Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


“අනේ මංදා දේව් අයියෙ.. තව මාස දෙකයි විභාගෙට තියෙන්නෙ.. පණ බයේ බෑ..”

හර්ෂිගෙ A/L එග්සෑම් එකත් අත ළඟටම ඇවිල්ලා තිබුණා. අපි දෙන්නා හම්බවුණ හුඟාක් වෙලාවල් වලට අපි කතා කරේ විභාගෙ ගැන.. ඒත් විභාගෙ ගැන හර්ෂිගෙ හිතේ තිබ්බෙ බයක්.

“පිස්සුද බබා..! මං ඉන්නකන් තඹ සතේකට බයවෙන්නෙපා.. අද දෙන වැඩ ටික අදම ඉවර කරන්නකො.. එතකොට ගේම ෆිනිෂ්නේ..”


අති පංඩිතයා වගේ මං කියවන් ගියා. හර්ෂිගෙ මූණට පුංචි හිනාවක් ආවා.

“අනේ ඔයා නම් කියාවි දේව් අයියෙ.. විභාගෙ ෆේල් වුණොත් එහෙ මම්මයි, බාප්පයි මාව මරලා දාවි..”

“මං ඉස්සෙල්ලත් කිව්වනේ හර්ෂි.. මං ඉන්නකං ඒ වගේ දෙකේ පංතියෙ වැඩ කරන්න එයාලට හම්බෙන්නෑ.. ඔයා හොඳට පාඩම් කරලා එග්සෑම් එක ගොඩ දාගන්න බලන්නකො..”

“අයියා නම් කියයි.. විභාගෙ මතක් වෙනකොටත් පපුව ගැහෙනවා...”

පපුවට අතක් තියාගෙන හර්ෂි කිව්වා.

“කෝ බලන්න..”

හර්ෂිගෙ ඒ අත අල්ලගෙනම මං එයා දිහාට හැරුණා..

“දෙනව දෙකක් මං.. ඕවට ආවොත් හෙම.. දැන් හරියට නරක් වෙලා..”

“ඉතිං දෙන්නකො දෙකක්..”

මං මගේ කම්මුල හර්ෂි ලඟට කිට්ටු කරා.

“මට බෑ..”

හර්ෂි ඒක කිව්ව තාලෙට මට හිනා යන්න ආවත්, පටස් ගාලා මං මූණ අනිත් පැත්ත හරව ගත්තා.

“ඔ..ය්....ය ඉතිං.. ඔන්න මගෙත්තෙක්ක තරහා වුණා.. කෝ.. එන්න..”

එහෙම කියලා එයා මාව ඇඳලා වගේ ළඟට ගත්තා. ඒ සීතල දෙතොල්වල පහස මගේ කම්මුල් දඟ කවලා දමද්දි, එයාගෙ සුසුම් සුවඳ මගේ හිත ඇතුලෙම හැංඟුනා..

“ඔ.. ඔයා හරි අහිංසකයි දේව් අයියා..”

මාව ඉඹලා ඉවරවෙලා හර්ෂි කිව්වා.

“මෙ... මේ.. ම.. මං..?”

“ඔව් අනේ.. ඔයා තමයි.. ඒකනේ මගෙත්තෙක්ක යාලුවෙන්න අහපුවහම මට බෑ කියන්න බැරි වුණේ..”

එහෙම කියලා හර්ෂි කල්පනා කරන්න ගත්තා. එයාට පහුගිය කාලෙ මතක් වෙන්න ඇති. ඊළඟ තත්පරේදි ඒ සුදු මූණ දුකෙන් වගේ බිමට පාත්වුණා.

“ඇයි.. ඇයි හර්ෂි මේ..?”

“විභාගෙ ගත්තට පස්සෙ මං කොහොමද ඔයාව හම්බවෙන්නෙ අයියෙ..?”

“මං ඔයා ළඟට එන්නම් නංගි.. අපි කොහොම හරි හම්බවෙමු..”

“අනේ මංදා අයියෙ, විභාගෙන් පස්සෙ මොනා වේවිද කියලා හිතනකොටත් මට බයයි.. ඔයා ගැන බාප්පලා දැනගත්තු දාට.. හ...හ්....”

මාව පාවෙලා යන තරමෙ ලොකු සුසුමක් එයාගෙන් පිටවුණා.

“ඒ ගැන වැඩිය හිතන්නෙපා නංගි.. ඔයා ඉස්සර වෙලා එග්සෑම් එක හරියට කරන් ඉන්නකො.. බැරි වෙලාවත් ඔයා එග්සෑම් ඇණ ගත්තොත් හෙම ඒක මටත් දරාගනන් බැරි වේවි.”

හර්ෂිගෙ සුසුම් පොදවල් මගේ කම්මුලට හාදු දෙනවා. පුදුමාකාර තරම් අහිංසක විදියටයි එයා මං දිහා බලන් හිටියෙ.

“ඇයි ඔහොම බලන්නෙ නංගි..?”

එයාගෙ බැල්ම දරාගන්න බැරුව මං ඇහුවා.

“ඔයාට තියෙන ආදරේට දේව් අයියෙ.. ආදරේට.... මං ගාව ඔයා හැමදාම ඉන්න ඕනි.. මට.. මට... ඔ.. ඔයා නැතුව ඉන්න බෑ අයියෙ..”

“මටත් එහෙමයි නංගි.. ඔයා හැමදාම මං ගාව ඉන්න ඕන..”

මං එහෙම කියද්දි හර්ෂි මට තව තවත් තුරුල් වුණා. ඒ උණුහුමට ලෝබකමින් මාත් හර්ෂිව අත් දෙකෙන්ම අල්ලලා ලංකර ගත්තා.

“මං එහෙනම් යන්නම් අයියෙ... පරක්කු වුණානේ...”

මං කොහොමද ඔයාට යන්න කියන්නෙ හර්ෂි.. ඔයාගෙ ජීවිතේ හැම සුසුමක්, කඳුළක්, හිනාවක්ම මගේ ජීවිතේට සම්බන්ධ වෙලා තියෙද්දි..

නිල් පාට පිනපෝ ගවුම පුංචි තිතක් වෙලා යනකන්ම බලන් ඉඳලා මං ආපිට හැරුණා. ගෙදර එනකන්ම මගේ හිතේ ජීවත් වෙලා හිටියෙ හර්ෂි විතරමයි. එයාගෙ ඇස්වල පිරිලා තියෙන අහිංසකකම, එක එක ඉරියව්වල තියෙන සන්සුන්කම, මූණෙ තියෙන ආදරේ පිරිච්ච අහිංසකකම, මගේ හිතට මහා බරක් එක්කහු කරලා තිබුණා. ඒත්... ගෙදර ලංවෙනකොටම ඉස්සරහ පඩිය උඪ වාඩිවෙලා අක්කත් එක්ක කතාව දාගෙන ඉන්න ප්‍රශාන්ව දැකලා මගේ හිතේ බර ඩබල් එකේ අඩුවුණා. මූථ් මහ යමර ටයිම් වලටනේ මාව හම්බවෙන්න එන්නෙ..

“හප්පොච්චියේ..... උඹව දකින්න නැතුව මං පිස්සු වැටිලයි හිටියෙ බං.. උඹ නොදකින මේ දෑස මක්කටෙයි කියලා හිතුණා..”

මාව දැක්ක ගමන් උගේ අදෝනාව ඇහුණා. මූ ඉපදිලා තියෙන්නෙ බිසෝ ඇන්ටියි, බිසෝ අංකලුයි රණ්ඩු වුණ වෙලාවකලු.. ඒකනේ මුගේ කට නිතරම ඇරිලා තියෙන්නෙ.

“පල.. පල.. පුස් ඌරා..! නැන්දලහ ගිය ඩිංගට තොට මාව සම්පූර්ණයෙන්ම අමතක වුණා.. දැන් එනවා මෙතන සෝකෙ ප්‍රකාශ කරන්න..”

මං ඌව කපලම දැම්මා. මං හිතුවෙ උගේ මූණ ඇදවේවි කියලා.. පිස්සුද.. උගේ මූණට ආවෙ හිනාවක්.

“මේ බලන්නකො අක්කා මුගේ කුප්පහි කතාව. මං මෙච්චර මහන්සි නොබල මූව බලන්න ආවා. දැන් මුගේ ගණන් හිලව් බලන්නෝන....”

මූ තවත් මෙතන හිටියොත් මොනව කියයිද දන්නෑ.. ඒක හන්ද මං ඌවත් ඇදගෙන කාමරේට රිංගුවා.

“මට පිස්සු හැදුණා බං.. මාර කෑලි ටිකක් ඩෝ ඒ පැත්තෙ ඉන්නෙ.. එන්නම හිතුණෙ නෑ.. අම්මලගෙ මල වදේට ආව මිසක.... උඹ දන්නෑ.... මං එකකට කොක්කක් ගහලයි ආවෙ.. මං එනකොට ඒකි අඬනවා.. හප්පේ... හ්....”

ඌ ආයෙත් කියවනවා.. අම්මප මූ දවසක කනවා, ඉතිහාසෙවත් නැති කෑමක්..

“පව් වැඩ බං..”

“පව්..? අනේ මේ.. මගෙන් කුණු හබ්බ නාහ ඉඳපං.. උඹයි, මායි දන්න පව්..! ඒක නෙමේ මචං.. සිරාවටම අහන්නයි හිටියෙ උඹගෙන්.. කොහෙද ඉතිං මේ වෙන මගුල් හින්ද ඒකත් අහන්න අමතක වුණානේ...”

මූ ඒ පාර මොන කොඩිවිනේ අටවන්නද දන්නෑ හදන්නෙ.. මූ හැරෙන්නෙ නම් හොඳකට නෙමේ.

“ඉතිං අහන්න හිටිය නම් අහපං.. තටම තටම ඉන්නැතුව..”

මං එහෙම කිව්වහමත් ඌ ගණන් ගත්තෙ නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ..

“හර්ෂිගෙ සීන් එක කොහොමද..?”

සාමාන්‍ය ප්‍රශ්නයක් අහන විදියටයි ඌ ඒක මගෙන් ඇහුවෙ.. ඒත් පුංචි කාලෙ ඉඳලම මං ප්‍රශාන් ගැන දන්න නිසා මට තේරුණා ඌ ඒක අහන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා කියලා..

“ඒක හරි මචං.. දැන් සිරාවටම ලව දුවනවා..”

මං එහෙම කිව්වහම ඌ ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. කිසිම හැගීමක් ඒ මූණෙ තිබ්බෙ නෑ.. ඒත් මූට දුක ඇති.. පෙන්නුවෙ නැති වුණාට.. ඇයි ඉතිං මූත් හර්ෂිට විකාගෙන ට්‍රයි කරානේ.

“මොකෝ උඹ අප්සට් එකෙන් වගේ..”

සද්ද නැතුව ප්‍රශාන් ඉන්නකොට මං ආයෙත් ඇහුවා.. ෂුවර්රෙකට මූට නිකං මොකක්ද වගේ ඇති..

“න්.. නෑ.. මචං.. අප්සට් එකක් නම් නෑ.. ඒත් ඉතිං ලබා උපන් හැටියටලුනේ බබා හම්බ වෙන්නෙත්..! ගුඩ් ලක් ලොක්කා.. අවුලක් නැතුව ඇඳන් පලයන්..”

හිතේ අමාරුවෙන් වුණත් ප්‍රශාන් කිව්වා.

“විෂ් කරපු එකට නම් තෑන්ක්ස් මචං.. උඹ මොනවද හෙට අනිද්ද දිහාට කරන්න ඉන්නෙ..”

“ඇයි උඹ අරකිත් එක්ක ටුවර් එකක්වත් යන්නද..? කිසි අවුලක් නෑ සනා.. බොක්කෙන්ම හෙල්ප් තමයි..”

ඌ ඒ පාර හෙණ ෆිට් එකේ කියවන් ගියා.. මූ කියයි ටුවර් යන්න.. හර්ෂිගෙ බාප්පා, අර වෙල් කක්කුට්ටට අහුවුණොත් අවමගුලක් ෂුවර්..

“මටත් හිතෙනවා බං නිශානිගෙ ලව ඇත්තටම කරන්න..”

හිටපු ගමන් ප්‍රශාන් කිව්ව එකෙන් මං හොල්මන් වෙලා ගියා.

“ඈ යකෝ... එතකොට මෙච්චර කල් උඹ ඒකිත් එක්ක බොරුවටද ලව් කෙරුවෙ..? බලන් ගියාම උඹ මහ ඌරෙක්නේ බං..”

මං කිව්ව එකට ඌ මුකුත් කිව්වෙ නෑ.. ඌ හිනාවෙන්න ගත්තා.

“තෝ නම් කවදාවත් හැදෙන්නෑ..”

“හරියට හරි කොල්ලා.. හරියටම හරි..”

ඌ ආයෙත් හුකු හුකු ගාලා හිනාවෙනවා.. වෙලාවකට මට පේන්න බැරි මුගේ මේ පොල් බූරු වලත්ත හිනාව තමයි.

“අඩෝ සිරාවටම කියන්න හිටපු එකත් අමතක වුණානේ.. මට මාර ගැන්සියක් ෆිට් වුණා බං.. කොලෙජ් ලේන් එක ගාවදි.. දැන් ටික දවසක් වෙනවා..”

“කෙල්ලො ගැන්ග් එකක්..?”

මං එහෙම ඇහුවෙ ඌට වැඩිපුරම ෆිට් වෙන්නෙ කෙල්ලො නිසා.

“ඔය බලපං.. උඹත් හදන්නෙ පිස්සු කෙලින්න.. කෙල්ලො නෙමෙයි බං මුං.. කොල්ලො ගැන්සියක්.. එදා මං මාතර යනකොටත් උං ටික ට්‍රේන් එකේ හිටියා.. උං ගැන්සියත් එක්ක මං හෙණට ෆිට් වුණා දේව්..”

ඊට එහා ඌ මුකුත් කිව්වෙ නෑ.. මාත් මුකුත්ම අහන්න ගියේ නෑ. මොකද ඒ වෙලාවෙ මං හිතුවෙ ඒක උගේ තවත් බයිලයක් වෙන්න ඇති කියලා.. ඒත්...


කාලය පියඹලා ගියේ පුදුම වේගෙකින්. ඒ පැත්ත හැරිල මේ පැත්ත බලනකොට මෙන්න යකෝ මාස තුන හතරක්ම පහුවෙලා. මං හිතන්නෙ ලෝක බෝලෙටත් මොකක් හරි චූන් එකක් යන්න ඇති.. නැත්තං ඉතිං මේ තරම් තදියම අහවල් කෙං ගෙඩියටද..?

ඔහොම කාලෙ ගෙවෙද්දි තමයි අපේ අම්මා හදිසියෙන්ම අසනීප වුණේ.. අම්මගෙ අසනීප තත්වෙ හින්දම තාත්තත් සුමාන දෙකක් විතර නිවාඩු දාලා ගෙදර ආවා. අයියත් නිවාඩු දාලා ගෙදර නැවතුණා. කොහොම වුණත් ගෙදර අපි හැමෝගෙම සාත්තුව හින්ද අම්මට ඉක්මණට හොඳ වෙන ලකුණු පහළ වුණා. කුස්සියෙ වැඩ ටික ඔක්කොම අක්කාගෙ කර උඩට වැටිලයි තිබුණෙ.

ඔය අතරෙ තමයි හර්ෂිගෙ A/L එග්සෑම් එකේ රිසාල්ට් ආවෙ.. හැම වැඩක්ම පැත්තකින් තියලා හර්ෂිව හම්බෙන්න මාත් ඉස්කෝලෙට රිංගුවා.

“අඩෝ... අපතයො...”

ප්‍රශාන්ගෙ කටහඬ අඳුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ. මූ මොන කෙංගෙඩියක් කරනවද දන්නෑ ඉස්කෝලෙ ඇතුලෙ.. ෂුවර් එකටම මොකාක් හරි අලුත් කෑල්ලක් සෙට් කරගෙන ඇති.. ෂිහ්.. මූ වගේ අපතයෙක්.

“බලන් ගියාම උඹත් නැති තැනක් නෑනේ බං.. අද මොකෝ උඹට ඉස්කෝලෙට එන්න හිතුණෙ..?”

මං උගේ අතකින් අල්ලගන්න ගමන් ඇහුවා.

“ඇයි ඩෝ.. උඹට විතරද එන්න හොඳ.. මේ පාර නිශානිත් එග්සෑම් කරානේ.. ඒකිගෙ සෙකන්ඩ් ට්‍රයි එකනේ..”

“කොහොමද තත්වෙ..?”

“තත්වෙ හොඳයි.. මං හිතන්නෙ ඒකි ෆිසිකල්වත් අහුවෙයි..”

“පාස් වුණාට මොනා හරි අරන් දීපන්..”

“ආන්න.. ආන්න.. උඹ රෝන් යනවා.. ඒකි ඉන්න තැන ඕවා කියන්න යන්න එපා.. මගේ ඔය මොකක් හරි අවයවයක් උගස් තියල තමයි ඒකිට මොනා හරි අරන් දෙන්න වෙන්නෙ.. මං දැක්කා මචං හර්ෂිත් මේන් හෝල් එකේ ඉන්නවා..”

ඌ එහෙම කිව්වම මං මේන් හෝල් එක පැත්තට ආවා. ඒ එක්කම තමයි මං දැක්කෙ හර්ෂියි, ශානිකායි මං ඉන්න පැත්තට එන හැටි. හර්ෂිගෙ මූණ නම් ඒ තරම් හොඳට තිවුණෙ නෑ.. මොකක්දෝ දුකකින් ඒ සුදු මූණ වැහිලා ගිහින් තිබුණා.. ඒ කියන්නෙ මේකි විභාගෙ ඇණගෙනවත්ද..? හපොයි.. මට තමයි පරිප්පු නැව අඳින්න වෙන්නෙ..

“කෝමද.. කෝමද... ඇට්ටි හැලෙන්න පාස් නේද..?”

මං හර්ෂි ලංවෙනකොටම ඇහුවා.. ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා.. මල  හත්තිලව්වයි, මට නම් දැන් බුදු ෂුවර්.... මෙයා එග්සෑම් අනාගෙන කියලා..

“පා... පාස් නම් තමයි.. ඒත් අයියෙ.. හ්... හ්... හහ්...”

මං ළඟටම ආපු හර්ෂි මගේ අත අල්ලගෙන අඬන්න ගත්තා.. සුදු මූණ හොඳටම රතු වෙලා. පුංචි ඇස්වලින් කඳුළු හෝ ගාලා ගලනවා. මටත් දැන් හෙණට අප්සට්.

“ඉතිං රිසාල්ට් කියන්නකො හර්ෂි.. ඇරත් ඔයා කිව්වනේ හොඳට ලිව්වා කියලා.. අප්සට් වෙන්න විදියක් නෑනෙ..”

A – 01යි.... B – 3 යි....”

හර්ෂි ඒහෙම කිව්වම මාත් කරකවලා අතෑරියා වගේ වුණා.. යකෝ මෙච්චර රිසල්ට් තියාගෙනද මේකි අඬන්නෙ..

“මගෙ අම්මේ.. බුදු ෆිට්නේ හර්ෂි.. මෙච්චර හොඳට රිසාල්ට් තියාගෙන ඔයා අඬනවා.. පිස්සුද මංදා.. දැන් නම් ඉතිං මට පාටියක් ඕන..”

“මො... මොන පාටිද අයියා.. ම.. මම්මලා බනී.. රිසාල්ට් මදි කියලා.. අ.. අනේ.. මං මොනවද කරන්නෙ දේව් අයියා..”

ආයෙත් හර්ෂි අඬන්න ගත්තා. මෙහෙම අඬන්න ගියොත් ඉස්කෝලෙ හැම එකාම වෙන මොනව හරි හිතාවි. ඒක  හන්දා මං හර්ෂිවත් අඬ ගහගෙන ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ආවා.

“ඔයත් මාර කතානේ අහන්නෙ හෂි.. රිසාල්ට් අප්සට් ගිහින් හුඟක් ඈයො අඩන්නෙ.. ඔයා අඬන්නෙ රිසාල්ට් හොඳ වැඩිවෙලා..”

මං එහෙම කිව්වම හර්ෂි ඇස් ලොකු කරලා මං දිහා බැලුවා.

“බාප්පලා මට වියදම් කරන්නෙ එක පාරින්ම කැම්පස් යන්නයි කියලා අයියෙ.. ඉතිං ඩිංගක් රිසාල්ට් අඩු වුණාම මට බය හිතුණා..”

හර්ෂිට කොහොම තේරුම් කරන්නද මංදා.. මේ රිසාල්ට් හොඳටම ඇති කැම්පස් යන්න.. දැන් මේකම ආයෙත් කියන්න ගියොත් මං පිස්සෙක් වෙනවා.. ඒක බුදු ෂුවර්..

“ඒක නෙමේ හර්ෂි.. අද නම් මට ඔයත්තෙක්ක වැඩිවෙලා ඉන්න වෙන එකක් නෑ..”

ඇයි කියල අහන්න වගේ එයා මං දිහා බැලුවා.

“පහුගිය දවස්වල අම්මට හුඟක් අමාරු වුණා.. පපුවෙ සෙම තදවෙලා.. බෙහෙත් හෙම බිව්වට පස්සෙ තමයි ටිකක් විතර හරි ගියේ..”

හර්ෂිගෙ ඇස් දෙක ලොකු වුණා. ඒ ලොකු වුණ ඇස් මං දිහාවට හැරෙව්වාමයි මං දැක්කෙ.. ඒ ඇස්වල තිබ්බ දුක.

“අ.. අනේ ඇයි අයියෙ මට කලින් නොකිව්වෙ..? මං.. එනවනේ අම්මව බලන්න..”

“නෑ.. ඉතිං පහුගිය දවස්වල ඔයාව හම්බවුණේ නෑනෙ.. ඒකයි මට කියන්න බැරි වුණේ..”

“අයියෙ.. මට අම්මා කෙනෙක් නෑ.. මං දන්නවා අම්මා කෙනෙක්ගෙ අගේ... හැම අම්මා කෙනෙකුටම මං ආදරෙයි දෙයියනේ..”

හර්ෂිගෙ හිත පුපුරලා ගියපු විත්තිය මට තේරුණා.. හර්ෂිට අහිමි වෙච්ච ඒ සෙනෙහසට ගලන කඳුලු බිංදු එයාගෙ මූණ දිගේ බේරෙන හැටිත් මං දැක්කා.

“ම.. මං.. එන්නද අයියෙ ඔයාලහ, අම්මව බලන්න..?”

බිඳිලා ගියපු හඬින් හර්ෂි මගෙන් ඇහුවා. ඒත් ඒකට උත්තරයක් මං දුන්නෙ නෑ.. එයාගෙ අතින් තද කරලා අල්ලගෙන මං ගෙදර එන්න හැරුණා.. හර්ෂීගෙ මූණට ඒ වෙලාවෙ ආවෙ කියා ගන්න බැරි තරම් ලස්සන හිනාවක්. කඳුළු අස්සෙන් මතුවෙච්ච ඒ හිනාවට දෙන්න තියෙන වත්කම මොකක්ද කියලා හිතාගන්න බැරිව මං ගොලු වුණා.

“මෙන්න.. ලෙඩ්ඩු බලන්න අමුත්තො ඇවිත්..”

හර්ෂිත් එක්ක ඉස්තෝප්පුවට ගොඩවුණ ගමන්ම මං කෑගැහුවා.. ඉස්සෙල්ලම දුවන් ආවෙ අක්කා..

“හ.. හෂි..! අනේ නංගි.. කොහොමද ඔයාගෙ රිසාල්ට්..?”

හර්ෂිගෙ අතිනුත් අල්ලගෙන අක්කා රිසාල්ට් අහනවා. දැන් ඔය අත මගේ කියලා කියන්න හිතුණත් මං මුකුත් කියන්න ගියේ නෑ.. මොකටද අප්පෙ ඉල්ලන් කන්නෙ.. මෙච්චර දන්සැල් දාලා තියෙද්දි. හර්ෂිගෙ රිසාල්ට් අහලා ඉවර වෙලා අක්කා හර්ෂිවත් ඇදගෙන අම්මගෙ කාමරේට රිංගුවා. එක්කං ආපු මං තාම සාලෙ. මැදැයි..

ඔය අතරෙ තමයි.. මගේ කාමරේ ඇතුළෙන් ටක - ටොක, ටක - ටොක ගාලා සද්දයක් ඇහුණෙ.. කවුද යකෝ මගේ කාමරේ ඇතුළෙ කැරම් ගහන්නෙ..? දොර රෙද්ද ඇරලා මං එබුණා කාමරේට.. හුටා.. තාත්තයි, අයියයි දෙන්නම අද ගෙදර වගේ..

“කවුද චූටි ආවෙ..?”

සුදු ඉත්තෙකුට වලට යන්න ගහන ගමන් තාත්තා මගෙන් ඇහුවා.

“මේ අක්කගෙ යාළුවෙක්නේ..”

කැරම් බෝඩ් එක දිහා බලාගෙන මං කියලා දැම්මා.

“බොරු එපා ලොක්කා.. ඔයත්තෙක්ක එකට නේද ආවෙ..? මායි, තාත්තයි දෙන්නම ජනේලෙන් බලන් හිටියෙ.. දෙන්න ආපු හැටි..”

ක්.. කෙලියා නේද තාප්පෙට.. අලුතින් තාප්පෙ හදන්න වෙයි වගේ අද නම්. ඔක්කොටම කලින් මොකාක් හරි බොරුවක් පිඹින්න ඕන.

“න්..න්.. නෑ... මාත් ටිකක් අඳුනනවා.. ඒකයි කතා කර කර ආවෙ..”

මං කියපු එකට අයියට බකස් ගාලා හිනාගියා. ඒක හන්දම රෙඩ්ට ගහපු පාරක් වැදුණෙ නෑ. තාත්තත් ඔලුව උස්සල අමුතු හිනාවක් දාගෙන මං දිහා බැලුවා. මෙලෝ සංසාර දෙයක් දන්නැති ඉස්ගෙඩියෙක් වගේ, එයාල දෙන්නගෙන් කැපිල මං අම්ම ඉන්න කාමරේට ආවා. මෙන්න යකෝ අම්මයි, හර්ෂියි බර කතාවක්. මාත් සද්දයක් බද්දයක් නැතුවම අම්මගෙ ඇඳ උඩින් වාඩිවුණා.

“කවුද දේව්ද කිව්වෙ මට සනීප නෑ කියලා..?”

මාව දැකපු ගමන්ම අම්මා හර්ෂිගෙන් ඇහුවා. එයා මුකුත් නොකිය හිනාවුණා.

“බලන්න චූටි.. ඔයත් කරන වැඩ.. මේ දූගෙ වැඩත් පාඩුවෙනවා ඇති..”

“න්..නෑ ඇන්ටි.. අද ඉතිං කොහොමටත් තියෙන්නෙ ගිහින් උයනෙක තමයි.. තව ටිකක් වෙලා තියෙනව මම්මයි, බාප්පයි ගෙදර එන්න..”

“ඔන්න හර්ෂි නංගි.. අද නම් ඉන්නම ඕන දවල්ට කාලා යන්න..”

ඒ පාර අක්කගෙ සද්දෙ කුස්සියෙන් ඇහුණා.

“අනේ බෑ දේවකී අක්කෙ.. මං වෙන දවසක එන්නම්.. තරහා වෙන්න එපා හොඳේ.. මං දැන් යන්නත් ඕනනේ..”

තවත් ඩිංග වෙලාවක් අම්මා ළඟ ඉඳලා, දොළහ විතර වෙද්දි හර්ෂි අපි හැමෝගෙන්ම සමු අරන් ගියා.

“පව්.. අහිංසක කෙල්ල..”

මං පිටිපස්සෙන් අම්මගෙ කටහඬ ඇහුණා.. මං ගැස්සිලා වගේ අම්මා දිහා බැලුවා.

“මං හිතන්නෙ ගෙදරින් ඒ දූට සෑහෙන්න කරදර තියෙනව වගේ..”

අම්මා ආයෙත් කිව්වා. අක්කා මං දිහා බැලුවෙත්, මං බිම බලාගත්තෙත් එක මොහොතෙම වගේ.

හවස හතර විතර වෙද්දි මං ප්‍රශාන්ලහට ගියා. යකෝ මූ තමයි දවසකටවත් මිනිහා. ඌ තාම ගෙදර ඇවිත් තිබුණෙ නෑ... මූ නිශානිත් එක්ක කොයි තූත්තුකුඩියෙ රිංගුවද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. ඌ කොළඹ යනව කිව්වොත්, යන්නෙ මහියංගනේ.. නුවර යනව කිව්වොත් යන්නෙ කතරගම.. මූව මේ කපේ හදන්න බෑ.. ඒක මට ඉන්ෂූරන්ස් එකටත් වැඩිය ෂූවර්.

මං ආපහු ගෙදර එනකොට තාත්තා ආපහු කෑම්ප් එකට යන්න රෙදි ලෑස්ති කරනවා මං දැක්කා. මේ දවස්වල කලබල අඩුවුණත් තාත්තලගෙ ජීවිත කොයි වෙලාවෙත් අනතුරේ තිබ්බෙ. ආමි එකෙන් අයින් වෙන්න කියලා අම්මා තාත්තට කී පාරක් නම් කියලා ඇද්ද.. ඒත් තාත්තා ඒ හැම කතාවක්ම හිනාවකින් කපලා දාලා ෂේප් වුණා.

“අද එක්කෙනෙකුට හරි ජොලි නේද පොඩී..?”

හවස තේ වෙලාවෙදි අයියා අක්කත් එක්ක කියනවා මට ඇහුණා.. මොකක්ද යකෝ ඒ කුප්ප කතාව.. මං හොඳට කන්දෙක දිග ඇරලා අහන් හිටියා. මටද මුං දෙන්නා එකතුවෙලා කාඩ් ගහන්න හදන්නෙ..

“කාටද ලොකූ..? මං දන්නෙ නෑ..”

අක්කත් හෙණ බබා පාට් එකක් දාගෙන ගිහින් අයියා ගාවින් වාඩි වුණා.

“ඕනෙ නම් මම කණෙන් පෙන්නන්නම්.....”

අයියා මං දිහා බලලා හිනාවෙවී කිව්වා. අද නම් සීන් එක නැව් ගාණට චාටර් වෙයි වගේ. මං දන්නවනේ අයියාකාරයගෙ හැටි.

“මොකක්ද ඒ..?”

තේ කෝප්පෙ ස්ටූල් එක උඩින් තියන ගමන් තාත්තා, අයියගෙන් ඇහුවා. හුටා... දැන් ඉතිං මට කන්න වෙන්නෙ රබර්.. ඊට පස්සෙයි තේ බොන්න වෙන්නෙ. අපේ අයියටත් ඉතිං අර ප්‍රශාන්ට වගේ කටක් නෙමේනේ තියෙනනෙ.. වක්කඩයක්නේ.

“මගේ රිසාල්ට් හොඳයිනේ.. ඉතිං මට ෆිට් නැද්ද..?”

කිසි ගාණක් නැතුව අයියාකාරයා ආයෙත් කියලා දැම්මා. හැමෝටම හිනා.. අනේ ඇත්තට මට මූත්තෙක්ක එන කේන්තිය. අයිය නෙමෙයි නම් මං මූට මෙතනම නෙලනවා.

“චූ..ටී..”

හැමෝගෙම හිනාව නතර වුණාම, තාත්තා මට කතා කරා.. මං දැන් කුණුවෙන්න හොල්මං වෙලා. අයියාකාරයටත් කට පියන් ඉන්න බෑනෙ.. අද කන්නයි යන්නෙ.. මං අයියා දිහා බැලුවා. පොරත් මෝල් ගස් ගිලලා වගේ බලන් ඉන්නවා.

“චූටිත් දැන් මොකකට හරි ගියා නම් නේද හොඳ..?”

තාත්තා එහෙම අහපුවාම තමයි මගේ ඇඟේ ලේ ගමනාගමනය හරියට දුවන්න ගත්තෙ.

N.D.T එකට අප්ලිකේෂන් දැම්මා තාත්තා.. සමහර විට කෝල් කරාවි..”

“ඊට වැඩිය හොඳ නැද්ද කොතලාවල ඇකඩමි එකට දැම්මා නම්..?”

තාත්තා එහෙම කිව්ව විතරයි ඉඳගෙන ඉඳපු පුටුවත් බ්රාස් ගාලා පස්සට දාලා අම්ම, පට ගාලා නැගිට්ටා.

“අනේ මේ වඳින්නම්... ඔයා ආමි එකට ගියා මදිවට මෙයාවත් යවන්නද හදන්නෙ..? රස්සාවක් නැත්තං ගෙදරට වෙලා ඉන්න..”

අම්මා කියවගෙන කියවගෙන ගියා.. අම්මගෙ කතාවට අක්කගෙනුත් ෆුල් බකප් එක හම්බවුණා.

“මංදා.. අම්මල පුතාලගෙ කැමැත්තක්..”

අන්තිමට තාත්තා එහෙම කිව්වම ඒ කතා බහත් තීරණයක් නැතුවම අවසන් වුණා.


හිරේ වත්ත මූහුදු තීරයෙන් ඉර බැහැලා යන්න ඔන්න මෙන්න වගේ. මුහුදෙ රළ ගෙඩි වෙරළ අයිනෙ ගල් පරවල වැදිලා විසිවෙන දිය බිංදුවලින් මායි, හර්ෂියි ඩිංගක් විතර තෙමිලා තිබුණෙ. ඒත්.. මායි, හර්ෂියි වාඩිවෙලා ඉඳපු ගල උඩින් අපි දෙන්නම නැගිට්ටෙ නෑ. හර්ෂි මෙච්චර වෙලා කරන් කියපු කතාව නැවැත්තුවෙත් නෑ.

“එක දවසක් අම්මයි, තාත්තයි මාවත් එක්කරං මම්මලහ ආවා. එදා අලුත් අවුරදු දවස.. අපි එදා පුදුම තරම් සතුටෙන් හිටියෙ දේව් අයියෙ.. ඔව්.. මගේ රත්තරං අයියෙ.. මං මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටින් ඉඳපු දවස එදා.. ඒත්.. ඒත්.. ඒ දවසම.. මට කවදාවත් අමතක කරන්න බැරි තරමෙ පව්කාර දවසකුත් වුණා.. හ්.. හ්...”

ඉහලට ඇදලා ගත්තු හුස්ම ටිකවත් මට ආපිටට යවන්න ඉඩක් ලැබුණෙ නෑ.. හර්ෂිගෙ නිල් පාට ඇස් දෙකෙන් ගලන් හැලෙන උණු කඳුළු බිංදු දිහා මං මහ හුඟක් දුකෙන් බලන් හිටියා. ඒ ගින්දර වගේ කඳුළු බිංඳු පිහදානව ඇරෙන්න වෙන කරන්න දෙයක් මට ඒ වෙලාවෙ තිබුණෙ නෑ.

“මොකක්දෝ හිතාගන්න බැරි හේතුවක් හින්දා මම්ම මාව එදා නතර කර ගත්තා. මං ඇඬුවත්තෙක්ක.. අම්ම එක්ක යන්න ඕන කියලා. ඒත් මම මම්මලත් එක්ක නතර වුණා. එදා.. එදා.. මට මතකයි දේව් අයියෙ.. එදා තමයි මගෙ රත්තරං අම්මයි, තාත්තයි මාව මේ ලෝකෙ තනිකරලා දාලා යන්න ගියේ.. හ.. හ්.. හහ්..”

ජීවිතයටම අහිමි වෙලා ගියපු මව්පිය ආදරේට හූල්ලන හර්ෂිව මං අත් දෙකෙන්ම හිර කරලා අල්ල ගත්තා. ඒ සුදු මූණ අඬලම රතු වෙලා ගිහින්.

“අ.. අඬන්නෙපා හර්ෂි..! ක.. කවුරු නැති වුණත් මං ඔයා ළඟ ඉන්නවා නංගි.. හැමදාම මං ඔයා ළඟ ඉන්නවා..”

මගේ ඇස් දෙකත් පුරවල කඳුළු ඇවිත් තිබුණා. මං එහෙම කිව්වහම එයා මගේ පපුවට තුරුළු වුණා. පුංචි මුව පැටියෙක්ගෙ වගේ අහිංසක ඇස්වලින්  හර්ෂි මං දිහා බලද්දි, මං ආයෙත් ඒ සුදු මූණ ඉම්බා.

“බාප්පට මාව පේන්න බෑ අයියෙ.. උදේට නැගිට්ටාම එයාට පේන්න අහලකටවත් යන්නෙ නෑ.. වැරදිලාවත් මාව දැක්කොත් හෙම මේ මූසලී දැකපු හන්දා අද දවසම කාලකණ්නි වේවි කියලා කියනවා.. මට පුදුම තරම් දුකයි දේව් අයියෙ.. බාප්පා ඉන්නෙ මගේ පුංචි වැරැද්දක් අහුවෙනකන්..”

“ඉ.. ඉතිං හර්ෂි මම්ම ඕව ගැන හොයන්නෙ නැද්ද..?”

හර්ෂි අසරණයි කියලා හොඳටම තේරුණත් මං එහෙම ඇහුවා.

“මට වෙන අසාධාරණේ ගැන එයා හොඳටම දන්නවා අයියෙ.. එයා හොඳටම දන්නවා බාප්පට මාව පේන්න බෑ කියලා. සමහර වෙලාවට මම්මයි, බාප්පයි රණ්ඩු වෙනවා.. එතකොට මට ඩිංගක් විතර නිදහස්.. ඒත් ආයෙම පරණ පුරුදු විදියටම හැමදේම සිද්ධ වෙනවා.. අනේ මගෙ රත්තරං අම්මවත් මං ගාව උන්නා නම්.. අනේ අයියෙ.. මං මහා පව්කාරියක්.. ඔයා මේවට ගෑවෙන්න එපා මගෙ අයියෙ..”

අහිංසක, අසරණ මිනිස්සුන්ටම මේ තරම් කරදර වෙන්නෙ ඇයි කියල මට හිතෙද්දි මගේ ඇස්වලිනුත් කඳුළු හෝ ගාලා කඩන් වැටුණා. මගේ ළඟට තුරුළු වෙලා ඉඳපු හර්ෂි, මං ගාවට තවත් තුරුළු කර ගනිද්දි හර්ෂි තවත් ඇඬුවා.. ඒත්.. ඇඬුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ රත්තරං කියලා මට කියන්න හිතුණත් මං කිව්වෙ වෙනින් දෙයක්.

“අඬන්න එපා හර්ෂි.. හිතට වැඩිය දුක් ගන්නත් එපා.. මං ඔයා ළඟ ඉන්නවනේ නංගි.. ඔයාගෙ අම්මයි, තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉඳගෙන ඔයා දිහා බලන් ඇති.. එයාලා ඔයාව ආරක්ෂා කරයි..”

මං එහෙම කිව්වහම හර්ෂි එක පාරටම ඔලුව උස්සලා මං දිහා බැලුවා. කඳුළු අස්සෙන්ම ආයිත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙතිවල තැවරිලා තිබුණා.

“ඔයා..! ඔයා මගේ හිත හඳන්නයි එහෙම කියන්නෙ.. නේද මගෙ අයියෙ.. හැමෝම මාව දාලා ගියාට ඔයා යන්නෑ නේද මාව දාලා..”

පුංචි එකෙක් අහනවා වගේ බිදිච්ච හඬකින් හර්ෂි මගෙන් ඇහුවා. අසරණකම උතුරලා ගියපු ඒ ඇස්දෙක දැක්කහම මගේ පපුව පිච්චෙනව වගේ මට දැනුණා.

“නෑ.. නෑ.. හර්ෂි.. කවදාවත් නෑ.. මං හැමදාකම ඔයා ළඟින් ඉන්නවා.. ඔයා ඒ ගැන දුක් වෙන්න එපා නංගි..”

මං එහෙම කියලා ඉවරවෙනවත් එක්කම තමයි හීන් පොද වැස්සක් වැටෙන්න ගත්තෙ.. ඒත් මටයි, හර්ෂිටයි ඒක ගාණක් වුණේ නෑ. අපි දෙන්නම වැස්ස වැටෙනවා බලන් හිටියා.. ටිකකින් හර්ෂි මං දිහා බලලා යාංතමට හිනාවුණා.. කඳුළු බිංදු තාමත් ඇස්වල තියෙද්දි එයා හිනාවුණ හැටි මගේ හිත ඇතුළෙ ගැඹුරුම තැනේ තැන්පත් වුණා.

“ඔන්න දේව් අයියෙ.. හයියෙන් වහිනවා.. එන්න අපි දුවමු..”

පොඳ වැස්සත් ටිකෙන් ටික සැරවුණා. අපි දෙන්නම ළඟ කුඩයක්වත් තිබුණෙ නෑ.. ඒක හන්ද වැස්ස සැරවෙද්දි අපි දෙන්නා වාඩිවෙලා ඉඳපු ගලෙන් බැහැලා වැල්ල දිගේම ගාලු පාරට දුවගෙන ආවා. පාර අයිනෙ තිබ්බ කඩපිලකට හර්ෂියි, මායි ගොඩ වෙනකොට අපි දෙන්නා හොඳටම තෙමිලා. කඩපිලේ තිබ්බ කණුවකට හේත්තු වෙලා මං හර්ෂි දිහා බැලුවා. පුංචි රෝස පාට ලේංසු පොඩියකින් එයා ගවුමෙ තැවරිච්ච වතුර බිංදු පිහදානවා.

“බලන හැටි විතරක්.. මහ වල් විදියටනේ බලන්නෙ..”

“වල් විදියට බලනකොට ලස්සනද..?”

මං අහපු එකට හර්ෂිට ආයෙත් හිනාවක් ගියා. ඒ හිනාවෙ ලස්සන..

“ඔයා කොහොම බැලුවත් මට නම් ලස්සනයි දේව් අයියෙ.. තව කාගෙ කාගෙන් ලස්සනද කියල අහල තියෙනවද දන්නෙ නෑ..”

එහෙම කියලා, මං ගාවට ආපු හර්ෂි මගේ මූණෙ තිබ්බ වැහි බිංදු ටික පිහදාලා දැම්මා. ඉඳලා ඉඳලා හර්ෂිත් මාර කතානේ අහන්නෙ..? මැදැයි මාත් අහගන්න ඒවා.

“දැක්කනේ අහපු එක.. කෝම හරි හින්ට් එකක් ගහන්නමයි හදන්නෙ නේද..? ඔයා හිතන්නෙ මං හැමෝගෙන්ම අහනවා කියලද අනේ මට කැමතිද..? අනේ මට කැමතිද..? කියලා..”

මං අහපු එකට හර්ෂිට පුංචි හිනාවක් ගියා.

“අනේ නෑ දේව් අයියෙ.. මට ඒක නිකං කියවුණේ.. කෝ ඉතිං ඔයාට ඩිංග ඇත්නං තදවෙනවනේ..”

මගේ අතින් අල්ලගන්න ගමන් හර්ෂි කිව්වා. මං අනිත් අතින් හර්ෂිව මගේ ළඟට අරගෙන තුරුළු කරගත්තා. ඒ සුදු පාට මූණට, මූණ තුරුළු කරන් මං ඩිංග වෙලාවක් හිටියා. එයාගෙන් පිටවුණ සුසුම්වල තිබ්බ රස්නෙ මගේ මූණට විතරක් නෙමේ හිතටත් දැනුණා. පුංචි හා පැටියෙක් වගේ මගේ උණුසුමට ගුලිවෙලා ඉන්න හර්ෂි ගැන මහා මෙරක් වගේ ආදරයක් හිතේ ගොඩ නැගෙද්දි මං එයාව තවත් තද කරලා තුරුළු කරගත්තා.

“දේව් අයියෙ..?”

හීන් කෙඳිරිල්ලක් වගේ හර්ෂිගෙ කටහඬ මට ඇහුණා.

“ම්..”

“ඔයා දන්නෑනෙ වැඩක්..”

“දන්න වැඩ නම් තියෙනවා.. ඒත් ඒව මෙතන පෙන්නන්න බෑ හෂි.. නිකං හර් නෑ නෑ වගේ..”

හර්ෂිට තද කරවන්න හිතාගෙන මං කිව්වා.

“ඔ..ය්ය ඉතිං.. දැන් නම් මහ නරකයෙක් වෙලා.. ඉන්නකො මං දේවකී අක්කිට කියන්න.. මල්ලිගෙ තරම..”

“හාපෝ.. උන්දැට නම් විහිලුවටවත් කියන්න එපා.. පත්තරේ දැම්මා වගේ තමයි.. මං ගෙදර ගිහිනුත් ඉවරයි..! ඔයා කැමතිද හෂි.. මං බස් ස්ටෑන්ඩ්වල, පේමන්ට් අයිනෙ රෑට නිදාගන්නවට..?”

“මේක නම් කටක් නෙමේ.. හැම එකටම මොකක් හරි දෙයක් කියනවා.. අනේ ඉතිං අහන්නකො දේව් අයියෙ.. ඔයා මට කියන්න දෙන්නෑනෙ..”

මගේ අත කොනිත්තලා හර්ෂි මගෙන් ඈත්වුණා.

“හරි.. හරි.. කෝ බලමු ඔය මං දන්නැති වැඩේ මොකක්ද කියලා..”

කඩපිලෙන් එහා දෙක වෙන්න වහිනවා. වැස්සෙන් එන හිරිකඩ හර්ෂියි, මායි ඉන්න කඩපිලටත් වඳිනවා.. අපි දෙන්නා තවත් බිත්ති කණ්ඩියට ළං වුණා.

“බාප්පයි, මායි ඊයෙ රෑත් රණ්ඩු වුණා අයියෙ.. බාප්පා මට කුණුහරුපෙන් බැන්නා..”

“මොකක්..?”

හිතට එකතුවෙලා තිබබ් සංතෝෂෙ එකම එක තත්පරෙන් නැතිවෙලා ගියා. හර්ෂි ගෙවන ජීවිතේ ගැන මගේ හිතට ආවෙ පුදුම දුකක්. ත්තපරෙන් තත්පරේ ඒ දුක වැඩි වැඩියෙන් මගේ හිතේ එක්කහු වෙන්න ගත්තා.

“ඉ.. ඉතිං මම්ම ගෙදර හිටියෙ නැද්ද නංගි..?”

ඇත්තටම ඒ දේ ඇරුණම වෙන අහන්න දෙයක් මට තිබුණෙ නෑ..

“නෑ අයියෙ.. මම්මගෙ යාලු ඇන්ටි කෙනෙක් ඉන්නවා අපේ ගෙදරට ටිකක් එහායින්.. එහේ ගියපු මම්මා රෑ අට විතර වෙනකනුත් ආවෙ නෑ.. ඉතිං, මං මම්ම පරක්කු මොකද කියලා බලන්න දොර ඇරගෙන ගේට්ටුව ළඟට ගියා. බාප්පා ඒ වෙලාවෙ ටී.වී බලනවා. මං එළියට ආව විතරයි මේ පට්ට බැල්ලි දොර ඇරලා ගිහින් කියලා කියනවා මට ඇහුණා. මගේ හිතට ආවෙ පුදුම දුකක් අයියෙ.. මං ආවෙ මම්මව බලන්න.. මං එළියෙ ඉන්දෙද්දිම බාප්පා එක පාරට දොර වැහුවා. මං පුදුම විදියට අසරණ වුනා. ඒත් ඉතිං.. මං අසරණ වුණේ ඊයෙ රෑ විතරක් නෙමේනේ කියලා මං හිත හදාගත්තා.. හ්හ්.. හ්හ්.. හ්හ්..”

හර්ෂිගෙන් පිටවෙලා යන හැම වචනයක්ම දෙපාරක් හිතන්නෙ නැතුව මං මගේ හිත ඇතුළටම දාගත්තා. ඒ වෙලාවෙ නම් හර්ෂිගෙ බාප්පා ගැන මගේ හිතේ තිබ්බෙ පුදුම තරහක්.

“ඉතිං කියන්න හර්ෂි.. මං අහගෙන ඉන්නෙ..”

“ගේ ඇතුළට යන්න විදියක් තිවුණෙ නැති නිසා මං අර ඇන්ටිලහට ගියා මම්මව එක්කගෙන එන්න.. මං යනකොට මම්මා එන්න ලෑස්ති වෙනවා.. උඹට නිකංවත් ගෙදර ඉන්න බෑ නේද..? කියලා මම්මා මට බැන්නා එතනදිම.. මටත් තරහ ගියා අයියෙ හොඳටම.. අර යකාට පිස්සුව තදවෙලාද කොහෙද මාව දාලා දොර වැහුවා කියලා මං හයියෙන් කිව්වා. ඒ ගෙදර ඇන්ටිත් පුදුම වෙලා. කෝම හරි වැඩේ කියන්නෙ මම්මයි, මායි ආපහු ගෙදර ඇවිත් ගේට්ටුව අරිද්දි බාප්පා දොර ඇරලා.. මේ දොර ඇරලා තියෙන්නෙ කියලා මම්මා මට බැණ බැණ ගේට්ටුව වහද්දි මං ගේ ඇතුළට ගියා. වෙන මොනවද අයියෙ මං කරන්නෙ.. ඒත්.. මේ පට්ට බැල්ලි ආයෙමත් දොර ඇරලා ගියොත්නේ කියලා ආයෙමත් බාප්පා මට බැන්නා. මම්මා පස්සෙන් එද්දි මං කොහොමද දොර වහන්නෙ.. අන්තිමට මායි, බාප්පයි හොඳටම බැණ ගත්තා. මම්මා ඔහේ බලන් හිටියා. අනේ මට මෙහෙම වෙන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ දේව් අයියෙ..”

හර්ෂි අහපු දේට දෙන්න තරම් උත්තරයක් මං ගාව තිබුණෙ නෑ.. මේ තුන් ලෝකෙ ගැන මහා කලකිරීමක් මගේ හිතට එබුණා. මේ තරම් අහිංසක පුංචි කෙල්ලෙක්, මේ තරම් අසරණ කරවලා දෙවියො වුණත් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරි වුණා.

“අ..නේ... අම්මලා ගියපු ලෝකෙට මාවත් එක්කන් ගියා නම් මට මේ තරම් දුක නෑ අයියෙ.. මගේ පව්කාරකමට මං විතරක් ඉතුරු වුණා.”

එහෙම කියලා හර්ෂි හීල්ලුවා.. ඒ නිල් ඇස් දෙකේ දුක පිටාර ගලද්දි මගේ හිතත් හිරි වැටිලා ගියා. එක දිගටම වැටිච්ච වැස්සත් ඒ අතරෙ අඩුවෙලා තිබුණා.

“පුළුවන් තරම් ඉක්මනට ඔයාව මගේ ළඟට ගන්න බලන්නම් නංගි.. එතකොට ඔයාට සංතෝසෙන් ඉන්න පුළුවන්.. මං ඔයාට කවදාවත් දුකක් දෙන්නෑ රත්තරං..”

මං කියපු දේ අදහගන්න බැරිව වගේ ඒ ලොකු ඇස් උඩට හැරවුණා. කියාගන්න බැරි තරමෙ සතුටක් ඒ සුදු මුණෙ උතුරන හැටි මං දැක්කා.

“ඔ.. ඔයා හරි හොදයි දේව් අයියෙ.. හුඟාක්ම හොඳයි.. මං ආයෙත් ක්ලාසස් යන්නම්.. ඔයා ගැන හිතලා හැම දුකක්ම නැති විදියට ඉන්නම්..”

“හැබැයි ඔන්න අඬන්න බෑ හොඳේ..”

මං ඇඟිල්ල උරුක් කරලා කිව්වා. හර්ෂී ඒ ඇඟිල්ලෙන් ඇඳලා අල්ල ගත්තා.

“මං අඬන්නෑ අයියෙ.. හැමදේමට මගේ කියලා කියන්න මට ඉන්නෙ ඔයා විතරයි.. මොන දේ වුණත් මං ඔයාව නැති කරගන්නෑ..”

වැහි බීරුමත් එක්ක හැන්දෑ කරුවල හතරවටෙන් උතුරද්දි මායි, හර්ෂියි වෙන්වුණා.. ආපහු ගෙදර එද්දිත් අනාගතේ ගැන හිතන්න මහා හුඟක් දේවල් මගේ හිතේ ඉතුරු වෙලා තිබුණා.


No comments:

Post a Comment