Monday, September 24, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


අභිෂේක්ට නැවත්ත කාර්ය බහුල සමයක් උදා වූවේය. ඔහු රඟපාන දීර්ඝ ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් එකම දිනවල ඇරඹිණි. දින වෙන් කර ගැනීම් පිළිබඳ උග්‍ර ගැටළුවකට ඔහු මුහුණ පෑවේය.

ඔච්චර මහන්සි වෙන්න බෑනේ පුතා.. එකක් අතෑරලා දාන්න..

තාත්තා නම් එසේ කීවේය.


ඇග්‍රිමන්ට් එක සයින් කරලා ඉවරනේ තාත්තා.. දැන් කොහොමද අතෑරලා දාන්නෙ..?

ඔහු කනස්සල්ලෙක් ප්‍රකාශ කළේය.

ඇස් වහ කට වහට තෙල් ටිකක්වත් මතුරවන්න ඕනෑ..

අම්මා සංකාකූල ස්වරයෙන් කීවාය. ඔහුට හදිසි අනතුර සිදුවූ දා සිටම අම්මා සිටින්නේ ඔහුගේ ආරක්ෂාව පිළිඉඳව ඇති වූ බියකිනි. එය සිදු වූයේ ඇස්වහ කටවහවල බලපෑම නිසායැයි ඇය තරයේම ඇදහුවාය.

අයියට ඔය මෙගා ටෙලි ඩ්‍රාමාස් බාරගන්නෙ නැතුව ඉන්න බැරිද..? මටන ම් ඒවා පේන්න බෑ.. හුඟක් ඒවා රබර් වගේ ඇඳෙනවා.. මුලදි හිටපු කට්ටිය ආ ගිය අතක් නැතුව යනවා.. මැදද අහසින් කඩා වැටුණා වගේ අළුත් කට්ටිය එනවා..

ලොකු නංගී කියාගෙන ගියේ මුහුණ ඇඹුල් කරගනිමිනි.

මම නම් ආසයි.. එතකොට හැමදාම අයියා ටී.වී එකේ ඉන්නවනේ..

පොඩි නංගී බොළඳ ලෙස කීවාය.

අභිෂේක් ඇය තුරුළු කොට හිස පිරිමැද්දේය. සැබැවින්ම ලොකු නංගී හා සමාන අදහස් අභීෂේක්ට ද ඇති වී තිබිණි. දීර්ඝ ටෙලි නාට්‍යවල සිදුවීම් අඩුකම සහ එකාකාරී බව ඔහු ප්‍රිය කළේ නැත. ඇතැම් දර්ශවල ඔහේ පෙනී සිටීමට මිසක් රඟ පාන්නට දෙයක් තිබුණේත් නැත. එහෙත් ජනප්‍රියත්වය උදෙසා එවන් ටෙලි නාට්‍ය වලත් රඟ පෑ යුතු බව ඔහු දැන සිටියේය.

ටෙලි නාට්‍ය ඉල්ලගෙන යන අය ඕන තරම් ඉන්න රටේ මෙහෙම අතට හම්බ වෙන ඒවා අතෑරලා දාන එක මෝඩකමක්.. අනික ස්ටාර් එක හැමදා එකම විදියට තියෙන්නෙ නෑ..

අභිෂේක් මඳ සිනාවක් පාමින් කීවේය. පොඩි නංගීට නම් එහි අරුතක් නොවැටහිණි. අම්මාත් බලා සිටියේ කුතුහලයෙනි. තාත්තා නම් බැරෑරුම් ලෙස හිස සැලීය.

ඒක ඇත්ත.. අට ලෝ දහම කියන එක කොයි වෙලාවෙ කොයි අතට කැරකෙනවද කියලා කාටවත් කියන්න බෑ.. ඒ හින්දා ඕනෑම දේකට මූණ දෙන්න හිත හදා ගන්න පුළුවන්නම් ලොකු දෙයක්..

තාත්තා පැවසුවේය.

තමා හදිසි අනතුරට ලක් වූවාට පසුව තාත්තා හිද හදා ගන්නට ඇත්තේ එසේ ධර්මානුකූලව කල්පනා කිරීමෙන් විය යුතුයැයි අභිෂේක් කල්පනා කළේය. ඔහුගේ මිතුරන් පවා බියෙන් සිටියේ තාත්තාට හෘදයාබාධය උත්සන්න වෙනු ඇතැයි සිතුවිල්ල නිසාය. එහෙත් වැඩි පුරම කැළඹුණේ තාත්තා නොව අම්මාය.

හදිසි අනතුරෙන් පසුව ඔහු මෙතෙක් රඟපෑවේ නැත. එම නිසාත් මෙම ටෙලි නාට්‍ය දෙක ඔහුට කඩ ඉමක් බඳු වූවේය.

කොහොමද මේක කරන්නෙ කියලා මට හිතාගන්නවත් බෑ කෙල්ලෙ.. ලොකේෂන් නම් තියෙන්නෙ ළඟ ළඟ.. එකක ෂූටින් ඉවර වෙනකොට අනිකට යන්න නම් බැරි වෙන එකක් නෑ.. ඒත්..

අභිෂේක් පියුමිකා සමඟ එසේ කීවේ බැඩ්මින්ටන් පුහුණුව අවසන්ව ආපසු එමින් සිටියදීය. පියුමිකා කාරය පදවන අතරම යන්තමින් ඔහු දෙස බැලුවාය.

දැන් ඉතින් මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්ණෙ..? වැඩ වැඩි එකද..?

ඇය විමසුවාය. ඔහු සෘජුවම පිළීතුරක් නොදී මඳක් පැකිලුණේය.

මොකද ඒ සැරේ ඇඹරෙන්නෙ..?

පියුමිකා සරදම් කළාය.

ඇත්තටම මේකයි වැඩේ පියුම්.. මම කාරෙකවත් ඩ්‍රයිව් කරන්න පුළුවන්කම තිබ්බා නම් ලොකේෂන්වල එහාට මෙහාට යන එක සිම්පල්.. ප්‍රොඩක්ෂන් වෑන්වලින් යන්න පුළුවන්කමක් නෑනේ.. ප්‍රොඩියුසර්ල කැමති වෙන්නෙ නෑ එහෙම යනවට..

ඔහු කියාගෙන ගියේ පියුමිකාගේ දෑස් වලට විස්මයක් එක් කරමිනි.

ඉතින්.. කාර් එක ඩ්‍රයිව් කරන්න බැරි කමක් නෑනේ ඔයාට..

ඇය කීවාය.

මට බෑ පියුම්.. මට බයයි.. ස්ටීරියන් වීල් එක අල්ලන කොටත් මාව වෙව්ලනවා..

ඔහු පැවසුවේ කුඩා දරුවෙක් පරිද්දෙනි. සැබැවින්ම එමොහොතේත් ඔහුගේ දෑත් සැලෙමින් තිබිණි. පියුමිකා පාරේ පසෙකට කොට කාරය නැවැත්තුවේය. ඔහු ඇය දෙස බැලුවේ මවිතයෙනි.

ඇයි නැවැත්තුවෙ..?

අභී, මාව විශ්වාස කරන්න.. ඔයාට කාර් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්..

ඇය ඔහුගේ අත රැගෙන සුක්කානම මත තබමින් කීවාය. ඔහුගේ මුළු සිරුරම කිළිපොලා ගියේය. කාරය ගසේ හැපෙද්දී නිකුත් වූ ඒ භයානක හඬ, යුවනිගේ විලාප හඬ, මාස ගණනාවක්ම විඳි වේදනාව ආදී සියල්ලම ඔහුට සැනෙකින් සිහිපත් වන්නට විණි. ඔහුගේ අත වෙව්ලන බව දැනුණත් පියුමිකා සිය ග්‍රහණය ලිහිල් කළේ නැත.

බෑ.. පියුම්.. මට බෑ..

ඔහු අසරණ හඬින් කීවාය.

ඒ කියන්නෙ ඔයාට මාව විශ්වාස නෑ..?

ඇය අභියෝගාත්මක බැල්මක් ඔහු වෙත හෙළමින් තිබුණු හඬකින් විමසුවාය.

මගෙ අම්මා ඇරුණු කොට මම මේ ලෝකෙ විශ්වාස කරන එකම එක ගෑනි ඔයා විතරයි පියුම්..

ඔහු අතශය හැඟුම්බර හඬින් කීවේය.

එහෙනම් ඔයා මං කියන දේවලුත් විශ්වාස කරන්න.. ආයෙ බැඩ්මින්ටන් ප්ලේකරන්න, ඇක්ට් කරන්න තියා ඇවිදින්නවත් බැරි වෙයි කියන තරමටම ඔයා වැටිලා හිටියෙ.. ඒත් ඔයා නැගිට්ටා.. ඒ විතරක් නෙමෙයි බැඩ්මින්ටන් චැම්පියනුත් වුණා..

පියුමිකා කියන්නට වූයේ ඔහුගේ අත සුක්කානම වටේටම රැගෙන යමිනි. ඔහුට අත ඉවත් කර ගැනීමේ නොඉවසිල්ලක් දැනෙන්නට වූවේය. එහෙත් පියුමිකාගේ පහසට ලොල් කළ බැවින් ඔහු එයට පැකිළිණි.

ඇක්සිඩන්ට් එකේන පස්සෙ ඔයා කාරෙක දිහාවෙ හැරිලවත් බැලුවෙ නෑ.. ඒත් මාව විශ්වාස කරලා කාරෙකට නැග්ගා..මේ වෙලාවෙත් ඔයා මාව විශ්වාස කරලා ඩ්‍රයිවින් සීට් එකට එන්න..

පියුමිකා ආයාචනාත්මක හඩින් කීවාය. එහෙත් අභිෂේක්ගේ දෙපා ගල් ගැසුණාක් බඳු විය.

අනේ පැටියො.. මගෙත්තෙක්ක තරහා වෙන්න එපා.. මට බෑ..

ඔහු කීවේ බැගෑපත් හඬිණි..

හරි.. දැන් ඕන නෑ.. හෙට උදේ අපි දෙන්නා යනවා ගම්පහ ගාඩ්න් එකට.. එතකොට ඔයා අනිවාර්යෙන්ම ඩ්‍රයිව් කරන්න ඕනෑ..

ඇය ස්ථීර හඬින් කීවාය.

බලමු..

ඔහු මිමිණුවේය.

එහෙත් තමා කාරය පදවන්නට පටන් ගන්නා තුරුම ඇගෙන් ගැලවිල්ලක් නොලැබෙන බව ඔහු දැන සිටියේය. සැබැවින්ම ඇගේ ශක්තිය නොවන්නට ඔහුට තවමත් සිදු වන්නේ තාරකට මෙන් එක් තැන් වී සිටින්නටය. එවන් ආදරණිය ඇයට කරන උපහාරයක් ලෙසින් හෝ කාරය පැදවීමට උත්සාහ කර බැලීමට ඔහු අදිටන් කර ගත්තේය.

අපි හෙට ඔයාගෙ කාරෙකේ යමු..

ඔහුගේ අධිෂ්ඨානය දුටුවාක් මෙන් ඇය සිනාමුසු මුහුණින් යුතුව කීවාය. ඔහු හෙමීට හිස සැලීය.

හෙට මායි අභීෂේකුයි ගම්පහ මල් වත්තට යනවා අන්කල්..

පියුමිකා අභිෂේක් ඔහුගේ නිවසින් බස්වා කාරය හරවා ගත්තේ මිදුලේ සිටි තා්තතාට එසේ කීමෙන් අනතුරුවය. තාත්තා පුදුමයෙන් මෙන් ඔවුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලීය. එහෙත් ඔහු කිසිම විකෙ පියුමිකාට එරෙහිව වදනක් හෝ නොදොඩන බව අභීෂේක් දැන සිටියේය. තාත්තා තුළ පියුමිකා කෙරෙහි වූයේ දැඩි පැහැදීමක් හා විශ්වාසයකි.

ඒ මොකටද පුතා මල් වත්තෙ යන්නෙ..?

ඔහු අභිෂේක්ගෙන් විමසුවේ පියුමිකා නික්ම ගිය අනතුරුවය.

පියුමිකා කියනවා මට ආයෙමත් කාරෙක ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙයිලු..

අභිෂේක් සිනාසෙන්නට තැත් දරමින් කීවාය.

ඔව් පුතා.. ඔයාට පුළුවන්.. හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවනේ..

ඔහු තාත්තාගේ උරහිස මත අත තබා කීවේ උගුර හිර වෙන්නාක් බඳු හඬකිනි.

පසුදා උදේ අභීෂේක් සහ පියුමිකා මල් වත්තට ගියේ අභිෂේක්ගේ කාරයෙනි.

මට මේ කාරෙක එච්චර හුරු නෑනේ..

ඇය වෙනදාට වඩා බොහෝ සෙමින් කාරය ධාවන කරමින් පැවසුවාය.

ඒ වුණාට මාව හුරුයිනේ..

ඔහු දඟකාර සිනාවක් පෑවේය. පියුමිකා ඔහුගේ ඒ සිනාවට බොහෝ ප්‍රිය කළාය. එහේත එය තමාට අයිති නැතැයි හැඟීමක් ඒ සමඟම ඇගේ සිතට පිවිසිවේය. ඒ වෙනස ඔහුගේ දෑසට හසු විණි.

ඇයි බබා, ඔයාගෙ මූණ වෙනස් වුණේ..?

ඔහු ආදරණිය ස්වරයෙන් ඇසුවේය.

ඒ ඔයාට පේන හැටි..

ඇය මඳ සිනාවක් පාමින් කීවාය. එය ඇගේ අවංකම අදහස නොවන බැව් ඔහුට වැටහිණි. එහෙත් ඔහු තව දුරට්ත ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටියාය.

උද්භීද උද්‍යානයට කාරය ඇතුළු කළ පියුමිකා පාර අද්දට කොට එය නැවැත්තුවාය. අභිෂේක් මවිතයෙන් ඇය දෙස බැලීය.

ඇයි..?

ඇයි අහන්නෙ..? අද මෙහෙ ආවෙ මට වාහනේ ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න නෙමෙයිනේ..

පියුමිකා කීවේ සිනාසෙමිනි.

අනේ.. පියුම්..

ඔහු ඇගේ අත අල්ලා ගනිමින් බැගෑපත් වූවේය. එහෙත් පියුමිකා මඳ ලිහිලක් හෝ දැක්වූවේ නැත.

හරි දැන් එන්න ඩ්‍රයිවින් සීට් එකට..

අණ කරමින් ඇය රියෙන් බැස්සාය. අභිෂේක්ගේ නළලත දහ බිඳු නැගිණි. සහය කලා අධ්‍යක්ෂ වශයෙන් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නට ගොස් ප්‍රධාන චරිතය රඟපාන්නට සිදු වූ විටවත් ඔහු මෙතරම් අසීරුතාවයකට පත් වූයේ නැත. කාරය මිලදී ගත් දිනයේ මොන තරම් ආඩම්බරයෙන් එය ධාවනය කරගෙන පැමිණියේදැයි ඔහු කල්පනා කළේය.

එන්න ඉතින්..

පියුමිකා ඔහු හිඳ සිටි පැත්තේ දොර විවර කළාය. කාරයෙන් බසිනු හැර ඔහුට වෙන විකල්පයක් නොවිණි.

ඔයාට මතකයිනේ ඉස් ඉස්සර වෙලාම මම ඔයාට ඩ්‍රයිවින් පුරදු කරපු විදිය. අදත් හිතා ගන්න ඔයා ඉස්සර වෙලාමයි ඩ්‍රයිවින් සීට් එකේ ඉඳ ගත්තෙ කියලා..

එසේ උපදෙස් දුන් ඇය කාරයට නැගුණාය.

එදා මං පුදුමාකාර ආසාවකින් කාරෙකට නැග්ගෙ කෙල්ලෙ.. පැයක් යන්නත් ඉස්සර සෑහෙන තරමට කාරෙක ගෙනියන්න පුරුදු වුණේ ඒකනේ.. ඒ මමමද කියලා දැන් මට හිතාගන්න බෑ..

දොර අල්ලාගෙන සිට ගත් ඔහු සිනාසෙන්නට තැත් කරමින් කීවේය. සැබැවින්ම ඔහු එසේ මඳක් නතර වූයේ සිතට දිරි ගන්නටය.

ඒ ඔයාම තමයි අභි.. එදයි අදයි අතරෙ සෑහෙන වෙනසක් තියෙනවා තමයි.. ඒත් එදත් හිටියෙ අපි දෙන්නා.. අදත් ඉන්නෙ අපි දෙන්නා..

ඒ වදන් පෙළ ඉන්ද්‍රජාලික බලයක් මෙන් ක්‍රියාත්මක වූවේය. පැකිළෙන දෙපයින් වුවද අභිෂේක් කාරයට නැංගේය. පියුමිකාගේ දෙතොල් ජයග්‍රාහී සිනාවක් නැගිණි.

හ්ම්.. දැන් ස්ටාර්ට් කරගන්න..

ඇය රියදුරු උපදේශකවරිය මෙන් අණ දුන්නාය. ඔහු බැගෑපත් බැල්මක් හෙළිය.

මතක තියාගන්න අභි.. ඔයා කිසිම දවසක ඔයාගෙ කාරෙකෙන් මාව එක්කන් ගිහින් නෑ.. අද ඔයා ඒක කරන්න ඕනෑ.. එහෙම නොකළොත් ආයෙ කිසිම දවසක මම ඔයාව මං ඩ්‍රයිව් කරන කාරෙකක අරගෙන යන්නෙ නෑ..

ඇගේ තරවටුව සරඳමක් ලෙස සිතා අභීෂේක් සිනාසුණේය. එහෙත් ඇගේ මුහුණට නැගී තිබුණේ බැරූරුම් පෙනුමකි.

මේක විහිළුවක් කියලා හිතන්න එපා අභී.. මම ඔයත් එක්ක මෙහෙම ඉන්නෙ ඔයා මට රිදවන්න කරපු හුඟක් දේවල් අමතක කරලා..

පියුමිකා තදින් කීවාය. අභිෂේක්ගේ දෙතොලේ වූ සිනාව වියැකී ගියේ නිමේෂයකිනි. ඇය කියූ සියල්ලම සත්‍ය බව ඔහු දැන සිටියේය. පියුමිකා රිදවීමේ අදහසක් සිත කොතනකවත් නොතිබියේ වී නමුදු ඔහු යුවනිට ළං වූවේය. ඉන් පියුමිකා විඳින වේදනාව පිළිබඳව මිතුරෝ පවා ඔහු දැනුවත් කරන්නට උත්සාහ කළහ. එහෙත් ඔහු නෑසූ කන්ව සිටියේය.

කාරය මිලදී ගත් කාලයෙදී අභිෂේක් ළඟ සිටියේ පියුමිකා නොව යුවනිය. සැබැවින්ම ඔහුට උවමනා වී තිබුණේ ප්‍රථමයෙන්ම පියුමිකා සිය කාරයෙන් රැගෙන යන්නටය. ඇගේ කාරයෙන් රියැදුරු පුහුණුව ලබන කාලයේත් ඔහු සිහින දුටුවේ ඔහුගේම කාරයක ඇය නංවාගෙන ආඩම්බරයෙන් එය ධාවනය කරන අන්දමය. එහෙත් එම සිහිනය කිසිම දිනක සැබෑ කර ගන්නට  ඔහුට හැකි වූයේ නැත. ඔහුට හා පුරා කියා සිය කාරයේ නංවාගෙන යන්නට සිදු වූයේ යුවනිය. එපමණක් නොව යුවනි නිසාම ඔහුට ජීවිතයද අහිමි වෙන්නට ඉඩ තිබිණි. කඩා වැටුණු ජීවිතය නැවතත් ගොඩ නංවා ගන්නට ඇයට උදව් දුන්නේ ඔහු නිසා සිත රිදවා ගත් පියුමිකාමය. එවන් ඇය වෙනුවෙන් කළ හැකි යමක් නැතැයි ඔහු කල්පනා කළේය. කියූ ලෙසම ඇය ඔහුගේ කාරයේ නංවාගෙන යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සියල්ල අහිමි වූවාක් මෙන් දැනෙනවා නොඅනුවාමය. ඇය නොමැති ලෝකයක ඔහුට වටිනාකමක් ඇත්තේම නැත.

මම ඔයත් එක්ක මෙහෙම ඉන්නෙ ඔයා මට රිදවන්න කරපු ගොඩක් දේවල් අමතක කරලා.. පියුමිකාගේ එවදන් සවස් කුහර තුළ දෝංකාර දෙනු ඔහුට දැනුණි. ඇය ඒ තැවුල් සහගත අතීතය නැවතත් සිහිපත් කරන්නට වුවහොත් ඔහුට සමාවක් නොලැබෙන්නට ඉඩ තිබේ.

අභිෂේක් සුක්කානම මත දෑත තබාගෙන වින්ඩ්ස්ක්‍රීනය හරහා ඉස්සරහ බලාගෙන මොහොතක් ගත කළේය.  තල් ගස් පේළියකින් සෙවන වූ මාවත බෙහෝ පැහැදිලි වූවේය. පියුමිකා මෙතරම් උදෙන් ඔහු මෙහි කැටුව ආවේද එම පැහැදිලි බව පිළිබඳව හැඟීමක් ඇය තුළ තිබූ නිසා විය යුතුය.

කාරය පණ ගන්වන ලෙස පියුමිකා යළිත් ඔහුට කීවේ නැත. ඇය දරුවෙකුට යමක් උගන්වන්නට උත්සාහ දරන මවකගේ ඉවසිල්ලෙන් බලා සිටියාය. අභීෂේක් දිගු හුස්මක් ඇඳ ගත්තේය. සුක්කානම තෙවරක් අත ගා එයට වැන්දේය. ඔහු කාරය පණ ගැන්වූයේ ප්‍රථම වතාවට එය කළාටත් වඩා චකිතයකිනි. ඔහුගේ උගර කට පවා වියැළි තිබිණි.

දැන් ෆස්ට් ගියර් එක දාන්න.. ක්ලච් එක ටිකක් බුරුල් කරන්න.. ඇක්සලේටර් එක යන්තම් පාගන්න..

ඇය උපදෙස් දුන්නේ සැබෑවමට නොව සරදමට බැව් ඔහුට වැටහිණි. ඔහු නෙත් කොනින් ඇය දෙස බැලුවේය. ඇය සිටියේ මුව පුරා සිනාසෙමිනි.

ඔයා මගේ ළඟ ඉන්නවා නම් මට කරන්න බැරි දෙයක් නෑ රත්තරන්..

සිතින් මුමුණා ගත් ඔහු පුදුමාකාර ධෛර්යයකින් යුතුව කාරය පාරට ගත්තේය.

වෙල් ඩන්.. අභී.. වෙල් ඩන්..

පියුමිකා කුඩා දැරියක මෙන් සතුටින් හඬ නැගුවාය.

අභිෂේක් හෙමිහිට රිය ඉදිරියට ගත්තේය. මාස ගණනාවකින් කාරයක් ධාවනය කර නොතිබියේ වී නමුදු ඔහුට උගත් ශිල්ප අමතකව තිබුණේ නැත. දෑත නම් වෙව්ලූ බව සැබෑවකි. එහෙත් ඔහු තව දුරටත් බිය වූයේ නැත. සත්තකින්ම ඔහු තුළ ආත්ම ශක්තිය කුළු ගන්වන ලද්දේ පියුමිකා අහිමි වෙනු ඇතැයි හැඟීම විසිනි. ඇය බෙහෝ දක්ෂ ලෙස ඒ හැඟීම් ඔහු තුළ රෝපණය කළාය.

දෙපස රූස්ස ගස් සහිත මාවත දිගේ කාරය පදවාගෙන යද්දී ඔහු තුළ වූ විශ්වාසය දෙගුණ වූවේය.

මං කිව්වනේ අභී ඔයාට පුළුවන් කියලා..

හිරු හතක් පෑයූ කලෙක මෙන් බබලන මුහුණින් යුතු පියුමිකා වරින් වර කීවාය. ඇය මේ තරමටම තමා විශ්වාස කිරීමට පිළිබඳව අභිෂේක්ගේ සිතේ බලවත් ප්‍රීතියක් හා ආඩම්බරයක් ඇති වූවේය. ඔහුට කළ හැකි දේවල් ඇය ඔහුගේ මනසට කා වැද්දුවේ අතිශය උපක්‍රමශීලීවය. වසර ගණනාවක් මහන්සි වුවත් යුවනිට නම් එවැන්නක් සිතීමට හෝ නැහැකි බව අභීෂේක් දැන සිටියේය. ඔහුගේ හදවතේ සියුම් තැන් සංවේදීව ස්පර්ශ කරන්නට පුළුවනක්කම තිබුණේ පියුමිකාට පමණි.

උද්‍යානයේ රිය නැවතුම් පළේ රතු පාට මල් පිපුණු ගසක් යට කාරය නතර කළ අභිෂේක් ඇය දෙස උදාරම් බැල්මක් හෙළිය. ඒ අවස්ථාවේ රිය නැවතුම් පොළේ තිබුණේ මෝටර් සයිකල් දෙකක් පමණි.  ඒවායේ පැමිණි පෙම්වතුන් ද රිය නැවතුම් පොළ ඉදිරියේ තිබූ බංකු වල වාඩි වී ඔවුනොවුන්ගේ ලෝකවල තනි වී සිටියහ.

මට ඔයා ගැන ආඩම්බරයි අභි..

මිමිණූ පියුමිකා එක්වරම ඔහුගේ ගෙල වටා අත යවා දෙකොපුල් සිප ගත්තාය.

අභීෂේක්ට පළමුව දැනුණේ සිහිනයක් දකින්නාක් බඳු හැගීමකි. ඉනික්බිතිව යථාර්තය පසක් වෙද්දී පාට පාට ලොවක සැහැල්ලුවෙන් පාව යන්නාක් මෙන් දැනිණි. සිහිනයෙන් නොව සැබෑවටම පියුමිකා ඔහු සිප ග්තතාය. මින් පෙර කිසිදු දිනයක ඇය ඔහු සිපගෙන නොතිබිණි. ඔහුට ඇය සිප ගන්නට ලැබුණු ඉඩ ප්‍රස්ථාද සීමිතය. අවසන් වතාවට අභිෂේක් ඇය සිපගෙන තිබුණේ ඇය පිහිනුම් තරඟාවලියෙන් ජය ලැබූ දා කුසලානය පිරිනමන අවස්ථාවේදීය. එස සුභ පැතීමේ හාද්දක් පමණක්ම වූවේය. එහෙත් මෙය නම් ඔහුට මිල කළ නොහැකි අවස්ථාවක් විණි.

මොකද ඔයා හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නෙ..?

ඇය ඔහුගේ අත කෙනිත්තුවේ ලැජ්ජාශීලී මඳහසක් පාමිනි.

කෙල්ලෙක්ගෙන් පළවෙනි හාද්ද ලැබුණම මං විතරක් නෙමෙයි ඕන කොල්ලෙක් මෙහෙම හොල්මන් වෙයි.

අභිෂේක් ඇගේ අතැඟිලි තරයේ අල්ලා ගනිමින් කීවාය.

යන්න අනේ.. ඔයා හරි නරකයි.. ඔයා මට හිනාවෙනවා..

තොල් උල් කොට සුරතල් මැසිවිල්ලන් නැඟූ පියුමිකා සිය අත මුදා ගැනීඹට තැත් කළාය. එහෙත් අභිෂේක් එයට ඉඩ දුන්නේ නැත.

හිනා වෙනවා නෙමෙයි පියුම්.. මට දැනෙන සන්තෝසෙ වචන වලින් විස්තර කන්න පුළුවන්කමක් නෑ.. ඔයාගෙ ආදරයක් එක්ක මට මොනවද කරන්න බැරි..? කාරෙකක් ඩ්‍රයිව් කරන්න නෙමෙයි ඉර හඳ අල්ලන්න වුණත් පුළුවන්..

අභිෂේක් හැඟුම්බර හඬින් කීවේය. එහෙත් සතුටින් උදම් වෙනවා වෙනුවට පියුමිකාගේ මුහුණ මුකුලිත විණි. ඇයට යුවනි මෙනෙහි වෙන්නට ඇතැයි අභිෂේක් අනුමාන කළේය. සැබැවින්ම සිදු වූයේත් එයමය.

හරි.. එහෙනම් අපි තව රවුමක් යමු..

පියුමිකා කීවේ පෙර තරම්  ප්‍රසාදයෙන් නොවේ. යුවනිකා මෙනෙහි වීමත් සමඟම ඇය සිත පතුලටම තල්ලු කොට දමන්නට උත්සාහ කරන අර කටුක වූත්, වේදනාබර වූත් මතකය නැවත සිත මතු පිටට එන්නට උත්සාහ දැරීය.

යමු..

අභීෂේක් එවර කිසිදු අසීරුවකින් තොරව කාරයට පාරට ගත්තේය. ඔහුගේ ප්‍රීතිය නිම් හිම් නැති වූවේය. දැන් ඉතින් නම් සිය ආත්ම ශක්තිය බිඳලන්නට භට හමුදාවකටවත් නොහැකි වන බැව් ඔහුට වැටහිණි.

පියුමිකා විසින් ගායනා කරන ලද ගීතයක් කාරයේ රේඩියෝවෙන් ප්‍රචාරය වෙමින් තිබිණි. ඇගේ ගීත කොපමණ අසා තිබුණත් ඇය ළඟින් හිඳුවාගෙන පාළු, සුන්දර මාවතක රිය පදවාගෙන යද්දී දැනෙන මේ චමත්කාරය බඳු හැගීමක් මින් පෙර ඔහුට නොදැනුණි.

සිහින අපමණ රැගෙන අවුදින්
මගේ නෙතු අභීෂේක කළ මැන...

ඔහු ඒ ගීතයෙන් මතකයේ රැදුණ දෙපදයක් ගායනා කලේය. ඇගේ ගීත සමුච්චය දොරට වඩින දිනයේ මේ දෙපදය ගායනා කරමින් ඇය ඔහු වෙත හෙලූ බැල්ම අද ඊයේ මෙන් ඔහුට මතකය. එකල ඔහු ළං වී සිටියේ පියුමිකාට නොව යුවනිටය.

පියුම්, මම ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්ත කියනවද..?

කාරයේ වේගය පැයට සැතපුම් පහක් පමණට අඩු කළ අභිෂේක් විමසිය.

මම සාමාන්‍යයෙන් බොරු කියන්නෙ නෑ අභි..

ඇය කීවේ ඇනුම් පදයක හඬිණි.

ඇයි ඔයා සී.ඩී එකට නෙතු අභිෂේකය කියලා නම දැම්මෙ..?

ඒ ඇනුම් පදය කාගෙනම ඔහු විමසිය. මේ පැනය ඔහු මාලිංගගෙන් ද අසා තිබිනි. ඔහු කීවේ එය පියුමිකාගේ අදහසක් බවය.

ඇයි ඒ නම හොඳ නැද්ද..?

පියුමිකා පෙරළා ප්‍රශ්න කළාය.

මොකද හොඳ නැත්තෙ..? හුඟක්ම ලස්සනයි.. ඇත්තටම සී.ඩී එක ඔච්චර ජනප්‍රිය වෙන්න නමත් බලපාන්න ඇති මං හිතන්නෙ..

ඔහු කට කොනකින් සිනාසුනේය.

ඒ නම යෝජනා කෙරුවෙ සයුරු අයියා.. මමත් ඒකට කැමති වුණා.. අනිත් එක මම නෙතුමිණි කියන නමටත් හරි ආසයි..

පියුමිකා කියාගෙන ගියාය.

පියුමිකාගේ සම්පූර්ණ නම පියුමිකා රසාදරී අමරතුංගය. එහෙත් ඇය සී.ඩී තැටියට නම යොදා තිබුණේ පියුමිකා නෙතුමිණී වශයෙනි. එයද ඔහුට ගැටලුවක් විණි. එහෙත් ඒ දිනවල ඔවුන් දෙදෙනා අතර සමීප බව ඉරි තලා ගිය බැවින් නමේ වෙනස පියුමිකාගෙන් විමසන්නට ඔහු පසුබට වූවේය.

එහෙනම් මම ඔයාට මීට පස්සෙ නෙතූ කියලා කතා කරන්නද..?

ඔහු මඳ සිනාවක් පාමින් ඇසීය. ඔහු සිතුවේ ඇය එයට විරුද්ද වෙනු ඇති බවය. ඔහු අපේක්ෂා නොකළ පරිදි ඇගේ දෙතොල පුළුල් සිනාවකින් විවර වූවේය.

කතා කරන්න.. මට කිසිම කෙනෙක් ඒ නමින් කතා කරලා නෑ.. ඔයා කතා කරනවා නම් මම හුඟක් ආසයි..

පියුමිකා කීවෙ අභීෂේක් ගේ සිත තුළ දහසකුත් එකක් සොඳුරු හැඟීම් උපද්දවමිනි.

නෙතූ.. නෙතූ.. නෙතූ..

කට පාඩම් කර ගන්නට මෙන් ඔහු මිමිණුවේය.

ඇත්තටම නෙතු අභීෂේකය කියලා සී.ඩී එකට නම දැම්මෙ ඔයාටත් උපහාරයක් විදියට..

පියුමිකා පැවසූ විට ඔහු සතුටින් උදම් වූවේය. එහෙත් ඒ සතුට පාට පාට සබන් පෙණ බුබුලක් ලෙසින් බිඳී ගියේ ඇය ඊ ළඟට පැවසූ වදන් ඇසුණ කල්හීය.

ඒ කියන්නෙ ඔයා මට එච්චරටම ආදරෙයිද..?

ඔහු බැරෑරුම් හඬින් විමසිය.

නෑ.. ඒක නෙමෙයි හේතුව.. ඔයා මාව දාලා නොගියා නම් මම කිසිම දාක සී.ඩී එකක් කරන්නෙ නෑ..

පියුමිකා උපහාසය මුසු හඬින් කීවාය. ඔහුට පොළොව පලාගෙන යන්නට සිතිණි. ඔහු කාරය පාර මැදම නවත්වා සුක්කානම මත හිස තබා ගත්තේය.

පිස්සු නටන්නෙ නැතුව යමු අභි..

පියුමිකා නොසතුටින් කියන තුරුම ඔහු එසේ සිටියේය. 



No comments:

Post a Comment