Sunday, November 4, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |



 
“ළිඳ මගේම නම්.. මම ළිඳේම නම්..
හා.. හා.. හ්.. හ්ම්.. හා.. හා..
ළිඳ මගේම නම්.. මම ළිඳේම නම්.. ම්.. ම්..
කාටවත් ඇයි වේදනා..”

දොළහ සී පන්තියේ ලා හොටු කොල්ලාස් බෑන්ඩ් එකේ නිත්‍ය ගායක, පැතුම්ගේ ටකරන් බෙලෙක්කෙ සද්දෙ පන්තියට ගොඩවෙනකොටම මට ඇහුණා. ජීවිතේට තියා ගිය ආත්මෙකවත් අහපු සිංදුවක් නම් නෙමෙයි. පැතුමම ලියලා, ඌම ට්‍රැක් එක හදලා ඌම කියන ඇවටියෙල් ශෝක ප්‍රකාශයක්. කොටින්ම මෙලෝ ගඳ සුවඳක් නැති කඩප්පුලි ආත්මීය අඬහැරයක්.


“ආ.. බෙකම්.. යහපත් දවසක් උදාවේවා.. මං මේ උඹ වෙනුවෙන් නැවතුනේ..”

මාව දැකපු ගමන් පැතුම්ගෙ සිංදුව නතර වුණා. හිනාව විමධ්‍යගත වුණා. ඒත් ඌ අර මොකක්ද අන්තිමට කියපු හරුපෙ. මං හින්දා පැතුමා ඇයි නවතින්නෙ..?

“කෝ බං.. පංතියෙ එවුන්..?”

වෙනදට මං ඉස්කෝලෙට එනකොට, කට කපලා පිරිලා ඉවරයි.. අද එකෙක්වත් නෑ.

“උං ගියා..”

“ගියා..?”

“ඔව්.. උං සියල්ලෝම ගියා..”

“කොහෙද..?”

“තාරකා විද්‍යා ප්‍රදර්ශනේට..”

“මොන..?”

මට පැතුමගෙ කතාව අවුල්. මේ.. ලා හොටු කොල්ලා මොන ප්‍රදර්ශනයක් ගැනද මේ කියවන්නෙ..?

“හැයි.. උඹ දන්නැද්ද බෙකම්..? අපේ හේමන්ත සර්ගෙ තාරකා විද්‍යා සංගමේ..”

“ඉතිං..?”

“අපේ පංතියෙ බාගයක් විතර ඒ සංගමයෙනේ බං ඉන්නෙ.. උඹට මතකද බෙකම්.. අර සෙනසුරු ග්‍රහලෝකෙ ගාව ප්ලූටො හිටියෙ.. හඳ ගාවින් හඳේ තනියට නැප්චූන් හිටියෙ..”

ලාවට හිනාවක් දාන ගමන් පැතුමා කිව්වා. උගේ කතාවත් එක්කම ඒ අතීත සිද්ධිය ආයෙමත් මට මතක් වුණා. ඒක දහය වසරෙදි වෙච්ච හිනා කාලා මැරෙන කතන්දරයක්.

අපේ ඉස්කෝලෙ තිබ්බ තාරකා විද්‍යා සංගමයෙ ප්‍රදර්ශනේ බලන්න, ටවුමෙ හැම ඉස්කෝලෙකින්ම වගේ ළමයි ආවා. සෙන්ට්‍රල් එකේ කොල්ලන්ට මේ සනීපෙ ඉවසා දරාගන්න බැරිවුණා. ඇයි සීවරන් දෙයියනේ.. ටවුමෙ ඉස්කෝල වල සුපිරිම ගෑනු ළමයි සෙට් පිටින් අපේ ඉස්කෝලෙට ගොඩ බැහැලනේ.. එදා තමයි කොල්ලන්ගෙ හිත්  ඇතුළෙ මිස් වර්ල්ඩ් තරඟයි, මිස් යුනිවර්ස් තරඟයි, ගමේ අවුරුදු කුමරි තරඟයි තිබ්බෙ. පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් එකෙන්ම පිස්සු හැදෙනවා.

ප්‍රොජෙක්ටර්ට ස්ලයිඩ් දම දමා, වයිට් බෝඩ් එකක් වගේ තිබ්බ තිරේකට ප්‍රක්ශේපනය කරලා අපේ ක්ෂීරපතය සෞරග්‍රහ මංඩලය පෙන්නුවෙ පැතුම්. වීරයා වගේ උගුර ලේ රහ වෙනකල් ඒ හැමදේම විස්තර කළේ චමිල්. වැඩේ කියන්නෙ, ඇම්ඩද කොහෙද ස්ලයිඩ් මාරු කරල හරි, එක්කො වෙන මොකක් හරි ඇවටියෙල් වැඩක් කරලා, ඌ පේන්නවත් නෑ.. වැඩේ දීපු ගමන් මාරුවෙලා.

ඉස්සෙල්ලම හිටියෙ බාලිකාවෙ අක්කලා සෙට් එකක්. ප්‍රිෆෙක්ට්ල කට්ටියක්ද කොහෙද.. චමිල් වීරයා වගේ උගුර පාදගෙන ගේමට බැස්සා. පැතුම් ස්ලයිඩ් එක එක දාලා ප්‍රොජෙක්ටරේ ඔන් කරා. පළවෙනි එක සෞරග්‍රහ මණ්ඩලයෙ විශාල රූපයක්. වැඩේ කියන්නෙ ඇම්ඩා ස්ලයිඩ් මාරු කරලා. සෙනසුරු ගාව ප්ලූටෝ, බ්‍රහස්පතී ගාව නැප්චූන්.. බ්‍රහස්පතීගෙ චන්ද්‍රයා වෙච්චි ටයිටන්, සූර්යා ගාව. චමිල් උඩ බිම බැලුවෙ මේක විස්තර කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිව වගේ. හොඳම වැඩේ කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලයෙ පිංතූරෙ පෘතුවිය නෑ.

ටවුමෙ ඉස්කෝල වලින් ඇවිත් හිටපු ඈයො අහන්න ගත්තා “කෝ මල්ලි පෘථීවිය කඩේටවත් ගිහින්ද” කියලා. බාලිකාවෙ කෙල්ලො ටික මුං දෙන්නට හූ කිව්වෙ නැති එක විතරයි. වෙලා තියෙන වැඩේ අවුල් හින්දා චමිල්, පැතුම්ට කෑගැහුවා.

“යකෝ.. මොකක්ද මේ දාලා තියෙන්නෙ.. මේක අපේ සෞරග්‍රහ මණ්ඩලේ නෙමෙයි.. වෙනින් එකක්.. අපේ එක දාපිය” කියලා..

හතර වටින්ම හිනාව ගලද්දි පැතුම් දඩබඩ ගාලා ස්ලයිඩ් මාරු කලා. ඒ පාර ආපු අති විශාල ඡායාරූපෙ දැකලා කොල්ලො හිනාවුණේ බඩවැල් අල්ල‍ගෙන.

“හුහ්.. හුහ්.. හූ.. පිස්සු හැදෙන සඳ..”

මහා සද්දෙට  හිනාවෙන ගමන් බාලිකාවෙ අක්කා කෙනෙකුට කියවුණා. ඇත්තටම වයිට් බෝඩ් එක උඩජට ඇවිත් තිබ්බෙ එසේ මෙසේ ඡායාරූපයක් නෙමෙයි. ඒක නීල් අම්ස්ට්‍රෝන් හඳට ගොඩ බැහැල ඇවිදින ඡායාරූපයක්. මෑන් ළඟම, මිනිහා ආපු චන්ද්‍ර යානේ සිරා දර්ශනයක්. හැබැයි අවුලකට තිබ්බෙ ඒ හැමදේටම මෙහායින් අලිපත බෝඩ් එකක් හදේ බිම ගහලා “මාතර බත් කඩේ” කියලා. ඒ බත් කඩේ ඇතුළෙ සෙනඟ කට කපලා එකයි. උං ඔක්කොම ලංකාවෙ ඈයො.

“යකෝ.. මුන් හඳෙත් කඩ දාලා..”

ඒක බලපු හැමෝම හිනාවෙවී කිව්වෙ එහෙමයි. ඒක කොම්පියුටරෙන් එඩිට් කරලා හඳපු ජිල්මාට් ෆොටෝ එකක්. හැබැයි ඉතිං, ප්‍රදර්ශනෙන් පස්සෙ, චමිල්ට නමකුත් වැටිලා තිබ්බා “මාතර බත් කඩේ” කියලා. හැබැයි ඔය බලයා කියන නම, ඌට වැටුණට පස්සෙ මාතර බත් කඩේ නම ඉතිහාස පොතෙන් මැකිලා ගියා.

“ඔව් මට මතකයි...”

“ඒක මිසක්.. උඹට ඒ අතීත පුරා වස්තුව අමතක නම් මං මේ මතක් කරලා දෙන්නයි ගියේ..”

“පැතුමා.. මගෙන් මැරුම් කන්නැතුව මේ පන්තියෙ එවුන් ටික කොහෙද කියලා මට කියනවද..?”

මගේ කටේ සද්දෙට, නැත්නම් වෙන මොකක් හරි අවමගුලකටද මංදා ඒ වෙලාවෙම ඇම්ඩා අපේ පන්තියට එබුණා.

“හුටා.. බෙකම්..! උඹ කොන්වන්ට් එකට ගියේ නැද්ද..?”

“කොන්වන්ට් එකට..?”

ඇම්ඩට පිස්සුද මංදා. මං කෙල්ලෙක්ද දෙයියනේ කොන්වන්ට් එකට යන්න.. අනික මං වගේ අංග සම්පූර්ණ කොලු පරාණයකින්නේ මූ මේ වගේ නොහොඹිනා ප්‍රශ්න අහන්නෙ.

“ඔව්.. අදනේ එහේ තාරකා විද්‍යා ප්‍රදර්ශනේ..”

ඔන්න දැන් තමයි මගේ ඔලුවට ඇම්ඩා කියපු දේ තේරුණේ. පැතුමා මෙච්චර වෙලා තටම තටමා කියන්න දැඟලුවෙ මේක තමයි. ඊයෙ ඉන්ටවල් එකෙන් පස්සෙ, මං පංතියෙ හිටියෙ නෑ. සෝමතිලක සර්රුයි, විනය සර්රුයි එක්ක මං හිටියෙ යූ.සී ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එක ඇතුලෙ. සෝමතිලක සර්රුයි මායි නම් හිටියෙ ඊළඟ ෆුට්බෝල් මැචස් ටික සෙට්ල් කරගන්න. විනයා නම් හිටියෙ ඉස්කෝලෙන් හොරෙන් පනින කොල්ලො දෙන්නෙක්වත් අඩුම ගානෙ අල්ලගන්න.. මං පන්තියෙ හිටපු නැති ඒ පීරියඩ් හතරෙ තමයි කෙල්ලො කොල්ලො තීරණේ කරන්න ඇත්තෙ අද එක්සිබිෂන් එක බලන්න යන්න. මුං හැබැයි එකෙක්වත් මාව දැනුවත් කරල පණිවිඩයක්වත් තියල ගිහින් තිබුණෙ නෑ. ඕවට තමයි කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.

“එතකොට අපේ දොළහෙ හැමෝම වගේ ගිහිල්ලද..?”

“නෑ.. මැත්ස් ක්ලාස්වල එවුන් විතරයි.. සංගමයෙ ඉන්න හැලපයො නම් පැනලනේ ගියේ..”

මං පොත් ටික එක්කහු කරගත්තා. ඒක දැකපු පැතුමගෙ ඇස් දෙක උඩ ගියා.

“උඹ ඔය යන්නද හදන්නෙ..?”

“ඔව්..”

“එක්සිබිෂන් එක බලන්න..?”

“නෑ.. ගෙදර..”

ඇම්ඩයි, පැතුමයි මූනින් මූන බලාගෙන ඉන්නවා මං දැක්කා. මගේ කතාවත් ඇත්තනේ. අද උදේ පීරියඩ් හතරම ෆ්‍රී වෙනවා කියනෙක ආයෙ අහන්න දෙයක් නෑ.. මේ ලෝකෙ ඉගැන්විල්ලක් නැතිවෙයි. වැරදිලාවත් ඒ පීරියඩ් හතරට මිස් ඇක්චුවලි හෙම ආවොත් දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නැතිවෙනවා.

“පිස්සුද බෙකම්.. මේ වගේ මැක්සා දවසක ගෙදර ගිහින් බෑ.. කරුණාකරලා පොත් ටික ඩෙස්ක් එකට දාපං.. අපි දෙයියනේ කියලා කොන්වන්ට් එකට යමු..”

“ඒ මොකටද..?”

“එක්සිබිෂන් එක බලන්න..”

ඇම්ඩගෙ අදහසත් නරකම නෑ. ඒකෙ කල්පනා කරන්න දේකුත් තිබුණෙ නැති හන්දා, මං එක හෙලාම ගමන අනුමත කළා.

“එහෙනම් යමල්ලා..”

මං ඉස්සර වුණා. ඇම්ඩයි, පැතුමයි අග සව්වො දෙන්නා වගේ මගේ දෙපැත්තෙන් ළංවුණා.

“බෙකම්.?”

“ඇයි..?”

“තාප්පෙන් පැනලා යමුද..?”

ඇම්ඩා දවසේ හොඳම ප්‍රශ්නෙ මගෙන් ඇහුවා. ප්‍රධාන ගේට්ටුවෙන් අද අවුලක් නැතිවම එළියට යන්න පර්මිෂන් තියෙද්දි, මේකා අහනවා තාප්පෙන් පැනලා යමුද කියලා.. ඕකට තමයි කියන්නෙ ජන්මය හා පුරුද්ද අතර ඇති අන්තර් සය සාමාජික සම්බන්ධය කියලා. හරියට නිකං පුරුදු තැනින් ගියේ නැත්නම් වේල් දෙකක් නොකා හිටියා වගේ.

“බෙකම්..”

ප්‍රධාන ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ඇදෙද්දි පැතුම් මට ළංවුණා. ඒත් මං බැලුවෙ ඇම්ඩා දිහා. මොකද කියනව නම් මේ වගේ කඩප්පුලියො දෙන්නෙක් දෙපැත්තෙ රන්දගෙන පාරට බහිනව කියන්නෙ පොලීසියක ඉ්සසරහට ගිහින් කුණුහරුප කිව්වා වගේ තමයි. කන විදිය හිතාගන්න බෑ.

“පට්ට බඩගිනියි.. මොනව හරි කමුද..?”

ඒක පැතුමා අහන්න ඕන නෑ.. මටත් ඒ වෙනකොට බඩගින්දර යහමින් දැනිලයි තිබුණෙ. අද උදේට අම්මා උයල තිබ්බෙ බත්. ඒත් වෙනදා වගේ උදේ කෑම නැගලා ගියේ නෑ. අනික ඉතින් වෙනදට උදේ පාන්දරම පන්තියෙ කෙල්ලොන්ගෙ ලන්ච් බොක්ස් එකක් හරි පට්ට ගහනවනේ.. අද ඒකත් නෑ..

වැඩි කතාබහක් නැතුවම මායි, ඇම්ඩයි, පැතුමයි “රහුමනියා හොටෙල්” එක ඇතුළට ගියා. සූස් සූස් ගගා පිඹින උණුවතුර බොයිලේරුවට මේස  තුන හතරකට මෙහායින් අපි වාඩිවුණා.

“හිස් බඩට හා හා හරි හාවා කියල තෝසෙ පාරක් දාමු නේ..?”

ඇම්ඩා මගෙන් ඇහුවා. මං ඔලුව වැනුවෙ කරන්න දෙයක් නැතිකමට. පැතුම් බලන් හිටියෙ බාල්දියක් පුරෝලා අරන් එන වට්ටක්කයි රටේ නැති හත්මාලුවයි එකට පැසවලා පැක් කරලා අරන් එන සාම්බාරු හොද්ද දිහා.

“බෙකම් මොකෝ අවුල..?”

කෑම පිඟානක් විතර ලොකු තෝසයක් සම්පූර්ණයෙන්ම කටේ ඔබාගෙන ඇම්ඩා ආයෙත් කටහඬ අවදි කරා. කල්පනා කරන්න දේවල්ද නැත්තෙ..? අපි මේ යන්න පිඹුරුපත් සකස් කෙරුවෙ, කොන්වන්ට් එකට. කොන්වන්ට් එක කියන්නෙ සමින්දිගෙ රාජධානිය. යටගිය දවසක අපිට රුපියල් දෙදාහක් පූජා කරලා චයිනීස් ෆුඩ් සෙන්ටර් එක ගාවින් වෙන්වෙලා ගියපු සමින්දිව මං ඊට පස්සෙ ඇහැටවත් දැක්කෙ නෑ. අඩුම ගානෙ මං ඉන්කිවත් දැක්කෙ නෑ.

“මුකුත් නෑ නාලක.. ඉස්සරහට සෑහෙන්න වැඩ තියෙන පාටයි..”

“ඒ කිව්වෙ..?”

“මේ වාරෙටත් මැචස් දහයක්, දොළහක් විතර තියෙයි..”

එදා රාහුලෙත් එක්ක මැච් එකෙන් පස්සෙ, සෝමතිලක සර් ට්‍රීට්මන්ට් කරාට මගේ කකුල සැරින් සැරේට රිදෙන්න පටන් අරන් තිබුණා. අම්මගෙ බර බරේට ගොඩකවෙල වෙද මහත්තයගෙන් තෙල් සාත්තුවක් දීලා පත්තුවක් බැන්ද උනත්, ඈන්කල් එක යථා තත්වෙට ඇවිත් තිබුණෙ නෑ. ග්‍රවුන්ඩ් එකේ හයියෙන් දුවද්දි, දුවල ගිහින් එක පාරටම නතර වෙද්දි, කකුළෙ උඩ මසල්ස් වලත් වේදනාවක් මට දැනුණා.

“අද තෝසෙ පාර නම් ඒ තරම් ගතියක් නෑ බෙකම්..”

ඒ විත්තිය නම් මටත් හොඳට දැනුණා. වෙනදට හොද්ද ගැන බොක්ක උමතුවෙලා දිව අගට කවි සිතුවිලි එනවා. ඒත් අද කාපු ටිකත් උඩට එන්න දඟලනවා.

“කෑවා බිව්වා නම් අපි යමු බෙකම්..”

“ඇයි..?”

“අපි එනකල් ඇස් කී දාහක් නම් බලන් ඉන්නවද දෙයි සත්තලනේ.. ලොකු ඇස්, දිග ඇස්, හීනි ඇස්, රවුම් ඇස්.. අනේ මන්දා.. මගේ ඇස් දෙකත් අයි සර්ජන් කෙනෙකුට පෙන්නන්න වෙයි..”

පැතුමට එළ මොරොන්දන්ද කොහෙද..? ඒ එක්කම ඇම්ඩා නැගිට්ටා. පෙනුමෙ හැටියට නම් ඌට වෙන අවශ්‍යතාවක් පැන නැගිල වගෙයි.

“උඹ කොහෙද යන්නෙ..?”

“මං ඩිංගක් අරහෙට ගිහින් එන්නම්..”

ඇම්ඩා රහුමනියා එකේ කුස්සිය පැත්තෙන් පල්ලෙහාට තියෙන කොරිඩෝව දිහාටයි යන්න හැදුවෙ. ටවුමෙ ඉස්කෝලෙ කොල්ලො හොරාට බට් අදින්නෙ එතන කියලා, ලොකු හෙඩිමක් නොගියට අපි දැනගෙන හිටියා.

“නාලක.. ඔය වැඩේ එපා.. උඹ දන්නවනේ කැහි කූරු අදිනවට මං ඩිංගක්වත් කැමති නෑ කියලා..”

“උඹේ ඕන අවයවේකට වඳින්නම් බෙකම්.. මේකට නම් බාල්දිය දාන්නෙපා.. අද වගේ මැක්සා දවසක කැහි කූරක් ඇද්දෙ නැත්නම් කිසිදු ගතියක් නෑ.. උඹට තේරුණාද..?”

“මට මුකුත් තේරෙන්නෑ.. හැබැයි නාලක උඹ ඔය තුප්පහි වැඩේ කරොත්, මං ගෙදර යනවා.. උඹලා ඕන ප්‍රදර්ශනයක් බලාගනිව්.. මට ඕන්නැති මල ඉලව් ප්‍රදර්ශනයක් නෑ..”

මං මගේ විරුද්ධත්වය පට්ටම විදියට ප්‍රකාශ කළා. ඒක ඉතාම නිහතමානී ප්‍රකාශයක් විදියටයි මං දැක්කෙ. මොනව උනත් අපි සෙන්ට්‍රල් එකේ දොළහ වසරෙ හිටියට, අපි තාම ළමයි කියන දේ මගේ හිතේ තිබ්බා. ඒත් ඉතිං ඇම්ඩා කියන්නෙ කොලු තාත්තෙක්නෙ.. ඌව මට්ටු කරන්න නම් ලොකු අම්මෙක්ව අවශ්‍ය වෙනවා.

“ඇයි බෙකම්.. උඹ නාලකගෙ සෛවරීභාවයට හානි කරන්නෙ..? උගේ ආතල් එක ඌට ගන්න දීපන්.. ඌට කියලත් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවනේ..”

ඒපාර ඇම්ඩා වෙනුවට පැතුම් කරලියට බැස්සා. හනේ යකෝ.. මට මේ ඇටකිච්චව උස්සල හතර ගාතෙ හතර අතට විසිවෙන්න බිමට අතාරින්නැහැකි.. මං ඌ දිහා හොඳටම ඔරවල බැලුවා. ඌ පටාස් ගාලා කෑම මේසේ ඩිංගක් ඉහිරිලා තිබ්බ වට්ටක්කා හොදි බිංදුවක් දිහා බැලුවා.

“ප්‍රජාතන්ත්‍රවාදෙ..? ඔන්න ඕක උඹේ කකුල් දෙක දිගේ නම් බේරෙයි.. හොඳට අමුඩෙ තද කරගනිං.. කැහි කූරු ඇදලා කොන්වන්ට් එකට යනකොට යස අගේට හිටියි.. ඔය වගේ දෙනෝදාහක් ගැවසෙන තැනක සදහටම නෝන්ඩි වෙන්නයි වෙන්නෙ.. මතකනේ ඇම්ඩො උඹට අපේ තලපතාගෙ සංසිද්ධිය..”

මගේ කතාවට ඇම්ඩා වචනයක්වත් කියන්නෙ නැතුව ටොයිලට් පැත්තට ගියා.. කැහිකූරු අදිනව නම් යන්න ඕන කොරිඩෝව පැත්තට.

“පුදුමයි බෙකම්.. ඌ මේ අවස්ථාවේ කැහි කූරක් ඇද්දෙ නැති එක.. මොනව නැතත් ඇම්ඩා උඹ කියන දේ අහනවා..”

කතා කරන හැම වෙලාවෙම පැතුම් අවුල් කතන්දර කිව්වත්, මේ කතාව නම් ඒ තරම් අප්සට් නෑ කියලා මට හිතුණා. ටොයිලට් පැත්තට ගියපු ඇම්ඩා, ඒ සැනින්ම ආපහු ආවා. උගේ මූණ ටිකක් විතර අවුල් වෙලා. මං හෝ ගාලා කියවපු ඒවටද දන්නෑ..

“බෙකම්..”

මායි, පැතුමයි ළඟට ආපු නාලක ඉස්සරහ මේසෙට අත් දෙක තද කරල අපේ පැත්තට බර වුණා.

“ප්‍රදීප් ඉන්නවා..”

“ඉතිං..?”

ප්‍රදීප් කියල කිව්වෙ, චතුරංගයල එක්ක බාස්කට් බෝල් ගහන අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්. අපිත් එක්ක වැඩිය පෑල් එකක් නෑ. ඒත් අවුලක් නැති එකෙකුත් නෙමෙයි.

“ඌ ටිකක් චොර වෙලා වගේ ඉන්නෙ..”

“ඇයි..?”

“ඩම් එකක් ඇදල වගේ..”

“ඒ කිව්වෙ..?”

ඇම්ඩා කියන සමහර වචන මට තේරෙන්නෑ.. මුඩුක්කු ප්‍රදේශයක උප සංස්කෘතික භාෂාව කියවනවද කොහෙද.. හනේ මංදා.. ඩම් කියයි, බට් කියයි, චොර කියයි.. මොනව වුණත් ඇම්ඩා කතා කෙරුවෙ වටපිට බල බලා..

“ඩම් එකට ඌ මොනව හරි කලවම් කරගෙන..”

ඇම්ඩා එච්චරයි කිව්වෙ.. මගේ හිතට ගලාගෙන ආවෙ මාර තරහක්. මේ යක්කු හරක්ද මංදා.. තව අවුරුදු ගානකින් කරන්න හරි නොකරන්න හරි තියෙන අවමගුල් මේ ඇටෙන් පොත්තෙන් එළියට එනකොට කරන්න යනවා. මුංගෙ මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙම තමයි. මුලින් මුලින් කැහි කූරු. ඊගාවට බට්.. ඊගාවට ඩම්.. ඔහොම ගිහිල්ලා අන්තිමට කුඩු වලටත් පුරුදු වෙලා මුලු ජීවිතේම කාලකන්නි කරගනියි..

“වරෙන්..”

ඇම්ඩට කතා කරන ගමන් මං රහුමනියා හොටෙල් එකේ පිටිපස්සට ආවා. එතන ටොයිලට් වලට යන කොරිඩෝව පැත්තට මූණ දාලා තිබ්බෙ, හෝටලේ වැඩ කරන මිනිස්සු නැවතිලා හිටපු කාමර කීපය. ප්‍රදීප් හිටියෙ ඒ හැම එකටම එහායින්. අපි ඌ ළඟට යනකොට, බිත්තිය වැටෙයි කියල වගේ බයකින් ප්‍රදීප් බිත්තිය තද කරල අල්ලගෙන හිටියෙ. සමහර විට මේකා බිත්තිය දිගේ උඩට නගින්න හදනවද දන්නෙත් නෑ. මොනව උනත් මේකා මේ ඉන්න විදියට පිනා සර් හරි, විනයා සර් හරි මෙතෙන්ට ආව නම් මුගේ උසස් අධ්‍යාපනයයි, බාස්කට් බෝල් ගැහිල්ලයි මෙතනින්ම ඉවරයි.

“ප්‍රදීප්..”

මං උගේ උරහිසට උඩින් අතක් තිබ්බා.

“චතුරංග..”

ඇස් දෙකත් බාගෙට පියාගෙන ප්‍රදීප් මං දිහාට හැරුණා. උගේ හිතේ මං චතුරංගයා කියලා.

“මෙතන ඇති චතුරංගයෙක් නෑ..”

“එකට ඩම් එක ඇඳලා උඹ මාරු වුණානේ..”

මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාව.. පද රචනෙ නොතේරුණ හන්ද මං ඇම්ඩයි, පැතුමයි දිහා බැලුවා.

“මූයි, චතුරලයි සෙට් එකම තමයි එකට අදින්න ඇත්තෙ.. මූට බඩු වැඩි උනාම උං මාරුවෙලා..”

“උඹට ආපහු යන්න පුළුවන්ද..?”

ප්‍රදීප් ඉන්නෙ, එළොවටත් මෙළොවටත් නැතුව හන්දා මං ඇහුවා.

“පුළුවන්.. උ.. උඹලා පලයල්ලා..”

“නාලක උඹ ගිහින් වතුර එකක් අරන් වරෙන්..”

ප්‍රදීප් අපිට යන්න කිව්වත්, මගේ හිත ඒ දේට ඉඩ දුන්නෙ නෑ.. ඒකයි මං ඇම්ඩට වතුර එකක් ගේන්න කිව්වෙ..

“මොකටද බෙකම් වතුර..?”

“මූට පොවන්න..”

“පිස්සුද..?”

“ඇයි..?”

“වතුර බීපු ගමන් මූ කබරයා දාවි..”

“උඹ කොහොමද දන්නෙ..?”

අහපු ප්‍රශ්නෙට ඇම්ඩා උත්තරයක් දුන්නෙ නෑ.. ඒ කියන්නෙ ඌත් මේවා අත්හදා බලලා තියෙනවා කියනෙකද..? මගේ හිතට ආවෙ බයකට සමාන නොසන්සුන් හැඟීමක්.. ඇම්ඩත් හදන්නෙ මේ ලස්සන ජීවිතේ මේ තරුණ වයසෙදිම මල්වර කරගන්නද..?

“බෙකම්.. මොකද කරන්නෙ..? අපි යමුද..?”

පැතුම් මං ඉස්සරහට ආවා. පට්ට තරහකාරයෙක් උනත් මේ වගේ ඉන්දෙද්දි දාලා යන්න පුළුවන්ද..? මොන දේ කෙරුවත් අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්නේ..

“මූව මෙහෙම දාලා යන්න බෑ පැතුමා..”

“එහෙනම් මූත් එක්ක එකට ඩම් එක ඇදපු චතුරංගයල මූව දාලා ගිහින් තියෙන්නෙ.. මොකෝ අපෙන් අහලද මූ ඩම් එක ඇද්දෙ..?”

“ඒ චතුරංගයලනේ.. දැන් මේ ඉන්නෙ බෙකම්.. මුලු සෙන්ට්‍රල් එකම දන්නවා, උගෙයි මගෙයි කොලිටීස් වෙනස් කියලා.. මූට යන්න බැරි නම් මං මූව එක්කගෙන හරි යනවා..”

“එක්කගෙන යන්න බැරි නම්..?”

“උස්සගෙන හරි යනවා..”

පැතුම්ගෙ කට වැහුණා. අපි තවත් පැය භාගයක් විතර ප්‍රදීප්ට ළංවෙලා, වටපිටේ එවුන්ට සැක හිතෙන්නැතිවෙන්න බයිල ගගහ හිටියා. ප්‍රදීපයා ක්‍රමක්‍රමයෙන් තමයි පියවි තත්වෙට ආවෙ.

“බෙකම්.. ඕන නම් මූව අර කාමරේක හාන්සි කරවන්න පුළුවන්..”

ඇම්ඩා පෙන්නුවෙ, හෝටලේ වැඩට ඉන්න මිනිස්සු නිදාගන්න කාමරයක්.

“ඒක හරියන්නෑ නාලක.. ඒවගේ කාමරේක ඉස්කෝලෙ කොල්ලෙක් දාලා යන්නෙ කොහොමද..? මේවයෙ වැඩ කරන එවුනුත් සතර මහා ජරාවම පානය කරන එවුන්නේ.. ඒ වෙලාවට උංට කොල්ලත් පේන්නෙ කෙල්ලෙක් ගානට..”

තවත් විනාඩි හතලිහක් විතර රහුමනියා හෝටලේ පිටිපස්සෙ චාටර් කාලා ඉවරවෙලා, ප්‍රදීපුත් අරන් අපි පාරට ආවා. ඌ එතකොට නම් සාමාන්‍ය මට්ටමකට ඇවිත් තිබුණා.

“බෙකම්..”

ප්‍රදීප් මගේ අතින් අල්ල ගත්තා.. උගේ මුළු මූණම මැලවිලා ගිහින් තිබුණා.

“මං යාලුවො කියලා හිතන් ඉඳපු ඈයො, එකට කාපු බීපු ඈයො මාව දාලා ගියා. ඒත් දැක්කහම, යාන්තමට හිනාවෙලා යන, මගේ යාලුවෙක් නොවිච්චි උඹ අද මගෙත්තෙක්ක හිටියා. උ.. උඹ අදහන්න වටිනවා බෙකම්.. උඹ අදහන්න වටිනවා.. උඹේ පපුව ඔරිජිනල් කැරට් විසිහතරක්..”

ප්‍රදීප්ගෙ ඇස් වලට කඳුළු උනල තිබ්බා.

“ඒක පැත්තකට දාපං.. මොනවද උඹ බිව්වෙ..?”

“බිව්වෙ නම් කැහි කූරක්..”

බිව්වෙ නම් කියල ඌ ඒක කියපු වාග් විලාසෙ මට ඇල්ලුවෙ නෑ.. ඇම්ඩත් පැත්තකට වෙලා හොඳ ඕනකමකින් අහන් ඉන්නවා මං දැක්කා.

“බිව්වෙ නම් කියලා කිව්වෙ..? උඹ මොනව හරි කෑවද..?”

“ඔව්..”

“මොනවද..? තෝසෙද..?”

මං හිතුවෙ තෝසෙ උඩට, මොනව හරි දාලා මූ කන්න ඇති කියලා. ඔය කිතුල් පැණි හරි අයිස් ක්‍රීම් හරි වගේ දෙයක්.. ඒ වගේ අමුතු ආතල්නේ කොල්ලො ගන්නෙ.

“නෑ..”

“එහෙනම්..?”

“ජෙල්..”

මං උඩ ගිහින් බිම වැටුණා. පැතුම්ගෙ ඇස් දෙක ජිල්බෝල සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. නිවාඩු පාඩුවෙ හිටියෙ ඇම්ඩා විතරයි.

“ජෙල්..?”

“ඔ.. ඔව්.. ජෙල්..”

“ජෙල් කිව්වෙ.. මේ.. මේ.. ඔලුවෙ ගාන ඒවද..?”

“හ්ම්..”

“ජෙල් කන්නෙ කවුද හරකො..”

මට මං ඉන්නෙ කොහෙද කියලා අමතක උනා.. මහපාර අයිනෙදිම මං ප්‍රදීප්ගෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා මගේ දිහාට අරන්, ආයෙත් ඇම්ඩා දිහාට තල්ලු කරලා දැම්මා. ඌ හුලං පොදක් වගේ පාවෙලා යද්දි ඇම්ඩා පැනලා ඌව අල්ලගත්තා. මාත් හිතේ කෙන්තියට තල්ලු කරාට තව පොඩ්ඩෙන් ඌ බිම.

“මී හරකො.. උඹට හැදෙන අසනීපෙ හොයාගන්න වෙන්නෑ. එක දොස්තරයෙකුටවත්.. මට මෙතනම උඹේ කන් අඩි දෙක රත්වෙන්න දෙන්න පුළුවන්.. ඒත් උඹ දැන් ඉන්න තත්වෙ හින්දා මං අතාරිනවා..”

“වැ.. වැරැද්ද මගේ බෙකම්.. වැරැද්ද මගේ.. උඹ ඕන දෙයක් කරපං.. ඕන දෙයක් කියපං..”

“උඹ වගේ එකෙකුට මට කියන්න දෙයක් නෑ ප්‍රදීප්.. මං උඹට ත්‍රීවිල් එකක් අල්ලලා දෙන්නම්.. උඹ ඒකේ බෝඩිමට පලයං..”

“මට සමාවෙයන් බෙකම්..”

“මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ.. ඒක උඹේ අර අහිංසක අම්මගෙනුයි, තාත්තගෙනුයි ඉල්ලපං.. අර හද්දා පිටිසර වන්නි පත්තුව, අතේ පයේ තියෙන හැම හයි හත්තියක්ම දාලා හේන් කොටලා කොටලා උඹට කීයක් හරි එවන්නෙ, මේ වගේ ජනප්‍රිය ඉස්කෝලෙට දාලා තියෙන්නෙ උඹට මේ වගේ කැහි කූරු ඇදලා ජෙල් ගාලා ආතල් ගන්න නෙමෙයි.. උඹ මතක් කර ගනිං.. පහුගිය ගුරු දෙගුරු රැස්වීම දවසෙ, උඹේ තා්තතා පරණ නැෂණල් සූට් එක ඇඳලා අසරණයෙක් වගේ සෙන්ට්‍රල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ආපු වෙලාවෙ උඹ තාත්තට බැන්නා. මොකට ආවද කියලා.. උඹේ තාත්තට පණිවිඩේ දීලා තිබුණෙත් බෝඩිමෙන්.. ඒ අතින් උඹ අන්තිමයි ප්‍රදීප්..”

ඉන්ටවල් නැතුව මං කියවන් යද්දි ප්‍රදීපුයි, ඇම්ඩයි, පැතුමයි එලෝ මෙලෝ නැතුව අහන් හිටියා. මං ඒ හැමදේම කිව්වෙ ඇම්ඩටත් එක්ක තමයි. වැඩේ කියන්නෙ ඌට ඒක තේරුණා.

“කොලු කාලෙට කරන්න ඕන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා.. ඔය ජරා වැඩ අතෑරපං ප්‍රදීප්.. උඹ මේ ජනප්‍රිය ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නෙ ඉගෙනගන්න.. බාස්කට් බෝල් ටීම් එකේ ඉඳගෙන මේවයෙන් මිදෙන්න බැරි නම්, ඒකෙන් අස්වෙලා ඉගෙනගන්න එකට යොමුවෙයන්.. හැමදේටම වඩා තමන්ගෙ ජීවිතේ වටිනවා.. බලපං.. අර කක්කුස්සිය ගාව උඹ සිහිනැතුව හෙම වැටිලා හිටියා නම්..? නිකං නෙමේ ඉස්කෝලෙ බැජ් එක ගහපු යුනිෆෝම් එක පිටින්.. උඹේ තත්වෙ මොකක්ද..? සෙන්ට්‍රල් එකේ තත්වෙ මොකක්ද..? අර ඈත වන්නියෙ හේන් කොටන, උඹව ජාතක කරපු අහිංසකයො දෙන්නගෙ තත්වෙ මොකක්ද..?”

“ම.. මට සමාවෙයන් බෙකම්..”

“මගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, ත.ාමගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, තාත්තටයි සැනසීමක් උදාකරපං.. ආ.. නාලක ඔය වීල් එක නවත්තපං..”

ඒ එක්කම ආව වීල් එකට ඇම්ඩා අත දැම්මා. පැතුම් සාක්කුවෙන් රුපියල් සීයක් ඇදල අරගෙන ත්‍රීවිල් එක එලවන් ආපු මනුස්සයට දුන්නා.

“බෝඩිමට ගිහින් ටිකක් රෙස්ට් කරපං.. ආයෙ මේ වගේ අමන වැඩ කරන්නෙපා..”

මං කිව්වෙ එච්චරයි.. ප්‍රදීප්වත් අරන් ත්‍රීවිල් එක ඉගිල්ලුණා.. අපි තුන්දෙනාම පාර දිගේම ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.

“මොකෝ උඹලගෙ කතා පෙට්ටි වැහිලා..?”

වෙනදට ඕන දේටයි, එපා දේටයි කච පච ගගා කියවන පැතුමයි, ඇම්ඩයි මාර සයිලන්ස්.

“උඹ ප්‍රදීපයට දීපු ඇඩ්වයිස් පාරට, මට ඉන්න තැනත් අමතක වුණා බං.. ඇත්තමයි.. උඹ උගේ විතරක් නෙමෙයි මගෙත් පපුව හෙල්ලුවා..”

ඇම්ඩා ඒ ටික නම් කිව්වෙ අවංකවමයි කියල කියන්න මට තේරුණා.

“චතුරංගයලා නිසා ඕකා නාස්ති වෙනවා බෙකම්.. උං කරන හැම බලු වැඩක්ම යන්නෙ මේකා පිටින්.. මූ කොයි තරම් ටැලන්ට් උනත්, මූට ටීම් එකේ ප්ලේස් එකක් නෑ.. බලපං.. ගිය වාරෙට ඌ එක මැච් එකක්වත් ප්ලේ කරේ නෑ..”

“අපි මොනව හරි කරන්න බලමු පැතුම්.. බැහැයි ඉතිං උගේ අනාගතේ නම් තියෙන්නෙ ඌ අතේ.. මොනව උනත් චතුරංගයට මේ සෙන්ට්‍රල් එකේ කොල්ලො විනාස කරන්න දෙන්න බෑ..”

ස්ටෑන්ඩ් එකෙන්, රේල් පාර පැත්තට ඇවිත්, ස්ටේෂන් එකත් පහු කරලා අපි තුන්දෙනා කොන්වන්ට් එක පැත්තට යන පාරට වැටුණා. ටවුන් එකේ හැම ඉස්කෝලෙකම එවුන් පාර පුරාම විසිරිලා. උං හැමෝම අපිට කලින් ඇවිත් වගේ. අද ඉතිං කොල්ලන්ට කෙල්ලන්ට නත්තල් වගේ තමයි.

“අඩෝ.. මේ අපේ කල්හාරයා නේද..?”

වෙන ඉස්කෝලෙක කොල්ලො සෙට් එහෙකට මුවා වෙලා ෂේප් එකේ ස්ටෑන්ඩ් එක පැත්තට යන කල්හාරව මං දැක්කෙත් ඇම්ඩා පෙන්නුවට පස්සෙ.

“ඔව්මයි.. මූ එක්සිබිෂන් එක බලල ඉවර වෙලත් ගෙදර යනවද කොහෙද..?”

“බෙකම් බලපං.. කල්හාරයගෙ මූණ ඒ තරම් හරි නෑ.. කොන්වන්ට් එකේදි කෙල්ලෙක්වත් දමාගෙන ඉඹලද දන්නෑ.. උංට කොල්ලො පේන්න බෑනෙ..”

පැතුම් අමුතු කතාවක් කිව්වා.

“ඒයි.. කල්හාර..”

මං ටිකක් හයියෙන් කෑගැහුවා. ඌ අපි දිහා බැලුවෙ හොඳටම ගැස්සිලා. ඒත් ඌ අපි ළඟට එන පාටක් තිබුණෙ නෑ.

“මෙහෙ වරෙන් අපතයා.. මෙහේට වරෙන්.. කොහොමද කෙල්ලොන්ගෙ සඳ, හිරු, තාරකා හොඳයිද..?”

ඇම්ඩා හිටපු තැන ඉඳන්ම අහද්දි මං කල්හාර ළඟට ගියා. පැතුම් කලින් කිව්ව දේ ඇත්ත තමයි. කල්හාරගෙ මූණ නිකං පිම්බිලා වගේ. හැබැයි ඒ අවමංගල මූණෙ සැබෑ තත්වය හරියටම තේරුම් ගත්තෙ ඇම්ඩා.

“ඈ බං.. මොකෝ මේ කම්මුල ඉදිමිලා..?”

“ඒකනේ.. කම්මුලයි බෙල්ලයි දෙකම එක වගේ..”

“උඹල මේ ප්‍රදර්ශනේ බලන්න යන ගමන්ද බෙකම්..?”

ඇම්ඩයි, පැතුමයි අහපු ප්‍රශ්න දෙක මග හලලා කල්හාර මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද උගේ දිරා මාරු ස්ටයිල් එක. මූ එකෙන්ම වැඩේ ගොඩදාගන්නයි හදන්නෙ.

“හා.. හා.. හා.. අපි යන දිහාවක් උඹට වැඩක් නෑ.. අහපු ප්‍රශ්නෙට උත්තර දීපිය. අපිට කියල කැලෑ පත්තරයක් ගස්ස ගන්නෙ නැතුව..”

ඇම්ඩගෙ ආක්‍රමණශීලී කතාවට කල්හාර උඩ බිම බලලා මං දිහා බැලුවා.

“මොකද උනේ කල්හාර..?”

“ඔව්.. ඔව්.. මොකද වුණේ ඔය තරම් මූණ ඉදිමෙන්න.. බාලිකාවෙ කෙල්ලෙක්වත් උඹගෙ මූණට මූණ මුලිච්චි වුණාද..? ආ..?”

“නෑ බං.. මං මේ එළෝළු රොටියක් කාලා..”

කල්හාර දීපු උත්තරේ මහම මහ මඤ්ඤං එකක්. ඇම්ඩත් අන්දමන්ද වෙලා ඉන්නවා මං දැක්කා. ඒත් ඉතිං එලෝළු රොටියක් කෑවට කොහෙද දෙයියනේ මේ වගේ කම්මුල් ගායවල් හැදෙන්නෙ..?

“මොකක්..?”

ඇම්ඩටයි, මටයි පැතුමටයි ඒ තනි වචනෙ එක පාරටම කියවුණා..

“ඔව් බෙකම්.. මේ එලෝළු රොටියක් කාලා..”

“ඒ කොහොමද බං..?”

“මං එලෝලු රොටිය කෑවෙ හොරෙන්නේ..”

කල්හාර, කම්මුලත් අල්ලගෙන අබුද්දස්සකාලෙ කතාවක් කිව්වා. අපි තුන්දෙනාටම එකපාර හිනා යද්දි ඌ අපි දිහා බැලුවෙ සදාකාලික ඔරොප්පුවකින්.

“එලෝළු රොටියක් හොරන් කන්න තරමෙ අධි මානසික තත්වෙකට උඹ පත්වුනේ කොහොමද කල්හාරයා.. මට උඹේ පශ්චාත් භාගෙ පරික්ෂා කරන්න ඕන..”

“උඹගෙ මොළ දන්ඩ ඇත්තෙ එතන කියලා මට උපකල්පනයකට එතෑකි..”

“මං උඹට කිව්වයි කියලා හිතාගනිං..”

මූණ හතරැස් කරගෙන කල්හාරයා ගියා. මූණින් මූණ බලාගත්තු අපි තුන්දෙනාට ආයෙත් ලොකු හිනාවක් ගියා.


No comments:

Post a Comment