Saturday, October 6, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


දවස් ගෙවිලා ගියේ එක සීරුවට.. සිකුරාදා ඉංශ්‍රීසි පන්ති යන එකත් මං නැවැත්තුවා. මගේ හිත පාලු පිට්ටනියක් වගේ. හිතට හරි යන්නත් එක්ක වටපිටාවත් අඳුරු වෙලා. වහින්නද කොහෙද...

චූටි.... පොඩ්ඩකට මෙහෙ එනවද..?

මගේ කල්පනා ලෝකෙ පිරිලා ගියා අක්කගෙ සද්දෙන්. අක්කා සාලෙ ඉඳන් මගේ දිහා බලන් ඉන්නවා.


මං දැන් දවස් ගානක ඉඳලා ඔයාව නෝට් කරා.. ඔයා මොකක් හරි අප්සට් එකකින්ද ඉන්නෙ..?

ගෙදරින් මං වැඩියෙන්ම ළංවුණේ අක්කට. වෙනද නම් අක්කා ඔය වගේ එකක් ඇහුවොත් මං දාහක් දේ කියනවා. ඒත්... මොන කරුමෙකටද මංදා අද මට තදවුණා.

මට පේන්නෙ ඔයාගෙ ඔලුවෙ ඇණයක් බුරුල්වෙලා වගේ. නැත්තං මේ හොඳට ඉන්න මගෙන් ඔහොම ගොන් ප්‍රශ්නයක් අහවියෑ... ගේන්නද ඉස්කුරුප්පු නියනක්.. නට් එක හයි කරගන්න..

අක්කගෙ මූණ බලන් ඉද්දිම අප්සට් වෙලා ගියා. අනේ අම්මප මට නම් මොනව වෙලාද මංදා... ඇස් දෙකෛ් ලොකුම ලොකු කඳුළු බිංදු දෙකක් හිර කරන් බිම බලාගත්තු අක්කව දැකලා මට ආවෙ මං ගැනම තරහක්. බලන් ගියාම අක්කගෙ නෙමෙයි මගේ ඔලුවෙයි නට් එකක් බුරුල් වෙලා තියෙන්නෙ.

දේව්...? මෙහෙ ව..රේ..න්..

ප්‍රශාන්ගෙ සද්දෙ ඉස්සරහ පැත්තෙන් ඇහුණා. හොඳ වෙලාවට මූ ආවෙ. නැත්තං අක්කත් එකක්ම මටත් අඬන්න වෙනවා. මං ඉස්තෝප්පුවට ආවා. ඌ ගෙටවත් ගොඩවෙලා නෑ. ෂුවර් එකට මොකාක් හරි බාල්දියක්.. නැත්තං මූ කට බලිය වගේ ඇරගෙන, බිං ඌරා වගේ මෙහෙම ඉන්නෙ නෑ..

මොකෝ බං හදිසියෙ.. කාමරේට වරෙං..

කාමරේ ඇතුළෙ මේවා කතා කරන්න බෑ මචං.. යමං පල්ලෙහා අඹ ගහ ගාවට..

මායි, ඌයි දෙන්නම වත්ත පහළට ආවා. මේ හද්ද කරුවලේ මූ මොන කෙංගෙඩියක්ද දන්නෑ කියන්න හදන්නෙ.. එහෙන් මදුරුවොත් කනවා. මෙහෙන් මූ කල්පනා කරනවා.

මං හර්ෂි පස්සෙන් යන එක නැවැත්තුවා දේව්...

මගේ ඇඟ සීතල වෙලා ගියා. මූ මේ ඇත්තටමද කියන්නෙ..?

ඇයි... උඹ දැන් ඒකිගෙ ඉස්සරහින් යනවද..?

මං විහිලුවට වගේ උගෙන් ඇහුවා. මූ මාව බයිට් කරන්න හදනවද දන්නෙ නෑනෙ..

විහිළු එපා බං.. මං සීරියස් කියන්නෙ.. ඒකි මට කැමති නෑ දේව්.. ඒකි මට කැමති නෑ..

ඌ ඒ ටික කියලා ඉවර වෙලා හති  ඇරියා. මොකක් හරි හුට්ටප්පරයක් වෙලා තියෙනව වගේ..

ඉතිං... පුතා.. ඔන්න මං ෆිල්ඩ් එකෙන් අයින් වුණා.. දැන් උඹේ වාරෙ..

අත දිග ඇරල ප්‍රශාන්ට කනේ පාරක් ගහන්න තරම් ගැම්මක් මගේ හිතට ආවා. උගේ කතාවට මට අම්බානක තදවුණා.

හර්ෂි ගැන මගේ හිතේ තිබ්බා.. ඒක ඇත්ත.. ඒත් ඒක ආදරයක් නෙමේ.. උඹෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එක හන්දම හර්ෂි ගැන තිබ්බ හැඟීම මං හිතෙන් අයින් කරා. එහෙව් එකේ.. උඹ ආයෙත් කියන පදේට මං නටන්නෙ නෑ ප්‍රශාන්..

මං හෝ ගාලා කියවං ගියා.. ප්‍රශාන් ඩිංගක් වෙලා මං දිහා බලන් හිටියා.

උඹේ කේන්තිය සාදාරණයි දේව්.. ඔතන මං වැරදියි.. පොඩ්ඩක් නෙමෙයි හොඳටම වැරදියි.. උඹට ඉඩ දෙන්නෙ නැතුව මං හර්ෂිට ලංවෙන්න හඳපු එක. කෝම වුණත් ඒකි මට කැමති නෑනෙ.. ඉතිං ඒ වගේ හොඳ කෙල්ලෙක් මට සෙට් වුණේ නැති වුණත් උඹට හරි සෙට් වෙන්න ඕන.. නිශානි ගිහින් හර්ෂිව හම්බවෙන්න..

උගේ කටහඬ බිඳිලා ගියා.. අන්තිම හරියෙදි.. මං හුඟාක් දේවල් හිතාගත්තා උගේ කතාවෙන්.

උඹ අනිවාර්යෙන්ම හර්ෂිව සෙට් කරගන්න ඕන.. ඒකි මැච් වෙන්නෙ උඹට.. උඹ ටිකක් කල්පනා කරපං.. උඹ ගැන, එයා ගැන වගේම මං ගැනත්.. එහෙනම් ගුඩ් නයිට් මචං..

ඌ ගියා. මං ගෙට ගොඩවුණේ සිරාවටම අප්සට් එකෙන්... මොකද මං මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.. මේ මොනවද වෙන්න යන්නෙ..

චූටි..! කෝ ළමයො අක්කා..?

මට ගේ ඇතුළට යන්න හම්බවුණේ නෑ.. කුස්සියෙ ඉඳන් ආපු අම්මා, මගෙන් අක්කා ගැන අහනවා.

ඇයි අම්මා.. මං මිදුලට යද්දි එයා සාලෙ හිටියනේ..

අම්මා ආයෙමත් කුස්සියට ගියා. එතකොටම වගේ අක්කගෙ කටහඩත් ඇහුනා.. ඔය ඉන්නෙ.. අපෙ අම්මගෙ ඇස් පෙනීමත් අඩුවෙලාද මංදා..


ෂ්ස්... ෂ්ස්... ෂ්ස්........

යූ.සී ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න ගියපු මං, කාගෙදෝ සූ සද්දෙකින් හැරිලා බැලුවා. අදුණන එකෙක් පේන්නවත් නෑ.. මට නෙමෙයි වෙන්නැති කියලා මං ආයෙත් ග්‍රවුන්ඩ් එක දිහාට ගියා. ඒ පාර ආයෙමත් සූ සද්දෙ හෙණ සැරට ඇහුණා. හිතට කේන්තිය ඩිංග ඩිංග එද්දි මං පිටි පස්සට හැරුණා. කොල්ලො කෙල්ලො හෙණ ගොඩක් පුබුදු හෝල් එකේ ක්ලාස් ඇරිලද කොහෙද.. මාත් එළියට බැහැල තියෙන්නෙ මාර වෙලාවක තමයි.. ඒත් මං නැවතුණා. මේ සූ සද්දෙ ආවෙ කොහෙන්ද කියලා බලන්න.. ඒත් කෙල්ලො කොල්ලො පෝලිමක් මැද්දෙ මං කොහොම හොයන්නද සද්දෙ දාපු එකාව. ටිකක් දැකලා පුරුදු වගේ කෙල්ලො ගැන්සියක් මගේ ඇස්වලට අහුවුණා. හුටා, මේ අර එදා ස්නැක් බාර් එකේ පෝටෙලෝ බිව්ව කෙල්ලො ටිකනේ.. මුං වෙන්න ඕන සද්දෙ දැම්මෙ.. උං ගැන්සියට මුවා වෙලා වගේ හිටපු කෙල්ලව බලා ගන්නයි මං ඊගාවට ට්‍රයි කරේ.. අන්තිමේදි ඒ ඇස් වලට මගේ ඇස් පැටලුණා.. හර්ෂි....?

එතකොට හර්ෂිත් මෙයාලගෙ ගැන්සියෙමද..? ග්‍රවුන්ඩ් යන්න ගියපු ගමන පැත්තකින් තියලා මං, උං ඉන්න දිහාට අඩිය තිබ්බා. මුං ටික ඇත්තටම මටද දන්නෙත් නෑනෙ ස්දදෙ දැම්මෙ.. ඒක හන්ද මල පැනපු හිතත් කරේ තියන්, මං කෙල්ලො ගැන්සිය පහු කරන් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. කොටින්ම මං උන්ව ගණන් ගත්තෙ නෑ.

එයාද හෂි.. උඹ කිව්වෙ..? අ..පෝ.. කොච්චි මිරිස් වගේනේ බං.. එදා ස්නැක් බාර් එකේදි නම් ෆුල් ජොලියෙන් හිටියෙ..

උං ටික ඔක්කොම පොල්කිච්චො වගේ කච කචේ දානවා. තව හිටියොත් මොනව වෙයිද දන්නෙ නෑ.. මං අඩිය ඉක්මන් කරා.. ඒත්..?

දේ..ව්.. අ..යි..යේ.....

හති දාගෙන වගේ මං ඉස්සරහටම දුවන් ඇවිත් නතර වුණේ වෙන කවුරුත් නෙමෙයි.. හර්ෂි..!

ඔ.. ඔයාට තරහ ගියාද අයියෙ..? ඇයි, අඳුනන්නෙ නැතුව වගේ ගියේ..?

තාර පාර අයිනටම වෙන්න මං නැවතුණා. හර්ෂිගෙ කටහඬ වෙව්ලනවා. මට පව් කියලත් හිතුණා. එයාගෙ ඇස් දෙක බොඳවෙලා වගේ මං දැක්කා. මගේ ඇස්වල වැරැද්දක්ද මංදා.. ඔයා ඔය හොඳට හිනාවෙවී ඉන්නෙ..

ඉතිං කතා කරන්න එපැයි.. නයි වගේ පිඹින්න ගත්තෙ..

මං ටිකක් තද පාට් එකක් ඇක්ට් කරා.. ඒව මොනව වුණත් මේ හුරතල් කෙල්ල මගෙත් එක්ක පැනල වගේ කතා කරපු එක නම් මට අදහගන්නත් බෑ වගේ.

හ..ප්පේ..! ඔයාට යන කේන්ති... බලාගෙන ඉක්මණට සීය කෙනෙක් වෙයි..

හර්ෂි හිනාවුණා. දිගම දිග කොණ්ඩෙ ගොතල පිට මැද්දට දාලා.. මගේ හිත මොනවදෝ කියනවා..

ඔයාගෙ යාලුවො ටික නම් ඔක්කොම ගිහින්..

හර්ෂි මුලින් ඉඳපු පැත්ත දිහා බලල මං කිව්වා.

එයාලා බස්ටෑන්ඩ් එකේ ඉඳීවි අයියෙ..

එහෙම කියලා හර්ෂි බිම බලාගත්තා.

ඔයාගෙ යාළුවො දවසක් මට ස්නැක් බාර් එකේදි හම්බවුණා..

ඔව්.. අයියව දැකපු ගමන් එයාල ඒ ගැන කතා වුණා..

එතැනින් එහාට කතා කරන්න දෙයක් නැතුව වගේ අපි දෙන්නම ගොලු වුණා. මං හර්ෂි දිහා බැලුවෙ එයා කතා කරාවි කියලා. එයත් හිටියෙ මං දිහා බලාගෙන. කියාගන්න බැරි අපූරු දඟකාරකමක් ඒ පුංචි මූණට එකතුවෙලා තිබුණා.

අ.. අයියට කියන්න බඩ්ඩක් තියෙනවා..

ම... ම..ට

මං හොල්මන් වෙලා ගියා.. මොකක්ද අප්පෙ ඒ.. මට ආදරෙයි කියලවත්ද..? අනේ අම්මප සිරානේ එහෙනම්.. මේකි දැන් මට ඒක තමයි, මේ කියන්න යන්නෙ.. බුදු හාමුදුරුවො බුදුවේවා..!

අර අ.. අයියගෙ යාලුවා..! එදා මට බස්සෙකේදි බැන්නෙ.. එ.. එයා...

හුට්ටා... මේකි කියන්න හදන්නෙ ඌට කැමතියි කියලවත්ද දන්නෑ.. උඹ සරණයි එහෙම වුණොත්..

ඔව් ඉතිං.. එයා..? ඇයි, ඔයාට ආයෙමත් බැන්නද..?

මෙලෝ සංසාර දෙයක් දන්නැති එකෙක් වගේ මං ඇහුවා.

න්... නෑ.. අයියෙ.. එයා මගෙන් යා.. යාලු වෙන්න ඇහුවා..

අම්මට හුඩු... ඇයි යකෝ.. මෙයා මගෙත් එක්ක මේවා කියන්නෙ..?

ඉත්තිං... ඔයා හා කිව්වා..?

මං කියපු එකට එයාට බකස් ගාලා හිනා ගියා.

අනේ නෑ අයියෙ.. එයාට වෙන ගර්ස්ලා හුඟක් ඉන්නවා.. මං එයාට බෑ කිව්වා.. එයා නම් මගෙත්තෙක්ක තරහ ඇති..

පිස්සුද මංදා..! ප්‍රශාන් කවදද කෙල්ලෙක් එක්ක තරහ වුණේ.. යාළු වුණා මිසක්.. මෙයා, ඌ ගැන මොනවද දන්නෙ.

ඒ කියන්නෙ, ප්‍රශාන්ට වෙන ගර්ල් කෙනෙක් නොහිටිය නම් ඔයා ඌත්තෙක්ක සෙට් වෙනවා..

මං හිතුවෙ නැති විදියට එයාගෙ මූණ මහා දුකකින් බිමට පාත්වුණා. මාත් ඉදලා ඉඳලා ඇහුවෙ හද්ද ගොන් ප්‍රශ්නයක් වගේ..

අ.. අයියෙ මං ගැන එහෙමද හිතන් ඉන්නෙ අයියෙ.. මං ප්‍රශාන්ට කැමති නෑ.. ඒකයි ඇත්ත තත්වෙ... ඉත්..තිං.. මං යන්නද අයියෙ.. යාලුවො ටික බලාගෙනත් ඇති..

එයා එහෙම කියලා හැරුණා. ඒත් හර්ෂිගෙ මූණෙ තිබ්බ දුක, මගේ හිතේ කවදාවත් මැකෙන්නැති වෙන්න ඇඳුණා. ඒ හන්දමද කොහෙද එයාට යන්න දෙන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.

හෝව්.. හෝව්.. තව චුට්ටක් වෙලා ඉන්නවද..? මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න ඕන නංගි..

හර්ෂි ගැස්සුනා.. ඇයි කියන ප්‍රශ්නෙ ඒ රවුම් ඇස්වල දිලිසුණා.

අද නෙමෙයි..

මං එහෙම කිව්වම, එයා පුදුම වෙලා වගේ මං ඉන්න පැත්තට හැරුණා.

ඇයි අයියෙ..?

ඇයි කියල කියන්නම්... ඊඨ කළින් පුළුවන්ද කියලා කියන්නකො..

පැය ගාණක් ගෙවිල යනව වගේ විනාඩියක් දෙකක් ගෙවිල ගියා.. මගේ පපුව ගැහෙන වේගෙත් ඩිංගෙන් ඩිංග වැඩිවුණා. හර්ෂි කල්පනා කරනවා. ඒ සුදු  මූණ, රෝස පාට වෙලා.

හෙට හතරට විතර..

එකපාරටම එයා කිව්වා. මගේ හිතට ආවෙ මාරම මාර ෆිට් එකක්.

කොලෙජ් ලේන් එකේදි..

මං ඉතුරු ටික සම්පූර්ණ කරා. අර රෝස පාට වෙලා තිබ්බ සුදු මූණ මැද්දට ලොකුම ලොකු හිනාවක් ආවා. හරියට බංගලි රෝස මලක් පිපිල වගේ. ඔය අතරෙදි තමයි හර්ෂිගෙ යාලුවෙක් පණ එපා කියාගෙන අපි ඉන්න පැත්තට දුවන් ආවෙ.

හා..හ්.. මේහ්.. හම්මේහ්.. මං හිතුවෙ උඹ දේව් අයියත් එක්ක පැනලා ගිහින් කියලා.. බස්සෙකත් ස්ටාර්ට් කරලා.. වරෙන්..

ඒකි එහෙම කියල හර්ෂිවත් ඇඳගෙන ස්ටෑන්ඩ් එක පැත්තට දිව්වා. ලොකුම ලොකු කැළඹීමක් හිතේ තියාගෙන මං ඒ දිහා බලන් හිටියෙ. ඇත්තටම ඇයි මං හර්ෂිට හෙට එන්න කිව්වෙ..? මං මගෙන්ම අහගත්තත් මට උත්තරයක් හම්බවුණේ නෑ.. පංඩිතයා වගේ හෙට හර්ෂිට කොලෙජ් ලේන් එකට එන්න කියල, එයාට මොනවද කියන්නෙ..? මොනව කියන්නද.. ආදරෙයි කියලා කියනවා මිසක.. තටම තටම ඉන්නෙ අහවල් කෙංගෙඩියටද..?

කලුවර වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මං ගෙට ගොඩවුණා. ඉස්සරහ පඩිය උඩ වාඩිවෙලා ඉඳපු අක්කගෙ මූඩ් එක නම් අවුල් සහගතයි කියලා මට හිතුණා.

ඔය ආවෙ.. කොයි වෙලාවකවත් ගෙදර නෑ.. කොහෙ යනවද කියල කවුරුත් දන්නෙ නෑ..

ගෙට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. අක්කා හෙණ බර බරයක් දැම්මා.

ඔයාට කිව්වෙ නැති වුණාට මං අම්මට කියලයි ගියේ..

කියලා ගියා නම් අම්ම මගෙන් අහවියෑ චූටි පුතා කෙහෙද ගියේ කියලා.. හොර ගමන් ගිහින් මෙතන, තව එනව බොරු කියාගෙන..

අක්කගෙ කතාවට මට නප්පියටයි, ඊට චුට්ටක් වැඩියෙනුයි තද වුනා.. ඉඳපංකො.

මං ගියපු හොර ගමනක් නෑ ඕයි...

තරහ වැඩිකමට මාව වෙව්ලන්න ගත්තා.

හොර ගමනක් ගියේ නැත්නම් මොකෝ ඔය තරම් තදවෙන්නෙ..?

තමුසෙට මොකටද මං ගියපු දිහා.. තමුසෙගෙ කකුල් දෙකෙන්ද මං ඇවිද්දෙ..

මල්ලි... කාටද ඔය කතා කරන්නෙ..?

එහෙම අහන ගමන් අක්කා මං ළඟට ආවෙ විදිල්ල වගේ.

තමුසෙට..

මට තදවෙලා තිබුණෙ උපරිමේටම. ඒ කියන්නෙ අර්ශස් වලට ඔන්න මෙන්න.

ච..ට්..ටාස්...

අක්කගෙ දකුණු අත මගේ කම්මුලේ වදිනවා මං හීනෙන් වගේ දැක්කා. තරු පොකුරු පොකුරු, කණාමැදිරි එළි ඇස් ඉස්සරහ නිවි නිවී පත්තු වෙද්දි මං කම්මුල අල්ලගත්තා.

පස්සෙ හොඳන් ඇස් ඇරලා බලද්දි, අඬාගෙනම සාලෙට යන අක්කව මං දැක්කා. බලන් ගියාම මාර වැඩේ කියන්නෙ, ගුටි කෑවෙ මං.. ඒත් අඬන්නෙ අක්කා.. කම්මුල එකසිය ගානට රිදෙද්දි මං කාමරේට රිංගුවා. අක්කට තදවෙන්න තරම් දෙයක් මගේ කටින් පිටවුණාද කියලා මං කල්පනා කරා. ෂුවර්රෙකට තද වෙන්නැති. අක්කා කියපු ඒවටත් මට තදවුණේ මොකද කියලා ආයෙත් අඟ ඉඳල් මලට කල්පනා කරද්දි තමයි දොරේ කර්ටන් එක උඩ ගියේ. මං දොර දිහා බැලුවා. මූණ ෆුල්ම අප්සට් කරන් දොර ගාව හිටියෙ අක්කා. යකෝ.. අනිත් කම්මුලටත් කෙලින්නද දන්නෑ.. මං එහෙම හිතුවට, මං ගාවට ආපු අක්කා මාව බදාගත්තා.. මේ මොකද වෙන්න යන්නෙ..?

ඉ..හ්ග්..හ්... ම.. මට සමාවෙන්න චූටි.. ම.. මං ඔයාට අත ඉස්සුවා.. ගෙදර කවුරුවත් ගහන්නෙ, බනින්නෙ නැති ඔයාට මං අද මේ මොකක්ද කරේ..

අක්කා එකසිය ගානට අඬනවා. එයාගෙ කඳුළු වලින් මගේ හිතේ එකතුවෙලා තිබ්බ කේන්තිය හේදිලා යනව කියලා මට තේරුනා. උණුම උණු කඳුළු  මගේ පිට දිගේ දොරෙ ගලද්දි, මගේ හිත හිරිවැටිලා ගියා.

මාත් ඔයාට කතා කෙරුවා වැරදියි අක්කෙ. පොඩි කාලෙ ඉඳලා හැමෝම හුරතල් කරල නරක් වෙච්චි එකෙක් මං.. මට සමහර දේවල්වල හැඟීමක්, බරක් තේරෙන්නෙ නෑ.. ඔයා ගැහුවහම මට අදහගන්න බැරිවුණේ ඒකයි..

මං.. මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි චූටි.. ඔයා කතා කරපු වචන වලින් මගේ හිත රිදුණා.. ඔයා හිතන්නෙ මං ඔයාට ආදරේ නෑ කියලද..? ඇයි ඔයා මට අරහෙම කතා කරේ.. මං ඔයත්තෙක්ක කොයි තරම් විහිළු කරනවද..?

අක්කගෙ කටහඬ ආයෙත් බිඳලා ගියා. මං අක්කගෙන් ඈත්වෙලා ඒ සීතල වෙලා තිබ්බ අත් දෙකෙන් අල්ල ගත්තා.

මං ආයෙත් එහෙම කරන්නෑ අක්කෙ.. මීට පස්සෙ කවදාවත් මං ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ..

ලොකුත් ගෙදර නෑ.. එයාට හැමවෙලාවෙම ජොබ් එක ලොකුයි.. තාත්තත් නෑ.. ඔයයි, අම්මයි විතරයි මං ගාව ඉන්නෙ.. ඉතිං මං ඔයා ගැන හොයනෙක වැරදිද චූටි..?

අක්කා අහපු දේට මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.. ඇත්තටම මං මොන තරම් වල් අස්පයෙක් විදියටද අක්කට කතා කරේ.. අද නම් මගේ සර්කිට් එකේ කොහේ හරි වයර් එකක් ගැලවිල තියෙනව. ඒකනේ සැරින් සැරේට අප්සට් යන්නෙ.

ම.. මගෙත්තෙක්ක ත.. තරහ වෙන්නෙපා චූටි.. එදා ඔයයි, ප්‍රශානුයි අඹ ගහ යටදි කතා කරපුවා මං අහගෙනයි හිටියේ.

හුට්..ටා..! ඔය කෙලවිල තියෙන්නෙ.. තාප්පෙ ගැලවෙන්නම.. එහෙනම්. ඒක තමයි එදා මං වත්ත පහළ ඉඳලා එද්දි, අම්මා අක්කා ගෙයි නෑ කියලා හෙව්වෙ. මෙයා අපේ පස්සෙන් ඇවිත්. දැන් ඉතින් කාපකො රට තණකොළ.

මං මොනාට තරහා වෙන්නද අක්කෙ.. ප්‍රශාන් ඒ කිව්වෙ ඌට වෙච්ච දෙයක්.. මට ඒක අදාල නෑ..

මං පට් ගාලා කතාව මාරු කළා.

ඒක තමයි චූටි.. ඒත් ප්‍රශාන් කිව්වා නේද ඔයාටත් ට්‍රයි කරන්න කියල වගේ කතාවක්.. ඒ ගැන ඔයා මොනවද කියන්නෙ..?

ඌ එහෙම කිව්වට මට ඕව මොකටද අක්කෙ.. මට මේ ඉන්න විදිය හොඳටම හොඳයි.

තව ඩිංගක් වෙලා හිටියොත් මෙතන පොළව පැලෙනවා. ඒක හන්ද මං ඇඳෙන් වාඩිවුණා.

ඒ කොහෙම වුණත් ඔයාට බල කරන්නවත්, ඔයාට එපා කියන්නත් මට බෑ චූටි. ඒක මගේ හිතට එකඟ නැති වැඩක්. අනිත්තෙක ඒක ඔයාගෙ තීරණය..! මං දන්නවා ඔයා මෝඩ තීරණයක් ගන්නැති විත්තිය..

අක්කා එහෙම කියලා සාලෙ පැත්තට ගියා. සියලු වස්දොස් නිවාරණයි කියලා මං හිතුවට අක්කා අන්තිමට කියපු වචන ටික මගේ හිතේ හතර පස් පාරක්ම කරකැවුණා. ඇයි අක්කා එහෙම දෙයක් කිව්වෙ..?


පහුවෙනිදාටත් එළිවුණා. හර්ෂි ගැන හිත හිතා හිටිය මිසක මට රෑ නින්ද ගියෙත් නෑ. ඒත් මගේ වෙලාව අන්තිම හොඳයි කියන්නෙ, අයියකාරයා පොරගෙ අලුත්ම ෂර්ට් එකකුයි, කලිසමකුයි ගෙදර දාලා ගිහින් තිබුණා. උදේ වරුවෙ මං මුලින්ම කරේ ඒ දෙක මැදලා පැත්තකින් තියපු එක. කරුමෙටවත් ලයිට් ගියොත් හෙම කාට කියන්නද.?

ෂර්ට් එකයි, කලිසමයි ඇඳගෙන මං අක්කගෙ කණ්නාඩි මේසෙ ඉස්සරහට ගියා. අම්මට හුඩු... යකෝ.. මේ මමද..? මටවත් මාව අඳුනගන්න බෑ වගේ. අද නම් කෑලි දෙක තුනක් සෙට් වෙන එක නම් බුදු සුවර්..

හවස හතරවෙද්දි.. මං කොලෙජ් ලේන් එකට ගියා. ඒ යනකොටත් මං හිත හිතා ගියේ හර්ෂි අද එන එකක් නෑ කියලා. ඒ මදිවට පපුවත් මට නොකියා ස්පීඩ් එක වැඩි කරා. අද මං හර්ෂිට මොනවද කියන්නෙ..?

අලුපාට බිංදු ඉහිරිච්ච රැළි ගවුමක් ඇඳන්, කලුපාට පීත්ත පටියකින් දිග කොණ්ඩෙ තද කරල බැඳන් ඉදපු හර්ෂිව මං ඈතදිම අඳුන ගත්තා. ඊයෙ එයාව ඇදගෙන දුවපු යාලුවත් එයාගෙ අතකින් අල්ලගෙන ළඟන්ම හිටියා.

නලුවා වගේ අද..

හර්ෂිගෙ යාලුවා, හර්ෂිට රහසින් වගේ කියපු එක ඇහිලා මගේ හිතට ආවෙ මාරම මාර ෆිට් එකක්. අන්න එහෙමනේ වෙන්න ඕන.

හෂි.. දැන් මම ඕන නැහැනේ.. තනියට දේව් අයියා ඉන්නවනේ.. මං අරලිය එක ගාව ඉන්නම්.. ඔයා එතෙන්ට එන්න..! මං යන්නම් අයියෙ..

හර්ෂිගෙ යාළුවා එහෙම කියලා අපි ළඟින් ඈත්වුණා. හර්ෂිගෙ ඇස් තිබුණෙ යාළුවා යන දිහාවෙ. ඊගාවට ඒ ඇස් මං දිහාවට හැරුණා. එදා ඒ ඇස්වල මං දැකපු අසරණකමම, අදත් ඒ රවුම් ඇස්වල මං දැක්කා.

අතන බංකුවට යමු නංගි..

කියන්න කිසිම දෙයක් ඔලුවට ඇවෙ නැති හින්ද මං කිව්වා. එයා බයවෙලා වගේ ඇස් ලොකු කරලා මං දිහා බැලුවා. පුංචි මුව පැටියෙක්ගෙ වගේ දිලිසුන ඒ ඇස්වල පුදුමාකාර තරමෙ අහිංසකකමක් මං දැක්කා.

එන්න...

මගේ පපුව දෙමෝලෙන් පිටි කොටද්දි මං හර්ෂිට කිව්වා. එයා බයෙන් බයෙන් වගේ මගේ පස්සෙන් ආවා. සිමෙන්ති බංකුව උඩ ලොකු ලේන්සුව එලල මං වාඩිවෙන ගමන් හර්ෂිගෙ මූණ දිහා බැලුවා. එයා තාමත් හිටගෙන. හර්ෂිට මං ගාවින් වාඩිවෙන්න කියල කියන්නත් මට මොකක්ද වගේ. මගේ හිතට දැනුණෙ කවදාවත් නැති තරමෙ තැතිගැන්මක්. ඒත් ටිකක් වෙලා යද්දි ඒ ඔක්කොම පස්සට දාලා මං කතා කරා.

මෙ.. මෙතනින් වාඩිවෙන්න.. හර්ෂි... ම.. මට.. ඔ.. ඔයත්තෙක්ක කතා කරන්නෝන..

මං එහෙම කිව්වම ඒ රවුම් ඇස්දෙක මං දිහාට හැරුණා. ලොකුම ලොකු කඳුලු බිංදු දෙකක් ඒ ඇස් දෙකේ හිරවෙලා තිබුණා.

ම.. මට බ.. බයයි දේව් අයියෙ.. මට බයයි.. බාප්පා ආවොතින් මට ගෙදරිනුත් යන්න වේවි. අද මං ආවෙත් හුඟක් අමාරුවෙන්.. ම.. මට යන්න ඕන දේව් අයියා..

රෝස පාට වෙලා තිබ්බ හර්ෂීගෙ රවුම් මූණ පුරාම මහා දුකක්, හැංගිලා තිබුණා. මට තවත් ඒ දිහා බලන් ඉන්න බෑ.. ඔය තරම් අහිංසක වෙන්න එපා හර්ෂි.

ඔයා දැන් ගෙදර ගියා කියලා වැඩක් වෙන්නෑනෙ නංගි.. අනිත්තෙක එයාල බලාවි ඔයා ක්ලාස් නොගියෙ ඇයි කියලා..?

මං එහෙම කිව්වම එයා වටපිට බලල එකපාරටම ඇවිත්, මං ගාවින් වාඩි වුණා.

අ.. අනේ අයියෙ අපේ බාප්පා හරි නපුරුයි.. මං අද මෙතන ඉන්නව කියල දන්නව නම් මාව මරල දාවි..

එයාගෙ කතාවට මගේ හිත හීතල වෙලා ගියා. පුදුමාකාර දුක්ක ඒ වචන පේලිවල ගැබ්වෙලා තිබුණා.

ඔයා නිතරම ඒ ගැන කල්පනා කරන්න එපා හර්ෂි.. මේ වෙලාවෙත් අපි බාප්පා ගැන කතා කරොත් හෙම, මිනිහගෙ නහය ගන්න දෙයක් නැතිවේවි කිවිසුම් ගිහින්..

මගේ කතාවට හර්ෂිගෙ මූණට යාංතමට හිනා පොදක් ආවා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්.

අයිය දන්නෑ අයියෙ.. මට මං ගැනම පුදුමයි. අයිය ඊයෙ මට මෙතෙන්ට එන්න කියපු වෙලාවෙ, බෑ කියල කියන්න මට හිතුණෙ නෑ.. ඒ ඇයි කියලා මං කොයි තරම් හිතුවත් මට තේරුම් ගන්න බැරිවුණා. අයියා හුඟක් හොඳයි කියලා මට හිතුණා..

මං ඔයා ගැන මුලින්ම විස්තර දැනගත්තෙ අක්කගෙන්. ඔයා මම්මල ගාව ඉන්නෙ කිව්වෙත් අක්කමයි. අක්කා ඔයා ගැන කියපු දේවල්වලින් ඔයා ගැන ලොකු දුකක් මගේ හිතට දැනුණා..

කෙල්ලෙක් ඉස්සරහ මං මේ තරම් විවෘතව කවදාවත් කතා කරලා තිබ්බෙ නෑ. ඒත් හර්ෂිත් එක්ක කතා කරන්න, කරන්න මගේ හිත ශක්තිමත් වෙනවා කියලා මට දැනුණා.

මම්මල ගාව උන්නට මං හරිම අවාසනාවන්තයි අයියෙ.. මගේ අම්මියි, තාත්තියි මට නැතිවුණේ අවුරුදු 10දි.. එයාලා දෙන්න මට කොයි තරම් ආදරේ කරාද කියලා දන්නෙ මායි, උඩ ඉන්න දෙවියොයි විතරයි.. අනේ.. හ්.. හ්.. මං කොයි තරම් පව්කාරියක්ද අයියෙ.. හ්.. හ්..

කොයි වෙලාවෙද බිමට වැටෙන්නෙ කියලා බලන් ඉඳපු කදුලු බිංදු පේළියක්ම හර්ෂීගෙ කම්මුල් දිගේ පහළට ගලාගෙන ආවා. බිමට පාත්වෙලා තිබ්බ ඒ සුදු මූන, මං මගේ දිහාවට අත් දෙකෙන්ම හරවගත්තා.


ම.. මට සමාවෙන්න හර්ෂි.. මං හින්ද ඔයාගෙ හිත රිඳුණා.. මං ආයෙ ඒ ගැන කතා කරන්නෙ නෑ.. ඉතිං.. දැන් හොඳ ළමයා වගේ අඬන්නෙ නැතුව ඉන්නකො..

මං එහෙම කියනකොට මගේ කටහඬත් බිඳිලා ගියා. මගේ ඇස්වලටත් කඳුළු ඇවිල්ලද කොහෙද..

මීට පස්සෙ අඬන්නෙ නෑ නේද..?

ඊගාවට මං අහපු දෙයි, කඳුලු බිංදු මැකිලා ගියපු හර්ෂීගෙ පුංචි මූණෙ ලස්සන හිනා ඇබිත්තක් හැංගිලා ගියා.

ම්හු..! නෑ අයියෙ.. මෙච්චර කාලෙකට ඔය වගේ ආදරෙන් මට කවුරුවත් කතා කරල නෑ.. මගේ අම්මියි, තාත්තියි නැති වුණාට පස්සෙ මම්මයි, බාප්පයි මාව හදන්නෙ හිරකාරයෙක් වගේ.. කිසිම ආදරයක් එයාල මට පෙන්නන්නෙ නෑ.. මං හිනාවෙලා හිටියට, මගේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නෙ දුකෙන්ම විතරයි.. හ්.. ග්.. හ්.. අනේ මන්දා.. මටම තේරෙන්නෑ.. ඇයි මං මේව අයියත්තෙක්ක කියන්නෙ මොකද කියලවත්..

හර්ෂි..

ම්..

කඳුළු කැට මැකිලා ගිහින් පුංචි හිනාවක මං සලකුණු තිබ්බ ඒ ආදරේ හිතෙන මූණ මං දිහාට හැරුණා.

ම.. මං ඔයාට අද එන්නෙ කිව්වෙ ඇයි කියලා ඔයා ඩිංගක්වත් හිතුවෙ නැද්ද..?

හර්ෂීගෙ ලොකු ඇස්වල තිබ්බෙ පුංචිම වෙච්ච ගතියක්. පුදුම වෙන්නැතුව තියේවියෑ.. මං ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම අහපුවාම.

නෑ අයියෙ.. මං ඒ තරම් හිතුවෙ නෑ.. අයියා එන්න කිව්වා.. මට එන්න හිතුණා.. මං ආවා..

ආයෙත් පුංචි හිනාවකින් ්එ සුදු මූන වැහිලා ගියා.

ඔයා කාත්තෙක්ක හරි යාලුද නංගි..?

හිතේ තිබ්බ දහිරියේ අන්තිම බිංදුවත් එක්කහු කරලා මං ඇහුවා. මගේ පපුව ස්පීඩ් එක වැඩි කරේ මටත් නොකියම..

ම්හු..!

හර්ෂි ඔලුව වැනුවා.

ඇත්තම නේද..?

මං එහෙම අහපුවාම එයාගෙ හිනාව ආයෙත් අලුත් වුණා..

ඇත්තම තමයි.. මේ.. අයියා ඇයි ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවෙ..?

ඔයාට හිතාගන්න බැරිද නංගි..?

අනේ බැහැනේ..

හර්ෂි ආයෙත් හිනාවෙලා එහෙම කිව්වාම මටත් බකස් ගාලා හිනා ගියා. ඒත් ඊළඟට අහන්න මං හිතාගත්තු දේ මතක්වෙලා මගේ හිනාව උපන්ගෙයිම නැතිවුණා.

අයියා එකපාරටම සයිලන්ස් වුණා.. මගේ අතින් මොනා හරි වැරදි දෙයක් කියවුණාද අයියෙ..?

ආයෙමත් අර ලස්සන ඇස් දෙක මගේ දිහාට හැරිලා. මං දන්නෙම නැතුව ඔයා මගේ හිතට රිංගගෙන හර්ෂි.. මට ඔයාව ඕන.. මගේ හිත කෑගැහුවා..

ඔ.. ඔයාට අම්මගෙනුයි, බාප්පගෙනුයි නොලැබෙන ආදරේ මං ඔයාට දුන්නොත්.. ඔයාගෙ හිත රිද්දන්නැතුව මං හැමදාකම ඔයා ගාව ඉන්න කැමති නම්.. ඔයා මොකද කියන්නෙ හර්ෂි..?

හිතල හිතල මං එහෙම ඇහුවා. එතකොට තමයි හර්ෂිගෙ අර ලස්සන හිනාව එකපාරම නැතිවෙලා ගියේ.. ඒ ඇස්දෙක බයෙන් වගේ ලොකු වුණා. ඒ කියන්නෙ මං වැඩේ අනාගත්තද..?

අනේ දේව් අයියෙ.. මට බයයි.. මං බාප්පට බයයි අයියෙ..

හර්ෂි දුන්නු උත්තරෙන් මගේ හිත රිදුනත්, කතා කරන්න වචන හොයාගන්න මං ට්‍රයි කරා..

ඔයා ඔය විදියටම මගේ යාළුවටත් කියන්න ඇති නේද නංගි.. දැන් ඒ දේම වෙනසක් නැතුව මටත් වුණා.. කමක් නෑ නංගි.. ඒක ඔයාගෙ කැමැත්ත..

මං ගැන වැරදියට හිතන්න එපා අයියෙ.. මං ප්‍රශාන් අයියට මූණටම බෑ කියලා කිව්වා. මගෙන් යාළුවෙන්න ඇහුවහම.. අයියා විශ්වාස කරන්න.. මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක මෙහෙම එකට බංකුවක වාඩිවෙලා ඉඳලා නෑ.. කතා කරල නෑ..

හර්ෂිගෙ කටහඬ බිඳිලා ගිහින් තිබුණා. මගේ මූණ දිහාවටම හැරිලා තිබ්බ ඒ ඇස්වල ආදරෙන් බේරෙන්න වගේ මං බිම බලාගෙන කතා කරා..

ඒ මොනව වුණත් ඔයාගෙ හැම වැදගත් තීරණයක්ම ගන්නෙ බාප්පද..? මට නම් පේන්නෙ ඔයා එයාට නිකං බයවෙලා වගේ..

ඔයා දන්නෑ අයියෙ, බාප්පගෙ හ ැටි.. මෙච්චර කාලෙකට මං එයා ළඟ ඉදපු හින්ද මං දන්නවා ඒ ගැන... මං කාත්තෙක්ක හරි යාළුවුණා කියලා දැනගත්තු ගමන් මාව මරලා දාවි.. අද අයියත්තෙක්ක මෙතෙන්ට ආව කියලා යංතන් හරි දැනගත්ත නම් මාව ගෙදරිනුත් එළවල දාවි අයියෙ..

ජීවිතය පිළිබඳ කවදාවත් නැති තරමෙ තරහක් මගේ හිතට ඇතුල්වුණා හර්ෂිගෙ කතාවත් එක්කම. මේ තරම් ලස්සන පුංචි කෙල්ලෙක් අන්ත අසරණ කරන එකෙන්, දෙවියො උනත් බලාපොරොත්තු වේනනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ මෙනව උනත් ඒ හැමදේටම උඩින් ඉදිවෙමින් තිබ්බෙ හර්ෂි පිළිබඳ ආදරණිය සෙනෙහසක ශක්තිමත් අඩිතාලමක්.

ඔයා කිව්ව හැමදේම මට හොඳට තේරුණා නංගි.. ඔයාගෙ ජීවිතේ ඔයාට කවුරු නැති වුණත්, මං කවදාවත් ඔයාගෙ ජීවිතේ තනි කරන්නෙ නෑ.. සත්තයි..

හර්ෂිගෙ රෝස පාට ඇඟිලි තුඩු වෙව්ලනව වගේ මං දැක්කා. ඒ ඇඟිලි තුඩුවලින්ම එයා මගේ අත් දෙක අල්ල ගත්තා. තත්පර ගාණක් යනකම් මගේ හිතේ විදුලි එළි දාහක් විතර ඇඳිලා ගියා.

අයියා අවංකයි කියලා මං දන්නවා අයියෙ..! ඒත් මං තව ටික දවසක් කල්පනා කරන්නෝන.. මොකද මේ ලෝකෙ මටය කියල කාත් කවුරුවත් නෑ කියලා මං දන්නවා.. ඉතිං හා හා පුරා කියලා මං ළංකර ගන්න හදන ඔයාව, මට හැමදාටම අයිති කරන් ඉන්න පුළවුන්ද කියලත් මං කල්පනා කරන්නෝන නේ අයියා..

පොඩියට හිටියට පැහිලා.. ඉඳිලා.. තව ටිකකින් බිමටත් වැටෙනවා.. හරි.. හරි.. ඔයා ඕනෙ තරම් කල්පනා කරල තීරණයක් ගන්නකො.. ඉතිං දැන් යමු නේද..?

මං එහෙම කිව්වාම හර්ෂිගෙ සුදු මූණ ආයෙත් රතුවුණා. ඇස් දෙකත් පුංචි කරන් මං දිහා බලන් ඉඳපු මේ පුංචි කෙල්ල ඉඹින ආසාව මං නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. හිත කිව්වෙම ඉඹපං කියලා.. ඒත් මං ඒවා පස්සට තිබ්බා.. අදම ඉඹින්න ගිහින් ඇදගෙන නාන්න බෑ..

අප්පේ.... ඇති යංතං ඔය තරමින් ආවා..

මටයි, හර්ෂිටයි අරලිය එකට ගොඩවෙන්න හම්බවුණේ නෑ.. හර්ෂීගෙ යාළුවා ශානි කෑගැහුවා.

ඔන්න එහෙනම් හර්ෂි.. ඔයා ශානිට උත්තරේ දෙන්න.. මං පස්සෙ ඇවිත් ශානිව හම්බවෙන්නම්..

මං එයාලා දෙන්නගෙන් සමුගත්තා. හර්ෂි මොන වගේ තීරණයක් ගනීද දන්නෙ නෑ.. පව් පුදුම හිතෙන තරම් දුක්බර ජීවිතයක් එයා ගත කරන්නෙ. හර්ෂි කල්පනා කරනකොට එයා ගැන මගේ හිතේ ඇතිවෙච්ච ආදරේ එන්න එන්නම වැඩිවෙනවා  කියලා මට තේරුණා..

හු..ග්.. ද...ඩි..ස්..

කවුද යකෝ.. පිටට ගැහුවෙ පොලීෂියෙන් ගහන්න වගේ.. නප්පියටයි ඊට චුට්ටක් වැඩියෙනුයි තදවෙලා මං හැරිලා බැලුවා.. හුටා.. ප්‍රශානුයි.. නිශානුයි..

අනේ.. අනේ.. දේව්.. ඔයා කොයි ලෝකෙද හිටියෙ.. අපි දෙන්නා මෙච්චර වෙලා ඔයා දිහා බලන් හිටියෙ..

හුහ්.. හූ.. මූ නිකං සිත මිස කය නැති එකෙක් වගේ පාරෙ ගියේ නේද නිශානි..

ආයෙත් ඌ හිනාවෙනවා..

යකෝ, ඉස්සෙල්ලා හෙමීට කතා කරන්න එපැයි.. මී හරකෙකුට ගහනව වගේ ගැහුවෙ..

හර්.. හර්.. යමං..! අපි ආවෙ නැත්තං උඹ ෂුවර් එකටම මොකකට හරි අඩයක් තියනවා..

නිශානිව බස්සෙකට දාලා මායි, ප්‍රශානුයි ගෙදර එන්න බස් එකට නැග්ගා. අද හර්ෂීව හම්බවෙන්න ගිය කතාව මං ප්‍රශානුත් එක්ක කිව්වෙ නෑ.. වැඩේ හරි ගියොත් කියනවා කියලා මං හිතාගත්තා.

අඩේ.. දේව්......

මොකද..?

උඹ නිකං ගහන්න වගේනේ බං.. ඒක නෙමේ.. ලව් කරනකොට මාර ගතියක් තියෙනවා නේද බං..?

අනේ අම්මප, මෙන්න මේ වෙලාවට තමයි මූව මරන්න හිතෙන්නෙ..

මං ඒක දන්නෙ කොහොමද යකෝ.. මං ලව් කරල තියෙනවද..?

හප්පේ.. වැරදුණා මචං.. වැරදුණා..

ඌ ආයෙමත් හිනාවෙනවා.. මූව නම් කොහේ හරි හොඳ දොස්තරයෙකුට පෙන්නන්න වෙයි වගේ..

මේ.. ඊට පස්සෙ උඹට අරකි හම්බ වුණේ නැද්ද..?

හුටා..! මූ මේ අහන්නෙ හර්ෂි ගැන නේද..? බස්සෙක වලවල්වල වැටෙන සද්දෙට වැඩිය මගේ පපුව ගැහෙන සද්දෙ වැඩිවුණා.

අරකි කිව්වෙ..?

ඇයි මෝලා.. මං තොට කිව්වෙ හර්ෂිට ට්‍රයි කරපන් කියලා.. බිං ඌරා වගේ හැමදාම ඔහොම ඉන්නද උඹේ කල්පනාව..?

හපොයි.. බස්සෙකේ මිනිස්සුත් බලනවා.. මූට නම් කටක් නෙමේ පිහිටලා තියෙන්නෙ.. තනිකර කරෝල මඩුවක්..

මේ..? උඹ කෙල්ලො සෙට් කරගෙන නැව් ගානට කෑවට, මට එහෙම උණක් නෑ.. මේ ඉන්න විදිය මට සියට දෙසීයක් හොඳයි..

මං එහෙම කිව්වම උගේ මූණ ඇදවෙලා ගියා. මූ දන්නවා නම් හෙම, මං අද පැය ගාණක් කොලෙජ් ලේන් එකේ හර්ෂිත් එක්ක කතා කරකර හිටියා කියලා, මූට හාට් ඇටෑක් හැදෙිලා මැරෙන එක වලක්වන්න ඉතියෝපියාවෙ මනුස්සයෙකුටවත් බෑ..

කොහෙද ඉතිං.. උඹලව මනුස්සයො කරන්න හදනවට අපිට ගහන්න ඕන පොල්ලකින්.. කොන්ද කැඩෙන්න..

ඌ කියෝගෙන කියෝගෙන යනවා.. කවදාවත් මූත්තෙක්ක කතා කරල දිනන්න නම් බෑ.. නිශානි මූත්තෙක්ක කොහොම ඉන්නවද දන්නෑ..

ඒ.. පාර මොකෝ උඹ කල්පනා කරන්නෙ..?

ඌ ආයෙත් මගෙන් අහනවා.. අම්මප නිදහසේ කල්පනා කරන්නවත් මුගෙන් නිදහසක් නැති හැටි. මුගෙන් බේරෙන්න නම් බොරුම කියන්න ඕන.

මං මේ කෙල්ලෙක් සෙට් කරගන්න හැටි හිතුවෙ..

උගේ මූණට ආවෙ ලොකු හිනාවක්.

දාපං ලොක්කා අත.. ෆිට් තමයි.. ඔන්න ඔහොම වරෙන්කො.. එකට දහයක් අපි සෙට් කරගමුකො..

උගේ හිනාවට මාත් අන්තිමේදි එකතු වුණා.


No comments:

Post a Comment