Saturday, October 6, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


මිදුලෙ බට් අඹ ගහේ කඳට පොල් ලෙලි බැඳලා ඉන්දපු පරෙවි ගස්වල මල් ඇවිත්.. මුළු වත්තම සුවඳයි.. අනිත්තෙක ඒ මල් වල මාර ගතියක් තියෙනවා. මං ඉතිං ඕක අක්කත්තෙක්ක කියන්න ගියේ නෑ. එයා ඊගාවට උද්භිත විද්‍යාව මට උගන්නන්න ඒවි.. මේක මෙහෙමයි පැලවෙන්නෙ.. අරකද.. මේකද කියලා.. ඉතිං අපි අපේ අක්කා දන්නැති දෙයක් තියෙනවා.. ඒක තමයි හොරෙන් උස්සපු මල් පැළ ඉන්දපුවහම සිරාවටම පැළවෙනවා කියන එක. මායි, ප්‍රශානුයි ඒක අත්දැකීමෙන්ම දන්නවා. මල් පැළයක් ඉල්ලන් ඇවිත් ඉන්දපුවහම මේ කපේක පැලවෙන්නෙ නෑ.. ඒකට කුණු ලෙඩ.

චූටි.. මේ...


මං හැරිලා බැලුවා. මෙන්න යකෝ අක්කා මං ගාව. එයාගෙ අතේ සිරාම සිරා මල් පොකුරක්. හිත කිව්වෙම ගනිං කියලා.. ඒක හින්ද මං ඒක උදුරල වගේ ගත්තා.

මට දෙනවද..?

අක්කගෙ  මූණ ඇඹුල්වෙලා ගියා.

අ..න්..නේ..හ්.. චූටි.. මං ඕක කොයි තරම් අමාරුවෙන්ද හදාගත්තෙ.?

ඒ කියන්නෙ දෙන්න බෑ.. එහෙමනේ..?

ඔය බලන්න ඉතිං.. මොනාද චූටි මල්ලි.. ඔයාට ඕනම නම් මං එකක් හදවල දෙන්නම්..

අක්කා දුකෙන් වගේ එහෙම කියද්දි මට පව් කියලා හිතුණා.

මං බොරුවට ඉල්ලුවෙ.. කොහොම උනත් මල් බොකේ එක නම් ලස්සනයි.. පිස්සු පීකුදු වෙනවා..

මොනා..?

නෑ.. මේ නිකං ඉන්න බැරිවට කරන වැඩ කිව්වා..

අක්කට ඒ පාර සිරාම සිරා හිනාවක් ගියා. ෂූවර් එකට මං ඉස්සෙල්ලා කියපු වචනෙ ඇහෙන්න ඇති.

ඔන්න.. හෙට වෙද්දි මට මල් බොකේ එකක් හදල දෙනවනේ..?

හෙට..? ඔයාට පිස්සුද චූටි.. මං හර්ෂි නංගිට කියලයි මේක හදවගත්තෙ.. අපි අර දවසක් ගියේ.. ඒ මේක ගේන්න තමයි..

අම්මට හුඩු.. කාපංකො ටකරං.. මෙච්චර සිරා බොකේ එකක් හැදුවෙ හර්ෂිද..?

ඔයා අද එහේ ගියාද..?

ඔව්..

හර්ෂි හිටියද..?

මං එහෙම අහපුවහම අක්කා එක පාරටම මගේ දිහා බැලුවා. මටත් ඉතිං හර්ෂි ගැන කිව්වහම ඉන්න තැනත් අමතක වුණානේ.

ඔයා මොකද එකපාරටම එහෙම ඇහුවෙ..?

ඇස් දෙකත් ලොකු කරන් අක්කා මගෙන් ඇහුවා. දැන් ඉතිං දීපංකො උත්තර. ෂීකට ෂිකේ.. මාත් ඉතිං කරන්නෙම ඇඳගෙන නාන වැඩමයි.

නිංක අක්කෙ නිකං..! ඔයා ඒ ගැන වැඩිය හිතන්න ඕන නෑ.. මාත් හිතන්නැතුව ඉන්නම්..

මං කියපු එකට අක්කට ලාවට හිනාවක් ගියා. ඒ හිනාවනේම එයා මල් බොකේ එකත් අරන් ගෙට ගියා. මොනව වුණත් හර්ෂී අපේ අක්කට හදල දීපු මල් බොකේ එක නම් එළම තමයි.. ඒ කියන්නෙ එළකිරි.. ආයෙ දෙක්ක නෑ.. බොක්කෙන්ම හදල තියෙනවා. ෂුවර්රෙකට මං හින්ද වෙන්නැති.. රෙද්ද තමයි.. අක්කා ඒක එයාට හදන්න දෙනකොට එයා මාව අදුනන්නෙවත් නැනේ. අම්මපා බලන් ගියාම මාත් අමු පිස්සෙක්නේ.

එදා කොලෙජ් ලේන් එකේදි හර්ෂිව හම්බවෙලා කතා කරාට පස්සෙ දවස් ගාණක්ම ගෙවිලා ගියා. එයාව බලන්න ඕන කියලා ප්‍රශාන්ටත් හොරෙන් බස්ටෑන්ඩ් එක පැත්තෙ කරකැවුනත් හර්ෂි හම්බවුණේ නෑ. ශානිකාව හම්බවෙන්න යන්න වුණත් මට ඒ තරම් ෆිට් එකක් තිබුණෙ නෑ.. හර්ෂි මොනව කියලද දන්නෙ නෑනේ..

ඒත් ඉතිං හර්ෂි ගැන මතකෙ, මගේ හිතේ උඩ ඉඳන් යටටයි, යට ඉඳන් උඩටයි ඇවිදිනකොට තවත් ඉවසන් ඉන්න බෑ කියලා මට හිතුණා. ඉවසල තේරුමක් නෑ කියලත් මට හිතුණා. ඒකයි මං ශානිකාව හම්බෙන්න යන්න හිතාගත්තෙ.

අප්පේ.. ඇති යංතං.. අපිවත් මතක්වෙනවා එහෙනම්..!!

මාව දැක්ක ගමන් ශානිකාට කියවුණා. ඔයාව නම් මතක් වෙන්නෑ බබා.. ඔයාගෙ යාළුවා තමයි මතක් වෙන්නෙ හිටු කියලා.

ගේ හොයාගන්න අමාරු වුණාද..?

ගේ ඇතුළට ගිහින් පුටුවක වාඩිවෙද්දි, ඒකි ආයෙත් ඇහුවා.

පිස්සුද..? අපිට ඕව සිම්පල් කේස්.. ඒක නෙමේ.. ඔයා මේ ගේ කුලීයට අරන්ද ඉන්නෙ..? තනියෙමද ඉන්නෙ..? කුලියට දෙන්න අදහසක් නැද්ද..?

ඒකිට බකස් ගාලා හිනා ගියා.

අයියෝ නෑ.. මේ අපේ ගේ.. ඔයත් මාර ඒවනේ අහන්නෙ.. ම්..! ඩිංගක් ඔහොම වාඩිවෙලා ඉන්නකො.. මං ඔයාට බොනන් මුකුත් හදන් එන්නම්..

එහෙම කියලා ශානිකා ගේ ඇතුළට ගියා. මං එපා කියන්  ගියේ නෑ.. නිකං හම්බෙන ප්ලේන්ටියෙ කහට වැඩි වුණාම මොකද..? අඩු වුණාම මොකද..?

තවත් ඩිංගක් වෙලා යද්දි ශානිකා ආවා, කිරි එකතුත් හදාගෙන.

ෂා.. ෂා.. ඔයා මාර දියුණුයිනේ.. ඔයාව ගන්න එකාට කිසි අවුලක් නෑ..

ඇයි කියලා අහන්න වගේ ශානිකා මගේ මූණ දිහා බැලුවා. කෝකටත් කියලා මං ඉස්සෙල්ලා කිරි එක අතට ගත්තා.

ඇයි කියලා අහන්නෙ.. කිරි එක මෙච්චර ඉක්මනට හදන් ආව නම් අනිත් වැඩ කොයි තරම් ඉක්මන් ඇත්ද..? නේ..

අප්පේ.. දේව් අයියගෙ නම් කට..

එහෙම කියල ශානිකා ආයෙත් ගේ ඇතුළට ගිහින් මං ළඟට ආවෙ, රැෆින් පේපර් එකකින් ඔතාපු ලස්සන පාර්සලයක් අරගනෙ.. යකෝ බෝම්බයක්වත්ද..?

මේ මොකක්ද ශානිකා..?

කුතුහලේ උපරිම අංශකේට නැගල තිබ්බ හින්ද, මං ඒකිගෙන් ඇහුවා.

ගෙදර ගිහිල්ලම බලන්නකො..

මූණ ඇලකරල ශානිකා කිව්වා. බලන් ගියාම මේකිගෙත් මාර මාර කැටයංනේ.. හර්ෂි හිටියෙ නැත්තං ඔයා ගැනත් බලන්න තිබුණා.. අප්පේ..

හර්ෂිගෙන්ද..?

හිතේ දාහක් දේ තෙරපෙද්දි මං ඇහුවා.

හ්ම්..

ආයෙත් ශානිකා ඔලුව ඇලකරා. ඒකිට බායි කියලා පාර්සලෙත් අරන් මං ගෙදර ආවෙ මෙලෝ සිහියක් නැතුව. මොනවද මේක ඇතුළෙ ඇත්තෙ..? කේක් ගෙඩියක්වත්ද..? නැත්තං හොද කොලිකුට්ටු ඇවරියක් වත්ද..? යකෝ බලන් ගියාම මටත් පිස්සුනේ.. කේලලො, කොල්ලොන්ට ප්‍රසන්ට් එහෙකට කෝලි කුට්ටු ඇවරියක් දේවියෑ..? හර්ෂි මගේ ප්‍රශ්නෙට උත්තරේ එවලද දන්නෑ.. අරකි මුකුත් කිව්වෙ නෑනෙ..

ගෙදර කාමරේට ආපු ගමන්ම මං කරේ.. දොර හෙමීට අඩවල් කරපු එක.. ඊට පස්සෙ තමයි පාර්සලේ රැපින් පේපර් එක ගැලෙව්වෙ.. පාර්සලේ ඇතුලෙන් මගේ අත්දෙක එලයිට ගත්තු දේ දැකලා මාව කොරවෙලා ගියා. චූටි චූටි රිබන්වලින් සරසල මල්වලින් වැඩදාලා හදපු සිරාම සිරා හාට් එකක්. ලොකු රෝස මල් පොකුරක් ඒකෙ උඩින්ම හයි කරලා තිබුණා. ඒ මල් පොකුරට අමුණලා, පුංචි කඩදාසියක් තිබුණා. පපුව ගැහෙන ස්පීඩ් එක ඩබල් වෙද්දි මං ඒ කොල කෑල්ල අරන් බැලුවා.

දේව් අයියට..! ඔයා දිනුම් අයයෙ.. ඔයා දිනුම්.. මෙච්චර කාලකෙට කාටවත් ආදරේ නොකරපු මගේ පුංචි හිත දැන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඉතිං කාගෙන්වත් ආදරයක්, සෙනෙහසක් ලබන්නැති මේ පුංචි හිත ඔයා කවදාවත් තනි කරන්නෙ නෑ නේද..?

හිත ඇතුළෙ කියාගන්න බැරි තරමෙ ආදරයක් හර්ෂි වෙනුවෙන් ඉපදෙද්දි මං ඒ කොළ කෑල්ල අරන් ඉඹලා, පර්ස් එක ඇතුළට දාගත්තා.

අඩේ..! බලන් ගියාම මං දිනලනේ බං..! අම්මට හුඩු.. යකෝ...... මං දිනලා. මටත් දැන් කෙල්ලෙක් ඉන්නවා. ප්‍රශාන්ට විතර කෙල්ලො සෙට් කරගන්න පුළුවන්.. අපි ඔටුවොද..? අපිටත් පුළුවන්.. මං මටම කියාගත්තා..

හු..ර්..රේ..හ්..! මට ජය වේවා..!

ජොලිය වැඩිකමට මම ඇද උඩට නැගලා කෑගැහුවා. දඩ බඩෝං ගාලා ඇදේ පොලු දෙක තුනක් බිම වැටෙද්දි අක්කා කාමරේට එබුණා.

ම.. මල්ලි මොකෝ මේ..?

මගේ ජොලිය, හෙණ ගැහුවා වගේ තත්පරෙන් දෙකෙන් වාෂ්ප වෙලා ගියා. හර්සීගෙ ප්‍රසන්ට් එක තාම මගේ අතේ.  අද නම් ඔලුව පාවිච්චි කරලා කතා කරේ නැත්නම් ගෙදරිනුත් වීසා කැන්සල් වෙන එක බුදු ෂුවර්.. මාත් මී හරකා වගේ මේක අරන් උඩ පනින්න ගත්තනේ..

හා...න්...නේ.. ලස්සන හාර්ට් එකක්..! කාගෙද මල්ලි..? කවුද හැදුවෙ..? අදද ගෙනාවෙ..? කොහෙන්ද..?

අක්කා ප්‍රසන්ට් එක දැක්කහම, මෙලෝ සිහියක් නැතුව මගෙන් අහන්න ගත්තා.

හෝව්..! හෝව්..!! හෝව්..!!! කරුණාකරලා එක ප්‍රශ්නෙ ගානෙ අහන්න. ඔය අහපුවගෙන් මොනාටද උත්තර ඕන..?

මොනාටවත් එපා.. අනේ.. ඔයා හොඳ චූටි මල්ලිනේ.. ඔයා මට මේක දෙනව නේද..?

ඇදල පැදල අක්ක ගේමට එන්ටර් වුණා.

ඈ.. ඔයත් මාර කතානේ අහන්නෙ.. ඕක ඔයාට දීලා කොහොමද..? ඕක මට ඕන..

කවුද චූටි මේක හැදුවෙ..?

යාළුවෙක්..

මං තනි වචනෙන් උත්තරේ දුන්නා. අද නම් බේරෙන්න බෑ වගේ.

අනේ ම්ලලි මටත් කියන්නකො යාලුවා කවුද කියලා. මේ ඩිසයින් එකේම හාට් එකක් මටත් හදවගන්න ඕන.

උත්තරේ හම්බෙනකං අක්කා මගේ මූණ දිහා බලන් ඉන්නවා. ඕන මගුලක් දෙකයි පණහයි කියලා ඔන්න ඔහේ කියල දාපං කියලා මගේ හිත කිව්වා.

හර්ෂි..

මං ඒ නම කිව්වා මටවත් ඇහුණෙ නෑ කියලයි මට හිතුණෙ. අක්කගෙ මූණ බලන්  ඉද්දිම ත්තපරෙන් තත්පරේ වෙනස් වෙලා ගියා. ඒත් අන්තිමට ඒ මූණට පුංචි හිනාවක් ආවා.

එහෙනම් දැන් හර්ෂි නංගි මටත් වැඩිය හොඳ දේවල් ඔයාට හදල දෙනව වගේ.. ම්.. හොඳයි.. හොඳයි..

එහෙම කියාගෙන අක්කා කාමරෙන් පිටවුණා. අක්කගෙ හිත රිඳුනා වගේ කියලා මට හිතුණා. කොහොම උනත් හර්ෂිට කියලා ඉක්මනට අක්කටත් හාට් එකක් හදවල දෙන්න මං හිතාගත්තා.


වෙසක් මාසෙත් දන්නෙම නැතුව කට ඉස්සරහටම ඇවිත් තිවුණා. නිවාඩුව හින්ද අයියත් ගෙදර ඇවිල්ලයි හිටියෙ. කරන්නත් ඉතිං මෙලෝ වැඩක් තිබේබෙ නැති හනිද මායි, පොරයි කරේ දඩ වෙසක් කූඩුවක් හදපු එක. අපි දෙන්නා කූඩුව හදල ඉවරවෙන කොට ගෙදර ඉස්සරහ මිදුල ගන්නම දෙයක් නෑ. බට පතුරුයි, සව් කොල කෑලියි, අරවයි මේවයි මුලු මිදුල පුරාම වැටිලා තිබ්බා.

ඔන්න අම්මා..! මට නම් බෑ මිදුල සුද්ද කරන්න්.. බලන්නකො ඉතිං මේ උදේ අතුගාපු මිදුලනේ..

අක්කා හුඩ් එක යටට ඇවිල්ලා විනාඩියෙන් විනාඩියට කෑ ගහනවා.. අයියට හිනා ගියා.

මේ හලෝ.. ඔච්චර කෑගහන්න එපා.. හක්ක පනීවි.. එතකොට අලුතෙන් දාපු ඔය දත් සෙට් එක බිමට වැටේවි.

දුවන්න බලාගෙන මං කිව්වා. කුටු කුටු ගගා මොනවදෝ කිය කිය අක්කා ආයෙත් ගේ ඇතුළට ගියා.

චූටි.. තව සව් කොල ඕනෙද..?

සව්කොළ ටිකකුත් අතේ තියන් අයියා මගෙන් ඇහුවා.

එපා ලොකූ දැන් ඇති.. ඔය ටික අරන් තියමු..

මං එහෙම කිව්වම, සව්කොළ ටිකත් රෝල් කරන් අයියා නැගිට්ටා.

ඒක නෙමේ ලොකූ.. අද අක්කගෙ යාළුවෙක් එනවා. දෙමුද ගින්නක්.. දැන් එයා කෝමටත් අපිත්තෙක්ක ඔරොප්පු වෙන්නෙ ඉන්නෙ..

යාළුවෙක් කිව්වෙ..?

බලන් ගියාම අයියා කාරයටත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..

යාලුවෙක් කිව්වෙ කොල්ලෙක් ලොකූ..! මං අහගෙන අද උදේ අම්මත්තෙක්ක කියනවා..

හ්ම්.. ඔයා රෙඩී නම් මාත් රෙඩී..

අයියා කෙනෙක් වුණාම ඔන්න ඔහොමනේ ඉන්න ඕන. ඉඳපංකො අද තමයි අක්කා ඇඳගෙන නාන්නෙ.. කූඩු හදනවට මටනේ බකට් එක අදින්න ආවෙ.

ඔයාට මෙච්චරයි කියන්න තියෙන්නෙ ලොකූ.. ඔයා අම්මත්තෙක්ක කියන්න ඔය ඇවිත් තියෙන්නෙ අපේ පවුලට අනාගතේදි එකතු වෙන්න ඉන්න කෙනා කියලා. ඔයා කියන හන්ද අම්මා ෂුවර් එකට පිළිගනීවි.

හරි.. හරි.. මං ගානට වැඩේ දෙන්නම්..

අක්කට බකට් එකක් අදින්න සිරවාටම වැඩේ සෙට්ල් කරගෙන මායි, අයියයි කුස්සිය පැත්තට ගියා. අක්කයි, අම්මයි කුස්සියෙ බරටම කතාවක්. මං ගිහිල්ලා වංගෙඩිය උඩින් වාඩිවුණා.

චූටි.. ඔන්න මිදුල වල්කරා වගේ නෙමෙයි.. පිහදලා දෙන්නත් ඕන..

මං දිහා බලල අක්කා ආයෙත් කියවන්න ගත්තා.

ෂැහ්..! ඔය මිදුල කෑල්ල අර හන්දියෙ ඉන්න බ්‍රෝකර් කාරයට ගානක් දීලා හරි විකුණන්න කියන්නෝන.. හැමදාම මල අඬේනේ..

අයියට ඇහැක් ගහන ගමන් මං කිව්වා.

චූටි මං දෙනවා දෙකක්.. එතකොට ගෙට එන්නෙ උඩින්ද..?

ඔයා නම් ඉතිං කොහොමත් උඩින්නේ යන්නෙ..

හනේ.. හනේ.. නවත්තනවා.. නවත්තනවා.. මෙච්චර ලොකු වෙලත් දෙන්නගෙ තාම රංඩුව.. අර පල්ලෙහා ගෙදර මිනිස්සුත් බලනව ඇති මේ මොකද කියලා.

බලන් ඉඳලා බැරිම තැන අම්මත් කතාව මැද්දට පැන්නා.

ඒක කියන්න ඕන මෙන්න මේ අලි පැටියට..

කියල මගේ පිටට අක්කා හෙමින් වගේ පාරක් ගැහුවා.

මේ දෙන්නගෙ සද්දෙ හින්දා මුකුත් ඇහෙන්නෙ නෑ.. අන්න අරහෙ කවුද කතා කරනවා.

අම්මා එහෙම කිව්වහම අක්කා සාලෙ පැත්තට ගියා.

කවුද පොඩී..?

අර උදේ එනව කිව්ව යාළුවා අම්මෙ..

මල්ලී.. චුට්ටක් මෙහෙට එනවද..?

අක්කා සලෙ ඉඳන් මට කතා කරනවා. මං අයියට මාපටැගිල්ල උරුක් කරා.. වැඩේ නාගසලං වෙන්න දීපං කියලා. මිනිහ ගානට ගින්න අඹරයි.. මිනිහ ඕවට උපන් හපනෙක්නේ.. මං හෙමීට සාලෙට ඇවිදන් ආවා. මොකද දන්නෑ අක්කා මට අඬ ගැහුවෙ. ආපු කොල්ලත්තෙක්ක සාලෙ තනියෙම හින්දා වෙන්නැති.. ආපු එකා මොන වගේද කියල බලන්න මං සාලෙට එබුණා. හප්පොච්චියේඤ... ගම කාල නෙමෙයි.. අල්ලපු ගමත් කාගෙනව ගිහිල්ලා.. ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. හර්ෂි..! හපොයි.. අද නම් කන්න වෙන්නෙ අන්තර් ජාතික කෑමක්..

ෂීකේ.. මේ වගේ වෙලාවට හපන්නෙයි කියලා අතේ නියපොත්තක්වත් නෑ.. ඒවත් කලින්ම කාලා දාලා ඉවර කරලා.. නොදෝකිං මං.. කරන්න කියලා මෙලෝ දෙයක් ඔලුවට ආවෙ නැති හින්ද මං අක්කගෙ මූණ දිහා බැලුවා. මහම මහ නෝන්ඩි තාලෙට එයා මං දිහා බලන් හිටියා. ඒක කාගන්න බැරිව මං හර්ෂි දිහා බැලුවා. හර්ෂි හෙණම හෙණ අහිංසක මූඩ් එකෙන් හිනාවෙවී හිටියා. ඇයි හත්තලව්වෙ.. ඔයා එනව නම් කියලා එන්නෙපාද.. ඔයා මාව කෑවනේ හර්ෂි.. අයියා මෙලහකටත් ඩබල් එකේ අම්මට ගින්න අවුලුවනව ඇති.. හප්පොච්චියේ.. මමනේ යකෝ දැන් බෙල්ල මුලින් අහුවෙන්නෙ..?

මොකෝ.. චුට්ටි බයවෙලා වගේ.. යකෙක්වත් දැක්කද..?

අක්කගෙන් ආයෙත් නෝන්ඩි පාරක් හම්බවුණා.

න්..නෑ.. නෑ.. පි.. පිස්සුද..? ම.. මං කාට බයවෙන්නද..?

යකඩෝ මට කතා කර ගන්නත් බෑ වගේ.. ගොත ගැහෙනවා..

ඔය දොර රෙද්ද අදින්නෙ නැතුව මෙහෙට එනවා ඩිංගක්.. මේ සැටියෙන් වාඩිවෙනවා.. හර්ෂි ඔයාව කන්නෑ..

කරන්නම දෙයක් නැති කමට මං ඇවිත් හර්ෂි වාඩිවෙලා ඉන්න පුටුවට ඉස්සරහ පුටුවෙ වාඩිවුණා. අද නම් බුදු ෂුවර්.. මට කනක් ඇහිලා ගෙදර පළාතෙ ඉන්න වෙන එකක් නෑ..

දේවකී අක්කි.. අර එදා ගෙනාපු මල් බොකේස් එක ආයෙ මට ඕන හොදේ.. මං ආපහු ඔයාට ගෙනල්ල දෙන්නම්.. මට තව ඕඩර් එකක් ආවා ඒකයි..

අනේ.. ඕක මොකක්ද නංගි.. මම දෙන්නම්..

ඒ පාර හර්ෂි අපේ අක්කත් එක්ක බරම බර කඩයක් දාගත්තා. මං ගොනි බිල්ලා වගේ බිම බලාගෙන හිටියා. නැතුව ඉතිං කටවල් දිහා බලන් ඉන්නද..?

තවත් ඩිංගක් වෙලා යද්දි කොනේ කාමරේ කර්ටන් එක ඩිංගක් එහාට මෙහාට යනවා මං දැක්කා. හොරාට වගේ මං ඒ දිහා බැලුවා. අම්මා විනාඩියක් විතර අපි තුන්දෙනා දිහාම බලන් ඉන්නවා මං දැක්කා. ඊට පස්සෙ අම්මා ආයෙත් කුස්සිය පැත්තට ගියා.

ම්..! දේව් අයියා නම් අද මොකකට හරි බයවෙලා වගේ නේද අක්කි.. මොකද ඒ..?

අනේ මංදා නංගි.. එයා බය නෙමේ වෙන්න ඕන.. අර බලන්න නංගි.. මිදුලෙ හැටි.. විනාස කරලා දාලා.. කොච්චර හොඳට තියාගන්න හැදුවත් දෙන්නෙ නෑ..

එතකොට අර වෙසක් කූඩු..

අනේ අම්මප හර්ෂිටත් ඕන්නැති දෙයක් නෑ.. අද ඉඳල මං ගෙදර ඉන්නෙ කොහොමද කියලා මේකි හිතන් නැති හැටි.

ආ.. ඒව මෙයාගෙයි, ලොකූගෙයි වැඩ.. මෙයා තමයි හෙඩ් බාස්..

අක්කා එහෙම කිව්වම හර්ෂි, ඇස් දෙකේ ආදරේ පුරෝගෙන මං දිහා බැලුවා.

හර්ෂි.. ඔහොම චුට්ටක් ඉන්න නංගි.. මං බොන්න මෙනා හරි හදන් එන්නම්..

අනේ.. ඕන්නෑ අක්කි.. මට ඉක්මණට යන්න ඕන.. දන්නවනේ බාප්පගෙ හැටි.. පරක්කු වුණොත් බනීවි හොඳටම..

අක්කා අපි ගාවින් ඈත්වෙලා යනකං මං බලන් හිටියා..

අනේ ඔයාලගෙ බාප්පට කුද ගහ ගන්න කියන්න..

කියලා මං හර්ෂිට කිව්වා.

හා..!

එයා ඒක කිව්ව තාලෙට අපි දෙන්නටම හිනා  ගියා.

දේව් අයියෙ..

ම්..

මං අද මෙහේ ආවට ප්‍රශ්නයක් වෙන එක්ක නෑ නේද..?

දැනටමත් බෝම්බෙ පත්තුවෙලා තියෙන්නෙ.. දැන් ඉතිං මොනා කරන්නද..? ඒව මෙයාට කියල වැඩක් නෑ..

අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ආවෙ අක්කා හම්බවෙන්නනේ..

කවුද කියන්නෙ..?1

මම තමයි..

ආයෙමත් අපි දෙන්නට හිනා ගියා.

ඒක නෙමෙයි අයියෙ..! ඔන්න මාත්තෙක්ක ඉන්නකොට හෙම, මිදුල වල් කරන්න බෑ හොඳෙ.. දෙනව කෝටුවක් අරන් පස්ස හම යන්න..

මිදුල නෙමේ බබා.. මං ඔයාවයි වල් කරන්නෙ කියලා කියන්න හදනකොටම තමයි තේ එකකුත් හදාගෙන අක්කා අපි අතරට ආවෙ..

බොන්න නංගි..

හර්ෂි තේ එක බොන වෙලාවෙදි තමයි අයියා ඉස්තෝප්පුව පැත්තෙන් ගෙට ගොඩ වැදුණෙ. සාලෙ ඉඳපු අපි තුන්දෙනාව දැකලා මිනිහ නළලෙ අත ගහන් කාමරේට රිංගුවා. වැඩේ කුණු වුණා කියලා මිනිහට තේරෙන්න ඇති. මං ඒ පාර අක්කා දිහා බැලුවා. එයත් මං දිහා හොඳට බලන් ඉන්නවා. මොකාක් හරි ගිණි ගෙඩියක් කියලා අක්කට ෂුවර් එකට හිතෙන්න ඇති. ටිකකින් හර්ෂියි, අක්කයි, අක්කගෙ කාමරේට යද්දි මං අයියගෙ කාමරේට රිංගුවා.

ගම කෑවා නේද චූටි..?

මාව දැක්ක ගමන් අයියා ඇහුවා. මිනිහගෙ මූණෙ තිබ්බෙ මාර හිනාවක්.

කෑවා නේන්නම්.. අල්ලපු ගමත් එක්කම.. ඔ.. ඔයා අම්මත් එක්ක කිව්වද..?

ඔව් ඉතිං.. ඔයානේ ප්ලෑන ගැහුවෙ.. ඒක නෙමේ.. කවුද ඒ ගර්ල්.. ලස්සන කෙල්ලෙක්..

මගේ යාළුවෙක්..

මං පංඩිතයා වගේ කිව්වා.

අනේ නිකං කෙබ්බ හලන්නෙ නැතුව යනවා.. එපා පොඩීගේ යාලුවෙක්ද කොහෙද..?

බොරු නම් නිකං ඉන්නවා..! මං බලන්නෙ දැන් මේ පරිප්පු නැවෙන් බේරෙන්නෙ කොහොමද කියලා..

තවත් ටික වෙලාවක් යද්දි හර්ෂි, අපි හැමෝටම යන්නම් කියලා ගියා. හර්ෂිව මල්වැට කෙලවරින් පේන්නැති වෙලා යනකන් අයියා හිනාව නවත්තං හිටියෙ බොහොම අමාරුවෙන්. ඊට පස්සෙ පිස්සන් කොටුවෙ, ලොකුම පිස්සා වගේ මිනිහ හිනාවෙන්න ගත්තා. අම්මා, මායි, අයියයි ළඟට ආවෙ ඒත් එක්කම වගේ.. මං අම්මා දිහා ෂේප් එකේ බැලුවා.. ම්හු..! වැඩේ හරියන්නෑ වගේ.. අද කන්න වෙනවා.

මුලින්ම මට කියන්න තිබුණා.. මොකද මං බනිනවද..? ගහනවද..? මීඨ කලිනුත් මං කියලා ඇති, ඔහොම දෙයක් තියෙනවා නම් මට කියන්න කියලා.. ඉතිං මටත් නොදන්වා ඒ දරුවා මෙහේ ආපු එක වැරදියිනේ.. මොකෝ පොඩී කියන්නෙ..

හුටප් පටස් ගාලා පත්තු වුණ අම්මා, අක්කගෙන් ඇහුවා.. එයා නහුතෙටම හොල්මං..

ම.. මට මු.. මුකුත් තේරෙන්නෑ අම්මෙ.. මේ.. මේ.. මොනවද කියන්නෙ..

ඇයි දැන් ටිකකට කලින් ආපු ගෑණු දරුවා ගැන ලොකූ, රපෝර්තුවක් තිබ්බනේ..

අනේ ලොකූ.. අම්මට කියනවකො වෙච්ච දේ ගැන.. මමනේ හලෝ බැනුම් අහන්නෙ..

ඉවසන් ඉන්න බැරිම තැන මං කෑගැහුවා. ඔන්න ඒ පාර තමයි අම්මා, අයියා දිහා බැලුවෙ.

මල්ලියි, මායි හිතුවෙ ඇවිල්ලා ඉන්නෙ කොල්ලකේ කියලා.. පොඩීගෙ යාලුවෙක් අද එනව කියල තිබුණනේ.. ඉතිං මං වැඩිය හිතන්නැතුව අම්මට කිව්වා, ඔය ඇවිත් ඉන්නෙ, අනාගතේ අපේ පවුලට සම්බන්ධ වෙන්න ඉන්න කෙනා කියලා.. ඔන්න චූටි තමයි ප්ලෑන ගැහුවෙ.

අයියා එහෙම කිව්වම අම්මගෙ මූණට හිනාවක් ආවා.. හප්පේ ඇති යාංතන්..

හොඳයි නේද වැඩේ.. හදිසියෙවත් මං ඒ ළමය බැන්නා නම් හෙම..?

මං දන්නවනේ අම්මා බනින් නෑ කියලා..

අයියා එහෙම අම්මට කියද්දි මං අක්කගෙ මූණ දිහා බැලුවා. අක්කා ගස්සලා වගේ අහක බලාගත්තා. දැන් ඉතිං මෙයාව කූල් කරන්න අයිස් පෙට්ටියක්ම ගේන්න වෙනවා.

වැඩේ හරින්නෙම නෑ.. අක්කා අහක බලාගෙනමයි ඉන්නෙ.. මං ෂේප් එකේ අක්කා ගාවට ළංවුණා.. ගහල එලෝගනීද දන්නෙත් නෑ..

අ..නේ.. පොඩී.. ඔයා ඇත්තටම තරහ වෙලා වගේ මගෙත්තෙක්ක..

මං එහෙම අහද්දි මගේ කටහඬ බිඳිලා ගියා. ඒ විත්තිය තේරිලද මංදා අක්කා එක පාරටම මං දිහා බැලුවා. ආදරයයි, පසුතැවීඹයි දෙකම එකතුවෙලා කණගාටුවක චිත්‍රයක් අක්කගෙ ඇස්වල ඇඳිලා තියෙනවා මං දැක්කා.

නෑ චූටි.. මට ඔයත්තෙක්ක තරහ වෙන්න බෑ.. ඒත්.. ඒත් බලන්න තව ඩිංගෙන්.. ආයෙ ඔහොම විහිළු කරන්නෙපා.. චූටි..

මගේ අතින් අල්ලල මිරික ගන්න ගමන් අක්කා කිව්වා.. ඇත්තටම මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. ඒ ආදරේ හිතෙන මූණ දිහා මං ආසාවෙන් බලං හිටියා.

කෝම වුණත් චූටි.. ඒ විහිළුව කවද හරි ඇත්ත වේවි නේද..?

ඇස්දෙක පුංචි කරලා, රහසින් වගෙ අක්කා මගෙන් ඇහුවා. අම්මත් ගෙට ගිහින් තිබුණා. ඒත් මං අකක්ට උත්තරයක් දුන්නෑ..

ඔයා යාළුයි නේද, හර්ෂිත් එක්ක..?

ආයෙමත්, අක්කා මගේ අත්දෙකෙන්ම අල්ල ගන්න ගමන් ඇහුවා. අක්කට උත්තරයක් දෙනවද නැද්ද කියලා මං හිත හිතා ඉන්නකොට තමයි අයියා කෑ ගැහුවෙ.. තාත්තා එනවා කියලා.. ඒක හන්ද ඒ කතාව එහෙමම යටවුණා.

හවස් වෙද්දි අයියත් එක්ක එක්කහුවෙලා මං වෙසක් කූඩු ටික මිදුලෙ බට් අඹ ගහේ එල්ලුවා.

මම නම් හිතුවෙ තාත්තා එන එකක් නෑයි කියලා..

සාලෙ අපි ඔක්කොම එකතුවෙලා ඉන්නකොට අක්කා කිව්වා.

එන්න නෙමේ හිටියෙ.. ඒත් පස්සෙ මට හිතුණා ගෙදර ආවොතින් හොඳයි නේද කියලා.. නිවාඩු ගන්නත් අමාරුයි මේ දවස්වල..

අප්පේ.. ඒකට ලොකූ..! හැමතිස්සෙම ගෙදර..

අක්කා, නෝන්ඩියට වගේ අයියා දිහා බලලා කිව්වා.

ඈ..? ඉන්නවකෝ.. සතියක් දෙකක් ගෙදර එන්නැතුව ඉන්නකොට කෝල් දෙනවා ගෙදර එන්න කියලා.. දැන් මේ පාර ගියහම එන්නෙ..

අයියට කතාව ඉවර කරන්න හම්බ වුණේ නෑ අක්කා කෑගහගෙන වගේ ඉස්සරහ පැත්තට දුවන් ගියා. අක්කගෙ පිටිපස්සෙන් තාත්තත් දුවලා ගියා.

කූඩු ටික ගිණි අරන්..

මට ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ.. මමයි, අයියයි මිදුලට දුවන් ආවෙ තත්පරේට දෙකට.. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම වෙලා.. ආයෙ බේරගන්න තරම් දෙයක් ඒ ලස්සන කූඩුවල ඉතුරු වෙලා තිබුණෙ නෑ.. ඩිංගක්වත්.....

අහසට ඇදුණ කූඩුවල ගිනිදලු අතරින් මං හර්ෂිගෙ හිනාව යංතන් වගේ දැක්කා. ඒත් ඒක එහෙම්මම නැතිවුණා.. මිදුල වල් කරලා, කූඩු හැදුවට තරහෙන් ඉඳපු අක්කගෙ ඇස්වලට කඳුළු ඇවිත් තියෙනවා මං දැක්කා. තවත් ඩිංගක් වෙලා ගියාට පස්සෙ තාත්තගෙ කටහඬ මට ඇහුණෙ.

අයියෝ..! ගෙදර හැමෝටම මොකද මේ වෙලා තියෙන්නෙ..? ඕක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ චූටි.. දැන් ඉතිං එන්න අපි කෑම කමු..

බිම බලාගෙන මං ගෙට අතැල් වුණා.. ඇට්ටි හැලෙන්න මහන්සිවෙලා හදපු කූඩු ටික පිච්චුන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම දුකක්..

කෝ ප්‍රශාන්..?

කෑම මේසෙදි තාත්තා මගෙන් ඇහුවත් මං මුකුත් කිව්වෙ නෑ.. තාත්තට උත්තරේ හම්බ වුණේ අක්කගෙන්..

බිසෝ නැන්දලත් එක්ක මාතර ගිහින්.. සතියක් විතර වෙනවා.. තාම නම් ආවෙ නෑ..

ප්‍රශාන් ඉතිං ඔහොමමනේ.. කොහේ හරි පැනි කෑල්ලකට මාට්ටුවෙලා ඇති.. ඌට ඇඩ්වයිස් දීලා පිරිමහන්න බෑ.. කාගෙන් හරි නැව් ගාණට කාල තමයි ඒකා හැදෙන්නෙ..

නිදා ගන්න ඇඳට ගිහිල්ලත් මට මතක් වුණේ කූඩු ටික පිච්චෙන හැටි.. බුර බුරා නැගිච්ච ගින්දර අස්සෙන් මට එක පාරටම වගේ හර්ෂිගෙ මූණ පෙනුණ හැටි.. එයා අපේ ගෙදර ආවෙත් අද.. අනේ මංදා.. මට ඒ ගැන මුකුත් හිතාගන්න බැරිවුණා..


No comments:

Post a Comment