Saturday, September 29, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


ගීතයකට සුන්දර දර්ශන යොදා රෑ ගත කිරීම සඳහා කිතුල්ගල යන්නට පියුමිකාට සිදු වී තිබිණි. තාත්තාට හෝ අම්මාට ඇය සමඟ යාමට නොහැකි තත්වයක් උදා වූවේය. ඒ විදේශික ගනුදෙනු කරුවන් කණ්ඩායමක් පැමිණිමට නියමිතව තිබූ නිසාය.

දැන් කොහොමද ඔයාව තනියෙම යවන්නෙ..?

අමරතුංග මහත්මිය ලතැවුණාය.


සජා හෙට ගෙදර නැහැ.. අම්මත් එක්ක ගමනක් යනවා කිව්වා.. කමක් නෑ අම්මා මම තනියෙම යන්නම්.. තව ඉතින් කී දෙනෙක් යනවද..?

පියුමිකා කීවාය..

ඒ වුණාට එහෙම යවන්න පුළුවන්කමක් නෑනේ.. ඔතන ඉන්න අය වුණත් මොනවද එතකොට හිතන්නෙ..?

අමරතුංග මහතා කීවේ කල්පනාවෙනි.

ආ.. හරි.. හෙට අභිට ඕෆ් ඩේ එකක් කිව්වා.. මම එයාට කතා කරලා බලන්නම්..

කියමින් පියුමිකා ජංගම දුරකථනය අතට ගත්තාය.  අමරතුංග යුවළ මුහුණින් මුහුණ බලා ගත්හ. එකට කතා කරගෙන මෙන් දෙදෙනාගේ මුහුණ අදුරු වෙන ආකාරය පියුමිකාට පෙනුණි.

එපා...

අමරතුංග මහත්මිය තදින් කීවාය.

තනියෙන් ගියත් අභීෂේක් එක්ක යන්න එපා..

පියුමිකා අම්මා දෙස බැලුවේ පුදුමයෙනි.

ඒ මොන විකාර කතාවක්ද අම්මා..? අභීෂේකුයි මායි ගමන් යන්න පටන් ගත්තෙ අද ඊයෙද..?

ඇය ඇසුවාය.

ඒක තමයි දැන් ඒවා නවත්තන්න කියන්නෙ.. කිසිම තේරුමක් නැතුව ඉලන්දාරියෙක් එක්ක රවුම් ගහන එක ලමිස්සියෙකුට ගැලපෙන දෙයක් නෙමෙයිනේ..

කියාගෙන ගිය අමරතුංග මහත්යිම සැමියා දෙස බැලුවේ ඔහුගෙන් අනුමැතිය පතන්නට මෙනි. ඔහුද හිස සැලුවේය. පියුමිකාට පළකිරීමක් සමඟ කෝපයක් ද දැනුණි. ඇය ඉඟ ගස්සාගනෙ ගොස් පුටුවක වාඩි වූවාය.

අම්මා ඔව්වා එක්දාස් නවසිය බර ගණන් වල කතන්දර.. ඉලන්දාරියෙකුයි ළමිස්සියෙකුයි එකට ගැවසෙන්න හොඳ නෑ කියලා හිතුවෙ ඒ කාලෙ.. දැන් මිනිස්සුන්ට එව්වා අරුම පුදුම දේවල් නෙමෙයි.. අනිත් එක මේ ලංකාවේ මාවයි අභිෂේකුයි නොදන්න කිසිම කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ..

පියුමිකා හුස්ම ගන්නටවත් නවත්තන්නේ නැතුව කියාගෙන කියාගෙන ගියාය.

අන්න ඒකත් එක හේතුවක් තමයි පුතා.. ඔයාවයි අභිෂේක්වයි හැම කෙනෙක්ම දන්නවා කසාදයක් බඳන දවසට ඔයාට ඒක ලොකු ප්‍රශ්ණයක් වෙන බැරි නෑ..

එවර බැරෑරුම් ස්වරයෙන් කීවේ අමරතුංග මහතාය. කසාදයක්..? පියුමිකාගේ සිරුර මුළුමනින්ම හිරි වැටී ගියේය. අභිෂේක්ගෙන් එහා මනාලයෙකු ගැන සිතිය හැකිදැයි ඇය කල්පනා කලාය. එහෙත් ඔහු පිළිගැනීමට ද ඇගේ සිත තුළ වූයේ මැළි බවකි.

එහෙම පටු විදියට හිතන කෙනෙක්ව නම් මම බඳින්නෙ නෑ තාත්තෙ..

පියුමිකා විඩාබර හඬින් කීවාය.

මේ කතාව කොතරම් දුරට ගියත් විසඳුමක් පේන මානයේ නැති බව ඇය කල්පනා කළාය. අමරතුංග යුවළට දැනුණේ අසරණ බවකි. දියණියගේ තර්කයට දිය හැකි පිළිතුරක් ඔවුන්ට සිහිපත් වූයේවත් නැත.

එතකොට අභිෂේක් ඔයා ගැන මොනවද හිතන්නෙ..?

පියුමිකා ඉදිරිපිට වාඩි වෙමින් තාත්තා සෘජුවම විමසුවේය. ඇය අපහසුතාවයට පත් වූවාය. සැබැවින්ම එයට දිය යුතු පැහැදිලි පිළිතුරක් ඇයට සිතා ගන්නට නොහැකි විය.

ඉස්සර වගේම දැනුත් එයා මට හොඳ යාළුවෙක් විතරයි තාත්තෙ..

පියුමිකා කීවේ ස්ථිර හඬින් හෝ සිතට එකඟව නොවේ.. සැබැවින්ම අභීෂේක් හුදු මිතුරෙකු පමණක්දැයි ඇය තමාගෙන්ම විමසා ගත්තේය.

ඒ වුණාට මම කැමතියි ඔයා අනාගතේ ගැන මොකක් හරි තීරණයක් ගන්නවා නම්..

අමරතුංග මහතා බැරෑරුම් ලෙස හිස සලමින් කීවේය. අමරතුංග මහත්මිය ද පැමිණ වාඩි වූයේ තීරණාත්මක කතා බහකට මුල පුරන්නට මෙනි. එන දෙයකට මුහුණ දෙන්නට පියුමිකා හිත හදා ගත්තාය. කවදා හෝ දිනෙක මේ ගැටළුවට පැහැදිලි පිළිතුරක් සිතාගත යුතුමය.

මං කිව්වනේ අම්මා.. තව අවුරුද්දක්වත් යනකම් මම මැරේ එකක් ගැන හිතන්නෙ නෑ..

ප්‍රකාශය කළේ තාත්තා වුවද පියුමිකා කීවේ අම්මා දෙස බලාගෙනය. අගේ කට හඩ වූයේ මේක මහ කරදරයක් යනුවෙන් ඇඟවීමකි.

අපි ඔයාට කියන්නෙ අභීෂේක් ගැන හරි කමක් නෑ සීරියස්ලි හිතන්න කියලයි..

තාත්තා කීවේ පියුමිකා තුළ දැඩි කැළඹීමක් ඇති කරවමිනි. ඇය අම්මාත් තාත්තාත් දෙස මාරුවනේ මාරුවට බැලුවාය. ඔවුන් දෙදෙනාම බලා සිටියේ ඇගෙන් පැහැදිලි පිළිතුරක් අපේක්සාවෙනි. පියුමිකා තොල සපාගෙන නළල පිරිමැද ගත්තාය. මෙය අම්මාත් තාත්තාත් විසින් ඇගේත් අභිෂේක්ගේත් සම්බන්ධයේ නියම ස්වභාවය වටහා ගන්නට යොදන ලද උපක්‍රමයක්දැයි ඇය මොහොතකට කල්පනා කළාය.

අභිෂේක් බෑනා කර ගැනීමට කැමැත්තක් නැති බව අම්මා මීට පෙර සෘජුවම ප්‍රකාශ කොට තිබිණි. තනිව යතත් ඔහු සමඟ ගමන් බිමන් නොයන ලෙස ප්‍රකාශ කළේ මීට සුළු වේලාවකට පෙරය. එහෙත් අභිෂේක් ගැන අලුතෙන් සිතන්නට දෙයක් පියුමිකාට තිබුණේ නැත. ඔහු ඈත් කරලන්නට අකමැතිවා මෙන්ම ඔහු සම්බන්ධ කොට ගෙන අනාගතයක් ගැන සිතන්නටවත් ඇය තුළ අදහසක් නොවිණි. ඇය අභීෂේක්ගෙන් ඈත් වෙන්නට පෙර තාත්තා මෙසේ කීවේ නම් ඇගේ සතුටට හදවත ඉඩ මදි වෙනවා නොඅනුමානය. එහෙත් මේ මොහොතේ ඇයට දැනුණේ උකටලී බවක් පමණි.

යාළුවෙක් ගැන හිතනවාට වඩා වැඩිය දෙයක් මට අභිෂේක් ගැන තවමත් හිතන්න බෑ තාත්තා.. එහෙම හිතන්න පුළුවන් වුණ දවසක් ආවොත් මම කියන්නම්..

කියාගෙන පියුමිකා නැගිට්ටාය.

කතාව මෙතැනින් අවසන් කරන්නට සංඥාවක් එම ඉරියව්වේ තිබිණි. අමරතුංග යුවළ මුහුණින් මුහුණ බලා ගත්හ. ඔවුන්ගේ සිත් පෙලූ ගැටළුවට සෑහෙන විසඳුමක් ලැබෙන්නට ඇතැයි පියුමිකා කල්පනා කළාය.

අම්මලා එපා කියනවා නම් මම අභිෂේක් එක්ක යන්නෙ නැතුව තනියෙම යන්නම්.. ඒත් ඉතින් අභීෂේක් එක්ක ගියත් සජානි එක්ක ගියත් වැඩි වෙනසක් නෑ..

කියාගෙන පියුමි කාමරයට ගියාය. අභීෂේක් එවන් සුන්දර පරිසරයකට යාමේ ආශාව ඇයතුළ පැවතියේ බොහෝ දිනක පටන්මය. අම්මලාට අමතරව අර ලෙස කීවත් සජානි සමග ගොස් ඒම සුන්දරත්වය විඳ ගන්නට නොහැකි බැව් පියුමිකා දැන සිටියාය. එහෙත් ඔවුන් අකමැති නම් ඒ ගමන ඔහු හා නොයා යාමට ඇය තීරණය කොට තිබිණි.

සිතට දැනුණ දෝනස අසීරුවෙන් යටපත් කර ගනිමින් පියුමිකා කිතුල්ගල ගමනට සුදුසු ඇඳුමක් තෝරන්නට වූවාය. අම්මාත් තාත්තාත් පහත් හඬින් යමක් කතා කරනු ඇයට ඇසිණි.

පියුමිකා සල්වාර් විලාසිතාවේ ඇඳුම් දෙක තුනක් සහ ඩෙනිම් කලිසමකුත් බලවුසයකුත් ඇඳ මත තබාගෙන කල්පනා කරන්නට වූවාය.

මොනවද කල්පනා කරන්නෙ..?

අසාගෙන අමරතුංග මහත්මිය කාමරයට ආවාය. ඇය යම්කිසි තීරණයක් දැනුම් දෙන්නට පැමිණියා විය යුතු යැයි පියුමිකාට නිකමට මෙන් සිතුණි.

හෙට අඳින්නෙ මොකක්ද කියලා කල්පනා කලේ..

පියුමිකා කීවේ සිනාසෙන්නට තැත් දරමිනි.

මේක හොඳයිනේ..

අම්මා දැක්වූයේ ඉදිරිපසට සිහින් මල් මෝස්තරයක් එම්බ්‍රොයිඩර් කරන ලද උඩ කොටසක් සහිත ලා කොළ පැහැ සල්වාර් ඇඳුමකි. පියුමිකා ද මුලින්ම තෝරාගෙන තිබුණේ එම ඇඳුමමය.

මටත් හිතෙනවා ඒක හොඳයි කියලා..

ඇය කීවේ එම ඇඳුම පසෙකට කරමිනි.

අභිෂේක් ෆ්‍රී නම් හෙට එයාව එක්කගෙන යන්න.. තනියෙම යනවට වැඩිය ඒක හොඳයිනේ..

අමරතුංග මහත්මිය කීවේ ඇඳුම දෙසම බලාගෙනය. පියුමිකාගේ දෙතොල සරදම් සිනාවකට විවර වූවේය. එහෙත් ඇය කිසිවක් කීවේ නැත. අම්මලා තමන් තේරුම් ගැනීම ලොකු දෙයක් යැයි ඇයට සිතිණි.

ටෙලි නාට්‍ය දෙකේම රෑගත කිරීම් එක දිගටම සිදු කෙරුණු නිසා අභිෂේක්ට විවේකයක් ලැබුණේ කලාතුරකිනි. ඒ දිනවල පවා ඔහුට වෙළෙද දැන්වීම් වල පෙනී සිටීමට හෝ මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී විමට සිදුවිණි. කොහේ හෝ සුන්දර, නිස්කලංක පෙදෙසකට පියුමිකා සමඟ යාමේ ආශාව ඔහු තුළ පැවතුණේ කලෙක පටන්මය. පසුගිය කාලයේම ඔවුන් දෙදෙනා එකට ගැවසුණ බව සැබෑවකි. එහෙත් එවන් ගමනක් යාමට අවස්ථාවක් උදා වූයේ නැත. එයට විශේෂයෙන්ම බලපෑවේ පියුමිකාගේ අකමැත්තය.

අපි දෙන්නට කොහේවත් ගිහින් නිස්කලංකව ඉන්න ලැබෙන එකක් නෑ අභි.. බැඩ්මින්ටන් කෝර්ට් එකට ගියත් කට්ටිය වට කරගන්න හැටි පේනවනේ..

එවැන්නක් යෝජනා කළ හැම විටෙකම පියුමිකා උදාසීන ස්වරයෙන් කීවාය. එහි සත්‍යයක් තිබූ බැවින් ඔහු බල කිරීමෙන් වැළකී සිටියේය. එහෙත් ඒ ආශාව නම් ඔහු තුළ නොනැසී පැවතුණි.

කිතුල්ගල යන්නට පියුමිකා යෝජනා කළ කල්හී ඔහු සතුටින් ඉල්පුණේ එහෙයිනි. සත්තකින්ම ඇය එවන් යෝජනාවක් කරනු ඇතැයි ඔහු සිහිනෙකින්වත් බලාපොරොත්තු වූයේ නැත.

ඇත්තටම මේක කිව්වෙ ඔයාමද කියලා මට අදහාගන්නත් බෑ කෙල්ලෙ..

ඔහු කීවේය.

මේ ලෝකෙ අදහාගන්න බැරි දේවල් මොන තරම් සිද්ධ වෙනවද..?

පියුමිකා පැවසුවේ සිනාසෙමින් බව ඔහුට වැටහුණි.

ඒක නම් එහෙම තමයි.. ඒත් අපි දෙන්නා හෙට යන ගමන නම් වෙනස් වෙන එකක් නෑ කියලා මං හිතනවා..

අභිෂේක් අපේක්ෂාව පිරුණ හඬින් කීවේය.

වැහැලා ඒ පැත්තට ගංවතුර ගැලුවොත් මිසක් නැත්නම් වෙනස් වෙන එකක් නෑ.. අපි දෙන්නා ඔයාගෙ කාරෙකේ යමු..

පියුමිකා කීවේ අභීෂේක් තුළ වූ ආශාව දෙගුණ තෙගුණ කරවමිනි.

හරි කෙල්ලෙ.. උදේ හය වෙනකොට මං ඔයාලගෙ ගේ ළඟට එන්නම්..

ඔහු පොරොන්දු වූයේය.

ටෙලි නාට්‍යයේ අනෙක් ශිල්පීන් සියලු දෙනාම නිෂ්පාදන අංශයෙන් සපයනු ලබන වාහන වලින් ගමන් පහසුව සලසා ගත්තත් අභිෂේක් ආවේ ගියේ තමාගේම කාරයෙනි. රූ ගත කිරීම් අවසන් වූ වහාම අනෙක් අය එක් රැස් වන තුරු නොසිට නවාතැන් පොළට එන්නට හෝ මිතුරෙකු හමු වෙන්නට යන්නට එයින් ඉඩ ලැබිණ. අනෙක් අය කරන ඕපාදුප කතාවලට එක් වීමට ඇති අකමැත්තද පොදු ප්‍රවාහන සේවයෙන් ගමන් පහසුව සලසා ගැනීමෙන් ඔහු වළක්වනු ලැබිණි.

ඔහු එදින රූගත කිරීම් අවසන් වූ වහාම පිම්මේ නිවසට ආවේය. වෙනදා ලොකු කරදරයක් ලෙස දැනෙන රථවාහන තදබදය පවා ඔහුට නොදැනුණේ ඔහු සුන්දර ලෝකයක සැරිසරමින් සිටි බැවිනි.

අයියා අද ලොකු ජොලියකින් වගේ.. ෂූටින් ඉවරද..?

චූටි නංගි ඔහු පිළිගනිමින් සිනාමුසුව විමසුවාය.

දවස් ගණනාවකින් ගෙදරට එනකොට ජොලි නැද්ද මෝඩියෙ..?

ඔහු කීවේ ඇගේ හිස කෙස් අවුල් කරමිනි. ඇය ඔහුගේ අතේ එල්ලී සිටියේ බොහෝ සතුටිනි. ජනප්‍රිය නළු අභිෂේක් නුගලියද්ද සිය අයියා බවට ඔවුන් පුරසාරම් දොඩවන බව සැබැවකි. එහෙත් ඔහු නිවසේ නැති විට ඇත්තේ අසීමිත පාළුවකි. සිය ගණනක් සිටියත් ඒ පාළු බව මකන්නට පුළුවන්කමක් නැත.

අම්මා තාත්තා දෙදෙනාත් ඔහු එනතුරු මඟ බලා සිටිතී. විශේෂ කෑම බීම හැදෙන්නේ ඔහු එන දවසටය.

ඔව් ඉතින්.. මහ ලොකු පුතන්ඩියා එන දවසට තමයි ඔක්කොම ස්පැෂල්.. අපි ඉතින් ඔටුවොනේ..

ලොකු නංගී හා චූටි නංගී ඇනුම්පද කියතත් ඒ තරහින් නොවන බව අභීෂේක් දැන සිටියාය. පවුලේ සියලු දෙනාටම ඔහු සම්පතකි.

අභිෂේක් තාත්තාගේ සුවදුක් විමසුවේය. අම්මාගේ ඕපාදූප වලට කන් දුන්නේය. නංගිලා දෙදෙනාගේ පාඩම් වැඩ ගැන සොයා බැලුවේය. හෙට ගමන මොහොතකටවත් ඔහුගේ සිතින් ඉවත් වූයේ නැත.

අම්මා රාත්‍රී කෑමට ඉඳිආප්ප, පොල් සම්බෝල, පරිප්පු හොඳි සහ මාළු මිරිස් පිළියෙල කර තිබුණේය. නිශ්පාදන අංශයෙන් ලබා දෙන ඒකාකාරී වූත්, නීරස වූත් කෑම වේල එපා වී සිටි අභිෂේක්ට මෙය දිව්‍ය භෝජනයක් හා සමාන වූවේය.

ෂා.. මාර රසයි..

කියමින් ඔහු කිහිප වරක්ම ඉඳි ආප්ප බෙදා ගත්තේය.

කජු ටිකකුත් එකතු කරලා තියෙනවා.. හෙට කපලා උයලා දෙන්නම්..

අම්මා කීවේ පුතු ඒ සරල කෑම වේල ආශාවෙන් බුක්ති විදිනු දැකීමෙන් උපන් සතුටිනි.

හෙට නම් මං ගෙදර නෑ අම්මා..

ඔහු අකමැත්තෙන් කීවාය.

පියුමිකා සමඟ කොහේ ගියත් ඔවුන් අහිතක් නොසිතන බව අභීෂේක් දැන සිටියේය. එහෙත් දිගු කලකට පසුව ලැබුණ නිවාඩු දිනයේත් ඔහු නිවසින් පිට වීම ඔවුන්ගේ දොම්නසට හේතු වෙනවා නොඅනුමානය.

ඇයි පුතේ.. හෙට නිවාඩු කියලා කිව්වනේ.. මොකක් හරි ටී.වී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද..?

ඔහු සිතූ ආකාරයටම තාත්තා විමසුවේ මුහුණ අදුරු කොටගෙනය.

නෑ තාත්තෙ.. මම පියුමිකත් එක්ක ගමනක් යනවා..

අභිෂේක් මඳ සිනාවක් මවාගෙන පිළීතුරු දුන්නේය. තාත්තා බැරෑරුම් ලෙස හිස සැලුවේය. අම්මාගේත් නංගිලා දෙදෙනාගේත් මුහුණ මුකුලිත වූයේ බලා සිටියදීමය.

ගමනක්..? ඒ කොහෙද..?

අම්මා විමසුවේ කරදර හඬකිනි.

එයාට හෙට සිංදුවක් විෂුවල් කරන්න කිතුල්ගල යන්න වෙලා.. ආන්ටිටයි අන්කල්ටයි යන්න විදියක් නෑ කියලා මට යන්න කිව්වා..

අභිෂේක් පැවසුවේ එය පියුමිකාගේ දෙමාපියන් වෙතින් ලැබුණු ඉල්ලීමක් බව ඒත්තු ගැන්වෙන ආකාරයටය.

අයියෝ මොකක්ද අයියා..? එයාට ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න කියන්නකො..

ලොකු නංගී නොසතුටින් කෑ ගැසුවාය.

වෙන කෙනෙකුට එහෙම කියන්න තිබුණා.. ඒත් පියුමිකාට බෑ.. එයා නොහිටියා නම් මං අද මෙතන නෑ..

අභිෂේක් කීවේ හැඟුම්බර හඬිනි. තාත්තා ඔහුගේ අදහස අනුමත කරමින් හිස සැලුවේය.

ඒක ඇත්ත.. අපි කෙළෙහි ගුණ මතක තියාගන්න ඕන.. ඒ දරුවා ඔයා වෙනුවෙන් මොන තරම් පැක වුණාද..? අපිවත් එහෙම කළේ නැ..

තාත්තා කියද්දී සියලු දෙනාගේම කටවල් වැසිණි. ඔවුන් තව දුරටත් පාළුව ගැන කතා කළේ නැත. පියුමිකා විසින් කරල ලද කැප වීමේ තරම ගැන ඔවුන් වෙන වෙනම කල්පනා කරන්නට ඇත.

පුතේ.. පොඩ්ඩක් එළියට එන්න.. මට ඔයත් එක්ක කතා කරන්න ඕන..

රාත්‍රී කෑමෙන් පසුව තාත්තා කියද්දී අභිෂේක්ගේ සිත මඳක් කැළඹිණි. තාත්තා එවන් ස්වරයකින් කතා කරන්නේ බොහෝ කලාතුරකිනි. අමම්ලා හා නංගිලාත් මුහුණින් මුහුන බලා ගත්හ.

සිරා කතාවකට වගේ..

තාත්තා කෑම කාමරයෙන් පිට වූවාට පසුව ලොකු නංගී කොඳුරා කීවාය. අභිෂේක් කිසිවක් කීවේ නැත. එහෙත් මෙය කිසියම් බැරෑරුම් කතාවක් විය යුතුයැයි හැඟීම ඔහුට ද දැනිණි.

ඔහු ඉස්තෝප්පුවට යන විට තාත්තා හාන්සි පුටුවේ දිගැදී පපුවේ රෝම පිරිමැද ගනිමින් සිටියේය. ඔහුගේ මුහුණේ වූයේ කල්පනාකාරී බවකි. අභිෂේක් ඉස්තෝප්පුවේ ඔහුගේ ප්‍රියතම ස්ථානය වන කුළුණ අසල බිම වාඩි වී ගත්තේ තාත්තා දෙසම බලාගෙනය.

ඇයි තාත්තා..?

ඔහු සැකමුසු හඬකින් විමසුවේය. තාත්තාගේ හෘදයාබාධය නැවත මතු වී ඇතැයි බියක් ඔහුට දැනෙන්නට විය.

මේකයි පුතේ.. පුතාලා දැනුම් තේරුම් තියෙන අපිට වඩා සමාජයේ ගැවසෙන අලුත් විදියට හිතන උදවිය තමයි.. ඒ වුණාට මෙව්වා කියලා දෙන එක අම්මලා තාත්තලා විදියට අපේ යුතුකම..

තාත්තා රැල් බුරුල් හැර කතාව පටන් ගත්තේ බැරෑරුම් ආකාරයෙනි.

මොකක්ද තාත්තෙ..

අභීෂේක් දෑස් කුඩා කරමින් ඇසීය.

මට ඉස්සර වෙලා කියන්න ඕන පියුමිකා දුවගෙයි ඔයාගෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියලා..

තාත්තා දිගැදී සිටි ඉරියව්ව මදකින්වත් වෙනස් නොකොට හිස පමණක් හරවමින් විමසුවේය. අභිෂේක් තිගැස්සිණි. තාත්තා ඒ ප්‍රශ්නය විමසුවේ නිකමට නොවන බව ඔහුට වැටහුණි. ඔහු මේ පිළිබඳව දිගින් දිගටම කල්පනා කළේය.

ඇයි තාත්තා එහෙම ඇහුවෙ..?

ඔහු තාත්තා දෙස නොබලාම විමසූහ.

ඒ දරුවා විතරක් නෙමෙයි.. අමරතුංග මහත්තයත් හොඳ මනුස්සයෙක්.. මම අසනීප වෙලා යනඑන මං නැතුව ඉද්දි රස්සාව දීලා අපිට පිහිට වුණේ ඒ මිනිස්සු.. ඔයාව ඇඳෙන් නැගිට්ටුවෙත් දොස්තරලා නෙමෙයි පියුමිකා දුව..

තාත්තා කියාගෙන කියාගෙන ගියේය. අභිෂේක් ඇහුම්කන් දුන්නේ ඉස්තෝප්පුවේ දැල්වෙන විදුලි පහනේ එළිය වැටී යාන්තමින් අඳුර තුනී වූ මිදුල දෙස බලාගෙනය. පිච්ච මල් සුවඳක් ඔහුගේ නාසයට ඇදී ආවේය.

අපි ඔක්කොමලා ඒ දරුවට ණයගැතියි. ඒත් පුතේ අපිට ඒ අයත් එක්ක හිර ගනුදෙනු කරන්න පුළුවන්කමක් නෑ..

තාත්තා පැහැදිලි හඬින් කීවේ අභිෂේක්ගේ සිත කීරි ගස්සවමිනි. හිර ගනුදෙනු ගැන කතා කරන්නට නොහැකි වී ඇත්තේ පියුමිකාගේ පසුබෑම නිසා යැයි කියන්නට අභිෂේක්ට උවමනා විණි. එහෙත් ඔහු එවදන් ගිල ගත්තේ ඒ අස්සේ අතීතයේ බොහෝ දේවල් එළියට ඇදී එන්නට තිබූ නිසාය.

දැන් පුතා තැනකට ඇවිත් ඉන්න බව ඇත්ත.. ඒත් තවමත් ඒ අයයි අපියි අතරෙ අහසට පොළව වගේ පරතරයක් තියෙන්නෙ.. අනිත් එක ඔයා ඇක්සිඩන්ට් වුණේ කොහොමද කියන එකත් අමරතුංග මහත්තයා දන්නවා..

තාත්තා ඔහුත් නොදැනුවත්වම අභිෂේක්ගේ සිතේ බෙහෙවින් රිදෙන තැන් හාරා පාරවමින් සිටියේය. ඒවායේ වේදනාව ඔහුට දරා ගත නොහැකි තරම් වූවේය.

තාත්තා.. ඔය මීඩියා වලින් මොනවා කිව්වත් පියුමිකයි මායි හොඳ යාළුවො විතරයි..

අභිෂේක් සීරුවෙන් කියා ගත්තේය. සැබැවින්ම ඇය ඔහුට හුදු මිතුරියක නොව ජීවිතයෙන් හරි අඬක්ම වූයේය. එහෙත් පියුමිකා කියන්නාක් මෙන් සියල්ල කාලයට බාර දී නිහඬ වී සිටීම වැඩදායකය.

ඒක එහෙම නම් ඔය දෙන්නා එකට ගැවසෙන එක ටිකක් අඩු කරන එක හොඳයි නේද පුතේ..?

තාත්තා එවදන් පිට කළේ සෑහෙන උත්සාහයකින් පසුව බැව් අභිෂේක් වටහා ගත්තේය.

මොනවද තාත්තා මේ කියන්නෙ..?

අභීෂේක් රිඳුණු හඬින් කෑ ගැසුවේය.

මං කියන්නෙ කරන්න තියෙන හොඳම දේ පුතේ.. ඔයාට නම් ඕන තරමක් කතන්දර හැදිලා තියෙනවනේ.. ඒත් ගෑනු ළමයෙකුට කතන්දර හැදෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ දරුවා කසාදයක් කරගන්න දවසක ඔයාලගෙ යාළුකම නරක විදියට බලපාන්න පුළුවන්.. ඔයා මේ ගැන ඒ දරුවත් එක්ක කතා කරලා බලන්නකො..

කියාගෙන ගිය තාත්තා අභිෂේක්ට කල්පනා කරන්නට ඉඬ හැර ගෙතුළට ගියේය. අභිෂේක් තුළ හට ගත්තේ දැවිල්ලක් බඳු ස්වභාවයකි. තාත්තා නොකියා කියන්නේ පියුමිකාගේ යහපත උදෙසා ඇගෙන් ඈත් වෙන ලෙසය. එහෙත් ඔහුට ඊට වඩා පහසුවෙන් ඔහුගේ ජීවිතය අත් හැර දමන්නට හැකි වෙනවා නොඅනුමානය.

අපි දෙන්නට අපි දෙන්නා ඇරෙන්න සුදුසු අය මේ ලෝකෙ වෙන නෑ නෙතූ.. මේ ආත්මෙ විතරක් නෙමෙයි.. ඉපදෙන හැම ආත්මයකම අපි අපේම වෙනවා කියලා මට සහතිකයි..

ඔහු මුමුණා ගත්තේ හූල්ලමිනි. සිහින් කඳුළු පටලයක් ඔහුගේ නෙත් කෙවෙනි බොඳ කළේය. 


No comments:

Post a Comment