Wednesday, September 19, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


එකිනෙකාගේ කරට අත දමාගෙන නිදහස් අත්වලින් බැඩ්මින්ටන් පිති ඔසවාගෙන ඉතා කෙළිලොල් හා ප්‍රීතිමත් ඉරියව්වෙන් යුතුව සිටින අභිෂේක් හා පියුමිකාගේ ඡායාරූපයකින් සිනමා පුවත් පතේ පිට කවරය සැරසී තිබිනි. එහි පියුමිකා අතිශයින් සුන්දරව වූවාය.

මොන දේ කොහොම වුණත් මුන් දෙන්නා තමයි මැචින් කපල්..

ඇක්සිඩන්ට් එකට පින් සිද්ධ වෙන්න ආයෙමත් දෙන්නා එකතු වුණ එක නම් ලොකු දෙයක්..


සජානි, උදාර සහ මාලිංග කතා වූහ. ඔවුන්ගේ සිත්වලටද එය මහත් සැනසුමක් විණි.

පසුගිය දිනවල කාන්තා පුවත් පත්වල, ජාතික පුවත්පත් ක්‍රීඩා පිටුවල පියුමිකාගේ සහ අභිෂේක් ගේ ඡායාරූප නිරන්තරයෙන්ම පළ විණි. ඒවා දකිද්දී යුවනි ගේ දෑස තරහින් හා ඊර්ෂියාවෙන් පුපුරු ගැසීය. ඇය සිනමා පුවත්පතේ පින්තූරය නැරඹුවේ දෑස විසල් කොටගෙනය. ඊළග මොහොතේ ඇය පුවත්පත ගුලි කොට පොළවේ ගැසුවේය.

මම උඹට වෛර කරනවා අභිෂේක්.. උඹව මරන්න තරමටම වෛර කරනවා..

ඇය මුහුණා ගත්තේ දත්මිටි කමිනි.

යුවනි සහ අභිෂේක් අතර සම්බන්ධය ඇති වූයේ ඔවුන් දෙදෙනාම ගිය ඉංශ්‍රීසි පන්තියෙදීය. ඔහු තමාට බොරු ආදරයක් පෙන්වූයේ තමාගේ කර පිටින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට යාමේ බලාපොරොත්තුව මතයැයි ඇය සිතන්නට පටන් ගෙන තිබිණි. එම සිතුවිල්ල ඇගේ සිතෙහි ඔහු කෙරෙහි වූ වෛරය තවත් වැඩි කළේය.

අභිෂේක් නිසා පියුමිකා සහ යුවනී අතර ගැටුම් ඇති වූ අවස්ථා රැසක්ම තිබිණි. ඒ හැම විටෙකම අභිෂේක් ගත්තේ පියුමිකාගේ පැත්ත මිස ඇගේ පැත්ත නොවේ.

අභිෂේක්ට සෑහෙන කලක් රෝහල්ගතව සිටින්නට සිදු වූයේ යුවනි සහ ඔහු අතර ඇති වූ ගැටුම රිය අනතුරට බලපෑ නිසාය. එම ගැටුමට මුල් වූයේත් සිනමා පුවත්පතේ පළවූ අභිෂේක්ගේත් පියුමිකාගේත් සේයා රුවකි. අභිෂේක් සමඟ ඒ සම්බන්ධයෙන් බහින් බස් වෙද්දී යුවනිට දැනුණේ ඔහු මරා දමන්නට තරම් කේන්තියකි. ඇය ඔහුගේ බෙල්ල මිරිකන්නට උත්සාහ කලේ ඒ නිසාය. ඔහුට කාරය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවිය. සුළු තුවාල සිදු වූ බැවින් යුවනිට නම් රෝහල් ගතව සිටින්නට සිදු වූයේ දින දෙකක් පමණි. එහෙත් ඇයට අභිෂේක් බලන්නට යන්නට පුළුවන්කමක් නොතිබිණි.

මගේ ඇස් මායිමකට එන්න එපා..

කියමින් අභිෂේක් ඇය එළවා ගත්තාය.

වැරැද්ද කරලා තියෙන්නෙ ඔයා තමයි.. දැන් ගිහින් ඒ මනුස්සයාගෙ හිත අවුල් කරල සනීප වෙන එක පරක්කු කරන්න එපා..

ඇගේ අයියා රුවන් තරයේ අවවාද කළේය. ඒ අවවාදය පිළිගත්තේ වී නමුදු අභිෂේක් නොදැක සිටින්නට ඇයට අසීරු විය. අයියා නිවසේ නොසිටි විකෙ ඇය අම්මා ද කැටුව අභිෂේක් බලන්නට ගියේ එහෙයිනි. අම්මා සමග බොහෝ ඕනෑකමින් කතා කලද අභීෂේක් යුවනි ගේ මුහුණවත් බැලුවේ නැත. එය අම්මාට ද මදිකමක් ලෙස දැනුණි.

මීට පස්සෙ එක එකා ළඟ බාල්දු වෙන්න යන්න එපා.. අභිෂේක්ටත් දැන් මුල අමතක වෙලා ඇති.. එනකොට නම් එන්නෙ තුත්තිරි ගස් අල්ල අල්ලා දෙකට තුනට නැමි නැමී.. ෆීල්ඩ් එකට කකුල තියා ගත්තම එතෙන්ට ගෙනාවෙ කවුද කියන එකවත් මතක නෑ..

අම්මා ආපසු හැරී එන අතරතුර දිගින් දිගටම අභිෂේක්ට දොස් පැවරුවාය. ඇය කරන චෝදනා සමහරක සත්‍යයක් නැති වුවද යුවනි නිහඩවතම පිරුවාය. ඇයට අභීෂේක් නිවැරදි කරන්නට වුවමනා නොවිණි.

අම්මා දන්නෙ නැති දේවල් ගැන කතා නොකර ඉන්න.. මම මගේ නංගි ගැනත් දන්නවා.. අභිෂේක් ගැනත් දන්නවා..

අම්මා දිගින් දිගටම අභිෂේක්ට දොස් කියනු ඇසුණු රුවන් නම් කීවේ නොරිස්සුම් හඬිනි.

ඔයා කියන්නෙ එතකොට අභිෂේක් නංගිව ගණන්  ගන්නෙවත් නැතුව හිටපු එක හරියි කියලද..?

අම්මා රුවන්ට කඩා පැන්නාය.

අම්මට මම නොකිව්ව හුඟක් දේවල් තියෙනවා අම්මෙ.. අභිෂේක් ඇත්තටම හොද කොල්ලෙක්.. අපේ ඒකී ගෙ දාංගලේ හින්දා තමයි ඌ නැති කරගත්තෙ..

ඔහු සන්සුන්ව කීවේය. අම්මාගේ කට ඉබේටම වැසුණි. යුවනිත් සමඟ සම්බන්ධයක් තිබූ බව කියමින් තාරක විසින් සිනමා පුවත්පතේ ඇගේත් ඔහුගේත් ඡායාරූපය පළ කරනු ලැබ තිබූ දිනයේත් අභිෂේක් කලබල වූවා මිස යුවනි සමඟ අමනාප වූයේ නැත.

මතක තියාගන්න ඔයාට පත්තරවල යන ෆොටෝස් ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා..

පියුමිකාගේ හා අභිෂේක්ගේ ඡායාරූපයක් පුවත්පතේ පළ වී තිබෙනු දැක යුවනි බැන වැදුණු විට නම් ඔහු තරවටු හඬින් කීවේය. ඉන් එහාට ඔහු සමඟ වාද කරන්නට ඇයට පුළුවන්කමක් නොවිණි.

දැන් ලංකාවේ සිටින ජනප්‍රියතම තරුණ යුවළ බවට පත්ව ඇත්තේ අභිෂේක් සහ පියුමිකාය. යුවනි සිහින දකිමින් සිටියේ ඒ තත්වය ඇයට සහ අභිෂේක්ට උදා කර ගන්නටය. පළමු ටෙලි නාට්‍යයෙන්ම අභිෂේක් බොහෝ සේ ජනප්‍රිය වුවත් ඒ අහලකටවත් ආවේ නැත. එම නාට්‍යය විකාශය වෙන්නටත් පෙරම ඔහුට ප්‍රධාන චරිත සඳහා ආරාධනා බොහෝ ගණනක් ලැබිණි. යුවනිට නාට්‍ය කිහිපයක් ලැබුණත් ඒ ප්‍රධාන චරිත නම් නොවේ.

මගේම අයියා ප්‍රොඩියුසර් වෙලත් මට එයාගෙ ටෙලිවල මේන් කැරැක්ටර් එක දෙන්නෙ නැති කොට අනිත් මිනිස්සු දේවියෑ..

ඇය අම්මා සමඟ නෝක්කාඩු කීවාය. අයියාට ඇනුම්පද කීවාය. අයයියා ඇයට ප්‍රධාන චරිතයක් ලබා දුන්නේ අභිෂේක් රඟපෑ ටෙලි නාට්‍යයේ පමණකි. එහි ද ඇගේ චරිතය වැඩිපුර කැපී පෙනුණේ නැත.

මම කවදා හරි හැමෝටම පෙන්නන්නම්කො යුවනි කියන්නෙ කවුද කියලා..

ඇය තමාටම කියා ගත්තේ ගුලි කොට විසි කර දැමූ පුවත්පතකට පා පහරක් එල්ල කරමිනි. එය විසි වී ගොස් සාලයේ මැදක නතර වූයේය.

කවුද මේ පත්තරේ ගුලි කරලා විසි කෙරුවෙ..?

බැහැරක ගොස් නිවසට ආ රුවන් පුවත්පත අතට ගනිමින් තරහින් ඇසුවේය. වීඩියෝ චිත්‍රපටයක් නරඹමින් සිටි යුවනි අයියා දෙස හොරැහින් බලා නිහඬ වූවාය. මේ අසෝබන ක්‍රියාව කරන්නට ඇත්තේ නැගණියම බව රුවන්ට නොරහසක් විණි. ඔහුට වඩාත් තරහ ගියේ තමා කියවන්නටත් පෙරම සිනමා පුවත්පතට අත් වූ ඉරණම ගැන සිතන කලය. අනෙක් පුවත්පත් කෙසේ වෙතත් ඔහු සිනමා පුවත්පත නම් මුල සිහ අගටම නොවරදවාම කියෙව්වේය.

මේ... තමුසෙගෙ හිතේ තියෙන තරහටයි ඉරිසියාවටයි පත්තර පලි නෑ තේරුණාද..?

පුවත්පත සෙටිය මත තබා අතින් පිරිමැද රැලි හරිමින් රුවන් පැවසුවේ කෝපයෙනි. එහි කවරයේ වූ අභිෂේක් ගේත් පියුමිකාගේත් සේයාරුව දුටු කල නැගණිය එතරම් නොසන්සුන් වීමට හේතුව ඔහු වටහා ගත්තේය. ඔහු තුළ ඇය කෙරෙහි අනුකම්පාවක් ද මෝදු වී ගෙන ආවේය. එහෙත් යන්තමින්වත් ඒ බවක් නොඇගවූ ඔහු පුවත්පත ද රැගෙන සිය කාමරයට ගියේය. නැගණිය ගේ මුරණ්ඩු ගතිගුණ මෙල්ල කළ හැක්කේ තදින් සිටීමෙන් පමණකි.

චිත්‍රපටිය දෙස බලා සිටිය ද යුවනිගේ නොසන්සුන් සිතේ එහි එකදු දසුනක්වත් රැඳුණේ නැත. ඇය කල්පනා කරමින් සිටියේ අභිෂේක්ගෙන් පලි ගන්නා ආකාරය පිළිබඳවය. ඒ පලි ගැනීම පියුමිකාටත් අදාළ විය යුතුමය.

එක්වරම ඇයට මෙනෙහි වූයේ තාරකය. තාරක සිටින්නේත් අභිෂේක් සමඟ තරහින් බව ඇයට සිහිපත් වූවාය.

ෂහ්.. ඔය තියෙන්නෙ අයිඩියාස්..

යුවනි අසුරක් ගසමින් නැගී සිටියාය. තව දුරටත් චිත්‍රපටිය බැලීමේ ආශාවක් ඇය තුළ තිබුණේ නැත. වීඩියෝ යන්ත්‍රය ක්‍රියා විරහිත කළ ඇය සිය ඡායාරූප ඇල්බමය අතට ගත්තාය. තාරක සමඟ ගන්නා ලද බොහෝ ඡායාරූප එතුළ තිබිණි.

එකල ඇගේ ප්‍රියතම නළුවා වූයේ තාරකය. ටෙලිනාට්‍ය සම්බන්ධ වැඩ කටයුතුවලට ඔහු රුවන් හමු වීමට ආ විට යුවනිට ඉහේ මලක් පිපුණාක් බඳු වූයේය. ඇය ඔහු සමග තොර තෝංචියක් නොමැතිව කතා කළාය. ඔහු සමඟ ඡායාරූප ගත්තාය.

මට ඔයත්තෙක්ක ටිකක් නිදහසේ කතා කරන්න ආසයි යුවනි..

තාරක ආයාචනාත්මකව කී දිනෙක ඇය කිසිදු පැකිළිමකින් තොරව ඔහු සමඟ හෝටල් කාමරයකට ද ගියාය. එහිදී සිදු වූ බොහෝ දේවල් ඇය සිනාමුසු මුහුණින් ඉවසුවාය.

ඔයා තරහද කෙල්ලෙ..? මට ඔයාව දැක්කම ආදරේ ඉවසා ගන්න බැරිව ගියා.. ඒකයි එහෙම කලේ..

තාරක කීවේ සැබෑ පසුතැවිල්ලකින් නොවේ.. එහෙත් යුවනි සිතුවේ ඔහු අවංකවම කණගාටු වෙන බවය.

ඒක ගැන එච්චර හිතන්න එපා තාරක අයියෙ.. අපි පුංචි ළමයි නෙමෙයිනේ..

යුවනි ඉතා සැහැල්ලු ලෙස සිනාසුණාය.

ඔයා මට ආදරෙයි නේද යුවනි..?

ඔහු ඇගේ දෑත අල්ලාගෙන විමසුවේ හැඟුම්බර හඬිනි..

ඔව් තාරක අයියෙ.. හුඟක් ආදරෙයි..

ඇය ඔහුට වඩාත් තුරුළු වෙමින් කීවාය.

එහෙත් ඔවුන් දෙදෙනාගේම ආදරය සීමා වී තිබුණේ වචන වලට පමණකි. යුවනි අභිෂේක්ට සමීප වූවාය. තාරක යුවතියන් කී දෙනෙකුට සමීප වූවාදැයි දන්නේ ඔහුම පමණකි. එහෙත් එදා හෝටල් කාමරයෙදී ගන්නා ලද ඡායාරූප දෙක තුනක් ද තාරක සිනමා පුවත්පතට දී තිබිණි. යුවනි තමාගේ පෙම්වතිය බව ද තමා හදිසි අනතුරින් එක්තැන් වූ පසු ඇය තමා හැර ගිය බවද ඔහු පුවත්පතකට පවසා තිබුණේ කියවූ අයගේ සිත් කම්පිත වන ආකාරයෙනි. එම ලිපිය යුවනි කෝපයටත්, දැඩි අපහසුතාවයටත් පත් කළේය.

මම ඔය මිනිහට හොඳ පාඩමක් උගන්වනවා..

රුවන් ඇයට දොස් පවරන කල ඇය පාරම් බෑවාය එනමුදු ඔහුට එරෙහිව පියවරක් ගැනීමට ඇයට පුළුවන්කමක් නොවීය.

අභිෂේක්ට රිද්දන්න පුළුවන් හොදම විදිහ තමයි තාරකට ළං වෙන එක..

ඇය හිස සලමින් මුහුණා ගත්තාය.

තාරක හමු වීමට යාමට යුවනි යොදා ගත්තේ රුවන් අනුරාධපුරායේ රූගත කිරීමකට ගිය සිකුරාදා දිනයකි. අම්මා ද ඇගේ මිතුරියක ගේ නිවසේ පැවැත්වෙන දානමය පිංකමකට සහභාගී වෙන්නට ගියාය. යුවනි වහ වහා සූදානම් වී ත්‍රී විලරයක් ගෙවන්වා ගත්තාය.

තාරකගේ නිවසට යද්දී ඇය තුළ චකිතයක් නොතිබුණා නොවේ. ඔහු හදිසි අනතුරින් එක්තැන් වූවාට පසුව ඇය ඔහු බලන්නට ගියේම නැත. ඒ වන විට ඇගේ සිත ඔහු කෙරෙන් බිඳී අභිෂේක් කෙරෙහි ආසක්තව තිබිණි. ඊටත් වඩා තාරක ගේ හදිසි අනතුරට වගකිව යුත්තේ යුවනි බව කට කතාවක්ද ක්ෂේත්‍රයේ පැතිර යමිනි තිබිණි.

තාරක බලන්න ඔයා නොගියට කමක් නෑ..

කියමින් රුවන් ඇය වළක්වාලූයේ එම නිසාය.

අභිෂේක්ට ද තාරකට අත් වූ ඉරණම අත් වෙනු ඇතැයි බොහෝ දෙනෙක් අනාවැකි පළ කළහ. එහෙත් අභීෂේක් තෙමසකට වඩා එක්තැන් වී සිටියේ නැත. ඊයෙ පෙරේදා ඔහු අලුත් ටෙලි නාට්‍ය දෙකකටම ගිවිසුම් අත්සන් කළ බව දැන ගන්නට ලැබිණි. තාරක නම් තවමත් ඇවිදින්නේ හැරමිටි වාරුවෙනි.

යුවනි තාරක ගේ මිදුලේ ත්‍රී විලරය නවතන්නට කීවේ සිත පිරුණ චකිතයෙන් යුතුවය. වෙනදාට බොහෝ කාර්ය බහුල බවක් උසුලන නිවස පාළුවට ගොස් තිබිණි. මිදුලේ පිළිවෙළකට සකස් කොට තිබූ මල් පාත්ති වසාගෙන වැවී තිබුණේ තණකොළය. ඒවා අතරින් අසීරුවෙන් හිස ඔසවා ගත් මලක් තැන තැන දකින්නට ලැබිණි.

තාරකට විතරක් නෙමෙයි තාරකගෙ ගෙදරටත් බහින කලාව වගේ..

යුවනි කල්පනා කළාය.

පොඩ්ඩක් ඉන්න.. ගෙදර කවුරුත් නැති උනොත් මට මේ ත්‍රී විලරේම ආපහු යන්න පුළුවන්..

ත්‍රී විලර් රියැදුරාට එසේ පැවසූ යුවනි ගෙය දෙසට ගියාය. ඇත්ත වශයෙන්ම ඇගේ අරමුණ වූයේ තාරකගෙන් නිසි පිළිගැනීමක් නොලැබුණහොත් වහාම ආපසු යාමය.

යුවනි.. ඇත්තටම මේ ඔයාද..?

සැරයටියට බර දෙමින් පැමිණ දොර විවර කළ තාරක දෙනෙත් විසල් කර ගනිමින් විමසීය. ඇය දකින්නට ඔහු තුළ කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැත.

ඔව් තාරක අයියෙ.. යුවනිම තමයි..

ඇය සිනාසෙන්නට තැත් දරමින් කීවාය.

අම්මෝ.. කොයි කාලෙකින්ද දැක්කෙ.. එන්න එන්න ගෙට..

ඔහු උද්යෝගයෙන් කීවේ දොර මුළුමනින්ම විවර කරමිනි.

ඉන්න මම ත්‍රී විලර් එක යවලා එන්නම්..

යුවනි සැහැල්ලුවෙන් කීවාය. තව දුරටත් ඇය තුළ චකිතයක් ඉතිරි වී තිබුණේ නැත.

ඒක හොඳයි.. අද අම්මයි තාත්තයි දෙන්නත් අයියල ගෙ ගෙදර ගිහින්.. අපි දෙන්නට හුඟක් වෙලා කතා කරන්න පුළුවන්..

තාරක සිනාසී කීවේය. එය විඩාබර සිනාවක් මිස, එකල යුවතියන් වශි කළ ජීවි සිනාව නොවන බව යුවනිට වහාම වැටහිණි. ඔහු තිරයේ බැබලුණේ රූපය නිසාය. ඔහුගේ රඟපෑම් කෘත්‍රීම බව විචාරකයන්ගේ අදහස විණි. අභිෂේක් නම් රූපය පමණක් නොව රඟපෑමේ දක්ෂතාවද දෝතින්ම දරාගෙන සිටියේය.

ඉතින් ඉතින් යුවනි..?

ඇය ත්‍රී විලරය ආපසු යවා පැමිණ සෙටිය මත වාඩි ගත් කල ඇය අසළම වාඩි වූ තාරක ඇසීය. ඔහු සැරයටිය සෙටි ඇන්දට හේත්තු කොට තබා ගනු දුටු යුවනිට අනුකම්පාවක් දැනුණි.

හැරමිටිය නැතුව ඇවිදින්න බැරිද තාරක අයියෙ..?

ඇය දුක්මුසු හඬින් විමසුවාය. මෙතෙක් ඔහු බලන්නට නොපැමිණීමෙන් කළේ බලවත් වරදක් යැයි ඇගේ සිත චෝදනා කරන්නට වූවේය.

දැන් නම් එච්චර අමාරුවක් නෑ.. හිටිය ගමන් දකුණු කකුල හිරි වැටෙනවා.. ඒකයි හැරමිටිය පාවිච්චි කරන්නෙ.. ඔයාගේ තොරතුරු කියන්නකො..

අනතුර ගැන කතා කරන්නට අකමැති නිසාදෝ ඔහු කතාව වෙනතකට හැරවුයේය.

කියන්න තරම් විශේෂ තොරතුරක් නෑ.. මට හිතුණා මෙච්චර කල් තාරක අයියා බලන්න නෑවිත් මං කළේ ලොකු වරදක් කියලා.. ඒකයි ආවෙ..

යුවනි බිම බලාගෙන කීවාය.

ඇය කරන්නේ රඟපෑමක් බව ඉඳුරා දත් තාරකගේ කට කොනට සිනාවක් නැගිණි. අභීෂේක් දැන් ඇයගේන් ඈත් වී ඇතුවා නිසැකය. මෙවර සිනමා පුවත්පතේ කවරය සැරසී තිබුණේත් අභිෂේක්ගේ සහ ක්ෂේත්‍රයට අලුතින්ම පිවිසි එහෙත් ජනප්‍රිය ගායිකාවක වන පියුමිකාගේ සේයාරුවකිනි. යුවනි දැන් නැවතත් උත්සාහ කරන්නේ තමාට ළං වීමට විය යුතුය.

මෙච්චර කාලයක් ෆිල්ඩ් එකේ කට්ට කෑව මාව තම්බන්න උඹ ළඟ තියෙන ලුණු ගොරකා මඳි නංගි.. ඔහොමම යමන්කො.. එක තැනක හරි වෙනකම් උඹත් දන්නෙ නෑ..

තාරක සිත තුළින් යුවනිට තරවටු කළේය. ඇය කෙරෙහි පමණක් නොව ඇගේ අයියා කෙරෙහි ද ඔහු තුළ තවමත් තිබුණේ වෛරයකි. අයියනගෝ දෙදෙනාගෙන්ම පළි ගන්නට මේ අවස්ථාව යොදා ගැනීමට ඔහු අදිටන් කර ගත්තේය.

මං ඔයා එයි කියලා කොච්චර බලාගෙන හිටියද යුවනි..? මට හිතාගන්න බැරි වුණා ඔයා කොහොමද ඔච්චර ඉක්මනට මාව අමතක කළේ කියලා.. අර තරම් ආදරෙන් මගේ ළඟ හිටිය පුංචි කෙල්ල වෙනස් වුණා කිව්වම කවුද විශ්වාස කරන්නෙ..

තාරක ශෝකී ස්වරයෙන් කීවේය. යුවනි හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ ස්වභාවය දුටු ඇයට දුක සිතිණි.

මම එන්න තමයි හිටියෙ තාරක අයියෙ.. ඒත් හැමෝම කියන්න ගත්තනේ ඔයා වැටුණෙ මං තල්ලු කරලා කියලා.. වැටුණෙ කොහොමද කියලා දැන දැනත් ඔයත් ඒ කතාව විශ්වාස කළානේ..

ඇය චෝදනාවක හඬින් කීවාය. ඔහු පසුතැවිලි සහගත සිනාවක් පාමීන් ඇගේ අත අල්ලා ගත්තේය.

ඒක මම කිව්ව කතාවක් නෙමෙයි කෙල්ලෙ.. අර අංජනයි විලානුයි හදපු කතාවක්.. ඒ වෙලාවෙ මං හිටියෙ හොඳටම ඔළුව අවුල් වෙලා.. ඉතින් මටත් මොනව හරි කියවෙන්න ඇති..

තාරක බොහෝ අහිංසක ලෙස කීවේ එය සැබෑවක්ම විය යුතු යැයි හැඟීම ඇගේ සිතේ තහවුරු කරමිනි.

ඔයාට ඔච්චර ආදරේ කරපු මම ඔයාව තල්ලු කරනවද තාරක අයියෙ..? ඔයා වැටුණ වෙලාවෙ අඬලා අඬලා මට කලන්තෙත් හැදුණා..

යුවනි තාරකගේ දෙනෙත් මඟ හරිමින් කීවාය. ඇත්ත වශයෙන්ම තාරක අනතුරට ලක් වූවාට යුවනි එය ගණනකට ගත්තේවත් නැත. ඔහු රෝහලට ගෙන ගිය පසුව ඇය බොහෝ නිදහසේ අභීෂේක් සමඟ කතා බහ කරමින් සිටියාය. ඔහුට ඒවා පසුව ආරංචි විය.

ඒක මගේ නරක වෙලාව යුවනි.. මමත් දැන් පැන්ෂන් ගියපු පොලිස් කාරයා වගේ.. කවුරුවත් දැන් මාව බලන්නවත් එන්නෙ නෑ.. ඇත්තටම මිනිස්සු හරියටම අඳුන ගන්න මොකක් හරි කරදරයක් වෙන්නම ඕනෑ..

තාරක එවර නම් කීවේ අවංකවමය.

දැන් ක්ෂේත්‍රයට තමා අමතක වී ඇතැයි හැඟීම ඔහුට දරාගත නොහැකි විය. අභිෂේක්ට එම තත්වයට මුහුණ දීමට සිදු වූයේ නැත. ඔහු දැන් නැවතත් ක්ෂේත්‍රයට අවතීර්ණ වී තිබේ. සිය නිර්මාණ සඳහා තාරක ගේ දායකත්වය ලබා ගන්නට පොර කෑ නිෂ්පාදක වරුන්ට, අධ්‍යක්ෂකවරුන්ට අද ඔහු උණ්නාද මළාද වගක් නැත.

ලෝක ස්වභාවය ඕක තමයි මහත්තයො.. ඇති වෙනවා.. නැති වෙනවා..

බෝධි පූජාවක් සඳහා ගිය විට පන්සලේ හාමුදුරුවො නම් එසේ වදාළහ. එහෙත් තාරක ඒ සනාතන දහම සිතට ගත්තේ නැත. ඔහුට වුවමනා වී ඇත්තේ නැවතත් ක්ෂේත්‍රයේ බැබලෙන්නටය.

තාරක කීවේ තමාට ඇනුම් පදයක්දැයි යුවනි සිතුවාය. එහෙත් ඇය ඉන් සිත රිදවා ගත්තේ නැත. ඇයට වුවමනා වී තිබුණේ කුමන ක්‍රමයකින් හෝ අභිෂේක් රිදවීමටය. එහෙත් ඔවුහු දෙදෙනා සිතා මතාම අභීෂේක් පිළිබඳව කතා කිරීමෙන් වැළකී සිටියහ.

අපි දෙන්නා මේන් කැරැක්ටර්ස් කරපු පළවෙනි ටෙලියම අප්සෙට් ගියාම ඔයාට දුක හිතුනෙ නැද්ද යුවනි..? තාරක විමසුවේ ඇගේ උරහිස් වටා අත යවා ගනිමිනි. දිගු කාලෙකින් කාන්තා පහසක් නොලද ඔහුගේ සිතුවිලි උණුසුම් වී ගෙන ආවේය.

මොකද නැත්තෙ තාරක අයියෙ..? මමත් ‍ටෙලියෙන් අයින් වෙන්නයි ලෑස්ති වුණේ.. ඒත් අපේ අය්යයි ජගත් අයියයි එපා කිව්වා.. මමත් අයින් වුණා නම් ලෙිය කර ගන්නම බැරිව යනවනේ..

යුවනි කටේ තොලේ නොගෑවී බොරු කීවාය.

අපිට ඉක්මනටම එකට ඇක්ට් කරන්න ටෙලියක් ලැබේවි කෙල්ලෙ.. මටත් දැන් හොඳටම සනීපයි.. මම ඉක්මනට ආයෙ ෆිල්ඩ් එකට එනවා..

තාරක ඇය තරයේ තුරුළු කොටගෙන සිප ගනිමින් කීවේය. ඇය ඉඟියකින් හෝ විරුද්ධත්වයක් පෑවේ නැත. අභිෂේක් කිසිදු විටෙක මෙතරම් අනුරාගී ලෙස ඇය සිපගෙන නොතිබිණි. ඇගේ පෙළඹවීමකට පවා ඔහුගෙන් ලැබුණේ ඇල්මැරුනු ප්‍රතිචාරයකි. එහෙත් තාරකගේ ආවේගශීලී හැසිරීම් ගැන ඇය හොඳින් දැන සිටියාය. ඒවාට ඇය තුළ තිබුණේද බලවත් කැමැත්තකි.

කාමරේට යමු ද යුවනි..?

තාරක නොඉවසිලිමත් හඬින් විමසිය.

යමු..

යුවනි කීවේ ඔහුට පෙරෙත්තයට ඉඩ නොතබමිනි.



No comments:

Post a Comment