Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


හර්ෂිලාගෙ ගේ ගාව වැලි පාර දිගේ යන ගමන් පස්වෙනි පාරටද කොහෙද මං තවත් පාරක් වෙලාව බැලුවා. තවමත් අටට දහයයි. මේ දවස්වල කන පරිප්පුව ල හැටියට හර්ෂීලගෙ ගෙදර යන්න ගිහින් බාප්පගෙ අතටම අහුවුණොත් කරන්න දෙයක් නෑ. මගේ වෙලාව අන්තිම නරකයි. කොස් ගහේ හැප්පිලා දෙල් ගහේ හැපිල, පොල් ගහෙත් හැපිලයි නතර වෙන්නෙ.


පපුව ගැහෙන ස්පීඩ් එක ඩිංගෙන් ඩිංග වැඩි වෙද්දි මං හර්ෂිලගෙ ගේ ඉස්සරහටම ඇවිත් තිබුණා. එයාලගෙ ගෙදර දොර අඩවල් කරලා තියෙනවා මං දැක්කා. බාප්පයි, මම්මයි තාම ඉස්කෝලෙ ගිහිල්ලා නැද්ද කියන ප්‍රශ්නෙ මගේ ඔලුවට තත්පර ගානකින් ආවා. හර්ෂීව පුදුම කරන්න හිතාගෙන පංඩිතයා වගේ ආවට දැන් සිරා කට්ටක් කන්නයි වෙන්නෙ.. මං ඒ වෙනකොට හර්ෂිලාගෙ මිදුලටම ඇවිත් හිටියෙ. ඕන අලි පපඩමක් දෙකයි පනහයි කියලා යාංතන් අඩවල් කරලා තිබ්බ දොරෙන් මං එබිලා බැලුවා. කිසිම සද්දයක් නෑ.. දොරෙනුත් එබුන එකේ ඉතිං තව මොනවද කියලා මං ගීන් සීරුවෙ සාලෙටත් ආවා. සාලෙ කොණේම තිබුණ පුංචි මේසෙ උඩ තිබ්බ දේ දැකලා මං සීතල වෙලා ගියා. හර්ෂීගෙ මම්මා දාන රතු පාට හෙල්මට් එක. ඒ කියන්නෙ එයා අද ඉස්කෝලෙ ගිහින් නෑ.. ඒ ටික තේරුම් ගන්න මට ගියේ තත්පරයයි. මෙතනින් පුළුවන් තරම් ඉක්මනට පිටවෙයන් කියලා මගේ හිත මට කෑගැහුවා.. ඒත් ඒ වෙනකොට මං හුඟක් ප්‍රමාද වැඩියි කියලා මට තේරුණා.. ඒ හර්ෂීගෙ මම්මගෙ කටහඩ ගෙයි ඉස්සරහ පැත්තෙන් ඇහුණ හින්දා. තව ඩිංගෙන් එයා ඉස්සරහ දොරෙන් ගෙට ඇතුල් වෙනවා. මං තාම සාලෙ. තවත් දෙපාරක්  හිතන්න මං වෙලාවක් ගත්තෙ නෑ.. සං සං ගාලා හර්ෂීගෙ කාමරේ ඇතුළට පැන ගන්න මට පුළුවක්ම ලැබුණා. පපුව ගැහෙන්නෙ දෙමෝලෙන් පිටි කොටනවටත් වැඩිය සද්දෙන්.. හර්ෂීගෙ කාමරේ කවුරුවත් හිටියෙ නෑ.. අද හර්ෂි ගෙදර නැතුවවත්ද..? එහෙම හිත හිත හර්ෂීගෙ ඇඳුම් රැක් එක පිටිපස්සට මුවා වෙන ගමන් මං සාලෙ දිහාට ඇහුම්කන් දුන්නා. ඒ වෙනකොට මම්මගෙ කටහඩ සාලෙන් ඇහුණා. ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව මං ගල් ගිලල වගේ හිටියෙ.

දැන් මගේ පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන තරම්. තව ඩිංගෙන් මං හර්ෂිගෙ මම්මගෙ අතටම මාට්ටු. හොඳ වෙලාවට දෙයියො කොහෙන්දෝ යන ගමන් මං දිහාත් බලලා. එහෙම නැති වුණා නම් මං මේ ඇදගෙන නාන නෑම ඉතිහාසගත වෙනවා.

“අනේ ඩිංගක් ලේට් වුණා කමනි.. මං හිතුවෙ නෑ ඔයා මේ තරම් ඉක්මනට එයි කියලා.. ම්.. ඔන්න යාන්තම් හරි ආ.. කෝ මේ හෂි..”

හර්ෂීගෙ මම්මගෙ කටහඬයි.. තව මට හුරු නැති කටහඬවල් කීපෙකුයි සාලෙ පැත්තෙන් ඇහුණා. තත්පර ගාණකින් මං ඉඳපු කාමරේ කර්ටන් එක පැත්තකට ගියා. මගේ පපුව නැවතුණා වගේ. ටවල්රැක් එක අද්දට මං තවත් ගුලි වුණා. ඒත් ඇඳුම් අස්සෙන්, කාමරේට ඇවිල්ලා ඉඳපු කෙනා දැක්කම මගේ බය අඩුවෙලා ගියා. එතන හිටියෙ හර්ෂි.. කාමරේට ඇවිදින් එයා නිදහසේ සිවිලිම දිහා බලන් හිටියා. හර්ෂිට කතා කරන්න මං කට අරිනවත්තෙක්කම ආයෙත් මම්මගෙ කටහඬ ඇහුණා.

“හෂි.. ඔයාගෙ කණ ඇහෙන්නෙ නැද්ද ළමයො.. මේ දොර වහගන්න..”

වාඩිවෙලා ඉඳපු තැනින් හෙමීට නැගිටලා.. මූනත් අප්සට් කරන් හර්ෂි කාමරයෙන් පිටවුණා. ඊළඟට මට ඇහුණෙ ඉස්සරහ දොර වහන සද්දෙ.. ඒ කියන්නෙ මම්මලා ගියා කියන එකනේ.. පපුවට ආයෙත් හුස්ම වැටෙද්දි, රැක් එක ගාවින් නැගිටලා මං කාමරේ දොර ගාවට ආවා.. හර්ෂි ආයෙමත් කාමරේට එන සද්දෙ මට ඇහුණා.

“බු...හ්....”

“ඊ..හ්..යි..යා..”

බයවෙච්චි පාරට හර්ෂි කර්ට්න් එකත් කඩාගෙනම බිමට වැටුණා. එයා වැටිච්ච තාලෙට මට බකස් ගාලා හිනා ගියා. ඒ හිනාව නතර වුනේ හර්ෂිගෙ ඇස්වලට උනලා තියෙන කඳුළු දැක්කහම.

“ඔ..යි..යා..? අනේ මං බයවුණ තරමක්.. කොහොමද දෙයියනේ ඔයා ආවෙ..? මම්මා ගියා විතරයි.. ඊටත් වැඩිය මං තව ටිකෙන් බයවෙලා මැරෙනවා දේව් අයියා..”

ඇස් දෙකේ පුරව ගත්තු කඳුළු පොදිය එහෙම්ම තියාගෙන හර්ෂි කියවන් ගියා.. මගේ හිතට ආවෙ කියාගන්න බැරි පසුතැවීමක්.. මේ අහිංසක කෙල්ල ඇයි බය කරේ, කියන චෝදනාව මගේ හිත මටම දැම්මා.

“සොරි වෙන්නෝන හෂි.. ම.. මං හිතලා කරපු දෙයක් නෙමේ..”

මං කියපු එකට ඒ සුදු මූනෙ කඳුළු අතරින් ලස්සන හිනාවක් ඇඳුණා.

“ම්.. මාව බය කරලා තව සොරිත් කියනවා නේ.. හරිම නරකයි දේව් අයියා.. ඒත මට පුදුමෙ ඔයා මගේ කාමරේට ආවෙ කොහොමස කියලයි..”

ඇස් දෙකත් ලොකු කරන් හර්ෂි මගෙන් අහනවා.. තාමත් ඒ මූණෙ තියෙන බය දැක්කහම මගේ හිතට ආවෙ ලොකු දුකක්.

“හුඟ දවසකින් ඔයාව හම්බවුණේ නැති හන්දයි මං ආවෙ හෂි.. අපි දෙන්නට ඉතිං වෙන හම්බෙවන්න තැනකුත් නෑනෙ.. ඔයාට මැසේජ් එකක්වත් දෙන්න පුළුවන්කම තිබ්බෙ නෑ.. ඉතිං මම්මා අද ඉස්කෝලෙ ගියේ නැද්ද..?”

අර මුලින් හර්ෂිගෙ මූණෙ තිබ්බ දුක ඩිංගෙන් ඩිංග අඩුවෙනවා මං දැක්කා.

“නෑ අයියෙ..! එයාට අද වෙඩින් එකක්.. ඉතිං..”

“ඉතිං තමා.. මං අනූ නවයෙන් බේරුනේ.. මම්ම එළියෙ කතා කරද්දි මං ගේ ඇතුලෙ.. ඊට පස්සෙයි අර ටවල් රැක් එකට මුවා වුණේ..”

“මං දැක්කෙ නැත්තෙ ඒ හින්ද තමයි.. ඔයා නම් හරිම හොරෙක් දේව් අයියෙ.. ඇයි මට ඒ වෙලාවෙ කතා කරේ නැත්තෙ..?”

“මං... ඔයාට කතා කරනකොට තමයි මම්මා ඔයාට කතා කෙරුවෙ.. අර මං වැඩ දන්න හන්දා බේරුණා.. වෙන පොරකට නම් අද පොලීසිත් යන්න වෙනවා.. මං ඇවිල්ලා හසී.. ලකී පොරක් හරිද..?”

පංඩිතයා වගේ මං කිව්ව දෙයින් හර්ෂිගෙ මූණ වෙනස් වුණා.

“මං හන්දා ඔයාගෙ වාසනාවන්තකමත්, අවාසනාවන්තකම වෙයිද දන්නෑ දේව් අයියෙ..”

හර්ෂිගෙ මූණෙ තිබ්බෙ අඩන්න ඔන්න මෙන්න ගතියක්. මං හර්ෂි ළඟට ගිහින් එයාව තුරුළු කරගත්තා.

“පව් කතා කියන්නෙපා හෂි.. එහෙම වෙන්නෑ.. ඔයා හින්දා ලෝකෙ හුඟාක් වාසනාවන්ත වේවි..! ඉතිං ඒක නෙමේ.. කෝ බාප්පා.. ඉස්කෝලෙ ගියාද..?”

මං කතාව වෙනින් පැත්තකට හැරෙව්වා.. මොකද ඒ සුදු මූණෙ දුකින් පිරිලා තියෙනකො, මගේ ලෝකෙ කඩන් වැටෙනවා කියලා මං දැන්න හිටපු හින්දා..

“ඔව් අයියෙ..! මම්මා විතරයි වෙඩින් එකට ගියේ.. බාප්පා මගෑරියා..”

“හ්ම්.. ඒකත් එහෙමද..?”

“ඇයි දේව් අයියෙ.. ඔයා එහෙම ඇහුවෙ..?”

“මුකුත් නෑ හෂි.. නිකන් ඇහුවෙ..”

“නැතිවෙන්න බෑ අයියෙ.. ඔයාගෙ පුංචි වෙනසක් වුණත් මට තේරෙනවා.. ඔයා අද මෙහේ ආවෙත් හදිසියෙන් වගේ.. අනිත්තෙක අයියෙ, ඔයා අද වැරදිලාවත් මම්මට එහෙම අහුවුණා නම් මං මේ ගෙදර ඉඳලත් ඉවරයි..”

“ආ.. එතකොට මං ආපු එක වැරදියි..?”

ඒ සුදු මූණ, මගේ මූණ ළඟටම ළංකර ගන්න ගමන් මං ඇහුවා.

“ඔය බලන්න.. ඔයාට මොනව හරි දෙයක් කිව්වම ඒකත් අනිත් පැත්තට හරව ගන්නවා. මං එහෙම දෙයක්ද රත්තරං ඔයාට කිව්වෙ.. ඔයා ගාව නිතරම ඉන්න තියෙනවා නම් ඒක කොයි තරම් වාසනාවක්ද..?”

හීනි කෙඳිරිල්ලක් විදියට ඒ කටහඬ ගලාගෙන ගියා. ආදරේ උතුරලා යන ඒ සුදු මුහුණ හීන් සීරුවෙ පිරිමදින් ගමන් මං හර්ෂිව තුරුළු කරගත්තා. හුඟක් වෙලා යනකන් හර්ෂි මගේ පපුවට තුරුළු වෙලා හිටියා.

“ඉතිං හෂි.. දැන් ගෙදර තත්වෙ කොහොමද..? බාප්පා මොනවද කියන්නෙ..?”

මෙච්චර වෙලා මගේ මූණ දිහා බලන් ඉඳපු හර්ෂි බිම බලා ගත්තා. එයා ආයෙත් ඔලුව උස්සලා මං දිහා බලනකන් මං ටිකක් වෙලා බලන් හිටියා. ඒත් ඒක එහෙම වුණේ නෑ.. ඒක හන්දා මං හර්ෂීගෙ නිකටෙන් අල්ලලා මගේ දිහාට මූණ හරව ගත්තා.

“ඇ.. ඇයි හෂි..! බාප්පා ඔයාට බැන්නද..?”

“ඔ.. ඔව් අයියෙ.. බාප්පා හැමදේම වගේ දැනගෙන.. මම්මත් ටිකක් විතර දන්නවා.. ඒත් මම්ම නම් මුකුත් කිව්වෙ නෑ.. බාප්පා තමයි කියෙව්වෙ.. උඹේ හිතේ තියෙන ඒවා කවදාවත් මං ඉන්නකන් කරන්න දෙන්නෙ නෑ කියලා.. උඹ ඉන්න ඕන මං කියන විදියට කියලා..”

“ඒක යකාගෙ කතාවක්නේ හෂි.. ඌට තියෙන අයිතිය මොකක්ද එහෙම කියන්න.. අඩුගානෙ ඔයාට කන්න අඳින්නවත් දෙනවා නම් කමක් නෑ..”

මට මල පැන්නා, එකසිය ගාණට..

“මාව ගාවලද මිනිහා ඔයාට බැන්නෙ..?”

“නෑ දේව් අයියා.. ඒකනේ මටත් පුදුමෙ.. බාප්පා ඔයාලහ ගිහින් ඇන්ටිව හම්බවෙලත් හුඟ දවසක් නේ.. ඒත් මට බැන්නෙ ඊයෙ රෑ..”

“ෂිහ්.. මේක මාර අවුලක් වුණානේ.. කොයි පැත්තකින්වත් අපිට චාන්ස් එකක් නැහැනේ හෂි..”

ඒ වචන ටික මං එච්චරම හිතලා නෙමේ කිව්වෙ.. ඒත් හර්ෂිගෙ මූණ බලන් ඉද්දිම වෙනස් වෙලා ගියා.

“ඒ.. ඒ.. කියන්නෙ ඔයාලහත් රණ්ඩුද අයියා..?”

හර්ෂී මගේ මූන දිහා බලාගෙන ඇහුවා.. ඒත් කියන්න ඕන දේවල් කොහෙන් පටන් ගන්නද කියලා මගේ හිතට තේරුණේ නෑ..

“අ.. අනේ කියන්න දේව් අයියා.., ඔ.... ඔයාට ගෙදරින් බැන්නද..?”

අර අඬන ඇස් දෙක මගේ මූණ ළඟටම ලංකරල ආයෙත් හර්ෂි මගෙන් ඇහුවා. දෙයියනේ.. ඒ මූණෙ තිබ්බ අහිංසකකම දැකලා මගේ හිත පිච්චිලා ගියා. මං.. මං කොහොමද මේවා ඔයත්තෙක්ක කියන්නෙ හර්ෂි..

ඒත් කලින්ටත් වැඩිය ඒ සුදු මූණ දුකෙන් බරවෙද්දි, ලොකු ඇස් දෙකට තව තවත් කඳුලු එක්කහු වෙද්දි ගෙදර වෙච්ච දේවල් හර්ෂිට නොකිය ඉන්න මට බැරි වුණා.. ජීවිතේ හෙම්බත් කරන්න ආපු කටුක ඇත්ත, මං හර්ෂිත් එක්ක කිව්වා. එයාගෙ මූණට ආවෙ කියාගන්න බැරි තරමෙ දුකක්.

“ඔ.. ඔයාට මේ ඔක්කොම කරදර මං හින්දා නේද අයියෙ..? අනේ.. අනේ..! මේවට මං මොනවද රත්තරං කරන්න ඕන..?”

මගේ අත් දෙකම එයාගෙ උකුල උඩට අරන් පිරිමදින ගමන් හර්ෂි මගෙන් ඇහුවා.. එයාගෙ කටහඬ සම්පූර්ණයෙන්ම බිඳිලා ගිහින් තිබුණා.

“නෑ හෂි.. ඔයා එහෙම හිතන්නෙපා.. ප්‍රශ්න එන්නැත්තෙ කාටද නංගි.. අපිට ආපු ඒවත් කෝම හරි විසඳගන්න බලමු.. දැන් කලබල නොවී ඉන්නකො..”

“එ.. එතකොට දේව් අයියා ඉස්සෙල්ලා කිව්වෙ අපිට මොන පැත්තකින්වත් සහනයක් නෑ කියලා.. අනේ බොරු කියන්නෙපා අයියෙ.. මට තේරෙනවා.. මට තේරෙනවා.. ඔයාගෙ හිත හුඟක් කලකිරිලයි තියෙන්නෙ..”

“නෑ.. නෑ.. හෂි.. මට ඒක නිකම්ම කියවුණේ... ඒ ගැන වැඩිය හිතන්න එපා..”

“හ්ම්... හ්ග්..”

ලොකුම ලොකු හුස්මක් අරගෙන, හර්ෂි ඒක පැත්තකට දැම්මෙ ලෝකෙම එපාවෙලා වගේ.. ඒ මූණෙ තිබ්බෙ හොඳටම අසරණ වෙච්ච ගතියක්.

“හෂි..”

“ම්..”

“මට යන්නත් වෙලාව ඇවිල්ලා නංගි.. ආයෙ කවදද අපි හම්බවෙන්නෙ..?”

මහා දුකකින් ඒ මූණ අසරණ වෙලා තිබුණත් පුංචි හිනා ඇබිත්තක් එයා මූනට එක්කහු කරගත්තා. ඒ අහිංසක ඇස්වල උතුරන ආදරේ මුළු හිතින්ම විඳගන්න ගමන් මං හර්ෂිව තුරුළු කරගත්තා. හිත පතුලෙන්ම ආපු පූජනීය හැඟීමකින් මගේ හිත වෙව්ලලා යද්දි මං හර්ෂිගෙ නළල ඉඹ ගත්තා.. එතකොටම තමයි ඒ දුක පිරිච්ච ඇස්වලින් උතුරලා ආපු කඳුළක් මගේ අත උඩට වැටුණා.

“ඇ.. ඇයි හෂි ඔයා අඬන්නෙ..?”

මං අහපු දේට හරිහමන් උත්තරයක් දෙන්න හර්ෂිට පුළුවන් වුණේ නෑ.

“මු.. මුකුත් නෑ දේව් අයියෙ..”

“නැතිවෙන්න බෑ හෂි..! මට කියන්න බැරි දෙයක්ද..? නැත්නම් මට අහන් ඉන්න බැරි දෙයක්ද..? ඉතිං කියන්නකො.. මේ යන්න යන වෙලාවෙ ඔයාගෙ කඳුළු බලලා යන්න මට බෑ..”

“අපිට ආයෙ ලේසියෙන් හම්බවෙන්න වෙන්නෑ අයියෙ.. ම.. මට හිතෙනවා අපි දෙන්නා තනියෙම හම්බවෙන අන්තිම පාර මේක කියලා.. ම.. මට.. හරි බයක් දැනෙනවා අයියෙ..”

හර්ෂි කියාගෙන යද්දි මං මගේ අතින් එයාගෙ කට වැහුවා.

“පව් කතා කියනනෙපා නංගි.. මේක අපි දෙන්නා හම්බවෙන අන්තිම පාර වෙන්නෙ කොහොමද..? අද මේ ආව වගේම මං කොහොම හරි ඔයාව බලන්න එනවා.. ඒක කාටවත් නතර කරන්න බෑ හෂි..”

කට වැහිලා තිබ්බ මගේ අත අයින් කරලා හර්ෂි බිම බලාගත්තා. එයා කතා කරේ නෑ.. තාමත් ඒ ඇස්වල උනන කඳුළු මං දැක්කා.

“දෙයියන්ගෙ නාමෙට ඔය අඬන එක නවත්තන්න හෂි..  ඔයා දන්නවනේ මං අකමැතිම දේ ඔයාගෙ කඳුළු දකින එක කියලා.. ඔයා මේ බිත්ති හතරට කොටුවෙලා ඉන්නෙත් දුකෙන්.. දැන් මං ගාව ඉන්දෙද්දිත් අඬනවා.. අනේ හෂි.. දැන්වත් ටිකක් හිනාවෙලා ඉන්න.. මට හිතේ සංතෝසෙන් මෙතනින් යන්න පුළුවන් වෙන්නෙ එතකොට තමයි..”

“ඔ.. ඔයාට තේරෙන්නෑ දේව් අයියෙ මං කියන දේ.. ඊගාවට එන්නෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙ.. හදිසියකටවත් මට තනියෙම ගෙයින් එළියට බහින්න දෙන එකක් නෑ.. ම.. මං කොහොමද ඔයාව හම්බවෙන්නෙ..? ඔයා කොහොමද මාව බලන්න එන්නෙ..?”

හර්ෂි ඇහුවෙ උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්නයක්.. ඒත් ඉතිං හැම ප්‍රශ්නෙකටම ගැලපෙන්නෙ නැති හරි විසඳුමක් තියෙනවා කියලා මං දැනන් හිටියා.

“ඒක ඒ වෙලාවට බලමු හෂි.. ඇයි අපි දැන්මම කලබල වෙන්නෙ..? ඔයා කිව්ව වගේ ආයෙ ඉස්කෝලෙ පටන් ගන්නකන් ඔයාටයි, මටයි හම්බවෙන්න වේනනෑ.. මම්මයි, බාප්පයි ගෙදර ඉන්න හන්ද.. ඒත්.. ඒත් ඔයා නිතරම හිතන්න ඔයා මං ගාව කියලා.. මාත් එහෙමම හිතන්නම්.. අපිට වරදින එකක් නෑ හෂි..”

“මං ශානි අතේ ඔයාට ලියුම් එවන්නම් අයියෙ.. ඒත් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා හොඳේ..”

“කෝ ඉතිං.. ඔක්කොම හරි.. තාම හිනාවුණේ නෑනෙ..?”

“බෑ..”

බොරු නෝක්කාඩුවක් ඒ සුදු මූණෙ මැද්දෑවට අරන් හර්ෂි කිව්වා.

“ආ... ඒ කියන්නෙ බෑ..”

“බෑනෙ..”

හැම දුකක්ම අමතක කරලා වගේ කටත් ඇද කරන් හර්ෂි උත්තර දෙන තාලෙට මගේ මූණට හිනාවක් ආවෙ මටත් හොරාටම.

“එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. සොරි තමයි.. මං වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ල ගන්නවා හිනාවක්..”

“ඉතිං ෂෝයිනේ..”

“මට නෙමේ බබා.. හිනාවෙන්න බැරි ඔයාට හයි කරන්න..”

මං එහෙම කිව්වහම හර්ෂිගෙ මූණට ලස්සන හිනාවක් ආවා.

“ඔය තියෙන්නෙ එළකිරි වගේ.. එහෙනම් පරිස්සමින් ඉන්න හෂි.. ඔයාට බුදුසරණයි නංගි..”

ආදරේ පිරිච්ච ඇස් දෙකෙන් හර්ෂි මං දිහා බලාගෙන ඉන්දෙද්දි එතනින් මං පිටවුණා. ආපහු ගෙදර ඇවිල්ලත් මගේ හිතේ රැඳිලා තිබ්බෙ හර්ෂීගෙ අහිංසක රූපෙ විතරයි.. කවද හරි අන්තිමට මට ඉතුරු වෙන්නෙත් එච්චර තමයි කියලා මගේ හිතේ මට කිව්වා. ඒත් ඉතිං පිනා වගේ මෙහෙම ඉන්න ගියොත් නැව් ගානට ගෙදරින් කන්න වෙන එක නම් බුදු ෂුවර්.. පුළුවන් තරම් ඉක්මනට ජොබක් හොයාගත්තෙ නැත්තං මං චක බ්ලාස්..! ඕන මල ඉලව්වක් වෙන්න කියලා කොතලාවල ඇකඩමි එකට දාන්න ඕන කියන සිතුවිල්ල මගේ හිතට ආවෙ ඉබේටම වගේ. ආයෙත් ඒක වෙනස් කරන්න කලින් මං සාලෙ ස්ටූල් එක යට තිබ්බ පරණ පත්තර තොගේ අවුස්සන්න ගත්තා. අප්ලිකේෂන් එක තිබ්බෙ දිවයින පත්තරේකද කොහෙද..? ෂිකේ.. මට ඒකවත් මතක නෑනෙ.. දැන් ඉරාගෙන හැම පත්තරේම හොයපන්කො..

“අඩ්ඩේ.. ලොක්කා.. මොනවද බරටම හොයන්නෙ..?”

ප්‍රශාන්..! අඩුවෙලා තිබ්බෙ ඔච්චරයි.. මූටත් ඕන්නැති කෙං ගෙඩියක් නෑනෙ... කමක් නෑ.. ඔන්න ඔහේ තව ටිකක් කතා කරපුවාවේ.. කට රිදිලා නවතීවිනේ.

“උඹට පිස්සු හැදිලද..? හැදීගෙන එනවද..? මොනාද බං හොයන්නෙ..?”

“මගේ බුරිය නැතිවෙලා බං.. මං මේ ඊයෙ ඉඳන් හොයනවා..”

මං එහෙම කිව්වම උගේ කට කජු ලෙල්ල වගේ වුණා.. හොඳ වැඩේ ගල් ආඳට.. ඒත් ඉතිං කොහෙද, ඌව කපන්නෙ.. ඌ මටත් වැඩිය අපතයනේ..

“උඹට බුරියක් තිබ්බද බං..?”

ඌ ඒක ඇහුවෙ මාව දෙකේ කොලේටම දාලා.. ෂිහ්.. මාත් ඇඳගෙනනේ නාන්නෙ.. මෙච්චර ෂවර් දාලා තියෙද්දිත්..

“කලින් තිබ්බා.. දැන් තමයි නැත්තෙ.. දැන ගනිං අඩෝ..! වෙල් කක්කුට්ටො..! මං හොයන්නෙ කොතලාවල ඇකඩමි එකේ ඇප්ලිකේෂන් එක.. ඒක හොයාගෙන දියතලාවෙ ගිහින් ට්‍රේනිං වෙලා ඇවිත් මං ඉස්සෙල්ලාම කණේ පාර දෙන්නෙ උඹට..”

“හැබෑටම..? එහෙනම් උඹට තව අවුරුද්දක් බලන් ඉන්න වෙයි.. රේදයින් ඒක ඉවර වුණානේ බං.. හුහ්.. හුහ්.. හූ.. හ්...”

ඌ උඩ පැන පැන හිනාවෙනවා.. ෂීකේ.. මටමයි වෙන්නෙ.. අපි ගහකට නැග්ගොත් ඒකෙ දිමි ගොට්ටක්.. ඔක්කොමත්හරි.. ඕන දෙයක් ඉවසා දරාගන්න පුළුවන්.. ඒත් මුගේ මේ කැත හිනාව ඉවසනව කියනෙක නම් වහ කනව වගේ වැඩක් තමයි. අනිත්තෙක මූ හිනාවෙනවද.. අඬනවද කියලා හොයාගන්නත් අමාරුයි.. ඒ තරම් කැත විදියට මු හිනාවෙන්නෙ..

කෝම හරි ටිකකින් ඌ සයිලන්ස් වුණා.. ඒ සයිලන්ස් එකේම මං දිහා බලාගෙන ඌ කම්මුලක අතකුත් ගහගත්තා.. ඒ පාර මූට මොකද වෙලා තියෙන්නෙ..?

කම්මුලේ අත තියාගෙන ඌ සිරාවටම කල්පනා කරනවා.

“මොකෝ බං..?”

බලන් ඉඳලා බැරිම තැන මං ඇහුවා.

“මං මේ කල්පනා කරේ, උඹ ගැන මචං.. කොහොම කන්න හිටිය කොල්ලෙක්ද අප්පා අද මේ අනාථ වෙලා ඉන්නනෙ.. මට මාර දුකයි මචං.. වෙලාවකට මට ඇඬෙනවා බං..”

මූ කියන ඒවට, වෙන එකෙක්ගෙ නම් මං මෙලහකට බෙල්ල මිරිකලා. ඇට්ටි හැලෙන්න කෙලවලා ඉන්දෙද්දි ඉවසන් ඉන්න පුළුවන් කතාද මූ කියන්නෙ.. එහෙන් කොතලාවල ඇකඩමි එකේ වැඩත් කෙළවුණා.

“උඹේ අඳෝනාව නවත්ත ගනිං යකෝ.. මට මේ ලෝකෙ එපාවෙලා ඉන්නෙ..”

“හරි.. හරි.. උඹට මොනවද වෙලා තියෙන්නෙ..?”

“ඩිංගක් හෙමීට කතා කරපන් බූරුවො.. අම්මත් ගෙරද ඉන්නවා.. දැන් මගෙත්තෙක්ක අම්බානක ඔරොප්පු වෙලා ඉන්නෙ..”

“ඕවා ඇරිලා යයි බං..”

ඔව් ඉතිං මූට නම් කියන්න බැරියෑ.. ගෙදර ඉඳන් කන කට්ට ගැන මමනේ දන්නෙ.

“ඒක නෙමේ.. දැන් කෝමද ඩිලාන් බ්‍රදර් එහෙම..?”

මං කතාව මාරු කරා.. එදා වලියෙන් පස්සෙ ඌ ගැන ආරංචියක්වත් නැති හන්දයි මං එහෙම ඇහුවෙ. කොයි වෙලාවෙ හරි මට ඕන තැනකදි ඌව හම්බවේවි කියලා මගේ හිත මට කිව්වා. අන්න එතකොට තමයි ගේම. මොන දෙයියන්නාන්සෙ හිටියත් මං උගේ අංඩක් හරි කඩනවා.

“සති දෙක තුනකින් විතර මාත් දැක්කෙ නෑ බං.. මට හිතෙන්නෙ පොර කොහේ හරි ගිහිල්ලා...”

“මං හර්ෂීගෙනුත් ඇහුවා එහේ ආවද කියලා.. එහෙත් ආවෙ නෑල්ලු බං..”

“ඒක තමයි බං මාත් කිව්වෙ.. මොන ගේමක් දෙන්න හිතාගෙන අන්තරස්දාන වෙලාද මංදා.. ඕකුං සෙට් එක සද්ද නැතුව ඉන්නෙ නම් හොඳකට නෙමෙයි දේව්..”

“මොනා වුණත් මට අවුලක් නෑ ලොක්කා.. වලි නම් වලි.. උං එක්ක ෂේප් එකක් මං ළඟ නෑ..”

“ඔව්.. කාපං.. කලිනුත් කෑවනේ.. අම්බානකට කාපං.. හප්පොච්චියේ දෙයියො මං දිහා බලලා තියෙනවා.. මංනේ යකෝ හර්ෂිත් එක්ක සෙට් වෙන්න ගියේ.. එහෙම වුණා නම් ඔය ඔක්කොම මස්ත බාල්දු කඩන් වැටෙන්නෙ මගෙ ඔලුවටනේ.. මොනව නැතත් මගේ උපන් වෙලාව හොඳයි.. උඹට වැඩිය.. නැද්ද..?”

මූට මතක් වෙන්නෙම මේ වගේ මැංටල් අදහස් තමයි.. ෂිහ්..! මං මූත් එක්කනේ මේ වගේ වැදගත් දේවල් කතා කරන්නෙ..

“හර්ෂි වගේ සිරා කෑල්ලක් දාගෙන කොයි තරම් දුක් වින්දත් අවුලක් නෑ ඩෝ.. බලන් ගියාම උඹ මහ බය ගුල්ලෙක්නේ..”

“මං බය එක පැත්තකින් තියපංකො.. ඒ බං.. අපි ගුටි කනකොට ඔය සිරා කෑලි එකක්වත් අපි ළඟ නෑනෙ ඩෝ.. බේත් තෙල් ටිකක්වත් ගාගන්න.. ඒකටත් යන්න ඕන කැඩුම් බිඳුම් වෙදෙක් ගාවට.. අනිත්තෙක බං.. කෙල්ලෙක් හින්දා කොල්ලො තරහ කරගන්නෙක නම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ..”

“උඹ කතා කරන්නෙ මං වැරදිකාරය වගේනේ බං.. ඇයි හරකො උං ගැන්සියනේ මුලින් මගෙත් එක්ක වලියට ආවෙ. උංට ලැජ්ජ් නැද්ද බං ලව් එෆෙයාර් එකකට අතදාලා නෝන්ඩි වෙන්න..”

“නෝනිඩි වෙලා වැඩි වෙලාම උං දැන් නෝන්ඩිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ දේව්..”

එමෙම කියලා ප්‍රශාන් නැගිට්ටා.

“උඹ ඔය යන්නද නැගිට්ටෙ..?”

“ඇයි එපාද..?”

“ඉඳපං ප්ලේන්ටියක්වත් ගහලා යන්න..”

“කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අවුලක් නෑ.. මොකද මට කුණුවෙන්න බඩගිනියි..”

“මගේ බත් එක ඇති.. ප්ලේන්ටිය කාලා බත් බොමු මචං..”

“ඒකත් හරි.. ඒත් මෙච්චර දවල් වෙනකන් උඹ අද කොහෙද වල බැස්සෙ..”

“මහා ධාරානිපාත වලක බැස්සා බං..”

ටිකකින් මගේ බත් එකෙනුත් තුන් කාලකට විතර වැඩේ දීලා ඌ යන්න ගියා. ඌ ගියාම මගේ හිතට දැනුණෙ ලොකු පාලුවක්.

තාත්තා උදේම ඩියුටි රිපෝට් කරන්න කොළඹ ගිහින් තිබුණා. පුරුදු විදියටම අම්මා මගෙත් එක්ක කතා බහ කරේ නෑ. ඒ කොහොම වුණත් තාත්තගෙන් වැදිච්ච කම්මුල් පාර නම් මගේ හිතේ ගැඹුරටම තැන්පත්වෙලා තිබුණා. අයියයි, අක්කයි මුළු රෑම මං ගාව ඉඳගෙන මගේ හිත හඳන්න හැදුවත්, මට මගේ හිත හදාගන්න බැරිවුණා. මේ හැම දුක් කරදරයක්ම අවසානයෙදි, හර්ෂි විතරක් මගේ ළඟ ඉතිරි වේවි කියන හැඟීම විතරක් මගේ හිතේ ඉතුරුවෙලා තිබුණා. ඒත්.. මං ඒ ගැන අයියටයි, අක්කටයි කියන්න ගියේ නෑ.. ජීවිතේ හැම දෙයක් ගැනම සංතෝසෙන්, හිනාවෙන් හිතාගෙන ඉඳපු මට අද වෙලා තියෙන්නෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරිවෙලා තිබුණා. හර්ෂීගෙ පැත්තෙනුත්, මගේ පැත්තෙනුත්, ඩිලාන්ගෙ පැත්තෙනුත් මේ තරම් බාධක කම්කටොලු එන්නෙ කොහොමද කියලාවත් මට හිතාගන්න බැරිවෙලා තිබුණා. ඒත් මේ හැමදේම හර්ෂිව මගේ ළඟට ගත්තයින් පස්සෙ ඉවර වෙලා යාවි කියනෙක මං විශ්වාස කරා.. ඒ දේ මං විශ්වාස කරා වගේම, ඒක මගේ අන්තිම බලාපොරොත්තුවත් වුණා. කවදාවත් බුදුන් නොවැන්ද මං මුළු හිතින්ම ප්‍රාර්ථනා කෙරුවෙත් ඒ දේ විතරයි. ඒත්.. ඒත්.. බුදුන් තියා තිස්තුන් කෝටියක් ඉන්න දෙවි දේවතාවුන්ගෙන් කිසිම කෙනෙක් මගේ අහිංසක බලාපොරොත්තුව දිහා බලලා තිබුණෙ නෑ..


පහුවෙනිදා උදේ පාන්දරම මං නැගිටිනකොට මෙන්න ප්‍රශාන් මගේ ඇඳ ගාව. මූ හීනයක්වත් දැකල බයවෙලාද මංදා.

“මොකෝ බං.. මට නිදහසේ නිදාගන්නවත් දෙන්නෙ නැද්ද..?”

“නිදාගන්න නෙමේ බං.. මට පුංචි උදව්වක් කරපං..”

ඇස් දෙකත් අතින් පොඩි කර කර මං ඌ දිහා බැලුවා. බෙල්ල ගහලා යන උදව්නේ මූ ඉල්ලන්නෙ.. මේකත් ඒ වගේ එකක්ද දන්නෑ..

“ගෙදරින් පිට යන එකක් නම් කතා කරන්නෙපා.. ඊයෙත් මට ගෙදරින් බර බරේ.. දැන් අදත් යන්න ගියොත් මට වීසා කැන්සල් වෙන එක බුදු ෂුවර්..”

“හරි උඹට බැරිද..?”

තොල් දෙකත් තද කරන් ඌ ඇහුවා.. ඒ කියන්නෙ මූට තදවුණා.. මොනව කරන්නද..? යාලුවෙකුට කියලා ඉන්නෙත් මූ විතරනේ..

“බැරි නෑ පුළුවන්.. මොකක්ද වැඩේ..?”

“මේකයි මචං.. පැය බාගයක් යයි ඕන්නං වැඩේට.. මං අද නිශානිට කොලෙජ් ලේන් එකට එන්න කිව්වා. කරුමෙ කියන්නෙ බං අපේ තාත්තත් එක්ක මට ගාලු යන්න වෙලා.. පැය දෙක තුනකට මට හෙල්ලෙන්න වෙන්නෑ.. උඹ නිශානිව හම්බවෙලා කියපං මට එන්න වෙන්නෑ කියලා.. මං පුළුවන් වුණොත් කවුරු හරි මාට්ටු කරලා එන්න බලන්නම්.. එහෙනම් හරිනේ මචං..”

ඌ මගේ දිහාට දකුණු අත දික් කරා.. මැරෙන්නද..?

“ෆිට් තමයි..”

මං උගේ අතචින් අල්ල ගත්තා.. උගේ මූණට ආවෙ සිරා හිනාවක්.. පැණි බේරෙනවා. ඔහොම ඉන්නවා නම් පණ වුනත් දෙන්නම්කො කොල්ලා..


බාගෙට කැඩිලා තිබ්බ තාප්පෙන් පැනලා මං කොලෙජ් ලේන් එකට ඇතුල් වුණා. ඇස් දෙකම කරකවලා මං වටපිටාව බැලුවත් නිශානිගෙ කෑල්ලක්වත් මං දැක්කෙ නෑ.. සිරාවටම ප්‍රේම කරන කපල් තුන හතරක් අහුමුළුවලට වෙලා හිටියා. දැන් නිශානි එනකල් මෙතන ඉඳගෙන කට්ට කාපංකො.

තවත් ටික වෙලාවක් යද්දි, මං කොලෙජ් ලේන් එකේ තිබ්බ පරණ හට් එක දිහාට ඇවිදන් ආවා. එක තැන ඉන්නත් බෑනෙ.. ඒත් එකපාරටම මගේ ඇස් දැක්ක දේ මට අදහගන්නත් බැරි වුණා. පරණ හට් එක ගාව හිටියෙ හර්ෂි. ඒත් හර්ෂිට ඩිංගක් එහායින් හිටපු එකා දැක්කහම මාව සීතල වෙලා ගියා. ඩිලාන් බ්‍රදර් දෙයියනේ.. ඌ කොහොමද හර්ෂි ළඟට ආවෙ..?

මෙච්චර කාලයක් හිතේ දියවෙලා තිබ්බ ආත්ම විශ්වාසෙ ඩිංගෙන් ඩිංග දියවෙලා යද්දි මං කැඩිච්ච තාප්පෙට හේත්තු වුණා. දෙයියනේ මෙතන මොනවද වෙන්නෙ.. අවුරුදු ගාණක් තිස්සෙ මං හදපු හීන මාළිගාව එකම එක තත්පරේකදි වැටෙන හැටි මං බලන් හිටියෙ අවසිහියෙන් වගේ. ඒත් මෙතන සිද්ධ වෙන ජවනිකාවෙ තවත් චරිත තියෙනවා කියලා මං දැක්කෙ ඊටත් පස්සෙ.. පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙද්දි මං තව තවත් තාප්පෙ පැත්තට නැමුණා. තව ඩිංගක් හරි එයාලා ඉන්න පැත්තට යන්න පුළුවන්කම තිබ්බා නම් හොඳයි කියලා හිතුණත් එහෙම යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද හර්ෂීගෙ බාප්පා, ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනගෙ මෝටර් බයික් එකේ තමයි දෙන්නා එන්න ඇත්තෙ කියලා මට හිතෙද්දි මගේ පපුව පිච්චිලා වගේ ගියා. හීනෙකින්වත් හිතපු නැති විදියට, මගේ පුංචි ලෝකෙ කුමාරිකාව ඩිලාන් ළඟට වෙලා බිම බලාගෙන හිටියා. මගේ පණටත් වැඩියෙන් ආදරේ කරපු මට මේ දීපු තෑග්ග, මට හොඳටම වැඩියි හර්ෂි.. ඉස්සර ඩිලාන්ව පේන්නවත් බැරුව ඉඳපු ඔයා අද කොහොමද ඩිලාන්ට මේ තරම් ළංවෙලා ඉන්නෙ..?

“දේව්..”

මගේ පස්සෙන් ඇහුණ ඒ කටහඬින් මං ගැස්සුණා. නිශානි..! ඇස් දෙක ඉස්සරහ තියෙන, මගේ අත් හැරිලා ගියපු ජීවිතේ දිහා බලන් ඉඳපු මට, ඒකිව අමතක වෙලා තිබුණා.

“දෙ... දෙයියනේ.. අ.. අර මොකද දේව්.. ඒ.. ඒ.. හර්ෂි නංගි නේද..?”

ඇස්වලින් බේරිලා ආපු කඳුළක ලුණු රසය මගේ දිවට දැනෙද්දි මං නිශානි දිහා බැලුවා.

“ඔ.. ඔයා අඬනවා දේව්.. මෙ.. මෙතන මොකක්ද මේ වෙලා තියෙන්නෙ..? මට හිතා ගන්නවත් බෑ..! ක.. කවුද අර අතන හර්ෂිත් එකක් ඉන්නෙ..?”

ප්‍රශ්න පත්තරයක්ම නිශානි මගෙන් අහගෙන අහගෙන ගියා. ඒත් ඒවට උත්තර දෙන හැටියක් මගේ සිහියෙ තිබුණෙ නෑ.

“මං දන්නෑ.. මං දන්නෑ.. මගෙන් ඕව අහන්නත් එපා නිශානි.. මාත් දැනුයි ආවෙ.. ප්‍රශාන්ට අද එන්න වෙන්්නෑ කියන පණිවිඩේ කියන්න.. ඒත්.. ඒත්.. මං මොනවද මගේ ඇස් දෙකෙන් මේ දකින්නෙ.. අනේ... අනේ.. නිශානි.. මං මේ මොනවද දකින්නෙ..?”

හිත කඩාගෙන වැටෙද්දි මං නිශානිගෙ අත් දෙකත් අල්ල ගත්තා. එයාගෙ මූණෙ තිබ්බෙ ලොකු දුකක්.. මගේ ඇස් දෙකේම කඳුළු පිරිලා හන්දා වටේ තිබ්බ දේවලුත් මං දැක්කෙ බොඳ වෙලා වගේ.

“ආ... ඉලන්දාරියා.. ජීවිතේ සුන්දරද මෙතරම්, නේ...?”

ඒ ගොරෝසු සද්දෙ ආවෙ මායි, නිශානියි පිටිපස්සෙන් වගේ. අපි දෙන්නම හැරිලා බැලුවෙ එක තත්පරේදි. දෙයියනේ ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන.. මූ කොහොමද මෙතනට ආවෙ..?

“බෝම හොඳයි.. බෝම හොඳයි.. අරහෙත් ලව්.. මෙතනත් ලව්.. ඕම දිගටම කරගෙන යමුකො.. මටත් කරදරයක් නෑ..”

ඩිලානුයි, හර්ෂියි ඉන්න පැත්ත බලලා ඇල්ෆ්‍රඩ් මට කිව්වා. ඒ රතු පාට වෙච්චි ඇස් මඟ ඇරලා මං හර්ෂි දිහා බැලුවා. එයා හිටියෙ අපි ඉන්න දිහාම බලාගෙන. එයා කලබල වෙනවා මං දැක්කා.

“අරහෙ ලව් උනාට මෙතන නම් ලව් එකක් නෑ.. මේ මගේ යාළුවෙක්..”

මං හිටියෙ කතා කරගන්නවත් බැරි තරමෙ හෙම්බත් වෙලා.. ඒ විත්තිය තේරුම් අරගෙන නිශානි කතාව මැද්දට පැන්නා.

“ආ.. ඒක හින්දද මේ දරුවා, කොල්ලෙකුගෙ අතිනුත් අල්ලගෙන කොලෙජ් ලේන් එකට ඇවිල්ලා ඉන්නෙ..?”

හැරෙන තැපෑලෙන් ඇල්ෆ්‍රඩ් එහෙම අහපුවාම මං ගැස්සිලා ගියා. ඒ වෙනකොටත් මං හිටියෙ නිශානිගෙ අතින් අල්ලගෙන. මං ඉක්මණට ඒ අත අතෑරලා දැම්මා. ඒක දැකපු ඇල්ෆ්‍රඩ්ගෙ මූණට ආවෙ ලොකු හිනාවක්.

“දේ.. දේව් අයියා.. මාව බේරගන්න අයියෙ..”

ටිකකින් හර්ෂිගෙ කටහඬ මට ඇහුණා.. ඒත් ඒ දිහා බලද්දි ඩිලාන්, හර්ෂීගෙ අත් දෙකෙන්ම අල්ලගෙන හිරකරන් ඉන්නවා මං දැක්කා. එයාව බේරගන්න හිතාගෙන මං ඒ දිහාට දුවගෙන වගේ ගියා.. ඒත්.. මං පිටිපස්සෙන් ආපු ඇල්ෆ්‍රඩ්ගෙ ශක්තිමත් අත්වලට මං හිරවුණා.

“ඇති.. තමුසෙට එතෙන්ට යන්න ඕන නෑ.. ඉලන්දාරියා.. උඹ ගැන හැම දෙයක්ම මං හොඳට දැනගෙන ඉවරයි.. කිරිල්ලියො දෙන්න දෙන්න එක්ක සෙල්ලම් දාන උඹ වගේ අවලම් කුරුල්ලෙක් මට ඕන නෑ මිනිහො..”

“නෑ.. නෑ.. ඔහේට වැරදීමක් වෙලා.. මේ මගේ ගර්ල් නෙමේ..”

හිත ඇතුළෙ තිබ්බ දහිරියෙ අන්තිම බිංදුවත් එළියට දාලා මං කෑගැහුවා. ඒත් ඒකෙන් ඇල්ෆ්‍රඩ්ගෙ කෙන්න්තිය තවත් වැඩිවුණා.

“මට බණ විතරක් දෙසන්න හදන්නෙපා හරී.. මෙයා උඹේ කෙල්ල නොවුණට අනත ඉන්නෙ ඩිලාන්ගෙ කෙල්ල.. අන්න ඒක හොඳට මතක තියාගනිං..”

හර්ෂි ඉන්න දිහාවට ඇඟල්ල දික් කරලා ඇල්ෆ්‍රඩ් කියවන් ගියා..

“ඒක බොරු.. ඒක බොරු.. තමුසෙ කියන්නෙ ලොකු බොරුවක් මිනිහො..  තමුසෙ හිතන තරම් ලේසියෙන් මාව තම්බන්න බෑ..”

ඇල්ෆ්‍රඩ්ගෙ අත ගස්සලා දාලා මං කෑගැහුවා.. ඒ එක්කමයි හර්ෂි ආයෙත් කෑගැහනවා මට ඇහුණෙ..

“අ.. අනේ.. දේව් අයියෙ.. මාව බේරගන්න අයියෙ.. මං මාව රැවැට්ටුවා.. අනේ..”

හර්ෂි කෑගහන සද්දෙට මුළු කොලේජ් ලේන් එකම දෙදරලා ගියා.

“හර්ෂණි කට වහගෙන බයික් එකට නැගපං.. කියන දේ ඇහුවෙ නැත්තං මං උඹව මෙතනම මරනවා.. පට්ට බැල්ලි..”

යක්ෂයෙක් වගේ කෑ ගහන ඇල්ෆ්‍රඩ්, මෝටර් බයිසිකලේ දිහාට දුවගෙන ගියා. මමත් ඇල්ෆ්‍රඩ්ගෙ පිටිපස්සෙන් දුවගෙන යන්න හැදුවත්, නිශානි මාව ඇඳලා නතර කරගත්තා. එයා හොඳටම බයවෙලා කියනෙක නිශානිගෙ මූණෙන් මං හොඳට දැක්කා. මුළු කොලෙජ් ලේන් එකම අන්දමන්ද වෙලා වගේ තිබුණා. අපි වටේ ඉඳපු පෙම්වතුන් ටික දෙනත් හීන් සීරුවෙ මාරුවෙලා ගිහින් තිබුණා. මීටර් සීයක් විතර ඉස්සරහ හර්ෂි අතරමං වෙලා ඉද්දි තවත් බලාගෙන ඉන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ.. මං නිශානිගෙ අත ගස්සලා දාලා ඒ දිහාට දුවගෙන ගියා.

“හර්ෂිට මොනා හරි කරලා තිබුණොත් මං උඹව මරනවා ඇල්ෆ්‍රඩ්..”

ඇල්ෆ්‍රඩ්ගෙ මූණටම එබිලා අත් දෙකත් ගුලි කරන් මං කිව්වා. උගේ මූණ කලුවෙලා යනහැටි මං හොඳටම දැක්කා.. කඳුළු පේලි දොරෙ ගලන් ගියපු හර්ෂිගෙ මූණ දැක්කහම මට හැමදේම අමතක වෙලා ගියා.

“අ.. අනේ මාව බේරගන්න දේව් අයියා...”

මුං දෙන්නට පේන්නැති වෙන්න කොහේ හරි තැනකට හර්ෂිවත් ඇදගෙන දුවල යන්න මට ඊගාවට හිතුණා. ඒත් මට ඒක කරන්න බැරි වුණා. හර්ෂීගෙයි, මගෙයි අතරින් මහාමේරු පර්වතය වගේ දැවැන්ත බාධකයක් වෙච්ච ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන හිටගෙන හිටියා.

“කට වහපං පරට්ටියෙ.. උඹ ඉන්න ඕනෙ මං කියන විදියට. මේ බල්ලා කියන විදියට නෙමෙයි.. නැගපං බයික් එකට.. තෝව අද හම ගහනවා මං.. යමංකො ගෙදර.. පට්ට බැල්ලි..”

ඇල්ෆ්‍රඩ් මෝටර් බයික් එක ස්ටාර්ට් කරලා, මිනිහට පිටිපස්සෙන් හර්ෂිවත්, හර්ෂිට පිටිපස්සෙන් ඩිලාන්වත් නග්ග ගත්තා. ඩිලාන්ගෙ මූණෙ තිබ්බෙ මහ බලු හිනාවක්.. බයික් එක රේස් වෙලා ඉස්සරහට යනවත්තෙක්කම මං ඒ ඉස්සරහට දුවලා ගියා.

“ඇයි..?”

ඇග්ෆ්‍රඩ්ගෙ ගෙරෝසු සද්දෙ, බයික් එකේ සද්දෙටත් වැඩිය හයියෙන් මට ඇහුණා.

“හ.. හර්ෂිට ගහන්නෙපා.. මං ඕන දෙයක් කරන්නම්..”

ජීවිතේ කිසිම දවසක මිනිහෙක් ඉස්සරහ බැගෑපත් නොවුණු විදියට මං ඌ ඉස්සරහ බැගෑපත් වුණා. ඒත් උගේ මූණෙ තිබ්බෙ කැත හිනාවක්. ඒ කියන්නෙ ඌ මං කිව්ව දේ තඹේකටවත් මායිම් කරලා නෑ කියනෙක. හීන් සැරේ ඉකිගහන හර්ෂීගෙ හඬ අස්සෙන් ආයෙමත් ඇල්ෆ්‍රඩ්ගෙ ගොරෝසු කටහඬ ඇහුණා.

“උඹේ.. අර කලින් තිබ්බ ගණන්කාරකම පුදුම විදියට අඩුවෙලානේ.. බලාගෙන ඉඳපං.. ඉතුරු ටිකත් බහීවි.. හර්ෂිට ගහනවද..... මරනවද කියන එක තීරණය කරන්නෙ මම.. උඹ ඒක කියල දෙන්න එන්න ඕන නෑ.. අර හින්දි පිචර්වල කොල්ලා  වගේ ඇවිත් මට දර්ශනේ දාන්න එන්නෙපා බැල්ලිගෙ පුතෝ.. කෑව නම් බිව්වා නම් ගෙදර ගිහින් චූ කරලා බුදිය ගනිං.. අපිට වද නොදී..”

එක හුස්මට ඒ ටික කියලා ඉවර කරලා දාලා ඇල්ෆ්‍රඩ් තත්පරෙන් දෙකෙන් මං ගාවින් ඉවත් වුණා.. එහෙම ගිය එකත් හොඳයි.. තව ඩිංගක් වෙලා ඌ උගේ පුරාජේරුව මෙතන ගැහුවා නම් අනිවාර්යෙන්ම මං ඌව සුරලෝකෙ යවනවා.. ඒ තරම් ලොකු කේන්තියක් මගේ හිතේ ඌ ඇති කරේ.. ඒ කේන්තිය පිටින්ම මං ආපහු හැරුණා.. මං ඉස්සරහම හිටියෙ නිශානියි, ප්‍රශානුයි.. මූ කොහොමද මේ තරම් ඉක්මනට මෙහේ ආවෙ.. මූ අද එන්නෑ කිව්වනේ..

“දේව්.. මොකද මචං..”

වෙනදා කරන විහිලු තහළු උගේ කතාවෙ තිබ්බෙ නෑ.. පුදුම දයාබර බවක් ඒ වචන තුනේ තිබ්බෙ.. ඒ දයාබර බව විඳ දරා ගන්න බැරිව, මගේ ඇස්වලට කඳුළු පිරුණා.

“උ.. උඹ එන්නෑ කිව්වනේ ප්‍රශාන්..”

“ඒකෙ අවුලක් නෑ දේව්.. තාත්තට ෂේප් එකක් දාලා මං පැන ගත්තා.. ඒත් මං හිතුවා නිශානි යන්නත් ඇති කියලා.. උඹල දෙන්නම තාම මෙතනනේ..”

“වෙච්ච දේවල් උඹ දැක්කෙ නැද්ද ප්‍රශාන්..?”

“මොන දේවල්ද බං.. මං මෙතනට ආවා විතරයි.. නිශානිත් හොල්මං වෙලා.. උඹත් අප්සට් වෙලා.. ඇයි බං..? මට මුකුත් තේරෙන්නෑ..”

“මේ වෙලාවෙ මගෙන් මුකුත් අහන්නෙපා.. ගෙදර යනකොට මං උඹට හිමීට විස්තරේ කියන්නම්.. දැන් හොඳ එකා වගේ නිශානිත් එකක් ඩිංගක් කතා කරලා ඉඳපං.. මං අර හරියෙන් ඉන්නම්..”

මං එහෙම කිව්වම ප්‍රශාන් මගේ දිහා හොඳට බලලා නිශානිගෙ අතිනුත් අල්ලගෙන කැන්ද ගස් තියෙන පැත්තට ගියා. කොහොමටත් ගෙදර යන ගමන් ප්‍රශාන්ට කියන්න දෙයක් නැතිවෙන එක මට ෂුවර්.. නිශානි හැම දෙයක්ම මූත් එකක් කියාවි.. උං දෙන්නා මං ගාවින් ඈතට ගියායින් පස්සෙ මගේ හිතට ඉස්සලෙල්ලම ආව ප්‍රශ්නෙ හර්ෂි ඩිලාන් එකක් කොලෙජ් ලේන් එකට ආවෙ ඇයි කියලා.. ඩිලාන්ව පේන්නවත් බැරුව ඉඳපු කෙල්ල කොහොමද මුං මෙතෙන්ට ගෙනාවේ.. මොකක් හරි මරාලයක් අදින්න ලෑස්ති වෙනවා කියනෙක මට ඉවෙන් වගේ දැනුණා.. හර්ෂි වුණත් ඉස්සෙල්ලා කෑ ගැහුවෙ රැවටුණා කියලනේ.. මුං මොකක් හරි බොරුවක් ගහලා එයාව එක්කන් ආවද දන්නෙත් නෑ.. ඒත් ඇයි හර්ෂිව එක්කන් ආවෙ..? උං කොහොමද දන්නෙ මං අද කොලෙජ් ලේන් එකට එනවා කියලා.. මගේ හිතට ආවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක්..

“දේව්.. අපි යමු මචං..”

තව ඩිංගක් වෙලා යද්දි ප්‍රශාන් ඇවිත් මගේ උරහිසට අත තිබ්බා.. කොලෙජ් ලේන් එකෙන් ගාලු පැත්තට ආවත් අපි තුන්දෙනා අතරෙ කිසිම කතාබහක් තිබ්බෙ නෑ.. අම්බලන්ගොඩ බස්ටෑන්ඩ් එක පැත්තට එද්දි ප්‍රශාන් සුනිල එක ගාව නතර වුණා.

“නිශානි..! මොනා හරි බීලා යමු නේ..”

“දැන් නම් ටූ ලේට් ප්‍රශාන්.. මං යනවා.. දේව් මං යනවා.. බායි..”

හදිස්සියෙන් වගේ එහෙම කියලා බස්ටෑන්ඩ් එක දිහාට ගියපු නිශානි, ආයෙත් අපි දෙන්නා දිහාට ආවා.

“දේව්.. මොන දේටවත් හිත කලබල කරගන්නෙපා.. හැමදේම විඳ දරාගන්න බලන්න.. මං ප්‍රශාන්ට හැමදේම කිව්වා. ඔයාලා හොඳට හිතලා මොනව හරි දෙයක් කරන්න.. ඔයාට වරදින්නෑ දේව්..”

නිශානි එහෙම කියනවත්තෙක්කම ගාලු බස් එකක් ආවා. ස්ටෑන්ඩ් එක පැත්තෙ ඉඳලා.. නිශානිව ඒ බස් එකට දාලා මායි, ප්‍රශානුයි ආපහු එන්න හැරුණා.. ඒත් ගෙදර යන්න හිතක් මට තිබුණෙ නෑ.. ඒක හන්දා ප්‍රශානුත් අඬගහගෙන ධර්මාශෝකෙ ඉස්සරහ තියෙන අලියා ස්නැක් බාර් එකේ මුල්ලෙම මේසෙ ගාව මං වාඩි වුණා.

“ෂි.. ෂී.. ෂී.. උඹ තාමත් මූණ එල්ලගෙන නේ බං.. ඕම තමයි ඩෝ ලව් කරන්න ගියාම.. කටු කන්නත් ඕන.. එතකොට තමයි ආතල් එක තියෙන්නෙ.. නැත්තං කිසි ගතියක් නෑ.. මායි, නිශානියි අද කතා කෙරුවෙ වෙන මොනවත් නෙමේ.. උඹෙයි, හර්ෂීගෙයි ලව් එක ගැන.. උඹලත් දවසක මායි, නිශානියි ගැන කතා කරපල්ලා  හරිද..?”

මූ කියවන්නෙ පිස්සු. මං මේ නන්නත්තාර වෙලා ඉන්නවා. මූ බයිල ගහනවා. වෙනද වගේ නෙමේ.. අද නම් මූ කියවන එක හරි මගේ හිතට නිවනක්.

“මං දන්නවා උඹ මෙච්චර අවුලෙන් ඉන්නෙ ඇයි කියලා.. ඩිලානුයි, හර්ෂියි කොලේජ් ලේන් එකේ හිටපු හින්දනේ.. ඒක එච්චර ගණන් ගන්න එපා බං.. නිශානි කිව්වෙ ඇල්ෆ්‍රඩුත් හිටියා කියලා.. ඒක හින්ද අවුලක් ඇත්තෙම නෑ.. ඇල්ෆ්‍රඩ්කාරයගෙ බලේට තමයි හර්ෂී එන්න ඇත්තෙ.. මොකද අරූට ෆිට් එකක් නෑ හර්ෂිව තනියෙම එක්කන් එන්න..”

“මටත් එහෙම හිතෙනවා ප්‍රශාන්..”

ප්‍රශාන්ට එහෙම කිව්වත් මගේ හිතට මොනවදෝ වෙලා තිබුණා. තත්පර ගාණකට හරි හර්ෂි ඩිලාන් එක්ක කොලෙජ් ලේන් එකේ ඉන්නව ඇස් දෙකටම දැක්කට පස්සෙ පපුව පිච්චිලා ගියපු හැටි ආයෙත් මට මතක් වුණා. දැන් වුණත් පපුව ඇඳුම් කකවා ඒක මතක් වෙද්දි.

“ඔය තේරෙන්නෙ යකාට වගේ.. උඹ කලබල නොවී ඉඳහං.. මං ඩිලාන්ගෙන් හීන් සීරුවෙ සීන් එක අහගන්නම්.. ඌ මට නොකියා ඉන්නෙකක් නෑ.. සමහර විට.. ඉස්සරහට උං කරන්න යන්නෙත් මොනවද කියලා මට දැනගන්න පුළුවන් වෙයි..”

“ඔය හැම එකක්ම උඹට කියාවිද ප්‍රශාන්..?”

“බලමුකො ලොක්කා.. හැමදේ ගැනම සුභවාදීව හිතපං.. එතකොට තමයි ඔක්කොම හරින්නෙ..”

“ඒත් මචං.. මට මේ සීන් එකේ ඇත්ත මොකක්ද කියලා දැනගන්නකන් නින්ද යන්නෑ බං.. මට මහ මොකක්දෝ වගේ.. හිත හිස්වෙලා බං..”

“සින් එක කියලා කිව්වෙ හර්ෂියි, ඩිලානුයි ගැනද..?”

“ඔව් බං..”

“අප්පට කෙලින්න.. ඒ කියන්නෙ හර්ෂි ගැන උඹට ෂුවර් එකක් නෑ කියලද..? අනේ මේ.. මං උඹට වඳන්නම්.. ඒ වගේ මී හරක් දේවල් නොහිත ඉඳපං.. අරුන්ටත් ඕන ඇත්තෙ උඹට කියලා ඒ දේ ගැන හිතවන්න..”

“හිතන්නෙ නෑ බං.. හිතෙන එකනේ වැඩේ..”

“හරි.. මෙහෙම හිතපංකො.. දැන් උඹයි.. නිශානියි අතින් අල්ලගෙන ලේන් එකේ ඉන්නවා උං තුන්දෙනාම දැක්කනේ.. ඉතිං..”

“යකෝ උඹේ පණිවිඩේ දෙන්නනේ මං නිශානිව හම්බවුණේ..”

“ඒක  හරි බං.. ඒක මං පිළිගත්තට උං පිළිගන්නෙ නෑනෙ.. ඩිලානුයි, ඇල්ෆ්‍රඩුයි දෙන්නම හිතන්නෙ අනිත් පැත්තටනේ.. එහෙම නේද..?”

ඌ අපහු දේට මං මුකුත් කිව්වෙ නෑ.. ඇත්තටම කියන්න තරම් දෙයක් තිබ්බෙ නෑ.. ඒත් ඩිංගක් වෙලා යනකන් ප්‍රශාන්ගෙ සද්දයක් ආවෙ නැතිහින්දා මං ඌ දිහා බැලුවා. ඌ මගෙන් උත්තරයක් බලාගෙන ඉන්නවා ඇති.

“මගේ ඔලුව මේ වෙලාවෙ දෙක වෙලා තියෙන්නෙ ප්‍රශාන්.. මට හිතාගන්න බැරි සර්ෂිව කොලෙජ් ලේන් එකට එක්ක ආවෙ කියලා..”

“ඔතන තියෙන්නෙ තනිකර යටි කූට්ටු වැඩක් බං.. අපි තව ටිකක් ඉවසලා ඉස්සරහට වෙන්නෙ මෙනාවද කියලා බලමුකො.. හැබැයි අපිට ඇල්ෆ්‍රඩ්කාරය ගැන නම් හුඟක් සෝදිසියෙන් ඉන්න වෙනවා දේව්..”

“ඔය මොනවත් මට වැඩක් නෑ ප්‍රශාන්.. හර්ෂිට අද මොනව වෙයිද දන්නෑ.. අරූ ගියේ මරනවා කියලනේ.. ඌ පුදුම තරම් කේන්තියෙන් හිටියෙ.. මට හිතෙනවා හර්ෂිලාගෙ ගෙදර යන්න..”

“අනේ මේ.. පිස්සු කෙලින්න ලෑස්ති වෙන්නෙපා බං.. උඹ එහේ ගියොත් හොඳට තියේවි.. ඒ කෙල්ලව, අරූ ඉතිරි කරන එකක් නෑ.. හර්ෂිගෙ මම්මත් ගෙදර ඇතිනේ බං.. මේ ටික දිරවගෙන ඉවර වෙලා අපි තව කන්න යමු.. හරිනේ.. දැන් හොඳ එකා වගේ ගෙදර යමු..”

තව පැය බාගයක් විතර යද්දි ප්‍රශානුයි, මායි ගෙදර ආවා.. ඌ මාව ගෙයි දොරකඩටම දාලා යන්න ගියා. අම්මටත් කියන්නැතුව, කාටවත්ම කියන්නනැතුව මං උදේ ගෙදරින් ගියේ මොන බාල්දි පෙරලිලාද දන්නෙත් නෑ ගේ ඇතුලෙ.. ගෙට ඇතුලු වෙලාම බලමුකො.. මගේ හිත මට කිව්වා..


No comments:

Post a Comment