Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


ගෙට ඇතුල් වුණ ගමන්ම මං කෙරුවෙ හෙමින් සීරුවෙම කාමරේට රිංග ගත්තු එක. ඇඳුම් මාරුකර ගන්නෙවත් නැතුව මං ඇඳේ හාන්සිවෙලා කන්දෙක දිග ඇගෙන අහගෙන හිටියත් ගේ ඇතුළෙන් මෙලෝ සද්දයක් මට ඇහුණෙ නෑ.. ඒත් කුස්සිය පැත්තට හරි ගිහින් බලන්න තරම් ෆිට් එකක් මගේ හිතෙත් තිබ්බෙ නෑ.

චූටි..

වැඩිම වුණොත් විනාඩි පහළොවක් ඇස් දෙක පියාගෙන ඉන්න ඇති.. අක්කගෙ කටහඬ මට හීනෙන් වගේ ඇහුණා.


මොනාද මල්ලි.. මං ඔයාට කොයි තරම් වෙලා කතා කරාද..? කොයි ලෝකෙද ඇතත්ටම ඔයා ඉන්නෙ..?

කාමරේ දොර ගාව ඉඳන් අක්කා හෝ ගාලා කියවන් යනවා.. විලි ලැජ්ජාවෙ පණ යනවා.

ප්‍රේත ලෝකෙ..

ඔලුවෙ තිබ්බ හැමදේම පැත්තක තියලා මං උත්තර දුන්නෙ ඩිංගක් හිනාවෙන්න බලාගෙන.

ඒ විත්තය නම් පේනවා මූණ බලපු ගමන්.. ආපු ගමන් මූනවත් හොදන් නැතුව ඇඳට වුණා නේ.. ඇයි අද දවල්ට කන්නැද්ද..?

පස්සෙ කන්නම්..

මං එහෙම කියලා ඇදේ විට්ටමකට කොට්ටෙ හේත්තු කරල හාන්සි වුණා. අක්කත් එක්ක ඩිංගක් වෙලා කතා කරකර හිටිය නම් මේ හිතේ තියෙන අප්සට් එක ඩිංගක් හරි නැතිවෙලා යයි කියලා මට හිතුණා. ඊටත් වැඩිය මේ වෙච්ච දේවල් අක්කත් එක්ක කිව්ව නම් හොදයි කියලත් මට හිතුණා. හිතට ෆිට් එකක් අරගෙන මං අක්කා දිහා බැලුවා. කතාව පටන් ගන්න ඕන කොතනින්ද කියලා මං හිත හිතා ඉද්දියි අම්මගෙ කටහඬ මහා සද්දෙට සාලෙන් ඇහුණෙ.

දේවකී.. ඔයා මෙහෙට එන්න.. එයා ඕන වෙලාවක කාපුවාවෙ.. මුලු දවසෙම රෝන්ද ගහනවා මදිවට තව ගෙදරඑන එන වෙලාවට කන්න දෙන්නත් මැරෙන්න ඕනද..? අපිට ලැජ්ජ කරන්න හැදිච්ච එකෙක්ද කොහෙද..?

අම්මා කියවන් ගියපු වචන සෙට් එකම මගේ හිත කඩාගෙන ඇතුළට ආවා. මං ගැන ඉපදිච්ච අනුකම්පාවකින් හිත වෙව්ලුම් කාලා යද්දි අක්කවත් තල්ලු කරල දාගනෙම මං සාලෙට ආවා. මුලු දවස පුරාම සිද්ධ වුණ දේවල් වලින් හෙම්බත් වෙලා ඉඳපු මගේ හිතට තව දුරටත් හැමදේම දරාගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.

මං ගියපු රෙද්දක් නෑ.. ප්‍රශාන්ගෙ වැඩකටයි මං ටවුන් ගියේ..

එක පාරටම මගේ කටට ආවෙ ඒ වචන ටික. ඒ ටික කිව්වයින් පස්සෙ වුණේ අර අඬනන් හිටපු මිනිහගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ දෙයක්. අම්මත් බලන් ඉන්න ඇත්තෙ මාත්තෙක්ක පැටලෙන්න. ඒකට හොඳම චාන්ස් එකක් අම්මට හම්බවෙලා තිබුණා.

තව ප්‍රශාන්වල් අල්ලපං.. උඹේ අසික්කිත ගමන් වලට.. බං බිසෝටත් කියනවා ප්‍රශාන්ව ආයෙ මෙහෙට එවන්නෙපා කියලා..

ඒක යකාගෙ වැඩක්නේ.. ඌ මොනවා කරාටද..? නිකං බොරුවට මෙතන නැට්ට පාගගෙන කෑගහන්න අරන්..

නැට්ටක් ඇවිල්ල තියෙන්නෙ උඹටයි චූටි.. මට නෙමේ.. ඒකයි කිසි දෙයක් තේරුම් ගන්නැතුව හරකෙක් වගේ කෑ ගහන්නෙ..

ෂ්.. ෂ්.. කෑගහන්නෙපා අම්මෙ.. අන්න ප්‍රශාන් මල්ලිත් එනවා මේ පැත්තට..

මෙච්චර වෙලා සද්ද නැතුව හැමදේම අහන් ඉඳපු අක්කා අම්මගෙ අතකින් අඳින ගමන් කෑගැහුවා.. ඒත් අම්මව සයිලන්ස් කරන්න බැරිවුණා.. එත්තෙක්කම තමයි ඉස්තෝප්පුවෙ උලුවස්සෙන් මූන දාන ප්‍රශාන්ව මගේ ඇස්වලට ඇහුවුණේ..

අඩෙ අප්පා.. මොකද මේ..? උතුර - දකුණ ගිනි අරන් වගේ.. ආ..!

වෙලා තියෙන දේ ගැන වෙන්න යන දේ ගැන අවබෝධයක් නැතුව ප්‍රශාන් සාලෙට ආවා.

ප්‍රශාන් පුතා ආපු එක හොඳයි.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. අපේ දේව් එකක මීට පස්සෙ හොර ගමන් ගිහිල්ලා තිබ්බොත් මං බිසෝටත් කියනවා ඔයාට මෙහෙට එන්න දෙන්නෙපා කියලා...

දෙකක් නෑ.. අම්මා, ප්‍රශාන්ගෙ මූණටම කියලා දැම්මා.. කොච්චර හිනාවෙන් හිටියත් උගෙ මූණ හතරැස් වෙලා යන හැටි මං දැක්කා.

මොන හොර ගමන්ද ඇන්ටි..?

හතරැස් වෙච්ච මූණ එහෙමම තියාගෙන ප්‍රශාන් අම්මගෙන් ඇහුවා. ඒත් ඌට උත්තරයක් හම්බවුණේ නෑ.. ඒ හන්දම මං කතාව මැද්දට පැන්නා. මට ඕන වුණේ මෙතන වෙලා තියෙන දේ ගැන ඌව දැනුවත් කරන්න.

මේ බලපං ප්‍රශාන්.. අපෙ අම්මට මොන යකෙක් වැහිලද මන්දා.. කොයි වෙලාවෙත් ඉන්නෙ මාවම මරාගෙන කන්න.. මං ගෙදර හිටියත් වැරදියි.. ගෙදර නැති වුණත් වැරදියි..

හා.. උඹ දැන් කතා කරන භාෂාව ඒකයි එහෙනම්.. ඇත්ත කතා කරනකොට කාටත් රිදෙනවා.. මට තාත්තත් කියලා ගියේ උඹ ගැන හොයන්න කියලා.. කොටින්ම උඹ ඔය යන තාලෙ මට අල්ලන්නෑ..

අම්මගෙ වචන වලින් මගේ හිතේ ඩිංගෙන් ඩිංග අලුත් වෙවී තිබ්බ කේන්තිය හුඟාක් වැඩිවෙලා ගියා.

හරි.. මට මොනවද දැන් කරන්න කියන්නෙ.. හැම තිස්සෙම බලාගෙන ඉන්නෙ මගේ වැරැද්දක් අල්ල ගන්න. මාව ගෙදරින් පන්න ගන්නද කොහෙද හදන්නෙ.. ඔයිට වැඩිය හොදයි මාව මරාගෙන කාපල්ලා..

හුහ්.. දැක්කද මුගේ කතාව.. උඹ හැදිලා තියෙන හැටි නම් සෑහෙන්න වටිනවා.. උඹේ වැරැද්දකට බනින්න අපිට බෑනෙ එතකොට.. උඹ මතක තියාගනිං දේව්.. උඹ තාමත් යැපෙන්නෙ අපෙන් කියලා.. උඹේ කටේ සවුඳම බලන්න මට උවමනාවක් නෑ..

අම්මා හරියට ඉලක්කෙට පහර දුන්නා. ඒ වචන ටික මට ඇහුණෙ හීනෙන් වගේ.. ඒ අන්තිම හරිය ඇහෙනකොට මාව වේවලලා ගියා.

ජරා කතා කියන්නෙපා අම්මෙ..! ඔය කතාව දැන් කීවෙනි පාරටද කිව්වෙ.. නිතරම කන එක ගැන කතා කරන්නෙ.. උඹලට මාව බරක් කියලනේ ඔය නොකිය කියන්නෙ.. ඉඳපල්ලා.. මං උඹලගෙන් ඈත්වෙලා යන්නම්.. එතකොට උඹලට හොඳට නින්ද යාවිනේ..

මහා සද්දෙට ඒ ටික කියලා මං නැගිට්ටා.. මගේ හිත කේන්තියෙන් වේවලුම් කාලයි තිබුණෙ.. තවත් ඉවසන එකේ තේරුමක් නෑ.. මට හොඳටම තේරුණා.. හැමදේම නැතිවෙන්න යන වෙලාවෙ තවත් මොනව ඉතිරි කරගන්නද කියලා මට හිතුණා.

ඔය අතරෙ තමයි ප්‍රශාන් සීන් එකට බැස්සෙ..

දේ.. දේව්.. උඹට පිස්සුද බං.. මොකද මේ උඹට වෙලාත ියෙන්නෙ.. ඩිංගක් කූල් ඩවුන් වෙයන්..

අයින් වෙයං ප්‍රශාන්.. මුංට මාව එපාවෙලා.. ඒකනේ කන්න දීපු ඒව මතක් කර කර මට රිද්දන්නෙ.. ඉඳපල්ලා.. මං මිනී හරල හරි කාපු ඒවට ගෙවන්නම්.. ඒ ටික කරනකන්වත් මට වද දෙන්නැතුව ඉඳපියව්..

මං පිස්සෙක් වගේ කෑගහගෙන ගියා. මගේ ඇස්වලින් කඳුළු ගලන් ආවෙ දැනුම් දීමක් නැතුවම.. ඇත්තටම මං කිව්වෙ මොනවද කියලවත් මට පැහැදිලි හැඟීමක් තිබුනෙ නෑ.. අන්ත අසරණ වෙලා තිබ්බ මගේ හිත හරිගස්ස ගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් තරමෙ ශක්තියක් ඒ වෙලාවෙ මට තිබ්බා.

දේව්.. උ.. උඹ.. ඔ.. ඔය කාටද කතා කරන්නෙ..? ආ.. උඹට මං කියන විදියට දෙර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයං.. එච්චරයි..

අම්මගෙ වචන විෂ පොවපු ඊතල වගේ පපුව ඇතුළටම වැදුණා. හිත කෑලිවලට කැඩිලා තියෙද්දි, කියන්න ඕන දේවත් මගේ ඔලුවට ආවෙ නෑ.. කතා කර ගන්න බැරිව මං කේන්තියෙන් අතරමං වෙලා ඉන්දෙද්දි ප්‍රශාන් ආයෙත් මැදට පැන්නා..

ඇන්ටි.. ඔන්න ඕක නවත්තලා දාන්න.. මෙච්චර රණ්ඩුවක් යන්න තරම් දෙයක් මෙතන වෙලා නෑනේ..

අනේ ඔව් අම්මෙ.. මල්ලිට බනින්නැතුව ඉන්නකො.. අනේ ප්‍රශාන්.. මල්ලිව කාමරේට එක්ක යන්න..

එච්චර වෙලා මුකුත් කතා කරගන්න බැරිව ඉඳපු අක්කා, ප්‍රශාන්ට කිව්වා. ඒත් මගේ හිතට එකතුවෙලා තිබ්බෙ සුළු පටු කලකිරීමක් නම් නෙමෙයි. එක් එක්කෙනෙකුට, දෙන්නෙකුට හරි කාටවත් හරි කෙලින්ම ඉලක්ක කරන්න මං හිතුවෙ නෑ.. මං හිතාගත්තෙ මේ හැමදේටම මගෙන්ම පළිගන්න.

ඕන නෑ.. ඕන නෑ.. උ.. උඹල සතුටින් ඉඳපල්ලා.. මං යනවා.. උඹලගෙ ඇස්වලට පේන්නෙ නැති දිහාවකට යනවා.. මෙච්චර දවස් උඹලට ඒ අමාරුවනේ තිබ්බෙ.. දැන්වත් සැනසීමෙන් නිදාගනිල්ලා..

කුඩුපට්ටම් වෙලා තිබ්බ හිතට කොහෙන්දෝ මංදා මහා විශාල ශක්තියක් එන්න අරන් තිබ්බා.

කොයි මොහොතෙ හරි හැම දෙයක්ම ඉවර කරන්න මගේ හිත සූදානම් වෙලා තිබුණා. සාලෙ ඉඳලා ඉස්තෝප්පුවට අඩි දෙක තුනක් තියල මං ආපහු හැරුණා.. ඒ මට අවුරුදු පහළොවේදි විතර, මගේ උපන්දිනේට අම්මා දුන්නු සුරඟන සිහිවටනෙ ගන්න..

උඹ ඔය යන්නද හදන්නෙ..? හොඳයි පලයන්.. ඒත් උඹ හිතා ගනිං.. උඹ ගියොත් උඹට අම්මා කෙනෙකුත් නෑ කියලා..

මං මේ වෙනකනුත් එහෙම හිතන්නෑ.. ඒත් මීට පස්සෙ එහෙම හිතුණට මං කණගාටු වෙන්නෙත් නෑ.. මොකද මගේ තිබ්බ අහිංසක හිත මරල දැන් පාංශුකූලෙත් දිලා ඉවර හන්දා.. මං යනවා අක්කෙ..

දේව්.. මචං.. පිස්සු කෙලින්නෙපා බං.. උඹට මොකද මේ වෙලා තියෙන්නෙ..? කොහෙද උඹ මේ යන්න හදන්නෙ..?

ප්‍රශාන් ඇවිත් මගේ ඇතේ එල්ලුනා.. මං උගේ අත ගසලා දැම්මා.

අනේ චූටි.. ඔයාගෙ හොඳටයි මේ හැමදේම අම්මා කෙරුවෙ. ඒ ගැන ඔච්චර හිතන්නෙපා දෙයියනේ..

හිතන්නැතුව ඉන්න හිතක් නැති වුණා නම් හොඳයි අක්කෙ.. එහෙනම් මං මේ තරම් විඳවන්නෑ..

එහෙම කියලා මං මිදුලට බැස්සා. ඇල්ස්ටෝනියා පැල පාර දෙපැත්තෙම වවලතිබ්බ විජේරාම පාරට වෙනකන් මං ඇවිදන් ආවා. අක්කා අඬන සද්දෙයි, අම්මගෙ උස් හඬයි දෙක සම්මිශ්‍රනය වෙලා ඒ අතරෙදි මට ඇහුණා. හැමතැනින්ම තැලිල හෙම්බත් වෙච්ච මගේ හිතට ඒ දේ ගැන එච්චර දුකක් දැනුණෙ නෑ.. මං ඒ සීමාව පහුකරලයි හිටියෙ. හැම දෙයක්ම මේ විදියට සිද්ධ වෙලා යන්න මං මොන තරම් පව් කන්දරාවක් කරන්න ඇද්ද කියලා විතරක් මට හිතුණා. අන්තිමේදි මට ඉන්න තැනකුත් නැතිවෙලාම ගියා.

දේව්..

පිටිපස්සෙන් දුවල ඇවිල්ලා ප්‍රශාන් මගේ මූණ ඉස්සරහින් හිටගත්තා. ඒත් මං ඌ දිහා බැලුවෙ නෑ.. මං බිම බලාතත්තා.

දේව්.. උඹ කොහෙද මේ යන්න හදන්නෙ..?

ඇත්තටම ඒ ප්‍රශ්නෙට දෙන්න තරම් උත්තරයක් මට තිබ්බෙ නෑ.. මගේ නිහඬ බව හින්දම ප්‍රශාන් ආයෙමත් මගෙන් ඇහුවා.

මං දන්නෙ නෑ..

බිදිච්ච හිතෙන් ඒ වචන පිටවුණේ මහා බොල් විදියට.

උඹ ඔය යන ගමන තේරුමක් නෑ දේව්.. අම්මා උඹට හුඟක් ආදරෙයි.. ඒකයි මේ හැමදේම එහෙම වුණේ.. අන්න උඹව එක්කං එන්න කියලා කිව්වා..

ප්‍රශාන් එහෙම කිව්වහම මගේ හිතට ආවෙ ලොකු කෙන්තියක්..

උඹට ඕනෙ නම් පලයං.. දැන් ඉතිං මට වද නොදී උඹ මෙතනිං පලයං..

කවදාවත් නැති විදියට මං ප්‍රශාන්ට සැරවුණා.. මූට ටික් අමුතු වෙලාගියත් ඌ පරාජෙ බාර ගත්තෙ නෑ..

මට කතා කරා නම් මං යනවා දේව්.. අම්මා උඹටනේ කතාකරේ.. ඉතිං වරෙන් අපි යමු..

මට බෑ යකෝ.. මං එක පාරක් කිව්වනේ සිංහලෙන්.. ඔය අනිත් ඈයො ගියා වගේ, උඹත් මාව අතෑරලා දාලා පලයන්..

ප්‍රශාන් ගැස්සිලා ගියත් ඌ ගේම අතෑරියෙ නෑ..

උඹ කොහේ යනවද කියලා මං දන්නෙ නෑ දේව්.. ඒත් උඹ ඒ යන තැනට යන්න කලින් මං කියන දේත් අහපං.. මොකද පුංචි කාලෙ ඉඳලා උඹයි, මායි එකට හිටියා.. ඒ යාලුකම හින්දවත් ඩිංගක් නැවතියන් දේව්.. මේ තරම් නපුරු වෙන්න උඹට බෑ දේව්..

ප්‍රශාන්ගෙ කටහඬ බිඳිලා ගියා.. උගේ ඇස් දෙකේම කඳුළු පිරිලා.

මං ලේසියෙන් අඬන එකෙක් නෙමෙයි දේව්.. ඒත් උඹ ගැන හිතනකොට මගේ හිත කැඩෙනවා බං.. උඹ කොයි තරම් සංතෝසෙන් හිටපු කොල්ලෙක්ද..?

ඒත ඇත්ත.. මේ හැමදේම වෙන්න කලින් මට වැඩිය සංතෝසෙන්  කවුරුවත් හිටියෙ නෑ..

ඩිංගක් කල්පනා කරලා බලපං.. උඹ දැන් යන්න ගියොත් මේ ප්‍රශ්නෙ දිග්ගැස්සෙනවා.. ගෙදර ප්‍රශ්නෙ පැත්තකින් තියපං..  හර්ෂීගෙ ප්‍රශ්නෙ.. ඒක එහෙමම ඉතිරියිනේ.. ප්‍රශ්න වලින් පැනලා යන්නැතුව අපි ප්‍රශ්න වලට මූණ දෙමු මචං.. මේ හැම එකක්ම හොඳ පැත්තට විසඳේවි.. අපි එතකන් ඉවසමු.. අනිත්තෙක උඹට ගෙර යන්න බැරි නම් අපේ ගෙදර යමං.. ඒකෙ අවුලක් නෑ.. මොකද කියන්නෙ..? උඹට ඇහෙනව නේද මංක ියන ඒවා.. දැන් හොඳ එකා වගේ මාත් එක්ක වරෙන්..

හුඟාක් කියවල කියවලා ඉවර වෙලා ප්‍රශාන් මගේ කරට අතක් දැම්මා.. ඌ කියපු දේවල් වල සෑහෙන්න ඇත්තක් තිබුණා.. දැන් මොකද කරන්නෙ.. මූත් එක්ක මුංගෙ ගෙදර යනවද..? නැත්තං ඔලුව හැරුණ අතේ යනවද..?

ඒ ප්‍රශ්නෙ ඉස්සරහ මං නතර වුණා.

හොඳ එකා වගේ මං කියන දේ අහලා යමං අපේ ගෙදර..

මගේ අතින් ඇඳගෙන වගේ ප්‍රශාන් ආයෙත් ගෙවල් පැත්තට හැරුණා.. දැන් ආපහු ගෙදර යන්නත් බෑ.. දැන් මූත් එක්ක යන එක තමයි හොඳම දේ කියලා මගේ හිතත් මට කිව්වා.. අපේ ගෙදර පහුවෙද්දි මං ගේ දිහා බැලුවා.. ප්‍රශාන් හිටියෙ මගේ අතින් තද කරලා අල්ලගෙන.. ඌ හිතුවද දන්නෑ.. මං දුවලවත් කොහේ හරි යයි කියලා.. අක්කයි, අම්මයි ගෙදර ඉස්සරහට වෙලා මායි, ප්‍රශානුයි දිහා බලන් ඉන්න හැටි මං දැක්කා.. මං කෙරුවෙ පුළුවන් තරම් ඉක්මණට බිම බලාගත්තු එක.

මල්ලී.....

හීන් ඉකිබිඳුමකින් වගේ අක්කගෙ කටහඬ මට පස්සෙන් ඇහුණා. ඒත් ආයෙමත් ඔලුව උස්සලා ඒ දිහා බලන්න තරම් ශක්තියක් මට තිබුණෙ නෑ.. ප්‍රශාන්ගෙ ඉඟියකින් අක්කා නිහඬ වුණා කියලා ඒ අතරෙ ඉවෙන් වගේ මට තේරුණා.. ප්‍රශාන්ලගෙ ගෙදරට ගියපු ගමන් මං කරේ කාමරේට රිංගලා ඇඳේ හාන්සි වුණ එක.

ඔහොම ඉදපං.. උඹ කොහේවත් යන්නෙපා හරී....

ඌ කුස්සිය පැත්තට ගියා.. මං හිතන්නෙ බිසෝ ඇන්ටිට සීන් එක කියන්න වෙන්නැති.. මගේ ඒ සිතුවිල්ල හරි කියලා මට හිතුණෙ ඩිංගකින් කිරි එකකුත් හදාගෙන බිසෝ ඇන්ටි මං ගාවට ආපු හන්දා.

දේව් පුතා.. මං මාලතිත් එකක් කතා කරන්නම්.. ඔයා කලබල නොවී ඉන්න.. හොඳද..?

ඕන නෑ ඇන්ටි..

මගේ කටහඬ බොල් වෙලා ගිහින් කියලා මට හිතුණා.. මොකක් හරි උත්තරයක් දෙන්න ඕන හන්දයි බං එහෙම කිව්වෙ.

උඹ කෑ නොගහා ඉඳපං.. අම්මා ඒ ගැන බලාගනීවි.. දැන් ඉතිං කන්න යමං.. උඹ දවසටම කාලා නෑනෙ බං..

මට බඩගිනි නෑ ප්‍රශාන් උඹ කාහන්..

ඔය ඉතිං.. ඔය වෙලාවට තමයි මගෙත් ඇණ බුරුල් වෙන්නෙ.. පිස්සු කෙලින්නැතුව මෙන්න මෙහෙ වරෙන්.. හැමදේටම ඉස්සෙල්ලා බඩ පුරවන් ඉඳිමු.. එතකොට තමයි අයිඩියාවක් උනත් එන්නෙ..

බඩගින්නක් කියලා දෙයක් මට තිබුණෙම නෑ.. හැම හැඟීමක්ම ඈත්වෙලා කියලා මට හිතුණා.. ඒත්.. ප්‍රශාන්ගෙයි, බිසෝ ඇන්ටිගෙයි හිත රිද්දන්න මගේ කැමැත්තක් තිබුණෙ නෑ.. ඒක හන්දම මං ප්‍රශාන් එකක කෑම මේසෙට වාඩිවුණා.

ප්‍රශාන්.. දේව්ට කාමරේ ඇඳ හදලා දෙන්න.. කාමරේ නම් ගන්න දෙයක් නැතුව ඇති..

ඕනෙ නෑ ඇන්ටි.. මේ තියෙන හැටි හොදයි...

මං එහෙම කිව්වත් බිසෝ ඇන්ටි අලුත් බෙඩ් ෂිට් එකක් හෙම දාලා මට හොඳට ඇඳ හදලා දුන්නා..

ඕන බහු බූතයක් වෙන්න කියලා ඇට්ටි හැලෙන්න නිදාගනිං.. මටත් කුණුවෙන්න නිදිමතයි බං.. යමු..

ප්‍රශාන්ට තිබ්බෙ ඩබල් ඇඳක්.. ඒක හන්දා මායි, ඌයි දෙන්නම ඒකෙ ඇලවුණා.

තවත් හිතන්නැතුව නිදාගනිං බං.. නිදාගෙන නැගිට්ටම හැමදේම හරි.. මේ ලෝකෙත් වෙනස් වෙලා තියේවි..

එහෙම කියලා ප්‍රශාන් අනිත් පැත්තට හැරුණා.. ඒත් නින්ද නම් හිතපු තරම් ඉක්මනට මං ළඟට ආවෙ නෑ.. ඒවෙනුවට අද දවසෙ වෙච්ච හැම සිදුවීමක්ම එක පිට එක වගේ මගේ හිතට ගලාගෙන ආවා. මහා අසරණකමකින් මුළු හිතම වැහිලා යද්දි ඒකෙන් මිදෙන්න මට ඕන වුණා..

ප්‍රශාන්.. උඹ නිදිද..?

හ්ම්... හ්.ම්.. හාහ්.. ෂිහ් විතරක්.. නින්ද යාගෙන ආව විතරයි.. ඇයි උඹට නින්ද යන්නැද්ද..?

නෑ.. මටත් නිදිමත හැදීගෙන එනවා කියලා කියන්නයි උඹට කතා කරේ..

හපොයි.. උඹ වගේ ඌරෙක්.. දෙයියනේ.. තොගෙ කියන අවයවේකට වඳින්නම් ඩිංගක් නිදාගනිං..

මොනවදෝ කුටුකුටු ගගා කියවල ප්‍රශාන් අනිත් පැත්තට හැරුණා.. හැම දුක් කන්දරාවක්ම ගිනි ගත්තු හිතත් එක්ක සනසල දාන්න, මරණයට තියෙන්නෙ පුදුම හැකියාවක් කියලා මං අහලා තිබුණා. ඒත් නින්දටත් ඒ හැකියාව සුලුවෙන් හරි තියෙනවා කියලා නින්ද යාගෙන එද්දි මට හිතුණා..


No comments:

Post a Comment