Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


කොතරම් කාර්යබහුල දින චර්යාවක් තිබුණද අභිෂේක් බැඩ්මින්ටන් පුහුණුව සඳහා කෙසේ හෝ දිනක් වෙන් කොට ගත්තේය. ඔහු පුහුණුවට ගියේ ව්‍යායාම සඳහා නොව පියුමිකා හමුවීම සඳහාය. එහෙත් ඕනවාට එපාවට පුහුණුවීම් කටයුතු කරන්නට ඇගෙන් නම් ඉඩක් නොලැබුණි.

නළුවො වුණාම වැඩිපුර කාලය හොයාගන්න ඒන එක්සර්සයිස් වලට.. එහෙම නැති වුණාම රඟපාන කොල්ලගෙ කැරැක්ටර් එක රඟපාන්න ඕන වයසෙදි තාත්තාගෙ කැරැක්ටර් එක රඟපාන්න සිද්ධ වෙනවා..


පියුමිකා විසින් උපහාසාත්මකව කියන ලද එවදන් අභිෂේක්ගේ සිතේ තදින්ම තැන්පත් විය.

කවදා හරි දවසක මට ඉතින් තාත්තාගෙ කැරැක්ටර් එක රඟපාන්න සිද්ධ වෙනවනේ..

ඔහු ඇය දෙස හොරැහින් බලමින් කීවේය. ඔහු අදහස් කළ දෙය වැටහුණත් පියුමිකා එය ගණනකටවත් ගත් බවක් නොපෙනිණි.

ඒ කවදා හරි දවසක දෙයක්නේ.. දැන්ම ඉඳලා මොකටද ඒ ගැන වොරි වෙන්නෙ..?

කියමින් ඇය ඇඟ උණුසුම් කරන වයායාම්වල නිරත වෙන්නට වූවාය.

සුපුරුදු ලෙසම ඇය හැඳ සිටියේ සුදු කොට කලිසම හා සුදු ටී ෂර්ටයකි. හිස කෙස් මුහුණ පුරා විසිරෙනු වළකන්නට හිස වටා පටියක් පැළඳ සිටියාය. අභිෂේක් ආදරයනේ හා ආශාවෙන් ඇය දෙස මදක් බලා සිටියේයය. සැබැවින්ම ඇය බොහෝ සුන්දර වූවාය. අභිෂේක් තුල මහා ලෝබ කම්ක ඉපදිණි. ඇගේ සුන්දරත්වය වෙන කෙනෙකු විඳිනවාට ඔහු කවදාවත් කැමති වූයේ නැත. ඇයට පිහිනුම් සඳහා නොයන ලෙස කීවේත් එම නිසාය. එහෙත් තමා සමඟ චිත්‍රපටයකට රඟපානන්ට එන ලෙස ඔහු ඇයට බල කළේය. එයින් ඔහු කරන්නට ගියේ ඇගේ රූ සපුව ලෝකයට නිරාවරණය කරන්නට බව ඔහුට වැටහුණේ මෙමොහොතේය. අභීෂේක් තුළ මහත් ලැජ්ජාවක් ඉපදිණි.

මොනවටද අභී ඔයා මගේ දිහාවෙම බලාගෙන ඉන්නෙ..?

ඔහුගේ බැල්මෙන් අපහසුතාවයට පත් පියුමිකා නෝක්කාඩු හඬින් විමසුවාය.

ඔයා දිහාවෙ බලන්නෙ නැතුව මං වෙන කා දිහා බලන්නද කෙල්ලෙ..?

ඔහු සිනාසෙන්නට වෙර දැරුවේය.

විකාර කතා කරන්නෙ නැතුව වෝර්ම් අප් කරන්න.. අපි හුඟක් ලේට්.. අනිත් අය රවුන්ට් එක්ක ප්ලේ කරලත් ඉවරයි..

පියුමිකා කීවේ නොරිස්සුම් සහඟතවය.

මම කල්පනා කළේ මොකක්ද කියලා දන්නවද නෙතූ..?

අභිෂේක් අලස ලෙස ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම අරඹමින් විමසිය.

තවත් චිත්‍රපටියක් ගැන වෙන්න ඇති මං හිතන්නෙ..

පියුමිකා සෝපාහාසාත්මකව පැවසුවාය. අභිෂේක්ගේ සිතට කලින් දැනෙමින් තිබූ ලැජ්ජාව දෙගුණ වූවේය.

චිත්‍රපටියක් ගැන නම් තමයි..

ඔහු ඇඳ පැඳ කීවේය.

මට අදාළත්වයක් නෑනේ ඒවයෙ..

ඇය කීවාය.

අදාළත්වයක් තියෙනවා බබා.. අයෑම් සොරි ඔයාට චිත්‍රපටියට කතා කළාට.. මම ඒ වෙලාවෙ ටිකක් ආත්මාර්ථකාමී වුනා කියලා මට හිතෙනවා..

අභිෂේක් සුසුමක් හෙළමින් කීවාය. පියුමිකාගේ පියකරු මුහුණ අදුරු කරවමින් නපුරු පෙනුමක් උදා වූවේය.

ටිකක් නෙමෙයි අභි.. ඔයා හුඟක් ආත්මාර්ථකාමියි.. හැබැයි ඒක හොඳ ෆිචර් එකක් නෙමෙයි කියලා මතක තියාගන්න..

කර්ණ කටුක හඬින් කී ඇය ව්‍යායාම නවතා බැඩ්මින්ටන් පිත්තද රැගෙන ක්‍රීඩාංගනයට ගියාය. අභිෂේක්ගේ ව්‍යායාම එහෙමම නැවතිණි. ඔහුට සිතුණේ සියල්ල අත හැර දමා නිවසට යාමටය. එහෙත් පියුමිකා තවත් කෝප වනු ඇතැයි බිය නිසා ඔහු ඒ අදහසට ඉස්මතු වෙන්නට ඉඩ දුන්නේ නැත.

අභිෂේක් වෝර්ම් අප් කරනවද..? ටෙලි ඩ්‍රාමා එකේ ඊ ළඟ සීන් එක ගැන කල්පනා කරනවද..?

සරදම් හඬින් අසමින් පුහුණුකරුවා එතැනට ආ බැවින් අභිෂේක් නැවතත් ක්‍රියාත්මක වූවේය. එහෙස් ඔහු තුල වූ උදාසීන බව නම් පහව ගියේ නැග.

ඉක්මනට එන්න..

තවත් මඳ වේලාවකින් අභිෂේක් වෙතට ආ පියුමිකා අණ කළාය. ඒ අණට කීකරු වන්නට පුළුවන් කමක් ඔහුට නොවිණි. එහෙත් ඇය ඇවිස්සීමේ සිතක් ඔහුට පහළ වූවේය.

අනේ අද බෑ කෙල්ලෙ..

ඔහු කීවේ බැගෑපත් ලෙසය.

මෝඩයා.. එනවා..

ඇය ඔහුගේ අතින් අල්ලා ඇද්දාය.

පේනවා නේද හින්දි නළු නිළියො හතළිහ පැන්නත් කොල්ලො කෙල්ලො වගේ.. උන් තමන්ගෙ බොඩි ෂේප් එක ගැන තමයි වෙන මොන දේකටත් වැඩිය හිතන්නෙ.. අපේ උන්ට හතළිහ පැන්නම කාගෙවත් උදව්වක් නැතුව හැරෙන්නවත් බෑ.. ඒ තරමට මහතයි..

පියුමිකා කියාගෙන කියාගෙන ගියාය. අභිෂේක් අවනත වුණේ ඇගේ වදන්වලින් ධ්වනිත වුණ යථාර්තයට නොව ඇගේ අත්ලේ සුසිනිදු පහසටය. ඔහු බැඩ්මින්ටන් පිත්ත අතට ගත්තේය. එහෙත් මේ වන විට ක්‍රීඩාංගනයේ වෙනත් පිරිසක් ක්‍රීඩා කරමින් සිටි නිසා ඔවුනට මඳක් පසෙකට වී සිටින්නට සිදුවිය. අභිෂේක් නම් ඒ පිළිබදව සතුටු වූවේය.

නෙතූ මං ඔයාගෙන් දෙයක් අහන්න ඇත්ත කියනවද..?

ඔහු මදක් කල්පනා කරමින් සිට අනතුරු විමසිය. පියුමිකාගේ දෙතොල උපහාසාත්මක සිනාවකට විවර වූවේය.

මං ඔයාට බොරු කිව්වෙ කවදද..?

ඇය උපහාසාත්මක පදයක හඬින් විමසුවාය.

අභිෂේක් ගේ සිතේ පැත්තක් රිදිණි. එලෙස කතා කිරීමට අයිතියක් ඇයට ඇතිබ ව සිතේ තව පැත්තක සිහිපත් කොට දුන්නේය.

කියන්න ඉතින්..

පියුමිකා ඔහු පෙළඹවූවාය.

මේකයි.. ඔයා මගේ සෞඛ්‍යය ගැන හුඟක් හිතනවා.. ඇත්තටම එක්සිඩන්ට් එකෙන් පස්සෙ මට ආයෙමත් මේ තත්වෙට එන්න පුළුවන් වේනනෙ නෑ ඔයා නොහිටියා නම්..

අභිෂේක් කතා කළේ වචන අහුලමිනි. පියුමිකා ඉඳිරියේ වචන හැසිරවීම මෙතරම් අසීරු වූයේ කවදා සිටදැයි ඒ අතරම ඔහු කල්පනා කළේය.

ඉතින් දැන් මොකක්ද තියෙන ප්‍රශ්නෙ..?

පියුමිකා නොරිස්සුම් හඬින් විමසිය.

ඇයි ඔයා එච්චර මං ගැන හිතන්නෙ කියන එක..

අභිෂේක් සිනාසෙන්නට තැත් කරමින් කීවේය.

පියුමිකාගේ මුහුණට කල්පනාකාරී පෙනුමක් අරක් ගත්තේය. ඇය නිහඬව බැඩ්මින්ටන් ක්‍රීඩා කරන ළමුන් දෙස බලා සිටියාය. තමා වැරදි ප්‍රශ්නයක් ඇසුවේදැයි සැකය අභිෂේක්ට දැනිණි. අබ මල් රේණුවක තරම්වත් ඇයට රිදවීමට ඔහු කැමති වූයේ නැත.

මං එහෙම හිතන එක ඔයාට කරදරයක්ද අභි..

පියුමිකා ඔහු දෙස නොබලාම සිහින් හඬින් පිළිවිසියාය. ඔහු බොහෝ සෙයින් කැළඹුණේය.

පිස්සුද නෙතූ..? මොනවද ඔයා මේ කියවන්නෙ..? ඔයා මට කරදරයක් නෙමෙයි.. සම්පතක්.. ආශිර්වාදයක්.. කොටින්ම ඔයා මගේ ජීවිතේ..

අභීෂේක් හැඟුම්බර ස්වරයෙන් කියාගෙන කියාගෙන ගියේය. ඇය කෝපයට පත් නොකොට මේ ටික කියා ගැනීමට ලැබීම ජයග්‍රහණයක් ලෙස ඔහුට දැනුණි. වෙනදා මෙන් ඇය ඔහුට එරෙහිව වදනක් හෝ දෙඬුවේවත් නැත.

අන්න අර කෝට් එකේ දෙන්නා ප්ලේ කරලා ඉවරයි... එන්න අපි යමු..

කලබලයෙන් කියමින් පියුමිකා ක්‍රීඩාංගනයෙන් දිව ගියාය. සැබැවින්ම ඇයට ඕනෑ කරතිබුණේ අභිෂේක්ගේ පැනයට පිළිතුරක් නොදී මඟ හැර යන්නටය.

කොටින්ම ඔයා මගේ ජීවිතේ..

ඔහුගේ එවදන් ඇගේ සවන් පත්ලේ නැවත නැවතත් දෝංකාර දුන්නේය.

අභිෂේක් සහ ඇය අතර සම්බන්ධයේ නියම ස්වභාවය වටහා ගැනීමට ඇගේ දෙමාපියන්ට, සජානිට මෙන්ම මාධ්‍යවලටත් අවශ්‍ය වී තිබිණි. ඔවුන් පෙම්වතුන් බවට මාධ්‍යවලින් නම් වරින් වර ඉඟී දැක්විණි. එහෙත් පියුමිකා සිටියේ එවා ගණන් නොගන්නා ආකාරයටය.

ඇගේ ලෝකයේ ඔහු සිටින්නේ කොතැනකදැයි දැන ගැනීමට අභිෂේක්ට ද වුවමනා වෙන්න ඇත. ඔහු අර ප්‍රශ්නය විමසුවේ එහෙයිනි. එහේත් ඇයට දීමට තිබූ එකම පිළිතුර සජානිට කියූ දෙයමය.

අභිෂේක් කාටවත් අයිති වෙනවා දකින්න මම කැමති නෑ.. හැබැයි මීට වඩා එයාට ළං වෙන්න ආසාවකුත් නෑ..

ඇය එදා කීවාය. එහෙත් අභිෂේක්ගේ මුහුණට එලෙස කීමට ඇයට පුළුවක්මක් නොතිබිණි.

හරි.. අපි ප්ලේ කරමු..

කියාගෙන අභීෂේක් ආවේය. එහෙත් ඔහුගේ මුහුණද වැසී තිබුණේ කල්පනාකාරී බවකිනි. ඔවුනොවුන්ගේ ලෝකවල හුදෙකලා වී ගෙන ක්‍රීඩා කළ නිසාත්, වරින් වර දෙදෙනාගේ මුහුණ දෙස බැලීමට උත්සාහ කළ නිසාත් ඔවුන්ට පහරවල් වැරදිණි. පිහාටු පන්දුව අයලේ එහෙ මෙහෙ ගියේය.

මොකද අද මේ දෙන්නට වෙලා තියෙන්නෙ..? හරියට අදම කෝර්ට් එකට අඩිය තියපු දෙන්නෙක් වගේනේ ප්ලේ කරන්නෙ..

අමනාපයෙන් කියමින් පුහුණුකරුවා ඔවුන් වෙත ආවේය. අභිෂේක් සහ පියුමිකා ලැජ්ජාශිලී ලෙස සිනාසෙමින් එකිනෙකා දෙස බැලූහ. රඟපෑමක් වැරදුණ විට අධ්‍යක්ෂකවරයා දොස් කී විටත් අභිෂේක්ට මෙවන් අපහසුවක් නම් දැනෙන්නේ නැත.

මේ සැරේ දෙන්නම ඕපන් ටුවර්මන්ට් එකේ සිංගල්, ඩබල්, මික්ස්ඩ් ඩබල් තුනම ගහන්න ඒනෑ.. ඒ හින්දා හොඳට ප්‍රැක්ටිස් කරන්න..

පුහුණුකරු කෑ ගැසුවේය.

ඔවුන් දෙදෙනාගේ ජනප්‍රියත්වය පුහුණුකරුට කොහොමත් අදාළ වූයේ නැත. ක්‍රීඩාංගනයට පැමිණි විට ඔහු ඔවුන්ට සැලකූවේ පුහුණුව ලබන ආකාරයේ සිසුන්ට සලකන ආකාරයෙන්මය. ඔවුන් තුළ පුහුණුකරු කෙරෙහි ඇති ගෞරවය හා බිය වැඩි වෙන්නට ඒ හේතුවද බලපෑවේය.

පුහුණුකරු බලා සිටින බැවින් සුපුරුදු ක්‍රීඩා විලාසයට අවතීර්ණ වෙන්නට දෙදෙනාම බොහෝ උත්සාහ කළාය. එහෙත් වෙනදා මෙන් අලංකාර පහරවල් එකක්වත් වැදුණේ නම් නැත.

මං දැන් දෙන්නව දානවා ජූනියර් ප්ලේයර්ස්ලත් එක්ක.. කෝ ෂොට්ස්..? ෂොට්ස්වලට යන්න..

පුහුණුකරු නැවතත් කෑගැසුවේය.

ළඟ පාත සිටි කණිෂ්ඨ ක්‍රීඩකයෝ හූ කියා සිනාසුණේය. ඔවුන් පුරුදුව සිටියේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය අනුකරණය කරන්නටය. පුහුණුකරුගේ ප්‍රකාශය විනෝදයට  කරුණක් වූයේ එහෙයිනි.

ෂීහ්.. අද නම් මාර සවුත්තුවක් වුණේ.. පොඩි එවුනුත් හිනා උනානේ..

ක්‍රීඩා පුහුණුවෙන් අනතුරුව කැන්ටිමට වී කිරි පැකට් දෙකක් බොමින් සිටියදී අභිෂේක් පැවසුවේ පසුතැවිල්ලනේ මෙනි.

කොහෙද ඕන් නැති කතාවක් ඇදගෙන ඔයා මගේ ඔළුව අවුල් කළානේ..

පියුමිකා චෝදනා කළාය. අභිෂේක් තිගැස්සුනේය.

ඔයාගෙ ඔළුව අවුල් වෙන දරුණු ප්‍රශ්නයක්ද මම ඇහුවෙ බබී..?
ඔහු මේසයට දෙවැළමිට තබා නැඹුරු වී ආදරණිය ස්වරයෙන් විචාලේය.

ඒ ප්‍රශ්නෙට මගේ ළඟ උත්තර නෑ.. ඒ හින්දා ඒක කවුරු ඇහුවත් මගේ ඔළුව අවුල් වෙනවා..

ඇය ඉවත බලාගෙන දුක්බර ස්වරයෙන් කීවාය.

සොරි කෙල්ලෙ.. මං ආයෙ කවදාවත් ඔයාගෙන් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නෑ..

අභිෂේක් මේසය මත වූ ඇගේ සුරත මිරිකාගෙන කීවේ පොරොන්දුවක හඬිනි. පුදුමයකට මෙන් ඇය අත ඉවතට ගන්නට උත්සාහ කළේ නැත. සතුටක් මෙන්ම බලාපොරොත්තුවේ සේයාවක් ද අභිෂේක් ගේ සිතට ඇතුළු වූවේය. මඳක් කල්පනා කළ පියුමිකා හිටි හැටියේම හිස ඔසවා ඔහු දෙස බැලුවේ අධිෂ්ඨානශීලීවය. ඒ බැල්මේ සෘජුකමට ඔහු කළඹුනේය.

නෑ අභි.. අපි අද මේ ගැන කෙළින්ම කතා කරලා හිත් පිරිසිදු කරගනිමු.. නැත්නම් අපි දෙන්නටම මේක ලොකු වදයක් වෙනවා.. ඔයාට කීයටද ආපහු සෙට් එකට යන්න තියෙන්නෙ..

අද නයිට් සීන්ස් වගයක් තියෙනවා.. හත හමාරට ට්‍රාන්ස්පෝර්ට් එන්නෙ..

අභිෂේක් කීවේ ජංගම දුරකථනයෙන් වෙලාව බලමිනි.

දැන් හයයි.. පැය එක හමාරක් තියෙනවනේ.. මම හත වෙනකොට ඔයාව ගිහින් දාන්නම් ගෙදරට..

කියමින් පියුමිකා නැඟී සිටියාය.

ඒ අනුවම නැඟී සිටියද අභිෂේක්ගේ සිත තුළ බියක් දලුලමින් පැවතිණි. මේ තීරණාත්මක කතා බහ කෙලෙස කෙළවර වෙනු ඇද්දයි ඔහු දැන සිටියේ නැත.  එහෙත් එය අසුභ අවසානයක් නොවේවා යැයි ඔහු ප්‍රාර්ථනා කළේය. ඇය නොමැති ජීවිතයක් පිළීබඳව සිහිනෙකින්වත් සිතන්නට ඔහුට පුළුවන්කමක් තිබුණේ නැද.

කොහෙද අපි යන්නෙ..?

අභිෂේක් විමසුවේ ඔවුන් පියුමිකාගේ කාරයට නැගුණ පසුවය.

යමුකො..

කීවා මිස ඇය ගමනාන්තයක් සඳහන් කළේ නැත.

නගරයෙන් ඈතට රියප දවාගනෙ ගිය පියුමිකා දෙපසම වෙල් යායවල් සහිත නිස්කලංක පාරක අද්දට කොට කාරය නතර කළාය. ඒ වන විට ඉර බැස ගොස් තිබූ අතර පරිසරයේ වූවේ මන්දාලෝකයකි. අභීෂේක්ගේ සිතට ශෝකී බවක් පිවිසිණි.

බහින්න බෑ.. මිනිස්සු ඔයාව දැකලා කතා කරන්න ආවොත අපේ කතාව වෙන්නෙ නෑ..

කියූ ඇය තමාගේ පැත්තේ ජනේලය යාන්තමට විවර කර ගත්තාය. අභීෂේක්ද ඇය අනුගමනය කළේය.

ඔයාට ඇත්තටම දැනගන්න ඒන මං ඇයි ඔයාට මෙච්චර සලකන්නෙ..? ඔයාගෙන් මං මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලනේ..?

පියුමිකා සෘජුවම කතාවට එළඹියාය. අභිෂේක්ට පුදුම සිතිණි. ඇය තව දුරටත් අර ලැජ්ජාශිලි, කෝල යුවතිය නෙවන බව ඔහු දැන ගත්තේය.

ඔයා මගෙන් මොන දෙයක් බලාපොරොත්තු වුණත් මට ඒ දේ කරන්න පුළුවන් නෙතූ..

අභීෂේක් ස්ථීර හඬින් කීවේය. පියුමිකා සරදම් සහගත මඳ සිනාවක් පෑවේය.

පොරොන්දුවක් දෙන්න ඉස්සර ඒගැන කීප සැරයක් හිතන්න අභි.. මොකද ඒක කඩ වුණාම ඔයාගෙ හිතටමයි අමාරු..

ඇය කියද්දී ඔහුගේ මුහුණ හරහා අඳුරක් පාවී ගියේය.

මං පොරොන්දු කඬ කරන ජඩයෙක් කියලද ඔයා ඔය කියන්නෙ නෙතූ..

ඔහු රිඳුණ හඬින් ඇසීය.

නෑ අභී, අපි මෙතනට ආවෙ එක් එක්කෙනාට චරිත සහතික ලියා ගන්න නෙමෙයි.. අපේ ප්‍රශ්නෙ කතා කරන්න.. අපි ඉස්සර වෙලා ඒක කරලා ඉමු..

පියුමිකා කීවේ දැඩි හඬිනි. ඔහු සුසුමක් හෙළා හිස සැලීය.

මට ඔයා ගැන දැනෙන දේ මං කිව්වනේ කෙල්ලෙ.. දැන් මට කියන්න ඔයාට මං ගැන දැනෙන දේ..

ඔහු මුළුමනින්ම ඇය දෙසට හැරෙමින් විමසුවේය. පියුමිකා නිය පොත්ත සපමින් ගත කළ තත්පර කිහිපයක කාලය ඔහුට කල්පයක් මෙන් දැනුණි.

ඇත්තටම අභී, ඔයාගැන ඉස්සර නම් මගේ හිතේ තිබුණෙ දරා ගන්න බැරි තරම් ආදරයක්..

ඇය අස්වැන්න නෙලූ පාළු වෙල් යාය දෙස බලාගෙන දුක්බර හඬින් කීවාය. ඇගේ අත අල්ලා ගැනීමට හැකි වූ පෙළඹවීම ඔහු වැඩගත්තේ ආයාසයෙනි. ඇගේ සිත දරදඬු කරන්නට ඔහුට උවමනා නොවිණි.

දැන් ඒ ආදරේ හිස්තැන් තියෙනවා..

පියුමිකා එසේ කීවද අභිෂේක්ගේ සිතට ඇති වූයේ සතුටකි. ආදරයේ හිස් තැන් ඇති බව කීවා මිස එය නැත්තටම නැති වූ බවක් ඇය කිවේ නැත. ඇය නියම කරන ඕනෑම දෙයක් ඒ හිස් තැන් පුරවන්නට ඔහුට පුළුවන.

ඒ හිස් තැන් පුරවන්න මං මොනවද කරන්න ඕන කියලා කියන්න වස්තුවෙ..

තව දුරටත් සිත පාලනය කරගත නොහැකි වූ අභිෂේක් දෑතින්ම ඇගේ අත අල්ලා ගනිමින් විමසුවේය. ඔහුගේ කටහඬ සෙනෙහසින් පිරී තිබිණි. පියුමිකා අත ඉවතට ගන්නට තැත් කළේ නැත. එහෙත් ඇය කණගාටුවෙන් හිස දෙපසට සැලුවාය.

මං මේ අවංකවමයි කියන්නෙ අභී.. මට ඔයා මගෙන් ඈත් වෙනවා දකින්න බෑ.. ඒත් මීට වැඩිය ළං කරගන්න පුළුවන්කමකුත් නෑ..

මට තේරෙනවා බබී..

ඔහු කීවේ ඇගේ අත හෙමිහිට පිරිමදිමිනි. මෙලෙසම ඇගේ සිතත් පිරිමදින්නට හැකියාවක් තිබුණේ නම් ඇයනොකියා සඟවාගෙන සිටින සියල්ල හසු කරගන්නට හැකි වෙනු ඇතැයි ඔහුට සිතුණි.

කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා.. සමහර විට අපි මීට වැඩිය ළං වෙන්නත් පුළුවන්.. සදහටම ඈත් වෙන්නත් පුළුවන්.. ඒ හින්දා අපි කාලෙට ඉඩ දීලා බලාගෙන ඉමු..

ඇය එවර සිනාසෙන්නට තැත් කරමින් ඔහු දෙස බැලුවේය. ඔහුගේ සිත සතුටින් සහ සෙනෙහසින් පිරී ගියේය.

ඒ ඇති රත්තරන්.. හොඳටම ඇති.. මම ඕනෑ තරම් කාලයක් ඔයා වෙනුවෙන් ඉන්නම්.. කාලෙ අපි ළං කරනවා මිසක් ඈත් කරන්නෙ නෑ කියලා මට හොඳටම සහතිකයි..

ඔහු මිමිණුවේ ඇගේ හිස සහ ඔහු වෙතට නැඹුරු කරගෙන නළලත් දෙකොපුලත් සිප ගනිමිනි. ඇය කිසිදු විරුද්ධත්වයක් නොපා ඔහුට අවනත වූවාය.


No comments:

Post a Comment