Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ඇරඹිමත් සමගම යුවනි කාර්ය බහුල වූවා පමණක් නොව යම්තාක් දුරට අහංසාර ද වූවාය. ඇගේ පින්තූර හා විස්තර සිනමා පුවත්පත් වල සහ අනෙකුත් පුවත්පත් වල සිනමා අතිරේකයේ කිහිප වරක්ම පල වූවේය.

ඉස්සර බලෙන්වත් පිංතූරයක් දම්ම ගන්න බෑ.. දැන් සෙට් එකටම හොයාගෙන එනවා..


සිනමා පුවත්පතක මාධ්‍යවේදියෙකු දර්ශන තලයටම පැමිණ අගේත් තාරකගේත් පින්තූර ගත් දිනයේ ඇය තාරකට පැවසුවේ මැසිවිල්ලක හඬිනි. එහෙත් එවදන්වලට යටිත් වූයේ අප්‍රමාණ ආඩම්බරයක් බව තාරක හැඳින ගත්තේය.

එහෙම තමයි.. අපි වැටෙන කොට කවුරුවත් අපි ළඟ නෑ.. යන්තම් දණි පණි ගාගෙන නැගිටිනකොට ඕන තරම් අය ඉන්නවා..

යුවනි එය ඇනුම්පදයක් ලෙසින් බාර ගන්නවා නියතය. එහෙත් මෙමොහොතේ ඇය හිස සලමින් ඔහුගේ අදහසට එකඟ වූවාය. තාරක අනතුරට ලක් වූවාට පසුය ඇය ඔහු පිළිබඳව සොයන්නට උනන්දු නොවූ බව සැබෑවකි. එහෙත් ඔහු නැවත ක්ෂේත්‍රයට රැගෙන එනු ලැබුවේ ඇය විසිනි.

තාරක තුළ නම් ඒ පිළිබඳව කෘතඥතාවක් නොවිණි. ඔහුට උවමනා වී තිබුණේ කුමන ආකාරයෙන් හෝ නැවතත් ජනප්‍රිය නළුවා බවට පත්වීමට. ඔහු තුළ අභිෂේක් කෙරෙහි වූයේ අප්‍රමාණ ඊර්ෂ්‍යාවකි. තාරක ජනප්‍රියම නළුවා වශයෙන් වැජඹුණු කාලයේදීවත් නිෂ්පාදකයන්ගෙන් එහු ඉල්ලන ගණන් ගෙවා සිය නිෂ්පාදනවලට යොදා ගත්තේ නැත.

ඔයාගෙ ගාණ මෙච්චරයිනේ තාරක.. ඊට වැඩිය ඉල්ලන එක අසාධාරණයිනේ..

කියමින් ඔවුහු වාද කළහ.

එහෙත් අභිෂේක් සිය නිර්මාණයන්ට හොයා ගැනීමට නිශ්පාදකයන් අතර වූයේ අසීමිත තරඟයකි. එම නිසාම ඔවුහු අභිෂේක්ට ගෙවිය යුතු මුදල ගැන නොතැකූහ. දිවයිනේ ජනප්‍රියතම ගායිකාව ලෙස නම් දරා සිටින නෙතුමිණි හා අභීෂේක් සමීපත්වය පිළීබඳව ද තාරක සිටියේ ඊර්ෂ්‍යාවෙනි.

අපිට නම් ඉතින් සෙට් වෙන තරමක් සෙට් වේනනෙ කිසිම කමකට නැති තුට්ටු දෙකේ කෑලි.. බලපන්කො ඒකටත් එක්ක අභිෂේකයා..

ඔහු මිතුරන් සමඟද මැසිවිලි නැගුවේය.

මිනිහා ලක් කාරයා.. බලපන් ෆිල්ඩ් එකට පය ගහලා මොන තරම් පුංචි කාලයක්ද..? දැන් ලංකාවෙ ජනප්‍රිය නළුවා.. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මිනිහා නැත්තටම නැති වෙලා යයි කියලා අපි හිතුවෙ.. ඒ වුණාට හිටියටත් වැඩිය හොඳ තැනකට ආවා.. උඹ ඇක්සිඩන්ට් වෙලා කොච්චර කාලයක් එක තැන හිටියද..?

තාරකට පිළීතුරු වශයෙන් එක් මිතුරෙකු පැවසුවේ එහුගේ සිත තවත් පාරමිනි.

මම බොහොම ඉක්මනට ඔය හැමදේම වෙනස් කරන්නම්කො..

ඔහු මිතුරාට නෑසෙන ලෙස මුමුණා ගත්තේය.

අභිෂේක් මේ දින වල බලවත් සතුටින් සිටියේ ජනප්‍රියත්වය නිසාවත් මුදල් නිසාවත් නොව, පියුමිකා ඇගේ සිතැඟි නොවළහා හෙළිදරව් කළ නිසාය. ඇය අහිමි වෙනු ඇතැයි ලොබකම හැමදාකම ඔහුගේ සිත පෙළමින් තිබුණේය. එය වෙනස් වී ගියේ ඇයත් ඔහුත් අතර ඇති වූ ලෙනගතු කතා බහට පසුවය.

කාලෙට ඉඩදිලා අපි බලාගෙන ඉඳිමු.. කාලෙ එක්කො අපි ළං කරයි.. නැත්නම් ඈත් කරයි..

ඇය එසේ කීවත් ඔවුන් කිසිම දිනෙක ඈත් නොවනු ඇතැයි අභීෂේක් තරයේ අදහාගෙන සිටියේය. දර්ශන තලයට යාමට ප්‍රමාද වී තිබුණත් ඔහු මාලිංග හා උදාර හමු වීමට ගියේ මේ සතුට දනවන ආරංචිය ඔවුනටත් හෙළි කිරීම පිණිසය.

දැන්වත් ඉතින් හිත යන යන තැන උමත් දුවන්නෙ නැතුව ඉන්න බලපන්.. පියුමිකා නිකම් කෙල්ලෙක් නමෙයි.. දේවදූතියක්.. එහෙම නොවන්න උඹට ඔය විදියට සමාවක් හම්බ වෙන්නෙ නෑ..

ඔවුහු අවවාදාත්මක ස්වරයෙන් පැවසූහ. අභිෂේක් එවදන් තදින්ම සිතේ තැන්පත් කොට ගත්තේය.

නෙතුගෙන් තොර ලෝකයක් ගැන දැන් මට හිතන්නවත් බෑ මචං..

ඔහු අතිශය හැගුම්බර ස්වරයෙන් පැවසුවේය.

එවර නම් මිතුරන් දෙදෙනාම ඔහු දෙස බැලුවේ උපහාසාත්මකවය. යුවනිට ළං වූ මුල් දිනවල අභිෂේක් පියුමිකා ගණනකට ගත්තේවත් නැත. ඇය හඬ හඬ දුක කීවේ මිතුරන් සමඟිනි. එහෙත් ඔහු සිතින් ගතින් දෙකින්ම ඇඳ වැටුණ මොහොතේ ඇය සිතේ කිසිදු කහටක් නැතිව ඔහුට පිහිට වූවාය.

පියුමිකා වගේ කෙල්ලන්ට මල් තියලා වඳින්න වටිනවා..

මාලිංගට ඉබේටම කියැවුණේ දිගින් දිගටම ඇගේ උදාරත්වය පිළිබඳ කියමින් සිටියදීය.

ඒක ඇත්ත මචං.. මටත් ඒක තේරුම් ගන්න කල් ගියා..

අභිෂේක් හූල්ලමින් කීවේය.

ඕනෑම ආයතනයක හොඳ දේවල් වලට වැඩිය වේගයෙන් පැතිර යන්නේ නරක ඕපාදූපය. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ එම තත්වය අනෙක් තැන් වලට සාපේක්ෂව බලද්දී දෙතුන් ගුණයකට අධිකය. අභීෂේක්ගේ කනටද යුවනි පිළිබඳ නොයෙකුත් ඕපාදූප වැටුනේ දර්ශන තල වලදීය. ඔහුගේත් යුවනිගේත් සම්බන්ධය දැන සිටි අය ඕනෑ කමින්ම ඔහුට ඒවා කීවේ පදමට ලුණු ඇඹුල් එකතු කිරිමේන් ද අනතුරුවය. ඒවායෙන් ඇතැම් ඒවා අභිෂේක්ගේ සිතට තරහක් හා වේදනාවක්ද, ඇතැම් ඒවා ලැජ්ජාවක්ද දැනවිය.

බල්ලොත් එක්ක නිදාගත්තම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන්නෙ ඕක තමයි මල්ලි.. අපි කට කැඩෙනකම් කියලත් උඹට ඕක තේරුම් ගන්න බැරි වුණානේ..

ඔහු මේවා කියද්දී උදාර හා මාලිංග නම් බැන වැදුණේ උපහාසාත්මක ලෙසය. වරද තමා අතේ බැවින් අභිෂේක් ඒ බැනුම් අසගෙන නිහඬ වූවේය.

යුවනි මනෝජ් සමඟ සම්බන්ධයක් පවත්වන බව අභිෂේක්ට දැන ගන්නට ලැබුනේ ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑ ඉෂාන් වෙතිනි. එක් දර්ශනයක අවසන් කළ අභිෂේක් ඊ ළඟ දර්ශනයට වේලාව එනතුරු පුළුල් ගෙවත්ත කෙළවර ප්ලාස්ටික් පුටුවක් තබාගෙන වාඩි වී විවේක ගනිමින් සිටියේය. ඉෂාන් එතැනට පැමිණියේ ලුනු කුඩු සහ ගම්මිරිස් කුඩු තවරන ලද අඹරැල්ලා තසිමක්ද රැගෙනය.

ෂා.. අඹරැල්ලා.. නියමයිනේ.. කොහෙන්ද..?

අසාගෙන අභිෂේක් තසිම අතට ගත්තේය.

ඔහුට පියුමිකා සිහිපත් වූයේ නිතැතිනි.. මෙවන් ඇඹුල් සහිත කෑම වර්ග වලට ඇය තුළ වූයේ අප්‍රමාණ ආශාවකි. ඇතැම් දිනයක ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය අද්දර නිවසක ඇති වෙරළු ගසෙන් බිම වැටුනු වෙරළු ගෙඩිද ඇහිද ගත්තේය.

අපි අඹරැල්ලා කනවා..

ඔහු ඇයට කෙඩි පණිවුඩයක් යැව්වේය.

පෙරේතයා.. මට නොදී කනවට බඩ රිදියන්..

ඇය එකෙණෙහිම පිළීතුරු එවා තිබිණි. අභිෂේක්ට හිනා ගියේය.

ඇයි අයියෙ හිනා වෙන්නෙ..? අඹරැල්ලා රහ නැද්ද..?

අසාගෙන ඉෂාන් මිබ දමා තිබූ පොල් කොටයක් මත වාඩි වූවේය.

රහ හින්දනේ මනුස්සයො හිනා වෙන්නෙ..

අභිෂේක් කී විට ඉෂාන්ගේ මුහුණ සතුටින් එළිය වැටිණි.

අර වැට අයිනෙ උස අඹරැල්ල ගහක් තියෙන්නෙ.. ඒකෙන් අපි පොලු ගහලා කැඩුවෙ..

ඔහු කීවේ හපන්කමක් කළ බව කියන කුඩා දරුවෙකු මෙනි.

ගෙදර අයිතිකාරයා දැක්කා නම් එහෙම අපිට ෂූටිනුත් නවත්තලා යන්න කියයි..

අපි එයාලගෙන් අහලා කැඩුවෙ.. ගහ උස වැඩි හන්දා එයාලටත් කඩන්න බැරුවලු ඉන්නෙ..

ඉෂාන් සිනාසුනේය.

අච්චාරු හැදුවෙත් ඔයාලමද..?

නෑ.. ඒකට නම් ජයමිණි අක්කලා උදව් කෙරුවා..

ඉෂාන් සඳහන් කළේ සුළු චරිතයක් රඟපාන තවත් නිළියක පිළිබදවය. දර්හන තලවලදී අභිෂේක් කිසිවෙකු සමඟ ඕනෑවට වැඩිය ඇසුරකට ගියේ නැත. එහෙත් සියලු දෙනා සමඟ සුහදව කතා බහ කළේය. වැඩිපුර විවේක කාලයක් තිබුණොත් ඔහු කලේ පසෙකට වී පොතක් කියවීමය. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටින ලෙස ඔහු උනන්දු කරන ලද්දේ පියුමිකා විසිනි. ඔහු හදිසි අනතුරෙන් පසුව එක්තැන් වී සිටි කාලයේ ඇය ඒ විභාගයට අදාල පොත පත පවා ගෙනැවිත් දුන්නාය.

හැමදාම රඟපාන්න බෑ.. රඟපාන්න බැරි කාලෙකට ජීවත් වෙන්න ජොබ් එකක් තියෙන්නත් එපැයි..

ඇය නිරතුරුවම කීවේ සරදමට මෙනි. එහෙත් එහි ඇති සත්‍යය ඔහු මනාව වටහා ගත්තේය. විභාගයට අදාළ පොත් පත් ඔහු කැමැත්තෙන්ම කියැවූයේ එම නිසාය. ඒ අවස්ථාවල දර්ශන තලයේ සිටින දඟකාරයන්වත් අභිෂේක්ට බාධා කලේ නැත. මේ මොහොතේ ඉෂාප් පැමිණෙන්නට ඇත්තේ ඔහු පොතක් අතේ නොමැතිව වාඩි වී සිටි නිසා විය යුතුය.

ආ.. ඔයත් කන්න..

අභිෂේක් තසිම ඔහු වෙත පෑවේය.

එපා.. එපා.. අපිට තියෙනවා..

ඉෂාන් එය ප්‍රතික්ෂේප කරමින් පැවසීය.

ඉෂාන්ට මොනවද මේ දවස්වල තියෙන වැඩ..?

අභීෂේක් විමසුවේ කතා නොකර සිටීම කණිෂ්ඨ කළුවාට කරන අගෞරවයක් යැයි සිතූ බැවිනි.

මේ දවස්වල සුරලිය එකේ කැරැක්ටර් එකක් කරනවා..

ඉෂාන් පැවසීය.

සුරලිය යනු මනෝජ් නිෂ්පාදනය කරන යුවනි හා තාරක ප්‍රධාන චරිත රඟපාන ටෙලි සිත්තමය. එය ද මේ දිනවල රූගත කෙරෙමින් පැවතිණි. ඒ පිළිබඳව විස්තර දැන ගැනීමේ උන්නදුව අභිෂේක් තුළ ඇති වූවේය.

කොහොමද හොඳට වැඩ කෙරීගෙන යනවද..?

ඔහු විමසුවේ එම නිසාය.

යුවනි අක්කා නම් හොඳට ඇක්ට් කරනවා.. තාරක අයියා නම් ඉස්සර තරම් හොඳ නෑ..

ඉෂාන් තොල පෙරලමින් කියද්දී අභිෂේක් හෙමීට හිස සැලුවේය. තාරක විසින් තමාට කරන ලද අවමන්, කෙනෙහිලිකම් සිහිපත් වූ විට අභිෂේක්ගේ සිතේ සිහින් සතුටක්ද ඇති නොවුණා නොවේ. එහෙත් මෙවැන්නවුන් ඉදිරියේ කතා කළ යුත්තේ ඉතා ප්‍රවේසමිනි. එහාට මෙහාට කේළම් කියා වාසි ලබා ගන්නට මොවුන් කිසිසේත්ම පැකිළෙන්නේ නැත.

තාරක සෑහෙන දවසක් අසනීපෙන් හිටියනේ.. දැන් ඉතින් අලුතෙන්ම  ෆිල්ඩ් එකට ආව වගේනේ.. පස්සෙ හරියයි..

අභිසේක් පැවසුවේ එනිසාය.

ඉතින් අභීෂේක් අයියත් එහෙමමනේ.. සෑහෙන කාලයක් එක තැන් වෙලා ඉඳලනේ ආවෙ.. ඒ වුණාට ඔයා කොච්චර හොඳට ඇක්ට් කරනවද..?

ඉෂාන් කළේ බොරු වර්ණනාවක් නොවේ. අභීෂේක් ක්ෂේත්‍රයේ කාගෙන්වත් විවේචනයක් එල්ල වීමට ඉඩ නොතබා තමන්ට ලැබෙන කුමන චරිතය වුවද කැපවීමෙන් රඟපෑවේය. එයට පියුමිකාගේ ආභෘෂය ද බොහෝ සෙයින් බල පා තිබිණි. තාරක තමා පිළිබඳව අධි තක්සේරුවෙන් සිතන අයෙකි. ඔහු කිසිවෙකුගේ උපදෙස්, මඟ පෙන්වීම් නොඉවසුවේය.

මම ඉතින් තාරක තරම් කාලයක් අසනීපෙන් හිටියෙ නෑනේ..

අභීෂේක් මඳ සිනාවක් පාමින් කීය.

හැබැයි යුවනි අක්කා ගැන නම් මට දුකයි අයියෙ..

මඳ වේලාවක් කල්පනා කරමින් සිටි ඉෂාන් කියද්දී අභීෂේක් පුදුමයෙන් ඔහු දෙස බැලීය.

ඒ මොකද දුක් වෙන්නෙ..? එයා හොඳට රඟපානවා කියලා ඔයාමනේ කිව්වෙ..

ඇක්ටින් වල අවුලක් නෙමෙයි අයියෙ..

රහසක් හෙළි කරන්නට මෙන් ඉෂාන් වටපිට බැලීය. කිසිවෙකු ළඟ පාතක පෙනෙන්නට සිටියේ නැත. අභිෂේක් නිදහසේ ඇඹරැල්ලා කමින් සිටියේ මේ කතාවට උනන්දුවක් නොදක්වන බව අඟවන්නටය. එහෙත් සැබෑවටම ඔහුට යුවනි ගැන දැන ගන්නට වුවමණාවක් තිබිණි.

එහෙනම් මොකක්ද අවුල..?

ඔහු ඕනෑවට එපාවට මෙන් ඇසීය.

ටෙලියේ ප්‍රොඩියුසර් මනෝජ් ප්‍රේමතිලක..

ඉෂාන් කීවේ වඩාත් පහත් හඬිනි.

ඕව් ඉතින්..

මිනිහගෙයි, යුවනි අක්කගෙයි එෆෙයාර් එකක් තියෙනවා..

ඉෂාන් කියද්දී අභිෂේක් තිගැස්සුනේය. ඔහු කමින් සිටි අඹරැල්ලා කැබැල්ලද බිමට වැටුණි. එහෙත් ඔහු කලබල වූ බව නොපෙන්වන්නට වෑයම් කළේය.

බොරු කතාවක් වෙන්න ඇති.. නිළියන්ට ඉතින් කතන්දර හැදෙන එකේ කෙළවරක් නෑනේ..

ඔහු කීවේය.

මේක බොරුවක් නෙමෙයි අයියෙ.. මම හොඳටම දන්න දෙයක්.. මනෝජ් මහත්තයගෙ හොටෙල් එකක් තියෙනවනේ කිතුල්ගල පැත්තෙ.. මම ඉස්සර ඒකෙ වැඩ කලේ..

එහෙමද..?

ඔව්.. ඒ කාලෙ මනෝජ් මහත්තයගෙ එෆෙයාර් එක තිබ්බෙ දිනීෂා මිස් එක්ක..

මොනවා..? දිණීෂා.. අර ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගිය නිළිය..?

අභිෂේක් විමසුවේ මවිතයෙනි.

එක් කලක ජනප්‍රිය නිළියක ලෙසින් වැජඹුණු දිනීෂා හිටි හැටියේම සියල්ල අතෑර දමා ඕන්ට්‍රේලියාවේ පදිංචියට ගියාය. අභීෂේක් ක්ෂේත්‍රයට ආවේ ඇය එලෙස අබිනික්මන් කොට ටික කාලයකට පසුවය.

දිනීෂා හිටපු කාලෙ අභිෂේක් ෆිල්ඩ් එකට ආව නම් ආයෙ කියලා වැඩක් නෑ.. පර්ෆෙක්ට් කෙල්ල..

ඒ කාලයේ බොහො දෙනෙකු කියූ ආකාරය ඔහුට සිහිපත් විණි. ඇගේ නමට බොහෝ නළුවන්ගේ නම් සම්බන්ධ වී කතන්දර හැදී තිබිණි. එහෙත් නිෂ්පාදකවරයෙකු සමඟ සම්බන්ධයක් පිළීබඳව අසන්නට ලැබුණේ ප්‍රථම වතාවටය.

ඔව්.. එයා තමයි.. ඉස්සර දිනීෂා මිසුයි මනෝජ් මහත්තයයි හොටෙල් එකට නිතරම එනවා.. අනිත් අයට නොපෙනී ඇතුළට එන්න වෙනම පඩි පෙළක් ඒකෙ තියෙනවා.. මහත්තයටම වෙන් වුණ රූම් එකකුත් තියෙනවා.. මම තමයි එයාලාගෙ රූම් බෝයි.. දිනීෂා මිස්ට මම හරි කැමතියි.. මුල්ම දවසෙ එයාව දැක්කම මම උඩ ගිහින් බිම වැටුණා..

ඉෂාන් කට කොනකට සිනාවක් නංවාගෙන කියාගෙන ගියේය. අභීෂේක් සවන් දී සිටියේ පුදුමයෙනි. ජනප්‍රිය නිළියක යනු ජනතාවගේ හදවත්වල වැජඹෙන්නෙකි. මෙවන් නිර්ලජජී හැසිරීම් තුළින් ඇය සිය ප්‍රතිරූපය විනාශ කරගනී.

හැබැයි එයා මනෝජ් මහත්තයා එක්ක හැමදාම එනකොට මගේ හිතේ තිබ්බ ගෞරවෙයි, ආදරෙයි නැතිව ගියා..

ඉෂාන් කීවේ අභිෂේක්ට දැනුණ සිතුවිල්ලමය.

කොහොම වුණත් හෝටලේදී දැන අදුනගෙන කතා බහ කළාට පස්සෙ මම එයාට කිව්වා මටත් රඟපාන්න ආසයි කියලා.. ඊට පස්සෙ එයා මට එයා රඟපාන ඒවයෙ පුංචි පුංචි කැරැක්ටර්ස් දුන්නා.. එහෙම තමයි මම ෆිල්ඩ් එකට ආවෙ..

ඉෂාන් කියාගෙන ගියේය. අභිෂේක්ට දැනුනේ සුරංගනා කතාවකට සවන් දීගෙන සිටින විට දැනෙන කුතුහලයමය. අඹරැල්ලා තසිම ඔහුත් නොදැනුවත්වම අවසන් වී තිබිණි.

තව ටිකක් ගේන්නද..?

හිස් තසිම අතට ගනිමින් ඉෂාන් විමසිය.

එපා.. එපා.. මට ඇති.. ඉතින් කතාව කියන්නකො..

ඔහු ඉෂාන් පෙළඹුවේය.

පස්සෙ මෙයා දිනීෂා මිස්ට මාලඹේ පැත්තෙන් ගෙයක් අරගනෙ දුන්නා.. මම කීප සැරයක්ම ඒ ගෙදරට ගිහින් තියෙනවා.. මනෝජ් මහත්තයගෙ නෝනට කතන්දරේ ආරංචි වෙලා හෙණ කලබැගෑනියක් වුණානේ.. මීඩියා එකට කේස් එක කියලා විඩෝස් වෙනවා කියලා නෝනා තර්ජනය කළා.. දේපළවල වැඩි කොටසක් තියෙන්නෙ නෝනගෙ නමට.. ඒ හින්දා මහත්තයා කැමති වුනේ නෑ ඩිවෝස් වෙන්න.. එයා දිනීෂා මිස්ව රට ඇරියා..

ඉෂාන් කියාගෙන යන විට අභිෂේක්ගේ සිතේ ඇඳුණේ චිත්‍රපටයක කතා පුවතකි. එය එතරම්ම විසිතුරු වූත් ගැටුම්වලින් ගහණ වූත් කතාවක් වූවේය.

දැන් මනෝජ් මහත්තයා යුවනි අක්කව යූස් කරන්නෙත් ඒ විදියටම තමයි.. එයත් එක්ක කීප දවසක්ම හෝටෙල් එකට ගිහින් තියෙනවා.. අර දිනීෂා මිස් හිටපු ගෙදර මෙච්චර කල් හිටියෙ මනෝජ් මහත්තයගෙ යාලුවෙක්.. ඒ යාළුවා ළඟදිම රට යනවලු.. ඊට පස්සෙ යුවනි අක්කට දෙන්න යනවා කියලා එක් ඉන්න මුර අන්කල් මගෙත් එක්ක කිව්වා..

අභිෂේක් සවන් දී සිටියේ පුදුමයෙන් මෙන්ම අප්‍රසාදයෙන් ද යුතුවය. යුවනි දඟකාර යුවතියක බැව් ඔහු දැන සිටියේය. කිසිදු ලැජ්ජාවකින් බියකින් තොරව පිරිමින්ට සමිප වීමට ඇයට හැකියාව තිබිණි.

අපෝ.. මේ වගේ තැන්වල නිදහසේ කතා කරන්නවත් පුළුවන්ද..? රූම් එකට ගියා නම් හරිනේ..

දිනෙක ඇයත් සමඟ මුහුදු වෙරළට ගිය අවස්ථාවක ඇය එලෙස මැසිවිලි නැඟූ ආකාරය අභීෂේක්ට සිහිපත් විය. ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් සඳහා නැවතී සිටයදී ද මහ රෑ පවා අභීෂේක්ගේ කාමරයට එන්නට ඇය පැකිලුනේ නැත. එහෙත් ඇය සැප සම්පත් වලට ආශාවෙන් ආත්මය පාවා දෙන තැනැත්තියක් බව අභිෂේක් සිහිනෙකින්වත් නොසිතුවේය.

ඔය මනුස්සයා එක ගෑනියෙකුගෙන් සන්තෝස වෙන මනුස්සයෙක් නෙමෙයි.. ඒකයි මට යුවනි අක්කා ගැන දුක.. දැන් මිනිහට දිනීෂා මිස් ගැන වගක්වත් නෑනේ.. යුවනි අක්කටත් කවදා හරි සිද්ධ වෙන්නෙ ඔය ටිකම තමයි..

ඉෂාන්ගේ කට හඬ ඔහුට ඇසුණේ ඈත ලෝකයක සිට එන්නාක් බඳුවය. ඉෂාන් මේ විස්තරය කියන්නේ හුදු ඕපාදූපයක් වශයෙන්ද, ඔහුත් යුවනිත් අතර වූ සම්බන්ධය දැන සිටි නිසාදැයි සිතන්නටවත් නොහැකි තරමටම අභීෂේක්ගේ සිතුවිලි විසිර ගොස් තිබිණි.

ඉෂාන්.. ඊළඟ සීන් එකට මේකප් දාගන්න..

සහය අධ්‍යක්ෂක කෑ ගැසුවේය. ඉෂාන් වහා නැගිට යන ආකාරය අභිෂේක් බලා සිටියේ හිස් දෑසිනි. සැබැවින්ම ඔහු කල්පනය කරමින් සිටියේ යුවනිට අවවාදයක් දිය යුතුද, මේ පිළිබඳව රුවන් දැනුවත් කළ යුතුද යන්නය.

ඔහු මාලිංගට දුරකථන ඇමතුමක් දුන්නේ නතිව තීරණයකට එළඹිය නොහැකි වූ නිසාය.

අනේ මේ.. උම අනුන්ගෙ සීනි කිරන්න යන්නෙ නැතුව උඹේ වැඩක් බලාගෙන හිටපන්..

මාලිංග ගත් කටටම කීවේ එසේය.

ඒ වුණාට මචං.. දවසක් හරි ආස්සරේ කරපු එකීනේ..

අභියා, උඹ මගෙන් කුණුහරුප නාහා ඉඳපන්.. පහු ගිය කාලෙ ඉගෙන ගත්ත පාඩම් උඹට මේ ටිකටම අමතක වුණාද..? උඹට ඕන වෙලා තියෙන්නෙ ආයෙමත් පියුමිකාව ඈත් කරගන්නද..?

මාලිංග දැඩි හඬින් විමසුවේය.

පියුමිකා සිහිපත් වෙද්දී අභිෂේක්ගේ සිත කැළඹුණේය. මාලිංග කියනාක් මෙන් යුවනිට උදව් කරන්නට උත්සාහ කළහොත් පියුමි සඳහටම අහිමි වෙනවා නියතය. මුළු ලෝකයම අහිමි වෙන බව කිව්වත් ඔහු ඇය අහිමි කරගන්නේ නම් නැත.

අනිත් එක ඒකිගෙ අයියා උඹට ඉස්සර වෙලානේ ෆිල්ඩ් එකට ආවෙ.. නංගිගෙ කැරැට්ටුව ගැන ඌ නොදන ඉන්න විදියක් නෑනේ..

මාලිංග කී විට අභීෂේක් තවත් ටිකක් පසුබෑවේය.


No comments:

Post a Comment