Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


අභිෂේක්ගේ දුරකථන ඇමතුම ලැබුණ මොහොතේ සිටම රුවන් කෝපයෙන් පිපිරුවේය. ඔහු ගෙය පුරා ඒ මේ අත සක්මන් කරන්නට වූයේ වෙඩි කෑ කොටියෙකු ලෙසිනි. සිය එකම නැගණිය විවාහක මැදි වියේ පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් පවත්වන බව දැන ගන්නට ලැබුණු විට ඕනෑම අයියා කෙනෙකුට මෙම හැඟීම් දැනෙනවා ඇතැයි ඔහු කල්පනා කළේය.

මේකි මට ඔළුව කෙලින් කරගෙන මේ ෆිල්ඩ් එකේ ඉන්න ඉඩ දෙන්නෙ නෑ.. දැන් කී වතාවක් නම් කතන්දර හදා ගත්තද..? ඒ වුණාට මේක නම් ලේසියෙන් සමාව දෙන්න පුළුවන් එකක් නෙමෙයි.. මං තිලෝකා බඳින්න යනවා කියලා දැන ගත්තම මැරෙන්න හදපු ගෑනි ඊට වඩා කොච්චර ජරා වැඩක්ද මේ කරලා තියෙන්නෙ..?


රුවන් දත්මිටි කමින් මුමුණා ගත්තේය. ක්ෂේත්‍රයේ වෙනත් කෙනෙකුගෙන් මේ ආරංචිය ලැබුණේ නම් ඔහු එය විශ්වාස නොකරන්නට ඉඩ තිබිණි. එහෙත් ඔහු අභිෂේක් ගැන දැන සිටියේය. ඔහු යුවනි පිළිබඳ පුවත කියන්නට ඇත්තේ නොකියාම බැරි නිසා විය යුතුය. එසේ නැත්නම් ක්ෂේත්‍රයේ පැතිරෙන කට කතා, ඕපා දූප පිළිබඳව ඔහු උනන්දුවක් දක්වන අයෙකු නොවේ.

රුවන් අයියෙ, මේක කිව්වා කියලා මාව වරදවලා හිතන්න එපා.. ඒත් මේක නොකියම බැරි දෙයක්..

අභිෂේක් කතාව ඇරඹුවේ එලෙසිනි. ඔහු යම් අසුභ පුවතක් කියන්නට මඟ පාදන බව රුවන්ට වැටහිණි. එය ක්ෂේත්‍රයේ තමා සම්බන්ධ ඕපා දූපයක් විය යැතුයැයි රුවන් සිතීය. මෙවැන්නක් නම් ඔහු අනුමාන කළේවත් නැත.

කියන්න අභිෂේක්..

ඔහු සන්සුන්ව කීවේය.

මේක මම බොහොම වගකීමෙන් කියන්නෙ.. මගේ ඇස් දෙකෙන්ම දැකපු නිසා..

අභිෂේක් එසේ කියද්දී නම් රුවන්ගේ සිත තුළ අනතුරු ඇඟවීමේ රතු එළියක් නිවි නිවී පත්තු වූවේය.

ඔයා ගැන මම හොඳට දන්නවා අභිෂේක්.. ඕන දෙයක් බය නැතුව කියන්න..

ඔහු අභීෂේක්ට දිරි දුන්නේය.

අයියෙ, යුවනියි මනෝජුයි අතරෙ හුඟක් දුර දිග ගිය සම්බන්දයක් තියෙනවා..

අභිෂේක් ගේ එවදන් රුවන්ගේ සිතට දැනුණේ හෙණ හඬක කම්පනයෙනි. එය දරාගත නොහැකිව ඔහු සිට වනම ගල් ගැසී සෑහෙන වෙලාවක් සිටියේය.

හලෝ..  හලෝ.. රුවන් අයියෙ..

ඔහු පියවි සිහියට පත් වූයේ අභිෂේක් කිහිප වරක්ම කතා කළ පසුවය.

අභිෂේක්.. මේක මට විශ්වාස කරන්නත් බෑ..

ඔහුට කෙඳිරි ගෑවිණි.

මගේම ඇස් දෙකෙන් නොදැක්කා නම් මම වුණත් විශ්වාස කරන්නෙ නෑ රුවන් අයියෙ..

අභිෂේක් සුසුමක් හෙළමින් කීවේය.

යුවනිගේ ඒ නොගැලපෙන සම්බන්ධය දකින්නට ලැබීමෙන් තමා තරමටම නැතත් යම් තරමකට අභීෂේක් ද කැළඹෙන්නට ඇතැයි රුවන්ට සිතිණි.

කොහෙදිද ඔයා දැක්කෙ..?

රුවන් අමාරුවෙන් වචන ගැටගසා ගත්තේය.

දැක්ක තැනයි වෙලාවයි කිව්වොත් ඔයා තවත් ෂොක් වෙනවා.. ඒක හින්දා ඕන නෑ.. දකින්න ඉස්සර වෙලත් මට ඔය කතාව අහන්න ලැබුණා.. නිකම් කට කතාවක් කියලා මම අමතක කරලා දාලා හිටියෙ..

අභිෂේක් කීවේය.

සැබැවින්ම රුවන් තවත් කැළඹුණේය. අභිෂේක් යුවනි දකින්නට ඇත්තේ අසාමාන්‍ය වේලාවක අසාමාන්‍ය තැනකදී බව සහතිකය. ඔහු වගකීමෙන් යුතුව කතා කරන්නෙ එහෙයිනි.

මනෝජ් බැඳපු මිනිහෙක්.. ඒ මඳිවට රැවටිලිකාරයෙක්.. ඒ හින්දා රුවන් අයියා කොහොම හරි යුවනිව බේරගන්න බලන්න.. මේක මං කිව්වා කියලා දැනගන්න තියන්න එපා..

අභීෂේක් රිසිවරය තැබුවේ එසේ කියමිනි. එමොහොතේ සිටම රුවන් සිටියේ කෝපයෙන් උමතු වෙන්නට ආසන්න තත්වයේය. එම නිසා ඔහුට පැහැදිලිව කිසිම දෙයක් සිතා ගැනීමට පුළුවන්කමක් නොවිණි.

ඇයි පුතා.. මොකද වෙලා තියෙන්නෙ..?

ඔහුගේ නොසන්සුන් හැසිරීම දුටු අම්මා සැකමුසු හඬින් ඇසුවාය. රුවන් සක්මන නවත්වා අම්මා ඉදිරියේ සෘජුව සිටගත්තේය.

වෙලා තියෙන්නෙ..? වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි.. අරකි අපේ මූණු වල දැලි ගාලා..

ඔහු කීවේ දත්මිටි කමිනි.

අරකි කිව්වෙ..?

අම්මා තැති ගැන්මෙන් යුතුව විමසුවාය.

වෙන මොකීද.. අම්මගෙ දූ සිඟිත්ත මිසක්..

ඔහු විඩාබර ලෙස කීවේය.

අම්මා මුවද, දෑසද අයාගෙන මොහොතක් බලා සිටියාය. පුතු කී දෙය පැහැදිලිව වටහා ගැනීමට ඇයට පුළුවන් කමක් නොවිණි. ඔහු කෝප ගැන්වී සිටින ආකාරය අනුව දියණිය අතින් කුමක් හෝ බරපතල වැරැද්දක් සිදු වී ඇතැයි ඇය අනුමාන කළේය.

මොකක්ද මේ සැරේ කරලා තියෙන්නෙ..?

ඇය පුතු ඉඳිරියේ පුටුවකට බර දෙමින් විමසුවේ සිටගෙන සිටින්නට තරම් දෙපා අප්‍රාණික වූ නිසාය.

මේ සැරේ කරලා තියෙන්නෙ සමාව දෙන්න බැරි දෙයක් අම්මා.. මේකි අර මනෝජ් එක්ක එෆෙයාර් එකක් පටන් අරගෙන..

රුවන් නළල පිරිමැද ගනිමින් කීවේ කළකිරුණු හඬිනි. මෙය අම්මාගේ සිත නොරිදෙන පරිද්දෙන් හෙමිහිට කිව යුතු දෙයක් බැව් ඔහුට අමතක වී ගියේ සිතේ වූ කැළඹීම නිසාය.

මොනවා..? මනෝජ්..? අර ටෙලි ඩ්‍රාමා එකේ ප්‍රොඩියුසර්..?

බොහෝ සෙයින් සසල වූ අම්මා විමසුවේ ගොත ගසමිනි.

ඒ මිනිහා තමයි.. මේකිට වැඩිය දෙගුණයක් වැඩිමල් ඇති.. ඒ මදිවට කසඳ බැඳපු එකෙක්.. දැන් ඉතින් මිනිස්සු අනිවාර්යෙන්ම කියයි මේකි උගේ සල්ලි වලට වහ වැටිලා කියලා..

රුවන් කතා කළේ නැවතත් උත්සන්න වීගෙන එන කෝපයෙන් යුතුවය. අම්මා කම්පිත දෑසින් බලා සිටියාය.

දෙයියනේ.. මේකි කළොත් කරන්නෙ ඔහොම විලි සංගයක් නැති වැඩක්මනේ.. අපි කොහොමද දැන් ඉතින් රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්නෙ..

මඳ වේලාවකට පසු අම්මා වැළපෙන්නට වූයේ එසේ කියමිනි. රුවන් ශෝකයෙන් අම්මා දෙස බලා සිටියේය.

වෙව්වට ඔයත් වගකියන්න ඕනෑ පුතා..

යනුවෙන් ඇය තමාටත් දොස් පවරනු ඇතැයි රුවන් බලාපොරොත්තු වූවේය. එහෙත් ඇය හඩා වැටුණා මිස එවන් කිසිවක් කීවේ නැත.

ෆිල්ඩ් එකේ හැටියි, එයාගෙ හැටියි හොඳටම දන්න හින්දා තමයි මම රඟපාන්න යන්න නොදී තියාගෙන හිටියෙ.. මේකටත් යන්න දුන්නෙ ජගත් විශ්වාස කරලා.. දැන් මැදැයි කරගෙන තියෙන හරිය.. මම ජගත්ටත් හොඳවයින් දෙකක් කියන්නම්කො..

රුවන් නැගී සිටියේ ජගත්ට තරවටු කරමිනි.

කාටවත් දොස් කියලා වැඩක් නෑ අපේ එකීගෙ නොසණ්ඩාල කමට.. දැන්මම කතා කරලා ගෙදර එන්න කියන්න.. ඒ ටෙලි ඩ්‍රාමා එකෙන් කමක් නෑ..

ඇය රුවන්ට අණ කළාය.

තාත්තා නැති ගෙයි දහ දුක් විඳලා දරුවො හැදුවෙ ලස්සනට ජීවත් වෙනවා දනින්න මිසක් රට්ටුන්ගෙන් කතන්දර අස්සවන්න නෙමෙයි..

අම්මා නැවතත් හඬන්නට පටන් ගත්තාය. ඇගේ හද පෙළන ශෝකය හා කෝපය හැඳින ගන්නට රුවන්ට අසීරුවක් නොවිණි. ඔහු හැම විටම කටයුතු කළේ අම්මාගේ සිතැඟිවලට අනුකූලවය. එහෙත් යුවනි නිරතුරුවම ඇගේ සිත රිදවූවාය.

දැන් ඇඬුවට වැඩක් නෑ අම්මා.. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා..

විඩාබර හඬින් කියමින් රුවන් සිය කාමරයට වැදුණේය. යුවනිගේත් මනෝජ්ගේත් ඇත්තේ දුර දිග ගිය සම්බන්ධයක් බව අභිෂේක් කීවේය. ඔහු ඇය දකින්නට ඇත්තේ රාත්‍රියක හෝටල් කාමරයකදී විය යුතුය. මීට පෙර ඇය තාරක සමඟද හෝටල් කාමරවලට ගිය බව ඔහුට දැන ගන්නට ලැබිණි. එහෙත් ඔහු ඒවා විශ්වාස කළේ නැත. මේ වතාවේ නම් අවිශ්වාස කරන්නට නොහැකි අභිෂේක් එය වගකීමෙන් පැවසූ නිසාය. රුවන්ගේ ඉහ මොළ දැවෙන්නට විය. නැගණිය බේරා ගැනීමට දැනටමත් තමා ප්‍රමාද වැඩි යැයි හැඟීම ඔහුට ඉවසුම් නොදුන්නේය.

බොහෝ වේලාවක් කල්පනා කල ඔහු ජගත්ට දුරකථන ඇමතුමක් දුන්නේ කිසිවෙකුට දොස් නොපවරන ලෙස අම්මා විසින් දෙන ලද ඔවදනස සිතේ රඳවාගෙනය.

කොහොමද මචං.. යුවනි හොඳට වැඩ කරගෙන යනවද..?

රුවන් ඇසුවේ යම් කට කතාවක් පැතිරී ඇත්නම් ජගත් එය දැනුම් නොදී සිටින බවට විශ්වාසයෙන් යුතුවය.

ආ හොදයි මචං.. ගෑනි දැන් දියුණුයි.. සමහර සීන්ස් රිහර්සල් නැතුවමත් කරන්න පුළුවන්..

ජගත් උද්යෝගිමත් හඬින් කීවේය. වෙන අවස්ථාවක නම් එම ආරංචියෙන් රුවන් බෙහෙවින් උදම් වීමට ඉඬ තිබිණි. එහෙත් මෙමොහොතේ ඔහුට දැනුණේ කළකිරීමක් පමණි.

රුවන්.. මොකද උඹේ කටහඬත් වෙනස් වෙලා වගේ..? මොකක් හරි අවුලක්ද..?

ජගත් විමසුවේ රුවන් මඳ වේලාවක් කිසිවක් නොකියා කල්පනා කරමින් සිටි බැවිනි.

ඇත්තම කියනවා නම් මචං.. මම සෑහෙන අවුල් වෙලා ඉන්නෙ.. මට යුවනි ගැන රූමර් එකක් ආරංචි උනා..

රුවන් වචන ගලපා ගත්තේ අසීරුවෙනි.

ආ.. යුවනිගෙයි මනෝජ්ගෙයි එෆෙයාර් එකක් තියෙනවා කියන එකද..?

ජගත් විමසුවේ එතරම් ගණනකට නැතිවය. රුවන් මවිතයට පත් වූයේය. කලබල විය යුතු යමක් නැතැයි හැඟීම පවා මොහොතකට ඔහුට දැනුණි. සැබැවින්ම එවන් යමක් ඇත්නම් ජගත් මෙවන් සැහැල්ලු ස්වරයකින් කතා කරන්නේ නැත.

ඔව් ඒක තමයි.. ඇත්තටම එහෙම දෙයක් තියෙනවද..?

රුවන් ඕනෑකමින් විමසුවේය.

එහෙම කතාවක් නම් මටත් ආරංචි වුණා.. යුවනි දවස් දෙකක් තුනක් මනෝජගෙ වෙහිකල් එකේ ගිය හින්දා ඒ කතාව හැදෙන්න ඇති මචං.. ගණන් ගන්න එපා.. දන්නවනේ මේ ෆිල්ඩ් එකේ හැටි..

ජගත් එසේ කීවද මේ ආරංචිය එතරම් සැහැල්ලුවෙන් සලකා ඉවත ලන්නට හැකියාවක් රුවන්ට තිබුණේ නැත. ගින්නක් නොමැතිව දුමක් නගින්නේ නැත. යුවනි මනෝජ්ගේ රියෙන් ගමන් කළ පුවත පවා ඔහුට අලුත් ආරංචියක් වූයේය.

කොහොම වුණත් අද වැඩේ බ්‍රේක් එකක් දීලා යුවනිව ගෙදර එවපන් මචං.. මමත් හෙට අර ෆිල්ම් එකේ වැඩ වගේකට අවුට් ස්ටේෂන් යනවා.. ඊට ඉස්සර මං එයාට කියලා යන්න ඕන දේවල් ටිකක් තියෙනවා..

රුවන් බරසාර ස්වරයෙන් පැවසුවේය.

මොනවා කිව්වත් කමක් නෑ මචං.. හැබැයි රූමර් එක ගැන කතා කරන්න එපා.. ඕක වැදගැම්මකට ඇති දෙයක් නෙමෙයි.. ඒත් මමත් යුවනිට ටිකක් අවවාද කළා..

ජගත් කීවේය.

ඒක මම බලාගන්නම්කො..

රුවන් කීවේ මුවින් නොව සිතිනි. ඔහුට හැම දෙනාටම වඩා අභීෂේක් විශ්වාසවන්ත බවින් වැඩි වූවේය.

යුවනි හිතුවක්කාර බවද, පුහු අහංකාරයද කර පින්නා ගත් යුවතියක බව අභීෂේක් දැන සිටියේය. ඇය දුර දිග නොබලා මෝඩ තීරණ ගත්තේද මෝඩ කතා කිව්වේද එම නිසාය. අභිෂේක් තුළ යුවනි කෙරෙහි ඇති වූ පහන් සිත වියැකී ගියේ බොහෝ කාලයකට පෙරය. එහෙත් ඇය අමාරුවක වැටෙනවා දකින්නට ඔහු අකමැති වූවේය.

කවුරු වුණත් කෙල්ලෙක්නේ.. අනිත් එක මට ෆිල්ඩ් එකට එන්නත් උදව් කලානේ.. ඒවා අමතක කරන්න හොඳ නෑ..

ඔහු රුවන්ට දුරකථන ඇමතුමක් දුන්නේ එසේ කල්පනා කිරීමෙන් අනතුරුවය. ඉනික්බිතිව ඔහු යුතුකමක් ඉටු කළ බව සිතා සතුටු වූවේය. ඔහු පියුමිකාට ඒ බැව පැවසුවේ නැත. ඇය කීවේ යුවනි සම්බන්ධ ප්‍රශ්න වලට මැදිහත් නොවන ලෙසය. රුවන්ට කතා කළ බව  පවසා ඇගේ සිත රිඳවන්නට ඔහුට උවමනා නොවිණි. එහෙත් ඔහු බැනුම් අසන්නට හෝ හිත හදාගෙන මාලිංගටත්, උදාරටත් එපුවත පැවසුවේය.

අපි කිව්වනේ ඕක උඹට අදාල මගුලක් නෙමෙයි කියලා.. කිව්වා නාහන එකා උඩින් නම් උඩින් බිමින් නම් බිමින්..

අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියලා කෑ ගැහනකොට අපි එහෙම හිතුවෙ නෑ ඔන්න..

ඔහු සිතූ පරිදි ඔවුහු බැණ වැදුනාය.

ඔහොම හිතක් පපුවක් නැතුව වගේ කතා කරන්න එපා මචං.. ඇත්තටම ඒකි අමාරුවක වැටෙන බව දැන දැන මට නොදැක්කා වගේ ඉන්න බෑනේ.. කවදා හරි දවසක මගේ හිතම මට දොස් කියයි..

අභිෂේක් පාපොච්චාරණයක හඬින් කීවේය.

අනේ නිකම් හිටපන් බං.. උඹ ඕක රුවන්ට කිව්වා කියලා දැන ගත්තොත් එහෙම ඒකි උඹත් එක්ක තවත් ටිකක් වෛර බැඳ ගන්නවා මිසක් වෙන සිද්ද වෙන මඟුලක් නෑ.. මොකද ඒකි අනිත් උන්ගෙ අවවාද අහලා ඕක නවත්තන ජාතියෙ එකියක්යෑ..

මාලිංග කීවේ අමනාපයෙනි. ඔහු කියන්නේ බොරුවක් නොවන බව අභිෂේක්  දැන සිටියේය.

මගේ යුතුකම මම කළානේ මචං.. ඒකෙ ප්‍රතිඵල ගැන මම එච්චර වොරි වෙන්නෙ නෑ..

ඔහු අවධාරණාත්මකව කී කළ මිතුරෝ නිහඬ වූහ.

අයියා විසින් තමා කැඳවන ලද්දේ සැබෑවටම යමක් කීමට ඇති නිසා බව යුවනි සිතුවාය. එය මනෝජ් සම්බන්ධ පුවතක්යැයි ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත.

එය මනෝජ් පැමිණෙන දිනයක් නොවූ බැවින් ඇයට එන්නට සිදු වූයේ නිෂ්පාදන අංශයේ වෑන් රථයකිනි. මනෝජ්ගේ සුබෝපභෝගී රියේ සැප පහසුවට හුරු වී සිටි ඇයට වෑන් රියේ ගමන වදයක් විණි. මැදියම් රැයට ද ආසන්න හෝරාවේ බොහෝ හෙම්බත්ව පැමිණි ඇයට අම්මාගේත්, අයියාගේත් මුහුණුවල අඳුර වෙනසක් වශයෙන් දකින්නට නොහැකි වූවේය.

ඇයි හදිස්සියෙම එන්න කිව්වෙ..?

ඇය අම්මාගේත්, අයියාගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමින් විමසුවාය.

ඒක හෙට උදේ කතා කරන්න බැරියෑ.. දැන් නිදාගන්න..

අම්මා කීවාය.

රුවන් නම් ඇගෙන් කිසිම දෙයක් විමසුවේවත් කිසිම දෙයක් කීවේවත් නැත. මුහුණ කට දොවා ගත් යුවනි වහා ඇඳට වැටුණාය. එමොහොතේ ඇයට වුවමනා කොට තිබුණේ සුවදායක නින්දකි. පසුවදා උදේ හයට පමණ වන තුරුම ඇය ඒ නින්ද එක දිගටම නිදා ගත්තාය. දර්ශන තලවලදී පාන්දිරින් නැගිට ප්‍රමාද වී නිදා ගැනීමට සිදු වීම නිසා ඇයට ප්‍රමාණවත් නින්දක් ලැබුණේ නැත. මනෝජ් හමු වූ දාට මුළු රාත්‍රියම ගත කළේ නිදි වර්ජිතවය. එම නිසා කලාතුරකින් ලද අවස්ථාවෙන් යුවනි උපරිම ප්‍රයෝජන ලබා ගත්තේය.

ඇය උදේ ආහාරත් අනුභව කළ පසුව රුවන් ඇය කැඳවූවේය. අම්මාද පැමිණ පසෙකින් වාඩි ගත්තාය. යම්කිසි තීරණාත්මක කතා බහකට පසුබිම සකස් වෙන බව යුවනිට වටහුණි. අයියාගේ බැරෑරුම් මුහුණ දෙස බලද්දී ඇයට තැති ගැන්මක්ද දැනිණි.

මං මේ දෙයක් ගැන දැන ගන්න ඔයාට එන්න කිව්වෙ.. කවුරු හරි එක්ක ඔයාගෙ සම්බන්ධයක් තියෙනවද..?

රුවන් සෘජුවම ඇසීය.

යුවනි මොහොතකට ගොළු වූවාය. ඇය තොල සපාගෙන කල්පනා කළේ මනෝජ් ගැන කියම්දෝ නොකියම්දෝ දෙගිඩියාවෙනි. ඇය අම්මා දෙස බැලුවාය. එහි වූයේත් ඇයට බලාපොරොත්තු තබා ගත නොහැකි ආකාරයේ බැරෑරුම් පෙනුමකි.

කතා කරන්න..

රුවන් දැඩි හඬින් අණ කළේය. එම ස්වරය යුවනි තුළ නොරිස්සුමක් හට ගැන්වූවේය.

ඇයි ඉතින් ඒක දැනගන්න ඕන කරන්නෙ..?

ඇය විමසුවේ එම නිසාය.

මෙතෙක් ආයාසයෙන් පාලනය කරගෙන සිටි රුවන්ගේ කෝපය වහා සිත මතු පිටට ආවේය. ඔහු ඇය දෙස රවා බැලුවේය.

අම්මයි, අයියයි නැතුව ඒක දැනගන්න තව කෙනෙක් ඉන්නවද..?

අම්මා විමසුවේ කෝපයෙනි.

මම ඇහුවෙ හදිස්සියෙ ෂූටින් කැන්සල් කරලා මට එන්න කිව්වෙ ඕක අහන්නද..? ගෙදර ආව වෙලාවක ඇහුවා නම් ඉවරයිනේ..

යුවනි ඔවුන්ගේ මුහුණු මඟ හරිමින් කීවාය.

මට බයිලා ඕන නෑ.. උත්තරේ කියනවා..

රුවන් අණ කළේය.

දැන් ඔයා ඉන්නෙ බඳින වයසෙ.. කවුරු හරි ඉන්නවා නම් ඒවා කතා බහ කරලා තියා ගන්න එක හොඳයිනේ..

අම්මා කීවේ යුවනිගෙන් තොරතුරු දැනගත හැක්කේ උපක්‍රමශීලීව බව සිතූ නිසාය.

ඔව් ඉන්නවා.. හැබැයි දැන්ම එයා ගැන විස්තර අහන්න එපා..

යුවනි කීවේ බිම බලාගෙනය. අම්මා තිගැස්සුණාය. ඇයට රුවන්ගේ මුහුණ දෙස බැලිණි. රුවන් නැගිට හැඳ සිටි කොට කලිසමේ සාක්කු දෙකේ අත් දෙක රදවාගෙන ඒ මේ අත සක්මන් කරන්නට පටන් ගත්තේ සිතට දැනුණ ආවේගය පාලනය කර ගන්නටය.

ඒ මොකද විස්තර කියන්න බැරි..? ඒ මිනිහා අපිට නොගැලපෙන එකෙක්ද..?

අම්මා කෝපයෙන් විමසිය.

මේ නංගි.. මට තමුසෙව නළව නළව ඉන්න ඕන කමක් නෑ.. මේ ෆිල්ඩ් එකේ මට හොරෙන් කිසි දෙයක් කරන්න තමුසෙට බෑ.. මට ඇත්ත කියනවා ඒ හින්දා.. මනෝජ් කියන නාකියා එක්ක එෆෙයාර් එකක් තියෙනවද නැද්ද..?

රුවන් එවර විමසුවේ සක්මන නවතා යුවනි ඉදිරියේ සිට ගනිමිනි. යුවනි තැති ගත්තාය. අයියා කතා කරන්නේ කරුණු දැනගෙන බව ඇයට පසක් විණි. එහෙත් ඔහු නාකියා වශයෙන් මනෝජ් හැඳින්වීම නම් ඇයට රිස්සුම් දුන්නේ නැත.

මනෝජ් නාකියෙක් නෙමෙයි..

ඇය තරහින් අයියා දෙස බලා කීවේ ඒ වචනම තමා පාවා දෙන බව නොදැනය. අම්මා දෑස ලොකු කරගෙන බලා සිටියාය.

නෑ.. නෑ.. ඉලන්දාරියෙක්.. ගෑනියෙකුයි දරුවො දෙන්නෙකුයි ඉන්න ඉලන්දාරියෙක්..

රුවන් අවඥා සහගත ස්වරයෙක් කීවේය.

මනෝජ් ඉලන්දාරියෙකුට වැඩිය හොඳයි..

යුවනි මුරණ්ඩු හඬින් කීවේ රුවන්ගේ කෝපය තවත් අවුලුවාලමිනි. කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව එකට එක කියන දියණිය දෙස අම්මා කම්පාවෙන් බලා සිටියාය.

කට වහපන්..

රුවන් අත දිග හැර යුවනිගේ කට හරහට පහරක් ගැසුවේය. යුවනි උඩ විසි වී ගියාය. ඇය වහා නැගිට වේදනාව දෙන කම්මුල අල්ලාගෙන අයියා දෙස රවා බැලුවාය. තව වරක් පහර දුන්නොත් ඔහුටද පෙරළා පහර දීමට තරම් ආවේගයක් ඇය තුළ ඇති වී තිබිණි.

අපි රෙද්දක් ඇඳලා පාරේ බැහැලා යන්නෙ කොහොමද උඹ ඔය කරන වැඩ වළින්..? උඹට මිනිහෙක් ඕනෑ නම් කසාඳ බැඳපු, ළමයි ඉන්න එකෙක් ඇරෙන්න වෙන එකෙක් හිටියෙම නැද්ද..? මට හිතෙන්නෙ උඹ උගේ සල්ලි වලට වහ වැටිලා..

අම්මා වේදනාවෙන් හා කෝපයෙන් යුතුව කියාගෙන ගියාය.

මනෝජ් අයියට සල්ලි තියෙනවා තමයි.. එයා මට ගේකුත් අරන් දීලා තියෙන්නෙ.. ඔයාලා මට මොනවද කෙරුවෙ..?

යුවනි සෘජුවම අයියා දෙස බලා විමසුවාය. රුවන්ට දැනුණේ අනපේක්ෂිතව හිසට දැඩි පහරක් එල්ල වූ කලෙක දැනෙන ආකාරයේ කම්පනයකි. අම්මාටද හුනස්සෙන් නැගිටුණේ ඉබේටමය. මෙලෙස අකෘතඥ ලෙස කතා කිරීමට ශක්තියක් දියණියට තිබීම පිළිබඳව ඇයට පුදුම සිතිණි.

පහු ගිය කාලෙ ගෙයක් ගන්නවා කිය කිය බයිලාගැහුවෙ ඒකයි එහෙනම්..

ඔහු ඉහළට පහළට හිස සලමින් තමාටම කියා ගන්නාක් මෙන් කීවේය. අභිෂේක් කීවාක් මෙන් යුවනිගේ සම්බන්ධය බොහෝ දුරදිග ගිය එකකි. දැන් ඇය ආපසු හරවන්නටනොහැකි බව ඔහු කල්පනා කළේ දැඩි ශෝකයෙනි.

උඹ ඔය තරමටම කෙළෙහි ගුණ නොදන්න එකියක් කියලා මම නම් හිතුවෙ නෑ දුවේ.. මෙච්චර කලුත් උමව හදා වඩා ගත්තෙ ඔය මිනිහද..?

අම්මා කතා කළේ හඬමිනි. එහෙත් ඇගේ කඳුළු හමුවේවත් යුවනිගේ මුරණ්ඩු සිත සැලුනේ නැත.

අම්මලා දරුවො හදාවඩා ගන්න ඕනෙ තමයි..

ඇය නොසැලකිල්ලෙන් කීවේ අම්මාගේ සිත තවත් පාරවමිනි.

ආයෙ ඉතින් අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ අම්මෙ..

දැඩි පරාජිත හඬින් කියූ රුවන් අසුනකට ඇද වැටී තදින් නළල තෙරපා ගත්තේය. තාත්තා මිය ගියාට පසුව හැම දුකක්ම දරාගෙන මහ මෙරක් සේ නොසැලී සිටි ඔහුට මේ පහර දරා ගත නොහැකි වූවේය. ඔහුගේ මුළු ආත්මයම කීතු කීතුවලට ඉරී විසිරී ගියේයය. ඔහු පොඩි දරුවෙකු මෙන් ඉකිබිඳ හඩන්නට ගත්තේය. එදෙස බලා සිටියදී ඇවිලී ගියේ අම්මාගේ පපුවය.

බලපන්.. තාත්තා මැරුණු දවසෙ ඉඳලා ගෙදරට තාත්තා කෙනෙක් වුණ අයියවයි උම මේ ඇඬෙව්වෙ.. තාත්තගෙ මළ ගෙදරින් පස්සෙ ඔය කොල්ලගෙ ඇහෙන් කඳුළක් වැටෙනවා මම ඔය දැක්කාමයි..

අම්මා කතා කළේ හඬමිනි.. එහෙත් යුවනිට කම්පාවක් දැනුනේ නම් නැත.

මෙතන මළ ගෙයක් වෙලා නෑනේ අම්මෙ.. මම මිනිහෙක් එක්ක යාළු වුණේ මට ඕන හින්දා.. ඒ මිනිහා බැඳලද, ළමයි ඉන්නවද කියන එක මගේ ප්‍රශ්නයක් මිස අනිත් අයගෙ ප්‍රශ්නයක් නෙමෙයි..

ඇය කතා කළේ අමනාපයෙනි. අම්මා මොහොතකට අන්ද මන්ද වී බලා සිටියාය. රුවන් වචනයක්වත් කතා කරගත නොහැකි තරමට විඩා බර වී සිටියේය.

මම නම් ආයෙ ඔය ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ අම්මෙ.. මට පුළුවන්කමක් තියෙනවා නම් මෙයාගෙ ඇස් දෙක ඇරවන්න..

මඳ වේලාවකට පසු අසීරුවෙන් වචන ගලපාගෙන එසේ කියූ රුවන් නැගිට හදිසියේ ගිලන් වූවෙකු  මෙන් වැනි වැනී ගෙතුළට ගියේය.

එයා හිතලා තියෙන්නෙ මගේ ඇස් පියවිලා කියලා වෙන්න ඇති..

ගස්සාගෙන කියූ යුවනිද ආපසු හැරුනේ ගෙතුළට යන්නටය. එහෙත් ඇයට යා නොදී අම්මා ඇගේ බාහුවෙන් අල්ලා ගත්තාය.

ඔහොම හිටපන්.. කොහෙද යන්නෙ..? තවම කතාව ඉවර නෑ..

ඇය කීවේ කෝපයෙන් දත් මිටි කමිනි..

තවත් මොනවා කතා කරන්නද..? මම සිංහලෙන් කිව්වනේ මනෝජ් එක්ක සම්බන්ධයක් තියෙනවා.. එයා කවදා හරි දවසක මාව බඳිනවා.. එච්චරනේ..

යුවනි නොසතුටින් එසේ කියා අම්මාගේ අතින් සිය බාහුව මුදා ගත්තාය. ඇය අම්මාට කීවේ සත්‍යයක් නොවේ.. ඇය විවාහ කර ගන්නා බවක් මනෝජ් කිසිමදාක කියා නොතිබිණි.

ආදරේක රන දෙන්නෙක් කසාඳ බඳන්න ඒන කියලා කොහෙවත් ලියවිලා නෑ යුවනි.. ඇත්තටම කියනවා නම් බැන්ඳට පස්සෙ ආදරේ අඩුවෙනවා.. මෙහෙම ඉන්න එක තමයි හොඳම විදිය..

මනෝජ් කිහිප වරක්ම කියා තිබිණි. එය සැබැවක් යැයි යුවනි ඇදහුවාය.

බැඳලා දරුවො දෙන්නෙකුත් ඉන්න මිනිහා කවදාහරි උඹවත් බඳිනකම් බලාගෙන ඉන්නද උඹෙ කල්පනාව..? මෝඩියෙ.. අයියා කියනවා වගේ උමේ ඇස් වැහිලා.. ඇස් ඇරලා ඇත්ත දිහාවෙ බලපන්.. එක එකාගෙ සල්ලි වලට ආත්මය පාවලා දෙන්න යන්න එපා.. කවදා හරි දවසක උමටම පසුතැවිලි වෙන්න වෙයි..

අම්මා කීවේ කෝපයෙන් මෙන්ම දියණියගේ ළඳ බොළඳකම පිළිබඳව උපන් අනුකම්පාවෙන්ද යුතුවය. යුවනි උපහාසාත්මකව සිනාවක් පෑවේය.

අම්මා දන්නෙ නෑ මනෝජ් කොච්චර හොඳ කෙනෙක්ද කියලා..

ගෑනියෙකුයි දරුවො දෙන්නෙකුයි ඉද්දි තවත් ගෑනු එක්ක නාඩගම් නටන මිනිහෙකුගෙ තියෙන හොඳේ මොකක්ද..? උඹ අදම මේ දැන්ම ඔය සම්බන්ධෙ නවත්තලා දාන්න ඕනෑ..

අම්මා අණ කළාය..

කවුරු මොනවා කිව්වත් මං මේ සම්බන්ධෙ නවත්තන්නෙ නෑ.. නෑ.. නෑමයි..

යුවනිකා කතා කළේ කෝපයෙන් පුපුරමින් කකුල පොළවේ ගසමිනි. මෑත මතක ඇති කාලයක කෝප නොවූ තරමට අම්මා කෝප වූවාය.

උම එච්චර හිතට අරගෙන ඉන්නෙ එහෙනම්.. නේද..?

එහෙම තමයි.. ඇයි නැවැත්තුවෙ නැත්නම් මට මොනවා කරන්නද..?

යුවනි කතා කළේ තමා ඉදිරිපිට සිටින්නේ අනන්ත අප්‍රමාණ දුක් විඳ තමා හැඳූ වැඩූ අම්මා නොව තරහකාරියකට පරිද්දෙනි. අම්මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. වහා ඉදිරියට පැන්න අම්මා යුවනිගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයට පහරපිට පහර දෙන්නට වූවේය.

අයියෝ.. එපා.. එපා.. අතාරින්න.. මාව අතාරින්න..

යුවනි අම්මාගේ අතින් මිදෙන්නට තැත් කරමින් විලාප කීවාය.. එහෙත් අම්මාට එමොහොතේ ලැබී තිබුණේ අයෝමය ශක්තියකි.

ඔව් අතාරිනවා තමයි.. මං උඹව සදහටම අතාරිනවා.. උඹ වගේ හිතුවක්කාර, කෙළෙහිගුණ නොදන්න ජරා වැඩ කරන බැල්ලියෙක් මගේ දුව කියලා කියන්න මට පුළුවන්කමක් නෑ.. පලයන් මේ ගෙදරින්.. දැම්මම පලයන්.. අම්මයි, අයියයි මැරුණා කියලා හිතාගෙන පලයන්.. ආයෙ මේ ගෙදර පස් පාගන්නවත් එපා..

හති ලමින් කියාගනෙ ගිය අම්මා යුවනි තල්ලුකොට දැමුවාය. ඇයවෙහෙසට පත් වූ නිසා නොවන්නට යුවනි තවත් ගුටි කනවා නොඅනුමානය.

යනවා තමයි.. මේ කසි කබල් ගෙදර නැති වුණාට මට කමක් නෑ.. මට හොඳ ලස්සන ගෙයක් තියෙනවා..

සිරුරේ වේදනාව දෙන තැන් පිරිමැද ගනිමින් හඬ හඬා කියූ යුවනි සියකාමරයට ගියාය. අයියා ගැන මෙන්ම අම්මා ගැනත් උපන් කෝපයෙන් ඇය දැවෙමින් සිටියාය.

මට ආයෙ මේ ගෙදර පස් පාගන්න කොහොමත් වුවමනාවක් නෑ..

මුමුණාගත් යුවනී ගමන් මලු දෙක තුනක් ගෙන සිය ඇඳුම් පැළදුම් සියල්ල එයට පුරවන්නට ගත්තේය.

අම්මා ඉකිබිඳිමින් හඬා වැටෙන හඩ හැර වෙනත් කිසිදු හැල හොල්මනක් නිවස තුළ තිබුණේ නැත. යුවනි මනෝජ්ට දුරකථන ඇමතුමක් දී සිදු වූ සියල්ල පැවසුවාය. මනෝජ් නිහඬවම අසා සිටියේය.

ඔයා ගම කාලනේ යුවනි.. ඔයාට තිබුණනේ ඒක නිකම් කට කතාවක් කියලා අම්මලට කියන්න..

ඔහු කීවේ අමනාපයෙනි. තමා සනසනු වෙනුවට ඔහු එසේ කීම පිළිබඳව යුවනි තුළ කෝපයක් ඇති වූවේය.

කට කතාවක් නෙමෙයිනේ ඉතින් එහෙම කියන්න..

ඒක ඇත්ත.. ඒ වුණාට මගේ පැත්තෙ තියෙන ප්‍රශ්න ඔයා දන්නවනේ.. ඒහා හෙමින් හෙමින් විසඳා ගන්නකන් අපි පරිස්සම් වෙන්න ඕනෙ..

ඔහු කියද්දී තමා ඉක්මන් වූවා වැඩියැයි යුවනිට සිතුණි. එහෙත් දැන් කළ හැකි යමක් තිබුණේ නැත.

මම අපේ ගෙදරට යනවා..

ඇය ඔහුට දැනුම් දුන්නාය.

හරි.. ඔයා යන්නකො.. මම හෙට ආවම කතා කරමු..

ඔහු  පැවසුවේ ප්‍රසාදයෙන් නොවන බව යුවනිට වැටහුණි. එහෙත් තව දුරටත් මේ නිවසේ රැඳී සිටීමට පුළුවන්කමක් ඇයට තිබුණේ නැත.

කුලී රියකට කතා කළ යුවනි බෑග් තුන, තුන් වරකට පිටතට ගෙනාවාය. ඇය නිවසින් පිට වෙද්දී අම්මා හෝ අයියා පෙනෙන්නට සිටියේ නැත.

එයාලටම කවදා හරි තේරෙයි මනෝජ් කොච්චර හොඳ කෙනෙක්ද කියලා..

කුලී රිය පිටත්ව යද්දී අවසන් වතාවට නිවස දෙස බලමින් ඇය මුමුණා ගත්තාය.



No comments:

Post a Comment