Thursday, October 4, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


පාර පුරාම මිනිස්සු.. කෙලින් යනවා.. සමහරක් හරහට යනවා.. තවත් ඈයො හයියෙන් යනවා.. අපතයො හෙමීට යනවා.. උං දිහා බලන් ඉන්නෙකත් පිස්සු හැදෙන වැඩක්..

“හා... හා... ළඳේ..! 
හා... හා... ළඳේ..!
මගෙ මන මැදුරේ ළඳේ..!
මගෙ රජ දහනේ ළඳේ..!
මගෙ අග බිසව් තොමෝ..!”


මං මේ පාරෙ යන ඈයො දිහා බලලා සැනසෙන්න හදනවා. ප්‍රශාන් කොහෙදෝ යන කෑල්ලක් දිහා බලලා ඇන ගන්න ට්‍රයි එක. මූ සිරා පොර වගේ අග බිසවක් ගැන කිව්වට, මුගේ ළඟ බලු මයිලක්වත් නෑ. මං නොදන්න රජ දහන්.. මුංගෙ අර කැඩිච්ච කක්කුස්සිය තමයි මුගේ මන මැදුර.

බස් හෝල්ට්ටෙකේ යකඩ පටියට හේත්තු වෙන ගමන් මං ප්‍රශාන්ගෙ අටපට්ටම් මූණ දිහා බැලුවා. ඒක නිකං කැරකෙන කූඩුවක් වගේ. සැරින් සැරේට වෙනස් වෙනවා.

“අඩෝ... බස්සෙක..”

මුගේ කල්පනා ලෝකෙට හෙණ ගැහුවා වගේ. ඇත්තටම මූට කටක් නෙමෙයි තියෙන්නෙ. කක්කුස්සියක්. නතිනර ඩ්‍රැනේජ් වලක්.

හෝල්ට්ටෙකේ නතර කරපු ඩීමෝ බස්සෙකට මිනිස්සු පොර කකා නගිනවා. අනේ අම්මප.. මුංට පුදුම හදිස්සියක්නේ තියෙන්නෙ. අද දවසටම මේ පාරෙ යන අනිත්ම බස් එක වගේනේ මුං දඟලන්නෙ.

“දේව්.. මාව කන්න බලන් ඉන්නෙ නැතුව නැගපන්.. මොකෝ තොට කක්කුස්සි බරද..?”

ෂීකේ.. මූ කියන ඒවා. කක්කුස්සි බර හැදෙන කතානේ ඌත් අහන්නෙ. මාත් ප්‍රශාන් පස්සෙන්ම බස්සෙකට නැග ගත්තා. හප්පේ.. කට කපලා එකයි සෙනඟ. හුස්ම ගන්නවත් බෑ.

“නැග්ග ගමන්.. පොල් ගස් වගේ බින්න බැහැගෙන.. යනවකො හලෝ ඉස්සරහට.. මට මේ ටිකට් ටික කඩා ගන්නවත් ඉඩ දීලා..”

කොන්දගෙ අවනඩුව ඇහුණා කණ ගාවින්ම. මං හිතුවෙ කොන්ද ඒ කතාව කිව්වෙ ප්‍රශාන්ට. මූණ කජු ලෙල්ල වගේ කරන් ඌ කොන්දා දිහා බැලුවා. හප්පේ අද කොන්දා ඇඳගෙන නායි වගේ. අපේ එකාටත් කටක් නෙමේනේ තියෙන්නෙ. ඕකා මොනවා කියවයිද දන්නෙ නෑ.

“අංකල් මේ.. තමුසෙ හිතුවද මං ටෙලිෆෝන් එකක් කියලා  හලෝ.. හලෝ ගාන්නෙ.. තමුසෙට ටිකට් කඩන්න බැරිනම් දෙනවා මං කඩලා දෙන්න..”

ප්‍රශාන් දෙන්නෙ බුදු ටෝක්. කොන්දගෙ ඇස් දෙක නළලටම ගියා. මං හිතන්නෙ කොන්දගෙ කටත් වැහුණා. පව් අප්පා. මැංටල් පොරක්. බස්සෙකේ ඔක්කොම ප්‍රශාන් දිහා බලාගෙන.

“බස්සෙකේ මැස්සො නැති හන්දා හොඳයි මචං.. නැත්තං මුං ඔක්කොමලගෙ බඩවල් ඇතුළට යනවා, කටවල් ඇරන් ඉන්න විදියට..”

ඌ ඒ පාර, අපි දිහා බලන් ඉන්න ඈයො දිහා බල බල කියවනවා. තව ඩිංගක් හිටියොත් මුළු බස්සෙකේම කට්ටිය එකතුවෙලා අපිට සබ්බුව දෙනවා. ඒක හන්දම මං ප්‍රශාන්වත් ඇදගෙන බස්සෙකේ පස්සට ආවා.

“බයිල නොගහා පස්සට යමං.. මොකක්ද බං.. ටිකක් ඩීසන්ට් විදියට කතා කරපන්කො..”

ඒ පාර ප්‍රශාන් සද්දෙ වහගත්තා. මං උගේ මූණ දිහා බැලුවා. මෙන්න මූ කල්පනා කරනවා. ෂුවර්රෙකට ඩීසන්ට් විදියට කතා කරන්නෙ කොහොමද කියලා මූ  හිතනවා ඇති.

“අඩ්ඩේ.. උඹ නම් දෙයියෙක් බං.. තෝ මාව ඇදන් ඇවිත් තියෙන්නෙ මල් පාත්තියක් ළඟටනේ.. වරෙන් අපි දැන හැඳුනුම්කම් ඇති කරගම්මු..”

මූ නම් මේ කපේදි හදන්න පුළුවන් එකෙක් නෙමෙයි. මං හිතුවෙ, මූ ඩීසන්ට් විදියට කතා කරන්න හිතනවා කියලා. මොන පිස්සුද, මූ හිතලා තියෙන්නෙ පස්සෙ සීට් එකේ ඉඳපු කෙල්ලො ටිකක් ගැනනේ.

“සිරා ගෙඩියක් ඉන්නවා බං.. පැණි බේරෙනවා..”

ඌ පස්ස දිහා බලන් කියනවා.. මං හිටියෙ බස්සෙකේ ඉස්සරහ පැත්තට මූණ හරවගෙන. ඒක හන්දා ඌ කිව්ව පැණි බේරෙන ගෙඩිය මං දැක්කෙ නෑ.

“දෙමුද ගේමක්..?”

මූ මොන මගුලක් කරන්න යනවද මංදා.. බස්සෙකේ පස්සට වෙලා මං හිටියෙත් අමාරුවෙන්.

“ඔන්න ඊළඟ වංගුවෙදි..”

ප්‍රශාන් උගේ මූණ, මගේ මූණ ගාවටම ගෙනැල්ලා කිව්වා. උගේ ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ. මොකක් හරි කුපාඩි වැඩක් කරන්න යනකොට තමයි උගේ ඇස් ඒ වගේ වෙන්නෙ.

ඊළඟ වංගුව, බස්සෙක ගන්නවත් එක්කම ෆුල් ඩම් එකම දාලද කොහෙද ප්‍රශාන් මගේ ඇඟට හේත්තු වුණා. ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ පිරිලා තිබ්බ හන්දා උං ඔක්කොම මගේ ඇඟට හේත්තු වුණා. අන්තිමට මං ඇලවෙලා ගිහින් වැටුණෙ පස්සෙ සීට් එකේ ඉඳපු කෙල්ලගෙ උකුල උඩට. ප්‍රශාන් මගේ ඇඟ උඩ. හප්පේ... අද නම් කන්න වෙන්නෙ ඉතිහාසගත කෑමක් වගේ.

“එ..හ්.. නැ... නැගිටපං.. නැගිටපං..”

මං ප්‍රශාන්වත් තල්ලු කරන් නැගිටින්න ට්‍රයි එකක් දුන්නා. ඒ ට්‍රයි එක දෙන අතරෙ මං වැටිලා හිටපු කෙල්ල දිහා බැලුවා. ඒකි යකාවෙලා.

“මොකද... තමුසෙට වෙලා තියෙන්නෙ..? තියෙන කුපාඩිකමට එනව මෙතන අසමජ්ජාති වැඩකරන්න.. දැන ගන්නවා.. ඊළඟට ගලවන්නෙ සෙරෙප්පුව..”

ඒකි කියවගෙ කියවගෙන ගියා. මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ. මේකි, දැන් ගහයි, දැන් ගහයි කියලා මට හිතුණා. බස්සෙකේ ඔක්කොම වගේ මං දිහා බලාගෙන. ලැජ්ජාව කියන්නෙ.. කකුල් දෙක දිගේ බේරෙනවා.

“හර්ෂි.. මොකද මේ..?”

යකාවෙච්චි, කෙල්ලගෙන් ඒකිගෙ යාලුවො අහනවා. අම්මපා, බස්සෙකෙන් පනින්න පුළුවන් නම් මං පනිනවා. මිනිස්සු පිරිලා හින්දා ඒක කරන්න බෑ.

“මෙ.. මේ.. ම.. මට.. ස.. සමාවෙන්න නංගි.. ම.. මං.. හිතලා කරපු දෙයක් නෙමේ..”

ඒකිගෙ බොක්ක කූල් වෙලා යන විදියට බලලා මං කිව්වා. දැන් ෂේප් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ..

“හර්ෂි.. මොකද බං උඹ ඒ බෝයිට බැන්නෙ.. එයා හිතල කරපු දෙයක් නෙමේනේ..”

යකාවෙලා මට බැන්න කෙල්ලට ඒකිගෙ ළඟම කෙල්ල කිව්වා. ඒකි දිහා බලන්නත් මට බයයි වගේ. ඒක හින්දා මං ප්‍රශාන් දිහා බැලුවා. ඔක්කොම ෂේප් කියලා  හිතුවට, ඌ වයින් වෙලා කියලා මට තේරුණා.

“උම්බ... අයින් වෙයන් දේව්.. මොකද මෙයාලා හිතන් ඉන්නෙ පත්තිනි අම්මල කියලද..? තේරෙන්නෙ නැද්ද ඕයි.. අත්වැරදීමක් උනේ කියලා.. තමුසෙට සනීපෙට යන්න ඕන නම් කාරෙකක් ගන්නවා.. මෙතන අපිව කන්නෙ නැතුව..”

කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ ඌ කියවං ගියා. බස්සෙකේ ඇතුළෙ ඉන්න ඈයො බෘස්ලීගෙ ෂෝ එකක් බලනවා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා.

“දෙයියන්ගෙ නාමෙට ඕක නවත්තපං ප්‍රශාන්.. උඹට පිස්සුද බං..?”

මං ඌව සෙට්ල් කරන්න හිතාගෙන කිව්වා. කොහෙද.. අලි බඳින දම්වැලක්වත් ගේන්න වේවි මූව නවත්තන්න.

“සද්දෙ වහන් හිටියම හිතන්නෙ අපි බයට ඉන්නව කියලද..? හුහ්..! මේ මිස්, අපි ආයෙ හම්බවේවිනේ..”

ප්‍රශාන්ගෙ ඒ වචන ටික සෙට් එකෙන් පස්සෙ ඒ කෙල්ල දණහිස් අස්සෙ මූණ හංග ගත්තා. පව්.. ඒකි අඬනවද කොහෙද..?

“මේ ප්‍රශාන්.. බහින තැනත් පහුවෙනවා.. වරෙන් බහිමු..”

ප්‍රශාන්වත් ඇඳගෙන මං බස්සෙකෙන් බැස්සා. හපොයි.. මූත් එක්ක නම් මීට පස්සෙ කක්කුස්සියටවත් යන්න ඕන්නෑ.. නිවන් සැප හම්බවේවි පිං කරන්නෙ නැතුවම. උගෙත් එක්ක හිතට ආපු ඔරොප්පුවට මං පාර අයිනෙ ලයිට් කනුවකට හේත්තු වුණා.

“කෝමද මචං..! රියල් ගේම නේ.. ෂැහ්..! උඹ ටිකක් නෝන්ඩි වුණා..”

“නෝනිඩි වුණා..! උමත්තෙක්ක මීට පස්සෙ ගමන් බිමන් යන්නෑ කියලා මං හිතාගත්තා.. එච්චරයි..”

මගේ කතාවට ඌට හිනා.

“මොකක් හරි බාල්දියක් පෙරලුනාම උඹ හැමදාම කිව්වෙ ඔය කතාවමනේ..  අවුලක් නෑ මචං.. ෆිට් තමයි.. උඹ හෙට ඉඳන් ආයෙත් මං එක්ක එනවා කියලා මං දන්නවා..”

මොක නැතත් උගේ කතාව සහතික ඇත්ත. මොන දේ උනත් ඌට මං නැතුවත්, මට ඌ නැතුවත් ඉන්න බැරි තරමට උගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක බොක්ක ඇතුළෙ තිවුණා.

“පව් බං.. අර කෙල්ල.. මං හිතන්නෙ ඒකි ඇඬුවා.. වැරැද්ද අපේ අතේ තියාගෙනත් අපි කරේ මහ ජරා වැඩක්..”

ආයෙමත් මගේ හිතට අර කෙල්ල ආපු හින්දා මං ප්‍රශාන්ට එහෙම කිව්වා.

“ඈ.. කහ ගොනෝ.. එහෙනම් ඒකයි මේ අසනීපෙ.. අඩෝ.. ඕවට නම් බෙහෙත් නෑ.. ඒක මතක තියාගනිං..”

අපේ ගෙදරට යාර හාරසීයක් විතර එහායින් තමයි ප්‍රශාන්ලගෙ ගෙදර තිබ්බෙ. ඒ තිබ්බට, ඌ වැඩියෙන්ම හිටියෙ අපේ ගෙදර.

“ඔය.. ඔය ආවෙ..? බලන්න අම්මා.. මගේ අලුත් කලිසම.. මං හොඳට මැදලා තිබ්බෙ.. උධ උදේ ඇඳන් යන්න.. මූ ඇඳන් ගිහිල්ලනේ..”

ගෙට ගොඩවෙන්නත් කලින් අයියා බර බරේ දැම්මා.

“ඈ.. චානකයියෙ.. මූ මට කිව්වෙ ට්‍රවුසර් එක මුගේ කියලනේ.. මහලා අදමයි කිව්වා ඇන්දෙත්.”

ප්‍රශාන් මට රව රව අයියගෙන් ඇහුවා.

“මූ එහෙමත් කිව්වද..? තියන්න වටින්නෑනේ.. මගෙ කලිසම ඇඳන් ගියා මදිවට ඒකට අයිතිවාසිකමුත් කියලනේ..”

අයියගෙ කතාවට මං මොකුත් කිව්වෙ නෑ. ඇත්ත තමයි. ඌට මල පනින එක සාධාරණයිනේ. හොඳට මැදලා සිරාවටම තිබ්බ ට්‍රවුසර් එකනෙ මං ඇඳන් ගියේ..

“හා... හා... දැන්වත් ගලවනවා.. මට ගමනකුත් යන්නෝන..”

ෂුවර්රෙකටම කෑල්ලකට පෙරන්න වෙන්නැති. මං නොදන්න උගෙ ගමන්.

“දැන්ද..?”

“ඔව්.. ඔව්.. මට දැන් යන්නෝන..”

“මෙතනම..? සිම්පල්නේ..”

සාලෙ මැද්දෙම මං ට්‍රවුසර් එක ගැලෙව්වා. ප්‍රශාන් නහය වහගත්තා.

“හප්පේ..! සෙන්ට් බෝතලයක් ගෑවත් හරියන එකක් නෑ..”

කලිසම අතට අරන් අයියා කියවනවා.

“ඔව්.. චානකයියෙ.. ඕකෙ හරි සුවඳක් ඇති. මූ නාන්නෙත් නෑනේ.. මං කලින්ම නහය වහගත්තෙ ඒකයි.”

ප්‍රශානුත් අයියට එකතුවෙලා මාව බයිට් කරන්නයි ලෑස්තිය.

“අනේ.. මේ, සද්දෙ වහලා පලයං.. මොකෝ උඹලට ගංවතුරද අපේ ගෙදරම කන්න එන්නෙ..?”

මං ප්‍රශාන්ව කපන්න හිතන් කිව්වා.

“ගෙදර යන්න.. ඇයි බං චානකයියට කියන්නැද්ද බස්සෙකේ නෝන්ඩි වුණු හැටි.. ඒකත් නිකං ගංවතුර ආවා වගේ තමයි..”

හප්පේ..! මූ මගේ පටි හතම රෝල් කරාවි වගේ. මූ වගේ පාප මිත්‍රයෙක් ආශ්‍රය කරනවට මං මටම ගහගන්න ඕන.

“මලයයි, උඹයි අද පෙරලපු බාල්දිය මොකක්ද..?”

මං දිහා බල බලාම අයියා ප්‍රශාන්ගෙන් ඇහුවා. මේවට තමයි කියන්නෙ ඇඳගෙන නෑම සහ බැඳගෙන කෑම කියලා. ෂුවර්රෙකටම මූ ඔක්කොම කියනවා. දැන් මොකෝ කරන්නෙ..?

මොනව කරන්නද..? මූ මගේ ටෝක දෙයි ධර්ම දේශනාව වගේ.. මට ඉතින් තුන්සරණ තමයි..

“බස්කෙ වංගුවක් ගනිද්දි.. මං මූව තල්ලු කරා කෙල්ලෙක්ගෙ ඇඟට..”

ප්‍රශාන් මං දිහා බල බලාම කියනවා.. හනේ.., මට මූත්තෙක්ක එන කේන්තිය. මූව මරලා කාත්තෙක්ක හරි බෙදාගෙන කන්න ඇත්නං..

“පොඩ්ඩක් හිටපං ප්‍රශාන්.. මං කියන්නද ඉතුරු ටික.. ෂුවර්රෙකට, කෙල්ල නහය වහගන්නැති.. නැත්තං තියෙන හඩුගඳ කියලා මූළු තල්ලු කරන්නැති..”

අයියයි, ප්‍රශානුයි තකය තක.. හප්පේ, මෙහෙම නින්දා අපහාස විඳිනවට වැඩිය හොඳයි බඩ කපන් මැරෙනෙක. ඒකත් බෑ.. ප්‍රශානයා, මාලු බොකු ලාබයි, ලාබයි.. කියලා අඩුවට විකුණයි. ඒ ජාතියෙ බඩුව ඌ..

“හප්පට හුඩු.. ඔයා හරියටම කිව්වනේ.. චානකයියෙ.. ඒ කෙල්ල මූව තල්ලු කරලා කුණු වෙනකං බැන්නනේ..”

“හුට්ටා..... ඉතින් මූ බලන් හිටියද..?”

“නෑ.. මූ බනිනකං අහං හිටියා..”

ආයෙත් උං දෙන්නා හුකු හුකු ගගා හිනාවෙනවා.. මට එකසිය ගානට තද වුණා. ඒත් වැඩක් නෑ. උං ඩබල දෙසිය ගානට හිනාවෙනවා. මූණ අම්බානෙකට හතරැස් කරන් මං කාමරේට රිංගුවා. දැන් ප්‍රශාන් ෂුවර්රෙකට දැන ගන්නවා මට තදවෙලා කියලා. ඒක හන්දා ඌ සද්දෙ වහලා ගෙදර යාවි. මොන පිස්සුද.? තත්පරයක්වත් ගියේ නෑ. කර්ටන් එක සරස් ගාලා උඩ ගියා. මෙන්න මූ කාමරේ ඇතුළෙ.

“මොකෝ තොට තද වුණාද..?”

“තද වෙන්නැද්ද යකෝ.. බස්සෙකේ එක බාල්දියක් පෙරලලා.. දැන් ඒක ඇවිත් අර භුතයගෙ කනේ තිබ්බෙ.. ඌට ඕක මාස ගානකට ඇති මාව බයිට් කරන්න.. දෙයියන්ගෙ නාමෙට මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න කොහෙට හරි පලයං.. මට තෝව පේන්න බෑ..”

මං සිරාවටම කිව්වා. මූට ඒත් හිනානේ. මං මෙච්චර බැනලත් මූට ගාණක් නෑ. ෂුවර්රෙකටම මූ හැඟීම් දැනෙන්නැති එකෙක්.

“උඹට තියෙන හිතේ අමාරුව මොකක්ද කියලා මං දන්නවා.. අර නොසන්ඩාල කෙල්ලට බැනපු එකනේ.. ඇයි බං.. උඹට බනිනකොට මට කියන්නෙ කටට පොල් මුඩ්ඩක් ගහං බලන් ඉන්න කියලද..?”

ඌ අහන එකත් ඇත්ත. ප්‍රශාන් බැන්නෙ නැත්නං බස්සෙක ඇතුළෙ මං නෝන්ඩි වෙනවා ගමකට. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඒක වෙලා ඉවරයි. ප්‍රශාන් ගියාට පස්සෙ මං ඇඳේ හාන්සි වුණා. ඇඟේ මහන්සියටද හිතේ මහන්සියටද මංදා මගේ ඇස් පියවුණා.


“නැගිටිනවා.. නැගිටිනවා.. මේ කට්ට දවල් ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදි.. මේ..හ්.. මල්ලි නැගිටිනවකො..”

ෂිකේ.. මැදැයි දෙයියනේ කියලා නිදාගන්න හැදුවා. අපරාදෙ මල්ටිකලර් හීනෙ ඉතුරු ටික. ඇඟ කිලිපොලා යන ලව් එකක අන්තිම හරිය බලද්දි තමයි මං ඇහැරුණේ. මොකාද මගේ ආතල් එක කඩපු නස්කූනියා කියලා හිතාගෙන මං ඇස්දෙක ඇරියා. මං හිතුවෙම අයියා කියලා. බැලුවහම අක්කනේ..

“ඇයි..?”

ඔරොප්පුව හිතේ හංගගෙන මං ඇහුවා.

“මූණ හෝදන් එන්නකො.. පුංචි ගමනක් යන්න තියෙනවා..”

“අනේ මේ.. වඳින්නම්.. මට තව නිදාගන්නෝන.. ඔන්න ඔය අයියත්තෙක්ක යන්නකො..”

මං අයියව අල්ලල ෂේප් වෙන්නයි හැඳුවෙ.

“මේ.. මේ.. මාව අල්ලගන්නෙපා ඕවට.. ඇයි තමුසෙට අක්කත්තෙක්ක යන්න බැරි..?”

ජනේලෙ කූරු අස්සෙන් මූණ ඔබන් අයියා මගෙන් ඇහුවා. හප්පේ, මුං දෙන්නා දෙපැත්තෙන් ඉඳන් මාව කන්නයි හදන්නෙ.

“මං නිදි විත්තිය පේන්නැද්ද ඕයි..”

මං ආයෙත් බෙඩ්ෂිට් එක අරන් ඔලුවෙ ඉඳන් පොරව ගත්තා. අම්මා හිටිය නම් මුං දෙන්නට බනිනවා. මාව යකා කරනවා කියලා නිතරම.

“පොඩී.. ඔයා දන්නෙ නෑනෙ වැඩක්.. මේ යකා ඊයෙ කෙල්ලෙක්ගෙන් ගුටි කන්න ගිහින්..”

ජනෙල් කූරු අල්ලගෙන අයියා හිනාවෙනවා.

“න්... නෑහ්...”

අක්කට විශ්වාස කරන්නත් බෑ වගේ. මං බෙඩ්ෂිට් එක අයින් කරල ඇඳ විට්ටමට හේත්තු වුණා. ඊයෙ අක්ක හිටියෙ නෑ ගෙදර. ඒක හන්දා අයියා බොරුත්තෙක්ක අඹරල දෙන ගේම එයා අහන් ඉන්නවා.

“කියන්නද අම්මට..?”

අක්කා ළංවෙලා, මගේ මූණෙන් අල්ලලා ඇහුවා. මං පස්ස බැලුවා. අයියා නෑ.. ඒ ඩිංගට කොහෙ මාරුවෙලාද..?

“අනේ මල්ලි යමුකො..”

අක්කා ආයෙත් කණ ගාව ඉඳන් කූං කූං ගානවා.

“කොහෙද යන්න කියන්නෙ..?”

බේරෙන්න බැරිම තැන මං අක්කගෙන් ඇහුවා.

“මගේ යාළුවෙක්ගෙ ගෙදර..”

“ඔයත්තෙක්ක ගමනක් යන්න බැරි, දකින දකින කොල්ලා තමුසෙට ට්‍රයිනේ.. සංසාරෙ එපාවෙනවා.. සාගතකාරයො වගේ තමුසෙ දිහා බලන්නෙ..”

ඇඳුමක් දාගන්න ගමන් මං කියවං ගියා. අක්කා හිනාවෙනවා. අක්කා හිනාවෙනකොට හරි ලස්සනයි. හරියට පුංචි එකෙක් වගේ. කොල්ලො කොහොමත් අක්කට ට්‍රයි. මටත් මාරම මාර ෆිට්... ඇයි කියලද ඇහුවෙ..? ඇයි යකෝ... බියුටි කුවින් වගේ අක්කා කෙනෙක් ඉන්දැද්දි මට කියලා ගතියක් නැද්ද..? කොල්ලො ට්‍රයි කරන්න පස්සෙන් ඇවිත් නෝන්ඩි වෙනකොට මට මාර ආතල්.. ඒ ආතල් එක ඉතිං මගේ කකුල් දිගේ බේරෙන්නෙ අක්කා කාත්තෙක්ක හරි යාලු වෙච්චිදාට තමයි. ඒවට ඉතිං තව කල් තියෙනවනේ. මං හිත හදාගත්තා.

“රයිට්.. මං රෙඩී..”

ඩෙනිමෙ ෆෝල්ට් එක ඩිංගක් විතර නමන ගමන් මං කිව්වා. අයියා කාරයා සපත්තු දෙක පොලිෂ් කරනවා. පොර ඇවිල්ලා විධායක ශ්‍රේණියෙ නිළධාරියෙක්. අනේ උගෙ විධායක ශ්‍රේණිය. මම නම් පඩේකටවත් ගණන් ගන්නෑ..

“ඔය යනවද..?”

මායි, අක්කයි ගෙයින් එළියට බහිනකොටම අයියා කිංඩියට වගේ ඇහුවා. ඌට උත්තර දෙන්න ගිහින් මං මොකටද ලේ කෝප කරගන්නෙ.. අර බුදු හාමුදුරුවොත් ඉවසුවෙ දෙව්දත්තරයා ගල් පෙරලනකොට.. මාත් එක හිතින්ම ඉවසනවා කියලා හිතාගත්තා.

“මල්ලි..! ඔයා ඇත්තටම ගුටි කෑවද..?”

පාරට එද්දි අක්කා මගෙන් ඇහුවා. මෙයාටත් ඕන්නැති කෙං ගෙඩියක් නෑ.. හැමදේම ඕන. ඒ වුණත් ඉතිං මට ඉන්න වන් ඇන්ඩ් ඔන්ලි අක්කනේ කියලා, මං සීන් එක කිව්වා. ප්‍රශාන් ඒ ගර්ල්ට බැනපු එක, තව වැඩියෙනුත් අතින් දාලා මං අක්කගෙ කනේ තිබ්බා.

“ආනේ..... ප්‍රශාන් නම් හරි නරකයි. පව් මල්ලි.. ඔයාලා අතේ වැරැද්ද තියාගෙනත් ඇයි ඒ ළමයට බනින්න ගියේ.. එයාට කේන්ති යන්නැති ඔයා එක පාරටම ඇඟට වැටුණහම..”

අක්කා කාරණීය මෙත්ත සූත්‍රය දේශනා කරනවා.. මාත් ඔහේ නිදිමත බේරි බේරි අහන් ඉන්නකොට තමයි බස්සෙක ආවෙ. වැඩිය සෙනගක් නම් නෑ.. මං අක්කා ගාවින්ම වාඩිවුණා.

“මල්ලි..?”

“ම්...!”

“මගේ මල් ටික හදලා ඉවරද දන්නෙ නෑ නේද..?”

“මොන මල්ද හලෝ..?”

මට තදවුණා.. මං මේ මල පැනලා ඉන්නවා. මෙයා මල් ගැන කියවනවා.

“මං ඔයාට කිව්වෙ නැද්ද..?”

අක්කා හිනාවෙනවා.

“මොනවද..?”

අක්කත් එක්ක කතා කරනකොට ප්‍රශ්න අහලම පණ යනවා. ඇයි හත්තිලව්වෙ, හිත ඇතුළෙ බාගයක් තියාගෙන, එයා බගයක් කියන්නෙ.

“මගේ යාළුවෙක් ඉන්නවා ලස්සන නංගි කෙනෙක්.. එයා හරි ලස්සනට මල් බොකේස් හදනවා.. එයාට හදන්න දීපු බොකේස් ගේන්න තමයි අපි යන්නෙ..”

“කලින් කියන්න එපැයි.. ෂිහ්.. වෙන කිටක් ගහන් එන්නවත් තිබුණා ලස්සන නංගි කෙනෙක් කියල කිව්වා නම්..! අක්කෙ..! එයා ඇත්තටම ලස්සනද..?”

මගේ මූඩ් එක ටාර් ගාලා වෙනස්වුණා. දිව්‍යා භාරතී වගේ සිරා කෑල්ලක්ද දන්නෑ.

“මොකද ළමයො, එහෙම ඇහුවෙ..”

ඔන්න අපෙ අක්කගෙ මොළේට ඇතුල්වුණා මං අහපු ප්‍රශ්නෙ..

“නෑ ඉතිං..! අර ටවුමෙ හිඟාකන පිස්සගෙ රැවුලත් ලස්සනයි කියපු අක්කනේ ඔයා..”

“මේක බස් එක නෙමෙයි නම් දෙනවා දෙකක්.. ඔන්න බෙල් එක ගහන්න..”

මං පටාස් ගාලා බෙල් එක ඇද්දා. තව ඩිංගෙන් ලණුව අතේ. තාර පාරින් ඩිංගක් විතර එහාට වෙන්න තිබ්බ වැලි පාරක් දිගේ අක්කයි, මාවි ඇවිදන් ගියා. ලොකු ගේට්ටු පලු දෙකක් දාලා තිබ්බ ගේට්ටුව මමයි ඇරියෙ. එතැන තිබුණෙ සාමාන්‍ය පන්තියෙ ගෙදරක්.

“අඩෙ අප්පා.. සිරා මල් පැල ටිකක් තියෙනවනේ..”

මිදුලෙ රෝස පාත්තියෙ මල් කපලා එකයි. හැමදාම කැට පෝර ගිලින එකෙක් වගේ මේව වවන්නෙ.

“මල් නෙමේ මල්ලි.. අද ගෙදර කවුරුවත් නෑ වගේ.. ඒත් වෙන්න බෑනේ..”

අක්කා හිටු කියලා බිත්තියෙ තියෙන බෙල් එක ඔබන් කියවනවා. මට මොකෝ.. මගේ අතින් පයින් යනවැයි.. මාත් බෙල් එක, එක පාරක් ඔබලා රෝස පාත්ති තියෙන පැත්තට ආවා. එතකොටයි දොර අරින සද්දෙ ඇහුණෙ.

“ආනේ.. දේවකී අක්කි..! එන්න ඇතුළට.. මං කුස්සියෙ හිටියෙ.. එන්න..”

සද්දෙ නම් ස්විට් වොයිස් එකක්. කණට මී පැණි දානවා වගේ.. කටහඬ ඔය තරම් ස්විට් නම් කෑල්ල කොහොම ඇතිද.? මට කිනං බලන්නත් මොකක්ද වගේ. ඒම කියල බලන්නැතුව ඉන්න පුළුවන්ද.? සිරා පොර වගේ මං හැරුණා. අම්මට හුඩු යකෝ.. දැන් කන්න වෙන්නෙ රබර්.. මේ අර මායි, ප්‍රශානුයි බස්සෙකේදි වලිය දාගත්තු කෙල්ලනේ. මං පටාර් ගාලා ආයෙත් පාර පැත්තට හැරුණා. පපුවෙ නිකං ගල් අඟුරු කෝචචියක් යනවා වගේ.. මාර සද්දෙ.

“මල්ලි... එන්න...”

ඒපාර අක්කා අඬගහනවා. දැන් මොකද කරන්නෙ. මල් ගැන පර්යේෂන පවත්වන පොරක් වගේ මං දෙකට නැමිලා රෝස මල් අතගාන්න ගත්තා.

“ඔය මල් වලට ආසාවෙ..  අපි යමු නංගි ඇතුළට.. එයා ඒවි..”

අපේ අක්කා නම් බුදු වෙන්න ඕන.. මං මේ බට්ටා ගැහි ගැහි හිටියෙ.

“බලන්නකො අක්කි..! මම්මයි, බාප්පයි දෙන්නම තාම නෑ.. ඉස්කෝලෙ රැස්වීමක්ලු.. තාම මොනා කරනවද මංදා..”

අර ගර්ල්, අක්කට කිය කිය ගේ ඇතුළට ගියා. මට දැන් බුදු ෆිට්. එම්බාම් වෙලා වගේ තිබ්බ මූණත් දැන්. පාට වැටෙන්නැති මගේ හිතේ. ෂීකේ.. මේ ගෙදර ඒ කෙල්ලගෙම ගෙදර වුණ එකනේ වැඩේ. කෙල්ල නම් සිරා තමයි. ඒත් සිරා කියලා දැන් වැඩක් නෑ. ඒකි මගේ මූණ දැක්ක ගමන් ආයෙත් යකා වේවි. අනේ දෙයියනේ.. මටමයි වෙන්නෙ..

“ඇයි ඔයා ගෙට එන්නැත්තෙ..? යමු තේ එකක් බොන්න..”

මගේ කණ ගාවින් ආයෙත් අර ගර්ල්ගෙ කටහඬ ඇහුණා. ආයෙමත් මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කරා. කරන්න දෙයක් නෑ. අද නැව් ගානට කන්න වෙනවා. ඇස් දෙකත් බාගෙට වහගෙන මං එයා ඉන්න පැත්තට හැරුණා.

“ඔ..යි..යා..”

බලන් ඉද්දිම ඒකිගෙ කට ඇරුණා. හප්පේ...!! මගේ මූණ දැක්කහම ඒකි බයවුණා වගේ. ඒකි විතරක් නෙමේ. මාත් බයවෙලා හිටියෙ. අපි දෙන්නම කතා කලේ නෑ. තවත් සද්ද වහලා හිටියොත් මේකි ෂුවර්රෙකටම කෑ ගහනවා. ඒක හින්දා මං කතා කරා.

“අනේ.. මේ.. කියන තැනකට වඳින්නම්.. අද නම් බනින්නෙපා.. අපෙ අක්කත් ඉන්නවා. එදා වෙච්ච දේ අමතක කරලා දාන්න. මං මගේ යාළුවටත් බැන්නා..”

පංඩිතයා වගේ මං කියෙව්වා. වැඳලා හරි බේරුණොත් හරිනේ. මං ඒකිගෙ මූණ දිහා බැලුවා. මං හිතුවෙත් නැති විදියට ඒ ලස්සන මූණ මොකක්දෝ දුකකින් වැහිලා තිබුණා. ඇයි ඒ..? මට හිතාගන්න බැරි වුණා.

“න්.. නෑ.. අයියෙ.. මමත් ඊයෙ අයියට බැනලා වැරදි වැඩක් කරේ.. බස් එකක් ඇතුළෙ බැනුම් අහපුවහම කොල්ලෙකුට මොන තරම් ලැජ්ජද කියලා මං පස්සෙයි කල්පනා කරේ.. ඔයාල බැස්සට පස්සෙ මගේ යාලුවො මට බැන්නත් එක්ක..”

ඉන්ටවල් නැතුව ඒකි කියවං ගියා. මාත් බෝ පැලේ වගේ අහන් හිටියා. ඔය තරමින් සේප් වුණා මැදැයි.

“හරිෂි නංගි.. චුට්ටක් එන්නකො..”

අපේ අක්කගෙ සද්දෙ ගේ ඇතුළෙන් ඇහුණා..

හර්ෂි.. එයා වගේම නමත් සිරා තමයි.

“ඉතින් එන්න.. අපි ඇතුළට යමු..”

යාන්තං හිනාවෙලා එයා මට අඬගැහුවා. හිතේ මෙච්චර වෙලා රවුම් ගගහ ඉඳපු අප්සට් එක ඩිංගෙන් ඩිංග නැතිවෙන්න ගත්තා. සාලෙ වැඩිවෙලා ඉඳපු අක්කා ගාවින් මං වාඩිවෙලා වටපිට බැලුවා. හැමතැනම මල්.

“දේවකී අක්කි.. ෂෝයි තමයි ඔයාගෙ මල්ලියා..”

එයා එක පාරටම එහෙම කිව්වම අක්කා මං දිහා බැලුවා. මට පටාර් ගාලා බිම බලාගත්තා.

“ඇයි නංගි..?”

“ඊයෙ මෙයාලා මට බැන්නනේ..”

අවුලක් නැතුව ඊයෙ වෙච්ච සීන් එක එයා අක්කත් එක්ක දිග අරිනවා.. මැදැයි කොළා.

“හා..නේ.. එතකොට හරිෂිටද, ඔයයි, ප්‍රශානුයි බැන්නෙ..?”

අක්කා අහපු එකට කියාගන්න දෙයක් නැතුව මං ගොළුවුණා. ඒ ගර්ල් හදපු ලස්සන මල් බොකේ එකක් අක්කගෙ අතේ.

“කෝ.., ඉතිං බොන්න..”

ආයෙත් එයා මං ඉස්සරහ. ට්‍රේ එකේ තිබ්බ තේ කෝප්පෙ මං අතට ගත්තා.

“ඔයා තාමත් අප්සට් පිටද මල්ලි ඉන්නෙ..? අයියෝ ඕවා ගණන් ගන්නෙපා.. හරිෂිගෙ  හිතේ ඕවා නෑ..”

අක්කා එහෙම කිව්වහම මං ආයෙත් එයා දිහා බැලුවා. ඒ රවුම් මූණෙ ලොකු හිනාවක් තිබුණා. අක්කගෙ මල් බොකේස් ටිකත් අරගෙන අපි එයාලහින් එළියට බහිනකොට කරුවලත් වැටිලා. ඒත් එයා කියපු මම්මයි, බාප්පයි ඒ වෙනකොටත් ඇවිත් තිබුණෙ නෑ.

“තමුසෙත් මාර තැන්වල තමයි හලෝ මාව එක්කන් යන්නෙ.. තව නූලෙන් මූණත් තහඩුව අඳුනගන්න බැරිවෙන්න කනවා.. ෂෙහ්...”

ආපහු ගෙදර එද්දි, මං අක්කට බර බරේ දැම්මා.

“හර්ෂි එහෙම ළමයෙක් නෙමේ මල්ලි.. එයා හරිම අහිංසකයි.. එයා, ඔයාට මොනව කරන්නද..? අනිත්තෙක ඔයා නාහෙන් අඬ අඬානේ හිටියෙ එදා වෙච්ච දේට.. දැන් ඉතිං ඔක්කොම ෂේප් නේ..”

“ෂේප් නම් තමයි.. ඒත් මේ විත්තියක් අපේ ලොකු භූතයගෙ කනේ තියන්න නම් එපා හොඳේ..”

අයියට ඉතිං මාව බයිට් කරන්න තියෙනව නම් ඊට වැඩිය දෙයක් නෑනේ. මං ඒකයි අක්කට අරහෙම කිව්වෙ. අපි දෙන්නා ගෙට ඇතුළු වෙනකොටම මට තාත්තගෙ කටහඬ ඇහුණා.

“අක්කේ.. තාත්තා ඇවිත් වගේ..”

“ආ.. දූ මැණික..! කොහෙද පොඩ්ඩත් එක්ක මේ රෑ වෙලා ගියේ..?”

සාලෙ තිබ්බ සැටිය උඩට වෙලා තේ එකක් බොන ගමන් තාත්තා ඇහුවා.

“අපි යාලුවෙක්ලහ ගියා තාත්තා..”

ඊට පස්සෙ ඩිංගක් වෙලා යනකං අපි අතරෙ කතාවක් ඇතිවුණේ නෑ. සාමාන්‍යයෙන් තාත්තා ගෙදර එන්නෙ මාස දෙකකට විතර පාරක්. ඒ අවහම දවස් තුන හතරක් ඉඳලා තමයි යන්නෙ.

“දැන් ඉන්න තැන කොහොමද තාත්තා..?”

“අපි ඉන්න තැන නම් ප්‍රශ්නයක් නෑ පුතා.. ඒත් ඉතිං කොළඹට වෙලා ඉන්නවට වැඩිය අපිත් වවුනියා පැත්තට දානවා නම් හොඳයි..”

තාත්තා කියවං යනවා. අපි හැමෝටම වැඩිය ෆිට් හිතක් තාත්තට තිබුණා. ඒත් මගේ හිත නම් අන්ෆිට් වෙලයි තිබුණෙ. ඒක හින්ද මං සද්දයක් බද්දයක් නැතුවම කාමරේට රිංගුවා. තාත්තා ගැන හිත හිතා ඉඳපු මගේ හිතට එක පාරටම වගේ අක්කගෙ යාලු නංගි, හරිෂිව ආවා. මාර වැඩේ කියන්නෙ එයා අපේ අක්කගෙ යාළුවෙක් වුණ එකනේ. අක්ක කිව්වෙ ඇත්ත.. එයා හරි අහිංසක පාටයි. එයා හිනාවෙනකොට වුණත් මාර ගතියක් තියෙනවා.

“ඔයා නිදිද මල්ලි..! යමු බත් කන්න..”

කරුවලේම අක්කා කාමරේට ඇවිත්.

“බඩගිනි නෑ අක්කෙ..”

කම්මැලිකම හින්දම ඇඳෙන් බහින්න මට හිතුණෙ නෑ.

“ඇයි මොනවද කෑවෙ..? බඩපිරෙන්න හරිෂීගෙන් බැනුම් ඇහුව නම්ක මක් නෑ.. බොරු නැතුව එනවා..”

“මොනා නැතත් එයා හරි හොඳයි අප්පා..”

“ආ..? ඒ පාර මොකක්ද හැදුන ලෙඩේ..?”

“ඔය්ය.... ඉතිං.. හිතෙන්නෙම කණ පිටට.. අනෙ අම්මප මේ වෙලාවට තමයි මට හිතෙන්නෙ කසාඳයක් බැඳගන්න..”

“හෝව්.. හෝව්.. හෝව්.. හෙමින්.. තාත්තත් ඉන්නවා අරහෙ.. කට නිකං ඝාන්ඨාරෙ වගේනේ..”

“ඇයි මට කරල දේවිද..?”

මං අහපු එකට අක්කට හිනා ගියා. ඒ හිනාවෙන්ම අක්කා මාවත් ඇදගෙන කෑම කාමරේට ගියා.



No comments:

Post a Comment