Monday, September 24, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


ජීවිතේ හරි පුදුමයි නේද පියුම්..?

අභිෂේක්, පියුමිකාගෙන් විමසුවේ බැඩ්මින්ටන් පුහුණුවෙන් පසුව ඔවුන් දෙදෙනා කැන්ටිමේ මේසයක් දෙපස වාඩි වී කිරි පැකට් දෙකක් පානය කරමින් සිටියදීය. කණිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පැමිණ ඔවුන් දෙදෙනා ලවා සමරු පොත් අත්සන් කරවා ගත්තේ මින් ටික වේලාවකට පෙරය. අභිෂේක් මෙසේ කියන්නේ ඒ නිසා විය යුතු යැයි පියුමිකා සිතුවාය.


ඇයි එහෙම කියන්නෙ..?

පියුමිකා හිස පසෙකට ඇළ කොට ඔහු දෙස බැලුවාය. එම ඉරියව්වේ සුන්දර බව ඔහු තුළ දහසක් හුඟුම් පුබුදු කළේය.

අපි දෙන්නා බැඩ්මින්ටන් ගහන්නෙ අද ඊයෙ ඉඳලා නෙමෙයි.. මෙතන මෙහෙම වාඩි වෙලා කිරි පැකට් බිව්වෙත් අද විතරක් නෙමෙයි..

ඔහු කියාගෙන යන්නට විය.

හැබැයි ඒ කවදාවත් කවුරුවත් සමරු පොත් අත්සන් කරව ගන්න ආවෙ නෑ කියලනේ ඔයා ඔය කියන්න හදන්නෙ..

පියුමිකා සිනාසුනාය.

ඕව් ඒකත් එකක්.. අනිත් එක ඉස්සර අපි මෙහෙම කොච්චර කතා කරකර හිටියත් යාළුවො විහිළු කරනවා ඇරෙන්න කවුරුවත් විශේෂයෙන් බලන්නෙ නෑ.. ඒත් දැන් හැමෝම මැජික් එක් වගේ..

ඔහුගේ කට හඬේ වූයේ නෝක්කාඩුවකි. පියුමිකා එයට කැමති වූයේ නැත.

එහෙම බලන්නෙ ඔයා කැපිලා පේන කෙනෙක් හින්දා.. ඒ ගැන ආඩම්බර වෙන්න..

ඇය අවවාද කළාය.

ඇයි මං විතරක්..? ඔයා දැන් මටත් වැඩිය ජනප්‍රියයි නේ..

ඔහු කීවේ මේසය මත වූ ඇගේ අත හෙමිහිට ස්පර්ශ කරමිනි. ඇය ඔහු දෙස තරවටු බැල්මක් හෙළා අත ඉවතට ඇද ගත්තාය.

ඔව්, අපි දෙන්නම මිනිස්සු හොදට දන්නවා.. ඒ හින්දා අපි හුඟක් පරිස්සමින් හැසිරෙන්න ඕනි..

ඇය කියද්දී ඔහු පසුතැවිලි සහගත සිනාවක් පෑවේය.

එක අතකින් ජනප්‍රිය වෙන එකත් හරි කරදරයක් නේද..? නිදහසේ තැනකට යන්න එන්නවත් බෑනේ..

අභී... හිතට විරුද්ධව කතා කරන්න එපා.. ඔතෙන්ට එන්න ඔයා කොච්චර පෙරුම් පිරුවද..? කොච්චර කැපවීම් කළාද..? දැන් කොහොමද ඒක කරදරයක් වෙන්නෙ..?

ඇය කීවේ නොසතුටිනි..

සොරි කෙල්ලෙ.. මම එච්චර හිතුවෙ නෑ.. ඔයත් එක්ක එහෙම නිදහසේ වාඩි වෙලා කතා කරන්න මං ආසයි.. ඒත් එතකොටත් හැමෝම ඇවිත් ඩිස්ටර්බ් කරනකොට මට තරහා ආවා..

ඔහු සිනාසෙන්නට වෙර දැරිය..

ලෝකෙ හැම දේම එක සැරේ ලැබෙන්නෙ නෑ අභී.. දෙයක් ලැබෙනකොට තව දෙයක් අහිමි වෙනවා.. ඔයාට තවම ඒක තේරුම් ගන්න බැරි වුණ එක ගැන මට දුකයි..

එසේ කී පියුමිකා උගුරට දෙකට කිරි පැකට්ටුව හිස් කළේ සිතේ වූ නොසන්සුන් බව වැඩ ගන්නට මෙනි. ඇය තමාට ඇනුම් පදයක් කී බව අභිෂේක් වටහා ගත්තේය. ඇයට එසේ කරන්නට පූර්ණ අයිතිය ඇති බව දැන සිටි බැවින් ඔහුගේ සිත නොරිදිණි.

මුළු ලෝකෙම නැති වුණත් ඔයා මගේ ළඟ ඉන්නවා නම් ඒ ඇති කෙල්ලෙ..

ඔහු හැඟුම්බර ස්වරයෙන් මිමිණීය.

අපිට හෙට දවස ගැන සුබ හීනම දකින්න බෑ අභී..

ඇය කීවේ සුසුමක් හෙළමිනි. එවිට නම් අභිෂේක් බෙහෙවින් කැළඹුණේය.

ඇයි පියුම්, එහෙම කියන්නෙ..?

ඔහු ඇය වෙතට නැඹුරු වෙමින් ඇසීය..

ජීවිතේ මොන මොන අතට වෙනස් වෙයිද කියලා කාටවත් කියන්න බෑනේ.. ඉස්සර අපි දෙන්නව දැනගෙන හිටියෙ බැඩ්මින්ටන් ෆිල්ඩ් එකේ අය විතරයි. දැන් මුළු ලංකාවම දන්නවා.. ඒකම කොච්චර වෙනසක්ද..? අනික හිත කියන්නෙ තත්පරේකටත් අඩු කාලෙකදි වෙනස් වෙන දෙයක්.. ඉතින් කොහොමද හෙට මෙහෙම වෙයි කියලා කියන්නෙ..?

මම ආයෙ වෙනස් වෙන්නෙ නෑ කෙල්ලෙ..

කවුරු බලා සිටියත් කමක් නැතැයි මුරණ්ඩු හැඟීමෙන් යුතුව ඇගේ අතැඟිලි තරයේ අල්ලා ගත් අභිෂේක් කීවේය. එවර පියුමිකා අත මුදා ගැනීමට තැත් කළේ නැත.

මම වෙනස් වුණොත් එහෙම..?

ඇය සෘජුවම ඔහුගේ දෑස බලමින් විචාළාය.

ඔයා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා මං දන්නවා..

ඔහු මිමිණිය.

අපි හැමදේම කාලයට බාර දීලා මේ ඉන්න විදියටම ඉමු අභී.. ඔයා හිතෙන් වැටිලා ඉන්නකොට මම නැගිටින්න උදව් කලා.. මම ඒක කළේ ඔයාගෙන් ආපහු කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..

ආදරේ කියන්නෙ ඒක තමයි පියුම්.. මම යුවනිට ළං වුණේ ඔයා මට ආදරෙයි කියලා නොදැනවත්, ඔයාට ආදරේ නැතුවවත් නෙමෙයි..

ඔහු ඇතුළත කැළඹිල්ල වසාගෙන සන්සුන් ස්වරයෙන් කියන්නට වෑයම් කළේය. එවර පියුමිකා සිය අත ඔහුගේ ග්‍රහණයෙන් මුදා ගත්තාය. ඇගේ දෙනෙතට කෝපයක් පිවිසෙනු ඔහු පැහැදිලිවම දිටිමි.

අභී, මට ඔය කිසි දෙයක් ගැන දැනගන්න ඕන නෑ.. යුවනි හින්දා ඔයා මට රිද්දපු තරම හොදටම ඇති.. ඒත් මට සන්තෝස වෙන්න එක දෙයක් තියෙනවා.. හිතේ දුක නැති කර ගන්න තමයි මම සී.ඩී එකක් කරන්න හිතුවෙ.. ඒකෙන් හිතුවෙ නැති විදියට මං ජනප්‍රිය වුණා.. මාලිංගටත් හොඳ තැනක් ලැබුණා.. ඔයා මගෙත් එක්කම හිටියා නම් ඒ කිසිම දෙයක් මට ලැබෙන්නෙ නෑ.. මම ඒකට ඔයාට ස්තුති කරනවා..

දැඩි හඬින් කියාගෙන ගිය පියුමිකා නැඟී සිටියාය. ඇය අත තිබූ හිස් කිරි පැකට්ටුව ගුලි කොට කසළ බඳුනට අත හැරියේ සිතේ වූ කෝපය ප්‍රකාශ කරන්නාක් මෙනි. අභිෂේක් අසරණ ලෙස බලා සිටියේය. අනවශ්‍ය කතා බහක් ඇදගෙන ඇගේ සිත රිදුවා, සිය සිතත් රිදවා ගැනීඹ පිළිබඳව පසුතැවිල්ලක් ඔහුට දැනුණි.

යමු.. මම ඔයාව ඩ්‍රොප් කරන්නම්..

පියුමිකා කීවේ එතරම් ප්‍රසාදයකින් නොවෙතැයි අභිෂේක් කල්පනා කළේය..

කමක් නෑ පියුමිකා.. ඔයා යන්න.. මම මාලිංගලා එක්ක එන්නම්.. උන් තව ප්‍රැක්ටිස් කරලා ඉවර නෑනේ..

ඇය සමග ඇගේ කාරය අසළට යමින් අභිෂේක් කීවේය. ඇය ඔහුට පෙරැත්ත කළේ නැත.

ඔයා මගෙත් එක්ක තරහද බබා..?

පියුමිකා රියදුරු අසුනට නැගුණ කල කවුළුවෙන් හිස පෙවූ අභීෂේක් බැගෑපත් ස්වරයෙන් විචාළේය. ඇගේ මුහුණත් ඔහුගේ මුහුණත් අතර වූයේ අඟල් දෙක තුනක පරතරයක් පමණකි. ඒ සුන්දර මුහුණේ සුවද විඳ ගැනීමේ ආශාවක් විසින් ඔහු නොසන්සුන් කරනු ලැබිණි. එහෙත් ඇගේ කෝපය වර්ධනය වෙනු ඇතැයි බියෙන් ඔහු සිතැඟි සඟවා ගත්තේය.

නෑ අභී, මම තරහා නෑ.. ඒත් මට දුක හිතුණා.. ඒ දවස්වල මම විඳවපු විඳවිල්ල දන්නෙ මං විතරයි.. ඒව දැන් වැඩක් නෑ.. මම යනවා..

ඇය කාරය පණ ගන්වා ගත්තාය. ඔහු කවුළුව අත හැර පසෙකට වී බලා සිටියේ සුසුම් හෙළමිනි.

මොකද බං... කරකවලා අතෑරියා වගේ..?

බැඩ්මින්ටන් පුහුණුව අවසන් කළ මාලිංග සහ උදාර ළඟට එන තුරුම අභීෂේක් ඔවුන් දුටුවේ නැත. ඔහු සිටි වනම සිටගෙන පියුමිකාගේ කාරය නොපෙනී යන ආකාරය බලා සිටියේය.

පියුම් මාර ටෝකක් දීලා ගියා මචං..

ඔහු සිනාසෙන්නට තැත් දැරුවේය.

මට දැනුණෙ හරියට අත දිගෑරලා කනේ පාරක් දුන්නා වගේ..

ඒකි කනට ගැහුවත් උඹට ඉවසන්න වෙනවා මචං.. මොකද පහු ගිය කාලෙ ඒකි හෙවනැල්ල වගේ ළඟ හිටිය හින්දයි උඹට මෙච්චර ඉක්මනට ඇඳෙන් බහින්න පුළුවන් වුනේ..

උදාර කීවේය.

ඒක නම් සහතික ඇත්ත මචං.. මං හිතුවෙ තාරකයට වගේ මටත් සෑහෙන කාලයක් එක තැන ඉන්න වෙයි කියලා..

අභිෂේක් කීවේ කල්පනාකාරීවය.

දැන් ඉතින් පියුමිත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගනිං.. ඔය පරණ හැමදේම අමතක කරලා දාපන්..

මාලිංග උපදෙස් දුන්නේය. ඔහු සහ පියුමිකා අතර සම්බන්ධයක් ඇතැයි හැඟීමෙන් තමා ඊර්ෂ්‍යා පවරශ වූ ආකාරය සිහිපත් වූ අභිෂේක්ට ලැජ්ජාවක් දැනුණි.

මං ආයෙ යුවනි දිහා නම් ඇහැක් ඇරලා බලන්නෙ නෑ මචං.. මට එපාම වුණා..

ඔහු මුහුණ ඇඹුල් කර ගනිමින් කීවේ එම ලැජ්ජාව මැඩ පවත්වා ගැනීමට උත්සාහ කරමිනි.

එහෙම කියන්න එපා.. ඔය ෆිල්ඩ් එකේ තරහකාරයො හදාගෙන බෑ.. මොකද කොයි වෙලාවක හරි එකට රඟපාන්න වැටෙන්න බැරි නෑ.. ඒ හින්දා පුළුවන් තරම් තරහ හංගගෙන ඉන්න බලපන්..

මාලිංග තව දුරටත් උපදෙස් දුන්නේ බොහෝ ඇසූ පිරූ ඇත්තෙකු මෙනි. මිතුරා කිය්නනේ ඇත්තම බව අභිෂේක්ට වැටහුණි. එහෙත් යුවනි සිහිපත් වෙද්දී පවා ඔහු තුළ වැඩුණේ දැඩි කෝපයකි.

කොහොම වුණත් මට නම් කියන්න තියෙන්නෙ උඹ හරිම චපලයි කියලා තමයි අභියා..

උදාර කීවේ සරදමට නොවේ. අභිෂේක් තිගැස්සී ඔහු දෙස බැලීය.

ඒ මොකද උඹ එහෙම කිව්වෙ..?

එහෙම කිව්වෙද..? එහෙම කිව්වෙ උඹ ඔය ෆිල්ඩ් එකට එන්ටර් වුණේ යුවනිගෙ කරපිට ගිය හින්දා.. දැන් උඹට යුවනි පෙන්නන්න බැරිව ගිහින්..

යුවනි මාර විදියට ආත්මාර්ථකාමියි මචං.. එයා ගැන මම හුඟක් දේවල් දන්නවා.. ඒ විතරක් නෙමෙයි සමහර දේවල් වලට මං එයාට සමාවත් දුන්නා.. ඒත් මාව මරන්න හදපු එකට සමාව දෙන්න මට පුළුවන්කමක් නෑ..

අභිෂේක් පැවසුවේ ඔහු කාරය පදවමින් සිටියදී යුවනි ඔහුගේ ගෙල මිරිකන්නට තැත් කළ ආකාරය සිහිපත් කරමිනි. එය මතකයට එද්දී මෙ මොහොතේ පවා ඔහුගේ ගත කිළිපොලා ගියේය. අනතුර සිදු වී සය මසකටත් වඩා ඉක්ම ගොස් තිබුණද තවමත් ඔහුට කාරය පැදවීමට හිත හදාගත නොහැකි විණි.

මචං, ඇත්තම කියනවා නම් කාරෙක ඩැමේජ් වෙලා තිබ්බ හැටියට උඹ ජීවත් වෙනවා කියලා අපි විශ්වාස කළේ නෑ..

මිතුරන් ඔහුට කීවේ පසුවය. සැබැවින්ම කාරය නැවත පිළිසකර කළ නොහැකි තරමටම හානි වී තිබිණි. ඔහුගේ රක්ෂණ ආයතනය අලුත් කාරයක් ලබා දුන්නේ එහෙයිනි. එහෙත් කාරයට නඟින හැම මොහොතකම ඔහු බොහෝ සෙයින් කැළඹුනේය. ඇඟ වෙව්ලා, නළලත දහ බිඳු නැගුණේය.

තවමත් ඔයාගෙ හිතේ කම්පනය ඇරිලා නෑ.. ඒකයි එහෙම වෙන්නෙ.. ඔයාට විතරක් නෙමෙයි බරපතල අනතුරකට මූණ දීපු ඕනම කෙනෙකුට ඕක වෙනවා..

වෛද්‍යවරයා නම් එසේ විමසිය.

ඒ කම්පනය නැති කරගන්නෙ කොහොමද ඩොක්ටර්..?

ඒක ටික කලක් යනකොට ඉබේමට ඇරෙයි.. එහෙම නොවුණොත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා..

වෛද්‍යවරයා කීවේ බැරෑරුම් ලෙස ඉහළට පහළට හිස සලමිනි. එය අසා අම්මාත් තාත්තාත් බොහෝ සෙයින් කළබල වූවාය.

ඔයාට ඕන මනෝ වෛද්‍ය ප්‍රතිකාරයක් නෑ අභි.. එන්න අපි දෙන්නා යමු ඔයාගෙ කාරෙකේ..

කියමින් පියුමිකා ඔහු බොහෝ තැන්වල කැටුව ගියාය. අවසානයෙදී ඔහු තුළ කාරයට නැඟීමට තිබූ භීතිකාව නම් සුව වූවේය. එහෙත් දෑත වෙව්ලන නිසා සුක්කානම ඇල්ලීමට නම් පුළුවන් කමක් නොවිනි. එම භීතිකාවද සුව කරන බවට පියුමිකා පොරොන්දු වී සිටියාය. වෛද්‍ය ප්‍රතිකාර වලට වඩා ඔහු පියුමිකාගේ ඒ පොරොන්දුව කෙරෙහි විශ්වාසයක් තැබුවේය.

සැබැවින්ම පියුමිකා බඳු ආදරණිය යුවතියක සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අසීරුය. යුවනිලා නම් අනන්තවත් සිටිතී.. අභීෂේක්ට පියුමිකාගේ අගය වැඩියෙන් දැනෙන්නට වූයේ ඇගෙන් ඈත් වී යුවිනට සමීප වූවාට පසුවය.

හදිසි අනතුරට පින්සිදු වන්නට පියුමිකා දැන් ඔහු වෙත පැමිණ සිටින්නීය. එහෙත් අනාගතය ගැනවත් අතීතය ගැනවත් වචනයක්වත් කතා කිරීමට ඇය කැමති නැත.

මොනවා කතා කළත් මට කවදාවත්ම ආදරේ නොකළත් කමක් නෑ. පියුම් මගේ ළඟ ඉන්නවනේ..

ඔහු තොල මතුරා ගත්තේය.

බැඩ්මින්ටන් රැකට් එක ඔළුවේ එහෙම වැඳුණෙ නෑ නේද..?

අභිෂේක්ගේ උරහිසට පහරක් ගසමින් මාලිංග සිනාසුණේය. අභිෂේක් මවිතයෙන් ඔහු දෙස බැලීය.

ඒ මොකද උඹ එහෙම ඇහුවෙ..?

නෑ.. උඹ තනියෙම කියවන හින්දා මං හිතුවෙ ඔළුවෙ වයර් එහා මෙහා වෙලා කියලා..

මාලිංග සිනාසෙද්දී අභිෂේක් ලැජ්ජාවෙන් ඉවත බලා ගත්තේය.

පියුමිකා නිවසට පැමිණියේ පපුව පුරාම ඇති වූ දැවිල්ලක් බඳු හැඟීමකින් යුතුවය. ඇය අභිෂේක්ට බොහෝ සෙයින් ආදරය කළාය. ඔහු ඈත් වී ගියත් ඒ ආදරය ඇගේ සිතින් ඈත් වූයේ නැත. එහෙත් ඔහු හදිසි අනතුරින් එක් තැන් වූවාට පසුව ඇය ඔහුට සාත්තු සප්පායම් කළේ ආදරය නිසාම නොවේ. යුවනිට රිදවන්නට ඉඩ ලැබීමත්, අභිෂේක්ට තමාගේ අගය පෙන්වා දීමත් එහි යටි අරමුණු වී තිබිණි. කෙසේ වුවත් ඇඳෙන් බැස ඇවිදින්නට තරම් ඔහු සුව වෙද්දී ඇයට දැනුණේ අප්‍රමාණ සතුටකි. ඒ සතුට අත්වැල් බැඳගෙන තිබුණේ කරුණාව සමඟය.

පියුමිකා, අභිෂේක් හා සබැඳි අතීතය අසීරුවෙන් අමතක කොට දැමුවාය. ඔහු සමග අනාගතයක් ගැන සිතන්නට ඇය තුළ කිසිඳු කැමැත්තක් නොවිණි.

ඒත් මට අභීගෙන් ඈත්වෙන්න පුළුවන් කමකුත් නෑ..

ඇය තදින් නළලත පිරිමැද ගනිමින් මුමුණා ගත්තාය.

මොනවද බබා ඔයා ඔච්චර කල්පනා කරන්නෙ..? තවමත් බැඩ්මින්ටන් ගහන්න ගිය ඇදුම පිටින්මනේ..

පියුමිකා ගෙවත්තේ බංකුවකට වී කල්පනා කරමින් සිටියදී අමරතුංග මහත්මිය එතැනට ආවේ කුතුහලයෙන් එසේ කියමිනි.

මොකුත් නෑ අම්මා..

පියුමිකා සිනාසෙන්නට වෙර දැරුවාය.

ඔයා මොකුත් නෑ කිව්වට මට නම් වෙනසක් පේනවා..

අම්මා කල්පනාකාරීව හිස සැලුවාය.

අම්මට මාව විශ්වාස නැද්ද..?

පියුමිකා කීවේ සුරතල් ස්වරයෙනි..

මමයි, තාත්තයි ඔයාව ඕනවටත් වැඩිය විශ්වාස කරනවා පුතේ.. ඒකයි ඔයාට ඕන දෙයක් කරන්න නිදහස දීලා තියෙන්නෙ..

මම ඒ නිදහස කවදාවත් අයුතු විදියට පාවිච්චි කෙරුවා කියලා අම්මලට ආරංචි වෙලා නෑනේ..

පියුමිකා නොසන්සුන් හඬින් කීවාය.

නෑ.. එහෙම ආරංචි වෙනවට අපි කැමතිත් නෑ.. ඒ හින්දා පුතා මට ඇත්ත කියන්න ඕන..

අමරතුංග මහත්මිය කීවේ දැඬි හඬිණි. පියුමිකා වඩාත් නොසන්සුන් වූවාය.

මොකක් ගැනද අම්මා අහන්නෙ..?

ඇය වචන ගොනු කොට ගත්තේ අසීරුවෙනි.

ඔයාගෙයි අභිෂේක්ගෙයි මොන විදියෙ සම්බන්ධයක්ද තියෙන්නෙ..?

අමරතුංග මහත්මිය දියණිය දෙස තියුණු බැල්මක් හෙළමින් විමසුවාය. අම්මාගේ නෙත් මානයෙන් පලා යාමට පියුමිකාට වුවමනා විණි. සැබැවින්ම එම පැණයට පැහැදිලි පිලිතුරක් ඇය සතු වූයේ නැත. ඇය දැඩිව තොල සපා ගත්තේය. අභිෂේක් සමග කතා බහ කරමින් සිටියදී ඇය නොසන්සුන් වූයේත් ඔහුත් තමාත් අතර සම්බන්ධයට නිසි අරුතක් දිය නොහැකි නිසාය. ඔවුන් දෙදෙනා අතරට යුවනි නොපැමිණියේ නම් බොහෝ දේවල් වෙනස් වන්නට ඉඩ තිබිණි. එකල අම්මාත් අභිෂේක්ට පුතෙකුට මෙන් සෙනෙහස දැක්වූවාය. ඇය තුළ ඒ ලෙන්ගතුකම හීන වූයේ ඔහු නළුවෙකු වූවාට පසුවය.

මාව බය නොකර කතා කරන්න පුතේ..

පියුමිකා නිහඬව කල්පනා කරද්දී අම්මා ඇගේ අත් දණ්ඩෙන් අල්ලා සෙලවූවාය. අම්මා අභීෂේක්ට දැන් අකමැති වන්නේ ඔවුන්ගේ ආර්ථික මට්ටම්වල ඇති වෙනස නිසා නොවන බව පියුමිකා දැන සිටියාය. ඇයත් අභිෂේකුත් දෙදෙනාම එකට යන ක්ෂේත්‍ර දෙකක ජනප්‍රිය වී සිටියත් නළුවෙකුට සිය එකම දියණිය සරණ පාවා දෙන්නට අම්මාත්, තාත්තාත් කැමති වූයේ නැත. පියුමිකා ගී ගයන්නේ විනෝදෙටය. එහෙත් අභිෂේක් වෘත්තීය නළුවෙකි.

අම්මට බයවෙන්න දෙයක් නෑ අම්මෙ.. අභීෂේකුයි මමයි හොඳ යාළුවො විතරයි..

උගුරේ පැවති ඉමහත් අරගලයකින් පසුව එවදන් නිදහස් කර ගැනීමට පියුමිකාට හැකි විණි. සත්තකින්ම ඔහු මාලිංග, උදාර හා සමාන සාමාන්‍ය මිතුරෙකු ලෙසින් සලකන්නට ඇය කොහෙත්ම කැමති වූයේ නැත. එහෙත් පෙම්වතෙකු වශයෙන් හඳුන්වන්නට ද ඇය මැළි කළාය.

ඒක හොඳයි.. අභීෂේක් නරක කෙනෙක් නෙමෙයි.. ඒ වුණාට එයා වගේ කෙනෙක් බෑනා විදියට බාරගන්න අපි කැමති නෑ..

අම්මා සෘජුවම ඇගේ අදහස ප්‍රකාශ කළාය. පියුමිකා මුළුමනින්ම සීතල වී ගියාය.

ඇයි අම්මා ඒ..?

ඇය ඇසුවේ හෙමීටය.

නළුකම කියන එක හැමදාම තියෙනනෙ නෑ.. එහෙම නැති වුණාට පස්සෙ ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් හදාගෙන තියෙන්න ඕනෑ.. අනිත් එක ඔයාට මතකනේ පහුගිය කාලෙ එයා අර නිළියක් එක්ක නටපු නැටුම්..

අම්මා කතා කළේ අප්‍රසාදයෙනි. යුවනි සිහිපත් වීමෙන් පියුමිකාගේ සිත තුළද තරහක් උපන්නේය.

ඒක නම් ඇත්ත තමයි.. කොහොත් අභිෂේක් ගැන අපිට කතා කරන්න දෙයක් නෑ අම්මා..

එවර පියුමිකා කිසිදු අපහසුවකින් තොරව කියා ගත්තාය. අමරතුංග මහත්මියගේ දෙතොල් සැහැල්ලු මඳහසක් ඇඳිණි.

ඒ වුණාට නිතර නිතර ඔයාලගෙ ෆොටෝස් පත්තරවල යනකොට මිනිස්සු එක එක කතන්දර කියනවා පුතේ..

ඇය පැවසුවේ මඳ වේලාවකට පසුවය. ඒ මොහොතේ ඇගේ දෙතොල් වූ මඳහස අතුරුදන් විණි.

මිනිස්සු නම් කතන්දර නොකියන්නෙ කාටද අම්මෙ..? බුදු හාමුදුරුවන්ටත් කතන්දර හදපු ලෝකයක්නේ මේක..

පියුමිකා කීවේ උදාසීනවය.

ගල් ගහන්නෙ පල ඇති රුකට කියලා තාත්තත් කිව්වා තමයි.. ඒ වුණාට පුතේ කසාදයක් බඳිනකොට ඔය වගේ ප්‍රශ්නත් හුඟක් බලපානවා..

ඒ කසාඳ බැන්දොත්නේ..

පියුමිකාට එක් වරම කියැවිණි.. අම්මා නොසතුටු බැල්මක් හෙලුවාය.

කසාඳ බඳින්නෙ නැතුව මහණ වෙන්න යන්නද..?

ඇය විමසුවේ සැරෙනි. පියුමිකා මෝඩ සිනාවක් පෑවාය.

මහණ වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද අම්මා...?

ඇය කීවේ සිතට විරුද්ධවය.

පිස්සු කතා කරන්න එපා පුතේ.. ඔයාට දැන් විසි හතරක්.. හැමදාම බැඩ්මින්ටන් ගගහ, පීන පීනා, සින්දු කිය කිය ඉඳලා බෑ.. මේ බිස්නස් වලින් අපිටත් නිදහස් වෙන්න ඕනෑ..

අම්මා තදින් කීවාය.

ඉතින් අම්මා බිස්නස් එක මට බාරදෙන්න.. මම නියමෙට කරගෙන යන්නම්..

අම්මා එන්නේ කොතැනටදැයි වැටහීමක් තිබූ බැවින් පියුමිකා වහා කීවාය.

ඔයා දැන් ඉගෙන ගන්නෙත් නෑ.. ඔයාට ජොබ් එකක් ඕනෙත් නෑ.. දැන් කරන්න තියෙන එකම දේ කසාඳයක් බඳින එක තමයි. එතකොට තාත්තටයි මටයි නිදහසේ රට තොට බලන්න ඇවිදින්නවත් පුළුවන්..

අම්මා සිනාමුසුව කීවාය. පියුමිකාගේ සිතට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි කණගාටුවකි.

ප්ලීස් අම්මා, මට කසාඳ ගැන නම් කතා කරන්න එපා.. මගෙන් අම්මලට කරදරයක් නෑනේ.. මට මේ ඉන්න විදියට ඉන්න දෙන්න..

නොරිස්සුම් සහගතව පැවසූ පියුමිකා අසුනින් නැගී සිටියාය.. කොහේ හෝ ගොස් ඇති වෙනකම් හඩා වැනේනට ඇයට සිතිණි.

එහෙම ඉන්න තරම් අඩු පාඩුවක් ඔයාට නෑනේ..

අම්මා කීවාය. අම්මාගේ මුවින් මේ පිට වන්නේ ඇගේ වදන්ම නොවන බවට හැඟීමක් පියුමිකා තුළ උපන්නේය. ඇගේ අනාගතය පිළිබඳව අම්මාත් තාත්තාත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට ඇත.

මට මේ ෆිල්ඩ් එකේ තව හුඟාක් දුර යන්න තියෙනවා අම්මා.. කසාඳයක් බැඳ ගන්න එක ලොකු කරදරයක්.. ඕන වුණාම මං කියන්නම්කො අම්මා..

උපහාස හඬින් පැවසූ පියුමිකා තවදුරටත් එතැන නොරැඳී ගෙය දෙසට ගමන් කළාය. අම්මා බලා සිටියෙ ගල් ගැසීගෙනය.



No comments:

Post a Comment