Sunday, September 30, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


දුරකථනයෙන් මනෝජ්ට කතා කළ රුවන් ඔහුට හොඳ හැටි බැණ වැදුණේය. මනෝජ් ඔහුගේ මුදල් බලයෙන් යුවනි මුලා කළ බව ඔහුගේ අදහස වූයේය.

ඔයා ඔයාගෙ නංගි  හදාගන්න දැනගන්න ඕන.. රවට්ටා ගන්න එයා පුංචි ළමයෙක් නෙමෙයිනේ..

මනෝජ් කීවේ උදහසිනි.


හොඳයි මහත්තයා.. මම දැන් ඔයාගෙ වයිෆ්ට කෝල් එකක් දීලා මේ ඔක්කොම විස්තර කියනවා.. ඊ ළඟට පොලීසියෙ ඇන්ට්‍රියක් දානවා තමුසෙ යුවනිව පැහැරගෙන ගියා කියලා.. එතකොටත් ඔය විදියටම කියලා බේරෙමුකො බලන්න..

කියූ රුවන් මනෝජ් තවත් වචනයක්වත් හෝ කතා කරන්නට පෙර රිසිවරය තැබීය. සැබැවින්ම ඔහු එසේ කළේ සිතේ ආවේගයටය. අම්මා කියන්නාක් මෙන් සිය නැගණියගේ වරදට වෙනත් කාටවත් දොස් කියා පලක් නැත.

යුවනි ගෙදරින් ගිය දා සිටම රුවන් මෙන්ම අම්මාත් සිටියේ බලවත් කනස්සල්ලෙනි. එහෙත් ඔවුහු එකිනෙකාගෙන් එම හැඟීම් සඟවා ගත්හ. යුවනිගේ මුරණ්ඩුකම ගැන සිතමින් හිත හදා ගැනීමට උත්සාහ කළ ද දරුවන්ට එය කළ නොහැකි වූවේය. අම්මා සිටින්නේත් බලවත් සිත් තැවුලින් බව ඔහුට ඒත්තු ගියේය. එහෙත් සාමාන්‍ය පරිදි හැසිරෙන්නට දෙදෙනාම දැඩි වෙහෙසක් ගත්හ.

රුවන් වරින් වර ජගත්ට කතා කොට යුවනිගේ විස්තර අසා ගත්තේය. එහෙත් ඇය ගෙදරින් ගිය පුවත නම් නිකමටවත් සඳහන් නොකරන්නට ඔහු වග බලාගත්තේය. යුවනිද එය කිසිවෙකුට නොකියන බැව් ඔහු දැන සිටියේය. කෙසේ වුවත් සිතට දැනුණ පරාජිත හැඟීම නිසාම රුවන් සිටියේ කිසිම කාර්යයක නිරත වෙන්නට නොහැකි තරමට අකර්මන්‍යවය.

නිවස හැර දමා ඒම පිළිබඳව යුවනිට නම් කිසිඳු දුකක් නොවීය. තමා නිදහස් ලෝකයකට පියා සැලූ කිරිල්ලියක බඳු යැයි ඇයට සිතිණි. ඇය අලුත ලද ඒ ස්වාධීනත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත්තාය. මාලබේ නිවස තවමත් ඇයට නීත්‍යානුකූල ලියැවිල්ලකින් පැවරී තිබුණේ නැත. එහෙත් ඇය ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වූයේ නැත. මේ නිවස මිලදී ගත්තේ ඇගේ නමට බව මනෝජ් කීවේය. ඔහු කිසි විටෙකත් ඇයට බොරුවයක් කියන්නේ නැත. ඇය තමාට රිසි ආකාරයට නිවස පිළීයෙල කොට ගත්තාය. කිසිදු අඩුපාඩුවකින් තොරව හැම ගෘහ භාණ්ඩයක්ම එහි තිබිණි. එය යුවනිට ආඩම්බරයක් විය.

ඔයා ඔය ගෙදර ඉන්නවා කියලා දැන්මම කාටවත් දැනගන්න තියන්න එපා.. සිරිසේන අංකල්ටත් ඒක කියලා තියන්න..

මනෝජ් උපදෙස් දුන්නේය. එම නිසා මිතුරු මිතුරියන්ට ආඩම්බරයෙන් නිවස පෙන්වන්නට තිබූ අවස්ථාව ඇයට මග හැරී ගියේය. නිවසේ ගෘහ සේවකයා මෙන්ම මුරකරුද වූයේ සිරිසේනය. ඔහු තමාගේ පාඩුවේ වැඩ ටික කරගෙන සිටින අයෙකු වීම යුවනිට පහසුවක් විය.

යුවනි, අනේ බබා මට හදිස්සියෙම බිස්නස් ටුවර් එකක් යන්න ලො සිංගප්පූරුවට.. සති දෙකකින් තමයි ආපහු එන්නෙ..

යුවනි දර්ශන තලයේ සිටියදී දුරකථන ඇමතුමක් දුන් මනෝජ් පැවසුවේය.

අනේ..

ඇය දොම්නස් සහගතව කෙඳිරුවාය. මේ සතියේ දින දෙක තුනක නිවාඩුවක් ලබා දෙන බැව් ජගත් කියා තිබිණි. ඒ නිවාඩුවෙදී මනෝජ් සමඟ කොහේ හෝ ගොස් නිස්කලංකව ගත කිරීමට ඇය සැලසුම් කරමින් සිටියාය.

මේක හදිසියෙමයි සෙට් වුණේ.. ඒ හින්දා මට ඔයාව මීට් වෙලාවත් යන්න විදියක් නෑ.. පරිස්සමට ඉන්න.. මං එහෙ ගිහින් කෝල් එකක් දෙන්නම්කො..

කියූ ඔහු කලබලයෙන්ම දුරකථන සම්බන්ධතාව බිඳ හැරියේය. සිතට දැනුණ වේදනාව සඟවාගෙන සුපුරුදු ලෙස හැසිරෙන්නට යුවනි දැරුවේ දැඩි ආයාසයකි.

ඇත්ත වශයෙන්ම මනෝජ් ගියේ සිංගප්පූරුවට හෝ ව්‍යාපාර චාරිකාවකට නොවේ. රුවන්ගේ තර්ජනයෙන් ඔහු සැබැවින්ම බියපත් වූයේය. ඔහු පොලීසියට සිද්ධිය කීවේ නම් සිය කෙස් ගහකටවත් හානියක් සිදු කර නොගෙන ගැලවෙන ආකාරය මනෝජ් දැන සිටියේය. එහෙත් බිරිඳට යමක් සැල වුවහොත් තත්වය බොහෝ සෙයින් බැරෑරුම් වන්නේය.

හොඳට මතක තියාගන්න මේ පලවෙනි වගේම අන්තිම සැරේ.. මම කවදාවත් එකම වරදකට දෙසැරයක් සමාව දෙන ගෑනියෙක් නෙමෙයි..

ඕෂධී පළමු වතාවේ තර්ජනාත්මකව එසේ කියා තිබිණි. ඇය කෙබඳු තැනැත්තියක්දැයි මනෝජ් දැන සිටියේය. වෙනත් ගැහැනු මෙන් කටට ආ පලියට නොව ඕෂධී යමක් කියන්නේ තීරණාත්මකවය. එය වෙනස් කිරීමක් ගැන සිතන්නටවත් නොහැකිය. ඇය අහිමි වීම යනු මනෝජ්ට මේ යස ඉසුරු සියල්ලමත් අහිමි වීමය.

යුවනි නම් බොරුවක් කියන්නවත් දන්නෙ නැති මහ මෝඩ ගෑනියෙක්..

ඔහු කලකිරීමෙන් යුතුව යුවනි ගැන සිතුවේය. එහෙත් ඇඟ උණුසුම් පහසට ලොබ බැඳ සිටි බැවින් ඈත් වීමක් ගැන නම් සිතිය නොහැකි වූවේය.

කොහොම වුණත් මේ කතාව ෆිල්ඩ් එකේ පැතිරෙන්න ඉස්සර වෙලා ටිකක් ඈත් වෙලා ඉන්න ඕනෑ..

ඔහු තීරණය කලේය.

ඕෂධීගේ නැන්දා කෙනෙක් එංගලන්තයේ වාසය කළාය. ඇයට බොහෝ සෙයින් ආදරය කළ නැන්දා ඔවුන් එංගලන්තයට ගෙන්වා ගැනීඹට දැඩි කැමැත්තක් දැක්වූවාය. මේ දිනවල ඇය පසු වූයේ අසනීපයෙනි.

නැන්දා බලලා එන්න යන්න ඕනෑ..

ඕෂධී ද කිහිප වතාවක් කියා තිබිණි. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනාට ද පාසල් නිවාඩුව ලැබී තිබිණි. කට කතාවෙන් මිදී පලා යන්නට මනෝජ් මේ සියල්ල හොඳ අවස්ථාවක් කර ගත්තේය. බිරිඳ සහ දරුවෝත් ගමනට බෙහෙවින් උනන්දු වූහ. මනෝජ් ටෙලි නාට්‍ය කණ්ඩායමේ අයට කීවේත් යුවනිට කී බොරුවමය. ඒ ඇය විසින් සත්‍ය්‍යය දැන ගනු ලැබීමෙන් වළක්වන්නටය.

මනෝජ් පිටත්ව ගොස් දින දෙකකට පසුව දිනෙක යුවනිට තාරකත් සමඟ දර්ශන කිහිපයක් රඟ පාන්නට තිබිණි. මේ වන විට ඔවුන් දෙදෙනා අතර තිබුණේ සාමාන්‍ය සම්බන්ධයක් පමණකි. ඇය මනෝජ්ට සමීප වීමෙන් පසුව තමා ගණනකට නොගෙන  හැසිරීම පිළිබඳව තාරක තුළ කෝපයක් පැවතිණි.

යුවනි අද රෑට මගේ රූම් එකට එනවද..?

රූගත කිරීම් අවසන් වී නවාතැන් පොළට යාම සඳහා වාහනයට පැමිණෙන තුරු හිඳ සිටියදී යුවනි අසළට පැමිණි තාරක රහසින් විමසුවේය. යුවනි සැණින් අමනාපයට පත් වූවාය. ඔහු තමාට අපහාස කළේ යැයි හැඟීමක් ඇයට දැනුණි.

ඒ මොකටද ඔයාගෙ රූම් එකට එන්නෙ..? මට රූම් එකක් තියෙනවනේ..

දෙබැම හකුළුවාගෙන ඔහු දෙස බැලූ ඇය කීවේ රහසිනි.

මොකටද කියලා දන්නෙම නෑ.. තොත්ත බබා..

තාරක කීවේත් තරහිනි.

මේ.. තාරක අයියෙ.. අපි දෙන්නගෙ සම්බන්ධෙ ඇක්ටින්වලට විතරක් තිබ්බම හොඳටම ඇති..

ඇය අවධාරාණාත්මකව කීවේය.

මුල අමතක කරන්න එපා යුවනි.. ඔයයි මායි එන්ජෝයි කරපු දවස් ඔච්චර ඉක්මනට කොහොමද අමතක කළේ..?

ඔහු එවර අමනාපය සඟවා කතා කළේය. ඇය මෙල්ල කළ හැක්කේ යාප්පුවෙන් බව ඔහුට වැටහුණි.

ඒවා මතක තියාගෙන ඉඳලා වැඩක් නැති හින්දා අමතක කෙරුවා..

යුවනි උපහාසාත්මකව කීවාය. තාරක යටපත් කර ගන්නට උත්සාහ කළ කෝපය නැවතත් ඉස්මතු වූවේය.

මේ දවස්වල මනෝජුත් නැති එකේ එක දවසක් මගේ රූම් එකට ආවම මොකද වෙන්නෙ..? ඇයි මට ඒඩ්ස් හැදිලා කියලා හිතුවද..?

තාරක දත්මිටි කමින් විමසුවේය. යුවනිගේ මේ අලුත් අහංකාරකමට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි ඔහුට සිතෙමින් තිබිණි.

ඔයාට නෙමෙයි.. මටයි ඒඩ්ස්.. කතාව ඉවරනේ..

තදින් කියූ යුවනි ගස්සාගෙනල නැගිට ඉවතට ගියාය. වාහනය පැමිණි බව කියන්නට එතැනට ආ රියැදුරාට එම කතාව ඇසිණි.

මොකක්ද තාරක මහත්තයා අර යුවනි මිස් ඒඩ්ස් කතාවක් ගැන කිව්වෙ..?

ඔහු විමසීය.

කොහොමටත් ක්ෂේත්‍රයේ ඕපා දූපා ගැන දැන ගන්නට රියැදුරා තුළ පැවතියේ අසීමිත ආශාවකි. මිතුරන් හා එක් වූ කල එම ඕපා දූපා වලට ලුණු ඇඹුල් එකතු කොට කියා විනෝද වීම ඔහුගේ සිරිතය.

එයාට ඒඩ්ස් හැඳිලලු බං..

තාරක උපහාසයත්, ක්‍රෝධයත් මුසු ස්වරයෙන් කීවේය. රියදුරා බලා සිටියේ දෑස් විසල් කරගෙනය.

ඔය ඇත්තමද මහත්තයා..? ඒඩ්ස් කියන්නෙ බයානක ලෙඉක්නේ..

ඔහු කීවේ තැති ගැන්මෙනි.

ඔව් එයාට හැදිලා තියෙන්නෙ භයානක ලෙඩක් තමයි..

තාරක කීවේ සිතේ වූ තරහා නිසාමය. තමා කී වදන්වල බරපතල කමක් ඔහුට එමොහොතේ වැටහුනේ නැත. වෙනදා තොර තෝංචියක් නොමැතිව කියවන රියදුරා තුෂ්ණිම්භූතව වාහනය පදවන්නේ මන්දැයි අසන්නටවත් ඔහු උනන්දු නොවීය. යුවනිද පසුපසම අසුනේ වාඩි වී සිටියේ අනෙක් නළු නිළියන් සමඟවත් වචනයක්වත් දොඩන්නේ නැතිවය.

නවාතැන් පොළ අසලදී ඔවුන් රියෙන් බසින විට රියදුරා බොහෝ ඕනෑකමින් යුවනි දෙස බැලීය. ඔහුගේ මුහුණේ වූයේ තැති ගැන්මකි.

මොකද අජිත් අදම දැක්ක කෙනෙක් දිහා වගේ මගේ දිහාවෙ බලන්නෙ..?

ඇය සරදම් සහඟතව විමසුවාය.

නෑ මිස්.. නිකං..

කීවත් ඇය ඔහු ගෙතුළට යන තුරුම බලා සිටියේය.

රියදුරාත්, නිෂ්පාදන කණ්ඩායමේ අනෙක් අයත් නැවතී සිටියේ වෙනම නවාතැන් පොළකය. සවසට මී විතෙන් සප්පායම් වී මට ඔවුහු වැඩි දෙනෙක් පුරුදුව සිටියහ. ඒ පුරුද්දදට ඇබ්බැහි වී නොසිටියත් අජිත් ගැවසුණේ ඔවුන් අසලමය. ක්ෂේත්‍රයේ ඕපා දූපා ඔහු වැඩි වශයෙන්ම දැන ගත්තේ ඔවුහු වෙතිනි.

ඒකයෑ.. යුවනිට ඒඩ්ස් හැදිලනේ..

රියදුරු මහතා භයානක විපතක් දැනුම් දෙන හඬින් කීවේය. සියලු දෙනාම මවිතයෙන් එකිනෙකා දෙස බැලූහ.

කවුද උඹට කිව්වෙ..?

ආලෝකකරණ ශිල්පියෙක් විමසීය.

තාරක මහත්තයා කිව්වෙ..

අජිත් කීවේය.

එහෙනම් ඉතින් තාරකටත් බ්ලඩ් ටෙස්ට් කරවාගන්න වෙයි..

සහය අධ්‍යක්ෂකවරයෙක් උස් හඬින් සිනාසුණේය.

ඇයි බං මනෝජ්ට..? අභීෂේක්ට..?

තවත් එකෙක් කීවේය.. සියලු දෙනාම සිනාසුණහ..

ඒ මොකටද අභිෂේක්ට..?

රියදුරා ඇසුවේ කුතුහලයෙනි.

ඇයි බං ඒ දවස්වල යුවනි අභිෂේක්ගෙ රූම් එකට යනවනේ.. අභීෂේක් ඇක්ට් කරපු පළවෙනි ටෙලියෙ මමත් වැඩ කළානේ.. එහෙදි හරි හරි සීන්ස් වුණා..

එතැන් සිට ඔවුන් කතාබහ කළේ ඒ ටෙලි නාට්‍යයේදී තාරක උඩු මහලින් බිමට වැටී ආබාධිත වූ ආකාරය සහ අභිෂේක්ගේ ටෙලි නාට්‍ය ගමන එතැනින් ආරම්භ වූ අන්දම ගැනය. අජිත් ඕනෑකමින් සවන් දී සිටියේය.

ඒ රාත්‍රියේම යුවනිට ඒඩ්ස් වැළඳි ඇති බව දුරකථනයේ කෙටි පණිවුඩ සේවාව හරහා මිතුරන් කිහිප දෙනෙකුට දැනුම් දුන්නේය. සිනමාවේ ඕපා දූප සොයන අයට මෙය ඉතා රසවත් ප්‍රවෘත්තියක් විණි. ඔවුහු එය තව අයගේ දුරකථන වලට යැවූහ.

සුව නින්දක පසු වූ යුවනි තිගැස්සී අවදී වූයේ දුරකථනය නාද වෙන හඬිනි. මේ අංකයට ඇමතුම් ලැබෙන්නේ මනෝජ්ගෙන් පමණකි. එම නිසාම ඇගේ නිදිමත පහවී ගියේය.

මනෝජ් අයියා..

ඇය මහත් ආශාවෙන් මිමිණුවාය.

මොකක්ද යුවනි මේ කතාව..?

ඔහු විමසුවේ අමනාපයෙනි..

මොන කතාවද..?

මේ රාත්‍රියේ තමා පිළිබඳව පැතිර යන ඕපා දූපය ගැන හාංකවිසියක්වත් නොදැන සිටි යුවනි මවිතයෙන් විමසුවාය.

තමුසෙට ඒඩ්ස් හැදිලා කියන්නෙ..

මනෝජ් කතා කළේ කිසිම දිනෙක කතා  නොකල ස්වරයෙනි. යුවනි බොහෝ සෙයින් කැළඹුණාය.

ඒඩ්ස් හැදිලා මට..? ඒ මොන විකාර කතාවක්ද..? කවුද කියන්නෙ..?

ඇය වචන පටලවමින් විමසුවාය.

කවුරු කියනවද මන්දා.. මෙන්න ඉන්ටර්නෙට් එකෙත් දාලා.. දැන් ඉතින් මටත් ආයෙ ලංකාවට එන්න වෙන්නෙ නෑ.. මොන විකාරද යුවනි තමුසෙ මේ කරන්නෙ..?

කෝපයෙන් කියාගෙන කියාගෙන ගිය මනෝජ් දුරකථන සම්බන්ධතාව විසන්ධි කළේ යුවනිගේ කනට ගසන්නාක් මෙනි. ඇය නැවත ඔහු සම්බන්ධ කරගන්නට උත්සාහ කළද දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවිණි. යුවනිගේ ඉහ මොළ දැවෙන්නට විය. ඇය පොදුවේ සියලු දෙනාටම ලබා දෙන දුරකථන අංකය සක්‍රිය කළාය. ආරාධනා ලැබෙන තෙක් බලා සිටියාක් මෙන් කෙටි පණිවිඩ එක දිගටම ලැබෙන්නට වූයේය. මිතුරු මිතුරියන්, මාධ්‍යවේදීන්, රසිකයන් සියලු දෙනාම විමසා තිබුණේ ඒඩ්ස් කතාවේ සත්‍යතාව පිළිබඳවය. යුවනි තැති ගැන්මෙන්, චකිතයෙන් පමණක් නොව කෝපයෙන්ද වෙව්ලන්නට විය. මේ කතාව ප්‍රචාරය කරන්නට ඇත්තේ තාරක විසින් බවට සැකයක් නැත.

මහ ජරා මිනිහෙක්.. හෙට උදේ මම මිනිහට හොඳ පාඩමක් උගන්වන්නම්කො..

ඇය දත් මිටි කමින් සපථ කොට ගත්තාය. මෙය මැදියම් රැය නොවුනේ නම් යුවනි එමොහොතේම තාරකගේ කාමරයට යන්නට ඉඩ තිබිණි.

එහෙත් තාරක ඒ මොහොතේත් සිටියේ නිදි වර්ජිතවය. ඔහු සරදමට කියූ දෙය පාරා වළල්ලක් වී ඔහු වෙතටම කැරකී පැමිණ තිබිණි.

ඔහුට බොහෝ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ පැමිණියේය. ඒ හැම එකකම කියා තිබුණේ රුධිර පරික්ෂාවක් කරවා ගන්නා ලෙසය. සමහරු එය කියා තිබුනේ සැබෑවටමය. සමහරෙක් සරදමටය.

ෂිහ්.. මම ඇදගෙන නා ගත්තෙ.. දැන් මං කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ..? ඊටත් වඩා යුවනි මගේ ඔළුව කයි..

තාරක දෑතින්ම හිස බදාගෙන මුමුණා ගත්තේය. රියදුරු අජිත් කෙරෙහිද ඔහු තුල වූයේ බලවත් කෝපයකි.

පැය දෙක තුනක් ඇතුළත මෙම පුවත ලෝකය පුරාවටම පැතිර යාමට තරම් සන්නිවේදනය දියුණු වී තිබීම ගැන ඔහු කල්පනා කළේ පුදුමයෙනි. හොද පුවතක් වී නම් එය එතරම් ඉක්මනින් සැරිසරන්නේ නැත.

ශ්‍රී ලංකාවේ යොවුන් නිළියකට ඒඩ්ස්..?

වශයෙන් එපුවත අන්තර්ජාලයේ ඕපා දූප කොලමක ද සටහන් කොට තිබිණි. එය ඔහුට දැනුම් දී තිබුණේ ජර්මනියේ සිටින මිතුරෙකි.

දැන් ඉතින් මේක අකා මකා යනකම් මඟ ඇරලා ඉන්න තමයි වෙන්නෙ.. එතකොට ටෙලි ඩ්‍රාමා එක..? මොනවා වුණත් ජගත් අයියට සීන් එක කියලම ඉන්න වෙනවා..

සුවිසල් ගැටළුවකට මුහුණ දී සිටි බැවින් තාරකට මොහොතකටවත් දෑස පියාගත නොහැකි වූවේය. පාන්දර හතර වෙද්දීම ඇඳෙන් නැගිට ගිය ඔහු ජගත්ගේ කාමරයේ දොරට තට්ටු කලේය. ජගත් සිතුවේ තේ රැගෙන ඇවිත් බවය.

ඔහෙන් තියනවා අයිසෙ.. මම පස්සෙ බොන්නම්..

ඔහු බෙරිහන් දුන්නේය.

ජගත් අයියෙ.. මේ මම තාරක..

තාරක වට පිට බලමින් කීවේ කලබලයෙනි. යුවනිගේ කාමරය තිබුණේ කාමර දෙකකට පමණ එහායිනි. මේ මොහොතේ ඇගේ නෙතට හසු වුවහොත් සිදු වන්නේම මහත්ම අභාග්‍යයකි.

මොකද අයිසෙ මේ උදේ පාන්දර.. තමුසෙලට නින්ද යන්නෙ නැද්ද..?

නිදිබර දෑස පොඩි කරමින් පැමිණ ජගත් දොර විවර කළේය. තාරක හනිකට කාමරය තුළට ගොස් දොර වසා ගත්තේය සොරකමක් කොට අසු වූවෙකු පරිද්දෙනි. ජගත් නින්දට ගියේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොටය. එම නිසාම පැය කිහිපයක් ඇතුළත කෝලය පුරාම පැතිර ගිය ප්‍රවෘත්තිය ගැන ඔහු හාංකවිසියක්වත් දැන සිටියේ නැත. එහෙත් යම් වැරදීමක් වී ඇති බව තාරකගේ මුහුණ දකිද්දී ඔහුට පසක් වූවේය.

ජගත් අයියා.. මාර වැඩේනේ වුණේ..

ජගත්ගේ ඇඳේ වාඩි වූ තාරක සිදු වූ සියල්ල කියාගෙන ගියේ තැති ගැන්මෙන් යුතුවය. ජගත්ගේ නිදිමත ගතිය කොහේදැයි නොදැන අතුරුදන් වූවේය.

යකෝ... තමුසෙ කළොත් කරන්නෙ ඔය වගේ කඩප්පුලි වැඩක්ම තමයි..

ජගත් කීවේ දැඩි තරහිනි. මේ කට කතාව ඔස්සේ නිර්මාණය වෙන ගැටළුවේ තරම ඔහුට අනුමාන කරන්නට පවා නොහැකි විණි.

මම ඒ වෙලාවෙ විහිළුවක් කලේ ජගත් අයියා..

තාරක නිවට නියාලු ලෙස පැවසූවේ ජගත්ගේ කෝපය තවත් අවුලවමිනි.

විහිළුවක් වුණත් දැන් බලනවකො වෙලා තියෙන දේ.. අඩුම තරමෙ ඕකෙන් තමුසෙට වෙන හානියවත් තමුසෙ කල්පනා කළාද..?

තාරක නිහඬව තොල සපා ගත්තේය. දැන් ඉතින් සිදු විය යුතු හානිය එහෙම පිටින්ම සිදු වී අවසානය.

දැන් ඕක හරි ගස්සන්න මොන කට්ටක් කන්න ඕනැද කියලා හිතනවකො.. යුවනි මනෝජ් එක්කත් එෆෙයාර් එකක් තියෙනවා කියනවනේ.. දැන් කතාව යන්නෙ මනෝජ් රට ගියේ ඒඩ්ස් හැදුණ හින්දා කියලා.. අන්තිමට ඒ යකා ලංකාවට නෑවිත් හිටියොත් එහෙම ටෙලියත් ඉවරයි.. මදැයි තමුසෙත් ඉඳලා ඉඳලා ටෙලි ඩ්‍රාමා එකකට ආවා..

ජගත් නළල පිරිමැද ගනිමින් කීවේ කනස්සල්ලෙනි.

අජිත්ව මරන්න ඕනෑ.. ඕකා තමයි ඕක රට වටේ යවලා තියෙන්නෙ..

තාරක කෝපයෙන් කියද්දී ජගත් ඔහු දෙස රවා බැලුවේය.

තාරක තමුසෙ වැරැද්ද කරලා ඊට පස්සෙ ඒක හදන්නෙ තවත් කෙනෙක් වැරදි කරන්නද..? ඩ්‍රයිවර්‘ අතේ වරදක් නෑ.. උන් කිසිම දේක බරක් පතලක් දන්න එවුන් නෙමෙයි.. තමුසෙලා කතා කරනකොට හිතන්න ඕන ළඟ පාත ඉන්නෙ කවුද කියන්නෙ මොනවද කියලා.. දැන් බලනවකො යුවනි නැගිට්ටම සිද්ද වෙන්නෙ මොකක්ද කියලා.. තරහා ගියාම ඕකි කොටි දෙනක්..

ජගත් කතා කළේ අනතුරු අඟවමිනි. තාකර වැඩිපුරම බිය වූයේත් යුවනිටය. ඇය ගෙදරින් අමනාප වී පැමිණි වගක් ඔහු දැන සිටියේ නැත. එම නිසා රුවන්ගේ දෝෂදර්ශනයට ලක් වෙන්නට සිදු වෙනු ඇතැයි බියද ඔහු තුළ තිබිණි.

මට දවස් දෙක තුනක බ්‍රේක් එකක් දෙන්න ජගත් අයියා..

ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේය.

දවස් දෙක තුනක් නෙමෙයි.. සඳහටම බ්‍රේක් කරන්න වෙයි වගේ මට පේන විදියට.. ඒත් දැන් තමුසෙ ගියොත් කතන්දරේ ඇත්ත වෙයි..

ජගත් කීවේ කල්පනාකාරී හඬිණි.

දැන් මට ඕන වෙලා තියෙන්නෙ යුවනිගෙන් බේරෙන්න ජගත් අයියා.. අනිත් ඒවා මොනවා හරිම කරගන්න පුළුවන්..

තාරක අසරණ සිනාවක් පාමින් කීවාය.

ජගත් මදක් කල්පනා කළේය. අද මුළු දර්ශන තලයම අවුල් සහගත වෙනවා නොඅනුමානය. ආර්ථික වශයෙන් සෑහෙන අඩුවක් සිදු වුවත් අද දිනයේ සියලු දෙනාටම නිවාඩු දෙන්නට ජගත් සිතා ගත්තේය.

හරි.. තමුසෙ යනවා.. අජිත් එක්ක යන්නෙ නැතුව අර අනිත් ඩ්‍රයිවර් එක්ක යනවා..

ජගත් හිස සලමින් කීවේය. තාරක සහනශීලී හැඟීමකින් යුතුව නැගිට සිටියේය.

හැබැයි එකක්..

ඔහු පිටව යන්නට සූදානම් වෙද්දී ජගත් කීවේ ඔහු වෙතට ඇඟිල්ල දිගු කරමිනි. තාරක වුවමනාවෙන් ඔහු දෙස බැලීය.

තමුසෙ මීඩියා වලට කියන්න ඕන සිද්ධ වුණ දේ මොකක්ද කියලා..

මං කියන්නම් ජගත් අයියා..

පොරොන්දුවක හඬින් කී තාරක කාමරයෙන් පිට වී ගියේය. ජගත් ඒ මේ අත ඇවිදීමට වූයේ නොසන්සුන් පියවරිනි.

රැය පුරා නිදි වරමින් කල්පනා කළ යුවනිට පාන්දර යාමයේ මඳක් නින්ද ගියේය. ඇය අවදි වන විට උදේ හය හමාර පසුවෙමින් තිබිණ. ඇය නින්දට ඇඳි පිජාමා ඇඳුම පිටින්ම තාරකගේ කාමරය වෙත දිව ආවාය. ඔහුගේ ගෙල මිරිකා මරා දමන්නට සිතෙන තරමටම ඇගේ කෝපය ප්‍රබල වූවේය.

තාරක දොර අරිනවා..

ඇය දත්මිටි කමින් දොරට ගැසුවාය. එහෙත් දොර කැඩෙන තරම් තදින් පහර දුන්නත් එය විවර කරන්නට තාරක එහි සිටියේ නැත. ඔහු ඒ වන විට කොළඹටද කිට්ටු කොට සිටියේය. ඔහු සිතමින් ගියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන අන්දමය. මේ වරද නිවැරදි නොවුණ හොත් ඔහුගේ වෘත්තිය ජීවිතය පමණක් නොව ආත්මයද අනතුරේ වැටීම වැළැක්විය නොහැක.

යුවනි කරන කලබලය ඇසූ ජගත් වහාම සිය කාමරයෙන් පිටතට ආවේය.

මොකද යුවනි..?

ඔහු විමසුවේ කිසිවක් නොදන්නා ගණනටය. යුවනි වහා ඔහු දෙසට හැරුණාය. කොණ්ඩයද මුහුණ වටා විසුරුවාගෙන සිටි ඇය වෙතින් පල වූයේ වියරු බවකි.

බලන්න ජගත් අයියා මේ තාරක කියන ජරා මිනිහා කරලා තියෙන වැඩේ.. ඌ මට ඒඩ්ස් තියෙනවා කියලා ප්‍රචාරයකරලා.. මම අද ඕකව තියන්නෙ නෑ..

කෑ ගසා කියූ යුවනි නැවතත් දොරට ගසන්නට වූවාය. ජගත් ඇගේ බාහුවෙන් අල්ලා ගත්තේය.

යුවනි ඕවට කෑකෝ ගහන්න ගියාම වෙන්නෙ ප්‍රශ්නෙ තවත් අවුල් වෙන එක විතරයි..

ඔහු සන්සුන්ව කීවේ ඇය සාලයේ පුටුවක වාඩි කරවමිනි.

කෑ කෝ ගහන්න නෙමෙයි මට දැන් ඔය මිනිහව මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් තියෙන්නෙ.. මම දැන් කොහොමද ජගත් අයියෙ ලෝකෙට මූණ දෙන්නෙ..

යුවනි දෝතින් මුහුණ වසාගෙන හඬනන්ට වූවාය. ජගත් අනුකම්පාවෙන් බලා සිටියේය. බොහෝ දිනකට පසුව ඇයට අම්මාත් අයියාත් සිහපත් විණි. ඇගේ පපුව හෝස් ගා දැවී ගියාය. තමන්ගේම කෙනෙකු ළඟ නැති අඩුව කෙනෙකුට දැනෙන්නේ අසරණ වූ විටය. යුවනිටද මෙමොහොතේ එය දැනෙමින් තිබිණි. තමාට මේ පල දුන්නේ ඔවුන් දෙදෙනාගේ සිත රිදවූ පාපය යැයි ඇය සිතුවාය.

නවාතැන් පළේ සිටි අනෙක් නළු නිළියන්ටද මේ වන විට කට කතාව දැන ගනන්ට ලැබී තිබිණි. ඔවුහු එකිනෙකා කාමරවලින් පිටතට පැමිණ ඈතින් සිට තත්වය විපරම් කළහ. එහෙත් ළඟට පැමිණ සනසන්නට දිරියක් කිසිවෙකුටත් නොවුණි.

දැන් අඬන්න එපා යුවනි.. හැමදේම හරියයි..

ජගත් කීවේ තාරක විසින් දෙන ලද පොරොන්දුව සිහිපත් කරවමිනි. එහෙත් එවදන් වලින් වූයේ තවත් ඇගේ හැඬිම වැඩි වීමය.

ඇයට බැණ වැදී දුරකථනය තැබුවා මිස මනෝජ් ඉන් පසුව කුමක් සිදු වූයේදැයි අසන්නටවත් කතා කළේ නැත. ඇසුරු කළ සියලු දෙනාම ආත්මාර්ථකාමී යැයි හැඟීමත් ඇයට අම්මාගේත් අයියාගේත් වටිනාකම තදින්ම දැනෙන්නට වූයේය.

අජිත්ට හොඳටම තරවටු කරන්නට ජගත් අයියා සිතා සිටියේය. එහෙත් ඔහුද තාරක මෙන්ම කිසිවෙකුටත් හොරෙන් නවාතැන් පොළෙන් නික්ම ගොස් තිබිණි.

මට ගෙදර යන්න වාහනයක් ලැස්ති කරලා දෙන්න..

යුවනි හඬ හඬාම කියද්දී ජගත් අසරණ වූයේ එහෙයිනි. නිෂ්පාදන අංශයට ලබාදී තිබුණේ වාහන දෙකකි. එකක් තාරක නික්ම ගියේය. අනෙක් වාහනයට රියදුරෙක් නොවිණි.

තාරක ගිය වාහනේ ආපහු එනකන් ඉන්න වෙනවා යුවනි..

ජගත් කීවේය..

මොනවා..? තාරක ගියා..?

යුවනි විමසුවේ වේගයෙන් අසුනෙන් නැගී සිටමිනි. ජගත් හෙමිහිට හිස සැලීය.

හොදයි.. එක හීනෙන් එළි වෙන්නෙ නෑනේ.. මට කොහෙද හරි ඔය මිනිහා හම්බවෙයිනේ.. එදාට මං බලාගන්නම්..

ඇය දත්මිටි කමින් පාරම් බෑවාය.

නවාතැන් පොළ ඉඳරිපිට වාහනයක් නැවතිණි. යුවනි එදෙස බැලුවාය. ඒ සමඟම ඇයට දැනුණේ සිය හදගැස්ම නැවතුණාක් බඳු හැඟීමකි. පැමිණ තිබුණේ රුවන්ගේ කාරයය.

දෙවියනේ..

ඇය උද්වේගයෙන් ගැහෙන ළය මත අත තබා ගත්තාය. අයියාට ආරංචිය යන්නට වැඩි වේලාවක් යන්නේ නැත. ඔවුන් පැමිණ සිටින්නේ තමා සිදු කළ අවනම්බුව පිළිබඳව දොස් පවරන්නට යැයි ඇයට සිතිණි. ජගත්ද කැළඹීනෙම් යුතුව නැගී සිටියේය.

සටනකින් පරාජිත වූවන් ලෙස කාරයෙන් බැස එන අම්මාත් අයියාත් දුටු ඇයට තව දුරටත් හැගීම් පාලනය කරගත නොහැකි වූයේය. ඇය හඬාගෙන ඔවුන් ඉඳිරියට දිව ගියාය.

අනේ අම්මා.. අයියා.. මේ කාලකණ්නි කෙල්ලට සමාව දෙන්න.. ඔයාලට දුන්න ගින්දර තමයි මට පත්තු වුණේ.. ඒ වුණාට මේ ඒඩ්ස් කතාව සම්පූර්ණ බොරුවක් අම්මා.. සම්පූර්ණ බොරුවක්.. අර තාරකයා ඒ කතාව ප්‍රචාරය කළේ.. ඌව ආපහු ෆිල්ඩ් එකට ගෙනාවට ඌ මට දුන්න තෑග්ග තමයි ඔය කට කතාව..

වියරුවෙන් මෙන් කෑ ගසමින් යුවනි අම්මාගේ දෙපතුල වැටුණාය. අම්මා ගල් ගැසී බලා සිටියේ මෙහි අග මුලක් වටහාගත නොහැකි වූ නිසාය.

රුවන් කට කතාව පිළිබඳව කිසිවක් අම්මාට කීවේ නැත. ඔහු කීවේ තවත් අමාරුවේ වැටෙන්නට පෙර යුවනි ගෙදර කැටුව ආ යුතු බව පමණකි. අම්මා කැමැත්තෙන්ම එයට එකඟ වූවාය. ඔවුන් උදේ පාන්දරම නිවසින් පිටත් වී ආවේ එහෙයිනි.

යමු ගෙදර..

කියමින් රුවන් ඇය නැඟිටුවා ගත්තේය.

අනේ අයියා..

යුවනි ඔහුගේ උරහිසේ හිස සඟවාගෙන මහ හඬින් හඬා වැටුණාය. සියලු දෙනාම මේ අනුවේදනීය දර්ශනය නැරඹුවේ සසල සිත්වලින් යුතුවය.

හිතුවක්කාරකම් වල රඟ දැන්වත් තේරුම් ගත්තා නම් ලොකු දෙයක්..

අම්මා වෙව්ලන හඬින් මිමිණුවාය.

යමු රුවන්.. ඇතුළට ගිහින් වාඩි වෙලා කතා කරමු..

ජගත් ඔවුන් අසළට පැමින කීවේය.

නෑ ජගත්.. අපි මෙහෙමම යන්නම්.. පස්සෙ වෙලාවක කතා කරමු.. ඔයාගෙ බෑග් එක අරගෙන එන්න..

රුවන් නැගණිය මුදා හරිමින් කීවේය.

මෙහෙම..?

යුවනි සිය ඇඳුම දෙස බැලුවාය.

දැන් ඉතින් ලැජ්ජා වෙන්න ඕන තරම් වෙලා ඉවරනේ.. ඔය ඇඳුම හොඳයි.. ටක් ගාලා එන්න..

රුවන් තදින් කීවේය. සුසුමක් හෙලූ යුවනි කිසිවෙකු දෙස නොබලා බිම බලාගනෙම සිය කාමරයට ගියාය.

සෙනෙහස වැඩි දා සිතද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වුණ දා
අම්මා පමණයි ළඟ ඉන්නෙ..

නන්දා මාලනී මහත්මියගේ එම ගීතය කවුදෝ සිය සවනට මුමුණන්නාක් මෙන් යුවනිට දැනුණි. ඇගේ දෑසින් නැවතත් කඳුළු කඩා හැලෙන්නට විය.



No comments:

Post a Comment