Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


අක්කගෙ මල් වගයකට ඕන කරන කම්බි වගයක් ටවුන් එකෙන් අරගෙන මං ගෙදර එන්න ආවා. ගත්තු කම්බි ටික වම් අතින් අරන්, ඉතුරු කාසි ටික මං ඩෙනිමෙ සාක්කුවට දාගත්තා විතරයි... අලුත්ම අලුත් ට්‍රේල් බයික් දෙකක් මං යන පාර හරස් කරලා නතර කරා.. බයික් දෙකේ හතර දෙනෙක් හිටියා. මං උං දිහා බැලුවා. ඒත් ඒ එකෙක්වත් මං අඳුනන්නෙ නෑ.. ඒක හන්දම මං උං හතර දෙනා මගෑරලා ඉස්සරහට ආවා.

අඩෝ...


මගේ පස්සෙන්ම ඒ සද්දෙ ඇහුණා. පුංචි කේන්තියක් හිතට එද්දිම මං ආපිට හැරුණා. උගෙන් එකේක මට ඔලුවෙන් කතා කරත්, මං ගියේ නෑ.. උඹලට ඕන නම් මං ගාවට වරෙල්ලා කියලා මං හිතාගත්තා. බලමුකො මොනවද වෙන්නෙ කියලා.. ගේම නම් ගේම.. මං අතාරින්නෑ.. මං උං ගාවට ගියේ නැති හන්දා එකෙක් බයික් එක රේස් කරන් ඇවිත් ආයෙත් මං ඉස්සරහ නැවැත්තුවා.

ලොක්කා..? උඹේ කැටයං වැඩියි හරි..! අපිට ඕවා දිරවන්නෑ..

මුං හතර දෙනා එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරි වෙලයි තිබුණෙ.. දිරවන්නැත්නම් බඩ සුද්ද වෙන්න අරිෂ්ඨයක් බීපල්ලා කියන්නත් හදලා මං සද්ද වහගත්තා. මගේ හිත මට කිව්වෙම මෙතනින් අයින් වෙයන් කියලා. මොකද උංගෙ මූඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නෑ. ඒක හන්දම උං හතර දෙනා දිහා හොඳට බලලා මං ආයෙත් යන්න හැරුණා.. ඒත්..?

ඕම, නැවතියන් ඩෝ.. අපිට තියෙනවා උඹත් එක්ක පුංචි ගණුදෙනුවක් බේරගන්න..

ඒ කතාවත් එක්කම ඩිංගෙන් ඩිංග රත්වෙලා තිබ්බ මගේ හිත පිපිරිලා ගියා. කෝමටත් මට ඉවසනවා කියන එක ඒ  තරම් හරියන දෙයක් නෙමේ.. ඒත් ඒක මුං දන්නෙ නෑනෙ.

තොපිත් එක්ක ගනුදෙනු කරන්න මං බිස්නස් කරේ නෑනෙ ඩෝ.. ගෑණු වගේ එහෙන් මෙහෙන් පඩ ෂෝ දාන්නැතුව කියන මගුලක් කෙලින් කියපං..

හැරෙන තැපෑලෙන් ආපු මගේ ටෝකට උං හතර දෙනා ගල් වෙලා ගියා. ඒත් ඊගාවට උං හතර දෙනා අතරෙ ඉඳපු උස මහත පොර බයික් එකෙන් බැස්සා.

ඉස්සෙල්ලා සද්ද අඩු කරගනිං.. අපේ ඩිලාන් බ්‍රදර්ට වැඩිය සද්ද බද්ද අල්ලන්නෑ හරි..

අර උස මහත පොර මං ඉස්සරහටම ඇවිත් කිව්වා. මට තවත් මළ පැන්නා. හිතේ තිබ්බ ඉවසීමෙ බැමි එකින් එක කැඩෙන හැටි මට තේරුණා.

මගේ සද්ද අඩු කරන්න, තාම මාව වදපු අම්මටවත් බැරිවුණා. එහෙම එකේ උඹලා කවුද ඩෝ මගේ වොලියුම් ටෙස්ට් කරන්න..

ආයෙත් මගේ ටෝකට උංගෙ මූණු කළුවෙලා ගියා.

රෙජී.. උඹ.. පටන්ගනිං..

ඩිලාන් බ්‍රදර් කියලා හඳුන්වපු පුද්ගලයා බයික් එක උඩ ඉඳන්ම මගේ ඉස්සරහ හිටපු එකාට කිව්වා. ෂුවර් එකටම ගේම තමයි.. කමක් නෑ.. හතරට එකයි අනුපාතෙ.. නැව් ගානට කෙළිනවා කියලා මං හිතාගත්තා.. වැඩිම උණොත් මං මාස දෙක තුනක් ඉස්පිරිතාලෙ ඉඳයි. එවරෙඩි බැටරියෙ පූසා වගේ මාත් එක හිතින්ම රෙඩි වුණා. ඒත් මං රෙඩි වුණාට උං රෙඩි වුණේ ගේමකට නෙමෙයි.

මං රෙජී..! අර ඉන්නෙ ඩිලාන් බ්‍රදර්..! අරුන් දෙන්නා නවීන්, සංජය.. උඹ අපිව දන්නෙ නැති හන්ද ඔන්න හඳුන්වලා දුන්නා හරි..! උඹව අඳුනගන්න දෙයක් අපිට නෑ.. උඹ දේව්.. එහෙමනේ..?

රෙජී කියලා කියපු එකා එහෙම කිව්වම මං ටිකක් හොල්මං වුණා. මුං මගේ නමත් දන්නවා.. මෙතන වෙන්න යන්නෙ අමුතුම සීන් එකක් වගේ..

උඹ ඉස්සෙල්ලා පණ්ඩිතයා වගේ කිව්වනේ කියන මගුලක් කෙලින් කියපං කියලා.. කොටින්ම මේකයි ආබාදෙ.. හර්ෂි ගැන උඹේ හිතේ ලාවට හරි අයිඩියාවක් තියෙනව නම් අන්න ඒ දේ පුළුවන් තරම් ඉක්මනට අයින් කර ගනිං.. මොකද හර්ෂි අයිති මූට..

රෙජී, ඩිලාන් බ්‍රදර්ව පෙන්නලා එහෙම කියද්දි මගේ හිත සීතල වෙලා ගියා.. හර්ෂි.. දෙයියනේ ඔයා කොහොමද මේකට සම්බන්ධ වුණේ.. උගේ කතාවෙන් මගේ හිතේ ෆිට් එක ඩිංගෙන් ඩිංග අඩුවෙලා යද්දි මං කතා කරා.

උඹ කවුද ඩෝ මට එහෙම කියන්න..? හර්ෂී ගැන උමලා කරදර වෙන්න ඕන නෑ.. ඒක මායි, හර්ෂියි බලාගන්නම්..

මං එහෙම කිව්වහම රෙජී හිනාවුණා.

උම ඇහුවනේ මං කවුද කියලා.. හරිෂිව, අපේ ඩිලාන් බ්‍රදර් බඳින දවසට මං තමයි ඩෝ බෙස්මන්ට ඉන්නෙ.. උඹට ඔය මං කියපු දේවල් තේරුම් ගන්න බැරි වුනා නම්, තේරුම් ගන්න තරම් මොළයක් නැත්නම්, උඹ ගිහින් හම්බවෙයන් ඇල්ප්‍රඩ් ධර්මවර්ධනව.. රයිට්..

ඒ නම ඇහුණ ගමන් මං ගැස්සිලා ගියා. ඇල්ප්‍රඩ් ධර්මවර්ධන කියලා කිව්වෙ හර්ෂිගෙ බාප්පට.. ඌ කොහොමද මේකට ජොයින්ට් වුණේ..?

අපිට ආයෙ උඹව හම්බවෙන්න තියන්නෙපා හරි..! හර්ෂි ගැන අයිඩියාව අදම ඔලුවෙන් අතෑරපු තරමට උඹටයි, උඹේ වරිගෙ ඈයොන්ටයි ඔක්කොටම හොඳයි.. තේරුණානේ..

මෙච්චර වෙලා වැඩිය මුකුත් කියන්නැතුව ඉඳපු ඩිලාන් බ්‍රදර් නමින් හැදින්වුණු එකා මට ඇඟිල්ල දික් කරලා කිව්වා.

උඹ තියා උඹේ තාත්තා ඇවිල්ලා කිව්වත් මට ඕන දේ මං කරනවා ඩෝ.. පුළුවන් දෙයක් කරපන්..

මං කෑගැහල වගේ කිව්වා. ඒත් ඌ ඒකට හිනාවුණා.

ඔය උඹට දෙන ෆස්ට් රිමයින්ඩර් එක.. අපි ආයෙ දෙවනි එක්ක දෙන්නෑ.. කෙලින්ම බ්ලාස්ට්..! පරිස්සම් වෙයන් ලොක්කා.. එහෙනම් ඕං අපි ගියා..

ට්‍රේල් බයික් දෙන පුළුවන් තරම් රේස් කරන් උං මං ගාවින් යන්න ගියා. මං ගාව ඒ වෙලාවෙ පුංචි පසුතැවීමක් ඉතුරු වෙලා තිබුණෙ. ඒ උං මෙච්චර දේවල් කියද්දි මට මුකුත් කියාගන්න බැරිවුණ එක. කෝම වුණත් අන්තිමට මගේ හිතේ මොකක්දෝ නොපහන් හැඟීමක් ඉතුරු වුණා. ඒක හර්ෂි ගැනද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් ඉතිං හර්ෂි මේ මුකුත් දන්නෑනෙ.. කවුද මේ ඩිලාන් බ්‍රදර් කියලා කියන්නෙ..? අන්තිමට මගේ හිතට ආපු ලොකුම ප්‍රශ්නෙ ඒකයි.

එදා හවස් වරුවෙ මං ප්‍රශාන්ලහ යන්න ලේස්ති වුණා. ගෙදරට වෙලා ඉන්න ගියහමත් පිස්සු හැදෙනවනේ. මූ ගෙදර ඉඳීවිද මංදා. මං කාමරේ ඉඳන් කොණ්ඩෙ පීරන ගමන් හිතුවා. අරකිත් එක්ක කොහේ හරි වල් ටුවර් එකක් ගිහින්ද දන්නෙත් නෑ.

කෝ.. අක්කි දේව් ඉන්නවද..?

හුටා... ප්‍රශාන්. මූ නම් මැරුවත් මැරෙන්නැති එකෙක්. මං ඌව හම්බෙන්න යන්න හැදුව විතරයි, මෙන්න මූ අපේ ගෙදර.. එකපාරටම කාමරේ කර්ටන් එක විසිවෙලා ගියා. නොදකින් මේ හාල්පාරුවට තියෙන කුලප්පුව.

අඩෝ.. මාර අවුලක් බං..! තව ඩිංගෙන් මට පිස්සු හැදෙනවා.. හොද වෙලාවට පිස්සු බලු බෙහෙත් විදලා හිටියෙ..

දොර ගාව ඉඳන් ඌ කියවන් යනවා. ඒ පාර මූ මොකක්ද පෙරළගෙන තියෙන බාල්දිය.. නැත්නම් මූ මට ගින්නක් වත් දෙනවද..? ඒත් උගේ මූණෙ හැටියට නම් බයිලයක් වෙන්න බෑ.

අවුලක් නම් ඔය දොර අඩවල් කරන් මේ ඇඳ උඩට වරෙන්.. අක්කට ඇහෙනවා.

දොරත් අඩවල් කරගෙනම ඌ ඇඳ ගාවට ආවා. ඒත් ඌ ඇඳේ වාඩි වුණේ නෑ. මගේ මේසෙ ගාව තිබ්බ දිග පුටුවට හේත්තු වුණා.

මගේ ඔලුව ඩබල් එකේ අවුට් දේව්.. ෂිහ්..

ඌ ඇඹරෙනවා.. ෂුවර්රෙකට දිරවන්න බැරි මොකාක් හරි කේස් එකක්.. ආයෙ හෝදන්න දෙයක් නෑ.

ඇයි නිශානි බූට් එකක් තිබ්බද..?

එහෙනම් කොයි තරම් සැනසීමක්ද බං.. මේ කේස් එක අදාල මට නෙමේ උඹටයි..

ඌ එහෙම කිව්වාම මගේ පපුව ගැහෙන වේගෙ වැඩිවුණා. මූ මොනවද මේ කියන්න හදන්නෙ.. මං කන් දෙක තවත් හොඳට දික් කරගත්තා. ඌ කියන ඒවා හොඳට අහගන්න.

ප්‍රශාන් කියන ඒව අහගන්න මං හොඳට කන් දෙක ඇර ගත්තට හිතපු තරම් ඉක්මණට ඌ කතාව පටන් ගත්තෙ නෑ. තවත් ඩිංගක් වෙලා ඉඳලා තමයි ප්‍රශාන් කතා කරේ.

උඹට මතකද දේව් මං උඹට දවසක් කිව්වා මට කොල්ලො ගැන්සියක් සෙට් වුණා කියලා..

ම්හු..

අනේ.. තොගෙ මෙමරිය..! ඇයි යකෝ, මං අර මාතර නැන්දලහ යනකොට ට්‍රේන් එකේදි හම්බවුණා කිව්වෙ.. උම මගෙන් ඇහුවෙ කෙල්ලො ගැන්සියක්ද කියලා..

හප්පේ.. මූ කිව්වා නේන්නම්.. එහෙම දෙයක්..! යකෝ බලන් ගියාම මූ පරණවිතාන මහත්තයටත් වැඩිය පරණ දේවල් දන්නවනේ.

ඉතිං..?

උඹ දන්නවද ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනව..?

මං ගැස්සුණා, හර්ෂනීගෙ බාප්පගෙ නම මූ දන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඊළඟ තත්පරේදි මගේ හිතට ආවා.

ඔව්.. ඔව්.. ඇල්ෆ්‍රඩ් කියන්නෙ හර්ෂිගෙ බාප්පා...

මං අර කලින් කිව්ව කොල්ලො ගැන්සියෙ ඉන්නවා මචං ඔය ඇල්ෆ්‍රඩ්ට දුරින් නෑ වෙන කොල්ලෙක්.. ඌයි, ඇල්ෆ්‍රඩුයි මාර ෆිට්.. ෆිට් කියන්නෙ මචං, පොල් මුඩ්ඩයි, පොල් ගෙඩියයි වගේ..

ඉතිං..?

ප්‍රශාන් දීපු එග්සාම්පල් එක සත විසිපහකටවත් ගණන් ගන්නැතුව මං ඇහුවා.

ඉතිං කියන්නෙ යකෝ.. ඔය මං කිව්ව එකා, හර්ෂිට විකාගෙන ට්‍රයි.. ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තියෙනවා..

විනාඩියක් දෙකක් යනකන් කියාගනන් වචන නැතුව වගේ මං ගොලුවුණා. ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නෙ..

ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තිබ්බට වැඩක් නෑ ප්‍රශාන්.. මට හර්ෂිව ෂුවර්..

මං එහෙම කිව්වම ප්‍රශාන් මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. ඌට පුදුම හිතෙන්නැති මං කිව්ව දේට.

උඹේ ෆිට් එක නම් නියමයි ලොක්කා..! උඹට හර්ෂිව ෂුවර් කියන්නෙ, මට උඹලගෙ ලව් එක ෂුවර්.. එළකිරි මචං.. ඕම යමං.. ඕම යමං..

ඒක නෙමේ බං.. අද මාර සීන් එකක් වුණානේ.. හැබැයි උං මට ගැහුවා නම් ගුටි කන්න හරි මාත් ගහනවා..

එහෙම කියලා, අද ඩිලාන් බ්‍රදර්ගෙ ගැන්සිය මට දාපු සෙල්ලම ගැන මං ප්‍රශාන්ට කිව්වා. උගේ ඇස් දෙක පොල් ගෙඩි සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. ඇත්තටම ඌ ගැස්සුණා.

මොකද බං..? උං වලිය දැම්මෙ මට.. බයවෙලා තියෙන්නෙ උමනේ..

මං හිනාවෙවී ඌට කිව්වා. ඒත් පුරුදු විදියට ප්‍රශාන් හිනාවුණේ නෑ.. ෂුවර් එකට මොකාක් හරි බාල්දියක්. ඒක බුදු ෂුවර්.. නැත්තං මූ කට බලිය වගේ කරගෙන බිං ඌරා වගේ මෙහෙම ඉන්නෑ..

උ.. උඹ දන්නවද දේව්.. ඔ.. ඔය ඩිලාන් බ්‍රදර් කියන්නෙ කවුද කියලා.. ඌ තමයි මං දැන් ඩිංගකට කලින් කිව්ව හර්ෂීගෙ බාප්පගෙ ෆ්‍රෙඩා..! උං නෑදෑයො.. මං උඹට කිව්ව අර කොල්ලො ගැන්සිය ලීඩ් කරන්නෙ මූ..

සුරංගනා කතාවක් අහන් ඉන්න පුංචි එකෙක් වගේ මං ප්‍රශාන් දිහා බලන් හිටියා. හිතපු නැති විදියට මේකෙ සිද්ධි එකකට එකක් පැටලෙනවා කියලා මට තේරුණා.

මං හෙට උන්ව හම්බවෙන්නම් දේව්..

කල්පනා කරලා ඉවර වෙලා ප්‍රශාන් කිව්වා. ඌ මොකක්ද කරන්න යන්නෙ..?

හම්බවෙලා..?

උඹ මගේ බොක්කෙ යාළුවා හින්දා, මං උන්ට කියනවා මේකට අත දාන්න එපා කියලා.. ඉවරනේ ලොක්කා ගේම..

එපා..

මං කියන දේ අදහගන්න බැරිව වගේ ඌ මං දිහා බැලුවා.

උඹ එහෙම කියන්න ගියොත් මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා ප්‍රශාන්.. ඒක හන්දා උඹ උං ළඟන් ඉඳපං.. තව මාස දෙක තුනක්වත්.. ඊට පස්සෙ කියන එක නොකියන එක තීරණය කරමු..

උඹ කියනව නම් එහෙම කරමු. අවුලක් නෑ.. ඒත් මම නම් හිතන්නෙ මේක මුලින්ම බේරගත්තොත් හොඳයි කියලා.. මොකද උංගෙ ගැන්සියෙ ඉන්නවා නාහෙට අහන්නැති එළු වස්සෙක්.. රජීව් කියලා..

ඒවා හරි ප්‍රශාන්.. උඹ මං ගැන බයවෙන්නෙපා.. ආ.. උඹෙත් තව දෙයක් අහන්න ඕන..! උඹ, උං එක්ක ඉන්නකොට ඩිලාන්ල හර්ෂි ගැන කතාවුණේ නැද්ද..?

වැඩිය නෑ බං.. මං මුලින් හිතුවෙ ඌ ජොලියට හර්ෂිට ට්‍රයි කරනව කියලා.. ඒත් මට තේරෙන විදියට ඌත් බොක්කෙන්ම යන්නෙ.. බැහැයි හර්ෂි ඌව ගණන් ගන්නෑ කියලා නම් මං දන්නවා.. ඒත් ඉතිං ඇල්ෆ්‍රඩ් කාරයා තමයි අවුල..

ඒ.. ඒකට කමක් නෑ ප්‍රශාන්.. අපි බලමුකො.. මොකද වෙන්නෙ කියලා. උඹ උං ගැන්සිය එක්ක ෆිට් වුණ එක නම් කියලවත් කරගන්න බැරි වැඩක් මචං..

ප්‍රශාන්ගෙ කරට අතක් දාන ගමන් මං කිව්වා.

ඒකට තමයි ඩෝ දෛවය කියන්නෙ.. භෞමික අඛණ්ඩතාවය කියන්නෙ.. සෛයිවරීභාවය කියන්නෙ.. තව ඒකට වචනයක් කියනවා මචං.. ගතානුගතිකත්වය කියලා..

ඌ කියෝගෙන යනවා. දැන් මූට පිස්සු තදවෙලා. තවත් මුගෙත් එක්ක හර්ෂි ගැන කතා කරලා වැඩක් නෑ. ඇයි ඉතිං ඌ කතා කරන්නෙ සෛයිවරීභාවයක් ගැනනේ.

මේ.. මං යනවා.. ඉතුරු ටික හෙටට මතුසම්බන්ධ කරමු.

එකපාරටම හදිස්සියෙන් වගේ ප්‍රශාන් කියවන් ගියා.

මොන මතු සම්බන්ධද බං.. ඔන්න ඔහේ ඉඳපං.. මොකෝ ඔච්චර තදියම..?

මං මෙහේ බොක ටයිඩ් වෙලා ඉන්නවා.. උඹ පිස්සු කෙලිනවා..

ඌ ඒ පාර බඩටත් අතක් තියාගෙන කියන්නෙ..

ඉතිං මෙහේ ටොයිලට් නැද්ද..?

පයිත්තියංද බං.. අපේ ගෙදර කක්කුස්සි වල පුරවන්නම ඕන.. එතකොට තමයි මට නින්ද යන්නෙ.. ඒනම් මං ගියා..

දඩබඩ ගාලා ඌ පැනලා දිව්වා. මූ නම් මොන නැකතක ඉපදිච්ච වහුකුනෙක්ද මංදා.

කෝ.. දෙන්නම එන්න තේ බොන්න..

ප්‍රශාන් ගිහින් විනාඩියක් ගියේ නෑ.. අක්කා කාමරේට කඩන් පාත් වුණා.

ඔහ්..! කෝ චූටි, ප්‍රශාන්..

නාගන්න ඕන කියලා ගෙදර දිව්වා.

ඌ ගියපු කුපාඩි ගමන ගැන අක්කට කියතැහැකිද..? ලැජ්ජ නැතුව.

හරි එක්කෙනෙක් තමයි.. කියලවත් ගියේ නෑ.. මං එයාටත් එක්ක තේ හැදුවා..

සිම්පල්නේ සිස්ටර්.. තේ දෙකක් බොන්න මේ දේව් ඉන්නෙ.. කෝ දෙන්න..
තේ නම් දෙකක් බොතෑකි.. ඒත් ඔයාට කියන්න දෙයක් තියෙනවා චූටි..

ඒ පාර මොකක්ද බං පාත්වෙන්න යන හෙනේ.. ඩිංගකට කළින් ප්‍රශාන් මගේ ඇඟේ ලේ පුච්චලා ගියා, හර්ෂි ගැන කියලා.. මෙයා මොනවද දන්නෑ කියන්න යන්නෙ..

ඔයා යන හැම ගමනක්ම අම්මා දන්නවා හොදේ.. ළඟදිම උත්තර දෙන්න වෙයි..

අක්කගෙ කතාවට මං හොල්මන් වෙලා ඉවවෙලා ආයෙම හොල්මං වුණා.

අම්මා දන්නවා..! හුටා.. ඒ කොහොමද අක්කෙ..?

මං දන්නෑ චූටි.. මගෙත් එක්ක ඉන්නකොට අම්මා කියන ඒවයි, මගෙන් අහන ඒ වලිනුයි මට ඒ විත්තිය තේරෙනවා.. ටිකක් පරිස්සමින් වැඩ කරන්න චූටි.. අම්මයි, තාත්තයි ඔයා ගැන, හුඟක් බලාපොරොත්තු තියන් ඉන්නෙ..

මං ඒක දන්නවා පොඩී..

මං අක්කට එහෙම කිව්වත් මගේ පපුව ස්පීඩ් කරල තිවුණා මටත් හොරෙන්ම.. ඒ කියන්නෙ  හර්ෂියි, මායි ගැන අම්මා දන්නවා කියලවත්ද..? ඒත් මං කොහොමද අක්කගෙන් ඒ ගැන අහන්නෙ..?


දවස් ගෙවිල ගියේ කිසිම සද්දයක් බද්දයක් නැතුව. පහුවෙච්චි දවස් ටිකේම මං කෙරුවෙ පැලෙනකන් නිදාගන්නෙක. ඒත් අද උදේ ඒ පැලෙනකන් නිදා ගැනිල්ල මට නවත්තන්න වුණා. හර්ෂි ඊයෙ හවස පුංචි ලියුම් කෑල්ලක් එවලා තිබ්බා එයාව හම්බෙන්න කියලා.. ඒ ලියුම් කෑල්ල දැකපු වෙලාවෙ ඉඳලා මට බුදු ෆිට්.. ඒත් ඒ බුදු ෆිට් එකට යටින් පුංචි බයකුත් තිබ්බා.. ඇයි හත්තිලව්වෙ, එයාව හම්බෙන්න කියලා තිබුණෙ එයාලගෙ ගෙදරදිනේ.. උදේ හත වෙනකොට මම්මයි, බාප්පයි ඉස්කෝලෙ යනවා කියලත් එයා ලියලා තිබුණා.

බස්සෙකේ ඇවිත් හතාමාර විතර වෙද්දි මං හර්ෂිලගෙ ගෙදර ගාවින් බැස්සා. පංඩිතයා වගේ ආවට හර්ෂීගෙ ගෙදර ලංවුණාම කකුල්දෙක කිසි අවුලක් නැතුව මැඩ්ලින් ගහන්න ගත්තා. වැරදිලාවත් බාප්පකාරයා ගෙදර හිටියොත් හෙම මට නොවරදවාම නිවන් සැප තමයි.. ඒ කොහොම වුණත් හර්ෂිගෙ ගෙදර ඉස්සරහ දොර හායි ගාලා අරලා දාලා තිබුණා. බාප්පයි, මම්මයි ගිහිල්ලද කියන ගැටලුව විතරයි මගේ ඔලු‍වෙ තිබ්බෙ.

මං මිදුල දිහා බැලුවා.. හොඳට අතුගාලා තිබ්බ මිදුලෙ මෝටර් බයික් එකක අලුත් ටයර් පාරවල් මං දැක්කා.. යකඩෝ.. ඒ කියන්නෙ පොර ගිහින්.. දැන් බයක් නෑ.. ඕන මගුලක් දෙකයි පණහයි කියලා මං සාලෙට එබුණා.

හා..න්..නේ.. ඔයා..? මං හිතුවෙ නෑ මේ තරම් උදෙන් එයි කියලා..

මාව දැකපු ගමන් සැටියෙ වාඩිවෙලා ඉඳපු හර්ෂීගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා ගියා. එයා දුවගෙන ඇවිත් වගේ මගේ අතේ එල්ලුනා.

කෝ... ඩබල ගියාද..?

සැටියෙන් වාඩිවෙන ගමන් මං හර්ෂීගෙන් ඇහුවා.

ම්.. දෙන්නම ගියා.. චුට්ටක් ඉන්න දේව් අයියා..

එහෙම කියලා හර්ෂි ඉස්සරහ දොර ගාවට ගිහින් ඒක වහල දැම්මා. පස්සෙ ආයෙමත් මං ගාවට ඇවිත් වාඩිවුණා. පිස්සු කොර වෙනවා. මුළු ගේම වහලා.. මායි, හර්ෂියි විතරයි ගේ ඇතුලෙ.. මං එයා දිහා බැලුවා.

අර උඩහ ගෙදර ඇන්ටි ආවොත් මං ඉඳලා ඉවරයි.. ඒකයි මං දොර වැහුවෙ අයියෙ..

ඉස්සරහ දොර වහපු එකට නිදහසට කාරණාවක් වගේ හර්ෂි කිව්වා.. ෂීකේ.. මං හිතන් හිටියෙ වෙන දෙයක්නේ.. මැදැයි..!

මං ආපු හින්දා ඔයා බයෙන් නේද ඉන්නෙ හර්ෂි..?

නෑ අයියෙ.. දොර ඇරලා තියෙද්දි ඒ ඇන්ටි ආවොත් හෙම එයා හැමදෙයක්ම බප්පගෙ කනේ තියාවි.. වැරදිලාවත් එයා ඇවිත් කතා කලොත් අපි සද්ද නැතුව ඉමු..

එහෙම කියලා එයා ලොකු හුස්මක් ගත්තා. හර්ෂීගෙ මූණෙන් ඇස්දෙක අහකට අරන් මං බිත්තිය දිහා බැලුවා. හර්ෂි හදාපු මල් බොකේස් වගයක් බිත්තියෙ හයි කරලා තිබුණා.

ෂහ්.. ෆැන්ටාස්ටික්.. ගෑණු ළමයා සිරාවටම මල් හදනවනේ..

මං එහෙම කිව්වම හර්ෂිට පුංචි හිනාවක් ගියා.

ඒ වුණාට ඉතිං මට හඳලා දීපු හාට් එක තරම් ලස්සන නෑ..

එයාගෙ පුංචි හිනාව තව ටිකක් ලොකු වුණා. ඒ හිනාවෙන්ම එයා මං වාඩිවෙලා ඉඳපු තැනට ඇවිත් සැටියෙ ඇන්ද උඩ වාඩිවුණා. ඒ රෝස පාට දිග ඇඟිලි මං මගේ අතින් අල්ල ගත්තා. පුදුම සීතලක් එයාගෙ අතේ තිබ්බෙ.

ඔයා අයිස්ලන්තෙද මංදා හිටියෙ.. මෙච්චර සීතල..?

මං කිව්ව දේට මුකුත්ම නොකියා ඒ ලස්සන ඇස්වලින් එයා මං දිහා බලන් හිටියා. කියාගන්න බැරි තරමෙ ආදරයක් හර්ෂි ගැන මගේ හිතේ ටිකෙන් ටික ඉදිවෙන්න ගත්තා.

හරි ලස්සනයි.

ක.. කවුද ම.. මමද..?

හර්ෂි පට් ගාලා ඇහුවා. පව් අප්පා.. ඒ මූණ පුදුම තරම් අහිංසකයි..

පිස්සුද මංදා.. මං කිව්වෙ බිත්තියෙ තියෙන මල් ගැන..

අනේ.. ඔයා නම් හරිම කට්ටයෙක් තමා අයියා..

ඇයි.. හෂි.. ඔයා හිතුවෙ මොකක්ද..?

න්.. නෑ.. මුකුත් නෑ...! මුකුත් නෑ..

හර්ෂි ආයෙම හිනාවෙවීම කිව්වා.

ඒක නෙමේ බබෝ.. කෝ ඔයාගෙ කාමරේ..?

මං එහෙම අහපුවාම හර්ෂි මගේ අතින් ආයෙත් අල්ල ගත්තා. සාලෙන් දකුණට වගේ වෙන්න තිබ්බ කාමරේකට එයා මාව එක්කගෙන ගියා. පුදුම තරම් පිළිවෙලකට තිබ්බ ඒ කාමරේ ලස්සන විස්තර කරන්න මට වචන නෑ.. හර්ෂීගෙ අතින්, අත මුදවාගෙන මං එයාගෙ ඇඳ උඩින් වාඩි වුණා.

හොඳද මගේ කාමරේ..?

මගේ මූණ ඉස්සරහටම නැමිලා හර්ෂි මගෙන් ඇහුවා. එයාගෙන් පිටවෙන හුස්ම පාරවල්, මගේ මූණ ඉස්සරහම තැවරුණා.

හරි හෙර තමයි.. අද මං එනව කියලා දන්න හින්දම මිදුල් අතුගාලා, ගේ අතුගාලා, ෂිට් නමලා, වැඩ ඔක්කොම කරලා නේද..?

මං එහෙම ඇහුවෙ විහිලුවට වගේ.. ඒත් හර්ෂිගෙ මූණට මහා දුක්ක එක්කහු වුණා.

අනේ නෑ දේව් අයියෙ.. මම ඕවා හැමදාම කරන දේවල්.. අදය කියලා මට ඒවා නොකර ඉන්න බෑනේ.. කෝ ඉතිං ඔයා තව අහපු නැති දේවලුත් තියෙනවා.. තුන් වේලටම උයන එක ගැන.. දර පලන එක ගැන.. වී වේලන එක ගැන.. වතුර අදින එක ගැන හෙම..

හිනා ඇබිත්තක් මූණට ගන්න ලොකු උත්සාහයක් ගන්න අතරෙම හර්ෂි මගෙන් එහෙම ඇහුවා. ඒ මූණෙ තිබ්බ අසරණකම දැකල මට මං ගැන තරහක් ආවා.. ෂික්..! මාත් මහ රට මී හරකෙක්. නැත්තං ඔහොම රටගොන් ප්‍රශ්න අහවියෑ.

හර්ෂි.. ඔයා දන්නෑනෙ වැඩක්.. ඔයාට මතකද අර අපේ ගේ ඉස්සරහ තිබ්බ පොල් ගහ..

හර්ෂිගෙ මූඩ් එක අප්සට් හන්ද මං වෙන බයිලයක් ඇදලා ගත්තා.

ඔ.. ඔව්..

අනේ බලන්නකො හර්ෂි.. ඒකෙ තිබ්බ කුරුම්බා වල්ලට වෙච්ච දේ.. ෂිහ්..!

මං මූණත් ටිකක් විතර අප්සට් කරන් කිව්වා.

ඇයි.. ඇයි දේව් අයියෙ.. කුරුම්බා ටික හොරු කැඩුවද..?

හු..හ්.. හූ.. පිස්සුද ළමයො.. ඒවා ටික පොල් වුණා..

හර්ෂිට, බකස් ගාලා හිනා ගියා. ඒ අහිංසක මූණට හිනාවක් ආවහම කොයි තරම් ලස්සනද..?

හාපෝ... හරි සද්දෙ.. ගෑණු ළමයි ඔහොම හයියෙන් හිනාවෙන්නෙ නෑ.. අනිත්තෙක ගෙදරට කවුරු හරි ආවම ඔහොමද සලකන්නෙ..?

මං කිව්ව දේට කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරිව වගේ හර්ෂි මං දිහා බැලුවා.

ම්.. මං කොහොමද සලකන්න ඕන..?

ම්.. ඔයා කැමති විදියකට..

මං එහෙම කිව්වම හර්ෂි මගේ මූණට නැමුණා.. ඊළඟ තත්පරේදි ඒ රතුපාට තොල්වල උණුසුම මගේ වම් කම්මුලට දැනුණා. ඊට පස්සෙ ආයෙමත් මගේ අතින් ඇදගෙන වගේ හර්ෂි කුස්සිය දිහාට ගියා.

මොනවද කරන්න හදන්නෙ හෂි..

ඔහොම ඉන්නකො ඩිංගක්..

හර්ෂි ලෑස්තිවෙන්නෙ මට තේ හදන්න.. මං කුස්සියෙ උලුවස්සට හේත්තු වුණා.

හර්ෂි..

ම්..

කවුද හර්ෂි ඩිලාන් කියන්නෙ..?

මෙච්ච වෙලා මගේ හිතේ කැකෑරි කැකෑරී තිබ්බ ප්‍රශ්නෙ එළියට ආවෙ ඒ වෙලාවෙයි. ඒ ප්‍රශ්නෙ අහන ගමන් මං හර්ෂිගෙ මූණ දිහා බලන් හිටියෙ එයාගෙ මූණ වෙනස් වෙයිද කියලා. මං හිතුවෙවත් නැති විදියට ඒ රෝස පාට මූණ අඳුරු වෙලා ගියා.

බාප්පා අදුණන ළමයෙක් අයියෙ.. ඇ.. ඇයි අයියා එහෙම ඇහුවෙ..?

මූණට ආපු හැගීම් හංග ගන්න කොයි තරම් හර්ෂී උත්සාහ ගත්තත් ඒ පුංචි මූණෙ තිබ්බ බය මං හොඳටම දැක්කා. ඩිලාන්ගෙ නම අහපු ගමන් ඔය තරම් බයක් මූණට එන්න තරම් හේතුවක් හර්ෂිට තිබුණද කියන ප්‍රශ්නෙ මගේ හිතේ කරකැවුණා. මගේ පුංචි කෙල්ලව මේ තරම් බය කරන්න උඹට පුළුවන් වුණේ කොහොමද ඩිලාන් බ්‍රදර්. ඒත් උඹ මගේ අහිංසකීට දරකරයක් කරන්න හිතන් ඉන්නවා නම් එතනම තමයි උඹේ අවසානෙ.. මං එක හිතින්ම හිතාගත්තා.

බයවෙලා තිබ්බ හර්ෂිගෙ මූණ මගේ අත් කෙදෙන්ම මං ඉන්න පැත්තට හරව ගත්තා.

ඇ.. ඇයි හර්ෂි.. මේ බයවෙලා වගේ..? බය වෙන්න තරම් දෙයක් මං ඔයාගෙන් ඇහුවද රන්..?

ඔයාට ඒ ගැන කියන්න මට තේරෙන්නෑ දේව් අයියෙ.. ඌ මෙහෙ ආවම මහා කැත විදියට මං දිහා බලන් ඉන්නෙ..

මහා සංකීර්ණ වෙච්ච හැඟීම් සමුදායක් ඒ සුදු මූණෙ දැවටිලා තිබුණා.

ඩිලාන් ඔයත්තෙක්ක යාලුවෙන්න එනවද නංගි..?

හැම දෙයක්ම එයාගෙ කටින්ම අහල දැනගන්නෙක හොඳයි කියලා මගේ හිතට හිතුණු හන්ද මං එහෙම ඇහුවා.

ඔව් දේව් අයියෙ..! මට පේන්න බෑ.. ඒත් බාප්පට නම් හරි ඉහළයි.. නෑදෑයොත් වෙනවනේ.. ඌ ආවහම මං කාමරෙන් එළියටවත් එන්නෑ..

හර්ෂි ඒක කියපු තාලෙට මටත් හිනාවක් ගියා.

මං ආවම නම් ගෑණු ළමයා සිං ගාලා එළියට ආවනේ..

ඔයා මගේනේ දේව් අයියෙ.. මං ඔයාට කලින් දවසකත් කිව්වනේ.. මගේ දෙයක් ඉස්සරහදි මොන දේ කරන්නවත් මං දෙපාරක් හිතන්නෑ කියලා..

එහෙම කියලා හර්ෂි මගේ ඇඟට තුරුළු වුණා. හදලා ඉවර වෙච්ච තේ කොප්පෙ මේසෙ උඩ දන්නෙම නැතුව ඇල්වෙලා ගිහිල්ලා තිබුණා. මගේ ළඟට තුරුළු වෙලා ඉඳපු හර්ෂිව තවත් මගේ ඇඟට තුරුල් කරන් මං එයාගෙ නළල ඉම්බා. පුංචි පූස් පැටියෙක් උණුහුමට ගුලි වෙනව වගේ තමයි එයා මගේ උණුහුමට තුරුල් වෙලා හිටියෙ. අඩන්නවගේ ඇස් දෙකත් හදාගෙන හර්ෂි මගේ මූණ දිහාට එයාගෙ රතු පාට දෙතොල් උල් කරා. මුළු ලෝකෙම නතර වෙලා වගේ දැනුණු තත්පර ගානකදි හර්ෂීගෙ දෙතොල්වල පහස මං විඳ ගත්තා. ඒ ලොව්තුරු පහස ඒ මොහොතේ මාත්, හර්ෂිත් හැරෙන්න වෙන කවරෙකුවත් දැනන් හිටියෙ නෑ කියලා මගේ හිත පංතෝසෙන් මට කිව්වා.

ම්හ්.. අ..අනේ අයියා.. දැන් ඇතිනේ.. තේ එකත් නිමෙනවා..

විනාඩි ගාණකට පස්සෙ මගෙන් නිදහස් වුණු හර්ෂි මහා නෝක්කාඩු විදියට මං දිහා බලන් කිව්වා.

මොන තේද හෂි..  තේ නම් හැමදාම බොතෑකි.. ඒ වගේද..?

මං කියන්න ගියපු එක නැවතුණේ හර්ෂි පැනල වගේ මගේ කට වහපු හින්දා..

ම්.. දේව් අයියා.. හොඳටම නරක් වෙලා.. මගේ මූණත් ඉඳිමිලාද කොහෙද..

මූණත් අත ගගා හර්ෂි කියනවා. මට පුංචි හිනාවකුත් ආවා. තවත් ඩිංග වෙලාවක් ගෙවිල යද්දි, ඩිලාන් මිනිහගෙ ගැන්සියත් එක්ක ඇවිත් මට ඇඩ්වයිස් දීපු එක මං හර්ෂිට කිව්වා. එයා ආයෙමත් බය වුණා.

අ.. අනේ දේව් අයියෙ.. උං ඔ.. ඔයාට කරදරයක් කරාවිද..? ම.. මට හරි බයයි අයියෙ.. ම.. මට හරි බයයි..

ඔය බලන්න.. ඔයා දැන්මම බයවෙලා.. ඕකනේ ඉතිං මුකුත් කරන්න හිතෙන්නැත්තෙ..

නෑ දේව් අයියෙ.. ඌට මං මෙහෙට ආපු ගමන්  බනින්නම්කො.. ඌ මොකටද ඔයාව හම්බෙන්න ගියේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙත්තෙක්කනේ..

හර්ෂිගෙ සුදු මූණ රතුවෙලා ගිහින් තිබුණා. ඒ කියන්නෙ හර්ෂිට මල පැනලා. මෙයාට තද වුණහම මොනව කරයිද දන්නෑ.. මතකනේ එදා බස්සෙකේදි ප්‍රශාන්ගෙ කුපාඩි වැටෙඩ්ට මී හරකෙකුට වගේ මට බැනන් ගියපු හැටි.

හප්පොච්චියේ.. ඌ මෙහේ ආවහ ඔයා බැනල, ගම කන්නෙපා දරුවො.. ඔයා මේකට පැටලෙන්න ඕනම නෑ.. මං බලා ගන්නම්.. ඩිලාන් ගැන.. ඔයා මේකට පැටලුනොත් දවසක් යන්න කලින් අපි දෙන්නගෙ එෆෙයාර් එක බාප්පා දැන ගනීවි..

සිරාවටම පණ්ඩිතයා වගේ මං කියවන් ගියා. යකෝ.. බලන් ගියාම මාත් මාර තද පොරක්නේ.. මීට කලින් ලව් කරලත් නෑ.. ලව් ගැන තියෙන පොත් කියවලත් නෑ.. එක්ස්පීරියන්ස්වත් නෑ.. ඒ වුණාට දෙන්නෙ පඬි ටෝක්ස්..

ඒක නමේ හෂි.. හදිස්සියකටවත් ඩිලාන් ඔයාව මැරි කරන්න ඕනය කියලා කිව්වොත්..?

මාත් අහන්නෙ බාලාංශ පන්ති ප්‍රශ්නද කොහෙද..? හර්ෂීගෙ මූණ අප්සට් වෙලා ගියා. ඒ ඇස්වල තියෙන වේදනාව මං දැක්කා.

බාප්පලා නම් කැමති වේවි අයියෙ.. ඒත් ඉතිං මාව කැමති කරව ගන්න නම් එයාලට මේ ආත්මෙදි හම්බවෙන්නෙ නෑ.. මාව විශ්වාස කරන්න අයියෙ.. මාව විශ්වාස කරන්න.. මං ගැන නිකන්වත් අහිතක් හිතන්නෙපා මගෙ අයියෙ.. මං හැමදාකම ඔයාගෙ.. ඒක වෙනස් වෙන්නෑ.. ඔයා අද ඉඹපු මේ මූණ ආයෙ කාටවත් ඉඳුල් කරන්න මං දෙන්නෑ අයියෙ.. සත්තයි..

මගේ ඇස් දිහා බලාගෙනම හර්ෂි කියවගෙන ගියා. මොකක්දෝ ලොකු බලාපොරොත්තුවකින් හිත උතුරලා යද්දි මං ආයෙත් එවාව මගේ ළඟට ළංකර ගත්තා.

හැමෝම මගේ හිත තලල දාද්දි ඔයා විතරයි මං ගාව හිටියෙ.. ඔයාගෙන් විතරයි මගේ හිත සතුටක් ලැබුවෙ.. ඔයා විතරයි අයියෙ මගේ දුක ඇහුවෙ.. ඔයා විතරයි මං අසරණ වුණ වෙලාවෙදි මගේ ළඟ හිටියෙ.. මගේ හිත ඇතුළෙ ඒ දේවල් හිරවෙලා තියෙනවා දේව් අයියෙ.. මං කවදාවත් ඒව අමතක කරන්නෑ.. මං හැමදාකම හිතන්නෙ ඔයා ගැන විතරයි..

මගේ පපුවට තුරුළු වෙලා හර්ෂි එහෙම කියද්දි මං එයාව තවත් මගේ පපුවට ගුලි කරගත්තා. දෙයියනේ..! ඔය තරම් අහිංසක වෙන්නෙපා හර්ෂි.. මට දරාගන්න අමාරුයි රත්තරං..


No comments:

Post a Comment