Monday, September 24, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


ටෙලි නාට්‍ය ලෝකයට අභිෂේක්ගේ පුනරාගමනය මාධ්‍යවල හොඳ ප්‍රවෘත්තියක් වූවේය. හැම පුවත්පතකම හැම විද්‍යුත් මාධ්‍යයකම ඔහු පිළිබඳ වැඩසටහන් පළවිණි.

ඔබ මුහුණ දුන්නේ ඉතාම දරුණු රිය අනතුරකට.. මේ තරම් ඉක්මනට නැවත ටෙලි නාට්‍ය ලෝකයට එන්න පුළුවන් වෙයි කියලා ඔබවත් විශ්වාස නොකරන්න ඇති.. එහෙම නේද..?


එක පුවත්පතක එසේ විමසා තිබිණි.

ඇත්තටම ඔව්.. ඒත් මට ඒක කරන්න පුළුවන් කියලා මටත් වැඩිය විශ්වාස  කරපු කෙනෙක් හිටියා.. ඇය ඒ විශ්වාසය මා තුළටත් කා වැද්දුවා.. ඒකෙන් තමයි මට මේ තරම් ඉක්මනට නැගිටින්න පුළුවන් වුණේ.. ආපහු කාරෙක්ක එළවන්න තියා කාරෙකක නගින්නත් මං බයෙන් හිටියෙ.. ඒත් ඇය තුළ මා තුළ තිබුණ බිය සම්පූර්ණයෙන්ම දුරු කළා..

ඇය සුරංගනාවක්ද..?

ඇය සුරංගනාවකටත් වඩා උසස් කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.. මම ටෙලි නාට්‍ය ලෝකෙට පය තැබීමේ ගෞරවය මුළුමනින්නම හිමි වෙන්න ඒන ඇයට..

පසුගිය කාලෙ ඔබත් සමඟ බැඩ්මින්ටන් තරඟ වලින් දිනුවෙ, පුවත්පත් ඡායාරූප වලට පෙනී සිටියෙ ඒ සුරගංනාවද..? ඇය ජනප්‍රිය ගායිකාවක ද කියලා ඇහුවොත් ඔබ දෙන පිළීතුර කුමක්ද..?

මම කිසිම පිළීතුරක් දෙන්නෙ නෑ.. මොකද පුවත්පතකින් ඇයගේ නම හෙලිදරව් කිරීම ඇයට කරන නිග්‍රහයක් විදියටයි මම දකින්නෙ..

අභිෂේක් එම පිළිතුර දෙන්නට ඇත්තේ තරමක් තදින් විය යුතු යැයි එම ලිපිය කියවමින් සිටි පියුමිකාට සිතිණි. ලේඛකයා ඉනික්බිතිව අභිෂේක්ගෙන් අසා තිබුණේ ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රශ්න පමණකි. පියුමිකා පුවත්පතත් ඇතේ ඇතිව කල්පනාවට වැටුණාය. අභිෂේක් මේ සඳහන් කොට තිබේනනේ ඇය පිළිබඳව බව ලිපිය කියවන ඕනෑම කෙනෙකුට දැනෙනවා නියතය. එහේත ඒ ගැන ඇය තුළ සන්තෝසයක් හෝ අසන්තෝසයක් නොවිණි.

අභිෂේක් කෙරෙහි තමා තුළ තිබෙන්නේ කුමනාකාර බැඳීමක්දැයි වටහා ගන්නට පියුමිකා නොදැරූ උත්සාහයක් නැත. ඔහු තමාගේම යැයි ඇය සිතා සිටියේ යුවනි ඔවුන් අතරට පැමිණෙන්නට පෙරය. ඉනික්බිතිව ඇය ඔහු කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගත්තාය. එය වෛරයකටම ළං වූවේය. ඇය ඔහු රිදවූයේ යුවනි සමඟ ගැටුම් ඇති කර ගනිමිනි. එහෙත් ඔහු පියුමිකාට එරෙහිව වචනයක්වත් කීවේ නැත.

අභිෂේක්ට රිදවීම පිණිස පියුමිකා සයුරුද යොදා ගත්තාය. ඇය සයුරු හැදින ගත්තේ සජානි මාර්ගයෙනි. ජනප්‍රිය ගී පද රචකයෙකු වූ ඔහු ගී තැටිය එළි දැක්වූ අවස්ථාවේදී පියුමිකාට බොහෝ සෙයින් උදව් කළේය. එය නෙතු අභිෂේකය වශයෙන් නම් කරන ලද්දේත් ඔහු විසිනි.

සයුරු තුළ තමා කෙරෙහි අදහසක් ඇති බව පසුකාලීනව පියුමිකාට වැටහුණි. ඇය ඔහුගේ සිත නොරිදන පරිදි කෙමෙන් කෙමෙන් ඔහුගේන් ඈත් වූයේ ඉනික්බිතිවය.

මම දැන් කාවවත් ජීවිතේට ළං කරගන්න බයයි සජා..

ඇය සජානි සමඟද පැවසුවේය.

මට තේරෙනවා..

සජානි හිස සැලුවේ යෙහෙළිය කෙරෙහි උපන් අනුකම්පාවකින් යුතුවය.

යසුරු ඔහුගේ සිතැගි බොහෝමයක් හෙළිදරව් කොට තිබුණේ සජානි සමගය.

ඔයාගෙ හිතේ පියුම් ගැන අදහසක් තියෙනවා නම් ඒක එහෙමම තියාගන්න සයුරු අයියෙ.. එයාට ඕක කිව්වොත් ඔය තියෙන යාළුකමත් නැතිවෙයි. අනිත් එක මං දන්නවනේ එයාගෙ අම්මලගෙ හැටි.. ඒ ගොල්ලන් දැනටමත් ලොකු බිස්නස්කාරයෙක් ගැන හිතාගෙන ඇති..

ඇය කියා තිබිණි.

අම්මලා පියුමිකාගේ අනාගත සහකරුවා ලෙස තෝරා ගැනීම සඳහා සුදුසු යැයි සැළකෙන බොහෝ දෙනෙකු පිළිබඳව සිතමින් පසු වන බව පියුමිකාට රහසක් නොවිණි. එහෙත් ඇයට නම් විවාහය යන වදන සිහිපත් කිරීඹත් මහත් විඩාවක් වූවේය. සහකරුවෙකු ගැන කියද්දීත් පියුමිකාගේ සිතේ මැවුණේම අභිෂේක්ගේ රුවය.

මේක මට හරිම වදයක් සජා..

කල්පනා කිරීමෙන් හෙම්බත් වූ පියුමිකා සජානිට දුරකථන ඇමතුමක් දී පැවසුවේ හැඬම් මුසු ස්වරයෙනි. බොහෝ සංවේදී සිතක් සහිත යෙහෙළිය පිළිබඳව උපන් අනුකම්පාවෙන් සජානිගේ දෑස් නෙත් වුවේය. මොන තරම් ජනප්‍රියත්වය, සැප සම්පත් තිබුණත් සිතේ සතුට නැතිනම් ඒවායින් පලක් වේදැයි ඇය සිතුවාය.

හැම දේම අපි කාලයට බාර දීලා පැත්තකට වෙලා බලන් ඉඳිමු කෙල්ලෙ..

සජානි කීවේ මුදු ලෙසය. පියුමිකා දිගු සුසුමක් හෙලුවාය.

ඔව් ඉතින්.. අපේ හිතට නොගැලපෙන දේවල් අපි බාර දේනනෙ කාලයට නැත්නම් දෛවයට තමයි..

ඇය කීවේ නොරිස්සුමෙනි.

හොඳයි එහෙම නැත්නම් අපි මොකද කරන්නෙ..? ඒ ගැනම හිත හිතා මුළු ජීවිත කාලෙම අඬ අඬා ඉන්නවද..?

සජානි අභියෝගයකට මෙන් විමසුවාය. මඳ වේලාවක් කල්පනා කරමින් සිටි පියුමිකා අනතුරුව සිහින් සරින් මිමිණුවාය.

මම අඬන්න කැමති කෙනෙක් නෙමෙයිනේ කෙල්ලෙ..

උඹට දැන් ඉතින් අඬන්න හේතුවකුත් නෑ.. හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින් කියලා හිතාගෙන ඌ එනකන් බලන් හිටපන්..

සජානි සිනාසුනාය.

ඌ කවුද කියන එක හොයාගන්න බැරිව තමයි මමත් මේ දඟලන්නෙ..

පියුමිකා කීවේ සුසුම් සලමිනි.

අභිෂේක්ගේ අලුත්ම තතු මාධ්‍යවලින් මේනම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින්ද දැන ගත් යුවනිට දැනුණේ දරා ගත නොහැකි ඊර්ෂ්‍යාවක් හා වේදනාවකි. ඔහු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණියේ ඇය අත්වැල කර ගනිමිනි. දැන් ඔහු ගමනේ අසීරුතම කොටස තරණය කොට හමාරය. අත්වැල දෙස හැරී බලන්නටවත් දැන් ඔහුට උවමනාවක් නැත.

මොනවද අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ..?

බැහැරක ගිය රුවන් පැමිණ නැගණිය ඉදිරියෙන් වාඩි වූයේ එසේ අසමිනි. ඔහුගේ තියුණු දෑස් වල රැඳී තිබුණේ පැහැදිලිවම නොමනාපයකි. යුවනිගේ හිතුවක්කාරකම් නිසා කරදරයට පත් වූයේ ඔහුය. අම්මාගෙන්ද ඔහුට දොස් අසන්නට සිදු වී තිබිණි.

මට නිකම්ම ගෙදරට වෙලා ඉන්න කම්මැලියි අයියා..

ඇය බැගෑපත් සිනාවක් පාමින් කීවාය.

නිකම්ම ඉන්න ඕන වෙන්නෙ නෑ.. ඒ විදියට කාඩ් එක රැකගෙන හිටියා නම්..

යුවනිගේ ස්වභාවයෙන් සිත මඳක් ලිහිල් වූ බැවින් රුවන් පැවසුවේ පෙර මෙන් අමනාප ස්වරයෙන් නොවේ.

කාටත් වැරදීම් වෙනවා.. එහෙම කියලා ඒවා මත්තෙම නැහෙන්න පුළුවන්කමක් නෑනේ..

යුවනි ඉවත බලාගෙන කීවාය. රුවන් තිගැස්සී ඇය දෙස බැලීය. එවන් එඩිතර ප්‍රකාශයක් ඔහු නැගණියගෙන් බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ඇය කියන්නේ සැබෑවක්ම බව පිළි ගැනීමට ඔහුට සිදුවිය.

ජගත්ට අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් කතා කරලා තියෙනවා ටෙලි  ඩ්‍රමා එක්ක කරන්න.. පොඩ්ඩක් කෝල් එකක් දීලා බලන්න..

මඳ වේලාවක් නිහඬව කල්පනා කරමින් සිටි රුවන් පැවසුවේය.

යුවනිට දැනුණේ අමන්දානන්දයකි.. ඇගේ දෙතොල සිනාවකින් විවර වූවේය. අයියා එතරම් ලිහිලක් දක්වනු ඇතැයි ඇය සිතුවේම නැත. උප පැන නටන්නට සිතට දැනුණු පෙළඹවීම ඇය අසීරුවෙන් යටපත් කොට ගත්තාය.

හැබැයි.. මේ අන්තිම වතාව.. මීට පස්සෙ මොකක් හරි කොක්කක් දා ග්තතොත් එහෙම මගෙන් පුංචි සමාවක්වත් නෑ කියලා හොඳට මතක තියාගන්නවා..

යුවනිගේ මුහුණට ඇඟිල්ල දිගු කොට ලෙලවා පැවසූ රුවන් එතැනින් ඉවත්ව ගියේය. සිතේ වූ අති මහත් උධ්යෝගය නිසාම එවදන් වල වූ තරවටුව නොසලකා හරින්නට යුවනිට හැකි විණි.

ඇය එමොහොතේම ජගත්ට දුරකථන ඇමතුමක් දුන්නාය. ඔහු තමාටකුමක් හෝ සුබවාදී පිළීතුරක් දෙනු ඇතැයි විශ්වාස ඇය තුළ තිබිණි.

කොහොමද යුවනි ඉතින් කාලෙකට පස්සෙ..?

ජගත් විමසද්දී ඒ විශ්වාසය දෙගුණ වූවේය. ඔහුගේ කට හඬේ වූයේ හුරු පුරුදු සුහද බවමය.

අභිෂේක්ට මාස දෙක තුනක් එක්තැන් වී සිටින්නට සිදු වූයේ යුවනි නිසාය. ඔහු විසින් ගිවිසුම් අත්සන් කරන ලද චිත්‍රපටි, ටෙලි නාට්‍ය කල් දමන්නට සිදු වීම නිෂ්පාදකයන්ට මෙන්ම අධ්‍යක්ෂකවරුන්ට ද බලවත් පාඩුවක් විණි. අභිෂේක්ගේ ඛේදවාචකයට යුවනි සෘජුවම සම්බන්ධ බැව් අනෙක් අධ්‍යක්ෂකවරු කෙසේ වෙතත් ජගත් දැන සිටියේය. එම නිසා ඔහු අමනාපයෙන් ඇතැයි දෙගිඩියාවක් යුවනි තුළ තිබිණි. එය දුරු වී ිගයේ ඔහු සමග කතා බහ කළාට පසුවය.

ජගත් අයියා අලත් ටෙලි ඩ්‍රාමා එකක් කරන්න යනවා කියලා ආරංචියක් ආවා..

යුවනි සෘජුවම මාතෘකාවට අවතීර්ණ වූවාය.

ඔව්.. අලුත් ප්‍රොඩියුසර් කෙනෙක්ගෙ එකක්.. මිනිහගෙ පළවෙනි ටෙලිය.. ස්ක්‍රිප්ට් එකත් හොඳයි..

ජගත් විස්තර කියාගෙන යද්දී යුවනි තුළ  වූ රඟපෑමේ ආශාව වැඩි වූවේය.

මට චාන්ස් එකක් නැති වෙයිද ජගත් අයියා..?

ඇය ඉමහත් ඕනෑකමින් විමසුවාය.

ම්.. චාන්ස් එකක් දෙන්න නම් බැරි වෙන්නෙ නෑ.. තවම අපි සාකච්ඡා කරගෙන යනවා මිසක් කාවවත් සිලෙක්ට් කරගෙන නෑ..

ජගත් කීවේය.

යුවනිට දැනුණේ ඉහේ මලක් පිපුණාක් බඳු හැඟීමකි. ඇගේ සිත තුළ බලාපොරොත්තු කන්දක් ගොඩ නැගුණේය.

එහෙනම් අයියෙ, මගේ නමත් ලිස්ට් එකේ තියා ගන්න..

ඇය කීවාය.

හැබැයි ඉතින් රුවන්ගෙන් අවසර ගන්න එක නම් ඔයා කරන්න ඕනෑ.. දන්නවනේ.. තරහ ගියාම මිනිහගෙ තරම..

ජගත් පැවසුවේය සිනාසෙමිනි.

දන්නවා..

යුවනි මිමිණුවාය. අයියාගේ ඉක්මන් කේන්තිය පිළිබඳව නොදන්නා අයෙකු ක්ෂේත්‍රයේ නැතැයි ඇය කල්පනා කළාය. එක අතකින් එය ඇයට ආඩම්බරයක් ද වූවේය.

හැබැයි අයියම තමයි කිව්වෙ ජගත් අයියට කෝල් එකක් දෙන්න කියලා..

යුවනි සිනාසෙමින් දැනුම් දුන්නාය.

එහෙනම් අවුලක් නෑ.. ඔයාට පුළුවන් නම් හෙට දිහාට ඇවිත් මාව මීට් වෙන්නකො..

ජගත් කීවේය. යුවනි එයට එකඟ වූයේ බලවත් ආශාවෙනි. ඇයට අසීරු වූයේ අම්මාගෙන් අවසර ගැනීමය.

ආයෙමත් නාඩගම් නටන්න ලෑස්ති වුණාද..?

ජගත් හමු වීමට යා යුතු බව අම්මාට දැනුම් දුන් කළ ඇය කඩා පැන්නාය. අයියාට තරම් අම්මාට බියක් නොදක්වන යුවනිගේ දෙතොල විරල වර්ගයේ සිනාවකින් සැරසිණි.

අයියගෙ ජොබ් එක අමතක වුණා වගේනෙ අම්මා කතා කරන්නෙ.. හැම අම්මා කෙනකේම දුවලට ඔය විදියට බැන්නොත් එහෙම අයියලට නිළියො නැතුව යනවා..

යුවනි දෙතොල් ස්වරයෙන් කීවාය. බනින්නට විවර කළ අම්මාගේ දෙතොල වහා පියැවිණි.ඇය සිනාව සඟවා ගන්නට ඉවත බලා ගත්තාය. යුවනි ජයග්‍රාහී හැඟීමෙන් උද්දාම වූවාය.

ජගත්ගේ නිවස යුවනිට නුපුරුදු තැනක් නොවිණි. රුවන් සමඟ මෙන්ම තනිවම ද ඇය නොයෙක් වර එහි ගොස් තිබිණි. ජගත්ගේ බිරිඳ ඇගේ මිතුරියක වූවාය. එහෙම් මෙවර ඇය එහි ගියේ චකිතයකින් යුතුවය. ජගත් අමුත්තෙකු සමඟ සිටිනු දුටු විට ඒ චකිතය දෙගුණ වූවේය.

ආ.. එන්න එන්න යුවනි.. මම මේ මනෝජ්ට කිය කියා හිටියෙත් ඔයා ගැනමයි..

ඇය පැකිළිමෙන් යුතුවට ගෙට ගොඩ වෙද්දීඹ ජගත් කීවේය. සිය පපුවට යන්තම් හුස්මක් වැටෙන්නාක ්මෙන් ඇයට දැනුණි. මහත මුහුණකින් සහ බැරූරුම් බැල්මකින් යුතු අමුත්තා දෙස බලාගෙනම යුවනි අසුනකට බර දුන්නාය. අවුරුදු හතලිශ හතළිස් පහ අතර වයසක වුවත් ඔහු තුළ කුමක්දෝ ආකර්ෂණිය බවක් ඇයට සිතිණි. ඇය විනිවිද දකින්නට මෙන් මොහොතක් බලා සිටි අමුත්තා මඳ සිනාවක් පෑවේය. අර මහත මුහුණට ඒ සිනාවෙන් ලැබුණු ආලෝකය දෙස යුවනි මවිතයෙන් මෙන් බලා සිටියාය.

යුවනි මේ තමයි මනෝජ් ප්‍රේමතිලක.. ජෙම් බිස්නස් කරන්නෙ.. මනෝජ් යුවනිව නම් දන්නවනේ..

ජගත් ඔවුන් එකිනෙකාට හඳුන්වා දුන්නේය.

ඔව්.. මම ටෙලි නාට්‍ය වල යුවනිව දැකලා තියෙනවා..

මනෝජ් යුවනිට අතට අත දුන්නේ එසේ කියමිනි. ඔහුගේ කට හඬේ වූයේ ඇයට අදහා ගත නොහැකි තරමේ මෘදු බවකි. ඇය කෝල සිනාවක් පෑවේය.

යුවනි මේ දවස්වල මොනවද කරන්නෙ..?

අර බැරෑරුම් බැල්මෙන් දිගටම බලාගෙන සිටි මනෝජ් ප්‍රේමතිලක විමසුවේය.

මේ දවස්වල නම් මම වැඩක් කරන්නෙ නෑ මිස්ටර් ප්‍රේමතිලක..

යුවනි කීවේ හීනමානයකින් යුතුවය. මේ දිනවල තමා රඟපාන සහ ගිවිසුම් අත්සන් කර තිබෙන ටෙලි නාට්‍ය හා චිත්‍රපට වැලක කියාගෙන යන්නට තිබුණේ නම් මනෝජ් තුළ යම් කිසි හැඟීමක් ඇති කරන්නට හැකි වෙනු ඇතැයි ඇයට සිතිණි. එහෙත් අභිෂේක් සමඟ රඟපෑ ටෙලි නාට්‍යයෙන් පසුව ඇයට මෙතෙක් ලැබී තිබුණේ උප ප්‍රධාන චරිත දෙක තුනක් පමණි.

මෙයාගෙ අයියා ප්‍රොඩියුසර් වුණාට මෙයාට ටෙලි නාට්‍යවල රඟපාන්න දෙන්නෙ බොහොම අඩුවෙන්..

යුවනි පත් වී සිටි අපහසුතාවයෙන් මුදා ගන්නට මෙන් ජගත් කීවේය. ඇය කෘතඥ පූර්වකව ඔහු දෙස බැලීය.

ඒක හොඳයි.. හැම චැනල් එකකම යන ටෙලි වල ඉන්න ඇක්ට්‍රස් කෙනෙක් මගේ ටෙලියට ගන්න මම කැමති නෑ.. එකක් ඒ මූණ දැකලා දැකලා මිනිස්සුන්ට එපා වෙලා.. අනිත් එක එයාලගෙන් දින ඉල්ලා ගන්න එක හරිම ප්‍රශ්නයක්..

මනෝජ් කියද්දී ඇයට දැනුණේ බලවත් සතුටකි. ටෙලි නාට්‍යට ඇය සම්බන්ධ කර ගැනීමට ඔහු දැනටමත් කැමති වී ඇතුවා නිසැකය.

එහෙම නම් මේ කැරැක්ටර් එකට අපි යුවනිව ගනිමු..

ජගත් පැවසුවේ යෝජනාවක හඬිනි. යුවනි බලාපොරොත්තු සහගතව බලා සිටියාය.

මටත් හිතෙනවා ඒකට මෙයාව ගැලපෙයි කියලා..

මනෝජ් කල්පනාකාරී ලෙස හිස සලමින් පැවසීය.

තැන්ක් යූ මිස්ටර් ප්‍රේමතිලක..

යුවනි ප්‍රීතියෙන් ඉපිල යමින් කීවාය. මනෝජ්ගේ මුහුණට උපහාසාත්මක පෙනුමක් නැගිණි.

මිස්ටර් ප්‍රේමතිලක නෙමෙයි මම මනෝජ්..

ඔහු අවධාරණයෙන් කීවේය.

ඇයට විළිබර බවක් දැනුණි.

ඕ..කේ..

ඇය මිමිණුවාය.

ඔහු ධනවතෙකු වුව ද නිහතමානී අයෙකු විය යුතු යැයි හැඟීම ඇය තුළ ඇති විණි.

එක අමාරු වැඩක් ඉවරයි.. දැන් තියෙන්නෙ මේන් ඇක්ටර් හොයන චැලේන්ජ් එක..

ජගත් කීවේය.

මම හිතාගෙන හිටියෙ අභිෂේක් නුගලියද්ද ගැන..

මනෝජ් කියද්දී කොන්ද දිගේ අයිස් කැටයක් පෙරලීගෙන යන්නාක් මෙන් යුවනිට දැනුණි. අතීථයේ දිනකදී නම් අභිෂේක් සමඟ රඟපෑමක් ගැන සිතීම පවා ඇයට දැඩි සතුටක් වීමට ඉඩ තිබිණි. එහෙත් මේ වන විට ඇයට අභිෂේක් යනු ඉශල අත්තක පිපුණ කඩා ගන්නට නොහැකි මලක් සේ පෙනෙමින් තිබිණි.

යුවනි සහ අභිෂේක් අතර ඇති විරසකය මේ වන විට ජගත්ට රහසක් නොවිණි. මනෝජ් අබිෂේක්ගේ නම සඳහන් කරද්දී ඔහුට ඉබේටම යුවනි දෙස බැලුනේ එහෙයිනි. ඇගේ සිතැඟි වටහා ගැනීමට ඔහුට අසීරු වූයේ නැත.

මේ දවස්වල එයාගෙන් දින ගන්න එක ලේසි වෙන එක්ක නෑ.. මෙගා දෙකකම ඉන්නවා කියලයි ආරංචිය..

ජගත් කීවේ යුවනිගේ සිතට සැනසුමක් උදා කරවමිනි. එහෙත් මනෝජ්ගේ මුහුණට නැගුණේ අපේක්ෂා භංගත්වයකි.

අපෝ එහෙම නම් ඕන ණෑ.. ඒත් ඉතින් මොනවා කරන්නද..?

ඔහු කල්පනාකාරී හඬින් විමසිය..

ජගත් අයියා තාරක ගැන මොකද හිතන්නෙ..?

යුවනි විමසද්දී ඇය දෙස බැලුවේ විමතියෙනි. යුවනි සහ තාරක සිටියේ එකිනෙකා සමඟ බලවත් තරහකිනි. දැන් ඇය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස යොදා ගැනීමට තාරකගේ නම යොජ්නා කරන්නීය. ඇයට දැන් තරහක් ඇත්තේ අභිෂේක් කෙරෙහිය. සිත වෙනස් වෙන ආකාරය ගැන කල්පනා කරද්දී ජගත්ගේ දෙතොලට සිනාවක් නැගිණි. ඒ සිනාවේ වූ උපහාසය හැදින ගත්තේ යුවනි පමණය.

තාරක ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ රඟපෑවෙම නෑ නේද..?

මනෝජ් විමසුවේ දෙගිඩියාවෙන් මෙනි.

දැන් මිනිහට සනීපයි.. මට හිතෙන්නෙ මිනිහව එළියට ගන්න මේක හොඳ චාන්ස් එකක් කියලා.. අපි එයාව ගනිමු.. අභිෂේක්ට ඉස්සර ෆිල්ඩ් එකේ හිටපු ජනප්‍රිය නළුවා මිනහනේ කොහොමත්..

ජගත් පවසන විට යුවනිගේ සිත ප්‍රීතියෙන් ඔකද වූවේය. ඇය කෘතඥතා පූර්වක දෑසින් ඔහු දෙස බැලුවාය. මේ ආරංචිය ඇසූ විගස තාරක සතුටින් උදම් වෙන අන්දම ඇයට මැවී පෙනිණි.

එහෙනම් ඒකත් කන්ෆර්ම්.. මේන් කැරැක්ටර්ස් දෙක තෝර ගත්තට පස්සෙ අනිත් ඒවා කොහොම වුණත් කමක් නෑ..

එසේ කියූ මනෝජ් අත් ඔරලෝසුව දෙස බලමින් නැගී සිටියේය.

මනෝජ් යන්නද..?

අසමින් ජගත්ද ඔහු අනුව නැගිට්ටේය.

ඔව්.. මම පොඩි බිස්නස් වැඩකට ආපු ගමන්.. මම අනිද්දා දිහාවට ආයෙම එන්නම්.. අපි මුහුරත් එක ඉක්මනටම ඇරේන්ජ් කර ගනිමු..

ඕ.. කේ...

ජගත්  හිස සැලීය.

යුවනිටත් ඕනෙ නම් මගෙත් එක්ක යන්න පුළුවන්..

මනෝජ් මඳ සිනාවක් පාමින් යුවනි දෙස බැලීය. ඔහුගේ දෑසේ වූ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට නොහැකි සෙයක් ඇයට දැනුණි.

ඔයාට කරදරයක් නැත්නම්..

ඇය ආකර්ෂණිය සිනාවක් පාමින් කීවාය.

මොන කරදරයක්ද..? වෙහිකල් එකේ ඕන තරම් ඉඩ තියෙනවනේ..

එහෙනම් මම ගිහින් එන්නම් ජගත් අයියා..

යුවනි කීවේ එයට අනුමැතිය පතන දෑසින් ජගත් දෙස බලමිනි. ඔහුගේ දෑස් වූයේ තරවටුවක් හෝ අවවාදයකි. එහෙත් ඇය එය නොදුටුවාක් මෙන් සිටින්නට වෑයම් කළාය.

මොකුත් බොන්නෙත් නැතුව..

ජගත් කීවේ එය වැළැක්වීමේ අරමුණු කොටගෙනය.

ඕන නෑ ජගත් අයියා.. මම වෙන වෙලාවක එන්නම්.. අද අක්කත් ගෙදර නැති හන්නා ඔයාට ඕවා කරන්න කරදරයි..

යුවනි කියද්දී ජගත් ඇය දෙස බැලුවේ දෑස් අයාගෙනය.

ඔයා කොහොමද දන්නෙ අක්කා ගෙදර නෑ කියලා..

හිටියා නම් මෙලහකටත් ඇවිත් මාත් එක්ක කතා කරලනේ..

ඇය ජයග්‍රාහී හඬින් කීවාය. ජගත්ට එක් වී මනෝජ් ද සිනාසුණේය.

හරි.. හරි.. ඔයා දිනුම්.. අපි පස්සෙ වෙලාවක හම්බවෙමුකො..

ජගත් අකමැත්තෙන් වුවත් ඇයට සමු දුන්නේය. ඔහු බියපත් වූයේ යුවනි මනෝජ් සමග යනවාට නොවේ.. රුවන්ගෙන් තමාටත් දොස් අසන්නට සිදු වෙතැයි කියා සැකයෙනි.

එහෙත් යුවනිට නම් ඒ වගක්වත් නොවීය. ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය ලැබීමේ සතුට මිසක් වෙන කිසිම දෙයක් ඇගේ සිතේ තිබුණේ නැත. මනෝජ් ගේ කිරි සුදු පැහැති අලුත්ම මොන්ටේරෝ රියට ඇය නැගුණේ ආඩම්බරයෙන් යුතුවය. මනෝජ් විසින් පදවනු ලැබූ රිය නොපෙනී යන තුරුම ජගත් බලා සිටියේ අවිනිශ්චිත හැගීමකින් යුතුවය.

යුවනි මං ඔයාව එක්කගෙන ආවෙ ටිකක් කතා කරන්න හිතාගෙන..

ජගත්ගේ නිවසින් පිටවූ වහාම මනෝජ් කීවේය. යුවනි තිගැස්සී ගියාය. ඔහු කියන්නට යන්නේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට අන් අයෙකු තෝරා ගන්නා බව විය යුතු යැයි ඇය කල්පනා කළාය. අහසේ සිට බිමට ඇද වැටුණ කලෙක දැනෙන්නාක් බඳු කරකැවිලි ස්වභාවයක් ඇයට දැනෙන්නට වූවේය.

මොනවා ගැනද මනෝජ් අයියා..?

ඇය සන්සුන් වෙන්නට වෙර දරමින් විමසුවාය.

මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද..?

මනෝජ් විමසුවේ කට කොනට සිනාවක් නංවා ගනිමිනි.

මං උත්තර දන්නවා නම් කියන්නම්..

යුවනි කීවේ දෙගිඩියාවෙනි.

අපෝ දන්නවා.. ඒ ප්‍රශ්නෙට කොහොමත් ඔයාට ඇර වෙන කෙනෙකුට උත්තර දෙන්න බෑ..

කියන්නකො ඉතින්..

මේකයි.. ඔයා අභිෂේක් එක්කයි තාරක එක්කයි තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද කියලා දැනගන්න මම කැමතියි..

මනෝජ් සැහැල්ලුවෙන් මෙන් කීවේය. එහෙත් ඒවායින් යුවනිගේ සිත කැළඹීනි.. ඇගේ මුහුණ සුදුමැලි වී උගුර කට වියළි ගියේය.

ඇ.. ඇයි මනෝජ් අයියා එහෙම ඇහුවෙ..?

ඇය විමසුවේ ගොත ගසමිනි.

මම ඇත්තම කියන්නම්කො.. මම මේ ඩ්‍රාමා එකක් ප්‍රොඩියුස් කරන්නෙ ෆස්ට් ටයිම් වුණාට මම මේ ෆිල්ඩ් එකට හරි කැමතියි.. ඒ හින්දම මම හුඟක් තොරතුරු හොයනවා.. එතකොට ඔය ඕපදූපත් කනට වැටෙනවනේ..

මනෝජ්ගේ කට හඩට උපහාසාත්මක බවක් එක් වී තිබිණි. තමාට බොරු කීමෙන් පලක් නැති බවට කළ අවවාදයක් එවදන් තුළ සැඟවී ඇතැයි යුවනි අනුමාන කළාය.

ඉතින් මොනවද ඔයාට මං ගැන දැන ගන්න ලැබුණ ඕපා දූපා..?

ඇය සන්සුන් වන්නට උත්සාහ කරමින් විමසුවාය.

මං මේවා කිව්වම ඔයා මාව වරදවල හිතන්නෙවත් මාත් එක්ක තරහ වෙන්නෙවත් නෑනේ..?

ඉදිරිය බලාගෙන රිය පදවන අතරම නෙත් කොනින් ඇය දෙස බැලූ මනෝජ් විචාළේය.

අනේ නෑ..

ඇය මිමිණුවාය.

ඔයා තාරකත් එක්ක එෆෙයාර් එකක් තිබුණලු.. ඒත් අභිෂේක් ෆිල්ඩ් එකට ගන්න ඕන නිසා ටෙලි ඩ්‍රාමා සීන් එකකදි ඔයා තාරකව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කළාලු..

බොරු.. බොරු.. මනෝජ් අයියා ඔව්වා අමූලික බොරු..

ඔහු කතාව අවසන් කරන්නටත් පෙර ඇය නොඉවසිල්ලෙන් දෑත්  ගසමින් කෑගැසුවාය.

මමත් ඒක නම් එච්චර විශ්වාස කළේ නෑ.. ඒත් අභිෂේක් එක්ක එෆෙයාර් එකක් තිබ්බා කියන එක පිළි ගන්නවනේ..

මනෝජ් කතා කළේ උසාවියෙදී විත්තිකරුවෙකුගෙන් හරස් ප්‍රශ්න අසන නීතීඥයෙකු ගේ හඬිනි. යුවනිට නොරිස්සුමක් දැනෙන්නට වූයේය. බතල රාත්තලක් මිලදී ගන්නට පැමිණි අයෙකුට ඉඩමේ මායිම්, ඔප්පු, තිරප්පු සෙවීමේ අවශ්‍යතාවක් නැත. මනෝජ් මේ කරන්නේ ඒ හා සමාන ක්‍රියාවකි. එහෙත් ඔහු අසන දේවලට අමනාප නොවී, සත්‍යයම පවසන බවට ඇය පොරොන්දු වී තිබිණි.

ඔව්..

ඇය ඉවත බලාගෙන පිළිතුරු දුන්නේ එබැවිනි. මනෝජ් ජයග්‍රාහී ලෙස සිනාවක් පෑවේය.

දැන් ඒක නෑනේ..?

නෑ..

ඇය මිමිණුවේ අකමැත්තෙනි. අභිෂේක්ගෙන් ඈත් වූ බව සිතෙද්දීත් ඇයට දැනුණේ දැවී පිළිස්සී යන්නාක් බඳු හැගීමකි.

ඔයා මේ ටෙලි ඩ්‍රාමා එකට තාරක ගමු කියලා යෝජනා කෙරුවෙ  අභිෂේක්ගෙන් පළි ගන්න හිතාගෙන නේද..?

ඔහුගේ පැනයෙන් යුවනි නිරුත්තර වූවාය. ඔහු මෙතරම් හොඳින් අනෙක් අයගේ සිත් කියවන්නට ඉගෙන ගත්තේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකි වූවේය.

එහෙම දෙයක් නෑ මනෝජ් අයියෙ.. මේ දවල්වල අභිෂේක්ට ඕන තරම් වැඩ තියෙනවා.. ඒත් තාරක හුඟක් අසරණ වෙලානේ.. ඒකයි මම එහෙම කිව්වෙ..

ඇය සත්‍යයත් අසත්‍යයත් අතර සම සමව කලවම් කරමින් කීවාය. ඔහු බැරෑරුම් ලෙස ඉහළට පහළට හිස සැලීය.

අසරණයන්ට පිහිට වෙන එක නම් හොඳ දෙයක් යුවනි.. ඒත් මට මේ ටෙලි ඩ්‍රාමා එක කරන්න මිලියන ගණනක් වියදම් වෙනවා.. අනුකම්පාවට යට වෙලා නළුවෙක් අරගෙන ඒ මිලියන ගාණම නැති කර ගන්න මට පුළුවන්කමක් නෑ..

තාරකට හොඳට රඟපාන්න පුළුවන් මනෝජ් අයියෙ..

ජනප්‍රිය නළුවා ලෙස ප්‍රසිද්ධව සිටියේ වී නමුත් අභීෂේක්ට තරම් හොඳින් ඔහුට රඟ පාන්නට නොහැකි බැව් දැන දැනම යුවනි කීවාය. ඇයට වුවමනා වී තිබුණේ කෙසේ හෝ තාරක ක්ෂේත්‍රයට ගෙන අභිෂේක්ට රිදෙන යමක් කරන්නට පමණි.

හොඳයි අපි ටිකක් කල්පනා කරලා බලමුකො..

මනෝජ් කීවේ යුවනිගේ සිත තුළ කනස්සල්ලක් ඇති කරවමිනි.

ප්‍රධාන නළු චරිතය සඳහා තාරක සුදුසු බවත්, ඒ තෝරා ගැනීම ස්ථිර බවත් මනෝජ් ජගත් ඉදිරියේ නම් කීවේය. අඩ පැයක් ගත වෙන්නටත් පෙර ඔහු ඒ තීරණය වෙනස් කළේ මන්දැයි යුවනිට සිතා ගත නොහැකි විය.

මොන ක්‍රමේකින් හරි තාරකව ටෙලියට ගන්න විදියට මම වැඩේ සෙට් කරන්නම්කො..

ඇය මනෝජ් දෙස නෙතගින් බලමින් මුමුණා ගත්තාය. එය කළ හැක්කේ ජගත් මාර්ගයෙන් බව ඇයට සිතෙමින් තිබිණි.

ඒක නෙමෙයි යුවනි.. අපි ලොකේෂන් බලන්න යනකොට ඔයත් යමුද..?

මනෝජ් විමසුවේ ඇයට බසින්නට වාහනය නතර කරමිනි. ඇය පුදුම වූවාය. ටෙලි නාට්‍ය රූගත කළ හැකි ස්ථාන සොයන්නට යන ගමනකට රුවන්වත් ඇය කැටුව ගොස් නොතිබිනි. එම නිසාම මනෝජ්ගේ ආරාධනය තමාට කළ ගෞරවයක් ලෙස ඇය සැලකුවාය.

ඔයාලට අවුලක් නැත්නම් එන්නම්..

ඇය කීවේ මුව පුරා සිනාසෙමිනි.

මොන අවුලක්ද..? ලස්සන කෙල්ලෙක් එක්ක ඒ වගේ ගමනක් යන්න ලැබෙනවා නම් අවුලක් වුණත් කමක් නෑ එක අතකට..

මනෝජ් කී විට යුවනිට විළියක් මෙන්ම ආඩම්බරයක් ද එක් වරම දැනිණි.

එහෙනම් මම බහිනවා මනෝජ් අයියා.. මාව එක්කන් ආවට තෑන්ක්ස්..

ඇය කීවාය.

මෙන්න මගේ කාර්ඩ් එක.. ඕන වෙලාවක ඕනම දේකට මට කතා කරන්න..

මනෝජ් පැවසුවේ සිය හැදින්වීමේ පත්‍රිකාවක්ද ඇය අත තබමිනි.



No comments:

Post a Comment