Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


දවස් පහ හයක්ම මුස්පේන්තු විදියට ගෙවිලා ගියා. කිසිම වගතුවක් තිබ්බෙ නෑ. පහුවෙච්ච දවස් ටිකේ කුණු වෙන්න බැනුම් අහල, මං හිටියෙ බැනුම් අජීර්ණ වෙනා.. ෂිහ්..! ලව් කරද්දි මේ තරම් බැනුම් අහන්න වෙනවද..?

මේ අවුරුද්දෙ ගෙදර ඉඳන් වැඩට යන්න අයියා තීරණය කරලා. ඒක මගේ හිතට ගෙනාවෙ සතුටක්. මොකද එදා සිද්ධීයෙන් පස්සෙ අම්මා මගෙත්තෙක්ක අවශය දේකට විතරයි කතා කරේ. අනිත්තෙක ඉතිං අක්කට හැමදේම කියන්නත් බෑනෙ.


“අපෝ චූටි.. තමුසෙ ඉඳලා ඉඳලා දාගන්නෙ මාර ලෙඩ තමයි.. බලනවා අම්මා මගෙත්තෙක්ක වැඩි කතාවක් නෑ.. මේක ඉක්මණට බේරලා දානවා චූටි..”

උදේ වැඩට යන්න ලෑස්තිවෙන ගමන් අයියා කිව්වා.

“ඔයත්තෙක්ක ඩිංගක් හරි කතා කරනවනේ.. මගෙත්තෙක්ක එහෙමවත් නෑනෙ ලොකූ.. ඔයා ඔය කියනවා වගේ ඉක්මනට ඉවර කරගන්න ක්‍රමයක් මටත් කියනවකො..”

“අනේ මංදා.. චූටි, තමුසෙගෙ මොලේ නම්.. ලව් කරනවා මහ ලොකුවට.. ඒ වුණාට මොලේ නෑ.. ඕකවත් තේරෙන්නෙ නැද්ද හලෝ.. ඉ්සසෙල්ලා හොයා ගන්නවා අම්මට කවුද කේලම කිව්වෙ කියලා.. ඊට පස්සෙ ඌට දෙකක් අනිමු.. ගේම ෆිනිෂ්..”

ටයි එක හද හදා අයියා කියවන් යනවා.. ඌ කියයි.. ඕවා හොයාගෙන යන්න ගියහමනේ පස්ස ඉරෙන්නෙ.. අයියකාරයා තවත් කියවනවා.. ඒත් ඒ මුකුත් මගේ මීටරේට වැටුනෙ නෑ.. ඌ කියන ඒවා කරන්න ගියොත් පොලීසි ගිහින් තමයි නතර වෙන්න වෙන්නෙ..

අයියා වැඩට ගියාඉන් පස්සෙ, අම්මත් ඩිංගක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මං ගෙදරින් පැනගත්තා. හරිෂිව අද හම්බෙන්න ප්‍රශාන්ට කියලයි මැසේජ් එකක් යවාගත්තෙ.. ඌ හරි මං ගාව ඉන්නෙක හොදයි.. නැත්නම් මං අමු පිස්සෙක් වෙනවා.

ලයිබ්රියට යන පාර ඉස්සරහ තිබ්බ අලියා ස්නැක් බාර් එකේ කොණේම මේසෙක මායි, හර්ෂියි වාඩිවුණා. හුඟ දවසකින් හම්බවුණ හින්ද අපිට කතාකර ගන්නත් හුඟක් දේවල් තිබුණා. ඒත් අපි දෙන්නා කරේ මූණට මූණ බලන් ඉඳපු එක.

හර්ෂිගෙ සුදු මූණ මං දිහාට හැරිලා තිබුණා. ඒ දිග ඇස්වලින් මගේ ආත්මය පුරාම ආදරේ තවරන්න වගේ එයා මං දිහා බලන් හිටියා. මං හෙමීට එක ඇහැක් වහලා දිව සයිඩ් එකෙන් පොඩ්ඩක් එළියට දැම්මා. හර්ෂිට එක පාරටම හිනා ගියා..

“චීයියා..! දේව් අයියා හරිම නරකයි..”

කටත් බෙරි කරන් හර්ෂි කියනවා.

“ඇයි..?”

“වටේ පිටේ මිනිස්සු ඉන්නවා.. දිවත් දික් කරලා ඒ මදිවට ඇසුත් ගහන්නෙ..?”

“ඇස් ගැහුවම කොහොමද හෂි නරක් වෙන්නෙ.. ම්.. නරක් වෙලා තියෙයි..”

“නරක් වෙලා තියේවි නේද මං වගේ කෙනෙක් ලැබුණොත්.. ඒකනේද ඔයා කියන්න ගියේ..”

හර්ෂි මං කියන්න ගියපු පේළියෙ අන්තිම සම්පූර්ණ කරලා දාලා මගෙන් ඇහුවා. දැන් ඒ මූණෙ අර හිනාව බිංදුවක්වත් නෑ.. මොකක්දෝ අමුතු දුකක් ඒ මූණෙ තැවරිලා.

“පි... පිස්සුද මංදා.. මං එහෙම එකක් නෙමේ කියන්න ගියේ..”

“බොරු කියන්නෙපා දේව් අයියෙ.. ඔයාගෙන් ඒක තමයි කියවෙන්න ගියේ.. ඔයාගෙ කටහඬින් ඒ දේ අහන්න මට බෑ.. හිතට දුකයි.. ඒකයි මමම එහෙම කිව්වෙ..”

ඇස් දෙක කොහේදෝ අතරමං කරන් හර්ෂි කිව්වා.

“ඔ.. ඔය බලන්න ඉතිං.. මගේ පුංචි වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න හදන්නෙපා හර්ෂි.. ඔයා දන්නවනේ.. මම ඔයාට කොයි තරම් ආදරේද කියලා..”

මං එහෙම කිව්වම ඒ පුංචි අත් දෙකෙන් මගේ දකුණත තද කරලා එයා අල්ල ගත්තා.

“ඒ ආදරේ හන්දා තමයි අයියෙ මං ජීවත් වෙලා ඉන්නෙ.. ඔයාගෙ ඔය රත්තරං ආදරේ මට නොලැබුණ දාකට මං මේ හැමදේම දාලා යනවා අයිය.. මගේ හැම දේකටම හිටියෙ ඔයා විතරයි.. මං ගාව ඉන්නත් ඕන ඔයා විතරයි.. ඉතිං එහෙම එකේ ඔයාගෙ ආදරෙයි, ඔයා හින්දයි තමයි, ජීවත් වෙන්න ඕන ශක්තිය, මගේ හිතට මං ගන්නෙ.. ඔයාට ඒක තේරෙනවා නේද අයියෙ.. ඔයාට ඒක තේරෙනවා නේද..? ඔයාගෙ පුංචි වචනෙක උනත් වෙනසක් මට දකින්න පුළුවන් ඒ නිසයි.. මාත් ඔයාට හුඟක් ආදරෙයි අයියෙ..”

ඇස් දෙකත් පුංචි කරගෙන හර්ෂි කියවගෙන ගියා. ඒ දේ මං දන්නවා හෂි.. මං ඔයාට කවදාවත් තනි වෙන්න දෙන්නෑ හෂි.. ඔයා මගෙයි හෂි.. ඔයා මගේම විතරයි.

බොන්න ගත්තු ක්‍රීම් සෝඩා එක තාම මේසෙ උඩ.. මං ඒකෙන් ඩිංගක් බීලා හර්ෂි දිහා බැලුවා.

“හෂි...”

“ම්..”

“දැන් ටික දවසකට කලින් අපේ ගෙදර මාර සීන් එකක් ගියානේ.. අපේ අම්මා මාව මරන් කෑවෙ නැති එක විතරයි.. මාර වලියක්..”

“ඇ.. ඇයි දේව් අයියෙ..?”

හර්ෂිගෙ මූණ බලන් ඉද්දිම කලු වෙන හැටි මං දැක්කා.

“ඔයා ගැන වැරදි මහ ගොඩක් කවුදෝ එකෙක් අපේ අම්මත් එක්ක කියලා.. මොන මී හරකෙක්ද මංදා.. අම්මා මට කඩන් පැන්නා.. එදා ඉඳලා අද වෙනකන් අම්මා මාත් එක්ක ෆුල් ඔරොප්පු..”

ඒත් මං කිව්ව දේවල් වලින් හර්ෂිගෙ මූණ ඒ තරම් අවුල් වුණේ නෑ.

“මොන විදියෙ වැරදිද අයියා..?”

ඒ මූණෙ කලින් තිබ්බ අප්සට් ගතිය මැකිලා ගිහින් තිබුණා.

“වැරදි මොනව වුණාම මොකද.. මට ඕන ඒක කියපු එකාව අල්ලගන්න..”

ආයෙමත් හර්ෂිගෙ මූණ බිමට හැරුණා. දුක පිරිලා තිබ්බ ඒ මූණෙ මං දැක්කෙ අමුතුම ලස්සනක්.

“ඔ.. ඔයාට ඇන්ටි හුඟක් බැන්නද අයියෙ..? අනේ..! අනේ දෙයියනේ මං වගේ පව්කාරියක්.. මං හින්දා ඔයාටත් නැති කරදර නේද දේව් අයියෙ..?”

“එහෙම හිතන්නෙපා හෂි.. ඔයාගෙ කරදරයක් කියන්නෙ ඒක මගෙත් කරදරයක්..”

“අනේ මට තේරෙන්නෑ අයියෙ.. මං හිතුවා ඔයා මගේ ජීවිතේට ළං වුණාම මගේ හැම දුක් කරදරයක්ම නැතිවෙයි කියලා.. ඒත් දෙයියනේ.. දැන් ඒකත් නැතිවෙන්නයි යන්නෙ.. අනේ මං මොනවද කරන්නෙ අයියා..?”

“මොනවද හෂි ඔයා මේ කියවන්නෙ..?”

“මං මම්ම ළඟට ආපු දවසෙ ඉඳලම බාප්පා මට හතුරුකම් කරා.. නිතරම මාව රිද්දුවා.. මගේ හිතට වඳ දුන්නා.. අ.. අනේ දෙයියනේ.. ම.. මං මේවා ඔයත්තෙක්ක කියලා ඔයාගෙත් ඔළුව අවුල් කරනවා දේව් අයියා..”

හර්ෂි කියන්න හදන්නෙ මොකක්ද කියලා මට තේරුණේ නෑ.. තේරුන් නැති වුණත් මං හැදුවෙ එයාගෙ හිත හදන්න..

“ඔයාව මට කරදරයක් කියලා ඔයා ඩිංගිත්තක්වත් හිතන්න එපා.. මාව විශ්වාස කරන්න නංගි.. ඔයාගෙ සංතෝසෙ ළඟදි වගේම ඔයාගෙ ඕනම දුකක් ළඟකදි මං ඉන්නවා.. ඔයාගෙ හිතේ තියෙන හැමදේම මට කියන්න නංගි.. එතකොට ඔයාගෙ හිතටත් සැහැල්ලුවක් දැනෙයි..”

“අනේ මං එහෙම හිතුවෙ නෑ අයියා.. මගේ හිතේ ඔයාට තියෙන්නෙ පුදුම ආදරයක්.. ඒක කවදාවත් නැතිවෙන්නෑ.. ඔයා මට දුන්නු රැකවරණෙයි, ආදරයයි මට කවදාවත් අමතක වෙන්නෑ අයියා..”

ඊට පස්සෙ තත්පර ගාණක නිහැඬියාවක් අපි දෙන්නා අතරෙ ගෙවිලා ගියා. බොහොම වැදගත් සිද්ධි වේනනෙ අපි නොදැනුවත්වම වගේ. ඒක මට තෙරුණේ ඊගාවට හර්ෂි කියපු කතාව ඇහුවයින් පස්සෙ. ඇත්තටම මගේ හිත සීතල වෙලා ගියා.

“ඔයා මගෙන් දවසක් ඇහුවා නේද ඩිලාන් කියලා කෙනෙක් ගැන..? බාප්පට ඕනෙ වෙලා ඩිලාන්ට මාව බන්දලා දෙන්න.. ඒත් මට ඌව පේන්න බෑ.. මම්මත් ඌට කැමති නෑ.. මට ඩිලාන්ව පෙන්නන්නම බැරි වෙලා ගියේ ඔයා ගැන බාප්පට කේලම කිව්වට පස්සෙ.. ඔයා දන්නවද, ඔයා දන්නවද දේව් අයියා ඔයාගෙ අම්මට මං ගැන වැරදි කියලා තියෙන්නෙ කවුද කියලා.. ඔයාට විශ්වාස කරන්නත් බැරිවෙයි.. ඒ තමයි අපෙ බාප්පා..”

හර්ෂි කිව්ව දේ මට අදහගන්නත් බැරි වුණා.. බලන් ගියාම ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන කියන්නෙ තදයෙක් නෙමේ බල්ලෙක්.. කොටින්ම බල්ලෙකුටත් අන්ත එකෙක්.. මූ කිසි බයක් නැතුව අපේ ගේ අස්සටම රිංගල කේලම කියන්න ආවනේ.. එහෙම මතක් වෙනකොට මගේ හිතේ කේන්තිය පිස්සු වැටුණා.

“අ.. අනේ දේව් අයියෙ.. ඔයාට කේන්ති ගිහිල්ලා..”

“නෑ.. හෂි.. අපේ අම්මා ඔයා ගැන හුඟක් වැරදියට හිතලා.. ඒකයි තියෙන ප්‍රශ්නෙ..”

“ඔයාලගෙ අම්මා වුණත් නොහිත ඉඳිවිද අයියෙ.. බාප්පම මං ගැන වැරදි ඔයාගෙ අම්මත්තෙක්ක ගිහින් කිව්වම.. වෙන කවුරුවත් නෙමේනේ.. මගේ බාරකාරයනේ.. ඉතින් ඇන්ටි විශ්වාස කරන්න ඇති.. ඇනිටිගෙ වැරැද්දක් නෑ අයියෙ..”

බලන් ගියාම හර්ෂිගෙ බාප්පා හීන් නුලෙන් ගේම දීලා.. හැමදේම නූලට හර් ගස්සලා ගින්න අවුලුවලා.. ඒත් මං ඒ ගැන වැඩිය කල්පනා කරේ නෑ.. මං හිතුවෙ වෙන දෙයක් ගැන.

“හෂි..? බාප්පා ඔයාට බල කරාද ඩිලාන්ව බඳින්න..?”

“නෑ අයියෙ.. මටත් තියෙන ප්‍රශ්නෙ ඒකයි.. මේ හැමදේම බාප්පා දන්නවා.. ඒත් ඒ දන්න විත්තිය මට අඟවන්නෙ නෑ..”

“මට තේරෙන විදියට නම් මෙතන ලොකු කුමන්ත්‍රණයක් යනවා නංගි.. අපි හිතනවට වැඩිය වෙනස් මොනවා හරි දෙයක් මෙතන වෙනවා..”

මං කිව්ව දේට හර්ෂි මුකුත් කිව්වෙ නෑ.. ලොකු කල්පනාවක එයාගෙ හිත නතර වෙලා කියලා මං ඒ මූණෙන් දැක්කා.

“ඒක නෙමේ හෂි.. ඔයාගෙ බාප්පා දන්නවද මං මේ ළඟදි ඔයාලහ ආපු විත්තිය..? අපේ අම්මා ඒක කියලා මට අම්බානෙක බැන්නනේ..”

 “වෙන්න බෑ අයියෙ.. අපේ බාප්පා දැනගන්න විදියක් නෑ.. ඔයා, කවුරුවත් නැති වෙලාවෙ අපේ ගෙදර ආව කියලා බාප්පා දන්නවා නම් මාව මරාවි..”

“එතකොට කවුද මං ඔයාලහ ආපු බව අම්මට කිව්වෙ..? අනේ මංදා නංගි... මගේ ඔලුවත් අවුල් වෙලා..”

මං ඩිංගක් වෙලා කල්පනා කරන්න ගත්තා.. කලබල වෙලා මේ අවුල ලිහන්න බෑ කියනෙක මට තේරුණා. අනිත්තෙක මං අප්සට් මූඩ් එකේ හිටියොත් හර්ෂිත් අප්සට් යනවා.

“ඔයා කොහොමද දන්නෙ, බාප්පා අපේ ගෙදර ආවා කියලා..?”

මගේ හිතට ඒ වෙලාවෙ ආපු හොඳම ප්‍රශ්නෙ මං හර්ෂිගෙන් ඇහුවා.

“මේ පහුවුණු දවසක මම්මයි, බාප්පයි කතාවෙනවා මං අහගෙන හිටියා අයියෙ.. මම්මා බැන්නත්තෙක්ක.. අපේ එකීගෙම නේද නම කැත වෙන්නෙ කියලා ඔයා කරපු වැඩෙන්.. එතකොට බාප්පා කිව්වා ඒකට කමක් නෑ මට ඕන මොනවා හරි කරල ඔය සම්බන්ධෙ නවත්තන්න කියලා..”

මගෙයි, හර්ෂිගෙයි එෆෙයාර් එක කඩන්න නම් උඹට සෑහෙන්න අමාරු වෙනවා ඇල්ෆ්‍රඩ්.. ඒක උඹ හිතන තරම් ලේසි නෑ..

“බාප්පා එහෙම කිව්වට, මම්ම මේ වෙලාවෙ ඉන්නෙ.. ඔයාගෙ පැත්තෙ හෂි.. ඒක හින්දා අපි පරිස්සමින් ඉඳිමු.. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..”

“ඔයාගෙ කතාව හරි දේව් අයියෙ.. අපි පරිස්සම් වෙලා ඉමු..”

තවත් ටික වෙලාවක් යද්දි හර්ෂි මගෙන් ඈත්වුණා. හර්ෂිත් එක්ක තවත් වෙලා ඉන්න ඕනකමක් තිබ්බත් මගේ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.. බැරිවෙලාවත් හර්ෂිගෙ බාප්පයි, අපේ අම්මයි ආව නම් හෙම, හැමදේම ඉවර වේවි. ඒ හන්දා හොඳට පරිස්සම් වෙන්න වෙනවා. මගේ හිත අනතුරු ඇඟෙව්වා.

“අඩෝ...”

කල්පනා ලෝකෙ ඈතට ගිහිල්ලා ඉඳපු මගේ හිත එකපාරටම ආපහු හැරුණා. ඇතත්ටම මං ගැස්සුණා.

“අඳුනන්න පුළුවන් නේද..?”

උං ගැන්සිය අඳුන ගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. ඒත් එතන අලුත් මුහුණු ගානක් තිබුණා. විශේෂත්වය වුණේ එතන ඩිලාන් හිටියෙ නෑ.. ඒ කියන්නෙ අද මුං ගැන්සිය ආවෙ වලියට වෙන්න ඕනෙ..

ඩිලාන්ගෙ ගැන්සිය හම්බවුණ මුල්ම දවසට වැඩිය අද මගේ හිතේ තිබ්බෙ පසුබැස්මක්. ඒකට හේතු ගොඩක් තිබුණා. අපේ අම්මගෙ බැනිල්ලයි, හර්ෂීගෙ බාප්පා ගෙනියන යටිකුට්ටු වැඩයි, හර්ෂිගෙ කරදර ගැනයි, මගේ හිත හුඟාක් හිතලා තිබුණා. කොහොම උනත් තත්පර ගානක් යද්දි මං අඳුනන්නෙ නැති එකෙක් මගේ ඉස්සරහට ආවා.

“ලොක්කා..? අද ඩිලාන් බ්‍රදර් මෙතන නෑ.. ඒ වුණත් අපි ගේම පටන් ගන්නවා..”

ඉස්සරහට ආපු එකා එහෙම කිව්වම මගේ අත් දෙක ඉබේටම මිට මෙලවුණා. උංගෙ කට්ටිය වැඩියි. කමක් නෑ.. ගැහුවොත් ගහනවා.. මමත් හිතාගත්තා.

“උඹට අපි ඉස්සෙල්ලා වෝනිං දීලා ඇති ඩිලාන් බ්‍රදර්ගෙ ඒවට අත දාන්න එපා කියලා. උඹට ඊට වැඩිය ලව් එක ලොකු වුණා නේද බැල්ලිගෙ පුතෝ..”

ඌ කියපු ඒ වචන සෙට් එකත් එක්ක ඩිංගෙන් ඩිංග මගේ හිත පුරවලා ආපු කේන්තියෙ කලු හෙවනැල්ල මාව වහගත්තා. ඇත්තටම ඒක මට ගෙනාවෙ කේන්තියක්.

“කෙල්ලෙකුට ඇරගන්න උඹලනේ බැල්ලිගෙ පුතාලා...”

මගේ රිප්ලයි එකට, මං ඉස්සරහ ඉඳපු දෙන්නගෙම මූණු කළුවෙලා ගියා.

“කට වහපං ගස් බල්ලා..! තොගේ කට අද අච්චාරු දානවා..”

එහෙම කියලා එකෙක් මගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇඳලා ගත්තා. මට මල උපරිමෙන් පනින්න තව ඩිංගයි තිබ්බෙ.. ඔන්න දැං ඒකත් පැන්නා..

“අතෑරපං ඩෝ ෂර්ට් එක..”

“නැත්තං..?”

එහෙම අහපු එකාගෙ මූණ පුරවලා මං පාරක් දුන්නා. ඌ කවදාවත් හිතන් නැතුව ඇති මට ඒ වගේ ගටක් තියෙනවා කියලා.. ඒ වැදිච්ච පාරට ඌ හොල්මං වුණා. උගේ අතින් මගේ කොලර් එකත් අතෑරුණා. ඊට පස්සෙ වෙච්ච දේ නම්, කටට වඩා අතපය වැඩ කරා, උංගෙයි, මගෙය් දොගොල්ලොගෙම.

උංගෙ ගැන්සියෙ හරියටම හත් දෙනෙක්  හිටියා. ඒත් කේන්තියෙන් වෙව්ලුම් කාල ඉඳපු මට උන් හත්දෙනා ඒ තරම් ගාණක් වුනේ නෑ. දඩබඩ ගාලා ගුටි පූජාවල්, මගේ මුළු ඇඟ හතර දිග් බාගෙම වදිද්දි උං හත් දෙනාට මං වැටෙනකම් ගැහුවා. සමහර ඈයොන්ගෙ මූණුවල් වලින් ලේත් එනවා මං දැක්කා. කරන්න දෙයක් නෑ.. උඹලයි ඉල්ලන් කෑවෙ.. ඒත් මගේ අවාසනාව කැරකැවුණෙ ඊට තත්පර ගාණකට පස්සෙ.. මගේ පිටිපස්සෙන් වැදුණ පාරකින් මම විසිවෙලා ගිහින් වැටුණා.

පස්සෙන් ඉඳන් වීරයා වෙච්ච එකා කවුද කියලා මං හැරිලා බැලුවා. එතන හිටියෙ ඩිලාන් බ්‍රදර්. ඌ ඇවිත්.. මං නැගිටින්න හැදුවත් මට නැගිටින්න පුළුවන්කමක් තිබුණෙ නෑ.. ඊට පස්සෙයි අනිත් ඈයො මාව වටකර ගත්තෙ.. අන්තිමට එතනින් එහාට වෙච්ච දෙයක් මගේ මතකයෙ තිබ්බෙ නෑ.

“මූ.. දැන් කාපු ඒවා මතක තියෙනවා නම් ආයෙ ජීවිතේටවත් ලව් එකක් ගැන හිතන්නෑ.. ඔය ඇති.. යමල්ලා..”

ඩිලාන්ගෙ වචන මට හීනෙන් වගේ ඇහුණා. මගේ හිතට දැනුණෙ පුදුම කේන්තියක්. ඒත් මට නැගිටින්න තරම් පණක් තිබ්බෙ නෑ.. උං ගැන්සිය ගියාට පස්සෙ මං යන්තං ඔලුව උස්ස ගත්තා. ඒත් ඔලුව උඩ ගල් ලෝඩ් එකක් තියලා වගේ හැම පැත්තටම ඇඳුම් කන්න ගත්තා. කොහොම හරි ගෙදරට ගියා නම්..? අමාරුවෙන් නැගිටින්න හදනකොටම වගේ කාගෙදෝ අතක් මගේ මූණ ඉස්සරහ මට පෙනුණා. ඒ අතේ උදව්වෙන් මං නැගිට්ටා.

“වෙච්ච හැමදේම මං බලාගෙනයි හිටියෙ දරුවො.. ඒත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ..”

වැඩිය කවුරුවත් ගැවසෙන්නැති මේ හරියෙ ඩිලාන්ට ඕන දේ කරගන්න, පුළුවන්වෙලාතිබ්බා. අදුනන්නෙ නැති වයසට ගිය මනුස්සයෙක්ගෙ පිහිටෙන් මං හිටගත්තා. ඒ මනුස්සයට පුංචි හිනාවක් දාලාවැනි වැනිම මං ආපහු ගෙදර එන්න හැරුණා.

දූවිලියි, කුණුයි ගෑවිලා තිබ්බ ෂර්ට් එකයි, කලිසමයි ඇඳගෙන මෙහෙම ගෙදර ගියොත් නම්, බර බරයක් ෂුවර්.. ඒක හන්දා මං කෙලින්ම ගියේ ප්‍රශාන්ලහ.. මංගුටි කන වෙලාවෙ දෙයියො මං දිහා නොබැලුවට දැන් නම් බලන්න ඉන්නවා වගේ.. වෙනද මේ වෙලාවට හොයාගන්නවත් බැරි ප්‍රශාන් අද ගෙදර ඉන්නවා..

“මේ මොකද බං මේ..?”

මාව දැක්ක ගමන් ඌ හොල්මන් වුණා.

“වෙච්ච දේ කියන්නම්කො.. කෝ උඹලගෙ අම්මා..?”

“උඹලහ ගියා බං.. මාත් දැන් එහේ යන්න කියලා හැදුවෙ..”

අමාරුවෙන් උණත් මං ප්‍රශාන්ට විස්තරේ කිව්වා. උගේ ඇස් දෙක ලොකු වෙලා, කට බාගෙට ඇරුණා. මගේ කට ඇතුළෙ තුවාල වෙලාද කොහෙද කතා කරන්නත් අමාරුයි.

“ඔය බැල්ලිගෙ පුතා මරලත් මදිනේ යකෝ.. ෂිහ්..!”

මගේ ස්ටෝරිය අහන් ඉඳලා ප්‍රශාන්ට මල පැන්නා. ඒත් ඉතිං දැන් මූට තද වුණා කියලා වැඩක් නෑනෙ.. උං මට අම්බානෙක නෙලුවනේ.

“මං තොට ඔය ටික කිව්වා.. සුද්ධ සිංහලෙන්ම.. කොහෙද, කෙරුමා වගේ උම තනියෙන්නෙ හැම මගුලෙම යන්නෙ..?”

“දැන් කෑගැහුවට වැඩක් නෑ බං.. ඒවා පස්සෙ බලාගමු.. හොඳ එකා වගේ මට ඇඳුමක් දීපන්.. දාගෙන ගෙදර යන්න.. නැත්තං ගෙදර ඈයො අහන දේවල් වලට උත්තර දෙන්න ඇඩ්වකේට් කෙනෙක් ගේන්න ඕන..”

“උ.. උඹ කොහොමද බං බස්සෙකේ ආවෙ..?”

මෙන්න මේ වෙලාවට තමයි මූට දෙකක් අනින්න හිතෙන්නෙ.. මං මෙහෙ කෙලවිලා ඉන්නවා මූ එනවා බස් එකේ ආපු හැටි අහන්න කතා කරන්න..

“මේ.. මගෙන් කුණුහබ්බ අහගන්නෙපා බං.. මං කොහොම හරි ආවා.. දෙනව නම් ඉක්මණට ඇඳුමක් දීපන්..”

මගේ ඇඳුම් ටික උගේ කාමරේතියලා මං ප්‍රශාන්ගෙ ටී ෂර්ට් එකකුයි, ඩෙනිමකුයි දාගත්තා.

“මාසෙකින් විතර දෙන්නම්..”

“පල..! පල..!! ගොරකයා.. මොනාද ඩෝ.. එකෙකුට රහිගහල එන්න  ඕන.. ෂිකේ.. උඹ මගේ යාලුවෙක් කියලත් කියන්න ලැජ්ජයි..”

“උඹ මෙතන ඉඳන් කියයි.. උන් කී දෙනෙක්ද බං.. අනිත්තෙක අර බූරුවා මට ගැහුවෙ පස්සෙන් ඇවිත්.. නැත්තං ගේම ඔයිට වඩා වෙනස් වෙනවා ලොක්කා.. බලමු.... බලමු...... එක හීනෙන්ම ඔක්කොම එළි වෙන්නෑනෙ.. මටත් වෙලාවක් එයි..”

එහෙම කියලා මං ප්‍රශාන්ලගෙ ගෙදරින් එළියට බැස්සා. මට අපේ ගෙදර මිදුලටඑන්න හම්බ වුණේ නෑ.. මිදුලෙ, මල් පැල වගයක් තියන් ඉඳපු අක්කා දඩබඩ ගාලා මං ළඟට ආවා.. ඒ පාර මොකද..?

“මොකෝ මේ ප්‍රශාන්ගෙ ඇඳුම් ඇඳගෙන..?”

මං දිහා හොඳට බල බල අක්කා ඇහුවා. ප්‍රශාන්ගෙ ඇඳුමුත් ඉතිං හැම තැනම නෝට්.. ඇයි පටට් ගහනවනේ.. ඒත් අක්කා අරහෙම මගෙන් ඇහුවෙ ගුටිකාපු  එක නෝන්ඩි වෙලාද මංදා.

බලන් ගියාම මගෙත් මොලේ පයිත්තියන්නේ.. අක්කට කොහොමද නෝන්ඩි වෙන්නෙ.. එයා මං ගුටිකාපු තැන හිටියද..? එහෙම හිතුනහම මගේ හිතට යාන්තන් ෆිට් එක්ක ආවා.

“මායි, ප්‍රශානුයි හැංගි මුත්තං සෙල්ලම් කරා.. උගේ ඇඳුම් මං ඇඳ ගත්තෙ නැත්නම් ඌ මාව අඳුනගන්නවනේ අක්කෙ..”

මගේ අඤ්ඤකොරොස් කතාවට අපේ අක්කගෙ කට බාගෙට ඇරුණා. මං කිව්වෙ මොකක්ද කියලා එයා දවස් දෙක තුනක් යනකන්වත් කල්පනා කාරාවි. ඒක මට බුදු ෂුවර්.. කට බලිය වගේ කරන් අක්කා ඉන්දෙද්දි මං ගෙට පැන ගත්තා.

ෂිකේ.. බලන් ගියාම, මාර කෑමක්නේ මං අද කෑවෙ.. කමක් නෑ.. පුරුදු වෙන්න ගුටි කෑවද..? නෑනෙ.. ඒත් ඉතිං හැම එකාගනේම, එන කරදර ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු තරහක්.. අරහෙන් හර්ෂිගෙ බාප්පා.. මෙහෙන් අපේ අම්මා.. ඒ මැද්දෙන් ඩිලාන්ගෙ ගැන්සිය. තවත් මෙහෙම බලන් හිටියොත් නම් අම්බානක කන්න වෙනවා.. මොනව හරි කරපනං.. මගේ හිත මට කිව්වා.

හවස් වෙද්දි අයියා ගෙදර ආවා.. අයියා එනකොට අම්මයි, අක්කයි සාලෙට වෙලා ටී.වී බල බල හිටියෙ.. මං කාමරේට වෙලා ඇලට් එකක් දාගෙන හිටියෙ.. අයියගෙ කටහඬ ඇහුණහම මං සාලෙට ආවා.

“අද ලොකූ කලින්ම ඇවිත්..”

අයියා දිහා බලලා මං කිව්වා.

“ඇයි කලින් ආවහම අවුලක්ද චූටි..?”

අයියා එහෙම ඇහුවෙ සැටියෙ වාඩිවෙන ගමන්.. ඒත් අයියගෙ කතාවට උත්තරේ හම්බවුණේ අම්මගෙන්..

“ඔයවෙන අය වගේ ලොකූ රස්තියාදුවෙ යන්නෑනෙ.. ඒකනේ ලොකූ කලින්ම ගෙදර එන්නෙ..”

අම්මගෙ කතාවට මං හොල්මන් වෙලා ගියා.. ඈ යකෝ..? ඒ හින්ට් එක අම්මා මටද ගැහුවෙ.. ඒත් ඉතිං කාගෙන් කියලා අහන්නද..? අහක පාවෙන තොප්පි මට අරන් දාගන්න බෑනෙ.. ඕන තරම් දේවල් කියපුවාවේ.. මොකද මගේ පස්ස පැලෙනවද..? අර කතාවක් තියෙන්නෙ, පැමිණි දුක් පැණි රසයි කියලා.. අනේ රෙද්ද..! එහෙම පැණි රහ වෙනවා නම් මං හැමදාම එක එකාගෙ දුක් අල්ලලා බදාගන්නවනේ.. හර්ෂිටත් එන්න කියනවා.. මොකද පැණි රහකන්න එයත් හරි කැමතියිනේ.. අනේ අම්මපා, මගේ ඔලුවෙ බුෂ් ගිහිල්ලද කොහෙද.. නැත්නම් මෙච්චර කෙලවිලා ඉන්දෙද්දි මේ වගේ පිස්සු හිතාවිද..?

රෑ වුණායින් පස්සෙ මං අයියට කිව්වා, මං නැව් ගාණට කාපු එක ගැන. ඇඟත් රිදෙනවා.. උණ ගන්නද මංදා.. අයියගෙ කටත් බාගෙට ඇරුණා.. ෂිහ්.. යමක් කියද්දි මිනිස්සුන්ගෙ කටවල් බාගෙට ඇරෙන්නෙ ඇයිද මංදා.. මං හිතන්නෙ මොකක් හරි සම්බන්ධයක් ඇති.

“එතකොට උ.. උං තමුසෙට ගැහුවා..?”

අයියා මගෙන් අහලා තොල් පෙති දෙක තදකර ගත්තා. ඒ කියන්නෙ පොරට තද වුණා කියනෙක.

“ඔ.. ඔව් උං මට ගැහුවා..”

“තමුසෙ බලන් හිටියා..?”

“නෑ.. මාත් කෙලියා.. ඒත වැඩක් වුණේ නෑ.. මං කෑවා..”

“ෂිහ්..! කියන කැත විතරක්.. ඇත්තටම මොනවද චූටි.. ඔයා මේ දාගන්න ලෙඩ.. බලනවා අම්මට හෙම ආරංචි වුණොත් නම්.. මේ වෙලා තියෙන දේවල් මදිවට.. ඔයා පැටලෙන්නෙත් මහ කැත කේස් වලටනේ..”

ඒපාර අයියා කාරයා ධර්මදේශනා කරන්න ගත්තා. තව ටිකක් අහන් හිටියොත් මං මෙතනම රහත් වෙනවා. මටත් ඉතින් කිනං තියෙන කට තියා ගන්න බෑනේ.. මේ යකා අම්මට කියයිද දන්නෙත් නෑ.. හපොයි මාත් දාගන්න ලෙඩ..

“මේ... මේ..... ලොකූ.. ඔයා අම්මට කියන්න එපා හොඳේ.. ඔයා කැමතිද මං කැත විදියට බැණුම් අහනවට..? නෑනෙ..”

“ඕන දෙයක් කරගන්නවා.. මට කමක් නෑ.. ඒත් කොල්ලන්ගෙන් ගුටි කන්නෙපා.. මොකද ආයෙ ඔය වගේ දේකට ඔයා පැටලුනොත් මාත් පැටලෙනවා.. මොකද පිනා වගේ තමුසෙ ගුටිකනවා මට බලන් ඉන්න බෑනෙ..”

ෂිහ්..! අයියකාරයා ඒක කියපු කැ.. අර පිනා වගේ කියන වචනෙ කිව්වෙ මොන තරම් අශික්කිත විදියටද..?

“ඒක නෙමේ ලොකූ.. තාත්තා ආවම අම්මා අර කලින් වෙච්ච දේවල් කියාවිද..?”

ඉවසන් ඉන්න බැරි තැන මං කතාවෙ පීල්ල මාරු කරා. ඒත් මං හිතුව තරම් ඉක්මණට අයියා කතා කරේ නෑ.

“හර්ෂි නංගි ගැන කියාවි කියලා මං හිතන්නෑ චූටි.. ඒත් වැරදිලාවත් අම්මා එයා ගැන තාත්තට කිව්වොත් තාත්තා අහන දේවල් වලට උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න.. මට නම් තේරෙන්නෑ ඔයා මොනවද මේ කරගන්න හදන්නෙ කියලා..”

අයියා කෙලින්ම මං දිහා බැලුවා.

“හං මොනවද කරගන්න හදන්නෙ කියලා මටවත් තේරෙන්නෙ නෑ ලොකූ.. ඒත් මං එකක් දන්නවා.. ඒ හර්ෂියි, මායි කවදාවත් පාරාද වෙන්නෑ කියන එක.. වැරදිලාවත් පරාද වුණොත් ඒ එයයි, මමයි දෙන්නම.. එහෙම නැතුව අපි තනියෙන් පරාද වෙන්නෑ..”

අයියගෙ මූණ බලන් ඉඳ්දිම වෙනස් වෙලා ගියා..

“ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා චූටි.. ඒත් දැන් ඔයා ඉන්න මානසික තත්වෙ උඩ, ඔයා මගේ ඇඩ්වයිස් මේ කණෙන් අහලා අර කණෙන් එළියට දානවා කියලා මං දන්නවා. ඒ කොහොම වුණත් ඔයාගෙ හැමදේකදිම මං ඔයාගෙ පැත්තෙ ඉන්නවා කියලා මතක තියාගෙන වැඩ කරන්න.. හැමදේම හොඳට ඉවර වේවි.”

අයියා එහෙම කිව්වම මගේ හිතට ආවෙ මාර ෆිට් එකක්.. ඔන්න ඔහොම වෙනවා නම් මොනවද ලොක්කා කරන්න බැරි.. පණ වුණත් දෙන්නම්කො.


හර්ෂි ගැන, හර්ෂීගෙ බාප්පා ඇවිත් අම්මත්තෙක්ක කිව්ව  වැරදි දේවල් හරි ගස්වන්න ක්‍රමයක් මට තිබුනෙ නෑ.. ඇත්තටම සාකච්ඡා කරලා ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් තරමෙ හොඳ වාතාවරණයක්, ගෙදර පරිසරයෙ තිබ්බෙත් නෑ.. අම්මලා නිතරම හිටියෙ මගෙත්තෙක්ක කොක්ක ඇඳගන්න බලාගෙන.. හරියට මං මහ ලොකු වැරැද්දක් කරා වගේ. කෙල්ලෙකුට ආදරේ කරපු එ, මහ විශාල වැරැද්දක් විදියට අම්මට පෙනිල තිබුණා. ඒත් මීට හුඟක් කලින් මේ සබ්ජෙක්ට් එක ගැන අම්මා කොයි තරම් සාධාරණව හිතුවද කියන එක මං දැනන් හිටියා. අහසින් කඩන් පාත්වුණා වගේ අපේ ගෙදර සුන්දර පරිසරය ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනගෙ බැල්ම වැටුණහම හැමදේම වෙනස්වෙලා ගියා. ඇල්ෆ්‍රඩ් ගැන මතක් වෙනකොටත් මගේ හිත කේන්තියෙන් පුපුරන්න ගන්නවා. අම්මා වුණත් මගෙත්තෙක්ක, දවසකට වචන දහ පහළොවකට වැඩිය කතා කරේ නෑ.. නිහඬවම ඉඳලා, මගේ හිත කෑලි කෑලි වලට කඩලා රිදෙව්වා.

“අම්මා..! චූටිව කොතලාවල ඇකඩමි එකට යැව්වා නම් හොඳයි නේද..? ගෙදරට වෙලා නිකන් ඉන්නකොට එයා නාස්ති වෙනවා..”

තවත් දවසක හැන්දෑවෙ අයියා, අම්මනේ අහනවා මට ඇහුණා. ඒ ප්‍රශ්නෙ අයියගෙ හිතේ කාලෙක ඉඳන් තිබ්බ එකක් විත්තිය මට තේරුණා. ඉස්සරහ කාමරේට වෙලා ඉඳගෙන අම්මා දෙන උත්තරේ මොකක්ද කියලා මං අහගෙන හිටියා.

“එපා ලොකූ ඕන නෑ..! ගෙදරට වෙලා හිටියා කියලා එයා නාස්ති වෙන්නෙ නෑ.. මං කලිනුත් කිව්වනේ..චූටිව ෆෝසස් වල මොනාටවත් යවන්නෑ කියලා.. එයා ගෙදර ඉඳපුවාවේ..”

අම්මා එහෙම කිව්වහම මට පුදුමත් හිතුණා. මං හිතන් හිටියෙ මං ගැන හිතන එක අම්මා අතෑරලා කියලා.

“මේක අහන්න අම්මා.. අම්මා අකමැති නම් චූටි ගෙදර ඉඳපුවාවෙ.. ඒත් මට තවත් කාරණයක් තියෙනවා අම්මගෙන් අහන්න.. මං මේකට හුඟ දවසක් බලන් හිටියා..”

අයියා එහෙම කිව්වම සාලෙට දුවල පලයන් කියලා මගේ හිත මට කිව්වත් මං එතනින් හෙල්ලුනේ නෑ.. අයියා අහනන් යන්නෙ හර්ෂි ගැනවත්ද කියලා මට නිකමට හිතුණා. මගේ පපුව ගැහෙන ස්පීඩ් එක ඩිංගෙන් ඩිංග වැඩිවෙන්න ගත්තෙ මටත් හොරාම.

කාමරේ කර්ට්න් එක ළඟට මං තවත් ඩිංගක් ළංවුණා.

“අම්මා චූටි ගැන මොනවා හිතන් ඉන්නවද කියලා මං දන්නෙ නෑ අම්මා.. ඒත් මගේ හිත කියන්නෙ, අපේ චූටි වැරදි නෑ කියලා අම්මා..”

අයියා ඒක කිව්වෙ ලොකු දුකකින් වගේ.. ඒ දුක එයා කතා කරපු හැම වචනයකම රැදිලා තිබුණා.

“මගෙත් එක්ක ඔය ගැන කතා කරන්නෙපා චානක.. චූටි හින්දා මගේ හිත හොඳටම පෑරිලයි තියෙන්නෙ.. මං චූටි ගැන කොයි තරම් බලාපොරොත්තු තියන්ද හිටියෙ..?”

මගේ හිත ගැස්සිලා ගියා. මට මතක තියෙන කාලෙකින් අයියා අම්මට නම කියලා කතා කරලා තිබුණෙ නෑ..

“මං.. මං කියන දේ චුට්ටක් අහන්න අම්මා.. ම.. මල්ලිත් හුඟක් හිතේ අමාරුවෙන් ඉන්නෙ.. මේ කොහේවත් යන ප්‍රශ්නයක් බදාගෙන ඇයි අපි දෙපැත්තට වෙලා ඉන්නෙ.. ඉස්සර වගේ අපි සංතෝසෙන් ඉඳිමු අම්මා..”

පුංචි එකෙක් වගේ අයියා අම්මට එහෙම කියද්දි තවත් දුරට හැඟීම් හංගගෙන කාමරේට වෙලා ඉන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ.. කර්ට්න් එක ඈත් කරගෙන මං සාලෙට ආවා. මාව දැක්ක ගමන් අම්මගෙ මූණ වෙනස් වුණා. ඒ කියන්නෙ අම්මා හිතල නෑ, මං කාමරේ ඉන්නවා කියලා. ඒත් වීරයා වගේ සාලෙට ආවට ඩිංගක් වෙලා යනකන් කතා කරන්න ඕන මොනවද කියලා මගේ ඔලුවට ආවෙ නෑ.

“මගෙත් එක්ක කතා කරන්නෙ නැත්තෙ ඇයි අම්මෙ.... ම.. මං අම්මට වැරැද්දක් කරේ  අම්මෙ....”

මෙච්චර දවසක් හිත ඇතුළට වෙලා හිත කීරි ගස්සපු ඒ ප්‍රශ්නෙ මං එළියට දැම්මෙ හුඟක් හිතේ අමාරුවෙන්.

“උඹම ඔය ප්‍රශ්නෙ අහපු එක හුඟාක් හොඳයි චූටි.. උඹ කෙරුවෙ වැරැද්දක්ද, නැද්ද කියනෙක උඹ දන්නවා.. ඔය ගෑණු ළමයත්තෙකක් යාලුවෙන්න කලින් උඹ කොයි තරම් දේවල් හිතන්න ඕනද..? උඹට රස්සාවක් තියෙද..? බැරි වෙලාවත් උම හින්ද ඒ කෙල්ල ගෙයින් එළියට ඇඳලා දැම්මොත් හෙම ඒ කෙල්ල කොහෙටද යන්නෙ..? මෙහේ එක්කන් එන්නද උම හිතන් ඉන්නෙ..? ආ.. ඇරත් ඉතිං මේ වගේ හොඳ තැනක ඉඳලා, ඒ කෙල්ලට පුරුදු නැතුව ඇති. මොකද තැන් තැන් වල හැදිච්ච කෙල්ලන්ගෙන් සීලාචාරකමක් බලාපොරොත්තු වෙන්න බෑනෙ..”

හීන් හිනාවක් මුව අද්දරට අරගෙන අම්මා කිව්වා. මගේ හිත පිච්චිලා ගියා තත්පරෙන් දෙකෙන්. මං මොනවද දෙයියනේ මේ අහන්නෙ.. අර අහිංසක, දුප්පත් කෙල්ලට මේ තරම් නපුරු විදියට ඇයි අම්මා කතා කරන්නෙ.. එයා අපේ අම්මට මොනවා කරාටද..?

“හ.. හර්ෂි ගැන ඔහොම කතා කරන්නෙපා අම්මෙ.. එයා පව්.. එයා අහි.....”

මට එතනින් එහාට කතා කරන්න වුණේ නෑ.. ඉස්තෝප්පුවෙ දිහායින් අඩි සද්දයක් මට ඇහුණා. කරන් ගියපු කතාව, නතර කරපු තැන මතක තියාගනෙ මං ඒ දිහා බැලුවා.

“ඕ..! අම්මලා පුතාලා බර කතාවක් වගේ..”

කවුරුත් හිතපු නැති දවසක තාත්තා ගෙදර ඇවිත් හිටියා. ඒත් ඒක මගේ හිතට ගෙනාවෙ ලොකු බරක්. මං ඔලුව උසස්ලා අයියා දිහා බැලුවා. අයියගෙ මූණෙ තිබ්බෙ තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක්..

“තාත්තා හොඳ වෙලාවට ආවෙ.. ඉතිං දැන් කියවන් ගියා වගේ ඉතිරි ටිකත් කියවපං චූටි..”

තාත්තා එනව දැකපු ගමන් අම්මගෙ මූණ වෙනස් වුණා. මූණ විතරක් නෙමෙයි අම්මගෙ හැඟීමුත් වෙනස් වුණා වගේ. අම්මගෙ කතාවෙන් මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ කනස්සල්ල, පරාජිත බව නැතිවෙලා ගියා. ඒ වෙනුවට හිත පුරාම වහගත්තෙ පාලනය කරගන්න බැරි ලොකු කේන්තියක මං සලකුණු.

“මොනවද තව කියන්න තියෙන්නෙ.. අම්මා හැමදේම කියලා ඉවරකරානේ..”

ඒ කේන්තිය හිතේ තියාගෙනම මං කිව්වා. ඊට පස්සෙයි මං ඉස්සරහ තිබ්බ වේවැල් පුටුව මගේ ලඟට ඇදලා ගත්තෙ.. වෙලා තියෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව තාත්තා අපි හැමෝගෙම මූණු දිහා ටිකක් වෙලා බලන් හිටියා.

“මොකද මාලතී.. මෙතන වෙලා තියෙන්නෙ..?”

තාත්තා ඒ පාර කෙලින්ම අම්මගෙන් ඇහුවා.

“ඒක අහන්න ඕන මගෙන් නෙමෙයි සෑම්.. ඔය ඉස්සරහ ඉන්න බාල පුතණ්ඩියගෙන්..”

අම්මා මාව පෙන්නලා කිව්වා.. දැන් නම් මේ වෙලා තියෙන හැමදේම තාත්තා එක්ක කියන්නවෙන විත්තිය මට තේරුණා. ඒත් හැමදේම කිව්වයි කියලා මගේ හිතට ගැළපෙන විසඳුමක් මට හබ්ව වේවිද කියන ගැටලුවත් මගේ හිත උඩම තිබුණා. කොහොම වුණත් හොඳට හරි නරකට හරි මේ හම්බවුණු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගනිං කියලා මගේ හිත මටම කිව්වා.

“ම.. මං කැමති නෑ තාත්තෙ මේ ගැන කතා කරන්නත්.. ඒත් මං නිකම්ම වැරදිකාරයා වෙනවට වැඩිය හොඳයි හැමදේම කතා කරලා ඉවරයක් කරන එක..”

මං තාත්තා දිහාට හැරිලා කිව්වා. ඒත් මට කියන්න වුණේ ඒ ටික විතරයි. හිතුවෙවත් නැති විදියට අම්මා ආයෙමත් කඩන් පැන්නා.

“හුහ්..! උඹ එතකොට කරලා තියෙන්නෙ වැරදි දෙයක් නෙමෙයිද..? කොහේවත් යන වල් කෙල්ලෙක් කරේ එල්ල ගත්තා මදිවට, තව උමේ රැස්පටුත් අපි බලන්න ඕනෙද..?”

අම්මා කතා කරේ හිතක් පපුවක් නැතිව වගේ.. වෙන වෙලාවක නම් තාත්තා කියනවා මාලතී ඕක නවත්තන්න කියලා.. ඒත් මගේ කරුමෙටද කොහෙද ඒක එහෙම වුණේ නෑ.. අම්මට මුකුත් නොකියා තාත්තා ආයෙත් මගේ දිහාට හැරුණා. තාත්තගෙ මූණෙ තිබ්බෙ අඳුරු බවක්.. මං අක්කා දිහා බැලුවා.. එයාගෙ මූණ බයෙන් මිරිකිලා ගිහින්.

“අම්මා දැන් කිව්ව දේ ඇත්තද චූටි..”

කවදාවත් නැති විදියට තාත්තගෙ කටහඬ මහ සද්දෙට ඇහුණා. අයියටත් ඒ විත්තිය තේරිලා වගේ මං දිහා බැලුවා. ගෙදර පරිසරය වුණත් හැසිරිල තිබ්බෙ මොකක්දෝ ගැටුමකට අර අදින්න ඕන වගේ.

“ඔව්.. අම්මා කියපු දේවල් ඇත්ත.. ඒත් අර වල් කෙල්ලෙක් කියලා කියපු වචන දෙක ඇරෙන්න..”

කොහෙන්දෝ ඉදලා ආපු දහිරියකින් මං කිව්වා.

“ආ.. ඒක කියපු ලස්සන.. ආයෙ කියපං බලන්න.. උඹ දැන් තාත්තා ඉස්සරහත් කතා කරන්නෙ ඉගෙන ගෙන වගේ නේ..”

ආයෙමත් අම්මා පැන්නා. මගේ හිතේ තිබ්බෙ ලොකු කේන්තියක්.. මාත් අතෑරියෙ නෑ..

“අම්මා ආස නම් ආයෙත් කියන්නම්.. අම්මට මේ කොහෙදෝ යන එකෙක් බොරු තොගයක් දෙසලා.. අම්මත් ඒක උලුව උඩින්ම තියාගත්තා. හර්ෂි නරක ළමයෙක් කියලා.. ඉතිං මං පලිද ඒකට..?”

කවදාවත් නැති විදියට මං අම්මත්තෙක්ක එකට එක කිව්වා.

“චුටි සද්දෙ වැඩියි..”

මට ආයෙත් තාත්තගෙ ගෝරණාඩුව ඇහුණා. මං හිතුවෙ තාත්තා එතනින් කතාව නවත්තාවි කියලා.. ඒත්..

“උඹ තාම ඉන්නෙ අපේ වහල යට.. තාම අපෙන් හැමදේම කරගන්නෙ.. එහෙම තියෙද්දිත් උඹ ඔය කතා කරන විදියද මිනිහො.. මං බොහොම සාධාරණ මිනිහෙක්.. ඒ වගේම හොඳ දේට හොඳින් ඉන්න මිනිහෙක්.. අන්න ඒක මතක තියාගනිං.. වැරැද්ද උඹේ අතේ තියන් මේ ගෙදර අය, උඹේ ගෙම්බර් බලන්න ඕනද..? අනිත්තෙක උඹට ලැජ්ජ නැද්ද මිනිහො හරි හමන් රස්සාවකුත් නැතුව ගෑණු ගන්න යන්න...”

ඇත්තටම වෙන වෙලාවක නම් මං සද්දෙ වහ ගන්නවා.. ඒත් මේ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අමුතුම ෆිට් එකක්.. ඒක මටවත් තේරුම් ගන්න බැරි ධෛර්යයක්.. හැමෝම කතා කරන්නෙ මට අවාසි වෙන විදියට.. හැමෝම හදන්නෙ මාව කපල දාන්න.. එහෙම නම් ඇයි මං නිකං අතාරින්නෙ.. ගේම ඉවරයක් කරලා දාපං.. කියලා මගේ හිත මට කිව්වා.

“මං ගෑනු ගන්න ගියේ නෑ.. ඔයාලා අහපු දේට විතරයි මං උත්තර දුන්නෙ..”

මං ඒ ටික හෙමින් වගේ කිව්වෙ.. ඒත් ඒ වචන වල තිබ්බ මුරණ්ඩු ගතිය දැනිලද කොහෙද අක්කා ගැස්සුණා.

“අ.. අනේ චූටි මල්ලි මේ රණුඩුවෙන එක නවත්තන්නකො.. තාත්තා හුඟ දවසකින් ඇවිල්ලා ඉන්නෙ.. අනේ හොඳ ළමයා වගේ ඔයා කාමරේට යන්න මල්ලි..”

අක්කා මගේ ළඟන් ඇවිත් අතින් ඇද්දා.

“මොකක්ද මිනිහො උඹ කිව්වෙ..? ආයෙ කියපං බලන්න.. මං මේ තරම් මැරෙන්නෙ කවුරු හින්දද..? ඒ උඹලා කියලා දැන දැනත්, උඹලා උඹලගෙ ලෝක වල.. මීට වැඩිය හොඳයි මං යාපනේට වෙලා හිටියා නම්..”

“මල්ලි කිව්වම අහලා කාමරේට යන්නකො.. තාත්තා කේන්ති ගස්සන්නෙ නැතුව.. දැන් කතා කරපුව හොඳටම ඇති.. අපි හෙමීට මේක විසඳගමු.. තාත්තෙ කියලා කෑ ගහලා ප්‍රශ්න විසඳගන්න බෑනේ..”

මාව කන්ට්‍රෝල් කරන්න අමාරුයි වගේ තේරුණ හන්දා අයියත් ගේමට ආවා. ඒත් අයියටයි, තාත්තටයි කළින් සුපුරුදු විදියටම අම්මා ආයෙත් මැද්දට පැන්නා.

“නෑ.. ඔයා පැත්තකට වෙන්න ලොකූ.. කල් දාන්න ඕන නෑ.. මේක අඳම විසඳගමු.. මෙයාට මේ කොහෙදෝ යන කෙල්ලෙක් ලොකු වෙලා, ලොකු මහත් කරපු අම්මටයි, තාත්තටයි වැඩිය.. චූටි.. ඔතනින් වාඩිවෙයන්..”

කතා කරන ගමන් අම්මා මට අණ දුන්නා. හැමදේම අද ඉවර කරලා දාන්න ඕන හන්දා මං අකමැත්තෙන් වුණත් වේවැල් පුටුවෙ වාඩිවුණා. තත්පරෙන් තත්පරේ කාලෙ ගෙවිලා යද්දි අම්මා හර්ෂි ගැන හැමදේම තාත්තට කිව්වා. ඒත් ඒ හොඳ දේවල් නම් නෙමෙයි.. හර්ෂිගෙ චර්තෙ ඒ තරම් හොඳ නෑ කියලා අම්මා කියද්දි මගේ රතු කට්ට පැන්නා.. ඉවසනවා කියලා මීටත් වැඩිය ඉවසන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ..

“අම්මා කොහොමද දැන් එයාගෙ චරිතෙ හොඳ නෑ කියලා කියන්නෙ.. අම්මා මැනලා බැලුවද..?”

මං අම්මගෙන් ඇහුවා. අම්මගෙ මූණ කලුපාට වෙලා ගියේ තත්පරෙන් දෙකෙන්.. ඒත් මං අහපු දේට උත්තරේ හම්බවුනේ අම්මගෙන් නෙමේ තාත්තගෙන්.. ඒ අත දිග ඇරලා මගේ කම්මුල මැදට වැදුන අතුල් පාරකින්.. මුළු මූණම පුපුරු ගහද්දි මං අත් දෙකෙන්ම කම්මුල බදා ගත්තා. පාට පාට තරු පොකුරු ඇස් ඉස්සරහ දඟලද්දි අමු ලේ රහක් මගේ දිවට දැනුණා.

“ඔය ටික කරගන්න උඹ හුඟාක් උඩ පැන්නා චූටි. මේ කොහේවත් යන පට්ට පඳුරියක් ගැන උඹ අම්මගෙන් ද මිනිහො අහන්නෙ..?”

තවත් පාරක් ගහන්න වගේ තාත්තා මට ළංවුණා. ඒත් ඉඩ ලැබිච්ච පුංචිම මොහොතෙම අම්මා මාව කවර් කර ගත්තා.

“අ.. අනේ.. තාත්තා ඇති.. දැන්වත් ඕක නවත්තන්න.. දෙයියනේ.. අපි හැමෝටම මොනවද මේ වෙලා තියෙන්නෙ..?”

අකක්ගෙ කතාව සත පහකටවත් ගණන් ගන්නැතුව අම්මා ආයෙත් කතාව පටන් ගත්තා.

“උඹ වීරය වගේ ඇහුවනේ චූටි.. ඒකි නරකයි කියලා මං දන්නෙ කොහොමද කියලා.. ඇයි මිනිහො.. ඒකිගෙම බාප්පා ඇවිත් මගෙත් එක්ක ඒකිගෙ හැටි කියද්දි, මගේ පුතා කොහොම හරි බේරගන්න කියල උඹ තවත් මොනවද මට කියන්නෙ..?”

අම්මගෙ වචන වලින්, මගේ හිතේ තිබ්බ ගැම්මෙන් බාගයක්ම හේදිලා ගියා. ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන.. එහෙනම් මෙතනත් උඹයි වීරයගෙ චරිතෙ රඟපෑවෙ.. මට රඟන්න දෙයක් උඹ ඉතුරු කරලා නෑ බැල්ලිගෙ පුතෝ.. ආයෙමත් මගේ හිතට කේන්තිය පොකරු පිටින් ගලන් ආවා.  ඒ කේන්තිය හිතේ හිර කරගෙනම මං කාමරේට ආවා. මං දැක්කෙ මුලු කාමරේම මාව ගිලින්න බලන් ඉන්නව වගේ.. පොත් මේසෙ බිත්තියට හේත්තු කරලා තිබ්බ ටවල් රැක් එක, පුංචි අල්මාරිය, කාණ්නාඩි මේසෙ, මේව හැම එකක්ම පණ නැති දේවල් වුණත් මගේ හැම දුකක්, සංතෝසයක්ම මං විඳගත්තෙ මේ දේවල් එක්ක. හැමදාම වෙන විදිය අදත් වෙනසක් නැතුව ඒ දේ සිද්ධ වෙලා තිබ්බා.

පුපුරු ගහන කම්මුල දිහා කණ්නාඩියෙන් මං යන්තමට බැලුවා. තාත්තගෙ දිග ඇගිලි පහම කම්මුලේ තද රතු පාටින් පාර හිටලා තිබුණා. හිතේ තිබ්බ කේන්තිය පුපරලා ගිහින් ගිනියම් වෙච්ච කඳුළු පේලියක් මගේ ඇස්වලින් එළියට ආවා. මට දැනුණෙ මං ගැනම ලොකු අනුකම්පාවක්. ඇයි දෙයියනේ හැමදේම මෙහෙම වෙන්නෙ.. මගෙයි, හර්ෂිගෙයි ලෝකෙට සංතෝසයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද..?

“මං වැරදියි මාලතී.. මං වැරදියි.. චූටිට මං මතක ඇති කාලෙකින් අත උස්සලා නෑ.. ඔය ප්‍රශ්නෙ ඔයිට වැඩිය හොඳින් අපිට විසඳගන්න තිබුණා. අපි ඉක්මන් වුණා වැඩියි මාලතී.. මෙහෙම ගියොත් අපිට ඉක්මනටම චූටිව නැතිවෙයි කියලා මට හිතෙනවා..”

සාලෙ පැත්තෙන් තාත්තගෙ කටහඬ ඇහුණා.. මොනව වුණත් තාත්තා ඔය අන්තිමට කිව්ව දේ නම් අනිවාර්යෙන්ම වේවි කියලා මට හිතුණා.

“ඒ වුණාට සෑම්.. චුටීත් දැනගන්න ඕන අපි එයාට කොයි තරම් ආදරේද කියලා.. චානකයි දේවකියි ඉද්දි චූටිට ඔහොම ඉක්මන් වෙන්න දෙන්න බෑ.. අනිත්තෙක..”

ඊට පස්සෙ අම්මගෙන් කියවෙච්ච වචන මට ඇහුනෙ නෑ..අම්මා සද්දෙ අඩු කරන් කතා කරා.. අම්මයි, තාත්තයි කරන මේ කතාබහ මට ඩිංගක් හරි වැදගත් වේවි කියලා හිතුණු හන්දා මං දොර ළඟට ආවා. ඒත් මට කිසි දෙයක්  ඇහුණෙ නෑ.. ඒ පාර මොකද වුණේ..? හෙමින් සීරුවෙ මං කර්ටන් එක ඈත් කරලා සාලෙ දිහා බැලුවා. කවුරුවත් සාලෙ හිටියෙ නෑ.. ඒත් ආයෙමත් කුටු කුටු ගාන සද්දෙ කුස්සිය පැත්තෙන් ඇහුණා. පන්න පන්න ගිහින් ඒවට ඇහුම්කන් දෙන්න තරම් උනන්දුවක් මගේ හිතට ආවෙ නෑ.. ඒ හින්ද මගේ හිතේ තිබ්බ නොසන්සුන් ගතියක් එක්කම මං ඇඳේ හාන්සි වුණා.


No comments:

Post a Comment