Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |




සුවබර හිමිදිරි උදයේ, අතිශයින් ප්‍රිය කරන යුවතිය වම්පසින් හිඳුවාගෙන රිය පැදවිම තරම් සුන්දර අත්දැකීමක් තවත් තිබේදැයි අභිෂේක් කල්පනා කළේය. ඔහුගේ සිත ප්‍රීතියෙන් තටු සලමින් තිබිණි. තාත්තා දුන් අවවාද සිත අසළකටවත් පැමිණියේ නැත. කාරට ගොඩ වදින්නටත් නොහැකි තරමටම මානසිකව කඩා වැටුණ කළ සිත ශක්තිමත් කෙරෙව්වේ පියුමිකාය.

ඔයා කවදාවත් මාව ඔයාගෙ කාර් එකෙන් එක්කරගෙන ගිහින් නෑ..


ඇය එදා කීවේ තුළ ආත්ම ශක්තිය ඇති කිරීම පිණිසය. එහෙත් ඔහු එය බාර ගත්තේ බරපතල චෝදනාවක් වශයෙනි. ඉතා ඉක්මනින්ම එම චෝදනාවෙන් නිදහස් වන්නට ඔහු එදා සිතා ගත්තේවය. දැන් මේ එළැඹී ඇත්තේ බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ එම අවස්ථාවය.

ලා කොළ පාට ගවුමකින් සැරසී, ඉමිහිරි, මුදු විලවුන් සුවඳක් කාරය පුරාම පතුරවමින් සිටි සුන්දර සුරංගනාව දෙස අභිෂේක් බැලුවේ සිනා සපිරි වතින් යුතුවය.

මගේ දිහාවෙ බල බල කාරෙක ඩ්‍රයිව් කරන්න ගිහින් ආයෙන සැරයක් හප්පගන්න පුළුවන් නම්..

පියුමිකා තරවටු ස්වරයෙන් කීවාය.

ඒ බිජ ජනක වූත් කටුක වූත් අත්දැකීම සිහිපත් වෙද්දී අභිෂේක් ඇතුළාන්තයෙන් සැලී ගිය බව සැබෑය. එහෙත් ඔහුගේ දෙතොල් වූ සිනාව මොහොතකටවත් වෙනස් වූයේ නැත.

ඔයා එක්ක ඉන්නකොට මට සිද්ධ වෙන්නෙ හොදම දේවල් මිසක් නරක දේවල් නෙමෙයි බබී..

ඔහු කීවේ හැඟුම්බර ස්වරයෙනි. එම ප්‍රකාශයෙන් ප්‍රබෝධයට පත් බවක් අඟවමින් ඇය නෙත් කොන් බැල්මක් හෙලුවාය. ඒ බැල්මෙන් ද ඔහුගේ සිත පිනා ගියේය.

නරක දෙයක් සිද්ධ උනත් හැමදේම සිද්ධ වෙන්නෙ හොදටයි කියලා හිතන්න..

ඇය කිව්වාය.

ඔයා ළඟ ඉන්නකොට මට කරන්න බැරි දෙයක් නෑ කියලා ඔයා දන්නවනේ..

අභීෂේක් කීය.

පියුමිකාගේ මුහුණේ කල්පනාකාරී පෙනුමක් ඇඳිණි. පාර වළවල් සහිත වූ බැවින් ඔහුට අවධානය වෙනතකට යොමු කරන්නට හැකියාවක් නොවිණි. එම නිසා ඇගේ මුහුණේ වෙනස ඔහු දුටුවේ නැත.

හැමදාම ළඟ ඉන්න බැරි උනොත් මොකද වෙන්නෙ..?

ඇය ඉතා සෙමින් ඇසුවත් අභීෂේක්ගේ සවනතට එය පතිත වුණේ හෙණ හඬක කම්පනයෙනි. ඔහුත් නොදැනුවත්වම කාරයේ වේගය බොහෝ සෙයින් බාල වූවේය. ඔහුට පෙරදා රැයේ තාත්තා විසින් කියන ලද දේවල් මතක් විණි.

ඇයි බබී එහෙම කිය්නනෙ..? මගෙන් ඈත්වෙලා යන්න අදහසක් හිතේ තියෙනවද..?

ඔහු බැගෑපත් ස්වරයෙන් විචාළේය.

මං කිව්වනේ අභී.. ඉස්සරහට මොනවා සිද්ධ වෙයිද කියන්න අපිට බෑ.. කාලයට ඉඩ දීලා බලාගෙන ඉඳිමු කියලා..

පියුමිකා සිහිපත් කළාය.

ඔය එකම දේ ආයෙ ආයෙම කියන්න එපා නෙතූ..

අභිෂේක් එවර නොරිස්සුමින් කීවේ කාරයේ වේගය මඳක් වැඩි කරමිනි. ඇය මඳ සිනාවක් පෑවාය.

එතකොට කොහොමද කියන්න ඕනෑ..?

ඇය සරදම් හඬින් අසද්දී ඔහු තුළ වූ නොරිස්සුම තුනී වී ගියේය.

ඔයා දන්නවද ඊයෙ රෑ අපේ තාත්තා මට කිව්ව දේ..?

වෙනස්ම හඬකින් කතාව ඇරඹූ අභීෂේක් පෙරේදා රැයේ තාත්තත් තමාත් අතර ඇති වූ කතා බහ එයාකාරයෙන්ම පැවසීය. පියුමිකා අසා සිටියේ මඳ සිනාවක් දෙතොල රඳවාගෙනය. ඒ කතාව ඇසීමෙන් ඇය තුළ පුංචි වෙනසක්වත් ඇති වූ බවක් නොපෙනීම අභිෂේක්ගේ පුදුමයට හේතු විය.

ඔයා දන්නවද මං ඔයත් එක්ක කිතුල්ගල යනවා කියලා කිව්වාම අපෙ අම්මයි තාත්තයි කියපු දේ..?

ඇය සිනාමුසුම කීවාය.

මං දන්නෙ කොහොමද..?

ඔයාලගෙ තාත්තා කියපු දේවල්ම තමයි.. එයාලටත් ඕන වුණේ ඔයාගෙයි මගෙයි තියෙන්නෙ මොන වගේ සම්බන්දයක්ද කියලා දැන ගන්න..

පියුමිකා කට කොණකින් සිනාසුනේය.

ඉතින් ඔයා මොනවද කිව්වෙ..?

ඔහු කුතුහලයෙන් විමසිය.

මමත් කිව්වෙ ඔයා මගේ හොඳ යාලුවෙක් කියලා විතරයි..

අපි දෙන්නම කරන්නෙ හිත රවට්ටා ගැනිල්ලක් නෙතූ.. ඇයි අපිට බැරි අපිටම අවකං වෙන්න..

ඔහු දොම්නසින් විචාළේය. පියුමිකා ඊට පිළිතුරු වශයෙන් කිසිවක් කීවේ නැත. ඒ වන විට  ඔවුන් සිටියේ කඩුවෙලට ආසන්න වෙමිනි. නගරය අවදි වෙන්නට පටන්ගෙන තිබිණි. පාන් කාරයෝ කිරි කාරයෝ සිය රාජකාරිය අරඹා සිටියාය. බොහෝ කඩවල දොර ලෑලි නම් තවමත වැසී තිබිණි. පාර අද්දර රටකජු, බඩ ඉරිඟු තම්බන කාන්තාවෝ ලිප් අවුලවන්නට සූදානම් වෙනු පෙනිණි.

මට තම්බපු රටකජු කන්න ආසයි..

පියුමිකාට කියැවිණි.

එහෙම නම් ඉතින් ගමන යැවෙන එකක් නෑ.. මොකද රටකජු බඳනවට වඩා වෙලාවක් යනවලු තම්බන්න..

ඇය තුළ ඇති සරල, බොළඳ ආශාවන් පිළිබඳව පුදුමයෙන් සිතමින් අභිෂේක් කීවේය. ඇගේ මුහුණ මුකුලිත විය.

එනකොට තිබුණොත් අරගෙන දෙන්නම්..

ඔහු කීවේය. පියුමිකා හිස සැලුවාය.

ඔයා දන්නවද අභි.. අපේ තාත්තයි අම්මයි කිව්වා ඔයා ගැන උනත් කමක් නෑ සීරියස්ලි හිතලා අනාගතේ ගැන තීරණයක් ගන්න කියලා..

පියුමිකා එය හෙළිදරව් කළේ අවිස්සාවෙල්ල පාරට වැටී මඳ දුරක් ගමන් කළ පසුවනය. අභිෂේක්ට සිය දෙසවන් අඳහාගත නොහැකි වූවේය. පාර අද්දට කොට රිය නැවැත්තූ ඔහු ඇගේ දෑතින්ම අල්ලා ගත්තේ ප්‍රීතියෙන් ඉපිලෙන මුහුණින් යුතුවය.

ඔය ඇත්තමද කෙල්ලෙ ඔයා කියන්නෙ..? අන්කලුයි ආන්ටියි ඒ විදියට කිව්වා..?

කිව්වා නේන්නම්..

පියුමිකා හිස සැලුවාය. එහෙත් ඔහුගේ මුහුණේ වූ සතුටින් අඬක් වත් ඇගේ මුහුණේ නම් දකින්නට නොවිණි.

ඉතින් එහෙම නම් ඇයි අපි අනාගතේ ගැන නොහිතන්නෙ..?

ඔහු අසද්දී පියුමිකා සුසුමක් හෙළමින් සිය දෑත මුදා ගත්තාය. අභිෂේක්ගේ සිත රිදිණි. මේ ගැටළුවේදී තවමත් ඇය පසුබාන්නේ මන්දැයි ඔහුට සිතාගත නොහැකි වූයේය.

අපිට ලැබෙන්න දෙයක් තියෙනවා නම් කවදා හරි ලැබෙයි අභී..

ඇය සිනාසෙන්නට වෙර දරමින් කීවාය.

සියල්ල කාලයට අනුරූපව සිදු වෙනු ඇතැයි ඇගේ විශ්වාසය තව දුරටත් වලංගු බව අභිෂේක්ට වැටහිනි. සිහින් සුසුමක් හෙලූ ඔහු නැවතත් රිය පණ ගන්වා ගත්තේය.

හැමදේම සතුටින් කෙළවර වෙනවා කියලා මට හොඳටම විශ්වාසයි බබී.. ඔයාගෙ අම්මයි තාත්තයි මට කැමති වුණ එකම ලොකු ජයග්‍රහණයක්.. මාව වෙන කෙනෙකුට අයිති වෙනවා දකින්න ඔයත් කැමති නෑනේ..

ඔහු මුමුණා ගත්තේ ඇයට නෑසෙන්නටය. ඔහුගේ සිත නැවතත් කුරුළු පිහාටුවක් මෙන් සැහැල්ලු වෙමින් තිබිණි.

සිත් මලට සෙනෙහසේ
පොද වැස්ස වැටෙනවා
රත්තරන් සිහිනයක
සුවඳ මට දැනෙනවා..

ඔහු පියුමිකාගේ ගීතයක පද කිහිපයක් මිමිණුවේය.

අයියෝ.. ඔයා ඔය සිංදුව අනුභව කරනවනේ..

ඇය මුව පොපියා හිනැහුණාය. ඒ මුව සිප ගැනිමේ ආශාව ඔහු යටපත් කොට ගත්තේ දැඩි ආයාසයෙනි.

ඔයාට සිංදු කියන්න පුළුවන්.. මට බෑ.. ඔයාට පීනන්න පුළුවන්.. මට බෑ..

ඔහු මැසිවිල්ලක හඬින් කියාගෙන ගියේය.

ඔයාට රඟපාන්න පුළුවන්.. මට බෑ..

ඇය කිකිණි හඬින් සිනාසෙමින් පදය පූරණය කළාය.. ඔහුටද හිනා ගියේය.

ඒක නෙමෙයි අභී.. අර ෆිල්ම් එකට මොකද වුණේ..?

පියුමිකා විමසුවේ මඳ වේලාවකට පසුවය. චිත්‍රපටය ගැන කතා කිරීම ඔහු මෙන්ම ඇයද අත හැර තිබිණි. එහෙත් මෙමොහොතේ සිත් සැහැල්ලුව පැවති බැවින් ඕනෑම නීරස මාතෘකාවක් ඕස්සේ කතා කිරීමට පුළුවන් වූයේය.

ඒක තවම සාකච්ඡා මට්ටමේ තියෙනවා.. එයාලට ගැලපෙන නිළියක් හම්බ වුණාම පටන් ගනියි.

අභිෂේක් මඳ සිනාවක් පාමින් කීවේය.

එතකොට නිළිය ඔයාට ගැලපෙන්න ඕන නැද්ද..?

මට ඔය කවුරුත් එකයි.. ගාමිණි මාලනී, විජය මාලනී, සනත් සබීතා වගේ නළු නිලි ජෝඩු දැන් හැදෙන්නෙ නැහැ..

ඔයා කැමතිද ඒ ජෝඩු සංකල්පයට..?

පියුමිකා එවර විමසුවේ බැරෑරුම් ස්වරයෙනි.

නෑ.. මම නම් කැමති නෑ..

ඔහු ස්ථීර හඬින් කීය.

ඇයි ඒ..?

මිනිස්සු එතකොට සැබෑ ජීවිතයෙදිත් ඒ දෙන්නවම දකින්න බලාපොරොත්තු වෙනවා.. ඒක හරි කරදරයක්..

එතකොට ඔයාට අපි දෙන්නා ගැන මොකද හිතෙන්නෙ..? සජා කියන්නෙ දැන් ලංකාවෙ ඉන්න ජනප්‍රියම ජෝඩුව අපි දෙන්නලු..

ඇය කිවේ සිනාසෙමිනි.

ඒක මට කොච්චර ආඩම්බරයක්ද කෙල්ලෙ..? අනිත් එක අපි රඟපානවා නෙමෙයි.. ඇත්තටම අපි දෙන්නගෙ අපිදෙන්නගෙ..

ඔහු හැඟුම්බර ලෙස කීවේ සුක්කානමෙන් මුදාගත් වමතින් ඇගේ සුරත තරයේ අල්ලා ගනිමිනි. ඇය අත මුදා ගැනීමට තැත් කළේවත් කිසිවක් කීවේවත් නැත. ඔහු අමන්දානන්දයට පත් වූයේය.

එහෙත් සිය සිතේ ඔහු කෙරෙහි වූ දුරස්තර බව වෙනස් නොවී පවතින බැව් පියුමිකා දැන සිටියාය. එය වචනයෙන් විස්තර කිරීඹට අසීරු හැඟීමක් වූයේය.

හොදා හෝදා මඩේ දානවා වගේ හැම වෙලාවෙම මතක් කරන්න එපා.. මිනිස්සු අතින් වැරදි වෙනවා තමයි.. ඒත් එකම වැරැද්ද හැමදාම කරන්නෙ නෑ..

සජානි විසින් දෙන ලද ඒ අවවාදය පියුමිකා තදින්ම හිතට ගත්තාය. ඇය යුවනි පිළිබඳව වචනයක්වත් නැවත නොදෙඩුවේ එහෙයිනි. එහෙත් ඇගේ පැත්තෙන් පියවා ගත නොහැකි පරතරයක් හැම විටම තිබිණි.

අපි කවදා හරි අපේම වෙන්නෙ ඒ පරතරය පියවුණොත් විතරයි.. අභි..

ඇය මුමුණා ගත්තාය.

ඇය ඔහුගේ සිත නොරිදෙන ලෙසින් හෙමිහිට අත මුදා ගත්තාය. පාරේ වංගු සහිත කොටසකට අවතීර්ණ වෙමින් සිටි නිසා ඔහු දෑතින්ම සුක්කානම අල්ලා ගත යුතු විණි. ඇගේ ක්‍රියාව වෙනසක් ලෙස ඔහු නොදුටුවේ හෙයිනි.

බබී.. දැන් මට හොඳටම බඩගිනියි පැටියො.. කොහෙන් හරි බ්‍රෙක්ෆස්ට් අරගෙන යමුද..?

අභිෂේක් විමසුවේ පාර දෙපස ඇති භෝජනාගාර දෙස සෝදිසියෙන් බලමිනි.

අපිට අද බ්‍රෙක්ෆස්ට්, ලන්ච් ඔක්කොම කිතුල්ගල රෙස්ට් හවුස් එකේ ලෑස්ති කරලා තියෙනවා කිව්වා.. ඒත් ඉතින් ඔයාට බඩගිනි නම් කාලා යමු..

ඇය කීවාය.

අම්මා මඟදි කන්න මොනවා හරි හදලා දෙන්නයි ලෑස්ති වුණේ.. ඒත් මම එපා කිව්වා පරක්කු වෙන නිසා..

අභිෂේක් කියද්දී පියුමිකා අත මිට මොලවාගෛන ඔහුගේ බාහුවට පහරක් ගැසුවේ කෙළිලොල් අයුරිනි.ඔහු මවිතයෙන් ඇය දෙස බැලීය.

ඇයි මෝඩයෙ.. හදවගෙන එන්න එපැයි.. ආන්ටිගෙ කෑම හරි රසයිනේ..

යනකොට මොනවා හරි හදලා තියන්න කියලා කොල් එකක් දෙමු..

ඔහු කීවේ පසුතැවිල්ලෙනි..

ගමන ගැන තිබූ උනන්දුව නිසාම පියුමිකා ඔහුගේ මව උයන කෑම කන්නට ප්‍රිය කරන බැව් ඔහුට අමතක වී ගියේය. ඇගේ මව ව්‍යාපාරවලටම කාලය මිඩංගු කරන බැවින් නිවසේ ඉවුම් පිහුව් කටයුතු කෙරෙන්නේ සේවිකාවන් අතිනි. පියුමිකා ඒවාට ප්‍රිය කලේ නැත.

වෙලාවකට මම උයාගන්නවා.. ඒත් එහෙම උයාගෙන කන්න මම ආස නෑ..

අභීෂේක්ගේ අම්මා විසින් සකස් කරන ලද කෑම වේලක් ආශාවෙන් භුක්ති විඳිමින් පියුමිකා කී ආකාරය ඔහුට මෙමෙහොතේ සිහිපත් විණි.

අපි ආපහු යනකොට කීය වෙයිද කවුද දන්නෙ..? අම්මව බොරුවට මහන්සි කරන්න එපා.. බලන්න හොද රෙස්ටුරන්ට් එකක් තියෙනවද කියලා..

පියුමිකා කීවාය.

එක්කො අපි රෙස්ට් හවුස් එකෙන්ම කමු..

ඒ වතාවේ අභිෂේක් කීවේ ඇයට පුදුමයට පත් කරමිනි.

ඒ මොකද..? ඒ සැරේ බඩගින්න ගියාද..?

නෑ.. අපි මෙහේ කොහෙන් හරි ජරාවක් කාලා ගිහින් එහේ හොඳ බ්‍රෙක්ෆස්ට් එකක් තිබ්බොත් මට දුක හිතෙයි..

අභිෂේක් දුක්මුසු හඬක් මවාගෙන කීවේය. ඔහු එය කී ආකාරයට පියුමිකාට හොඳටම හිනා ගියේය. ඔහු ඒ කිකිණි සිනාවට සවන් දී සිටියේ මහා ලෝබකමකින් යුතුවය.

මනෝජ් සහ යුවනි රාත්‍රිය ගත කළේ කිතුල්ගල තානායමේය. ඇය පෙරදා දර්ශන තලයෙන් පිට වූයේ මිතුරියකගේ උපන් දින සාදයකට යන බව කියමිනි. රුවන් ඇය පිළිබඳ ජගත්ගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් විමසුවහොත් එසේ කියවන්නට ඇයට වුවමනා වී තිබිණි.

ප්‍රොඩක්ෂන් වෑන් එකක් තව ටිකකින් පිටත් වෙනවා.. ඒකෙ යන්න පුළුවන්නේ..

ඇගේ වචන මුළුමනින්ම විශ්වාස නොකළ ජගත් ඇය දෙස එක විදියක බැල්මක් හෙළමින් පැවසුවේය.

ඒකෙ යනකොට ලේට් වෙනවා ජගත් අයියා.. මම කැබ් සර්විස් එකක යන්නම්..

ඇය කීවේ කලබලයෙනි. මේ වන විටත් කුලී රිය දර්ශන තලයට පිටත් කොට ඒවා ඇති බව ඊට මොහොතකට පෙර දුරකථන ඇමතුමක් දුන් මනෝජ් පැවසුවේය.

දර්ශන තලය පිහිටියේ අවිස්සාවෙල්ල නඟරයෙන් මඳක් ඈතට වෙන්නටය. එහි පැමිණ යුවනි කැටුව යාම ඔවුන් දෙදෙනාටම නොගැලපෙන බැවින් මනෝජ් නගරයේ රැදි කුලී රථයක් ඇය වෙත යවන්නට කටයුතු කළේය.

මතක තියාගන්න යුවනි, ඔයාව මේ ටෙලි ඩ්‍රාමා එකට ගත්තෙ මම.. රුවන්ගෙන් මමත් දොස් අහන තැනට නම් වැඩ කරන්න එපා.. ආයෙ මට මේක කියන්න ඉඩ තියන්න එපා..

කුලී රිය පැමිණියාට පසුව යුවනි සමු ගනිද්දී ජගත් දැඩි අවදානාත්මක හඬකින් කීවේය. යුවනි හා මනෝජ් අතර සම්බන්ධයක් ඇති බවට ක්ෂේත්‍රයේ ඇති කට කතා ඔහුගේ කනටත් වැටී තිබිණි. ඔහු ඒවා මුළුමනින්ම විශ්වාස කළේවත් හැබැර කළේවත් නැත.

මං වැරැද්දක් කරන්නෙ නැහැ ජගත් අයියා..

යුවනි ඔහුගේ මුහුණ මඟ හැර ඉවත බලාගෙන කීවාය.

ඔයා ගෑනු ළමයෙක්.. වැරැද්දක් කළත් ඒක බලපාන්නෙ මට නෙමෙයි ඔයාටමයි කියලා හොඳට මතක තියාගන්න.. පහුගිය දවස්වල සිද්ද වුණ දේවල් මතකනේ..

ඔහු අනතුරු ඇඟෙවූයේය. එහෙත් යුවනි සිය හිතු මනාපයට මිස අනෙක් අයගේ සිතැඟි වලට අනුකූලව කටයුතු කළේ කලාතුරකිනි. ජගත් ගේ දේශනයට නොඉවසිල්ලෙන් සවන් දෙමින් සිටි ඇය එය අවසන් වූ වහාම මිටින් හළ කිරිල්ලියක් සේ දිව ගොස් කුලී රියට නැගුණාය.

අද ජගත් අයියා මාර ලෙක්චර් එකක් දුන්නනේ මනෝජ් අයියෙ..

නගරයට වී නොසන්සුන්ව බලා සිටි මනෝජ් යුවනිගේ පමාව පිළිබඳ දොස් නැගූ කල ඇය කීවේ සිනාසෙමිනි.

ඒ මොකටද..? ඔයා ඇක්ටින් වැරැද්දුවද..?

හරි හරවා පාරට ගමින් මනෝජ් විමසුවේ දෙබැම හකුළුවා ගෙනය.

නෑ.. නෑ.. ඒක නෙමෙයි.. එයාට කවුරු හරි කියලා අපි දෙන්නා ගැන මං හිතන්නෙ..

එලෙස කතාව ඇරඹූ යුවනි ජගත් කී දේවල් පැවසුවේ සිනාමුසු මුහුණින් යුතුවය. මනෝජ් ද ඒ සිනාවට එකතු වෙනවා දකින්නට ඇය බලාපොරොත්තු වූවාය. එහෙත් ඔහුගේ මුහුණේ ඇඳුණේ කල්පනාකාරී පෙනුමකි.

මෙච්චර ඉක්මනට කට්ටියට ඒක ඉව වැටිලද..?

ඔහු ඇසුවේ හෙමිහිට හිස සලමිනි.

මේ ෆිල්ඩ් එකේ තරම් ඕපාදූප පැතිරෙන තැනක් තවත් තියෙනවද මනෝජ් අයියා..?

යුවනි කීවේ ගණනකට නැතිවය. ඕපාදූප කට කතා ඇයට සාමාන්‍ය දේවල් වූවේය.

ඔය ඕපාදූප පතුරවන අය හොටෙල් එකෙත් ඉන්නවද කියලා මට සැකයි.. ඒ හින්දා අපි අද එහේ යන්නෙ නැතුව කිතුල්ගල රෙස්ට් හවුස් එකේ නවතිමු..

මනෝජ් යෝජනා කළේය.

යුවනි කැමැත්ත ප්‍රකාශ කරමින් හිස සැලුවාය. ඔහුගේ උණුසුම විඳින්නට ඉඩ ලැබේ නම් ඇයට ස්ථානය ප්‍රශ්නයක් නොවිණි. පසුගිය දින දෙක තුනක්ම ඔවුන් ගත කළේ මනෝජ් ඇයට මිලදී ගෙන දෙන්නට පොරොන්දු වූ නිවසේය. එහි ගත කළ කාලය නම් ඉතාමත් නිසකලංක හා සාමකාමී වූවේය.

අපේ ගෙදරට ගියා නම් කිසි කරදරයක් නෑ..

ඇය කීවේ එහෙයිනි.

ඒක නම් ඇත්ත තමයි.. ඒ වුණාට ඉඳලා හිටලා මෙහෙම ලස්සන තැනකටත් යන්න මම කැමතියි..

ඔහු ඇය දෙස අනුරාගී බැල්මක් හෙළමින් කීවේය.

ඒ බැල්මෙන් ඇගේ සිත ගත උණුසුම් වූවේය. තරුණයන් ළඟවත් නැති ජවයක් සහ ගැහැනු හැඟීම් පුබුදුවාලීමේ ශක්තියක් මේ මැදි වියේ මිනිසාට තිබීම පිළිබඳව ඇතැම් අවස්ථාවල යුවනි පුදුම වූවාය. සැබැවින්ම ඔහු හා ගත කළ හැම මොහොතකම ඇයට ලැබුණේ අලුත්ම අත්දැකීම්ය. ඒවා අතිශයින්ම සුන්දර විණි. මනෝජ් ඈත්ව සිටින හැම වෙලාවකම එම අත්දැකීම් සිහිපත් කරමින් ඇය ලැබුවේ දැඩි ආශ්වාදයකි.

අපි හෙට උදේ හයටවත් මෙහෙන් පිටත්වෙමු.. එතකොට කාගෙවත් ඇහැ ගැහෙන්නෙ නැතුව යන්න පුළුවන්..

කැළණි නදියට මුහුණලා පිහිටි කාමරයකට යුවනි සමඟ ඇතුළු වෙමින් මනෝජ් කීවේය.

ඒක හොඳයි.. මටත් නවය වෙනකොට සෙට් එකේ ඉන්න ඕන.. නැත්නම් ප්‍රදීප් දිගට හරහට කෝල් කරන්න පටන්ගනියි..

යුවනි මඳ සිනාවක් පාමින් කීවාය. සහය අධ්‍යක්ෂකවරයා වූ ප්‍රදීප් නළු නිළියන්ට කලට වේලාවට දර්ශන තලයට ගෙන්වා ගැනීමට හැම විටම උත්සාහ කළේය.

කොතෙක් ගිවිසුම්, කොන්දේසි තිබුණේ වී නමුත් අනුරාගී හෝරාවල්වලදී ඒ සියල්ල නොදැනුවත්වම අමතක වී යන්නේය. මනෝජ් හා යුවනි ද එකිනෙකාගේ උණුසුම විඳ ගනිමින් රැය පුරා නිදි වැරූහ. ඔවුන් නිදාගත්තේ පාන්දර යාමේය. යුවනි තිගැස්සී ඇහැරුනේ දුරකථනය නාද වෙන හඬටය. මනෝජ්ගේ දෑතින් සෙමින් මිදුණ ඇය නිදිමතේම දුරකථනයට පිළිතුරු දුන්නාය.

යුවනි නවය වෙනකොට මේකප් එකට එන්න..

දුරකථනය හරහා ප්‍රදීප්ගේ හඬ එද්දී ඇය අන්දුන් කුන්දුන් වූවාය. ඇය කලබලයේම වේලාව බලද්දී හතරහමාර ද පසු වී තිබෙනු පෙනුණි. ඇයට දෙවියන් සිහි විණි.

හරි.. හරි.. මං එනවා..

වහාම පැවසූ ඇය මනෝජ් අවදි කළාය. ඔහු අවදි වූයේත් ඈලි මෑලි බවින් යුතුවය. එහෙත් වේලාව ඇසූ සැනින් ඔහුද කලබල වූයේය.

ඉක්මනට ලෑස්ති වෙමු..

කියාගෙන ඔහු නාන කාමරයට දිව්වේය.

අභිෂේක් සහ පියුමිකා කිතුල්ගල තානායමට ආවේ හත හමාරට පමණය. එමොහොතේ තානායමේ කෑම කමින් සිටි සියලු දෙනාගේම අවධානය යොමු වූයේ ඔවුන් දෙදෙනා වෙතටය.

හැමෝම කෑම නවත්තලා බලන්නෙ හරියට අපි දෙන්නව කන්න වගේ..

පියුමිකා කොඳුරා කීවාය.. අභිෂේක්ට සිනා ගියේය.

දැනට ලංකාවෙ ඉන්න පොපියුලර්ම කපල් එකනේ ඉතිං..

ඔහු කීවේ ඇගේ දෙකොපුල් රතු කරවමිනි.

ඔවුන්ගේ නිෂ්පාදන කණ්ඩායම ගඟ දෙපසට ගිය බව අසන්නට ලැබිණි. ඔහුන් එදෙසට යන්න ගියේ කාමර ඇති පෙදෙස ඉදිරියෙනි. මනෝජ් සහ යුවනි කාමරයෙන් පිටතට ආවේ ඒ සමඟමය.

දෙ.. දෙයියනේ මනෝජ් අයියා..

බියපත් හඬින් මුහුණමින් යුවනි මනෝජ්ගේ අතේ එල්ලුනාය. ඔවුන් දුටු සැණින් අභිෂේක්ද ගල් ගැසුනාක් මෙන් එතැනම නතර වූවේය. පියුමිකාටද මහත් පුදුමයක් දැනුණි. පසු ගිය කාලයේ කිහිප වරක්ම මනෝජ්ගේ පිංතූර පුවත්පත් වලට පළ වී තිබිණි. එම නිසා පියුමිකාට ඔහු හැඳින ගත හැකි වූයේය.

ෂිහ්.. මේ වගේ මිනිස්සු එක්කත් සම්බන්ධකම් තියා ගන්න තරමටම යුවනි පහත් තත්වෙට වැටිලද..?

පියුමිකා අප්‍රසාධයෙන් කල්පනා කළාය. ඇයට අභීෂේක්ගේ අතින් ඉබේටම ඇල්ලුනි.

අභීෂේකුයි, නෙතුමිණියි නේද ඒ..? මට හරි ආසාවක් තිබුණා ඒ දෙන්නා එක්ක කතා කරන්න..

ප්‍රමාද වී සිටින බව අමතක වුණාක් මෙන් මනෝජ් සිනාමුසු මුහුණින් යුතුව කීවේය.

පිස්සුද මනෝජ් අයියෙ අපි යමු.. හොදටම පරක්කු වෙලා..

යුවනි කීවේ තැති ගැන්මෙනි. මනෝජ් සමඟ ඇති සම්බන්ධය අභීෂේක්ට ඇඟළුීෆම් වුවමනාවක් මුල සිටම ඇයට තිබුණි. එහෙත් මෙමොහොතේ ඔහු දැකීමෙන් මෙතරම් කම්පනයක් දැනුණේ මන්දැයි ඇයට සිතාගත නොහැකි වූවේය. ඔහු පියුමිකා සමඟ දැකීමෙන් හට ගත් ඊර්ෂ්‍යාව එයට හේතු වන්නට ඇත.

යුවනි බොහෝ සෙයින් අපහසුවට පත් බව වටහාගත් අභිෂේක් පියුමිකාගෙ අත අල්ලාගනෙ වහාම ගඟ දෙසට ගියේය. යුවනිගේ සිතේ වූ ඊර්ෂ්‍යාව දෙගුණ විණි.

මොකද ඔයා ඔච්චර අප්සට් වුණේ..? අභිෂේක් පරණ බෝයි ෆ්‍රෙන්ඩ් හින්දද..

වාහනයට නැගුණ විගසම මනෝජ් යුවනිගෙන් විමසුවේ ද්වේශ සහගත හඬකිනි.

ඔයා මොනවා කියනවද මන්දා.. පරණ දේවල් වලට දැන් අප්සට් වෙන්නෙ මොනවටද..? මට බය අභිෂේක් ෆිල්ඩ් එකේ හැමෝටම කියයිද කියලා..

ඇය නළල රැළි ගන්වා ගනිමින් කීවාය.

වීදුරු ගෙවල්වල ඉන්න අය අනිත් අයට ගල් ගහන්නෙ නෑ යුවනි.. අභීෂේක් ඇවිත් හිටියෙ තනියෙම නෙමෙයිනේ.. අනිත් එක රූම් එකකට යන්න ඇවිත්නේ අපි දැක්කම ගඟ දිහාවට හැරුණේ..

මනෝජ් කියාගෙන ගියේ සැහැල්ලුවෙනි. එහෙත් අභිෂේක් පිළිබඳව යුවනි හොදින්ම දැන සිටියාය. මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට නැති ආකාරයේ උදාර  ගති ගුණ අභීෂේක්ට තිබිණි. ඔහු අනෙක් අයගේ ඕපාදූප සෙව්වේ නැත. කනට වැටෙන දෙයක් වුවත් අනෙක් අය සමග සාකච්ඡා කෙරුවේ නැත. ඔහු කිසිදු විටෙක යුවතිවයක සමඟ කාමරයකට නොයන බව ද යුවනි දැන සිටියාය.

එයාලා මොකක් හරි ෂුට් එකකට එන්න ඇත්තෙ.. මං දැක්කා ප්‍රොඩක්ෂන් ටීම් එකකුත් ගඟ කිට්ටුව ඉන්නවා..

යුවනි එලෙස සිතුවා මිසක එවදන් මුවින් පිට කළේ නැත. මනෝජ්ගේ උදහසට ලක්වීමට තරම් ඇය අකමැති වූවාය. එහෙත් ඇගේ සිතේ වූ ප්‍රබෝධමත් බව එහෙම පිටින්ම අතුරුදන් වී තිබිණි.

යුවනි දැකීම නිසා පියුමිකාගේ සිතත් යම් තරමකට කැළඹිණි. ඒ යුවනි හා අභීෂේක් සම්බන්ධ අතීත සිදුවීම් සිහිපත් වීම නිසාය. යුවනි දැකීමෙන් සිත සසල වූ අවස්ථා මින් පෙරද එළඹි තිබිණි. ඇය සුසුමක් හෙලුවාය.

නෙතූ.. ඇයි බබී..?

සිමෙන්ති බැම්මට බර වී කල්පනාකාරී දෑසින් ගඟ දෙස බලා සිටි අභිෂේක් වහා හැරී ඇය දෙස බලමින් විමසිය. ඉවත බලා සිටියත් ඇගේ සුසුම් රාවය ඔහුට ඇසී තිබිණි.

මට නම් මොකුත් නෑ.. ඒත් යුවනි දැක්කම ඔයා අප්සෙට් වුණා නේද..?

පියුමිකා විමසුවේ අකමැත්තෙනි.

ඇත්තම කියනවා නම් අප්සෙට් වුණා නෙමෙයි මම ෂොක් වුණා.. මනෝජ්ගෙයි යුවනිගෙන් එෆෙයාර් එකක් තියෙනවා කියලා මට කනින් කොනින් ආරංචි වුණා..

අභීෂේක් කියන්නට වූවේය.

ඒත් ඇස් දෙකෙන්ම දකිනකම්ම ඔයා විශ්වාස කළේ නෑ.. එහෙමද..?

පියුමිකා ඔහුගේ වදන් වැල ඌන පූරණය කළාය.

එයාගෙ තාත්තාගෙ වයසට කිට්ටු වයසෙ මිනිහෙක් එක්ක සම්බන්ධ වෙන්න තරම් යුවනි ජරා ගෑනියෙක් කියලා මම හිතුවෙ නෑ.. රුවන් අයියා මේ ෆිල්ඩ් එකේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්.. ඔය කතා පැතිරිලා ගියාම ඒ මනුස්සයටවත් ඔලුව කෙළින් තියාගෙන ඉන්න බැරි වෙනවා..

අභිෂේක් කතා කළේ කනස්සල්ලෙනි. පියුමිකාගේ සිතට නොරිස්සුම් සහගත හැඟීමක් කාන්දු වෙන්නට වූවේය. ඔහු තුළ  යුවනි කෙරෙහි කිසිදු ලිහිලක් වෙනවාට ඇය ප්‍රිය කළේ නැත.

ඒවා එයාලා එයාලා බලාගත්තාවේ.. ඔයා එහෙම මැදිහත් වෙන්න යන්න එපා.. යුවනි හින්දා පහුගිය කාලෙ සිද්ධ වුණ දේවල් හොඳටෝම ඇති..

විඩාබර හඬින් කීවේ වී නමුත් එවදන් තුළ වූ අනතුරු ඇඟවීම අභිෂේක්ට හොඳින්ම වැටහිණි.

කොහොමටත් දැන් ඉතින් මට මැදිහත් වෙන්න ඕනකමකුත් නෑ.. පුළුවන් කමකුත් නෑ.. මට පේන විදියට යුවනි දැන් ආපහු හරවන්න බැරි තරමට දුර ගිහින් ඉවරයි..

අභිෂේක් ඇසෙන නෑසෙන තරම් පහත් හඬකින් මුහුණා ගත්තේය. එහෙත් සිය සොයුරියකට යම් කරදරයක් සිදු වෙන්නට ආසන්න විටෙකදී දැනෙන්නාක් වැනි පීඩාවක් ඔහු පෙළන්නට විය.



No comments:

Post a Comment