Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලට පැමිණි මනෝජ්ගේ බිරිඳ දෙස යුවනි බැලුවේ ඊර්ෂ්‍යාව පුරවා ගත් දෑසිනි. මහත දෙහෙන සිරුරකින් යුතු වුවත් ඕෂධීට තිබුණේ සුන්දර මුහුණකි. දෑසේත් අමුතුම කාන්තියක් තිබිණි. වටිනා සාරියකින් සහ අලුත්ම මෝස්තරයේ රන් ආභරණවලින් ඇය සැරසී සිටියාය.

අර ගෑනිගෙ හැටි විතරක්.. මට මතක් වෙන්නෙ පෙරහැරේ යන ඇතින්නක්..


යුවනි තාරක සමඟ පැවසුවේ අමනාපයෙනි. තාරක උපහාසාත්මකව සිනාසුනේය.

ගෑනු ඉතින් කවදද තවත් ගෑනියෙක්ගෙ ලස්සන දැක්කෙ..?

ඔයා කියන්නෙ ඒ ගෑනි ලස්සනයි කියලද..?

යුවනි විමසුවේ නොරිස්සුමෙනි.

නැත්නම්.. අර ඇස් දෙකේ එහෙම තියෙන්නෙ අමුතු ලස්සනක්.. මට හිතෙන්නෙ අවුරදුු පහ හයකට කලින් කොල්ලො පිස්සු වට්ටන්න ඇති..

තාරක කීවේ යුවනිගේ හිත රිදවාලමිනි.

මට හිතෙන්නෙ දැනටත් පිස්සු වැටිලා වගේ..

ඇය තාරකට ඇනුම් පදයක් කීවාය.

පිස්සුද කෙල්ලෙ..? මම පිස්සු වැටෙන්නෙ ඔයාගෙ ළඟදි විතරයි..

තාරක කීවේ අඩවන් දෑසින් ඇය දෙස බලමිනි. ඇගේ සිතට දැනුණේ ආඩම්බරයකි. හැම පිරිමියෙක්ම ඇගේ රුවට වහ වැටෙති. ඇගේ අගය හදුනා නොගත්තේ අභිෂේක් පමණකි.

මේ ටෙලිය හිට් වෙලා මං ගැන හැමෝම කතා කරනකොට අභිෂේක්ට පසුතැවිලි වෙන්න වෙයි..

ඇය සිනාසෙමින් කල්පනා කළාය.

බොරු වර්ණනාවලින් යුවනි ඕනෑ තරම් රැවටිය හැකි බැව් තාරක හොඳින් දැන සිටියාය. ඔහු තළ ඇය කෙරෙහි සාමාන්‍ය මිතුරියක වෙත ඇති බැඳීමක්වත් තිබුණේ නැත. ඉඩක් ලද විටෙක ඇය සමග යහන් ගතවීමට නත් තාරක පැකිළුනේ නැත. දැන් ඔහුට උවමනා වී ඇත්තේ කාගේ කරපිටින් හෝ නැවතත් ක්ෂේත්‍රයට පා තබා ගැනීමට පමණකි. එතැනින් එහාට ගමන යන ආකාරය පිළිබඳ සැලසුමක් ඔහු තුල තිබිණි.

යුවනි මනෝජ් සමඟ සමීප ඇසුරකට වැටී ඇති බැව් තාරකට රහසක් වූයේ නැත. ඔහුට එයින් කමක් කාරියක් නොවීය. කොහොමටත් රුවන්ගෙන්, යුවනිගෙන් මෙන්ම අභීෂේක්ගෙනුත් පළි ගැනීමේ චේතනාව දිනෙන් දිනම ඔහුගේ සිත වැඩිපුර ආක්‍රමණය කළේය.

මොනවද තාරක එක්ක ඔය තරමටම කතා කරන්නෙ..?

මුහුරත් උළෙල පැවතුණ ශාලාවෙන් පිටතට යුවනි කැඳවූ මනෝජ් විමසුවේ තරහින් පුපුරමිනි. ඇය මවිතයෙන් වටපිට බැලුවාය.

මොකද උත්තර දෙන්න බැරිද..?

ඔහු ඇගේ බාහුවෙන් අල්ලා සොලවූවේය. යුවනි වහා ඔහුගෙන් මිදුනේ ඔහු දෙස තරවටු බැල්මක් හෙලමිනි.

ඔයාට පිස්සුද මනෝජ් අයියෙ..? මෙතන ඕෂධිත් ඉන්නවා.. අපේ අයියත් ඉන්නවා.. ඔයා මෙහෙම හැසිරෙනවා දැක්කොත් එහෙම එයාලා මොනවා කියයිද..?

ඇය උදහසින් විමසුවාය.

තමුසෙ අරුත් එක්ක තතා කරන විදිය දැක්කම මට උන් හිටි තැන් අමතක වෙනවා.. ඌ බලාගෙන ඉන්නෙ හරියට ඇස් දෙකෙන් ගිල ගන්න වගේ..

මනෝජ් හුදෙක් ඊර්ෂ්‍යාෙවන් කතා කරන බව වටහා ගත් යුවනිගේ දෙතොල එවර සිනාවක් විවර වූවේය.

මනෝජ් අයියා තේරුම් ගන්න.. ටෙලියෙ මේන් කැරැක්ටර් රඟපා්නනෙ මමයි තාරකයි.. අපි දෙන්නට ඔයිට වැඩිය ළං වෙන්න සිද්ධ වෙයි ඉස්සරහට..

ඇය කියද්දී ඔහුගේ මුහුණේ පසුතැවිල්ලක් උදා වූවේය.

මට දැන් හිතෙනවා ඔය මිනිහව ටෙලියට ගත්තෙ අපරාධෙ කියලා..

ඔහු කීවේය.

මොනවද ඔයා මේ කියවන්නෙ මනෝජ් අයියා..?

ඇය මවිතයෙන් විමසුවාය.

ඔයාගෙයි තාරකගෙයි එෆෙයාර් එක ආපහු පටන්ගනියි කියලා මට බයයි..

ඔහු සිනාසෙන්නට තැත් දරමින් කීවේය.

මං ඔයාට කිව්වනේ තාරකගෙයි මගෙයි එෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියලා..

ඇය ඔහුට සිහිපත් කොට දුන්නාය.

ඒ වුණාට තිබ්බා කියලනේ මේ ෆිල්ඩ් එකේ කතාව ගිහින් තිබුණෙ..

මනෝජ් අයියා, මේ ෆිල්ඩ් එකේ හැදෙන කතා ඔක්කොම ඒ විදියටම පිළිගත්තොත් එහෙම ඔයාට වැඩි කල් මේකෙ ඉන්න ලැබෙන එකක් නෑ..

යුවනි අවදානාත්මක ස්වරයෙන් කීවාය. ඔහු කිසිවක් නොකියා මොහොතක් ඇය දෙස බලා සිටියාය. ඒ බැල්මේ වූයේ ඇගේ සිත සසල කරවන කාන්තියකි.

ඔයා ගැන කට කතා හැදෙනවට මම කැමති නෑ.. අන්න ඒක හොඳට මතක තියාගෙන කට කතා හැදෙන්නෙ නැති විදියට ඉන්න..

කියාගෙන මනෝජ් ශාලාව තුළට ගියේය. යුවනි ගල් ගැසී බලා සිටියාය. මොහොතකට ඇයට අභිෂේක් සිහිපත් විණි. අයාලේ ගලාගෙන යන ඇගේ ජීළුිතයට නිසි හැඩයක් ලබා දෙන්නට ඔහු ද බොහෝ සෙයින් වෑයම් කළේය. එහේත ඇයට ඔහුගේ සිතැඟිවලට අනුව හැඩ ගැසෙන්නට පුළුවන් කමක් නොවිණි. ඔවුන්ගේ සම්බන්ධයේදී යුවනි බොහෝ ආත්මාර්ථකාමී වූවාය. ඔහු පියුමිකා හා වදනක්වත් දොඩනවාට කැමති වූයේ නැත. අවසානයෙදී ඇයට අභිෂේක් අහිමි වූයේත් ඇගේ එම ආත්මාර්ථකාමී බව නිසාමය.

කොහොම වුණත් මම මොකටද දැන් අභිෂේක් ගැන හිතන්නෙ..? එයා ජනප්‍රියයි තමා.. ඒ වුණාට සල්ලි අතින් මනෝජ් අයියට කිට්ටු කරන්නවත් පුළුවන්ද..?

යුවනි අප්‍රසාදයෙන් එහු ගැන සිතන්නට වැයම් කළාය. එහෙත් එය එතරම් පහසු වූයේ නැත.

මනෝජ් එක්ක ඕනවට වඩා ඇඟෑලුම්කම් තියාගන්න එපා.. අන්තිමට තවත් කතන්දරයක් අහ ගන්න වෙයි..

මුහුරත් උළෙල අවසන් වී නිවසට පැමිණි වහාම රුවන් යුවනිට අවවාද කළේය. යුවනි යටි සිතින් සිනාසුණාය. ඇය මනෝජ් සමඟ මොන තරම් දුර දිග ගොස් තිබෙන්නේදැයි ඔවුන් දැන සිටියේ නැත. ඇය මනෝජ් සමග සුහදව කතා කරනු දුටු ජගත් ද කිහිප වරක්ම ඇයට තරවටු බැලුම් හෙලීය. එහෙත් ඇය ඒවා ගනණකට ගත්තේ නැත.

හැමෝටම ඕන විදියට ජීවත් වෙන්න බෑ.. මං කරන්නෙ මට ඕන දේවල්..

ඇය මුරණ්ඩු ලෙස සිතුවාය.

ඇය ඉදිරියේ තිබූ ඊළඟ අභියෝගය වූයේ ගෙය පිළිබඳව අම්මාටත් අයියාටත් කීමය. ඒ සඳහා අවස්ථාවක් ලැබෙන තුරු ඇය ඉවසිල්ලෙන් බලා සිටියාය. එයට අවස්ථාවක් එදා උදා වූයේ අහම්බයෙනි.

රුවන් සහ තිලෝකා පිළීබඳව පැතිරුණ කට කතාවක් යුවනිට දැන ගන්නට ලැබුනේ තාරකගෙනි. ජනප්‍රිය මෙන්ම දක්ෂ නිළිය ලෙස කිහිප වරක් කිරුළු පැළදුව තිලෝකා අහංකාර නිළියක ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධව සිටියාය.

හිතාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න හොඳම නිළිය, දක්ෂම නිළිය එයා කියලා.. ඔය සම්මාන හම්බ වුණ විදිය ඉතින් අපි දන්නෙ නැතුවයෑ..

ආදී වශයෙන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇය හෙළා දකිමින් කතා කළහ. තාරකත් එයින් එක් අයෙකි. එහෙත් ඔහු තිලෝකා සමඟ ටෙලි නාඨ්‍ය හා චිත්‍රපට කිහිපයක රඟපා තිබිණි.

යුවනි ක්ෂේත්‍රයට ආ අලුත තිලෝකා රඟපෑ චිත්‍රපටයක සුළු චරිතයක් රඟපාන්නට තිබිණි. ඇය කාගේ කවුදැයි තිලෝකා එකල දැන සිටියේ නැත. යුවනිට තුන් වරක්ම රංගනය වැරදී නැවත නැවත රූගත කිරීමට සිදුවිණි.

රඟපානවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ගෙවල්වලට වෙලා ඉන්නෙ නැතුව බොරුවට මෙතන ඇවිත් අපෙත් කලෙ කනවා..

ආදී වශයෙන් කියමින් තිලෝකා යුවනිට බැණ වැදුනේ සියලු දෙනාම ඉදිරිපිටය. යුවනිට බලවත් ලැජ්ජාවක් සහ තරහක් දැනුණි. ඇය පසෙකට වී ඉකිබිඳ හැඩුවාය.

යුවනි යනු චිත්‍රපටි නිෂ්පාදක රුවන්ගේ නැගණිය බව කිසිවෙකු විසින් තිලෝකාට කියනු ලැබිණි. එම තොරතුරෙන් කලබලයට පත් වූ නිසාදෝ තිලෝකා වහා යුවනි සොයා ආවාය.

හරි.. හරි.. ඕකට අඩන්න ඕන නෑනේ නංගියො.. මට ඒ වෙලාවෙ ටිකක් කේන්ති ගියා.. ඔය වැරදි හදාගෙන අපි ඇක්ට් කරමු..

කරුණාවෙන් මෙන් එසේ පැවසූ තිලෝකා යුවනිගේ අතින් අල්ලාගෙන නැවතත් දර්ශන තලය වෙත ගියාය. එහෙත් සිතේ ඇති වූ කහට නම් කවදාවත් යුවනි වෙතින් තුරන් වූයේ නැත. තිලෝකාගේ අඩුපාඩු පිළිබඳව කවුරුන් හො කතා කරමින් සිටින්නේ නම් යුවනි කැමැත්තෙන්ම ඒ කතාවට සම්මාදම් වූවේ එබැවිනි.

දැන් අයියා බිරිඳ කරගන්න යන්නේ යුවනි අප්‍රිය කරන එම කාත්නාවය. ඇය වරක් විවාහ වී දරුවෙකු ද සිටින කාන්තාවක් බවටත්, එම දරුවා පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකරන බවටත් කතාවක් ද ක්ෂේත්‍රයේ පැතිර තිබේ. මේ සියල්ල දැන දැන අයියා ඇය තෝරා ගත්තේ මන්දැයි යුවනි තරහින් කල්පනා කළාය.

අයියා තිලෝකාත් එක්ක එෆෙයාර් එක්ක තියෙනවා කියන්නෙ ඇත්තද..?

පුපුරමින් නිවසට පැමිණි යුවනි විමසුවේ අම්මා ඉඳිරිපිටමය. අම්මා මද සිනාවක් පෑවේ කලින් සිටම එය දන්නා බව අඟවමිනි. යුවනි වඩාත් කෝප වූවාය.

ඔව්..

රුවන් සැහැල්ලු සිනාවක් පා පිළීතුරු දුන්නේය.

මහ උද්දච්ච ගෑනියෙක්.. මට පේන්න බෑ ඒකිව.. ඒ මදිවට කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්න එකියක්..

යුවනි පුපුරා හැලුණාය. ඇය පුදුම වූයේ අම්මාගේ දෙතොලේ වූ සිනාව නොමැකී තිබුණාටය.

ඒවා බොරු කතා දරුවො.. මම තිලෝකා ගැන හොදට හොයලා බැලුවා..

අම්මා සන්සුන් ලෙස කීවාය.

යුවනි ඇය දෙස බැලුවේ දෙනෙත් ලොකු කරගනෙය. ඇයට පිටින් ආරංචි වන තුරුම අම්මා හෝ අයියා ඒ පිළිබදව කිසිවක් කීවේ නැත. ඔවුන් තමා නොසලකා හැර ඇතැයි හැඟීම ඇගේ සිත ශෝකයෙන් පුරවාලිය.

ඇයි එහෙනම් මෙච්චර කල් මට කිව්වෙ නැත්තෙ..?

ඇය උදහසින් විමසිය.

ඔයා තිලෝකට කැමති නැති හින්දා කිව්වෙ නැත්තෙ.. අනිත් එක ඉතින් මේ ෆිල්ඩ් එකේ රහසක් හංගගෙන ඉන්න පුළුවන් කමක් නෑනේ..

රුවන් තව දුරටත් සැහැල්ලුවෙන්ම කතා කළේය. අයියාගේ වදන් තුළ තමාට ද අනතුරු ඇඟවීමක් ඇතැයි හැඟීම යුවනිට දැනිණ. ඇගේ සැර අඩක්ම බැස්සේය. එහෙත් තිලෝකාට දිනුම දී පරාජය පිළිගන්නට ඇය සූදානම් වූයේ නැත.

මම තවමත් ඒකිට කැමති නෑ..

යුවනි කඩා පැන්නාය.

ඒ වුණාට එයා මේ ගෙදරට ආවම කැමති වෙන්න සිද්ධ වෙනවනේ.. අනිත් එක අමතක කරන්න එපා ඔයාටත් ඕන තරම් කට කතා හැඳුණා කියලා..

අම්මා අවදානාත්මක හඬින් කීවේය.

කමක් නෑ ඉතින්.. ඔයාලට හොඳ හින්දනේ තෝරගන්න ඇත්තෙ.. හැබැයි අයියා තිලෝකා මේ ගෙදරට එක්කන් ආවොත් මම නම් එක විනාඩි පහක් මේ ගෙදර ඉ්නනෙ නෑ..

යුවනි කියද්දී අම්මාත් අයියාත් මුහුණින් මුහුණ බලා ගත්හ. රුවන්ගේ මුහුණ ශීඝ්‍රයෙන් අඳුරු වූවේය. අම්මා කෝපයට පත් වූවාය. රුවන් සුසුමක් හෙළා නැගිට ගෙට ගියේය.

මොනවද චූටි මේ කියවන්නෙ..? තාත්තා නැති වුණ දා ඉඳලා මේ ගෙදරට තාත්තා වුණේ අයියා.. දැන් බඳින වයසත් පහු වේගෙන එන්නෙ.. ඉදලා ඉඳලා එයා තෝර ගත්ත දේට අකුල් හෙළන්න එපා.. බලන්න ඔයාගෙ කතාවට අයියගෙ හිත කොච්චර රිදුණද..?

අම්මා යුවනිට දොස් පැවරුවාය. යුවනි මොහොතක් නිහඩව සිටියේ අම්මා පැවසුවේ සැබැවක් හෙයිනි.

කොහොම වුණත් ඉතින් කවදා හරි මම මේ ගෙදරින් යන්නත් එපෑය.

සිය දෑතේ නයපොතු පිරික්සා බලමින් සිටි යුවනි මදකට පසුව කීවාය.

ඒක වෙනම කතාවක්.. හැබැයි ඔයා කැමති වුණත් නැතත් මේ කටයුත්ත කෙරෙනවා.. ඒ හින්දා අයියගෙ හිත රිද්දන්න එපා..

අම්මා තරයේ කීවාය. එවදන් යුවනිට දැනුණේ දරුණු අතුල් පහරක් හා සමානවය. ඇය සෑහෙන වේලාවක් නිහඬව සිටියේ එම නිසාය.

කොහොමටත් මම හිතාගෙන ඉන්නෙ ඔය මාලඹේ, බත්තරමුල්ල වගේ පැත්තකින් පොඩි ගෙයක් ගන්න.. මට එතකොට ෂූටින් වලට යන්න එන්නත් ලේසියිනේ.. අම්මටයි මටයි එතකොට ඒ ගෙදර ඉන්නත් පුළුවන්..

මඳ වේලාවකට පසුව යුවනි කීවාය. අම්මා කලබල වෙනු ඇතැයි ඇය සිතුවත් ඇගේ දෙතොලේ සිහින් සිනා රැල්ලක් මතු විය.

ඔයා ඔය වගකීමකින් කතා කරනවා මට ඇහුණාමයි..

ඇය කිවාය.

මම විහිළුවට නෙමෙයි කිව්වෙ.. සල්ලි ටිකක් දීලා ඉතුරු ටික මාසයක් ගානෙ ගෙවන්න හදාගන්න පුළුවන්..

ඒක බොහොම හොඳයි.. අතට ගන්න එක නිකම්ම නාස්ති කරනවට වැඩිය පලක් ඇති දේකට වියදම් කරන එක කොච්චර දෙයක්ද..? ගෙයක් තියෙනවා නම් හොයාලා බලන්න.. මගේ අතෙත් සල්ලි ටිකක් තියෙනවා.. මදි පාඩුවට ඒකත් ගන්න බැරියෑ..

අම්මා කී විට යුවනිගේ සිතට මහා සැහැල්ලුවක් දැනුණි. මේ ප්‍රශ්නය මෙතරම් පහසුවෙන් විසඳාගත හැකි වෙනු ඇතැයි ඇය සිතුවේ නැත. අම්මා ඇගේ පැත්තට නම්මා ගැනිම යනු සියල්ල පැතූ ආකාරයටම සාර්ථක වෙන බවට පෙර නිමිතිය.

මනෝජ් අයියා.. වැඩේ හරි.. මම ගෙයක් ගන්නවා කියලා අම්මව ෂේප් කරගත්තා..

මනෝජ්ට දුරකථන ඇමතුමක් දුන් ඇය ප්‍රීතියෙන් ඉපිළෙමින් කීවාය.

නියමයි.. දැන් මං ඔක්කොම ඩොකියුමන්ට්ස් හදලා ඉවරයි..

මනෝජ් කීවේය.

තව මාසෙකින් වැඩේ ෂේප්..

කොහොමත් මේ ටෙලියෙ ෂූටින් ඉවර වෙනකම් ඉන්න එක හොඳයි.. නැත්නම් ඕකට කතන්දර හැදෙන්න බෑරි නෑ..

යුවනි අවවාදාත්මක ස්වරයෙන් කීවාය.

ෂූටින් ඉවර වෙනකන් නෙමෙයි.. එක දවසක්වත් මට ඉවසන්න බෑ..

ඔහු බොළඳ පෙම්වතෙකු මෙන් කීවේය. යුවනි සතුටින් සිනාසුනාය.

කෝටිපතියෙකු තමාට දක්වන සැලකිල්ල දනී නම් ක්ෂේත්‍රයේ වැඩි දෙනෙකු ඊර්ෂ්‍යාෙවන් පුපුරනවා ඇතැයි ඇය සිතුවාය.

යුවනි ගෙයල් මිලදී ගැනීමට අදහස් කොට ඇති බව රුවන්ට පවසන ලද්දේ අම්මා විසිනි. රුවන් එක්වරම පුදුම වූවේය. ඊ ළඟට සැකමුසුව මෙන් ඉහළට පහළට හිස සැලුවේය.

මට නම් ඕක විශ්වාස කරන්න බෑ.. තිලෝකා එක්ක තියෙන තරහා නිසා ඔය කටට ආවට කියන්න ඇති..

ඔහු කීවේය.

නෑ.. නෑ.. ඇත්තටමයි කිව්වෙ.. ඔය මාලඹේ පැත්තෙ ගෙයක් තියෙනවා කියලා ආරංචියකුත් කිව්වා..

අම්මා කියද්දී රුවන්ගේ මුහුණේ කල්පනාකාරී පෙනුමක් ඇඳිණි.

කොහොමත් මං එයාට ගෙයක් අරන් දෙන්න හිතාගෙන හිටියෙ.. මේ ගේ පරණ පැටර්න් එකේ කියලා හැම වෙලාවෙම කුටු කුටු ගානවනේ..

මද වේලාවකට පසු රුවන් කීවේය.

අම්මා සතුටු සිනාවක් පෑවේය. ඇගේ එකම බලාපොරොත්තුව වූයේ දරුවන් දෙදෙනා සතුටින් හා සමගියෙන් ජීවත් වෙනවා දැකීමය. රුවන් මෙන් නොව යුවනි ඉක්මනින් කෝපයට පත් වෙන, දුරදිග නොබලා ක්‍රියා කරන තැනැත්තියකි. ඇතැම් විට රුවන් විවාහ වූවාට පසුව තිලෝකා සහ යුවනි අතර ගැටුම් ඇති වෙනවා නිසැකය. එම නිසාම යුවනි වෙනත් නිවෙසක පදිංචි වීමේ වැරැද්දක් නැත. කොහොමටත් මේ ගෙය ලියා තිබෙන්නේ රුවන්ගේ නමටය.

නිකම්ම වෙන ගෙදරකට යනවට වැඩිය හොඳ නැද්ද පිළිවෙලක් කරලම යැව්වොත්..? නැත්නම් ඉතින් මමත් ගිහින් එයත් එක්ක පදිංචි වෙන්න එපෑය..

අම්මා කීවාය.

එවර නම් රුවන් කැළඹුණේය. තාත්තා නැති වුණ දා පටන්ම අම්මාටත් නංගීටත් රැකවරණය සපයන ලද්දේ ඔහු විසිනි. ඒ රැකවරණය අහිමි කොට ඔවුන් වෙනත් නිවසක පදිංචි කරවන්නට ඔහු සිහිනෙකින්වත් සිතා තිබුණේ නැත. තමා විවාහ වී ඔවුන් නිවසින් පලවා හැරියේයැයි කතාවක් සමාජයේ පැතිරෙනවා ඇතැයි බියද ඔහු තුළ විණි.

ගෙයක් අරන් දුන්නා කියලා එයාව එහෙ පදිංචි කරවන්නෙ නෑනේ අම්මා.. අනිත් එක ඉතින් එයාට ගැලපෙන කෙනෙක් එක පාරටම හොයන්නත් බෑනේ..

ඔහු කරුණු දැක්වූවේය.

ඒක නම් ඇත්ත තමයි.. අභිෂේක්ට නම් මම හොද කැමැත්තකින් හිටියා.. කොහෙද ඉතින් මෙයාගෙ තියෙන දාංගලේට ඒ ළමයවත් නැති කරගත්තනේ..

අම්මා එවර කීවේ යුවනි කෙරෙහි ඇති කරගත් නොපහන් හැඟීමෙනි.

කියලා වැඩක් නෑ.. අභීෂේක් හොඳයි විතරක් නෙමෙයි අම්මා දක්ෂයි.. වාසනාවන්තයි.. ආර්ට් ඩිරෙක්ට්ර් ගෙ ඇසිස්ටන් විදියට අපි මිනිහව ගත්තෙ.. අද බලන්නකො ලංකාවෙ දැනට ඉන්න වැඩිම ගාණක් අය කරන නළුවා..

රුවන් අභිෂේක් වර්ණනා කරමින් කතා කළේය. අම්මාගේ සිතේ විස්මයක් මෙන් ලෝබකමක් ද ඉපදිණි.

වැඩිම ගාණක් කියන්නෙ කීයක් විතරද..?

ටෙලි නාට්‍ය නිෂ්පාදනය ගැන පුතු හා කතා කිරීමේ පුරුද්දක් නැතත් අම්මා විමසුවේ අභිෂේක් පිළිබඳව දැන ගන්නට සිතේ උපන් කුතුහලය නිසාමය.

එක දවසකට විසි දාහක් ගන්නවා..

රුවන් කී විට අම්මාගේ දෙබැම ඉහළ නැංවිනි.

මොනවා..? විසිදාහක්.. දවස් පහක් වැඩ කෙරුවොත් එහෙම ලක්ෂයක්නේ..

ඔව්.. මිනිහා ලක්ෂ ගණන් වලින් තමයි ග්නනෙ.. ඉල්ලන ගාණක් දීලා එයාවගන්න ඕන කෙනෙක් ලෑස්තියි.. මිනිහා දාලා කරපු ගමන් ඕන ප්‍රොඩක්ෂන් එකක් හිට් වෙනවා කියලා මිනිස්සු දන්නවා..

රුවන් කියාගෙන ගියෙය. යුවනි ඔහුගෙන් ඈත්වීම මොන තරම් මෝඩ කමක්දැයි අම්මා කල්පනා කලේ පසුතැවිල්ලෙන් යුතුවය.

මිනිහව ෆිල්ඩ් එකට ගෙනාවෙ ඔයානේ.. ඉතින් ඔයාගෙනුත් ඔය ගණන්ම ඉල්ලනවද..?

ඇය මඳකට පසුව ඇසුවාය..

අනේ නෑ අම්මා.. ඒ අතින් නම් අභිෂේක් ග්‍රේට් පොරක්.. මට කිව්වා ඕන ප්‍රොඩක්ෂන් එකකට ඕන වෙලාවක කතා කරන්න අනිත් ඒවා දාලා හරි එනවා සත පහක්වත් එපා කියලා..

රුවක් කීවේ අභීෂේක් කෙරෙහි ඇති කර ගත් ඉමහත් පැහැදීමකින් යුතුවය. අම්මා හෙමිහිට හිස සැලුවාය. දුරදිග නොබැලීමේ ගුණාංගයේ ආදීනව ලෙස යුවනි අහිමි කරගත්තේ මොන තරම් වටිනා සහකරුවෙක්දැයි ඇය දිගින් දිගටම සිතුවාය.


No comments:

Post a Comment