Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


නෙතූ...

උදේ පාන්දර ජංගම දුරකථනය හරහා පැමිණි අභිෂේක්ගේ හැඟුම්බර කටහඩ පියුමිකාගේ සිත තුළ අමුතුම හැඟීමක් ජනිත කළේය. ඇයට දැනුණේ තමා වෙනස්ම තැනැත්තියක ලෙසිනි. ඒ කතා කරන්නේත් අභිෂේක් නොව වෙනත් අයෙකු ලෙස සිතේ මවා ගන්නට ඇය උත්සාහ කළාය.

නෙතූ.. කතා කරන්න කෙල්ලෙ..


ඔහු ආදරණිය ලෙස කීවේය. පිහිනුම් තටාකයට යාමට සූදානම් වෙමින් සිටි ඇය එරමිණිය ගොතාගෙන ඇඳ මත වාඩි වූවාය.

පියුම්..

එවර ඔහු නොඉවසිලිමත් ලෙස කීවේය.

එපා.. පියුම් කියන්න එපා.. මට නෙතූ කියලම කතා කරන්න..

ඇයට ඉබේටම කියැවිණි.

එහෙම කිව්වම ඔයා කතා කළේ නෑනේ..

ඔහු නෝක්කාඩු කීවේය.

ඒ කතා කරන්නෙ කාටද කවුද කියලා මට හිතා ගන්න බැරි වුණා..

ඇය සිනාසෙමින් කීවාය.

තව දුරටත් කතා කළ යුත්තේ මොනවාදැයි සිතන්නාක් මෙන් දෙදෙනාම මඳ වේලාවකට නිහඬ වූහ. අතීතයෙදී මෙන් සමීප වී සැහැල්ලුව දොඩමළු වීමේ ආශාව ඔවුන් දෙදෙනා තුළ තිබිණි. එහෙත් අදිසි පවුරක් ඔවුන්ගේ සිත් මැඳින් නැගී සිටියේය.

ඔයා මොනවද කරන්නෙ..?

අවසානයෙදී අභිෂේක් නිහැඩියාව බිඳ දැමුවේය.

මම ස්විමින් යන්න ලෑස්ති වෙවී හිටියෙ..

පියුමිකා පැවසුවාය.

ඔයා ස්විමින් යන්න එපා කෙල්ලෙ..

ඔහු එක්වරම කීවේ ඇය අන්ද මන්ද කරමිනි. අතීතයේ දිනක ද ඔහු ඇයට ඒ තහංචිය දැමුවේය. ඇය එවර එයට අවනත වූවාය. නැවතත් ඇය පිහිනුම් කෙරෙහි සිත යොමු කළේ ඔහු ඇගෙන් ඈත් වී යුවනිට ළං වූ කල්හිය. දැන් ඔහුට පියුමිකාට බලපෑම් කරන්නට කිසිසේත්ම අයිතියක් නැත. යුවනි සිහිපත් වීම නිසා ඇගේ සිතේ වූ පහන් බව වියැකී ගියේය.

ඔයා කොහොමද එහෙම කියන්නෙ..?

ඇය රොස් හඬින් විමසුවාය.

එහෙනම් කොහොමද කියන්න ඕනෙ..?

ඇය අමනාපයට පත් වූ බව ගණනකට නොගත්තාක් මෙන් ඔහු සැහැල්ලු හඬින් සිනාසෙමින් ඇසීය.

කොහොම කිව්වත් වැඩක් නෑ.. මොකද මං ඔයා කියපු දේවල් අහපු කාලෙ ඉවරයි..

ඇය කීවේ තදිනි.

නැවතත් ඔවුන් අතර නිහැඬියාවක් ඇති වූවේය.

දුරකථන සම්බන්ධතාව බිඳ හරින්නට ද පියුමිකාට නොසිතුණා නොවේ. එහෙත් ඇය ඒ සිතුවිල්ල අසීරුවෙන් මැඩ පවත්වා ගත්තාය. අභීෂේක් සුසුමක් හෙළන හඬ ඇසිණි.

ඔච්චර නපුරු විදියට කතා කරන්න එපා බබා..

ඔහු දුක්බර ලෙස කීවාය.

මාව නපුරු කළේ කවුද කියලා ඔයා හොඳටම දන්නවනේ අභී.. දැන් ඉතින් ඕවා කතා කරලා අපි දෙන්නම හිත් නරක් කරගන්න ඕන නෑ.. අපි ඔය කතාව නවත්තමු..

මං ඔයා කියන හැම දෙයක්ම ඇහුවනේ.. ඇයි ඔයාට බැරි මං කියන එක දෙයක් අහන්න..?

එවර අභිෂේක් කතා කළේ අමනාපයෙනි. පියුමිකාට සිනා ගියේය. එහෙත් මොහොතකින් ඒ සිනාව වියැකී ගියේය.

මම ඒ හැම දේම කෙරුවෙ ඔයාගෙ යහපතට.. ඒක එහෙම නෙමෙයි කියලා හිතෙනවා නම් ඔයාට ඒවා ගණන් ගන්නෙ නැතුව ඉන්න අයිතිය තියෙනවා..

ඇය සුසුමක් හෙළමින් පැවසුවාය.

මමත් ස්විමින් යන්න එපා කියලා කිව්වෙ ඔයාගෙ යහපතට..

අභිෂේක් පෙරට වඩා යහපත් හඩින් කීවේය. ඇගේ කෝපයට ඔහු බිය වූවේය.

මොකක්ද ඒකෙන් මට තියෙන යහපත..? ස්විමින් වලින් මම කප් කීයක් ගත්තද කියලා ඔයා දන්නවනේ..?

ඇය සිහිපත් කොට දුන්නාය.

ඔයා ස්විමින් කිට් එක ඇලා ඉන්නකොට හරිම ලස්සනයි.. හරියට දිය කිදුරියක් වාගේ.. මිනිස්සු ඔයා දිහාවෙ බලාගෙන ඉන්නෙ ඇස් දෙකෙන් ගිල ගන්න ගාණට.. මම ඒකට කැමති නෑ.. ඔයාට තියෙන්නෙ හැමෝම ඉස්සරහ ප්‍රදර්ශනය කරන්න ඕන ලස්සනක් නෙමෙයි..

ඔහු සිය අවංකම හැඟීම් හෙළිදරව් කළේය. එවර ඇයට සිනා ගියේ ඔහුගේ බොළඳකම ගැන සිතීමෙනි.

ස්විමින් කිට් එක ගහගෙන මිසක් ෆුල් කිට් එක ගහගෙන ස්විමින් කරන්න බෑනේ.. මොනවා වුණත් මම ආසයි ස්විමින් වලට.. පූල් එකට බැස්සම හිතේ තියෙන දුක් කරදර ඔක්කොම අමතක වෙලා යනවා..

පියුමිකා කියාගෙන ගියේය. ඇයට ඇති දුක් කරදර මොනවාදැයි අභිෂේක් නෑසුවේ හොඳ වේලාවටය. ඔහු එසේ ඇසුවේ නම් දිය යුටු කටුක පිළිතුරක් ඇගේ මුවගට නැගී තිබිණි.

හරි.. අපි ඒක ගැන කතා කරමුකො මීට් වුණ වෙලාවක..

ඔහු කීවේය.

නෑ.. ආයෙ කවදාවත් අපි ඒ ගැන කතා කරන්න ඕන නෑ.. මොකද මම දන්නවනේ මං වැරැද්දක් කරන්නෙ නෑ කියලා..

පියුමිකා කීවේ ඔහුට ඇනුම් පදයක්ද වශයෙනි.

දැන් කියන්න ඇයි ඔයා උදේ පාන්දරම කතා කළේ..?

මේකයි නෙතූ.. මට ෆිල්ම් එකකට කතා කරනවා..

ඔහු කීවේ වචන ගැණ ගැණ මෙනි. පියුමිකාගේ සිතට එක්වරම දැනුණේ සතුටකි. මෙතෙක් ටෙලි නාට්‍යවල, වෙළඳ දැන්වීම් වල පෙනී සිටියා මිස චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලැබී නොතිබිණි.

ෂා.. නියමයිනේ.. ඉතින් බාර ගත්තද..?

ඇය උද්යෝගයෙන් විමසුවාය.

තවම බාර ගත්තෙ නෑ.. මං හිතුවා ඔයාගෙන් අහලා ඉන්න එක හොඳයි කියලා..

ඔහු පැවසුවේය.

ඔහු කතා කරන්නේ සිත යට යමක් සඟවාගෙන යැයි හැඟීම පියුමිකාට දැනුණි.

මගෙන් මොනවා අහන්නද..? ෆිල්ම් එක හොඳ නම් ඔයාට හම්බ වෙන කැරැක්ටර් එක හොඳ නම් යන්න.. ඒත් මේ මෙගා ටෙලි දෙකක් මැද්දෙ ඕකත් කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්..

ඇය කල්පනාකාරීව පැවසුවාය.

ඒක නම් මැනේජ් කරන්න පුළුවන්.. මොකද මං කියන වෙලාවක ෂූටින් පටන් ගන්න ඒ අය ලෑස්තියි..

එහෙනම් මොකක්ද තියෙන අවුල..?

පියුමිකා විමසුවේ කුතුහලයෙනි.

ප්‍රොඩියුසර් අහනවා මේකෙ මේන් කැරැක්ටර් එකට ඔයාව ගන්න බැරිද කියලා..?

අභිෂේක් වචන හැසිරවූයේ ප්‍රවේසමෙන් සහ අසීරුවෙනි. ඔහුගේ ප්‍රකාශයෙන් මොන තරම් විමතියට පත් වීද යත් පියුමිකාට ඇඳෙන් නැගිටුනේ ඉබේටමය.

ඔයාට පිස්සුද අභි..? ෆිල්ම වල රඟපාන්න මම..?

ඇය විමසුවේ නොසතුටිනි.

ඇයි කෙල්ලෙ මාත් එක්කනේ..

ඔහු බැගෑපත් ස්වරයෙන් කීවාය.

ඔයා එක්ක නෙමෙයි දෙවියන් වහන්සේ එක්ක වුණත් මම බැරි දේවල් කරන්න යන්නෙ නෑ..

ඇය කීවේ ස්ථීර හඬිනි. එවදන් තීරණාත්මක බව අභිෂේක් දැන සිටියේය. එහෙත් තවත් උත්සාහයක් දරා බලන්නට ඔහුට සිතිණි.

ඔයයි පියුමිකයි පර්ෆෙක්ට් කපල් එකක්.. ඔයාලා දෙන්නා රඟපෑවොත් මේ ෆිල්ම් එක මාර විදියට හිට් වෙයි.. මං ඔයාලා කියන ඕන ගාණක් ගෙවන්නම්..

චිත්‍රපට නිෂ්පාදකයා විසින් කියන ලද එවදන් අභිෂේක්ගේ දෙවසන් තුළ දෝංකාර දුන්නේය. පියුමිකා එවැන්නකට කැමති කරවා ගැනීම දුෂ්කර බව දැන සිටියත් ඇය සමග රඟපෑමේ ආශාව ඔහු තුළ පිළිසිදුණේය.

අපි දෙන්නට තාත්වික විදියට රඟපාන්න පුළුවන් බබා..

අභිෂේක් කියද්දී පියුමිකා දැඩි කෝපයට පත් වූවාය.

මාත් එක්ක විහිළු කරන්න එපා අභි..

ඇය සැර කළාය.

අනේ පැටියො.. මේක විහිළුවක් නෙමෙයි..

ඔහු කරුණු පහදා දෙන්නට වෑයම් කළාය.

මට මේ තියෙන ජනප්‍රියත්වය හොඳටම ඇති.. චිත්‍රපටයක රඟපාලා මට ලබාගන්න දෙයක් නෑ.. ඒවට ලෑස්ති වෙලා ඉන්න කෙනෙකුට ඔය චාන්ස් එක දෙන්න..

අමිහිරි ස්වරයෙන් කී පියුමිකා සමු ගැනීමකින් තොරවම දුරකථන සම්බන්ධතාවය බිඳ හැරියාය.

අභිෂේක්ට මහා පරාජිත හැඟීමක් දැනුණි. ඒවට ලෑස්ති වෙලා ඉන්න අය වශයෙන් ඇය අදහස් කළේ යුවනි බව ඔහු දැන සිටියේය. එහෙත් යුවනි සමඟ රඟපානවා තබා කතා බහවත් නොකරන බවට ඔහු තමාටම පිළිණ දී තිබිණි. ඔහු එය පියුමිකාට කීවේ නැත. කීවත් ඇය එය විශ්වාස කරන්නේ නැත.

ෂිහ්.. පියුම් මං ගැන මොනවා හිතුවද දන්නෙ නෑ..

ඔහු කල්පනා කළේ ලැජ්ජාවෙන් යුතුවය. තමා ආත්මාර්ථකාමී ලෙස ඇයට බලපෑම් කළේ යැයි ඔහු තුළ පසුතැවිල්ලක් ඇති කළේය.

ඔහු මාංලිගට දුරකථන ඇමතුමක් දී සියල්ල පැවසුවේය. ඒ හැඟීම දරාගෙන සිටින්නටම නොහැකි වූ නිසාය. ඔහු අපේක්ෂා කළ පරිදිම මාලිංග බැණ වැදුනේය.

උඹ කළොත් කරන්නෙ ඔය වගේ බූරු වැඩක්ම තමයි.. ඇයි ගොනෝ පියුමි ගැන දැන දැනත් උඹ එහෙම දෙයක් ඇහුවෙ..?

මාලිංග ඇසීය. සැබැවින්ම අභීෂේක් ළගත් එම පැනයට පිළිතුරක් තිබුණේ නැත.

පියුමි නෙමෙයි දැන් නෙතුමිණි..

ඔහු කතාවට කිසි සේත්ම අදාළ නොවන දෙයක් කීවේය. මාලිංග වඩාත් කෝපයට පත් වන්නට ඇත.

උඹ කැමති දෙයක් උඹ කියාගනිං.. අපි කියන්නෙ අපි දන්න නම..

මාලිංග පැවසුවේ තදිනි.

ඒක නෙමෙයි මචං.. උඹට බැරිද නෙතූට කෝල් එකක් දීලා අහන්න මාත් එක්ක තරහද කියලා..?

මඳ නිහැඩියාවකට පසුව අභිෂේක් බැගෑපත් ස්වරයෙන් ඇසීය. මාලිංගට සිනා ගියේය.

මං එහෙම අහපු ගමන් කියයි නෑ කියලා.. මොකද ඒකියි මායි අතරෙ එහෙම ප්‍රශ්නයක් වුණේ නෑනේ..

ඔහු කීවේ ඒ සිනහව අතරින්මය.

ප්ලීස් මචං..

අභිෂේක් කීවේ නොඉවසිල්ලෙනි.

හරි.. හරි.. මම සාම දූතයා වෙන්නම්කො.. හැබැයි උඹ මට ගාණක් ගෙවපන්..

මාලිංග කීවේය.

පියුම් වෙනුවෙන් ඕනෑම ගාණක් ගෙවන්න මං ලෑස්තියි මචං..

අභිෂේක් හැඟුම්බර ස්වරයෙන් කීවේය. මාලිංගට මිතුරා පිළිබඳව අනුකම්පාවක් දැනිණ.

පිහිනුම් තකාකයට යන විටත් පියුමිකාගේ සිතේ වූයේ නොරිස්සුම් සහඟත හැඟීමකි. අභිෂේක් තමාට අපහාස කළේ යැයි හැඟීම ඇයට දිගින් දිගටම දැනුණි. එහෙත් තටාකයට බැස කිහිප වරක් ඒ මේ අත පිහිනද්දී ඒ හැඟීම මදක් තුනී වී ගියේය.

ළඟදි ආයෙමත් ස්විමින් මීට් එකක් තියෙනවා.. හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙයි..

උපදේශකවරයා කීවේය.

පියුමිකා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. ඔහු ඇය තරඟවලට ඉදිරිපත් කරන්නේ බොහෝ බලාපොරොත්තුවන් ඇතිවය. ඉදිරිපත් වන ඕනෑම තරඟයකින් ඇය ජයග්‍රහණය කරන බවට විශ්වාසය ඇය තුළ තිබිණි.

ගිය සැරේ ස්විමින් මීට් එක හරහා වුණ දේවල් සර් දන්නවානම්..

පිහිනුම් පුහුණුවෙන් අනතුරුව කාරයට නැගුණ පියුමිකා සිතුවාය. ඒ සමඟම අභිෂේක් පිළිබඳවත් යුවනි පිළිබඳවත් සිතුවිලි ඇගේ සිතට එක දිගටම ගලාගෙන එන්නට විය. ඇය නැවතත් නොසන්සුන් වූවාය. නිවසට යනවා වෙනුවට ඇය ගියේ සජානිගේ නිවසට රිය හැරවූවාය. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ඇයට මේ වන විට නිවාඩු ලැබී තිබිණි.

අම්මෝ මේ අසහය ගායිකාවො දකින්න තියෙන අමාරුවක්.. වරෙන් වරෙන්..

සජානි ඇය පිළිගත්තේ උද්දාමයෙන් එසේ කියමිනි.

විහිලු කරන්න එපා බං..

පියුමිකා කීවේ නොසතුටිනි.

මොකද අද මූණෙ ලොකු වෙනසක්..?

යෙහෙළියගේ ඉරියව්වල සියුම් වෙනසක් පවා හඳුනන සජානී විමසුවේ පියුමිකා දෙස විමසිල්ලෙන් බලමිනි. පියුමිකා මුහුණ පිරිමැද ගනිමින් සුසුමක් හෙලුවාය.

පොඩ්ඩක් අප්සෙට්...

ඇය කීවේ ගෙතුළට නොයා මිසුලේ සිමෙන්ති බංකුවේ වාඩි වෙමිනි.

මට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා.. ඒක කියලා ඉන්නවද..? මම තේ එකක් හදාගෙන එන්නද..?

සජානි විමසුවාය.

ඇයි අද ආන්ටි නැද්ද..?

පියුමිකා වට පිට බලමින් විමසුවේ අම්මා සිටි නම් සජානි තේ හදන්නට නොයන නිසාය.

නෑ.. හිටියා නම් ඉතින් උඹේ කාරෙකේ සද්දෙ ඇහුණ ගමන් දුවගෙන එනවනේ..

මඳ සිනාවක් පාමින් කී සජානි යෙහෙළිය අසලින්ම වාඩි වූවාය. පියුමිකාට තේ පානයට වඩා වුවමනා වී ඇත්තේ තමා සමඟ කතා කිරීමට බව ඇයට වැටහිණි.

මොකද අප්සෙට් එක..? ආයෙමත් අභිෂේක්ද..?

ඇයම කතාවට පොටක්ද පාදා දුන්නේය. අභිෂේක් සම්බන්ධ යමකට මිස වෙනත් යමකට පියුමිකා මෙතරන් නොකැළඹෙන බව ඇය දැන සිටියාය.

එයා තමයි..

අමනාපයෙන් පැවසූ පියුමිකා අභිෂේක්ගේ යෝජනාවද එයින් තමා නොසන්සුන් වූ ආකාරයද විස්තර කළාය. සාවධානව අසා සිටි සජානි ගේ දෙතොල සිනාවකින් විවර විණි. පියුමිකා යෙහෙළිය දෙසද බැලුවේ අමනාපයෙනි.

මොකද උඹ හිනාවෙන්නෙ..? මං විහිළුවක් කලා කියලා හිතුවද..?

ඇය කඩා පැන්නාය.

මෝඩියෙ.. උඹට ඉතින් ඔය තරමට අප්සට් යන්න දෙයක් තියෙනවද..? අද ලංකාවෙ ඉන්න පොපියුලර්ම කපල් එක කවුද කියලා කාගෙන් ඇහුවත් කියන්නෙ උඹගෙයි අභිෂේක්ගෙයි නම් දෙක.. ඉතින් පොඩියුසර් කෙනෙකුට හිතෙන්න ඇති උඹලා දෙන්නා දාලා ෆිල්ම් එකක් කළොත් හිට් වෙයි කියලා..

සජානි බොහෝ ඉවසිල්ලෙන් පහදා දුන්නාය. එහෙත් පියුමිකාගේ සිතේ වූ නොසතුට පහව ගියේ නැත.

ඒ වුණාට අභි ඒ යෝජනාව මට කරන්න කලින් ටිකක් හිතන්න තිබුණා..

ඇය කල්පනාකාරීව කීවාය.

හිතලා හිතලා වෙන්න ඇති ඌ ඒක කියන්න ඇත්තෙ.. උඹ අකමැති නම් අල්ලලා දාලා නිකන් හිටපන්.. බොරුවට ඔච්චර වොරි වේනන ඕන නෑනේ..

සජානි උපදෙස් දුන්නාය.

එයා මාව හෑල්ලු කරලා කතා කලා කියලා මට හිතුණා.. ඒකයි මට තරහා ගියේ..

එවර පියුමිකා කීවේ සිනාසෙන්නට තැත් කරමිනි. සජානි අඬක් සරදම් හා අඩක් අනුකම්පාවෙන් ඇය දෙස බලා සිටියාය.

පිස්සි..

ඇය මඳකට පසුව දයාබර ලෙස පියුමිකාගේ උරහිසට පහරක් ගැසුවාය.

උඹ ඕනම දෙයක් ගැන ඕනවට වැඩිය හිතනවා.. ඒකයි මේ ඔක්කොම හිතේ අමාරු..

වෙන්න ඇති සජා.. මට දැන් ජීවිතේ බරක් වගේ දැනීගෙන එනවා..

පියුමිකා හීල්ලුවාය.

ඔයිට වැඩිය ප්‍රශ්න ආව වෙලාවෙදිවත් ඔයා ජීවිතේ බරක් කර ගත්තෙ නනේ කෙල්ලෙ.. ඉතින් ඇයි දැන් මේ..?

සජානි විමසුවේ යෙහෙළිය වෙතට නැඹුරු වෙමිනි.

මට දැන් ජීවිතේ ගැන ඉක්මන් තීරණයක් ගන්න වෙලා තියෙනවා සජා..

පියුමිකා ඈත කොහේදෝ ඉසව්වක දෑස් රඳවාගෙන කීවාය.

ඒ කිව්වෙ..?

සජානි ඇසුවේ දෙබැම රැලි කර ගනිමිනි.

අම්මලට ඕන වෙලා තියෙනවා මාව කාට හරි බන්දලා දීලා නිදහස් වෙන්න.. මායි අභිෂේකුයි ළඟින් ආස්සරේ කරන එකත් එයාලට ප්‍රශ්නයක්..

පියුමි කීවාය.

එයාලට විතරක් නෙමෙයි ඒක මටත් ප්‍රශ්නයක්..

සජානි බැරෑරුම් හඬින් කීවාය.

හිතලා බලපන්.. උඹයි අභිෂේකුයි ඉ්නන විදියට කවුරුවත්  හතන්නෙ නෑ උඹල ලවර්ස්ලා නෙමෙයි කියලා..

ඒක ඇත්ත සජා.. මමත් හුඟක් වෙලාවට හිතනවා මගේ ලෝකෙ අභීෂේක්ට තියෙන තැන මොකක්ද කියලා.. එයා වෙන කෙනෙකුට ළං වෙනවා දකින්න මම කැමතිත් නෑ.. ඒත් මීට වඩා එයාට ළං වෙන්න ආසාවකුත් නෑ..

පියුමිකා අවංකවම කීවාය. වචනයෙන් විස්තර කළ නොහැකි කුමක් දෝ හැඟීමකින් ඇගේ දෑස් වලට කඳුළු උනා ආවේය.

හොඳට හිතල බලලා මොකක් හරි තීරණයක් ගනිං පියුමි.. අභිෂේක් අතින් වරදක් වුණා තමයි.. ඒ වැරැද්දට එයා ඇති තරම් දඬුවම් වින්දා.. අනිත් එක මිනිස්සුන්ට ජීවිතේ ගැන හරියට ඉගෙන ගත්තත් කොතනක හරි වරදින්න ඕනනේ..

සජානි බැරෑරුම් ලෙස කියාගෙන ගියාය.

ඔය ඔක්කොම ඇත්ත සජා.. ඒත් මට එයාට ළං වෙන්න බැරි මොකක්දෝ දෙයක් තියෙනවා.. ඒක හරියට මීදුවක් වගේ.. ඇහැට පෙනුණට අතට ගන්න බෑ..

පියුමිකා හීල්ලුවාය.

එහෙනම් කරන්න තියෙන්නෙ එකම දෙයයි.. අභීෂේක්ට එයාගෙ ජීවිතේ ගෙනියන්න දීලා ඔයා ඈත් වෙන්න.. ඊට පස්සෙ ඔයාටත් පුළුවන් අම්මලා ගේන යෝජනාවට කැමති වෙන්න..

සජානි කී විට පියුමිකා අකුණු සැරයක් වැදුණ කලෙක මෙන් තිගැස්සී ගියාය. ඇගේ මුහුණ සුදු මැලි වී ගියේය.

මට ඒක කරන්න බෑ සජා.. ප්ලීස් මාව තේරුම් ගනිං..

පියුමිකා බැගෑපත් ස්වරයෙන් එසේ කියමින් සජානිගේ අත තද කොට අල්ලා ගත්තාය.

එහෙම නම් ඉතින් උඹ අභිෂේක්ට තවමත් ආදරෙයි කියන එක පිළිගනිං..

සජානි කීවේ සිනාසෙමිනි. පියුමිකා විකසිත කොට ගත් දෑසින් හෙයෙළිය දෙස බලා සිටියාය.



No comments:

Post a Comment