Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


හීන් සැරේ වැටෙන්න ගත්තු පොඳ වැස්ස, මහා වැස්සක් වෙන්න ගියේ බොහොම ටික වෙලාවයි.. මහ පොළව සම්පූර්ණයෙන්ම තෙමලා දාලා, බොර පාට වෙච්ච වතුර නිදහසේ ගලන් ගියා.

තල් අතුවලට බොරලු වැටෙන සද්දෙට ඇඳ හැලෙන වැස්සත් එක්කම මං හෙමි හෙමිහිට ඉස්සරහට ඇදුණා. කන්දෙක අගුලු වැටෙන සද්දෙට කණ ළඟින්ම අකුණු පුපුරලා ගියත් මට ඒක ඒ තරම් ගාණක් වුණේ නෑ.. හිතේ පිරිලා තියෙන කාන්සිය හේදිලා යන්න වගේ මහ වැස්සට මං තෙමුණා.. ඇතත්ටම මගේ ගමනෙ අරමුණක් තිබුනෙ නෑ.. ඒත් හිතේ හිරවෙලා තිබ්බ ඒ කම්කටොළු තත්පර ගාණකට මං ගාවින් ඈත් වෙනවා කියලා මට හිතුණා. ඒ පුංචි වෙලාවෙදි හිතට ආපු සංතෝසෙට ඇස් දෙකත් වහගෙනම මං මඩපාට වෙච්ච වතුරෙ වාඩිවුණා. දෙපත් කපල හැලෙන වැස්සෙන් මාව සම්පූර්ණයෙන්ම තෙමෙද්දි මගේ හිතට දැනුණෙ පුදුමාකාර සැහැල්ලුවක්.


දේව්.. දේව්...

කොහේදෝ ඈතකින් පාවෙලා වගේ ඒ මලානික කටහඬ මට ඇහුණා. හොඳට අහලා පුරුදු කටහඬක්.. මගේ ඇස් දෙක ඇරලා වටපිට බැලුවා. මගේ මූණ ඉස්සරහ හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. මගේ ඉටු නොවිච්ච රත්තරං හීනෙ පුංචි කුමාරිකාවි.. හර්ෂි.. ඇත්තටම මේක හීනයක්ද නැද්ද කියනෙක මට හිතාගන්න බැරිවුණා.

අ.. අනේ.. දේ.. දේව් අයියා.. ඇ.. ඇයි මේ.. ඔයා හොඳටම තෙමිලා රත්තරං අයියෙ.. අනේ මගෙත් එක්ක කතා කරන්න අයියෙ..

ඇස් දෙකම ආයෙත් පිහදලා මං බැලුවා.. මේක හීනයක් නෙමෙයි.. ඒත් මං මේ කොහෙද ඉන්නෙ..

අ.. අනේ.. දේව් අයියා නැගිටින්නකො.. ඔ.. ඔයාට මේ මොනව වෙලාද..?

හර්ෂි මගෙන් එක දිගට ප්‍රශ්න අහගෙන අහගෙන යනවා.. ඒත් මදිවට දෙන්න තරම් උත්තර මගේ ඔලුවට ආවෙ නෑ.. ඒත් එක දෙයක් විතරක් තත්පරේට දෙකට මගේ ඔලුවට ආවා. ඒ මං මේ ඉන්නෙ හර්ෂිලගෙ ගෙරදර ඉස්සරහ කියලා. මං එතකොට ප්‍රශාන්ටත් නොකියා තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ කියනෙක මට මතක්වෙද්දි මගේ ඔලුව අවුල් වෙන්න ගත්තා.

මාව අතාරින්න හෂි.. ඔය අත් දෙකෙන් මාව අල්ලන්නෙපා..

හර්ෂි ගැස්සිලා යනවා මං හොඳටම දැක්කා.. ඒත් මට හර්ෂි ගැන ඒ වෙලාවෙ කිසිම හැඟීමක් තිබුණෙ නෑ.. මට තිබ්බෙ මං ගැන ඉපදුන ලොකු දුකක් විතරයි.

ඇ.. ඇයි ම.. මගේ දෙව් අයියෙ.. ඔයා මට ඔහොම කතා කරන්නෙ.. දෙ.. දෙයියනේ ඔයාට මේ මොනා වෙලාද.. හොඳටම තෙමිලත් එක්ක.. එන්න.. එන්න.. ගේ ඇතුළට ඔ.. ඔයාව පිහදාන්න..

හර්ෂි.. කවුද ඔය..

ගේ ඇතුළෙන් කවුදෝ කෙනෙක් එහෙම අහනවා ඊගාවට මට ඇහුණා.. මං හර්ෂි දිහා බැලුවා.. එයා හොඳටම බයවෙලා.. ඒත් මගේ හිතට බයක් කියලා දෙයක් දැනෙන තරමෙ මානසික තත්වයක නෙමේ මං හිටියෙ.

හර්ෂි.. කාත්තෙක්කද ඔය කතා කරන්නෙ..?

එහෙම අහගෙන ඉස්සරහ දොරෙන් එළියට එබුණෙ හර්ෂිගෙ මම්මා.. මාව දැක්කම එයාගෙ මූණ හොඳටම අවුල් වුණා.

කතා කරන්නෙ කාත් එක්කද කියලා දැක ගත්තනේ ඉතිං..?

කොණ්ඩෙ දෙපැත්තෙන්ම බේරෙන වැහි වතුර අත් දෙකෙන්ම පිහදාන ගමන් මං හර්ෂිගෙ මම්මගෙන් ඇහුවා. මුළුමනින්ම අවුල් වෙලා තිබ්බ මගේ බාහිර ස්වරූපෙ හින්ද හර්ෂිගෙ මම්මට වචන ගැට ගහගන්නත් ටිකක් අමාරු වුණා වගේ.

ඇ.. ඇයි ඔය ළමයා පිස්සෙක් වගේ හැසිරෙන්නෙ.. බලන්න දැන් ඇල්ෆ්‍රඩ් ආවොත් හෙම මොකද වෙන්නෙ කියලා.. හර්ෂි.. මේ ළමයට කියන්න යන්න කියලා..

මම්මා හර්ෂිට කිව්වා.. ඒ කිව්ව දේට හේතුවක් නැතත් මට හිනාවක් ගියා..

ආන්ටි.. මේ දේවල් තවත් මේ විදියට සිද්ධ වුණොත් මං පිස්සෙක් වෙයි.. ඒ දේට වගකියන්න ඕන ඇල්ෆ්‍රඩ්.. මං ඌට බය නෑ ආන්ටි..

මං හයියෙන් කෑගහලා කිව්වා.

ඔය ළමයා කරන දේවල් වලින් හර්ෂිටයි කරදර විඳන්න වෙන්නෙ.. ඒකත් මතක තියාගන්න..

මම්මා එහෙම කිව්වෙ මට අවවාද කරන්න වගේ..

මං හැමදාම හිතුවෙ එයා ගැන ආන්ටි.. හර්ෂිට කරදරයක් වෙන කිසිම දෙයක් මං කරන්නෑ.. හර්ෂි සංතෝසෙන් ඉන්නවා නම් මට ඒ ඇති.. ඒත් මං අද ආවෙ පොඩි කාරණාවක් දැනගෙන යන්න.. ඒක ඇත්තද කියලා අහල යන්න..

හීතල සුළං පාරට ඇඟේ හිරිගඩු පිපිල යද්දි... හර්ෂියි, මම්මයි අත් බැඳගත්තා.. ඒත් මට ඒ තරම් සීතලක් දැනුණෙ නෑ.. මගේ හිත ගිණියම් වෙලා තිබුණා.

ඔව්.. මොකක්ද කාරණාව..?

කලින් තිබ්බ හදිස්සිය නැතිවෙලා වගේ හර්ෂිගෙ මම්මා මගෙන් ඇහුවා..

තව සතියකින්.. ඩිලාන් හර්ෂිව බඳිනවද..?

උල් පිහියක් ඇඟ ඇතුළට බහිද්දි දැනෙන වේදනාව වගේ ලොකු වේදනාවකින් හිත හෙම්බත් වෙලා යද්දි හිත දැඩිකර ගන්න මං ලොකු උත්සාහයක් ගත්තා. හර්ෂිගෙ මම්මා ටිකක් වෙලා යනකන් කතා කරේ නෑ.. ඒත්  සුංරගනා කතාවක් අහන් ඉන්න හදන පොඩි එකෙක් වගේ මං මම්මා දිහා බලන් හිටියෙ එයා කියන්න යන්නෙ මොනවද කියලා... මොකද හර්ෂිගෙ මම්මා බොරුවක් කියන එක්ක නෑ කියලා මට හිතිල තිබුණ හන්ද.

ඔව්.. ඒක ඇත්ත..

කණ ළඟින් හෙණ හඬක් ඇහුණ වගේ මං ගැස්සිලා ගියා. දෙයියනේ, මං මොනවද මේ අහන්නෙ.. මේක අහගෙන යන්නද මං ආවෙ.

නෑ.. නෑ.. නෑ.. දේව් අයියෙ.. මේ ඔක්කොම බොරු.. මං කැමති නෑ.. මගේ අකමැත්තෙන් මේ හැමදේම වෙන්නෙ..

මගේ ඇඟේ එල්ලෙන ගමන් හර්ෂී කෑගැහුවා.

හර්ෂි.. ගෙට පලයන්..

ඒ කටහඬ ආවෙ කොහේ ඉඳලද කියලා බලන්න මං ආපහු හැරුණා.. මේ ලෝකෙ කොයි මුල්ලකින් ඒ කටහඬ ඇහුණත් මට අඳුනගන්න පුළුවන්.. ඒ ඇල්ෆ්‍රඩ්.. මිනිහ දැක්කා විතරයි හර්ෂි තත්පරෙන් දෙකෙන් මගෙන් ඈත් වුණා.

හර්ෂීගෙ මගුල තීරණය කරන්නෙ උඹවත්, හර්ෂිවත් නෙමෙයි.. ඒක තීරණය කරන්නෙ මම.. තේරුණානේ.. අනිත් කාරණේ මේ වැසසෙ තෙමිල පිස්සෙක් වගේ ලෙඩ හදාගන්නෙ නැතුව ගෙදරට වෙලා පොතක් පතක් බලාගත්තා නම් නේද හොඳ..?

බොහොම ශාන්ත හඬකින් ඇල්ෆ්‍රඩ් මට කිව්වා. ඒ කටහඬ යටින් තියෙන අමනුස්සකම මගේ ඇස් ඉස්සරහ දිලිසෙන්න ගත්තත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ..

මට හර්ෂිත් එකක් විනාඩි පහක් කතා කරන්න දෙන්න.. ඔහේට පින්සිද්ධ වෙනවා..

පිරිමියෙක් වෙලත්, ආදරේ දැනෙන තේරෙන කොල්ලෙක් වෙලත් හර්ෂි වෙනුවෙන් මං ඒ නරුමයා ඉස්සරහ බැගෑපත් වුණා.. ඒත් ඒකට මට හම්බවුණේ අමන හිනාවක් විතරයි.

මං උඹව බල්ලෙක් වගේ මෙතනින් ඇඳලා දාන්න කලින්, කකුල් දෙකට හයිය අරන් දුවපන් බැල්ලිගෙ පුතෝ.. නැත්තං මං මේකිව උඹ ඉස්සරහම මරණවා..

ඇල්ෆ්‍රඩ්, හර්ෂීගෙ කොණ්ඩෙන් ඇඳලා අරන් ගේ ඇතුළට තල්ල කරලා දැම්මා.. ඒ තල්ලු කරපු පාරෙ සැර වැඩි කමට.. විසිවෙලා ගිහින් ඉස්සරහ දොරේ වැදිලා බිම වැටුණා.

දැක්කනේ.. හර්ෂියි, ඩිලානුයි ලබන සතියෙ බඳිනවා.. ඒක උඹට තියා සක්කරයටවත් වෙනස් කරන්න බෑ.. ඕනෙ නම් උඹට ඉන්විටේෂන් එවන්නම්..

හර්ෂීගේ අතින් ඇඳලා වගේ අරන්, ගේ ඇතුළට ගිහිල්ලා ඇල්ෆ්‍රඩ් දොර වහලා දැම්මා. වෙන දේ බලන් ඉන්න බැරි කමටද කොහෙද හර්ෂිගෙ මම්මා ඊට කලින් ගෙට ගිහින් තිබුණා. ඒත් හර්ෂිව මේ විදියට දාලා යන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. මගේ හිතට ධෛර්යය කියන දේ ටිකෙන් ටික එකතු වෙනවා මට දැනුනා. ඒ ධෛර්යයත් එක්කම මං ඉස්සරහට අඩියක් තිබ්බා.

උ.. උඹ ගෙට එන්නද හදන්නෙ.. උඹට මං මීට ඉස්සෙල්ලත් කිව්වා.. කිව්වම අහලා පලයන් බැල්ලිගෙ පුතෝ.. නැත්තං ආයෙ දෙකක් නෑ.. මං තොට මේකිගෙ මූණවත් බලන්න ඉඩ දෙන්නෑ.. මං මේකිව ඉවරයක් කරනවා..

බල්ලෙක් උඩු බුරනවා වගේ ඇල්ෆ්‍රඩ් කෑ ගහගෙන ගියා.

අ.. අනේ යන්න දේව් අයියෙ.. මෙතනින් යන්න.. දෙයියන්ගෙ නාමෙට මං කියන දේ අහලා මෙතනින් යන්න..

ඉස්සරහ ජනේලෙ ගාවට ඇවිල්ල  හර්ෂි කෑගැහුවා. තවත් මෙතෙන්ට වෙලා හිටියොත් හර්ෂීගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක් නෑ කියලා මගේ හිත මට කිව්වා. මගේ පිරිමිකම මූට පෙන්නන්න ඕන වෙලාව තාම ඇවිල්ල නෑ කියලත් මට හිතුණා.

ම.. මං යන්නම් හෂි.. යා හොඳින් ඉන්න බලන්න රත්තරං.. ඔ.. ඔයා බයවෙන්නෙපා නංගි.. මං ආයෙ එනවා..

එහෙම කියලා මං ආපිට හැරුණා.. ඇත්තටම මගේ ඇස් දෙකේ කඳුළු තිබ්බෙ නෑ.. ඒත් මගේ කටහඬ බිඳිලා ගිහින් තිබුණා.

පරිස්සමින් දේව් අයියෙ..

හීන් ඉකිබිඳුමකින් වගේ හර්ෂිගෙ කටහඬ වැහිපොද අතරින් දෝංකාර දුන්නත් මං හැරිලා බැලුවෙ නෑ.. ඒ හැරෙන වාරයක් වාරයක් පාසාම හර්ෂිට මහා දුකක් ඉතිරි වෙනවා කියලා මං දැනන් හිටියා. කල්පකාලයක් පෙරුම් පුරලා, ජීවිතේ ඉස්සෙල්ලාම වතාවට ආදරේකරන්න ගත්තු පව්කාරකමට. හර්ෂිගෙයි, මගෙයි මැද්දෙන් මහ විශාල පවුරක් වගේ ඉන්න ඇල්ෆ්‍රඩ් ගැන මගේ හිතේ තිබ්බෙ පුදුම වෛරයක්.. හැම දෙයක්ම උගේ පැත්තට වාසිවෙන විදියටයි වැඩ කටයුතු සිද්ධ වෙලා තිබුණෙ.. අහිංසකයොන්ට දුක් කරදර ළංවෙනකොට දෙවියො වුණත් ඇහැක් ඇරලා බලන්නෑ කියන එක මට හොඳට තේරෙන්න ගත්තා.. ඒත් හැම පැත්තෙන්ම අසරණ වුන මං වගේ එකෙකුට කරන්න තරම් දේකුත් තිබුණෙ නෑ. මුළු ජීවිතේම විඳවලා විඳවලා මැරෙන්න ඳගලනවට වැඩිය දෙයක් ඒ වෙලාවෙ මගේ හිතේ ඉතිරිවෙලා තිබ්බෙ නෑ..

ඒත් හර්ෂි ගැන ඉපදිච්ච ආදරේ නම් මහා පවුරක් වගේ මගේ හිතේ ඉතුරු වෙලා තිබුණා.

ඔයා මගේ නේද දේව් අයියෙ..?

ඇස් දෙක පුරාම කඳුළු පුරවගෙන ඉස්සරම දවසක හර්ෂි මගෙන් අහපු හැටි මට ආයෙත් මතක් වුණා.. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් මං දුන්නෙ නෑ.. උත්තරයක් නොදී මං හර්ෂීගෙන් ඇහුවෙ ප්‍රශ්නයක්..

ඇයි හෂි.. එහෙම ඇහුවෙ..?

මට අහිමි වෙන්න දෙයක් නෑ අයියෙ.. ඒකයි මං ඇහුවෙ.. මට හා හා පුරා කියලා හිමිවෙච්ච ඔයාවත් දවසක මට නැතිවෙලා ගියොත් මං එදාට ජීවත් වෙන්නෙ නෑ..

ඔ.. ඔයා මේ මොනවද හෂි කියන්නෙ.. ඔයාට මාව විශ්වාස නැද්ද..?

න්..නෑ දේව් අයියෙ.. මට ඔයාව විශ්වාසයි.. මං මටත් වැඩිය ඔයාව විශ්වාස කරනවා..

ඒ රත්තරං අතීතෙ ඇස් ඉස්සරහටම ඇවිත් මගේ හිත පාරන්න ගත්තා. දැන් ඉතිං කොහේ යන්නද කියන තීරණේ ගන්න බැරුව මං මග නතර වුණා. කාටවත් කියාගන්න බැරි තරමෙ දුක් කන්දරාවක් මගේ හිත පුරාම පිරිලා ගියා. මුළු මහත් වටපිටාවම මං වටේට කැරකෙන්න උත්සාහ ගන්නව වගේ හැඟීමක් මට දැනුණා. මගේ ශරීරය මට අවනත නෑ කියනෙකත් මට තේරුම් ගියා.  දෙයියනේ මේ මොනවද වෙන්න යන්නෙ.. තවත් නම් ඉස්සරහට ඇවිදන් යන්න බෑකියනෙක මට තේරුම් ගියා.. ඒ හින්දම පදික වේදිකාවට අල්ලලා තිබ්බ යකඩ වැටට මගේ මුළු බරම දීලා, ඒ යකඩ පටිය උඩින් මගේ ඔලුව තියාගත්තා.. මහ හුඟ වෙලාවක් ගෙවිලා ගියාව ගේ කියල දැනුනම මං ඔලුව ඉස්සුවා.. හීන් පොද වැස්ස ආයෙත් මහ වැස්සට හැරිලා තිබුණා.. ගිගිරුම් සද්දෙ දීලා හෙණ පුපුරන්න ගත්තා. ඒත් මට කිසිම හැඟීමක් තිබුණෙ නෑ.. මොර ගෙඩි වගේ ලොකු වැහි බිංඳු පොළවට වැටෙන හැටි මං ඔහේ තෙමි තෙමී බලාගෙන හිටියා.

දෙ.. දෙයියනේ ම.. මල්ලි..?

ඒ රත්තරං කටහඬ අදුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ..  කුඩු පට්ටම් වෙලා තිබ්බ, හිත මැද්දෑවට දැනුණ සිසිලස හන්දම පුංචි හිනාවක් එක්ක මං ආපහු හැරුණා.. තත්පරේට දෙකට මං ගාවට දුවල ආපු අයියා මාව බදාගත්තා. සහෝදරත්වයේ බැඳීම, මගේ හිත පුරාම තැවරෙද්දි අයියා ඉකි ගහන සද්දෙ මට ඇහුණා.

ම.. මගෙත් එක්ක ඉස්සර බොරුවට රණ්ඩු අල්ලපු මගේ පුංචි කොල්ලට මේ මොකද වෙලා තියෙන්නෙ..? මගෙත්තෙක්ක කතා කරපං.. රත්තරං මල්ලි.. මං ගෙදර ආපු ගමන් හෙව්වෙ උඹව.. මං ගෙදර වෙච්ච හැම දෙයක්ම දැනගත්තා.. ඊට පස්සෙයි මං ප්‍රශාන්ලහට ගියේ.. උඹ එහෙත් නෑ.. උන් ගිණි පත්තුවෙලා උඹව හැමතැනම හොයනවා..

වචන සැරින් සැරේ කඩ කඩා අයියා කියවන් ගියා.. මුළු ලෝකෙම විනාශ වෙලා ගියපු වෙලාවෙ අයියා මං ළඟට ආපු එක ගැන මට නම් හිතාගන්නවත් බැරි වුණා.

අයියා කොහොමද මාව හොයගත්තෙ..?

ඒ ගැන මං පස්සෙ කියන්නම්.. දැන් හොඳ කොල්ලා වගේ මං කියන දේ අහලා ගෙදර යමං.. උඹ යන්නැත්නම් මාත් කොහේ හරි යනවා මල්ලි.. උඹ නැතුව මුළු ගේම පාළුයි චූටි..

අයියා කියවන් ගියපු දේවලින් ආයෙමත් ගෙදර ගියා නම් හොඳයි කියනෙක මගේ ඔලුවට වැටුණා. මොකද හැම පැත්තෙන්ම පැරදිලා, අසරණවෙලා ඉන්නකොට මගේ කියලා කවුරු හරි ඉන්නව නම් ඒක කොයි තරම් ලොකු ශක්තියක්ද කියනෙක මං දැනන් හිටියා.

අම්මගෙ අතින් හිත රිදෙන දේවල් කියවුණා නම් ඒව අතෑරලා දාපන් මල්ලි.. උඹ කියන දේ අහන්නැති හන්දා අම්මා ඉන්න ඇත්තෙ කේන්තියෙන්.. මේ ගෙවිලා ගියපු හැමදේම අමතක කරලාදාලා අපි ඉස්සර වගේ හිනාවෙලා ඉමු..

ඒ අන්තිම තත්පරේදි අයියගෙ කටහඬ ආයෙත් බිඳිලා ගියා. පුංචි එකෙක් වගේ, වැස්සෙ තෙමි තෙමි මං දිහා බලන් ඉන්න අයියගෙ ප්‍රාර්ථනාවට එරෙහි වෙන්න මං කැමති වුණේ නෑ..

අපිට ඩිංගක් එහායින් නවත්තලා තිබ්බ ත්‍රීවිල් එක, මං දැක්කෙත් හුඟක් පහුවෙලා. අයියා මාව හොයන්න එන්නැත්තෙ මේකෙන් වෙන්නැති කියලා මට හිතුණා. ගෙදරට ආපු වෙලාවෙ ඉඳලා අයියා මං ගැන හොයලා තියෙනවා කියලා දැනගත්තම මට අමුතු සතුටක් දැනුණා. කොහොම හරි ගෙදරට ලංවෙනකනුත් අයියයි, මායි වැඩි කතාබහක් කරේ නෑ.. අපි දෙන්නම කල්පනා ලෝකවල හුඟාක් දුර ඇවිත් තිබුණා.

අ...නේ.. චූටි ඔයා කොහෙද ගියේ රත්තරං.. අපි ඔයාව හැමතැනම හෙව්වා දෙයියනේ..

මං ගෙදෙට්ට ගොඩවුණ ගමන්ම අක්කා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. අක්කගෙ මූණ කඳුළු වලින්ම පිරිලා ගිහින් තිබුණා. වැහි වතුරින් තෙතබරිත වෙලා තිබ්බ මගේ කමීසෙ අක්කගෙ කඳුළු වලින් තවත් තෙතබරිත වුණා.. සාලෙ කැබිනට් එකට උඩින් තිබ්බ බුදු පිළිමෙ දිහා බලන් ඉඳපු අම්මා, ඊළඟ මොහොතෙ මං දිහා බැලුවා. අම්මගෙ ඇස්වලින් කඳුළු උතුරලා යන හැටි මං හොඳටම දැක්කා. ඒත් ඒ ගැන මගේ හිතට පුංචි දුකක්වත් ආවෙ නෑ..

තෙමිච්ච ඇඳුම් හෙම මාරු කරල සරමකට බැස්සහම තමයි මගේ ඇඟට යාන්තන් ෆිට් එක්ක ආවෙ. කෝපි කෝප්ප දෙකකුත් අරන් අක්කයි, අම්මයි කාමරේට ආවෙත් ඒ වෙලාවෙදිමයි. ඒ එක්කම අයියයි, ප්‍රශානුයි කාමරේ ඇතුළට ආවා. අයිය නම් ටවල් එකෙන් තාමත් ඔලුව පිහදානවා. අම්මා කරේ ආපු වෙලාවෙ ඉඳලා මං දිහා බලන් ඉඳපු එක. ඒ මූණෙ තිබ්බෙ කේන්තියක් නෙමෙයි.. මොකක්දෝ නුපුරුදු දුකක අනුකම්පාවක.

මගෙ අම්මෙ..! ඇති යාංතං මූව අල්ලගත්තා.. මගේ දෙයියො.. කොහෙද බං ගියේ.. මටත් නොකියා.. ටිකෙන් මගෙ ප්‍රෙෂර් එක වැඩිවෙලා මං මැරෙනවා..

ප්‍රශාන් කියවගෙන කියවගෙන ගියා.. උගේ වචනවලට මට හිනාවකුත් ආවා. ඒත් සට දැනගන්න ඕන වෙලා තිබ්බෙ වෙනින් දෙයක්.. ඒ අයියා කොහොමද මාව හොයා ගත්තෙ කියලා. මං ඒ විත්තිය අහන්න කලින් අයියා කතාව පටන් ගත්තා.

මං ප්‍රශාන්ලහ ගියා උඹව හොයන්න.. එතකොටයි දැනගත්තෙ උඹ එහේ නෑ කියලා.. මට හිතුණා උඹ යන්නැත්තෙ හර්ෂිලහට තමයි කියලා.. ඒක හන්දා මං එහෙට ගියා.

අයියා හර්ෂිලහ ගියා..?

මගේ හිතට ආවෙ ලොකු පුදුමයක්.

ඔව්.. මං එහෙට ගියා.. මට මහ මොකක්දෝ අමුත්තක් දැනුණා, මොනව හරි දෙයක් සිද්ධ වෙලා කියලා. මං දොරට තට්ටු කරාම ටිකකින් කලු මහත මිනිහෙක් දොර ඇරියා.. මට තේරුණා මේ තමයි හර්ෂිගෙ බාප්පා කියලා..

අපි හැමෝම කතාවක් බහක් නැතුව අයියගෙ කතාව අහගෙන හිටිය. අම්මගෙ මූණෙ වුනත් තිබ්බෙ තේරුම් ගන්න අමාරු හැඟිම් ගොඩක්.

ඒත් මං ඊගාවට දැක්කා ගේ ඇතුළෙ බිම වාඩිවෙලා හර්ෂි හොඳටම අඬනවා.. මාව දැක්ක ගමන් එයා මං ගාවට දුවගෙන ආවා.. චානක අයියා.. දේව් වැස්සෙම අර පැත්තට ගියා.. බාප්පා එයාට බොරු වගයක් කිව්වා.. කියලා.. එයාට කියන්න හම්බවුණේ එච්චරයි.. අර කලු මිනිහා අත දිගෑරලා එයාගෙ කම්මුලට ගැහුවා...

ඇල්ෆ්‍රඩ්..! උඹ උඹේ ජීවිතය අවුරුදු ගාණකින් අඩු කරගන්නයි ලෑස්තිවෙන්නෙ.. උඹට තවත් උඩ පනින්න ඉඩ දෙන්නෑ.. මං හිතාගත්තා.. අයියගෙ වචනත් එක්ක මගෙ හිතට ආපු කේන්තියෙන් මාව වෙව්ලන්න ගත්තා.

ඒත් එක්කම ගේ ඇතුළෙ ඉඳන් දුවගෙන ආපු කවුදෝ ගෑණු කෙනෙක් ඔයා හදන්නෙ මේ කෙල්ලව මරන්නද ඇල්ෆ්‍රඩ් කියලා හර්ෂි නංගිව ගේ ඇතුළට අරගෙනගියා. මං තවත් එතැන ඉන්නෙකේ තෙරුමන් නැති හින්දා, හර්ෂි කියපු විදියටම ඔයාව හොයන් ආව මල්ලි..

මං ගාව ඉඳපු හතර දෙනාගෙම ඇස් තිබුණෙ මාව ඉලක්ක කරගෙන. ඒ හැම මූණකම මං දැක්කෙ මං ගැන ඉපදිච්ච විශාල අනුකම්පාවක්, දුකක්.. ආදරයක්.. ඒත් මං හිටපු මානසික තත්වෙ උඩඒ හැම දෙයක්ම මට වැඩක් නැතිවුණා. මගේ හිත මට නැතිවෙලා ගිහින්තිබුණා.

අ.. අනේ අයියෙ.. අර යකා හර්ෂිට ගහනවා ඇති.. අපි හර්ෂිව බලන්න යමු.. මට තවත් මෙහෙම විඳවන්න බෑ අයියෙ..

මගේ ඇස්වලට ආයෙත් කඳුළු උනාගෙන ආවා. මං ළඟට එන්නද, නොඑන්නද කියන දෙගිඩියාවෙන් අම්මා ඩිංගක් ඈතට වෙලා හිටියා. මං හිතු‍වෙ අම්මා දැන් මගේ ළඟට එයි.. දැන් මගේ ළඟට එයි කියලා..

මේ වෙලාවෙ අපි කලබල වෙලා බෑ මල්ලි.. අපි කල්පනාවෙන් මූණ දෙන්න ඕන හැමදේටම.. බැහැයි අද ඉඳලා මෙන්න මේ තත්පරේ ඉඳලා.. කවුරු මේ පැත්ත නොගත්තත් මං ගන්නෙ උඹේ පැත්ත..

එහෙම කියලා අයියා, අම්මා දිහා බැලුවා.. ඇත්තටම අයියා ඒක කිව්වෙ අම්මට වඳින්න කියනෙක මට තේරුණත් ඒකෙන් මගේ හිතට සතුටක් ආවෙ නෑ.. ඒ ආවෙ නැති සතුට මගේ හිත ඩිංගෙන් ඩිංග කාන්දු වෙන්න ගත්තෙ අම්මා මගේ ළඟට එනවා දැකලා.

චූටි..

මගේ ළඟටම ආපු අම්මා මාව තුරුල් කරගත්තා.. මගේ ඇස් වලට උනල තිබ්බ කඳුළු ආයතේ අලුත් වුණා.

ම.. මං උඹට හුඟක් දුක් දුන්නා රත්තරනේ.. මං උඹේ පුංචි හිත කැඬුවා.. හ්..හ්...

අම්මට ඒ ටික විතරයි කියාගන්න පුළුවන් වුණේ.. අම්මගෙ කටහඬ බිඳිලා ගියා. මුළු කාමරේම ඒ වෙලාවෙ තිබ්බෙ පුදුම නිශ්ශබ්දතාවයක්. ඒ නිශ්ශබ්දතාව මැද්දෙම මගේ ඔලුව අතගාලා අම්මා කාමරෙන් ගියා.

හප්පේහ්...! අද නම් අම්බානක බොන්න හිතෙනවා චානක අයියෙ.. දැන් ඔක්කොම හරිනේ.. අනේ අම්මප මට මූව කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම්, කොටි ප්‍රශ්නෙ විසඳන එක ඒතරම් දෙයක් නෙමේ..

හිනාවකින් මූණ පුරවගෙන ප්‍රශාන් කියද්දි අපි හැමෝටම හිනා ගියා. ඒත් මගේ හිනාවට යටින් පත්තු වුණේ ජීවිතයම පුච්චලා දාන ගින්දරක්.

මගේ අහිංසක කෙල්ල අන්ත අසරණ වෙලා ඉන්දෙද්දි මං කොහොමද හිනාවෙන්නෙ.. හර්ෂි මේ වෙලාවෙ මොන තරම් විඳවනවා ඇත්ද..?

මොකක්ද බං ආයෙත් මූණ හතරැස් කරගත්තෙ..? ඩිංගක් හිනාවෙලා ඉඳපංකො..

මට හරි බයක් දැනෙනවා ප්‍රශාන්.. හර්ෂි ගැන.. ඒත් ඒක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නෑ..

හර්ෂි ගැන බයවෙන්න දෙයක් නෑ දේව්.. ඒකි කවදාවත් වෙනස් වෙන්නෑ කියනෙක මම දන්නවා.. එදා කොලෙජ් ලේන් එකේ සින් එකත් මං ටිකක් හෙව්වා මචං.. ඒක තනිකරම බොරුවක්.. ඇල්ෆ්‍රඩ් කාරයගෙ ගේමක්..

ම.. මට තේරුණ්නෑ ප්‍රශාන්..

ඊයෙ මට ඩිලාන් හම්බවුණා.. උගෙන් තමයි මං සීන් එක අරහෙන් මෙහෙන් අහගත්තෙ.. උඹ කොලේජ් ලේන් එකට එනවා කියලා උං හර්ෂිව එතෙන්ට එක්කන් ඇවිත් තියෙන්නෙ.. ප්‍රශ්න ටික බේරගමු කියලා.. ඇල්ෆ්‍රඩ් දාපු යෝජනාවට හර්ෂි කැමති වෙලා..

ඉතිං බං.. උං කොහොමද දන්නෙ මං කොලෙජ් ලේන් එකට එනවා කියලා.. මාත් ගියේ අහම්බෙන්නෙ..

ඒක තමයි.. ඇල්ෆ්‍රඩ් කාරයා කැමරාවකුත් අරන් ගිහින් තියෙන්නෙ.. ඩිලාන්ට එකපාරම හර්ෂිව බදාගන්න කියලා ෆොටෝස් ටිකක් අරගන්න.. ඒත් ඊට කලින් උඹ එතෙන්ට ඔලුව දාපු නිසා ඇල්ෆ්‍රඩ්ගෙ හැමදේම අවුල් වුණා...

උඹ ඔය හොයාගත්තු  ටික නම් කියලවත් කරගන්න බැරි වැඩක් ප්‍රශාන්.. හර්ෂි ගැන තත්පරයක් හරි අහිතක් හිතනෙක පව් කියනෙක මං දැනන් හිටියා. එයා හුඟක් අහිංසකයි.. ඒ අහිංසකකම මං හිමිකර ගන්නවට ඇල්ෆ්‍රඩ් කැමති නෑ.. ඒ ඌ තිරිසනෙක් හින්දා.. ම.. මට හර්ෂි ගැන පුදුම තරම් දුකයි බං.. අ.. අනේ දෙයියනේ මගේ පුංචි කෙල්ල සංතෝසෙන් ඉන්න කියලවත් මට කියන්න පුළුවන් නම්..

අන්තිමට මගේ කටහඬ බිඳිලා ගියා. ආයෙත් මගේ ඇස්වලට කඳුළු පිරුණා.

අනේ චූටි.. අ.. අඩන්නෙපා මල්ලි.. ඔ.. ඔයාගෙ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි මල්ලි.. දැන් ඩිංගක් හිත සන්සුන් කරගන්න බලන්නකො.. අපි කවුරුවත් ඔයාව තනි කරන්නෙ නෑ..

මං කොහොමද එහෙම හිතන්නෙ අක්කෙ.. මගේ හිතේ පත්තුවෙන ගින්දර ඔයාලට පේන්නෙ නෑ.. දෙයියනේ මගේ ප්‍රශ්න වලට උත්තර නෑ.. මං අසරණයි අක්කෙ..

උඹ එහෙම හිතන්නෙපා දේව්.. උඹට අපි ඉන්නවා.. ඩිංගක් ඉවසපං.. අපි හෙටම ගිහින් මේක විසඳගමු..

උඹ කොහොම කිව්වත් මට අමුත්තක් දැනෙනවා.. හර්ෂි මට කතා කරනව වගේ තේරෙනවා..

පිස්සු නොකිය ඉඳපං දේව්.. හර්ෂිට අවුලක් නෑ.. මායි, චානක අයියයි උඹට පොරොන්දු වෙන්නම් හෙටම ගිහිල්ලා ඇල්ෆ්‍රඩ් හම්බවෙලා මේකෙ දෙකෙන් එකක් බේරගන්නවා කියලා..

මගේ අත අල්ලගෙන ප්‍රශාන් කිව්වා.

ඔව් චූටි.. මං උඹට පොරොන්දු වෙන්නම්.. උඹට දීපු පොරොන්දු මං කඩලා නැති හන්දා.. ඒවා ඉෂ්ඨ කරලතියෙන හන්දා මාව විශ්වාස කරපන්..

සැනසීමක බිංදු මාත්‍රයක් හිතට දැනෙද්දි අයියා කිව්වා.. ඒක හන්දා තවත් දුරට හර්ෂි ගැන කතා කරලා මේ හැමෝගෙම හිත් තලන එක හරි නෑ කියලා මට හිතුණා. ඒ හැමෝම කාමරෙන් පිටවුණාට පස්සෙ මගේ බිත්ති කබඩ් එකේ, ලාච්චුවෙ තිබ්බ හර්ෂිගෙ ෆොටෝ එක මං අතට ගත්තා. හීන් හිනාවක් දෙතොල හිර කරන් ඉන්න මගේ පුංචි කුමාරිව, නොරිදෙන්න මං ඉඹගත්තා. මං අද ඔයාව බලන්න ආපු එක වැරදිද රත්තරං.. මං කොහොමද වෙන කෙනෙක් ඔයාව බඳිනවා බලාගෙන ඉන්නෙ.. ඔයා අයිති වෙන්න ඕන මට හෂි..! මං ඔයාව මගෙන් උදුර ගන්න කාටවත් ඉඩ තියන්නෑ රත්තරං...


No comments:

Post a Comment