Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


කෙටිම කෙටි ඩෙනිම් සායකින් සහ අත් නැති කර පළල් බ්ලවුසයකින් සැරසුණ යුවනි කණ්නාඩිය ඉදිරිපිට ඒ මේ අත හැරෙමින් හැඩ බැලුවාය. කෝටිපති ව්‍යාපාරිකයකු වසඟ කරන්නට තරම් සුන්දර රූ සපුවකට උරුමකම් කීම පිළිබඳව ඇයට දැඩි ආඩම්බරයක් හා සතුටක් දැනිණ. මනෝජ් ඇයට වඩා වසර පහළොවකින් පමණ වැඩි මහලු බව සැබෑය. එහෙත් ඔහුගේ පෙනුමෙන් මෙන්ම හැසිරීමෙන්ද ඒ බවක් කියන්නට පුළුවන් කමක් නොවිණි. ඔහු ඇය සමඟ හැසිරුනේ ඇයට වඩා වසර දෙක තුනකින් පමණක් වැඩිමහලු වූ තරණයකුගේ ජවයෙන් හා කෙළිලොල් බවින් යුතුවය.

මේ වගේ සතුටක් මම කවදාවත් කාගෙන්වත් ලබලා නෑ කෙල්ලෙ.. ඉස්සරහට ලැබෙන එකකුත් නෑ..


ඔහු තමා තුරුළු කොටගෙන කී ආකාරය නැවතත් සිහිපත් කරමින් යුවනි ලද්දේ අසීමිත ආස්වාදයකි. එතරම් සීරුවට ඇගේ හැඟීම් පුබුදුවන්නට තාරක දැන සිටියේ නැත. අභිෂේක් නම් අතිශයින්ම මෝඩයෙකි. ගැහැනියක හා සැතපී ලබන ආස්වාදය පිළිබඳව ඔහු දැන සිටියේවත් නැති තරම්ය.

අභීෂේක් කවදා හරි දවසක උඹ පසුතැවිලි වෙයි මං ගැන හිතලා..

යුවනි ද්වේශ සහගතව සිතුවාය. ඇය තුළ තදින්ම පැවතුණේ අභිෂේක්ට රිදවීමේ සහ පියුමිකාගෙන් පළිගැනීමේ ආශාවය.

මොකක්ද ඔය ඇඳගෙන ඉන්න ඇඳුම..?

යුවනි අත් බෑගයද කරේ එල්ලාගෙන කාමරයෙන් පිටතට පැමිණි කල අම්මා විමසුවේ දෑස් කුඩා කරගෙනය.

ඩෙනිම් සායකුයි බ්ලවුස් එකකුයි..

සැහැල්ලුවෙන් සිනාසී කී යුවනි නැටුමකදී මෙන් දෑත් විදහා රවුමක් කැරකුණාය. දියණියගේ රෑ සපුව පිළිබඳ ආඩම්බරයක් දැනුණත් ඇඳුම පිළිබදව නම් අම්මා තුළ පැහැදීමක් නොවිණි.

ළමයො දැන් ඔය රැස්වීමකට නේද යනවා කීවේ..? තැනකට ගිහින් අපහසුවක් නැතුව වාඩි වෙන්නවත් පුළුවන් විදියෙ ඇඳුමක් ඇඳගෙන යනවා..

අම්මා තරයේ අවවාද කළාය.

මේ ඇඳුමට මං කීයක් වියදම් කළාද කියලා දන්නවා නම් අම්මා ඔහොම කියන්නෙ නෑ..

ඇය බොළඳ ලෙස කියමින් අම්මාගේ ගෙල බදා ගත්තේය.

ඔය උඩටත් නැති පහළටත් නැති ඇඳුම් වලට සල්ලි වියදම් කරනවා කියන්නෙ එක විදියක පිස්සුවක්.. අයියටත් එක්ක ලැජ්ජා කරන්නෙ නැතුව වෙන එකක් ඇඳගෙන යන්න..

අම්මා අණ කළාය.

ගමනක් යන්න හදනකොට දෙතුන් සැරයක් ඇඳුම් මාරු කරන්න එපා කියලා අම්මමනේ කියන්නෙ..

යුවනි සිනාසුණාය.

මාරු කරන්න දෙයක් නෑ.. ඔය සායට උඩින් වෙන මොකක් හරි එකක් ඇඳගන්න.. එහෙම නැත්නම් මිනිස්සු හිතයි යට සාය ඇඳලා උඩ සාය අමතක වෙලා කියලා..

අම්මා කී විට ඇය මහා විහිළුවක් කළාක් මෙන් යුවනි හඩ නගා සිනාසුණාය. ඒ සමඟම වාහනයක නළා හඬ මිදුලෙන් ඇසිණි. යුවනි කලබල වූවාය.

වාහනේ ඇවිත් අම්මා.. මං යනවා..

අම්මාගේ මුහුණ යාන්තමින් සිප ගත් යුවනි ගෙයින් එළියට දිව්වාය. අම්මාට ඇස ගැසෙන්නට ප්‍රථම මනෝජ් හා ඉක්මනින්නම පිට වී යාම ඇගේ අරමුණ විණි.

දැන් ඉතින් එයාව හදන්න මට පුළුවන් වෙන එකක් නෑ.. පුතත් මේවට වග කියන්න ඕන.. දුවලා හදලා තියෙන අපූරුව කියලා මිනිස්සු මටත් බනිනවා ඇති..

අම්මා කම්පාවෙන් මුමුණා ගත්තාය.

යුවනි මනෝජ්ගේ රියට නැගුනේ මුව පුරා විසිරුණු සිනාවෙන් යුතුවය.

මොකද හිනා වෙන්නෙ..?

මනෝජ් ආසාවෙන් ඇය දෙස බලමින් විමසිය.

අම්මා කිව්ව කතාවට හිනා ගියේ.. යමු.. යමු..

කියමින් ඇය වහා දොර වසා ගත්තාය. අයියා ගෙදර සිටියේ නම් මෙතරම් පහසුවෙන් එළියට බසින්නට ලැබෙන්නේ නැත. කොයි මොහොතේ හෝ ඔහු ගෙදරට එන්නට ඉඩ තිබිණි. ඊට පෙර ගෙදරින් පැන ගැනීම නුවණට හුරුය.

ඔයා හරි ලස්සනයි යුවනි.. ඔය ලස්සන දකිනකොට මට ඉවසිල්ලක් නැතිව යනවා..

කෙටි සාය ඉහළට ඇඳි මුළු මනින්ම නිරාවරණය වූ ඇගේ දෙවටොර සියුම්ව පිරිමැදි මනෝජ් කාරය හරවා පාරට ගත්තේය. යුවනි කිතියෙන් හා අනුරාගයෙන් හිරි වැටී ගියාය. ඇය නෙත් කොනින් හෙලුවේ ඔහු පොළඹවන බැලුමකි.

හැබැයි මේ ඇඳුම ඇඳගෙන වෙන කෙනෙක් ඉස්සරහට නම් යන්න එපා..

සුක්කානමෙන් අත නිදහස් කරගත හැකි වූ ඇසිල්ලේ නැවතත් යුවනි ගේ දෙවටොර මත අත තබමින් කීවාය.

ඇයි ඒ..?

ඇය ඔහුගේ අතැගිලි අල්ලා ගනිමින් විමසුවාය.

මං එදත් කිව්වනේ.. ඔයාගෙ ලස්සන බලන්න ඕන මං විතරයි..

ඔහු දැඬි හඬින් කීවේය.

එතකොට ඔයාගෙ ලස්සන හැමෝම බැලුවට කමක් නැද්ද..?

යුවනි විමසුවේ ඇනුම් පදයක හඩිනි. මනෝජ් විවාහකයෙකු බව ඇය දැන සිටියාය. කවදාවත් හමු වී නොතිබූ ඔහුගේ බිරිඳ කෙරෙහි ඇය තුළ වූයේ දැඩි ඊර්ෂ්‍යාවකි.

මගේ ලස්සන කවුරු බලන්නද කෙල්ලෙ..? ගෙදර ඉන්න ගෑනිටවත් මගේ අගයක් නැති කොට..

මනෝජ් පැවසුවේ දුක්ගැනවිල්ලක හඩිනි. යුවනි අනුකම්පාව පිරුණු දෑසින් ඔහු දෙස බැලුවාය. ඔහු බිරිදටත් දරු දෙදෙනාටත් හැම කටයුත්තක්ම ඉටු කරන දයාබර පියෙකි. එහෙත් බිරිඳට ඔහුගේ ඕනෑ එපාකම් පිළිබඳව කිසිදු හැඟීමක් නැති බව ඔහු යුවනි හා පැවසුවේ එදා ගිමන් හලේදීය..

ඒ ගෑනි මාව බැන්ඳෙ ආදරේට නෙමෙයි යුවනි.. මගේ සල්ලි වලට තියෙන ආදරේට.. දරුවො දෙන්නා ගැන හිතලා මම තවමත් ඔය ගෑනි එක්ක එක වහලක් යට ඉන්නෙ..

ඔහු අපමණ කළකිරීමෙන් කීවේය. ඒ කළකිරීම නැති කරන්නට කළ හැකි හැමදේම කරන බවට යුවනි එදා ඔහුට පොරොන්දු වූවාය.

මොනවද යුවනි ඔය තරම් කල්පනා කරන්නෙ..?

මඳ වේලාවක් නිහඬව රිය ධාවනය කළ මනෝජ් විමසිය. යුවනි සිනාමුසුව ඔහු දෙස බැලුවාය.

විශේෂ දෙයක් කල්පනා කළේ නෑ මනෝජ් අයියා.. ඒක නෙමෙයි කොහෙද අපි මේ යන්නෙ..?

ඇය විමසුවේ නිකමටය. ඔහු හා කොතැනක යාමට වුවත් මේ වන විට ඇය තුළ චකිතයක් තිබුණේ නැත.

මට දැන් හිතිලා තියෙන්නෙ ඔයත් එක්ක කොහේ හරි ඈත පළාතකට ගිහිල්ලා අපි දෙන්නගෙම ලෝකයක් හදා ගන්න.. මට දැන් ඔයාගෙන් එහා කිසිම දෙයක් හිතන්න බෑ යුවනි..

මනෝජ් හැඟුම්බර ස්වරයෙන් කීවේය.

හදා ගන්න නම් බැරියෑ.. ඕෂධි ඇවිත් ඒ ලෝකෙ කඩලා බිඳලා දාන එකක් නැත්නම්..

යුවනි කීවේ සරදමට සිනාසෙමිනි. ඇය මනෝජ්ගේ බිරිඳගේ නම සඳහන් කළේ කැමැත්තෙන් නොවේ.

මනෝජ් පාරේ අයිනකට කර රිය නතර කළේය. යුවනි ඔහු දෙස බැලුවේ මවිතයෙනි. තමා කියූ දෙයට ඔහුගේ සිත රිදුණේදැයි ඇය කල්පනා කළාය.

අනේ.. මම විහිළුවට කිව්වෙ මනෝජ් අයියෙ.. ඔයා අප්සට් වුණාද..?

බැගෑපත් ලෙස අසමින් ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තාය. ඔහු ආසනය මත වම් කකුල නවාගෙන ඇගේ පැත්තට හැරුණේය.

නෑ.. මට ඔයත් එක්ක සීරියස්ලි කතා කරන්න දෙයක් තියෙනවා.. ඒක කතා කරගෙන තමයි මේ ඉතුරු ටික යන්න ඕනෑ..

ඔහු බැරෑරුම් ස්වරයෙන් කීවේ යුවනිගේ සිත තුළ යම් තැති ගැන්මක්ද ඇති කරමිනි.

මොකක්ද..?

ඇය වහා විමසුවාය.

මේකයි යුවනි.. මං කිව්වනේ මට ඔයා නැතුව බෑ කියලා..

ඔව් ඉතින්..?

ඇය ඔහු දෙස බැලුවේ කුතුහලයෙනි.

ඒත් මට ඔයාව කසාඳ බඳින්න බෑ.. ඒකත් පැහැදිලියිනේ..

ඇය හිස සැලුවාය. මෙතරම් ඉක්මනට විවාහ වීමේ අදහසක් කොහොමටත් ඇය තුළ තිබුණේ නැත. ඇයට වුවමනා වී තිබුණේ හැකිතාක් කල් මේ නිදහස් සුන්දර ජීවිතයේ සුව විඳින්නටය.

ඔයාව එක්කගෙන හොටෙල් ගානෙ යන එකත් ඔයාට හරි මදි.. මටත් හරි මදි.. ඔයාව දන්න අය වැඩි හින්දා ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්..

ඔහු ඉවසිල්ලේ නැවතිල්ලේ කියාගනෙ ගියාය. යුවනි හෙමිහිට හිස සැලුවේය. ඔහු කියන්නේ ඇත්තක්ම බව ඇයට පසක් වී තිබිණි. හෝටලයට යද්දී ඇය සිටියේ පුදුමාකාර චකිතයකින් හා බියකිනි. එතුළ ගත කළ කාලය මොන තරම් සුන්දර වුවත් ආපසු එද්දීත් ඇය තුළ ඒ බිය මුසු හැඟීම පැවතිණි.

ඉතින් මොනවද ඔයා කරන්න හිතාගෙන ඉන්නෙ..?

ඇය විමසුවේ මනෝජ්ගේ කතාවේ අවස්ථා සම්බන්ධයක් තේරුම් ගන්නට නොහැකි වූ නිසාය.

මං හිතාගෙන ඉන්නෙ ඔයාට ගෙයක් අරන් දෙන්න..

ඔහු මඳ සිනාවක් පාමින් කියද්දී යුවනිගේ දෑස් විසල් විණි.

මොනවා.. මට ගෙයක්..?

ඇය විමසුවේ වචන කඩමිනි. මනෝජ් සිනාසී ඇගේ කම්මුල මිරිකුවේය.

ඔව්.. ඔයාට තමයි.. ඊට පස්සෙ ඔයා ඒ ගෙදර පදිංචි වෙන්න ඕනෑ.. ඒක තමයි අපි දෙන්නගෙ ලෝකෙ..

ඒත් මනෝජ් අයියා..

ඇය සැකමුසු ස්වරයෙන් කතාව ආරම්භ කළාය. මනෝජ් වහා ඇගේ දෙතොල හරහා දබරගිල්ල තැබුවේය.

කිසිම දෙයක් කතා කරන්න එපා.. මම දැන් ඒක තීරණය කරලා ඉවරයි.. ගෙදරින් එන්නෙ කොහොමද කියන එක ඔයා හිතලා තීරණය කරන්න.. හැබැයි ගේ ගත්ත දා ඉඳලම ඔයා එහෙ ඉන්න ඕන..

ඔහු අවධාරණාත්මකව කීවේය. යුවනි කල්පනාකාරීව ඔහු දෙස බලාගනෙම සිටියාය. සතුටක් මෙන්ම අවිනිශ්චිත බවක්ද ඇගේ සිත තුළ අරක් ගෙන තිබිණි. තමන්ගේම නිවසක නිදහසේ ජීවත් වෙන සිහිනයක් ඇය තුළ තිබුණේ අද ඊයේ සිට නොව බටහිර චිත්‍රපට නරඹන්නට පටන් ගත් මුල් කාලයේ පටන්මය. ඒ රටවල යුවතියන් අවුරුදු විසි එකෙන් පසුව ජීවත් වන්නේ තනිවමය. ඔවුහු තමන්ට රිසි දේවල් කරති. රිසි රිසි තැන්වල ඇවිදිති. ඕනෑම කෙනෙක් ගෙදරට ගෙන්වා ගනිති. පිරිමියෙකු හා කතා බහ කළත් කතන්දර හැදෙන්නේ මේ රටේ යුවතියන්ටය.

මගේ යාළුවෙකුගෙ ගෙයක් තියෙනවා මාලඹේ.. අලුත හදපු හරි ලස්සන පුංචි ගෙයක්.. මිනිහගෙ වයිෆ් මැරුණා කැන්සර එකකින්.. මිනිහට ඊට පස්සෙ හැමදේම එපා වුණා.. දැන් ගේ විකුණල රට යන්න ලෑස්ති වෙනවා..

මනෝජ් කියාගෙන ගියේය. යුවනි උනන්දුවෙන් ඇහුම්කන් දීගෙන සිටියත් ඇගේ සිත තුළ දහසක් සිතුවිලි ඉපදී මිය යමින් තිබිණි.

මම ඒ ගේ ඔයාට අරන් දෙනවා..

මනෝජ් තීරණාත්මක හඬින් කීවේය. යුවනි දෑස ද මුව ද විවර කරගෙන මනෝජ් දෙස බලා සිටියේය.

ඇයි ඔයා පුදුම වෙලා වගේ බලන් ඉන්නෙ..?

ඔහු ඇසුවේ මඳ සිනාවක් පාමිනි.

ගෙයක් ගන්න කී ලක්ෂයක් යයිද මනෝජ් අයියෙ..? අනිත් එක..

මනෝජ් ඇයට කතා කරන්නට ඉඩ නොදී නැවත වරක් මුව වැසුවේය.

මං කිව්වනේ සල්ලි වලට වැඩිය මට ඔයාව හුඟක් වටිනවා.. අපි දැන් යනවා ඒ ගේ බලන්න..

සිනාවක් පෑ මනෝජ් වටපිට බලා නැඹුරු වී ඇගේ කම්මුලක් සිප ගත්තේය. ඊළඟට වාහනය පණ ගන්වා ගත්තේය. යුවනි ඔහු දෙසම බලා සිටියේය.

ඔහොම බලාගෙන ඉන්න එපා ගෑනියෙ.. මට අමාරුයි..

ඔහු ඇගේ වටොරට පහරක් ගසමින් කීවේය. ඇයට සිනා ගියේය.

ගෙය තිබුණේ මාලඹේ කඩුවෙල පාරේ අතුරු පාරකය. එය සුදෝ සුදු තාප්පයකින් වට වී තිබිණි. ගේට්ටුව දෙපස සෙවණට වැවූ බට පඳුරක් විය. මනෝජ් ගේට්ටුව ඉදිරිපිට කාරය නවතා නළාව ශබ්ද කළේය. ගේට්ටුව විවිර කළේ සරමකින් හා බැනියමකින් සැරසුණු මැදි වියේ පුද්ගලයකි.

ලොකු මිඳුලක් නොතිබුණත් තිබෙන ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජන ගෙන මල් පමණක් නොව පලතුරු ගස්ද වගා කොට තිබෙනු පෙනිණි.

හරිම ලස්සනයි..

යුවනිට කියැවිණි. මනෝජ් සිනාසී අතු පතර විහිදුණු අඹ ගස යට වාහනය නතර කළේය.

ලස්සන හින්දා තමයි ඔයාට අරන් දෙන්න යන්නෙ..

ඔහු කීවේය.

සැබැවින්ම වට පිටාව දකිද්දීම යුවනි තුළ ගෙය හිමි කරගන්නට ආශාවක් ඇති විණි. ඔවුන්ගේ නිවස මීට වඩා විශාල වුවද පැරණි නිවසට එහෙන් මෙහෙන් කොටස් එකතු කොට සාදන ලද්දක් බැවිනි කිසිඳු පිළිවෙළක් නොවීය.

අපේ මහත්තයා නම් ගෙදර නෑ.. මනෝජ් මහත්තයා ආවොත් ගේ පෙන්නන්න කියලයි ගියේ..

ගේට්ටුව විවර කළ තැනැත්තා බැගෑපත් සිනාවකින් යුතුව කීවේය. ඔහු යුවනි දෙස බැලුවේවත් නැත්තේ ඇය හැඳ සිටි ඇඳුම ඔහු තුළ අපහසුතාවයක් ඇති කළ බැවින් විය යුතුය.

මම නම් ගේ දැකලා තියෙනවා.. නෝනට තමයි බලන්න ඕනකම තියෙන්නෙ..

මනෝජ් කීවේ ඇගේ උරහිස වටා අත යවා ගනිමිනි. ඔහුගේ අයිතිය පිළිබඳව සේවකයා තුළ හැඟීමක් ඇති කරවන්නට මනෝජ්ට වුවමනා වී ඇත්දැයි යුවනි සිතුවාය.

යමු මහත්තයා..

සේවකයා ඉස්සර වූවේය.

මනෝජ් හා යුවනි ඔහු අනුගමනය කළේය. කුඩා සාලයේ පුටු කට්ටලයක්, රූපවාහිනී යන්ත්‍රයක් සහ පුංචි පුංචි විසිතුරු බඩු සහිත රාක්කයක් තිබිණි මුලුවල වූ උස මැටි පෝච්චිවල බහා තිබුණේ ස්වභාවික මල් ලෙස පෙනෙන කෘතීම මල්ය.

නිදන කාමරයද, අමතර කාමරයක්ද, තරමක් විශාල කුස්සියක් හා නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත නාන කාමරයක්ද සහිග ගෙය සුන්දර වුවත් එයට වැට කරන්නට වෙන මුදල සුළු පටු නෙවෙනු ඇතැයි හැඟීම යුවනිට දැනුණි.

නෝනයි මහත්තයයි බොහොම ආසාවෙන් මේ ගේ හැඳුවෙ.. ඒත් ඉතින් මොකක්දෝ කරුමයක් පටිසන් දීලා මහත්තයට තනි වෙන්න සිද්ද වුණානේ..

සේවකයා පැවසුවේ වේදනාවකිනි. යුවනිගේ සිතට බියක් බඳු හැඟීමක් දැනිණි. ගෙය පිළිබඳව තිබුණ ආශාව නිසා මිය ගිය කාන්තාවගේ ආත්මය සැරිසරණු ඇතැයි ඇය සිතුවාය. නොදැනුවත්වම ඇයට මනෝජ්ගේ අත තරයේ අල්ලා ගැනුණි.

ඇයි කෙල්ලෙ..?

මනෝජ් ඇසීය.

මේ ගෙට ලොකු ගාණක් ගෙවන්න වෙයිනේ මනෝජ් අයියා..

ඇය මිමිණිවාය.

ඒවා හරි.. ඔයා බය වෙන්නෙ නැතුව ඉන්නකො..

ඔහු සිනාවක් පා ඇගේ උරහිසට තට්ටු කළේය. එහෙත් යුවනිගේ සිතට සහනයක් නම් නොවිණි. ඇය මුළු නිවස දෙසම විමසිල්ලෙන් බැලුවේ මියගිය කාන්තාවගේ ඡායාරූපයක් හෝ දකිනු රිසියෙනි. එහෙත් කාන්තාවගේ තබා ඇගේ සැමියාගේ ඡායාරූපයක්වත් එහි නොතිබිණි.

ගේ විකුණන හින්දා ඒවා අයින් කරන්න ඇති..

යුවනි සිතුවාය.

ඉතින් මම තනියෙමද මෙහෙ ඉන්නෙ එතකොට..?

ඇය තොදොල් හඬින් විමසුවේ සේවකයා බීමට යමක් සූදානම් කරන්නට කුස්සියට ගිය පසුවය.

පිස්සුද කෙල්ලෙ ඔයා එහෙම තනියෙම තියනවද..? දවස් දෙක තුනකට සැරයක් මං අනිවාර්යෙන්ම එනවා.. ඉස්සරහට ඉතින් වැඩි දවසක් ඔයා ඉන්නෙ ලොකේෂන් වලනේ..

ඔහු කීවේ ඇය දෙස අනුරාගී බැල්මක් හෙළමිනි. ඇගේ මුළු සිරුරම කිළිපොලා ගියේය. ඔහු සමඟ මුළු ජීවිත කාලයම ගෙවීමේ ආශාවක් එමොහොතේ ඇගේ සිතේ හට ගත්තේය.

මම ගෙදරට කියන්නෙ මොනවද..?

යුවනි ලතැවූවාය.

ඒක ඉතින් ඔයාගෙ වැඩක්..

මනෝජ් කීවේ නොසැලකිල්ලෙනි.


No comments:

Post a Comment