Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


ලෝක බෝලෙ මාත් එක්ක ජාති ජාතිත් ඔරොප්පු වෙලා වගේ.. ඌ උගේ ගමන අවුලක් නැතුව යනවා.. මං මගේ ගමන යනවා.. ඊයෙයි, පෙරේදයි දවස් දෙකම කුණු වෙන්න වැස්සා. ඒ හන්දා ආසාවටවත් එළියට බහින්න බැරිවුණා.. කකුල් කෙටි දෙක මට බනිනවා ටිකක් ඇවිඳපං කියලා.. ඒත් ඉතිං හෙණ ගඟහ වටිනකොට මොන පිං ගොනාද එළියට බහින්නෙ..?

අද නම් දෙයියනේ කියලා ලාවට ඉර පායලා. ලාවට තියා සම්පූර්ණයෙන් ඉර පෑව්වත් වැඩක් නෑ.. අද චාටර්.. ඇයි අර නසරානියත් එක්ක උගේ ප්‍රියම්බිකාව හම්බෙන්න යන්න ඕන්නේ.. ෂිහ්..! අදම වැස්ස පායපු එකනේ වැඩේ.


දේව්..

මෙන්න යකෝ ප්‍රශාන්.. මූ නම් ගලේ ගහල මැරුවත් මැරෙන්නෙ නැති එකෙක්.

නොදකින්.. තෝ තාම සරම පිටින්ද යකෝ.. ෂීකේ..! කෝ.. කෝ ඉක්මනට ලෑස්ති වෙයන්.. නිශානි බලන්න බලාගෙනත් ඇති..

මූට තියෙන තදියම.. ඌ ලව් කරන්න. මං චාටර් කන්න.. කමක් නෑ.. වන් ඇන්ඩ් ඔන්ලි කියලා ළඟින් ඉන්න යාලුවනේ.. මං දඩබඩ ගාලා ඇදුමක් දාගත්තා.

මායි ප්‍රශානුයි ටවුන් එකට යනකොටත් නිශානි ඇවිත් තිබුණා. ප්‍රශාන්ව දැක්කම ඒකිගෙ මූණට තඩි හිනාවක් ආවා.

ඇති යාංතන්.. මේ වෙලාවටවත් ආවා. මං හිතුවෙ අදත් මට කණුවක් කියලා.. ඉතිං දේව්.. කොහොමද හර්ෂි නංගි හෙම..?

මුල් ටික ප්‍රශාන්ට කියලා අන්තිම ටික ඒකි මගෙන් ඇහුවා.

දැන් ආයෙමත් එක්සෑම් කරන්න ක්ලාස් යනවා නිශා..

ඒකි හර්ෂි ගැන එච්චරයි ඇහුවෙ. ඊට පස්සෙ ඒකි ප්‍රශානුත්තෙක්ක බර කඩයක් දාගත්තා. මං අනිත් පැත්ත බලාගත්තා.. ෂිකේ.. මේකිට තිබුණේ නැද්ද තව මොනව හරි හර්ෂි ගැන අහන්න. ඒත් ඉතිං ඒකිට, මට තරම් හර්ෂි ගැන ඇම්මක් නැතුව ඇති. ඒකිට ඇම්ම තියෙන්නෙ ප්‍රශාන් ගැනනේ.

පැයක්, පැය එකහමාරක් විතර මං අව්වෙ වේලි වේලි කට්ට කකා ඉන්නකොට තමයි ප්‍රශාන් ආවෙ. පස්සෙ නිශානිව බස්සෙකට දාලා මායි, ඌයි ගෙදර එන්න හැරුණා. මූ දැන් ඉස්සර වගේ වැඩිය අපත වැඩ කරන්නෑ.. නිශානි මූව හදලද කොහෙද..?

උඹට ඊට පස්සෙ ඩිලාන්ව හම්බ වුනේ නැද්ද..?

මං ඉඳලා ඉඳලා අහපු දෙයින් උගේ මූණ හතරැස් වුණා.

මොකෝ බං උඹට උනේ..?

උගෙන් උත්තරයක් මං අහපු තරම් ඉක්මණට ආවෙ නැති හන්දා මං ඇහුවා.

මට මේවා උඹට කියලත් බෑ.. නොකියත් බෑ බං.. ඩිලාන්, හර්ෂිට ට්‍රයි කරන එක තාම අතෑරලා නෑ.. හොඳින් හරි නරකින් හරි හර්ෂිව උගේ ගාවට ගන්නවයි කියලා ඌ කියන්නෙ..

බල්ලා..

මගේ හිත කේතියෙන් පුපුරු ගහන්න ගත්තා.

හර්ෂිට ඌ මොනව හරි කරලා තිබුණොත් මං ඌව මරණවා ප්‍රශාන්.. මං ඌව මරණවා.. ඒකෙ දෙකක් නෑ..

මං ඒ ටික කිව්වෙ දත් මිටි කකා.. ප්‍රශාන් පුදුම වෙලා වගේ මං දිහා බලන් හිටියෙ.

ප්‍රශාන්ගෙ කටත් බාගෙට ඇරිලා.. මූඩ් එකත් අප්සට් ගිහින්..

ඔ.. ඔය බලපං ඉතිං.. උඹට කොහොමද බං යමක් කියන්නෙ.. ඩිංගක් ඇත්නම් නට් බුරුල් කරන් පිස්සු පූසා වෙනවනේ.. ඔය ගොරවන තරමට වහින්නෙ කොයි රටේද බං..?

මූඩ් එක අවුට් වුණාට ඌ මයික් එක අතෑරියෙ නෑ.. හිටු කියලා ඌ කියවනවා.. මගේ හිතේ කේන්තිය අඩුවුණේ නෑ..

හොඳින් හරි.. නරකින් හරි.. හර්ෂිව ඌ ළඟට ගන්නකන් මං පොන්නය වගේ බලන් ඉඳීවි කියලාද උඹ හිතන්නෙ..? ඒව හඳේ මචං.. ඌ වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ..

හපොයි.. තෝ ආවේශ වුණහම යමක් පහදලා දෙන්න බෑනෙ.. උඹත් එක්ක මේවා කියනවට මං මටම පොල්ලකින් ගහගන්න ඕන බං..

මූණ කජු ලෙල්ල වගේ කරන් ප්‍රශාන් කිව්වා. ඒක දැක්කහම මට පව් කියලා හිතුණා.

හරි.. උඹ දැන් මට මොනවද කරන්න කියන්නෙ..?

කරන්නෙද..? ඉස්සෙල්ලම තොගේ ඔය මුලග්ගාය නවත්තගනිං.. නැත්තං තොට හර්ෂිව හම්බෙන්න කලින් අර්ශස් වලට බෙහෙත් ගන්න වෙයි.. කෝමටත් අර්ශස් හැදුනාම ටොයිලට් යනන්නත් ටිකක් අමාරුයිනේ ලොක්කා..

ෂික්..! මෙච්චර වැදගත් දෙයක් කතා කරකර ඉන්දෙද්දි මූ ටොයිලට් එක ගැනයි, අර්ශස් ගැනයි කියන හැටි.. ඇත්තටම මූඨ පිස්සුද..? නැත්නම් මට පිස්සුද..?

මේ.. උඹ දන්නවද වැඩක්..?

අර්ශස් ගැන කිය කිය හිටපු එකා එකපාරටම කතාවට එන්ටර් වුණා. මං ඒක දැනගත්තෙ උගේ මූණෙන්.. ඒත් උගෙන් පිටවෙන්න යන්නෙ හොඳ දෙයක් නෙමෙයි කියනෙක මට තේරුණා.. ඒකයි මං ඌ දිහාම බලන් හිටියෙ.

හර්ෂිගෙ බාප්පා, ඩිලාන්ගෙන් සල්ලි වගයක් අරන්.. මං හිතන විදියට නම් සෑහෙන ගාණක්.. ඌ තාම ඒක දීලා නෑ.. දෙන පාටකුත් නෑ වගේ.. කෝම උනත් ඒ සේරම හර්ෂිගෙ කර උඩින් යාවිද මංදා..

ඌ කියවන් ගියපු එකට මං ගැස්සිලා ගියා.

ප්‍රශාන්..? උඹ මොනවද බං කියවන්නෙ..? ඇල්ෆ්‍රඩ්කාරයට මොකටද බං සල්ලි..? ඌට සල්ලි තියෙනවනේ.. අනිත්තෙක හර්ෂිට වියදම් කරන්නෙ මම්මනේ.. අරූ ප්‍රින්සිපල් කෙනෙක් වෙලත් ඉඳන් ගන්න පඩියට මොකද බං කරන්නෙ..?

හිත ඩිංගෙන් ඩිංග පිච්චෙද්දි මං ප්‍රශාන්ගෙන් ඇහුවා.

ඒක තමයි බං මටත් තේරෙන්නැත්තෙ.. පොර බොනවද දන්නෑ..

කළින් මගේ හිතේ පිරිලා තිබ්බ කේන්තිය වාෂ්ප වෙලා ගිහින් තිබුණා. මේ මොනවද දෙයියනේ වෙන්න යන්නෙ.. හර්ෂිටයි, මටයි සැනසීමක් ඇත්තෙම නැද්ද..?

ඔය ඔක්කොම පැත්තකට දාපං දේව්.. ඔය හැමදේටම වඩා වැදගත් දෙයක් උඹලගෙ අම්මා මගෙන් ඇහුවා..

ලොකු රහසක් කියන්න වගේ ප්‍රශාන් මට ළංවුණා. ඔලුව වැඩියෙනුත් එක්ක ඇවිලිල තියෙන මේ ප්‍රශ්න ගොඩ මැද්දට තවත් ඉවරයක් නැති ප්‍රශ්න ගොඩක් එන හැටි මට ඉවෙන් වගේ තේරුණා.

අම්මා මොනවද උඹෙන් ඇහුවෙ..?

ප්‍රශාන් අරහෙම කියලා සද්ද නැතුව ඉන්නකොට මං ඇහුවා. අම්මා ෂුවර් එකට අහන්න ඇත්තෙ හර්ෂි ගැන වෙන්නැති කියලා මගේ හිත මට කිව්වා. ඒත් ප්‍රශාන්ගෙ කටින් ඒක පිටවෙනකන් මං බලන් හිටියා.

උඹ කවුරු හරි ගර්ල් කෙනෙක් එක්ක යාලුද කියලා අම්මා ඇහුවා..

මගේ පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන්න ඇති.. ප්‍රශාන්ගෙ කාතවෙන් පපුවෙ ස්පීඩ් එක ඩබල් එකේ වැඩිවුණා.

න්.. නෑ.. හ්..

උඹලගෙ අම්මා ඔක්කොම විස්තර දැනගෙන වගේ බං.. හර්ෂිගෙ නම නොකියා මගෙන් විස්තර ඇහුවා.. ඒත් මං කිව්වා, එහෙම එෆෙයාර් එකක් නම් නෑ ඇන්ටි.. ළඟින් ආශ්‍රය කරනවා කියලා විතරක්.. ඒකට උඹලගෙ අම්මා අමුතු විදියට හිනාවුණා..

ප්‍රශාන් කියවන් යන ඒවා අහලා ඩිංග වෙලාවක් යනකන් මට කතා කරගන්න වචනත් හොයාගන්න බැරි වුණා. ඒ පාර මොකද මේ වෙන්න යන්නෙ..? දෙන දෙයියො මට කුණු වෙන්නම ප්‍රශ්න දෙනව වගේ.. දැන් මොකද කරන්නෙ.. මං මගේම හිතෙන් ඇහුවා. ඒත් හරි හමන් උත්තරයක් මට ලැබුණෙ නෑ.. අපේ ගෙදෙට්ට හැරෙන්න මං කන්ද නගිද්දි ප්‍රශාන් උගේ ගෙදර දිහාට ගියා. අපතයා වගේ අත් දෙකත් වන වනා සැහැල්ලුවෙන් යන ප්‍රශාන්ව දැක්කම මට ආවෙ මං ගැනම අනුකම්පාවක්.. ඉස්සර මං කොයි තරම් සංතෝසෙන් හිටියද..? ඒත් ඒවා අද ඔක්කොම කණ පිට පෙරළිලා.

මට ගෙට ඇතුල් වෙනකොටම සාලෙ දිහාවෙන් අයියගෙ කටහඬ ඇහුණා. හප්පේ.. යන්තං ඇති.. පොර හරි ඉන්නෙක ලොකු දෙයක්.. නැත්තං මේ ප්‍රශ්න ගැන මං තව හිතන්න ගියොත් අමු පිස්සෙක් වෙනවා.

මොනවද හලෝ.. අපි ගෙදර එන වෙලාවටවත්  ගෙදර ඉන්නවකො..

මාව දැක්ක ගමන් අයියගෙ කට කණ ගාවට ගියා.. ඒ තරම් ආතල් හිනාවක් පොරට ගියේ.

කෑ ගහලා ගම කන්නෙපා ලොකූ..

කටට ඇඟල්ලක් තියලා තද කරන ගමන් මං අයියට කිව්වා. ඔය කියපු ටික අම්මට ඇහුණා නම් හෙම, බඩු බනිස් තමයි..

ආ.. මෙච්ච චූටිට.. මේක ඔයාට..

සැටියෙ එහා කොණේම තිබ්බ පාර්සලේ මං දිහාට දික් කරන ගමන් අයියා කිව්වා. මං පාර්සලේ අරන් දිගෑරලා බැලුවා.. අම්මට හුඩු.. එළකිරි වගේ පට්ට ටී ෂර්ට් එකක්.. බොක්කෙන්ම ආපු සංතෝසෙත් එක්කම මං අයියා දිහා බැලුවා.

ඔයා දෙයියෙක්නේ ලොකූ.. කොහෙන්ද මේක..? කීයක් වුණාද..? මට විතරද ගෙනාවේ..?

මං අහගෙන අහගෙන ගියපු ඒවට අයියට හිනාවකුත් ගියා.

ඒව වැඩක් නෑනෙ හලෝ.. මට හිතුණා.. මං ගෙනාවා.. එච්චරයි..

ටී ෂර්ට් එකත් අතේ තියාගෙනම මං අක්කගෙ කාමරේට රිංගුවා.. අක්කගෙ ඇඳ උඩ රෝස පාට දිග ගවුමක් දාලා තිබුණා.. ෂුවර්රෙකට අයියා අද ගෙනැල්ලා දීලා.

ලොකූඩ අද පඩි වගේ නේද පොඩී..?

මං මගේ ටී ෂර්ට් එක පෙන්නන ගමන් ඇහුවා.

ඔය මතක් වුණේ කාටද වගේ.. අද මට පඩි තමයි..

මං අරහෙම කිව්වෙ අක්කට වුණත්, අක්කගෙ කාමරේට ආපු අයියා උත්තරේ දුන්නා.

හැබැයි පොඩී ලොකූ කසාඳ බැන්දොත් එහෙම අපිට මෙහෙම තෑගි හම්බෙන්නෑ.. ඔයාටයි, මටයි විරෝපට්ටන් ගහන් ඉන්න වෙයි..

අයියට පුංචි කැපිල්ලක් දාන ගමන් මං අක්කට කිව්වා. ඒත් හිතුවෙ නැති විදියට ගින්න ඇවිලුණා..


ඔව්.. හ්.. හ්.. කසාදෙ..? කසාදෙ තමයි දැන් ඕන වෙලා තියෙන්නෙ..? ඇයි ඉතිං, දැන් අනිත් ඒවා සේරම හරිනේ..

එක පාරටම කාමරේට ආපු අම්මා කියපු ඒ වචන සෙට් එකෙන් අයියයි, මමයි, අක්කයි තුන්දෙනාම හොල්මන් වෙලා ගියා. මොකක්ද යකෝ මේ පත්තු වෙන්න යන පරමාණු බෝම්බෙ. කාමරේට ආපු අම්මා අපි තුන්දෙනාගෙම මූණු දිහා හොඳට බැලුවා. අක්කා හොඳටම බයවෙලා. අයියගෙ මූණෙ නම් තිබ්බෙ කිසි දෙයක් තේරුම් ගන්න බැරි විදියක්. ගහෙන් ගෙඩි එන්න වගේ මේ කඩන් පාත් වුණේ මොකක්ද කියලා දන්නෙ නැතිවුණාට මගේ පපුව ස්පීඩ් එක වැඩිකරා..

උ.. උඹ දන්නවද ලොකු පුතේ..! මෙයා නටන නාඩගම.. අම්මා, අප්පා නැති කෙල්ලෙක්ව කරේ එල්ලගෙන..

මං දිහාට ඇඟිල්ල දික් කරලා අම්මා එහෙම කිව්වම මං හීතල වෙලා ගියා.. දෙ.. දෙයියනේ.. මේ හර්ෂි ගැන නේද අම්මා කියන්නෙ..?

මොකක්දෝ, මටවත් තේරෙන්නැති ලොකු දුකකින් මුළු හිතම වැහිලා යද්දි මං අක්කගෙ ඇඳෙන් වාඩිවුණා. කවදාවත් නැති විදියට අම්මගෙ මූණ කේන්තියෙන් උතුරලා ගිහින් තිබුණා. ඒ දිහා බලන් ඉන්න බැරිකමට මං බිම බලාගත්තා

තාම උඹ කාලා බීලා ඉන්නෙ අපෙන්.. ඒ වුණාට ඔලුවට ගහලා තියෙන්නෙ මගුල් විසේ.. අම්ම අප්ප නැති එකියකට පෑගිලා, අපේ නම්බුව උඹ ඉවර කරල දාපං.. උඹට ලැජ්ජ නැද්ද චූටි.. කවුරුවත් නැති වෙලාවට ගෑණු ඉන්න ගෙවල් අස්සට රිංගන්න..

ඒ අන්තිම හරිය කියවද්දි මට එක පාරටම ඔලුව ඉස්සුණා.. අම්මා කොහොමද මෙච්චර දෙයක් දන්නෙ..? කතා කරන්න බැරි කමට මගේ හිත තවත් හිරවුණා.. අම්මා මහ සද්දෙට කරන් ගියපු කතාව හන්දා අයියයි, අක්කයි දෙන්නම පුදුම වෙලා මං දිහා බලන් ඉන්න හැටි මං දැක්කා.

අ..නේ.. අම්මෙ.. නවත්තන්නකො ඕක.. අර අල්ලපු ගෙවල්වලටත් ඇහෙනවා ඇති.. අපි කියන දේ මල්ලි අහවි.. ඔය බනිනෙක නවත්තන්න අම්මෙ..

ඔක්කොටම වැඩිය කලබල වෙච්චි අක්කා, අම්මා ගාවට ගිහින්, අම්මගෙ අතින් අල්ලගෙන එහෙම කිව්වා. ඒත් අම්මා නැවැත්තුවෙ නෑ..

හ්..හ්.. නවත්තන්න..? මූ අපේ මූණෙ දැලි ගෑවට පස්සෙද මට කතා කරන්න කියන්නෙ..? ඔන්න බලපං.. තව ටික දවසකින් රටේ ලෝකෙ ඈයො කියන දේවල්.. අපිටත් පාරෙ බැහැලා යන්න බැරි වෙනවා.. මූ කරන දේවල් වලින්.. මං අහන්නෙ මූඨ ලැජ්ජ නැද්ද කවුරුවත් නැති වෙලාවට ඒකි ඉන්න ගෙට රිංගන්න.. ඇරත් ඉතිං ඒකි හොඳ එකියක් නම් කවුරුවත් නැති වෙලාවට මූව ගෙට වද්ද ගනීද..? කොහෙද අම්මෙක් අප්පෙක් නැති පට්ට පඳුරියක්..

තවත් දුරට අම්මගෙ වචන මට අහන් ඉන්න බැරිවුණා.. මට බැන්න විතරක් නෙමේ ගැහුවත් කමක් නෑ.. ඒත් අර අහිංසක කෙල්ලට බනින්නෙ නැතුව.. හර්ෂි වැරැද්දක් කරේ නෑනෙ.. මමනේ වැරැද්ද කරේ.. කොහොම වුණත් දවස් ගාණක් අම්මගෙ හිතට එකතුවෙලා තිබ්බ හැමදේම අද එළියට දාන්න පටන් අරන් තිබුණා. ඒත් මේ හැමදේම විඳවන එකෙත් සීමාවක් තියෙන්න ඕන කියලා මගේ හිත මට අනතුරු ඇඟෙව්වා.. අම්මගෙ වචන වලින් මුළු හිතම පිච්චිලා කරකුට්ටන් වෙලා යද්දි ඒකයි මං අම්මෙ කියලා කෑගැහුවෙ..

උඹ මට අම්මා කියපං ඔය සම්බන්ධෙ නවත්තලා.. උඹ කාත්තෙක්ක සම්බන්ධ වුණත් මට කමක් නෑ.. ඒත් නන්නත්තාරෙ ගියපු කෙල්ලො එක්ක නැතුව.. ඇත්තටම උඹට යාලුවෙන්න වෙන කෙල්ලො හිටියෙ නැද්ද චූටි..?

අතට අහුවෙන හැම වචනෙකින්ම අම්මා මට දමල ගහන්නයි බැලුවෙ. උණුම උණු කඳුලු ඇස්වලින් ඇඳන් වැටෙද්දි මං ඔහේ බලන් හිටියා. ඉතිං තවත් රිදෙන්න තරම් හිතක් මට තිබුණෙ නෑ. කිසිම දෙයක් කියාගන්න බැරිව වගේ මං හොඳටම අසරණ වුණා. අක්කගෙ ඇඳේ විට්ටමට ඔලුව ගහගෙන ඇස්වලින් එන කඳුළු නවත්තගන්න මං ලොකු උත්සාහයක් දැරුවා.

වටපිටාව උණත් මගේ හිත රිදෙන විදියටයි හැඩ ගැහිලා තිබුණෙ. මං ඔලුව උස්සලා බැලුවෙ ඇයි අම්මෙ ඔහොම කතා කරන්නෙ..? කියලා අහන්න හිතාගෙනයි.. ඒත් අම්මා කාමරෙන් ගිහින් තිබුණා. කවදාවත් නැති විදියට අසරණ වුණු මගේ හිත පැත්තකින් තියලා මං අයියයි, අක්කයි දිහා බැලුවා එයාලා දෙන්නම මං දිහා බලාගෙන. ඒ මූණූ දෙකේම තිබ්බෙ ලොකු ප්‍රශ්නොත්තරයක්.

මොකක්ද චූටි මල්ලි මේකෙ තේරුම..? මට කිසිම දෙයක් අගක් මුලක් තේරෙන්නෙ නෑ.. අම්මා කියපු ඔය ගෑණු ළමයා කවුද..? අනිත්තෙක පුදුමෙ කියන්නෙ කවදාවත් නැති විදියට අම්මා කෑගැහුවනේ..

අයියා අහපු දේට උත්තරයක් දෙන්න මං ගියේ නෑ.. තවත් මේ ගැන කතා කරලා තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒක  හන්දම මං කතා කරන්නෑ  කියලා හිතා ගත්තා. මගෙන් උත්තරේ හම්බෙන්නෑ කියලා තේරුණ හන්දා අයියා අක්කා දිහාට හැරුණා. දන්න දෙයක් තියෙනවා නම් කියන්න කියනෙක අයියගෙ මූණෙ තිබ්බා.

ඔයාට මතකද ලොකූ මේ පාර A/L රිසාල්ට් ආපු දවසෙ චූටිත් එක්ක මෙහෙ ආපු ගර්ල්.. අර සුදු, කොණ්ඩෙ දිග නංගි.. අන්න එයා ගැනයි අම්මා ඔය කියෙව්වෙ..

අක්ක කිව්ව දෙයින් අයියගෙ මූණ වෙනස් වුණා.

අම්මා හරි කැත විදියටනේ එයා ගැන කතා කෙරුවෙ පොඩී.. ඒත් මං ඒ නංගිව දැකපු වෙලාවෙ හිතුවෙ නෑ ඔහොම..

අම්මා කියවපු ඒව අයියගෙ හිතේ තදට වැදිලා කියනෙක මට තේරුණා.. අයියගෙ කතාවෙන්ම.. ඒක හන්දා තවත් මේ ගැන පහදලා දීලා වැඩක් නෑ.. ඒත් අක්කා කතා කරන්න කට හදනවා මං දැක්කා.

න්..නෑ.. ලොකූ මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා අම්මට.. ඒ නංගි අම්මා කියපු තාලෙ කෙනෙක් නම් නෙමේ.. හරි හොඳයි..

අක්කා එහෙම කිව්වම අයියා එකපාරටම එයා දිහා බැලුවා. අම්මා අච්චර කියවද්දි අක්කා, අම්මට ඔය ඩිංග හරි කිව්වා නම් කියන දේත් මගේ ඔලුවට ආවෙ ඒත් එක්කම.

හෙහ්..! ඒ කියන්නෙ, ඔයත් චූටිට සයිඩ් සපෝට් එකක් දීලා තියෙනවා.. දැන් බලනකොට මේක දන්නැත්තෙ මං විතරයිනේ..

මගෙයි, අක්කගෙයි මූණු දිහා බල බලාම අයියා ඇහුවා.

අනේ නෑ ලොකූ.. ඒත් මං නිකං හිතුවා මෙයයි, ඒ නංගියි යාලු ඇති කියලා.. අනිත්තෙක මෙයා මට කියලා නෑ ඒ නංගිත්තෙක්ක යාලුයි කියලා..

කෝම උනත් අම්මගෙ හිත හොඳටම පෑරිලා නේද..? කවදාවත් නැති විදියට ඔහොම කතා කරේ ඒකනේ..

අම්මගෙ හිත විතරනේ පෑරිලා තියෙන්නෙ.. මෙච්චර බැනුම් කප්පරක් අහපු මගේ හිත කුඩු පට්ටම් වෙලා තියෙන හැටි අයියට පෙනුනෙ නැති එක ගැන මගේ හිතට ආවෙ ලොකු දුකක්. හිතේ තිබ්බ දුකට ඒ දුකත් එකතු කරන් මං අක්කගෙ කාමරෙන් පිටවෙලා සාලෙට ආවා. ඇස්වලට උනපු කඳුළු ඒ වෙනකොටත් කම්මුල් තෙමනවා මට දැනුණා. ඊගාවට කරන්න ඕනෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි විදියට තුන් සිතම අවුල්වෙලා තිබුණා. මං අක්කගෙ කාමරෙන් පිටවෙලා ඇවිත් විනාඩියක් ගියේ නෑ.. අයියයි, අක්කයි මං ගාවට ආවා.

ඔයා කරලා තියෙන වැඩේ වැරදි වුණත් ඒ ගෑණු ළමයට දොස් කියන එකට නම් මම කැමති නෑ.. මොකද ඔයා ඒ ගෙදරට ගියාම ඒ ගර්ල්ට ඔයාව එලවන්න පුලුවන්ද..? බෑනෙ..?

ප්‍රශ්නෙ දිහා අයියා තවත් පැත්තකින් බලද්දි මං තවත් නිහඬ වුණා.

මොකද චූටි ඔයාට වෙලා තියෙන්නෙ..? අර ටී ෂර්ට් එක අරන් ආපු වෙලාවෙ ඔයා කොයි තරම් සංතෝසෙන්ද හිටියෙ.. අම්ම කියපුවා වැඩිය ගණන් ගන්නෙපා මල්ලි..

ඇත්තටම ඒ ටී ෂර්ට් එක තවමත් මගේ අතේ ගුලිවෙලා තිබුණා. නිල්පාට දිග ඉරි වැටුණු ඒ ලස්සන ටී එක මං සැටිය උඩින් තිබ්බා. අයියා කිව්වා වගේම ඒ ටී ෂර්ට් එක අතට ගනිද්දි තිබ්බ සංතෝසෙ දැන් හොයා ගන්නවත් බෑ.. ඔය අතරෙ තමයි අම්මා ආයෙත් සාලෙට ආවෙ. මං ඔලුව උස්සලා අම්මා දිහා බැලුවා. තාමත් අම්මගෙ ඇස්වල කේන්තියෙ මං සලකුණු තිබ්බා. කමක් නෑ.. දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ දේ කරනවා.. මං එක හිතින්ම හිතාගත්තා.

අම්මා දිහා බලාගෙනම මං ඒ දිහාට ඇවිදන් ආවා. ඇඬුම්බර කඳුළක් හිත කොනටම වෙලා හූල්ලද්දි මං අම්මා ගාවට ගිහින් ඒ අතින් අල්ලා ගත්තා.

අම්මෙ.. මං අම්මලගෙන් තමයි අද වෙනකන්ම කාලා ඇඳලා ඉන්නෙ.. අනේ අම්මෙ.. අම්මා කොයි තරම් දේ මට කිව්වද..? ඇයි අම්මගෙ පුංචි එකාට ඔහොම කතා කරන්නෙ..? මං දැනුවත්ව අම්මට වැරැද්දක් කරලා නෑ අම්මෙ.. මං අසරණයි අම්මෙ.. මං අසරණයි..

ඇස් දෙකම පුරවලා කඳුළු කැට උතුරන් යද්දි මං කියවන් ගියා. හිත ඇතුළෙ පුපුරු ගහන වේදනාවන් බිංදුවක් හරි මේ කඳුළු වලින් දියවෙනව නම්..? මං කියපු දෙයින් අම්මගෙ මූණ වෙනස් වෙනවා මං දැක්කා.

අයියට වගේ අම්මට ගවුම් රෙද්දක් අරන් දෙන්න මට පිණ නෑ.. ඒකට මට කවද ඉඩ හම්බෙයිද දන්නෑ.. ඒත් ඇයි මට ඔහොම බනින්නෙ.. මං ඉස්සර වගේම අම්මට ආදරෙයි.. හැමදේම අම්මට කියන්න බැරිවුණාට මගේ හිතේ අම්මට තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නෑ.. අම්මා ඒක තේරුම් ගන්නැත්නම් ඒක මගේ කරුමෙ.. ඒත් අම්මා කියපුවා..? අනේ අම්මෙ..! හර්ෂි.. අම්මා හිතන විදියෙ කෙල්ලෙක් නෙමෙයි.. එයා අහිංසකයි අම්මෙ..

කිරි සුවදකට හිත ඉව කරද්දි අම්මාගෙ අතේ එල්ලීගෙන මං කියවන් ගියා. මං කියපු කිසිම දේකට අම්මා වනයක්වත් කිව්වෙ නෑ.. ඒක හන්දම මං ඔලුව උස්සලා අම්මගෙ මූණ දිහා බැලුවා. උණුම උණු කඳුළක් අම්මගෙ ඇස් අගිස්සෙ ඉඳලා මගේ මූණ උඩටම වැටුණා. තවත් තත්පර ගානක් යද්දි අම්මා, අම්මාගෙ අත මගෙන් ඈත් කරගත්තා.

තද හිතක් තියෙන අයියගෙ හිතත් දෙදරලා ගිහින් තිබුණා. ඔලුවෙ අත් දෙකත් ගහගෙන අයියා බිත්තියට හේත්තු වුණා. පුංචි දේටත් හිත රිද්දගන්න අක්කගෙ මූණ කඳුළු වලින්ම නෑවිලා ගිහින් තිබුණා. මේ හැම දෙයක්ම අතෑරලා දාලා කොහේ හරි ගියා නම් කියන සිතුවිල්ල හිත උඩට ආවත් ඒක එහෙම්මම නැතිවෙලා ගියා.

තවත් ඩිංගක් වෙලා යද්දි හැමෝම සාලෙ ඉන්දෙද්දි මං කාමරේට ආවා. මගේ හිත ඇතුළෙ තිබ්බෙ පුදුම හිස් බවක්. ඉස්සරහට කරන්න ඕන මොනවද කියන දේ මගේ ඔලුවට ආවෙම නෑ.. හිත ඔද්දල් වෙලා ගිහින් තිබුණා. මං කාමරේට ඇවිල්ලා ඩිංග වෙලාවයි ගියේ.. අයියා කාමරේට ආවා.. හැමදේම මේ තරම් අවුල්වෙලා තියෙද්දිත්, මට තනිවෙලා ඉන්න දෙන්නැති හන්දා, මට අයියත් එක්ක කේන්ති ආවා. ඒත් ඉතිං පොර කියන්න හදන්නෙ මොනවද කියනෙක දැනගන්න මං ලෑස්ති වුණා.

චූටි.. දැන් ඉතිං ඔලුව අප්සට් කරගෙන වැඩක් නෑ.. අම්මා ඔය හැමදේම කියන්නෙ හිතේ වේගෙටනේ.. ඕනම අම්මා කෙනෙක් එහෙම තමයි චූටි.. තමන්ගෙ දරුවො ගැන ඕනවටත් වඩා හිතනවා.. අනිත්තෙක ඔයාට බනින්න වුණු හින්ද අම්මත් දුක් වෙනවා කියලා අපි දැක්කනේ.. ඉස්සෙල්ලා අපි මේක විසඳගන්න බලමු.. මොකද කියන්නෙ..?

අයියා කියවන් ගියපු ඒවයින් මගේ හිතට ආපු කේන්තිය ඩිංගෙන් ඩිංග අඩුවෙලා ගියා. අයියා කියන එකත් ඇත්ත.. අපතයා වගේ මනෝ ගහල වැඩක් නෑ.. මේ වෙලා තියෙන්නෙ මොකක්ද කියලා බලන්නෝන.

පහුවුණු දවස්වල ඒ නංගි මෙහේ ආවම අම්මත් එක්ක සෑහෙන්න හිතවත් වුණානේ චූටි.. පොඩිත් කිව්වෙ.. අම්මා හරි ආදරෙන් හිටියා කියලා ඒ නංගිට.. ඉතිං එක පාරටම මෙහෙම අම්මා වෙනස් වුණේ කොහොමද..? අම්මට නරක ආරංචියක් හම්බ වුණාද දන්නෙත් නෑ..

අයියා කිව්ව දේත් සෑහෙන්න ඇත්තක් තියෙනවා.. වෙනදට මගෙත්තෙක්ක පිස්සු කියවන ලොකු ද මේ තරම් සිරා විදියට කතා කරන්නෙ.. මට හිතාගන්නවත් බැරි වුණා. අයියගෙ හිතේ තිබ්බෙ ගැඹුරු බවක්.. ජීවිතේ ප්‍රථම වතාවට අයියා වැඩිහිටියෙකු බවත්, මං තරුණයෙකු බවත් ඒ වෙලාවෙ මට වැටහුණා.

නෑ ලොකූ.. හර්ෂි එහෙම කෙනෙක් නෙමෙයි.. එයා කවදාවත් වැරදි විදියට හැසිරෙන්නෑ.. මට ඒක ඕන තැනක දිව්රතැහැකි.. මට ඒ තරම් හර්ෂිව විශ්වාසයි.. එයා මට ද්‍රෝහි වෙන්නෑ..

මගේ ඒ විශ්වාසය ඉස්සරහ අයියා ගැස්සිලා ගියා. පවුලෙ බාලයා වෙච්චි මගෙන් ඒ වගේ තද විශ්වාසයක් ආවෙ කොහොමද කියනෙක අයියට දරා ගන්න බැරි වුණා. හැමදේටම හිනා වෙවී පිස්සු කෙලපු මගෙන්, කෙල්ලෙක් ගැන ඒ වගේ ලොකු විශ්වාසයක් ආවෙ කොහොමද කියනෙක අයියට හිතාගන්නවත් බැරි වෙන්නැති.

ඔයා කියනෙක මට විශ්වාස කරන්න පුළුවන් චූටි.. ඒත් අම්මා එහෙම හොයලා බලන්නැතුව කතා කරන කෙනෙක් නෙමේ නේද..? මොකක් හරි දෙයක් ගැන හොඳටම දැනගෙන නේද, ඕනම දේකට අපි උනත් බනින්නෙ..?

අම්මගෙ ගතිගුණ ගැන අපි තුන්දෙනාම දැනගෙන හිටියා. ඒත් හර්ෂි ගැන අම්මා කියපු දේවල්..? මේ තරම් විස්තර ගොඩක් අම්මා දැන ගත්තෙ කොහොමද..? තවත් මේ හැමදේම හිතේ තියාගෙන පිස්සෙක් වෙන්න මට බෑ.. ඒක හන්දම මං අම්මව හොයාගෙන කාමරෙන් එළියට ආවා. මගේ මූණෙ තිබ්බ හැඟීම් සේරම අරන් වගේ අයියත් මගේ පස්සෙන්ම එළියට ආවා. අම්මා තාම කුස්සියෙ.. අද නම් තාම උයන්න හිතලවත් නෑ වගේ.

මට කියන්න අම්මෙ.. ඇයි අම්මා හර්ෂි ගැන අරහෙම කතාවක් කිව්වෙ.. එයාගෙ අම්මා තාත්තා නෑ කියලා අම්මා මුළ ඉඳලම දන්නවනේ.. එයා අහිංසක ළමයෙක් අම්මෙ.. ඒත් ඇ....

මට කතාව දිගටම කියන්න අම්මා ඉඩ දුන්නෙ නෑ..

චූටි, දැන් ඕක නවත්තන්න.. ඒ ළමයා මොන වගේ කෙනෙක්ද කියලා මං දැනගත්තා.. ඒත් ඒ දැනගත්තෙ කොහොමද කියලා කියන එක උඹට වැඩක් නෑ.. ඒ දැනගත්තු දේවල් ඇත්ත වගේ දැනුණු හින්දයි මං එහෙම කතා කරේ..

එහෙනම් හිතේ කේන්තියට විතරක් නෙමේ අම්මා බැනලා තියෙන්නෙ.. හැම දෙයක්ම දැනගෙනයි කතා කරලා තියෙන්නෙ.. එහෙම හිතෙද්දි මගේ ඇස්වලට ආයෙත් කඳුලු ආවා. හයක් හතරක් තේරෙන්නැති පුංචි එකෙක් වගේ මං ආතක් පාතක් නැතුව ඉ්නනකොට තමයි අම්මා, අයියා දිහාවට හැරුණෙ.

උඹ දන්නවද ලොකු පුතේ.. ඒ කෙල්ල මහ ජරා කෙල්ලෙක්ලු.. ඒකිව බලාගන්න මහ ඈයො දෙන්නටවත් ඒකි බලාගන්න බැරිලු.. කියන කිසිම දෙයක් අහන්නැතිලු. අර දවස් දෙක තුනක් මෙහෙ ආවම මං අනුකම්පා කෙරුවා. අම්ම අප්පා නෑ නේද කියලා. ඒත් ඉතිං ඒකිගෙ පට්ටන්දරේ දැන ගත්තම පට එපා වුණා. ලොකු පුතේ ඒකි මොන විදියකට හිටියත් කමක් නෑ.. මගේ පපුව පිච්චෙන්නෙ, අපේ එකා ඒකිත් එක්ක පැටලුන එකනේ..

අම්මා ආයෙත් හො ගාලා කියවන්න ගත්තා.. දැන් නම් ඉතිං  හර්ෂි ගැන මොනව කිව්වත් අම්මා පිළිගන්නෙකක් නෑ කියලා මට හිතුණා.

අම්මෙ.. අම්මට කවුද ඕවා කිව්වෙ.. ඒ ළමයත්තෙක්ක තරහ කවුරුහරි අම්මත්තෙක්ක ඕව කිව්වද කියල දන්නෙත් නෑ..

අයියා, අම්මගෙන් එහෙම අහද්දි මට අයියා ගැන මාර ෆිට් එක් ආවා. මං අහන්න ඉදපු දෙයක්නේ අයියා අම්මගෙන් ඇහුවෙ. ඒත් ඒකට හරි හමන් උත්තරයක් අම්මගෙන් අපිට ලැබුනෙ නෑ.

කියපු කෙනා වැඩක් නෑනෙ පුතේ කතාව ඇත්තනම්..

අම්මා එහෙම කිව්වෙ පුදුම විශ්වාසෙකින්. මගේ හිතට ඒක දරාගන්න බැරි වුණා.

ඒ කතාව බොරු අම්මෙ.. ඒක බොරුවක්.. හර්ෂි ඒ විදියෙ ගෑණු ළමයෙක් නෙමෙයි..

අම්මා දිහා බලාගෙන මං එහෙම කිව්වා. ඩිංග වෙලාවක් ගෙවිලා ගියාට පස්සෙ අම්මා ආයෙත් කටහඩ අවදි කරා.

මං කියනදේත් අහපං චූටි.. මං හොයල බලන්නැතුව කතා කරන කෙනෙක් නෙමෙයිනේ.. උඹ ඒක දන්නවා.. උමට මායි, තාත්තයි මොනම දුකක්වත් දුන්නෙ නෑ.. ලොකූටයි පොඩීටයි වැඩියෙන් අපි ආදරේ කරේ උඹට.. ඉතිං උඹට ඒ ආදරේ මදි වුණාද චූටි..

ඉඳලා, ඉඳලා අම්මා මගෙන් අහපු දෙයින් මගේ හිත හීතල වෙලා ගියා. හරියටම විදින්න ඕන තැන බලලා අම්මා ඊතලේ පපුවටම විඳලා තිබුණා.

ඇත්තටම අම්මා අහපු දේට දෙන්න තරම් හොඳ උත්තරයක් මගේ හිතට ආවෙ නෑ.. කතා කරන්න හැදුවත් මගේ හිත කොහෙදෝ අතරමං වෙලා තිබුණා.

ඒ ගෑණු ළමයා ගැන උඹටත් වඩා දන්න කෙනෙක් මට කිව්වෙ.. ඉතිං මං විශ්වාස නොකර කොහොමද..? මං මේ කියන දේවල් හිතට අරගෙන අදම ඔය සම්බන්ධෙ නවත්තපං චූටි.. ඕකෙන් උඹට කවදාවත් හොඳක් වෙන්නෙ නෑ.. මෙච්චර කාලෙකට මං කියපු දේවල් උඹ ඇහුවා නම්, ඇයි උඹට දැන් අහන්න බැරි.. කොටින්ම චුටි උඹට මං කියන දේවල් අහන්න බැරි නම්, උඹ මට අම්මා කියලවත් කතා කරන්න එපා..

අම්මගෙ වචන විෂ පුරවපු ඊතල වගේ මගේ පපුව ඇතුළටම වැදුණා. දෙපාරක් නෙමේ තුන් පාරක් විතර හිතන්න ඕන ඒ වචන දිගේ මතකය ආපස්සට ගියා. ඒත් දැන්, මේ මේ දේ කරන්න ඕනය කියල මගේ හිතට තේරුණේ නෑ. කවදාවත් නැති විදියට අම්මා කතා කරපු කටුක විදිය හන්ද මගේ හිත පුදුම විදියට ඉරි තලලා ගිහින් තිබුණා. තව කොයි තරම් වෙලා මෙතන හිටියත් අම්මගෙන් මීට වඩා වචනයක් ගන්න භෑ කියලා මට තේරුණා. හර්ෂි කොයි තරම් හොඳ කෙල්ලෙක්ද කියලා අම්මට පහදලා දෙන්න මට බැරි වුණා. ඉරි තැලිල තිබ්බ හිත, තද කළකිරීමකට පත්වෙද්දි මං අක්කා ගාවට ගියා. අක්කා මගේ අතකින් අල්ලගත්තා.

අනේ.. චූටි.. ඔයාගෙ හිත හොඳටම රිදිලා මල්ලි..

අක්කගෙ ඇස්වල තාමත් කඳුළු. මට පව් කියලා හිතුණා අක්කා ගැන.

කමක් නෑ අක්කෙ.. මං වැරැද්දක් කරා නම් මං ඒකට විඳවන්නත් එපැයි. ඒත් මට දුක අම්මා හර්ෂිට බනින එක.. ඒ කෙල්ල අහිංසක කෙල්ල වැරැද්දක් කරල නෑ අක්කෙ.. එයා මට ද්‍රෝහි වෙන්නෑ.. අනේ අක්කෙ, අක්කවත් විශ්වාස කරන්න.. හර්ෂි අහිංසකයි අක්කෙ..

මගේ ඇස්වල කඳුළු පිරෙද්දි මං කියවන් ගියා.

ඔය දෙන්නම අහිංසකයි කියලා මං දන්නවා මල්ලි.. ඒත් මං බලන්නෙ, කවුද අම්මට හර්ෂි ගැන කියලා තියෙන්නෙ කියලා..

අක්කා එහෙම කිව්වහම මගේ හිතත් ඒ පැත්තට හැරුණා.

අක්කෙ, අද අපේ ගෙදරට ආවෙ කවුද කියලා මට කියන්නකො. අනිත්තෙක අද අම්මා කොහෙද ගියේ..?

ඇවිල්ල තියෙන ප්‍රශ්න ටික විසඳගන්න තියෙන හොඳම ක්‍රමේ, සිහි බුද්ධියෙන් කටයුතු කරනෙක කියලා මට තේරුණේ අන්තිම වෙලාවෙදි.

උනේ නම් කවුරුවත් ආවෙ නෑ මල්ලි.. මං ක්ලාස් ගියානේ.. ලොකුත් එක්ක මං එකටමයි ආවෙ... ආ.. බිසෝ නැන්දා ආව මං ක්ලාස් යන්න කලින්..

බිසෝ නැන්දා කියලා කිව්වෙ ප්‍රශාන්ලගෙ අම්මට. ඒත් ඉතිං එයා මොනවත් දන්නෑනෙ.. එතකොට කවුද අපේ ගෙදර ආවෙ. අම්මා කොහේවත් ගිහිනුත් නෑ. අක්කා ක්ලාස් ගියපු වෙලාවෙදි තමයි කවුරු නමුත් ඇවිල්ලා තියෙන්නෙ.ඒ ආපු එකා මොකා වුණත් ඌ ඔර්ජිනල් ගේම් කාරයෙක්. අපේ අම්මවත් ඇන්දුව කියන්නෙ ඊට එහා දෙයක් නෑ.. අනිත්තෙක මං හර්ෂිලග ගියපු එක.. ඒක ගැන දන්නෙ මායි, හර්ෂියි විතරනේ.. අඩුම ගානෙ මං ප්‍රශෘන්ටවත් කිව්වෙ නෑ.. ඕව මේවා ගැන කල්පනා කරලම අන්තිමට මගේ ඔලුවත්තෙක්ක රිදෙන්න ගත්තා. ඒත් ඉතිං කවුද යකෝ මේ රඟමඩලට අලුතෙන් ආපු නලුවා...............


No comments:

Post a Comment