Sunday, September 30, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


අභීෂේක් පාන්දරම නැගිට්ටේ හය වන විට අංග රචනා ශිල්පියා වෙතට යා යුතු වූ නිසාය. උදේම රෑගත කිරීම් අරඹා ඒ දිනය තුළ දර්හන දහයක් දොළහක් වත් අවසන් කිරීමට අධ්‍යක්ෂකවරයා තීරණය කර සිටියේය.

උදේ පාන්දරම පියුමිකා සමඟ කෙටි පණිවුඩ කිහිපයක් හුවමාරු කර ගැනීම අභිෂේක් පුරුද්දක් වශයෙන් කළ දෙයකි. ඇය විසින් එවනු ලබන සුන්දර අදහසක් කියවා ආරම්භ කරන දිනය බොහෝ සෙයින් වාසනාවන්ත බව ඔහු ඇදහුවේය.


දුරකථනයේ කෙටි පණිවිඩ රැසක්ම ගබඩා වී තිබිණි. ඔහු මුලින්ම පියුමිකා විසින් එවන ලද පණිවිඩය කියෙව්වේය.

මම සුළඟට කිව්වා මගේ සුභ පැතුම් පණිවිඩය ඔයාට ගෙනිහින් දෙන්න කියලා.. ජනේලය අරින්න.. සුළඟ ඇවිත් ඇගේ වදින්නෙ මං සුභ උපන්දිනයක් කියලා කිව්ව බව අඟවන්න..

ඒ අදහස ගැබ් වුණ ඉංශ්‍රීසි වගන්ති කිහිපය සිනාමුසුව කියවූ අභීෂේක් සැබෑවටම ජනේලය විවර කළේය. ජනේලය කෙලින්ම වූ අරලිය ගසේ සුදු පැහැති මල් පොකුරු රැසක් පිපී තිබිණි. ඒ සුවඳ මුදු මඳ නළක් ඔහු හසුකොට ගෙන හමා ගියේය. ඔහුගේ සිතට දැනුණේ දැඩි ආදරණීය හැඟීමකි.

ඔයාගෙ සුභපැතුම මට දැන් ලැබුණා කෙල්ලෙ.. අරලිය මල් සුවඳකුත් එක්ක සුළඟක් කාමරේ ඇතුළට ආවා..

ඔහු පියුමිකාට පණිවිඩයක් යැව්වේ සිනාවකින් දෙතොල සරසාගෙනය.

එහෙත් ඒ සිනාවට තිබුණේ කෙටි ආයුෂක් පමණකි. අනෙක් පණිවිඩ එකින් එක කියවද්දී ඔහු අන්ද මන්ද වූයේය.

යුවනිට ඒඩ්ස් හැදිලා..

එක පණිවිඩයකින් කියැවිණි. එය කිසිවෙකුගේ විහිළුවක්යැයි සිතූ ඔහු එය මකා දැමුවේය. එහෙත් අනෙක් පණිවුඩ සියල්ලේමත් ඒ හා සම්බන්ධ ඒවාම වෙද්දී ඔහු බොහෝ සෙයින් කැළමුනේය.

ඔයත් යුවනිව ළඟින් ආස්සරේ කළානේ.. ඉක්මනට ගිහින් ලේ පරික්ෂා කරගන්න..

ඒ පණිවිඩය කියවද්දී ඔහුට දැනුණේ කිසිවෙකු මුහුණ හරහා දැඩි පහරක් එල්ල කළාක් වැනි හැඟීමකි.

මේ මොන හෙණ ගෙඩියක්ද පාත් වුණේ..?

ඔහු එසේ කියමින් ඇදේ වාඩි වූයේ දෑතින් හිස බදා ගනිමිනි. මෙය නම් විහිළුවක් නොවන බව ඔහුට වැටහුණි. එක් පණිවිඩයක් පමණක් නම් එය විහිළුවක් ලසෙ ගණන් ගන්නට ඉඩ තිබිණි. එහෙත් මේ පණිවිඩ සියල්ලම ලැබී තිබුණේ එකිනෙකට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැති අංකවලිනි. විදෙස් රවටල අංක කිහිපියක්ද ඒ අතර තිබිණි.

මෙතන නම් මොකක් හරි තියෙනවා..

අභිෂේක් කල්පනා කළේය. ඔහුට රුධිර පරික්ෂාවක් කර ගන්නා ලෙස සමහරු කියා තිබුණේ සැබෑවටමය. සමහරු සරදමටය.

අභිෂේක් රුවන්ට දුරකථන ඇමතුමක් දුන්නේය. එහෙත් රුවන්ගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවිණි. යුවනිට ඇමතුමක් දෙන්නට සිතුවද එය අනවශ්‍ය ගැටළුවකට මුල පිරීමක් යැයි සිතූ බැවින් ඔහු ඒ අදහස මැඩ ගත්තේය.

ඔහු අංග රචනය සඳහා ගියේ කල්පනාවෙන් බර වූ මුහුණින් යුතුවය. මෙය සැබෑවක් වුවත් කට කතාවක් වුවත් විශාල ගැටළුවක ප්‍රාරම්භය බැව් ඔහුට වැටහිණි. අංග රචනා ශිල්පියා ද වෙනදාට වඩා උනන්දුවෙන් ඔහු දෙස බැලීය.

අභිෂේක් අයියට ආරංචිද වෙලා තියෙන දේ..?

නිරංජන් විමසුවේ අභිෂේක්ගේ මුහුණට ආලේපන තවරන අතරය. මේ සිද්දීය දැනටමත් ක්ෂේත්‍රය පුරා ප්‍රචලිතව ඇති බව අභිෂේක් තේරුම් ගත්තේය. එය නොදන්නා බව අඟවමින් බොරු රඟපෑමක් කරන්නට ඔහුට උවමනා වූයේ නැත.

යුවනිට ඒඩ්ස් හැදිලා කියන එක නේද..? බොරු කට කතාවක් වෙන්න ඇති බං..

ගණනකට නැතිව කියන්නට වෑයම් කළත් අභිෂේක්ගේ කට හඬ වෙනස් වී තිබිණි.

ඕකිට ඒඩ්ස් නොහැදුනා නම් තමයි පුදුමෙ වෙන්න ඕනෙ.. පුදුමාකාර ගායක් තිබිච්ච එකියක්.. රුවන් අයියගෙ නංගියෙක් කියලා කියන්නවත් බෑ..

නිරංජන් කතා කළේ ද්වේශයෙනි. එහෙත් අභීෂේක් ඔශුට ප්‍රති උත්තරයක් දෙන්න ගියේ නැත. යුවනි ගැන ක්ෂේත්‍රය තුළ ඇති ප්‍රතිරූපය එය බව ඔහු දැන සිටියේය. ඔහුට කණගාටු සිතුනේ ඇයට සම්බන්ධ වීම නිසා කෙළෙසුණ සිය නම පිළිබඳවය.

අපි එහෙම කාටවත් හෙළා දකින එක හොඳ නෑ නිරංජන්.. එක එක්කෙනා එක එක විදියයිනේ.. ඔය කතාව ඇත්තද බොරුද කියලා අපි හරියට දන්නෙ නෑනේ..

මද වේලාවක් කල්පනා කරින් සිටි අභිෂේක් කණ්නාඩිය තුළින්ම නිරංජන් දෙස බලා කීවේය. ඔහුගේ මුහුණ මඳක් අඳුරු වෙනු අභිෂේක්ට පෙනුණි.

ඒක නම් ඇත්ත තමයි.. ඒ වුණාට බලන්නකො ඔය ආරංචියත් එක්ක මේ ෆිල්ඩ් එකේ කී දෙනෙක් කලබල වෙයිද කියලා..

නිරංජන් පැවසුවේ උපහාසයෙනි. එවදන් තුළ තමාටත් එල්ල කළ ඇනුම් පදයක් වෙතැයි අභිෂේක්ට සිතුණි.

හේතු තියෙන අය කලබල වෙයි..

ඔහු කීවේ එහෙයිනි. අවඥාවෙන් මෙන් නිරංජන්ගේ මුව කොනක් ඇද වෙනු ඔහුට පෙනුණි.

කෑම මේසයේදී ද, දර්ශන තලයේදී ද සියලු දෙනාම වෙනදා නැති අමුතු උනන්දුවකින් හා කුතුහලයකින් ඔහු දෙස බැලීම අභිෂේක්ට වදයක් විණි.

ඒඩ්ස් හැදුනා නම් හැදිලා තියෙන්නෙ මට නෙමෙයි යකෝ..

යනුවෙන් කෑ ගසන්නට ඔහුට සිත් විය.

අභිෂේක් අවුල් වෙලාද ඉන්නෙ..?

ඔහු පසෙකට කැඳවූ අධ්‍යක්ෂකවරයා ද විමසුවේය.

අනේ නෑ සුරංග අයියා.. මට කිසිම අවුලක් නෑ.. අපි සීන් එක කරමු..

අභිෂේක් කීවේ අවංකවම නොවේ. පියුමිකා මේ සිද්ධීයට කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇද්දැයි බිය ඔහු තුළ තිබිණි. මුළු ලෝකයම එක් පසක් වී වැරදි කරුවෙකු කළ ද ඔහුට එය දරාගැනීමට පුළුවන. එහෙත් ඇය වචනයකින් හෝ දොසක් පැවරුවහොත් ඔහුගේ මුළු ලෝකයම සී සී කඩ යනවා නොඅනුමානය.

දර්ශන දෙකක් අතර විවේක කාලයෙදී දර්ශන තලයේ ඈත කෙළවරට ගිය අභිෂේක් පියුමිකාට දුරකථන ඇමතුමක් දුන්නේය. අසාමාන්‍ය යමක් කරන විටෙක මෙන් ඔහුගේද හද ගැස්ම වැඩි වුයේය. ඉතා අසීරු දර්ශනයක් රඟපාද්දීවත් ඔහුට මෙසේ දැනී නොතිබිණි.

හලෝ අභි..

අභිෂේක්ට කල්පාන්තරයෙන් මෙන් දැනුණ තත්පර කිහිපයකටප සුව පියුමිකා දුරකථනයට සම්බන්ධ වූවාය.

නෙතූ.. බබී..

අසීරුවෙන් එවදන් පිට කර ගත්තද එතැනින් එහාට කතා කළ යුතු යමක් ඔහුට සිහිපත් වූයේ නැත.

මොකද කටහඬ වෙනස් වෙලා..? ඔයාටත් ඒඩ්ස් හැඳිලද.?

පියුමිකා කිකිණි හඬින් සිනාසෙමින් ඇසුවාය. අභිෂේක් අදහාගත නොහැකිව මෙන් මොහොතක් ගල් ගැසී බලා සිටියේය. මහා බරක් බිම තැබුවාක් මෙන් සැහැල්ලුවක් ඔහුට දැනෙන්නට වූයේ ඉනික්බිතිවය.

ඔයාටත් ඒ මැසේජ් එක ආවද බබා.?

කතා කරගත හැකි වූ ඇසිල්ලේ ඔහු විමසිය.

එකක් නෙමෙයි.. හැටක් විතර ආවා.. වැඩිපුර තිබුණෙ ඔයාව බ්ලඩ් ටෙස්ට් එකකට යවන්න කියලා ආව ඒවා..

ඇය කීවේ කිසිදු බරක් පතලක් නොමැතිවය.

ඉතින් ඔයාට අප්සට් ගියේ නැද්ද..?

අභිෂේක් මවිතයෙන් විමසිය.

මට අදාළ නැති දේවල් වලට මං අප්සෙට් වෙන්නෙ මොකටද..?

පියුමිකා විමසද්දී ඔහුගේ මුළු සිරුරම හිරි වැටී ගියේය. ඇය තමා සිය ජීවිතයෙන් පිටමං කොට අවසානයයි ඔහුට සිතිණි. අපේක්ෂා භංගත්වය විසින් ඔහුගේ දෑසට කඳුළු නංවනු ලැබිණි..

බබි.. කිසිම විදියකින් ඔයාට මාව අදාල නැද්ද..?

ඔහු බිඳුණු හඬින් විමසීය.

කවුද ඔයා අදාල නෑ කියලා කිව්වෙ..? යුවනිට ඒඩ්ස් හැඳුණා කියන එකයි මට අදාල නැත්තෙ..

පියුමිකා යුවනිගේ නම උච්චාරණය කළේ අකමැත්තෙන් මෙනි.

ඒ.. ඒ.. කියන්නෙ ඔයාට මාව විශ්වාසයි..?

දරාගත නොහැකි සතුට නිසා ඔහුට ගොත ගැසිණි.

ඔව් අභි.. ඔයා ගැන මං දන්නවා..

පියුමිකා සන්සුන්ව කීවාය.

ඒ ඇති රත්තරන්.. මට ඒ ඇති..

ඔහු දුරකථනය විසන්ධි කලේ තව දුරටත් කතා කළහොත් හැඬෙන්නට ඉඩ තිබූ වැවිනි. ඔහු පියුමිකා සිප ගන්නාක් මෙන් ආදරයෙන් දුරකථනය සිපගෙන පිසපෙන ගොන් එය සාක්කුවේ ලා ගත්තේය. ඔහුට මහ හඬින් සිනාසෙන්නට සිතුණි. උඩ පැන පැන නටන්නට සිතුණි. දැන් ඉතින් ඔහුට ලෝකය පෙරලුනද කමක් නැත. ආදරය යනු විශ්වාසයේම අනෙක් පැත්ත නොවන්නේදැයි ඔහු කල්පනා කළේය.

ඔහුට යුවනි ගැන අනුකම්පාවක් දැනෙන්නට වූයේ සිත සැහැල්ලුවෙන් පැවති බැවිනි. එවර ඔහු දෙවරක් නොසිතාන ඇයට ඇමතුමක් දුන්නේය.

අනේ අභිෂේක්..

ඔහුගේ කටහඩ ඇසුණු විගසම යුවනි ඉකි බිඳ බිඳ හඩන්නට පටන් ගත්තාය. ඔහු ඒ ඉකි බිඳුම තුනී වෙන තුරු මඳ වේලාවක් බලා සිටියේය.

යුවනි අඩන්න එපා.. මේ කතාවෙ තේරුම මොකක්ද කියන්න..

ඔහු කරුණාවෙන් කීවේය. මේ වන විට ඔහු තුළ යුවනි කෙරෙහි මඳ තරහක් හෝ ඉතිරිව නොතිබිණි. කෙනෙකු ළඟ රැදිය යුත්තේ ඒ තැනැත්තා අසරන වූ විට ඔහු ඇදහුවේය.

මේ කතාව කිසිම තේරුමක් නැති කතාවක් නෙමෙයි අභිෂේක්.. අර තාරක කියන පාහරයට උදව් කරන්න ගිහින් මට හැදුන කතන්දරේ බලන්නකො.

හඬ හඬාම ආරම්බ කල යුවනි මෙතෙක් සිදු වූ සිල්ල අකුරක් නෑරම කියාගෙන ගියේය. අභිෂේක් සන්සුන්ව අසා සිටියේය. ඇය තුළ තිබුණේ ඔහුගෙන් පලි ගැනීමේ චේතනාව බව වටහාගතතේ වී නමුදු ඔහු තුළ අමනාපයක් ඉපදුණේ නැත.

මට සමාවෙන්න අභිෂේක්.. මං හින්දා ඔයාගෙ නමටත් කැළලක් වුණා.. මම අම්මයි අයියයි කිව්ව දේවල් ඇහුවෙ නෑ.. ඔයා කිව්ව දේවල් ඇහුවෙ නෑ.. මගේ හිතුවක්කාර කමටයි ලොකු කමටයි මේක හොඳ පාඩමක්..

ඇය දිගින් දිගටම කියාගෙන ගියාය.

ඔයාගෙ වැරැද්ද ඔයාම තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක් යුවනි.. මීට පස්සෙවත් කල්පනාවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න..

ඔහු අවවාද කළේය.

මම පියුමිකාටත් ගොඩක් වැරදි කළා.. මට එයාට කතා කරන්න පුළුවන්කමක් නෑ අභිෂේක්.. මං සමාව ඉල්ලුවා කියලා කියන්න..

ඇය කීවේ හඬ හඩාමය.

එයා තරහා හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි යුවනි.. අපි දෙන්නා එන්නම් ඔයාව බලලා යන්න..

තැන්ක් යූ අභි.. මම ඔයාලා දෙන්නට සුභ පතනවා..

මුමුණමින් ඇය දුරකථන සම්බන්ධතාවය විසන්ධි කළේය.

අභිෂේක් එතැනම සිටගෙන බොහෝ වේලාවක් සිටියේය. මොන තරම් ප්‍රබල අයෙකු වුවත් අසරණ වූ විට නිවට නියාලු බවටප ත් වන්නේ විදුලි වේගයෙනි. යුවනිද පත්ව සිටින්නේ ඒ තත්වයටය. ඔහුගෙන් පමණක් නොව පියුමිකාගෙන් පවා සමාව ඉල්ලන්නට තරම් ඇය නිහතමානී වූවාය.

මොනවා වුණත් මම ෆිල්ඩ් එකට ආවෙ යුවනි හින්දනේ.. කොයි වෙලාවක හරි නෙතුත් එක්ක ගිහින් එයාව බලලා එන්න ඕනෑ..

ඔහු සනිටුහන් කර ගත්තේය.

යුවනි කාමරයෙන් එළියට බැස්සේවත් කිසි කෙනෙකු හා කතා කළේවත් නැත. ඇය දුරකථනයට පිළිතුරු දුන්නේ ඒ ඇමතුම අභිෂේක්ගෙන් බව දුටු නිසාය.

කාගෙන්ද කෝල් එක..?

ඇය අසීමිතව වැළපෙන හඬ අසා කාමරයට ආ අම්මා විමසුවාය. ඇය දර්ශන තලයේ සිට කැටුව ආවාටම පසු අම්මා හෝ අයියා අවවාද වශයෙන්වත් දෝෂාරෝපණ වශයෙන්වත් කිසිවක් කීවේ නැ. එයද ඇගේ සිතට වදයක් හා බරක් විණි.

අභිෂේක්ගෙන්..

යුවනි බිඳුණ හඬින් කීවාය.

අභිෂේක් හොඳ කොල්ලෙක්..

අම්මා ඉවත බලාගෙන කීවේ එවන් බෑණා කෙනෙකු ලබන්නට වාසනාවක් නොලැබුණ බව අඟවන්නට විය යුතුයැයි යුවනිට සිතුණි. වියලී යමින් තිබූ ඇඟේ කඳුළු නැවතත් අලුත් විණි.

මට සමාවෙන්න අම්මා.. මට හොඳ නරක තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ..

ඇය අම්මා වැළඳගෙන හඩා වැටුණාය.

දැන් මනෝජ් මොකද කියන්නෙ..?

මඳ වේලාවක් නිහඩව යුවනිගේ හිස පිරිමදිමින් සිටි අම්මා විමසුවාය. ඇය තුළ මනෝජ් ගැන කතා කිරීමේ කැමැත්තක් තිබුණේම නැත. එහෙත් දැන් දියණිය සිටින්නේ අසරණවය. මේ අවස්ථාවේදී මනෝජ් ඇයට පිහිට විය යුතු යැයි අම්මා ඇදහුවාය.

හැමෝම බොරුකාරයො.. අවස්ථාවාදියො අම්මා.. මනෝජ් රට ගිහින් තියෙන්නෙ එයාගෙ ෆැමිලි එකත් එක්කමයි.. සමහර විට ආයෙ ලංකාවට එන්නෙත් නැති වෙයිලු..

හූල්ලමින් කී යුවනි අම්මාගෙන් මිදි ගොස් ජනේලයෙන් පිටත බලාගෙන සිට ගත්තාය. අම්මාගේ පපුව දරු සෙනෙහසින් ඇවිලිණි.

එතකොට ඔයාට දීපු ගේ..?

ඇය සැකමුසු හඬින් ඇසුවාය.

ඒකත් ලොකු බොරුවක් අම්මා.. එයා ඒක යාළුවෙකුට විකුණලා.. යතුරු ටික මුර කාරයට බාර දෙන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා.. මට එච්චර ආදරෙන් ඉන්නවා කියලා අඟවලා කොහොද අම්මා එයා එහෙම කළේ..?

යුවනි විමසුවේ ඉකි බිඳ හඬමිනි. අම්මාට වාවා ගත නොහැකි ශෝකයක්ද දැනුණි. එහෙත් දියණියගේ පැණයට පිළිතුරක් ඇයට සිහිපත් වූයේ නැත. ඇය හූල්ලමික් කාමරයෙන් පිට වූවාය. රුවන් සමඟ මේ පිළිඳව කතා කරන්නට ඇයට වුවමනා වූවාය.

රුවන් ඉස්තෝප්පුවේ වාඩි වී සිටියේ දැඩි කල්පනාවක ගැලිගෙනය. ඒ අවමානය එල්ල වූයේ නංගීට වුවත් පීඩාව වැඩිපුර දැනුණේ ඔහුටය.

තාරක කෝල් එකක් දුන්නා..

අම්මා ළඟට පැමිණි කල ඔහු හිස හරවා නොබලාම පැවසුවේය.

මොනවද කිව්වෙ..?

අම්මා විමසුවේ උනන්දුවෙන් යුතුවය.

එයා මීඩියා වලට කතා කරලා ඔක්කොම විස්තරේ කිව්වලු.. යුවනිට අප්සෙට් වෙන්න දෙයක් නැතිලු..

ඔහු කියද්දී අම්මාගේ සිතට මඳ සැනසුමක් දැනුණි. ඇය සුසුමක් හෙළමින් පුතු ඉදිරියේ පුටුවක වාඩි වූවාය.

වෙන්න ඕන අප්සට් ඔක්කොම වුණාට පස්සෙ තව මොනවා වෙන්නද..? දැන් මේ නින්දාවෙන්වත් නිදහස් වෙන්නෙ නැතෑ..

අම්මා කීවේ සුසුමක් හෙළමිනි.

ජගතුත් කතා කළා.. අර මනෝජ් කියන එකා කෝල් එකක් දුන්නලු වියදම් වුණ ඒවා ගෙවලා දාලා ටෙලිය නවත්තන්න කියලා.. ඒකෙන් මේකෙන් තාරකට තමයි ආයෙමත් යන එනමං නැති වුනේ..

රුවන් කීවේ මඳ සිනාවක් පාමිනි. එය තාරකගේ කුහකකමට හොඳ පාඩමක් යැයි ඔහුට සිතුණි.

ඒක හොදයි.. දැන් යුවනිටත් හොඳ නරක තේරිලානේ තියෙන්නෙ.. මටත් මේ ෆිල්ඩ් එක එපාම වුණා.. ඔයත් ඔය ප්‍රොඩක්ෂන් අතෑරලා දාලා වෙන මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න..

අම්මා අවවාද කළාය. රුවන් ඒ අවවාදය පිළිගත් බව අඟවමින් හිස සැලුවේය.

තමා පෙනී සිටි සජීවී රූපවාහිනී වැඩසටහනක් රාත්‍රියේ විකාශය  වන බව පියුමිකා දැනුම් දුන්නාය. අභිෂේක්ගේ කාමරයේ රූපවාහිනී යන්ත්‍රයක් තිබුණේ නැත. සාලයේ වූ රූපවාහිනී යන්ත්‍රය වටා වෙන විට අනෙක් පිරිස් රැස් වී සිටින බව ඔහු දැන සිටියේය. එතැනට යාමට සතුටු නොවූ බැවින් ඔහු සිය දුරකථනයේ රූපවාහිනිය ක්‍රියාත්මක කළේය. පියුමිකාගේ සුන්දර මුහුණ ඉන් දිස් වූයේ කුඩාවටය. එහෙත් ඇය ළඟ ඉන්නාක් බඳු සතුටක් ඔහුට දැනුණි.

ආදරය ගැන මොනවද හිතන්නෙ..?

දිගින් දිගටම ඇගේ ගායන ජීවිතය ගැන තොරතුරු විමසූ නිවේදකයා හිටි හැටියේම විමසීය. අභිෂේක්ගේ හදවත තිගැස්සිණි. ඔහු ඕනෑකමින් තිරය දෙස බලා සිටියේය.

ආදරය බොහොම සුන්දර දෙයක්.. ජීවත් වෙන හැම කෙනෙක්ටම ආදර ඕන..

ඇය මඳහසක් මුව රඳවාගෙන කීවාය.

මම අදහස් කළේ පෙම්වතෙකුගේ ආදරය..

නිවේදකයා කීය.

ම්.. පෙම්වතෙකුගෙ ආදරය මම විඳිනවා..

පියුමිකා කීවේ අර මඳහස මොහොතකටවත් මුවින් වියැකී යන්නට ඉඩ නොදෙමිනි. අභිෂේක් හඳ ගැස්ම පාලනය කර ගන්නට ළමැදට අත තබා ගත්තේය.

ඒ පෙම්වතා ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පියෙක් කියලා මම කිව්වොත්..?

අභිෂේක් නුගලියද්ද කියලම කිව්වට කමක් නෑ..

ඇය සෘජුවම කීවාය.

නිවේදකයාට පමණක් නොව අභිෂේක්ටද මවිතය දරාගත නොහැකි වූවේය. ඇය ප්‍රසිද්ධියේම මෙලෙස කතා කරනු ඇතැයි ඔහුට සිහිනෙකින්වත් සිතුණේ නැත. ඉනික්බිති නිවේදකයා ඇසූ දේවල්වත් ඇය දුන් පිළිතුරුවත් ඔහුට දැනුණේ නැත. ඔහු මනස්කාන්ත සිහින ලෝකයක සැහැල්ලුවෙන් පාවී යනමින් සිටියේය.

මගේ රත්තරන් කෙල්ලෙ.. ඔයාට මං කිව්වනේ කාලය අපිව ළං කරනවා මිසක් ඈත් කරන්නෙ නෑ කියලා.. අපි දෙන්නා ඉපදිලා තියෙන්නෙ අපි දෙන්නා වෙනුවෙන්මයි වස්තුවෙ..

ඔහු දුරකථනය දෝතින්ම පපුවට තුරුළු කරගනිමින් විමසුවේය.



No comments:

Post a Comment