් බෙකම්..

දවස් ගාණකින් උඹව දැකීම සතුටක්..

උදේ ඉස්කෝලෙට ගියා විතරයි සුපුරුදු විදියටම පන්තියෙ කොල්ලොන්ගෙන් එක එක ප්‍රතිචාර ලැබුණා. නිරෝමිලට, නෙලුනිලට, පැතුම් කියල තිබ්බෙ මැච් එකකට මං අවුට් ගිහිල්ලා කියලා.. නැත්නම් ඉතිං මේ වෙච්ච සංහදිය දන්නවා නම් උං මාව මාසයක් පුරා බයිට් එකට ගනියි.

බෙකම්..

පන්තියෙ කොල්ලො කෙල්ලොන්ගෙ කච කචේ එහෙම්මම තියෙද්දි මහේලගෙ කටහඬ ඇහුණා. ඌ දැන් ටික දවසක ඉඳන් පට්ට වෙනස් කියලා අපි හැමෝටම තේරිලයි තිබුණෙ. එදා බාලිකාවෙ තාරකා විද්‍යා ප්‍රදර්ශනෙන්ප ස්සෙ වෙච්ච සිද්ධියත් එක්ක අපි හැමෝම උගෙන් ඩිංගක් අයින් උනා කියලා කිව්වොත් ඒක හරි. පැතුමගෙයි, මාධවගෙයි, කල්හාරගෙයි කසු කුසු වලට අනුව නම් මේ වෙනකොට නෙහාරයි මහේලයි ආදරවන්තයො වෙලා ඉවරයි.. උං දෙන්නම දැන් කරන්නෙ අපිට කොලේ වහන එක.

බෙකම් මං උඹට දෙයක් කියන්නයි යන්නෙ..

මොකක්ද මහේල..?

උඹට මං මේක කියනෙක හරිද මංදා..

හරියන්න හරි වරදින්න හරි කියපං.. ලමිස්සි වගේ ඇඹරෙන්නැතුව..

අමල්..

ඔව් අමල් මොකද..?

අමල් කිව්වෙ නෙහාරගෙ කොල්ලනේ.. මූ මොකද උගේ නම කට පාඩම් කරන්නෙ..

අමල් එෆෙයාර් එක නවත්තනව කියලා නෙහාරට කියලා..

මහේල එහෙම කියනවත්තෙක්කම පන්තිය මැද හෙන කඩයක් දාගෙන හිටපු නෙහාරා දිහා මං බැලුවා. ඔය බැබලි බැබලි හිනාවෙවී ඉන්නෙ.. මොන දුකක්වත් නැතුව.. මට පේන විදියට නම් ඒ ආරංචිය සතුටු දායක එකක් වෙන්නැති.

ඒ කියන්නෙ නෙහාරගෙ ආදරේට අමලයා තිත තියනවා කියනෙකද..?

කොල්ලොත් එක්ක මොකක්දෝ බයිලයක් ගගහ හිටපු පැතුම් එහෙම කියාගෙන මායි මහේලයි අතරට පැන්නා.

ඔව්..

ෂිහ්.. තෝ කැත නැතුව ඔව් කියපු හැටි.. ඇයි මහේලයා ඕකට තිතක් නොතියා කොමාවක්, බැටන් පොල්ලක් තියන්න බැරි..? ආ..

පැතුම්ගෙ ප්‍රශ්නෙත් එක්කම මහේලයට උතුර දකුණ මාරු උනා වගේ.. ඒත් ඒ කතාව එතනින් එහාට ගියේ නැත්තෙ චේතනා මිස් පන්තියට ආපු හින්දා.


ඉන්ටවල් එකේදි මං ඉමාන්වයි, දිල්රංගිවයි හම්බවෙලා ප්‍රසංගයෙ අවසාන කටයුතු ටික කෙරෙන්න ඕන කොහොමද කියලා පුංචි චැට් එකක් දැම්මා. මුලදි මුලදි වැඩේට ටිකක් අදිමදි කරත් ඉමාන් දැන්නම් බැහැලම වැඩේ දීගෙන යන ගතියක් තිබ්බා. දිල්රංගි, ගුණසිංහ සර්ගෙ නැටුම් කණ්ඩායමට කතා කරගෙන සෙට් වෙලා හිටියෙ. තව සුද්දගෙ චරිතෙට මාත් එක්ක හෙළ විරුවා නාට්ටියෙ රඟපාපු මංගලත් එක්කහු කරන් හිටියා. බලන් යන විදියට නම් වැඩේ සිරාවටම පත්තු වෙන පාටයි.

සෙනසුරාදට කලින් රිහසල් එකක් කරන්න වෙයි නේද ඉමාන්..?

අනිවා බෙකම්.. අනිවා.. කරන්නම ඕන.. මේ දවස්වල ගෘප් එකක් එක්ක සිරාවටම ප්‍රැක්ටිස් පාර දානවා..

අහන්න සන්තෝසයි ඉමාන්..

හුඟාක් වෙලාවට සිකුරාදා හවස රිහසල් එකක් කරලා බලනවා.. ඊට පස්සෙ ඉතිං සෙනසුරාදා ගේමට බහින්නනේ තියෙන්නෙ..

මොනම හරි ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න දිල්.. හිතේ තියාගෙන ඉන්නෙපා..

හිතේ තියෙන හැමදේම කියන්නත් බෑනෙ නවෝද්..

හිටපු ගමන් දිල්රංගි හතර බීරි කතා කියනවා. ඕක කෙල්ලොන්ගෙ සහජ දුර්වලතාවයක්ද මංදා.

ඒක ඇත්ත.. මට කියන්න බැරි වුණාට කියන්න පුළුවන් අයත් ඇතිනේ..

මං එහෙම කිව්වම කෙල්ලට ලැජ්ජ හිතුණ වගේ.

කියන්න පුළුවන් අය නම් කවුරුවත් නෑ නවෝද්..

එහෙනම් කියන්න පුළුවන් කෙනෙක් හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..

තැන්ක් යූ නවෝද්..

දිල්රංගිගෙ තැන්ක් යූ එකත් අරගෙන මං ආපහු පන්තියට ආවා. ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක තිබ්බෙ සුජාතා මිස්ට. කොල්ලොන්ගෙ පරමානන්දයට හේතුවන පරිද්දෙන් සුජාතා මිස් ඇවිල්ලා නෑ.

නෙහාරා.. ඔයා දන්නවද ලෝකෙ පොඩිම සුරංගනා කතාව..?

සර්ලා, මිස්ලා පන්තියෙ ඉන්නකොටත් කච කචේ දාන පැතුමා, සර්ලා මිස්ලා නැති ඕෆ් පීරියඩ් එකක් අහුවුණොත් හෙම සල්ලි නොදී මගුල් ගෙදරකින් කෑවා වගේ ෆිට් එකකින් හැසිරෙන්නෙ.. ඒ වෙලාවට උගේ කට වහන්න දත් දොස්තර කෙනෙකුටත් බෑ.

උඹ මොකද නෙහාරගෙන් අහන්නෙ.. ඔය නෙලුනිලා ඉන්නෙ.. ඒකිගෙන් අහපන්..

එකපාරටම මහේල මැද්දට පැන්නා. ළඟකදි ඉඳලා මහේලයා මොනව හරි ඉල්ලනවා වගේ.. මොන තරම් හොඳ යාළුවෙක් උනත් ගුටි කෑමෙන් සියල්ල හැදේ කියන්න වගේ මූටත් දෙක තුනක් අනින්නයි තියෙන්නෙ.

මට ඕන නෙහාරගෙන්ම අහන්න.. උඹට ඕන නම් නෙලුනිගෙන් අහපං.. ආ නෙහාරා.. ඔයා දන්නවද..?

නෑ පැතුම්.. මං දන්නෑ..

මට හරි දුකයි ඔයා ගැන.. මේ එක එක වහුකුනාට අහුවෙන හන්දා.. හොඳයි මං කියන්නම්.. හොඳට අහගන්නකො.. මං මේ උඹලටත් එක්කයි කියන්නෙ..! ඔන්න ලස්සන කුමාරියක් අභියසට අසුපිටින් පැමිණි කුමාරයෙක් ඇයට ඉතා ආදරයෙන් විවාහ යෝජනාවක් කරාලු... තරහින් ඔරවා ගත් කුමාරිය ගත් කටටම එය ප්‍රතික්ෂේප කලාලු.. ඊට පස්සෙ කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් වුණාලු.. හරි....

ඊට පස්සෙ..?

ඊට පස්සෙ කියන්නෙ යකෝ කතාව එච්චරයි.. නොදෝකිං මේ අමන හැත්ත.. ඕක තමයි ලෝකෙ පොඩිම සුරංගනා කතාව..

පැතුමත් හොයාගන්නෙ මාරම කතන්දර තමයි.. නෙහාරා කට කොනකින් හිනාවෙනවා මං දැක්කා. මහේලයට ඒකට ටිකක් මල පැනල වගේ. ඒත් ඉතිං මොනව කරන්නද..? පැතුම්ගෙ කටේ දිග පලල දන්න හින්දම මහේල කට වහන් හිටියද කොහෙද..? පැතුමත් එක්ක වලිය්ක දාගන්නවට වැඩිය හොඳයි නගර සභාවෙ කුණු ට්‍රැක්ටරේ ළඟින් ඉන්න එක.

හොඳයි.. හොඳයි.. උඹලට නම් දෙයක් කියල මේ ලෝකෙ වැඩක් නෑ.. අඩෝ කල්හාරයා මේ පින්බර ඕෆ් පීරියඩ් එකේ මං උඹෙන් සිරා ප්‍රශ්නයක් අහනවා.. පුළුවන් නම් උත්තර දීපිය..

හරි අහපං බලන්න.. අඩෝ ගෙරි පැතුමා.. උඹ හිතන්නෙ උඹ පොරක් කියලද..? ලෝකෙ පොඩිම සුරංගනා කතා කියලා එනවා මෙතන වීරයා වෙන්න..

කල්හාරයා.. මං හරක් මස් කන්නෑ.. ඒක හින්දයි උම හැමදාම බේරෙන්නෙ.. මං වගේ ප්‍රොපෙශනල් වර්ක් කරන සිරා කොල්ලෙක් මේ පන්තියෙ ඉන්න එක ගැන ආඩම්බර වෙයව්.. මං මේ අහන ප්‍රශ්නෙට උත්තර අටක්ම තියෙනවා.. ඕක එකෙක් උත්තර දීපියව්..

අඩෝ පැතුමා.. ගුටි කන්නැතුව ප්‍රශ්නෙ අහපං..

ඉවසපං මාධවයා.. උමටත් මේකෙ උත්තරයක් දෙන්න පුළුවන්.. හා හොඳයි කියපල්ලා සමහර පිරිමි කසාඳ බඳින්නැතුව බල්ලො හදන්නෙ ඇයි කියලා..

පන්තියම මොහොතකට නිශ්ශබ්ද උනා වගේ. පැතුම්ගෙ ප්‍රශ්නෙ ගැන මාත් හිතන්න ගත්තා. ඇත්තටම ඒක අමුතු ප්‍රශ්නයක්. ටිකක් හිතුවොත් මටත් උත්තරයක් දෙන්න පුළුවන් වගේ. විනාඩි භාගයක් විතර ගෙවිලා යද්දි ඉස්සෙල්ලම කට ඇරියෙ කල්හාර.

පිරිමියා පරක්කු වෙලා ගෙදර එන තරමට, ඒක දකින්න ආසාවෙන් ඉන්නෙ බල්ලා වීම..

ඔව්.. ඕව්.. ඒකත් සමීප උත්තරයක්.. තව තව..?

උඹේ බල්ලට වෙන නමකින් කතා කරාට ඒක නෝට් වෙන්නැති වීම..

ජනිතයා.. ඒ උත්තරෙත් හොඳයි.. ඒත් සමීප මදි..

ඒයි පැතුමා.. මටත් උත්තයක් තියෙනවා.. අහගනිං..

හිටපු ගමන් අපේ දොළහ සී පන්තියෙ දොරගඩින් බලයගෙ කටහඬ ඇහුණා. යකෝ මූට දැන් කෙම්ස්ට්‍රිනේ.

උඹලගෙ පන්තියෙ හේමන්ත සර් ඉන්නව නේද..?

උඹට ඒ අල ගෙඩියෙන් වැඩක් නෑ.. මගේ උත්තරේ බාර ගනිං..

බලයත් ඇවිල්ලා පැතුමට මැච් වෙන ඔරිජිනල් චරිතයක්. අරහෙ හේමන්ත සර් අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඌ අපේ පැතුමගෙ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත්.

මිනිහා පට්ට රෑක ඇහැරවලා, මං මැරුණොත් වෙන බල්ලෙක් හදාගන්නවද වගේ ගොන් ප්‍රශ්න අහන්නැති හින්දා..

බලයගෙ උත්තරේට පන්තියෙ කොල්ලො සෙට් එකටම හිනා ගියා. බලයත් ෂේප් එකේ දොළහ බී එකට රිංග ගත්තා.

ඒ උත්තරේ නම් සිරාවට මැචින්.. හා බෙකම්.. උමට මොනවද කියන්න තියෙන්නෙ.. හැමදාම ෆුට්බෝල් ගගහ ඉඳලා හරියන්නෑ.. මේ වගේ සම්භාව්‍ය සම්මන්ත්‍රණවලටත් සහබාගී වෙන්නෝන.. තේරුණාද..?

බල්ලා ගෙදරින් යනකොට ගෙදර සියලු ජාති ඔතාගෙන යන්නැති හින්දා..

මගේ උත්තරේටත් හැම එකාම හුකු හුකු ගගා හිනාවෙන්න ගත්තා. ඒ අතරෙ මාධවයි, මහේලයයි උත්තර දෙකක් දුන්නා.

බල්ලගෙ දෙමාපියන් කිසිදාක බල්ලා සොයා එන්නැති නිසා..

මිනිසා කණ පැලෙන්න බීලා ඉන්නෙක බල්ලාට මේ ලෝක අවුලක් නොවෙන හින්දා..

ෂෙහ්.. බලන් ගියාම උමල මාර පොරවල් ටිකක් නේ.. අම්මපා මං හිතුවට වැඩිය උඹල සිරාවටම හොඳයි.. ඇත්තමයි.. මං, මං ගැන වගේම උඹල ගැනත් ආඩම්බර වෙනවා..

පැතුම්ගෙ ප්‍රශ්නෙට අදාලව පන්තියෙ කොල්ලො තවත් උත්තර දුන්නත් ඌ හැම එකක්ම සාමකාමීව ඉවර කරා. ඇත්තටම ඉතිං මුංගෙ ඔලු ගෙඩිවලටත් එන දේවල් වල හැටි. මට ඉතිං නොතේරෙන්නෙ ඔය වගේ සිරාවට කල්පනා කරල මේ අධ්‍යාපනයෙ උසස් ප්‍රතිඵල මුංට ගන්න බැරි ඇයිද කියලා.. හැමදාම මුං ටික පන්තියෙ විස්සෙන් පල්ලෙහානේ.


No comments:

Post a Comment