Saturday, October 6, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


ගිණි ගහන අව්ව හැම අස්සක් මුල්ලක්ම අල්ලගෙන.. වාහන යනකොට ඇවිස්සෙන දූවිලිවලින් නාස්පොලු ඇඹරෙනවා වගේ. හිතත් නිකං පාලු අම්බලමක් වෙලා. ගෙදර ඉස්සරහ ජනේල පොලු අස්සට මූණ ඔබන් මං පාර දිහා බලන් හිටියා. ෂෙහ්... මේ වෙලාවට බල්ලෙක්වත් නෑ. අම්මප මොකද මිනිස්සුන්ට බැරි උදේටයි, හවසටයි යනව වගේ දවල්ටත්, ගමන් බිමන් යන්න. තියෙන අහංකාරකමනේ... රෙද්ද..! අහංකාරකමක් වෙන්නෙ කොහොමද..? මේ පට්ට අව්වෙ, පිච්චෙන්න මොකාද ආස..?

ගෙදර ඇතුළෙ කිසිම හැල හොල්මනක් නෑ. අක්කා පංති ගිහින්. එයාට කේක් හදන්නයි, මල් බොකේස් හදන්නයි.. උයන්නයි.. අරකයි, මේකයි හැම එකටම පංති. මටත් මේ නිකං ඉන්න එකේ ඕවවත් ඉගෙන ගත්තා නම් අක්කටම උගන්නල කීයක් හරි හොයාගන්න තිබුණා.


දඩ... බ.. ඩෝං..

බුදු අම්මේ..! ලෝක විනාසෙද..? මං උඩ ගිහිල්ලා බිම වැටුණා. පපුව ඩාං ඩාං ගාන්නෙ පංසලේ ඝාංඨාරෙ ගහනව වගේ.. පපුවත් අතින් අල්ලගෙන මං හැරුණා. ප්‍රශාන්..! ඌ බඩ අල්ලගෙන ඉනාවෙනවා. අනේ අම්මප මට මූත් එක්ක එන කේන්තිය.

හුහ්.. හූ.. මොකද ලොක්කා ඔච්චර බය..?

ප්‍රශාන් අහනවා. උගේ ළඟම තිබ්බෙ කාඩ්බෝඩ් වගේ ලෑල්ලකුයි, දඩ පොල්ලකුයි. මූ මේකෙන් තමයි මාව බය කරේ..

හෙහ්.. කවුද ඩෝ බය..? මං ඔය වචනෙ මීට කලින් අහලත් නෑ. මෙ.. මේ.. මොනවද උඹ බලන්නෙ..?

හිනාවිල්ල පැත්තක තියලා ඌ මං වාඩිවෙලා හිටිය පුටුව දිහා බලනවා.

න්.. නෑ.. මචං..! මං මේ බැලුවෙ බයවෙච්ච පාරට ගාත්‍රා දිගේ මුත්‍රා ගලනවද කියලා..

ෂිකේ.. ඌ ඒක කියපු කැත.. මූ නම් මහ වල් අස්පයෙක්. අපේ අයියා අද නැති හින්දා හොඳයි. නැත්තං මුං දෙන්නා එකතුවෙලා මාව බයිට් පැකට් එකක් කරන එක බුදු ෂුවර්.

අඩෝ.. මේ අද ක්ලාස් යන්නෙ නැද්ද බයිලා කෙල කෙල ඉන්නෙ..?

අම්මට හුඩු.. යකෝ අද සිකුරාදද.. හුටා.. අද සිකුරාදා තමයි. මං දඩබඩ ගාලා ටී ෂර්ට් එකකුයි, ඩෙනියි දාගත්තා. හාල් පොත වගේ තියෙන එකම ඩෙනිම... දවස් ගානකින් හොදලා නම් නෑ.

දේව්..! මාර කේස් එක බං..

පාරට එද්දි ප්‍රශාන් මං දිහා බලලා කිව්වා.

මොකක්ද බං..?

න්.. නෑ.. මේ.. එක්කො මං පස්සෙ කියන්නම්..

උගේ කතාව මට ඇල්ලුවෙ නෑ.. මූ කවදාවත් මෙලෝ දෙයක් පස්සට දාලා නෑ.. මූට මොකද වුණේ..?

ගෙදර අවුලක්ද..?

මං ආයෙත් උගෙන් ඇහුවා.

නෑ බං..! එහෙම එකක් නෙමේ...

ඌ කතාව නැවැත්තුවා. මාත් ඊට වැඩිය උගෙන් මුකුත් අහන්න ගියේ නෑ. ඉංශ්‍රීසි ක්ලාස් එකේදිත් ප්‍රශාන් හිටියෙ මේ ලෝකෙ නෙමෙයි.  ඌ පංතියෙ හිටියට උගේ හිත නම් තිවුණෙ හුඟාක් ඈත කියලා මට තේරුණා. ක්ලාස් ඇරුණයින් පස්සෙ මායි, ප්‍රශානුයි බස්ටෑන්ඩ් එකට ආවා. කොට තාප්පෙට කකුලකුත් ගහගෙන මං කල්පනා කලේ මූට මොනව වෙලාද කියලා. වෙනදට නම් මූ, කොයිතරම් කියවනවද..?

ඒයි.. අර බලපං..

මෙච්චර වෙලා සද්ද වහලා තිබ්බ එකාගෙ කට ඇරුණා. මං බැලුවා මූට එකපාරටම අස්ප කුලප්පුව හැදුනෙ ඇයි කියලා. ප්‍රශාන්ගෙ ඇස් තිබුණෙ බස්ටෑන්ඩ් එක කෙලවරේම. ඒ කොණෙන් මතුවෙච්චි ගෑණු ළමයව අඳුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. හර්ෂි.. අපේ අක්කගෙ යාලු නංගි.

උඹ දන්නෙ නෑ දේව්..! මට ඔය ගර්ල්ව පෙරේදා හම්බවුනා..

පෙරේදා..! ඒ කියන්නෙ අක්කයි, මායි එයාලහ ගියපුදාට පහුවෙනිදා.. ෂුවර්රෙකටම මූ හොඳ තොවිලයක් නටන්න ඇති.

ඉතිං උඹලා දෙන්නා කෙලගත්තා..?
මං අහපු එකට ඌට හිනා ගියා.

හිටපංකො කියනකං..

ඌ ස්ටෝරිය දෙන්න හදද්දි මං ආයෙත් ඉස්සරහ බැලුවා. එයා ආවෙත් මං දිහා බලාගෙන වගේ. අපේ ඇස් එකට මුණ ගැහුණ ගමන් එයාගෙ මූණට හිනාවක් ආවා. ඒ හිනාව මූණෙ තියාගෙනම එයා අපිව පහු කරන් ගියා.

පිස්සු හැදිල, හොඳවෙලා, ආයෙත් හැදෙනවා නේද බං..

ප්‍රශාන් කියනවා. තාමත් ඉස්කෝලෙ යුනිෆෝම් එක පිටින් ඉන්න එයා දිහා ආයෙත් බලන්න හිතුණත් මං බැලුවෙ නෑ.

මොකෝ උඹ සයිලන්ස් වුණේ..? ඇස් අහකට ගන්න හිතෙන්නෙම නැද්ද..? ආ.. ස.. යි.. නේ.. හ්..

රෙද්ද තමයි ආසාව.. මේ උඹ ඉස්සෙල්ලා කියන්න ගියේ මොකක්ද..?

ඌට බයිට් වෙන්න බැරි හන්දා මං පරණ කතාව මතක් කරා.

ෆිට් තමයි මචං..! ඔය කෙල්ල හරි හොඳයි.. අපරාදෙ මං එදා බස් එකේදි බැන්නෙ.. එදා ගෙදර ගිහිනුත් මං කල්පනා කරා බං.. ඇයි මං ඒකිට බැන්නෙ කියලා..

ඉතිං..?

මට හම්බවුණ වෙලාවෙදි මං ඒකිට කිව්වා, එදා වුණ දේට සොරි කියලා. මාර වැඩේ කියන්නෙ ඒකි හිනාවෙලා කිව්වනේ, ඒක අපි අමතක කරලා දාමු කියලා.. මං ඉස්සෙල්ලා උඹට කියන්න හැදුවෙ ඕක තමයි..

මල හත්තලව්වයි..! මූත් සමාව භාජනයක දාලා.. ෂීකේ, මං හිතුවෙ ඒකි දැන් මගෙත් එක්ක හිනාවුණා කියලනේ.. බලපුවහම හිනාවෙලා තියෙන්නෙ මූත්තෙක්ක වෙන්නැති.. මැදැයි..

මොකෝ උඹ කතා නැත්තෙ..?

න්.. නෑ.. ප්‍රශාන්.. බස් එක ගහලා.. වරෙන් යමු..

මං කලබල වෙලාවත්ද කියලා මට හිතුණා. ඒත් ඇයි මං කලබල වෙන්නෙ.


තවත් සතියක් නිකම්ම ගෙවිලා ගියා. මං ගෙයින් එළියට බැස්සෙ ප්‍රශානුත් එක්ක ඉංශ්‍රීසි ක්ලාස් යන්න විතරයි. අනිත් දවස්වලට බඩ පැලෙන්න කාලා කුම්බකරණයා වගේ නිදා ගත්තා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ, අත් ඇරලා දාපු මීහරක් වගේ තමයි අපේ ජීවිත ගතවුණේ.

ඊයෙ දවසටම ප්‍රශාන් ආවෙ නෑ.. සාමාන්‍යයෙන් ඌ විනාඩියකට දෙකකට හරි අපේ ගෙදර ඇවිත් යන්න එනවා. ෂුවර් එකටම, මල පෙරේතයා වගේ නිදි ඇති. ඒකයි අදත් නැත්තෙ. ඌ ගැන හිත  හිතාම මං උගේ ගෙදර ගියා.

ආ.. ඇන්ටී..! බරටම වැඩ වගේ..

උංගෙ අම්මා උයනවා. ගේ ඇතුළෙ නිකමටවත් සද්දයක් නෑ.. දැන් නම් මට බුදු ෂුවර් මූ ගෙයි නිදි ඇති කියලා..

ආ...හ්...

ප්‍රශාන්ගෙ අම්මා, මාව දැක්කහම අප්සට් ගියා.

ඇ.. ඇයි.. ඇයි.. දේව් ගියේ නැද්ද ෆිල්ම් එකට..

මොකක්ද බං මේ හරුපෙ..? මං මගෙන්ම අහගත්තා. තත්පරයක්වත් ගියේ නෑ. මෝටාර් ගහනවා වගේ වෙලා තියෙන දේ මගේ ඔලුවට වැටුණා. මූ කොහේ හරි හොර මගුලක ගිහින් මාව මාට්ටු කරලා තියෙනවා.

නෑ ඇන්ටි.. ප්‍රශාන් තනියෙම ගියා.. මට කම්මැලියි වගේ.. මං මේ ආවෙ නවල් එකක්වත් අරන් යන්න..

ඇඟට පතට දැනෙන්නෙ නැතිවෙන්න මං කියවං ගියා. ප්‍රශාන්ගෙ අම්මා මොනව හිතුවද දන්නෑ.. ඒත් ඉතිං ඌ පෙරලපු බාල්දිය හරිගස්සන්නත් ඕනනෙ.. මං උගේ කාමරේට රිංගුවා. සරම රෝල් කරල පුටුව උඩට දාපු ගමන්. අර පොල් ගස් නගින්න ගෙනියන වලල්ල වගේ. රෑ පොරවපු ෂිට් එක තාම නමල නෑ. මූව නම් මේ කපේදි හදන්න බෑ. උගේ පොත් මේසෙ උඩින් පොතකුත් අරන් මං ආපහු ගෙදර එන්න ආවා.

ඇත්තටම මූ කොහෙද ගියේ..? ඌ කවදාවත් මේ වගේ මට නොකියා කොහෙවත් ගිහින් නෑ.. ඇරත් මාවත් අල්ලල තියලා.. ගෙදර හුඩ් එක යට පඩිය උඩින් වාඩිවෙලත් මං කල්පනා කරේ ඒ ගැන. ඔය වෙලාවෙ තමයි මං දැක්කෙ අක්කා ඈත එනවා. ලොකු හිනාවකුත් එක්ක.

මොකෝ.. අද පනාව පිටින්ම..? කොල්ලෙක් කැමතිද කියලා ඇහුවද..?

අක්කා ළඟට එන්න කලින්ම මං ඇහුවා, දුවන්න බලාගෙන.

මේ..හ්.. දෙනවා දෙකක්.. එන්න එපා ඕන නැති දේවල් කියන්න..

අම්බානක ඔරොප්පු මූඩ් එකක් දාලා අක්කා ගේ ඇතුළට ගියා. මාත් ඇරියෙ නෑ.. ගියා පස්සෙන්ම. අක්කා එක පාරටම ආපිට හැරුණා. මං ආරක්ෂාව තකා මිදුල දක්වා පසුබැස්සා.

බයවෙන්න එපා හලෝ..! මං ගහන්නෑ.. ළඟට එනවකො බඩ්ඩක් කියන්න..

ගැහුවොත් දුවනවා කියලා හිතාගෙන, මං අක්කා ළඟට ගියා.

අනේ මල්ලි..! ඔයා හර්ෂිලහට ගිහින් මගේ මල් බොකේස් ටික අරන් එනවද..?

හු..ර්..රේ..හ්.. දෙන දෙයියො අත පුරවලාම දෙනවා. මට ෆිට් කියන්නෙ, ෆිටේ ෆිට්..

හර්ෂි කිව්වෙ..?

මෙලෝ දෙයක් මතක නැති එකෙක් වගේ මං අක්කගෙන් ඇහුවා.

අනේ.. අනේ.. ඔයාට නම් මුකුත් මතක නෑ මල්ලි.. ඇයි ළමයො අර අපි දෙන්නා මල් බොකේස් වගයක් බලන්න ගියේ.. අර ඔයාලා බස්සෙකේදි රණ්ඩු උනේ..

අක්කා කියවගෙන ගියා.. යකෝ, බලන් ගියාම මාත් මාර මාර පොත්නේ පෙරළන්නෙ.

හෙට ගියාම මැදෑ..

මං තවත් පොතක් පෙරලුවා. අක්කා ඒකටත් අහුවුණා.

අනේ බෑ මල්ලි. අපේ ප්‍රදර්ශනේ ළඟයි.. ඔයා අද යන්නම ඕන..

හරි.. හරි.. යන්නම් හලෝ.. අඬන්නැතුව ඉන්නවා.. මේ සරොම් කොටෙත් ගහගෙන යන්න පුළුවන්ද..?

අක්කගෙ මූණට හිනාවක් ආවා. මට පව් කියලත් හිතුණා. එයා හිතුවෙ මං ඇත්තටම යන්න බෑ කියනවා කියලා.

කොහොම හරි එක දවසක් ආපු හින්ද මට හර්ෂිලගෙ ගෙදර හොයාගන්න අමාරු වුණේ නෑ. තදයා වගේ දොර ගාවට ගිහිල්ල මං බෙල් එක එබුවා. එයා ගේ ඇතුළෙ මල් හදනවා ඇති. මගේ හිත මට කිව්වා. බිම දිගේ ඇතිල්ලීගෙන ආපු සෙරෙප්පු දෙකක සද්දෙ දොර ගාවදි නතර වුණා. ඊගාවට මට ඇහුණෙ දොර අරින සද්දෙ.. හර්ෂිගෙ මූණ බලාපොරොත්තුවෙන් මං ඇරුණු දොර දිහා බැලුවා. කවුද මේ..?

ඇයි..?

කවුදෝ තඩි, කලු මනුස්සයෙක් මගෙන් ඇහුවා. මූ මොකාද කියලා මං හොඳට ඒ මනුස්සයා දිහා බැලුවා. පොරගෙ ඔලුවෙ මැද හරියෙ කොණ්ඩෙ තිබුණෙ නෑ. බොලේ තට්ටෙ පෑදිලා නේද..?

හ.. හර්ෂි ඉ.. ඉන්නවද..?

මොකටද..?

නොදකිං.. මේ වෙල් කක්කුට්ටා කොහෙන් පාත් වුණාද මංදා.. මූ මැනර්ස් කියලා ජාතික්වත් දන්නෙ නැති එකෙක්ද කොහෙද..? මට තාම වාඩිවෙන්නවත් කිව්වෙ නෑ.. හිතට ආපු තරහටත් එක්ක මං මුකුත් කිව්වෙ නෑ. පොරයි, මායි ලව් කරනව වගේ මූණට මූණ බලන් ඉන්දෙද්දි තමයි, මැදිවියේ ගෑණු ළමයෙක් අපි අතරට ආවෙ.

කාවද හොයන්නෙ..?

ඒ ගෑණු කෙනාගෙ කටහඬ නම් අවුලක් නෑ කියලා මට හිතුණා.

අපේ අක්කා මල් වගයක් හදන්න දීලා ඇති. ඒ ටික ගෙනියන්නයි ආවෙ..

එහෙම කිව්වාම අර වෙල් කක්කුට්ටා මගේ ඔලුවෙ ඉඳන් කකුල් දෙකට වෙනකන් හොඳට බලලා ගේ ඇතුළට ගියා. මගෙත් එක්ක හොඳට කතාකරපු ගෑණු කෙනා, හර්ෂිගෙ අම්මා වෙන්නැති කියලා මට හිතුණා. ඒත් අර කලු වෙල් කක්කුට්ටා, හර්ෂිගෙ තාත්තා කියලා නම් මට හිතුණෙම නෑ. මිනිහ මගෙත් එක්ක කතා කරේ වචන දෙකයි. මට ඒකෙන්ම පොරව එපා වුණා.

එන්න පුතා ගෙට..! වාඩිවෙන්න.. හර්ෂි ක්ලාස් ගිහින් තාම ආවෙ නෑ..

එයා ගෙදර නෑ කියලා මට මුලදිම හිතුණා. නැත්තං එළියට නෑවිල්ල ඉන්නෑනෙ.. කෝම වුණත් වාඩිවෙන්න කියලා මට කිව්වට මං වාඩි වුණේ නෑ. මොකටද නිකං..?

ඇයි හිටගෙන ඉන්නෙ.. හර්ෂි දැන් ඒවි.. එතකං වාඩිවෙලා ඉන්න.. මං පොඩ්ඩක් කුස්සියට යන්නම්.. පොඩි වැඩක්..

දෙවැනි පාරටත් ඒ ගෑණු කෙනා කිව්වහම තමයි මං සැටියෙ වාඩිවුණේ.. එහෙම වාඩිවෙලා ඉන්නකොට තමයි අර වෙල් ක්කකුට්ටා පත්තරයක් දිග ඇරගෙන මගේ ඉස්සරහින්ම ඉඳගෙන කියවන්න ආවෙ. මම සැලුනෙ නෑ. උඹත් පොරක්ද බං.. මමනේ පොර කියලා හිතාගෙන ඌ දිහා නොබල මං බිත්තියට ඇස් දෙක යැව්වා. පොඩි එවුන් හත් අට දෙනෙක් බංකුවක වාඩිවෙලා පැත්තකට ඇලවො ඉන්න සිරා පිංතූරයක් බුදු පිළිමෙ ගාවින්ම තිබුණා.

කොහෙද ඉන්නෙ..?

මං වටපිට බැලුවෙ කවුද කතා කරේ කියලා බලන්න.. අර කලු මහත මිනිහා මං දිහා බලන් ඉන්නවා. බොලේ ඒ ප්‍රශ්නෙ මගෙන්ද අහල තියෙන්නෙ. බලන් ගියාම මූටත් ඕනනැති ඉලව්වක් නෑ.. ගෙදරට ආපු එකාගෙත් හතර කේන්දරේ බලනවා.

ධර්මරාජ මාවතේ..

මං උත්තර දුන්නෙ, ගහගන්න වගේ.

පාර අයිනෙමද..?

නෑ යකෝ..! පාර මැද කියල කියන්න හිතුණත් මං මුකුත් කිව්වෙ නෑ.. දැන් නම් මට උපරිමේටම තදවෙලයි තියෙන්නෙ. මට අක්කත් එක්කත් කේන්තියි. උන්දනේ මේ රාජකාරිය පංගාර්තු කරේ. කෝම හරි හර්ෂි එනකන්ම වෙච්ච එකම වැදගත් දේ තමයි මට ප්ලේන්ටියක් හම්බවෙච්ච එක.

ඕ.. ඔ.. ය්.. යා..?

කලබලෙන් වගේ ගෙට ගොඩවෙච්චි හර්ෂිට මාව දැකලා කියවුණා.

අපේ අක්කගෙ මල් ටික..

එයාට මුකුත් කියන්න නොදී මං කිව්වා. මොකද ඒ වෙලාවෙ එතනින් පැන ගන්නයි මට ඕන වෙලා තිබුණෙ. තව ඩිංගක් වෙලා හරි අර වෙල් කක්කුට්ටත් එක්ක හිටියා නම් මට පිස්සු හැදෙනවා.

අනේ අයියෙ..! දේවකී අක්කිට කියනවද ෂුවර් එකට අනිද්ද දෙන්නම් කියලා. මං තාම බාගයයිනේ හදල තියෙන්නෙ..

එහෙනම් මං යන්නම් නංගි..! මේ.. අංකල් මං යනවා..

හර්ෂිටයි, අර පොරටයි දෙන්නටම මං යනවා කිව්වා. ඌ ඔලුව උස්සල ආයෙමත් පත්තරේ දිහා බලා ගත්තා. යකෝ මුගේ තියෙන ඝණකම. කසාද බඳින්න ඉන්න ලමිස්සියෙක් වගෙයි මුගේ බැලිල්ල. මං ගෙයින් එළියට ඇවිත, මිදුලටත් බැහැල නිකමට වගේ ආපහු හැරිලා දොර දිහා බැලුවා. දොරකඩට වෙලා හර්ෂි මගේ දිහා බලන් ඉන්නවා. මං බලනවා දැකපු ගමන් එයාට හිනා ගියා. මටත් හිනා ගියා. ඒත් ඒකට හේතුවක් නම් තිබුණෙ නෑ.

මං ගෙදර ආපු ගමන් කරේ අක්කගෙ ඇගට කඩං පැන්න එක.

තමුසෙත් ඉඳල ඉඳල මාව යවන්නෙ මාර ගල් පල්ලිවලටනේ.. අම්මප.. අම්මප, තව ටිකක් හිටියා නම් මං උගේ හොම්බට අනිනවා..

අක්කගෙ මූණ ඇදවෙලා ගියා මගේ කතාවට.

බලන හැටි ඔරං ඔටං වගේ..! කවුද හලෝ අද එහේ ඉඳපු වෙල් කක්කුට්ටා..

ක.. කවුද මල්ලි.. ඇ.. ඇයි අද හර්ෂි හිටියෙ නැද්ද..?

අක්කා බයවෙලා අහනවා. මගේ සද්දෙට අම්මත් ආවා.

හර්ෂි නම් හිටියෙ නෑ. ඒ වුණාට මොකෙක්දෝ හාල්පාරුවෙක් හිටියා..

චූටි පුතා.. ඔය මිනිස්සුන්ට කතා කරන හැටිද..?

මං මෙච්චර වෙලා බැන්නෙ මිනිහෙකුට කියලා අම්මට තේරිලා තියෙන්නෙ දැන්.. අක්ක නම් තාමත් හොල්මන් වෙලා.

වෙන කොහොමද අම්මෙ කතා කරන්නෙ..? ඒ ගර්ල්ගෙ තාත්තද කොහෙද.. ඌ මගෙන් අහනවා ජාතකේ හිටන්.. හරියට මං ඒ ගර්ල්ව බඳන්න ගියා වගේනේ..

මං කියපු එකට අම්මයි, අක්කයි මූණට මූණ බලාගත්තා.

ඒ හර්ෂිගෙ තාත්තා නෙමෙයි චූටි.. ඒ බාප්පා.. මිනිහගෙ හැටි එහෙම තමයි.. ගෙදරට පිරිමි ළමයි එනවට කැමති නෑ..

කැමති නැත්තං ඌ බෝඩ් එකක් ගේ ඉස්සරහ ගහගත්තා නම් ඉවරනේ.. කොල්ලන්ට පැමිණිම තහනම් කියලා..

එහෙම කියලා මං මගේ කාමරේට ආවා. බලන් ගියාම යකෝ, මටත් මාර විදියට තද වෙනවනේ... ඒත් ඉතිං අර වෙල් කක්කුට්ටත් එක්ක ඉඳපු ටිකට තද නොවී හිටිය නම් තමයි පුදුමෙ. ඌ හර්ෂිගෙ බාප්පලු. එතකොට අර ගෑණු කෙනා කවුද..?

චූටි..

අක්කගෙ සද්දෙ කාමරේ දොර ගාවින්ම ඇහුණා.

ඔච්චර කේන්ති ගන්න එපා මල්ලි.. ඉක්මණට තද වෙන්නෙ ලේවල සීනි අඩු අයගෙලු..

අම්මට හුඩු..! ඒකත් එහෙමද..? එහනෙම් සීනි කිලෝ එකක් විතර ගෙනත් දෙනවා මට කන්න..

අක්කට බකස් ගාලා හිනා ගියා.

ඉතිං චූටි.. කෝ මල්..?

හදල නෑ කිව්වා.. අනිද්දට ෂුවර්ලු..

හ්ම්.. ඒ ළමයට වැඩ ඇති.. ගෙදර වැඩත් කරන්න ඕනනේ..

අක්කා ඒක කියපු තාලෙ මට ඇල්ලුවෙ නෑ.. හෙණ අප්සෙට් එකෙන් වගේ කිව්වෙ. ඒ අප්සෙට් එකට යටින් ලොකු කතාවක් තියෙනවා කියලා මට තේරුණා..

හර්ෂිගෙ තාත්තා කෝ..?

මං එහෙම ඇහුවෙ, ඒ කතාව අක්කගෙන් දැනගන්න.

හර්ෂිගෙ අම්මයි, තාත්තයි දෙන්නම නැතිවෙලා මල්ලි.. අම්මගෙ නංගි ගාව තමයි හර්ෂි ඉන්නෙ.. ඔයාට කේන්ති ගිහින් තිවුණෙ ඒ නංගි බැඳලා ඉන්න මනුස්සයත් එක්ක තමයි..

දෙයියනේ.. එතකොට... එතකොට හර්ෂි අර ලස්සනට හිනාවෙලා ඉන්නෙ මේ තරම් දුකක් හිතේ හංගගෙනද..? ඇරත් ලොකු මහත්වුණු ගෑණු ළමයෙකුට ළඟින්ම ඉන්න ඕන අම්මා නේද..? ඒත් ඒත හර්ෂිට ලැබිලා නෑ කියල මගේ හිත කොඳුරන්න ගත්තා. අක්කා කියපු වචන පේළි දිගේ මං හර්ෂි ගැන හිතන්න ගත්තෙ, මගේ හිතටත් හොරාටම. එයා ගැන අනුකම්පාවක් වගේ හැඟීමකුත් මගේ හිතට තුරුළු වුණේ මටවත් හිතාගන්න බැරි විදියට. අන්න ඒ අනුකම්පාව මගේ ජීවිතේ පුදුම පෙරළියක් කරා.. මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගත්තෙ එතන ඉඳන්.

හර්ෂිට අවුරුදු දොළහෙදි විතර තමයි එයාගෙ අම්මයි තාත්තයි නැතිවෙලා තියෙන්නෙ.. එදා ඉඳන්ම එයා ඉන්නෙ මම්මයි, බාප්පයි ගාව.. ඒ දෙන්නටම ළමයි නෑ..

අක්කා කියවං යන හැම දේම මගේ හිත ඇතුළෙ තැන්පත් වුණා. සුරංගනා කතාවක් අහන් ඉන්න, පොඩි එකෙක් වගේ මං අක්කා දිහා බලන් හිටියා.

ඒගොල්ලො හර්ෂිට සලකනවද..?

එක්කා එක පාරටම මං දිහා බැලුවා. මොකක්දෝ මට තේරෙන්නැති අමුත්තක් ඒ ඇස් වල මං දැක්කා.

හර්ෂි එහේ ඉන්නවට ඒ දෙන්නම කැමති නෑ.. ඇරත් අපිට ඒ දේවල් වැඩක් නැනෙ චූටි..

අක්කා අන්තිමට එහෙම කිව්වත්, කියන්න ඕන දේවල් එයා කියල ඉවරවෙලා තිබුණා. ඒකෙන් වුණේ, හර්ෂි ගැන කලින් හිතට ඇතුල්වෙලා තිබ්බ අනුකම්පාව ටිකෙන් ටික වැඩිවෙනව කියලා මට තේරුණ එක. ඒ එයා ලෝකෙන්ම තනිවෙලා කියලා මට හිතුන නිසාද මංදා... ඒත් ඉතිං ඒකෙන් මට ඇති වැඩේ මොකක්ද..? මේ ලෝකෙ තනිවෙලා ඉන්නෙ හර්ෂි විතරද..? එයා ඉන්නවට අකමැත්තෙන් හරි එයාට මම්මයි, බාප්පයි ඉන්නවනේ.. මටත් පිස්සුද මංදා.. මේ කොහේවත් යන කෙල්ලෙක්ගෙ ජීවිතේ ගැන මේ තරම් හිතන්න.. කියලා මගේ හිත අනිත් පැත්තට හිතුවා. ඒ ඉතින් අන්තිමට දිනුම් කණුව පහු කරේ මුලින් හතපු පැත්ත තමයි.


බස් ස්ටෑන්ඩ් එකට ටිකක් ඈතින් තිබ්බ ස්නැක් බාර් එකට මං ගොඩවුණේ මොනා හරි බොන්න ඕන කියල හිතුණු හන්දා. ප්‍රශානුත් පහුගිය ටිකේම හම්බ වුණේ නෑ. මොන මගුලක ගිහින්ද දන්නෑ.. ෂුවර් එකට කොහේ හරි වැල ගෙඩියක් පස්සෙ යන්නැති.

කෝක් එකක්..

මං එහෙම කියාගෙන ස්නැක් බාර් එක කෙලවරේම මේසෙට ගියා. ඒ මේසෙට අල්ලපු මේසෙ කෙල්ලො ගැන්සියක් පෝටෙලෝ බොනවා.

පව් බං..! තනියම ඇවිත් තියෙන්නෙ.. කුමාරිකාව පැනල ගිහින්ද කොහෙද..?

මටද ඒක කිව්වෙ..? කෝක් බෝතලය අතට අරන් මං කල්පනා කරා. ඊට පස්සෙයි මං හැරුණෙ. ලස්සන කෙල්ලො ටිකක්. උං කටවල් අතින් වහන් හිනාවෙනවා.

අපේ එක්කෙනෙක් එවන්නද ඔතනට..?

රෝස පාට ජම්බු ගෙඩියක් වගේ කෙල්ලෙක් මං දිහා බලල ඇහුවා. වෙන කවුරුවත් එපා.. ඔයා ආවනම් මරු.. කියලා කියන්න හිතුණත් මං කිව්වෙ වෙන දෙයක්..

ආ..පෝ.. එපා.. මට මෙහෙම හොඳයි..

උං ටික ආයෙත් හිනාවෙන්න ගත්තා. මං කියපු ඒවට හිනායන්න දෙයක් තිබුණෙ නෑනෙ.. පිස්සුද මංදා.. උං කරන විකාර වැඩ බල බලාම මං කෝක් එක බිව්වා. ටිකකින් උං පෝටෙලෝ බීලා ඉවරවෙලා මටත් අත් වනාගෙන යන්න ගියා. මගෙත් අත උඩට ඉස්සුණා.

අඩ්..ඩෝ..! ලොක්කා.. උඹලව දකින්න තියෙන අමාරුව..

ලව්ඩ්ස්පීකරේ වගේ සද්දෙ දාගෙන ආවෙ කවුද කියලා මං කටහඩින්ම අඳුන ගත්තා. ප්‍රශාන්..! මුළු ස්නැක් බාර් එකම අපි දිහා බලාගෙන. ඇයි ඉතින් මූට යමක් හෙමින් කියලා පුරුද්දක් නෑනෙ..

බ්රා...ස්..

පුටුවකුත් ඇදගෙන ඌ මගේ ඉස්සරහින්ම වාඩි වුණා.

මොකෝ බං සද්දෙ වැහිලා..! ජම්බු ගහෙන්වත් වැටුනද..?

ජම්බු ගහෙන්..? මගෙන් කුණුහබ්බ අහගන්නැතුව ඉඳපං.. මගෙත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනව කියල, උඹලගෙ අම්මට මාව මාට්ටු කරලා, තෝ හොර මගුලෙ ගිහින්..

හරි.. හරි.. බං..

මොකක්ද යකෝ හරිය..? උඹට දේව් කියලා තව යාලුවෙක් ඉන්නවද..?

මං උගෙන් සීරියස්ම ඇහුවා. ඇත්තටම මට උගේ වැඩ පිළිවෙල ගැන අම්බානට තද වෙලයි තිබුණෙ.

ඔය බලපං.. ඔච්චර නට් ලූස් කරගන්න එපා බං.. මට මෙලෝ දෙයක් කියන්න දෙන්නෙ නැතුව උඹ බුරාගෙන පනිනවනේ..

ඌ එහෙම කිව්වම මං සද්දෙ වහගත්තා.

උඹ දන්නවයි වැඩක්..?

මගේ කුතුහලේ අවුස්සන්න, ඌ කතාව බාගෙට නැවැත්තුවා. නවත්තල මගේ කෝක් එකේ ඉතිරි ටික ඌ බීගෙන බීගෙන ගියා.

මේ දවස්වල මට එළ කෑල්ලක් සෙට් වේගෙන එනවා බං.. ඒකයි මේ කලබලේ..

කෑල්ලකටද බං, උඹ මේ මැරෙන්න හදන්නෙ..? ඉතිං ඇයි මට නොකියා උඹ තනියෙම ගියේ..?

උඹත් ට්‍රයි කරාවි කියලා මට හිතුන හන්දා..

ඌ ඒක කිව්වෙ නම් සිරාවටම කියලා මට තේරුණා.

ප්‍රශාන්..? උඹ එහෙමද මං ගැන හිතං ඉන්නෙ..?

ගනං ගන්නෙපා බං.. මං නිකං කිව්වෙ.. වෙනදට අපි දෙන්නම කෙල්ලො පස්සෙ යන එකේ මට තනියෙම ගිහින් බලන්න හිතුණා බං..

ඉතිං හොඳද..?

මට පුටුව පස්සට කරලා නැගිටින ගමන් ඇහුවා.

පිස්සුද බං.. උඹත් එක්ක යන තරම් ගතියක් නෑ..

ගතිය නෙමේ ප්‍රශාන්.. මං මේ සිරාවටම කියන්නෙ.. ඔය දකින දකින කෙල්ලො පස්සෙ නොගිහින්, එකෙක් ගාවට වෙලා ඉඳපංකො බං..

ඒක මාත් හිතාගත්තා බං..! වෙන ඒවා වගේ නෙමේ මං මේක බොක්කෙන්ම කරනවා දේව්.. මං මේකිව අතාරින්නෙ නෑ..

සංතෝෂයි යාලුවා.. සංතෝෂයි.. ඉතිං කවුද කියහං කෑල්ල..?

මං උගේ අත්දෙකෙන්ම අල්ල ග්තතා. ඒත් දැන් ප්‍රශාන් සෙට් වෙලා ඉන්න නිශානිව මතක් වුණාම මගේ පපුව හීතල වෙලා ගියා.. ඒකිව සෙට් කරගන්න, මං මූට මොන තරම් සපෝට් කරාද..?

කෙල්ල නම් හෙණ අහිංසකයි බං.. ඇරත් උඹ දන්නවා එයාව..

මං දන්නවා... කවුද බොලේ ඒ..?


අගේ නොකර කියපං ප්‍රශාන්.. කවුද කෙල්ල..?

ඇයි බං.. එදා බස්සෙකේදි අපි වලිය දාගත්තු ගර්ල්.. අර උඹට බැන්නෙ.. අන්න එයා..

උගේ අතින් අල්ලං ඉඳපු මගේ අත අතෑරුණා. මූ මේ කියවන්නෙ හර්ෂි ගැන නේද..? තත්පර ගාණකට මං ගැස්සිලා ගියා.

මොකෝ.. උඹ හුලං ගියපු ටියුබ් එක වගේ වුණේ..?

න්.. නෑ මචං... අපි ගෙදර යමු..

ඒම බෑ ලොක්කා.. උඹට මොකක් හරි අවුලක්.. අපි ඒක විසඳගන්න ඕන..

මූ ප්‍රශ්නෙ විසඳන්න යනවා පංඩිතයා වගේ.. මං කොහොමද මූට කියන්නෙ මාත් හර්ෂි ගැන හිතනවා කියලා. ඒත් ඒක අනුකම්පාවක් කියලා මං හිත හදාගන්න ට්‍රයි කරා.

මොකද දේව්.. කියපංකො..

පුංචි කාලෙ ඉඳලම, මොන්ටිසෝරි යන කාලෙ ඉඳලම ෆිට් එකේ ඉඳපු ඌයි, මායි අතරට මේ ඇවිත් තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා මට හිතාගන්න බැරි වුණා.

උඹ කියන්නෑ එහෙනම්..

දෙතොල් තද කරන් ඌ ඇහුවා. ප්‍රශාන් මොනා හරි දෙයක් ඒ වගේ අහන්නෙ අන්තිම පාරට කියලා මං දැනන් හිටියා.

නෑ ප්‍රශාන්.. උඹ හිතන තරම් දෙයක් නෑ.. මං කල්පනා කරේ නිශානි ගැන..

හිතට එකඟ වුණේ නැති වුණත් මං එහෙම කිව්වා. ඌ එක පාරටම මගේ දිහා බැලුවා.

නිශානි ගැන මොනවා කල්පනා කරන්නද බං.. මං ඒකිට පොඩි රෙස්ට් එකක් දෙනවා.. එච්චරයි..

මුගේ හැම වැඩේටම සප් එක දුන්නත්, මෙන්න මේ වගේ වෙලාවට තමයි මූත් එකක් තද වෙන්නෙ..

බලු වැඩ කරන්නෙපා බං..! උඹට දුක නැද්ද ඒ අහිංසක කෙල්ල ගැන..?

ඒකිට වැඩිය මේකි අහිංසකයි බං..

හර්ෂි අහිංසකයි කියලා මාත් දන්නවා ප්‍රශාන්.. ඒත් හර්ෂිට වැඩිය අහිංසක කෙල්ලෙක් තව ඉස්සරහට හම්බවුණොත් එදාට උඹ හර්ෂිවත් දාලා යාවිනේ කියලා කියන්න හිතුනත් මං මුකුත් කිව්වෙ නෑ.

එදා ගෙදර ගියපු ගමන් මං කාමරේට රිංග ග්තතා. ප්‍රශාන්, හවසට එන්නම් කියලා ගෙදර ගියා.. ඇඳ උඩට වෙලා, ප්‍රශාන් කියපු දේවල් ගැන මං දහ අතේ කල්පනා කරා. වැරදිලාවත් මූත් එක්ක හර්ෂි යාලු වුනොත්..? ඔව්.. ඒක කියන්න බෑ.. මූ නොම්මර එකේ පැණියනේ.. පස්සෙ මාසෙකින් නැත්තං දෙකකින් මූ හර්ෂිට කනුව තියාවි. ඒත් ඉතිං මං මොනවා කරන්නද..? මට තියෙන්නෙ හැමදේම දිහා උපේක්ෂා සහගතව බලන්න.. ආච්චිගෙ රෙද්ද....... ඕකෙන් බලන්න ගිහින් තමයි හැමදාම මට කෙලවුනේ..

හවස කිරි එක අම්මා ගෙනැල්ලා දෙද්දිත් මං අප්සෙට් එකේ හිටියෙ.. ඇත්තට තවත් මොනවද මට කල්පනා කරන්න තියෙන්නෙ. හර්ෂි ගැන මගේ හිතේ තියෙන්නෙ අනුකම්පාවක් විතරනේ.. අනේ මංදා.. ඒක දැන් භූමිකම්පාවක් වෙන්න වගේ යන්නෙ. අනිත්තෙක ප්‍රශාන් කියන්නෙ මගේ හොඳම යාළුවා. හර්ෂි ගැන හිතන්න අරන් ඌව මට නැති වුණොත්..?

මං දිගට හරහට, කෙළින් අතට, උඩට, යටට හැම අතටම කල්පනා කරා.. ඒත් උත්තරේකට හම්බ වුණෙ, කොහෙන්දෝ ආපු වතුර පාරකින් මං නෑවුනු එකයි. මං කාමරේ දොර දිහා බැලුවා. දත් කැඩිච්ච ලොඹු ඌරෙක් වගේ මං දිහා බලන් හිටියෙ ප්‍රශාන්..

උඹට හැදිලා තියෙන ලෙඩේ නම් ඒ තරම් හොඳ නෑ වගේ..

ඇයි හොඳ කරන්න බැරි එකක්ද..? නිකං පලයං බං යන්න... ආව මෙතන දොස්තර වැඩේ කරන්න..

මැදැයි, අහගත්ත එක..! දොස්තර වැඩේ නෙමෙයි බං.. මං ඇවිල්ල උඹේ පිංවන්ත මූණ දිහා බලං හිටියා මෙච්චර වෙලා.. උඹ කල්පනා ලෝකෙ කොයි හරියෙද හිටියෙ..?

චැහ්..! මූ කියට ආවද මංදා.. අම්මප මටත් කල්පනා කරන්න ගියාම බ්රේක් නෑනෙ.. ඔහේ කල්පනා කරනවා. දැන් ඉතිං මූට උත්තර දීපංකො..

එච්චර දුරක නෙමේ මචං.. මේ ළඟක..

ඌ අහපු එකට මං උත්තර දුන්නා. එකෙන් උගේ මූණ පට ගාලා වෙනස් වුණා.

මට උඹත්තෙක්ක පොඩි කතාවක් තියෙනවා දේව්.. ස්නැක් බාර් එකේදි මං මේ කතාව ඕනකමින්ම මගෑරියා..

එහෙම කියලා ඌ ලොකු හුස්මක් ගත්තා. මං උගේ මූණ දිහා බැලුවෙ, මූ මොනාද කියන්න යන්නෙ කියලා දැනගන්න.

මං පුංචි කාලෙ ඉඳලම උඹ ගැන දන්නවා දේව්.. මොන්ටිසෝරි යන කාලෙ ඉඳලා, ජංගියෙ හූජ්ජ කරන කාලෙ ඉඳලා.. උඹේ හැම දෙයක්ම මං දන්නවා.. මට ඇත්ත කියපං.. මට මේක දැනගන්න ඕන.. උඹත් හර්ෂිට යනවද..?

ආයෙ දෙකක් නෑ.. ප්‍රශාන් පොල්ලෙන් ගැහුවා වගේ ඒක මගෙන් ඇහුවෙ. කාට බොරු කරත් ඌට බොරු කරන්න බෑ කියලා මට තේරුනා.

යන්නෙ නම් නෑ ප්‍රශාන්.. ඒත්... ඒත්.....

ඒත්....... උඹේ හිතේ තියෙනවා නේද දේව්..?

දෙපාරක් හිතන්නෙ නැතුව මං ඔළුව වැනුවා.

ඒකි ගැන උඹ හිතනවා නම්, මං ෆිල්ඩ් එකෙන් අයින් වෙන්නම්..

ප්‍රශාන් දුන්නෙ එසේ මෙසේ ටෝකක් නෙමෙයි.. ඒක මගේ බොකක්ටම වැදුනා.

ප්‍රශාන්..? කෙල්ලෙක් හින්ද අපි ඇරගන්න ඕන නෑනෙ බං.. උඹ හර්ෂිත් එක්ක යාළු වෙයං.. මගේ අවුලක් නෑ.. මං වෙනද වගේම ඉන්නං..

කතා කරගන්න බැරිව වගේ ප්‍රශාන් මං දිහා ටිකක් වෙලා බලන් හිටියා. ඊට පස්සෙ ඌ මගේ අත් දෙකම තද කරල අල්ල ගත්තා.

කෝම හරි ට්‍රයි කරලා, හර්ෂිව සෙට් කරගත්තු දවසට අමතක කරන්නෙ නැතුව මට ඇවිත් කියහං.. එහෙනම්.. සුභ ගමන් මචං..

මං බොහොම අමාරුවෙන් ඌට ඒ ටික කියා ගත්තෙ. මං හිතුව මගේ හිතට හරි සැහැල්ලුවක් තියේවි කියලා. ඌට අරහෙම කිව්වට පස්සෙ.. ඒත් ඒ වෙනුවට මහ විශාල බරක් මගේ හිතේ තැන්පත් වුණා. කමක් නෑ... උගේ සංතෝසෙ වෙනුවෙන් මං හර්ෂි ගැන හිතනෙක නවත්තලා දානවා.. මං හිතාගත්තා....


No comments:

Post a Comment